Wednesday, 28 May 2025

හැකෝනේ ගිනි කන්ද ගිනි කඳු ආවාටයෙන් හැදුනු ආශි වැව (කල්දේරාව)

පළමු ලිපිය :    ජපන් ගමන් - ටෝකියාවේදී  පළමු දවසෙන් දෙවෙනි දවසට 
දෙවන ලිපිය :  ෆුජි සන් කන්දට ගමනක් 

ජපානය කියන්නේ අවුරුදු හැට පහට වැඩි ජනතාව 30% ක් ඉන්න රටක් .  ජපන්නුන්ගේ ආයු කාලය අනිත් රටවලට වඩා වැඩියි . වැඩි පුරම අවුරුදු 100 පිරුණු වැඩිහිටියෝ ඉන්නෙත් ජපානේ.  එතනිනුත්  ඔකිනාවා පළාතේ මුළු ජපානයේ මධ්‍යම අගයට (ඇවරේජ්) වඩා වැඩියෙන් වයස සීය පැන්න අය ඉන්නේ . විද්‍යාඥයෝ හොයල බලන කොට ඔවුන් මුළු ජපානයේම අනිත් පැති වලට වඩා 10% අඩුවෙන් ලුණු කන්නේ .  (මාලිමා ආණ්ඩුව විසින් මුදල් ගෙවා පළ කරන ලද දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න 😆)  . ඒ එක හේතුවක් .  ජපානේ ගත කල් දවස් වල මට දැනුන දෙයක් තමයි මම චීන කෑම කෑවහම වතුර බාල්දියක් වත් බොන්න ඕනේ .  ලංකාවේ කෑම වලට බාල්දි බාගයක් වත් බොන්න ඕනේ .  ජපානේ කෑම කෑවට ලොකු තිබහක් දැනෙන්නේ නැහැ .  ලුණු සහ සීනි අඩුයි. ඔවුන් ගේ මේ දීර්ඝ කාලයක් ජිවත් වන එකට තව හේතු තියනව. මේ එක හේතුවක් විතරයි .  
 



ෆුජි ගිනි කඳු බලල ඉන්පසු අපි ගියේ දහවල කෑම ගන්න ඔවකුඩනි නිම්නයේ තිබුන සෞන්සන් කියන උණුදිය උල්පත් වලින් ස්නානය කරන තැනකට .  මෙතන නාල කෑම කාල එන්න පුළුවන් තැනක් .  හැබැයි අපි නාන්න ගියේ නැහැ .  ආපන ශාලාවේ  අපට බුෆේ ක්‍රමයට කෑම ලැහැස්ති කර තිබුනත් අපි මෙනු එකෙන් තෝරා ගන්න තීරණය කලා.  සපත්තු ගලවල තමයි ඇතුළට යන්න ඕනේ .  ජපානේ යනවනම් හිල් තියෙන මේස් අරගෙන යන්න එපා ඔන්න .  අපි ගිහින් බිම පහසුවට ඉඳ ගන්න පුළුවන් මේසයක් තෝරා ගත්ත .  තේ වලට ජැස්මින් තේ සහ ග්‍රීන් ටී (කොළ තේ කියලද කියන්නේ )  තමා තිබුනේ .   

උදේ බඩ පැලෙන්න කාල හිටි නිසා අපි ටෙම්පුරා සහ සෝබා නූඩ්ල් සුප් එකක් තමා තෝරා ගත්තේ .  බොහොම සිම්පල් වගේ පෙනුනට කන්න බැරි තරම් නුඩ්ල්ස් ගොඩක් දෙනවා .  ජපන් ටීවී කතා වල දැකල තමා ඒව ගත්තේ .  ටෙම්පුරා එකට ලොකු ලැන්ගුස්ටින් (නොර්වේ ලොබ්ස්ටර් )  එකක් ,  බ්‍රොකොලි , මාළු කෑලි දෙකක් හෙම බැදලා දෙනවා .  මිරිස් කුඩු තියනවා මේසේ ඕනේ නම් දාගන්න . ජපානයේ කෑම ඉදිරිපත් කරන විධිහ හරිම අලංකාරයි .  කන් න හිතෙන විධිහට කෑම ඉදිරිපත් කරන එකත් කලාවක් .   ඒ ඇති ඉතින් .  තව මෙලන් ජූස් එකකුත් බීව. අපිට  මේස් දාගෙන ඉන්න වෙන නිසා  වැසිකිලි  ගියොත් වෙනම පාවහන් තියල තියනවා පාවිච්චි කරන්න . මේ වගේ තැන්වල   වැසිකිලි නම් ජපානයේ හුඟක්ම පිරිසිදුයි . ඒ ස්ථානය ඉදිරියේ තමා  පින්තුරය ගත්තේ .  


ඊට පස්සේ අපිව අරන් ගියා හැකොනේ රෝප්වේ හෙවත් කේබල් කාර් ස්ටේෂන් එකට .  ගොන්ඩෝලා කියලත් කියනව .  අපි මෙතනින් උඩට යනව සෝන් කියල ස්ටේෂන් එකකට . ඒ යන්නේ ඔය හැකොනේ ගිනි කන්ද  උඩින්. කේබල් කාර් එකේ නැත්නම් ගොන්ඩෝල එකේ විස්සකට විතර ගිය හැකියි .  උඩට යන මාර්ගය දෙපැත්තේ ගස් කෝලන් ඇත්තටම ටිකක් යුරෝපයේ වගේ. ගොන්ඩෝල එක පතුල විදුරු දාල තියන නිසා යට පේනවා .  


  මීදුම වගේ පින්තූර වල පේන්නේ ගිනි කන්දෙන් නැගෙන දුම .  මේ පළාතම සල්ෆර් වායුවෙන් පිරිලා ඒ ගඳ එනවා .  ඒ කියන්නේ කුණු බිත්තර ගඳ .  කේබල් කාර් එක මාරු වෙන්නේ ඔකුවඩනි කියන ස්ටේෂන් එකෙන් .  මේ වගේ පොලොව තුලින් දුමාරය  එන අනිත් තැන්  මම දැකලතියෙන්නේ  අයිස්ලන්තයේ .  (බ්ලොග් ලිපි බලන්න )  කන්ද උඩට ගියහම මේ දුමාරයෙන් උයපු නැත්නම් පුච්චපු කළු බිත්තර කන්න පුළුවන් .  මේකේ යනකොට පුජියාමා නැතිනම් ෆුජි සං ගිනි කන්දන්ත් ලස්සනට පෙනෙනවා . 

















 
  මේ මාර්ගයේ අපි හැකොනේ කන්ද සහ වාෂ්ප දුමාරය එන තැනුත් බලල පහලට ආවේ ආශි කියන වැවට .  ඇත්තටම මේ වැව කල්දේරා එකක් නැතිනම් ගිනි කන්දක් පිපිරිම නිසා ඇතිවු ආවාටයක්. හරියට අර මම ග්‍රීසියේ සැන්ටෝරිනි දූපතේ  දැක්ක වගේමයි .   යුටියුබ් එකේ මම මේ ගමනත්  දමල තියෙනවා .  මේ වැව කනගාවා දිස්ත්‍රික්කයේ තිබෙන්නේ .  ගිනි කන්ද පිපිරුනේ වර්ෂ 1170 දී .  මේකේ වටේට උණුදිය උල්පත් තිබෙනවා .  ර්යෝකන්  කියන්නේ ඔය අපි කන්න ගිය තැන වගේ නෑමට , කෑම ගැනීමට අවශ්‍ය නම් නිදා ගැනීමටත් , සවුනා ආදිය තිබෙන තැනක් .  මේවා ක්‍රිස්තු වර්ෂ 700 වගේ ඉඳන් පැවත එන බවයි කියන්නේ . 
මේ වැවට හෙවත් කල්දෙරමට බහින්න තහනම් .  මීටර් 15 ත් 45 ත් අතර ගැඹුරක් තිබෙනවා උනත් හේතුව ඒක නෙමේ .  වතුර අංශක හැත්තෑවට වඩා හිටපු ගමන් රත් වෙන එක .  අවුරුදු පන්සීයකට විතර කලින් සමුරායි වරයෙක් පිහිනන්න ගිහින් .  එකපාරට ම වතුර රත් වෙලා .  වැව මැද හරියක ඉඳන් පිහිනන් ආපහු එද්දී ඔහු පිළිස්සී මිය ගිහින් .  රට පාලනය කල ශෝගුන් වරයා තහනම් කරලා තිබෙනවා වතුරට බහින්න .  ඒක අදටත් ක්‍රියාත්මකයි . 
ලස්සනට හදපු පයිරේට් නැව් දෙක තුනක් තියනවා වැව වටේ යන්න . 

ඉන් පස්සේ අපි ආපු බස් එකෙන්ම ඔදවරා කියන දුම්රිය නැවතුම් පලට පැමිණියා  . එතන ඉඳන් ජපන් බුලට් ට්‍රේන් එකෙන් ඔදවරා ඉඳන් ටෝක්යෝ වලට  ජේ ආර් ටොකයිඩෝ ට්‍රෙන් එකක ආවේ.  පැයට කිමී 250 ක පමණ වේගයෙන් යන නිසා විනාඩි හතළිහෙන් වගේ ටෝක්යෝ ආව. ( බස් එකට පැය දෙකහමාරක් ) . මේ ගමන් වාරයේදී දැක්කේ කොපමණ තට්ටු නිවාස ජපානයේ තිබෙනවද කියල .  ඒ තරමට තට්ටු නිවාස දැක්කේ මිට කලින් සෝවියට් දේශයේදී .  මේ ගෙවල් ලාභයි .  ඒ වගේම පොඩියි .  නමුත් ඉතා පිරිසිදුව හැම බිල්ඩිමක්ම , නිවසකම පවත්වාගෙන යන්නේ . 

පින්තූර සියල්ල මම ගත්ත ඒවා . 
















- අජිත් 29/06/2025

Friday, 23 May 2025

ෆුජි සන් කන්දට ගමනක්

පළමු ලිපිය :    ජපන් ගමන් - ටෝකියාවේදී  පළමු දවසෙන් දෙවෙනි දවසට 



ෆුජි කඳු මුදුන කරා -

අපේ ටැක්සිය විනාඩි දහයකට කලින් හොටෙල් එකට ආවේ . අපිත් එහෙම්ම ගියා . උදේට ට්‍රැෆික් වැඩියි කියල තේරුනා . අපට යන්න තිබ්බේ ලව් චතුරශ්‍රයට . එහෙම නමක් දැම්මේ මොකටද කියල නම් දන්නේ නැහැ . ලංකාවේ බීච් එක පැත්තේ ඉන්නවා වගේ කුඩ ජෝඩු වත් හිටියේ නැහැ . අපි යනකොටත් ගෘප් වල අනිත් කට්ටිය ඇවිත් . යුරෝපියානු රටවල සහ ඉන්දියාවෙන් තමයි සංචාරකයෝ වැඩියෙන් හිටියේ . ලතින් අමෙරිකානු රටවලින් කිහිප දෙනෙක් හිටිය . ෆ්ලොරන්ස් වලින් ආපු කපල් එක එයාලගේ මධු සමයට ඇවිත් තියෙන්නේ .

ගයිඩ් මහත්මිය දුන්න බස් එකේ ඉඳ ගන්න සීට් මැප් එක . හැම පේලියටම නොම්මරයක් දාල. පේලියට දෙපැත්තේ සිට් දෙක දෙක තියෙන්නේ . ඉතින් අපි එක පැත්තක වාඩි වුනා . මිනිත්තු පහකට දහයකට පස්සේ පරක්කු වෙලා ආව කපල් එකක් . මෑන් කිව්වා ඔයාල ඉඳගෙන ඉන්නේ අපේ පැත්තේ නැගිටලා අනිත් පැත්තට යන්න කියල . එයා සීට් මැප් එක පෙන්නලා කීව දොර තියෙන පැත්තේ එයාගේ නම තියෙන්නේ . අපි ඉතින් නැගිටල අනිත් පැත්තේ ඉඳ ගත්ත . ඊට කලින් සීට් පේලියේත් ඔය සිද්දියම වුනාට ඒ කපල් එක අනිත් පැත්තේ ඉඳගත්ත, ඉඳගෙන හිටි අයට එතනම ඉන්න දීල . ඩෝන්ට් වොරි කියල . ඒ දෙගොල්ල හෙනට කතාව යාලු වෙලා.

ඔන්න බස් එක හරියට වෙලාවට ඇද්දුව . පරක්කු වෙලා ආවනම් සොරි ඩොට් කොම් . පාරේ දෙපැත්තම එක වගේ ටෝකියෝ නගරය පහු වෙනකන් . උස බිල්ඩින් . පොඩි බිල්ඩින් හැම පැත්තේම . සෙනග මිලියන් 13 කට ඉන්නත් එපාය . වැඩිපුරම තට්ටු නිවාස කියලයි පෙනුනේ පයින් වගාවක් පටන් ගත්ත . මේ කැලෑව දෙපැත්තේ ගස් කපන්න තහනම් . ඒ අවට ඉන්න ජනතාව ශ්‍රමදාන කර කර කැලෑව වරින් වර පිරිසිදු කරනවලු . අපි ඉඳගෙන හිටිය පැත්ත කන්ද පැත්ත කියල ටික වෙලාවකින් තේරුනා . ඉතින් ෆොටෝ ගහන්න ගත්ත . ටුවර් ගයිඩ් කියනවා -"ඔන්න හැංගි හැංගි එබී බලන ෆුජි කන්ද පේන්න ගන්නවා . ෆොටෝ ගහන්න කැළෑව සුද්ධ කරපු තැන් තියෙනවා කියල" . ඔන්න අපේ පැත්තේ හැමෝම ගජ රාමෙට ෆොටෝ ගහනවා . මම අර අපට නැගිටින්න කියපු උන්ද දිහා බැලුව . පොරගේ මූණ මිරිකපු දෙහි ලෙල්ලක් වගේ . පොර ගාව වටිනා කැමරාවකුත් තියනවා . බෙල්ල උඩට දික් කරගෙන මෑන් ෆොටෝ එකක් ගහන්න දඟලනවා . කර්මය ළමයා . කර්මය .
(මෙතැන එයා හරි . අපි වරදී පැත්තේ ඉඳ ගත්තේ . මගේ ඔල්ටෙර්නෙටිව් තින්කින් පැටර්න් එක නිසා මට හිතුනේ , යකෝ බුවා උදේ පාන්දර දෙයියන්ට කියල එන්න ඇත්තේ හරි පැත්තේ ඉඳගන්න දෙන්න කියල . කැමරාචාත් අරගෙන බෙල්ලේ එල්ලගෙන . ඇවිල්ල දෙයියෝ මට වරද්දල පොරට හරි පැත්ත දීලත් මෑන් ඒක මිස් කර ගත්ත . )


අපේ ටුවර් ගයිඩ් එයාව හඳුන්වල දීල රියදුරු මහත්මයාගේ නමත් කිව . කියල අත්පුඩියක් ගහන්න කීව එයා අපිව අරන් යනවට . අපි බොහොම සතුටින් අත්පුඩි ගැහුවා . ඕනේ නම් කියන්න පුළුවන් මොකටද අත්පුඩි ගහන්නේ එයාගේ ජොබ් එකනේ කියල . නමුත් ජිවිත පනහක විතර වගකීම ඒ මනුස්සයාගේ අතේනේ තියෙන්නේ . එයා නැගිටලා ස්තුති කළා . ඒ විතරක් නෙමේ නතර වෙන හම තැනදීම හැමෝටම වෙන වෙනම ස්තුති කළා . බස් එකට නගින කොට වෙන වෙනම ආචාර කළා .






ජපන්නු මේ ජීවමාන ගිනි කන්දට කියන්නේ ෆුජි - සං කියල . නොරිකෝ සං හෙම මතක ඇතිනේ . පිරිමි ගැහැණු දෙගොල්ලටම සං කියනවා කියල . සාමා හෝ සමා කියන්නේ ටිකක් වැදගත් නම් ලු . පිරිමි ළමයි ගේ නම අගට කුන් කියල දානව . ගැහැණු ළමයින්ට චන් කියනවා . ජපන්නුන්ට ෆුජි ගිනි කන්ද පණ තියෙන වැදගත් මහත්මයෙක් වගේ .

ඒ නිසාම මේ ගිනි කන්දට නොයෙකුත් කවි , ගී , හයිකු , පොත් ලියැවී තිබෙනවා. ඒ වගේම අප්‍රමාණ සංඛ්‍යාවක් සිත්තරුන් නොයෙක් අන්දමින් එය සිතුවමට නගා තිබෙනවා . හොකුසයි කත්සුෂිකා කියන්නේ එහෙම කෙනෙක් . ඔහු ලී වලින් හදන නිර්මාණ යුකියෝ විධි ක්‍රමය කියල කියෙන්නේ . ඒවා යේ රූප ඇතුලත් පොතක් ඔහු පල කර තිබෙනවා - ෆුජි කන්දේ හැඩයන් සියයක් කියල . "One Hundred Views of Mount Fuji."












ඇත්තටම එතැනට ගියාට පස්සේ තේරෙනවා ඇයි ෆුජි මහත්තයා මෙපමණ නිර්මාණ වලට හේතුව වෙලා තියෙන්නේ කියල . ජපානය කියන්නේ කඳු වලින් පිරිච්ච රටක්. ෆුජි තමයි ඒ කඳු රාජධානියේ අධිරාජයා . ෆුජි කියන්නේ ජපානයේ ජාතික සලකුණ . ඒක මිටර් 3776 ක් උසයි . අපි ගිය පස්වැනි ස්ටේෂන් එක මීටර් 2500 (අඩි 7000 විතර ) විතර උඩින් තියෙන්නේ . අවුරුද්දකට ලක්ෂ දෙකක් විතර කන්ද මුදුනට එනකන් යනවලු . මේක එක්තරා ආකාරයක වන්දනා ගමනක් වගේ . ශින්ටෝ ආගමේ එක කන්සෙප්ට් එකක් තමා ස්වභාව ධරමයා සමග ඒකාත්මික වීම . හුඟක් අය අර අපේ සමනළ කන්ද නගිනවා වගේ දෙතුන් පාර යන අයලු. හැබැයි ජපනුන් ගේම ප්‍රස්ථාව පිරුලක් තියෙනවා "නුවණැත්තා ෆුජි කන්ද එකවරක් පමණක් තරණය කරයි . මෝඩයා දෙවන වරටත් යයි " කියල . මම ඉංග්‍රීසි බ්ලොග් එකට පොඩි කවියක් ලීවා . මේ ඒකෙ පරිවර්තනය :

ලොකු තට්ට හිසක්

සුදු හිම වලින් පිරුණු

ඉදුණු හිසකේ මග හරින්නට

නුවණැති මහළු යෝධයෙක්

ජපනගේ ආඩම්බරය

This is my poem: 

A giant bold head 

White snow spread 

to replace the white hair 

An old wise  giant 

Pride of Japan

23/05/2025 Ajith Dharmakeerthi

සියළුම පින්තූර මවිසින් ගත් ඒවාය. 

Station 5: