Thursday 22 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2

දයලෙක්තිකය 
ළඳරු සෝවියට් රාජ්‍යයේ විවාහ ක්‍රමය ලිහිල් සහගත වුවද ඉන් යුවලක ගේ බැඳීමේ අඩුවක් ඉස්මතු නොකරන ලදී. නිදහස් ආදරය යනු කැමැති හැම අයෙකු  සමගම ලිංගිකව බැඳීම නොවේ. සෝවියට් දේශයේ නිදහස් ආදරය යනුවෙන් හඳුන්වන ලද්දේ බාහිර බැඳීම් හා වැට කඩොලු නොමැතිව දෙදෙනෙකු අතර ආදර  සම්බන්ධයන් පවත්වා ගැනීමේ හැකියාවයි. උදාහරණයක් වශයෙන් කුලය, ආගම , ජාතිය, දෑවැදි , රැකියාව ආදිය  නොසලකා ඇතිවන සම්බන්ධකම්ය. දරුවන් සඳහා කොමියුන ළඳරු පාසැල්  ආදිය ඇතිකිරීම මගින් විවාහ වී හෝ එකට වාසය කරන දෙදෙනෙකුට රැකියාව කිරීමට හා සමාජ සේවා කටයුතු වල කාලය වැය කිරීමේ හැකියාව වැඩි කරන ලදී.

ලිංගිකත්වය හා හැසිරීම් පිළිබඳව වැඩි අවදානමක් ලෙනින් හෝ අනිකුත් නායකයන් නොදක්වන ලද බව පෙනේ. ඔවුන් වඩාත් වැදගත් කොට සළකා ඇත්තේ පාලන ක්‍රමයේ හා ආර්ථික ක්‍රමයේ වෙනස් කම් ඇති කිරීම කෙරෙහිය..

පුද්ගල අවශ්‍යතා  තහනම් කිරීමේ  හා සීමා පැනවීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඒකාධිපති පන්නයේ රජයන්ටය. එසේ කිරීමෙන් හා නිදහසේ සීමාවන් පැනවීම මගින් මිනිස් සමාජය තමන් ට රිසි පරිදි හැසිරවීම පහසුය.
ස්වින්ගින් සික්ස්ටිස්

බටහිර  යුරෝපයේ මෙන්ම ඇමෙරිකා  එක්සත් ජනපදයේත් ප්‍රබල සංස්කෘතික වෙනසක් හැටේ දශකයේ සිට පටන්ගත්තේය. ස්වින්ගින් සික්ස්ටිස් (මාරු කරන හැටේ දශකය) ලෙස මාධ්‍යවේදීන් තවමත් හඳුන්වන මේ කාලය සනිටුහන්වන්නේ හිපි සංස්කෘතියේ ප්‍රචලිත වීම, ලිංගික නිදහස, ගැහැනුන්ට සමතැන පිලිබඳ ඉල්ලීම ඉදිරියට ඒම ආදිය මගිනි.  විවාහයන් පිළිබඳව දක්ෂිණාංශික පක්ෂ වල අදහස ප්‍රතිගාමී ලෙස සැලකුණි. කම්කරු හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයන් මගින් ගබ්සාව  නීතිගත කරන ලද අතර  සම ලිංගික සේවනය වරදක් ලෙස තව දුරටත්  නොසලකන ලදී.

බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ පැවති ඩේවිඩ් කැමරන් ගේ  දක්ෂිණාංශික රජය සමලිංගික විවාහ පවා නීතිගත කරන ලදී.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එස් පි ඩි පක්ෂ සමග රජය පිහිටවූ ජර්මනියේ ඇන්ජෙලා  මෙර්කල් ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්තවාදී සංගම් පක්ෂය ද මේ මාර්ගයේම ගමන් කළහ. සමලිංගික විවාහ පමණක් නොව වෙනත් රටවලින් නිදහස සොයා එන  සංක්‍රමණිකයන් වැඩි වැඩියෙන්  රටට  ගැනීමටද ඔවුන් පෙළඹුණි. එසේමේ මේ බොහෝ රටවල් වල සංක්‍රමණිකයන් සඳහා වන නීති රිතිද ලිහිල් විය.

මේ වෙනස් වීම් සමගම ලෝකයේ බල තුලනය දේශපාලනික ලෙස වෙනස් විය. රුසියාවේ ස්ටලින්වාදී පුටින් සමලිංගික විවාහ වලට විරුද්ධ අතර එම අදහස් ඉගැන්වීමද තහනම් කර ඇත. ස්ටාලින් මෙන්ම  පුටින් ද රුසියානු පවුල් ආර්ථික ඒකකයක් ලෙස ලෙස ඉස්මතු කරයි. (ඔහුගේ දික්කසාද වීම ප්‍රශ්නයක් නොවේ) පිලිපීනයේ ජනාධිපති ඩුඅර්ටේ කැරලිකාර තරුණියන්ගේ රහසඟ ප්‍රදේශ වලට වෙඩි තබන්නයි හමුදාවට අණ  කරයි. නඩු ඇසිමකින් තොරව මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ භාවිතා කිරීම කරන අය මරා දැමීමට ආරක්ෂක සේවාවන්ට අවසර දෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේද මේ අක්ෂයේය. කොතරම් ට්‍රම්ප් සමග වාද කළද උතුරු කොරියාවද ඒ පැත්තේය. (ට්‍රම්ප් තමන්ගේ ගේ ට්විටර් මෙසේජ් සටනේ  ප්‍රධානතම විරුද්ධවාදියා වන උතුරු  කොරියානු ජනාධ්පති කිම් හමුවන බවද දැන් පවසයි.)  ඔස්ට්‍රියාවේ දක්ෂිණාංශික රජයක් තේරී පත්වී ඇත. ලෝකයේ නව ලිබරල්වාදී  ධනවාදී රටවල දේශපාලනය දයලෙක්තික  ප්‍රති විරෝධයකට බඳුන්ව ඇත.

හේගල්ට අනුව දයලෙක්තික  ප්‍රතිවිරෝධයක දී  එකම ප්‍රශ්නයක (හේතුවට) තිසිසයට ඇන්ටි තීසිසයක්  හෙවත් ප්‍රතිවිරෝධයක් (ප්‍රති හේතුවක්) ඇති අතර සත්‍යය සොයා යාමේදී ඒ දෙකේ ප්‍රතිවිරෝධයෙන් නව සින්තෙසිස් එකක් හෙවත් නව අදහසක් ඉදිරිපත් වෙයි. මාක්ස් පැවසුවේ හේගල්ගේ මේ අදහස විඥාන වාදී එකක් කියායි.
In the Phenomenology of Spirit, which presents Hegel’s epistemology or philosophy of knowledge, the “opposing sides” are different definitions of consciousness and of the object that consciousness is aware of or claims to know.

 මාක්ස් මෙය ඔලුවෙන් හිටවූවා යයි කියන්නේ  එය ඔහු භෞතිකවාදයට සම්බන්ධ කළ නිසාය. මාක්ස් මේ තීසිස් , ඇන්ටි තීසිස් සහ සින්තෙසිස්  විඥානයට  සම්බන්ධ කොටස  ප්‍රතික්ෂේප කළේය. ඔහු දයලෙක්තික භෞතිකවාදය සැලකුවේ භෞතිකවාදයේම (materialism) කොටසක් ලෙසය. මාක්ස් ස්වභාව ධර්මයේ ප්‍රතිවිරෝධයන් තුලින් නව භෞතිකවාදී නිරූපණයක් අදහස් කළ අතර මාක්ස් හා එංගල්ස් ට  අනුව  ප්‍රයෝගික දේශපාලනයේ  දේශපාලනික ප්‍රතිවිරෝධයන් තුලින්  නව දේශපාලන  ක්‍රමයක් බිහිවීම වැලැක්විය නොහැකිය. එසේත් නැත්නම් සමාජ ප්‍රගමනයේදී (පරිණාමයේදී ) පෞරාණික සමාජයේ පන්තීන් අතර ප්‍රති විරෝධයෙන් නව සමාජයක් බිහිවේ. එනම් දියුණුව හට ගන්නේ භෞතිකවාදී අරගලයන් තුලිනි. එනම් තිසිසයේ හා ඇන්ටි (ප්‍රති විරෝධී) තීසිසයේ  වර්ධනයෙන් හටගන්නා සින්තෙසිසය මගින් තීසිසය  හා ඇන්ටි තීසිසය නිශේධනය වේ.  මාක්ස්ට අනුව හේගල්ගේ විඥාන වාදය ප්‍රතික්ෂේප කළවිට ඉතිරිවන්නේ, ඉතිහාසය නිර්මාණය වනුයේ  සමාජය තුල පන්තීන් අතර ප්‍රතිවිරෝධතාවය  තුලින් හටගන්නා  අරගල වලින් බව හා එය නිශ්චිත කරන සාධකය ආර්ථිකය බවත්ය.

ලෙනින් විසින් ඇතුලත් කලේ කුමක්ද?
කෘප්ස්කයා ගේ චීත්තය පිලිබඳ ලෙනින් ගේ සටහන් නොවේ 

ලෙනින් විසින් හෙගලියන් දයලෙක්තිකයේ භෞතිකවාදී  ප්‍රතිලෝමය පැහැදිලි කරන ලදී.   සදාචාරාත්මක මුලධර්ම  මත පන්ති ප්‍රතිවිරෝධයන් (අරගල) පවතින බව ලෙනින්  සඳහන් කළේය. (නරෝද්නික වාදයට හෙවත් විප්ලවය සඳහා දේශපාලන  විරුද්ධ  ගේ ඝාතනයට ලෙනින් එක හෙලාම විරුද්ධ විය. (සැ.යු: ස්ටාලින්, පොල්පොට් ගේ සිට විජේවීර  දක්වා - ලෙනින්ට එරෙහිව  යාම)

එසේම ලෙනින් විසින් භෞතික විද්‍යාවේ ප්‍රමේයයන්හි  පරිණාමය (හෙල්ම්හොල්ට්ස්) , චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය හා කාල් මාක්ස් ගේ දේශපාලන ආර්ථික විද්‍යාව එකට ගොනු කළේය. (convergence)
දැන් මෙහි පුදුමයට පත්කරවන දෙය නම්   මාක්ස් ගේ (මාක්ස්වාදයේ) දයලෙක්තික භෞතිකවාදය -  දයලෙක්තික භෞතිකවාදය  හා එංගල්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය නමින් වඩා පැහැදිලි ලෙස නිරූපණය කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේ ස්ටාලින් වීමය.

ඔක්තෝබර් (නොවැම්බර්) විප්ලවයෙන් (1917)  පසු  දෙබෝරින් ගේ නායකත්වයෙන් "දයලෙක්තිකවාදීන්" හා නිකොලායි බුහාරින්  ගේ නායකත්වයෙන් "යාන්ත්‍රිකයන්"  යනුවෙන් සෝවියට් දේශපාලන  දර්ශනවාදය දෙකොටසකට බෙදුණි.  මෙහිදී ලෙනින් ගේ නව ආර්ථික පිළිවෙතට පක්ෂව සිටි බුහාරින් ලෙනින් ගේ මරණයෙන් පසු ස්ටාලින් ගේ "තනි රටක සමාජවාදය" තියරියට එකඟ විය. මෙහි ප්‍රතිඵලය  වුයේ එයට විරෝධය පළ කල  ට්‍රොට්ස්කි,සිනොවියෙව් , කාමනෙව් (ආචාර්ය නලින් ද සිල්වා මහතා නිතර පවසන  යුදෙව් විප්ලවවාදීන් ) සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා දැමීමයි. දෙදෙනෙකු  පසුව දේශද්‍රෝහී ලේබලය යටතේ මරා  දමන ලදී (ට්‍රොට්ස්කි මරා දැමුනේ පසුවය) .
  කොසක් වරුන් හා සමුහ ගොවිපල ක්‍රමයට විරෝධය පාන ගොවීන්  මරා දමමින්, බලයෙන් සමූහ ගොවිපලවල් ඇති කිරීමේ ස්ටාලින් ගේ   ප්‍රතිපත්තියට විරෝධය පෑමේ වරදට දේශද්‍රෝහියකු ලෙස   1937 දී   ඝාතනය කරන ලදී.
ස්ටාලින් විසින් තම මිත්තනිය ගේ චිත්තය පිලිබඳව ලියු  සටහන් නොවේ 
තනි රටක සමාජවාදය ලෙස ඒකාධිපති රාජ්‍යයක් පිහිටුවීමට ස්ටාලින් දියාමත් (diamat) හෙවත් දයලෙක්තික භෞතිකවාදය ම උපයෝගී කර ගත්තේය. දයලෙක්තික  සහ ඓතිහාසික භෞතික වාදය නමින් 1938 දී ස්ටාලින් චිසින් පොතක් පළ කළේය. පසු දවසක මේ පොත ගැන විවේචනයක්   ඉදිරිපත් කරමි. කෙසේ වුවද වැදගත්ම කරණය වන්නේ ඉන්පසුව සෝවියට් විද්‍යාව, සමාජ අධ්‍යයනය හා විද්‍යාත්මකව ඉතිහාසය අධ්‍යයනය කිරීම  සඳහා එහි  වර්ධනය ට හෝ එහි සීමා සහිත බවට ස්ටාලින් ගේ ඔර්තොඩොක්ස් (පැරණි සම්මත) දර්ශනවාදය තදින් බල පෑමයි.

ට්‍රොට්ස්කි විසින් මෙක්සිකෝවේ සිට පොත් සහ පත්‍රිකා ලියමින් ඉදිරිපත් කළේ ස්ටාලින් විසින් පිටුවහල් කළ මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ දර්ශනයේ ම ස්ටාලින් වසා දැමූ කොටසය.

අද වන විට ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ  මෙන්ම බ්‍රිතාන්‍ය යේ කම්කරු පක්ෂයේ ත්  යුරෝපයේ ඇතැම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල ත් ,  ඇතැම් දක්ෂිණාංශික එහෙත් වමට බර පක්ෂ වලත්  දේශපාලන දර්ශනයට එම අදහස් දැඩි බලපෑමක් කරන ලදී. ක්ලින්ටන්, ඔබාමා, මෙර්කල්  ඇතුළු කණ්ඩායම කිසියම් ආකාරයකට  පුටින්, ට්‍රම්ප් විරෝධී වන්නේත් තමන් ලෝකයේ ඇතැම් පැතිවල අප්‍රසාදයට පත් වුවද ගඩාෆී වැනි ඒකාධිපතියන්ට විරුද්ධ වන්නේත් මේ අනුවය. බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ ඇතුළු කොන්සර්වටිව් රජයට කෙලින්ම ට්‍රම්ප් ට සහයෝගය දීමට අපහසුද මේ කාරනාව නිසාය.  ට්‍රම්ප් බොහෝ විට ආපසු හැරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ එදා සිට අද දක්වාම තම ස්ථාවරය වෙනස් නොකර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයේ දී සිටින්නේ ආචාර්ය වික්‍රමබාහු  කරුණාරත්න මහතාය. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් , කොළඹ ආනන්ද විදුහලේත් උගත් ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක්  ලත් අයෙකි. (මොස්කව් විදුලිබල තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලැබීම ගැන මම අදත් සතුටු වෙමි. සමහර විට එකම ආකාරයෙන් සිතීමට උදව්වක් වෙනවා දැයි නොදනිමි)  වික්‍රමබාහු මහතා පසුව ශිෂ්‍යත්වක්  ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තම දර්ශනවාදී උපාධිය (PhD)  ලබා ගත්තේය.

ආචාර්ය  වික්‍රමබාහු ශ්‍රී ලංකාවේ ජාතිවාදයට එරෙහි තම මතය ඉතා අපකීර්තියට පත්වූවද ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එසේම පසුගිය කාලය පුරා  නව ලිබරල් රනිල් ගේ රජයට යම් ප්‍රතිපත්තීන් සඳහා සහය දෙන අයෙකි.  ඔහු ඒකාධිපතිවාදයට විරුද්ධ නිදහස් කාමියෙකි.මේ අනුව ඔහු සිටගෙන ඇත්තේ ඔහුට වඩාත් සුදුසු තැනය . ට්‍රම්ප් /පුටින් අක්ෂය සමග ඔහුට එක්විය නොහැකිය.  ලෝක දේශපාලනයේ දයලෙක්තික ප්‍රතිවිරෝධය ගැන හොඳ අවබෝධයක් ඔහු සතුව ඇති බවට මට හොඳ විශ්වාසයක් තිබේ.
රනිල්ට දයලෙක්තිකය උගන්වන බාහු
රනිල් ගැන මා 2014 දී "දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල් " යනුවෙන් ලියූ ලිපියක් මෙතැන ඇත. රනිල් ගේ නිදහස්වාදී පරිපාලනයට කොක්ක දමන්නේ කවුද යන හොඳටම පැහැදිලි බව එකකි. රනිල් ඉතා දුර්වල නායකයෙකු බවට චෝදනාවක් තිබේ. රනිල් බැදුම් කර මගඩිය සමග සම්බන්ධ වුනු බවට චෝදනාවක් තිබේ. බැදුම්කර යනු වර්තමාන ධනවාදී ලෝකයේ ආර්ථිකය  කැරකෙන දැති රෝද  රාශියෙන්  එකකි. ඔහුට විරුද්ධව කටයුතු කරන අක්ෂය සිටින්නේ පුටින්/ට්‍රම්ප් අක්ෂයේ හෙවත් ඒකාධිපතිවාදය පසසන අක්ෂයේය.  නමුත් වික්‍රමබාහුට ඊට විරුද්ධ ස්ථාවරය ගැනීම හැර වෙන කළ හැකි දෙයක් නැත. ලෝකයේ ට්‍රොට්ස්කිවාදී බලපෑම ඇත්තේද එතනය. නව ලිබරල්වාදී ආර්ථිකයට විරුද්ද්ධ වුවද ඔවුහු ඒකාධිපතිවාදී රාජ්‍ය ධනවාදයට එලෙසින්ම විරුද්ධ වෙති. කෝබින් ගේ වර්තමාන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ට්‍රොස්කිවාදී බලපෑම ප්‍රබලය.

වර්තමාන බටහිර සමාජයේ ජිජැකියානු දර්ශනවාදය හා ලැකානියානු මනෝ විශ්ලේෂණයන් ගේ බලපෑම  අර ඉහත  සදහන් කල සෝවියට් දේශයේ රාජ්‍ය ධනවාදයේ පරාජයට බල  පෑ සංස්කෘතික බලපෑම සමග සංසන්දනය කරන්න.  (දෙවැනි ලිපිය) එය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළේ හා කරමින් සිටින්නේ දීප්ති කුමාර ගුණරත්න  ගේ කණ්ඩායමය. අනිකුත් ප්‍රධාන වාමාංශික පක්ෂ හා කණ්ඩායම් තරමක් දුරට ඒ   ගැන සංවේදී වුවද තවමත් සිටින්නේ ස්ටාලින් ගේ දයලෙක්තික යකඩ කූඩුවේය.

එසේ නම්  අනුර කුමාර, කුමාර් ගුණරත්නම්, දීප්ති කුමාර ගුණරත්න ගේ භූමිකාවන් ගේ අනාගතය කෙබඳු විය හැකිද? ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද?

මුලාශ්‍ර :Dialectical materialism
~ මතු සම්බන්ධයි 

Sunday 11 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නැවත රුසියාවට පැමිණි එඩි හන්ටින්ටන් USSR ගීතය ගයන අයුරු පහත  වීඩියෝවේ.

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1ලිපියේ  මුලින් සඳහන් කළ හැසිරීම් සෝවියට් දේශයේ බහුල දෙයක් නොවේ. එය අද බටහිර සමාජයේ වුවද  සුළුතරයක් අනුගමනය කරන ජිවන රටාවකි. ලිපියේ මුඛ්‍ය අදහස වූයේ එවැනි නිදහසක් තිබු බව කීමට මෙන්ම ලෙනින් සහ ට්‍රොට්ස්කි ගේ සුක්ෂම මොලයෙන් විප්ලවය මෙහෙයවුවද ඔවුන් සාමාන්‍ය ලෙස ජීවත්වූ බව කියන්නටය.

සෝවියට් විවාහය පිලිබඳ ප්‍රබල වෙනස් කම් 1936න් පසුව ඇතිවුණු බව මුල් ලිපියේ සඳහන් කලෙමි. වසර 1926 ප්‍රධාන වෙනස් කම් දෙකක් කරන ලදී. විවාහය ලියා පදිංචිය රජයට අවශ්‍ය දෙයක් ලෙස සැලකුණි. එකට ජීවත්වීමට බාධාවක් නොමැත. දික්කසාදය තවත් ලිහිල් කරන ලදී. එනම් උසාවි යාමක්  නොමැතිව දික්කසාදය ලියා පදිංචිය පමණක් ප්‍රමාණවත් විය. කාන්තාවන්ගේ  විවාහ වයස 18 දක්වා දික් කරන ලදී.

ස්ටාලින් ගේ පාලන සමයේ  ගබ්සාවන් කිරීම (1936 දී)  තහනම් කරන ලදී. දික්කසාදය වඩාත් අපහසු විය. දෙපාර්ශ්වයම සිවිල් විවාහ දෙපාර්තමේන්තුවට (ශාඛා වලට)ගොස් දික්කසාදයට මුදල් ගෙවිය යුතු විය. දික්කසාද වූ බවට ගමන් බලපත්‍රයේ සටහනක් වැටුණි. මෙය සමහරවිට අවාසිදායක විය.

දෙවන ලෝක යුධ සමයේ 1944 ජුලි 8 දා සම්මත කල පනතින් රාජ්‍ය ධනවාදය වඩා තහවුරු කරමින් විවාහය ලියාපදිංචි කර නොමැති නම් කිසිම දේපලක සාමුහික අයිතිය අහිමි කරන ලදී. නිවෙස් මිලදී ගැනීමට අවසර නොතිබූ මේ කාලයේ කෙනෙකු සතුව තිබෙන ඕනෑම දෙයක අයිතියට මේ නීතිය බල පෑවේය. එකට ජිවත් වන කසාද නොබැදි අය සඳහා වූ නීති මාලාවේ  අංක 8 කොටස අහෝසි කෙරිණි.
දික්කසාද වීමට නම් ඒ සඳහා අය කරන මුදල ගෙවීමට අමතරව පුවත් පත් දැන්වීමක්ද පල කල යුතු විය. දෙපාර්ශවයේම චෝදනා විභාග කරන ලදී.

කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන්  කිසිවෙකුට දික්කසාද වීම ඉතා අපහසු විය.  පසුව පැවති  ලියොනිඩ් බ්‍රෙශ්නෙව් ගේ ( ජනාධිපති/පක්ෂ ලේකම්) සාපේක්ෂව නිදහස්  කාලයේ මෙන්ම  අප උගත් කාලයේදීත් (අසූව  දශකයේ) එය එසේම විය. සාමාන්‍ය වැසියන්ට වඩා උසස්  සමාජ දර්ශනයකින් හා උසස් විප්ලවීය මනසකින් යුත් කොමියුනිස්ට් පාක්ෂිකයන් දික්කසාද වන්නේ නැත යන මතයක් සමාජගත කර තිබුණි.  ඒ දිනවල වෙන්ව ජිවත් වන සැමියා වෙනම නිවාඩුව  ගත කිරීමට යන අතර බිරිඳ වෙනත් පෙදෙසක නිවාඩුවට තනියම යයි. බොහෝ අවස්ථාවල  දෙදෙනාම තාවකාලික පෙම්වතුන් සොයා ගනී. මෙවැනි  දේ ප්‍රසිද්ධ  රහස්ව පැවතුනි. එවැනි කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් වූ කාන්තාවන්, සැමියා ගෙන් වෙන්ව, එහෙත් එකම නිවසේ ජිවත්වන්නේ රැකියාව සහ නිවස රැක  ගැනීමටය. නමුත් ඔවුන්  විදේශික ශිෂ්‍යයන් මෙන්ම වෙනත් නගර වලින් පැමිණියවුන්  සමග ආදර සම්බන්ධතාවයන්  පවත්වාගෙන ගියහ.

සමලිංගික සේවනය තහනම් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විය. නමුත් මා වෙනත් ලිපියක සටහන් කළ පරිදි දික්කසාද අසීරු වුවත් බ්‍රෙශ්නෙව් ගේ කාලයේ දික්කසාද ක්‍රමයෙන් වැඩි විය. බොහෝ කාන්තාවන් තනි දරුවෙකු සාදාගෙන තනිව ජිවත් වීමට වඩා  කැමැත්තක් දැක්වූහ.

සෝවියට් දේශයෙන් පිටුවහල් කළ ට්‍රොට්ස්කි මුලින් තුර්කියේ ජිවත් වුනු අතර පසුව මෙක්සිකෝවට පලා ගියේය. වාමාංශික මිලිටන්ට් පන්නයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර හැර අනිකුත් ප්‍රධාන දහරාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ වඩා  ප්‍රගතිශීලි රජයන් සමග කටයුතු කිරීමට  පටන් ගති. එසේම මුලින් ට්‍රොට්ස්කිවාදිව සිටි දේශපාලන ක්‍රියාධරයන් වෙනත් ප්‍රධාන දහරාවේ දේශපාලනයන්ට එක්වන්නට විය. බොහෝ අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග එකතු විය.
බටහිර දක්ෂිණාංශික සමාජ ක්‍රමයෙන් වෙනස් වන්නට වීය.

සෝවියට් දේශයේ සිදුවුයේ කුමක්ද?
අසූව දශකය වනවිට ඇතැම් බටහිර වාදක කණ්ඩායම් සෝවියට් දේශයට ගෙන්වන ලදී. බොනි එම්  සංගීත කණ්ඩායම 1978 දී මොස්කව් වල සංදර්ශනයකට  පැමිණියහ. (ඉහත  වීඩියෝව බලන්න)  විශ්ව  විද්‍යාල ආදියේ  පැවති ඩිස්කෝ සැන්දෑ හැඳින්වුයේ ඩිස්කොටෙකා(තේකා) යන නමිනි.

සෝවියට් ඩිස්කෝ එකක්.

ඉතාලියානු ගායක  යුවලක් වන රිචී හා පොවෙරි මෙන්ම ටොටෝ කුටුඥෝ ද සෝවියට් දේශයේ ඉමහත් ජනප්‍රිය විය. පහත ඇත්තේ  ඉතාලියානු ගායිකා යුවල 1986 දී මොස්කව් හි කල ප්‍රසංගයයි.


ඉන්පසු එක දිගට ඔටාවන්, මොඩර්න් ටෝකින් , සි සී කැච් (ජර්මන් ), බනානරාමා  ආදීන්  මොස්කව් වන්දනාව කළහ.

ඔවුන්ගේ ගීත සෝවියට් ඩිස්කෝ සැන්දෑ වල ඉමහත් ජනප්‍රිය ඒවා විය. ක්‍රම ක්‍රමයෙන් ස්ටලින්වාදීන් ට නොදනුත්වම ඔවුන්ගේ දෙපය යටින් කාපට්  එක ඇදීමට සෝවියට් දේශයේ ඉතිරිව සිටි ට්‍රොට්ස්කිවාදීන් හා ලෙනින් වාදීන් සමත්වූහ. නීතියට බියව සිටි ස්ටාලින්වාදී සෝවියට් වැසියාගේ සංස්කෘතික  මනස ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන ලදී .  අප වැනි විදේශික ශිෂ්‍යයන් ලවා සෝවියට් දේශයේ තහනම් ගීත කණ්ඩායම් වන බ්ලැක් සබාත් ආදීන්ගේ ගීත තැටි පවා ගෙන්වා ඇසීමට  රුසියානුන් නිර්භීත වූහ.

දැන් මගේ මුල් ලිපිය වන බංගලි ගමයා ගේ සෝවියට් නංගි නැවත කියවන්න.  ලිපියේ සඳහන් ස්වේතා නමැති තරුණිය නොකළ එක දෙයක් විය. ඇය කිසිම විටෙක නේවාසිකාගාරයේ ස්තුඩ් සවියේත් හෙවත් ශිෂ්‍ය පාලනයේ කිසිවෙක් සමග කිසිම ඇසුරක් නොපැවැත් වූවාය. බංගලි සිසුවා  කසාද බැඳීම දක්වා ඇගේ  ගමන් මග තුල ඇය පාලනයට විරෝධය පෑවේ  ඔවුන්ගේ සදාචාර නීති කිසිවක් නොතකමිනි. ඒ ඇය විරෝධය පල කිරීමට අපහසුම තැනක විරෝධය පල කළ අයුරුයි.

දෙවන ලිපියේ දීමා වෙළඳම්  කළේ නීතියට පටහැනිවය. එසේම ඔහු විසින් බිරිඳට අමතරව  ඇසුරු කළ එක තරුණියක පළාතේ පක්ෂ ලේකම් කෙනෙකුගේ දියණියකි.  ඒ තරුණිය ඔහු සමග ගනුදෙනු කරන්නන්ට හඳුන්වා දීමටද ඔහු නොමසුරු විය. ඒ සෑම  අවස්ථාවකම  දීමා  ඇගේ පියා ගැන මතක් කිරීමට  අමතක නොකරයි. ඒ තරමක් අසාධාරණ ලෙස හෝ දීමා තම විරෝධය පල කළ අයුරුයි.

ජර්මනියේ 1800 ගණන් වල සිට පැවති දෙයක් වන  ෆ්‍රී බොඩි කල්චර් හෙවත් නිදහස් ශරීර සංස්කෘතිය නැගෙනහිර ජර්මනියේ ඉතා ප්‍රසිද්ධව අනුගමනය කරන ලදී. (Freikörperkultur (FKK) is a German movement whose name translates to Free Body Culture. It endorses a naturistic approach to sports and community living. Behind that is the joy of the experience of nature or also of being nude itself, without direct relationship to sexuality.  -wikipedia )

බටහිරට ඉතා ආසන්න  දේශ සිමාවේ නිසාම නැගෙනහිර ජර්මනියේ ස්ටාසි රහස් පොලිසිය දැඩි පාලනයක් ජර්මන් ජනතාව  අතර ගෙන ගියහ. නැගෙනහිර ජර්මනියේ  වෙරළ ආසන්නයේ, වැව් ආසන්නයේ හා තුරින්ගියා කැලෑ ප්‍රදේශයේ   නිරුවත් ජනපද (nudist colony) බොහොමයක් විය.මේ සංඛ්‍යාව බටහිර ජර්මනියට හෝ ස්වීඩනය ආදී රටවලට වඩා  වැඩිවිය. මෙය ලිංගික නිදහසට කිසිසේත් සම්බන්ධ නොවිය. මිනිසුන් වැඩිපුරම රජයට තම විරෝධය පළ  කලේ වෙරළ ආදී ප්‍රසිද්ධ ස්ථාන වල නිරුවත් වීමෙනි. තමන් අතර ස්ටාසියට සම්බන්ධ කෙනෙකු නොමැති වීමට නම් එසේ කළ  යුතු බව ඔවුන්ට වැටහී තිබුණි.

නැගෙනහිර ජර්මන් වාසීන් බොහෝවිට බටහිර රේඩියෝ සේවාවන් ශ්‍රවණය කළ අතර  බටහිර ගීත හරහා ප්‍රබල සංස්කෘතික ආක්‍රමණයක් ඇතිවිය. මේ සංස්කෘතික වෙනස ඇති කිරීමට බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ට්‍රොස්කිවාදී පක්ෂවල අනියම් සහය හිමි විය.
ට්‍රොට්ස්කි ගේ ජීවිතය ස්ටාලින් ගේ නියමයෙන් දරුණු ලෙස අවසන් කළද ට්‍රොට්ස්කිගේ සැලසුම පරාජය නොවිය.

බටහිර ගීත සමග ආ සංස්කෘතික  රැල්ල සෝවියට් දේශය  හරහා යාමට ගතවූයේ ඉතා සුළු කාලයකි.

පහත වීඩියෝවේ  ඇත්තේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු මොස්කව් වල පැවති ඩිස්කොටෙකා එකක ගීත ගයන බටහිර සංගීත කණ්ඩායම්ය. (2014)  තරුණ තරුණියන් සමග අවසාන සෝවියට් පරම්පරාවද මෙහි සිටී .

වැඩි දුර කියවන්න. 
~ මතු සම්බන්ධයි  

Tuesday 6 March 2018

ඔන් යුවර් මාක්, ගෙට් සෙට්, ගෝ!

-අයීයේ මේ මොකද වෙන්නේ දැන් 
උඹ කලබල නැතුව ඉඳහන්, ඕකට කියන්නේ බටර්ෆ්ලයි එෆෙක්ට් කියල කොළඹ සිංහලෙන්

-ඒ කිව්වේ 
ඒ කිව්වේ උඹට දෙන්න තියෙන්නේ පොඩි තල්ලුවක් විතරයි ඉතුරු ටික ඉබේම වැටෙනවා හරි තැනට

-අයිය කියන්නේ මේ ඔක්කොම අයිය කරනවා කියලද 
නැහැ බං , දැන් බලපන් අපි වෙබ් අඩවි දෙක තුනකින් වඳ පෙති කතාව  පතුරවල ඇරියා

-ඔව් 
ඊට පස්සේ ඕක අල්ල ගත්ත කවුද ගොනෙක්   පාන් පිටි ගුලියකට ගේම ඉල්ලුව , ඉතින් එතැන සෙට්

-හරි ඒත් තඹුත්ත විලේජ් එක අයිය නෙමෙයිනේ 
ඔය ඉතින් බලපන්කො උඹට මං ගැන විශ්වාසයක් නැහැනේ , දැන් ඔය බෝතල් හදන ව්‍යාපෘතිය කාගේද

-අර ඇස් පුංචි සුදු ආසියන් කට්ටිය  ගෙනේ 
 දැන් ඒගොල්ලෝ  ඕන වෙලා තියෙන්නේ කාටද

-අර  ඉල්ලා අස් වෙන්නැති අරයටනේ 
දැන් එතකොට අපේ ලොකු අයිය එකපාරක් අයින් කලේ කවුද

- අර ඉල්ලා අස් වෙන්නැති අරයනේ 
දැන් ලොකු අයිය විරුද්ධ කාටද

- අපිට අර ණය හුඟආක් දෙන මාඕ ඌඕ ගෙන් පැවත එන 
 හරි හරි ඇස් පුංචි සුදු අයිය කියපන්කො

-ඔව් ඉතින් මට තේරෙන්නේ නැහැ එහෙම කොහොමද ගොවියෝ එන්නේ අයියේ. ඔය වතුර බෝතල් දෙන එක උන්ට හොඳයි නේ. වකුගඩු අමාරුවට නේද 
එහෙම හොඳක් නැහැ බන්. වතුර ඒ පැතිවල නැහැනේ. දැන් බලපන් ගොනෝ බැස්සා ඉන්නේ කාත් එක්කද දැන්

-ලොකු අයිය එක්ක 
ඉතින් ලොකු අයියා බැස්ස හරහා ගේම දෙනවා එතන . ඕන අරගලයකදී ඉදිරියට එන උතුම් ප්‍රතිපත්තිය මත අර වමේ කට්ටියගෙන් කට්ටියක් සපෝර්ට් එකට යනවා

-ඉතින් 
ඉතින් යකෝ කවුද අසමජ්ජතියෝ ටිකක් ගල් ගහනවා පොලිසියට , පොලිසිය නෙලනවා , බුකිය උණුසුම් , වමේ කට්ටිය සාකච්චා දෙනවා, ඔක්කොම ගොඩ , ආ මට මතක් කරපන් සල්ලි යවන්න අරුන්ට , චෙක් එපාලු, වැඩිය දෙන්න ඕනේ නැහැ. ගල් විතරනේ  පාවිච්චි කළේ

-අයිය කියන්නේ බොන ඒවත් එක්කටද 
ඔව්  බං

-අයීයේ  එතකොට  මේ දෙල් තෙනි  වැඩෙත් අයියද 
යකෝ ගොනෝ මම දැන් කිව්වේ  බටර්ෆ්ලයි එෆෙක්ට් කියල, දැන් බලපන් අර අන්තවාදී සෙට් එකත් පෙළපාලි යයි. පිටරටවල පත්තර වල වැටෙයි. තව හිර වෙනවා.  කොහොමත් ලොකු අයියා සතුටෙන් ඉන්නේ ඒකටත්

-ඒත් අයියේ මට හිතට අමාරුයි , අහිංසක කොල්ලෝ දෙන්නෙක් ගියානේ , අනේ අයියේ 
ඒකට අපි මොනවා කරන්නද බන්. අපි කලේ කට්ටියට ඒ පැත්තට යන්න  කියල මැසේජ් දෙන එක විතරනේ.ඕන කෙනෙකුට අවමංගල උත්සව වලට ගිය හැකිනේ

-අයියේ එතකොට අර ලොක්ක ගේන්න කලා වගේ වැඩක්ද මේකත්. අර කමිස ඉල්ලගෙන ඇඳන් යන සීගිරි  අයියව අල්ලලා අයිය මරු ගේමක් දුන්නේ , අර ඇමෙරිකාවේ හිටපු   කොට පොර මහතා  නම් කියන්නේ එයා දුන් ගේම කියල 
පොර එහෙම හිතාගෙන හිටපු දෙන්. කමිස දීල අල්ල ගත්ත හැටි මරු නේද, පොර අන්තිමට  උගේ පක්ෂේ හිර කරලා ඒකෙ සහයෝගේත්  ලොක්කට අරන් දීල, අපිව ගොඩ දැම්ම. ඒවා තමයි මල්ලි ගේම් ඈ.

-ඒත් අයියා ලොක්කව  යවන්නත් ගේම දුන්නනේ 
ඒ බං ඉතින් ලොක්ක අපිව අත ඇරලා අරුන් එක්ක සෙට් වුනානේ

-ඒ වුනාට ඉතින් ලොක්ක ගාන දුන්න  නේද පරණ වැඩේට 
ලොක්ක දන්නවා බන් මේවා බිස්නස් කියල. ඒ මනුස්සය තරහ නැහැ අපි එක්ක. ඒ මනුස්සය එක්ක එක අතකට වැඩ කරන්න ලේසියි. ඕන දෙයක් තේරෙනවා , මුන් වගේ නෙමේ

-දැන් ලොක්කව ගේනවද  අයියේ ආපහු 
පිස්සුද බං, දැන් අපිට අහවලා  ඉන්නවනේ , ඔහොම ඉඳපන් මෙහෙම යන්න  ඇරලා, මං කියන්නම් උඹට මොකද්ද කරන්න  ඕනේ කියල.  අඹරවන්න පුළුවන්  තව ටිකක් .


- මේ දවස් වල සීතල නිසා හිටි හැටියේ ලියු  ප්‍රබන්ධයකි. පාත්‍ර වර්ගයා ඇමෙරිකානු ජාතිකයන්ය.

Sunday 4 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1

මේ ලිපියට ලියන ලද හැඳින්වීම - බංගලි ගමයා ගේ   සෝවියට් නංගි 
ජෙහාන් ලෙනින් ගැන කතා කරන විට සමහරු වරදවා වටහා ගත්තේ ලෙනින් ද "අර" කූඹි ජෙහාන් ලෙසටය. මම ජෙහාන් යෙදුම  භාවිතා කරන්නේ එයින් කියන්නට යන්නේ කුමක් ගැනද යන්න වෙනත් යෙදුම් නොමැතිවම ඉබේම වාගේ පැහැදිලි වන නිසාය.
රැසියන් පැරණි ග්‍රීෂ්ම, වසන්ත සමයට  නිවසක් (දාචා එකක්) 

මා දැන  සිටි සිසුන් දෙදෙනෙක් (ඔවුන්ගේ නම් ගම් මේ කතාවට අවශ්‍ය නැත)  සමග දීමා යන නමින්  රුසියානුවෙකු යහළු වී සිටියේය. ඒ වෙළඳම් කිරීමටය. ඔහු විදේශික  සිසුන් බටහිරින් ගෙනා භාණ්ඩ විකුණා දී  ලාභයක්  ගන්නා අයෙකි. ඉංජිනේරුවකු වූ ඔහුට  මොස්කව් වල  ටගන්ස්කයා පෙදෙසේ ක්වර්තිරා හෙවත් තට්ටු නිවසක් ද කුස්මින්කි නම් පෙදෙසෙන් එහාට වන්නට පද් මොස්කව් හෙවත් මොස්කව් නගර සීමාවෙන් පිටත (මහා මොස්කව් ප්‍රදේශයේම ) දාචා එකක් ද තිබුණි. දාචා යනු ග්‍රීෂ්ම නිවාසය. ඒවායේ එළවලු වගා කිරීමට ඉඩකඩද, (sauna) සෞනා හෙවත් ඇඟ  උණුසුම් කර ගැනීමට ගල් අඟුරු වලින් රත් කරන කාමරයක්ද බොහෝ විට තිබේ. රුසියානුවෝ සෞනා ඇතුලේ සිටින්නේ නිරුවතිනි. බොහෝ විට තුවායක් එහි ඇති බංකුවල එලා ගනිති. මෙය යුරෝපයේ සෞනා වල ද එසේය. නමුත් එංගලන්තයේ පිහිනුම් සඳහා අඳින ඇඳුමක් හැඳ සිටිය යුතුය . (වික්ටෝරියානු සදාචාරය)
රුසියානු දාචා වක නවීන සෞනා එකක් 

ඇතැම් රුසියානුවන් ගේ සැන්දෑ සාද  වලට තරුණයන් තරුණියන්, ගැහැනුන් මිනිසුන් එක සමානව ගෙන්වීම සිරිතකි. නැතිනම් ඇතැම් අයට යහළුවෙක් හෝ යෙහෙලියක් නැතිවන නිසාය. මේ වර්ගයේ සාද  ගැන අදහසක් ලැබෙන්නට ඇතැයි  සිතමි.  මේවායේ වොඩ්කා හා කල්බසා (සොසේජස් වර්ගයක්) ද නොයෙකුත් සලාද වර්ගද හොඳට කෑමට තිබේ. (කඩ වල කෑම නොතිබුනාට)

දීමා නිතර කියන යෙදුමක් තිබේ. "සොත්සලිස්මා ඒත, ත්වයියා ෂෙනා මයියා , අ මයියා ෂෙනා ත්වයියා "යනුවෙනි. "සමාජවාදය යනු උඹේ බිරිඳ මගේ, මගේ බිරිඳ උඹේ "(socialism is, your wife is mine , my wife is yours). මා කියන සිසුන් දෙදෙනාට දීමා ගේ බිරිඳ තට්ටු නිවාසයේ දී  වරක් මුණගැසී තිබුණු අතර  ඇය රූමත් කාන්තාවක් බව සහතිකවම කීහ. රැකියාව කලේ බුහල්තෙර් හෙවත් බැංකු නිලධාරිනියක්  ලෙසටය.
හැබැයි අර දීමා  නිතර කියන යෙදුම නිවසේදී ක්‍රියාත්මක වූයේ නැත. සමහර විට මා කියන  සිසුන් දෙදෙනා කසාද නොබැඳ සිටි නිසා වෙන්නට පුළුවන්.

වරක් ඔවුන් ගෙනා වටිනා භාණ්ඩ වගයක් විකිණීමෙන් දෙගොල්ලන්ටම මහත් ලාභයක් ලැබී තිබුණි. ඉමහත් ප්‍රීතියට ට පත් දීමා ඔවුන්ට දාචා එකේ සැන්දෑවක්   ගත කිරීමට ආරාධනා කළේය.

බෝතලයකුත් රැගෙන එහෙ ගිය අපේ යහළුවන් දෙදෙනාට හමුවූයේ දිමා හා  ඔහුගේ බිරිඳත් තවත් සුරූපී රුසියානු ලඳුන් දෙදෙනෙකුත් ය. සිසුන් දෙදෙනා දීමාට යටි හිතින් ස්තුතී වන්ත වෙමින් සිටියදී  කට්ටිය කෑමට, බිමට, නැටීමට පටන් ගත්  අතර ඉන්පසු දාචාවේ ඇති සෞනා එකට ගිනි තැපීමට ගියහ.  මේ සෞනා වල සිට එක වරටම එළියේ ඇති ශීතල ජලය පිරි ටැංකියකට පැනීම රුසියානුන් ගේ සිරිතය. සිරුර ලෙඩ නොහැදී හොඳට පදම්  වන්නේ එවිටය.

තමන් දෙදෙනාට පෑදුනු රූමත් වාසනා  දෙක සමග වොඩ්කා  බොමින් කතා  කරමින් සෞනාව ඇතුලේ ගිනි තැප්පේ අපේ සිසුන් දෙදෙනාය. සිසුන් දෙදෙනා විස්මයට පත් කරමින්, වතුරට පැන්න දීමා ඉන්පසු කලේ නැවත පැමිණ රූමත් කෙල්ලන් දෙදෙනා සමග කාමරයක ට යාමයි. සිසුන් දෙදෙනා දීමා ගේ බිරිඳගේ තනි රකින්නට සෞනාවේ ඉතිරි විය. නිවසේ කෑම කාමරයට  ගොස් වොඩ්කා විදුරු තුනක් රැගෙන  පැමිණි දීමා ගේ බිරිය වැඩි වෙලා යාමට ප්‍රථම සිසුන් දෙදෙනා අතර දිගා වූවාය . දීමා නිතර කියන සමාජවාදී කතාව හෙවත් දීමා ගේ ගේම් එක ඔවුන්ට තේරුම් ගියේ එවිටය.

හැබැයි ඉන් පසුවවත් ඔවුන් ඒ ගැන මැසිවිලි නම් නොකීහ.
ලෙනින් ගේ පෙම්වතිය ඉනෙස්සා අර්මන්ඩ් 

ලෙනින් හා ඔහුගේ බිරිඳ කෘප්ස්කයා ගේ සිය විවාහ ජිවිතයේ  දේශපාලන  ක්‍රියා ප්‍රමුඛ කොට සැළකු  අතර   ළමුන් සැදීම ප්‍රමුඛ කොට සිතා නැති  බවක් පෙනී යයි. ලෙනින්ට ඉනෙස්සා ෆෙදොරෝවිනා ආමන්ඩ් නමැති ප්‍රංශ පෙම්වතියක් සිටි අතර 1919 කාලයේ කෘප්ස්කයා ට අමතරව ඇය බෝල්ෂෙවික් පක්ෂයේ ඉතා බලවත් තැනැත්තියක් වූවාය.
ලෙනින් ගේ බිරිඳ නද්යෙශ්දා කෘප්ස්කයා 
කෘප්ස්කයා හා ඉනෙස්සා අතර විරෝධයන් තිබුනද ඔවුන් තිදෙනා අතර සම්බන්ධතාවය දැඩි එකක් විය.  පැරිස් නුවර උපන් ඇය තරුණ වියේ සිට විප්ලවවාදී දේශපාලනයට යොමුවුනු අතර සෝවියට් රජය පිහිටුවීමේ කාර්යයේ ඉමහත් වැඩ කොටසක් කල කෙනෙකි. ස්ටාලින් විසින් පසුව ඉතිහාසයෙන් මකා  දමන ලද ඇය  තරුණ වියේදීම කොලරාව සැදී  1920 වසරේදී මිය ගියාය.
ට්‍රොට්ස්කි ගේ මෙක්සිකන් පෙම්වතිය ෆ්රීඩා 

ලියොන් ට්‍රොට්ස්කි ට පෙම්වතියන් කිහිප දෙනෙකුන්ම සිටි අතර ඔහු සෝවියට් දේශයෙන් පිටුවහල්  කරන විට නතාලියා නම් රුසියානු කාන්තාවක්  සමග එකට දිවි ගෙවීය. මෙක්සිකෝ හිදී ඔහු ෆ්රිඩා  කාලෝ (Frida Kahlo) නමැති චිත්‍ර ශිල්පිනියක්  සමහ ආදර  සම්බන්ධයක් පවත්වා ගත්තේ නතාලියා ට මුලින් එය සඟවමිනි .

ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ  මුලිකත්වයෙන් පිහිටවූ ළඳරු සෝවියට් සමුහාණ්ඩු වේ විවාහ නිතිය සාර්  රුසියාවේ තිබු රුසියානු ඔර්තොඩොක්ස් ආගමේ නීතියට  වඩා ලිහිල් එකක් විය.

ඔවුන් විවාහය පිලිබඳ  නියෝග දෙකක් නිකුත් කළහ. දික්කසාද නිතිය  ගැන  1917 දෙසැම්බර් 19 දාය. සිවිල් හෙවත් සාමාන්‍ය, (සාමාජිය)මහජන   විවාහයත් දරුවන් පිලිබඳ නියෝගත්  1917 දෙසැම්බර් 20 දාය. ආගමික විවාහ සම්පුර්ණයෙන්ම තහනම් කරන ලදී.

ප්‍රධාන නීතියක් වූයේ ලියා පදිංචි නොකරන ලද විවාහයකින්  තොරව උපදින දරුවන්ට විවාහයකින් උපදින දරුවනට ඇති අයිතීන් ම දීමයි. තව දුරටත් අවජාතක දරුවන් සෝවියට් දේශයේ නැත. මව නම්කරන ඕනෑම අයෙක් පියා විය.

දික්කසාදය දුන්නේද මේ සිවිල් නීතිය මගිනි. එය ඉතා පහසු විය.  දෙදෙනාගේ කැමැත්තෙන් හෝ එක් සහකරුවෙකු ගේ කැමැත්තෙන් දික්කසාදය දෙන ලදී. දික්කසාදයට හේතු දැක්වීමක් (ground for divorce ) අවශ්‍ය  වූයේද නැත. ගැහැනුන්ට වයස 16 දීත් පිරිමින්ට වයස 18දීත් විවාහ විය හැකි විය. දරුවන් සෑදීම අපහසු නම් ගබ්සා කිරීම් වලට අවසර  දෙන ලදී.

නීතිය කවරක් වුවත් ට්‍රොට්ස්කි හා සිනෝවියෙව් ආදීන් කටයුතු කලේ ධනවාදී ක්‍රමයේ පවුල නමැති ආර්ථික ඒකකය අහෝසි කර කොමියුන ආර්ථිකයක් ගොඩ නැංවීමටය. ධනවාදී සමාජ ක්‍රමයේ පවුල නමැති ආර්ථික ඒකකයත්, ආදායම  උපයන සැමියාත්  දරුවන් බලා  ගන්නා මවත් වැදගත් විය.  සෝවියට් ආර්ථිකයට සැමියා සහ බිරිඳ දෙදෙනාම වැඩ කිරීම අත්‍යවශ්‍ය විය. එනිසා ගැහැනුන්ට සම තැන දීමද අත්‍යවශ්‍ය විය.

සෝවියට් බලධාරීන් විසින් බොහෝ මාළිගා  හා ධනවත් නිවාස රජය සතු කරන ලද අතර මේවායේ කාමරවල නිවාස  නැති කම්කරුවන්, සොල්දාදුවන් ආදීන්  පදිංචි කරන ලදී. මේවා අදටත් මොස්කව් හා ශාන්ත පිතර්බුර්ගයේ තිබෙන අතර එක මුළුතැන් ගෙයක්, පොදු වැසිකිලි හා නාන කාමර පෙලකින් සමන්විත එක තට්ටුවක  පවුල් කිහිපයක් ජිවත් වෙති.

මුල් අවධියේ ළමයින් බලා ගැනීම එකපාලිකාවකට පැවරුන අතර අනිත් සියල්ලෝම රැකියා සඳහා පිටව ගියහ. පසුව ළමයින් සඳහා වෙනම පෙර පාසැල්  පිහිටවන ලදී.

සැමියා හා බිරිඳ, පෙම්වතා  හා පෙම්වතිය වශයෙන් එකට ජීවත්වීමට අනුබල දෙන ලදී. (living together). පක්ෂයට අවශ්‍ය  විටෙක එක අයෙකු ඈත පළාතකට  යැවුහ හොත් පවුලක් කඩා ඉහිරෙන්නේ නැත. ළමයින් බලා ගැනීමට පෙර පාසල් තිබීමත් නැත්නම් ජිවත්වන කොමියුනයෙන් ලැබෙන  සහයත්, එසේම අවජාතක ළමයින් වශයෙන් කොටසක් නොමැති වීමත් නිසා ගබ්සාවට නීතියෙන් අවසර තිබුනද එසේ කිරීමට තරුණියකට අවශ්‍ය  වුයේ ද  නැත.

මේ තත්වය 1926 වනතුරු පැවති අතර 1922 දී පක්ෂයේ ලේකම් තනතුරට පත් ස්ටාලින් ට්‍රොස්කි ව සියලු තනතුරු වලින් අස් කර රටින් ද  පිටුවහල් කරන ලදී. සිනොවියෙව් , කාමනෙව් ආදීන් ද්‍රෝහීන් ලෙස නම් කර අත් අඩංගුවට ගෙන පසුව මරා දැමිණි. විවාහ නීතියද වෙනස් වුනි. සෝවියට් සංස්කෘතික අමාත්‍යංශයක් 1936 දී පිහිටුවන ලදී. ගබ්සාවද තහනම් විය.

ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදය පවත්වාගෙන යාම  සඳහා පවුල නමැති ආර්ථික ඒකකයේ වැදගත්කම නැවත  සනිටුහන් කරන ලද අතර විවාහ සහ දික්කසාද නීතිද වෙනස් කරන ලදී.
-ලිපිය දිග වැඩි වෙන හෙයින් ජෙහාන් ට්‍රොට්ස්කි ගේ සැලසුම් ඊළඟ ලිපියෙන්.
-මතු සම්බන්ධයි
ප.ලි. - දීමා සහ බිරිඳ දැන් ජිවත් වන්නේ ඇමෙරිකා  එක්සත් ජනපදයේය.