Sunday 28 February 2021

දැරියකගේ මිය යාම

දැන් මේක කරපු නූගත් ගැහැණිය පොලිසියෙන් අල්ලලාලු. ඒ ඇයි?

මම ඉල්ලා සිටිනවා  වහාම  ඒ ගැහැණිය නිදහස් කරන්න. අමනුෂ්‍ය බලවේගයක් තියනවා කියල ඒ කාන්තාව දේව පූජාවක් කරලනේ ඒක සනීප කරන්න.
ඒක පොඩ්ඩක් වැරදිලා. 
 නාථ දෙවියන්ට වකුගඩු රෝග හොයල දෙන්න පුලුවන්නම් , කාලි අම්මට කොරෝනා මර්දන පැණි හදල දෙන්න පුලුවන්නම්, බෝන් අගේන් දෙවියන්ට  ආදරණිය  ගායකයෙකු ගේ උගුර හොඳ  කරන්න පුලුවන්නම් (ගායකයා වෙන ආගමකට යාම ගැන ඇති ලේබල් සිංහල බෞද්ධ කල්ලියේ හොර  විරෝධය ගාවා නොගන්න), සෝවාන් කරවන්න ලක්ෂ දෙකක් ගන්න  සිවුරක් පෙරවාගත්    හාමුදුරු කෙනෙකුට පුලුවන්නම්,  මේ වැඩේ වැරදි ඇයි?
 අමනුෂ්‍ය බලවේගයක් අයින් කරන්න දේවාලෙකට ගිහින් පූජාවක් තියල ලෙඩේ සුව කරන්න  දෙවියෝ කියපු විධිහට ගහන්න   ඇති ?  අර අම්මත් බයට බලන් ඉන්න ඇති? 
එක පැත්තකින් අමනුෂ්‍යය බලවේගය. අනිත් පැත්තෙන් දේවාලේ ආඥාව.
 මෙයාව විතරක් අල්ලල  නඩු දාන්නේ ඒ අහිංසක ගෑනු ළමය මැරුණ  නිසාද? 
එහෙම නම් ඒ මරණයට වගකිව යුතු  ඔය කියන  අමනුෂ්‍ය බලවේගය නේද අල්ලලා හිරේ දාන්න ඕනේ.වරද වෙලා තියෙන්නේ එතනනේ. 
(පොලිසියේ අවධානයට)
එහෙම නැත්නම් ඔය ඉහත කී මිත්‍යාවන්  අනුමත කරලා ලියන මාධ්‍ය සෙට් එකත් අල්ලනවද?

 මේ ගැහැණු ළමයගේ මරණය පිළිබඳව මම චෝදනා කරන්නේ ලිබරල් වේශයෙන් ඉන්න හොරුන්ට, ද්වන්ධාත්මක දෙපිටකාට්ටු (හොර භෞතික)  වාදීන්ට සහ ලේබල් ආගම් කාරයන්ට. තමන්ගේ පාඩුවේ ආගමක් දහමක්  කරගෙන ඉන්න මිනිසුන්ට නොවේ.  ඒ මෝඩ ගැහැණියටත් නොවේ. 
මේවා වෙන්නේ අර නාතවාදී , කාලිවාදී , බෝන් අගේන් කාරයෝ  නිසා හා ඔවුන්ව වර්ණනා කරන මාධ්‍ය  නිසා  නොවේද? 

පුවත ගොසිප් ලංකා අඩවියෙන් 
https://www.gossiplankanews.com/2021/02/delgoda-girl-incident.html

Friday 12 February 2021

සමනළ වැව කාන්දුව

සමනළ වැව කාන්දුව 
කාන්දුව ඇරඹුන  ස්ථානය 


පසුගිය දිනක බ්ලොග් අඩවියක  ජල විදුලි බලාගාර පිලිබඳ ලිපියක් පළවිය. එහිදී මම  සමනලවැව ජල විදුලි බලාගාරයේ ජල කාන්දුව පිළිබඳව  සඳහනක් කලෙමි. ඒ ගැන විස්තරයක් සපයන්නට මා පොරොන්දු නිසා තව දුරටත් සොයා බැලීමක් කලෙමි.

මෙසේ  සොයද්දී  ලංකාවේ පළමු සුළඟින් ක්‍රියාත්මක වන පුනර්ජනනීය විදුල බලාගාරය මන්නාරම දී අගමැතිතුමා අතින් මෑතකදී විවෘත  වූ බවට පුවතක් දුටුවෙමි. මෙය ඉතා සාවද්‍ය පුවතක්  බව හොඳින් දනිමි. මා එසේ කියන්නේ අපේ විශ්ව විද්‍යාලයේ (මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ)  උගත් හේමාලි සෙනෙවිරත්න (nee කරුණානායක )   ලංකාවේ පළමු සුළඟ මගින් විදුලිය ජනනය කරන  විදුලි බලාගාරයේ (pilot project) භාර විදුලි ඉංජිනේරුවරිය ලෙස රැකියාව කල හෙයිනි. එය පිහිටා  තිබුනේ හම්බන්තොටය. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෙය ස්ථාපිත කෙරුනේ  (commissioned) 1999 දීය. එකකින්  කිලෝවොට් 600 උත්පාදනය කරන  සුලන් ටර්බයින් පහක් මෙහි තිබුණි. (මුළු උත්පාදනය මෙගාවොට් තුනකි)( five NEG Micon M1500-600 wind turbines of 600 KW each. )  . එසේනම් එයට සිදුවූයේ කුමක්ද? හම්බන්තොට සෑහෙන ඉඩම් ප්‍රමාණයක් චීනයට වසර 7-8 කට කලින්  බදු දෙන ලදී. ඒ බදුදෙන ඉඩම් වලට CEB එකට අයත් බලාගාරය පිහිටවා තිබුණු ඉඩමද ඇතුලත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ  ශ්‍රී  ලංකා විදුලි මණ්ඩලයට විශාල මුදලක් චීන සමාගමට කුලිය වශයෙන් ලංකාවේම ඉඩමකට ගෙවන්නට සිදුවීමයි.එය අවාසි සහගත හෙයින් මේ කුඩා බලාගාරය අත හැර දමන්නට ඇත.  
සමනල වැව  බලාගාරය ඉහල සිට බලන විට 

සමනල වැව ජල විදුලි  බලාගාරයක් පිහිටවීම පිළිබඳව මුල් අදහස ඉදිරිපත්  කෙරුනේ සිරිමා බණ්ඩාරනායක රජයටය. ඒ සඳහා කල ශක්‍යතා අධ්‍යනය සෝවියට් භූ විද්‍යාඥයන්  හා ඉංජිනේරුවන් ගේ ආධාරයෙන් කරන ලදී. සෝවියට් වරු ජල විදුලි බලාගාර සැදීමේ දක්ෂයින්  හෙයින් (සයනා සුශේන්ස්කයා මෙගාවොට් 6000, ක්‍රස්නයර්ස්ක් මෙගාවොට් 6000, අස්වාන් වේල්ල)  මේ ගැන මට සැකයක් නැත. සෝවියට් විද්‍යාඥයන් සමනලවැව අවට හුණුගල් සහිත පස නිරීක්ෂණය කළ අතර වේල්ලක් බැඳ  ජලය විශාල ප්‍රමාණයක් එකතු වුන හොත් හුණුගල් පස තුලින් ජලය කාන්දු  විය හැකි බැවින් එතැන බලාගාරයක් තැනීම නුසුදුසු බවට නිගමනය කළහ. 

නමුත් ජයවර්ධනය රජය යටතේ 1986 දී සමනල වැව වේල්ල හා බලාගාරය ඉදි කිරීමට  දේශපාලන තීන්දුවක් ගන්නා ලදී. එහි හරි වැරැද්ද  කෙසේ වෙතත් අද ශ්‍රී  ලංකාවට  අවශ්‍ය විදුලි බලයෙන් විශාල ප්‍රමාණයක් සමනල වැව බලාගාරයෙන් ජනනය වෙයි. මේ යෝජනා ක්‍රමයට  අඩු පොලියට ණය මුදල සපයන ලද්දේ ජපාන හා බ්‍රිතාන්‍ය රජයන් විසිනි. 

කාන්දුව ඇරඹුන  ස්ථානය 

කාන්දුවන ජලය පිටතට යන මාර්ගය 



සමනල වැව වේල්ල මීටර 100 පමණ උස වන අතර දිගින් මීටර් 530කි . ජල ධාරිතාවය කියුබික් මීටර් මිලියන් 218ක් පමණ වේ.  ජලය පිරවෙන විට ජල කාන්දුව සෝවියට් විද්‍යාඥයන් කී  ලෙසම පටන් ගැනුනි. බලාගාරය හා කාන්දුව ගැන වැඩි විස්තර අපිතොපි බ්ලොගයෙන් කියවන්න. නැත්නම් විකිපෙඩියා යොමුවට යන්න.  

මුලින්ම මේ කාන්දුවන  ස්ථානයෙන් දුර්වල ස්ථානයක  පස බිඳගෙන ජලය එලියට පැමිණ ඇත. වතුර ලීටර 2100 පමණ කාන්දුවෙන  අතර ඒ දකුණු ප්‍රදේශයේ සුළු වශයෙන්  පස නාය යාමද සිදු වුනි. නමුත් ජලාශයේ විශාලත්වය නිසා ජල විදුලි ජනනය අඩුවීමට එය බලපෑවේ නැත. සමනල වැව ප්‍රධාන බලාගාරයේ මෙගාවොට් 62 ටර්බයින්  දෙකක් තිබේ. එහි  මුළු ධාරිතාවය ඒ අනුව මෙගාවොට් 124කි. 

 එකම ප්‍රශ්නය කාන්දුව විශාලවී මුළු ජල කඳ එතැනට යොමුවී පැත්තක් බිඳී  යාමේ තර්ජනයයි. නමුත් විදුලි බල මණ්ඩලය විසින්  නොයෙකුත් උපක්‍රම  භාවිතා කරමින් කාන්දුව වසන්නට උත්සාහ  කළහ.  පස් හා විශේෂිත මැටි වර්ගයක් පිරවීම මින් ප්‍රධාන තැනක් ගති. නමුත් මේවායින් කාන්දුවේ  නැවැත්වීමක් සිදු නොවුනි. මින් ප්‍රධාන බලපෑමක් සිදු වුනේ පහල නිම්නයේ කෘෂි  කාර්මික කටයුතු වලටය. ඒවාට ජලය මද විය. වෙනම සොරොව්වක් (IRV ) මගින් කෘෂිකාර්මික ජලය මුදා හැරීමට තිබුනද කාන්දුව නිසා මුදාහරින ජලය  අඩුවන බව පෙනී ගියේය. 




කාන්දුව ඇරඹුන ස්ථානය 

අප 2018 දී ගිය වෙලේ දැනගත්තේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්  ඒ සඳහා ඉතා හොඳ විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ නම් එම කාන්දුවන ජලයේ ප්‍රධාන ස්ථානයක් තෝරා  එම ජලය වෙනත් පිටත් මාර්ගයක් මගින් (exit) මගින් තවත් කුඩා ජල විදුලි බලාගාරයකට එය යොමු කිරීමයි. (උඩම පින්තූරය හා පහල පින්තූර) මෙයින්  එම කාන්දුවන ජලය  මගින් විදුලිය උපද්දවා එය ද ජාතික පද්ධතියට එකතු කරන ලදී. මෙය මෙගාවොට් 1.2 පමණ අඩු අගයක් ඇති කුඩා විදුලි බලා ගාරයකි . 
එසේම එයින් කිසියම්  ප්‍රමාණයකට කාන්දුව පාලනය කිරිමටද හැකි විය. එයට හේතුව කාන්දු වන ස්ථානය අවට  හුණු ගල් , වැලි හා පස්  ජලය සමග ඇදගෙන ගොස් එම වටප්‍රමාණය විශාල වන අවදානම මෙයින් පහවගොස් ඇති බැවිනි.    එය එසේ නමුත් වෙනත් තැනකින් කාන්දුවක් මතු වේදැයි  සොයා බැලීමට ඉංජිනේරුවන් නිතර විමසිල්ලෙන්  සිටිති.

එවකට සිටි මහවැලි ඇමතිවරයා  විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් ද විමසා සමනල වැව  යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගැන ඔහුට දොසක් කිව නොහැක්කේ එමගින් ජනනය කරන විදුලි බලය නොවන්නට ශ්‍රී ලංකාවේ  විදුලි අර්බුදය තවත් උග්‍ර වන්නට ඉඩ තිබූ  නිසාවෙනි. 

විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෝ ඒ ගැන දන්නා අය මේ ලිපියේ කරුණු වල වරදක් ඇත්නම් ප්‍රතිචාරයක්  මගින් දන්වන්න.