Tuesday, 30 June 2015

සියාමා 3 - බියකරු සිහිනයක සැබෑව

පළමුවන කොටස 
දෙවන කොටස 
අවවාදයයි: ඔබ අවුරුදු දහ  අටට අඩු නම් මෙය ඔබට කියවීමට සුදුසු නැත.  කරුණාකර ඉවත් වන්න.

සියාමා ට ඇගේ හදවත  සිදුරු කරන වේදනාබර මතකයෙන් මදක් හෝ නිදහස් වීමට අවශ්‍ය බව සිතූ මම නිහඬ වීමි.
"අක්කාගේ මිනිය හම්බ වුනේ ලඳු කැලෑවක් තුල. එළුවෝ බලන ළමයෙකුට හම්බ වෙලා තියෙන්නේ.  තාත්තා හා අම්මා ඉස්සෙල්ලම එතනට ගිහින්. මට ගේ ඇතුලේ ඉන්න කියල කිව්වත් මම දිව්වා. මාත් එක්ක එකට ජිවත් වුන, එකට ඉස්කෝලේ ගිය, එකට කාපු බීපු, එකට හඬපු , එකට සිනාසුනු මගේම සුන්දර සහෝදරී. ඇය මිය ගිහින්. මිය ගිහින් නෙමේ මරල දාල. "
"ප්‍රියාන් මගේ සහෝදරී මම කවදාවත් නිරුවතින් දැකලා නැහැ. පළමුවෙන්ම දැක්කේ එදා. තාත්ත පිස්සුවෙන් වගේ කෑ ගහමින් ඇවිදිනවා. අම්මා විලාප දෙනවා. අක්කගේ ලස්සන සිරුර, මුහුණ ඇය පැහැර  ගත්ත උන් පුළුවන් තරම් අවලස්සන කරන්න හදල. ඇගේ ඇස් දෙක උගුල්ලලා තිබ්බේ. පියයුරු උඩ  කපලා ඒවා ඇස් දෙක උඩින් තියලා. මුන්ගේ හිත්  කොච්චර අවලස්සන දූෂ්‍ය වෙන්න ඕනෙද එහෙම කරන්න." ඇය කතා කරන්නේ විටින් විට හඬමිනි.
"හ්ම්.." මම හිත එතන රඳවා ගැනීමට දරමින් සිටියෙමි. මෙය මා බලාපොරොත්තු වුවක් නොවේ. ඇත්තටම මේ තරුණිය සමග කිසියම්ම වූ සම්බන්ධතාවයක් ඇති කර ගනිද්දී මා මෙවැනි ජිවිත කතාවක් බලාපොරොත්තු වූයේම නැත.
ඉන්පසු මගේ දෑස් දිහා ඇය කෙලින්ම බැලුවාය.
"ඇගේ ස්ත්‍රී නිමිත්ත තිබුන  ප්‍රදේශය එකම තුවාලයක්. මට මේ හැම දෙයක්ම හිතේ තදින් වැදිලා තියෙන්නේ. හිතේ තිබෙන  ඒ රූප ඉවත් කරගන්න හරිම අමාරුයි ප්‍රියාන්. ඔවුන් කටු වගේ තිබෙන ලී දඬුවක් ඇතුළු කරලා තිබ්බේ ඇගේ වැජයිනා එකට. පසු පස ප්‍රදේශයට උලක් ඇතුළු කරලා ..." ඇය මදක් කැස්සාය.
"සමාවෙන්න. මම හිතේ තියාගෙන හිටියේ හැම දෙයක්ම. අම්මා සිහිය නැතුව වගේ හිටියේ. මට තමයි ඒවා අක්කාගේ සිරුරින් අයින් කරන්න සිදු වුනේ. මම පොරවන්  හිටිය රෙද්දෙන් අක්කව වැහුවා. කවුදෝ කෙනෙක් තාත්තට පෙන්නලා ඇස් දෙක වෙන තැනක පාගලා තියෙන හැටි. පුදුම වෛරයක්‌ මගේ අහිංසක සොහොයුරිය එක්ක. ඇයි ඒ? මං හිතන්නේ තාත්තා ඒවා ගෙනල්ල තිබ්බ ඇස් දෙකට. එතැනදී කවුදෝ මාව පෙන්නලා තියනවා. මට ඒවගේ එලියට එන්න තහනම් වැඩි විය පත්වෙලා ඉන්දැද්දී. මුලදී කවුරුත් ගණන් ගත්තේ නැති වුනත් එතනට ආපු ගෑණියෙක් මාව පෙන්නලා බැනල. ආච්චි විජහට මම හඬද්දී ම මාව එතනින්  ඇදගෙන ආව. ගැහැණියෙකුට ට තව ගැහැණියෙකුගේ ගේ දුකක්, සම්ප්‍රදායික රීති වලට උඩින් තේරුම් ගන්න බැරි තරමට මේ ලෝකේ විසද?"
"පොලිසිය ආවට පස්සේ මිනිය ගෙදර ගෙනාව. අම්මලා අක්කගේ සිරුර හෝදලා පිලියල කළා. අම්මා තමා අක්කගේ සිරුරේ කපපු තැන්  මතුවේ  අඬ අඬා. අපට පස්සේ ආරංචි වුණා අක්කා ඉස්කෝලේ ඇරිලා තනියම එද්දී අක්බාල් ඇයව  හමුවෙලා ඔහුත් සමග එන්න කියල. ඇය ගිහින් නැහැ. පස්සේ කවුරුවත් නැති තැනක ඔහු ඇයට ගහලා සිහි නැති කරලා අරන් ගිහින්. ගමේ වැඩි හරියක් පිරිමි ඇයව දුෂණය කරලා තිබෙනවා.
උන් කියා තිබෙන්නේ කෆීර් ගේ කෙල්ලට මේක හොඳ වැඩියි කියල දුෂණය කරද්දී. "
"කෆීර් කිව්වේ? "
"කෆීර් කිව්වේ තාත්ත අපේ ආගමේ නොවේ කියන එක. තාත්තගේ විශ්ව විද්‍යාලයේ වැඩ කරන එවුන් දෙන්නත් එතන හිනා වේවි ඉඳල තියනවා. කොහොමද උන් මෙහෙම කරන්නේ ප්‍රියාන්. ඇයි  පිරිමි මේ වගේ හැසිරෙන්නේ. සත්තු වගේ.ශිෂ්ණය කෙලින් උනාම ඒක ඇතුලට දාල, වද  දිදී  හිනා වෙන්න අහිංසක කෙල්ලෙකුට. උන් හැමෝම චෝදනා කලේ මට. මගේ අවාසනාවලු. මම වැරදි දවසේ වැඩි විය පැමිණිලා . මගේ අවාසනාව පවුලට  ගහල. මුන්ගේ පුරුෂ ලිංග නැත්නම් වැඩ කරන්නේ නැතුව ඇති. " කනට ගසන්නාක් වැනි ඒ වදන ඇය පැවසුවේ  කෝපයෙන් රතු වී ගෙනය.

මට කියාගන්නට දෙයක් නැතුව මොහොතක් ලත වුනෙමි.
ඇය මදක් සන්සුන් වුනාය. ඇගේ කෝපය පහවී යමින් නැවත දුක ඉස්මතු වෙමින් යයි.
"මම අක්කගේ උකුලට ඔලුව තියාගෙන මුළු රැයම හිටියේ. අක්කා  මැරුන දවසේ අපට වළලන්න  ලැබුනේ නැහැ. ඒ නිසා අපි පහුවදා  තමා  අරන් ගියේ ගමේ සුසාන භූමියට. නමුත් පල්ලියේ ඉමාම්  ඉඩ දුන්නේ නැහැ එතන වළලන්න. ගමේ අනිත් මුස්ලිම් වරුන් විරුද්ධයි කියල. භුමිය අශුද්ධ වෙනවලු. පස්සේ අපි අක්කව ආදාහනය කළා ගඟ ගාවට ගෙනිහිල්ල. අපට එයාව වෙන තැනක වළලන්න බැහැ. සත්තු හාරනවා බිම එහෙම වුනොත්. උන්ටත් ඕන වුනේ එකමයි. අපි අළු පා කරලා හැරියා ගඟේ. නමුත් ඒකත් වරදක් වුණා.
අපි හින්දු චාරිත්‍ර අනුගමනය කළා කියල.  ඇයි අපේ රටේ අපිට මෙහෙම වුනේ. "
ඇය ඇගේ කතාව පටන් ගනිද්දී , දෙමාපියන් සිහිව හඬද්දී ඇය මට කුමක් කියාවිද යන්න ගැන මට හැඟීමක් තිබුනේ නැත. ඇගේ සොයුරිය ගැන පැවසූ සිද්ධියෙන්  මගේ සිත දැඩි ලෙස සසල විය, නමුත් ඇයට මීටත් අමාරු කථාවක් කීමට ඉතිරිවී ඇති බව මගේ මුග්ධ මොළයට  එදා එතැනදී වැටහුනේ නැත. මම අගේ අත් දෙක මගේ දෙඅතට ගත්තෙමි.

"මට ඕකට පිළිතුරක් නැහැ. එංගලන්තේ හේවායෝ වෙන රටවලට ගිහාම ඔය වගේ සමහර සිද්ධි දෙක තුනක් වුණා. මම ඉපදුන රටෙත් ඔහොම දේ වුනා. ආණ්ඩුවට විරුද්ධව සටන් කරපු සටන්කාමීන් ට දුන් වද වලට අමතරව ස්ත්‍රී දූෂණයත් භාවිතා වුනා කියල ලියවිල තියෙනවා.  විශේෂයෙන්ම 88-89 කාලේ. ආරක්ෂක හමුදාවල්  හා පාතාල හමුදාවල් වලින් තෝරගත්ත දරුණු කට්ටිය තමා හුඟක් වෙලාවට කරල තියෙන්නේ ඒවා. සටන්කාමී අයත් හැබැයි හමුදාවේ හා අනිකුත් සිවිල්  වැසියන් මැරුවා.  මෙහෙ චැනල් 4 එකේ පෙන්නුවා ලංකාවේ තිබුණු සිවිල් යුද්ධය අවසන් වෙනකොට සමහර හමුදා භටයන් විසින්  දුෂණය කල මරා දමපු සටන්කාමී තරුණියන්. මම ඒවා  විශ්වාස කලේ නැහැ මුලදී . ඒවා පෙන්වනවාට විරුද්ධව උද්ඝෝෂණ වලටත් ගියා. මොකද ගරිල්ලන් සිය දිවි නසා ගන්නා බෝම්බ වලින් මිනිසුන් මැරූ  නිසා සහ ගම් වැසියන් මැරූ නිසා.  දැන් හිතනව ඒවා වෙන්න ඇති කියල. ඒවාට අනුකුලතාවය  නොදක්වපු ඒවා නොඉවසපු හමුදා සාමාජිකයෝ ඒවා වීඩියෝ කරලා එලියට දාන්න ඇති මිනිසුන්ට බලන්න. "  ඇගේ හිත හදන්නට මෙන් කියුවෙමි.

"මං දැක්කා ඒක. අපි ලංකාව ගැන අහල තියෙන්නේ අපට වැඩිය සාමකාමී රටක් හැටියට. අපේ ප්‍රවෘත්ති එච්චර විස්තර දෙන්නේ නැහැ. මෙහෙදී තමා මම දැන  ගත්තේ ඔයා ආපු රටේ යුද්ධය. ඒ චිත්‍රපටිය  බැලුවාම මට අපුලක් දැනුන ඒ හේවායෝ කරපු දේ ගැන. නමුත් එතන දෙපැත්තම  මිනි මැරුව  බව  ජෝන් ස්නොව් කිව්ව. මෙතැන එක ගමේම පිරිමි ප්‍රියාන්. එක ගමේ. අපි කාටවත් මුකුත් කලේ නැහැ. අපි අහිංසකයි.ඔයාට
සමාන කරන්න බැරි දේ තියනව. ඔයා මගේ හිත හදන්නද කියන්නේ මේවා වෙන අයට  වුනා කියල. මගේ හිත කැඩිලා බිඳිලා හුඟක් කල්."  ඇගේ  වදන් මා තුල කිසියම් නොසන්සුන්තාවයක් ජනිත කළේය.  මා සිතුවේ ඇයට අවශ්‍ය වී ඇත්තේ ඇගේ  දුක සහ ප්‍රශ්න මට කීමට බවත් මවිසින් පණ්ඩිතමානීව ඇගේ  කුමක් හෝ මා නොදන්නා  මේ දුක්ඛිත ප්‍රශ්නය විසඳිය යුතු බවත්ය.  මගේ පණ්ඩිත කම මගේ සංවේදී කමට වඩා  ඉස්මතු විනිද?

"මිනිස්සු තමන්ට වැඩිය වෙනස් අයට කැමති නැහැ. මිනිස්සු නූගත් වෙන තරමට ඒක වැඩියි. මට ඔයාගේ දුක හොඳටම තේරෙනවා. දෙවන ලෝක යුද්දෙදි ජර්මන් සොල්දාදුවෝ නැගෙනහිර යුරෝපිය ගම්  වැසියන් මැරුවේ ඒ ගම්වල අයගෙම සහයෝගයෙන්. ස්ත්‍රී දුෂණය කලෙත් එහෙම මයි. අනිත් පැත්තට රුසියන් සොල්දාදුවෝ ජයග්‍රහණය කරගෙන ආපු වෙලාවේ ජර්මනියේ අතට අහුවන හැම ගැහැණියෙක්ම   වගේ දුෂණය කෙරුව. පලි ගන්න. මම ඔයාට මට  යාළුවෙක් කිව්ව කතාවක් කියන්නද? මේක වුනේ රුසියාවේ. සෝවියට් දේශය තිබෙන කාලේ."
ඇය නිහඬව හිස වැනුවාය. ඒ මොහොතේ දී පවා ඇගෙන් තව දුරටත් ඇගේ කතාව අසනු වෙනුවට මා  දන්නා දෙයක් කීමෙන් ඇගේ දුක අඩු වේවිය යන බොළඳ  සිතුවිල්ලට  මා යටත් වූයේ  යයි සිතමි.

"මේක මට කිව්වේ රුසියාවේ හිටපු යාළුවෙක්. සෝවියට් දේශය කාලේ  එහෙ ඉගෙන ගත්තු කෙනෙක්. එයාගේ ර.....කියල යාළුවෙක් ඉඳල තියෙනව පෙතිගොර්ස්ක් හරි පල්තාව හරි වගේ නමක් තියෙන නගරයක. ඒ ගොල්ල රුසියන් භාෂාව උපාධියට හදාරන අය හැටියට ගිහින් තියෙන්නේ එහෙ. වාමාංශික වගේ නැම්මක් තිබුන අරාබි රටවලින් ආපු සිසුන් වගේම ලතින් ඇමෙරිකානු රටවලින් හා අප්‍රිකානු රටවලින් ආපු සිසුනුත් හුඟක් හිටිය සෝවියට්  රුසියාවේ. මේ ආසියානු සිසුන්ට අමතරව. අරාබි උන්ට ටිකක්  සල්ලි වැඩි පුර තිබ්බ අනිත් සිසුන්ට වඩා. උන් තමා  හුඟක් වෙලාවට හොරෙන් ඩොලර් මාරු කලේ  වැඩි ගාණට. උන්ට අනිත් එක නේවාසිකාගාර පරිපාලනයේ සහය තිබ්බ. තෑගී හෙම දීල අල්ලගෙන. ඒගොල්ලන් ගේ කණ්ඩායමට හුඟක් කලින් ආපු කට්ටියකගේ එක්  අරාබි සිසුවෙක් රුසියානු තරුණියක් සමග යහළුවෙලා ඇයට  ගෑණු දරුවෙක් ලැබිල තිබුන. මොකක් හරි අරාබි නමක් සහ රුසියන් නමක් දාල තිබුනේ මේ ගෑණු දරුවට. මේ කෙල්ල අවුරුදු 18-19 ක  විතර, මිශ්‍ර සම්බන්ධයකින් උපන් නිසා ජාතීන්  දෙකේම හැඩයන් ගත් ලස්සන තරුණියක්. කළු හිසකේ තියෙන සුදු අරාබි වගේ තරුණියක් . එයා  මුලදී ලිබියන් තරුණයෙක් එක්ක යාළු වෙලා ඉඳල තිබෙනවා. ශිෂ්‍ය නේවාසිකාගාරෙට ඇවිත් ගිහින් තිබෙනවා නිතරම. පස්සේ මේ ගෑණු  ළමයා  ලතින් ඇමෙරිකානු,  මං  හිතන්නේ බොලිවියන් සිසුවෙකු සමග යාලු වෙලා. ලිබියන් එකාව අත ඇරලා. මේක ඇල්ලුවේ නැහැ ලිබියන් උන්ට. උන්ට අනුව න්ගේ ආත්ම අභිමානයට සහ රටට විතරක් නෙමේ ගඩාෆිටත් නිග්‍රහයක් මේක. මුන් මේ කෙල්ලට දවසක් කතා කරලා "තේකක් බොන්න එන්න අපේ කාමරේට. ඔයා අපේ ඇරබික් ළමයෙක්නේ. " කියල. අර කලින්  යාලු වෙලා හිටි ලිබියන් එකත් මෙතනම ඉඳල තිබෙනවා. කෙල්ල ගියාම මුන් කෙල්ලට බැනලා පිට ජාතිකයෙක් එක්ක යනවා කියල මුන් හතර පස් දෙනෙක් ඇයව දුෂණය කරලා කාමරෙන් එලියට දාල. ඇය අඬ අඬා මුන්ට කෑ ගහනවා අනිත් සිසුන් දැකල තිබෙනවා. කෙල්ල බලධාරීන්ට පැමිණිලි කළාට වැඩක් වෙලා නැහැ. එක හේතුවක් තමා කෙල්ල ඉගෙන ගන්නේ නැහැ එතන. පිටින් ආපු කෙල්ලක්. අනික විදේශ ශිෂ්‍යයෝ හමු වෙන්න පිටින් එන කෙල්ලන්ව ගණන් ගන්නේ ටිකක් නරක විධිහට පොලිසිය වුනත්. පොඩ්ඩක් ගණිකාවන් ගේ තත්වයට දාල." සියාමා ගෙන් පිළිතුරක් නොලද්දෙන් මම මගේ කතාව කරගෙන ගියෙමි.
"මේ කෙල්ල අර දුෂණය කිරිල්ලෙන් ගැබ්බර වෙලා. සෝවියට් දේශයේ නීතියක් තියෙනවා ළමයෙක් හම්බ වෙන්න එනවා නම් පිරිමියා අනිවාර්යයෙන්ම ඒ කාන්තාව කසාද බදින්න ඕනේ කියල. හැබැයි කාන්තාව නම් කරන්න ඕනේ කවුද පිරිමියා කියල හරියටම. අර කෙල්ල ගර්භනී වෙලා මාස 3-4 කට පස්සේ අර ලිබියන් උන්ගේ කාමරේට ගිහින් උන්ට කියන්න කෙල්ල එකෙක්ව නම් කරනවා කියල. මුන් ඒ කෙල්ලව නිරුවත් කරලා බඳ පටි වලින් ගහල, සිගරට් කොට වලින් පුච්චලා, වයින් හරි වොඩ්ක හරි බලෙන් පොවල සෑහෙන වදයක් දීල. පස්සේ කෙල්ලගේ ඇඳුම් විසි කරලා උන් හිටිය තුන් වන තට්ටුවේ ජනේලෙන් එලියට. කෙල්ල කාමරෙන් එලියට දාල නිරුවතින් ඇඳුම් ගිහිල්ල ගනින් කියල. කෙල්ල කෑ ගගහා පහලට  දුවල තියනවා නිරුවතින්. ඒ අවස්ථාවේ අප්‍රිකානු ශිෂ්‍යයෙක් ඇයව තමන්ගේ කාමරේට ඇදල  අරගෙන ඇයත් එක්ක සංසර්ගයේ යෙදෙන්න උත්සාහ කරලා. කොටින්ම  දුෂණය කරන්න. ඇය  ඔහු එක්ක පොර බදන කොට ඔහු ළඟ තිබුන ශම්පේන් බෝතලේකින්  කෙල්ලට ගහල. ලේ විලක්ලු. කෙල්ල ඊට පස්සේ සිහි මඳ  ගතියකින් පෙලෙන්න අරන් නතර වෙලා තියෙන්නේ සිහි මඳ අයට  තිබෙන රෝහලක.  " මම කතාව  අවසන් කලෙමි.

"සෝවියට් රට ගැන මම අහල තියෙනවා. ඒ වගේ රටකත් එහෙම වුණා නම් අපේ රට වගේ වැඩිපුර නුගත් මිනිස්සු ඉන්න රටක වෙන දේවල් වලට සමාව දෙන්න පුළුවන් කියලද ඔයා කියන්නේ ප්‍රියාන්. ඔව් ඔයත් පිරිමියෙක් නේ." අප්‍රසන්නයට පත් වූ ලෙසින් ඇය කීවාය.
"මම එහෙම හිතල නෙමේ ඒ කතාව  කිව්වේ සියාමා. ඔයාගේ හිත හදන්න "
"මේක වෙලා අවුරුදු ගාණක්. මම හිත හදා  ගෙන නැති දුබල ගෑණියෙක්  කියලද ඔයා  හිතන් ඉන්නේ. මම අඬනවා තමා"
එසේ කියමින් ඇය නැගිට්ටාය.
"ඔයා  යන්න දේශන වලට" මට කීවාය.

"ඇයි අදත් ඔයා එන්නේ නැත්ද?"
"මම එන්නම් දෙවෙනි එකට. ඔයා දන්නවද අක්කාව දරුණු විධිහට මරා දාල බව කියන්න තාත්තයි අපිට හිතවත් ගමේ කෙනෙකුයි පොලිසියට ගිහාම පොලිසියේ ලොක්ක කියපු දේ. බංගලා දේශයේ වෙන ගම් වලත් ඕවා වෙලා තියෙනවා, අපේ රටේ නෙමේ වෙන රටවලත් ඕව වෙනවා, කියල. ඌ කොහොම හරි මිනී මරුවා හොයනවා කිව්වලු. සාක්කි නැහැ කිව්වලු. හැබැයි අපට ආරංචි ආව පොලිසියේ දෙන්නෙකුත් අරුන් එක්ක එකතු වෙලා එතන හිටිය කියල. ඔයයි  පොලිසියේ ලොක්කයි අතර වෙනස මොකක්ද? "
එසේ කියා ඇය පුස්තකාලය දෙසට පිය මැන්නාය.

මහත් ව්‍යාකුල භාවයකින් යුතුව මම දේශනා ශාලාවට ගියෙමි.
දෙවන දේශනය සඳහා පැමිණි ඇය මා අසලින් හිඳ ගත්තාය. ඇය කෝපයෙන් පසු වෙතැයි සිතීමි. මට මදහස මුසු බැල්මකින් සංග්‍රහ කල ඇය දේශක ගුරුවරයා හැරෙන තුරු සිට මගේ දේශන ලියන අභ්‍යාස  පොතේ කොනක "මම ඔයාට කැමතියි ඔයා කොච්චර වාද කලත්" කියා ලීවාය.

"මමත් ඔයාට කැමතියි සහෝදරියකට වගේ" මම ලීවෙමි.
"Big brother ලොකු සහෝදරයෙකු හිටිය නම් කොච්චර හොඳද කියල මටත් හිතිලා තිබෙනවා " ඇය ලීවාය.
"දැන් ඉන්නවයි කියල හිතන්න" මම ලීවෙමි.
අප අසල සිටි හිටපු භෞතික විද්‍යා ගුරුවරයකු වන රෝලන්ඩ් අප දෙස බලා ඇසක් ඉඟි මැරීය. ඔහු  මගේ පිටුවේම කෙළවරක "මම හිතුවේ ලව් නෝට්ස් පන්තියේ ලියන්නේ පාසල් වල ඉහල පන්තියේ තරුණ තරුණියන් විතරයි කියල." යයි ලීවේය.
 "එහෙම දෙයක් නැහැ. " මම ලීවෙමි.
සියාමා  සුන්දර ලෙස සිනා වෙමින් සිටියාය.
ඊළඟ දින දෙකේම ඇය පැමිණියේ නැත. මම ඇයට ඒ බව විමසා ඊමේලයක් යැවීමි. දිනක් පසුවී  ලැබුණු පිළිතුරේ සඳහන් වූයේ  ඇගේ නැන්දාට  අසනීප  නිසා ගෙදර නවතින්නට සිදු වූ බවත් නැන්දාට කිසියම් රුධිරය හා සම්බන්ධ  අසනීපයක් තිබෙන නිසා රෝහලට යාමට සිදුවූ බවත්ය.

ඊළඟ  දවසේ පැමිණි ඇය කිවේ නැන්දාට පිළිකාවක් සැදී ඇති බවට වෛද්‍ය වරුන් සැක  කරන බවයි.  මම ඇයට හැකි සෑම උදව්වක් ම කරන බවට පොරොන්දු වුනෙමි. වැඩි යමක් කිරීමට නැති බවත් රෝහලට යාම ඒම මදක් අපහසු බවත් ඇය පැවසුවාය. ඉන්පසු දිනෙක ඇගේ හිසකේ පෙන්වමින් ඇගේ හිසකේ හැලෙන බව මා නිරීක්ෂණය කළේ දැයි විමසුවාය. තමන්ට ලේ වල ප්‍රශ්නයක් ඇත්දැයි සිතෙන බවත් කෙස් හැලෙන බවත් හිසේ තැනක්  පෙන්වමින් ඇය කීවාය. දිගු  කෙස් කළඹ වල් ඇති කාන්තාවන් ගේ කෙස් ප්‍රමාණයක් දවසට හැලෙන බවත් ඇය එය ගනන් නොගත යුතු බවත් කීවෙමි.
ඉන්පසු අප අතර ඒ ගැන කතා බහක් නොවීය.
මගෙන් බාධා ඇතිවූ පසු ඇගේ ජීවිතය ගැන මින් පසු මට නොකියා වී යයි මට සිතී  තිබුණි. ඇගේ දෙමාපියන් ගැන දැන ගන්නට වුවමනාවක් ද මට පහළවී තිබුණි.
වැඩි කල් නොගොස් ඒ දවසද එළඹුණේ අනපේක්ෂිත ලෙසය.

(මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

හතරවන කොටස 




Monday, 29 June 2015

සියාමා 2 - ආදරණිය සොයුරියේ


එතැන් පටන් දෙසතියක් පමණ යනතුරු අප දේශනාවලදී හමුවී කතා කලත් ඇගේ දෙමාපියන් ගැන මම නොවිමසුවෙමි.  කතා කලේ විෂයන්ට අදාළ දේ පමණි. ඇයට තීසිසය  සඳහා අවශ්‍ය වුයේ එක්ස්පෝ - ප්ලනට් හෙවත් වෙනත් සුර්ය ග්‍රහ මණ්ඩල වල ග්‍රහ ලෝක ගැන සෙවීමටය. මේ වන විට එවැනි ග්‍රහ ලෝක 600 ක් පමණ සොයාගෙන තිබු අතර තාරකා විද්‍යාව හදාරණ අයට මේ පිළිබඳව දැඩි උනන්දුවක් තිබුණි. හැමෝම උද්යෝගයෙන් කතා කලේ ඒ ගැනයි. අපත් කතා කලේ ඒ ගැන පමණි. ඇය හැඬු ඒ දවස ගැන අමතක කළ මම  ඇයට අවශ්‍ය වෙලාවක, ඇය  විඳවන වේදනාබර මතකයකින් ඇගේ සිත නිදහස් කර ගැනීමට  මා ආමන්ත්‍රණය කරනු තුරු බලා සිටියෙමි.

 මයිල් එන්ඩ් උමං  දුම්රිය පළින් එලියට පැමිණ වමට හැරී විශ්ව විද්‍යාලය පැත්තට එන අයෙකුට මයිල් එන්ඩ් උද්‍යානය හමුවේ. පාර යන්නේ උද්‍යානය දෙකට බෙදමිනි. මේ උද්‍යානයේ පියකරු වතුර මල් තිබෙන පැත්තක්ද කුඩා පොකුණක් තිබෙන පැත්තක්ද ඇත. කලින් පැමිණෙන වේලාවට මේ උද්‍යානයේ ඇති බංකුවක වාඩිවී  පොතක් කියවීමට හෝ තේ එකක් බීමට  මම පුරුදුව සිටියෙමි. සියාමාද මා අනුවම එම පුරුද්දට වැටුනාය. අප බොහෝ විට දේශන වලට යාමට ප්‍රථම හමු වූයේ එතනය.
ඒ දවස උදාවිය. හැබැයි එය මෙතරම් දරුණු ලෙස මගේ සිත දුකින් මෙන්ම මිනිසුන් කෙරෙහි වෛරයකිනුත්,  සියාමා පිලිබඳ දැඩිම දැඩි අනුකම්පාවකිනුත් පිරි යාවි යයි මම නොසිතුවෙමි. මා පැමිණියේ පැය එකහමාරකටත් කලින්ය. රැකියා ආයතනයේ කෑම පැය  මග හැර දිගටම වැඩ කිරීමෙන් පසු මට කලින් පිටව යා හැකිය.  එදින ඇයද සුපුරුදු බංකුවේ තාරකා ගැන කියවමින් සිටියාය. මගේ අතේ තිබු තේ දෙකින් එකක් ඇයට  දුන් මම මා  ගෙනා බිත්තර සුදු මදයෙන් හා කස්ටඩ් සීනි වලින්  සාදන ප්‍රනීත මෙරැන් (meringue)  වලින් එකක්ද දුනිමි. ඇය ඒවා කෑමට කැමති බව දැන  සිටියෙමි.
සෙමින් සෙමින් එය කඩා ගෙන කමින් කට හඬ අවදි කළ ඈ,
" මගේ තාත්තා ගණිතය ගැන දේශණ කල විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. බංග්ලාදේශ ජාතික විශ්ව විද්‍යාලයේ  ඉගැන්වුයේ.  අපි හිටියේ කශිම්පුර් ළඟ ගමක.  බොන්ෂයි ගඟටත් ලඟයි  ඒ හරිය. තාත්තා හිටපු ගමන් අපිව එක්කන් යනවා ගඟ දිගේ ඇවිදින්න හරි,  බෝට්ටු සවාරි හරි. හරිම සුන්දරයි ගඟ දෙපැත්ත. අක්කයි මමයි පුංචි මල්ලියි හරිම ආසයි ඒ ගමන් වලට. "
"ඔයා දෙවැන්න නේද පවුලේ " මම ඇසුවෙමි.
"ඔව්. අපේ තාත්තා හරියට පොත් කියවනවා. තාරකා විද්‍යාව, අභ්‍යවකාශය ගැන. මං  හිතන්නේ තාත්තත් අදේවවාදියෙක් වෙන්න ඇති"
"ඔයාට කියල නැත්ද?" මා ඇසුවෙමි.
"නැහැ. තාත්ත ළඟ තිබුන පොත් අතර අර රැවුල් තියෙන අයගේ පොතුත් තිබුන. අනේ මං  හිතුවේ කවුරුහරි වැදගත් ඉස්ලාමික මුල්ලා කට්ටිය  කියල පිටරට ඉන්න. මෙහෙට ආවමයි දැන ගත්තේ ඒ කවුද කියල. අපේ ඉස්ලාමික ගුරුවරු ඔක්කොම රැවුල් වවාගෙන නේ ඉන්නේ" ඇය ලජ්ජාවෙන් මෙන් පැවසුවාය.
"ඔයා කියන්නේ මාක්ස්, එංගල්ස් ගැන නේද? සමහරවිට කැස්ත්‍රෝ ත්. තාත්ත හොඳ වාමාංශිකයෙක්ද?"
"වෙන්න ඇති. හැබැයි ඒකම ප්‍රශ්නයකුත් ඇති කරන්න ඇති."
"ඒ කිව්වේ" මා  ඇසුවෙමි.
"තාත්තා  ආගමට ගරු කරන්නේ නැහැ කියල විශ්ව විද්‍යාලේ පැතිරිලා තිබුන මම හිතන්නේ. ඒ විශ්ව විද්‍යාලෙම  වැඩ කරන සුළු සේවකයෙකුත් නිලධාරියෙකුත් ගමේ හිටිය. ඒ ගොල්ල ඒක  ගමෙත් පතුරුවල තිබුන මම හිතන්නේ. අනික ගමේ හුඟක් අය  අප ගැන ඉරිසියයි වගේ තේරුණා. අපි සතුටෙන් හිටියේ. තාත්තට සීය, ආච්චිත් මුදලින්උදව් කරලා ගත් පරණ කාරෙකකුත් තිබුන. තාත්තගේ නංගි, මගේ නැන්ද  එංගලන්තේ ඉඳන් උදව්කලා අපට අමාරු වෙන කොට.  අම්මත් තාත්තත් හමු වී තිබුනේ විශ්ව විද්‍යාලයේ. ආදර සම්බන්ධයක්. ඒකත් සම්ප්‍රදායට අනුව නෙමේ. අම්ම ලිපිකාරිණියක් වුනත් රස්සාවකට යන්නේ නැතුව අපව බලා ගන්න  ගෙදර හිටිය. ඒත් මං  හිතන්නේ නෑදෑයන්ගේ හා අසල්වාසීන්ගේ කතාවලට එහෙම කලා කියල.  අපි දෙන්න ඉස්කෝලේ යනවාටත් කට්ටිය විරුද්ධ වුනා. අක්කයි මමයි.  සමහර ගැහැණු ළමයි ඉස්කෝලේ ගියේ නැහැ. එහෙම නැත්නම් යන්තන් ලියන්න කියන්න ඉගෙන ගත්තම ගෙදර නැවතුනා.  "
"හරියට 1920 ගණන් වල ශ්‍රී ලංකාව වගේනේ. දැන් ලංකාවේ එහෙම ඔහොම නැහැ.  නමුත් දැන් බංග්ලාදේශ් වල ගැහැණු ඕන තරම් වැඩ කරනවා නේද? බංගලා දේශය  ඔයිට වැඩිය  දියුණුයි කියල මම හිතුවේ. "
"ඔව් ගාමන්ට් වල අඩු පඩියට කෙල්ලෝ වැඩ ක‍රනවා. අනික  ප්‍රියාන්  මම මේ කියන්නේ අවුරුදු 15 කට විතර කලින් තත්වේ. මගේ දැන් වයස කීයද?"
"ඔව් හරි හරි. ඒක ඇත්ත." ඇයගේ කතාවට බාධා කිරීමට මගේ සිත් නොදේ.
"මගේ අක්කා හරිම ලස්සනයි ප්‍රියාන්. අක්කාගේ ඇස් ළා දුඹුරු පාටයි.ඉර එලියට ඒවා කොළ පාට වගේ වෙනවා. අක්කට මායා කාරී කියල ගමෙයි ඉස්කෝලෙයි කෙල්ලෝ කිව්වේ. අක්කගේ හම  ඇත් දල පාටයි. මගේ වගේ දුඹුරු නැහැ. මන් හිතන්නේ  ගමේම හිටි ලස්සන කෙල්ල එයා."
"දුඹුරු කියන්නේ කැතයි වගේනේ ඔයා කතා කරන්නේ. මෙහෙ කෙල්ලෝ දුඹුරු පාට  වෙන්න කොච්චර උත්සාහ කරනවද? ඔයා  කොච්චර ලස්සනද ? එතකොට ඔයාට වැඩිය කලුයි මම. ලැජ්ජා නැත්ද කැත මිනිහෙක් එක්ක කතා කරන්න" මම සිනා වෙමින් කියුවෙමි.
"ඒ මෙහෙනේ ප්‍රී. බංග්ලා දේශ් වල ටිකක් සුදු වෙන තරමට මනාලයෝ වැඩියි. හැබැයි කැමැති වුනේ නැත්නම් මූණට  ඇසිඩ් ගහන එකත් එහෙමම තමයි. "
"මාත් ඒක නම් අහලා තියෙනවා. දැන් මං ප්‍රී ද සියා ? " මා සිනාසෙමින්  කීවෙමි.
"හි හී හී හා හා "අතින් මුව වසමින් ඈ සිනා සුනාය. එදා හැඬු දිනයෙන් පසු ඇය සිනාසුනේ අද විය යුතුය. නමුත් ඒ සිනාව පසු පස තවත් කඳුළු ගඟක් ගලා එන බව මට ඉවෙන් මෙන් දැනිණි.
මදක් නිහඬව  සිටි ඈ නැවතත් කතා කරන්නට පටන් ගත්තාය.
"ඔයා දන්නවද ?...." ඈ නැවතත් පැකිලිමකින් මෙන් පටන් ගත්තාය.
"නෑ " මම මැදට පැන්නෙමි. ඇය  නැවතත් සිනාසුනාය. කිසියම් සිනහවක් හා සතුටක් රැඳුනු  ඒ මොහොත අද කල්පයක් වටින බව සිතමි.
"හ්ම් ඔයා  දන්නවද මේ මේ .."ඇය නැවතත් පැකිලුනාය.
"හිතා ගන්න  බැහැ ඔයාම කියන්න"  කීමි.
"මේ ගැහැණු ළමයි  පාවිච්චි කරන සනීපාරක්ෂක තුවා  හෙම"
"මම පාවිච්චි කරන්නේ හෙම නැහැ. මගේ අනිත් පළුවට ගෙනත් දීල තියෙනවා. එහෙම ලැජ්ජාවක් නම් නැහැ දැන්. ඇයි ඇහුවේ?"
"අනිත් පළුව  කීවේ. ආ තේරුණා. බංගලා දේශ්  වල හුඟක් ගැහැණු අය දුප්පත් වගේ අය පාවිච්චි කරන්නේ පරණ රෙදි , ගවුම් කෑලි හෙම. ඒවා හෝදනවා වරින් වර"
"ඇත්තද? පරණ කාලේ. දැන්නම් එහෙම නැහැ." කතාව  අපහසු පැත්තකට යන සෙයක් පෙනුනින් මම කෙටි පිළිතුරක් දුනිමි.
"ප්‍රියාන්  එහෙ ගම්  පැතිවල තවත් එහෙමයි.  අපේ තාත්ත අම්මටයි අක්කටයි කඩේ ඔසු සල් වල විකුණන ඒවා ගෙනත් දීල තිබුන. ඒක නවිනයි.  හොඳයි කියල. තාත්ත ඒවාට ලජ්ජා වුනේ නැහැ. එයාට  ඕනේ වුනේ අපි නවීන  විධිහට ජිවත් වෙනවා දකින්න.  ඒවා වත්තේ පහල වලක තව කුණු සමග ගිනි තැබීම කලේ තාත්ත. අපිට කුණු විසි කරන්න ක්‍රමයක් නැහැ. අවශ්‍යනම් වෙනම තැනක්  තිබ්බ කුණු ගෙනිහින් දාන්න. "
"ඒක  නම් ලංකාවෙත් එහෙමයි. මුළු ආසියාවේම ප්‍රශ්නයක්". ඇය මෙවැනි කතාවක් අපි අතරට ගෙනාවේ මන්දැයි මට එකවර වැටහුනේ නැත.
"එක දවසක් මොකක් හරි දේකින් ගිනි ගනිල නැහැ. තාත්ත ගිනි තියල ඇවිත් වෙන වැඩකට. ඉතුරු එකක් බල්ලෙක් ඇදගෙන ගිහින් වෙන වත්තකට. හෙන රණ්ඩුවක්. මාස්  ශුද්ධිය වෙන වෙලාව අපලයි කියල විශ්වාසයක් තියෙනවා. ගැහැණු රෙදි කෑලි හෝදන වැඩ පවා කරන්නේ හොරෙන්.  එළදෙන්නු  දීහා බැලුවොත් උන්ට කිරි එරෙන්නේ නැහැලු. පිරිමියෙක් කොල්ලෙක් දිහා බැලුවොත් උන්ට උණ හැදෙනවලු. ඒකට  නම් මං  කැමතියි. කොහොමද අපේ බලේ. හික් හික්. " අස්වාභාවික අන්දමට ඇය සිනා සුනාය.
"අපිට යාඥා කරන්නත් තහනම් ඒ කාලෙට ."

"අපේ රටෙත් බෞද්ධ පන්සල් ඇතුළට යන්න බැහැ  මා දන්නා විධිහට. කිළි  කියල එකක් විශ්වාස කරනවා. කෝවිල් වලට යන්නත් බැහැ. ඕවා නම් මහා  මිථ්‍යා  විශ්වාස. මුළු මනුෂ්‍ය ජිවිතයම පටන් ගන්නේ ඔය ස්වභාවික ක්‍රියාවලිය  තුලනේ.  තවමත්  මේ මැට්ටෝ මේවා විශ්වාස කරන එකනේ පුදුමේ.  " මම ඇයට  කියන්නට තැතනුවේ පසුගාමී ලෙස සිතන ආසියාතික මිනිසුන් සැම  රටකම සිටින බව කියන්නයි.

"ඒ සනීපාරක්ෂක තුවාය ගැන මහා ජරා කට කතා පැතිරෙව්වා ගමේ. අක්කට අකැමැති ගෑණු ටික මුලින්ම. ඕව ගණිකා වෘත්තියේ යෙදෙන සුදු ගෑණු අඳින  ඒවලු. අපේ තාත්ත අක්කව අරන් ගිහින් ඩකා වල සුද්දන්ට විකුනණවලු. අපට සල්ලි තියෙන්නේ ඒකලු"
"මහා ජරා මිනිස්සුනේ"
"ඔය කතාව වැඩිපුරම ප්‍රචාරය කලේ අෂ්රෆ් ගේ පුතා. අක්බාල්. අක්බාල් අක්කට වැඩිය අවුරුදු 10-15 විතර වැඩිමහල් මිනිහෙක්. අක්කා  වැඩි විය පැමිනුණ හම ඌ කසාද බඳින්න ඇහුව. අපේ ගෙදරින් කියා තිබෙනවා අක්ක ඉගෙන ගන්න බවත් ඇය තවම ලාබාල බවත්. නමුත් අවුරුදු කීපයක් ම අක්බාල් පස්සෙන් ආව අක්කගේ. ඇසිඩ් ගහනවා කියලත් කීව. මං  හිතන්නේ ඒක නොකෙරුවේ අක්ක වෙන කෙනෙක් එක්ක යාලු වුනෙ නැති නිසාත් , අපේ ගෙදරින් ඇයව බන්දලා  දුන්නෙ නැති නිසාත් වෙන්න ඕනේ.  අක්බාල් ජමාල් - අල් ....පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක්. අන්තවාදී පක්ෂයක්. ගමේ පිරිමි වැඩි දෙනෙක් උන්ට පක්ෂයි. තාත්ත උන්ට භය වුනේ නැහැ.  නමුත් තාත්ත ට අම්මට ඕන වුනේ අපට හොඳට උගන් වන්න. "

"සාමාන්‍යයෙන් අඩු වයසින් දුවලා බඳින එක බංග්ලා කට්ටිය  මෙහෙත් කරනවා කියල මම දන්නවා. හැබැයි නීතියට අනුකූ ලව.  වයස පරතරය සාමාන්‍යයෙන්  අනිත් විවාහ වලට වැඩියි. නමුත් ඒක  නීතියට විරුද්ධ නැහැ. ඔය පක්ෂය මම අහල තියෙනවා. කෝලාහල ගොඩක් ඇති කරපු එකක්. "මම කීවෙමි.

"එදා මට ඉස්සෙල්ලම බඩේ අමාරුව හැදුනේ ඉස්කෝලෙදි. ටීචර් මාව  තව ගෑණු  ළමයෙක් එක්ක කලින් ගෙදර යැව්වා"
"බෙහෙතක් දුන්නේ නැත්ද? මෙහෙත් තහනම් නම් තමා ටීචර් ලට බෙහෙත් දෙන්න" මා කිවේ මෝඩ කතාවක්  බව වැටහුනේ ඇගේ  සමච්චල් සිනාවෙන් පසුවය.
"මම වැඩි වියට පත් වුනේ එදා බබෝ"
"සමාවෙන්න. මෝඩයි තාම "
"සාමාන්‍යයෙන් එහෙම වුණාම මිලාඩ් එකක් තියනවා. ඒ කියන්නේ උත්සවයක්. යාඥ කරන්න දෙවියන්ට, ගැහැණු ළමයාගේ අනාගතය හොඳ වෙන්න කියල. ඊට කලින් මඩුවක ඉන්න ඕනේ. කහ දාපු බත් විතරයි කන්න දෙන්නේ. ඊට පස්සේ ආච්චි ගාවට යවනවා හොඳට බිරිඳක් වගේ ඉන්නේ කොහොමද කියල ඉගෙන ගන්න.නෑදෑයින්ගෙන් තෑගි හෙම ලැබෙනවා. ඒ වගේම විවාහ යෝජනාත් එනවා.  කිරි වලට මී  පැණි දාල බොන්න ඕනේ හම ලස්සන වෙන්න. ගෑණු ළමයට දෙමව්පියන් දෙනවා ලස්සන කාශ්මිරි වගේ රෙද්දක්. ඒකෙන් දෙතනයි ඔළුවයි වහ ගන්න ඕනේ ඉන් පස්සේ පහු. මාස්  ශුද්ධිය දවසට යකඩ කෑල්ලක්  අතේ තියන් ඉන්න ඕනේ ආරක්ෂාවට. නැත්නම් නරක ආත්ම  එනවලු. "  ඈ ලොකු විස්තරයක් කළාය.

"ලංකාවෙත් මන් දන්නා විධිහට එහෙමයි සියා. දවස් හතක් ගේ ඇතුලේ කාමරේක තම්බුම් හොදි එක්ක බත් කන්න ඕනේ. ඒ කියන්නේ  සුදුළුණු වලින් හදන සුප් එකක්. පිරිමි මුණ ගැහෙන්න බැහැ. තමන්ගේම පියා  හෝ සහෝදරයෝ වුනත්. රෙදි නැන්ද හරි ඒ කියන්නේ ඩ්‍රයි  ක්ලීනින් කරන කෙනෙක් හරි  වෙන වයසක කෙනෙක් හරි නාවන්න ඕනේ හත් වෙනි දවසේ . දවස් හතක් නාන්නේ නැතිව ඉන්නේ. ඊට පස්සේ ඔය වගේම ලොකු උත්සවයක් ගන්නවා. හුඟක් අය කියනවා එහෙම ගන්නේ ඊට පස්සේ ගෑණු  ළමය පැනල යයිද කියල දන්නේ නැති නිසාලු. මේ රටේ හෙම ලංකාවේ කට්ටිය වුනත් ඕව නම් කරන්නේ නැහැ. එකක්  ඒවා කරන්නත්  බැහැ ඇත්තෙන්ම. පාටිය විතරයි ගන්නේ " මම විස්තර කලෙමි.
"ප්‍රියාන්, අපේ කට්ටිය නම් මෙහෙත් කරනවා. "
"මම ගෙදර ළඟ  මඩුවක ආච්චි එක්ක හිටින කොට තමා ආරංචිය ආවේ. අක්ක ගෙදර ඇවිත්  නැහැ.  මම නැති නිසා එයා තනියම එන්න ඕනේ"
"අනේ ප්‍රියාන් "
ඇය හඬන්නට ආසන්න බව මට වැටහුණි. මම ඇගේ අතක් අල්ලා ගතිමි.
"අමාරු නම් නොකිය ඉන්න "
"නැහැ මට කියන්න ඕනේ. තාත්ත අක්කව  හොයල හොයල ගෙදර ඇවිල්ල. තාත්ත හිටියේ පිස්සුවෙන් වගේ. කවුරුත් කෑවේ නැහැ එදා රෑ. මල්ලිට විතරක් අම්ම කවල. දෙවෙනි දවසෙත් අක්ක නැහැ. අම්ම ඔක්කොම චාරිත්‍ර පැත්තකට දාල මාව ගෙට ගත්ත. ආච්චියි මායි මල්ලියි ගෙදර තියල අම්මයි තාත්තයි පොලිසියටයි දන්නා  හැම තැනටමයි ගිහින්  අක්කව හොයන්න "
"තුන්වන  දවසේ  උදේ .............."
ඇයට තද ඉක්කාවක් ගියේය. මම වහා බෑගයෙන්  වතුර බෝතලය ඇද  ඇගේ හිස පිටුපස ඇල කොට වතුර ටිකක් පෙවීමි .  ඇය දරුණු වේදනාවක් යටපත් කිරීමට තතනන බව මට දැනුනි.
හිස දණහිස් අතර රුවා  ගත්  ඈ හඩන්නට වූවාය.

https://www.youtube.com/watch?v=lcH0AjUvwCQ

(මේ දෙවන කොටසයි. මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

තුන්වන කොටස  




  

Thursday, 25 June 2015

සියාමා 1 - අප හමු වුනෙමු

මහාචාර්ය වරයාගේ දේශනය පළමු කොටස  හමාර වූ පසු මම දේශනා ශාලාව ඇතුළත  තිබෙන දොරින්ම තාරකා භෞතික විද්‍යා පීඨයේ දේශකයන්ගේ කාමරයට ඇතුළු වුනෙමි. මා  පසුපස තවත් සිසුන්ද ඇතුළු වුනි. දේශනය කල මහාචාර්ය එමර්සන් සිසුවකු සමග කතා බහ කරමින් සිටි අතර තවත් ආචාර්ය වරු කීප පොළක්ම විය. ශාස්ත්‍රපති උපාධිය කරන සිසුන්ට හා පීඑච්ඩී කරන සිසුන්ට මේ විශාල කාමරයේ හිඳගෙන කියවීමට හෝ අභ්‍යාස කිරීමට, වතුර ඩිකැන්ටරයෙන් පානය සඳහා වතුර ගැනීමට, කෝපි හෝ තේ කෝප්පයක් බීමට හැකි විය. බොහෝ සිසුන් තමන්ට පිළිතුරු  සැපයීමට අමාරු ප්‍රශ්න මෙහි සිට සාකච්චා කළහ. 
තේ කෝප්පයක් මැෂින් එකට මුදල් දමා ගත් මම එය බීමට  ජනේලය අසලට ගියෙමි. කවුදෝ මා  දෙස බලා  සිටින්නාක් මෙන් දැනුන හෙයින් එදෙස බැලීමි. මට ඇගේ නෙත් ගැටුනේ එවිටය. සුරූපි ආසියානු කාන්තාවක් වූ ඇයට සිනාවකින් සංග්‍රහ කල මම අසල තිබු මාසිකව පළවන භෞතික විද්‍යා සංගමයේ භෞතික විද්‍යා සඟරාව පෙරලුවෙමි. එවිට මද සිනාවක් නගමින් ඇය මා  අසලට  පැමිණ සිට ගත්තාය.  
"ඔයා බංග්ලා දේශ සම්භවයක් තියෙන අයෙක්ද?"
"නැහැ මම ශ්‍රී ලංකාවෙන් ආ කෙනෙක්, හැබැයි හුඟක් අය අහනවා තමා බංග්ලාද කියල. ඒ කියන්නේ ඔයා බංග්ලාදේශ් ද? මේ හරියේ ගොඩක් ඔයාලගේ අය ඉන්නවා" මම පැවසුවෙමි. විශ්ව විද්‍යාලය පිහිටි නැගෙනහිර ලන්ඩනයේ බංගලාදේශ වාසින් දශක කිහිපයක සිට මුල්  බැස  ගෙන ඇති නිසා බොහෝ බංගලා දේශ සම්භවයක් ඇති පවුල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනු දුටිමි.
"ඔව් ඔයා හරි. ඔයා  උපාධිය පටන් ගත්තේ ගිය අවුරුද්දේද?  අමාරුද"
"ඔව්, සෑහෙන්න අමාරුයි. ආසාවට කළාට. මම ගණිතය  මේ තරමට ගැඹුරට කලේ අවුරුදු  15කට විතර කලින් "
"ඉතින් මතක් වෙනවද? මම අවුරුදු දෙකකට කලින් මැත්ස් වලින් පළමු උපාධිය ඉවර කළේ. මට දැන්මම මතක නැහැ." ඇය  කීවාය.
"මම නම් කලේ විවෘත විශ්ව විද්‍යාලයේ BSc වලට තියෙන ගණිත පාඨමාලා අන්තර් ජාලයෙන් බා ගැනීම. ඒවා කෙරුවාම හොඳ  මතකයක් ආව, අනික මගේ මැත්ස් ඒ දවස් වල හොඳයි. " යයි මම පිළිතුරු දුනිමි.
"එහෙනම් මට ඔයාගේ උදව් ගන්න පුළුවන් " ඈ ඇසක් පුංචි කරමින් පිළිතුරු දුන්නාය. මුස්ලිම් බංග්ලාදේශ යුවතියක් ලෙස ඇගේ කෙලින් කතා විලාශය හා පැකිලීමකින් තොරව මා කරා පැමිණ කතා කිරීම ගැන පුදුම වුනු මා,
"කිසිම ප්‍රශ්නයක් නැහැ " කියා ඈ සමග දේශනයේ ඉතිරි කොටස සඳහා ශාලාව තුලට ගියෙමි.

ඒ අපේ පළමු හමුවීමයි.

 ඉන්පසු නැවත මා දේශන වලට ගියේ බ්‍රහස්පතින්දා දවසකයි. දේශනයට පමාවී පැමිණි ඈ  මා  ලඟින් අසුන් ගනිමින් සුන්දර සිනාවක් පෑවාය. එදිනද අපි විවේක කාලයේ කතා කළෙමු. ඇය එංගලන්තයට පැමිණ අවුරුදු ගණනක්  බවත් මෙම විශ්ව විද්‍යාලයේම ප්‍රථම ගෞරව උපාධිය ගණිත අංශයෙන් ලබාගෙන ඇති බවත් දැන ගතිමි.   එදින තිබු දේශන දෙකම අවසන් වීමෙන් පසු අප දෙදෙනා එකට එලියට පිවිසුනෙමු.
"ඔයා කොහෙන්ද යන්නේ " මා  ඇසුවෙමි.
"මට 102 බස් එක ගන්න ඕනේ බෙත්නල් ග්‍රීන් යන්න. ඔයා? "
"මම කාරෙකේ ආවේ. මට කෝච්චිය මිස් වුණා . මම පාක්  කලේ එහා පැත්තේ. ඔයාට ඕනේ නම් ලිෆ්ට් එකක් දෙන්නම්. මම සාමාන්‍යයෙන් එන්නේ උමං දුම්රියේ" යි පැවසුවෙමි .
"ඒක හොඳයි අපට එතකොට එකට යන්න පුළුවන් එතනට එනකන්. මම බස් එකේම යන්නම්" පැවසූ ඇය  මා සමග විශ්ව විද්‍යාලයේ ගේට්ටුවෙන් එලියට පිය මැන්නාය.
"මෙයා මොකාට එන්න හදනවද " මට සිතුනි.

එළියේදී අප දෙදෙනා එකට පාර පනින විටත් ඇවිදින විටත් ඇගේ කිසියම් නොඉවසිලි ගතියක් හෝ ඉක්මනින්  මිනිසුන්ට නොපෙනී සැඟවී සිටින්නට යත්න දරන ගතියක් මට පෙනිණි. මුස්ලිම් යුවතියක් නිසා යයි සිතුනද ඇය පැමිණ කතා කල ආකාරය අනුව එසේ සිතීමටද නොහැකිය. පාර මාරු වී මද දුරක් ගිය පසු මා  කාරය නවතා සිටි පාර ආසන්නයට පැමිණ ඇයට සමු දුනිමි. විටින් විට පිටු පස, මග දෙපස බලමින් පැමිණි ඈ එක වරම වේගයෙන් මෙන් පිය මැන්නා ය. ඇය ඇවිද  ගිය වේගය මට පුදුම එලවන සුළු විය.  කිසිවකු ඇය ලුහු බඳින්නාක් මෙනි.

ඊළඟ සති කිහිපයේද ද ඇය මගේ ලඟින් හිඳ ගත් අතර අප දෙදෙනා එකට තේ බිමටත් දේශනා අවසානයේ එකට පිටවීමත් කළෙමු. මෙසේ සති කීපයක් ගෙවී ගිය අතර අප හොඳ අඹ යහළුවන් බවට පත්වී සිටියෙමු. සුදු ජාතික ඇන්ඩ්රු එක් දිනෙක හිමින් සීරුවේ මගෙන් ඇසුවේ අප දෙදෙනා පෙම්වතුන් ද කියායි. මම නැතැයි පැවසුවෙමි.
"ඒකනේ මම දන්නවා උඹ බැඳලා කියල ".
 ඔහු එය දන්නේ කෙසේදැයි සිතු මට,  ඒ පිළිබඳව අප සමග ඉගෙන ගන්නා භෞතික විද්‍යා ගුරිවරියක වන කැරන් ට එය කිවූ බව මතකයට නැගිණි.
"ලස්සන කෙල්ල, මම අහන්නද ඩේට් එකකට " ඔහු ඇසීය.
"ඉතින් අහපන්,  මගේ මොකෝ".  මම මදක් අමනාපයෙන් මෙන් පිළිතුරු දුනිමි.

ඊළඟ දිනයේදී ඇය  මා  සමග කතා කලේ ටිකක් ගස්සා  ගෙනය.
"ඔයා  මගේ මහා භාරකාරයද ?
 "ඇයි?"
"ඔයා ඇන්ඩ්රුට කීවද මාත් එකක් ඩේට් එකකට යන්න  කියල, පිස්සුද?"
"මුගේ හොම්බට එක්ක දෙන්න ඕනේ. මු මගෙන් ඇහුව මම ඔයාගේ පෙම්වතාද කියල. මම නැහැ කිව්වම ඇහුවා ඔයත් එක්ක ඩේට් එකකට යන්නද  කියල. මන් කිව්වා ඕන එකක් කර ගනින් මට මොකද කියල ".
ඇගේ මුහුණ එක් වරම අඳුරු වලා කුලකින් වැසුනාක් මෙන් කිසියම් ශෝකී  ස්වභාවයක් ගත්  බව දුටිමි.
"ඇත්තටම ඔයාට ගානක් නැත්ද ?"
මම මහත් ව්‍යාකූල භාවයකට පත් වුනෙමි.
"මට එයත් එක්ක ඩේට්  එකකට යන්න ඕන නැහැ. මං  එයාට කිව්වා." ඇය  ශෝකී ස්වරයක් ආරුඪ කර ගනිමින් පැවසුවාය.
මම ඇයවද ඇදගෙන දේශනා ශාලා පිහිටි පීඨ ගොඩනැගිල්ලෙන් ඉවතට පැමිණියෙමි.
එම ගොඩනැගිල්ලෙන් පිටතට වන්නට දකුණු අත පැත්තෙන් ශිෂ්‍ය ආපන ශාලාවය. වම් අත පැත්තේ ඇත්තේ විශ්ව විද්‍යාලය තුල තිබෙන පබ්  එක හෙවත් අවන්හලයි. එහි බියර් ආදිය එළියේ ඇති මිලට වඩා අඩු අතර , කෝපි තේ ආදී වෙනත් බිම වර්ගද විකුණති. එහි ඇති ලී බංකු වල වාඩි වී බොහෝ සිසුන් හා ගුරුවරුද සිසුන්ගේ යහළුවන් ද කෝපි හෝ බියර් බොමින් කතා කරමින් සිටීම සුලභ දැක්මකි.

මම කෝපි දෙකකුත් මිලදී ගෙන ඇය සමග අහල පහල කවුරුත් නැති කෙළවරේම බංකුවක වාඩි වුනෙමි.
"මම විවාහකයෙක්" ඇය දෙස එක එල්ලේ බලමින් පැවසුවෙමි.
"මම ඇහුවයැ " ඇය ද එක එල්ලේම පිළිතුරු දුන්නාය.
කීමට දෙයක් නොමැතිව මම මොහොතක් ඇය දෙස බලා සිටියෙමි.
"මට කැරන්  කිව්වා " ඇය සෙමෙන් තෙපළාය.
මා විවාහක සිසුවකු බව ඇය දැන  සිට ඇත.
"ඔයාගේ නම සියාමා නේද " මම ඇසුවෙමි.
මාස දෙකහමාරක් මුළුල්ලේ එකට හිඳගෙන දේශනා වල සිටියත්, එකට පිටව ගියත්, තේ බිබී , දේශනා වලදී ලැබුණු ගණිතමය ගැටළු ආදිය එක්ව  විසඳුවත් ඇගේ නම හෝ මම නොවිසීමි. ඇයද මා  පිලිබඳ පුද්ගලික කිසිම දෙයක් නොඇසූ බවද මට සිහි විනි.
"ඔව්. ඔයා දන්නවනේ ඒක නේද?"
"නැහැ මං  හිතුවා  ඒක වෙන්න ඇති කියල. ඔයා කෝස් වර්ක්  එකක්  භාර දෙනකොට නම ලියල තිබ්බ "
"ඔයාගේ නම ..."
"මට ප්‍රියාන් කියන්න "
"නමුත් ඔයාගේ නම වෙන එකක් නේද "
"නැහැ ඒ මම කෙටියෙන් භාවිතා කරන නම. මේ රටේ නම් හරි කෙටියි නේ. ඔයාට ප්‍රියාන් උච්චාරණය කරන්න පුළුවන් නේ."
"ඔව්. ප්‍රියාන්. මං ඒ නමට ආසයි . ගීතවත් ගතියක් තිබෙනවා."
මා නැවතත් ඇගේ පියකරු මුහුණත්, උරහිස උඩින් දමා තිබු කෙස් කළඹත්  දෙස බැලීමි.
"මම ලස්සනද " මගේ හිත කියෙව්වාක්  මෙන් ඈ ඇසුවාය.
"හරිම" කෙටි පිළිතුරක් දුනිමි.
ඇය සිහින් සිනාවක්‌ පෑවාය. එහි මුදු ගතියට මගේ සිත වෙලෙවි වී ගියේය.
"ඔයාට ආදරවන්තයෙක් ඉන්නවද" මා ඇසුවෙමි.
"BSc එක කරන කොට යහළු වෙලා හිටිය ඇඩම් එක්ක. කළු අප්‍රිකානු කොල්ලෙක්. හොඳ කොල්ලා  "
"ඉතිං  මොකද වුනේ "
"අවුරුදු දෙකක් විතර එයා එක්ක හිටිය. ඒ ගොල්ලන්ගේ ගෙදරත් ගියා"
"ඊට පස්සේ "
"අපෝ එයාලගේ පවුලේ කට්ටිය ප්‍රශ්න පන්සීයක් විතර අහන්න ගත්ත. මගේ ගැන, අම්ම තාත්තා ගැන. ඒක එතැනින්ම ඉවරයි."
"ඒ කියන්නේ ඔයා කොල්ලව හැලුවා. දරුණු ප්‍රාණයක් නේ ඔයා."
"මම දරුණුයි කියනවා නම් කොල්ලෙක් ඩම්ප් කළාට, ඔයා දරුණුයි කියන වචනේ තේරුම දන්නේ නැහැ " ඈ අමනාප වූ සෙයකින් පැවසුවාය.
"නෑ, නෑ මම විහිළුවට කිව්වේ. " කියුවෙමි.
"අද මට අදේවවාදීන්ගේ සංගමේ රැස්වීමකටත් යන්න  තියෙනවා. ඔයා එනවද? " ඈ  මගෙන් ඇසුවාය.
"ඒ කියන්නේ ඔයා  මුස්ලිම් නෙමේ. කොහොමද අදේවවාදීන් එක්ක එකතු වුනේ. මම බුද්ධාගමේ. මම දෙවියන් අදහන්නේ නම් නැහැ. බුද්ධාගමේ කොහොමත් මැවුම්කාර දෙවියෙක් නැහැ. නමුත් මම ඔය මිලිටන්ට් සංගම් වලට බැඳෙන්න අකමැතියි. ඒ ගොල්ල හරියට මුස්ලිම් අයට හෙම රණ්ඩුවට  කතා කරනවා වගේ බනින්නේ. අර හයිඩ් පාක් එකේ හෙම යන වාද මම දැකල තිබෙනවා. ඒ ගොල්ලයි , මුස්ලිම් අයයි, කතෝලික අයයි. " මම කියාගෙන ගියෙමි.
"ඔයාට තේරෙන්නේ නැහැ ප්‍රියාන්" ඇය  කිවාය.
"මොකද මට තේරෙන්නේ නැත්තේ. මගේ ෆේස් බුක් එකේ හෙම නොයෙකුත් ආගම් වල අය ඉන්නවා. ඒ ගොල්ලන්ගේ හිත රිදෙයි කියල මම අදේවවාදී ඒවා මුකුත් දාන්නෙ නැහැ. මම රිචර්ඩ් ඩොව්කින්ස් ට හෙම කැමැති  බව ඇත්ත. නමුත් ඩොව්කින්ස් වලියටමයි යන්නේ. බුද්ධාගමේ අයත් බොහොමයක් අය  දෙවි වරු අදහනවා. හින්දු අය එහෙම. මම අදහන්නේ නැහැ. නමුත් මම මුකුත් කියන්න යන්නෙත් නැහැ.  නිකන් රණ්ඩු  කර ගන්නේ මොකටද? ඒ ගොල්ල ඕන එකක් අදහ ගත්ත දෙන්." මා නැවත ඇය  හා වාද කරන්නට වීමි.
"ඔයා දන්නවද ඔයා මුස්ලිම් නෙමේ නම් ඔයා මිථ්‍යා දෘෂ්‍කයෙක් (infidel) හැටියට සලකනවා කියල.  "
"ඔව් මම අහල තියෙනවා. "
"එතකොට ඒ මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ගැහැණු උදවිය තමන්ගේ වහලියන් හැටියට ගත හැකියි කියලත්, ඔවුන්ව ලිංගික වශයෙන් යොදා ගැනීමටත් අවසරයි කියලත්  අහල තියෙනවද? "
"නැහැනේ. මන් එහෙම එකක් දන්නේ නැහැ "
"මාව අදේවවාදී සංගමයට අරන් ගියේ ඇනා. අපේ බැච් එකේ හිටියේ. අපි දෙන්න කතා කරනවා නිතරම. ඇඩම් ගෙන් පස්සේ මම ඇනා එක්ක යාළු වුනා. " ඈ එක් වරම පැවසුවාය.

"මොකක්, ඔයා  සම රිසිද ද්වි -ලිංගික ද  (bi-sexual)? " මම විමතියෙන් මෙන් සිනහ වෙමින් විචාළෙමි.
"මම එහෙම ලේබල් එකක්  ගැන කල්පනා කලේ නැහැ. ඒක ස්වභාවිකව වගේ  සිද්ධ වුන දෙයක්. අපි දෙන්න හුඟක් ලං වුණා. මම එයාගේ කාමරයට ගියා. සමහර වෙලාවට හිටිය එකට. එකට ට්‍රිප් ගියා. අපි දෙන්නම තාරකා බලන්න ආසයි . වරු ගණන් ග්‍රිනිච් වල ග්‍රහලෝකාගාරේ තියෙන තණ  පිට්ටනියේ, සවුත්-එන්ඩ්-ඔන්-සී වල වෙරළේ තාරකා පිරිණු රෑ වල ඉඳන් හිටිය.  මොකද? අපේ බංගලා එවුන්ට වගේ ඔයාටත් නලියන ලෙඩක් හැදෙනවද ඒක කිව්වම" ඇය සැරෙන් මෙන් ඇසුවාය.

"අපොයි නැහැ. අර දේශන වල අපි ඉන්න බංකු වලම කෙලවරේ සාමාන්‍යයෙන් ඉඳ ගන්න ඒමි සම රිසි ගැහැණු ළමයෙක්. එයාගේ පෙම්වතිය කොරීන් ඉඳ හිට එනවා අපිත් එක්ක පබ්  යන්නත්. දෙන්නම හරි හොඳයි. මගේ යාලුවෝ. එහෙම  ප්‍රශ්නයක් නැහැ මට. කෝ දැන් ඇනා?".
" ඇනා BSc එක ඉවර වුණාම බෙල්ජියම් ගියා. එයාගේ අම්ම ප්‍රංශ, තාත්තා ජර්මන්. ඉන්නේ බෙල්ජියම් වල. එයාට එහෙ පෙම්වතියක් ඉන්නවා. අපි තවම ඊමේල් වලින් කතා කරනවා. අපි හොඳ යාළුවෝ. හැබැයි මොකද ඔයා  නිකං සමච්චලේට වගේ හිනා වුනේ. " නොසන්සුන් ස්වරයෙන් සියාමා නැවත විචාලාය.

"සමච්චලේටම නෙමේ සියාමා. දැන් බලන්න. විශ්වාස කරන්න අමාරු කතාවක්  ඔයා කියන්නේ.  ඔයා මුස්ලිම් යුවතියක්. බංග්ලා දේශ් කියන ටිකක් තද අන්තවාදීන් සිටින රටකින් ඇවිත් ඉන්නේ.  මට මුස්ලිම් යාලුවෝ ගොඩක් ඉන්නවා. තුර්කි අය තමා ඒ අයගෙන් ගොඩක්ම විවෘත කට්ටිය. වැඩිය ආගම  ඔලුව උඩ තියා ගන්නේ නැති. තුර්කි අයට නම් හැම වර්ගයෙම යාලුවෝ ඉන්නවා. බංගලා අය එහෙම කරනවා අඩුයි. ඔයා  මා  ගාවට ඇවිත් කතා කරාම මට හිතුන ඔයා බොරු සබකෝලය නැති කෙල්ලක් කියල. හැබයි ඊට පස්සේ ඔයා  කියනවා ඔයාට කළු අප්‍රිකන් පෙම්වතෙක් හිටියලු.  මං දන්නා දෙමල යුවතියකට කළු පෙම්වතෙක් හිටිය. ඔවුන්ගේ ගෙදරින් හැමදාම ප්‍රශ්න. කොච්චර එංගලන්තේ හිටියත් ඒ දෙමළ අම්මයි තාත්තයි කළු කොල්ලට විරුද්ධයි. ජාතිය පිලිබඳ ප්‍රශ්නය. මට ඇත්තටම හිනා. මොකද ඔවුන් ලංකාවේදී මහ ජාතියේ සිංහලයන් ඔවුන්ට එරෙහිව ජාතිවාදීව කටයුතු කරනවා යැයි කියමින් මෙහිදී කළු පිරිමියෙකුට එරෙහිව තමන් විසින්ම එසේ හැසිරීම නිසා".

"ඉතින් මොකක්ද මට තියෙන සම්බන්ධය " ඇයට තරහ ගොසිනි.

"සියාමා, ඒ දෙමළ  ක්‍රිස්තියානි අය හැසිරෙන්නේ එහෙම නම් ඔයාගේ දෙමව්පියන් කොහොම හැසිරෙනවා ඇත්ද? අනික ඔයා කියනවා ඔය සමරිසි සම්බන්ධයකුත් තිබුන කියල. එහෙම එකක් තිබුන නම් ඔයාගේ දෙමව්පියෝ කොහොම සලකයිද ඔයාට? ඔයාගේ ඔය වගේ වගේ නිදහස් හැසිරීම සම්ප්‍රදායික ඔවුන් මුස්ලිම් දෙමව්පියන් යුවලක් නම්  ඒ දිහා බලන්නේ කොහොමද? "
"විශ්වාස කරන්නා අමාරු කතා තව කොච්චර තියෙනවද ? මගේ දෙමාපියෝ කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා ඇති. නැත්නම් කොහේ හරි ඉපදිලා ඇති ඔයාගේ ආගමට අනුව " ඇය  සෙමෙන් කීවාය.
"අහ් ..සමාවෙන්න සියාමා. ඔයාට එච්චර වයසක් නැති නිසා මට හිතුනේ නැහැ එහෙම දෙයක්"
ඇගේ රවුම් පියකරු නෙත් කඳුලින් බර වුනු මට පෙනිණි. මා  වාද කරමින් කලේ අනවශ්‍ය වැඩක් යයි සිතුනි.
"මට සමා වෙන්න දෙමව්පියන් සිහි කළාට " ඇගේ අතක සුලැඟිල්ල  අල්ලා ගනිමින් පැවසීමි.  ඇය අත වනමින් නැහැ කියන්නාක් මෙන් සංඥාවක් කලාය. ඇය හැඟීම්  සමුදායක් තෙරපා ගනිමින් සිටින බවක් මට වැටහුණි.
නැත. එය දෝරෙ ගලා උතුරා  ගියේය.

ප්‍රථමයෙන් සෙමින් සෙමින් හැඬීම පටන් ගත්  ඇය ඉන්පසු ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය.  අසල බංකුවක සිටි යුවතියන් දෙදෙනෙකු නුරුස්නා බැලුම් හෙළුහ. ඔවුන් සමහරවිට මගේ වරදක් නිසා ඇය හඬනවා යයි උපකල්පනය කරන්නට ඇත.  ඒ ලඟම  සිටි සිසු යුවලක්ද අප දෙස බලනු දුටිමි.
"සියා, අපි දිහා කට්ටිය බලනවා. මට තේරෙනවා. මම සොරි කිව්වනේ. අනේ අඬන්න  එපා. අපි නැගිටලා පොඩ්ඩක් ඇවිදිමු."
සියාමා කලේ ඇගේ මුදු දෑත් වලින් මගේ අත් තරයේ අල්ලා  ගැනීමයි. එසේ කරමින් මගේ දෑත මත හිස තබාගත් ඈ සිහින් හඬින් ඉකි බින්දාය. ඇගේ උරහිස් උඩට පහලට සෙලවෙන යුරු මම නිහඬව   බලා සිටියෙමි. මා  දෙස නුරුස්නා  ලෙස බලු යුවතියන් දෙදෙනා එවර බලන්නේ අනුකම්පා සහගත බැල්මකින් බව මට පෙනිණි.  එක යුවතියක් "යූ ඕකේ " යයි දැනෙන ලෙස මුවෙන් ඇඟවීමක්  කලාය. මම එසේ යයි හිස වනමින් සංඥා කලෙමි.
එක්වරම නැගී සිටි සියාමා "අපි යමු කීවාය". මම ඇය දෙසට ගොස් ඇගේ බඳ වටා අත යවා මා  දෙසට ලං කර ගතිමි. එය බලා  පොරොත්තු වූවාක්  මෙන් ඈ  මගේ උරහිසට හිස තබාගෙන හේත්තු වී ගෙන ඉවතට පිය මනිමින්,
"මට දේශන වලට  යන්න  බැහැ."යි  සෙමින් කනට කොඳුලාය.
"ඔයාව ගෙදර ඇරලන්නද" මම ඇසුවෙමි.
"එපා. මම පුස්තකාලෙට යනවා. ඔයා දේශන වලට යන්න. දැන් පරක්කුත් වෙලා. අනික මරේ කැමති නැහැ පරක්කු වෙලා එනවට. ඒක අමාරු විෂයනේ "
මහාචාර්ය කා..... මරේ යනු නාසාහි කැසිනි නැමති සෙනසුරු ග්‍රහයා  බලා ගිය යානයේ මෙහෙයුම් මණ්ඩලයේ සිටි තාරකා විද්‍යඥයෙකි.  සෞර ග්‍රහ මණ්ඩලය හා සුර්යයා ගැන ඉගැන්වීම කල ඔහු තරමක් තද ගති ඇත්තෙකි. පමාවී එන විට ඔහුගේ ඇහි බැම  ඉහල යයි.
"ප්‍රශ්නයක් නැහැ. ඔයා අඬපු  විධිහට මට ඔයාව දාල යන්න හිතෙන්නේ නැහැ. "
අපි දෙදෙනා අලුතින් ගොඩ නැගූ පුස්තකාලයට පිවිසුනෙමු. ශිෂ්‍යයන් විභාග කාලයේ පාඩම් කිරීමට යොදා ගන්නා කුටියක් වැනි දෙපැත්තම වැසුන කියුබිකල් එකක ඇය හිඳ  ගත්තාය.
"ඔයා ඉවර වෙලා එන්න. ඔයා මතක් කරපු හින්දම නෙමේ මට ඇඬුනේ. මම හැමදාම අඬන කෙනෙක්. ඉගෙන ගන්න වෙලාව  ඇරුනහම"
ඇය ඉන්පසු තාරකා ගැන ලියු පොතක් පෙරලා ගත්තාය.
ඇගේ හිස සෙමෙන් පිරිමැද මම එතනින් නික්මුනෙමි.

මින් පසු මට ලියන්නට වෙන්නේ  ඉදිරි මාස හත අට මුළුල්ලේ ඈ කිවූ ඇගේ ජිවිත කතාවේ දුක්මුසුම කොටස්ය. අප හමුවූ තැන් ගැන සුන්දර මතකයන් නොවේ. ඒවා දුක්බර මතකයන් පමණි.

..............................
(මේ පළමු කොටසයි. මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)


දෙවන කොටස 




Monday, 22 June 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 5

// කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර "කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය" නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම "ලෙනින් නැවතත්""නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක් "   පොත්වල සම කතුවරයායි."වර්සෝ පොත්" වෙබ් අඩවියේ කතුවරයා සේම "ඓතිහාසික භෞතික වාදය " සඟරාවේ කතෘ මණ්ඩලයේ සේවය කරන සෙබස්තියන් බජන් "ජැකොබින්"සඟරාව සඳහා   කූවෙලකිස් සමග සම්මුඛ සාකච්චාවක් කළේය.//


ඔබට "වමේ වේදිකාවේ " ප්‍රධාන ප්‍රකාශකයෙකු වන  පනගියෝටිස් ලෆද්සානිස්  ගැන කියන්න පුලුවන්ද ටිකක්?

ඔව්, ඔහු ප්‍රධාන පෙලේ කෙනෙක්. මේක ශක්තියක් වගේම දුර්වල  කමක්.  සිරිසා කියන්නේ නායකයෙකු වටා බිහිවුන එහෙම නැත්නම් නායකයා මධ්‍ය ලක්ෂය කර ගත්ත පක්ෂයක්, නමුත් එහි (සිරිසා හි) ප්‍රධාන කොටසක් වන  "වමේ වේදිකාව" (Left Platform), හරියටම කිව්වොත් "වමේ ධාරාව "(Left Current)  පුද්ගල - මධ්‍ය  සංවිධානයක්.  ඇත්ත වශයෙන්ම ඇන්ටොනිස් ඩුවනෙලොස් (DEA   හි) ප්‍රමුඛ කෙනෙක් තමා , නමුත් ජාතික තලයේදී ලෆාද්සනිස් ඉතා වැදගත් භූමීකාවක සිටිනවා. ලෆාද්සනිස් කියන්නේ ඒකාධිපතිවාදයට එරෙහි සටනේදී ඉදිරිපෙළ සිටි ක්‍රියාධරයෙක්. ඔහු ඒකාධිපති පාලන කාලය මුළුල්ලේම අත් අඩංගුවට පත් නොවී බේරී සිටි, ගණනින් දහයටත් අඩු තරුණ කොමියුනිස්ට් කේඩරයන් ගෙන් කෙනෙක්. ඒ පරම්පරාවේ සිටි ඉතාමත් දුර්ලභ  ගණයේ කේඩරයෙක්.

ඔහු 1970 දශකයේ හා 80 දශකයේ KKE එකේ ඉදිරියට පැමිණුනා. පොලිටි බියුරෝ එකේ සාමාජිකයෙක් වගේම KKE හි 1973 සිට 1989  සිටි ඓතිහාසික මහා ලේකම් හරිලඔස් ෆ්ලොරකිස් ගේ ලඟින්ම සිටි කෙනෙක්. 1991 විභේදනයේදී  දී ප්‍රධාන තැනක් ගනිමින් ඔහු පක්ෂයෙන් අයින් වුනේ නායකයන් බොහෝ දෙනෙකු සමග .

ලෆාද්සනිස් ගේ විශේෂත්වය තමා අනිත් අය දකුණට පාවෙද්දී, වඩාත් විස්තර කර කියනවා නම්, හුඟ දෙනෙක් සිනස්පිස්මොස් හා සිරිසා  අත හරිද්දී , ද්‍රගස්කිස් වගේ අය වඩාත් දක්ෂිනාංශික ස්ථාවරයක් ගනිද්දී, ලෆාද්සනිස්  ප්‍රබල මාක්ස්වාදියෙකු වෙමින් නමුත් ස්ටලින්වාදයෙන් තීරණාත්මක ලෙසින් වෙන්වීමයි. (එසේම අපි මතක් කර ගන්න  ඕනේ ඔහු 1970 හා 1980 අවධි වල වසා දැමුණු ගේට්ටු පිටුපස සිටි KKE නායකත්වය තුල සෝවියට් දේශය දැඩි ලෙස විවේචනය කල අයගෙන් කෙනෙක් ලෙස.)

ඒ කාලේ KKE එක තුල සිටි හුඟක් අය සැක  කළා ලෆාද්සනිස්  රහසිගත යුරෝකොමියුනිස්ට් වාදියෙක් කියල. ඔහු ග්‍රම්චිව ගැඹුරින් කියවා ඇති බව ප්‍රසිද්ධ රහසක්. නමුත් මේ විස්තර සියල්ල ඉතා සැඟවුණු ආකාරයෙන් පැවති  අතර ඔහු එළිපිට පක්ෂයේ නිත්‍යානුකුල ස්ථාවරය ට පක්ෂව සිටියා . 

ග්‍රීක මාධ්‍ය මගින් ලෆාද්සනිස් ව හඳුනාගෙන පහර ගසන්නේ ඔහු දැඩි මතධාරියෙක් වශයෙන් හැඳින් වෙන නිසා. දක්ෂිනාංශය හා පවතින ක්‍රමයට පක්ෂ බලවේග ඔහුට වෛර   කිරීමට කැමති අතර නිරන්තරයෙන් ගර්හාවට පත් කරනවා. ඔහුව පෙන්වන්නේ යුරෝ-විරෝධී මහතා (Mr Anti-Euro)  සහ යුරෝ සංගමයෙන් කඩාගෙන යන සිරිස කාරයා (Mr Break-with-the-EU of Syriza) යනුවෙන්.  ලඟම  උදාහරණයකට ගත්තොත් සිරිස හා ඩිමාර් (Dimar) අතර සාකච්චා බිඳ වැටුණු ගමන්ම වගේ ප්‍රධාන දිනපතා පුවත් පත වන "ටා  නෙයා"  (Ta Nea) නම සඳහන් නොවන කතුවැකියක් ලිව්වා මෙහෙම නම් කරලා  "ග්‍රීක වැසියනි, පරිස්සම් වන්න. ඔබ සිප්‍රස් ට චන්දය දුන්නම, පක්ෂය සැබවින්ම පාලනය කරන්නේ ලෆාද්සනිස්".

යමෙක් වටහාගත යුත්තේ මාධ්‍ය සහ දේශපාලන ප්‍රභූ පන්තිය මෙන්ම අධිපති පන්තිය සිරිසාට මෙපමණ සතුරු වන්නේ, සිරිසා තුල ඉතා ප්‍රබල වමේ ධාරාවක් තිබෙන නිසා බව. සිප්‍රස් මේ ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි. මේ නිසා තමා පත්තර හෙඩිම්  වල කියන්නේ "සිප්‍රස් , පපන්ද්රොව් කළා  වගේ කරන්න " යනුවෙන්. ඒ කියන්නේ අභ්‍යන්තර විරෝධතාවයන් මුලිනුපුටා දමා නියම නායකයෙක් වන්න. ඒ කියන්නේ පිස්සු වාම වාදීන් (loony leftists)  හා දැඩි මතධාරීන් එලවා  දමන්න.

අපි KKE එක ගැනත් මතක් කරපු නිසා පොඩ්ඩක් කතා කරමුද ඒ ගැන, මොකද ජනතාව කුතුහලයෙන් සිටිනවා ඒ ගැන. කොයි තරම් දුරට ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය බුද්ධිමත් ද, තාර්කිකද ? එහෙම නැත්නම් මේ සිය දිවි නසා ගැනීමක්ද?

මං  හිතන්නේ දෙකම.  KKE දැනට යෙදෙවී සිටින්නේ පක්ෂ මැෂිම ක්‍රියා කර තබා ගැනීම් කාර්යයේ, පක්ෂය මේ දේශපාලන ගංගාවේ ගිලෙන්නේ නැතුව උඩ තබා ගන්න එක. ඒ ගොල්ලන්ගේ සිහිනය තමා 2009 තිබු තත්වයට යාම ඒ කියන්නේ වමේ රැඩිකල් දේශපාලනයේ වඩාත්ම බලපෑම් කල පක්ෂය වීම. ඔවුන්ට ඕනේ 7-8% චන්ද ප්‍රමාණයක් හා සමහර අංශයන් (දේශපාලනිකව) හැසිරවීමට .

මේ පක්ෂයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය  හුගක් දක්ෂිනාංශිකයි, ඒ නිසා KKE හි අභ්‍යන්තර ස්වභාවය හා "තුන්වෙනි කාල  පරිච්චේදය " (Third Period) වැනි වාගාලංකාර සමග ලොකු පරතරයක් ඇති කර තිබෙන අතර KKE හි මතු පිට පෙන්වන බොරු ආටෝපයත් එයයි.   (The Third Period is an ideological concept adopted by the Communist International (Comintern) at its Sixth World Congress, held in Moscow in the summer of 1928. - wikipedia)
මේ දේශනා වල විප්ලවවාදී වගාලංකාර වල, සමාජවාදය, වැඩ කරන පන්තිය, වැඩකරන ජනතා  බලය ආදිය ගැන  නිරන්තරයෙන් සඳහන් කරන මුත් KKE සහමුලින්ම අකර්මණ්‍ය වෙලා හිටියේ පසුගිය අවුරුදු කීපයම.
ඔවුන් ඉතා මුලික මට්ටමේ ජනතාව රැස්  කිරීමේ ක්‍රියාවලීන්ට සැම විටම විරුද්ධ වුණා. 2011 වසන්තයේ පැවති නගර චතුරශ්‍ර අත් කර ගැනීමේ ව්‍යාපාරයට ඔවුන් පිස්සුවෙන් මෙන් විරුද්ධ ව කටයුතු කලේ එය කොමියුනිස්ට් විරෝධී කුමන්ත්‍රණයක් යයි කියමිනුයි. ඒ නිසා මෙය මුලික වෙනස් කම් වලට අකමැති දැඩි දක්ෂිනාංශික (මෙයින් අදහස් කරන්නේ වාමාංශයේ දක්ෂිනංශය) පක්ෂයක් .

මේ ඓන්ද්‍රිය ලෝක දැක්මක්ද? නායකත්වයේ ඒකාධිපතිවාදී බලයෙන් නෙමේද මේ වගේ දෙයක් බලයෙන් පවරන්නේ?

බලයෙන් පවරලා තමා , නමුත් KKE එකේ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබෙනවා වගේම ඔවුන් සාදා තිබෙන්නේ ඉතා සංවිධිත පක්ෂයක්. ඔවුන් කිසි කම්පාවක් නැතිව සියලුම විරුද්ධ මත දරන්නන් එළවා  දමා පක්ෂයේ බලය  තබාගෙන සිටින්නේ. මම සැක කරනවා ලඟදි එන මැතිවරණ වලින් ඔවුන් දුර්වල ප්‍රතිඵල ගත් විට එයින් දැඩි බලපෑමක් ඇති වේවි කියල.

ඔවුන්ගේ අවසන් වරට 2013 අප්‍රේල් මස පැවැත්  වූ සම්මේලනයේදී තදබල අභ්‍යන්තර ප්‍රශ්න පැවතියත්, නායකත්වය ඒවා දුරු කිරීමට සමත් වුන නිසා මම හිතනවා  හැම දෙයක්ම තීරණය වන්නේ ඉදිරියේ ඇතිවන තත්වය මත කියල. KKE  හි සම්පුර්ණ දැක්ම හා අන්තවාදී වමේ කොටසක් සූදු කෙලින්නේ සිරසාහි අසමත්කම හා පාවාදීම වේය සිතමින්.  තමන්ගේ ස්වයංසන්තර්පණය සඳහා අනාවැකියක් සමගම, ඔවුන් ඉල්ලා සිටිනවා එය.

මේ දෘෂ්ටිකෝණය කිසියම් භූමිකාවක් රඟ  පෑව සහ අපි එය සලකා බැලිය යුතුයි.මම කියන්නේ නැහැ සිරිසා නායකත්වය තමන්ගේ වගකීම් වලින් නිදහස් කළ  යුතුයි කියල.   කාරණය තමා  මේ බලවේග තමන්ට හැකි සැම  දෙයක්ම කලා සිරිසා කොන් කරන්න රැඩිකල් වාමාංශික බලවේග වලින්, මේ නිසාම දේශපාලන ස්ථාවරයේ යම් මැදහත් වෙනස් වීමක් සහ පක්ෂයේ ප්‍රවේශයේ වෙනසක් සිදු වුනා.

(ඔවුන් - KKE සහ අන්තවාදී වාමාංශය) දාල තිබෙන ඔට්ටුව තමා සිරිසා ඉදිරියේදී ලබන පරාජය හමුවේ ජනතාව වඩා රැඩිකල් වෙලා ඔවුන් තමන්ව ප්‍රති-සංශෝධනවාදී මායාවෙන් මුදා ගැනීම කියල, නමුත් ග්‍රීක සමාජය මෙය සම්පුර්ණයෙන්ම  ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දකිනවා මේ ඇවිල්ල සම්පුර්ණයෙන්ම වගකීම් විරහිත ඉතාමත් උම්මත්තක ස්ථාවරයක් කියල. ප්‍රතිඵලය තමා බලවේගයන් නාස්ති කිරීම. එය වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී තත්වය වඩාත් උණුසුම් වුනොත්.


(සිරිසා හි  ජයග්‍රහණයෙන් ඉහත වාක්‍යය නිවැරදි බව ඔප්පු වුනි - පරිවර්තක )

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 4

Wednesday, 17 June 2015

නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම

ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ.ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් තේ ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා.

මහා ජාතියකින් සුළු ජාතියකට පීඩනයක් එල්ලවන බව අප දන්නවා. බහුතර පිරිසක් කොතැනක හරි සිටියොත් ඉන් සුළුතරයකට බල පෑමක් එල්ල වන බව වෙනත් රටවල් වල සේවය කරන විට වඩාත් වැටහෙනවා. මේ මිනිසුනුත් එසේ වෙනත් රටකට පැමිණ එය තමන්ගේ වාස භූමිය කර ගනිමින් එහි ප්‍රධානම අපනයන භාණ්ඩයක කොටස් කරුවන් වුනා. ඒ අතර සුළුතරය නිසා ඇතිවන හිරි හැර වලටත් මොවුන්ට මුහුණ දෙන්නට සිදු වුනා. මොවුන්ට "අති බලවත්" දෙමල ඩයස්පෝරාවේ සහය නැහැ. ඩයස්පෝරාවේ කුලීනයෝ , බලවන්තයෝ මොවුන් දිහා බලන්නේ නැහැ. යාපනේ කුලිනයන්ට වුනත් මොවුන් තවත් පහල පන්තියක අය විතරයි. ප්‍රභාකරන්ගේ අරගලය යාපනයේ කුලීනයන්ට එරෙහිවත් සිදු වුණා එක ප්‍රමාණයකට. මොවුන්ගේ අසරණකම ඒ අරගලයටත් බිල්ලට දෙන්නට සුදුසු  කට්ටියක් නිර්මාණය කෙරුව එක විතරයි සිද්ධ වුනේ. 
මහා ජාතියේ ජාතිවාදය තිබුනත් ඒ බිල්ලා පෙන්වමින් මොවුන් මුලා කරමින් තමන්ගේ මඩිය පුරවා ගන්න තව කොටසක් ඉන්නවා. ඒ ජාතිවාදී සුළු ජාතික දේශපාලනඥයන්. තොන්ඩමන් පරම්පරාව මේ අතින් මුල් තැන ගන්නවා. තමන්ගේ පරම්පරාව හොඳට හැදුව මිස තොන්ඩමන්ලා  හා ඔවුන්ගේ වතු කම්කරු සමිති වතු කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් බොහොමයක් දේ කලාය කියල කියන්න අමාරුයි.
එක ප්‍රශ්නයකට තියෙන්නේ මේ මිනිස්සු දැනුවත් කරන්න විධිහක්  නැති වීම.  ජාතිවාදය අවුස්සන හොරුන්ගේ බහට නැමි  සිටින්න ඔවුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවේ වාමාංශික පක්ෂ සුළු ප්‍රමාණයකට ඔවුන් අමතන්න පුළුවන් වුනත් ඔවුන් අතර වැඩි බලයක් නැහැ.

ඒ අඩුපාඩුව නැති කිරීමට එක පියවරක් අපි ගන්න ලෑස්තියි. නෙලුම් යායේ  දෙමළ  භාෂාවෙන් පලවෙන වෙබ් අඩවිය "තාමරෛ  කුලම්" (නෙළුම්  වැව)  මේ ජුලි මස විවෘත කරනවා. ඉන් පස්සේ බොහෝ සිංහල බ්ලොග්වල සාධනීය ලිපි ආදිය  දෙමළට පරිවර්තනය කිරීමටත්, දෙමල බ්ලොග් ලිපි සිංහලට පරිවර්තනය කිරීමටත් බලා පොරොත්තු වෙනවා.
තලවකැලේ "අඩයාලම්" සංවිධානය විසින් කාන්තා  ක්‍රිකට් උත්සවයක්  සංවිධානය කරනවා මේ සඳහා.  ඊට අමතරව අඩයාලම් කට්ටිය හා නෙලුම් යාය බ්ලොගර්ස් ලා  අතර 20-20 ක්‍රිකට් තරඟයකුත් සංවිධානය කරනවා.එනිසා නෙලුම් යාය සහෘද සමුහය, ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ මිතුරි මිතුරියන්ටත්  ආරාධනා කරනවා මෙයට එක්වන්න  කියා.
ජුලි 11 සෙනසුරාදා උදේ එහෙ යන්න. එයාලගේ ක්‍රිකට් මැච් එක  උදේ 11.00 ඉඳන් තියෙනවා. 11 වැනිදා උදේ  9.00/10.00  වෙද්දි තලවාකැලේට යන්න පුළුවන්. ගිහින් ඒ අයත් එක්කම 11 රෑ එහේ ඉඳලා සින්දුවක් කියලා බජව්වක් දාල විනෝද වෙලා ජුලි 12 අපේ වෙබ් එක විවෘත  කරලා එන්න ඉරිදා අපහු  රෑ 07ට 08 ට විතර.

 නෙළුම් යාය  විසින් බස් රථයක් ඒ සඳහා සංවිධානය කරලා තිබෙනවා  කට්ටියටම තලවකැලේ  යන්න. කෑම බීම වියදමත් අපි දරනවා. රාත්‍රී නතරවෙන්න වෙන්නේ ඒ අය  ඉන්න තැන්  වලමයි. ටිකක්  නවීන වුනු නිවෙස් කීපයක් සංවිධානය කරන්න පුළුවන් කියා සංවිධායකයෝ කිව්වා. බස් රථයේ තව ඉඩ තිබෙනවා.

අපට දැනට විදුහලකට සුදු බෝඩ් එකක් හා තවත් තෑගි කීපයක් ගන්න  කටයුතු කරනවා. පැතුම් හේරත් (බිත්තිය බ්ලොගය) , ප්‍රගීත් අනුරාධ (ඉවාන් පව්ලුශා ) සහ මම (මෙය ලියන) මුදලින් ආධාර කලා තෑගි ගන්න .

මෙයට සහභාගී වෙන්න කැමති බ්ලොග් කරුවන් කරුණාකර ලන්කා ඩේලි හි හිමාශි කරුණාරත්න ට  himashimedia@gmail.com ට හරි කලාහිත බ්ලොගය ලියන බ්ලොග් සංසදයේ ලේකම්  කල්‍යාණමිත්‍ර (සුමිත් කලනසිරි) sumithky@yahoo.com - 0778755293 ට හරි දන්වන්න. 

Friday, 12 June 2015

ඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම හා සමාජවාදී නිවාස

ඇමති චම්පික රණවක ඩිසල් මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවට පුවතක් දුටිමි. ලංකා විදුලි බල මණ්ඩලය  ඩිසල් තාප බලාගාර වලට  ඉතා විශාල මුදලක් ගෙවයි. ඒ අතර ඉහත ඇමතිවරයා ම බයිසිකලයකින් යන දර්ශනයක් ද දුටිමි. මට හිතෙන්නේ මෙයට වෙනස් විධිහකට බලාගාර වසන්නේ නැතිව තරඟය අඩු කර පාරිභෝගිකයා ගෙවන විදුලි මිල අඩු කර ගැනීමක් කල යුතු බවයි. ඒ හදිසියකට හෝ ඔවුන් (ඩිසල් බලාගාර )  ඕනෑ විය හැකි බැවිනි.
රයිගම් හන්දියේ රයිගමයා  කීප වතාවක්ම සුර්ය බලයෙන් විදුලිය ඉපදවීම ගැන ලියා තිබේ. ඔහුගේ නවතම ලිපිය මෙතන ඇත.  පරණ නැගෙනහිර ජර්මනියට අයත්ව තිබු දැන් ජර්මනියේ තුරින්ගියා  ප්‍රාන්තයේ  ධනවාදී රටක සමාජවාදී ගමක් ගැන මින් පෙර  පැවසුවෙමි. එයට මෙතනින් යන්න.  මගේ බිරිඳගේ සොයුරිය හා ස්වාමි පුරුෂයා ඉන්නේ මේ ගමේය. ඔවුන්ගේ තට්ටු පහක නිවසේ යටම තට්ටුව (underground level) වෙන් කර තිබෙන්නේ තාපය නිපදවන  උදුනකටය. ඔවුන්ගේ වහලේ  සුර්ය කෝෂ තහඩු (සුර්ය පැනල) සවි කර තිබේ . කෑම  පිළියෙළ කරන විට නිපදවෙන තාපය ප්‍රධාන පයිප්ප ජාලයට සවි කර තිබෙන්නේ ඒ තාපයෙන් ප්‍රයෝජනය ගෙන නිවස උණුසුම් කිරීමට හා වතුර උණුසුම් කිරීමටය. ඊළඟට ඉවත ලන ආහාර , කඩදාසි ආදී ඓන්ද්‍රිය (ඔර්ගනික) අපද්‍රවය පහල තිබෙන උදුනට දමා  ඒවා දහනය කර එයින් නිවසට අවශ්‍ය තාපය ලබාගැනේ ( වතුර උණු කිරීම ආදියට). මේ උදුනටම වත්තෙන් ලැබෙන දර ද භාවිතා කරනු ලැබේ. ඉතින් ඔවුන්ගේ විදුලි වියදම හා ගෑස්  වියදම ඉතා අඩුය. උඩම තට්ටුව සිත කාලයට මදක් සීතල වුනත් එහි සිටින  නිවසේ තරුණ ළමයිනට එය ගණනක් නැත . උඩට යනවිට ජලය සීතල වෙන නිසා වැසිකිලි හා නන කාමර ඇත්තේ පහලය.  ග්‍රීෂ්ම කාලයට සුර්ය තාප විදුලිය වැඩි නම් ඔවුන්ට එය  ප්‍රධාන ජාලයට  විකුණා මුදල් ලබා ගනී. ඒ නිසා ඒ පැත්තෙනුත් ආණ්ඩුවට අත  නොපා ජිවත් වෙන්නට හැකි වී තිබේ. නමුත් මේ සියල්ල කර ගැනීමට මුල් මුල්‍ය  ආධාරය දී ඇත්තේ ජර්මන් රජයෙනි. ගමේ අනිත් නිවාසයන්ද මේ ආකාරයට වෙනස් කර ඇත. මා මුලින් සිතා  සිටියේ සෝවියට් දේශයේ මෙන් නිවෙස්  සියල්ල රජයට අයිතිය කියායි. සොයා බැලු විට මෙහි තත්වය වෙනස්ය.

 සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු සියලුම පුද්ගලික නිවාස රජයට පවරා ගත් පසු, මුලදී හොඳින් සංරක්ෂණය වූ ධනවතුන් ගේ හා මධ්‍යම පාන්තිකයන්ගේ නිවෙස් වලට පදිංචියට පැමිණි ජනතාව ඒවා හොඳින් බලා  කියා ගත්තේ නැත. එසේ කිරීමට දැනුමක් හෝ සම්පත් තිබුනේ ද නැත. අනිත් කරුණ නම් ඒවා ආණ්ඩුව සතු නිසා ඒවා බලා කියා ගැනීමට  ජීවත්වූ කිසිවෙකුගේ උනන්දුවක් තිබුනේද නැත.  ඒ නිසා ඒ ගෙවල් පසු කලෙක ඉතා ජරාජීර්ණ වී ගියේය. ඉන්පසු 60-70 අවධියේ විශාල තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කරන තෙක් දැඩි නිවාස  හිඟයක් තිබුණි. ඒ නිවාසයන් රැක  බලා ගත්තේ ප්‍රාදේශීය සභා හා නගර සභා නිසා ඒවායේද අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්න තිබුණි. තමන්ට අයිති නැති නිසා ජනතාව උනන්දුවක් ගත්තේ ගෙවල් වල ඇතුලත හොඳින් තබා ගන්නට පමණි.  එකී නිවාස උණුසුම් කිරීමට නැවතීමකින්  තොරව ක්‍රියාත්මක වූ තාපකයන් නිසා බලාගාර නිපදවන තාපයද නාස්ති වුනි. විදුලියත් ඒ ලෙසම නාස්තිකාරී ලෙස භාවිතා වුනි.  න්‍යෂ්ටික බලාගාර වලින් එන විදුලියේ මිල ඉතාම ලාභ නිසා මෙය කිසිවෙකු ගණන් ගත්තේද නැත.
පරණ කියුබන් නිවසක්:
කියුබාවේ සමහර නිවාසත් මෙලෙසම ජරා ජිර්ණ බව දක්නට ලැබේ. ඒවා අලුත්වැඩියා කිරීමට කියුබානු රජයට මුදල් නැත. ඇමෙරිකානු සම්භාධක නිසා භාණ්ඩද නැත. රාවුල් කැස්ත්‍රෝ පසු ගිය අවුරුදු දෙකේ  සිට තමන් ජිවත් වන නිවෙස් වල අයිතිය කියුබනුවන්ට පවරා  දෙන්නට  පටන් ගත්තේය. දැන් කියුබානුවන්ට  නිවාස  විකුණන්නත්  පවරා දෙන්නටත් හැකිය. මේ ගැන සඳහනක් කරන එක් බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ දැන් කියුබාව නිවාස අයිති කර ගැනීමට ඉඩ දීමෙන් ප්‍රාග්ධනය නැවත ඇති කර ඇති නිසා කියුබාව ධනවාදී ගමනකට මුල පුරා  ඇති බවයි.

විකිනීමට ඇති කියුබන් නිවසක්:

නිවෙස් හිමියෙකු ගේ නිවසේ වටිනාකම ප්‍රාග්ධනය නම් ඔහු එම ප්‍රාග්ධනයෙන් සූරා කන්නේ කවුද?  ඔහු ගෙවල් කිහිපයක් මිලදී ගෙන , නැවත නැවතත්  විකුණා ලාභ ලබා කම්හලක් පිහිටුවා ධනපතියෙකු වුවහොත් එම තර්කයට එකඟ විය හැක. නමුත් වැසියන් බොහොමයකට තමන්ගේම  නිවස හිමි වීම ධනවාදයට යාමක්ද?

දැන් අර නැගෙනහිර ජර්මන් ගමේ හැම නිවසක් ම ඉතා හොඳින් රැක  ගෙන තිබුනේ ජර්මන් රජය නිවාස  පවරා නොගත් නිසාය. ස්ලාවෝයි ජිජැක් ඉපදී හැදී වැදුන පරණ  යුගොස්ලාවියාවට  අයත් ස්ලෝවෙනියාවේ නිවෙස් රජයට පවරා ගත්තේ නැත. ඒවායේ  අයිතිකරුගේ හිමිකම වෙනස් කලෙත් නැත. රටවල් දෙකේම  නිවාස  නැති අයට රජය විසින් තට්ටු නිවාස සාදා ලබා දුන්  අතර ඒවායේ අයිතියෙන්  භාගයක් රජය යටතේත් ඉතිරි භාගය නිවස හිමියා  යටතේත් තබා ගන්නා ලදී. මෙයින් සිදුවුනේ හොදින් රැක  බලා ගත් නිවාස  පද්ධතියක්  තවමත් තිබීමයි.  එංගලන්තයේ හවුසින් ඇසෝසියේෂන් වල ක්‍රියාත්මක වෙන්නෙත් මේ  ක්‍රමයමයි.
මාග්‍රට් තැචර් යනු මා  කැමති දේශපාලනඥයෙක් නොවේ. ඇය  අන්ත දක්ෂිනාන්ශයට අයත් අගමැති වරියක ලෙස පෙනී සිටියාය. නමුත් ඇගේ එක වැඩ සටහනකට මා කැමතිය. එනම් රජය යටතේ පැවති කවුන්සිල් ගෙවල් හෙවත්  සහනාධාර යටතේ දුන් රජයේ ගෙවල් එම වැසියන්ටම ඒවා අඩු මුදලකට මිලදී ගන්නට සැලැස්වීමයි. ඇය එය කලේ ඒවා නඩත්තුවට යන වියදම ඉතිරි කර ගැනීමට වුවත් බොහෝ අය ඒවා මිලදී ගෙන නඩත්තු කළහ. නැත්නම් දරුවන්ට දුන්හ.

දැන් ඉතින් මාතෘකාවට යමු.  මම  විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ  1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට  ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය  හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය. නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සද නිම කිරීමට තුබූ එය  අවුරුදු විස්සකට පසු (දැන් 2015)  පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම්  කල විදුලි ඉංජිනේරුවන්ගේ  සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීම නොව කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා,  පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.
මා  විදුලි ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබා එම රැකියාවේම වැඩ නොකලත් ඒ පිලිබඳ ඉමහත් උනන්දුවක් මට ඇත. ඒ නිසා අවුරුදු තුනකට ඉහතදී සුර්ය පැනල  නිවසේ වහලේ සවිකර විදුලි බලය නිපදවීම පිළිබඳව  සොයා බැලුවෙමි.  එතැනදී එය ඉතා මිල අධික බවත් එනම් පවුම් 20000 පමණ වැය  වන බවත් නිපදවෙන විදුලියෙන් මේ වියදම සපුරා ගන්නට අවුරුදු 25ක් ගතවන බවත් දැනගෙන ඉතාමත් අධෛර්යට පත්වුණෙමි.

නමුත් පසුගිය අවුරුදු දෙක තුල විදුලිය නිපදවන ක්‍රම ගැන විශාල වෙනසක් ජපන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරිම නිසා ඇතිවුනි.  ජර්මනිය න්‍යෂ්ටික බලාගාර  අඩු කරමින් වෙනත් මාර්ග වලින් විදුලිය ඉපදවීම වේගවත් කරන ලදී . නිවාස  හිමියන්ට ණය ආධාර ලබා  දෙමින් සුර්ය පැනල  මෙන්ම ඔර්ගනික අපද්‍රව්‍ය වලින් විදුලිය හා තාපය ලබා ගැනීමේ ක්‍රමවේදයන් අත්හදා බැලීමටද උනන්දුවක් ඇති කරන ලදී . දැනට මිලියන් 1.5 කට ආසන්න ෆොටෝවෝල්ටයික්  photovoltaics (PV)  පැනල ජර්මනිය පුරා සවි කර තිබේ. යුරෝපා සංගමය විසින් වෙනත් ආකාරයේ විදුලි උපදවන  ක්‍රම භාවිතා කිරීම වැඩි කිරීමට සාමාජික රටවලට බල  කරන ලදී.

 මේ නිසා බ්‍රිතාන්‍ය රජයටද  සුර්ය පැනෙල සවි කිරීම  සඳහා නිවෙස් හිමියන්ට ණය  ආධාර  දෙන්නට සිදු වුනි.  මින් සුර්ය පැනෙල විකුණන සමාගම් වැඩි  වීමත් මිනිසුන් ඒවා සවි කිරීම  වැඩි වීමත් සහ ඒවා සවි කිරීම  සඳහා වෙළඳ සමාගම්  බොහොමයක් බිහි වීමද සිදු වුනි. මේ උනන්දුවට  තව හේතුවක් වූයේ නිවැසියන් විදුලි පද්ධතියට හෙවත් ග්‍රිඩ් එකට දෙන කිලෝ වොට් එකකට පැන්ස  14ක් රජය මගින් ගෙවීමයි.
සවි කිරීම් වැඩි වීමත් සමග ගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍ය රජය විදුලිය නිපදවන ඒකකයකට ගෙවන මුදල 2015 සිට පැන්ස  13 ට අඩු කරන බව  ප්‍රකාශයට පත් කළේය. මේ නිසා නැවතත් සොයා බැලූ අපට පෙනී ගියේ සූර්ය පැනෙල වල ගාණ ඉතාමත් සිඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. චීනයේ නිපදවෙන ලාභ පැනල  පවුම් 5000ට අඩු වෙනුත්  (පැනල 16ක් සම්පුරණයෙන් සවි කිරීමට යන මුදල ) හොඳ වර්ගයේ පැනෙල පවුම් 8000 පමණ මුදලකටත් සවි කිරීමට හැක. ඒ අවුරුදු දෙකකට කලින් තිබු ගණනින් භාගයකටත් වඩා අඩු වීමකි.
 බිරිඳත් මමත් කලේ හොඳම පැනෙල මොනවාද කියා සොයා බැලීමයි.  සමාගම් කීපයකට පැමිණ අපට ක්වොටේෂන් (ඉදි කිරීමට මිල ගණන්) දෙන ලෙසද ඇරයුම් කළෙමු.
 අපි සොයා ගත් ආකාරයට චීන පැනල ලාභම ඒවා වන මුත් ඒවායේ තත්ත්ව වාර්තා ඉතාමත් දුර්වලය. ඒවා අවුරුදු 4ක් පමණ හොඳට වැඩ කලත් ඉන්පසු 50% පමණ ධාරිතාව අඩුවී විදුලිය නිපදවේ. කල් පැවතීම අතින්ද ඒවා ඉතා දුර්වල මට්ටමක පවතී. ඉන්පසු  අපි සොයා බැලුවේ මිල ගණනින් ටිකක් ඉහල  මැලේසියාවේ නිපදවන පැනල පිලිබඳවය. ඒවා තරමක් දුරට හොඳ අතර වසර 10 ක් පමණ මුළු ධාරිතාවයෙන් වැඩ කරයි. නමුත් සවිකිරීමට ලාභම චීන ඒවා බව කියමින්  බොහෝ සමාගම් අප පසුපස ආහ. ඇමෙරිකානු සමාගමකින් මැලේසියාවේ නිෂ්පාදනය කරන ඒවාත් හොඳ බව අපි දුටිමු. 

නමුත් ජර්මන් නිෂ්පාදන තත්වයෙන් ඉතා උසස් බව අප‍ට වැටහුනේ ජර්මන් වෙබ්සයිට් වලින් හා ඒවා නිපදවන කරමාන්ත ශාලා වලට කතා කිරීමෙන් පසුවය. ස්වීඩනය වැනි රටවල පවා  භාවිතා වන්නේත් ඒවාය. අවුරුදු 20 - 25ක පමණ කාලයක් තුල  සුර්ය කෝෂ නිපදවා ලබාගත් අත්දැකීම් වලින් පිරුණු ජර්මන් සමාගම් බොහෝ කල් පවතින සුර්ය පැනල හොඳින් නිමවති. අපි විසින් මිලදී ගත්  ඇන්ටාරිස් නමැති පැනල වර්ගය ඔවුන්ගේ කර්මාන්ත ශාලාවේ ඇති  පර්යේෂනාගාරයේ නොයෙකුත් තත්වයන්ට අනුව පරික්ෂණ සිදු කරමින් සැම විටම උසස් තත්වයෙන් නිමවීමට යත්න දරා තිබු බවත් මේ නිසා මේ පැනලයක් අවුරුදු 20කට පසුත් 95% ට වැඩ ධාරිතාවකින් වැඩ කරන බවත් ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට හැකිය. එසේම ඔවුන් අවුරුදු 30 කට නොමිලේ රක්ෂණයක් (ගැරන්ටි) පවා සහතික වෙති . එනම් අවුරුදු 30කට ආසන්න වෙත්  දී  80%  ධාරිතාවකින් විදුලිය නිපද වුවේ නැත්නම් ඔවුන් නොමිලයේම පැනල් එවන බවට ලිඛිතව පොරොන්දු වෙති. බොහෝ අය අපට කීවේ එංගලන්තයේ හිරු එළිය ඇති කාලය අඩු  නිසා මෙලෙස විදුලිය නිපදවීම ලාභයක් නැති බවයි.  නමුත් අප කලේ ඒ පිලිබඳ උපදෙස් දෙන අය සමග එක්ව ගණනය කිරීමයි. මේ ගණනය කිරීමේදී,  අප නිවසේ දහවලට නොසිටින කාලය අතර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙන අතරේදී අප විසින් දහවල හෝ හවස වොෂින් මැෂින්, ඩිෂ් වොෂර් ආදිය ක්‍රියාත්මක කලොත් සුර්ය කෝෂ මගින් සපයන විදුලිය ඒ සඳහා පාවිච්චි කල හැකි බවද සැලකිල්ලට ගතිමු. රාත්‍රියට රුපවාහිනිය හා කොම්පියුටර, ශීතකරණය, ලයිට් වලට අපට විදුලිය සපයන සමාගමේ විදුලිය යෙදවෙයි. ආණ්ඩුව අපට ගෙවන මුදලත් අප ඉතිරි කරන මුදලත් සලකා  බැලුවිට අවුරුදු හයක් ඇතුලත  අප ආයෝජන  කල මුදල අපට ලැබෙන බව පෙනී ගියේය. මේ නිසා අප මෙහිදී රජයේ ණය මුදල ප්‍රතික්ෂේප කෙළෙමු. එවිට අපට අවශ්‍ය ලෙස සියල්ල කර ගැනීමට හැකි වූ අතර අපට රජයට මුදලක් ගෙවන්නට සිදුවන්නේද නැත.
 දෙසැම්බර් මාසයේ සිට අප විසින් විදුලිය නිපදවා ග්‍රිඩ් එකට දෙන අතර අපට පළමු චෙක්පතද ලැබුණි.  එසේම විදුලි බිලද ඉතාමත් සිඝ්‍රයෙන් අඩු විය. 
මේ ලෙසට එංගලන්තයට හිරු පෑව්වොත් අවුරුදු පහකින් පමණ අප කල ආයෝජනය ලැබෙනු ඇත. ඉන් පසුව විදුලිය නිකම්ම වගේය.
පහල තිබෙන්නේ වහලේ උඩ කොටසයි.


මෙහි තිබෙන්නේ  වහලේ පහල කොටසයි. 
මේ තිබෙන්නේ  විදුලිය පරිවර්තනය කරන ඉන්වර්ටරයයි.
බොහෝවිට ශීත කාලයේත් හිරු එලිය තිබෙන අතර දෙසැම්බරයේ විදුලිය නිපදවෙනු පහත ඇති මිටරයෙන් පෙනේ. 
මේ ඊයේ ජුනි 11  එක පැනල් සෙට් (8ක ) එකකින් නිපදවු විදුලියයි.
මේ තිබෙන්නේ අනිත් පැනල් 8යි 

මා  මෙහිදී යෝජනාවක් කරන අතර ප්‍රශ්නයක්ද ඉදිරිපත් කරමි. 
යෝජනාව නම්  ශ්‍රී ලංකාවේ රජය විසින් පැනල සවි කිරීමට නිවෙස්  හිමියන්ට ඉතා සහන කොන්දේසි යටතේ ණය ආධාර ලබා දිය යුතුයි. එසේම ඔවුන් විසින් ද සුර්ය පැනල  සහිත විදුලිය නිපදවන කෙත් (බලාගාර වැනි) පිහිටුවිය යුතුයි. එංගලන්තයේ අපට අවුරුදු හයකින් යෝජනා කල මුදල ලැබේ නම්, අවුරුද්ද පුරා තද හිරු එලිය ඇති ලංකාවේ එය අවුරුදු 3 කින් ලැබෙනු ඇත. විදුලි පාරිභෝගිකයන් ට ආදායමකුත් තම විදුලිය විකිණීමෙන් ලැබෙනු ඇත.

ප්‍රශ්නය නම් ලංකාවේ බොහෝ සමාජවාදී පක්ෂ ගිරවුන් මෙන් සමාජවාදය පිහිටුවිමේදී  සියල්ල  ජනසතු කරන බව කියති. එනම් ඇත්තටම වන්නේ රජය සතු වීමකි. (නිර්ධන පන්ති ආඥාදායකත්වය හෝ වේවා ) මෙයට නිවෙස් ද අයත්ය. යුගෝස්ලාවියාවේ හා නැගෙනහිර ජර්මනියේ රජයට පවරා නොගත් නිවාස දැනුත් නියම අයිතිකාරයන් ජිවත් වෙමින් හොඳින් තිබේ. රුසියාවේ රජයේ නිවාස ඉතා දුර්වල මට්ටමක පවතී. රාවුල් කස්ත්‍රෝ කියුබාවේ නිවෙස් නැවත ගෙහිමියන්ට පවරා දෙයි.

ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය හරිද?

අපේ නිවසක්  නොවේ නම් මුදල් වියදම් කර සුර්ය බලයෙන් විදුලිය නිපදවා රජයටත් කොටසක් දීමට මට අවශ්‍යතාවයක් ඇති වෙයිද? 


ප.ලි. මගේ යහළුවෙකු මතක් කර  දුන්නා  අපට ලංකා විදුලි බල මණ්ඩලයේ ට්‍රේනිං  එක ලැබීමට සැලැස්වුයේ හා ආචාර්ය සියඹලාපිටිය මහතාගේ උදව් ලබා දුන්නෙත් එවකට එහි සේවය කල ආචාර්ය නිමල් විජයින්දු මහතායි. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ  සේවය කරනවා. 

Friday, 5 June 2015

සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්

ජිජැක් ගේ කතාවෙන්  පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල, තව කොපමණ හොඳ දේවල් තිබුනද කියන එක. එකක් තමා කෑම. මේ පෝලිම්  ගැන නෙමේ කියන්නේ. කොම්පෝත් හෙවත් පලතුරු යුෂ බීම හා ආහාර ගැන. සෝවියට් එළවළු  කඩවල හා සුපර්මාර්කට් වලත් නිතර දකින්න තිබුන දෙයක් තමා පලතුරු යුෂ බීම. කොපෙක්  විස්සක් වගේ සුළු මුදලක් පමණයි.
සමහර විට ඊටත් අඩුයි.  එවෙලේම හදල දෙනවා පෙයාර්ස් වලින්. නැත්නම් ඇපල් හෝ දොඩම් යුෂ. සිනි ඕනේ නම් දාගන්න පුළුවන්. තිබහම නැත්නම් පෝලිමේ ඉඳන් මේවා බොන්න යන්නේ නැහැ. කඩේ මේවා ගන්න තිබ්බත් කලාතුරකින් තමා ගත්තේ.
එතකොට කොමියුනිස්ට්  පක්ෂයේ හොර ගෙඩියන්ට තිබ්බ කඩවල වික්කේ  පිටරට එව්වා. කේ ජි බි කට්ටියටත්, විදේශික ශිෂ්‍යයෝ අඳුනන කට්ටිය ටත් ඉතින් පිටරට බීම  වර්ග ගණන් පුළුවන්.
ඉතින් ගොර්බචොව් ගේ පාලනය ආවහම රට පොඩ්ඩක් විවෘත වුනා නේ.  ඔන්න ඉතින්  පෙප්සි කෝලා, කොකා කෝලා එන්න ගත්ත. සීනි දාල හදපු දොඩම් යුෂ හෙවත් දොඩම් පාට  ෆැන්ට ආව. ස්ප්‍රයිට් ආව. මමත් ඉතින් රූම් එකට එනකොට අරන් එනවා ගොඩක්. මගදී බොන්නෙත් ඒවා. යාලු වෙලා ඉන්න ගෑල්ලමයි ඉල්ලන්නෙත් ඒවා. පාටියක් දැම්මත් දැන් අර "ලාභ ජරා" සෝවියට් පලතුරු යුෂ වෙනුවට හොයන්  යන්නේ මේවා. මමත්  වැඩියෙන්ම කැමති වුනේ පෙප්සි බොන්න.
දැන් අවුරුදු විස්සකින්  විතර ඉස්සරහට එමු. එංගලන්ත ජිවිතයට. අපේ ළමයින්ට කොකා කෝලා , පෙප්සි දෙන්නේ නැහැ. ඇසිඩ් එනවා. සීනි වැඩියි. සීනි හොඳම නැහැ. අපි දැන් බොන්නේ දුඹුරු සීනි. සුදු සීනි ඇඟට  පුරුදු වුනහම කොකේන් වගේලු. තනිකර කෙමිකල් ප්‍රොඩක්ට් (සමාවෙන්න රසායනික නිෂ්පදනයක්) එකක්.  මම දැන් සිනි දාන්නෙත්  නැහැ තේ වලට. ගහක කොළ වලින් හදපු රස කාරකයක් භාවිතා කරන්නේ.  ළමයින්ට පෙයාර්ස් වලින් හදපු යුෂ බිම නැතත් දොඩම් යුෂ දෙන්නේ දුඹුරු සීනි දාල. ගෙදර පිටිපස්සේ බිරින්දෑ ඇඹුල් චෙරි ගහක් හිටෙව්වා. ඇඟට ගුණයි කන එක බොන එක. එයා  ඒකෙන්  ජෑම් හදනවා . ඇඹුල් බිමක් හදනවා. නින්ද නොමැති කමට, කෑම  දිරවන්න, හන්දි  පත් රුදාවට හොඳයි. ඒ දවස් වල කීසෙල් කියල පහල පින්තුරේ තියෙන ඇඹුල් චෙරි වලින් හදපු බීමක් සෝවියට් දේශයේ තිබ්බ. (පහල පින්තුරය)  මම කටේ තිබ්බේ නැහැ. දැන් තමා දන්නේ ඒවායේ හොඳ .
එංගලන්තේ ස්මුතී කියල බිමක් ආව. දැන් හරි ජනප්‍රියයි. සෞඛ්‍ය සම්පන්නයි. තනිකරම පලතුරු යුෂ කෙසෙල්, ස්ට්‍රෝබෙරි ආදිය එකට දාල හදන්නේ. ටිකක් ගණනුත් වැඩියි. ටිකක්  ලං වෙලා බලන කොට මේ අර සෝවියට් දේශයේ තිබ්බ ලාභ පලතුරු යුෂ බිම එකමනේ කියල තේරෙනව. එංගලන්තේ සීනි වැඩි , ලුණු වැඩි බීම ලාභයි. ගුණ වැඩි යුෂ වර්ග හෙම ගණන්. ලාභ ඒවා ජරාව. 
අර සෝවියට් විද්‍යාඥයෝ ආහාර  දෙපාර්තමේන්තුවේ  පරීක්ෂණ කරලා මිනිසුන්ට බොන්න හොඳයි කියල දුන්න ඒවා සෝවියට් වැසියෝ ගනං ගත්තෙත් නැහැ. අපි ගණන් ගත්තෙත් නැහැ. ඇයි  ඔක්කොම ලොකු පොරවල්,  නිලධාරියෝ බීවෙත් පිටරට ඒවනේ.
ගොර්බගේ කාලෙම ආපු තව දෙයක් තමා බ්‍රොයිලර් කුකුළු මස්.  මම ටිකක්  සීනියර් වෙච්ච කාලේ  ඉතින් කඩේ වැඩ කරන අඳුනන රුස්සෝ රුස්සියෝ ලවා  ගන්නව. පෝලිම තිබුනත් නැතත්. අපේ හිටි පොෂ් ලංකාවේ කෙල්ලෝ  හෙම සමුහ ගොවි පලවල සෝවියට් කුකුළු මස් වලට කිව්වේ රබර් වගේ ඇදෙන ෆ්‍රීස් (ශීත  කරන ලද ) කරලා තිබ්බ ගං කුකුල්ලු කියල. සමුහ ගොවි පලවල හදන ජරාව.  ඒ වගේද හොලන්ඩ් පැත්තේ ඉඳං  එන  බ්‍රොයිලර් කුකුල්ලු. ඒ පැත්තෙන් හුලන් වැදිලා ආවත්  සැපට රහයි. සැපට හැදිච්ච ලොකු රසවත් කුකුල්ලු. 
දැන් ආයෙත් අවුරුදු විස්සක් විතර ඉස්සරහට එමු. බ්‍රොයිලර් කුකුල්ලු කියල කියන්නේ දවස් 28 විතරක් ජිවත් වෙන කුකුල්ලු. උන් ඉන්නේ පුංචිම පුංචි හතරැස් කොටුවක. උන්ව මහත් කරන්න ඕනේ නිසා ඇවිදින්න දෙන්නේ නැහැ. උන් කරන්නේ කන එක විතරයි. දවස් 28 කින් නියම මහතට ආවහම මස් මඩුවට යවනවා. 

මේ කුකුලන්ට ස්ටේරෝයිඩ්ස් දෙනවා (හෝමෝන) මහත් වෙන්න. ඒවා අපේ ඇඟවල් වලට හොඳ නැහැ.  කැන්සර් (පිළිකා) වුනත් හැදෙන්න පුළුවන් වෙන විධිහේ බෙහෙත් උන්ට දෙනවා. ප්‍රති ජීවක ඖශධ වගේ දේ. ඉතින් මොකද කරන්නේ. දැන් අපි ගන්නේ ෆ්‍රී රේන්ජ් චිකන් ඒ කියන්නේ දුවල පැනල නිදහසේ ෆාර්ම්  එකේ හිටපු කුකුල්ලු. එහෙම නැත්නම් කෝර්න් ෆෙඩ් හෙවත් ඉරිඟු කන්න දුන්  "නිදහස්" කුකුල්ලු. එහෙමත් නැත්නම් ඔර්ගනික් කුකුල්ලු - ඒ කියන්නේ කාබනික අහරගන්න  අර කූඩු  අස්සේ හිර නොවී ඉන්න එවුන්. දැන් වැඩේ මේ කුකුළු මස් ඔක්කොම ගණන්. කිලෝ එකක් පවුම් 6-8ක් විතර. රුපියල් 1200-1400 විතර. හැබැයි අර දින 28 බ්‍රොයිලර් එවුන් පවුම් 3ටත් අඩුයි සමහර වෙලාවට. 
මම පසුගිය අවුරුද්දක ලංකාවට ආපු වෙලේ මල්ලිත් එක්ක සුපර්මාර්කට් එකකට ගියා. පොර කුකුළු මස් ගන්න කොට මම කැමති වුනේ නැහැ. පෙනුමට අර බ්‍රොයිලර් වගේ. මම ඇහුවා ගං  කුකුල්ලු නැත්ද කියල මල්ලි ගෙන් . පස්සේ කැරකිලා කැරකිලා පොඩි කඩේකට  ගියා. මල්ලි කණු කුණු ගෑව , මේක හරියට සුද්ධ වෙලත් නැහැ, සුපර්මාර්කට්  එකේ වගේ හොඳ  පාටක් නැහැ. මේ ගම්වල ගෙවල් වල හදන කුකුලොනේ, කියල. මං  කිව්වා හරි ඒකම තමා  ඕනේ කියල. 
සමුහ ගොවිපලවල් කුකුලන්ට නිදහසේ  ඇවිදින්න කරන්න නිදහසත් තිබ්බ. හැබැයි ගං කුකුල්ලු කියල අපි කැමති වුනේ නැහැ. වෙජිටේරියන් වුනා නම් වඩා ලේසියි. ඒත් වැඩක් නැහැ ගහන පලිබෝධ නාශක ප්‍රමාණය දිහා බැලුවහම.

ලංකාවේදී  A/L කරන කාලේ මගේ යාළුවෙක් එක්ක උදේට දුවනවා. යාලුව රගර් ගහපු නිසා හොඳට ව්‍යායාම කරන කෙනෙක්.   එන ගමන් කිරි පැකට් එකක් බොනවා අරගෙන.  මුකුත් ප්‍රශ්නයක් නැහැ. සෝවියට්  දේශයේ ස්මිතානා කියන යෝගට් වගේ පානය ට  මම හරි කැමතියි.  ඒ වගේම කෙෆිර් කියන යෝගට් පානය. අපේ හිටිය වඩුගේ කියල සීනියර් අය්යා කෙනෙක්. එයා ගෙන්  තමා ඒක බොන්න පුරුදු වුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 

අවුරුදු විස්සක් ඉදිරියට එමු . පහුගිය අවුරුදු දහය ඇතුලත හරිම අමාරුවෙන් හිටියේ. බඩේ අමාරුවක් නිසා. බඩ  පිපෙනවා. මොනවා කෑවත් හිටපු ගමන් පලු වගේ එනවා. රෑට නිදා ගන්න බැහැ  හුස්ම හිර වෙනවා. ටින් කෑම , බෝතල් කෑම , චීස්  කිරි පොඩ්ඩක් වත් බොන්න බැහැ. යෝගට් කන්න බැහැ. ක්‍රීම්  දාපුව කන්න බැහැ.  ජර්මනියේදී ට්‍රයි කරා ඔර්ගනික් (ඓන්ද්‍රිය නැත්නම් ස්වභාවික)  කිරි. ඒත් හරි ගියේ නැහැ. ජීපී (ආණ්ඩුවේ පවුලේ දොස්තර) ට කිව්වහම අසාත්මිකතාවය තියෙන එක හොයා ගන්න කියා කිව්වා මිසක් මුකුත්  කලේ නැහැ. පස්සේ ඔෆිස් එකෙන් දෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ගියා චෙක් කරන්න. පවුම් 2000 ක විතර රක්ෂණයෙන් ගෙව්වා එකට. පරීක්ෂණ දහයක් විතර කරලා කිව්වා මට කිරි වල තියෙන ලැක්ටෝස් හරි යන්නේ නැතිලු. (lactose intolerance). මට මල පැනපු පාර කන්සල්ටන්ට් එක්ක වාද කලා . එහෙම නම් කොහොමද මම පොඩි  කාලේ කිරි බිව්වේ ලංකාවේදී. රුසියාවේදී බිව්වා ප්‍රශ්නයක් වුනේ නැත්තේ මොකද වගේ දේ? මිනිහ කිව්වා කිරි වල ප්‍රශ්නය ආසියාවේ හැමෝටම තියෙනවා කියල. අපි හරියට පරිණාමය වෙලා නැහැල්ලු. මැරෙන්න හිනා ගියා ඒක අහල. ඉන්දියාවේ කිරි ඔච්චර බොන්නේ ඇයි කියල ඇහුවම කට උත්තර නැති වුනා පොරට.   පස්සේ මම ඉන්දියාවට ගිය වෙලේ 2008 විතර, ඉන්දියන් තේ බිව්වා කිරි වලින්ම හදන වතුර නොදා. පස්සේ යෝගට් කෑව. තව කිරි වලින් හදන බිම බීව. කිසි ප්‍රශ්නයක් නැහැ.

ඔය අතරේදී මට කල්පනා වුනා මගේ ළමයි පුංචි කාලේ කිරි බොන කොට , යෝගට් කන කොට අසාත්මික තාවක්  ආව නේද  කියල.  අපි පාට  පාට, ගණන් යෝගට් නැතුව සරල  ඔර්ගනික් යෝගට් දුන්නම හරි ගියා. 
ළමයි නිකන් කිරි වලට පුරුදු වුනා  වගේ දෙයක් වුනේ. (ලොකු දුවට ආයෙත් ඒක  හැදිලා දැන් ). ඔය අතරේදී ගිය එංගලන්තේ ගොවිපලක් බලන්න. ළමයි ව එක්කන් ගියා චාරිකාවක් නිසා. එතැනදී දැක්ක  දෙයින් මට වැටහුනා මගේ ප්‍රශ්නය. එතන එළදෙනුන්ට තණකොළ දුන්නත් කන්නේ නැහැ වගේ  දැක්කේ. උන් කන්නේ පොඩි දර කෑලි  වගේ (පුන්නක්කු නොවේ) ජාතියක්. අහල බලන කොට ඒ ගව ආහාර වල  ස්ටෙරෝයිඩ් (හෝමෝන ජාති) , ප්‍රති ජීවක ඖෂධ, විටමින් ජාති , කිරි වැඩි පුර එන්න මොකක්ද රසායනිකයක් වගේ දේවල්  දාල හදපු කෑමක්. ඉස්සර හරක් හා බැටළු මසුත් තිබිල තියෙනවා. අර හරකුන්ට හැදුන  CJD ලෙඩෙන් පස්සේ මස් අඩංගු කෑම දීම තහනම්. ඒත් මාළු තියෙනවා මන් හිතන්නේ. තණකොළ කන්නේ නැති හරක්. මට වෙලා තියෙන්නේ මේ කිරි වල තියෙන  රසායනික වලින් එන අසාත්මික තාවයක්.  හොයල බලන කොට මේ එළකිරි වල වෙනම ප්‍රෝටීන් වර්ග වගයක් නිපද වෙනවා. කෘතීම ඒවා. ජර්මනියේ පමණක් නොව මුළු යුරෝපයේම කිරි වල එහෙමයි.  ඒවායෙන්  සමහර අයට අසාත්මික තාවයන් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ කිරි මට බොන්න පුළුවන් වුනේ ඒවා වල මේ අමුතු  ප්‍රෝටීන් වර්ගය නැති නිසා. දැන් මිල අධික කිරි වර්ගයක් එනවා A2 කියල. අර කිරි වලින් අසාත්මිකතාව ඇති කරන ප්‍රෝටීන් එක අයින් කරපු. ඉස්සෙල්ල එහෙම අමුතු කිරි හදල දැන් ඒවා වලින් ප්‍රෝටීන් අයින් කරලා ආයි වැඩි ගානට විකුනනව. අර සමුහ ගොවිපලවල් වල තිබ්බ විධිහට  සාමාන්‍ය  තණකොළ කාල හැදෙන එළදෙනුන්ගේ  කිරි වල මේ ප්‍රශ්න නැහැ. හැබැයි සෝවියට් රජය අන්තිම කාලේ බටහිර ක්‍රම අත්හදා බැලුව.

ඒ කාලේ සමාජවාදී රටවල් තිබ්බ ප්‍රශ්නයක් තමා අහර විකුණන කඩවල පෝලිම්. ඒවා ගැන මිට කලින් කතා කරලා තිබෙන නිසා මෙතන ලියන්නේ නැහැ. ඇයි ඒවා ඇති වුනේ කියල. එක පවුලේ අම්මා  පෝලිමේ එක තැනක. දුව හෝ පුතා තව තැනක. සැමියා තව කොනක. එතකොට තම වැඩිපුර දොඩම් මල්ලක්, කෙහෙල් ටිකක්, මස් ටිකක් ගණන් පුළුවන්. ඒවා වල වැසියන් නැවත ඒ ක්‍රමයටයන්න කැමති නැහැ. ධනවාදී ක්‍රමයේ අහාර කොච්චර නුගුණ වුනත්. ගණන් වැඩි වුනත්. 
හැබැයි ඉතින් දැන් බටහිර ඉන්න අපි ආපහු  නැවත යනව.  සරල ක්‍රම වලට. වඩා  සෞඛ්‍යයට හිතකර වගා  ක්‍රම වලට. මස් මාළු නිෂ්පාදනයට.  හිමින් හිමින් සමාජවාදයට යනවද? මොකද ඩෙන්මාර්ක් වල මේ පැත්තෙන් හුඟක් ඉහලයි තත්වය. මේ සමාජවාදය ලෙනින්, ස්ටාලින්, මාඕ, විජේවීර කියූ විධිහට නොව වෙනස් විධිහට හැඩ  ගැසෙමින් එනවා වත්ද? 
  



Tuesday, 2 June 2015

ජිජැක් ගේ කතාවේ විසංයෝජනය

ජිජැක් ලංකාවට ගෙනාවේ X -කණ්ඩායම බවත් ඔබ ඔවුන් ගැන සඳහන් කලේ නැත්නම් ජිජැක් ගැන කිසිවක් ලිවිය නොහැකි බවත් කියා කවුදෝ මට අවවාදයක් දුනි.  ජිජැක් ට සිජැක් කියා ලීවේ කවුරු හරි වලියක් අදීද බලන්නටය. ඇද්ද කෙනෙක් නැත.  මුල් ලිපිය බලන්න මෙතනට යන්න.  මා මුල් උපාධිය කලේ සෝවියට් දේශයේ නිසා ස්ලාවික් නම් මා උච්චාරණය කරන්නේ වෙනස් අයුරිනි. ඇමෙරිකානුවන් ජිජැක් හඳුන්වන්නේ ෂිෂෙක් යනුවෙනි. ස්ලාවික් වරු ඒ නම උච්චාරණය කරන්නේත්  එලෙසම ය.මගේ නමේ ධ අකුර රුසියානුවන්  ලිව්වේ ද යන්න ෂ හා ජ එකට උච්චාරණය වන අකුරක් හැටියටය.   කෙසේ වතුදු ඉහත ලිපිය කියවූ සැවොම හඳ  දෙස නෙත් යොමු කලා මිස ඇඟිල්ල දෙස බැලුම් හෙළුවේ නැත. හෙවත් ජිජැක් ට මොන නමින් කතා කලත් ඔවුන්ට එය වැදගත් වුයේ නැත. 

දැන් අපි අර ජිජැක් ගේ කතාව සාකච්චා  කරමු. 
කෝපි  කඩයට ඇතුළුවූ මිනිසා ඉල්ලන්නේ  කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ය. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා කියන්නේ ඔවුන්  ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර බවයි. ඒ වෙනුවට ඔහු පාරිභෝගිකයාට  සීනි  නැති කෝපි  කෝප්පයක් මිලදී ගන්නට යෝජනා කරයි. 

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.

ඔහු එසේ කියන්නේ ඇයි?  එක්කෝ කෝපි  කඩේ සීනි  සහ ක්‍රීම්  දෙකම නැත.  එසේ නැතිනම් කෝපි කඩේ බැරිස්ටා පාරිභෝගියකයාට වෙනත් නව විසඳුමක් යෝජනා කරයි. එනම් ක්‍රීම් නැති නිසා ඔහුට සිනි නැති කෝපි එකක් යෝජනා කිරීමයි. දැන් අපි සාමාන්‍ය වෙළඳ හලකට ගොඩ වැදී හෙම්බිරිස්සාව හැදී එන නිසා  සමහන් පැකට් එකක් ඉල්ලු විට කඩයේ සමහන් නැතැයි සිතමු. ඒ වෙනුවට කඩ හිමියා  කටුවැල් බටු පැකට් ඇත්නම් එය යෝජනා කරන නොඅනුමානය. එසේ නැත්නම් "අපි ළඟ  හොඳ තේ කොළ පැකට් වගයක් ඇවිත් තියෙනවා". "ආ මේ අලුත් බිස්කට් පැකට් ජාතියක් (හෝ තව මොනවා හරි)  කඩ හිමියා  හෝ සේවකයා විසින්  යෝජනා කරනු ලබයි. මා  ජිවත් වන එන්ෆිල්ඩ් වලට  නුදුරු  එඩ්මන්ටන් වල ඇති දෙමල ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වෙළඳ හලට ලංකාවේ කෑම මිලදී ගැනීමට මසකට දෙවතාවක්  පමණ යමි.  සමහර විට රතු හාල් සහ ලංකාවෙන් එවන කිතුල් පැණි  බෝතලයක් රැගෙන ඒමට  යන මම  අන්තිමට එන්නේ , ගෙදර උයන්නේ නැති වුනත් මුකුණුවැන්නා  මිටියක්, ගොටු කොළ මිටියක්, මාළු, කෙහෙල් මුව, දිවුල්  කිරි බෝතලයක්, රොටී සහ තව නොයකුත් දෑ මට නොදැනිම මිලිදී ගෙනය. මින් භාගයක්ම දේවල් යෝජනා කරන්නේ සේවකයා හෝ කඩ හිමියාය. ඔවුන්ගේ ලාභය ඇත්තේ ම අප සොයා ගොස් ගන්නා  එක භාණ්ඩයෙන් නොව තව මොනවා හරි අපට වැඩිපුර විකුණා ගැනීමෙන්ය.  සමහරවිට අදාල භාණ්ඩය නැත්නම් නැහැයි නොකියා තව මොකක් හරි දෙයක් විකිණිය යුතු මය. නැත්නම් පාරිභෝගිකයා වෙනත් ස්ථානයකට යනු ඇත.  ඔවුන් ගේ ලාභය අහිමි වනු ඇත.

අප විශාල සුපර්මාර්කට් එකකට ගිය විට සිදු වන්නේ කුමක්ද?  අද මම කිරි කාට්න් එකක් (බෝතලයක්) ගැනීමට කෑම පැයේදී ගොස් රයිස් පුඩින් එකකුත් , කඩල  ටින් එකකුත්, චොකලට්  බනිස් පැකට් එකකුත් රැගෙන ආවෙමි. අනිත් ජාති තුනම මම ඇලුම් කරන දේ නිසා හදිසි  අවශ්‍යතාවයක් නැති වුවත් මිලදී ගතිමි. අද දවස තුල මම ඒවා නොකෑමට හොඳටම ඉඩ තිබේ. 
බොහෝ අයගේ මේ භාණ්ඩ වලට ඇති ඇල්ම මිට වඩා බොහෝ දුර ගොස් තිබේ. භාණ්ඩ නිසා ජිවත් වන තරමට අපි ඒ දේට ඇලුම් කරමු. ඒවායේ ලාභය කාටද ලැබෙන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නොවේ. කාල් මාක්ස් "භාණ්ඩ වලට ඇති ඇලුම" ගැන පවසා ඉන් ලබන ලාභය ධනවාදය රැක ගැනීමේ මුලික පදනම බව පැවසුවේ බොහෝ කලකට පෙරය. නුතන ධනවාදයේ ප්‍රධානම සලකුණක් වන්නේ අපට අවශ්‍ය වුනත් නැතත් ඒ දේ අපට අවශ්‍ය බව ඔත්තු ගැන්විමය. ක්‍රීම්  නැති කෝපි කෝප්පයක් වෙනුවට සිනි නැති කෝපි කෝප්පයක් වුවද ඔබට (පරිභෝගියකයාට) ලබා දීමට අප (වෙළෙන්දා) සුදානම්ය. මේ භාණ්ඩ වලට ඇති ඇල්ම ගැන බොහෝ කලකට පෙර ලියු ලිපියට මේ යොමුවෙන් යන්න. 

දැන් නැවත අර පරණ කතාවට යමු. මෙයට ෆේස්බුක් එකේ පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් පරණ සෝවියට්  විහිළු කතාවක්  සිහි ගන්වයි. 

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වැදී ඔවුන් ළඟ මස් විකුනන්නට  තිබේදැයි අසන්නිය. ඔවුන් "නැහැ අපි ළඟ නැහැ " යනුවෙන් පිළිතුරු දෙන අතර ඇගේ  දෙවන ප්‍රශ්නය එනම් "එහෙනම් කිරි තිබෙනවද ?" යන්නට කියන්නේ  "අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "
ඇන්ඩි බෙස්ට් නමැති එංගලන්ත ජාතිකයා සෝවියට්  දේශය ගැන සිතන්නේද එසේමය. ඔවුන්ට කෑම සහ අනිකුත් භාණ්ඩවල දැඩි හිඟයක් ඇති අතර බොහොමයක් සෝවියට් වැසියන් සිට ඇත්තේ බඩගින්නේය. ඒ නිසා ධනවාදී රටවල සමාජවාදය පිහිටුවීමේ තේරුමක් නැත.  

මගේ අත්දැකීම ලෙස මා  ලිව්වේ බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක් මවිසින්  කිසිදා නොදුටු බවයි.


තවත් අත්දැකීමක් නම් මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගිය විටදී එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැති බව නිරීක්ෂණය කිරීමයි.  ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසූ  විට පිළිතුර වුයේ කඩේ වැඩ කරන හොඳ ගැහැනියක වන මහත ගාල්යා  කඩේට  මස් මාළු  සහ අලුත් භාණ්ඩ පැමිණි විට හැමෝටම පණිවිඩ එවන බවයි. ඉන්පසු පස්සා දොරින් හොඳම අත්‍යවශ්‍ය භාණ්ඩ විකුනන බවයි.මේ නිසාම ඔවුන්ගේ ගෙවල් වල අග හිඟයක් නැත. මා  කිවේ මේ දුෂිත සමාජවාදය බවයි.  


මෙහිදී  මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ? යන ප්‍රශ්නයන් නැගුවෙමි. සෝවියට්  දේශයේ විනිට්සා නගරයේ ඉගෙනීම ලැබූ අපේ සහෘද බ්ලොග් ලියන්නකු වන වෛ ද්‍ය රුවන් එම් ජයතුංග විසින් සෝවියට් මිනිසුන් භාණ්ඩ සපයා ගන්න ආකාරය ගැන හොඳ ලිපියක් ලියා තිබුණි. මැක්සිම් ඉවානවිච්  නම් මේ ලිපිය හැකිනම් නැවත කියවන්න. සෝවියට් පන්නයේ  සමාජවාදී සමාජයේදී "නැති" පැට්‍රොල් සොයා 
දෙන තැනැත්තා ගැන කියවන්න. 
ලාභය අහෝසි කල විට වෙළඳ ආයතනයේ ළඳුන්ට තම දේවල් පරිභෝගිකයාට විකිනීමට අවශ්‍ය තාවයක් නැත. කඩ හිමියා  සෝවියට් රජය හෝ ප්‍රාදේශීය රජයයි. හෝ නගර සභාවයි. ඉතින් වෙන්නේ හැමෝම තියෙන දේවල් ටික උස්සගෙන යාමයි. කාටවත් විකිනීමට අවශ්‍යතාවයක් නැති මේ  රජයේ දේපල වලින් සොරකම් කිරීම සාමාන්‍යකරණය වීමක් සිදුවී තිබේ. එසේ උදව් කරන අය  හොඳ ගාල්යා සහ කරුණාවන්ත මැක්සිම් ඉවානවිච්ය.  සෝවියට් දේශය බිඳ වැටුනු  විට මේ සුපර්මාකට් සහ අනිකුත් විශාල කර්මාන්ත  ශාලා කුණු කොල්ලයට ඒ භාණ්ඩ පිට දොරින් විකුණු අයටම ලැබුණි. දැන් රුසියාව පාලනය කරන්නේ ඔවුන්ගේ නියෝජිතයාය. 

දැන් ජිජක් නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැවසුවේ කුමක්ද?


ත්‍රිමාණ පිළිතුරක්:
අජිත් , මෙතන ජිජැක් අවධාරනය කරන්නෙ “ධනවාදය”[capitalism] ගැන නෙවි , ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි. [0/-1] ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject]

-visiting: