Sunday, 30 June 2019

දොස්තර සාෆි හැර තවත් දොස්තරවරු සහ හෙදියන් සිටීද මහරජ?

මුකුත්ම නොලිය ඉන්නත් ඉඳල අන්තිමට ලියන්න තීරණය කළේ අපේ රැඩිකල් සෙට් එකයි සිංහල බෞද්ධ සෙට් එකයි එකම තැන ඉන්නවා දැකල.

රැඩිකල් සෙට් එකට අනුව සාෆි නිවැරදියි. මේක මුස්ලිම් වරුන්ට එරෙහිව ගහන ගැහිල්ලේ කොටසක්. සාෆි යූ ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලලත් තියනවා. ඒක අමතක කරන්නත් එපා. දිවයිනේමාධ්‍යවේදියෙකු වන හේමන්ත රන්දුනු හා  වයඹ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිද්ධිය පිටුපස සිටින බවත්, සාෆි මිලදී ගත් ගොඩ නැගිල්ලක් නිසා මේ බොරු චෝදනා වලට සම්බන්ධ බවත් කියැවෙනවා.

ඒ සමගම සීඅයිඩී එක පවා බොරු කළාය කියල මේ ලිපියෙන් කියනවා.
"සාෆි අත්අඩංගුවට ගත් පැමිණිල්ල ගැනත් පොලිසියේ වංචාවක් - CID විමර්ශනයෙන් හෙළිවෙයි"

දැන් මගේ අත්දැකීමක් තියනවා මගේ පියා ගැන.මේ ගැන  මේ බ්ලොගයේ මීට කලින් ලියලත් තියනවා. ඔහුට තිබුනේ හෙමක්‍රොමොටොසිස් කියන රෝගය. රුධිරයේ අයන් (යකඩ) වැඩිකම. මේ නිසා අක්මාවේ වැඩිපුර යකඩ තැන්පත් වෙලා  සිරෝසිස් හැදෙනවා. බීල නෙමේ.  එයාට ප්ලේබෙටෝමි තෙරපි එක නැත්නම් රුධිර ප්ලාස්මා එක දීම (වෙනෙසෙක්ෂන්)  මගින් සෑහෙන්න හොඳ වුණා. බටහිර අවුරුදු ගාණක් කරන වෙදකමක්. ලංකාවේ ප්‍රධාන ජාතික රෝහලේ (මහා රෝහලේ) සිටි කරුණාවන්ත වෙදැදුරු තුමෙක් තමා මේ ප්‍රතිකාරය කළේ . මේ ප්‍රතිකාරය කරන තාක් කල් පියා හොඳින් හිටිය. නමුත් අනිකුත් වෛද්‍යවරු දාපු ලෙඩක් නිසා කියල කියන්නේ, මේ වෛද්‍යවරයා වෙන රටකට ගියාලු. මගේ සහෝදරයා , මව සහ සහෝදරිය පියාට මේ ප්‍රතිකාරය දීර්ඝ කරන්න කියල මහා රෝහලේ  සිටි වෛද්‍යයවරුන් හා වෛද්‍යවරියන් ගෙන් ඇහුවම බැනල එලවාගෙන. "ඔයාල අපිට වැඩිය දන්නවද ?අපි දෙන බෙහෙත්  ගන්න බැරිනම් යන්න."

පියාගේ තත්වය එන්න එන්නම දුර්වල වුණා. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා . ලෙඩේ ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් චැනල් කරගන්න ඕන ක්‍රියාවලිය ඒකයි. ඉන්පස්සේ   ඒ වෛද්‍යවරයා සම්බන්ධ ප්‍රධාන රෝහලකට ඇතුළත් කළා. නමුත් ඒ වෛද්‍යවරයාත් මුලින් කී වෛද්‍යවරයා කරපු ප්ලාස්මා දීම (ලංකාවේ නම් කරපු විධිහ)  හෙවත් ලේ ඉවත්කර   ලේ දීම කළේ නැහැ. වදදුරු වාර්තා තියෙද්දී. එයා මුළු පරීක්ෂණ රොත්තම ආපහු කරන්න  ගත්ත. අර පෞද්ගලික රෝහල හරහා.  මගේ සහෝදරිය හෙම මේකට විරුද්ධ වුනා . නමුත් වැඩක් වුනේ නැහැ. තාත්ත දුරලා වුනා දවසින් දවස. බැරිම තැන මම කතා කලා . ලන්ඩන් වලින් කතා කරනකොට ලෙඩේ විස්තර, අරව මේවා ඔක්කොම දැන ගන්න පුළුවන් වුනා. ඒ ප්‍රධාන වෛද්‍යවරයම කීව බයවෙන්න එපා මගේ වෙදකමක් තියනවා. මේ පරීක්ෂණ ඉවර වෙලා ඒ ගැන ක්‍රියා කරනවා කියල. ඒක ප්‍රමාදයි දැනට රුධිර පාරවිලනය හෝ ප්ලාස්මා දෙන්න  කියන අපේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ.

මේ වෛද්‍යවරයම  වෛද්‍ය සිසුන් වගේකට කියල දෙන ගමන් හෙමක්‍රොමටසිස් රෝගය ගැන කියල හොඳ කරන්න  බැරිබවත්  පරම්පරාගත (genetic haemochromatosis)  ලෙඩක් බවත් විස්තර කරලා. තාත්ත අඬ අඬ කියල තියනවා අම්මට සහ මල්ලිට. හැබැයි ඒ වෙනකොට අපි දැනගෙන හිටිය ලෙඩේ සනීපකරන්න බැහැ කියල. නමුත් ජිවත් වන කාලය රුධිරය දීම මගින් දිගු  කරන්න පුළුවන් කියලත් අවසන් අවධියේ වේදනාව අඩු කරන්න පුළුවන් කියලත්. අපි ඒකට ගෙව්වත් එක්ක හැම මාසයකම. (රුධිර ප්ලාස්මා එකට)
හැබැයි   ඒ වෙලාවේ නම් මම ටිකක් තදින්  කතා කරලා  "ප්‍රධාන වෛද්‍යවරයාට "  ඇහුව මොන වෛද්‍ය ආචාර  ධර්මවලද තියෙන්නේ ලෙඩා ඉස්සරහම ශිෂ්‍යයන්ට කියන්න  ලෙඩා  හෙට අනිද්දා මැරෙනවා  කියල "
එම දොස්තර තුමා සොරි කිව්වා. ඊට පස්සේ කිව්වා ලන්ඩන් එවන්න  තරම් හොඳට ලෙඩාව සනීප කරනවා කියල. සනීප වෙන්නැති ලෙඩක් සනිපකරන්නේ කොහොමද කියල මම ඇහුවේ නැහැ. හැබැයි ඊට සුමානෙකට පස්සේ තාත්තා එක පාරටම අමාරු වෙලා දින තුනකින් වගේ  මැරුණා. මැරුණ හේතුව සිරෝසිස් නෙමේ. නියුමෝනියාව. මේ ලෙඩේ නිසා ප්‍රතිශක්තිය සෑහෙන්න අඩුවෙනවා. එනිසා වෙන ලෙඩ අඩුම ගණනේ හෙම්බිරිස්සාව තියෙන  කෙනෙක්වත් ලඟින් තියන්නේ නැහැ. තාත්තා ගාව නියුමෝනියා හැදිච්ච ලෙඩෙක් තියලා දවස් ගාණක්. මම ඇයි කියල ඇහුවම ඒකටත් "සොරි" කිව්වා.

ඒ වාට්ටුවේ හිටි හෙදියක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් මට පස්සේ ලංඩන් වලදී හම්බ වුනා. ඒ අය ඇත්තටම හුඟක් උදව් කරලත් තිබ්බ. නමුත් එයාලට අනුව ලංකාවේ වෙන දේවල වෙන විධිහේ ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමේ කාටවත් කඩන්න බැහැ. අවම වශයෙන් මම දන්නේ එහෙමෙයි.

අපි දන්නා , බ්ලොග් ලියන කියන, ෆේස් බුක් එකේ ලියන හුඟක් හොඳ බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට කියන දෙයක් නෙමේ මේ.
හැබැයි ලෙඩ්ඩුන් ගෙන්  අහන්නේ නැතිව , ලෙඩ්ඩුන්ට හෝ ඔවුන්ගේ භාරකරුවනට නොකිය කරන දේ වෙනවා කියල මම අහලා තියනවා. ලෙඩ්ඩුන්ට ප්‍රශ්න අහන්නත් අමාරුයි පෞද්ගලික රෝහලක නොවේ නම්. ඊට අමතරව සිසේරියන් වගේ ශල්‍යකර්මයක් නම් එංගලන්තය වගේ රටවල කරන්නේ අන්තිම වගේ අවස්ථාවක . ස්වභාවික  විධිහට ළමය ලැබෙන්නේ නැත්නම් පමණයි . ලංකාවේ ඒක පළවෙනිම තෝරා ගැනීම හැටියටත් වෛද්‍යවරුම තීරණය කරලා කරනවලු.

ලංකාවේ උපත්පාලන සීන් කෝන් එක තදේටම යන රටක්. ඒක හරි. වැඩිපුර ළමයි හදා  ගන්නේ නැතිව ළමයෙක් දෙන්නෙක්  වගේ හදාගෙන ඒ ළමයින්ට හොඳ ජිවිතයක් දෙන එක ළමයි දහ දෙනෙක් හදාගෙන දුක් විඳවනවට වඩා හොඳයි. හැබැයි ඒක තීරණය කරන්න ඕනේ මවහෝ පියා මිස රජය නෙමේ.

ලංකාවේ ඒකත් රජය විසින් තීරණය කරනවා කියල මට කනින් කොනින් ඇසිලා තියනවා.

දොස්තර සාෆිට ශල්‍යකර්මකිරීම  තනියම කරන්න  බැහැ. නිර්වින්දන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කිහිප දෙනෙක් ඔතන ඉන්නවා. ඒ අයගේ අනුදැනුම ඇතුවයි ඕන දෙයක්  වෙන්නේ.
වෛද්‍ය සංගමය අසාමාන්‍ය ලෙස නිහඬයි වගේ කියලත් පේනවා. හැම  දෙයකටම ජාත්‍යානුරාගීව ඉඳිරියට එන ඔවුන් ජාතිය අමතක කරලා  ඉන්නේ ඇයි වගේ ප්‍රශ්නයක් මට එනවා.

එනිසාම මට ප්‍රශ්න කිහිපයක්  තිබෙනවා.
වඳ භාවයට පත් කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක් තිබුනාද?
ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා , මහින්ද සහ මෛත්‍රී රජයයන් යටතේ එය ක්‍රියාත්මක වුණාද?
මව්වරුන්ගේ අනුදැනුම නොමැතිව එය ක්‍රියාත්මක වුනාද ?
එවැනි ක්‍රියාවලියකට ජාති භේදයකින් තොරව බොහෝ වෛද්‍යවරුන් හා හෙදියන් සම්බන්ධ වුනාද?

ජනාධිපති කාරක සභාවක් පත් කරලා මේ ගැන හොයා බලන්න වෙයිද?

පින්තූර:      Cesarean Section Step by Step Procedure

Differences Between Vaginal and C-Section Childbirth

How I treat hemochromatosis




Friday, 28 June 2019

නුවණැති වඳුරා - පංච තන්ත්‍රයෙන් නොවේ

එක්තරා අතීතයේ දවසක ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටී මගීහු සියල්ල මිය ගියහ. විද්‍යාඥ කණ්ඩායමක් විසින් හදා වඩා ගන්න ලද නුවණැති වඳුරෙකු පමණක් මිය නොගොස් ඉතිරි විය. අනතුර සිදුවීමේ හේතුව සඳහා පත් කළ පරීක්ෂණ කමිටුවේ වාසනාවට මේ වඳුරු තෙමේට අප දන්නා භාෂාව (ඉංග්‍රීසි යයි සිතමු) හොඳින් වටහා ගත හැකිවුණු අතර අත පය, හිස, ආදී ශාරීරික අංගද මුවින් නගන විශේෂිත ශබ්දද උපයෝගී කරගෙන අසන ප්‍රශ්නයට පිළිතුරු දීමේ හැකියාවද තිබුණි.

පරීක්ෂණ කමිටු නිලධාරීන් රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන වඳුරා හමුවීමට ගොස් යානය කඩා වැටීමේ හේතු පිළිබඳව ප්‍රශ්න අසන ලදී. මේ දැක්වෙන්නේ එහි වාර්තාවෙන් කොටසකි.

නිලධරයා: යානය ගුවන් ගත කරන කොට මගීන් මොනවාද කරමින් හිටියේ? 
වඳුරා: ආසන  බඳ පටිය තද කර ගනිමින්  


නිලධරයා: ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: ආ , ඒ ගොල්ලෝ හලෝ , සුභ උදෑසනක් යයි කියමින් හිටිය 
 
නිලධරයා: යානයේ ප්‍රධාන නියමුවා මොනවාද කරමින් හිටියේ  
වඳුරා: යානයේ මාපක යන්ත්‍ර ඇතුළු සිස්ටම් එක නිරීක්ෂණය  කරමින් හිටිය 
 
නිලධරයා: ඔබ මොනවා කරමින් හිටියේ 
වඳුරා: මගේ යාළුවෝ හොයමින් හිටිය 


 නිලධරයා:  විනාඩි දහයකට කට පහලවකට පස්සේ මගීන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ඔවුන් කෑම බීම ගනිමින් හිටිය  
 
නිලධරයා:  ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: ඔවුන් මගීන්ට කෑම බිම සපයමින් හිටිය  
 
නිලධරයා:  නියමුවන් මොකක් කරමින්ද හිටියේ  
වඳුරා: ගුවන් යානය හසුරුවමින් හිටියා 
 
නිලධරයා: ඔබමොනවද කරමින් හිටිය 
වඳුරා: කෑම කමින් හා විසි කරමින් හිටියා 
 
නිලධරයා:  මිනිත්තු තිහ හතළිහකට පස්සේ මගීන් මොනවාද කරමින් හිටියේ   
වඳුරා: සමහරු නිදාගෙන , සමහරු පොත් කියවමින් හිටිය

නිලධරයා:  ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ඔවුන් මේක් අප් කරමින් මුහුණ පියකරු කරගනිමින් හිටිය. 


මේ අවස්ථාවේදී වඳුරා තොල් උල් කර පෙන්වන ලද බව නිලධරයා සටහනක්  කළේය  
 
නිලධරයා:  නියමුවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: යානයේ මාපක දෙස බලාගෙන හසුරුවමින් හිටිය 

නිලධරයා: ඔබ මොනවාද කරමින් හිටියේ 
වඳුරා: මුකුත් නැහැ 

නිලධරයා: යානය කඩා වැටීමට මොහොතකට පෙර  මගීන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: සියලු දෙනාම නිදාගෙන හිටියේ 

නිලධරයා: ගුවන් සේවිකාවන් මොනවාද කරමින් හිටියේ 
වඳුරා: නියමුවන් සිප ගනිමින් හිටිය 

නිලධරයා: නියමුවන් මොනවාද කරමින් හිටියේ  
වඳුරා: සේවිකාවන්ට ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වමින් හිටියා 
 
නිලධරයා: ඔබ මොනවාද කරමින් හිටියේ  
වඳුරා: ගුවන් යානය හසුරුවමින් 

ප.ලි.: කතාවේ උධෘත පාඨයක් තිබ්බේ දැයි අවිනිශ්චිතය. එහෙත් විප්ලවයක් කිරීමට  නුවණැති වඳුරන් ට භාර දීම හෝ රාජ්‍යයක් පාලනය කිරීම  නුවණැති වඳුරන්ට භාර දීම නිසා  අනවශ්‍ය ප්‍රථිඵල ලැබිය හැකි බැවින් අනවශ්‍ය වෙලාවට සිඹිමින් සිටීමෙන් වළකින්න.

කතාවේ නිර්මාතෘ අවිනිශ්චිතය.
 පරිවර්තනය අජිත් (කොළඹ ගමයා)

උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

Tuesday, 25 June 2019

හැකිනම් උදව්වක් කරන්න

අපි කට්ටියක් ලන්ඩන් ඉඳන් ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියල චැරිටියක් කරනවා 2004 ඉඳන් . ඒක හරහා ළමයි සෑහෙන පිරිසකට මාස් පතා මුදල් ගෙව්වා, සහ ගෙවමින් සිටිනවා අධ්‍යාපනික වැඩ සඳහා. දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මාසිකව මුදලක් දෙනවා තවත් ළමයි දෙන්නෙකුට. දෙන්නම එකම පවුලේ. එක දුවෙක් ආබාධිත දරුවෙක්.
ඔවුන්ට හරිහැටියට ඉන්න තැනක් වත් නැහැ.

මේක ජාතිවාදය අවුස්සන්න කියන එකක් නෙමේ. මම ඒ වගේ දේ නොකරන බව ඔබල දන්නවා. මේ ළමයින්ගේ තාත්ත වැඩිය ඉගෙන ගත් කෙනෙක් නෙමේ. වැඩ කලේ මුස්ලිම් විද්‍යාලයක පියන් කෙනෙක් ලෙස. පහුගියදා ඔහුව රැකියාවෙන් අස් කරලා. ඩොකියුමන්ට් වගයක් විසික් කළා කියල.නමුත් බිරිඳ කියන්නේ පහුගියදා ලංකාවේ ඇතිවූ ප්‍රශ්න නිසා තමයි අස් කලේ , ලිපි විසික් කල කතාව හදපු එකක් කියල.

මේ මනුස්සයා ටොයිලට් සුද්ධ කරන්න ගෙනාපු බ්ලීච් වගේ ජාතියක් බීල මැරෙන්න. දැන් හොස්පිට්ල් එකේ. ජිවිතේ නම් බේරිලා. අර අහිංසක බිරිඳ තමයි දරුවෝ දෙන්න බලා ගන්නේ. කවුරු හරි පුළුවන්නම් මොහුට සුළු පහේ රැකියාවක් හොයල දෙන්න.

ස්තූතියි (ඉන්නේ මාලිගාවත්ත පැත්තේ) (වෙනත් චැරිටි සමග සම්බන්ධයක් නැත )
උදව්වක් ලැබුනට පස්සේ මේ ලිපිය අයින් කරනවා.
ප්‍රතිචාර වලට වඩා ඔහුට රැකියාවක් ලබා දීම වැදගත් යයි සළකමි.

Tuesday, 18 June 2019

දඹුල්ලේ ගයිඩ්

ඉතා පියකරු රුසියන් යුවතියක් පෙම්වතිය වූ මගේ මිතුරෙකු සිටියේය. ඔහුගේ ශිෂ්‍ය සමය අවසානය වන කාලයේ ඔහු මෙම ඉතා රූපත් පෙම්වතියත් එවැනිම රූ සපුවකින් හෙබි ඇගේ සොහොයුරියත් ලංකාවේ  සංචාරයකට කැඳවා ගෙන ගියේය. මේ අසූව දශකයේ සිදුවීමකි.
ඔහු නැවත පැමිණි පසු අපට කිවේ මෙවැනි කතාවකි.

"ඒකිව බැඳලා ලංකාවේ ගෙනි යන්න බැහැ බං. මට දෙතුන් තැනකම මිනිස්සු සැලකුවේ ගයිඩ් කෙනෙක් වගේ."
"ඒ ඉතින් උඹල  සංචාරක ස්ථාන බලන්න යන නිසානේ. ඕක මහා ලොකු දෙයක්ද? ගිහිල්ල ජිවත් වෙන එක වෙන දෙයක්නේ"
"බැහැ  මචං . මට එහෙම ජිවත් වෙන්න බැහැ . "
ඔහු මදක් දුක්මුසුව කීවේය.

මට නම් සිතුනේ ඔහුට ලංකාවේ තරුණියක් බඳින්නට තිබෙන බලපෑම මත රුසියානු පෙම්වතිය  අත හැරීමට හේතුවක් සොයන ලෙසකි.

මේ සිද්ධිය සිදු වූයේද අර වසර 19 කට පෙර ලංකාවට විවාහ  උත්සවය ගන්නට ගිය කාලයේමය.

දඹුල්ලේ වන්දනා කරන්නට යනවිට මගේ බිරිඳගේ දෙමාපියන්ද , සොයුරියද අප සමග පැමිණියහ. එතන සෙරෙප්පු සපත්තු භාර ගන්නා ස්ථානයේ සිටින තරුණයන් කතා කරන දේ මට ඇසිනි.

"අන්න  මචන් සුද්දෝ කට්ටියක්. 2000 ට අඩුව  කියන්න එපා. "

මම නිහඬව මගේ බිරිඳගේ පවුලේ අය හා මගේ පවුලේ අයගේ ද, (මගේ මව , ඇගේ සොයුරියන්, මගේ සොහොයුරා  , ඔහුගේ බිරිය)ද ඇතුළු සියල්ලන්ගේම පාවහන් එකතු කොට දුනිමි. එතන පාවහන් යුගලකට රුපියල් 20කි. එහි සිටි තරුණයන්  "සුද්දන්ගේ" හෙවත් මගේ බිරිඳ හා අගේ පවුලේ උදවියගේ පාවහන් ගැනීම ප්‍රතික්ෂේප කළහ. සුද්දන් ගේ පාවහන් වටින ඒවා නිසා වෙනත් තැනක  ආරක්ෂා සහිතව තබන බවත් එයට රුපියල් 2000 ගන්නා බවත් ඔවුහු කීහ. ඒ  එක යුවලකටය. එතැන් හතර දෙනෙක්  නිසා ගණන රුපියල් 4000 කි. මම කීවේ බිරිඳ හා ඇගේ සොයුරිය  ද  අඳින්නේ මා  රැගෙන දුන් DSI පාවහන් බවත් පියාගේ පාවහන් යුගලය සැන්ඩ්ල් බවත් ඒවා එතරම් වටින්නේ නැති අතර අපේ ගොඩේම  ඒවා තැබිය යුතු බවත්ය. මම  ඉල්ලූ  මුදල එක හෙළාම ප්‍රතික්ෂේප කලෙමි.

මේ වාදය එලෙස ඇදී ගිය අතර ඒ අතර එතැන සිටි දඹුල්ලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා  එතනට පැමිණි ප්‍රශ්නය් විසඳන්නට තැත් කළහ.

එක තරුණයෙකු මා ඉදිරියේම "මේ ගයිඩ් බල්ලා අපි කීයක් හරි හොයා ගන්නවාට විරුද්ධ බව" ආරක්ෂක නිලධාරියාට පැවසිය. ආරක්ෂක නිලධාරීන් මුලදී ගත්තේ අරුන් ගේ පැත්තය. ඔවුනොවුන් හඳුනන බව මට වැටහිණි. මට මළ පැන්නේ මෙතනදීය.

ඔවුන් කියු දෙය හෙවත් "සුද්දන්ගෙන් වැඩිපුර ගන්නට කතා කරගත් අයුරු " මට ඇසුන  බවත් මා ගෙවන්නේ මගේ පොකට්ටුවෙන් බවත් මේ සිටින්නේ  මගේ බිරිඳ හා පවුලේ අය බවත් ආරක්ෂක නිලධරයන්ට පැවසූ මා, ඒ අසල වෙසෙන නෑදෑයන්ට කතා කරන  බවත් (එවැන්නෙක් සිටියේය) ඉන්පසු පොලිසි යන බවත්, කොළඹදී  සංචාරක පොලිසියට පැමිණිලි කරන බවත් කීවෙමි.

ආරක්ෂක නිලධාරීන් ට දෙපැත්ත  බේරා කතා කිරීමට  සිදුවුනේ ඉන් පසුවය. මගේ බිරිඳ ගේ හා සොයුරියගේ DSI පාවහන් ද ඇතුළුව ඔවුන්ගේ පාවහන් සඳහා එක කුට්ටමට  රුපියල් 200 ගණනේත්   (හතරට 800) හා අපේ   පාවහන් සඳහා රුපියල් 20 ගණනේත් කතා කරගෙන දඹුල්ල  වඳින්නට ගියෙමු.

ආපසු පැමිණි  මම මුදල් දීමට යද්දී ඔවුහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළහහ. බලෙන් දීමට හැදුවත් ගත්තේ නැත.  නමුත් එතනින් ඉවතට යද්දී එකෙක් ඇසෙන නෑසෙන අන්දමට "මහත්තය, අපේ කමට වත් පොඩ්ඩක් සලකන්න මිට පස්සේ වත්" කියනු ඇසුනි. මා යමක් කියන්නට තැත් කළමුත් මගේ මව එය වැළකුවාය.

"ඔන්නොහෝ යමු පුතේ. අපි දැන් වැන්දනේ "

අපේ කමට කියා එවැනි මුදලක් මා ගෙවිය යුතුද? සමහර විට ළමයෙකුට අමාරුවක්, මුදල් හිඟයක් කීවා නම් එම මුදල මට දිය හැකිව තිබුණි. නමුත් සපත්තු කුට්ටමක් බලා  ගන්නට රුපියල් 1000 ක් ඉල්ලීම  මට සාධාරණිකරණය කල නොහැක. මේ වසර 2000 දීය.


සීගිරි යේ වැසිකිලි වල කැඩුණු සින්ක් 
සීගිරියට ගියවිට ඒ දිනවල එක අයෙකුට රුපියල් 2000 හෝ 3000 ගෙවා ටිකට් පත් ගන්නට සිදුවිය. මේ පවුම රුපියල් සීයට පමණව තිබූ කාලයයි. රට යුද්ධයක නිරතව  සිටින නිසා මේ ගණන් සාධාරණ යයි සිතුවෙමි. නමුත් අසාධාරණ බව වැටහෙන්නේ දේශීය ටිකට් පත රුපියල් 30 පමණ වන විටය. එනිසා රුපියල් 1000-1500 සාධාරණ මුදලක් යයි සිතමි.
ටිෂූ කොළ නැත 

ගිය වසරේ දී සීගිරි   ගිය විට පවුලේ හතර දෙනාගෙන් එක අයෙකුට රුපියල් 5000 ගණනේ ගෙවීමට  සිදුවිය.  පිටරට සිටින සිංහල මිතුරෙකු ඔහුගේ පවුලටම මගේ දියණියන් දෙදෙනාද (ඔවුන් බ්‍රිතාන්‍ය වුවත් සිංහල බැවින් රුපියල් 50 ටිකට් ගත හැකි විය. එහි වරදක් නොදකිමි) එක් කරගත් බැවින් 5000 ගණනේ  ගෙවන්නට වූයේ අප දෙදෙනාටත් අපේ කණ්ඩායමේ  අනික්  විදේශිකයන් පස් දෙනාටත් පමණි.

අපිරිසිදු වැසිකිලි 
ඒ මුදල් ගත්තාට  සමහර ෆැසිලිටි එතරම් හොඳ තත්වයේ  තිබුනේ නැත

සීගිරියෙන් පසු  අපි අලි බලන්නට ගියෙමු. එහිදී අප දෙතුන් වරක් ඇසුවේ අලි සිටින්නේද කියාය. අලි සිටින බවට ඔවුන් අපට  සහතික කොට කීහ.

ජීප් රථයේ මුදල රුපියල් 5000 ලෙස පොරොන්දු වී   ජීප් රථවල  ගියෙමු.   අතරමගදී පැට්‍රල් ගසන්නට කියා රියදුරු මහතා රුපියල් දාහක් ඉල්ලා ගත්තේය.

එම වනෝද්‍යානයට ඇතුළු වීමට නැවතත් රුපියල් 5000 ගණනේ  ටිකට් හතරක් ගැනීමට සිදුවිය . (මගේ පවුල සඳහා පමණක් රුපියල් 20,000 කි).  ලෝකල් ගණන රුපියල් 30 ක් හෝ පනහකි.

හිටිය අලියෙක් නැත.

එන ගමනේදී රියදුරු මහතා පැවසුවේ,"මේ වැසි කාලයේ අලි නැති බවය. වැස්ස වහින විට අලි එන්නේ නැති බවත් ඔවුන්ගෙන් ඇසුවානම් ඒ බව කියන බවත් ය. අපට ජීප් රථ සංවිධානය කළ තැනැත්තන් හා අපේ කණ්ඩායමේ ටුවර් ගයිඩ් වශයෙන් සිටි තැනැත්තා ද යහළුවන්ය. අලි සිටිනවා යයි සහතික කලේ ඔවුන්ය.

ප්‍රශ්නයක් නැත. අලි අපට ඕනෑ වෙලාවට එන්නේ නැත. අපි සුන්දර ශ්‍රී ලංකාවේ සොබා දහමේ සෞන්දර්යය  නැරඹුවෙමු.

ආපසු පැමිණ අප ආ වාහන වලට නගිද්දී ජීප් වල ගණන් බේරුවෙමු. රියදුරු මහතාට ටිප් දෙන්නට වත් මාරු කරගත් මුදල් වලින් වැඩි  මුදලක් අතේ ඉතිරිව තිබුනේ නැත. එනිසා  අතේ ඉතිරිව තිබූ රුපියල් 200 දුන්නෙමි. අපේ ජීප් රථයේ සිටි අනිත් විදේශිකයන් දෙදෙනා කිවේ ඔවුන් මාරුකරගත් මුදල් අවසන් හෙයින් මට හෝටලයේදී ගෙවන්නම් කියාය. ඔවුන්ටත් ගෙව්වේ මමය.

 එනිසා  ලොකු ටිප් එකක් දීමට අතේ මුදල් නැති බව එතැන කෙනෙකුට කීවෙමි.

මා  ඉතා අඩු ටිප් එකක් දුන්නා  යයි රියදුරු  චෝදනා කර තිබුණි. ශ්‍රී ලාංකික කණ්ඩායම් ඔවුන්ගේ රියදුරන්ට රුපියල් දාහේ  හෝ පන්සීයේ ටිප් දී තිබුණි . නමුත් ඔවුන් ඇතුළුවීමට  ගෙව්වේ රුපියල් 30 වැනි කුඩා මුදලකි.

මට බැණ  වැදුණු තාවකාලික ගයිඩ් තුමා ඔහුගේ අතින් රුපියල් 500ක්  රියදුරු ට දුන්නේය. "මේ පෙරේතයෝ  නම් යයි. අපි මේවට එන්න එපාය ආයෙත් " ඔහු කීවේ එලෙසය . එවිට මට මතක් වූයේ පැට්‍රල් ගසන්නට රියදුරු තැන  ඉල්ලලා ගත් රුපියල් 1000 ය. එයට කුමක් වූයේ දැයි රියදුරු මහතා කීවේ නැත. අපි මාරු කර තිබූ මුදල් අවසන් වී තිබූ බව ඔහු (තාවකාලික  ගයිඩ් මහතා)  ගණන් ගත්තේ නැත.  "අයියේ , මම දැනට දෙන්නම් 500, ඔයා  හෝටලේට ගිහින් සල්ලි දෙන්න" යයි කීවා නම් පසුවදා  මුදල් රැගෙන එම පවුම් 2.50 ඔහුට දිය හැකිව තිබුණි.  (අතර මගදී කෑම ගැනීමටද එවැනිම වියදමක් ගිය බැවින්)  එම කබානා සහිත හෝටලයෙන් යන තුරුම මම ඔහුට නැවතත් කතා නොකලෙමි.

අප සමග ගිය අනිකුත් විදේශිකයන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගය කළහ. කෑම අගය කළහ.  "අලි බොරුව " ගමන නොගියා නම් වඩා හොඳ බව කීහ.ගන්නා  මුදලට සරිලන සේවයක් ලබා දෙන්නේ නම් තත්වය වඩාත් හොඳ විය හැකිය.

සංචාරක සේවයේ යෙදෙන මහත්ම මහත්මීන් ට මේ සඳහා පෙරමුණ ගත හැක.



Thursday, 13 June 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ -ඉතිරි කොටස



හිතවත් පාඨකය,බ්ලොගයට පිවිසෙන  සහෝදරය,  සහෝදරිය,

මේ කතාවේ අවසන් පරිච්චේද ලියා අවසානයි.

ඔබට අවසන් කොටස්  කියවීමට ලැබෙන්නේ පොත මුද්‍රණය වූ පසුවය.

ඉන්පසු එම කොටස්ද මෙහි පළ කරමි.


අවසාන පරිච්ඡේදයන්හි  පින්තුරයක් පහත ඇත.



සැප්තැම්බර් මාසයේ ලංකාවේදී  හමුවෙමු.



Sunday, 9 June 2019

71, ප්‍රේමපාල හා සිරිසේන - නන්දන වීරරත්න

ප්‍රේමපාල හේවාබටගේ '71 කැරැල්ලට හසුව සිට ඉන් නිදහස් ලැබූ අයෙකි. ජවිපෙ පන්ති පහ ශ්‍රී ලංකාවේ පතුරුවන්නට ක්‍රියා කළ අයෙකි. ඔහු පිළිබඳව වෙබ් අඩවි වල සහ බ්ලොග් වල ලියවී තිබේ. ඔහු  '71 හා ඉන්පසුව විජේවීර මහතාගේ හා ජවිපෙ විකාශනය හැදෑරීමේ දී වැදගත්ම චරිතයක් බව වටහා ගත්තේ මේ ලියවිලි තුලිනි. එනිසා නන්දන වීරරත්න  ගේ මේ ලිපිය ඔහුගේ අවසරය ඇතිව පළ කරමි. 

අජිත් පැරකුම් ජයසින්හ විසින් ලියා ඇති ලිපිය: ප්‍රේමපාල හේවාබටගේ නම් විප්ලවවාදී සන්නාලියා . අජිත් පැරකුම් තම ලිපිය අවසාන කරන්නේ මෙලෙසය.  ප්‍රේමපාල හේවාබටගේ වැදගත්කම ඔහු අපුරුවට දක්වයි.
"ප්‍රේමපාල හේවාබටගේ යනු පත්තරවල කොටස් වශයෙන් කතා ලියැවුණ, පොත්පත්වල විග්‍රහ වුණ චරිතයක් නොවුණත්, ඔහු ලංකා ඉතිහාසය නම් සළුව මහන විට එහි ඔහු එහි වැදගත් නූල් පොටකැයි මම සිතමි."- අජිත් පැරකුම් 

වෛද්‍ය රුවන් ජයතුංග විසින් ලියා ඇති  ලිපිය: ප්‍රේමපාල හේවාබටගේ - අපරාජිත කැරලිකරුවා


71, ප්‍රේමපාල හා සිරිසේන - නන්දන වීරරත්න 

1971 තරුණ නැඟිටීමේ එක් නායකයෙක් වූ ප්‍රේමපාල හේවාබටගේ අද අවසන් ගමන් යන්නේ එම කැරැල්ලේම සැකකරුවෙකු වී සිරගතවී සිටි සිරිසේන කෙනෙක් රටේ ජනාධිපතිව සිටිද්දීය. 1971 අප්‍රියෙල් තරුණ නැඟිටීම දහස් ගණනක් ජාතික මට්ටමේ හා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් බිහි කලේය. මහැදුරන්ගේ පටන් ගුරුවරුන් දක්වා උගතුන්ද වැදුවේය. නමුත් ටේලර් හෙවත් සන්නාලි  රස්සාවෙන් දේශපාලනය පැමිනි ප්‍රේම් අනාගතය දැකීමෙන්ද භාවිතයෙන්ද මේ සියලු දෙනා පරදා නැඟී සිටියේය.

ඔහු දේශපාලනය පටන් ගත්තේ සනා හෙවත් ශන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පක්ශයෙනි. ශන් යනු ලංකාට අමතකවූ බලවත් දේශපාලන චරිතයකි. ලංකාවේ බහුතර සිංහලයන් සමඟ එක්වී කොමියුනිස්ට් විප්ලවයක් කරන්නට පක්ෂයක්  හැදූ මුල්ම දෙමලා ශන්ය. එහිදී කුමාර් ගුනරත්නම් ශන්ට දෙවෙනි වෙයි. යාපනයේ කුලවාදී දේවාලවලට කුල පීඩිතයන් සමඟ කඩා වැදුනු මුල්ම වෙල්ලාල කුලවතාද ශන්ය. එහෙවි ශන් ගේ ගෝලයෙකු වූ ප්‍රේම් ජීවිත කාලයේ කිසිම දිනක ජනප්‍රිය දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය වෙත  හැරුනේ නැත. ඔහුගේ දෙවැනි නායකයා රෝහණ විජේවීර පවා 1966 දී සෙසු වාමාංශික නායකයන් සමඟ මසල වඩේ පෙලපාලියේ ගියත් ප්‍රේම් මේ උපක්‍රමික ජාතිවාදී ගමන ප්‍රතික්ශේප කලේය.

ඔහුගේ මේ යකඩ ප්‍රතිපත්ති කොතෙක් ශක්තිමත් වූවේද යත් 1988/89 දී ජනතා සංගමයේ කොටසක් ජවිපේ විනාශ කිරීමට ප්‍රේමදාස ආන්ඩුවේ ආයුධ  ගෙන හමුදා වලට එකතු වෙද්දී ද  ඔහු මේ ප්‍රතිවාදි ගමන ප්‍රතික්ශේප කලේය. ධනපති ආන්ඩුවක් සමඟ ජවිපේ මර්ධනය කිරීමට වඩා සැඟවී ජීවිතය බේරා ගැනීම උතුම් යයි ඔහු ව්ශ්වාස කලේය.

1971 කැරැල්ල ගැන තවමත් අප නිම නොකල වාර්තා චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේම් සමඟ කතාකරන්නට ගිය අපට අසාගන්නට සිදුවුයේ ඔහුගේ කැරලිකාර ජීවිතයට වඩා එම යුගයේ දේශපාල පසුබිමය. මේ වෙනුවෙන් අප හමුවූ බොහෝ නායකයන්ට තිබූ එකම ප්‍රශ්ණය සටන තමන්ට පටන් ගැනීමට නොහැකිවී රෝහන විජේවීර පටන් ගැනීමය. නමුත් ප්‍රේම්ට රෝහන විජේවීරට ගෞරවය දෙද්දී කිසිම මමංකාරයක් හෝ ලෝභ කමක් තිබුනේ නැත. ඔහු හැමදාමත් රෝහන විජේවීරගේ දේශපාලනය විවේචනය කලත් ඒ හැමතැනදීම විජේවීර සහෝදරයා නමින් පැරණි සගයාට ගෞරව කිරීමට මතක නොකලේය.

ඉතින් 1971 දී හිරේ යාමත් ඉංදියානු නිදහස් සටනේදී වගේමය. ඉංදියානුවෝ දුම්රිය  මාර්ගවල විරෝධය පා වාඩිලා ගත්විට පොලිස් අත් අඩංගුවට පත්වූවන් අතරේ වැසිකිලියාමට රේල් පාරට ගිය එවුන්ද විශාල පිරිසක්ද පොලිස් අත් අඩංගුවට පත්වුනේය. මේ නිසා හිරේ ගිය ඉංදියන් නිදහස් සටනේ වීරයන් සොයද්දී කක්කුස්සි ගිය එකා හා සටනට  ගිය එකා තෝරා බේරා ගැනීම අපහසු වුනේය. මේ ගැටළුවම 71 සිරගතවූවන්ටත් තිබේ. එකල සිරිමාගේ සමඟි පෙරමුන පුද්ගලික හතුරන්ද හොරපොල් කැඩූවන්ද කෙසෙල් කැන් කැපූවන්ද පෙත්සම් හා ඔත්තුනිසා හිරේ දැමුවේය. මේ අනුව බලද්දී ප්‍රේම් හා සිරිසේන ල අතරේ තිබූ වෙනසත් එබඳු එකක්දැයි අපිට දැන් දැන් සැක ඇති කරන්නේය.

හිරෙන් පැමිණි ප්‍රේම් ජීවත් වීමට නොයෙකුත් රැකියා කලේය අවසාන ඔහු පරිසර ව්‍යාපාරවලට එකතුවී වැඩ කලේය. ඔහුට අපේ පරම්පරාව හෝ ඉන්පසු පරම්පරා සමඟ පෑහීමට කිසියම්  භාදකයක් තිබුනේය ඔහුගේ විප්ලවීය මතත් හැසිරීමත් ඔහු සදාකාලික තරුණයෙක් බවට පත් කලේය. ප්‍රේම් ගේ මතකය අප තුල හැමදාමත්ම ඉතිරිවන්නේ ඔහුගේ මේ දුර්ලභ ගුණය නිසාය.
-නන්දන වීරරත්න 

Sunday, 2 June 2019

සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද

පසුගිය සෙනසුරාදා දිනය විශේෂයෙන්ම  වෙන් කර ගත්තේ  අසාර්ථක විප්ලවයන් දෙකකට නායකත්වය දුන් අපූර්ව මිනිසෙකු ගැන වූ වෘත්තාන්ත චිත්‍රපටයක් නැරඹීමටය. මා උදක්ම ගියේ,  මාද  සෝවියට් දේශයේ උගෙනුම ලැබූවකු නිසා,  හැට ගණන් වල වැනි ඈත කාලයක  සෝවියට් දේශයේ ඉගෙනුමට ගොස් නැවත  පැමිණ  සමාජවාදී විප්ලවයක් දියත් කළ විප්ලව වාදියෙකු ගේ විප්ලවීය  දිවිය ධනවාදී රටක  සුළු ධනේශ්වර දිවියක් ගෙවන  අප වැන්නවුන් ට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද  යන්න වටහා ගැනීමට චිත්‍රපටය උදව්වක් වනු ඇති යයි සිතාය.


චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන අනුරුද්ධ ජයසිංහ මහතා තමන් හිටපු ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් බව  සරසවිය පුවත්පතට පවසා තිබුණි. ඒ අනුව  එතුමා තමන්ගේම  අත්දැකීම් සහ විජේවීර සහෝදරයා ට  තිබෙන අප්‍රමාණ ගෞරවය මත මේ චිත්‍රපටය නිර්මාණය කළ බවට අපට උපකල්පනය කළ හැකිය.   වඩා සුපරික්ෂාකාරිව විමසා බැලුවහොත්  රන්ජන් රාමනායක පන්නයේ චිත්‍රපට වලට වඩා  මෙය ඉතා උසස් සිනමා කෘතියක් බව නොකියා බැරිය.  සැබවින්ම පවසනවා නම් පිට රටවල  දිවි ගෙවන විප්‍රවාසීන් වන අප වාසනාවන්තයයෝ වෙමු.ඒ ඉතා හොඳ  හොඳ නිර්මාණශීලි  සිංහල චිත්‍රපට කිහිපයක්ම පසුගිය සමයේ නැරඹීමට හැකි වූ බැවිනි.

අනුරුද්ධ ජයසිංහ මහතා තෝරා ගත් නළු නිළි සමූහය ම විශිෂ්ඨ ලෙස තම රංගනයෙන් මේ සිනමා කෘතියේ දායකත්වය සැපයූ බව සඳහන් කළ යුතුයි.  කමල් අද්දර ආරච්චි යනු  කොහොමත් විශිෂ්ඨයෙකි. ඔහුගේ රංගන කුසලතාවන් පිලිබඳ විවාදයක් නැති අතර ඇතැම් සුළු තත්පර ගණනකට ඔහුට විජේවීර මගහැරී ගියත් අනුරුද්ධ වෙනුවෙනුත් අප වෙනුවෙනුත් ඔහු සාධාරණය ඉටු කොට තිබේ.      උපතිස්ස ගමනායක  ලෙස  ජගත් මනුවර්ණත් රංගනයෙන් ප්‍රබල සහයක් කමල්ට  දී තිබේ. විජේවීරගේ බිරිඳ ලෙස රඟපාන සුලෝචනාද , එසේම  සිරි අයියා, ලයියා හා නන්දන මාරසිංහ ගේ චරිත ද විහිද යන සිනමා පටයට නොමද ආලෝකයක් සපයා ඇත. එසේම ධනුෂ්ක ගුණතිලක නැවතත් තමන් සිනමා කැමරාකරණයේ ඇති දක්ෂයෙකු බව ඔප්පු කර ඇත.

 ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලයනල්  බෝපගේ මහත්මයා  සමගද කතා බහ කර උපදෙස් ලබා ගත් බව පවසා ඇති නිසා චිත්‍රපටයේ  ඒ මහතා සම්බන්ධ සිදුවීම්  ගොඩක් දුරට සැබැවින්ම සිදුවූ ඒවා යයි ද  උපකල්පනය කළ හැකිය.

නදීක ගුරුගේ ගේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට බොහෝ සමාන යයි මට සිතුනි. සැබවින්ම ඉතා  නිර්මාණශීලි ආකාරයට  නදීක ගුරුග තම කාර්යය මැනවින් ඉටු කර තිබේ. චිත්‍රපටයේ සංගීතය අළලා වෙනම සී ඩී පටයක් වත් නිර්මාණය කිරීමට ඔහුට අදහසක් ඇත්තේ දැයි නොදනිමි. නමුත් මට නැගුන එක සිතිවිල්ලක් නම්  නන්දන මාරසිංහගේ විමුක්ති ගී වලින් ඒ දිනවල  ජනප්‍රිය වූ  ගීතයක් වත් ඇතුළත් කළානම් වඩා සාධාරණයක් ඉටු කිරීමට හැකිව තිබුනා යයි කියාය.

ඒ දිනවල හොරෙන් මෙන් ඇසූ   "සති පූජා දර සෑයේ , හිර වී මොට්ක්ටැක්කිලියේ , සාර සංඛ්‍ය කප්  සියයක් වධයට කැපවූ කතුනේ " වගේ ගීතයක කොටසක් හෝ  වාදනය වුණා නම් කියා නොස්ටැල්ජික හිතිවිල්ලක්ද පැන නැගුණි.

නන්දන මාරසිංහ ගැනද  සිහියට නැගුනේ මේ ආකාරයටය..
මට සිතෙන්නේ  නන්දන මාරසිංහ ඝාතනය සාධාරණීකරනය කිරීමක් යාන්තමට වගේ හැඟවුණු බවයි. චිත්‍රපටයේ "නන්දන සහෝදරයා  ව"  ඔහු සිටින අවසාන දර්ශනයක පෙන්වන්නේ නරඹන්නාට  පිටුපස හරවා ගෙන මේසයක  හිඳගෙන කාටදෝ කිසියම් දෙයක් පවසන ආකාරයකිනි. මට පෙනුනේ ඒ  නන්දනට එරෙහිව නගා ඇති "පොලිසියට ඔත්තු දීමක් " යන චෝදනාව අනුමත කිරීමක් වශයෙනි. ඊටත්  අමතරව විජේවීර සහෝදරයා කෙලින්ම නන්දන විවේචනය කරන තැනක්ද චිත්‍රපටයේ අනවශ්‍ය ලෙස ඇතුළත් කර ඇත. මට සිතුනේ මේ නම් නන්දන  මරා  දැමීමේ  තීරණයේ කැළල මග හරවා ගැනීමට කළ උපක්‍රමයක් ලෙසය.

ලන්ඩනයේ වෙසෙන  පැරණි විප්ලව වාදියෙකු වන ගාමිණී මුතුකුමාරණ සහෝදරයා මා සමග දිනක් දීර්ඝ වාදයක පැටලුනේ මේ ගැනය . ඒ මහතා දැඩි ලෙසින් අවධාරණය කර පැවසුවේ,  නන්දන  අනුරාධපුර පොලිසියට යන බව ඔහු පෞද්ගලිකවම දන්නා බවයි.    හේතුව එවැනි වූ අවස්ථාවක  ඔහුද සිටියේ  අනුරාධපුර පොලිසියේ කූඩුවක බවයි.

නමුත් ලන්ඩනයේදී   මට හමුවුන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා කීවේ වෙන කතාවකි. මා ලෙසින්ම ආචාර්ය සුනිල්ද  ඉගෙනුම ලැබුවේ  සෝවියට් දේශයේය. එසේම  විජේවීර මහතා ලෙසින්ම  ලුමුම්බා විශ්ව විද්‍යාලයේය. ඔහුත්,  සුනිලා  අබේසේකරත්  (මේ කියන්නේ අර " සොඳුරු සයනේ ගීතය" භාවාත්මක ලෙස ගයන , කාන්තා විමුක්තිය වෙනුවෙන් අභීතව  නිරතුරුව සටන් කල , 71 කැරැල්ලටද   සම්බන්ධව සිටි වීර සහෝදරිය ගැනය.) නන්දන ගේ ඝාතනයට  කලින් දිනක රැයේ සුනිලා සහ සුනිල් හිඳ ඇත්තේ නන්දන සමග අනුරාධපුරයේය. ඔවුන් ඝාතනය කිරීමට නියමිත බව  ජවිපෙ හිතවතෙකු ගෙන්ම  ඔත්තුවක්  ලැබී තිබේ. සුනිලාත් , සුනිලුත්   නන්දනට ආයාචනා කලේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවී  සිටින ලෙසය. නන්දන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ  "ජවිපෙ කොල්ලෝ ඔහුට  'අතක් තියන්නට' නොඑන බවට" දැඩි විශ්වාසයක්ද  පල  කරමිනි . පොලිසියට ඔත්තු සපයන අයෙකුට එවැනි විශ්වාසයක් තිබිය හැකිද?  අවම වශයෙන් පොඩි හෝ  සැකයක් මතු වන්නේ නැත්ද?
මේ මම 2016 දී නන්දන මාරසිංහ  ගැන ලියූ  ලිපියකි. නන්දන මාරසිංහ ගේ මරණය. මෙහි  රන්ජි නම් සහෝදරයා තරමක  වෙනස් ආකාරයක අන්දරයක් පවසයි.

චිත්‍රපටයේ ඉතාමත් අනවශ්‍ය ලෙස සඳහන් වන තව අයෙක් නම්  දයාන් ජයතිලකය. අද දින කෙසේ වෙතත් එදානම්  ජවිපෙ  සිටියේ දයාන් විරෝධීවය. මට මතක හැටියට  ඒ දිනවල  "කොක්ක ගහන්නට " පැමිණි සහෝදරයෙකු කීවේ දයාන් සීඅයිඒ කාරයෙක් බවය. ඔහු ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සීඅයිඒ ව්‍යපෘති බවය. ඉතින් ඒ නිසාම  මම දයාන්ගේ දේශන කිහිපයකට ගියෙමි. ලතින් අමෙරිකානු විප්ලව ගැන හා ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන ඒ දිනවල  හොඳම අදහස් ප්‍රකාශ කළේ ආචාර්ය දයාන් ජයතිලක බව සිතමි. අනික් කාරණය නම්  මර්වින් සිල්වා මහත්මයාගේ ශ්‍රී ලංකා ගාර්ඩියන් යනු ඒ දිනවල ඉතා  හොඳ දේශපාලනික ලිපි පළවුණු සඟරාවකි. මට හිතෙන්නේ මේ දයාන් විරෝධය පැමිණියේත්  විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ දෙමළ  අරගලය ඈත් කරමින් තනි සිංහල අරගලයක් වෙතට යොමු වීමෙන් පසුව බවයි. ඉතිහාසයේ සරදම නම් ඉන්පසු දයාන් ජයතිලක මහින්ද හරහා ගත්තේ ද ජවිපෙ ස්ථාවරයමය.

දෙමළ සංවිධාන වලට ඒ දිනවල සහය දුන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ඒ දිනවල විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දිරා ගේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කරමින් සිට ගත්තේ   සෝවියට් කඳවුරේය. දැන් මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග නොවේ. ඉදින්  විජේවීර "සහෝදරයා" පැවසූ   LTTE එක සම්බන්ධයෙන් තිබුනා යයි කියන ඇමෙරිකානු අතපෑම  පිළි  ගැනීමට හැකි එකක් නොවේ. ජූලි කලබල හා ඉන්පසු රජීව්/සෝනියා හරහා ඉන්දීය ස්ථාවරය  වෙනස් වීමෙන් පසු ඇමෙරිකා  එක්සත් ජනපදය වේදිකාවට  එළඹී බවත් ඔවුන් ට යම් ආකාරයක දෙමල ත්‍රස්තවාදී සංවිධාන වලට  බලපෑමක් කළ හැකිව තිබු බවත් සත්‍යයකි. නමුත් 1983,-1988 කාලයේ නම් නොවේ. ඒ දිනවල  ද්‍රවිඩ අරගලය පිටුපස තිබුනු  ප්‍රධානතම  විදේශ බලවේගය ඉන්දියාවයි.


චිත්‍රපටයේ ස්වයංනිර්ණය අයිතිය පිලිබඳ අදහස් පල කරන කොටසද අවශ්‍යම නැති එකකි. හේතුව විජේවීර මහත්මයාගේ (සහෝදරයා නොවේ)  ලෙනින් කිව්වාය කියන අදහසම මතභේදයට තුඩුදෙන එකකි.  විජේවීර මහතා පුන පුනා කියන්නේ ස්ටාලින්ගේ අදහස මිසක් ලෙනින්ගේ අදහස නොවේ.  ස්වයන් නිර්ණන අයිතිය පසෙකින් තබා දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගෙනහිර යුරෝපීය  රටවල් සෝවියට් චන්ද්‍රිකා  බවට පත් කර ගත්තේ ස්ටාලින්ය. ලෙනින් පැවසුවේ පීඩිත ජනතාවකගේ  ස්වයං නිර්ණය අයිතිය පිළිගත යුතුය, ඔවුන් මහා ජාතියේ බන්ධනයෙන් මුදවා ගන්නේ නැත්නම් මහා ජාතියේ කම්කරු පන්තිය නිදහස් නැත යනුවෙනි. (පහල ලෙනින් ගේ කෘති වල 22 වෙළුමෙන් උපුටා ගත් සටහන් බලන්න)   රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ෆින්ලන්තය ළඳරු සෝවියට් රාජ්‍යයෙන් වෙන්වී යන්නේ මේ නිසාය. එසේම ෆින්ලන්තය ආර්ථික වශයෙන් වඩා දියුණු නිසා සෝවියට් රාජ්‍යය ට එය වාසියක් වේ යයිද  ලෙනින් සිතුවේය. ලෙනින්  නිවැරදි බව පසුව ඔප්පු වුනු අතර ෆින්ලන්තය අදත් සමෘද්ධිමත් ආදර්ශවත් රාජ්‍යයකි.

ඒ දිනවල මෙවැනි අදහස් වඩා හොඳින් ග්‍රහණය කරගෙන හිටියේ සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය වැනි අය මෙන්ම ස්වාධින ශිෂ්‍ය සංගමයේ දයා පතිරණය. දයා ඇතුළු කණ්ඩායම  ජවිපෙ සිසුන්ට රැක සිට පහරදුන් කතා මා අසා තිබේ. ඒ හේතුව හෝ වෙන හේතුන් හෝ  දයා මරන්නට  අණ දීමට  හේතුවක් නොවේ . මා සිතන්නේ එවකට පැවති ජවිපෙ මතවාදයට ප්‍රබල තර්ජනයක් විශ්ව විද්‍යාල දේශපාලනයේදී ඔහු  විසින් එල්ල කළ නිසා ඒ මරණය සිද්ධ වුණු බවයි. කොටින්ම  දයාගේ ස්වයං නිර්ණය පිළිබඳ ස්ථාවරය නිසා බවයි.  මා කලින් ලියූ  ලිපියකත් පැවසුවේ ස්වාධීන සිසු සංගමයේ ඇතැමුන්  රජයේ ආරක්ෂක අංශ වල සහයෝගයෙන්  ප්‍රා සංවිධානය ගොඩ නගා කරන ලද  තිරශ්චීන ක්‍රියා මා කිසි සේත්ම අනුමත කරන්නේ නැති බවයි. එහෙත්   දයා පතිරණ ඝාතනයෙන් ජවිපෙට වැදුණු  ඉතිහාසයේ කැළල මකා  දමන්නට නම් විජේවීර "සහෝදරයා"  විසින්  රචිත "දෙමළ  ඊළම් අරගලයට විසඳුම කුමක්ද " නම්  සිරි අයියා විසින්ද  විජේවීර සමග චිත්‍රපටයේ මතක් කරන ග්‍රන්ථය  ගැන නැවතත් දැඩි  විමසීමක් කළ  යුතු බවයි.

නමුත් විජේවීර මහතා ට නොතේරුන දෙය නම්  වාමාංශික දෙමළ  කණ්ඩායම් ජවිපෙ සාමාජිකයන්ට යුධ පුහුණුව දීමටද  කැමති වූ  අවස්ථාවේ  අර ජාතිවාදී රැල්ලට හසුවී දෙමළ වාමාන්ශිකයන්   ප්‍රතික්ෂේප කිරීම ජපන් සමුරායි වරුන්ගේ හරාකිරිය වැළඳ ගැනීමක් බවයි.  මම  දෙමළ  ත්‍රස්තවාදය පැත්තේ සිටි හෝ සිටින අයෙක් නොවේ.  නමුත් තර්කානුකූලව ගත හැකි හොඳම පියවර විජේවීර ඉවත දැමුවේය.   කල්පනා කර බලන්න.

මම වරක් සෝවියට් දේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය  සංගමයේ   ප්‍රධාන ලේකම් ව සිටියදී  "වීර පුරන් අප්පු " චිත්‍රපටය රුසියානු කොම්සොමෝල් ශිෂ්‍යයන් සමුහයකට පෙන්වූයෙමි . ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රශ්නයක් වූයේ " අර තුවක්කු රැගෙන පේළියට විනයානුකූලව වෙඩි තබන ඉංග්‍රීසි භටයන් ඉදිරියට සිංහල කැරළි කරුවන්  කඩු රැගෙන  කෑ ගසමින් පැමිණ වෙඩි කා මැරී වැටෙන්නේ  ඇයිද යනුවෙනි. (කඳුකරයේ සැඟවී ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා  නොකර ). මා ඔවුන්ට පැවසුවේ, ඒ වීර කමට එසේ මිය යාම උතුම් ලෙස ශ්‍රී ලංකාවේ සිංහල වැසියන් සිතන නිසා විය හැකි බවයි. "අප මරා  දැමූවද අප නැගූ  හඬ සදා නොමියෙනු ඇත"  ලෙස ඔවුනුත් හිතන්න ට  ඇති . ලෙනින්,  ට්‍රොට්ස්කි, ෆිදෙල් යනාදීන් හැකි තරම්  උත්සාහ ගත්තේ  තමන්ගේ සගයන්ගේ මරණ අඩු කරගෙන කරන විප්ලවයක් කිරීමටය. තම සාමාජිකයන් ගේ ජිවිත ඔවුන්ට එතරම්ම වැදගත් විය.

ඉදින  1971 ගල් කටස්, ටින් බෝම්බ විප්ලවයෙන් අත්දැකීම් ('71 බාල්දු කිරීමක්  නොවේ) නොගත්තාද  කියා හිතුනේ දෙවෙනි වරටත්  ලී බට වලින් යුධ පුහුණුව ගන්නා විටදීය.  ප්‍රේමදාස ආණ්ඩුවෙන් ටී 56 ඒවා ටිකක් අහුවෙන්නට ඇරියේ තමන්ගේ විරුද්ධ වාදීන් කොටසක් මරා ගන්නට පමණක් යැයි  ජවිපෙ සහෝදරවරුන්ට තේරෙන්නට ඇත්තේ පසුව විය හැකිය. වාමාංශික  දෙමළ සංවිධාන වල සහය රැගෙන , ඔවුන්ගේ යුධ පුහුණුව ඉන්දියාවේදී හෝ නිමවා  ඔය කාර්යය කළානම් අද ලංකාවේ තිබෙන්නේ සමහරවිට වෙනත්  ආණ්ඩුවකි. කොටින්ම  වාමාංශික දෙමළ කණ්ඩායම් වල බලය වැඩිවී  ජාතිවාදී ප්‍රභාකරන් ඉදිරියට ඒම නොවීමට බොහෝ ඉඩකඩක් තිබුණි. මෙහි  ලොකුම සරදම නම්  විජේවීර යටතේ ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය විරෝධී වූ අතර  වාමාංශික  දෙමළ  කණ්ඩායම් අතුගා දැමු  ප්‍රභාකරන් උතුරේ  ඉන්දීය විරෝධී සටනක් දියත් කිරීමයි . දෙගොල්ලන්ම පසුව සටන් කලේ ශ්‍රී ලංකාවේ හමුදාවන් සමගය.   ලංකාවේ හමුදාවන්  කොපමණ ශක්තිමත්ද කියා මේ බොළඳ නරෝද්නික්වාදී විප්ලවකාරයන්ට නොතේරීම  ඔවුන්ගේම පමණක් නොව  රටේම අවාසනාවකි.

මම දන්නා විධිහට පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඉන්දීය හමුදාවට විරුද්ධව බෝම්බ  අටවා තිබේ. එය නවත්වන්නට යයි ඉන්දියන් හයි කොමිෂනර් ඩික්සිත් ඉල්ලා තිබෙන්නේ සිරි අයියා ගෙන් යයි මා අසා තිබේ. එසේනම් ඉන්දීය රෝ නියෝජිතයා වූයේ සිරි අයියාද?

ඉන්පසුව කුමාර් ශ්‍රී ලංකා අත් අඩංගුවට ගනු ලැබේ.  සිරි අයියා හා ඒ කාලේ ඉතුරු වී සිටි සටන් සගයන් ඔහුව බේරා අනූ නමයෙන් බේරා ගනිති. එතනදීද  මානව හිමිකම් සංවිධාන හා රතු කුරුසය හැර ඉන්දීය සම්බන්ධයක් තිබුනා  ද යන්න නොදනිමි.
චිත්‍රපටයේ ඉතා සංවේදී අයුරින් දක්වන්නේ  ඒ දිනවල පක්ෂ සාමාජිකයන් මුහුණ දුන් දරුණු භීෂණයයි. එල්ලලා ගැහීමේ සිට ධර්ම චක්‍රය  දක්වාත් සිදුවුණු දරුණු වධ දීම් ආදියත් ඒ අසීරු අවස්ථාවේ තම  නායකයා පාවා නොදුන් වීර සොයුරන් ගැනද හද දවනා ආකාරයෙන් සිනමාවට නැගේ. මේ පරිත්‍යාගයන් හා වධක කඳවුරු ගැන  හොඳ විස්තරයක් අජිත් පැරකුම් ජයසිංහ ගේ "කේ පොයින්ට් " නවකතාවෙන් කියවිය හැකිය.

හැබැයි ඔවුන්ට එසේ  වෙද්දී අසහාය විප්ලවීය නායකයා කරන්නේ හෝගා ළමයින් නිපදවීමය.  අනුරුද්ධ ජයසිංහ ගේ චිත්‍රපටයේ  විජේවීර පියා ඉතා සංවේදීව  ළමයින්ට  දැඩි ලෙස ආදරය කරන සුන්දර චරිතයකි. එහි වරදක් නැත. නමුත්  මගේ ප්‍රශ්නය නම්   මොන හත්තිලව්වට  විප්ලවයක්  කරන්න ගියාද යන්නය.

දැන් ලෙනින් සහ කෘප්ස්කයා ගේ ජීවිතය බලමු? ස්විට්සර්ලන්තයේ,  එංගලන්තයේ තැනින් තැන නතරවෙමින් ගතකල දුෂ්කර ජීවිතය තුළ  ළමයි හදා  ගත්ත නම්  ඔය සීන් කර කර ඉන්නට හැකිද? ලෙනින් ගෙන් ඔහුගේ  මිස්ට්‍රස් හෙවත් අනියම් පෙම්වතිය වන ඉනේස්සා අර්මන්ඩ්  ට දරුවෙක් ලැබීමට සිට නැති වුනු කතාවක් මා අසා තිබේ. මගේ දුක  සිරි අයියා , සදා ලෝයල් , කීකරු උපතිස්ස ගමනායක ආදීන් ගැනය. අර ළමයි සමූහයක් එක්ක විශාල පවුලක් එහෙ මෙහෙ හමුදාවට , පොලිසියට හොරෙන් ගෙනයාම, හංගන්න සිටීමට දරන උත්සාහය සුළු පටු එකක් නොවේ. ඒ කාලේ මොබයිල් දුරකතනද තිබුනේ නැත. පක්ෂේ කීකරු සාමාජිකාවන්ද නවත්වාගෙන ගෙන ගිය ඒ සටන වෙනමම  පොතක් ලියන්නට සෑහෙන එකකි.  විජේවීර මහතාට  කසාද බඳින්නට විප්ලවයටම අනුගත වුනු   විප්ලවීය සහෝදරියක් ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තටම හිටියෙම නැත්ද ? අර අකමැති චිත්‍රාංගනීවම කසාද බඳින්නට ඔහු  තීරණය කළේ ඇයි?
ඒ අහිංසක දැරිවිය   අපමණ  පක්ෂ සාමාජිකයන්  පොලිසියෙන් ගුටි කද්දී, ටයර් වල යද්දී විස්සෝප වනුයේ හැංගෙන්න යන්නට තමන්ගේ දිග කොණ්ඩය කැපීමට සිදු වීම ගැනය?  මට වෙලාවකට සිතෙන්නේ  මේ චිත්‍රපටය  කුමන්ත්‍රණයක් කියාය.

ලෙනින් හොඳින්ම දැන සිටියේ විශාල විප්ලවයක් කිරීමට  නම් තමන්ට  ආධාර අවශ්‍ය බවය.  මේ  ජෙහාන් ලෙනින් (-ජෙහාන් ලෙනින් – LENIN AS A PERVERT)  නැමති මා ලියූ  ලිපිය බලන්න. ලෙනින් ජර්මනිය   සමග පැවැත්වූ සම්බන්ධතාව  හා එයට ට්‍රොට්ස්කි එකඟවූ අන්දම මෙහි ඇත. ලෙනින් මොළයෙන් මිස හදවතින් තීරණ ගත් අයෙකු නොවේ.  අවශ්‍ය නම් මේ චිත්‍රපටය ද නැරඹිය හැකිය.


ස්ටාලින් බලය ගත් පසු බොරු කුමන්ත්‍රණ චෝදනා නගා විප්ලවීය සගයන් බොහොමයක් ඝාතනය කළේය.  අවසානයේ වෙඩි වැදී  දුබලව සිටි  ලෙනින් ද නිවාස අඩස්සියේ තැබුවේය. ලෙනින් ගේ අවසාන කාලය පිළිබඳව  සම්මාන දිනූ අති ශෝචනීය  චිත්‍රපටයක් ටෙලෙත්ස් (ටෞරුස්)  නමින් ඇලෙක්සැන්ඩර් සොකුරෝව් නිර්මානය කර තිබේ.    විජේවීර හිතුවේ මේ ගෝලීය අවධියේ තනියෙන් ගහන්නටය. ඔහුගේ ජීවිතය කෙළවර වන්නේද අති ශෝචනීය ලෙසය.  නමුත් අඩුම ගණනේ ලෙනින් තමන්ගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගත්තේ  සෝවියට් රාජ්‍යය පිහිටුවීමෙනි.

  සාමාන්‍යයෙන් ලෙනින්, ෆිදෙල් වැනි විප්ලවීය නායකයන් ගැන නිපදවූ චිත්‍රපට බොහොමයක් වාර්තා චිත්‍රපට පන්නයේ ඒවාය  (documentary). හොඳ වාර්තා චිත්‍රපටයක් සෑදීම ලෙහෙසි පහසු කරණක් නොවේ. සංවේදී සිනමා පටයක් නිර්මාණය කිරීමද ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් සංවේදී වෘත්තාන්තයක සැබෑ තොරතුරු පැවසීම අවශ්‍යම නැත.
 මේ චිත්‍රපටය නැරඹු බබාලන්ත වාසී කිහිප දෙනෙක් ඉතා සංවේදී වී අදහස් දක්වනු බුකියේ දුටුවෙමි. ඉන් සමහරක් අනිකුත් අවස්ථාවල ඉතා ජාතිවාදී හෝ, බටහිර නිදහස් සමාජය දැඩි ලෙස විවේචන කරන අදහස් දක්වනුද දුටුවෙමි. දෙයියෝ සාක්කි, විප්ලවීය ජවිපෙ ඇත්තටම හිටියේ ඔවුන් සමගද?

මේ චිත්‍රපටයෙන් ජනතා විමුක්ති පෙරමුණට දැඩි හානියක් වී නැත. රජයන් දෙකක්ම පෙරළන්නට හා නව රජයන් ගොඩ නගන්නට සෝමවංශ ගේ මෙන්ම අනුර කුමාර දිසානායක ගේද පශ්චාත් විජේවීර ජවිපෙය සමත් වී අත. අදද පාර්ලිමේන්තුවේ වැඩි හඬ ඔවුන්ගේ ය. ඔවුන් ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවත විජේවීර ගේ බොළඳ පිළිවෙත් වලින් ඈත් වී තිබේ. එසේම ලාල් කාන්ත සහෝදරයා මෑතක පැවසූ පෞද්ගලික විද්‍යාල ප්‍රශ්න, බීමත් වීමේ  ප්‍රශ්න තුලද ඉඳහිට අඩියක් ගහන   සුන්දර මිනිසුන් ගේ ජවිපෙට මින් හානියක් නැත. 

අනුරුද්ධ ජයසිංහ ගේ නිර්මාණය සුනු විසුණු කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පදනමය. මුට්ට කර ගැසූ විජේවීර නැමැති විප්ලවවාදියාගේ චරිතය වෙනුවට සංවේදී උණුසුම් දරුවන් කිහිප දෙනෙකුගේ පියා  විසින් කුමාර් ගුණරත්නම් මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය අංජ බජල්  කර තිබේ. ඉඳහිට හොරෙන් හෝ වයින් වීදුරුවක් වත් නොබොන, සමාව ගැනීම වෙනුවට ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මෙන්  හිරේ ගිය  කුමාර් මහත්තයාගේ  ගේ විජේවීර භාවිතාව ප්‍රශ්නයට ලක්වීමට   නියමිතය.  පුබුදු ජයගොඩ සහෝදරයා (මහතා ) දැනට කිසිවක් කියා නැත්නම් චිත්‍රපටය ගැන ඔහුගේ අදහස දැන ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවෙමි.

  චිත්‍රපටය ගැන සවුන්ඩ් බයිට් කිහිපයක් යූටියුබයේ දුටුවෙමි. චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුධ හමුදාපති මහේෂ් සේනානායක ද ඒ අතර විය. විජේවීර අත් අඩංගුවට ගත්  හමුදා නිලධරයා විජේවීර සහෝදරයා ගේ බිරිඳ හා දරුවන් ට වහා ඉවත්ව යන්න ට අනතුරු හැඟවීමක් විජේවීර හරහා කරන ලදී. ප්‍රභාකරන් ගේ දරුවන් මිය ගියාට විජේවීර සහෝදරයා ගේ දරුවන්ට හමුදා ආරක්ෂාව හිමි විය. විජේවීර මහතාගේ උරුමය එයද?

Victorious socialism must achieve complete democracy and, consequently, not only bring about the complete equality of nations, but also give effect to the right of oppressed nations to self-determination, i.e., the right to free political secession. Socialist Parties which fail to prove by all their activities now, as well as during the revolution and after its victory, that they will free the enslaved nations and establish relations with them on the basis of a free union and a free union is a lying phrase without right to secession—such parties would be committing treachery to socialism.
The Socialist Revolution and the Right of Nations to Self-Determination - V. I.   Lenin
-V. I.   Lenin - The Discussion On Self-Determination Summed Up

ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4
සති පූජා දර සෑයේ ගීතය 
ලෙනින් ගේ අවසන් දින ගැන සකුරෝව් ගේ චිත්‍රපටය.