Tuesday 30 November 2021

වොල්තම්ස්ටෝ පොම්පාගාරය ට ගමනක්


ලිවැලි ප්‍රදේශය සහ ලී නදිය 

සාමාන්‍යයෙන් සති අන්තයේ කිලෝමීටර දහයක් දොළහක්  කොහේ හරි ළඟ ලස්සන තැනක ඇවිදීමට යාම අපේ සිරිතය.  ඉතින් අපි ඉස්සර කොල්ලා, කෙල්ල කාලයේ නිතර ඇවිද්ද  ලේටන් පැත්තේ ලී වැලි පාක් එකට ගියෙමු. එහි තවමත් බිල් සහ නුරායි නමින් යුත් තුර්කි සම්භවයක් ඇති අපේ යහළු පවුලක් වෙසෙති. ඔවුන්ද හමුවීම අපේ බලාපොරොත්තුව විය. ඉතින් ඔය වටේ පිටේ ඇවිදිං ගමන් බිල් ගේ ගෙවල් පැත්තේ තිබු පුංචි කෞතුකාගාරය කටත් ගියෙමු. මම සාමන්‍යයෙන් මෙවැනි තැන්වලට යාමට කැමතිය. එම පොම්පාගාරය පිහිටුවා තිබෙන්නේ 1896 වැනි වසරකය. නගරයේ මෙමෙ පෙදෙසේ අපද්‍රව්‍ය  සහිත ජලය එක් රැස් කර පිරිසිදු කරන තැනකට යැවීමට මෙය පිහිටුවා තිබේ. ඒ සඳහා භාවිතා කල ජල පොම්ප යනාදිය මෙමෙ කෞතුකාගාරයේ එක් රැස් කර ඇත.

මා මෙවැනි තැන් නැරඹීමට යන්නේ මේ පැරණි යන්ත්‍ර නැරඹීමට පමණක් නොවේ. මේ යන්ත්‍ර බිහිකළ ඉංජිනේරුවන් පමණක් නොව එම ස්ථාන වල දිවා රෑ රැකියා කළ සේවක සේවිකාවන්ට ගෞරවයක්ද ලෙසටය. මේ මිනිසුන් නැත්නම් අපි අද නගරවල ගෙවන පහසු ජිවිත මිට වඩා අපහසු වීමට ඉඩ තිබුණි. කුණු , අපද්‍රව්‍ය ඉවත් කිරීම, අපවිත්‍ර ජලය ක්‍රමානුකුලව ඉවත් කිරීම හරි හැටි කෙරෙන්නේ නැත්නම් නාගරික ජීවිතයඉතා අපහසු එකක් වේ. එතනට ඒමට මේ සියල්ලන්ගේම උත්සාහයන් වැදගත් බව අපට මතක කළ හැකිද?
පරණ බැම්ෆෝඩ්මෝටරයක් , 1944 
තනි සිලින්ඩරයේ මාෂල් වාෂ්ප එන්ජිම 



මුල් කාලයේ බයිසිකලයක් 



එන්ජිමේ ලෝඩ් එක පවත්වාගෙන යන ගවනරය (the Governor)


වාෂ්ප බලයෙන්  වැඩ කරන මුල් කාලයේ  පොම්පයක් 

එයා කොම්ප්‍රෙසර් 
බීම බෝතල් වලට කාබන්ඩයොක්සයිඩ් වායුව පුරවන යන්ත්‍රයක්  

මුල් කාලයේ වැකුම් ක්ලිනරයක් 





මාෂල් ලොකොමොටිව් වර්ගයේ බෝයිලරයක් 











Friday 26 November 2021

බ්‍රිතාන්‍ය පුස්තකාලයට තවත් ගමනක්


පහුගිය කෝවිඩ් වසංගතේ  උග්‍ර  කාලේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිහින් හිරවෙලා රාවණා හෙම හම්බ වෙලා වෙච්ච් ඇබැද්දිය කට්ටියට මතක ඇති. ඒකෙ දෙවෙනි ලිපිය මේ යොමුවේ. ඊට පස්සේ උනේ මේකයි.   ඔය කට්ටකාඩු වේ ලොකු මලය හොයන පුස්කොල පොත කෞතුකාගාරයේ නැහැලු. ඒ ගොල්ලෝ කීව  බ්‍රිතාන්‍ය පුස්තකාලයට යන්න කියල.  ඒක මේ කෝවිඩ් අස්සේ ලෙහෙසි වුනේ නැහැ. ඔන්ලයින් ගිහින් වෙලාවක් දාගෙන  විතරයි යන්න  දෙන්නේ. ඒවත් ඉතින්  මාස ගානකට බුක් වෙලා ඉවරයි.  ඉතින් මමයි පොඩි දුවයි ඉඳල ඉඳල  යන්න අපොයින්ට්මන්ට් එකක්  දාගත්ත. මෙන්න මෙයාල කියනවා රීඩර්ස් කාඩ් එක නැතිව යන්න බැහැ කියල. (ඉස්සර පුළුවන්) ඒ ගමන තව මාස දෙකක් බලන් ඉඳල වෙලාවක් දාගෙන  අපි දෙන්න ගියා. 



කට්ටකාඩුවේ ඉල්ලන පුස්කොල පොත හෙවත් ලේඛනය දකුණු ආසියාව සම්බන්ධ අංශයේ  තියනවා කියල ඊමේල් හත අටක් එහෙට මෙහෙට යවල හොයා ගත්ත. ඒත් රීඩර් කාඩ් එක ගත්ත දවසේ හම්බ වුනේ නැහැ ඒක. ඊට පස්සේ  ආයෙත් දවසක් දාගත්ත සතියේ දවසක. ඒකට නිවාඩුවකුත් ගන්න වුනා.

ඔය අතරේ අර ලන්ඩන් හෙම වැඩ ඉඳල ගිය "පොඩි සාදුගේ ලියමන " බ්ලොග් අඩවිය කරන අපේ ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවන්ගේ වැඩකුත් වැටුන.  ජී. සිරිවිමල හාමුදුරුවන්ගේ වැඩේ තමා පුස්කොල පොත් දෙකක පිටපත් ගැනීම. ඒකට ලංකාවේ ඉඳන් මේලක් දැම්මම රුපියල් ලක්ෂ ගණනක් යනවා කියල. ඩොලර් හා පවුම් නුත් නැති එකේ  ලන්ඩන් වලින් වැඩේ කරගන්න පුලුවන්ද කියල ඇහුව. දැන් වැඩ දෙකක්ම වැටුන. 

කට්ටකාඩුවේ ගේ ලේඛනය ගැන මට  කීවේ මම හිතන්නේ මම   පෙමස් ගුණසිංහ මහත්මයා ලියන උග්ගල් අලුත්නුවර  දේවාලය කතාවේ ඒ දේවාලේ හදපු රජතුමා ගැන මට  කුතුහලයක් තියනවා කියල දැනගෙන වෙන්න ඕනේ. පුරාණ  කතාවට අනුව ඒක එතනට ඉන්දියාවෙන් ආපුබ්‍රාහ්මණයෝ හැදුව කියලයි  කියන්නේ. ප්‍රාදේශීය  රජ කෙනෙක් එතනට ඇවිත් තියනවා වන්දනාමාන කරන්න සහ උදව් උපකාර කරන්න. මායාදුන්නේ රජතුමාගේ පුතෙක් විය හැකිය කියල මතයක් මට තිබුනා. ඒ විස්තර තිබිය හැකියි කියන මර්ලේ ඛනයේ නම "අලුත්නුවර දේවාලය කරවීම". 

සිරිවිමල හාමුදුරුවන්ට ඕන වෙලා තිබුනේ "ලෝක සන්ධානය  ස්වර්ග කතාව" සහ "ලෝක සන්ධානය  ගිහි විනය" කියන පුස්කොල පොත් දෙක. ඒ පොත් දෙක එයාගේ ආචාර්යවරියක්  කරන පර්යේෂණ වැඩකට.   ඉනෙස් ට නිවාඩු නිසා එයත් ආවා පුස්තකාලයට යන්න. හැබැයි කියැවීම් ශාලාවට යන්න පුළුවන් මට විතරයි. එයා ඒකෙ තියන ප්‍රදර්ශන බලන්න ගියා. 

අලුත්නුවර දේවාලය කරවීම එක මම මුලින්ම ගත්තේ පිටු විසි හතක පොඩි ලේඛනයක් නිසා. බලනකොට මම මුලින්ම කෞතුකාගාරයේ  හෙව්ව එක හරි කියල තේරුනේ ඒක මෙතනට ගෙනත්  තියෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් බව පෙනෙන නිසා. (මුල් පින්තූරය ). මම මේක අරගෙන කියවනකොට එතන වැඩ කරන ප්‍රංශ යුවතියක් සහ බ්‍රිතාන්‍ය තරුණයෙක් ඇස් උලුප්පගෙන බලන් හිටිය. මම මට ඕන විස්තර ටික කෝකටත් කියල ලියාගෙන ඒක ස්කෑන් කරගන්න ඇහුවා. දෙන්නම මගෙන් අහනව ඔයාට ඔය පරණ භාෂාව කියවන්න පුලුවන්ද කියල. පස්සේ මම පැහැදිලි කළා සිංහල කියන්නේ තවමත් භාවිතයේ තියන භාෂාවක්. මේවා මිසරයෙන් හමුවෙව්ච පැපිරස් වගේ නෙමේ කියල. 

මේකේ විස්තර කියවන්න වටිනවා. දඹදෙණියේ පණ්ඩිත  පරාක්‍රමබාහු රජු, එයාගේ දෙවෙනි පුතා මහා බුවනෙකබාහු  රජු ගැන , කොටගොඩ තානායමක් ගැන කියවෙනවා. රාජසිංහ රජු යුධයකින් පැරදී  යනකොට ජයවීර කියල රජකෙනෙක් නවාතැන් දුන් බවක් කියවෙනවා. මේ කියන  දේවාලය එතැන හදපු  එකක් කියල වගේ පෙනෙන්නේ. විමලධර්මසූරිය රජු දේවාලයට දුන් තෑගී භෝග ගැන සඳහන් වෙනවා. පුස්කොළ පොත  ලියල තියෙන්නේ  1518. අවුරුදු  පන්සීයක් විතර පරණ ලියවිල්ලක්.  මේකේ මයික්‍රොෆිල්ම් එකක් තියනව කියල ඒක ගෙනත් දෙන්න පැය තුනක් යනවා කීව. 

මම කලේ ඒ අතරේ ගුරුගොඩ හාමුදුරුවෝ කියපු පුස්කොල පොත් දෙකත් අරන් පොඩ්ඩක් කියවා  බැලීමයි. මට මේවා කියවන්න  ඇත්තටම කැමැත්තක් තියනවා. ඉපැරණි  ලේඛන නේ. මේ පුස්කොළ පොත්  දෙක නම් අවුරුදු  120-130 විතර පැරණි ඒවා. 

තව වෙලා තියෙන නිසා අපි දෙන්න එලියට බැස්සා නවීකරණය කරලා තියෙන කිංග්ක්‍රොස්  (Kings Cross ) ප්‍රදේශය නරඹන්න. මේ පැත්තේ  මිනිසුන්ට විවේක කාලයවිදින්න පුළුවන් විධිහට හොඳටම නවීකරණය කරලා තියෙන්නේ. අලුත් මාකට් එකක් හදල අලුතින් ගොඩනැගිලි හෙම හදල. ඒ පැත්තෙන් යන රිජන්ට් ඇලත් සුද්ධ   කරලා.  කාලෙකට කලින් මත්ද්‍රව්‍ය විකුණන,  ගණිකාවන්ට ප්‍රසිද්ධ,  පරණ ගරා වැටුණු ගොඩනැගිලි සහිත, රැකියා විරහිත භාවය ඉහලින්ම තිබුණු ප්‍රදේශයක්.  ආයෝජන පැමිණියහම   ඇතිවෙන වෙනස හොඳට පෙනෙන තැනක්. හොඳ කොරියන් ආපනශාලාවක්  දැකලා අපි ඒකෙන් දිවා  ආහාරයත් ගත්ත. 
 


ආපහු පුස්තකාලයට ආවහම අර මයික්‍රෝෆිල්ම් එක ඇවිත් තිබුන. ඒක සම්පුර්ණයෙන්ම කොපි කරගන්න පුළුවන් වුනා. ඒක කට්ටකාඩුව පැත්තට යවලත් ඉවරයි.  එයා ඒ ගැන ලිපියක් ලියයි කියල බලාපොරොත්තුවෙන් ඉමු. 

ප්‍රශ්නේ ආවේ අනිත් පොත් දෙකට. ඒ දෙකේ මයික්රෝෆිම් නැහැ.  මම ඔන්ලයින් ෆෝම් එකක් පුරවල යැව්වා පිටු 154 හා පිටු  76 වන පොත් දෙක ස්කෑන්  කරල දෙන්න කියල. මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තරත් දැම්මා ඒකෙන් අය කරන්න කියල.  පළමුවන පින්තුරේට ස්ටාලින් පවුම් 13.20 සහ ඊට පසු පිටුවකට පැන්ස 49 ගානේ. එතකොට රුපියල් පනස්දහසක් වගේ තමා ගෙවන්න ඕනේ.  දින දෙක තුනකට පස්සේ මම කෝල් කළා මේක කලින් ගන්න පුලුවන්ද කියල බලන්න. මේ ගොලාල් කියනව අපිත් කෝල් කරන්න තම හිටියේ මේ පුස්කොල පොත් දෙක ස්කෑන් කරන බැරිලු.සවුත්තු වෙනවලු අතින් ඇල්ලුවොත්. ඒ නිසා විශේෂිත  තත්ව යටතේ කැමරාවකින් පින්තූ අරගෙන විතරලු දෙන්න පුලුවන්. එකට මුල් පිටුව පවුම් 23.62 ක්. ඊට පස්සේ පිටුවකට පවුම් 6.26. ඒ කියන්නේ මුළු මුදල රුපියල් හාරලක්ෂ හැටදහසක් විතර වෙනවා ලංකාවේ මුදලින්.
මේ මොන විකාරයක්ද කියල මම වාද කරන්න ගත්ත. අපිට කියවීම් ශාලාවේ අතින් අල්ලන්න දෙනවා නම් ස්කෑන් කරන්න බැරි ඇයි කියල. හරිගියේ නැහැ. පස්සේ මේක "අපේ ජාතික උරුමයක් " කියන ලෙවල් එකෙන් බොරුවට තරහ ගිය විධිහට ඇහුව. ඒත් බෑම කිව්වා. පුස්කොල පොත් සවුත්තු වෙනවලු. මොනවා කරන්නද ? වැඩේ අත හැරිය  දැනට. මේ දවස් වල ලිපියක් සුදානම් කරනවා මේ අයකිරීම අසාධාරණයි කියන්න. 

මේ අතර තවත් දෙයක් ආරංචි වුනා. මේ පුස්කොල පොත් දෙක ලංකාවේ සමහර  ප්‍රධාන පන්සල් වල තියනවලු.  පර්යේෂණ තියා  කියවන්න වත් අල්ලන්න දෙන්නේ නැතිලු ඒවා.  බ්‍රිතාන්‍ය පුස්තකාලයේ නම් අල්ලන්න දෙනවා, කියවන්න දෙනවා, ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ. එයාලා ගහල දෙනවා අපි ගෙව්වහම.
ඔන්න ඕකයි තත්වය.  




Friday 19 November 2021

සියළුම වීඩියෝ යූටියුබ් චැනලයේ

පොතට තිත තැබීම 


සියළුම වීඩියෝ යූටියුබ් චැනලයේ 

මගේ යූ ටියුබ් චැනලය පටන් ගත්තේ හරියටම 2007 ජනවාරි 25.  ඒ දවස් වල ඕව පටන් ගන්න ඒ තරම් පිස්සුවක් තිබුනේ නැහැනේ. මම ඒක පටන් ගන්න එකම හේතුව වුනේ දුවල දෙන්න වයලීනය වාදනය කරපුව ගත්ත වීඩියෝ මගේ පවුලේ අයට බලන්න දෙන්න. වීඩියෝ මේල් වලින් යවන්න අමාරුයි. ලොකු වැඩියි. ඒ කාලේ ගූගල් ඩ්‍රයිව් එක තිබ්බද  කියල මතක නැහැ. හැබැයි මම ඒවා පබ්ලික් හෙවත් හැමෝටම බලන්න දැම්මේ නැහැ. පවුලේ අයට පමණයි. හැබැයි දැන් දෙන්නම වයස දහ අට පැනල නිසා ඒවා පබ්ලික් කළා.

මේක ලීවෙත්  කෙනෙක්  මට සරදමට වගේ කීව නිසා,  "ඔයත් දැන් ඒ ගමන චැනල් එකක් පටන් ගත්තද රැල්ලට" කියල.  එයාට පිළිතුරක් හැටියට ලීවට මම කල්පනා කළා ඇයි මම චැනල් එක තියා  ගත්තේ කියල. ඒ කාලේ නම් ඉඳල හිටලා අපි ගිය සංචාර , විශේෂයෙන් දුම්රියෙන් ගිය ඒවා දාන්න ඕන වුන නිසා.

හැබැයි ඒවා දැම්මේ වෙනත් පිස්සු හේතුවකට. කවද හරි දවසක අභ්‍යවකාශ යානයක අවුරුද දෙක තුනක් තිස්සේ ඈත තියෙන ග්‍රහ ලෝකෙකට යන අභ්‍යවකාශ ගැමියෙක් (ඕන කමින් ගැමියෙක් කියල ලිව්වේ ) කම්මැලි  හිතිලා ඉන්ටනෙට් එක සර්ච් කරද්දී මේක දකින්න පුළුවන්. "අම්මට සිරි  කවුද මේ පිස්සු ඩයල් එක" කියල මගේ වීඩියෝ බලන්න ඉඩ තියනව කම්මැලිකමට.  ඒ කාලේ වෙනකොට අභ්‍යවකාශයට ඉන්ටනෙට් දෙන්න  පුළුවන් හරිද?  -කෙලින්ම වයිෆයි දෙනවා මෙහෙන් ස්පේස් ස්ටේෂන් එකකට. එතනින් ඊලඟ එකට, ඊලඟ එකට  ඒ වගේ.   එහෙම නැත්නම් අවුරුදු 200 කට කලින් හිටපු  එවුන්ගේ චර්යාවන් බලන්න කවුරුහරි අනාගතේ ළමේක් ඉස්කෝලේ වැඩකට ගන්න ඉඩ තියනවා. ඉතින් අනාගතේ ගැන හිතල චැනල් එක ගෙනියන්න තීරණය කළා.

ඊට පස්සේ වුනේ මේකයි.  අගෝරා වැඩකට රත්න ශ්‍රී විජේසිංහ මහත්මය සම්මුඛ සාකච්චාවක් දුන්න.  ඒක කරපු නිලන්ත මල්ලිට ඒක අනිත් අයට බලන්න යවන්න ක්‍රමයක් නැහැ. මම කීව මගේ යූ ටියුබ් චැනල් එකක් තියනවා ඒකට දාල ෂෙයාර් කරමු කියල. එක වුනේ 2014 දී . මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.  මේක මගේ චැනල් එකේ වැඩිම හිට් වගයක් ලැබුණු වීඩියෝවක්. 

දැන්ම ඉතින්ට  වැඩේ අල්ලලා  ගියා. දැන් මම චැනල් එක තියාගත්තේ ඒ වගේ  විශාල ෆයිල් අප්ලෝඩ් (උඩුගත කියල හෙළ පදයක් තියනවලු ඒකට ) කරන්න. මම 2016 දී මගේ පළමු පොත වන "පොල්කට්ටෙන් එපිටට"  එළි දක්වපු වෙලාවේ කතා බහ ඔක්කොම ඊට පස්සේ යුටියුබ් එකට දැම්ම. දැන් මට මේකේ වටිනාකම දැනිල ඉවරයි.
 හාඩ් ඩිස්ක් එකේ  ප්‍රශ්නයක් ඇවිල්ල ෆයිල් ඔක්කොම ඩිලීට්  වුන වෙලාවෙත් , අයික්ලවුඩ්, යුටියුබ්, ඩ්‍රොප් බොක්ස් , ගූගල් ඩ්‍රයිව් ඔය ඔක්කොම භාවිතා කරල තිබුන නිසා වැඩි හානියක් වුනේ නැහැ.

ඊළඟට "සියාමා " පොත 2018 පබ්ලිෂ් කරපු වෙලාවේ නම් ගේමක් නැහැ. කෙලින්ම ඔක්කොම වීඩියෝ ටික යූ ටියුබ් දැම්ම.  හැබැයි ඉතින් ලින්ක් එකක් ෆේස්බුක් දැම්ම මිසක් කාටවත් වැඩිය සබ්ස්ක්‍රයිබ් කරන්න කීවේ නැහැ. ළඟම යාළුවන්ට , පවුලේ අයට විතරක් මතක් කළා.

ඊට පස්සේ නම් ඉතින් පොඩි පොඩි වීඩියෝ අප්ලෝඩ්  කළා. කෝවිඩ් කාලේ ගිටාර් එක ආයේ අතට ගත්තම කම් ඕ  ගෝ චිකාගෝ කියල හිතාගෙන ඒවත් එකක් දෙකක් දැම්ම යූ ටියුබ් දැම්ම. ඒවානම් ඉස්සෙල්ල පොඩි දූට , බිරින්දෑට , අපේ හයිකු යාළුවා ධම්මිකා චාන්දනී ට හෙම පෙන්නල අපෘවල් ලැබුනට පස්සේ තමා දැම්මේ.

අන්තිම උඩට දැම්ම   ඒවා ටික ඊයේ පෙරේදා "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " සංවාදයේ  වීඩියෝ ටික. බලන්න ඕනේ නම් මෙන්න ලින්ක් එක.   

ඉතින් ඔන්න මේ පාර  නම් කියනවා. ලයික් කරාන්න , කොමෙන්ට් කරාන්න , ෂෙයාර් කරාන්න , උම්මා දෙන්නේ නැහැ. නටන්නේ නැහැ සොරි.  හැබැයි යොහානි ට වගේම මම ඒ ශාශි නිශාදි දැරිවි ටත් කැමතියි. එයාව අහුවුනේ හදිසියේ ගේමින් ටිකක් බලද්දී දැන් කාලෙකට කලින්. එයා දැන් හැබැයි සෑහෙන්න ෆේමස්. සුභ පැතුම්.  ගේම් ගහන්න දැන් එච්චර මනාප නැති නිසා බලන්නේ නැහැ. ඔය වගේ ගේම් දහරා (streaming)  බලන අය අතරේ රෑ වැඩ කරන අය, වෙන වැඩ නැති අය , කෝවිඩ් අස්සේ හිර වෙලා ඉන්න අය, රෑ පානේ නිදි මරණ පොලිස් කාර් වල අය ඉන්නවා. ඒ නිසා ඒ දැරිවිට  ආදායමක් හෙමත් එනවනම් ඒක ලොකු දෙයක්. හැබැයි අඩු වයසේ ළමයින්ට වැඩිය යන්න දෙන්න එපා, ගොඩක් වෙලා ගේම් වලම ඉන්න.  මම මගේ ළමයින්ට ඉඩ දුන්නෙත් නැහැ. ගේම් ගහන එකේ නෙමෙයි ප්‍රශ්නේ. ගොඩක් වෙලාඒකට වැය කරන එක අනිත් වැඩ අමතක කරලා . හරියට ෆේස්බුක් එක ට ඇබ්බැහි වෙනවා වගේ.. 

 අන්තිමට කියන්න තියෙන්නේ ජිවිතේට ලයික්  එකක්වත් කාටවත් දාන්න ලෝභ අය ඕපාදුප බලන්න විතරක් ෆේස්බුක් එකේ ඉන්න එකනම් ටිකක් අප්සෙට්. ඒ නිසා තමන් කැමති අය එක්ක විතරක් භජනයක් තියා ගත්තම ඇතිනේ. සැබෑ ජීවිතයේදී වගේ.  ශේප් එකේ අන්ෆ්රෙන්ඩ් වුණාම හරි. කාටවත් දැනෙන එකකුත් නැහැ.  තරහකට නෙමේ කීවේ. ෆේස්බුක් එක නිසා මානසික ආතතිය හෙම එන්න පුළුවන්.  අප හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්නනේ. එනිසා කල්පනා කරලා බලන්න. 
වෙන අවුලක් නැහැ. ඉන්නවනම් ඉන්න ඔන්නොහෙ.

හැබැයි ඔය ඉහත වාක්‍යය ලීවෙ  අර මගේ පොත් එළි දැක්වීම් වලට එන, උයල පිහල කෑම අරන් එන , ඔක්කොම වැඩ ටික කරලා ශාලාවත් අතුගාල දෙන රත්තරන් යාළුවෝ සෙට් එකට (බ්ලොගාලා ඇතුළුව) නෙමේ ඔන්න.






 


  

Monday 15 November 2021

මතකයේ රැඳුනු සැඳෑව

 


මතකයේ රැඳුනු සැඳෑව 

ලන්ඩනයේ දී, 2019 ලංකාවේදී එලි දක්වපු පොත සමාප්ත කරන සැන්දෑව එන්න කලින් බාධා කිහිපයක්ම ආව. අනුර හෑගොඩ කිවිවර ගේ නිවසේ ප්‍රශ්නයක් නිසා ඔහුට ඒමට නොහැකි වීමත් හිතවත්ම මිතුරෙකුට කෝවිඩ් ප්‍රශ්නයක්  නිසා ඔහුට ඒමට නොහැකි වීමත්. ඒ අතරේ එන්නට පොරොන්දු  වුනු තවත් මිතුරන් දෙදෙනෙකුටම පවුලේ හදිසි ප්‍රශ්න වගක් මතුවෙලා තිබුන. මුදල් ගෙවා ලබාගත් ශාලාව නිසාම කෝවිඩ් වසංගතය නිසා කිහිප වරක් කල් දැමුණු මේ හමුව තව දුරටත් කල් දැමීමට නොහැකි අවස්ථාවත් ආව. එක මොහොතක මට හිතුන නොවැම්බර් 13 ඇත්තටම අවාසනාවන්ත දවසක් ද කියලත්. නමුත් අපි ඒවාට සැලෙන්නේ නැහැනේ. 

මගේ යහළුවෝ පිරිසක් එහෙම සැලෙන්න ඉඩ දුන්නෙත් නැහැ.සෝවියට් දේශයේ කීව්  නගරයේ  උගත් සරෝජ් ගේ ළඟම ඥාතියෙකු ගේ පවුලේ ප්‍රශ්නයක් වුනත් ඔහු පැමිණියේ ගයානිගේ මාළු ව්‍යන්ජනයත් අරගෙන. සරෝජ රැගෙන  ආවේ නන්දන සහ යමුනා. මොකද  සරෝජ ගේ වහනය ඒ වෙලාවේ වෙන කාර්යයක. යමුනා, ඉනෙස් සහ රෝහිත සමග ශාලාවේ උෂ්ණත්ව පාලනය, ලයිට් සෙටින් ආදිය භාර ගත්ත. මේ ශීතල කාලෙනේ. මගේ දයාබර බිරිඳ ඉනෙස් තමා කෑම බිම තිබුණු මේසය සකස් කළේ මට අනිත් වැඩ කරන්න ඉඩ දීල. එයාට  උදව් වුනේ ශීලා. ශීලා බටහිර ලන්ඩනයේ ඉඳල දුම්රියේ එන ගමන්ම පරිප්පු එකක් හදාගෙන ආව, මම සම්බෝලේ හැදුව. ඔන්න ඒ දෙකම තිබුන හරිද? ඇත්තම කියනවා නම් ඉනෙස් නැතිව මට මේ මුකුත් කර ගන්න වෙන්නේ නැහැ. කීව් වලම උගත් කුමාර,එහෙම ඉගෙන ගත්ත රෝහිත, බන්දුල සහ ධම්මික සමග ආවහම මට හිතුනේ මේක "කීව් සන්ධ්‍යාවක්" වේවි කියල. එහෙම වුනේ නැහැ අපි මොස්කව් වලම නතර වුනා. ලැප්ටොප් එක ප්‍රොජෙක්ටරයක දාගෙන සෙට් කරන එකේ ඉඳල වීඩියෝ එකත් කරුණාවෙන් කරල දුන්නේ කුමාර.    

  ඉනෙස් සහ ශීලා තමයි පුටු පේලියට තියන්න පටන් ගත්තේ. පස්සේ හැමෝම  තමන්ගේ පුටුත් ඇදගෙන වාඩි වුනා. ඒ කෙසේ වෙතත් සම්ප්‍රදායට ගරු කරලා විනාඩි හතළිහක් විතර ප්‍රමාද කරලා,  මම ඉවෙන්ට් පටන් ගන්න කියල සරෝජ් ට කීව. සරෝජ් තමන්ගේ සුපුරුදු ශෛලියෙන් වැඩේ හොඳට කරගෙන ගියා. ආයේ දෝෂයක් කියන්න බැරිවෙන්නම. මොස්කව් මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ හෙවත් ප්‍රසිද්ධ ලුමුම්බා එකේ උගත් මිතුරු අතුල පැමිණියේ හොඳ ප්‍රංශ ෂැම්පේන් බෝතලේකුත් අරගෙන, පැය ගාණක් මග ගෙවාගෙන වොල්වර්හැම්ප්ටන් ඉඳන්.(මේකේ සෝවියට් ෂැම්පේන් වගේම මිහිරි රසයක් තියනවා. අපි ඉතින් ඔරිජිනල් හැටියට සළකන්නේ ජිවිතේ පළමු වතාවට බීපු සෝවියට් ෂැම්පේන් එකනේ). ඊළඟට ඈත ඉඳන් ආවේ බ්‍රෙන්ට්වුඩ් ඉඳන් ආපු සුබෝධ. සුබෝධව දැක්කේ අවුරුදු  ගාණකට පස්සේ වගෙයි මතක. දෙන්නම උගත්තේ සෝවියට් දේශයේ. දැන් එන් එච් එස් එකේ වැඩ. අතුල පොතේ පිටුවක් කියවන්න පටන් ගත්තේ වටිනා  මතකයන් රැසක් අවදි කරමින්. මෙහෙම වැඩකදී අනිවාර්යෙන්ම එන අකාලයේ අප අතරින් සමුගත් සොඳුරු මිතුරෙකුගේ අඩුවත් අපට දැනුන කීවොත් නිවැරදියි. 

මොස්කව්  රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උගත් ආශා, පේරාදෙණියේ නිෂ්පාදනයක් වන විපුලි සහ ප්‍රසිද්ධ බ්ලොග් මිතුරෙකු වන මාකස් ඉන්පසු විටින්  විට පොතේ පරිච්ඡේද කියවමින් සහභාගී වුනා පමණක් නොවෙයි. ආශා තමන්ගේ මතකයන් කියන අතරේ විපුලි ඇගේ සෝවියට් පොත් කියැවීමේ ලැදියාවත්  මතක් කළා. මාකස් ගේ කතාවේ විශේෂත්වය වුනේ ඔහු සෝවියට් දේශයට කිසිම සම්බන්ධයක් නොමැති වීමත් රුසියාවට කිසිම සම්බන්ධයක් නොවීමත් තුල. එනිසා ඔහුගේ ගැඹුරු විශ්ලේෂණය සිතන්නට යමක් ඉතිරි කරා. 

ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න ස්වීඩනයේ සිට සාකච්චාවට සහභාගී වුනේ පොත  ලියන විට ඔහු මාහට දුන් උපදෙස් ද මතක් කරමින්. ඔහුට සහයට නුවන් ජේ ද අදහස් පළ කළා , සරෝජ් සහ අතුල සමග. එතන බිහි වුනේ සජීවී සංවාදයක්.       

අයුමිණි කියන්නේ මගේ දියණියන්  සමග මගෙන් භෞතික විද්‍යාව අමතරව උගත් දියණියක්. ඉංජිනේරු සිසුවියක් වන ඇගේ සංගීතය පිලිබඳ දැනුම අතිමහත්. ඇගේ සංගීතඥ පියතුමන් වන නිස්සංක වික්‍රමරත්න සමග  ඔවුන්ගේ මධුර හඬින් සභාව ප්‍රමෝදවත් කළා. නිස්සංක ගේ පිය බිරිඳ ඉන්දු තමයි සින්දු  පුරුදු වෙනකොට තේ සහ කැවිලි සපයමින් අපිව දිරිමත් කළේ.  ඩිලානි එන්න බැරි වුනත් රස නහර පිනවන බුරියානි එකක් හදල දුන්න. ආශා බුරියානි  එක්ක  කන්න හදන රසවත් රයිටා  එකක් ගෙනාව . ඉනෙස් හොඳටම හොඳ සලාදයක්  හදල තිබුන. මේ හැමෝටම ස්තූති වෙන්න සන්ධ්‍යාව ප්‍රබෝධමත් ජයග්‍රහණයක් වුනා. 

සෝවියට් සම්ප්‍රදාය අනුවම සන්ධ්‍යාව ඉවර වුනේ අතුල ගෙනාපු ෂැම්පේන් එකෙන් සහ මගේ රුසියානුමිතුරකු  වන ලියෝනිඩ් ප්‍රදානය කල බෙලුගා වොඩ්කා එකෙන් (බෙළුගා කියන්නේ රුසියාවේ මිල අධිකම  මාළු බිත්තර ගන්න  මත්ස්‍ය ජාතියක් -බෙළුගා කැවියාර්). ඒක හුඟක් මෘදු ලෙස දිවට දැනෙන ප්‍රණීත රසයක් දෙන එකක් නිසා ඇරපු හැටියේම වගේ ඉවර වුනාද කොහෙද?😉 අන්තිමට අපි කට්ටියක් අපේ නිවසේ  එක්රැස් වුනේ සම්ප්‍රදායික විධිහට වැඩේ නිම කිරීමේ සහ කෝපි බීමේ පාටියට. බන්දුල සැපයූ  කියුබාවෙන් ගෙනා හවානා සිගාර් නිසා ඒකත් රසවත් වුනා, වැඩේ වැඩියත්ම රසවත් වුනු හේතුව යටම තිබෙන පින්තුරයකින් පෙනේවි. 

පැමිණි හැමෝටම ස්තූතියි, සුභ පැතූ හැමෝටමත් ස්තූතියි. සිය පවුල සහ යහළුවන් ඇති තැන තව දෙයක් කුමටද? 

 කතාව අවසන් කරන්නම් තව කරුණක් එක්ක. මේක බ්ලොගයක ප්‍රතිචාරයකට දාපු ජපානය පිලිබඳ යූටියුබ් වීඩියෝවක් ගැන. එහි සමහර තරුණ වැසියන් ගේ තනිකම ගැන. ඔවුන් සයිබර් කැෆේ වල ඉතා කුඩා කාමර වල දවස පුරාම ගත කරමින් එහිම නිදාගන්නවා. ජිවිතයේ සන්තකව තියෙන වස්තුව අඩුයි. ලොකු ගෙවල් නැහැ. ඉතාම සරල ජිවිතයක් කියල හිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් දරුණු තනිකමකින් පීඩා විඳිනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. අපි අවුරුදු  ගණන් දියුණු ධනවාදී රටවල ජිවත් වුනත් මේ රටවල සැප පහසුව මැද සමහර තනිකමේ ගෙවන ජිවිත හුඟක් තිබෙනවා. අපි ඒක සෝවියට් දේශයේ දැක්කේ නැහැ. පාලනය කෙතරම් සීමා තිබුණු එකක් වුනත් මිනිසුන් සාමූහිකවමුණ ගැහුණා. (තම තමන්ගේ නිවෙස් වල ජිවත්වුනත් එළියේ දී  එක්වී වැඩ කරන ගතියක් තිබුන)  වනයේ ඇවිදින්න  ගිහින් ගිනිමැල ගහගෙන වරු ගණන් කවිවල සිට නවකතා,  චිත්‍රපට සහ විහිළු කතා දක්වා කතා කරමින් කාලය ගත කිරීමේ  පුරුද්දක් තිබුන.අපි කැමති වෙන්න ඇත්තේ එකට වෙන්න  ඕනේ.     

ප.ලි.  අතුල කතා කරනවිට  රසවත් කරුණක් ද  මතක් කලා.  මා හා අතුල මුල් වරට මුණගැසුන අවස්ථාව. ඒ දවස් වල ක්‍රීඩා ලේකම් අප දෙදෙනාගේම යහළුවකු  වන සුදත් කියල සිසුවෙක්. එතකොට රාජ්‍ය  විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ලේකම් මම. අපි කතා කරලා සංවිධානය කළා ක්‍රිකට් මැච් එකක් ලුමුම්බා විශ්ව විද්‍යාලය සමග. එදා තමා අපි කට්ටිය මුල් වරට හොඳින් හඳුනා ගත්තේ. අපි, රාජ්‍ය  විශ්ව විද්‍යාලයීය කණ්ඩායම  පැරදුනා කියල අතුල කියනව. අතුලට අමතක වුනු කරුණ තමයි ඊට පස්සේ ගහපු  හැම මැච් එකමත් අපි පැරදුනා කියල, මොකද ලුමුම්බා කණ්ඩායම ගෙනාවේ ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා කරපු ලොකු කාලතුවක්කු.

මුල් පොස්ටුව.- පොතට තිත තැබීම 










Ajith 

Friday 12 November 2021

පොතට තිත තැබීම

පසුගිය කෝවිඩ් සමයේ මම අලුත් වැඩ කිහිපයක්ම පටන් ගතිමි.  ඒ කිසිවක් දුර දිග ගියේ නැත. දුර ගිය එකම දෙය නම් නැවතත් ගිටාර් වාදනය පටන් ගැනීමත් නව ගිටාරයක් මිලදී ගැනීමත්ය. මට මුල්ම ගිටාරය උපන් දින තෑග්ගක් ලෙස ලැබුනේ 1985 මොස්කව් හිදීය. සෝකල් හි මාදි විශ්ව විද්‍යාලයේ උගත් ජානක ලියනගම, උපාලි හේවගේ  හා ප්‍රභා ගුණවර්ධන සීනියර් තුන් කට්ටුව එකතුව දුන් ත්‍යාගයකි. 

හැබැයි මට කාඩ් එක වැදුනේ මේකා ගහන්නේ එකම තනුව කියාය. 

නමුත් මගේ පලමු ගිටාර් ගුරුවරිය වූ ලූදා බොහෝ අපහසුවෙන් මට තනු කිහිපයක් පුරුදු කලාය. ඒ කතාවේ කොටසක් මේ යොමුවේ ඇත.  මම ඒවා කවදාවත් ලංකාවේ සිසුන් සමග වයන්නට නොගියෙමි. ඒ දිනවල ජගත් ජයවික්‍රම නම් සුපිරි ගිටාර් වාදකයෙකු  සිසුන් අතර සිටියේය. අපේ අවාසනාවට ඔහු සිටියේ මොස්කව් වලින් ගොඩක් ඈතට වෙන්නටය.   නමුත් සම්පත් සමග අපේ කාමරයට වැනි අවස්තා කිහිපයක ඔහු සුන්දර ගීත  කිහිපයක් ගයන්නට අමතක කළේ නැත.

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොත ලංකාවේ එළි දැක්වුණේ 2019 අවසන් කාර්තුවේය. ලන්ඩනයට පැමිණ ඒ කාර්යයම කරන්නට සිතුවේ 2020 මුල් කාර්තුවේ දීය. ඒ මට වෙනත් ගමන් කිහිපයක්ම තිබු නිසා හා දියණියන් ගේ ඉගෙනීමේ කටයුතු නිසාත්ය. නමුත් ඉන්පසු කෝවිඩ් වලින් බැට කෑමට  සිදුවූයේ අප කවුරුත් බලාපොරොත්තු නොවූ ලෙසටය. එසේම  මට කෝවිඩ් කාලයේ පටන් ගත් කාර්යයන් අවසන් නොකර අත හැර දැමීමේ රෝගයක් විය. මේ බ්ලොක් එක ඉවත් කර ගන්නේ  කෙසේද යන්න නිතරම සිතුවෙමි. 
ප්‍රශ්නය තිබෙන්නේ පොත ලන්ඩනයේ එලි දැක්වීම නොකළ නිසාය වැන්නක් මට සිතුනි. කිහිප වතාවක් කෝවිඩ් නිසාම ඒ අදහස අත හැරියෙමි. නමුත් කතාව සමාප්ත වන්නේ ලන්ඩනයේදීය.  කවුරුන් හෝ පොතේ කතාව අග දක්වා කියෙව්වා නම් මා  කියන්නේ කුමක්ද යන්න වැටහෙනු ඇත.   පොත ගැන සංවාදයක් ලන්ඩනයේ කළ යුතුය යන්න අදහස මට පැමිණියේ ඒ නිසාය.  මට "පොතට තිත" තැබිය හැක්කේ ලන්ඩනයේදී ඒ ගැන අමතක කිරීමෙනි.  ඒ දිනය හෙටට දී ඇත.  සෝවියට් දේශයේ උගත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුද සහභාගී වන බව දන්වා තිබේ. 

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ 30 වැනි පරිච්චේදයේ කොටසක මා මෙසේ ලියා ඇත. 

//
සියල්ලෝම  දිග ඇදී  සිටිද්දී ගිටාරය ගත් තාන්යා ගීයක් පටන් ගත්තාය. මව සංගීත ගුරිවරියක් නිසාදෝ ඇයට හොඳින් ගිටාරය වාදනය කිරීමට හැකිය. කොහොමත් බොහෝ රුසියානුන් තම දරුවන්ට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වැයීමට හෝ නර්තනයක් කිරීමට  උගන්වති. එය වඩාත් පැතිර ඇත්තේ රුසියානු යුදෙව් ජාතිකයන් අතරය. බොහෝ විට පියානෝව හා වයලීනය හෝ  ඔපෙරා නැටුම් ගැහැණු ළමුන්ටද ගිටාරය හා ජිම්නාස්ටික් පිරිමි ළමුන්ටද උගන්වති.

තාන්යා පටන් ගත් ගීතය මදක් දුර ගයන විට සියල්ලෝම  නිසොල්මන් වූහ.
ඇය දැන්මම අනාගතය දකින්නීද? ඇය ගයන්නේ විටින් විට මද සිනහවකින් මුව සරසා ගෙන ඔහු දෙස බලාගෙනය. ගිහාන් ගේ සිත වටහා ගත නොහැකි දුකකින් පිරී ගියේය.

"ව්ස්යෝ නාපොමිනායේත් අ තෙබ්යේ
 අ තී නි ග්ද්යේ
අස්තල්ස්යා මීර්
කතෝරි ව්ම්ස්ත්යේ විදෙල් නස්
ව් පස්ලෙද්නි රස්....."

  ලෙසින් ගැයූ ගීතයේ තේරුම රහසකට වඩා හදවතේ තෙරෙපෙන අදහසක් කියා පෑමක් වැනි විය.

"හැකි හැම විටම  මතකයට නැගෙනුයේ  නුඹයි
නමුත් නුඹ නැත පෙනෙනා මානයක
අප එක්ව සිටි අයුරු  දුටු   ලොව පමණක්
ඉතිරිව ඇත අවසන් වරට 

බැල්කනිය සහ ජනේලය ඇති කාමරය
ආලෝකයෙන් පිරීලා
සාමකාමියි  එදා වගේම
අප එක්ව සිටි හැටි දුටුවා  මෙන්
අවසන් වරට 

කාලය ඉක්ම යාවී , නුඹට අමතක වේවි
සිඳුවූ හැම දෙයක්ම අප අතර ,
සිඳුවූ  හැම දෙයක්ම  අප'තර

නැහැ , මා නුඹ වෙනුවෙන් බලා  සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම්  කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට

දිනත් ගෙවී යයි ,
හිම සමයන්ම කොපමණ ඉකුත් වී ද නොදනිම්
නැත්නම් වසර කීයක්  ගත වුනිද
සමහර විට  තවෙකෙකු සමග මා
තුටිව දිවි ගෙවනු  වනු ඇත
සමහර විට එහෙමත් නැතිව

කිසිවක් මේ සඳු යට සදාකාලික නොවේ 
නමුත් ඔබ සමග වුන්  හෝරාවනම් 
මට කිසිදා
අමතක නොවෙනු ඇත
නුඹ  මා සමග සිටියුරු
අවසන් වරට

කාලය ඉගිලී යාවී 

නුඹට අමතක වේවි 
සිදුවූ සියල්ලක්ම අප අතර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා  සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම්  කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට"

ගීතය අවසන් වී බොහෝ වෙලාවක් යනතුරු කිසිවකු කතා කළේ නැත.  ෂෝලහොව් ලීවාක් මෙන් දොන් නදිය නිසලව ගලා යයි. නිහඬතාවය බිඳිමින්  ඉඳහිට වතුර පොදක් පමණක් වෙරළේ වැදුණි.//

ඉහත දෙවැනි ගීතයේ වදන් ව්ලදිමීර් ලුගවොයි ගෙනි. මේ ගීතයේ තනුව සහ මුල් ගීතය ස්පාඤඤ හොසේ ලුයිසා ගේ "නුඹ  යන්නේ  කොහිද " යන ගීයෙනි.

මේ දිනවල බ්ලොග් ලෝකයේ ගීත ගැන කතාවක් යයි. 
ගිටාරයෙන්  වැයීම සඳහා මම රුසියානු ගිටාර්  තනුවම හා ඒ කෝඩ් ම  භාවිතා කළෙමි. වදන් වෙනස් කිරිමක්ද  සිදු කලේ පරිවර්තනය කළ ආකාරයටම ගැයීමට නොහැකි බැවිනි.

මේ මගේ පරිවර්තනයයි. 
**************************************
මතකයෙ  ඉන්නේ ඔබමයි   
ඔබ කොහේද ඇත්තේ 
ලොව නැවතුන දා මට 
අවසන් වර  අප එක්වූ දවසෙහි මෙන්
ඒ අවසන් වරටයි 
ඒ අවසන් වරටයි  
ඒ අවසන් වරටයි
 
ඉහල මාලයේ  කවුළුව ඇති කුටියේ  
ආලෝකය පිරීලා
සන්සුන් ලෙසමයි ඇත්තේ    
අවසන් වර අපෙ දෙනෙතට   
හමුවූ විලසේ 

කාලය ඉගිලී  යාවී 
 නුඹහට අමතක වේවි
පෙමින් පිරුණු අපෙ  කතන්දරේ 
පෙමින් පිරුණු අපෙ  කතන්දරේ 

 ඔබ එනතුරු මා  බලා  සිටින්නේ නෑ  
හේ,  ඔබ දන්නවා නම් 
පෙම්කලෙ  ඔබහට මා  
ඒ අවසන් වරටයි 
ඒ අවසන් වරටයි  
ඒ අවසන් වරටයි  


දිනත් ගෙවී යන්නේ මට නොදැනී 
හිම සමයන් හා වසන්තයත්  සමගින්  ,
වෙනෙකෙකු හා සතුටින් ඉන්නට 
පුලුවන් වේවිද මන්දා  
ඔබ නොලැබේ නම් 

නොවෙනස් වූවත් මේ  සඳු යට වෙන හැම දේ 
 අප ඒ හෝරාවම  නම් 
මට කිසිදා
අමතක වන්නේ නැහැ 
ඔබ මා  ළඟ  සිටි අයුරු 
ඒ අවසන් වරටයි 

කාලය ඉගිලී  යාවී 
 නුඹහට අමතක වේවි
පෙමින් පිරුණු අපෙ  කතන්දරේ 
පෙමින් පිරුණු අපෙ  කතන්දරේ 

 ඔබ එනතුරු මා   බලා  සිටින්නේ නෑ  
හේ,  ඔබ දන්නවා නම් 
පෙම්කලෙ  ඔබහට මා  
ඒ අවසන් වරටයි 
ඒ අවසන් වරටයි  
ඒ අවසන් වරටයි  

මේ  ගීතය යූබටයට අද දැමුවෙමි. ගීතය පසුව වඩා වැදගත් ආකාරයෙන් නිම අක්රන්නට බලාපොරොත්තු වෙමි.


ලන්ඩනයේ සිටිනම් හෙට හවස් වනවිට මෙතනට එන්න.

නොවැම්බර් 13 සෙනසුරාදා හවස 4.00 සිට - The Qube, Community Space For Ponders End, 291 High St, Enfield EN3 4DN, ටෙස්කෝ සුපර්මාකට් එක ඉදිරිපිට, ටෙස්කෝ රථ ගාලේ වාහන නතර කලහැක.  

පොත ගැන විචාර කිහිපයක් අගට එකතු කරමි.






Tuesday 2 November 2021

සම්බෝල පාටියක් නොවේ

වෝක් එක පටන්  ගත්ත තැන 

අර මම කලින් ලීව "පාටියේ අඩු දේ " කතාවට පහුවදාම අහිංසක යෙහෙළිය  කෝල් කරලා කියනවා "අනේ අජිත් පොල් තිබ්බේ නැහැනේ ".( ලින්ක් එකට ඔබන්න ඒ ලිපිය  මිස් වුනා නම්.) 
 මම කීව එයාට  
"ගණන් ගන්න එපා. පාටිය  නියමයි.  ප්‍රශ්නේ ඔයාගේ නෙමේ මගේ. නැති දේවල් හොයන පුරුද්දනේ කියල."
ඇත්තම කියනවනම්  හැට නම ලක්ෂේට  මේ දවස් වල වෙන දේවල හැටියට, නිසංසල හදවතක් තියෙන මම වගේ කෙනෙක් අනෙක් අයට  හිනා වෙන එක වැරදිනේ නේද? මෙච්චර හොඳට කන්න  දීලා කෝපි එකකුත් බොන්න දීලා , ගෙදර ගෙනියන්නත් කෑම පාර්සලයක් දීල අඩුපාඩු හොයන අපි වගේ උන්ට යන්න වෙනම අපායක් මහමෙව්නාවේ අපාය නිර්මාතෘන්  හදල තියයි කියල මට බයත් එක්ක . 

ඒ අතරවාරයේ මට තේරුණා කට්ටිය දැන් ටිකක් බයයි වගේ මට පාටි වලට ආරාධනා කරන්න. "අපි දැන් පාටි දාන්නේ නැහැනේ. අනික කෝවිඩ් ඉවරත් නැහැනේ." 
මොන පිස්සුද? මම හොයා ගත්ත හේතුව. බ්ලොග් එකේ ලියයි කියල බයට. 

ඒ අතරේ මාස ගාණක් වැඩ අධික නිසා නොගිය ලන්ච් එකකට යන්න වුනා. මගේ යාළුවෙක් ගේ යාළුවෙක් මගේ යාළුවෙක් වුන සීන් එකක්. චණ්ඩිම කියල නමක් තිබ්බට හෙන අහිංසක ඩයල් එක. (එච්චරම සුවර් කරන්නත් එපා ඒක. දෙකට ගනින්න බැරිවගේ  ඉන්න එවුන්ලු හතරේ ඒවා ගහන්නේ)  ඉතින් චණ්ඩිමයි එයාගේ ආදරණිය බිරිඳ එස් එම් එන් මලීනුයි  කරපු ආරාධනයෙන් කෙන්ට් ප්‍රදේශයේ තිබ්බ ඒ ගෙදරට ගියා.  
 එදා උදේ බිරින්දෑ කිරිබත් හදල තිබ්බ දුව එන නිසා. එයාගේ උපන්දිනේ. එයා එනකන් කිරිබත් එක හංගල. ඉතින් මම සීරියල් ටිකකට සෝයා කිරි දාල කාල  බඩ පුරවාගෙන හිටියේ.  අනික කාටද ඕනේ ඔය ලුණු නැති කිරිබත් කන්න. (එයාගේ ජර්මන් ක්‍රමයට පැණි හෝ ජෑම්  දාල කන නිසා කිරි බතට ලුණු දාන්නේ නැහැ. කවද  කාපු ටකරන්ද) 

ඒත් ඉතින් අරහෙට යනකොට දොළහ පහුවෙලා "ස" කෙනෙක් කන්න බඩගිනි.  මෙන්න තියනවා ලුණු දාපු කිරිබත්. කෑලි දෙක තුනක් කනකොට මදි කියල තේරිලා එස් එම් එන් මලී කීව  කිරිබත්  දන්කුඩ තියනව කියල. "අපේ මේ චණ්ඩි හෙම හරි ආසයි නේ. ඒවා කාල තමා එයා  බල්ලා එක්ක චීනඩි ගහන්න යන්නේ" කියලත් කියපි. මමත් ඉතින් කීව වහාම ගේන්න කියල.  එතන හිටිය ටිබිලිසි නගරයේ ඉගෙන ගත්ත නම් ප්‍රසිද්ධ වෙනවට අකැමති යාලුව කීව එයා නම් කන්නේ පොෂ් කිරිබත් කෑලි විතරලු. 

මම කීව "හාහ් අපේ අම්ම දන්කුඩ දෙනව .  හකුරු හරි සීනි එක්ක හරි කන්න කිරි දාල " කියල විරය වගේ දන්කුඩ කතාවක් කිව. රැවුල එන්නේ නැහැ කියල අම්ම දන්කුඩ කන්න දුන්නේ නැහැ. අපරාදේ කියන්න බැහැ රැවුල නම් එනවා. කොණ්ඩේ තමයි නැත්තේ. ඇත්තම කියනවනම්  කතාව  අහුල ගත්තේ නමිය හරි ටොමිය හරි දාපු ලින්ක් එකකින් මතක් වුන බ්ලොග් කතාවක්. ලියල තිබ්බේ ඉන්ද්‍රනාථ  තේනුවර. චන්ඩිම කුස්සියට රිංගල වෙනිසන් කරි (වෙනිසන් කීවේ  ගෝනා ද මුවාද කියල ෂුවර් නැහැ ) එකකුත් ගෙනාව. මලී "අනේ අපේ චන්ඩිත් කැමතියි "කියල  නැවැත්තුවේ නැත්නම් කිරිබත්  දන්කුඩ ටික ඔක්කොම කනවා ඉතුරු කිරිබත් කෑල්ලත් එක්ක. 
ඇවිද්ද තැන් 


ඔන්න ඊට පස්සේ අපේ සංචාරක චාරිකාවට ගියා. ගිය තැන නම් ලස්සනයි කියල කියත හැකි.  ඔය ලන්ඩන් වලින් එහා ඇවිදින් යනකොට ගොවිපළවල් මැදිනුත් යන්න ඉඩ දීල තියනව. බ්‍රිතාන්‍යයේ ඒවාට bylaws කියල කියන්නේ. කාගේ හරි පෞද්ගලික වත්තක්, ගොවිපලක් ඇතුලෙන් සාමාන්‍ය ජනතාවට  යන්න ඉඩ දෙන්න  ඕනේ අඩි පාර වැටිලා තියෙන්නේ ඒ හරහානම් සහ ස්වභාව ධර්මයේ හැසිරීමේ  ප්‍රීතිය භුක්ති විඳීම සඳහා නම් යන්නේ. කොටින්ම රැජිනගේ සහ චාල්ස් කුමාරයාගේ අක්කර ගණන් වතු  යාය වලටත් මේ නීතිය  එහෙම්මමයි. 
 
ඉතින් අපේ අඩිපාර වැටිලා තිබුනෙත් ගොවිපළවල් දෙකක් මැදින්.  ඔන්න එකක මැද පිට පැත්ත යටට හිටින්න  වැටිලා ඉන්නවා බැටළුවෙක්. කකුල් හතරම උඩ  තියාගෙන. දැන් කාන්තා පක්ෂය "අනේ අපොයි" කියනව. චණ්ඩිම  බැටළුවා පෙරලන්න දත කනවා. මම කිව්වා ඔය ෆුට් ඇන්ඩ් මවුත් ලෙඩේ ද දන්නේ නැහැ අල්ලන්න නම්  එපා කියල. කෝවිඩ් මදිවට ඒකත් හැදුනොත්. දැන් කට්ටිය අයිතිකාර ගොවිපලට කතා කරලා මෙසේජ් තියනව. මම ගූගල් කරලා බැලුවහම බඩදරු වෙච්ච බැටළු හාමිනේ ලත් වැටුනම  ඔහොම ඉන්නවලු. මම වහාම ඒක නිවේදනය කළා.  ඒ ගමන චණ්ඩිම පොඩ්ඩක් තල්ලුවක් දුන්නම මෙන්න මේකා වේගෙන් නැගිටලා දුවන් ගියා හරියට මුකුත් නොවිච්ච ගාණට.  ඔක්කොම ඉතින් ලොකු අත්පුඩියක් දුන්න අපේ දවසේ වීරයාට.

බුලා ගේ අයිතිකාරයාගේ ලෑන්ඩ් රෝවරේ 

අයිතිකාරයාගේ ටැට්ටර් සෙට් එක 


එතැනින් ගිහිල්ල වැටුනේ තව ගොවිපලකට. ඔය ලෑන්ඩ් රෝවර් එකෙයි ටැට්ටර වලයි පින්තූර ගත්තේ ඒකෙ. ලෑන්ඩ් රෝවරේ ගාවින් තමා යන්න තියෙන්නේ. එතැන ගහල තියනවා බුලා ගෙන් ප්‍රවේසම් වන්න කියල.  (Bull) බුලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳට වැඩුණු වර්ගයා බෝ කරන්න තියන් ඉන්න හරක් නාම්බෙකුට. ඒ කියන්නේ අනින බුලෙක්. හෙමින් හෙමින් කට්ටිය ගොවිපලේ අයිනෙන්ම ගියා. බුලා සහ රැජිනල  ටික තණ උලන් කනවා ඈත. මුල් කොටස පහු කරලා ගියා. ඊළඟ කෑල්ල මැදින් පොඩි වතුර පාරක් යනවා. ඒක හරහා ලී  ගේට්ටුවක් දාල උඩට ලී පඩි දෙක තුනක් දාල අනිත් පැත්තට පනින්න. මෙහෙ සාමාන්‍යයෙන් තියෙන ක්‍රමයක්. මම ඕක උඩට නැගල බැලුවහම දකුණු අත පැත්තේ ගේට්ටුවක් තියනවා.  ගේට්ටුව ඇරලා තිබ්බේ . එතැන ඉඳන් බැලුවහම පේනවා බුලා තණ කොළ හප හප ඉන්නව සැපසේ. බුලා එන්න ඕනේ අප ඉන්න හරියට ගේට්ටුවක් පහු කරලා. චණ්ඩිම වීරයෙක් ලෙසටම ගියා ගේට්ටුව වහන්න. මෙන්න ගේට්ටුව වහල බුලා දිහා බලාගෙන ඉන්නවා  අපේ වීරයා. ඒ අතරේ ඒ කෑල්ලේ වම් අත පැත්තේ ගස් වලින් හැදුනු වැටක් තියනවා. ඒ වැටේ එහා පැත්තේ තවත් ගේට්ටුවක් තියනව අපට පේන්නේ නැහැ. ඒ ගේට්ටුවෙන් තවත් බුලෙක් වැට පන්නල  ඇවිල්ල චන්ඩිම පිටිපස්සට  වෙලා බලන් ඉන්නව. මේ මනුස්පයා මේ අහවල් දෙයක් කරනවද ගේට්ටුව වහගෙන කියල. මට තවම මැවිලා පේනවා. බයට වැඩිය දැන් ඔක්කොම හිනා වෙනවා. අපි චන්දිමට කීව හෙමින් සීරුවේ වරෙන් පස්සෙන් පස්සට කියල. චණ්ඩිම චන්දෙ පැරදිච්ච මන්ත්‍රී කෙනක් වගේ  දැන්  ශේප් එකේ පිටි පස්සට ආව. ගොන් නාම්බත් මුකුත් නොදැක්ක වගේ තණකොළ කන්න ගත්ත.

මං කිව්වා ඔන්නොහෙ යමු කියල මූලිකත්වය ගත්ත. චණ්ඩිම සහ පවුල් පස්සෙන් එනවා.පොඩි එකා සන්දියේ ,  ඔය ඉස්සර ලුණුගල ඉන්න කොට,  අඩාවත්ත පාරේ යන වෙලාවල  දෙමළ ජනතාවගේ ලැයින් වලට පස්සේ හරියේ මී ගවයෝ ඉන්නව. මම කරන්නේ එතනින්  හෙමින් හෙමින් ගිහින් ඊට පස්සේ දුවනව හැටට හැටේ. මේ හරක් නාම්බෝ මොක්කුද ඒ මී හරක් එක්ක බැලුවහම. නෑදෑයෝ කියල හිතල ද දන්නේ නැහැ කිසිම තර්ජනයක් හරක් නාම්බා ගෙන් ආවේ නැහැ. දැන් අපි එහා පැත්තේ වැටෙනුත් පැනල මගේ බිරින්දැයි අර නම දාන්න අකමැති ට්බිලිසි යාලුවා සහ පවුලටයි කැ  ගහනවා එන්න එන්න කියල. ඕන් ඔය වෙලාවේ එහා පැත්තේ කෑල්ලේ හිටි ඔක්කොම එළදෙන්නුයි, වැස්සියෝයි , පොඩි වහු පැටි කෑලි ටිකයි, බුලෙකුයි ආවේ නැතෑ අපි හිටිය පැත්තට. කට්ටිය ආවේ හරියට "සජිත් ස" ගෙන් උසනම් සෙකුරිටි , මිටිනම් කම්කරු රස්සා ගන්න වගේ.    ඇවිත් අර අපේ යාළුවෝ  ඉන්න පැත්ත බලාගෙන ඔක්කොම එක දිගට උම්බෑ කියනවා. හරියට අනේ එන්න මේ පැත්තට තණ උලා කන්න. අපි අනින්නේ නැහැ කියනව වගේ. අපේ අතරමන් වුනු කට්ටිය දුවලා ගිහින් නතර වුනේ පාරේ.

අපි අර ඒ දවස් වල හිටි, පස්සේ කෙල වෙලා ගිය "අළුත් පරපුර" වගේ   නිර්භය පරපුරක් ලෙස  ඉතින් කොහොම හරි පාර හොයාගෙන ජොයින් වුනා කට්ටියට.  
 
ආපහු චණ්ඩිම ලගේ ගෙදර ඇවිත්  ආගිය දේ කතා කරලා ඉඳ ගත්ත වෝදච්කි ටිකක් බොන්න. වදා කියල රෂියන් වලින් කියන්නේ වතුර වලට. මේක ටිකක්  වතුර වගේ පෙනෙන බීමක්. දෙක තුනක් දාගත්තාම රෂියන් දන්නැති අයත් ඒ භාෂාවෙන්ම කතා කරනවා.  

ඔන්න එස්එ න් එම් මලී අරන් ආව අර කමෙම්බෙයාර් චිස් වගේ තියෙන්නේ , සමහර ඒවාට බ්‍රී කියලත් කියනවා. ඒකක් උදුනේ තියල  හොඳට රත් කරලා. මැදට රස සෝස් එකක් හදල දාල. දියවෙන චීස් හරිම රහයි කන්න. මාක් ඇන්ඩ් ස්පෙන්සර් එකෙන් ගත්තද දන්නේ නැහැ. කිව්වේනම්  එයා හැදුව කියල. හැබැයි ඒකට දැම්මලු ගන් පව්ඩර් සෝස්. ඒ කියන්නේ වෙඩි බෙහෙත් දාපු සෝස් . මේකනම් මේ  පෙරටුගාමී පක්සේ   කඩාකප්පල්කාරී වැඩකට සෙට් වෙන්නද  කොහෙද කියල බයත් හිතුනා. එස් එම් මලී පක්ෂෙකින් දාපු ඔත්තුකාරියෙක් වෙන්න බැරිද ?  ළඟදීම ඉවෙන්ට් එකකුත් තිබෙනවා.  ගිනි කූරක් ගැහුවනම් බඩේ ප්‍රීති වෙසක්.  හැබැයි ඒක නම් රහයි. ඒ වගේම ගොඩක් බයිට් තිබුන ඉතින් චීස් තමා වැඩි පුරම.

ඔය අස්සේ මට ඇහෙනවා කුණු කුණු ගානවා කුස්සිය පැත්තෙන්. 
"ඔයා අර සම්බෝලේ හැදුවද?"
"ඔව් අනේ රතු  සම්බෝලෙයි, ලූණු සම්බෝලෙයි , අවුමිරිස් සම්බෝලෙයි ඔක්කොම තියනවා."
"වරද්දන්න  එපා,  අනිත් පාර සම්බෝල  නැහැ කියල ලීවොත් හෙම "
"නෑ නෑ , අනේ එහෙම වෙන්නේ  නැහැ" බලනකොට එස් එන් එම් මලීයි චණ්ඩිම යි, ඕන්  අරන් එනවා සම්බෝල සෙට් එකක්ම. හපොයි මේ සම්බෝලයක් ගැන ලියල වෙච්ච  දෙයක්.

අපරාදේ කියන්න බැහැ  ගොඩමස් , දිය මස් දෙකම තිබුන ලන්ච් ඩිනර් එකට. කෑවේ ඔය අතරමැදි වෙලාවකනේ. බත් ඉඳියාප්ප ජාති ඔක්කොම එක්ක. කන්නත් බෑ ඉතින්..   ඩෙසර්ට් නුත් හොඳටම තිබුන.

චණ්ඩිම මගෙන් ඇහුව කෑම එක කිසි අවුලක් නැහැ නේද. මං කිව්වා සුපිරියි කියල. මෙන්න මෙයා  පෙන්නනවා මොබයිල් එක. උත්තරේ රෙකෝඩ් කළාලු. අපි නම් අහුවෙයි ඕවට. 

සාමාන්‍යයෙන් ඩ්‍රින්ක් එකක් දාල කෑව වෙලාවට රෑ වුනහම බිරින්දෑ තමයි ගෙදර යනකොට ඩ්‍රයිව් කරන්නේ. රෑට දැන් හරියකට ඇස් පේන්නෙත් නැහැ නොව. මම ඉතින් සැපට නින්දක්  දාගෙන එනවා.
යාන්තන් නින්ද යා ගෙන එනකොට මතක් වුනා.

නිවිති දාපු පරිප්පු තිබ්බේ නැහැනේ. අඩුම ගානේ තම්පලා දාපු පරිප්පු හරි තිබුනා නම්.

****************************************************************************
මේ කතාව එතනින් ඉවරයි. මම ලියපු "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොත පිලිබඳ සංවාදයක් මේ මාසේ 13 දා ලන්ඩන් වල තිබෙනවා. ඒ පැත්තක ඉන්නවානම් එන්න.  හවස 4.00 ඉඳන්.  විජිත  ගුණරත්න ස්වීඩනයේ ඉඳන් සහභාගී වෙයි.  අධ්‍යක්ෂක නුවන් ජේ ත් එනවලු.  ඩිලානි හදන බුරියානි එකට චණ්ඩිම ගේ ට්‍රේඩ් මාක් පෝක්  කරියක් තිබෙන නිසා එන බව මට කීවොත් හොඳයි. නැත්නම් මදිවෙයි.  ෆේස්බුක් /කෝල් ඕන එකක් දෙන්න. 
සම්බෝල හෝ පරිප්පු නැති  බව කරුණාවෙන් සලකන්න.

(දැන්වීම හැදූ සරද සමර ට ස්තූතියි)