Saturday, 27 September 2014

කලහකාරී තේනුවර බැරලයක් සමග ලන්ඩනයේ

චන්ද්‍රගුප්ත තේනුවර මට හමුවුනේ මින් අවුරුදු 26- 27කට කලින් මොස්කව් වලදී.
සමහර දේශපාලනඥයෝ 'කලහකරුවා' කියනවලු තේනුවරට කලාකාරය කියල කියන්නේ නැතුව. මේක සඳහන්  කරලා තිබුනේ අපේ ප්‍රවිණ  මාධ්‍යවේදියෙක් වන ජයසිරි අලවත්ත  චන්ද්‍රගුප්ත තේනුවර එක්ක කරපු  සම්මුඛ සාකච්චාවක්  ගැන ලිවූ ලිපියක. ලිපියේ යොමුව  පහත තිබෙනවා.
ඉතින් මට අවුරුදු ගානකට කලින්  හමුවුන තේනු බොහොම නිහඬ සන්සුන්ව කතාකරන චිත්‍ර කලාව ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෙක්. දැන් කතාව මේකයි. මම චන්දෙ ඉල්ලුව (අනුන්ගේ බලපෑම මිස මට ඕනවට නෙමේ.  )  සෝවියට් දේශයේ සමස්ත ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගම්වල මහා සභාවේ මහ  ලේකම් ධුරයට.  ඒ දවස්වල කොමියුනිස්ට් පක්ෂයේ ස්ටයිල් එකට ලේකම් ධුරය තමා  බලවත්. සභාපති තෝරා ගන්නේ මහා සභා රැස්වීම ගෙන යන්න විතරයි.  චන්දෙ ලැබෙන්නේ සෝවියට් දේශයේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තිබෙන හැම නගරයකින්ම පැමිණෙන  නියෝජිත කණ්ඩායම් වලින්. මම යන්තම් දිනුව එක චන්දයකින්ද කොහෙද . මොකද අපේ ස්වාධින (ලංකාවේ එකට සම්බන්ධයක් නැත) කණ්ඩායමට මුලින් සහයෝගය දුන් තේනුවර ඇතුලත් කණ්ඩායම වෙනම චන්දෙ ඉල්ලා තෙවන ස්ථානයට පැමිණීම නිසා.
එතකොට තේනුවර සහෝදරයා හිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් එක්ක. එතකොට මට දුන් චන්ද වලින් වැඩි  චන්ද ප්‍රමාණයක් අරන් ආවේ වෙනත් නගරයක ශිෂ්‍ය සංගමයේ ලේකම් වෙලා හිටි ඩිලන්ත විතානගේ මහතා. දිලන්ත හිටි නගරේ දෙමල මුස්ලිම් ශිෂ්‍යයන්  අතරත්  ජනප්‍රියයි. හැමෝටම උදව් කරගෙන හිටි කිසි ජාතිවාදයක් හෙම පෙන්නුවේ නැති ශිෂ්‍යයෙක් .
තේනුවරගේ චන්දය මට හම්බවුනේ නැහැ කියල මම දන්නවා. ඒ දවස්වල ආචාර්ය නලින් ද සිල්වාගේ 'සමාජවාදී පන්තිය' ගැන පලවෙන ලිපු දිවයිනේ කියවල, ඊට පස්සේ young spartacist league එකේ සහ  මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ කතා අහල සෝවියට් දේශය ගැන ඔලුව කුරුවල් කරගෙන් මම හිටපු නිසා අපි හිටියේ මතවාද  දෙකක. හිටියේ වෙනස් අදහස් දරාගෙන උනත් අපට බාධාවක් වුනේ නැහැ එකතු වෙලා කතා කරන්න, හොස්ටල් එකේ බතක් දා  ගන්න.

දැන් අවුරුදු විසි ගණනකට පස්සේ තත්වය වෙනස්. මම අපේ මිත්‍ර දිලන්තට පොඩි විවේචනයක් දාලා  පෞද්ගලික ඊමේලයක්  යැව්වට පස්සේ අපේ වැඩි කතා බහක් නැහැ. කොහොමත් තිබ්බෙත් නැහැ ලොකු කතා බහක්. මම හලාල් වලටත්,  ෂරිය නීතියටත් විරුද්ධ කෙනෙක්. ඒ විරුද්ධ හැමෝටම නිතිය එක හා සමානව තිබෙන්න ඕනය කියල හිතන නිසා හා මම අදේවවාදියෙක් නිසා.  හැබැයි මගේ ඒ  විරුද්ධකම හැම ආගමකටම තිබෙනවා. කිසිම ආගමකට කිසිම  අමුතු තත්වයක් කිසිම ආණ්ඩුවකින් දෙන්න ඕනේ නැහැ.  හැබැයි ඕනෑම  සුළු ජාතියකට තමන්ගේ ආගම අදහගෙන නිදහසේ සිටීමේ අයිතිය වලක්වන්න කවුරුහරි උත්සහ  කරනවානම් ඒක වැරදියි.

දැන් තේනුවර තමන්ගේ බැරල්වාදය , නව බැරල් වාදය , පශ්වාත් බැරල්වාදය පහු කරලා අලන්කාරකරණයට ඇවිත්.  මේ හැම අවධියක්ම යුද්ධයට හා පශ්චාත් යුද සමයට සම්බන්ධයි. අවසන් යුද්ධයට ගොඩක් කලින්, ජනාධිපති චන්ද්‍රිකා ගේ කාලේ   මට හමුවුණු දෙමල ක්‍රියාකාරීන්ට මම කිව්වේ , චන්ද්‍රික තරමක් ලිබරල්. එයා එක්ක එකට වැඩ කරලා අවබෝධයකට එන්න . devolution එකක් අරගෙන ආයුධ  අත  හරින්න.  ලංකාවේ ආණ්ඩුවට ඕනනම් ඕගොල්ලන්ට ගහල මට්ටු කරන්න පුළුවන්. ඒ ගොල්ල ඒක  දෙපාරක්ම කරලා පෙන්නලා තිබෙනවා කියල. ලොකු විනාශයක් වෙන්නේ එතකොට. ඒ හුඟක් අය  මේක අවඥාවෙන් බැහැර කලා. තමන්ගේ බලය ගැන පුදුම අධි තක්සේරුවකුත් ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය ගැන පුදුම විශ්වාසයකුත් ඔවුන්ට තිබුන. ඔවුන් කිව්වේ එහෙම  කියන්නේ මම ජාතිවාදියෙක් නිසා කියල. මට නිකම්ම ජාතිවාදී ලේබලය වැදුන ඇත්ත කතා කරන්න ගිහිල්ල. දැන් මින් සමහර අය මට කතා  කරන්නේ නැහැ. ඕකම වුණා 87දීත්. මට කිව්වේ සුළු ධනේෂ්වර කියල ඇත්ත කියන්න ගිහිල්ල.

තේනුවරට තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශන වල මාතෘකාව ගන්න වෙලා තිබෙන්න මිලිටරිය හැම වෙලාම දිනපු රටක. හැබැයි ඒ හැම දිනීමකම අනිත් පැත්තේ අන්තවාදය ලොකු උදව්වක් වුණා. අන්තවාදය නැතුව හැමෝම ජනතාව ගැන විශ්වාසය තැබුවානම් මේක වෙන්නෙ  නැහැ.

දැන් මට හිතෙන්නේ මම ඉන්නේ මැදක. මගේ පරණ මිත්‍ර දිලන්ත විතානගේ එක අන්තයක සහ තේනුවර සහෝදරයා තව අන්තයක කියල. නමුත් තේනුටත් මටත් තවම ඒ සොඳුරු සංවාදයේ යෙදෙන්න පුළුවන්. පසුගියදා බොහෝ කාලයකට පසු හමුවුණු වෙලාවේ, රාත්‍රී ආහාරය අරගෙන අපි එලියට බැස්සා මොස්කව් වල වගේ සුපුරුදු  විධිහට පොඩ්ඩක් ඇවිදින්න. ලන්ඩනයේ තරු පිරි අහසක් යට  අප දෙදෙනා කතා කලේ ඒ පිළිබඳව. බොහෝ දේවල් ගලා  ගිහින් තිබෙන්නේ පාලම යටින් අපි නොදැනුවත්වම.
හරියට "දොන් නදිය නිසලව ගලා බසි කියන පොතේ" ශෝලහව් කිව්වා වගේ.

මම තේනුවරට කිව්වේ , මම ඒ දවස්වල වගේම සමහරවිට ඔයාගේ දේශපාලන අදහස්වලට එකඟ නොවෙන්න පුළුවන්. නමුත්  තර්ජනයක් නැතුව,  ඔබේ අදහස ඉදිරිපත් කරන්නට ඔබට ඇති අයිතිය පිළිබඳව මම පෙනී හිටිනවා.

අපි අගෝර මණ්ඩපයේදී   තේනුවරගේ කථාව  අහන්න රැස් වෙනවා අද. (මෙය පවත්වා  අවසානයි.)


 ජයසිරි අලවත්ත මහතාගේ ලිපිය:
http://www.mirrorgirl.lk/art-gallery/art-space/1266-barralism-beautification

වරුණ එජාපෙන්??

ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ එක්තරා සීතල දවසක බ්ලොග් ලිපියක් ලිව්වා
අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තවමත්  වලංගුද කියල අහල?
ඒකට මේ ලින්ක් එකෙන් යන්න.
 http://kolambagamaya.blogspot.co.uk/2013/01/blog-post.html

එතකොට මේ කතාව කලේ වරුණ දීප්ත රාජපක්ෂ. තවමත් උණු උණුවේ ජවිපෙන් ආපු  ගමන්.  දීල ඇරිය අධිරාජ්‍ය වලට. මට නම් ගියේ හිනාවක් විතරයි. මන් ඉතින් ඒත් ඇහුව ඕක ඔය පට්ට ගහපු, පට්ට ගහන කතාවක් නේ. ඕක  මේ එංගලන්තේ අධිරාජයක අවුලක් නැතිව ජිවත් වෙන අපට කිව්වට චන්ද ලැබෙනවද? මොකද ඕක ලංකාවට  හරියන කතාවක්නේ.
දැන් එතකොට ඔය ආරංචිය හරිනම් අර මන් මගේ ලිපිය කිව්වා වගේ අධිරාජ්‍ය විරෝධී කතා කියන්න අවශ්යතාවයක්  නැතුවම එජාපයට එකතු වෙන්න පුළුවන් කිසි බයක් නැතුව. තව දුරටත් අධිරාජ්‍යවාදී බිල්ල පෙන්නලා  මිනිස්සු රවට්ටන්න ඕනෙත් නැහැ..

මන් මේ කියන්නේ අධිරාජ්‍යවාදය කියන එක  නැහැයි කියල නෙමේ හරිද. හැබැයි ඕක ක්‍රියාත්මක වෙන්නේ ඔය චන්ද ගන්න ලංකාවෙ ඉන්න  කට්ටිය වේදිකා දෙදරන්න කෑ ගහල  කියන ආකාරෙන්  නම් නෙමේ.
මේකට තව වචන නාස්ති කරලා වැඩක් නැහැ.
වරුණට අපේ සුභ පැතුම්.



ප්.ලි. : මෙන්න මේ කොමෙන්ට්   කියල හිතුන නිසා මෙතන දානවා, ඇනෝ  කෙනෙකුගේ.
//වරුණ තමන්ගේ තරුණ කාලෙන්, වර්තමාන කාලෙන් විශාල කොටසක් මේ රටේ දුක්විදින මිනිසුන් වෙනුවෙන්, රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් කැපකළ කෙනෙක්. එනිසා මුලින්ම වරුණට මගේ ආචාරය. වරුණලගේ කුලකයේ අය කල කැප කිරීම් සැප කැමති මම වගේ ආත්මාර්ථකාමී ශරීර කූඩු හිමියන්ට ඇත්තෙන්ම පරිකල්පනය කරන්න බැරි සංසිද්දියක්. එනිසා බොහොම ලාබෙට අපිට වරුණ 'රයිට් ටර්න්' එකක් ගත්තා වගේ කතාවක් කියන්න පුළුවන්. එත් ඇත්ත කතාව එකද ? 

මට හිතෙන විදියට විමල්ල, ලාල් කන්තලා (බාගදා )හා අන්තිමේ වරුණ වැනි දීප්තිමත් යහපත් මිනිසුන්ට දක්ෂිණාංශික මඩ ගොහොරු වල නතර වෙන්න බල කරලා තියෙන්නේ 100% දුෂිත, ආත්මාර්ථකාමී වෙච්ච 'මහජනයා' කියන අපි අපිමයි. මේ රටේ 'මහජනයා' බොහොම පැහැදිලිව මේ මිනිස්සුන්ට කියල දීල තියෙනවා 'මහජනයා' කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද කියන එක සහ වරුණල කරන්න ගිය දේශපාලනයට මේ රටේ ඉඩක් නැති බව. 'මහජනයා' ගේ කැමැත්ත ඕනනම් දයාසිරි, හරීන් වගේ දේශපාලන පුයර බබාලා වෙන්න ඕන කියන එකත් 'මහජනයා' අපිට කියලදිල තියෙනවා .

එනිසා මටත් කියන්න තියෙන්නේ වරුණට අපේ සුභ පැතුම් කියාලා තමයි.
//
මම කියන්නේ  වරුණ තම ජිවීතේ කැප කලේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් නම් ඔහොම තීරණයක් ගත්ත නම් ඒ කියන්නේ දැන් මහා ජනය අප්සෙට් නිසා සැප විඳින්න ඕනේ කියන එකනේ. අපි නම් රස්සාවක් කරගෙන සැප විදීනවා. එක සැපක්ද කියන එක ප්‍රශ්නයක්.  ඔය කියන කතාවම නේ තව කෙනෙක් කිවේ මම සිගිරිය වත් බලල නැහැ කයල. කිවේ. ඉතින් දේශපාලනේ නොකර ඉන්නකෝ. මේ රටේ මහා ජනයට වාමාංශික දේශපාලනය එපා වෙලා තියෙන්නේ මොකද කියල තේරෙනවද?
මහජනතාව  කාටවත් කියල  නැහැනේ අනේ අපි වෙනුවෙන් දේශපාලනය කරන්න. අනේ අපිට විප්ලවය කර දෙන්න? අනේ අපි වෙනුවෙන් මැරෙන්න කියල? කොයි "මහා ජනයාද" එහෙම කියල තිබෙන්නේ?  ඔය පක්ෂවල ඉන්න ෆුල් ටයිමර්ස් ල සමහර අය අමාරුවෙන් දරු පවුලුත් ඉඳගෙන දුක් විඳගෙන කරනවා? හැබැයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න එක අත  හැරලා ෆුල් ටයිම් කරලා ඊට පස්සේ අනේ අපොයි මන් කර ගත්ත දෙයක් කියල කියනවා? නිර්ධන පන්තියට දේශපාලනය අරන් යන්න  ඕනෙය කියන පදනම අතර පක්ෂයක් කරන දෙයක් ඕක. කවුරුත් බලෙන් කාටවත් කරන්න කියල කියපු දෙයක් නෙමයි.  තමන්ගෙයි choice එක. ඒක තේරුම් ගන්නේ නැත්නම් ඔය දේශපාලනය  කරන්න එපා. ඔතනින් යන්න. මිනිසුන්ට බනින්න එපා. 
මටත් iphone 5s එකක් තිබෙනවා.  සෝවියට් දේශයේ මිනිසුන්ට ධනවාදී ලෝකයේ තිබිච්ච සමහර බඩු  තිබ්බේ නැති එක ප්‍රශ්නයක් වෙලා තිබුන. ඒ මිනිස්සු රහත් වෙලා නැහැනේ. 
මිනිසුන්ට රහත් වෙන්න කියනවා නම් ඒකට බුද්ධාගම තිබෙනවා. ඔයාලව අවශ්‍ය  නැහැ. 

Monday, 22 September 2014

පෝලන්ත ප්‍රාතිහාර්යය, අයර්ලන්ත ප්‍රශ්නය හා සුන්දර්ජයා ගේ මැජික් ඉකොනොමිය

පෝලන්තයේ ප්‍රාතිහාර්යය ගැන නොයෙකුත් පුවත්පත් වල යනවා ලිපි. පෝලන්තය තමයි දැනට යුරෝපයේ ඉහලම ආර්ථික වර්ධනයක් තියෙන්නේ කියල හැම තැනම කියවෙනවා. සිංහල බ්ලොග් අවකාශයෙත් එහෙම ලිපියක් ගියා  මේ අවුරුද්දේ මුල මේ ලිපිය ලියන්න හිතුනේ පසු ගියදා රුසියානුවන් ඇපැල් සහ අනිකුත් පලතුරු තහනම් කලහම.  මම දැන් රුසියාව සමාජවාදී කියන්නෙවත් ඒ ගොල්ල විතරයි හරි කියල කියන්නවත් නෙමේ මේ හදන්නේ. මුලදී පෝලන්තය හිනා වුනත් රුසියානු ක්‍රියාවට, දැන් ඔවුන්ට දැනිල. ඇපල් විතරක් නෙමේ අනිත් ආහාර ගන්නෙත් නැහැ රුසියාව. වෙළෙඳ යුද්ධයක් මේ යන්නේ. පෝලන්තය පවුම් මිලියන් 670 (යුරෝ වලින් මිලියන් 840) නිෂ්පාදන වසරකට යවනවා රුසියාවට. ඇපල් විතරක් නෙමේ අනිත් බඩුත් ගණන්  අඩුවෙලා තොග වෙළඳ  පොලේ. පෝලන්තයේ අදායමට කෙල වෙන්න පටන් අරන්.. ඊයේ පෙරේද යුරෝපය රුසියාවට සම්බාධක දැමීමට එරෙහිව ඩච් (ඕලන්ද)  ගොවින් තක්කාලි වලින් හේග් නුවර ගහ ගත්ත. ප්‍රංශයේ ගොවිනුත් ඊයේ පෙරේද ඒකම  කළා.
(ස්ට්‍රොබරී එකතු කරන පෝලන්ත යුවතියන්) 

අර කලින් ලිපිය දාපු කෙනාගේ බ්ලොගයේ මම මෙහෙම පැහැදිලි කිරීමක් කලා. පෝලන්තයට හරි යන්නේ ආයෝජකයන් එන නිසා හා ණය ලැබෙන නිසා කියල . එහෙම  ලැබෙන්නේ ඇයි?

අපි හිතමු දැන් අපිට බැංකු ණය දෙන්නේ කොහොමද කියල? දැන් අපට රැකියාවක් නැත්නම් හරි , ස්වයං රැකියාවක් කරනවා නමුත් බැංකුවකට සල්ලි දාන්නේ නැත්නම් හරි අපට බෑන්ක් ස්ටේට්මන්ට් එකක් (මාසයේ ආදායම් වියදම්  විස්තරය) ලැබෙන්නෙත් නැහැ. බැංකුවට අපි හම්බ කරනවා දැන  ගන්න විධිහක් නැහැ. නමුත් තම පඩිය හරි වෙන ගානක් හරි හැම මාසෙම බැංකුවට දානවා නම්, ඉඩමක් හෝ අයිති ගෙයක් තියෙනවනම් (බැංකුව ඒ බව දන්නවනම්) ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් වගේම ණයකුත් ගත හැකි. දැන් අපට නිතරම වගේ ණය ඉල්ලන්න කිය , කිසි දෙයක් අහන්නේ නැතුව පැය භාගෙන් අච්චර දෙන්නම මෙච්චර දෙන්නම් කියල පණිවුඩ ඊමේල් එවනවා  ක්‍රෙඩිට් කාඩ් ආයතන හා බැංකු වලින්. හේතුව අපට මාසික ආදායමක් තියෙනවා. ඒ නිසා පොලිය ගත හැකි. පොලිය දුන්නැත්නම් අපේ ගෙදර හරි ඉඩම හරි ඒ ගොල්ලට අයත් කර ගන්න පුළුවන්.  මේ ආයතන කර ගෙන යන්නේ අපේ පොලියෙන්. හැබැයි අපට ණය අරගෙන ගේ හොඳට හදල, කාරයක් අරගෙන , තව ණය අරගෙන වෙන ගෙයක් හදල නිවාඩුවට යන්න , තව ණය අරගෙන ගෙට එන පාර තාර  දාල හොඳට හදල,  තව ණය අරගෙන පිහිනුම් තටාකයක් හදල අපේ ජිවන තත්වය උසස් කර ගත්ත හැකි. හැබැයි ගොයියෝ පොලිය ගෙවන්න ඕනේ. රස්සාව නැතිවුනොත් ගස් තමයි.

දැන් ගමු පෝලන්තය.
පෝලන්තයේ  මුළු ජනගහනය මිලියන්  38 වගේ වෙන්නේ. ඉන් මිලියන් 1.3 ජිවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. (බලන්න ref 1.). මිලියන් 1.5 විතර ඉන්නේ ජර්මනියේ. (බලන්න ref 2.)
මේ යුරෝපයේ අනිත් රටවල හා ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඉන්න අය හැරුනම. බහුතරයක් මේ පෝලන්ත  ජාතිකයෝ වැඩ කරලා සල්ලි යවනවා පෝලන්තයට. මිට අමතරව ඔවුන් මුලින් තම පවුලම අරන් ඇවිත් පදිංචි වෙනවා වසරකට විතර. ඉන්පසු ළමයින්ට හා වැඩ නොකරන බිරිඳට හෝ මාපියන්ට සුභසාධක ආධාර (Child benefit and other benefits) ලබා ගෙන නැවත ඔවුන්ව මවු රටට යවනවා. එතකොට EU නිතිය අනුව එංගලන්තය , ජර්මනිය හෝ අනිත් රටවල් ඒවා ගෙවන්න ඕනේ.  මෙලෙස අති විශාල ප්‍රමාණයක මුදලක් පෝලන්තයට  යනවා.
අනිත් අදායම් මාර්ගය තමා  පෝලන්තය විසින් රුසියාවට හා අනිකුත් නැගෙන හිර යුරෝපයේ රටවලට යවන පලතුරු, පාන් වර්ග, ඌරු මස්  හා අනිකුත් ආහාර වර්ග. මේ නිසා ප්‍රබල ආදායම් මාර්ග දෙකක් තිබෙනවා පෝලන්තයට. මේ නිසා ණය ලබාදෙන ආයතන වැඩියි. (ලෝක බැංකුව, IMF වැනි) . එතකොට ණය මිලදී ගන්න ආයෝජකයොත් වැඩියි. නය මුදල් ආයෝජනය කරන අයත් වැඩියි. ඒ නිසා අලුත් ගෙවල්, ගොඩනැගිලි හැදෙනවත් එම  නිසා රැකියා මැවෙනවත් වැඩියි.  එමනිසා පෝලන්තයේ ආර්ථිකය වැඩි දියුණු විම  හෙවත් GDP (gross domestic product) එකෙත් වැඩි වීමක් පෙන්නුම් කරනවා.

දැන් බැරි වෙලාවත් රුසියාවේ සම්බාධක මුළු අවුරුද්ද පුරාමත් හා ඊළඟ  අවුරුද්දටත් ගියොත් අර ණය සර්විස් කරන්න හෙවත් , පොලී ගෙවන්න  තියෙන මුදල අඩු වෙනවා.  එතකොට බැංකු ණය දීම නැවතීමත්, ආයෝජකයන් ණය මිලට ගැනීමත් නවතීවි. ආර්ථිකය කඩා වැටෙන්න පුලුවන් . නැත්නම් තව මිනිස්සු ටිකක්  වැඩ කරන්න අනිත් රටවලට යයි. ඇමෙරිකාව මොනවා කිව්වත් පෝලන්තය අන්තිමට රුසියාවට විරුද්ධව යන්නේ නැතිවෙයි. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේද කලා  වගේ අමෙරිකාවෙන් සල්ලි ඉල්ලයි. ඒත් නැති සල්ලි ඇමෙරිකාව කොහෙන් දෙන්නද?
ඇමෙරිකාවේ ණය බොන්ඩ් (bond) වශයෙන් විකුනනවා වගේම අනිත් රටවලුත් එය කරනවා. ලංකාවත් කරනවා. නමුත් bric (බ්‍රසීලය  චීනය, ඉන්දියාව ) රටවල් පුටින් ගේ ප්‍රධානත්වයෙන් ඩොලර් වලින් ගනු දෙනු නොකර තම මුදල් වලින් ගනු දෙනු කිරීම ඇරඹුවා. දැන් දැන් ණය විකිනිමත් ප්‍රශ්නයක් වෙලා. ගොඩක් බැංකු ණය ගන්න මුදල් දෙන්නේ තමන්ට ප්‍රමාණවත් රත්රන් සංචිතයක් නැතුව. දැනට ලෝකයේ වැඩිම රත්රන් සංචිත තියෙන්නේ රුසියාවට, චීනයට හා ස්විට්සර්ලන්තයට.

දැන් අයර්ලන්තය ගමු. පෝලන්තය වගේම කතෝලික රටක් වුනත් අයර්ලන්තේ මිනිස්සු වැඩිපුර ඉන්නෙ  ඇමෙරිකාවේ. ඔවුන් අයර්ලන්තයට මුදල් යවන්නේ නැහැ. අයර්ලන්තයට ස්ථිර ආදායම් හැටියට  එන්නේ යකඩ සුලු  වශයෙන් අපනයනය කිරීමෙන් හා සර්විස් ආර්ථිකයකින්. ඒ කියන්නේ වෙනත් රටවල් සඳහා සේවා සැපයීමෙන්. පහුගිය කාලේ අනිත් රටවල් වල ඇති වුන ප්‍රශ්න නිසා මේ සේවා බිඳ වැටුන. යුරෝපා සංගමය අයර්ලන්තයට ණය දී තිබුන. ඔවුන්ගේ දල ජාතික අදායම (GDP ) එක හුගක් හොඳයි. (පහුගිය හොඳ කාලේ යුරෝ 35000 වගේ වසරකට ) නමුත් රට වැටුන පහුගිය අවුරුදු පහ ඇතුලත. ගත්  ණයවල පොලිය ගෙවන්න අදායම මදි වුනා .  හදාගත්ත ගෙවල් විකුණා ගන්න බැරිවුනා. මෙන්න ප්‍රතිපලය.
http://www.theguardian.com/world/2014/feb/23/ireland-predicted-26000-empty-properties-end-2014

දැන් ආපහු  ණය  දීල අයර්ලන්තය බේරා ගන්න (bail out ) කරන්න හදන්නේ. ජර්මනිය තම ටිකක් හරි ගොඩ ඉන්නේ. නමුත් රුසියන් බාධක දාල  තමන්ටම  කෙලෙවගෙන ඉන්නේ ටිකක්.  ඒ නිසා යුද්ධ දෙක තුනක් කරලා යුධ ආයුධ  ටිකක් විකුණලා ඇමෙරිකාව ගොඩ යනකන්  ටිකක් ඉන්න වෙයි වගේ.

දැන් ටිකක්  කල්පනා කරලා බලන්න ලංකාව ගැන.  චීනය ඉන්දියාව විතරක් නෙමේ ලෝක බැංකුව , IMF වගේ ඕන ණය දෙන රටවල් සහ ආයතන ශ්‍රී ලංකාවට ණය දෙනවා.  ක්‍රෙඩිට් කාඩ් කොම්පැනි වගේ මේ සමහර ණයවල පොලිය වැඩියි.
නමුත් ලංකාව කියන සුවිශේෂී රටේ ඉතා ඉහල ශ්‍රමිකයන් (මෙහිදී පුහුණු /නුපුහුණු දෙගොල්ලම)  ප්‍රමාණයක් අරාබියේ, කොරියාවේන යුරෝපයේ, ඇමෙරිකාවේ රටවල වැඩ කරලා මුදල් යවනවා . පෝලන්ත වරු වගේමයි.  නිමි ඇඳුම් පිට රට යවනවා.
ඊළඟට තේ විශාල ප්‍රමාණයකුත් ,  රබර් හා පොල් සුළු ප්‍රමාණයකුත් රට යවනවා. ලස්සන , පෞරාණික රටක් නිසා සංචාරකයෝ එනවා. රටේ හමුදා UN එකේ සාම  හමුදා වලට ගියාම ඒවටත් ඩොලර් වලින් ගෙවනවා. මැණික් පිරට යවනවා. අයර්ලන්තේ වගේ නෙමෙයි මාර අදායමක් තියෙන රටක්. හැබැයි තවම දළ ජාතික ආදායම අයර්ලන්තේ වගේ 16 ගුණයක් අඩුය. (ඩොලර් 2800, යුරෝ 2100 පමණ ). මේ ආදායමත්  අයර්ලන්තයේ වගේ බොහොමයකට නොමේ. තෝරාගත් කට්ටියකටය.

මේ ලංකාව කියන රට සම්පත් අතින් පොහොසත්. මිනිස් සම්පත අතිනුත් එහෙමයි. ඒ නිසා හැමෝම බය නැහැ  ණය දෙන්න.  මේ ණය අරගෙන ඕන දෙයක් හදන්න පුළුවන්. රටේ අදායම දියුණු කරන්න පුලුවන් . රට ලස්සනට ගොඩ නගන්න පුළුවන්.
හැබැයි අර පොලිය කලට වෙලාවට ගෙවන්න ඕනේ. සුන්දර්ජයාලට කරන්න තියෙන්නේ වෙලාවට පොලිය ගෙවල, හරියට අපි ක්‍රෙඩිට් කාඩ්  , බැංකු ණය default වෙන්න නොදී ගෙවනවා වගේ වැඩේ කරගෙන යන්න.  ඉතින් ඕක මහා ලොකු දෙයක් නම් නෙමේ ඔය උඩ  දාන තරමට.
හැබැයි අපේ ළමයි අහන්නැතුව හොරෙන් වියදම් කරලා , පඩියට වැඩිය පොලිය වැඩි වුනොත් , ගේත් උකස් වෙලා පාරට වැටෙනවා. (එහෙම වැටිච්ච මිනිස්සු ඕන තරම්  යුරෝපයේ ඉන්නවා)

ඉතින් ණය අරගෙන ඒවාට කර්මාන්ත හදල, තව අපනයන වැඩි කරලා මුකුත් කරන්නේ නැතුව වියදම් කර කර හිටියොත් , hummer ,

පොර්ශේ (porsche )  අර ගෙන සොමිය ගත්තොත්, සමහරවිට අර ලැබෙන අදායමට වඩා  පොලිය වැඩි වෙන්න පුළුවන්. ණය default කරන්න වුනොත් , ණය සල්ලි වලට ගන්න ඉන්න  ආයෝජකයෝ මාරු වෙනවා. සුන්දර්ජයාලට වුනත් කරගන්න දෙයක් නැතුව යනවා. එහෙම වුනොත් සල්ලි තියෙන ඈයෝ කොහමත් ස්විට්සර්ලන්තෙට යයි. අනිත් අය  මුහුදට වැටෙයි.
එහෙම නොවේවා කියල අපි ප්‍රර්ථනා කරමු. නැත්නම් ඉතින්  පිටරට ඉන්න අයට තමා නැව්  අරගෙන යන්න වෙන්නේ බේරා  ගන්න අපේ දෙමාපිය නෑදෑයෝ ටික.

(ref 1.) UK http://en.wikipedia.org/wiki/Poles_in_the_United_Kingdom

(ref 2.) http://en.wikipedia.org/wiki/Poles_in_Germany

Tuesday, 16 September 2014

ශිෂ්ටාචාරාත්මක දික්කසාදය සිදුවෙයිද?

(මෙය ලියුවේ 16 වනදාය. ස්කොට්ලන්තය වෙන් වුනේ නැත)
බ්‍රහස්පතින්දා (සැප්තැම්බර්  18) ස්කොට්ලන්තය වෙන්වන්නේද නැත්ද කියා තීරණය කරනු ඇත.
ලන්ඩනයේ ස්කොට්ලන්ත ත්‍රස්තයන් බෝම්බ පුපුරුවාගෙන බස් වල දුම්රිය වල අහිංසක මිනිසුන් මරාගෙන මැරෙන්නේ නැත. ලන්ඩන් නගර වාසින් සරම කැහැපට ගහගෙන  (හෝ කලිසම උඩට නවා  ගෙන) ස්කොට්ලන්ත වාසීන්ගේ ගෙවල් ගිනිතබා ඔවුන් මරා  දමන්නේ නැත.

ස්කොට්ලන්ත වාසින් කතා කරන්නේ ඔවුන්ගේම ආරයකින් යුත් ඉංග්‍රීසි භාෂාවය. එසේ නැත්නම් සෑම ස්කොට්ලන්ත වැසියෙක්ම තම කෙල්ටික් (celtic/gaelic ) ස්කොටිෂ් භාෂාවට අමතරව ඉංග්‍රීසි කතා කරති. ස්කොට්ලන්ත වැසියන්ට එංගලන්තයේ වැඩ කිරීමට බාධාවක් නැත. (ලංකාවේ දෙමල වැසියන්ට දකුණේ වැඩ කිරීමට බාදාවක් නැත)

දකුණු එංගලන්තයේ ස්කොට්ලන්ත ජාතිකයන්ට පහර දෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පෙළපාලි යති. රුපවාහිනී විවාද තබති. පහත ඇත්තේ ස්වාධින ස්කොට්ලන්තයක් සඳහා වන රැළියක ඔවුන්ගේ ජාතික කොඩිය රැගත් කතකි. අනිත් පින්තුරයේ තරුණිය ඉයස් (yes ) ව්‍යාපාරය (ස්කොට්ලන්ත ස්වාධිනත්වයට පක්ෂව) සඳහා පත්‍රිකා බෙදයි. මේ සියල්ල සිදුවන්නේ සාමාකාමිවය.

නමුත් මෙසේ සාමාකාමිව පැවතුනේ පසුගිය අවුරුදු 300 පුරා පමණි. එයට පෙර ඉංග්‍රීසින් හා ස්කොට් වරුන් බොහෝවිට සිටියේ යුද වැදගෙනය. එංගලන්තය වැඩි හරියක්ම සටන් වැද  ගත්තේ ස්කොට්ලන්තය සමගය.පහත ඇත්තේ එසේ යුද වැදුන ස්කොට්ලන්ත විරුවෙකු වන විලියම් වැලස් සේ මේල් ගිබ්සන් රඟපාන "Brave Heart " (නිර්භීත හදවත) චිත්‍රපටියේ ජවනිකාවකි.  
මේ යුදවල දිග ලැයිස්තුවක් මෙහි තිබේ. http://en.wikipedia.org/wiki/List_of_battles_between_Scotland_and_England

The acts of union යනු 1707 දී ස්කොට්ලන්තය හා එංගලන්තය අතර ඇති කරගත් ගිවිසුමයි. එක්සත් රාජධානිය බිහි වුනේ මේ ගිවිසුමෙන් පසුවය. එංගලන්ත හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු එක්සත් වූ අතර එක්සත්  රාජධානියේ පාර්ලිමේන්තුව 1707 ඔක්තෝබරයේ ප්‍රථම වරට රැස්වුනි.
ධනවාදයේ දියුණුව ඇති වන්නට නම් ජාතීන්ගේ බෙදීම් තිබිය නොහැකිය. ප්‍රාග්ධන හිමියාට අවශ්‍ය වන්නේ නොබෙදුන මිනිස් ශ්‍රමයයි. නිෂ්පාදන බලවේග අයත් පන්තියට අවශ්‍ය වන්නේ එසේ නොබෙදුන , බැඳීම් නැති ශ්‍රමිකයන් පිරිසක් හා විශාල වෙළඳ පලකි. එක්සත් රාජධානිය ශ්‍රිඝ්‍රයෙන් ධනවාදයට ගමන් කරන්නේ මින් පසුවයි. 1760 ගණන්වල කාර්මික විප්ලවයට පදනම වැටෙන්නේද මෙලෙස එක්සත්වූ රටවල් දෙකක් වන ජර්මනිය හා එක්සත් රාජධානිය නිසයි.
ඉහත පින්තුරයේ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ එකතුව සඳහා (union ) පෙනී සිටින කාන්තාවන් තිදෙනෙකි. 

දැන් ප්‍රශ්නය ඇත්තේ හොඳට එකට සිටි මේ දෙගොල්ල ගෙන් ස්කොට්ලන්තයට වෙන් වන්නට අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි?
මගේ යහළුවකු වන ස්කොට් වැසියෙකු කීවේ මෙසේයි. 
"අපිට සිරියාවට ගහන්න ඕනේ නැහැ. අපිට ඉරාකයට ගහන්න ඕනේ නැහැ. අපේ තෙල් වල සල්ලි අපට ඕනේ. එංගලන්තයේ දාපු කාමර බදු නිතිය (Bedroom tax ) අපට ගෙවන්න ඕනේ නැහැ. (ඔබ  සමාජ සුභ සාධක මුදල් ලබා ජිවත් වෙන ආණ්ඩුවේ නිවසක ජිවත් වෙන්නේ නම් හා ඔබේ වැඩිපුර කාමරයක් ඇත්නම් එයට බද්දක් ගෙවිය යුතු වේ- මෙය අලුතින් පනවන් ලද්දකි.). අපට රුසියාව සමග හොඳින් ඉන්නත් , යුරෝපයට ඇතුළුවී හොඳින් ඉන්නත් ඕනේ. අපට සමාජවාදය ඕනේ නම් ඒකට  ඉංග්‍රීසින් ගෙන් අහන්න ඕනේ නැහැ. "

බැලුවහම දෙපැත්තම හරි වගේ. හැබැයි එක දෙයක් කිය යුතුයි. දැන් කොච්චර ශිලචාරව වාද කලත් , ස්වාධිනත්වය සඳහා වන චන්දය පැරදුන හොත්  නිදහස සඳහා පෙළපාලි ගිය දහස්  ගානක් ඒක අත අරින්න සුදානම් නැහැ. වෙන විධිහක (ආයුධ නැතුව  හෝ ඇතිව ) කැරැල්ලක් , උද්ඝෝෂණයක් එන්න පුළුවන් කම තිබෙනවා. එසේම ස්කොට්ලන්තය දිනුවොත් , එංගලන්ත පැත්තෙන් ආයුධ සහිත දේශ සිමාවක් පනවන බව කියනවා. එහෙම වුනොත් එංගලන්තය ආයුධ යවමින් ස්කොට්ලන්තයේ නිරවුල් භාවය නැති කරාවි. 
අවුරදු 300 ක සාමය හා ශිෂ්ටාචාරත්මක දික්කසාදය වෙනුවට ...ලේ හලන යුද්ධයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.  

ධනවාදයේ වුවමනාවට නිර්මාණය කල වෙළඳපල ඔවුන්ම විනාශ කර ගන්නේ ඇයි? 
නැගී එන එංගලන්ත අධිරාජ්‍යවාදයට 1707 ගිවිසුමෙන් තවත් වෙළඳපලක් ලැබුණි.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කාර්මික විප්ලය සමගින්  ලොව පුර පැතිර ගියේය. 
එම අධිරාජ්‍යය  බිදී වැටුනු  අතර දැන් එක්සත් රාජධානියද බිඳ වැටෙමින්  වඩා  බලවත් යුරෝපා සංගමය බිහි වෙමින් පවතී. මාක්ස් පැවසුයේ එයයි.
යුරෝපා සංගමයට විරුද්ධ නයිජල් ෆාරාජ් ගේ පක්ෂය එංගලන්තයේ සිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. නමුත් එංගලන්තයට එසේ ඉවත්ව යා  නොහැක. ලෝක ධනවාදය එයට ඉඩ නොදෙනු ඇත.


පසු වදන: චීන හා  ඉන්දියන් අධිරාජ්‍යවාදීන් තම වෙළඳපොල  සඳහා අනිත් රටවල් වලට ආයුධ සපයා ඕනෑම ත්‍රස්තවාදී හෝ වේවා නිදහස් හෝ වේවා ව්‍යාපාරයක් මර්දනය කරන්නට ආධාර කරයි. විහිද යන ධනවාදයට අවශ්‍ය ජාතිවාදී බෙදීම් නොව ශක්තිමත් ඒකාධිකාරී රජයක් හා නොබෙදුණු ශ්‍රමිකයන් රැලකි. 




Wednesday, 10 September 2014

මාක්ස් ඇත්තටම ආගම් අබිං කියා කීවද?


කාල් මාක්ස් ඇත්තටම කිවේ නෙමේ , ඇත්තටම අදහස් කලේ මොකක්ද කියන එකයි මෙතන වැදගත්.
මාක්ස් මේ ගැන සඳහන් කලේ "ක්‍රිටික් ඔෆ් හෙගල්ස් ෆිලොසොපි ඔෆ් රයිට් " -(ක්‍රි ව 1843)"කියන පොතේ.  ඉංග්‍රීසියෙන් කියවන්න අවශ්‍යනම් පහත යොමුවට යන්න.
http://www.marxists.org/archive/marx/works/download/Marx_Critique_of_Hegels_Philosophy_of_Right.pdf
මාක්ස් හේගල්ගේ දක්ෂිණාංශික දර්ශනවාදී නැඹුරුව විවේචනය කරමින් ලියු පොත් පිංචේ මුල හරියේ එන සඳහනක් තමා  මේක.

මිනිසුන් -පතල් කම්කරුවන්, ඇමෙරිකාවේ වහලුන් , ප්‍රවේනි දාස ගොවින් දරුණු තත්ව මත වැඩ කරලා යන්තම් පඩියක්  අරගෙන නොමැරී මැරී ජිවත් වෙන කොට ඔවුන්ට තිබුන එකම සහනය පල්ලියට යාම. පල්ලියේ කැරොල් ගායනා අදත් වහලුන්ගෙන් පැවත එන ඇමෙරිකන් කළු ජනයා  අතර ජනප්‍රියයි. දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුලා  කලා . කඩා  වඩා ගත්තා. කන්න නැති වුනත් සල්ලි දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියලනේ  කීවේ. " මාක්ස් කිවේ මිනිස්සු අබිං ගන්නේ මත්  වෙලා ප්‍රශ්න අමතක කරන්න . මාක්ස් කීවේ  ආගම මිනිස්සුන්ට සැබෑ  ප්‍රශ්න (ධනපති පන්තියේ අකාරුණික පීඩනය) අමතක කරවල ස්වර්ගයක් පෙන්නලා මත් කරනවා. හරියට අබිං වගේ. " ඉතින් ඒක  වැරදි කතාවක් හැටියට මම නම්  දකින්නේ නැහැ.

මෙන්න ඒ කොටස:
"Religious suffering is, at one and the same time, the expression of real suffering and a protest against real suffering. Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people.

The abolition of religion as the illusory happiness of the people is the demand for their real happiness.
To call on them to give up their illusions about their condition is to call on them to give up a condition that requires illusions. The criticism of religion is, therefore, in embryo, the criticism of that vale of tears of which religion is the halo."

suffering කියන්නේ දුක නම් සැබෑ දුක පෙන්වන්නේ සහ සබැ දුකට එරෙහිව විරෝධය දක්වන්නේ ආගම මගින්. ආගම යනු පීඩිත බවට පත් වුනු සත්වයාගේ සුසුම,  (සැබෑ) හදවත් වලින් තොර ලෝකයේ හදවතයි, (පිරිසිදු)  ආත්මයන්  ගෙන් තොර ලොවක  (මෙහි ඇත්තේ තත්වයන් conditions යන වචනයයි) ආත්මයයි. එය මිනිසුන්ගේ (මිනිසුන් මත්  කරවා වේදනාව අමතක කරවන ) මත්ද්‍රව්‍යයයි.  (මෙහිදී අබිං)

මිනිසුන්ගේ සැබෑ සතුට ලබා ගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ආගම නැති කිරීම වන්නේ එයින්  මිනිසුන් ආගම මගින් ලබා ගන්නා මායාකාරී සතුට නැති කර දමන නිසයි.

අපි මිනිසුන්ගෙන් ඉල්ලුවොත් ඔබේ මායාකාරී බැඳි  බිඳ දමන්න කියා, ඉන් අදහස් වන්නේ එම මායාකාරී සතුට ගෙනේ දෙන තත්වයන් (ආගම)  අත් හැර දැමීමයි.  අපි  ආගම විවේචනය කරන්නේ මුලික වශයෙන් (දුක්ඛිතයන්ගේ ) ඒ කඳුළු ගංගාවේ (මෙහිදී වේලය හෝ නිම්නය යන අරුතද ගත හැක. ) රැස්  වළල්ල (halo) ආගම නිසයි.

මාක්ස් අබිං  - පාවිච්චි කර ඇති හේතුව කුමක්ද? අබිං කියන්නේ ඒ දවස් වල රෝහල් වල වේදනාව තුරන් කිරීමට පාවිච්චි කල මත්  ද්‍රව්‍යයක්.  එයම මිනිසුන් මත්  වීමටත් පාවිච්චි කලා චීනය වගේ රටවල. එතකොට මාක්ස් ඇත්තටම ඒ දවස් වල එංගලන්තයේ හා යුරෝපයේ පතල් වල කම්හල් වල වැඩ කල මිනිසුන් හා ඔවුන්ගේ දුක් පීඩා  දැක ඔවුන්ට අනුකම්පා කර  ලියු දෙයක් මේක. ඒ මිනිසුන් තම වේදනාව ඉදිරියේ ලැබෙන ස්වර්ගයක් ගැන හිතා තාවකාලිකව මැඩ  ගන්නවා. පල්ලියට ගිහින් සුළු නිදහසක් හරි භුක්ති විඳිනවා. ධනපතියන් විසිකරන මස් කට්ටක් ක්‍රිස්මස් දවසට හම්බ වෙනවා. ඕක තමා  මාක්ස් කිවේ.

දැන් මේක ඇත්තටම මාක්ස් කියාපු දෙයක්ද? නැත්නම් ඔහු උපුටා ගත්තද? ඉතිහාසඥයන් මේ පිළිබඳව සැක පහල කරනවා. මොකද මෙහි "This opium you feed your people"  කොටස මුලින්ම පලවෙලා තිබෙන්නේ මාර්කස් දේ සාදේ (Marquis de Sade) නමැති ප්‍රංශ වංශාධිපතියෙකු හා විප්ලවීය දේශපාලකයෙකු හා ලේඛකයෙකු ලියු "ජුලියට් ගේ ඉතිහාසය "L'Histoire de Juliette " (http://en.wikipedia.org/wiki/Opium_of_the_people) නමැති පොතේ. පොත පලවෙලා තිබෙන්නේ 1797. මාක්ස් වගේ පොත් හුඟක් කියවපු දර්ශනවාදියෙකුට මේ පොත මිස් වෙන්න විදියක් නැහැ. එකම දේ මේ පොත ටිකක් දරුණු පොතක්. සදේ කියන්නේ හුඟක් නිදහස් මිනිහෙක්. ඒ දවස්වල ලිංගික වශයෙන් නිදහස නැති කාලෙක  ඔහු ආගම එපා, නීති එපා , අද සතුටෙන් ජීවත් වෙන්න කියා කිවේ. මෙහි එන ජූලියට් ඒ වගේ හැමෝම සමග රති රමණය කල නිදහසේ ජිවත්  වූ ස්ත්‍රියක්. හුඟක් වෙලාවට මාක්ස් ඒ ආශ්‍රය (reference ) දුන්නේ නැත්තේ ඒ නිසා වෙන්නත් පුළුවන්. 
සදේ කියන්නේ මෙහෙම.: 
ජුලියට් ෆෙර්ඩිනන්ඩ් රජුට මෙහෙම කියනවා.
ඔබ නුවනැත්තන්ගේ ඇසට බයයි ෆෙර්දිනන්ඩ් , ඒ නිසයි ඔබ මෝහය පැතිරීම උනන්දු කරන්නේ. ඔබේ මිනිසුන්ට දෙන මේ අබිං මගින් ඔවුන් මත්  වුණාම ඔබ ඔවුන්ට දෙන දැඩි වේදනාවන් ඔවුන්ට දැනෙන්නේ  නැහැ.  ඒ  නිසා තමා උගත් මිනිස්සු ඔබේ රාජ්‍යයේ (පාලනයේ) දක්නට නැත්තේ.  ඉගෙනීමට හා දැනීමට ලැබිය යුතු ප්‍රශංශා සත්කාර ලැබෙන්නේ නැති නිසා නුවණැති බවෙන් ලාභයක් නැහැ. ඒ නිසා කවුරුත් ප්‍රඥාව හොයන්නේ නැහැ.


You fear the powerful eye of genius, that is why you encourage ignorance. This opium you feed your people, so that, drugged, they do not feel their hurts, inflicted by you. And that is why where you reign no establishments are to be found giving great men to the homeland; the rewards due knowledge are unknown here, and as there is neither honor nor profit in being wise, nobody seeks after wisdom.


ප.ලි මට මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුනේ මාතලන්ගේ වෙබ් අඩවියේ ගිය සාකච්චාවක් නිසා.  මුස්ලිම් ආක්‍රමණයක් නැති බව සංඛ්‍යා ලේඛන සහිතව චානුක වත්තේගම ලියු ලිපියක මාත්  සම්බන්දවූ සංවාදයකදී මාක්ස් ආගම අබිං කියූ බව කෙනෙක් තර්කයක් හැටියට භාවිතා කලා.

Thursday, 4 September 2014

පරාජිත, ඒකාකාරි, සුන්දර - ඔබ නැතුව ඔබ එක්ක

අගෝරාවෙන් චිත්‍රපටියක් පෙන්වන්න ලෑස්ති වෙනවා. බැලින්නම් චැනල් 4 එකේ පෙන්නපු "ඔබ නැතුව ඔබ එක්ක " කියන ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටිය.


ප්‍රසන්න විතානගේ කියන්නේ කලාත්මක චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්ෂණය කල ප්‍රවීන සිනමාකරුවෙක්.  හුඟක් යුරෝපිය චිත්‍රපටි උළෙලවල ඔහු සම්මාන ලබාගෙන තිබෙනවා. ඉතින් මන් මේ කරන්නේ සිනමා විචාරයක්ම නොවුනත් පරිස්සමින් කියන දේ කියන්න වෙනවා.
චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන්නේ ෆියෝදෝර් දොස්ටයෙව්ස්කි ගේ "මුදු ප්‍රාණියා  හෝ නිහඬ ඇය  " (The gentle creature or the meek one") රුසියානු භාෂාවෙන් ක්‍රොත්කයා කියන කෙටි කතාව. ඉංග්‍රීසි පොත මෙතැනින් බාගන්න පුළුවන්. http://www2.hn.psu.edu/faculty/jmanis/dostoevs/gentlesp.pdf

මෙහිදී ප්‍රසන්න විතානගේ මෙම කතාව වෙනස් කරනවා ලංකාවේ පැවතුන සිවිල් යුද්ධය පාදක කරගෙන.
එකේ වරදකුත් නැහැ. නමුත් මටනම් දොස්ටයෙව්ස්කි ගේ කෙටි කතාව කියවනවිට ඇතිවුන හැඟීම් මාලාව  මේ චිත්‍රපටිය බැලුවට එන්නේ නැහැ. දොස්ටයෙව්ස්කි දර්ශනවාදියෙක්. ඔහුගේ Notes from Underground කියන නවකතාව  existentialist කියල තමා කියන්නේ. ඒකෙන් කියන්නේ දර්ශනවාදී චින්තන ක්‍රියාවලිය ඇරඹෙන්නේ සිතන මිනිසෙකු  ගෙන්ම  විතරක් නෙමේ,  රඟන, හැඟීම් සහිත ජීවත්වෙන පුද්ගලික මනුෂ්‍යයෙකුගෙන්  කියල.  http://en.wikipedia.org/wiki/Existentialism

මේ කතාවත් ඒ හා සමානයි කියල කිව්ව හැකි. මීට අමතරව දොස්ටයෙව්ස්කි, ගොගොල් යන සම්භාවනීය රුසියානු ගත්කරුවන්ගේ නිර්මාණ එවකට පැවති  රුසියානු සමාජය විශ්ලේෂණයකට බඳුන් කලා . මිනිස් සම්බන්ධතාවන්, සමාජ සම්බන්ධතාවන්, සාර් පාලනය ප්‍රබල කතිකාවකට බඳුන් කලා. කොටින්ම පසුව රුසියාවේ සිදුවුණ සමාජ විප්ලව වලට (1905, 1917) මේ නිර්මාණ බල පෑව කියලත් කිව්ව හැකි.
ඉතින් මේ කතාව කියෙව්වොත් ඒක පරාජිත ප්‍රේමවන්තයෙකුගේ  කතාවක්ම නෙමේ. මේ කතාවේ එවකට තිබූ  රුසියානු සමාජයේ කෘර බව, මිනිස් සම්බන්ධතා  වල සංකීරණ කම , දරිද්‍රතාවය , සැඟවුණු ප්‍රේමය හා ඒ හා බැඳුනු ලිංගික ප්‍රශ්නත් කතා වෙනවා. (මට හිතෙන විධිහට) .

ප්‍රසන්නට මේ සිනමා කතාව ඒ විධිහටම ගෙන යන්න ඕනේ නැහැ තමා. නමුත් මූලික කතාව පාදක කරගත්තට යුද සමය හා පශ්චාත් යුද සමය හරියට ග්‍රහණය කරලා නැහැ.  ඒ වගේම දොස්ටයෙව්ස්කි, කතා නායකයා හා හුසාර් වරයෙකු අතර , කතා නායකයා මග හැරිය  නොකළ ද්වන්ධ සටන තදබල ලෙස ඉදිරිපත් කල ආකාරයට , ප්‍රසන්න මේ  කතා නායකයාගේ  හමුදා යාලුව කල වරද (දෙමල තරුණියක්  දුෂණය කිරීම)  හා ඔහු (කථා නායකයා) එය සැඟවූ බව එතරම් ප්‍රබල අන්දමින් ඉදිරිපත් කරලත් නැහැ. (මම කියන්නේ මේ සිනමා නිර්මාණයට සාපේක්ෂව).

දැන් අපි එයාර් බස් වල (ශ්‍රී ලන්කන් , එමිරේට්ස්  ඔය කොයිකෙත් ) යන කොට චිත්‍රපටි බලන්න පුළුවන්නේ. ඒ වල දාන සිංහල චිත්‍රපටි හුඟක් බාල පන්නයේ කොමඩි නේ. අර 70 දශකයේ විජය, ගාමිණී , මාලිනි ගස් වටේ දිව්ව විධිහටම (ඒක ඒ කාලෙට කමක් නැහැ) කොහේ හරි සිතල තියන තණකොළ පළාතක නටන ඒවයි  මෝඩ ජෝක්ස් නුයි තියෙන්නේ.  ඒ තත්වයෙන් මිදෙන්න ධර්මසිරි බණ්ඩාරනායක ල වගේ අධ්‍යක්ෂකවරු (හංස විලක් හැර ) හදපු චිත්‍රපටි වල කිසියම් ඒකාකාරී බවක් රැව් දෙනවා. ඒ ගතිය මේ චිත්‍රපටියෙත් තිබෙනවා. නිද්‍රාශීලි උඩරට නගරයක තමා  කතාව යන්නේ.  ඇත්තටම  එහෙම පුංචි නගර තිබෙනවද?  පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ කුඩා නගරයක පවා චංචල හා කලබලකාරී බවක් රැඳී තිබෙන බවයි මම දැක්කේ. මේ දීර්ඝ ඒකාකාරී ගතිය සමහර වෙලාවට කරදරයක්. චිත්‍රපටියේ මුල හරියේ කතා නායක සරත්සිරි වඳින්නේ ගණ  දෙවි පිළිරුවකට. ඊට පස්සේ එයා  වඳින්නේ බුදු පිළිමයකට. වෙනස මොකක්ද කියල වැටහෙන්නේ නැහැ. අනික කතා නායිකාව සෙල්වී  පල්ලියට යන දර්ශනය හා ඊට පසු සංවාදය චිත්‍රපටියට කෘතිමව ඔබ්බවල වගේ ගතියක් දැනෙනවා.

මේකේ පරාජිත බව තමා කතා නායිකාව සියදිවි නසා ගැනීම . වෙනත් ජාතියකගේ පිඩාවට පත්වුණු සුළු ජාතියක් ඉන් මිදෙන්න සොයා ගත්තේ සිය දිවි නසාගැනීම මගින් මහා ජාතියට දඬුවම් කිරීමේ ක්‍රමයක්‌ . එය දරුණු, පරාදීන අනුන් විනාශ කරගෙන තමන් විනාශවෙන , සමාජීය වශයෙන් නොගැලපෙන විධි ක්‍රමයක්. සමජවාදින්වත් ධනවාදින්වත් වත් ඊට වඩා  අගය කරන්නේ ජිවත් වීම. ජිවත්වි සටනට මුහුණ දෙන එක. ජිවත්වි අරගලයකට නායකත්වය දෙන එක.
කතා නායිකාවට සිය දිවි නසා ගන්නවට වඩා එහා යන්න තිබ්බා. ඒ යන පාර ප්‍රසන්නට හොයල දෙන්න තිබ්බ. එතනින් දොස්ටයෙව්ස්කි  ගේ මාවතට , දොස්ටයෙව්ස්කි  ගේ අවසානයට වඩා වෙනත් අවසානයක් ගන්න තිබ්බා .  මේකේ ලෙනින් කල පැහැදිලි කිරිමකිදී ,  අපට දකින්න පුළුවන් ගොගොල් ගෙ, දොස්තයෙව්ස්කි ගේ , ටෝල්ස්ටෝයි ගේ පරාජිත, රුසියානු සමාජයේ ඛේදාන්ත වලට , ලෙනින් ප්‍රති උත්තරයක් දෙනවා. අරගල කරපන්. ජිවිතයෙන් පලා  යන්න එපා. මේ දේ මේ විධිහට ලැබිල තියෙන්නේ අපි නිහඬව පරාජය බාර  අරගෙන බැරි වුණාම ප්‍රශ්නයෙන් පලා  යන නිසා. ගෝර්කි (අම්මා- පාවෙල් ) වෙනස් කරලා ලිව්වේ ඒක. ඔස්ත්රෝව්ස්කි (- කොර්චාගින් -වානේ පන්නරය ලැබූ හැටි)   වෙනස් කරල ලිව්වේ ඒක.

ඒ කෙසේ වෙතත් සුන්දර , පරාජිත ආදරයක් මේ සිනමා කෘතියේ ඉස්මතු කරනවා. තරමක් දුරට බ්‍රොන්ටෙගේ වදරින් හයිට්ස් තරම්ම නොවුනත් (හිත්ක්ලිෆ් ) සුන්දර ආදරයක් වෙනුවෙන් හිත සසල කර ගත් අනාථවූ  මිනිසෙකුත්  එවැනිම අනාතවූ සුන්දර , අහිංසක යුවතියකගේත් ආදරයක ඛේදාන්තයක් චිත්‍රපටිය පුරාම දිව යනවා.  එය හදවතට කාවදින ආකාරයට ඉදිරිපත් කරන්න දොස්තයෙව්ස්කි වගේම ප්‍රසන්නත් දක්ෂ වෙනවා.
චිත්‍රපටියේ ඉවර වෙන්නේ හදවත වේදනාවෙන් බිඳින  මේ වදන් ටිකෙන්.
"මම ඔයාගේ ආදරයට බය වුනා. ඔයාට ඕන විධිහේ නෝනා කෙනෙක් වෙන්න බැරි වෙයි කියල මට හිතුන. ඔයාට බාගෙට ආදරේ කරන්න මට බැහැ. මට ඕනෙ ඔයාට මුළු හදවතින්ම ආදරේ කරන්න."
"ඇයි ඔයා  මට මෙහෙම කලේ. ඔය තව එක පාරක්‌  හැරිලා බැලුව නම්........ ".


Tuesday, 2 September 2014

රත්න ශ්‍රී ගේ සම්මුඛ සාකච්චාව

 රත්න ශ්‍රී  ගේ සම්මුඛ සාකච්චාව


Rathna Shri's Video Link

මේ ගැන පසුව විස්තරයක් ලියන්න බලා  පොරොත්තු වෙනවා මම.
මෙහි අවසන් කොටස මිට කලින් ලිපියක දාල තිබෙනවා .

අගෝරාවට හෙළි කල රත්න ශ්‍රි ගේ විරහ ගීතය :

http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post_19.html