Saturday, 23 May 2015

පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්

අනුව දශකයේ මුල්ම හරියේ ලංකාවේ දකුණේ කලබල කෙමෙන් සිඳී යමින් පැවති  සමයේ  කිසියම් කරුණකට ලංකාවේ සිටියෙමි. ඒ අතර මගේ හිතවතෙකුගේ අවශ්‍යතාවයකට  එවකටපැවති  රජයේ ඇමති මට්ටමේ ප්‍රබලයෙකු හමුවීමි.  (ඔහු දැන්
ජිවතුන් අතර නැත) ඔහු සමග ආයෝජන  ප්‍රවර්ධන කලාපයේ කම්හලකට ගියේ මගේ හිතවතාට එම කම්හලේ නිපදවන භාණ්ඩ අපනයන කිරීමට අවශ්‍ය වූ බැවිනි. ඇමති මට්ටමේ ප්‍රබලයාට ඒ පැත්තේ කම්හල් හිමියෝ ඉමහත් ගරු කළහ. පිට රටින් ගෙන්වන නිමි ද්‍රව්‍ය අඩු බදු මුදලකට පාස් කර ගැනීම වැනිදේ ඔහු ලවා කරවා  ගත හැකි වුනු අතර, රජය සම්බන්ධ ප්‍රශ්න හා ඕඩර් ලබා ගැනීම්  සඳහාත් ඔහු ඔවුන්ට උදව් කළේය. මට අවශ්‍ය කාර්යයට එම කම්හලට ගිය පසු ඔහු තමන්ගේ "කට් " එක ගැනීම සඳහා වෙනත් ගාමන්ට් එකකට ඇතුළු විය. එහි අයිති කරුද ඔහු හඳුනයි.  "කට් " එක සමග තවත්  "කට් " එකක් ද ඔහු පැජරෝවට රැගෙන ආවේය. ඒ සත්‍යජිත් මාඉටිපේ ගේ  "බොරදිය පොකුණ" හි මංගලා මෙන් එහෙත්  එතරම් උස නැති අවුරුදු දහහතක දහඅටක   ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ "ඇයට ලිෆ්ට් එකක්" දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා "මේ මහත්තයාගේ   ගේ ගාවින් බස්සන්න " යයි පවසා,  පියකරු යුවතියව පැජරෝවෙන්  බස්සවා  ගත්තේය. ඇය මදෙස බැලූ  බියමුසු විලාසයත් ඇගේ  අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි.   ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි.
"මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල  ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ  කෑල්ලක්  ආවොත්  මහත්තයට එන්නත් කියනවා." එතකොට මේ එහෙම ළමයෙක්ද යයි විමසීමි. වඩාත් දොඩමලු වූ ඔහුත් අනිත් අරක්ෂකයාත් පැවසුවේ ඔහු මාස  දෙක තුනකට වතාවක් අලුතෙන් එන යුවතියක රැගෙන හෝටලයකට යන බවයි. ඒ යුවතියන් යන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. ඔවුන්ට බල කරන නිසාවෙනි.
නැතහොත් ලැබුන රස්සාව දමා  ගෙදර යා  හැකිය. ඉන්පසු ආරක්ෂා අංශ  සමාජිකයා  පැවසුවේ "එහෙම කෑලි  මහත්තය ගෙන් පස්සේ අපටත් සෙට් වෙනව (හෙවත් තර්ජනය කර සෙට් කර ගන්නවා යනුවෙනි)" පස්සේ උන් කොල්ලෝ සෙට් කර ගත්තත් කොල්ලට කියනවා කියල බය කලහම එනවා පට්ට වේ***යෝ. ඔවුන් පට්ට වේ**** වන්නේ කෙසේ දැයි මම නොඇසුවෙමි. නමුත් මගෙත් ඒ දේශපාලනයට සම්බන්ධ තැනැත්තා ගේත්  සම්බන්ධය එතනින් අවසන් කලෙමි.
ලන්ඩනයේ අගෝරා කලා කවය සංවිධානය කල බොරදිය පොකුණ නැරඹීමට පසුගියදා  ගියෙමි.  එහි ගෝතමී (කෞශල්‍යා ප්‍රනාන්දු) තමන් රහසේ ආදරය කරන විපුල (දුමින්ද ඩි සිල්වා)  ලබා ගැනීමට ඔහුගේ පෙම්වතිය මංගලා (දිලානි අබේවර්ධන )  දෙන පෙම් ලිපි නොදී ඔවුන් විරසකයකට යොමු කරයි. ඉන්පසු ඒ පිලිබඳ දුකින් ගොළු හදවතේ මෙන් බි වෙරිවී සිටින බොළඳ පෙම්වතා වන විපුල හමුවීමට ගොස් ඔහු සමග ලිංගිකව  හැසිරෙයි.  ඔහු නොලැබෙන අවස්ථාවල රැයේ  ස්වයං වින්දනය සඳහා රහසේ යොමු වෙයි.මේ අවස්ථාවේ මා  ළඟ හිඳගෙන සිටි  චිත්‍රපටිය පටන් ගත් තැන සිට නිතර තම බිරිඳ සමග  විස්තර ප්‍රචාරය කරමින් සිටි සැමියෙක් මෙසේ කියනු අසා සිටියෙමි. "පට්ට වේසි, ඌම (විපුලව) අල්ල ගන්න ඕනෙද? පව්  අර අහිංසක කෙල්ල මංගලා,  අර ගෙදර ඉන්න අනිත් කොල්ලට  (සුරන්ජිත් - ගයන් ලක්රුවන් ) කියල කර ගත්ත නම් මොකද ".  විවේකයෙන් පසු චිත්‍රපටියේ  දෙවන භාගයේ සත්‍යජිත් මාඉටිපේ ඉතා සුක්ෂම ලෙස මංගලා  රහසේ සුරන්ජිත් සමග ඇති කරගත් සම්බන්ධය හෙළි කරයි. අර සැමියා හා බිරිඳ නිහඬ වුනේ එතැන් සිටය.
දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කල "හිස්ටීරියාව" පොතේ මෙසේ දැක්වෙයි.
"ෆ්‍රොයිඩ් මෙසේ පැවසුවේය. 'තමා ආදරය කරන්නා  අහිමි වීම නිසා තමාට අහිමි වුනේ
කවුදැයි යන්න වැළපෙන්නා  විසින් දන්නා මුත්, එසේ වීමෙන් තමාට අහිමි වුයේ කුමක්ද යන්න ඔහු නොදනී.' ෆ්‍රොයිඩ් විසින් 'කුමක්ද' යන්නෙන් සලකුණු කළේ  ඉහත අභිරහස මානසික ඒජන්සියක් බවයි. ආදරයට ලක් වන්නා යනු පුද්ගලයෙක් බව ඇත්ත මුත්, ඊට ප්‍රථමව ඒ අපේ අවිඥානයේ ම 'කොටසකි'."

මෙම විශ්මිත 'කොටස', මෙම අහිරහස් 'වස්තුව'  පිලිබඳ ගැටලුව ලැකාන් විසින් නොවිසඳූ අතර, ඔහු එයට "object a " ලෙස සලකුණක් යෙදුවේ ය.  මෙහි විශ්මිත, අභිරහස්මය ස්වභාවය යනු අන් කිසිවක් නොව සංකේතනයේ අසමත්වීමට පසුව මුණ ගැසෙන, යථ  තුල ස්ථාන ගත කෙරෙන අතිරික්ත ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ශේෂයයි, මෙය ආදරය කරන්නාට, එනම් විෂයට හෝ අනෙකා -ට අයිති දෙයක් නොවේ. මෙය සරලව කියන්නේ නම් ආදරය කරන්නාගේ ශරීරයේ ශෘංගාර කලාපයක් ප්‍රමෝදයට පත් වන විට එම ශෘංගාරයේ ශරීර කොටස ප්‍රමෝදයට පත්වෙමින් ආදරය ලබන්නාගේ 'කොටසක්' හා බැඳේ, එනම් අනෙක් අතට කීවොත් මගේ ආදරයට පාත්‍ර වන්නා විසින් මගේ ශරීරයේ කොටසක් මට අහිමි කරයි; එය මගේ ආදරයට පාත්‍රවෙන, යථාර්ථය තුල සිටින පුද්ගලයාට  අයිති නොවන අතර මටද අයිති නැත. එම පුද්ගලයා යනු විෂයේ ෆැන්ටසිය තුලින් විෂය කරා  එන හුදු ආධාරකයක් පමණි.
-හිස්ටිරියාව පිටුව 374

ගොතමිගේ ජිවිතයේ යථාර්තය දිග හැරෙන මේ චිත්‍රපටිය දිග වැඩි බවක්ද පැවසිනි. අනවශ්‍ය දර්ශන කීපයක්ම සත්යජිත්ට කපා  හැරීමට අවකාශ තිබිණි. බටහිර රටවල
පැය  එකහමාරේ චිත්‍රපටිය නරඹන සිනමා ලෝලීන් ඉන් අනතුරුව අවන්හලකට රාත්‍රී  ආහාරයට ගොඩ වැදීම සුලභ දෙයකි. දිග චිත්‍රපටියක් වෙළඳ පලට නිකුත් කිරීම ඒ නිසා අවාසිදායකය.  නමුත් පැය  දෙක පසුකරයන  චිත්‍රපටි නැතුවා  නොවේ. "ෆිලිපිනෝ පවුලේ විකාශනය "නමැති චිත්‍රපටිය පැය  10 කි. "දස පනත " චිත්‍රපටිය පැය  තුනකුත් විනාඩි 40කි.  සත්යජිත්ට අවශ්‍ය වී ඇත්තේ ගෝතමී රැකියාව පටන් ගත්  දා  පටන් ඇය  මුහුණ දෙන සිද්ධීන් ගේ විශ්ලේෂණයක් කිරීමට පාඨකයාට අවස්ථාව ලබා දීමට යයි සිතෙන බැවින් මේ මහා දිග කතාවට  එකඟ විය හැකිය.
එය එසේ බව ද සත්‍යජිත් පහදා  දෙයි.  මංගලා  හා විපුල ගේ ආදරයට සහය වන ගමන් ගෝතමී විපුලට රහසේ ආදරය කරන දීර්ඝ රූප  මාලා විපුල හා ගෝතමී ගේ අතර ඇතිවන ලිංගික සම්බන්ධයෙන් හා ගෝතමී  ස්වයං වින්දනය කිරීම  පෙන්වන රූප මාලාවෙන් සාධාරණය වෙයි. එසේම ඉන්දියන් චිත්‍රපටියක මෙන් සුභ අවසානයක් කිරීමට මෙන් යන දීර්ඝ රූප මාලා - එනම් ගෝතමී හා සැමියා ඩෙස්මන්ඩ්  (ධර්මසිරි බණ්ඩාරනායක) ගේ ආදර කතාව, ඔවුන් හදා ගැනීමට දරුවෙක් සෙවීම, දරුවා රැගෙන වාහනයකින් නැවත ඒම - කෙළවර වන්නේ ගෝතමී වැනිම වූ තවත් ගාමන්ට් කෙල්ලක් රථයේ හැපීමට ගොස් බේරී ඔවුන්ට බනින දර්ශනයකිනි. කදුළු වැගිරෙමින් ඈ  දෙස  බලා  සිටින ගෝතමී ප්‍රේක්ෂකයාට, ගෝතමී මුහුණ දුන් විෂම චක්‍රය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් වෙනත් ගැහැණියකටත්  මුහුණ දීමට සිදු වෙන බව දන්වයි.

චිත්‍රපටයේ ඇතැම් තැනක ග්‍රාම්‍ය  වදන් භාවිතය ඒ ආකාරයෙන්ම දැකිය හැකිය.  සම්භාව්‍ය සිනමා හෝ වෙනත් කෘතියක එසේ නොවිය  යුතුයිද භාෂාව හැසිරවීම වඩාත් කලාත්මක විය යුතුයිද විවේචනයක් පවතී. සම්භාව්‍ය යයි කියා ගන්න දේශපාලකයන් සම්භාව්‍ය හා උගත් ජනතා නියෝජිතයන් සිටිය යුතු ව්‍යවස්ථා නීති රීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවක ප*** ඇතුළු ග්‍රාම්‍ය වදන්  භාවිතා කරන්නේ නම් යථාර්තවාදී රීතියෙන් බැහැර නොයමින් සත්‍යජිත් තම සිනමා කෘතියට  එවදන් එක්  කිරීමේ පාපයක් මම නොදකිමි. ඇරත් අතිශය ලෙස උද්වේගකාරී අවස්ථාවක ස්ව හැඟීම් අමු අමුවේ තලා  දමනා  වෙලාවක   අපේ වචන භාවිතය මෙසේ වේ යැයි කිව හැකිද? මා  දන්නා පරිදි විශ්වවිද්‍යාල  උපාධිධාරී යුවලවල් කුණුහරපෙන් බැන ගන්නා  සමයක, හාමුදුරුවරුන්, දේශපාලකයන්, පුජකයන් කුණුහරප කරනා සමයක, ගෝතමිලා කෝපය හා වේදනාව  ග්‍රාමය භාෂාවකින් පිට වීම වැළැක්විය හැකිද?

  ගෝතමිගේ ෆැන්ටසිය විපුලයි. ඇගේ  ෆැන්ටසියේ යථාර්තය දරුවකු ලැබී අනාථ  වීමයි. නමුත් ඒ යථාර්තයට ඇය  යට වුයේ නැත. මවකට කෙතරම් අපහසු වුවත් දරුවා හදා ගන්නට දී ඇය  නැවත  ජීවිතය සොයා ගියාය.


"ෆැන්ටසි සවිඥානික  හෝ පුර්ව  විඥානික (එනම් අපි ඒ කෙරේ අවධානය යොදවන්නේ නම් දැනුවත් විය හැකි ෆැන්ටසි ) ලෙස පැවතිය හැකි අතර ම ඒවා අවිඥානකවත් පවතියි. උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩියානු, "ළමයෙක් පහර කමින් සිටියි" යනුවෙන් වන සවිඥානිකෆැන්ටසියේ අවරෝධිත, දෙවන ස්වරුපය වන "මම මගේ පියාගෙන් පහර කමින් සිටිමි" යන්න පහරදීමේ-ෆැන්ටසියේ අවිඥානික ස්වරූපයයි.නිරන්තරයෙන් මෙවැනි අවිඥානික ෆැන්ටසි කරා  අපට ලඟා  විය හැක්කේ 'අවිඥානය කරා ඇති " ෆ්‍රොයිඩියානු 'රාජකීය මාවත' වන සිහින හරහායි."
අනෙකාගේ ආශාවේ ප්‍රහෙලිකාවට පිළිතුරක් - හිස්ටිරියාව පිටුව 375

බෞද්ධ හැදියාව නමැති  ෆැන්ටසිය විනාශ වෙන නගරයේ සිට දරු ගැබ සහිත කාන්තාව (ගෝතමී)  සහල් පිරි නමන ශාන්ත භික්ෂුව නිරූපනය කරන්නේ දරුවා අවජාතක නොකරන ඇගේ සහෝදරියගේ හා සැමියාගේ අව්‍යාජත්වයද?

විපුල සමග එක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන ඔහුගේ යහළුවන්ගෙන් පට්ට වේ... නම් ගරු නාමය රැගෙන දරුවා බිහි කිරීමට ගමට යන ඇය නැවත පැමිණ මැද පෙරදිග යයි. එහිදී කතෝලික ඩෙස්මන්ඩ්  සමග යහළුවී නැවත ලංකාවේදී විවාහ වෙයි.  කතෝලික නම් දික්කසාද විය නොහැකි අතර දෙවන කසාදයක් කිරීමද කල නොහැක්කකි. නමුත් ඩෙස්මන්ඩ් මෙහිදී සම්ප්‍රදායට විරුද්ධව යයි? ඇය බැලීමට ඩෙස්මන්ඩ් ගේ පළමු කසාදයේ බිරිඳ ඩොරින් (වීනා ජයකොඩි?) පැමිණෙයි. ගෝතමී සිටින නිවසට  දරුවාගේ නඩත්තු මුදල් සොයා පැමිණෙන ඩොරීන් දැකීමෙන් ප්‍රලය වන ඩෙස්මන්ඩ් ගේ මව (චන්ද්‍රා කළු ආරච්චි ) ඇයට  "එක එකා සමග යන එකී"  හෙවත් "පට්ට වේ***"  සම්මානය ලබා දෙයි. ඇගේ අලුත ලැබුන  සුපිරිසිදු ලේලියගේ (ගෝතමී) ෆැන්ටසිය ආරක්ෂා කිරීමට මන්නයද  රැගෙන සටනට යයි.  අවාසනාවන්ත ලෙස  මේ අවුලේ ගොදුර වන තම මිනිපිරිය පිලිබඳ දුකට වඩා ඇගේ සමාජ තත්වය  වැදගත්ය.
කතාවේ මුල් හරියේ  වේ...ගේ  සිට  සුපිරිසිදු ලේලිය බවට පත් වීමේ  දයලේක්තික ප්‍රතිවිරෝධයේ සින්තසිය ගෝතමී නමැති පරිණත කාන්තාවයි.
මංගලා  හා විපුලගේ නිවසට යන ගෝතමී ඉන්පසු මුහුණ දෙන්නේ පියකරු යුවතිය හා කඩවසම් තරුණයා  අතර සිදුවිය යුතු  පරිපුර්ණ සාමය සතුට පිරි කසාදය හා මෙරිගෝ රවුමේ යමින් දරුවෙකු සමග සතුටු වන ලස්සන පුංචි පවුල් කැදැල්ලේ  ෆැන්ටසිය
නොවේ. විපුල සමග යහළුවී සිටිමින්ම  බෝඩිමේ මල්ලි සමග ද පෙම් සුව විඳ දරුවකුද ගබ්සා කර ගත්  මංගලා ගේ හා ඇය පිලිබඳ සත්‍ය දැනගත් විපුල අතර විවාහය නමැති ඛේදවාචකයයි.

චිත්‍රපටිය අවසාන  වන්නේ තවත් ගෝතමීලා හා මංගලා ලා මේ ක්‍රමය තුල   බිහි වන්නට වන්නට නියමිත බව පසක් කර දෙමිනි.

චිත්‍රපටියේ කෞශල්‍ය ප්‍රනාන්දුගේ ප්‍රතිභාපුර්ණ රංගනය  අති  විශිෂ්ටය. දුමින්ද ඩි සිල්වා හා දිලිනි අබේසුන්දර ද ඉතාමත් දක්ෂ ලෙස තම හැකියාවන්ගෙන් සහය දෙයි. ධර්මසිරි, වීනා, ගයාන්, ප්‍රියංකා, චන්ද්‍රා  , ලියෝනි  චාන්දනී, මෙන්ම  බෝඩිමේ ඇන්ටි රත්නාවලිද මේ දිගු චිත්‍රපටියේ සාර්ථක රංගනයක යෙදෙයි.
කාලයකට පෙර ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටියේ යුද්ධයේ දරුණු පිඩාව විඳ  ජිවිතයෙන් පලා යන අහිංසක යුවතියගේකථාව  නැරඹුවෙමි. ඉන්පසු මලිත් හෑගොඩ ගේ "දැකල පුරුදු කෙනෙක් " චිත්‍රපටියේ සිය දිවි නසා ගැනීම පිළිතුරක් ලෙස නොගෙන දරුවා සමග සැමියා හැර යන කාන්තාව ගේ කතාව දුටුවෙමි. ඒ දෙකම අගනා  සිනමා කෘතීන්ය. පියකරු නොවීම නිසා ළමා කාලයේම කොන්වන, ප්‍රශ්න ඉදිරියේ පීඩා විදිමින් ජිවිතයට මුහුණ දෙන දිරිය ගැහැනියක ගෝතමී තුලින් දුටුවෙමි.   සත්‍යජිත් මාඉටිපේ තම මුල් සිනමා කෘතියෙන්ම සම්භාව්‍ය සිංහල  සිනමා කලාවේ තවත් පියවරක් තබමින් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කර ඇත. මේ පරම්පරාව සිංහල සිනමාව වඩාත් උසස් තලයකට ගෙන යනු ඇත. අපේ වාසනාවට අගතිගාමී මන්දබුද්ධික  කපන මණ්ඩලයක් දැන් නැත.

මේ චිත්‍රපටිය ලන්ඩනයේ  පෙන්වූ අගෝරා කලා  කවයට ස්තූතියි.

Thursday, 14 May 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 4

නායකයන් විසින් නොයෙකුත් විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වීම මගින් හා වෘත්තීය සමිති   සමග සංවාදයක් තබා ගැනීම මගින් සිප්‍රස් සහ අනිකුත් සමහර නායකයන් තමන් කුමන ආකාරයක දේශපාලන සහ සාමාජික දැක්මක් ආරක්ෂා කරන්නේද යන්න දැඩි ලෙස පෙන්වා දුන්නා . පසුගිය කාලයේ අප එවැන්නක් දැක තිබුනේ නැති තරම්.
තව පැත්තකින් බැලුවොත් ග්‍රීසියේ දේශපාලන තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා කියල කිව්ව හැකි.
කිසියම් අංශයන්හි අරගල තිබුනත් බොහොමයක් සමාජීය ව්‍යාපාරවල පසු බැස්මක් තිබුන වගේම උදාසීන භාවයක් පැතිරෙමින් තිබුණා.
නමුත් 2012 න් පස්සේ රටේ (ග්‍රීසියේ) සමස්ත තත්වය වෙනස් වුණා.  සමාජීය විරෝධතා ව්‍යාපාර වලට මිනිසුන්ගේ මැදිහත් වීම අඩු වෙද්දී සිරසා එවකට බලවත්ව පැවති නැඹුරුව (trend) ට හැඩ ගැහුණා.

එතකොට "වාමාංශික වේදිකාවේ " ආකෘතිය හැටියට ගන්නේ, වාමාංශික ආණ්ඩුවක් ලිවරය හැටියට තබා ගෙන පිටතින් සිට ජනතාව  පන්ති අරගලයට හා සමාජ ව්‍යාපාර වලට ගොනු කිරීමේ උපාය මාර්ගයට , සහ ඉන් පසු ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම වගේ ප්‍රංශයේ ජනප්‍රිය (ජනතාවාදී )පෙරමුණ (Popular Front) අනුගමනය කිරීමක්ද ? ඒ කියන්නේ එක පාදයක් ඇතුලේ අනිත් පාදය  එලියේ?

මෙතන පේන  කියන්න අමාරුයි. ඔබ අදහස් කරන්නේ "ජනප්‍රිය පෙරමුණ " (Popular Front government) ගැන, නමුත් සමාජ ව්‍යාපාරවල් "ජනප්‍රිය පෙරමුණ" ආණ්ඩුවෙන් කල ඉල්ලීම් ඉතාමත් වෙනස්  ඒවා. ඒවගේම "ජනප්‍රිය පෙරමුණ" ට තිබුනේ ඉතා සීමිත වැඩ සටහනක්. මේ නිසා ජයග්‍රහණ, අත්  පත් කර ගැනීම් සහ අනිකුත් "ජනප්‍රිය පෙරමුනේ" ජය ක්ෂණයකින්ම පැමිණියේ බහු ජනතා ව්‍යාපාරයේ පීඩනය නිසා. 

අප සිරිසා අර ගත්තොත් අපට පේනවා පසුගිය කාලේ  තිබුණු උදාසීන බැවින් ගැලවිලා සමාජ ව්‍යාපාර බල ගැන්වීමට සිරිසා  ලද ජයග්‍රහණය උත්ප්‍රේරකයක් වුණා  කියල. හැබැයි එසේම සිරිසා එම සාමාජිය ක්‍රියාවලින්ට විවෘත වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්ත  කියල අමතක කරන්න නරකයි.  වඩාත්ම වැදගත් ප්‍රශ්නය කියල මට සිතෙන්නේ අවම වැටුප,  අපි  පක්ෂ එකතුවේ ලියවිල්ල අත්සන් කරන්න කලින් තිබ්බ ප්‍රමාණයටම  අරන් යමු කියන යෝජනාව. ඊටත් වඩා  වැදගත් යෝජනාව වුනේ, පසුගිය වසර හතරේ ඉවත දැමුණු  සමස්ත සාමුහික ගිවිසුම් පද්ධතිය සහ කම්කරු නීති නැවත ස්ථාපිත කිරීමයි.
මෙයින්  අරගලයට අවශ්‍ය අවකාශය මුදා හැරෙනවා   පමණක් නොවේ, ඉතාමත්ශෝචනීය තත්වයක ඇති ග්‍රීසියේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩ නැංවීමටත් හැකි වෙනවා.

නමුත් අමාත්‍යංශ ප්‍රශ්නය සහ රජයේ භූමිකාවක් රඟ  දැක්වීම තුල පොදු ක්‍රියාමාර්ගයක් නැහැ නේද? වෙලාව පැමිණිය විට ජනතාව තීරණය කරයිද? 

නැහැ. කොහෙත්ම නැහැ.  "වාමාංශික වේදිකාව"  රජයට සම්බන්ධ වීමේ තත්වයන් තීරණය වෙන්නේ රජයේ උපායත්මක තෝරාගැනීම් මොනවාද යන්න මත බව ඉතාමත් පැහැදිලයි.  මේ ප්‍රශ්නයට ඔවුන් මුහුණ දෙන්නේ එලෙස මිසක් වෙන විධිහකට නොවෙයි. 

අනික මා  සිතන්නේ මේක තමා මාපකය, අනිත් අයගේ දේශපාලනය සහ අප අතර වෙනස: අපි අමාත්‍යාංශ පිබඳ ප්‍රශ්නය මුලික කර ගන්නේ නැහැ, අපි මුල් කරගන්නේ ක්‍රියා මාර්ගය මොකක්ද යන්න, වැඩ පිළිවෙල කුමක්ද යන්න, හැමදෙයක්ම තීරණය වන ක්ෂණික ප්‍රධාන උපායමාර්ග මොනවාද කියන එක. ඉතින් හැම දේම තීරණය වන්නේ මොන ක්‍රියාමාර්ගයද වැඩි දුර රඳා  පවතින්නේ  කියන එක මත. ඉතමත් මෘදු ලෙස කියනවනම් සිරසා එකේ වැඩ පිළිවෙලේ බොහොමයක් දේවල් නිරාකරණය කර ගත  යුතුව තිබෙනවා.
නමුත් සමස්තයක් වශයෙන් අපේ ක්‍රියාමාර්ගය මෙයයි: අපි සිරිසාහි නිරපේක්ෂ මුලික පොරොන්දු වලට අනුගත වී සිටීම.

වර්තමාන වැඩ පිළිවෙලද 2012 වැඩ පිළිවෙලද? 

මම අදහස් කලේ වර්තමාන වැඩ පිළිවෙල ගැන. අඩුම ගණනේ ඉතාමත්ම අවම වැඩ පිළිවෙල ඉදිරිපත් කල තෙසලොනිකි සම්මේලනයේ සිට සිප්‍රස් විසින් යාවත්කාලීන කල වැඩ පිළිවෙලට  වත් ඇලී සිටීම ලොකු ගැටීමක් ඇතිවෙන තැනට යාමක්.  ඒ කියන්නේ උනන්දු සහගත  ජනප්‍රිය  ව්‍යාපාරයන් ගේ කැඳවීම්  වල සහයෝගය ලැබීම, සමස්ත ක්‍රියාවලිය තුල පක්ෂයේ සහ අනිකුත් සමාජ හා දේශපාලන ආයතනයන් කැඳවා සංවිධානය කිරීම, යන්නයි.

මා සිතන්නේ වාමාංශික වේදිකාවේ කාර්ය භාරය මෙයයි: ක්‍රියාත්මක වීමට (මෙන්ම) , රාජ්‍යය මට්ටම  හා සමාජ මට්ටම (level) අතර ඇතිවීමට නියමිත දයලේක්තික ක්‍රියාවලියේ උත්ප්‍රේරකයක් වීමට. මෙය හොඳින් කෙරුනොත් "වාමාංශික වේදිකාවේ " ඓතිහාසික කාර්යභාරය වන්නේ එයයි. රජයේ මට්ටමෙන් සිදුවන්නේ කුමක්ද හා මුලික ජනතා ව්‍යාපාර මට්ටමේ සිදුවන්නේ කුමක්ද කියන තලයන්  දෙක අතර විශාල පරාසයක් නිර්මාණය වීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ශක්තිජනක උත්ප්‍රේරකයක් වශයෙන් අපට පක්ෂය තුල වඩා සංගත පැහැදිලි බලයක් තිබෙනවා.

ඔබ හොඳින්ම දන්නවා අප දන්නා පැරණි මෙහෙයවීම තමා  කම්කරු,  ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යංශ වමට දී ප්‍රධාන හා වැදගත් අමාත්‍යංශ පක්ෂයේ දක්ෂිනංශය අතට ගැනීම කියල ..........

ඔව්. නමුත් මෙය නොවේ දැන් තිබෙන අනතුර. අනතුර තමා  දැන් ඔවුන් මෙය නොකිරීමයි. ඔවුන් උපායමාර්ගික වශයෙන් වැදගත් අමාත්‍යංශ පුදනවා දේශපාලන ක්‍රියාමාර්ගය පැහැදිලි නොකර. එතකොට වෙන්නේ අපේ අත් මුල සිටම බැඳලා තබන එකයි. එසේම මා හිතන විධිහට වැදගත් ම දේ තමා අභ්‍යන්තර වශයෙන් හා යුරෝපා සංගමය හා යුරෝපීය  බලයන් සමග ඇති ගැටුම හා  එම අභියෝගය එලෙසින්ම පවත්වා ගෙන යෑමේ වගකීම ගැනීම. අප ඒ දිසාවට ගමන් කලොත්, වඩා  පළල්  ලෙස සිරිසා තුල සහ ග්‍රීක වම තුල ඉතාමත්  බරපතල පැහැදිලි කර ගැනීමකින් තොරව මේ සටන ජය ගන්න බැහැ.

මගේ බලාපොරොත්තුව තමා (මන් හිතනවා මෙය ප්‍රායෝගිකයි කියල) මේ වගේ දෘෂ්ටිකෝණයක් ඇති කර ගත් නිසා සිරිසා ගෙන් පිටත සිටින බලවේග නැවත තම එල්ලයන් වෙනස් කර ගනීවි කියල. ඒ වගේම දැනට සිරිසා දෙස  සැකයෙන් බලමින් පසුබටවී සිටින කණ්ඩායම්,  මෙවැනි සන්ධිස්ථානයකදී වඩා තීරණාත්මක ප්‍රවේශයක් ගනීවි යන්න. අන්න එතකොට අපට එක්සත් පෙරමුණක් හැදේවි.


සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3

මතු සම්බන්ධයි.
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති  

Thursday, 7 May 2015

වාමාංශයේ දක්ෂිණාංශය, දක්ෂිණාංශයේ වාමාංශය හා මාක්ස්වාදී සෝමවංශ

මීට  කලකට පෙර "දක්ෂිනාංශයෙන් සමාජවාදයක්  පැතීම හා මාක්ස්වාදී රනිල් " කියා ලිපියක් මේ බ්ලොගයේ ලියුවෙමි. ඉහත මාතෘකාවේ යොමුව (link) ඇතුලත් කර ඇත. මෙය ත්‍රිමාණ වෙබ් අඩවියේද පළවුණි.
මා විසින් පල කරන ලද "සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස්" පරිවර්තනය බොහෝ අයට නොතේරුණු බවක් පැවසූ අතර මේ ලිපිය ලියන්නේ ඉතිරි කොටසේ පරිවර්තනයට ප්‍රවේශයක් ලෙසයි. මේ ලිපිය හැකි තරම් විවේචනය කරන්න. වැදගත් එයයි.

මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මහා මැතිවරණය අදයි . මගේ මතකයට නැඟෙන්නේ දක්ෂිණාංශික කොන්සර්වටිව් පක්ෂයේ ජෝන්  මේජර් ගේ අවසන් මැතිවරණයි.ජෝන් මේජර් ජය ගත්තේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ වාමාංශික කණ්ඩායම නියෝජනය කල නීල්  කිනොක් පරදවමිනි. ඉන් පසු එළඹෙන මැතිවරණයට කලින් කම්කරු පක්ෂයේ නායක ජෝන් ස්මිත් මියගිය විට පක්ෂ නායකත්වයට පත් වුයේ "සමාජවාදය" වෙනුවට "මැද  මාවත " යෝජනා කල ඇන්තනි චාල්ස් ලින්ටන් බ්ලෙයාර් නොහොත් ටෝනි බ්ලෙයාර් ය. ඔහු 1997 දී අති  විශාල චන්ද ප්‍රමාණයකින් ජෝන් මේජර් ගේ කොන්සර්වටිව් පක්ෂය පරදවා  ජය ගත්තේය. වාමාංශික පක්ෂයක් වූ  බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ "වාමාංශයේ දක්ෂිණාංශය" නියෝජනය කළේ  බ්ලෙයාර් ගේ කණ්ඩායමයි.  මුලින්ම ඔහු කලේ "නව කම්කරු පක්ෂය " නමින් නම වෙනස් කිරීමයි. මින් පසු ඔහු කිවේ  සමාජවාදය නොව ඔහු ගෙන එන්නේ -සමාජ වාදිත්වය  "social-ism" බවයි. එය
ඔහු යහ පාලනය, එක්සත් බව, සෑම පුරවවැසියෙකුගේම සමාන වටිනාකම, සැමටම සමාන අවස්ථා යනුවෙන්  අර්ථ දැක්විය. ඔහුගේ විරුද්ධ වාදීන් කිවේ ඔහු අව්‍යාජ සමාජවාදය අතහැර ධනවාදයට පිය නගන බවයි. ටෝනි බ්ලෙයාර් විසින් කම්කරු පක්ෂයේ වාමවාදී ප්‍රවණතාවය  සහසුද්දයෙන්ම පරාජය කරන ලදී.
 ඉන්පසු ඔහු විසින් දස අවුරුද්දක් බ්‍රිතාන්‍ය පාලනය කල අතර ඔහුගේ "වමේ" නව කම්කරු පක්ෂය තැචර් ටත් වඩා  දක්ෂිණාංශික විය. කම්කරු පක්ෂයේ නායකයන්ට වඩා ඔහුට ප්‍රසංශා  කලේ තැචර් ය. හිටපු ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් සමග සුහදත්වයෙන් සිටි ඔහු යුද සහකරුවෙකු වුයේ දක්ෂිණාංශික ජෝජ් බුෂ් ටය.

 බුෂ්  සමග "ත්‍රස්තවාදයට " එරෙහි යුද්ධයේ පෙර ගමන් කරුවකු මෙන්ම ඉරාකයට එරෙහි යුද්ධයේ සහයෙකු වූ ඔහු   බ්‍රිතානයේ වමේ දක්ෂිණාංශික කණ්ඩායම  කොන්සර්වටිව් පක්ෂයේ දක්ෂිණාංශයටත්  එහා තැනක ස්ථාපිත කළේය.  එහි ප්‍රථිපලය  වුයේ ඔහු දෙවතාවක්ම කොන්සර්වටිව්  පාක්ෂිකයන්ගේ, මධ්‍යස්ථ  චන්ද දායකයන්ගේ හා කම්කරු පක්ෂයේ දක්ෂිණාංශයේ චන්ද පහසුවෙන් ලබා දෙවරක් අගමැති වීමයි.

අති වාම වාදී  ජාත්‍යන්තර මාක්සිස්ට් නැඹුරුව හා වෙනත් ට්‍රොස්ට්කිවාදී පක්ෂ ඔහුට එරෙහි වූ අතර, ඔහුගෙන් පසු පත් වූ ගෝර්ඩන් බ්‍රවුන් පක්ෂය නැවත මැද  මාවතකට ගන්නට අසාර්ථක ප්‍රයත්නයක නිරත විය.  එහිදී කොන්සර්වටිව් පක්ෂයේ මධ්‍යස්ත කණ්ඩායම (දක්ෂිනාංශයේ වම) ජය ගත්තත් ආසන  මදි වීම නිසා වඩා වමේ සිටි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී (ලිබරල් ඩිමොක්‍රටික්) පක්ෂය සමග  අත්වැල් බැඳ ගති. මේ අනුව වාමාංශික කම්කරු පක්ෂයේ දක්ෂිනාංශයට වඩා කොන්සර්වටිව් ලිබරල් සන්ධානය වාමාංශික හුරුවක් ගති. ඩේවිඩ් මිලිබෑන්ඩ් පරදවා කම්කරු පක්ෂයේ බලය ගත්  ඔහුගේ සොහොයුරු එඩ්  මිලිබෑන්ඩ් කම්කරු පක්ෂයේ වාමාංශය නියෝජනය කරයි. මේ නිසා ඔහුගේ නායකත්වය කැමරන්-ක්ලෙග් සන්ධානයට වඩා  වාමාංශයට බරය.  මේ හේතුව නිසා අති වාමවාදී පක්ෂ  වලට සහය දෙන අය  කොන්සර්වටිව් ආණ්ඩුව පරදවන්නට උපක්‍රමික ලෙස කම්කරු පක්ෂයට චන්දය භාවිතා කිරීමේ ප්‍රවණතාවක්  ඇත.

ශ්‍රී ලංකාවේ වමට බර ධනවාදී පක්ෂයක්ව තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 70-77 සමගි පෙරමුණු ආණ්ඩුව වාමාංශික ස්වභාවයක් ගත්තේ කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂ නිසා පමණක්ම නොව සමාජවාදී චීනයට හා සෝවියට් රුසියාවට මෙන්ම නොබැඳි සමුළුවට හිතකර විදේශ ප්‍රතිපත්තියක්ද තිබු නිසාය. එම රජයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ ජවිපෙයට සීඅයිඒ චෝදනා එල්ල වුයේත් මේ නිසයි. අති වාමවාදී ස්වරූපයක්  ගත් ජවිපෙ කැරැල්ල  දක්ෂිණාංශයට සේවය කිරීමක් සේ දක්නට ලැබුණු අතර එයට විරුද්ධව පැවතුන සිරිමාගේ වාමාංශික රජයට සහය දුන් විදේශ රාජ්‍ය අතර සෝවියට් දේශය, චීනය මෙන්ම බ්‍රිතාන්‍යයද විය.
1977 න්  පසු ජයගත් ජේ ආර් ගේ රජය අති දක්ෂිණාංශික එකක් වූ අතර ශ්‍රීලනිප හා පරණ වමේ සන්ධානය මධ්‍යස්ථ තත්වයටත් විජේවීරගේ ජවිපෙය  වඩා වමටත්, අනිකුත් කුඩා ට්‍රොට්ස්කිවාදී හා ස්ටැලින්වාදී පක්ෂ අති වාම වාදී ගොන්නටත් වශයෙන් බෙදිය හැකි විය.
දෙමළ විමුක්ති අරගලය පටන් ගැන්මේදී එය බොහෝ විට වමට බර විය. රාජිනි තිරානගමගේ කාලය දක්වා එය වාමාංශික නැඹුරුවක් ගත්  බව පෙනිණි. මුලදී එසේ වුවත් ප්‍රභාකරන් හා කොටි සංවිධානය අතට පත් වූ දෙමළ අරගලය ජාතිවාදී මෙන්ම දක්ෂිණාංශික නැඹුරුවක් පෙන්නුම් කළේය. රාජිනි මෙන්ම පද්මනාභ ආදීන් මරා  දැමීමෙන් පටන් ගෙන,   වාමාංශික  නැඹුරුවක් තිබු දෙමල සටන්කාමී කණ්ඩායම් කොටි සංවිධානය
විසින් සම්පුර්ණයෙන්ම සමුලඝාතනය කිරීමෙන් පසු එය වඩාත්  තහවුරු විය.

ජනවාරි 8 දා  පැරදුන මහින්ද රාජපක්ෂ රජය අතිශයින් දක්ෂිණාංශයට  බර වුවකි. ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය කොන්සර්වටිව් පක්ෂයටත් එහා දක්ෂිනාංශයට රැගෙන ගිය ලෙස, මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපයේ දක්ෂිනාංශය නියෝජනය කරමින් එය එතනට තල්ලු කලේ ජෝර්ජ් බුෂ් ගේ "ත්‍රස්ත විරෝධී" සන්ධානයටද සහයෝගී දෙමිනි. වඩා ලිබරල් චන්ද්‍රිකා  පාර්ශ්වය හෙවත් ශ්‍රීලනිප වම පසෙකට තල්ලු විනි. (චන්ද්‍රිකා  පාලනයේ අසාර්ථක භාවය ආදිය  මෙහි සාකච්චා නොකරමි . එය මෙතනට අදාල නැත). ශ්‍රීලනිපය සමග එක්වූ පරණ වමේ පක්ෂ ද දක්ෂිනාංශයට තල්ලු වුනු අතර ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂිනාංශය නියෝජනය කරමින් විමල් විරවංශ, සෝමවංශ  කණ්ඩායම මහින්ද රජයට සහයෝගය දුනි. ඉන්දියාවේ, එක්සත් ජනපදයේ, චීනයේ හා රුසියාවේ උදව්වෙන් දක්ෂිණාංශික දෙමල විමුක්ති අරගලය දක්ෂිනාංශයට බරවූ සන්ධානයක් විසින් මිලිටරිමය මැදිහත්වීමකින් පරාජය කරන ලදී.  (දක්ෂිණාංශික , අතිශයින් කොමියුනිස්ට් විරෝධී රිපබ්ලිකන් පාක්ෂික ඇමෙරිකන් ජනාධිපති රිචර්ඩ් නික්සන් ප්‍රථම වරට චීනයට ගොස් චීනයට ඇමෙරිකන් වෙළඳපොල විවෘත කර දීමට අඩිතාලම දැමු අතර රිපබ්ලිකන් දක්ෂිණාංශික ඇමෙරිකාව සැමවිටම ඒකාධිපති ස්වරුපයක් ගත් පාලනයන්ට සහයෝගය දුනි.)
ඔබාමා නියෝජනය කරන්නේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයට විරුද්ධ වමයි. (මේ වම මාක්ස්වාදි  වමට සම්බන්ධ නොකරන්න) ඔහු ට කොන්සර්වටිව් පක්ෂයේ වම හා ජර්මනියේත් ප්‍රංශ සමාජවාදී ජනාධිපති සමගත් ලෝක දේශපාලනය තුල ව්‍යාජ වමක් ගොඩ නගා  ගත හැකි විය.
ඔහුගේ වම රිපබ්ලිකන් දක්ෂිනාංශයට හා ලංකාවේ මහින්ද  දක්ෂිනාංශයට මෙන්ම සිප්‍රස් ගේ ග්‍රීක මාක්ස්වාදී වමටද විරුද්ධය.
මගේ මුල් ලිපියේ  ඇති අති දක්ෂිණාංශික චැප්මන් ගේ "තේ පක්ෂය" (tea party) ඔබාමාගේ රාජ්‍ය මැදිහත් වීමට විරුද්ධව රාජ්‍යය අහෝසි කිරීමට කතා කරයි.

ලෝකයේම වම දකුණ මාරුවී ඇත.

ජවිපෙ වාමාංශය මෙහිදී කුමාර්, ලසිත් , වරුණ, ඕපාත (ලාල්කාන්ත හැර) කණ්ඩායම වූ අතර ශ්‍රීලනිප  දක්ෂිණාංශික රජයේ යුද ජයෙන් අනතුරුව ඔවුන් ජවිපෙන් වෙන් වුනි.  දක්ෂිණාංශික එජාපයේ වාමාංශික නැඹුරුව මෙහිදී  රනිල් වික්‍රමසිංහ (බටලන්ද බැගේජය සහිතව ) මෙහෙයවූ අතර එජාප දක්ෂිණාංශය ජොන්ස්ටන්, එස් බි, ලොකුගේ ආදීන්  හරහා රාජපක්ෂගේ ශිලනිප දක්ෂිනාංශයට එක්  විය. වාමවාදී සුළු පක්ෂ වලට හා එජාපයට එක වේදිකාවට එක්විය හැකි පරිදි සෝභිත හිමි  , නිර්මාල් ආදීන්ගේ වාමාංශික නැමියාවක් ඇති සමාජ ව්‍යාපාරයන් බිහි වුන අතර වික්‍රමබාහු   ආදීන් ටද මෙයට එක්විය හැකි විය.  ශ්‍රීලනිපයේ වාමාංශික කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප ලිබරල් කණ්ඩායමේ චන්ද්‍රිකා හරහා දක්ෂිණාංශික එජාපයේ වාමාංශික කණ්ඩායම සමග සම්බන්ධ වී වාමාංශික නැඹුරුවක් ඇති සමාජ ව්‍යාපාරයන් (සෝභිත හිමි ආදීන්) ගේ උදව්වෙන් ශ්‍රීලනිප -එජාප (මහින්ද පමුඛ ) දක්ෂිණාංශික සන්ධානය පරදවා බලයට පැමිණ ඇත.  පරණ වමෙක්  වූ චම්පිකගේ දක්ෂිණාංශික හෙල උරුමයේ වාමාංශික කණ්ඩායම ඔවුන්ට එක්  වුනු අතර,  හෙළ උරුමයේ සුළුතර "දක්ෂිණාංශය" ශ්‍රී ලනිප පැරදුන දක්ෂිණාංශයට එක්  විය. නිදහස් දේශපාලනයට දැඩි ලෙස බාධා කල ශ්‍රීලනිප -එජාප (මහින්ද ප්‍රමුඛ ) දක්ෂිණාංශය පැරදවීමේදී,  අති  වාමවාදී ස්ථාවරයක් ගත් ජවිපෙන් කැඩී  ගිය කණ්ඩායම (පෙසප) හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ කිහිපයක් මෙහිදී දක්ෂිනාංශයට සේවය කරන බවක් පෙන්නුම් කරන ලදී. 1971 ජවිපෙට එල්ල කෙරුණු සීඅයිඒ චෝදනාව කල්පනා කරන්න. වාමවාදී රජයකට එරෙහිව කරන අතිවාමවාදී කැරැල්ල එයට චන්දය දුන් බහුතර ජනතාවට පෙනෙන්නේ  දක්ෂිණාංශයට සේවය කිරීමක් ලෙස වන අතර ගම්වලදී කැරලිකරුවන් පොලිසි වලට පාවා  දීමට එයත් හේතුවක් විනි.

මාක්ස්වාදී යයි තමන්  කියා ගන්නා විරවංශ හා වමෙක්  යයි තමන් සිතන වාසු තවමත් ශ්‍රීලනිප දකුණට එක්  වී සිටින අතර  ශ්‍රීලනිප -එජාප (මහින්ද පමුඛ) දක්ෂිණාංශය ට විරුද්ධ නොවුන විරවංශ නැවතත්  අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය  ගෙන හැර දක්වයි. ලෙනින් විරුද්ධ වුයේ අධිරාජ්‍යවාදය විසින් ගෙනයන ධනපති ක්‍රමයට වන අතර චීනය හා රුසියාව අනුගමනය කරන්නේ එයම  බව වීරවංශට වැටහීමක් නැත. (වැටහීමක් ඇත්නම් එය සඟවයි.)  රුසියාවට හා චීනයට පක්ෂවී ඇමෙරිකාවට විරුද්ධ වීම ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධයයි. රුසියාවට හා චීනයට ඔවුන් පක්ෂ,   දෙමල අරගලයට විරුද්ධ යුදයේදී ලංකා රජයට සහය දුන් නිසාය කියන ඔවුන් ඉන්දියාව හා එක්සත් ජනපදය තීරණාත්මක ලෙස යුද්ධයට රහසේ සහය දුන් බව සඟවයි. (කොටි නැව් විනාශ කිරීමට දුන් ඔත්තු වල සිට). රාජපක්ෂ ජයග්‍රහණයෙන් පසු එම රජයට එකතු වීමට බලා  සිටි සෝමවංශට එය කල නොහැකි වූ අතර, මෛත්‍රී බලයට ආ  පසු ජවිපෙ යු ඇන්පී  රජයකට නොයන  නිසා එහි ඇමති පදවියක් වත් සෝමවංශට නැත. ජවිපෙන් ඉවත් වීම හා ඔහුගේ උපවාසය "අනේ මා දිහාත්  බලන්න" යන්නක් මිස න්‍යායිකව විවේචනය කලයුතු කාරණයක් නොවේ.


1917 පෙබරවාරි හිදී ලෙනින් කෙරෙන්ස්කි කණ්ඩායම  බලය ලබා ගනිද්දී නිහඬ වුයේත්, මාස ගණනකට පසුව "දැන් කාලය එළඹ ඇත " යැයි කීවේ ඇයිද යන්න මෙහිදී කල්පනා කල යුතුය. මේ ලිපිය බලන්න.  ඇලෙක්සිස් සිප්‍රස් මහජන චන්දයෙන් බලයට පත් වීමේදී උපාය මාර්ගිකව අනුගමනය  කලේ ලෙනින් ගේ ක්‍රමවේදය බවට යෝජනා කරමි.

 මෙය කියවිමෙන් පසු කැමති නම් සිරසා පරිවර්තන නැවත කියවන්න.
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3


ප.ලි - මෙම ලිපියේ ඇත්තේ මගේ පුද්ගලික අදහස් පමණි. 

Friday, 1 May 2015

බාමියන් නෙළුවෙ ඇයි අපි

අව්කනදි  අපි නෙළුවේ
බුදු රදුන්  නිදන ඒ
සන්සුන් වූ පිළිරුව
භාවනා කරමින්ය
උතුම් වූ බුදු ගුණම

නිවන විමසා ලබන්නට නම්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්
අපි

නිවන සිතටම අවබෝධයක් නම්
ඉනික්බිති නැවත නැවතත්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්

රජ වරුන්ගේ සිටු වරුන්ගේ
කහවනු නොමැතිවම
සසරින් එතර වන්නටම
භාවනාවන් කරමින්ම

නෙළුවෙමු ඒ මහා ප්‍රතිමා
අත රැදුණු කහවනුව
කුසගිනි  නිවන අහර ටික
දුප්පතුන්ටම දෙමින්

අවකන් රටේදී ඒ
මිසදිටුවන් හිරි හැර
කරන විට මහණුන් ට
සටන් ක්‍රම උගත්තෙමු

බේර ගන්නට උන්ගෙන්
දම් පුරන අප මහ සඟුන්
දන් ටික උනුට බෙදනා
දිළිඳු අප බාමියන් ජනයා

වෙලා තියෙනා වෙලාවට
භාවනාවේ යෙදෙමින්ම
නෙලුවෙමුය ගල් කුලේ
බාමියන් මහා ප්‍රතිමා

දර පලන්නට මෙන්
දිය ගෙනෙන්නට  මෙන්
සම්මා සමාධිය වඩා
උතුම්වූ ආලෝකය ලබන්නට

ලක්ෂ දහසක් යොදා ඒ හැදු
ලොව ලොකුම ඒ ශෛල පිළිමේ
හැදුවේ මහා ගලකත් නොවේමය
ඇතුන්ගේ ගල් පුරයේ දී ඒ

කන්නට දෙයක් නැති නිසා
දරුවන් ද කළු ගඟට
විසිකර තමන්ගෙද පන
නසා ගන්නා  මව්වරුන්

සිටින්නා වූ  රටකමය..........

-මෙය ලියුවේ ඇෆ්ඝනිස්ථානයේ බාමියන් අවට පැතිරුණ සෙන් බුදු දහම හා ඔවුන් සම්මා සමාධිය හා සම්මා සතිය වැඩුවේ සාමාන්‍ය  ජිවිතයේ කාර්යයන් වල යෙදෙමින් ම යන්න ඉස්මතු කිරිමටයි. වැඩ කිරීම තුලින් සමාධිය වඩා නිවනට යන්න යනු ඔවුන්ගේ ස්ථාවරයයි.

බුදුන් ගේ ප්‍රතිමා  ගල් කුළු වල නෙළුවේ භාවනාවට ආධාරයක් පිණිස බවට මතයක් පවතී.
"For the enlightenment chop wood, carry water. After enlightenment chop wood carry water."
වඩා දැන ගැනීමට මෙතනට යන්න .http://lifehacker.com/four-confusing-zen-quotes-and-what-you-can-learn-from-1676177538