Friday, 6 September 2019

විජිත ගුණරත්න ගේ ප්‍රථම ප්‍රේමය ගැන නොවේ

මුල් පිට කවරය 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ "පරාරෝපණයේ විපාකය" (Alienation effect) සිද්ධාන්තය අනුගමනය කරමින් නාට්‍ය නිර්මාණයේ  යෙදෙන ප්‍රවීණ  නාට්‍යවේදියෙක්  හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු  වන විජිත ගුණරත්නයන් ට  "ප්‍රථම  ප්‍රේමය  ඔබ නොවේ " කෘතිය ගැන ලිවීම  සමහර විට  අපහසු කාර්යයක් වන්නට ඇත. නමුත් ඔහු එය කියවා ඇතැම් වෙනස් කම් පවා යෝජනා කර, දුරකතනයෙන් පැය ගණන් සාකච්ඡා කරමින් දුන් උපදෙස්  කෘතිය පරිපුර්ණ කිරීමට ඉමහත් සහයක්  වුනු බව මතක් කරමි. වෙළඳපොළ ට නිකුත්වන ප්‍රකාශනයක්  සමබර කර ගැනීමට ඒ අදහස් පිටුවහලක් වුනු බව නොකියා  බැරිය. මා එම සමබරතාවය ආරක්ෂා කර ගත්තාද යන්න නිර්ණය කිරීම ආදරණිය පාඨකයන්ට භාර කරන්නෙමි.


විජිත ගුණරත්නයන්  "ප්‍රථම ප්‍රේමය ඔබ  නොවේ " කෘතිය පිළිබඳව පළ කළ අදහස්. 

පසුගිය වකවාණු වලදී සෝවියට් රුසියාව  ගැන ලියවුනු ලිපි මෙන්ම, සිංහලට පරිවර්තනය කෙරුණු රුසියානු සාහිත්‍යය සමග ලෝක සාහිත්‍යය වෙත අපව යොමු කිරීමද කෙරුණ බව ඇත්තය. වර්තමානයේ වේගයෙන් ප්‍රචලිත වෙමින් තිබෙන බ්ලොග් ලේඛන රටාව නිර්මාණාත්මක ලෙස හසුරුවා ගනිමින්, සෝවියට් දේශයේ විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස මෑත ඉතිහාසයේ කතුවරයා විසින් අත්විඳින ලද කරුණු කාරණා සංයමයෙන් තෝරා බේරා ගනිමින්, කරන විමර්ශනය සමග බොහොමයක් පරිවර්තන කෘතිවලින් කියවන්නට නොලැබුණ, නව මානයක් ඔහු විසින් මේ කෘතියෙන් විවර කර තිබේ.

චරිත මුහුණ දෙන විවිධ අත්දැකීම් සහ සංසිද්ධීන් එකින් එක වාර්තා කිරීම වෙනුවට අවස්ථානුකූලව තෝරාගත් සිද්ධි නාට්‍යමය ආකාරයකට ගලපාගනිමින් මතුවෙන අනුභූතිය එක්වරම වින්ද අදරා ගැනීමට ඉඩ නොදී , සිද්ධිය සහ සිදුවීම පසුපසම නොගොස්, ඒ අවස්ථා යලි යළිත් පරිසරය සමග ගලපා කල්පනා කළයුතු තැනට පාඨකයා යොමු කිරීමට ඔහු වෙර දරයි. කතුවරයා ගන්නා එම වෙහෙස අපතේ ගොස් නැත. සරල භාෂා විලාසය ඒ සඳහා හොඳ  අත්වැලක් සපයා තිබේ.


දූපත් මනසිකත්වයෙන් යුතු සම්ප්‍රදායික සංස්කෘතික රාමුව තුල සිරවුණ පුද්ගලයන් එයින් මිදෙන්නට ඉඩක් ලැබෙන පළමු තත්පරයේදීම එයට බාහිරව හැසිරෙන අතර, සමහර අය ඒ කාරිය සඳහා ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට වැඩි කාලයක් ගනියි.   මෙම සත්‍යයට සමගාමීව අප අතපත නොගා සිටි සෝවියට් සමාජය සංස්කෘතියේ සීමාන්තික දෘෂ්ඨින් වල ඇති ධනාත්මක සහ සෘණාත්මක ලක්ෂණ විප්ලවයෙන් පසුව ඉතිරිවුණ පොදු දෙයක් ලෙස දකින කතුවරයා, විවිධ සංස්කෘතීන් අතර ඇති ගැටුම ඉදිරියට ගනිමින් ඒවා ලාංකීය සමාජය මත තබා, ස්වාධීනව ඒ ගැන යළි යළිත් සිතීමට අපට අනුබල දෙයි. යම් යම් සිද්ධීන් වලට චරිත දක්වන සම්බන්ධය සහ ප්‍රතික්‍රියා වල අනුපාතය අනුව සංකීර්ණතාවයන් ද විද්‍යාමාන වන බව අප වටහා ගත යුතුය. ඒවා සර්වකාලීන ලක්ෂණ නොවේ. සිද්ධි සහ අවස්ථාව විසින් යෝජනාකරන ගති ස්වභාවයන්ය.

ඒ ඒ චරිත සුසංවාදී වූ ද පරිපූර්ණ ජිවිත සොයා දිවි  අරගලයේ නිරත වූවෝ වෙති. එහෙත් ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්තය විසින්ම විටින් විට ඒ පැතුමට බාධා පමුණුවයි. ජීවිතය ඉදිරියට ඇදෙන්නේ ස්වභාවිකව පරිසරය විසින් යෝජනා කරනු ලබන මනුෂ්‍ය උවමනාවන් ගලපාගැනීමෙන් මිස, සම්ප්‍රදාය හෝ නීතියේ අනසකට යටත්වම නොවේ. ඒ අනුව සමාජය තුළින් උපුටා ගන්නා ලද වස්තු විෂය සහ තේමාව, ප්‍රබල සංස්කෘතික ගැටුමකට මුහුණ දෙමින් සිටි පුද්ගලයන්ගේ ජිවිත වල අධ්‍යාත්මය බිඳ, අධිෂ්ඨාන ශක්තිය හීන  කරවන අයුරු  අපට  මෙහිදී පැහැදිලිව දකින්නට තිබේ.

සම්මත සදාචාර සීමා  මායිම් වලින් පරිබාහිරව ප්‍රේමය, ලිංගිකත්වය සමග ජීවිතය නිදහසේ විඳ  ගැනීමේ අවශ්‍යතාවය සමග පොර බදන මානවයා   බේරා ගැනීමට වෙර දරන ප්‍රථම ප්‍රේමය කුමක්ද? "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " සම්ප්‍රදායානුකූල නවකතා  ගොනුවට එකතු කිරීමට ඇතැමුන් අකමැති විය හැකි නමුත්, නවකතාවක් ලෙස රස විඳීමටද ද අපහසුවක් නැති බොහොමයක් ලක්ෂණ මුසු වුනු නිර්මාණයක්  ලෙස සැලකිය හැකිය.


සාර්ථක නිර්මාණයක් හැමවිටම නවතාවයකින් යුතු රටාවක්ද නිපදවා ගන්නා බව ඇත්තය. නමුත් අප අමතක නොකළ යුත්තේ රටාව පමණක් නොව අන්තර්ගතය ද නිර්මාණයේ පරිපූර්ණ වීමෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කරන බවය. මේ දෙකරුණම සමබර කර ගනිමින් නිර්මාණ කරණයේ යෙදීම පහසු නොවේ. අජිත් ධර්මකීර්ති සිය කෘතියේදී එම සමබරතාවය  රැක  ගැනීමට වෙහෙසෙයි.  සමාජ දේශපාලන  සහ සංස්කෘතික  වශයෙන්  සමකාලීන  ජිවිතයේ ලැබූ අත්දැකීම් මතින්, වස්තු විෂය සහ තේමාව උපුටා ඉදිරිපත් කිරීම සහ නිරීක්ෂණය මත  පදනම් කරගත් සමීප සත්‍යය ප්‍රවේශමින් ගොණු කර ගැනීමටද ඔහු සමත් වෙන අයුරු අගය කළ යුතුය.


- විජිත ගුණරත්න
ස්වීඩන්

 .
මතක් කිරීමක්:

අජිත් ධර්ම විසින් රචිත 

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ"

ты не моя первая любовь

කෘතිය එළි දැක්වීම

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී

2019 සැප්තැම්බර් 21

සවස 3.30 ට

සුනිල් විජේසිරිවර්ධනයන් ගෙන්  හැඳින්වීමක්  සමග 

චන්ද්‍රගුප්ත තේනුවරයන් ගේ මොස්කව් මතකයන්

මෙහෙයවීම 

චූලානන්ද සමරනායක විසින් 

රුසියානු සහ සිංහල ගීත කිහිපයක් සහ රුසියානු නැටුමක්ද සමගින්



නො 10 ඉන්ඩිපෙන්ඩන්ට් මාවත කොළඹ 7

Monday, 2 September 2019

ස්වතන්ත්‍ර නිර්මාණ

සමහර ප්‍රකාශක නෝනලා, මහත්තුරු කියනව මේ ස්වතන්ත්‍ර නිර්මාණ නිකන් අත්දැකීම් වගේනේ. වැඩක් නැහැ කියල.
(ඒ කියන්නේ  අපට ලියන්න බැහැ. හැබැයි ඉතින් අපේ  සමහර යාළුවොත් එහෙමයි කියන්නේ . ඒ ගොල්ලන්ට අනුව සම්භාව්‍ය කට්ටියට විතරයි ලියන්න පුළුවන්)
මම මේ නිකමට අහන්නේ නිකොලායි ඔස්ත්‍රෝව්ස්කි "වානේ පන්නරය ලැබූ හැටි " එකේ ලියල තියෙන්නේ  එයාගේ මිත්තණියගේ වස්ත්‍රයෙන් තේ සමොවාර් එක අල්ලපු හැටිද කියල. මිත්තණියගේ වස්ත්‍රය තමයි ඉතින්.

"වසර 1932 දී "තරුණ ආරක්ෂකයා " සඟරාව "වානේ පන්නරය ලැබූ හැටි " කොටස් වශයෙන් පල කිරීමට පටන් ගති. මෙම නවකතාව සෝවියට් සිවිල් යුධ සමයේ ජීවත්වූ පාවෙල් කොර්චාගින් නමැති තරුණ විප්ලවවාදියෙකු වටා ගෙතුනකි. විචාරකයන් විශ්වාස කරන්නේ නවකතාවට පදනම් ව ඇත්තේ   ඔස්ට්‍රොව්ස්කි ගේ ජීවිතය  හා අත්දැකීම් බවයි.  

In April 1932 “Molodaya Gvardia” magazine began to publish “How the Steel was Tempered.” The novel is about a young revolutionary named Pavel Korchagin who supports the Soviets during the Civil War. Critics believe that the plot of the novel is based on Ostrovsky’s own life and experience.

මතක තියා ගන්න සැප්තැම්බර් 21 හවස 3.0 ට (3.00 ට විතර එන්න) රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී හමුවෙන්න.

ප.ලි
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කර්තෘගේ අත්දැකීමක් නොවේ.  එය ඔබගේ අත්දැකීමක් වීමට හොඳ සම්භාවිතාවක් තිබිය හැකිය.

https://russiapedia.rt.com/prominent-russians/literature/nikolay-ostrovsky/

Thursday, 29 August 2019

ජර්මනියේ කඳු මුදුනේ කැලෑ හෝටලය (නැගෙනහිර ජර්මනිය)


මේ ලඟදි  නෑදෑයින් දෙපළක ගේ විවාහ සංවත්සරයකට  ගියා ජර්මනියට. ඒ ගොල්ලෝ උත්සවය සැමරුවේ ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය හෙවත් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වූ රටේ (දැන් ජර්මන් සමුහාණ්ඩුවේ ) හෝටලයක. වල්ඩ්හොටෙල් බෙර්ගොෆ් කියන එකේ. ඒක තේරුම  කඳු මුදුනේ කැලෑවේ(වල්ඩ්)  හෝටලය  කියන එක. තුරින්ගියා වනය අසල ලුයිසේන්තාල් නගරයේ අක්කර ගණනක්  පුරා විහිදී ඇති හෝටලයක්.

මම  මීට කලිනුත්  නැගෙනහිර ජර්මනිය ගැන ලිපි පේලියක්ම ලිව්වා. ඒවා පහල ඇති. සෝවියට් දේශයේ ජීවත්වුණු ශිෂ්‍යයෝ හුඟක් අය දන්නේ තමන් දුම්රියෙන් පහුකරගෙන ගිය පෙදෙසයි නැගෙනහිර බර්ලිනයයි ගැන  විතරයි. මොකද බටහිරට යන්න නැගෙනහිර බර්ලිනයේදී  දුම්රියෙන් බහින්න වෙන  නිසා.  ඉතින් හුඟක් වෙලාවට මේ රට ගැන තීරණය කරලා ලියන්න ඇත්තේ ඒ දැකපු දේ අනුව වෙන්න පුළුවන්.

අපේ නෑදෑයින් දෙපල අන්ද්‍රියාස් සහ ඔහුගේ බිරිඳ ගීසේලා ගේ 20 වන විවාහ සංවත්සරය මේ හෝටලයේ තමයි ගත්තේ. සාමාන්‍යයෙන් අපි ඔක්කොම එදා අළුයම  වෙනකන්ම  මේ උත්සවය සමරන නිසා නතර වුනෙත් හෝටලයේමයි.

විශේෂත්වය මේකයි. මම නිකමට අන්ද්‍රියාස් ගෙන් ඇහුව මේ හෝටලේ අලුතෙන් හදපු එකක්ද කියල. මොකද මම උදේම සෞනා එකට ගියා ගිනි තපින්න. (ඇඟට හොඳයි). පිහිනුම් තටාකයේ  පීනුවා, උදේ කෑම එකත් නියමයි බුෆේ ක්‍රමයට.  එයා කීව නෑ  මේ පරණ හෝටලයක් අළුත් අයිතිකාරයෝ කියල.

කුතුහලය නිසා මම පොඩ්ඩක්  හොයල බැලුව.  කතාව ඇත්ත.  නැගෙනහිර ජර්මන් රට බටහිරට එකතු වුනු මුල් අවුරුදු කිහිපයේ නැගෙනහිර ජර්මන් රජයට අයත්ව තිබූ මේ හෝටලය වසා දැමුනා. ජරා ජීර්ණ වෙමින් තිබුණු හෝටලය සමාගමක් විසින් මිලදීගෙන පරණ තුබුණු අන්දමටම ගොඩ නැගුවා.
 මෙහි භුමියේ නොයෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම් තිබෙනවා එන අයට කරන්න. ඒ කියන්නේ කඳු නැගීම, බෝට්ටු පැදීම් වැනි දේ.

ඒ කියන්නේ මේ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ පරණ හෝටලයමයි. නැගෙනහිර ජර්මනියේ මේ වගේ හොඳ හෝටල් තිබුණා කියන එක තමයි දැන් නිගමනය. බලන කොට එහෙම ඒවා කිහිපයක්ම තිබිල තියෙනවා. එතකොට කවුද ඒවාට ගියේ. මම හිතුවේ කොමියුනිස්ට් පක්ෂයේ , ස්ටාසි එකේ උසස් නිලධරයන් වෙන්න ඇති  කියල. එහෙමනේ සාමන්‍යයෙන් වෙන්නේ.

නැහැ මේ හෝටලේට නම්  එවල තියෙන්නේ තමන් වැඩ කරන තැන්වල වැඩිම තරු ගාන හම්බ වෙච්ච අය හෙවත් හොඳම වැඩ කරුවා හෝ ඊළඟට ඉන්න කෙනා. හොඳම  ඉන්ජිනේරුව, හොඳම කම්කරුවා ඔන්න ඔය  වගේ. (ඒ ගොල්ලෝ කොහොමද තේරුවේ කියන එක දන්නේ නැහැ දැනට. පස්සේ හොයල කියන්නම්)

එතකොට තමන්ගේ පවුල පිටින්ම මේවාට  එන්න දුන්නලු. කෑම බීම  ඔක්කොම  නොමිලේ. එතකොට මේ ගිනි තපින සෞනා එක, පිහිනුම් තටාකය, මසාජ් කරන තැන් අනිත් එළි  මහන්  ක්‍රීඩා ඔක්කොමත් ඇතුළුව. ඒ ඔක්කොම නොමිලේ.

අම්මට සිරි, ඉතින් මම කිව්වා මගේ බිරිඳගේ නෑදෑයට ,
"ඉතින් කොච්චර හොඳද? එහෙමෙ තියෙද්දිනෙ ඔයාල මේ තිබ්බ සමාජවාදෙට බනින්නේ , ස්ටාසි එකෙන් විතරනේ  ප්‍රශ්නෙ තිබ්බේ කියල "
මිනිහ කියපි:
"ඔව් ඉතින්, නොමිලේ නම් තමයි, ඒත්  මේ හෝටලේට එන්න අවුරුදු හතක් පෝලිමේ ඉන්න ඕනේනේ "

ඉතින් සමාජවාදේට කෙළවුණ එක අහන්නත් දෙයක්ද?

දැන්  ජර්මනියේ නැගෙනහිර පැත්තේ සමාජවාදේ ඉවරවෙලා අවුරුදු 20 කටත් වැඩියි. හෝටලේ තවම  තියනවා. සල්ලි දීල බුක් කරලා ඕන කෙනකුට ඇවිල්ල විනෝද වෙලා යන්න පුළුවන්.

සමානාත්මතාවය සල්ලි වලට ගන්න පුලුවන්ද?

ඔය වෙලාවේදී තමයි මට කල්පනා වුනේ සමාජවාදී රටවල හිටපු ගොඩක් අය ඒ  කියන්නේ රුසියානුවෝ, නැගනහිර ජර්මන් ජාතිකයෝ, යුක්රේනියන් වරු සහ මෙකී  නොකී ජාතින් නිවාඩු යනකොට එළිමහනේ ඉන්න තමයි වඩා කැමති. කැලෑවක් හෝ වෙරළක් අයිනේ කුඩාරමක් ගහගෙන කඳු නගින්න, ගිනි තපින්න වගේ මුදල් අඩුවෙන්ම  වියදම් වෙන ක්‍රම වලින් නිවාඩුව ගත කරන්න තමා හදන්නේ. සමහරවිට ඕව පුරුදු වෙන්න ඇත්තේ අර වගේ පෝලිමේ ඉන්න ඕන නිසා වෙන්නැති නොමිලේ දෙන එකට .
හෝටලය ඉදිරිපස 

හෝටලයේ පිළිගැනීමේ කාර්යාලය 

ඇතුලේ පිහිනුම් තටාකය 
මේ පින්තුරය මම ගත්තේ 

සෞනා එක (උණුසුම් කාමරය)

Thursday, 22 August 2019

ප්‍රථම ප්‍රේමයේ ප්‍රශ්න - ты не моя первая любовь


අමාරුම කාලයක් ගත වුනේ. ප්‍රකාශක මහත්වරුන්ට මහත්මියන්ට  කෝල් කළා , මෙසේජ් යැව්වා. බලාපොරොත්තුව හිටියා. සමහර බ්ලොග් යාළුවොත් උදව් කරන්න බැලුව. හරිගියේ නැහැ. ඒත් මම බලාපොරොත්තුව අත හැරියේ නැහැ.
කාටවත් කිව්වේ නැති වුනාට ෆේස්බුක් ගිනුමත් බ්ලැක්ලිස්ට් වෙලා තිබුන. ඉවෙන්ට් එක හදන්න පමා වුනේ  ඒකයි.

හැබැයි අන්තිමට වගේ, මගේ අතින් වියදම් කරලා කර්තෘ ප්‍රකාශනයක් ලෙස  මුද්‍රණය කරන්න සියල්ල ලැහැස්ති කරලා තියෙද්දී ගැලවුම්කරුවෙක් පැමිණියා.  දැන් ඉතින්  මුද්‍රණයට ලැහැස්තියි.

ඔය අස්සේ හම්බ වුනා මෙන්න මේ පින්තුරේ. මට මතක විධිහට   ඇණයා  තමා මේක කිව්වේ.  මම කතාවේ මුල්ම හරියේ එක පරිච්ඡේදයක ලියල තිබුන  කතාවේ කතා නායකයා ගිහාන් නොම්මර 108 තාන්යා ගේ කාමරයට ගිය හැටි. එතැන එදා රෑ ඉන්න කොට අනිත් කෙල්ලෝ  තුන්දෙනා දුහුල් රාත්‍රී ඇඳුම් ඇඳන් හිටිය. ගිහාන්ට යට ඇඳුමත් පෙනෙන්න තරම් කියල.

ඉතින් ඕකට වැටුණු කොමෙන්ටුව තමයි , ඔය රුසියන් කෙල්ලෝ අඳින්නේ කිලිටු හලාත් එකක් කියන එක. ඉතින් ඔන්න පියෙර්ව මයෙස්කය පැත්තේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරෙක හිටපු සිසුවියෝ  තුන් දෙනෙක්  තමා මේ ඉන්නේ. ඔය දකුණු පැත්තේ කෙලවරේ ඉන්න  එක්කෙනා ඇඳන් ඉන්නේ ඔය හලාත් කියන එක. (රතු පාට ), නිකන් ඇඟට උඩින් දාන ඕවර්කෝට් කෝට් එකක්.

දකුණු පැත්තේ රතුපාට ඇඳුම හලාත් එකක් 

කියන්න සන්තෝසයි මේ තුන් දෙනාම හොඳින් ජිවත් වෙනවා මොස්කව් වල.  කසාද බැඳලා . දරු මල්ලෝ හෙම ඉන්නවා.

ඉතින් දවසත් ලැහැස්තියි. සැප්තැම්බර්  21 සෙනසුරාදා සවස 3.30ට. පුලුවන්නම් සවස 3.00 ට විතර ඇවිල්ල  අසුන් ගන්න. ගීත ගායනා , නැටුම් සහ පොඩි කතා දෙකක් විතරයි ඔන්න.

කතා කරන්න එන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර. දෙන්නම ඉගෙනුම  ලැබුවේ සෝවියට් දේශයේ. සුනිල්  මට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් හැටියට. තේනු සමකාලීන.

නිපුන ප්‍රනාන්දු, දිලිනි කාරියකරවන ගෙන් ගී දෙක තුනකුත් බලාපොරොත්තු වුනහැකි.

පොත කලින් මිලදී ගන්නවා නම් වට්ටමකුත් ලැබෙනවලු.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී
නො 10 ඉන්ඩිපෙන්ඩන්ට් මාවත කොළඹ 7 
No:10 Independence Ave, Colombo 00700, Sri Lanka

පොත ගන්න පුළුවන්ලු මෙන්න මේ කුටියෙන්.

Wednesday, 14 August 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 3

පෙර ලිපි:

චෙර්නෝබිල් - සැඟවිය  නොහුණු සත්‍යය 3

චෙර්නොබිල් න්‍යෂ්ටික විදුලි බලාගාරයේ හතරවන රිඇක්ටරයේ වාරික නඩත්තුව (routine maintenance) හෙවත් දෝෂ සෙවීමේ නෛතික වැඩ නැවැත්වීම යෙදී තිබුනේ 1986 අප්‍රේල් 25 දාටය.  කලින් ලිපියට ලැබුන ප්‍රතිචාරයක තාප හුවමාරු මධ්‍යස්ථානය (heat exchanger)   ගැන පවසා තිබුණි. මතක තබා ගත යුත්තේ මෙහි ජල වාෂ්ප කෙලින්ම ටර්බයිනයට ගමන් කරන බවය. heat exchanger  වෙනස්කම මෙවැනිරිඇක්ටර සඳහා පසුව පැමිණි  අලුත්වැඩියාවකි.  ඕනෑම විදුලි බලාගාරයක බලාගාරයේ යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවීම ආදී වැඩ සඳහා තමන් උපදවන විදුලියෙන්ම ක්‍රියා කරන  වෙනම විදුලි සැපයුමක් තිබේ. (supply) මේ විදුලි සැපයුම හදිසියේ හෝ ක්‍රියා විරහිත වුවහොත් විදුලි බලය සැපයීම සඳහා වෙනම  ඩීසල් ජෙනරේටර් තිබේ. මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

සාමාන්‍යයෙන් විදුලි ජෙනරේටරයක් නැවැත්වීම සඳහා අනුමත කරන ලද ක්‍රියා පටිපාටියක්  තිබේ. මෙය පැහැදිලිව ලියා බලාගාර අධ්‍යක්ෂක හෝ ප්‍රධාන  ඉංජිනේරු තැන අත්සන යොදා ඉන්පසු ඒ  අනුව ක්‍රියා කලයුතුය, චෙර්නොබිල් යනු විශාල ධාරිතාවයක්  ඇති බලාගාරයකි, හතරවන රිඇක්ටරයෙන් පමණක් විදුලි මෙගාවොට් 500 (MWe) ටර්බයින්  දෙකකට වාෂ්ප සපයයි.  එමනිසා  එම රිඇක්ටරයෙන් විදුලි මෙගාවොට් 1000 හා තාප 3200 මෙගාවොට් තාප බලයක්  නිපදවීමට පුළුවන. (නවත්වන තුරුම  එහි විදුලි හා තාප බල නිෂ්පාදන අගයන් වූයේ ඒවාය.මෙහිදී විදුලි මෙගාවොට් (MWe) හා තාප මෙගාවොට් (MWt) අතර වෙනස හඳුනා ගැනීම වැදගත්ය. විදුලි ධාරිතාව යන බලාගාරය නිපදවන විදුලියයි. තාප ධාරිතාව යනු එම විදුලි ධාරිතාව නිපදවීමට අවශ්‍ය  තාප ශක්තියයි.(heat energy ))

අප්‍රේල් 25 වනදා මෙම සාමාන්‍ය රිඇක්ටරය නැවතීමේ සැලසුම් කරන ලද ක්‍රියා පිළිවෙතට  සමගාමීව වෙනත් පරීක්ෂණයක් කිරීමටද තීරණය කරන ලදී.   එනම් ප්‍රධාන විදුලිය කපා හැරීමකදී නැවතී යන  ටර්බයින් හරහා කෙතරම් දුරට ප්‍රධාන ජල පොම්පාගාරයට   විදුලි සැපයුම සිදුවේ ද යන්න සොයා බැලීමයි. ජල පොම්පාගාරය මගින් ශීතල ජලය රිඇක්ටරයට යවන අතර එය අත්‍යවශ්‍ය දෙයකි. මෙම පරීක්ෂණය මීට  කලින් අවුරුද්දේ චෙර්නෝබිල් බලාගාරයේ කරන ලද මුත් ඉන් ලැබුණු දත්ත ගැන සෑහීමකට පත්වීමට ඉංජිනේරුවන්ට නොහැකි වුනි. එයට හේතුව වූයේ ටර්බයින් වලින් එන විදුලි බලය අවශ්‍ය දත්ත ගැනීමට ප්‍රථම ඉක්මනින්ම අවසන් වීමයි. මේ නිසා නව වෝල්ටේජ් රෙගියුලේටර වල (වෝල්ටීයතාවය හසුරුවන පාලකය)  සැලසුම් පරීක්ෂාවද සිදු කිරීමට තීරණය විය. මීට අමතරව විදුලිය සපයන  අතිරේක ඩීසල් ජෙනරේටර ක්‍රියාත්මක වීමට කොපමණ කාලයක් ගතවේද යන්නද සොයා බැලීමට නියමිතව තිබුණි.  රිඇක්ටරය නවතන කාලයේ මෙයද කිරීමට අධ්‍යක්ෂකවරු අනුමැතිය දෙන ලදී.

 චෙර්නෝබල බලාගාරයේ ඇතිකර  තිබූ   දේශපාලන තනතුරු වලින් ඉහලින්ම සිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සෙර්ගෙයි පරශින් ය. ඔහු අදත් ජිවතුන් අතර සිටී . රිඇක්ටරයේ දෝෂ සහගත බව ගැන ප්‍රධාන වශයෙන් චෝදනා කරන එක අයෙක්ද ඔහුය. ඔහුට බලාගාරයේ වැඩ පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබෙන්නට හැකි මුත් ඔහු ඉංජිනේරුවකු හෝ  න්‍යෂ්ටික  විද්‍යාඥයකුද නොවේ. 

   සෙර්ගෙයි පරශින් මේ සැලසුම් කළ අමතර පරීක්ෂණය ගැන දැන  සිටියේය.  

දැන් ඔය කියන රිඇක්ටරයේ දෝෂය සහ වැරැද්ද සමග සැබෑ වැරැද්දද විමසා බලමු.  මේ කියන දෙවන පරික්ෂාව සිදු කිරීම සඳහා දහවලේ සිටි ඉංජිනේරුවන් කළ කී දෑ පිලිබඳ නිසි වාර්තාවක්  හවස වැඩට වාර්තා කළ  ඉංජිනේරුවන් හා සහායක නිලධාරීන්ට භාරදී තිබුනේ නැත. එසේම මේ පරික්ෂාව  සිදු කරන ඉංජිනේරු / කාර්ය නියාමක  කණ්ඩායම හා රිඇක්ටරයේ ක්‍රියාකාරීත්වය (operation)  හා  ආරක්ෂණ  ක්‍රියාමාර්ග (safety procedure) භාරව සිටි කණ්ඩායම අතර සම්බන්ධතාවයක් තිබීද නැත. රිඇක්ටරයේ නැවතීමේ ක්‍රියාවලිය හා  තමන් ගේ පරීක්ෂණය අතර සම්බන්ධයක් නැතැයිද කිසිදු බාධාවක් නැතැයිද  අමතර විදුලි බල සැපයුම පිලිබඳ පරීක්ෂණය මෙහෙයවන ඉංජිනේරුවන් සිතුවේ ඇයි?

දැන් මේ සැලසුම් කල පරීක්ෂණ න්‍යායපත්‍රයට අනුව රිඇක්ටර කුහරයේ හදිසි ශීතකරන පද්ධතිය  (emergency core cooling system- ECCS) නැවැත්විය යුතුය. මින් කරන්නේ හදිසි අවස්ථාවක කුහරයට ශිතල ජලය සැපයීමයි. ඉන්පසු සිදුවූ දේ කුමක් වුවත් මෙය අනුමත ආරක්ෂක ක්‍රියාවලියයෙන් බැහැර යාමකි.

රිඇක්ටරය නවතා දැමීමේ ක්‍රියාදාමය යන අතරතුර එය මුළු ධාරිතාවයෙන් භාගයක් පමණක් නිපදවමින් තිබුණි. මෙහිදී කීව් නගරයේ ස්ථානගතව සිටින ප්‍රධාන විදුලි සැපයුම් බෙදාහැරීමේ නිලධරයා (electrical  load dispatcher)  තව දුරටත්  විදුලි නිෂ්පාදන අඩු කිරීමට අවසර නුදුන්නේය. ඒ ප්‍රධාන ජාලයට (main grid)  විදුලිය අවශ්‍යව තිබූ බැවිනි.  

එය එසේ තිබියදීම (භාග ධාරිතාවයෙන් වැඩ කරද්දීම) අර ඉහත කී
පරීක්ෂණය ක්‍රියාත්මක කරන කණ්ඩායම තම න්‍යාය පත්‍රයට අනුව යමින් විසින් කුහර ශීතකරණ පද්ධතිය  ECC  වසා දැමුණි.  අප්‍රේල් 25 රාත්‍රි එකොළහට පමණ ප්‍රධාන විදුලි ජාල නියාමක (grid controller) රිඇක්ටරයේ බලය (reduction of power) අඩු කිරීමේ ක්‍රියාවලිය නැවත  පටන් ගැනීමට අවසර දුනි.

චිත්‍රපටයේ සඳහන් නොවන කාරණාවක් වූයේ මෙයයි. මෙම පරික්ෂාව සඳහා තාප මෙගාවොට් 1000 (MWt) බලයකට රිඇක්ටරය තබා ගත යුතුය. මේ රිඇක්ටරය නවතා  දැමීමට ප්‍රථම තබා ගත යුතු තත්වයකි. කෙසේ හෝ වේවා මෙහෙයුම් දෝෂයකින් මේ තාප බලය තාප මෙගාවොට් 30 (MWt) දක්වා පහත වැටුණි.
දැන් මේ මෙහෙයුම් දෝෂය කුමක්දැයි කිසිවෙක් කොහෙවත් කියන්නේ නැත. චිත්‍රපටයේනම්  එදා ඒ අවස්ථාවේ සිටි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු අනතෝලි දියතලොව් තාප බලය පහලට දැමීමට අණදුන් බවක් පෙන්වයි. එසේ කීමට කිසිදු සාක්ෂියක් නැත. පාලක යෂ්ටි (control rods)  පහලට දැමීමට අණ දුන්නේ නම් ඔහුය. (එය ඔහු පසුව පිලි ගත්තේය ) 

මෙතැනදී මම කලින්  ලිපියේ සඳහන් කල ධනාත්මක රික්තක සන්ගුණකය (positive void coefficient ) වැදගත් වන්නේ මේ සංගුණකය මෙවැනි අවස්ථාවකදී  බලාත්කාරී සාධකය වන නිසාය.

අපි නැවතත් මෙය මතක් කර ගන්නවා නම්  බලය වැඩි වන විට හෝ එන ජල ප්‍රමාණය අඩු වන විට ජල වාෂ්ප නිෂ්පාදනය වැඩිවේ. සාමාන්‍යයෙන් වැඩි ජලය මගින් අවශෝෂණය කරන ලබන නියුට්‍රෝන් මෙහිදී නිදහස් වී  ප්‍රතික්‍රියාව වැඩි කිරීමට දායක වේ. අනිත් පැත්තට බලය හා ඉන්ධන (මෙහිදී යුරේනියම්) උෂ්ණත්වය වැඩි වන විට නියුට්‍රෝන් දහරාවේ  (flux) ප්‍රමාණය අඩුවේ. මෙය සෘණාත්මක ඉන්ධන සංගුණකය   (negative fuel coefficient) නමින් හැඳින්වේ.  නමුත් නිෂ්පාදිත බලය (power output) අඩු වන විට  ධනාත්මක රික්තක සන්ගුණකය බලාත්කාරී වී රිඇක්ටරය අස්ථාවර වේ. මෙසේ අස්ථාවර වූ වහාම ඉතා වැඩි බලයක් හදිසියේ නිපදවීම වැනි දෙයක් සිදුවීමේ  සම්භාවිතාව අතිශයින් වැඩිවේ. 
අප නැවත දාම ක්‍රියාවලියට යමු. දැන් නියුට්‍රෝන අවශෝෂණය වනවා වෙනුවට ප්‍රතික්‍රියාව වැඩිවීමේ අවදානමක් මතුවේ. 

දැන් මම ඔබලාට ඉතාමත් පරිස්සමින් කලයුතු නිරීක්ෂණයක් කියන්නම්. මයික්‍රෝවේව් අවන්  එකක්  තිබේනම් කිරි වීදුරුවක් නටන උෂ්ණත්වයට  එනතුරු රත් කරන්න. බීමට  පෙර එය මදක් නිවිය යුතු බව ඔබ දන්නෙහිද? විකිරණයෙන් රත් කරන විට වතුරු බුබුළු ඉවත් විය යුතුය. නමුත් කිරි ප්‍රෝටීන ඛණ්ඩනය වීමේදී කිසියම් ස්තරයක් (foam) වතුරු බුබුළු වටා බැඳේ. තවත් තාපය  වැඩිවන විට මේවා  තවත් ප්‍රසාරණය වේ.
 සාස්පානක  ළිපේ උණු   කිරීමේදී බිත්ති වල බැඳෙන ජල වාෂ්ප  මෙන් නොව  කිරි බුබුළු තාපය වැඩිවන විට පුපුරා යයි.

 ඊළඟ ලිපිය කියවීමේදී මෙය මතක තබා ගන්න.

ඉතිරි කොටසින් පිපිරිම ගැන කතා කරමු.


~~~මතු සම්බන්ධයි ~~~~~~~

Tuesday, 13 August 2019

දයාබර චූටි දුවට

දයාබර චූටි දුවට 

ගොඩක් කල් ගිහින් 
ඔයා  ලෝකෙට ඇවිල්ල 2003 දී 
ඔයා  ආවෙම ලොකු සටනක්  දීල 
ඔයාගේ අම්මට ලේසි වුනේ නැහැ 

නමුත් එදායින් පස්සේ සතුට විතරයි 
අම්ම එක්ක ඔයා බලා හදා ගන්නකොට 
පහුගිය සොළොස් වස තුල 
නුවණැත්තී  මෘදු සිතැත්තී 
සතුටු පිරුණු මංජුසාවක් - ඔබ 

ඉක්මනින්ම ඔබ මේ කැදැල්ල 
හැර යාවි 
මම ගියා වගේම කාලෙකට ඉහත 
නමුත් මතක තියා ගන්න 

හදවතක් තිබේවි හැමදාම 
දකින්න ඔබේ වත 
අසන්න ඔබේ හඬ 
විඳින්න ඔබේ සිනහව 

සුභ උපන් දිනයක් චූටි දුව 

-තාත්තා 


Thursday, 1 August 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 2

විකිපෙඩියා 
චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 1

ලිපි පෙළේ මේ කොටස මදක් නීරස විය හැකිය.

චෙර්නොබිල් ගැන කතා කිරීමේදී න්‍යෂ්ටික විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලීම වටී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා දෙවර්ගයක් අප දනිමු. ඒ  න්‍යෂ්ටික විඛණ්ඩනය (nuclear fission ) සහ න්‍යෂ්ටික විලයනයයි (nuclear fusion). මෙහිදී අපට වැදගත් වන න්‍යෂ්ටික විඛන්ඩණයේ දී අධික වේගයෙන් එන නියුට්‍රෝනයක් වැදීමෙන් පරමාණුවේ න්‍යෂ්ටිය දෙකට බෙදේ. මෙහිදී එම බෙදෙන න්‍යෂ්ටිය තවත් නියුට්‍රෝන් දෙකක් හෝ තුනක් නිකුත් කරයි, එය තවත් න්‍යෂ්ටි වල ගැටේ. දිගින් දිගටම සිදුවන මෙය දාම ප්‍රතික්‍රියාව (chain reaction) ලෙස හැඳින්වේ.

මෙහිදී ශක්තිය ගැමා විකිරණ (gamma radiation) වශයෙන්ද නියුට්‍රෝන හා න්‍යෂ්ටියේ ගැබ්ව තිබු චාලක ශක්තිය වශයෙන්ද විශාල බල ශක්තියක් (energy) මුදා හැරේ. න්‍යෂ්ටික බලාගාරයක ප්‍රේරිත නියුට්‍රෝනයක් ( induced neutron) මගින් මේ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ කළ හැකිය. මේවාට යොදා ගන්නේ විඛන්ඩණ කළ හැකි අයිසෝටොප්ය. එනම් එකම වර්ගයේ පරමාණුවේ න්‍යෂ්ටියේ    නියුට්‍රෝන ප්‍රමාණය  වෙනස් මුලද්‍රව්‍යයන් ය.යුරේනියම් 233,  යුරේනියම් 235, යුරේනියම් 238, ප්ලූටෝනියම් 239 මේවාට උදාහරණයන් ලෙස ගත හැකිය. ප්ලූටෝනියම් 239 න්‍යෂ්ටික ආයුධ සඳහා භාවිතා කෙරෙන න්‍යෂ්ටික ඉන්ධන වර්ගයයි. (nuclear fuel  - weapons grade ) 
දැන් අපි විමසා බැලිය යුත්තේ දොල්ෂෙල් සහ අනිකුත් සෝවියට් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් නිපදවූ RBMK රිඇක්ටරය ගැනය.

මීට ප්‍රථම අපි අර දාම ප්‍රතික්‍රියාපෙලට නැවතත් යමු.  අපි යුරේනියම් පරමාණුවක්  නියුට්‍රෝනයක් යවා බින්දා යයී සිතමු. එවිට එයින් පිටවන නියුට්‍රෝන තවත් පරමාණු දෙක තුනක වදිනු ඇත. එසේම එය තවත් ඒවා වල වදිනු ඇත. අපට මෙම ක්‍රියාදාමය අපට අවශ්‍ය පමණට පාලනය කර ගත යුතුය. එයට හේතුව මින් අතිමහත් තාපයක්  හා එවැනිම විශාල බල  ශක්තියක් නිපදවෙන නිසා ඕනෑවට වඩා නිපදවෙන ශක්තිය අනවශ්‍ය සහ අනතුරුදායක බැවිනි.

එමනිසා මෙසේ එලියට පනින නියුට්‍රෝන් ගණන සීමා කරන්නේ කෙසේද? දැන් කාලයේ නම් බෝරෝන් යෂ්ටි  (කූර -rod ) භාවිතා කෙරේ.  නිකොලයි දොලේෂල් ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරයට යෙදෙව්වේ සාම පරමාණුව යන මේ RBMK ප්‍රතික්‍රියාකාරකයේ මුල්ම ප්‍රොටොටයිප් එක බව කීවෙමි.  ඔහුගේ ප්‍රථම රිඇක්ටර ග්‍රැපයිට් වලින් පාලනය කළ  ඒවාය. (graphite moderated )

රසායන විද්‍යාව හදාරන  අය  ග්‍රැපයිට් යනු කුමක්දැයි දනිති. ඒ කාබන් පරමාණු ෂඩශ්‍රාකාර ලෙස එකිනෙකට බැඳුනු ව්‍යුහයකි. ග්‍රැපයිට් නියාමකයෙන් ස්වභාවික යුරේනියම් (un-enriched uranium) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සඳහා භාවිතා කිරීමට  ඉඩ සලසයි. මෙම යුරේනියම් වල U -235 ඇත්තේ 0.711%කි,. ඉතිරිය U -238 අයිසොටොප් ය. (අයිසොටොප් - වෙනස් නියුට්‍රෝන ප්‍රමාණයක් ඇති එකම මුලද්‍රව්‍ය යේ පරමාණු) තද ජල නියාමක (heavy water moderator) සහ   ග්‍රැපයිට් නියාමක  දෙවර්ගයම මෙම යුරේනියම් භාවිතාව සඳහා නිර්මාණය වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (රිඇක්ටර්) යන්ය. (මින්පසු රිඇක්ටර් වශයෙන් හඳුන්වමු)

මේ යුරේනියම් භාවිතාව ලෝකයේ රහසක්ව පැවති  අතර දෙවන ලෝක යුද්ධයේ අග භාගයේ  ඇමෙරිකානු න්‍යෂ්ටික බෝම්බය නිපදවූ මැන්හැටන් යෝජනාක්‍රමයේ දී (Manhattan project ) මේ ස්වභාවික යුරේනියම් හැඳින්වූයේ ටුබලෝයි නමැති රහස්‍ය නාමයෙනි.

රිඇක්ටරයේ මැද (core ) ඇත්තේ ඉන්ධන යෂ්ටි (කූරු  - fuel rods ), නියාමක යෂ්ටි (control rod ) සහ අධි පීඩක ජලයයි. දැන් අර දාම ක්‍රියාදාමයේදී නිපදවන නියුට්‍රෝන් වල වේගය මෙම ජල පරමාණු සමග ගැටීමෙන් බාල වේ. එම නිසා  එම ක්‍රියාවලිය පාලනය කිරීමට  පුළුවන. ඒ අනුව  ජලය ක්‍රියා කරන්නේ නියාමකයක් (moderator ) ලෙසටය. මෙය අත්‍යවශ්‍ය වන්නේ යුරේනියම් U -235  නියුට්‍රෝන් වල වේගය පාලනය කළ යුතු බැවිනි.

දැන් මැද ඇති නියාමක යෂ්ටි (control rod ) කරන්නේ කුමක්ද? ඒවායින් කරන්නේ මධ්‍යයේ ඇති නියුට්‍රෝන් අතිරික්තය  අවශෝෂණය කර ගැනීමයි. මෙයින් දාම ක්‍රියාදාමයේ යෙදෙන නියුටෝන් ප්‍රමාණය පාලනය කරනු ලැබේ. මෙය ඉතා වැදගත් කාරණාවකි. මෙසේ පාලනය නොකළහොත් දාම ක්‍රියාදාමය වේගවත්ව අනවශ්‍ය බල හා තාප ශක්තියක් , එනම් පාලනය කල නොහෙන ශක්තියක් නිපදවෙනු ඇත. එසේම මෙම නියාමක යෂ්ටි  පහතට එවන දුර ප්‍රමාණයක් තිබේ. එම දුර ප්‍රමාණය පාලනය මගින් ද නියුට්‍රෝන් අවශෝෂණය පාලනය කරනු ලැබේ. මෙයද වැදගත් කරුණකි.

ඉන්ධන යෂ්ටි (  fuel rods ) අධික තාප ශක්තියකට බඳුන්වී ඒවායේ උෂ්ණත්වය  ඉතා අධික ලෙස ඉහල යයි. එමනිසා ජලය මෙහිදී ශීතකයක්(coolant) ලෙස ක්‍රියා කරයි. ජල අංශුවල චාලක ශක්තිය අධික ලෙස ඉහල  යන අතර රත්වූ ජලය හා වාෂ්ප පයිප්ප හරහා  තාප  හුවමාරුවට (heat exchanger) යවනු ලැබේ. (මේ සාමාන්‍යයෙන් දැන් සිදුවන ක්‍රියාවලියයි ) එම වාෂ්ප වලින් කරකවන  ටර්බයිනයෙන් ජෙනේරෙටරය හරහා විදුලිය උත්පාදනය කෙරේ.

මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් නිපදවන ගැමා විකිරණ පිටතට යාම නැවැත්වීමට නම් ඊයම් බිත්ති හා ඉන් පිටත ඝන   කොන්ක්‍රීට් බිත්ති වලින් ප්‍රතික්‍රියාකාරකය වැසිය  යුතුය.

මේ සියල්ල මේ ලෙසටම චෙර්නොබිල් බලාගාරයේ සිදුවිය.  එහි කොන්ක්‍රීට්  බිත්ති ද ඉතා ඝනකම් ඒවා විය.

දෙලෙෂල් ගේ RBMK රිඇක්ටරයේ ග්‍රපයිට් යෂ්ටි වලින් කලේ කුමක්ද යන්න දැන් පැහැදිලිය. ඒවායේ කාර්යභාරය වූයේ භෞතික විද්‍යානුකූලව අතිරික්ත නියුට්‍රෝන් අවශෝෂණය කර දාම ප්‍රතික්‍රියාව පාලනය කිරීමටය. එසේම ඒවා පහලට දමන දුරෙහිද නියතයක් තිබුණි. ඒ දුරට වඩා ඒවා පහල දැමිය නොහැකිය.  අනික ඒවා පහලට ගෙන ආ යුත්තේද ඉතා සෙමිනි. (නූතන බෝරෝන් කූරු වල මෙම තත්වය නොමැත)

දැන් මේ රිඇක්ටර් ම තිබෙන තවත් න්‍යෂ්ටික බලාගාර සෝවියට් දේශයේ දහ හතක්  තිබුණි. ඒවා පිපිරුනේ නැත.

 මෙම රිඇක්ටර් වල ග්‍රපැයිට් යෂ්ටි නියාමක නියමිත දුරට වඩා පහලට දැමුවොත් නියුට්‍රෝන් අවශෝෂණය කරනු වෙනුවට කාබන් වල අතිරික්ත නියුට්‍රොන්ද දාම ක්‍රියාවලියට (chain reaction )එක් කරනු ලබයි.   ඉන් දහස් ගුණයකින් වැඩිවන දාම  ක්‍රියාවලියෙන් නිපදවෙන බල  ශක්තිය සිය දහස් ගුණයකින් වැඩිවන අතර ප්‍රතිඵලය භයානක න්‍යෂ්ටික පිපිරිමකි.

HBO චිත්‍රපට දාමයේ  පළමුවන මවාපෑම ඇත්තේ මෙතැනය. ඒ මේ කරුණ සඳහන් විද්‍යාත්මක ලිපි ඉවත් කර ඇති බවය. අධ්‍යක්ෂකවරුන්ගේ මනහ්කල්පිත චරිතය වන බෙලරුසියාවේ න්‍යෂ්ටික විද්‍යාඥවරිය (උලනා ඛෝමික් ) ඒවා ගැනීමට ගියවිට කේජිබියෙන් දෙන්නේ කොළ ඉවත් කරන ලද ලිපි ගොනු හා සටහන්ය. මෙය අසත්‍යයකි. එවැනි තැනැත්තියක් ද සිටියේ නැත. ප්‍රබන්ධය හා සත්‍යය   මුසුවුනු කතාවකට  එවැනි චරිතයක් ගොඩ නගා ඇත්තේ සිද්ධියේදී ඉදිරිපත්වූ සියලුම න්‍යෂ්ටික විද්‍යාඥයන්ට ගෞරව කිරීමට බව අධ්‍යක්ෂක වරු පවසති. එසේනම් කොළ ඉවත් කර ඇතැයි පෙන්වන්නේ ඇයි? බොහෝවිට ඒ අති- නාට්‍යකරණය (dramatisation )  සඳහා විය හැක.

ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි සෙව්වේ පර්යේෂණාත්මක මාධ්‍යවේදිනියන්  වූ ලුබෝව් කවලෙස්කයා හා ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්ය. (වෙන වෙනම) උලනා බෝමික් වනාහී  මවන ලද චරිතයකි.

අද වුනත් (ඉරානය බලන්න ) යුධ නිෂ්පාදන ප්ලූටෝනියම් සඳහා කටයුතු කෙරෙන්නේ රහස්‍ ලෙසිනි. ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ප්‍රංශයේද එය එලෙසමය. (න්‍යෂ්ටික බලවතුන්) මා කලින් කියූ පරිදි න්‍යෂ්ටික නිෂ්පාදන පිළිබඳව සෑම රටක්ම අනුගමනය කළේ ආරක්ෂනකාරී ප්‍රතිපත්තියකි.

 ග්‍රපයිට් තුඩු පහතට පැමිණියහොත් වෙන ප්‍රශ්නය සැලසුමේ දෝෂයක් ලෙස (design flaw ) බටහිර න්‍යෂ්ටික බලාගාර නිෂ්පාදකයන් හඳුන්වති. ඔවුන් කියන්නේ මෙම රිඇක්ටරයේ ධනාත්මක රික්තක සන්ගුණකයක්  තිබෙන බවයි. (positive void coefficient ) . එනම් සිදුවන්නේ ජල වාෂ්ප වැඩි වනවිට  න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව අඩුවනවා  වෙනුවට (සෘණාත්මක අගය) එය වැඩිවී  රිඇක්ටරයේ උණුසුම අධිකවී ප්‍රතික්‍රියාව තවත් වැඩිවීමයි.

දොලේෂල් සහ න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥයන් (nuclear physicists  )  මේ කරුණු දැන සිටියහ. ඔවුන් AZ - 5 නම් ස්විච් බටනයක් ඇතුලත් කලේ රිඇක්ටරයට බලය කපා හැරීමටය. එසේම කිසිම අවස්ථාවක  ග්‍රපයිට් යෂ්ටි උවමනාවට වඩා පහතට දැමීම තහනම් කර තිබුණි.

න්‍යෂ්ටික බලාගාර ගොඩනැංවීම ඉතා වියදම් සහගත  දෙයකි. ගොඩනැගූ පසු එයින් ලබන විදුලිය ඉතා ලාභ වන අතර කාබන් ඩයොක්සයිඩ් වැනි වායුන් නිපදවන්නේද නැත. එනිසා වැලරි ලේගසොව් නමැති විද්‍යාඥයා චිත්‍රපටයේ කියන්නේ ද සත්‍යයකි. මේ රිඇක්ටර් භාවිතා කරන ලද්දේ ඒවා වඩා ලාභ නිසාය.

දැන් චෙර්නොබිල් ඉංජිනේරුවන් කළ පරීක්ෂණය කුමක්ද යයි විමසා බලමු.(station test)

මතු සම්බන්ධයි.

-https://en.wikipedia.org/wiki/Nikolay_Dollezhal
පින්තූරය:
By doe-oakridge - Nuclear Reactor Uranium Pile, Public Domain, 


Thursday, 18 July 2019

තේනු ගෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්



මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සංවිධානය කරණ  චිත්‍ර  ප්‍රදර්ශනයන් දෙකක් ජූලි 23 දා සවස 5.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදී හා සවස 6.00 ට සස්කියා ප්‍රනාන්දු  කලායතනයේදී ද  ආරම්භ වේ. මේ චිත්‍ර ප්‍රදර්ශන පිළිවෙලින්  ජුලි  31  දින දක්වා අගෝස්තු 13 දින උදය 10.00 සිට සවස  7 දක්වා  පැවැත්වේ.

තේනු වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනය හැකිනම් නරඹන ලෙස පාඨක ඔබට ආරාධනය කරමි.



Professor Chandraguptha Thenuwara                                            
Department of History and Art Theory
Faculty of Visual Art                                          
University of the Visual and Performing Arts     
46, Horton Place                                               
Colombo-7                                                           

Director: IQAU, University of Visual and Performing Arts                                               


Founder: Vibhavi Academy of Fine Arts

Tuesday, 16 July 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 1

ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය ඔර්බින්ස්ක් 1 සෝවියට් දේශය 
මා  සෝවියට් දේශයේ ඉගෙනුමට ගියේ 1984 වසරේ අගෝස්තුවලය.  එවකට එහි ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වූයේ කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ ය.  ඔහුට  පසුව පත්වුනු ගොර්බචොව් නොයෙකුත් ප්‍රතිසංස්කරණ ඇති කිරීම  ඇරඹීය.

 විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට මොස්කව් විදුලි හා බලශක්ති තාක්ෂණික විශ්ව විද්‍යාලයට අප ඇතුළු වුනේ 1985 සැප්තැම්බර් මාසයේය. මගේ විෂය ධාරාව හැඳින්වුණේ  විදුලි බලශක්ති  බලාගාර යන නමිනි (Electrical Power  Stations). නමුත්  එයට න්‍යෂ්ටික බලාගාර ඇතුළු වූයේ නැත. න්‍යෂ්ටික බලාගාර හා ඒවායේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (nuclear reactors ) ගැන ඉගැන්වූයේද ඉතා යන්තමිනි. නමුත් අප විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික බලාගාර සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් තිබූ අතර කියුබානුවන් හා නැගෙනහිර ජර්මානුන් හැරුණු විට අනිත් විදේශික ශිෂ්‍යයන්ට එය විවෘත වූයේද නැත. කියුබානුවන් ට උගන්වන ලද්දේ සෝවියට් දේශය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කියුබාවේ තැනීමට    සැලසුම් කර තිබු බැවිනි.

න්‍යෂ්ටික විද්‍යාව ගැන වැඩිදුරටත් ඉගැන්වූයේ අප විශ්වවිද්‍යාලයට යාබද එකක් වූ බෞමන්ස්කයා විශ්ව විද්‍යාලයේය. එය සම්පුර්ණයෙන්ම විදෙස් සිසුන්ට තහනම් වූ එකක් විය.  මරියා ෆෙදරෝව්නා අධිරාජිනිය ගේ නියමයෙන් එය පිහිටුවන ලද්දේ වසර 1826 දීය. එය ප්‍රථම රුසියානු තාක්ෂණික විශ්ව විද්‍යාලයයි. මෙහි ඉගැන්වූ අධ්‍යාපන ක්‍රමය වූයේ ප්‍රබල න්‍යායික දැනුම සමග එවැනිම ප්‍රයෝගික දැනුමද ඉතා ගැඹුරින් ලබා දීමයි. රුසියානු ක්‍රමය ලෙස හැඳින්වූ මේ ඉගෙනීමේ ක්‍රමය කොතරම් අගය කරන ලද්දේද යත් මහාචාර්ය  ජෝන් රැන්කල් විසින් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යා ආයතනයටද (MIT) මේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. (විකිපෙඩියා )
 මෙම විශ්ව විද්‍යාලය විප්ලවවාදියෙකු වන බෞමන් ගේ නමින් හඳුන්වන ලද්දේ සෝවියට් කාලයේදීය.

මේ විශ්ව විද්‍යාලය කතාවට සම්බන්ධ වන්නේ එහි න්‍යෂ්ටික භෞතික  විද්‍යාව  ගැඹුරු ලෙස ඉගැන්වූ නිසාම නොවේ. එහි උගත් පසුව  ප්‍රසිද්ධියට පත්වුණු විද්‍යාඥයන් අතර සිටි න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් නිසාය. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූයේ දොලෙෂල්ය.

එසේම ප්‍රධාන විදුලි පද්ධතියට න්‍යෂ්ටික බලයෙන් නිපදවු විදුලිය සම්බන්ධ කළේද , න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිවිල් භාවිතාවට  ගැනීම  සඳහා කාර්මික නිෂ්පාදනයට මුල පිරුනේද මෙහිය. වසර 1959 දී විදුලිය දීම නැවත්වුවද 2002 දක්වා පර්යේෂණාත්මක බලාගාරයක් වශයෙන් එය ක්‍රියාත්මක වුනි.  මෙහි භාවිතා වූ  ප්‍රතික්‍රියාකරකය AM 1 හෙවත් ඇටම් මිර්නි (සාමයේ  පරමාණුව) 1 ලෙස හැඳින්වුණි. මෙය චෙර්නෝබලයේ ඉදි කෙරුණු  RBMK ප්‍රතික්‍රියාකාරකයේ මුල් සැලසුමයි. (prototype) දෙවැන්නේ  ලෙසම මෙහි නියුට්‍රෝන සීමා කරන ග්‍රපයිට් තුඩ හා ජල- ශීත  පද්ධතිය (Water cooling system) ක්‍රියාත්මක වුනි.

මා ඉහත හැඳින්වූ  ප්‍රසිද්ධ බෞමන් විද්‍යායතනයේ උගත්  නිකලොයි ඇන්තනොවිච් දොලෙෂල් කාර්මික ඉංජිනේරුවකු පමණක් නොව සෝවියට් න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ ක්‍රියාවලියේ පුරෝගාමියෙකු මෙන්ම ප්‍රථම ප්ලූටෝනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීමේ ප්‍රධාන ඉංජිනේරුවා ද විය.

එසේම ඔහු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සඳහාද සැලසුම් සකස් කළේය.

ඔහු විසින් ප්‍රධානත්වය දරන ලද ආයතනය විසින් 1957 දී සිවිල් භාවිතය හා යුධායුධ සඳහා භාවිතාවන ප්ලූටෝනියම්  (weapons-grade plutonium) සඳහා බලාගාරයක් පිහිටවූ අතර 1965 දී බෙලොයර්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටුවන ලදී. මෙම ආයතනයෙන් VVER (water-water energetic reactor (WWER))  හා RBMK (Russian: Реактор Большой Мощности Канальный, РБМК; Reaktor Bolshoy Moshchnosti Kanalnyy, “High Power Channel-type Reactor”) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීම ආරම්භ කරන ලද්දේ ඉන් පසුවය,

මේවා සියල්ල ඉතා හොඳ තත්වයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක  විය.

එසේ නම් චෙර්නොබිල් හි  සිදුවූයේ කුමක්ද? මෑතකදී පෙන්වූ HBO රූපවාහිනි වෘත්තාන්තයේ පෙන්වූ සියල්ල නිවැරදිද? සෝවියට් ජනතාවගේ කැප කිරීම් නියම ලෙසින් පෙන්වූයේද?

ඊළඟ ලිපියෙන් ඒ සියල්ල සාකච්ඡා කිරීමට  බලා  පොරොත්තු වෙමි.

මුලාශ්‍ර : ඔර්බින්ස්ක් ලෝකයේ න්‍යෂ්ටික විදුලි ප්‍රථම බලාගාරය 
බෞමන්ස්කයා විශ්ව විද්‍යාලය 


 

Sunday, 30 June 2019

දොස්තර සාෆි හැර තවත් දොස්තරවරු සහ හෙදියන් සිටීද මහරජ?

මුකුත්ම නොලිය ඉන්නත් ඉඳල අන්තිමට ලියන්න තීරණය කළේ අපේ රැඩිකල් සෙට් එකයි සිංහල බෞද්ධ සෙට් එකයි එකම තැන ඉන්නවා දැකල.

රැඩිකල් සෙට් එකට අනුව සාෆි නිවැරදියි. මේක මුස්ලිම් වරුන්ට එරෙහිව ගහන ගැහිල්ලේ කොටසක්. සාෆි යූ ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලලත් තියනවා. ඒක අමතක කරන්නත් එපා. දිවයිනේමාධ්‍යවේදියෙකු වන හේමන්ත රන්දුනු හා  වයඹ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිද්ධිය පිටුපස සිටින බවත්, සාෆි මිලදී ගත් ගොඩ නැගිල්ලක් නිසා මේ බොරු චෝදනා වලට සම්බන්ධ බවත් කියැවෙනවා.

ඒ සමගම සීඅයිඩී එක පවා බොරු කළාය කියල මේ ලිපියෙන් කියනවා.
"සාෆි අත්අඩංගුවට ගත් පැමිණිල්ල ගැනත් පොලිසියේ වංචාවක් - CID විමර්ශනයෙන් හෙළිවෙයි"

දැන් මගේ අත්දැකීමක් තියනවා මගේ පියා ගැන.මේ ගැන  මේ බ්ලොගයේ මීට කලින් ලියලත් තියනවා. ඔහුට තිබුනේ හෙමක්‍රොමොටොසිස් කියන රෝගය. රුධිරයේ අයන් (යකඩ) වැඩිකම. මේ නිසා අක්මාවේ වැඩිපුර යකඩ තැන්පත් වෙලා  සිරෝසිස් හැදෙනවා. බීල නෙමේ.  එයාට ප්ලේබෙටෝමි තෙරපි එක නැත්නම් රුධිර ප්ලාස්මා එක දීම (වෙනෙසෙක්ෂන්)  මගින් සෑහෙන්න හොඳ වුණා. බටහිර අවුරුදු ගාණක් කරන වෙදකමක්. ලංකාවේ ප්‍රධාන ජාතික රෝහලේ (මහා රෝහලේ) සිටි කරුණාවන්ත වෙදැදුරු තුමෙක් තමා මේ ප්‍රතිකාරය කළේ . මේ ප්‍රතිකාරය කරන තාක් කල් පියා හොඳින් හිටිය. නමුත් අනිකුත් වෛද්‍යවරු දාපු ලෙඩක් නිසා කියල කියන්නේ, මේ වෛද්‍යවරයා වෙන රටකට ගියාලු. මගේ සහෝදරයා , මව සහ සහෝදරිය පියාට මේ ප්‍රතිකාරය දීර්ඝ කරන්න කියල මහා රෝහලේ  සිටි වෛද්‍යයවරුන් හා වෛද්‍යවරියන් ගෙන් ඇහුවම බැනල එලවාගෙන. "ඔයාල අපිට වැඩිය දන්නවද ?අපි දෙන බෙහෙත්  ගන්න බැරිනම් යන්න."

පියාගේ තත්වය එන්න එන්නම දුර්වල වුණා. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා . ලෙඩේ ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් චැනල් කරගන්න ඕන ක්‍රියාවලිය ඒකයි. ඉන්පස්සේ   ඒ වෛද්‍යවරයා සම්බන්ධ ප්‍රධාන රෝහලකට ඇතුළත් කළා. නමුත් ඒ වෛද්‍යවරයාත් මුලින් කී වෛද්‍යවරයා කරපු ප්ලාස්මා දීම (ලංකාවේ නම් කරපු විධිහ)  හෙවත් ලේ ඉවත්කර   ලේ දීම කළේ නැහැ. වදදුරු වාර්තා තියෙද්දී. එයා මුළු පරීක්ෂණ රොත්තම ආපහු කරන්න  ගත්ත. අර පෞද්ගලික රෝහල හරහා.  මගේ සහෝදරිය හෙම මේකට විරුද්ධ වුනා . නමුත් වැඩක් වුනේ නැහැ. තාත්ත දුරලා වුනා දවසින් දවස. බැරිම තැන මම කතා කලා . ලන්ඩන් වලින් කතා කරනකොට ලෙඩේ විස්තර, අරව මේවා ඔක්කොම දැන ගන්න පුළුවන් වුනා. ඒ ප්‍රධාන වෛද්‍යවරයම කීව බයවෙන්න එපා මගේ වෙදකමක් තියනවා. මේ පරීක්ෂණ ඉවර වෙලා ඒ ගැන ක්‍රියා කරනවා කියල. ඒක ප්‍රමාදයි දැනට රුධිර පාරවිලනය හෝ ප්ලාස්මා දෙන්න  කියන අපේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ.

මේ වෛද්‍යවරයම  වෛද්‍ය සිසුන් වගේකට කියල දෙන ගමන් හෙමක්‍රොමටසිස් රෝගය ගැන කියල හොඳ කරන්න  බැරිබවත්  පරම්පරාගත (genetic haemochromatosis)  ලෙඩක් බවත් විස්තර කරලා. තාත්ත අඬ අඬ කියල තියනවා අම්මට සහ මල්ලිට. හැබැයි ඒ වෙනකොට අපි දැනගෙන හිටිය ලෙඩේ සනීපකරන්න බැහැ කියල. නමුත් ජිවත් වන කාලය රුධිරය දීම මගින් දිගු  කරන්න පුළුවන් කියලත් අවසන් අවධියේ වේදනාව අඩු කරන්න පුළුවන් කියලත්. අපි ඒකට ගෙව්වත් එක්ක හැම මාසයකම. (රුධිර ප්ලාස්මා එකට)
හැබැයි   ඒ වෙලාවේ නම් මම ටිකක් තදින්  කතා කරලා  "ප්‍රධාන වෛද්‍යවරයාට "  ඇහුව මොන වෛද්‍ය ආචාර  ධර්මවලද තියෙන්නේ ලෙඩා ඉස්සරහම ශිෂ්‍යයන්ට කියන්න  ලෙඩා  හෙට අනිද්දා මැරෙනවා  කියල "
එම දොස්තර තුමා සොරි කිව්වා. ඊට පස්සේ කිව්වා ලන්ඩන් එවන්න  තරම් හොඳට ලෙඩාව සනීප කරනවා කියල. සනීප වෙන්නැති ලෙඩක් සනිපකරන්නේ කොහොමද කියල මම ඇහුවේ නැහැ. හැබැයි ඊට සුමානෙකට පස්සේ තාත්තා එක පාරටම අමාරු වෙලා දින තුනකින් වගේ  මැරුණා. මැරුණ හේතුව සිරෝසිස් නෙමේ. නියුමෝනියාව. මේ ලෙඩේ නිසා ප්‍රතිශක්තිය සෑහෙන්න අඩුවෙනවා. එනිසා වෙන ලෙඩ අඩුම ගණනේ හෙම්බිරිස්සාව තියෙන  කෙනෙක්වත් ලඟින් තියන්නේ නැහැ. තාත්තා ගාව නියුමෝනියා හැදිච්ච ලෙඩෙක් තියලා දවස් ගාණක්. මම ඇයි කියල ඇහුවම ඒකටත් "සොරි" කිව්වා.

ඒ වාට්ටුවේ හිටි හෙදියක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් මට පස්සේ ලංඩන් වලදී හම්බ වුනා. ඒ අය ඇත්තටම හුඟක් උදව් කරලත් තිබ්බ. නමුත් එයාලට අනුව ලංකාවේ වෙන දේවල වෙන විධිහේ ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමේ කාටවත් කඩන්න බැහැ. අවම වශයෙන් මම දන්නේ එහෙමෙයි.

අපි දන්නා , බ්ලොග් ලියන කියන, ෆේස් බුක් එකේ ලියන හුඟක් හොඳ බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට කියන දෙයක් නෙමේ මේ.
හැබැයි ලෙඩ්ඩුන් ගෙන්  අහන්නේ නැතිව , ලෙඩ්ඩුන්ට හෝ ඔවුන්ගේ භාරකරුවනට නොකිය කරන දේ වෙනවා කියල මම අහලා තියනවා. ලෙඩ්ඩුන්ට ප්‍රශ්න අහන්නත් අමාරුයි පෞද්ගලික රෝහලක නොවේ නම්. ඊට අමතරව සිසේරියන් වගේ ශල්‍යකර්මයක් නම් එංගලන්තය වගේ රටවල කරන්නේ අන්තිම වගේ අවස්ථාවක . ස්වභාවික  විධිහට ළමය ලැබෙන්නේ නැත්නම් පමණයි . ලංකාවේ ඒක පළවෙනිම තෝරා ගැනීම හැටියටත් වෛද්‍යවරුම තීරණය කරලා කරනවලු.

ලංකාවේ උපත්පාලන සීන් කෝන් එක තදේටම යන රටක්. ඒක හරි. වැඩිපුර ළමයි හදා  ගන්නේ නැතිව ළමයෙක් දෙන්නෙක්  වගේ හදාගෙන ඒ ළමයින්ට හොඳ ජිවිතයක් දෙන එක ළමයි දහ දෙනෙක් හදාගෙන දුක් විඳවනවට වඩා හොඳයි. හැබැයි ඒක තීරණය කරන්න ඕනේ මවහෝ පියා මිස රජය නෙමේ.

ලංකාවේ ඒකත් රජය විසින් තීරණය කරනවා කියල මට කනින් කොනින් ඇසිලා තියනවා.

දොස්තර සාෆිට ශල්‍යකර්මකිරීම  තනියම කරන්න  බැහැ. නිර්වින්දන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කිහිප දෙනෙක් ඔතන ඉන්නවා. ඒ අයගේ අනුදැනුම ඇතුවයි ඕන දෙයක්  වෙන්නේ.
වෛද්‍ය සංගමය අසාමාන්‍ය ලෙස නිහඬයි වගේ කියලත් පේනවා. හැම  දෙයකටම ජාත්‍යානුරාගීව ඉඳිරියට එන ඔවුන් ජාතිය අමතක කරලා  ඉන්නේ ඇයි වගේ ප්‍රශ්නයක් මට එනවා.

එනිසාම මට ප්‍රශ්න කිහිපයක්  තිබෙනවා.
වඳ භාවයට පත් කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක් තිබුනාද?
ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා , මහින්ද සහ මෛත්‍රී රජයයන් යටතේ එය ක්‍රියාත්මක වුණාද?
මව්වරුන්ගේ අනුදැනුම නොමැතිව එය ක්‍රියාත්මක වුනාද ?
එවැනි ක්‍රියාවලියකට ජාති භේදයකින් තොරව බොහෝ වෛද්‍යවරුන් හා හෙදියන් සම්බන්ධ වුනාද?

ජනාධිපති කාරක සභාවක් පත් කරලා මේ ගැන හොයා බලන්න වෙයිද?

පින්තූර:      Cesarean Section Step by Step Procedure

Differences Between Vaginal and C-Section Childbirth

How I treat hemochromatosis




Friday, 28 June 2019

නුවණැති වඳුරා - පංච තන්ත්‍රයෙන් නොවේ

එක්තරා අතීතයේ දවසක ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටී මගීහු සියල්ල මිය ගියහ. විද්‍යාඥ කණ්ඩායමක් විසින් හදා වඩා ගන්න ලද නුවණැති වඳුරෙකු පමණක් මිය නොගොස් ඉතිරි විය. අනතුර සිදුවීමේ හේතුව සඳහා පත් කළ පරීක්ෂණ කමිටුවේ වාසනාවට මේ වඳුරු තෙමේට අප දන්නා භාෂාව (ඉංග්‍රීසි යයි සිතමු) හොඳින් වටහා ගත හැකිවුණු අතර අත පය, හිස, ආදී ශාරීරික අංගද මුවින් නගන විශේෂිත ශබ්දද උපයෝගී කරගෙන අසන ප්‍රශ්නයට පිළිතුරු දීමේ හැකියාවද තිබුණි.

පරීක්ෂණ කමිටු නිලධාරීන් රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන වඳුරා හමුවීමට ගොස් යානය කඩා වැටීමේ හේතු පිළිබඳව ප්‍රශ්න අසන ලදී. මේ දැක්වෙන්නේ එහි වාර්තාවෙන් කොටසකි.

නිලධරයා: යානය ගුවන් ගත කරන කොට මගීන් මොනවාද කරමින් හිටියේ? 
වඳුරා: ආසන  බඳ පටිය තද කර ගනිමින්  


නිලධරයා: ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: ආ , ඒ ගොල්ලෝ හලෝ , සුභ උදෑසනක් යයි කියමින් හිටිය 
 
නිලධරයා: යානයේ ප්‍රධාන නියමුවා මොනවාද කරමින් හිටියේ  
වඳුරා: යානයේ මාපක යන්ත්‍ර ඇතුළු සිස්ටම් එක නිරීක්ෂණය  කරමින් හිටිය 
 
නිලධරයා: ඔබ මොනවා කරමින් හිටියේ 
වඳුරා: මගේ යාළුවෝ හොයමින් හිටිය 


 නිලධරයා:  විනාඩි දහයකට කට පහලවකට පස්සේ මගීන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ඔවුන් කෑම බීම ගනිමින් හිටිය  
 
නිලධරයා:  ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: ඔවුන් මගීන්ට කෑම බිම සපයමින් හිටිය  
 
නිලධරයා:  නියමුවන් මොකක් කරමින්ද හිටියේ  
වඳුරා: ගුවන් යානය හසුරුවමින් හිටියා 
 
නිලධරයා: ඔබමොනවද කරමින් හිටිය 
වඳුරා: කෑම කමින් හා විසි කරමින් හිටියා 
 
නිලධරයා:  මිනිත්තු තිහ හතළිහකට පස්සේ මගීන් මොනවාද කරමින් හිටියේ   
වඳුරා: සමහරු නිදාගෙන , සමහරු පොත් කියවමින් හිටිය

නිලධරයා:  ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ඔවුන් මේක් අප් කරමින් මුහුණ පියකරු කරගනිමින් හිටිය. 


මේ අවස්ථාවේදී වඳුරා තොල් උල් කර පෙන්වන ලද බව නිලධරයා සටහනක්  කළේය  
 
නිලධරයා:  නියමුවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: යානයේ මාපක දෙස බලාගෙන හසුරුවමින් හිටිය 

නිලධරයා: ඔබ මොනවාද කරමින් හිටියේ 
වඳුරා: මුකුත් නැහැ 

නිලධරයා: යානය කඩා වැටීමට මොහොතකට පෙර  මගීන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: සියලු දෙනාම නිදාගෙන හිටියේ 

නිලධරයා: ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: නියමුවන් සිප ගනිමින් හිටිය 

නිලධරයා: නියමුවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: සේවිකාවන්ට ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වමින් හිටියා 
 
නිලධරයා: ඔබ මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ගුවන් යානය හසුරුවමින් 

ප.ලි.: කතාවේ උධෘත පාඨයක් තිබ්බේ දැයි අවිනිශ්චිතය. එහෙත් විප්ලවයක් කිරීමට  නුවණැති වඳුරන් ට භාර දීම හෝ රාජ්‍යයක් පාලනය කිරීම  නුවණැති වඳුරන්ට භාර දීම නිසා  අනවශ්‍ය ප්‍රථිඵල ලැබිය හැකි බැවින් අනවශ්‍ය වෙලාවට සිඹිමින් සිටීමෙන් වළකින්න.

කතාවේ නිර්මාතෘ අවිනිශ්චිතය.
 පරිවර්තනය අජිත් (කොළඹ ගමයා)

උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

Tuesday, 25 June 2019

හැකිනම් උදව්වක් කරන්න

අපි කට්ටියක් ලන්ඩන් ඉඳන් ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියල චැරිටියක් කරනවා 2004 ඉඳන් . ඒක හරහා ළමයි සෑහෙන පිරිසකට මාස් පතා මුදල් ගෙව්වා, සහ ගෙවමින් සිටිනවා අධ්‍යාපනික වැඩ සඳහා. දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මාසිකව මුදලක් දෙනවා තවත් ළමයි දෙන්නෙකුට. දෙන්නම එකම පවුලේ. එක දුවෙක් ආබාධිත දරුවෙක්.
ඔවුන්ට හරිහැටියට ඉන්න තැනක් වත් නැහැ.

මේක ජාතිවාදය අවුස්සන්න කියන එකක් නෙමේ. මම ඒ වගේ දේ නොකරන බව ඔබල දන්නවා. මේ ළමයින්ගේ තාත්ත වැඩිය ඉගෙන ගත් කෙනෙක් නෙමේ. වැඩ කලේ මුස්ලිම් විද්‍යාලයක පියන් කෙනෙක් ලෙස. පහුගියදා ඔහුව රැකියාවෙන් අස් කරලා. ඩොකියුමන්ට් වගයක් විසික් කළා කියල.නමුත් බිරිඳ කියන්නේ පහුගියදා ලංකාවේ ඇතිවූ ප්‍රශ්න නිසා තමයි අස් කලේ , ලිපි විසික් කල කතාව හදපු එකක් කියල.

මේ මනුස්සයා ටොයිලට් සුද්ධ කරන්න ගෙනාපු බ්ලීච් වගේ ජාතියක් බීල මැරෙන්න. දැන් හොස්පිට්ල් එකේ. ජිවිතේ නම් බේරිලා. අර අහිංසක බිරිඳ තමයි දරුවෝ දෙන්න බලා ගන්නේ. කවුරු හරි පුළුවන්නම් මොහුට සුළු පහේ රැකියාවක් හොයල දෙන්න.

ස්තූතියි (ඉන්නේ මාලිගාවත්ත පැත්තේ) (වෙනත් චැරිටි සමග සම්බන්ධයක් නැත )
උදව්වක් ලැබුනට පස්සේ මේ ලිපිය අයින් කරනවා.
ප්‍රතිචාර වලට වඩා ඔහුට රැකියාවක් ලබා දීම වැදගත් යයි සළකමි.