මම කොළඹ ගමයා බ්ලොගය ලිවුම අරඹන ලද්දේ වසර 2013 ජනවාරි නම වනදාය. දැනට අවුරුදු දහතුනකි. ඇත්තටම මම ඊයේ ම ලියන්න පටන් ගත්තේ වෙනම කතාවකි . ඒ මගේ බ්ලොග් එක ගැනය . ගිය සතියේ බ්ලොග් එකට පැමිණි සංඛ්‍යාව දසලක්ෂය ඉක්මවා ගොස් තිබුණි. මම ලියන්නට හිතුවේ බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් ලෙස සිටි අය බ්ලොග් ලිවීම් හැරදා ගිය බව ගැනය. මට මතකයට නැගුනේ පැරා (අජිත් පැරකුම් ජයසිංහ ) , මාතලන් , කතන්දරකාරයා රසික, බස්සි, බෝධිනී , අටම්පහුර (ලක්මාල් ) හා රවී ගැනය. ඔවුන් බුකියේ හා යූ බටයේ දැහැමෙන් සෙමෙන් වැඩ වාසය කරති . බොහෝ අය මෙන් රවියාද බ්ලොගය හැරපියා ෆේස්බුක් බිත්තිය ඔහුගේ නිවහන කර ගත්තේය. එකොනොමැට්ටා පමණක් තවම බ්ලොගය ලියයි. (ඔහු අවසන් වරට ලියා ඇත්තේ සති තුනකට කලිනි ). ඒ ගැන මෙනම් මෙවර පසුගිය මාසයේ ලංකාවේ සිටියදී වූ සිදුවීම් කිහිපයක්ද ලියන්නට සිතා සිටියෙමි .
නමුත් අද උදයේ ඉවාන් පව්ලුෂා එවූ පණිවිඩයකින් මගේ සිත ගැස්සුනි . ඒ රවී වීරසිංහ අකාලයේ අප සමුගත් බවට ඔහුගේම බිත්තියේ තිබූ දැන්වීමයි . මම කෙලින්ම ප්‍රා ජේ ට හා දම්මිකා චාන්දනී ට කතා කළෙමි. ඔවුන් දෙදෙනා දැන සිටියේ නැත. ඉන්පසු රවීගේ නොම්මරයට කෝල් එකක් ගත්තෙමි . පණිවුඩයක් යැව්වෙමි . පිළිතුරක් නැත.
මට එවර මතක් වුනේ රන්දිකා නංගිය. රවියා 'නිදහස් සිතුවිලි ' බ්ලොගය බෙදා හදා ගත්තේ රන්දිකා සමගය . එනිසා මම රන්දිකා ට කතා කලෙමි. රන්දිකා දැන සිටියේද නැත . නමුත් ඇය රවී ගේ නිවසට කතා කර මට පණිවුඩය එව්වාය. ඔහු හදිසියේම යන්නට ගොසිනි .
රවීගේ බ්ලොගය අපේ ඇස නිතර ගැටුණු එකක් විය .රන්දිකා හෝ රවී අප ඒ දිනවල හඳුනන්නේ නැත. සුමිත් යාපා බණ්ඩාර හා මම ඔහුගේ බ්ලොගය සම්මාන උළෙල සඳහා තෝරා ගත්තෙමු ඒ අප නිතර කියවන සතුට විඳි බ්ලොගයක් නිසාය . මට මතක විධිහට ඒ 2014 දීය. සම්මාන උළෙල පැවැත්වුනේ 2015 දීය. රවියා ඔහුගේ ඉතිහාසාත්මක ප්‍රබන්ධය 'නිල් කටරොළු මල්' ලියන කාලයේය . එයට හොඳම බ්ලොග් පෝස්ටුව සඳහා දෙවන ස්ථානය ලැබී තිබුණි . ඒ බ්ලොග් ලිපිය මෙතැනින් කියවිය හැකිය .
දෙවන බ්ලොග් සම්මාන උළෙලේදී හොඳම බ්ලොගයට හිමි සම්මානය 2016 දී දිනා ගත්තේ රවී සහ රන්දිකා ගේ 'නිදහස් සිතුවිලිය.'
රවී ඇත්තට ම හැබැහින් හමුවුනේ බොහෝ කලකට පසු 2021 අප්‍රේල් වලය . අප හමුවීමට ඔහු නුවර සිටම පැමිණ සිටියේය. නිකවැරටියේදී අපි , සුමිත්, ප්‍රා ජේ, ඉවාන් සහ රවී සමග පොඩි සප්පායමක් ගත්තෙමු. ධම්මිකා ද එදා පැමිණ සිටියාය . පුටුවත් උස්සාගෙන බොන්නට තැනක් හොයාගෙන යන්නේ රවියාය.ඊට පස්සේ තමන් අරන්ගිය පුටුවේ හොඳින් සැදී පැහැදී ඉන්නේද ඔහුය. කෝච්චිය වගේ සිගරට් බීවේ ද රවී ය. මට මේ දවස හොඳින් මතක කවුරුත් විශ්ව නොකරන ඉවාන් පවුලුෂා 'හොඳට දැම්ම' පින්තුරය ගත්තේ රවියා වීමය. හැම වෙලේම අප අතර හොඳටම ජොලියෙන් ද සුදියෙන් ද සොමියෙන්ද සැනසීමෙන් ද හිටියේ රවීය. . ඇත්තට ම ඒ ගැන අපි උඹට ස්තූතිවන්ත විය යුතුය .
ඉන්පසු මට ඔහු හමුවුනේ පේරාදෙණි ගිය විටෙක තේකක් බොන්නට ගොඩ වැදී ඔහුගේ නිවසේදීය .
.
මට අවසන් වරට රවී හමුවුනේ පේරාදෙණිය හංදියේ දුම්රිය නැවතුම් පලේදීය. හදිසියේ නුවර යන්නට සිදුවූ මා හමුවන්නට ඔහු පැමිණ සිටියේය . ඔහු සමග තේකක් බී කයියක් දාගෙන යන්නට හිටි මුත් නුවර සිටි තවත් යහළුවෙකු ලිෆ්ට් එකක් දුන් නිසා ඔහුත් සමග ගියෙමි. නැවත දෙතුන් පාරක් ඒ අසලින්ම ගිය මුත් මට වෙලාවක් තිබුනේ නැත . මේ මැයි මාසයේ මම රවී සහ පංච තන්ත්‍රය ලියන නිදි හමුවෙනවා යයි සිතා සිටියෙමි . නමුත් මෙවරද මිස් විය .
යාළුවන් අපි වෙලාව හදා ගන්න තුරු සිටින්නේ නැත. වෙලාව ආ විට අපි හැමෝම යා යුතුය . රවියා මා දන්නා කාලයේ සිටම සතුටින් සිනාවෙන් සිටි සුහද මානව හිතවාදියෙකි. සොඳුරු මිනිසෙකි . අපුරු ලියන්නෙකි . මේ අපුරු ලියන්නාට කවදාවත් පොතක් ලියන්නට සිතුනේ නැත . ඒ ගැන ඇසූ විට ඔහු මගෙන් ඇහුවේ 'මොකටද' කියා පමණකි. ඒ රවී ගේ හැටිය. ඔහුට කතා ගොඩක් තිබුනේය . බ්ලොග් එකේ අවසන් නොකළ කතා බොහොමයකි . ඔහුගේ අපමණක් යහළුවන් ගැන, ලංකාවේ බොහෝ තැන්වල ඔහුගේ චමරි ගැන අප දැනගත්තේ ඒ කතා වලිනි . ඒ කතා නිම නොකරම ඔහු ගිහින්ය . ඔහු සොඳුරු මිනිසෙකි . ඔහු ඒ සතුට පිරි හදින්ම නික්ම යන්නට ඇති බව මගේ විශ්වාසයයි .
සුභ ගමන් රවී
-කොළඹ ගමයා

