Monday 8 April 2024

"මතක ගිනි පුපුරු" සහ විජේවීරවාදයේ වැළලීම


"මතක ගිනි පුපුරු" කෘතිය පළවී මාස කිහිපයක් ගත වන්නටද ප්‍රථම අනුර කුමාර දිසානායක මහත් ඇතුළු ජාතික ජන බලවේගයේ (මාලිමාවේ)  නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක යෙදුනි.  බොහෝ මාලිමා හිතැත්තන් හා    ජවිපෙ හිටපු ලේකම්  බෝපගේ මහතා ඇතුළු බොහෝ දෙනෙක් "ජවිපෙ" ඇතුලත ජාතික ජන බලවේගයේ මේ "වෙනස් වීමට" සතුටු ප්‍රතිචාර දක්වා තිබේ. ඇත්තටම ජවිපෙ වෙනස් වුනේ දැන්ද? 

මේ පොත ලන්ඩනයේ එළි දැක්වූ දා පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ නියෝජිතයෙකු විසින් එයට බරපතල විවේචනයක්  එල්ල කරන ලදී. ඔහුට අනුව කතුවරයා  විසින් ලියා  ඇති බොහෝ දේවල් හිතළුය.කිහිප දෙනෙකු එයට ප්‍රතිචාර දැක්වුවද මා පොතේ එළිදැක්ම මෙහෙයවූ බැවින් එයට ප්‍රතිචාර නොදැක්වූයෙමි.

ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය හා එහි මිලියනයක් පමණ පක්ෂ සාමාජිකයන් සහ ආධාරකරුවන්  ඝාතනය කෙරුනේ 1965/66 අවුරුදු වලය . ඒ සඳහා හේතුවක් ලෙස යොදා ගැනුනේ අති වාමාංශික භටයන් කිහිප දෙනෙකු විසින් බලය අල්ල ගැනිමට කලා යයි කියන කුමන්ත්‍රණයකි. මේ මහා මිනිස් ඝාතනය සැලසුම හා  ක්‍රියාත්මක කෙරීම ට අනුබලය ලැබුනේ බ්‍රිතාන්‍ය හා අමෙරිකානු රහස් ඔත්තු සංවිධාන වලිනි.  

සිරිමා බණ්ඩාරනායක රජය බලයට 1970 දී බලයට  පත්වූයේ වාමාංශික පක්ෂ කිහිපයකද සහයෝගයෙනි. සමගි පෙරමුණ කියා නම් තැබුණේ  ඒ නිසාය. සමගි පෙරමුණු රජය ඒ කාලයේ හැටියට අර්ධ  සමාජවාදී එකකි. ඊනියා නොබැඳි රටක් වුවත්  බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ,  ඉන්දියාවට හා සෝවියට් කඳවුරට පක්ෂපාති වූ එකකි. ඔවුන් අනුගමනය කළ මිශ්‍ර  ආර්ථික පිළිවෙත හා එහි බලපෑම කුමක් වුවත් රට කිසියම් අන්දමකට  කාර්මිකකරණය සඳහා  ඉදිරි පියවරක් තැබූ රජයකි. මුල් අවධියේම එයට අවි බලයෙන්  පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණය. නමුත් රෝහණ විජේවීර පහර දීමට අණ දුන්නේ නැති බවට නඩුවේදී සාක්ෂිය දුන්නේය. එසේ වුවද  අධිරාජ්‍යවාදයට හා ධනවාදී රජයට විරුද්ධව අරගල කිරීම පිලිබඳ වගකීම ඔහු භාරගත්තේය. ඇත්තටම 1971 යනු එක්තරා විධිහක පවතින රජයකට හා ක්‍රමයට විරුද්ධව කළ රොමැන්තික අරගලයකි. 

ඒ දිනවල එය සීඅයිඒ කුමන්ත්‍රණයක්  වශයෙන් රජයේ ඇතැම් වාමාංශික ඇමතිවරුන් චෝදනා කළද කිසිවෙකු එයට වැඩි බරක් දුන්නේ නැත. යැංකි ඩිකී යනුවෙන් හැඳින්වුනු  ජේ ආර් ජයවර්ධන මහතා අගමැතිනියට සහය දීමට ඉදිරිපත් වීම එයට හේතුවක් වන්නට ඇත. ජේ ආර් කලින් තිබූ  65-70 රජයේ ඇමැතිවරයකු වශයෙන් ජවිපෙ සංවිධානය ගැන හොඳින් දැන  සිටියේය. ඒ දිනවල ජවිපෙන් කැඩී ගිය අතුරු  කණ්ඩායමක් ඇමෙරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.  (කැස්ට්‍රෝ ධර්මසේකර) එහිදී එක  පොලිස් නිලධරයෙකු මිය ගියේය. ආණ්ඩුව මර්දනය පටන් ගත් අතර විජේවීර ඉක්මනින්ම  අත් අඩංගුවට පත්විය. ඉන්පසු වැරදි වෙලාවක පහරදීමෙන් ඇතිවුණු කැරැල්ල  සීග්‍රයෙන්  මර්දනය කරන ලදී. මෙය  තනිකරම ඉන්දුනීසියානු ක්‍රමයම පිලි පැදීමකි. බොරු ප්‍රහාරයකින් පටන් ගෙන රජය අවුස්සා එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීම තනිකරම බ්‍රිතාන්‍ය හා ඇමෙරිකන් රහස් ඔත්තු සේවා පොතෙන් පිටුවකි.  එනම් නැග  එන අති වාමාංශික කණ්ඩායමක්  රජය හරහා මර්දනය කරන ගමන්ම  (ජවිපෙ මර්දනය)  සෝවියට් හා ඉන්දීය හිතවාදී නව ශ්‍රී ලංකා ආණ්ඩුව මට්ටු කිරීමට පොටක් පාදා ගැනීමය.  එය එලෙසම සිදු විය. .

මේ පාඩම විජේවීරට 1971 දී මග හැරුණු ලෙසටය  1987-89 දීද මග හැරුණි.   

"මතක ගිනි පුපුරු" කියවන විට ඔබට විජේවීර පිළිබඳව තරහකාරී හැඟීමක් පහල වන්නේ නැත. ඒ වෙනුවට ඇති වන්නේ අනුකම්පාවකි. මාඕ වාදියෙකු හා පොල්පොට්වාදියෙකු වන විජේවීර, ආචාර්ය ගුණදාස  අමරසේකර, ආචාර්ය නලින්ද සිල්වා ආදීන් ඉදිරිපත් කල  ජාතික චින්තනය ගුලිය  අඹරා ගිල දමා වැඩි හරිය  කර තබා ගත්තේය.  ජාතිවාදය හා ඉන්දියානු විරෝධය එසේ කර තබා ගත් වැඩි හරියය. විජේවීරගේ සන්නද්ධ අරගලය නිසා වැලිකඩ  සිරවුණු  ගාමිණී මුතුකුමාරණට  (පොතේ කතුවරයාට) දෙමළ සටන්  සගයන් ඔවුන්ව  වර්ජනයය කරන්නේ ඇයිද යන්න මුලින් වැටහුනේ නැත. 

කතුවරයා  ඉතා නිවැරදිව හඟින පරිදි ජේ ආර්  ජයවර්ධන  ජවිපෙ '83 ජාතිවාදී අරගලයට සම්බන්ධ යයි කියා එය තහනම් කලේම මර්දනය කරන්නටය.  ඒ කතාව හරිය. ඇත්තම කියනවා නම් දිස්ත්‍රික් සංවර්ධන  සභා චන්දය ප්‍රචණ්ඩත්වයක් නැතිව දිනන්නට යුඇන්පී එකට ජේ ආර් ගේ නායකත්වය යටතේ  හැකියාව තිබුණි. ඔවුන්ගේ හයෙන් පහක බලය දියවී තිබුනේ නැත. නමුත් යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීමේ පිට යාපනයට භිෂණය ගෙන ඒමට යූඇන්පි ඇමතිවරුන් කිහිප  දෙනෙකු ක්‍රියා කල ආකාරය පැහැදිලිය.   පසුව මොළය  පෑදී ජේ ආර් විසින්  සිරිල් මැතිව් ඉවත් කලද ඩැමේජ් එක සිදු  වී හමාරය. මේ සිද්ධීන් පිළිබඳව  නන්දන වීරරත්න  තම "යාපනය ගිනි ලෑම" පොතේ මැනවින් විස්තර කරයි. 

එනිසා බැලූ බැල්මට අපට පෙනෙන්නේ ජේ ආර් හේතුවක් නැතිව ජවිපෙ තහනම් කර මර්දනයට පාර කැපූ බවය. දැන් කල්පනා කර බලන්න. හැට ගණන් වල සිට ඇමෙරිකන් සම්බන්ධයක් තිබු ජේ ආර් ඇමෙරිකාවට ගිය පසු ජනාධිපති රොනල්ඩ් රීගන් ඔහුව උණුසුම් ලෙස පිළි ගත්තේය.  තැචර් ට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව තිබු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අත්හදා බලා දුන්නේද ඔහුය. 
 1978 දී ජේ ආර් ට සිරකර සිටි ජවිපෙ නායකයන් නිදහස් කිරීමට උවමනාවක් තිබුනේ නැත. ඔවුන් නිදහස් වුනේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කිරීම  නිසාය.
එසේම ජේ ආර් ජවිපෙ මර්දනය පටන් ගත්තේ ජනමත විචාරණ නඩුව නිසා යයි කතුවරයාගේ නිගමනය නිවැරදි යයිද  මට සිතෙන්නේ නැත. ඒ ගැන සැලසුමක් කලින්  තිබෙන්නට ඇත. 

ඇමෙරිකානු වියට්නාම යුද්ධයේදී ඇමෙරිකානු හමුදා කාම්බෝජ දේශ සීමාවට බෝම්බ ප්‍රහාර එල්ල කලේ ඇමරිකාවට වඩා චීනයට හිතවත් නරෝදම් සිහනුක්  කුමරු මෙල්ල කරන්නටය. එනයින් ඔවුන් අනියමින් උදව් කලේ කෙමරුජ් (පොල්පොට්) සංවිධානයටය. කලබල නොවන්න. අපි දන්නේ  කෙමරූජ් ' ඇමෙරිකන් විරෝධී" සංවිධානයක් කියාය. ඒ දවස්ස්  වල ජවිපෙ සාමාජිකයන්ද දැන් සමහරුද දන්නේ එලෙසය. මේ සංවිධානය  කාම්බෝජ හමුදා භටයන් හා බටහිර හිතවාදී ජනතාව සිරකර  මැරුවේ ද ඇමෙරිකාවට හා ධනවාදයට සහයෝගය දීමේ චෝදනා මතය. නමුත් ඔවුන් සටන් කලේ වියට්නාම්/සෝවියට් පාර්ශ්වයට විරුද්ධවය. ඔවුන් පරාජය කර කාම්බෝජ ජනතාව මුදා ගත්තේ වියට්නාමයය.මතුපිටින් නොපෙනුනද  කෙමරූජ් සංවිධනය රහස් ඇමෙරිකන් අතකොළුවක් වූයේ එලෙසය. 

ශ්‍රී ලංකාවේ දකුණේ හා මැද පළාත්වල විජේවීරවාදය ජාතිවාදයට හා ජාතිකවාදයට ළඟින්ම සිටි දේශපාලන ව්‍යාපාරයකි. ගාමිණී මුතුකුමාරණ ගේ පොතින් එය වඩාත් තහවුරු වෙයි. විජේවීර ගේ පොතකද සඳහන්  වන්නේ කීර්ති කුමරු (පළමුවන විජයබාහු) මෙන් රට කාලිංග මාඝ ලාගෙන් නිදහස් කරගත යුතු බවය. ඒ දිනවල දෙමළ  ගරිල්ලන්  නඩත්තු කලේ සෝවියට් හිතවාදී ඉන්දියාවය.   නමුත් විජේවීරට අනුව කතුවරයා ද ලියන  පරිදි ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය අමෙරිකාවේ අතකොලුවකි. දෙමළ ඩයස්පෝරාව බලවත් නිසා දේශපාලන චන්ද වෙනුවෙන් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සටනට සහාය දක්වන බව ඔවුනටවැටහී  නැත. එසේම සෝවියට් දේශයේ සහයෝගය තිබුනේද ඇමෙරිකන් හිතැති ජේ ආර් හෝ ප්‍රේමදාස ට නොව දෙමළ ගරිල්ලා ව්‍යාපාරයටය. 
(සෝවියට් දේශය බිඳ වැටුණු පසු පුටීන් ගේ රු සියාවේ සහයෝහ්ගය ලැබුනේ මහින්ද රජයටය.) 

ප්‍රතිපත්තියක් වශයෙන් ස්වයං නිර්ණය අයිතිය පිලි ගන්නවා වෙනුවට විජේවීර සහෝදරයා ඒ සඳහා හඬ නැගූ දයා පතිරණ   වැන්නවුන් ශාරීරිකව ඉවත් කර දැමුවේය. කතුවරයාගේ මතයට අනුව දයා වාද විවාද වලින්  තීරණ ගත් අයෙකු නොව අතින් පයින් පහරදී තීරණ ගත් අයෙකි. මේ අය ඉන්දීය ඔත්තු සේවයට සම්බන්ධ  අය ලෙසද හඳුනාගන්නා කතුවරයා එනයින් එම ඝාතන යම් විධිහකින් සාධාරණිකරණය කරයි. (පිටුව 382-383)   මෙවැනිම  හේතුවක්  නිසා ලයනල් බෝපගේ ගේ පක්ෂය හැර යාමද ඔහු දකින්නේ විවේචනාත්මකවය. (පිටුව 169). විජය කුමාරතුංග ද ඔහුට අනුව ඉන්දීය ඔත්තුකරුවෙකි. ප්‍රශ්නය  වන්නේ මේ සියල්ලෝම වාමාංශිකයන්  වීමය. දක්ෂිණාංශික ජේ ආර් ට වඩා ඔවුන් බියකරු වූයේ කෙසේද? විජේවීර මාඕ වාදියෙකු වීම මේ  ඉන්දීය විරෝධයට හේතුවක්ද?
විජේවීර කොපමණ වරද්දා ගත්තාද යන්න තේරෙන්නේ 1991 දී කොටි සංවිධානය ඉන්දීය අගමැති  රජීව් ගාන්ධි මරා දැමූ නිසාවෙනි.

මේ අතරේ අසූ ගණන් වල අග  වෛද්‍ය සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කල සටන තීව්‍ර වූ අතර ජවිපෙ යටතේ තිබු අන්තරය එම සටනේ ඉදිරියේම සිටියහ.. එනිසා බොහෝ සිසු නායකයන් රජයේ හමුදා අතින් මරා දැමුණි. එම සටන ජයග්‍රහණය කළද ඉන් අහිමිවුණු සිසුන් සංඛ්‍යාව බොහෝය. එම සටන ඉන්පසු ඉන්දීය විරෝධී,ප්‍රේමදාස/යූඇන්පී  විරෝධී, කොටි විරෝධී සටනක් බවට පත්වුණි. ඔබට මෙහි යමක් තේරෙන්නේද?

ප්‍රේමදාස පාලන තන්ත්‍රය හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (ජවිපෙ මෙහෙයවූ)  යන දෙකොටසම ඉන්දීය විරෝධීය. ද්‍රවිඩ ත්‍රස්තයන් හා ඉන්දියාව ඒ දිනවල වාමාංශික ය. ජවිපෙ මේ දෙගොල්ලන්ටමද විරුද්ධය. මෙයින් වඩා පල ගත හැක්කේ කාටද? ඇමෙරිකා එක්සත් ජනපදය මූලික  ඔත්තු සංවිධාන වලට හා බටහිරටය. ඔවුන් කිසි විටෙකත් තවත් මාඕ වාදී පොල්පොට් වාදී සංවිධානයකට බලයට ඒමට  ඉඩ  දෙතියි ඔබ සිතනවාද? 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි වුයේ ප්‍රේමදාස හා ජවිපෙය. ජේ ආර් කලේද කපන්නට බැරි අත සිඹීමකි. බටහිර රටවල්  ඉන්දියානු මැදිහත්වීමට අත පෙව්වේ  නැත. ඉන්දියානු වෙළඳපළ ලංකාවට වඩා විශාලය. ඔවුන්ගේ (බටහිර සැලසුම් දීර්ඝකාලින ඒවාය.  බොහෝ ෆේස්බුක් පණ්ඩිත ලිබරාටි ලා මොනවා ලීවත් ඇමෙරිකා  එක්සත් ජනපදය වැනි රටවල රහස් ඔත්තු සේවා වලට ඇත්තේ විසි පස් අවුරුදු සැලසුම්ය. )  අපේක්ෂා කල දේ රජීව් ගෙන් නොලැබෙන  බව දැනගත් විමුක්ති කොටි සංවිධානය රජීව් ගෙන් පලි ගත්තේය. ඔවුන්ද  ඉන්දියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළහ. කොටි සමග මිතුරුව ඔවුන්ට ආයුධ  මෙන්ම පොලිස් නිලධාරින් ගේ ජීවිතද  දන්දුන්  ප්‍රේමදාස ජනාධිපති ගේ  රජය දේජ ව්‍යාපාරය හා ජවිපෙ අමානුෂික ලෙස මර්දනය කළේය. "පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට"  නමැති  ලෙනින් ගේ ප්‍රසිද්ධ  ලිපිය  විජේවීර කියවා නැත.  තමන් අසුවී තිබූ උගුල ගැන ජවිපෙ මධ්‍යම කාරක සභාවට කිසිම අවබෝධයක් තිබී නැත. කතුවරයාගේ මතක ගිනි පුපුරු කියවන්නෙකුට එය හොඳින් වැටහේ.

ජවිපෙ මර්දනයේ පුරෝගාමීන් වන රන්ජන්  විජේරත්න ඇමතිවරයා මෙන්ම  ප්‍රේමදාස ජනාධිපතිද කොටින් අතින් අවසන් ගමන් ගියහ. මේ අනුව බලන විට  ජවිපෙ මර්දනයට හා ඝාතන වලට  ආණ්ඩුවෙන්  පලි ගෙන   ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ය. 

රනිල් වික්‍රමසිංහ ගේ සාම   වැඩ පිළිවෙලට  ජවිපෙ සහවාස ආණ්ඩුව විරුද්ධ වන්නේය. සාම වැඩ පිළිවෙලින් ප්‍රභාකරන් හා කොටිද ඉවත් වන්නේය.  පෙසපේ කුමාර් ගුණරත්නම් මහතාට චන්දිකා ගේ ධනපති සභාග ආණ්ඩුවට ජවිපෙ ඇමතිකම් රැගෙන යනවිට, ඔහු සැබෑ විජේවිරවාදියෙක් නම් පළමුවරට ජවිපෙන් ඉවත්වන්නට ඉඩ තිබුනේ එදාය.. ඔහු ඉවත් වූයේ නැත. 

විජේවීර ගේ මරණයෙන් පසු වසර 2005 දී මහින්ද රාජපක්ෂට බලයට ඒමට සහය දුන්නේ සෝමවංශ / විරවංශ මෙහෙයවූ ජවිපෙය.  ඉතාමත්ම වැදගත් දේ නම් දැන් යුධ  විරෝධියෙකු ලෙස  යලි  ඉපදුනු කුමාර් ගුණරත්නම් මහතාට හා ඔහුගේ සගයන්ට  දෙවන වරට  ජවිපෙන් අයින් වෙන්නට තිබුනේ එදාය. ඔහු එදාද ඉවත්වූයේ නැත.  එසේම  ඔහු ගැන මොනයම්ම හෝ සඳහනක් ගාමිණී මුතුකුමාරණ ගේ පොතේද  නැත. 

මේ වනවිට සෝවියට් දේශයද බිඳ වැටී  එදා ජේ ආර්ගේ ජයවර්ධන ආණ්ඩුවේ  ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්ති වලට විරුද්ධවූ ඉන්දියාව ඇමෙරිකානු හිතවාදී ප්‍රපත්තියක් අනුගමනය කරන්නේය.   තමන් මර්දනය කරන ලද විරෝධාර හමුදා වලට ආශීර්වාද කරමින් ජවිපෙ පසෙකින් තබාගෙන මහින්ද ආණ්ඩුව යුද්ධයෙන් ජය ගන්නේය.  එළිපිට බටහිර  රටවල් දෙමළ  ජනතාවගේ (ඩයස්පෝරාවේ) චන්ද ලබා ගැනීමට මහින්ද ආණ්ඩුවට විරුද්ධවුවද එම  ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හොර  රහසේ දෙමළ කොටි සංවිධානයට විරුද්ධව ආණ්ඩුව උදව් දෙන්නේය. තමිල්නාඩුව නොඇවිලීමට ඉන්දියාව ගෙන ගියේද එවැනිම  දෙබිඩි ගේමකි. 

පශ්චාත් යුධ අවධියේදී ජනතා විමුක්ති පෙරමුණේ සිදුවූ ඛණ්ඩනය එබැවින් බොහෝවිට ස්වභාවික වන්නේ සෝමවංශ අමරසිංහ ගේ අභාවයෙන් පසු යුධවාදී ජවිපෙ නියෝජනය කරන විමල් විරවංශ කණ්ඩායම සමග රජයට එකතුවීමෙනි. අඩුවැඩි වශයෙන්  විජේවිරවාදී  මාඕවාදී ජවිපෙ පිළිවෙත හා ජාතිකවාදය  එලෙසම පැවතුනේ, පවත්වාගෙන යන්නේ  ටිල්වින් ද සිල්වා , ලාල් කාන්ත  වැනි නායකයන් අතරය. ටිල්වින් සිල්වා සහෝදරයා මට පැවසුවේ ඔවුන් (ජවිපෙ) හැට  ගණන් වල  සෝවියට් දේශය වඩා සමෘද්ධිමත් එකක්  ලෙස සලකන බවය. (ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්)

නමුත් අනුරකුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය මේ සුත්‍රය පිළිපදින්නේ නැතිබව පැහැදිලිය. මාක්ස්වාදය ලෝක සමාජවාදය අපේක්ෂා කරන දහමකි. මාක්ස්වාදියෙකුට ධනවාදී රටවල එක්වීමට විරුද්ධ වීමට නොහැකිය. යුරෝපිය සංගමයේ  ආර්ථික එකතුවට මාක්ස්වාදියෙකුට විරුද්ධ  වීමට නොහැක්කේ කම්කරු පන්තිය යනුවෙන් ඔවුන් නම්කරන කොටස අන්තර්ජාතික ලෙස එකතුවන්නේ එවැනි ආර්ථික සහයෝගිතාවය හා මල්ටිනැෂනල් කම්පැනි නිසාය.  පෙසපේ නුවන් බෝපගේ නොබෝදා ලන්ඩනයේ මුණ ගැසුණු ජෙරෙමි කෝබින්  මාක්ස්වාදියෙකු ලෙස  තමන්ව කිසිදා හැඳින්වූයේ නැත. ඔහු වඩා  ලංවන්නේ එංගලන්තයේ ඒ කාලයේ විසු මනෝරාජික සමාජවාදීන් ටය. ඔහු යුරෝපා සංගමයට විරුද්ධ වූයේ එබැවිනි.  ධනවාදී ආර්ථිකය දියුණු වීමේදී ජාතික සීමා බිඳ දමමින් රටවල් එකතුවීම වැළැක්විය හැක්කක් නොවේ.ඉන්දියාව  සමග ආර්ථික සහයෝගිතාවය ධනවාදී  දියුණුවේ දී ලැබෙන අන්‍යවූ  අතුරු  ප්‍රතිඵලයකි. මාක්ස්වාදියෙකුට එහිදී අන්‍ය රටක කම්කරුවන් සමග එක්ව සටන් කළ හැකිය. එය එසේ වන බවට මාක්ස්වාදයේ සඳහන්ය.

 ඒ වෙනුවට ප්‍රතිසංස්කරණය කරන ලද තනි රටක සමාජවාදය ගොඩ නැංවීමේ  න්‍යාය ගෙන ආ ලෙනින් සහ ස්ටාලින් ගේ දහම අපි මාක්ස් ලෙනින්වාදය ලෙස හඳුන්වමු. ලෙනින් රුසියාවේ පැවති  ආර්ථික ක්‍රමය සමාජවාදී ලෙස වෙනස් කලද එය අතීත ආර්ථික ක්‍රම වලින් මුලිනුපුටා දැමුවේ නැත. ලෙනින් ගෙන් පසු ස්ටාලින් බලහත්කාරී සමාජවාදය නිසා බොහෝ මිනිසුන් ප්‍රමාණයක් මිය ගියහ.  මාඕද පැරණි  ආර්ථික ක්‍රමය සහිත සමාජය  මුලිනුපුටා සුණු  විසුනු කරන්නට අණ කළේය. සංස්කෘතික විප්ලව සමයේ බොහෝ චීන ජාතිකයන් සාගතයෙන් සහ දේශපාලන දඬුවම් නිසා මරු දුටුහ.  මාඕවාදයේ අතුරු ඵලයක් ලෙස කාම්බෝජය බින්දුවේ ශතවර්ෂයට (year 0) ගෙනගිය පොල්පොට්වාදය පැන නගින්නේ එලෙසිනි. පොල්පොට් - ඉයන් සාරි යටතේ 35% පමණ කමබෝජ ජනයා ඝාතනය වුනි.  

අනුර කුමාරගේ ජාතික ජන බලවේගය පරණ මාඕවාදය නොව නව චීන ජාතිකවාදය අනුගමනය කරන බවක් පෙනී යයි. බොහෝ විට ඩෙන්  ෂියා ඕ  පෙන් ගේ ආර්ථික මොඩලය ඔවුන් හදාරනවා විය හැකිය. මේ විජේවීර වාදයෙන් පැහැදිලි ලෙසම ඔබ්බට යාමකි. අනුරගේ නව වාදය ඉන්දියාව සමහ සහයෝගයෙන් කටයුතු කිරීමටය. ධනවාදයේ දියුණුව මග හැර යාමට ඔහුට හැකියාවක් නැත., එනිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව විජේවිරවාදය පෙට්ටියකට බහා ඇණ ගසමින් යයි. එහි අන්තිම ඇණ ටික 'මතක ගිනි පුපුරු' පොතේ කතුවරයා විසින් සපයනු ලබයි. එම පොත ජාතික ජන බලවේගයට තර්ජනයක් නොවන්නේ එනිසාය. විජේවිරවාදීන් සමනය කරමින් තබා ගන්නේ ටිල්වින් සහෝදරයා ප්‍රමුඛ ජවිපෙ ඕල්ඩ් ගාඩ් එකය. ඔවුන් සමහරවිට බලය ගත් පසු කරලියට ඒමට ඉඩ  ඇත. එය තීරණය වන්නේ අනුර-හරිනි- නලින්ද-විජිත  කොපමණ ජනප්‍රියද යන්න මතය. 

පසුගියදාක  හිටපු ජවිපෙ පුර්ණකාලින සාමාජිකයෙකු වූ නන්දන වීරරත්න සහෝදරයා  සහ අප්‍රේල් කැරැල්ලට තරුණ වියේ සම්බන්ධවූ එච් බී ගුණරත්න සහෝදරයා සමග කරන ලද සාකච්ඡාව කදී ඔවුන් දෙදෙනාගේම අදහස වුයේ පරණ ජවිපෙහි ඇතිවූ සමහර ප්‍රශ්න  වලට ලිංගික හේතු සහ ප්‍රේම සම්බන්ධතා බල පෑ බවයි.  ගාමිණී මුතුකුමාරණ ගේ පොතට අනුව විජේවීර සහෝදරයා මෙවැනි සම්බන්ධතා වලට  විරුද්ධ වී නොමැත. බෝල්ශෝයි රඟහලේ නැටුම් ගැන කතා කළ, කතුවරයාට පෙම් සබඳතා ගැන විහිළු කළ  ඔහු වඩා සුන්දර අයෙකි. නන්දන, එච් බි දෙදෙනා සිසිල්චන්ද්‍ර ගේ නැගණිය ගැන මතක් කළේය. රුවන් ජයතුංග විසින් ලියන ලද අප්‍රේල් කැරැල්ල පොතේද මේ ගැන සඳහන් බව ගුණරත්න සහෝදරයා පැවසුවේය.

සුනිලා අබේසේකර ප්‍රශ්නය ගැනද ගාමිණී මුතුකුමාරණ තම ග්‍රන්ථයේ ප්‍රශ්න කරයි. සුනිලා බිකිණියක් ඇඳ දිය නෑම ගැන ලොකු ප්‍රශ්නයක් තිබී ඇත. කෙලී සේනානායක සමග සම්බන්ධයක්ද විවේචනයට පාත්‍ර වී ඇත. මේවා විජේවීරට වඩා දේජව්‍යාපාරයේ  සුමිත් අතුකෝරල ගේ ප්‍රශ්නයක් බව කෙනෙක් සඳහන් කළේය. ඔහු හිටපු යතිවරයෙකු නිසා විජේවීරට වඩා සංස්කෘතික වශයෙන් වඩා දෘඩ ප්‍රතිපත්තියක් කාන්තාවන් හා පෙම් සබඳතා අරයා අනුගමනය කල බවද ඔහු තව දුරටත් පැවසිය. කතුවරයා පවසන්නේ අතුකෝරල ජවිපෙ 'චේ' බවය. සමහර විට ඔහු ගරිල්ලා සටන් ව්‍යාපාරය පමණක් සිහියට ගෙන  එසේ ලීවාද මම නොදනිමි. චේ ගේ සුරුට්ටු හා පෙම් සබඳතා ඉතා ප්‍රසිද්ධ හෙයිනි. 

මේ ගැන  ඩිෂාන් ෆෙනන්ඩෝ ලියූ   "දේශපාලන පක්ෂවල ලිංගික ගැටළුව" නම් ලිපියක්  ත්‍රිමාණ සඟරාවේ පළවී තිබේ. 
"ඇලෙන්කා සුපන්චිත් සඳහන් කරන පරිදි (ආරොන් ශස්ටර් උපුටමින්) රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයෙන් පසු නම් එම ඉහළ කාඩර් පැළැන්තිය විසින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ ලිංගික-හරණ යන්ත්‍රයක් ද නිපදවීමට උත්සහ කර ඇත. එනම් වැරදි අතට සිත යොමු වීමට ප්‍රථමව අදාළ කාඩර්වරයාගේ සිත අකර්මන්‍ය කරන ආකාරයේ යන්ත්‍රයකි. ඒ තරම්ම ‘ලිංගිකත්වය’ විප්ලවයට හා දේශපාලනයට කරදරයකි. අප අසා ඇති පරිදි මෙය ජවිපෙට ද තම විප්ලවීය කාලයන්හීදී ඉතා ගැටළුකාරීව තිබී ඇත. බොහෝ අවස්ථාවන් වලදී ඔවුන් තම කාඩර්වරුන්ට ආදර සබඳතා තහනම් කර තිබිණි." (ඉහත ලිපියෙන් උපුටා ගැනීමකි.)



කුමාර් ගුණරත්නම් මහතා, පුබුදු ජයගොඩ  සහ ඕපාත මහත්තයා ඇතුළු කණ්ඩායම  ජවිපෙන් බිඳී යෑම කුමන හේතුවකට ලඝු කරන්නටද යයි මම නොදනිමි. එහෙත් එය ජවිපෙ ජාතිවාදයට විරුද්ධව නම් එසේ කරන්නට තිබුනේ කලිනි. පශ්චාත් සෝමවංශ/විරවංශ   ජවිපෙ ජාතිවාදී එකක් ලෙස හඳුන්වන්නට නොහැකිය. එය විජේවීරවාදයෙන් පිට පනින්නේ ජාතික ජන බලවේගය සමගය.

වර්තමාන පෙසපේ විජේවිරවාදී යයි කිව නොහැකිය. පෙසපේ ලන්ඩන් ශාඛාව වැලිකඩ බිඳ පලා  ගිය නිර්මලා නිත්‍යානන්දන් වැනි හිටපු විමුක්ති කොටි  සාමාජිකාවන් සමග දේශපාලනය කරන බව දන්නේ නම් විජේවීර නිසැකයෙන්ම විරුද්ධ වනු ඇත.  එය තදබල ලෙස මාක්ස්වාදී බවක් පෙනෙන්නේ ද නැත.මා අස සිටි  එක දේශනයකදී  කුමාර් ගුණරත්නම් මහතා ගේ අදහස් වඩා ලංවුනේ පොල්පොට්වාදයටය. ඒ අනුව තරමක විජේවීරවාදී  ගතියක් එහි ඉතිරිව තිබේ.පුබුදු  ජයගොඩ 'මතක් ගිනි පුපුරු' පොතට එරෙහි වන්නේ ඒ නිසා විය යුතුය. ඔවුන්ගේ යන්තම් විජේවිරවාදී නැමියාව හොඳින් පැහැදිලි වන බැවිනි. ඇත්තටම ඔවුන් කල යුත්තේ බොරු විජේවීරවාදයක් පෙන්වීම නොව තමන් ඉන් ඈත්ව සිටින  බව අවංකව පිළිගැනීමය.

ජාතික ජනබලවේග රජයක් ශ්‍රී ලංකාවේ බිහි වූවා යයි සිතමු. එය ඉන්දීය හිතවාදී ස්වරුපයක් ගතහොත් දැනට ඉන්දීය විරෝධී ස්ථාවරයක්  ගෙනියන පෙසපේ වැනි පක්ෂයක් , ඉන්දියාවට විරුද්ධ බලවේග වල අතකොලුවක් කර ගැනීම ඉතා පහසුය. හැත්තෑ එක හෝ අසූ නමය මෙන් නැවතත් "අනුන්" මෙහෙයවන සන්නද්ධ අරගලයක් ඇති වීමට ඉඩක් නැතිද?  නොඑසේනම් ජාතික ජන බලවේග රජය වඩා චීන හිතවාදී ස්වරූපයක් ගත්තා  යයි සිතන්න. . පෙසපේ කොහොමවෙතත් ඉන්දීය ඔත්තු සේවා තමන්ට මෙහෙයවිය හැකි බලවේගයක් පස්වන පරපුර හෝ දහවන පරපුර කියා නිර්මාණය කරනු ඇත.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට ඉදිරියට යා හැකි එකම මග අනුර කුමාර දිසානායක ගෙන ඇත. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය , ජපානය හා යුරෝපා සංගමය සමග හොඳ හිත පවත්වා ගැනීමය. ඔවුන්ගේ ගැලවීම ඇත්තේ එතැනය.

විජේවීර වාදය සම්පුර්ණයෙන්ම අවසන් වනු ඇත්තේ  එතැනිනි.

ශ්‍රී ලංකාවට විමුක්තිය උදාවනු ඇත්තේ ඉන් පසුවය. 

- 08/04/2024 - කොළඹ ගමයා 



AKD ගේ අති සාර්ථක ඉන්දීය සංචාරය අනුවද  ලැබෙන ඉන්දීය , ඇමෙරිකන්   සලකුණු මතද  ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණ හෝ මහා මැතිවරණ අශ්ව රේස් එක සඳහා නිර්මාණය  වීමට ඉඩ ඇති පෙරමුණු 
දිනීමේ  සම්භාවිතාව අනුව අනු පිළිවෙලට

1. අනුර (මාලිමාව)+ ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) + මුස්ලිම්  පක්ෂ (??)+ තොණ්ඩමන්   
2. රනිල් (එජාප)+මහින්ද (පොහොට්ටුව) + ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) + මුස්ලිම්  පක්ෂ (??)+ තොණ්ඩමන් +සජබ  
3. රනිල් (එජාප)+සජිත් (සජබ)+ මුස්ලිම්  පක්ෂ (??)+ ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) + තොණ්ඩමන්  +ශ්‍රීලනිප 
4. සජිත් (සජබ)+ මුස්ලිම්  පක්ෂ (??)+ ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) +පෙසපේ + තොණ්ඩමන් 
5. රනිල් (එජාප)+මහින්ද (පොහොට්ටුව) + චන්ද්‍රිකා/මෛත්‍රී (ශ්‍රීලනිප)  + මුස්ලිම්  පක්ෂ (??)+ තොණ්ඩමන්  
6. අනුර (මාලිමාව)+  පාඨලී  රණවක (නිදහස් මොකද්ද එක)  + තොණ්ඩමන්  
7. අනුර (මාලිමාව)+විමල් (නිදහස් පෙරෙමුණ)+  තොණ්ඩමන්    

තව veriation තියනවනම් ලියාගෙන යන්න