Monday, 30 November 2015

එර්ඩොගන් රාජපක්ෂ හා මහින්දමීර් පුටින්

මුස්තාෆා කෙමල් අටටුර්ක් (අතතුර්ක්) යනු නුතන ලෞකික (secular) තුර්කියේ නිර්මාතෘවරයාය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යවාදයට හා තුර්කි අධිරාජයාට විරුද්ධව දේශපාලනය කල කෙමල් අතතුර්ක් විප්ලවවාදියෙකි. තම මව විසින් ආගමික අධ්‍යාපනය සඳහා යැව්වද එය ප්‍රතික්ෂේප කල ඔහු ආගමික නොවන පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබා තුර්කි ඔටෝමන් ආරක්ෂක ඇකඩමියට ඇතුළු විය. රජුට විරුද්ධව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සිරභාරයට පත් වුවද පසුව නිදහස් වී ඔටෝමන් අධිරාජ්‍යය යටතේ වූ සිරියාවේ දමස්කස් නගරයේ කපිතාන් ධුරයට හා පසුව ජ්‍යෙෂ්ඨ කපිතාන් ධුරයටත් පත්විය. 1908 ජුලි මස තරුණ තුර්කින්ගේ විප්ලවය දෙවන සුල්තාන් අබ්දුල් හමීඩ් ගෙන් බලය ගෙන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පිහිටුවන ලද අතර එහි සෑහෙන වැදගත් කාර්යභාරයක් කෙමාල් විසින් ඉටු කරන ලදී.

ඉතාලි තුර්කි යුද්ධය (1911-1912), බෝල්කන් යුද්ධය (1912-1913) හා පළමුවැන් ලෝක යුද්ධය යන යුද වල සටන් කල ඔහු ඉන් පසු ලෙෆ්ටිනන්ට් කල්නල් වරයෙකු විය. මෙහිදී මතක තබා ගත යුත්තේ ඔහු ලිබියාවේ කැරැල්ලක් ද මැඩ පැවැත්වූ බවයි. ලිබියාව අයත් වුනේද තුර්කි අධිරාජ්‍යයටය. තුර්කි 7 වන හමුදාවේ අණදෙන නිලධාරී ධුරයට පත් වූ ඔහු පළමු ලෝක යුද්ධයේදී තම හමුදා පරාජයට පත් කර නොගත් එකම තුර්කි ජෙනරාල් වරයා විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් ගේ පැත්තේ සිටි තුර්කිය පරාජයට පත් වූ අතර අධිරාජ්‍යය බිඳ වැටී සිරියාව, ලිබියාව වැනි රටවල් නිදහස ලැබිය.
ජයගත් බ්‍රිතාන්‍ය, ප්‍රංශ ඇමෙරිකානු හමුදාවන්ට තුර්කිය යටත් වූ අතර කේමල් තුර්කි රජුට විරුද්ධව කටයුතු කර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන කතානායක විය. මෙහිදී මිත්‍ර පක්ෂය විසින් කැලිපෙට් නමින් හමුදාවක් සාදන ලදී. (දැනට අයිඑස්අයිඑස් ද ඉස්ලාමික කලිපෙට් රටක් බිහි කර ඇත.) විකිපෙඩියාවේ මේ විස්තර ලබා ගත හැක. වැඩි දුර නොගොස් මා කියන්නට තැත් කරන්නේ අටටුර්ක් (අතතුර්ක්) විසින් 1922 දී තුර්කි සමුහාණ්ඩුව පිහිටුවන ලද බවත් මුලදීම රජය ඉස්ලාම් ආගමින් වෙන් කල ඔහු තුර්කිය ආගමික නොවන නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බවත්ය. ඔහු විසින් තුර්කියේ සංස්කෘතික, සමාජීය විප්ලවයක් ඇති කල අතර පාසල් ගොඩ නැගීම, ප්‍රථමික අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙන්ම නිදහස් කිරීම, ගොවීන්ගේ බදු ලිහිල් කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් වත්මන් තුර්කි රාජ්‍යයේ අඩිතාලම දැමිය. තුර්කි කාන්තාවට සම අයිතිය ලබා දීම (රැකියා කිරීම ආදී), නිකාබය (මුහුණ වැසීම) තහනම් කිරීම ද නීතිගත කරන ලදී. අදද තුර්කි ජාතියේ පියා හැටියට ඔහු තුර්කි වරුන් විසින් ගෞරව කරති.

එර්ඩොගන් 2002 දී බලයට පත් වන තුරුම තුර්කිය පාලනය කලේ හමුදාවට හිතැති ආණ්ඩු මගිනි. ඔවුන් මුස්ලිම් අන්තවාදීන්ට ඉඩක් නොදුන්හ. නමුත් ඔවුන් විසින් කුර්දි වරුන්ට එරෙහිව ගෙන ගිය මර්දනයන් එතරම් ජනප්‍රිය වුයේ නැත. දුෂිත යයි කිවූ හමුදා නිලධාරීන් අයින් කරමින්, සමහරුන් හිරේ දමමින්, සමහර විට අසත්‍ය තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් තුර්කි හමුදාවෙන් ආණ්ඩුවට තිබු බලපෑම අයින් කල එර්ඩොගන් තමන්ගේ ඉස්ලාමිකකරණය පටන් ගත්තේය. එර්ඩොගන්ට වඩාතම උදව් කලේද චන්දය දුන්නේද ග්‍රාමීය තුර්කි ජනතාවයි. ඔවුන්, මුළු ලෝකයම මුස්ලිමුන්ට එරෙහි යයි පවසන එර්ඩොගන් ට මුලාව ඔහුව චන්දය දුන් අතර කාන්තාවන්ට නැවත හිස රෙද්දකින් වැසීමට අණ කරන නීති මෙන්ම අනිකුත් ඉස්ලාම්ක නීතිද පැනවීමට පටන් ගත්තේය. මෙයට විරුද්ධව නොයෙකුත් අරගල ඇති වුවද පසුගිය මැතිවරණ සියල්ලම ජය ගැනීමට ඔහු සමත් වුයේ ග්‍රාමීය ජනතාවගේ හා ඉස්ලාමික වාදීන්ගේ චන්දයෙනි. ඔහු රට ගොඩ නැගීමට තැත් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයෙන් ණය 19ක් පමණ ලබා ගනිමිනි. ඔහු විසින් නව මහාමාර්ග (motor way - high-way) බොහොමයක් සෑදු අතර ගුවන් තොටුපළවල් ද සැදිය. මේවා ගැන නොයෙකුත් දුෂණ චෝදනාද ඔහුට ඔහු ගේ පුතාට හා නෑදෑයන්ට එල්ලවී ඇත.

එර්ඩොගන්ගේ ලොකුම හීනය ලෙස ඔහු පවසන්නේ නැති වී ගිය ඔටෝමන් රාජාණ්ඩුව නැවත බිහි කිරීමයි. සිරියාව ගැන බොහෝ අය නොපවසන දෙයක් තිබේ. එනම කටාර් - තුර්කි ගෑස් නළ මාර්ගය ගැනයි. ස්වභාවික වායු එවීමට සවුදි අරාබිය, ජෝර්දානය, සිරියාව හරහා නල මාර්ගයක් යෝජනා කල අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර මෙයට කැමැත්ත පල කළහ. දෙවන නල මාර්ගය වුයේ සවුදිය මග හැර සිරියාව, ඉරානය හරහාය. එය තුර්කියට වාසිදායක නමුත් එර්ඩොගන්ගේ රජවීමේ සිහිනයට එය වැදගත් වුයේ නැත. සවුදිය සිරියාවට එරෙහිව ඇමෙරිකාවට කල චෝදනාවේ ප්‍රතිපලය වුයේ හදිසියේම සිරියානු ජනාධිපති අසාඩ් මිනිසුන් මරණ, බෝම්බ දමන ඒකාධිපතියෙකු බවට එක රැයින්ම පත්වීමයි. සවුදිය හා තුර්කිය එක්ව සිරියානු කැරලිකරුවන් පුහුණු කල අතර තමන් ගේ මිතුරන් නිසා ඇමෙරිකාව ඔවුන්ට උදව් කළේය. තම රජය බේරාගැනීමට කැරලි කරුවනට කරන ප්‍රහාර වලින් අසාද් අතින් සාමාන්‍ය මිනිසුන්ද මියගිය අතර එයට එරෙහිව ලෝක ජන මතය ගොඩ නැගිණි.

මේ අතර ඉරාකයේ ඇමෙරිකානු හමුදා ඉවත දමාගිය ආයුධ රැගෙන සිරියාවට හා ලිබියාවට එරෙහිව සටන් කිරීමට සවුදු අරාබිය පුහුණු කරන ලද කැරලි ජරුවන්, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ඉස්ලාමික අන්තවාදීන්, පුටින් අතින් පරාජයට පත්වූ චෙචේනියානුවන් දහස් ගණනින් පැමිණියහ. ඉන් පසු සිදුවූ සියල්ල දැන් හැමෝම දන්නා දෙයයි. අවසානයේ පුටින්ට සිරියාවට බෝම්බ දැමීමට සිදු වන්නේ රුසියාවේ චෙචේනියානු යුද්ධයෙන් හා අනිකුත් පැරණ සෝවියට් දේශයට අයත්ව තිබු මුස්ලිම් රටවලින් පැමිණි සිටින ඉස්ලාමික අන්තවාදීන් පසුව රුසියාවට තර්ජනයක් විය හැකි නිසා වන අතරම, තමන්ගේ මිතුරු අසාද් ව බේරා ගැනීමටත්ය. සිරියාවේ වරායවල් ද පුටින් ට උපක්‍රමශීලිව වැදගත් ඒවා වේ. ඉහත සිරියාව හරහා ගෑස් නල මාර්ගය දැමුවොත් එයත් රුසියාවට ආර්ථික වශයෙන් වාසි දායකය.

එර්ඩොගන් ට අවශ්‍ය සිරියාව හා ලිබියාව තමන්ගේ යටතට ගෙන තුර්කි අධිරාජ්‍යයක් නැවත ගොඩ නැගීමටය. පුටින් ක්‍රිමියාව තමා යටතට ගත් අතර ක්‍රිමියාව සුළු කාලයක් තුර්කි අධිරාජ්‍ය යටතේ තිබුණි. ඔවුන් රුසියන් අධිරාජ්‍යයට පරාජය වීමෙන් ක්‍රිමියාව අහිමි විනි. (බොහෝ කලකට පෙර) පුටින් තමන් ගේ විදේශ ප්‍රතිපත්තියේදී දැන් තරමක් දුරට හැසිරෙන්නේ සාර් රජු ක්‍රියා කල ආකාරයටමය. පරණ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු භූමි වල පාලනය තමන් අතට නැත්නම් අවම අශයෙන් ඒවාට බල පෑම් කිරීම ඔහුගේ පිළිවෙත වී ඇත.


පුටින් චෙචේනියානු අන්තවාදීන් පරාජය කලේ දැඩි ලෙස මර්දනය කරමිනි. ඔහු චෙචේනියාවට රුසියානු සමුහාණ්ඩුව යටතේ ස්වතන්ත්‍ර පාලන ක්‍රමයක් ලබා දුන්නද ඔහුගේ මර්දනකාරී ක්‍රියා විවේචනයට ලක්විණි. නමුත් පුටින් යෙල්ට්සින් ගේ අසමත් පාලනයෙන් රුසියාව බේරාගෙන ධනවත් රුසියාවක් නිර්මාණය කළේය. ඔහු තම දියණියන් හෝ නෑදෑයන් රාජ්‍ය පරිපාලනයට කෙලින්ම සම්බන්ධ කර ගත්තේ නැත. ඔහු විසින් අනුමත කරන අයට මිස තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ට එතරම් වෙළඳ කටයුතු වලදී අනුබල දුන්නේද නැත. එහෙත් ඔහු නව රුසියානු හමුදාව නවීකරණය කිරීම, අධ්‍යාපනයට, වැඩිහිටියන්ට මුදල් වෙන් කිරීම, ආදී ජනප්‍රිය ක්‍රියාමාර්ග බොහොමයක් ගත්තේය. ඔහු තවමත් ඉතා ජනප්‍රියය.

යුද්ධය දිනුවද යුද්ධයේ අවසන් අදියරේ සිටම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුටින් මෙන් මහත්මා ලෙස සතුරාට සැලකුවේ නැත. (පුටින් තමන්ට හිතවත් අයෙකු වන රම්සන් කදිරෝව් චෙචේනියාවේ පත් කලද ඔහුගේ පාලනයට ඇඟිලි ගසන්නට ගියේ නැත. ඒ වෙනුවට ඇති තරම් මුල්‍ය ආධාර දුන්නේය.) දෙදෙනාම යුද්ධය දිනීම නිසා ජනප්‍රිය වුවද පුටින් තමන්ගේ ජනප්‍රිය භාවය රට කරවීම පිණිස මැනවින් යොදා ගත්තේය. මට පෙනෙන්නේ මහින්ද මහතා අනුගමනය කලේ එර්ඩොගන් බවය.

දැන් එර්ඩොගන් ට සිදුවී ඇත්තේ වහ කන්නටය. මගේ තුර්කි මිතුරෙකු මට ලියා එව්වේ එර්ඩොගන් තවතවත් ජනප්‍රිය භාවයෙන් පහලට වැටෙන නිසා ඔහු ලාභ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමට රුසියානු යානයට පහර දුන් බවයි. එයට තුර්කියේ ග්‍රාමීය ජනතාව ප්‍රීතිඝෝශා කරති. නමුත් තුර්කියට වැඩියෙන්ම එන රුසියන් සංචාරකයන් ඒම මින් නවතිනු ඇත. රුසියාවේ ගොඩනැගිලි වැඩියෙන්ම සාදන්නේ තුර්කි ව්‍යාපාරයන් මගිනි. ඒවාටද දැන් රුසියාව තුල වසා දැමීමට බල කෙරී ඇත. දැන් තුර්කින්ට රුසියාව රැකියා කිරීම තහනම් කර ඇත.ජර්මනියට පසු රුසියාව වැඩියෙන්ම ආහාර හා අනිකුත් දේ ආනයනය කරන්නේ ද තුර්කියෙනි. ඒ ඩොලර් බිලියන වලිනි. දැන් එය ද නැවතී ඇත.

එර්ඩොගන් කර ඇත්තේ තමන් ගේ කකුලට තමන්ම වෙඩි තබා ගැනීමයි. මෙය හරියටම රාජපක්ෂ මහතා අවුරුදු දෙකකට කලින් මැතිවරණයක් කැඳවා ඉල්ලන් කෑවාක් මෙනි.

Saturday, 28 November 2015

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (1) - ප්‍රථම හමුව




"ඉතින් මචං මොකක්ද තත්වේ" ගිහාන් සිය මිතුරාගෙන් විමසීය. "නැහැ මචං වුන දේ නිකන් හීනයක් වගේ. උඹට වෙච්ච් දේ හොඳයි කියල මට කියන්න බැහැ. නමුත් මට මෙහෙ වෙයි කියල හිතුනේ නැහැ. ."
නිලන්ත පැවසීය. ගිහාන් ට තම මිතුරා ගැන දුකක් ද සිතුණි. ඔහු අතීතයේදී කි කතාවක් ගිහාන්ට මතක් විනි.
"මචං ඔය සුද්දියෝ පස්සේ යන්නේ මොකද බන්. හොඳ පිරිසිදු ලස්ස්සන කුලවත් සිංහල කන්‍යාවියක් බැඳ ගනිං. උඹ දන්නේ නැහැ. හරිම සුන්දරයි. ආදරේ කරගෙන ලස්සනට ජිවත් වෙන්න පුළුවන්."
"උඹ මොනවාද බන් සුන්දරත්වය ගැන දන්නේ" එදා එසේ කියා ගිහාන් නිලන්තට දිග දේශනාවක් කළේය.

නිලන්ත නාවික ඉංජිනේරුවෙකි. තම නිවසේ මාස තුනේ සිට හයක් පමණ සිටින ඔහු ඉතිරි කාලයේ තම රැකියාවේ නිරත වෙයි. ඔහු රැකියාව කළේ නැවක ප්‍රථම නාවික ඉංජිනේරු වශයෙනි. දෙවන ඉංජිනේරු වශයෙන් සැහෙන කලක් සේවය කර ඔහු උසස්වීමක් ලැබීය. වරක් නිලන්ත රැකියාව කරන නැව ඔඩෙස්සා වරායට පැමිණියේය. නිලන්ත ඒ බව ගිහාන්ට දන්වා තිබුණි. එකල ගිහාන් සිටියේ සෝවියට් දේශයේ ඉංජිනේරු උපාධියකට ඉගෙන ගනිමිනි. තමන්ගේ භාග උක්රයින භාග රුසියානු පෙම්වතිය සමග ඔහු බලන්නට ගිය සැටි ගිහාන්ට සිහි විනි. ඕනෑම නැව් නතර කරන ස්ථානයක අභිසරු ලියන්, නොයෙකුත් බ්ලැක් මාර්කට් භාණ්ඩ විකුණන්නන් ගැවසීම සාමාන්‍ය දෙයකි.නැව් නැංගුරම් ලෑ පසු එලියට එන අයට මුලින්ම මුණ ගැසෙන්නේ ඔවුන්ය. මේ නැවේ සිටි ඉංජිනේරුවන්ගෙන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන නිලන්ත හා උදයන්තය. නිලන්ත හා අනිත් ඉන්ජිනේරුවා තම පෙම්වතිය දෙස බැලුවේ තද ඊර්ෂ්‍යාවකින් බව ගිහාන්ට සහතිකය. ගිහාන් දුටු සැනින් නිලන්ත කිවේ ඔඩෙස්සා වල ලස්සන අභිසරු ලියක් සොයා දෙන ලෙසය. ඔහුගේ නැව අප්‍රිකාව හරහා පැමිණි එකකි. "කළු දෑවවල් දැන් එපා වෙලා බන්. "
 අනිත් ඉන්ජිනේරුවා උදයන්ත එසේ කී පසු නැව නවතන වරායවල ඔවුන්ගේ ප්‍රථම කාර්යය කුමක්ද යන්න ගිහාන් ට පසක් විය.

"මචං මේ රටේ හොඳ ගැහැණු ළමයි ඉන්නවා. මේ අභිසරු ළියන් පස්සේ ගිහින් ලෙඩ හදා ගන්න ඕනේ නැහැ."
ගිහාන් පැවසිය.
"උන් දෙන්නේ නැහැනේ බං"
පිළිතුරු දෙමින් නිලන්ත සහ අනිත් ඉන්ජිනේරුවා වන උදයන්ත හඬ නගා සිනාසුනි.
එහිදී තමන් ඔවුන් දෙදෙනා රැගෙන කලින් පිළියෙළ කල පරිදි ඔඩෙස්සා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් හමුවට ගෙන ගිය සැටිත් එහිදී හොඳ බතක් හා මසක් දමා වොඩ්කා සහ අනිකුත් කෑම බීම පිළියෙළ කර තිබු ඔහුගේ මිතුරන් තම තමන්ගේ ගේ උක්රයින යෙහෙළියන්ට තවත් රූමත් යෙහෙලියන් කිහිප දෙනෙකු සමග පැමිනෙන ලෙස ආරාධනා කල බවත් ඔහුට සිහි විය. කමින් බොමින් නටමින් පසුව නාවික ඉංජිනේරුවන් දෙදෙනා ඉන් රූමත් කෙල්ලන් දෙදෙනෙකු සමග යහළු වී කාමර වලට ගිය හැටිත් ඔහුට මතකය. පහුවදා ගැහැණු ළමුන් ටැක්සි වල පටවා නිවෙස් වලට යැවු පසු නිලන්තත් යහළුවාත් ඔවුන් ගේ ජිවිතයේ හොඳම රැයක් ගත කල බව කියමින් ගිහානුත් යහළුවනුත් බදාගෙන ස්තුති කලහ.පසුදින ඔවුන් නැවට ගෙන යද්දී දොඩමළු වූ උදයන්ත තමන් වටිනා පෑනක් ඔහු සමග රැය පහන් කළ කෙල්ලට දුන් බවත් ඇය මුදල් දුන් විට ප්‍රතික්ෂේප කල බවත් පැවසූ විට, තමන් දැඩි කෝපයට පත්වී මුදල් දීම ගැන ඔහුට එවෙලේම තදින් බැන වැදුණු සැටි සිතන විට ගිහාන්ට දැඩි සිනහවක් පහල විය.

"මොකද යකෝ පිස්සෙක් වගේ තනියම හිනා වෙන්නේ. මම මේ පුක  ගීනි අරන් දඟලනවා. ගෑණි මාව ගෙදරින් එලවල. මූ  හෙන ජොලියේ"
නිලන්තගේ කෑ ගැසිල්ලට ගිහාන් මතක ලෝකයෙන් ඇද වැටුණි.
"නැහැ මචන්. මට මතක් වුණා ඔඩෙස්ස වල අර උක්රයින කෙල්ලක් එක්ක ඉඳල උදයන්තය සල්ලි දෙන්න හැදුවයි කියල මම ඌට බැන්න හැටි."
 "ඉතින් ඒ වුනාට උඹ මට බැන්නෙ නැහැනේ. මමත් සල්ලි දෙන්න හැදුව. පස්සෙනේ අර උඹට දෙන්න ගෙනාපු තේ කොළ ටිකයි වෙස් මුහුණ කුයි තව මොනවදයි දුන්නේ මාත් එක්ක හිටපු කෙල්ලට. පුදුමයි උන් ඒවාට නිදා ගත්ත එක."
"ඉතින් බලාපිය තෝ තවමත් ඒ බලු කතාවම කියන හැටි"
ගිහාන් විහිළුවට මෙන් නිලන්තට ගහන්නට පැන්නේය.
"සොරි සොරි බන්. මම උඹව අවුස්සන්න කිව්වේ. ඇත්තටම උන් හොඳ කෙල්ලෝ බන්. මට තවම මතකයි. හප්පේ සොමිය. එක්කෝ ඒ එකියක් වත් බැන්ද නම්"
"උඹ එදා කිවේ නම් ඕක නෙමෙයි. කන්‍යාවියක් බැඳලා හොඳ විවාහ ජිවිතයක් ගත කරපන් කියල. උඹල දෙන්නම අර කෙල්ලෝ දෙන්නට සැලකුවේ වේ*** දෙන්නෙකුට වගේ මුලදී"
"හරි හරි උඹේ දීර්ඝ දේසනාවට පස්සේ අපි වරද පිලි ගත්තනේ. " නිලන්ත පැවසීය. ගිහාන් නැවත අතීතයට ගියේය.

"උන් උඹෙන් සල්ලි ඉල්ලුවද "
ඔහු කෝපයෙන් උදයන්ත ගෙන් විමසූ හැටිත්,
"නැහැ" කියූ උදයන්තගේ කනට කර
 "ඔව් එතකොට උන් අපේ පාටියේ ඉඳල, කාල බීල උඹල දෙන්න එක්ක කාමරේට ගියේ ඇයි. සල්ලි ඉල්ලන්නද යකෝ. උඹ කොරිඩෝර් එකේ බදාගෙන ඉම්බේ. ප්‍රංශ කිස් ඉඳන් දුන්නේ" යි කෑ ගැසූ හැටිත් මතකයට නගා ගත්තේය.
 "නැහැ මචන් උන් දෙන්නම අපි දෙන්න එක්ක එක්ක කාමරේට ආවේ ඇයි කියල හිතුන."
"වෙන කාමර නැහැනේ යකෝ. හොස්ටල් එකේම ලංකාවේ කොල්ලෝ හතර දෙනයි ඉන්නේ. අපිත් ඔහේ තැන් තැන් වල ඇලවුණේ උඹලට කාමරේ දීල අනිත් එවුන්ගේ කාමර වල. අනික ඒ කාමරේ තිරයක් දාල එක ඇඳක් වෙන් කරලා අනික නොපෙනෙන  කොනේ තිබුනේ. ශිෂ්‍යයෝ හැටියට තියෙන හොඳම තැන තොපිට පිළියෙළ කලේ. ඒකයි උඹලව ඒකට යැව්වේ."
"හරි බන්. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න අපි දෙන්නව මාරු කර ගත්ත උඹ දන්නවද? හපොයි එහෙම සොමියක්. මට උඹල ගැන ඉරිසියයි. බලපන්කො උඹේ අතේ එල්ලිලා ඉන්න කෑල්ල දිහා. මුන්ට කසාද බඳින්න බැරිවෙයි මෙහම ගියොත් තොපි එක්ක ඉඳලා. "
"හරි උඹලගේ ඉරිසියාව පැත්තකට දාපන්. උන්ට අරුන් බොරු කියලා උඹල අලුතෙන් ඉගෙන ගන්න ආපු එවුන් කියල. මෙතන කෙල්ලෝ දෙන්න ගැන වරදවා හිතන්න එපා. උඹලා  ගිය කියල දැන ගත්තම උන් බැනල ආවෙත් නැහැ ඊට පස්සේ.  ඒක උන්ගේ සංස්කෘතිය. කවුරුත් මෙහෙ ඒවා හොයන්නේ නැහැ. අනික තාන්යාව බඳින්නේ මමනේ උඹ නෙමේනේ"

 එතෙක් සිංහල නොතේරෙන නිසා නිහඬව සිටි තානිච්කා තම නම ඇසී  ලතාවකට හිස ඇලකොට ගිහාන් දෙස බැලුවාය. නිලන්තයා ලංකාවට පැමිණ කන්‍යාවියක් බැඳ ගනින් යයි අවවාද කළේ එවිටය.
ගිහාන් සෝවියට් දේශයේ ඔවුන් නොදන්නා පැත්තක් ගැන නිලන්තට හා උදයන්තට පහදා දුන්නේය. දියණිය හෝ පුත්‍රයා අවුරුදු පහලව දහසය වන විට යහළුවකු හෝ යෙහෙළියක නැත්නම්, ඔවුන් අවුරුදු 18 පසුවිත් කන්‍යාවියන් නම් දෙමාපියන් තම තරුණ දු පුතුන් වෛද්‍ය ප්‍රතිකාර වලට හෝ මානසික සායනයන්ට යවති. බොහෝ තරුණියන් සිතෙන හමුවන සැම එකා සමගම නින්දට නොයති. එලෙස හැසිරෙන තරුණ තරුණියන් ලොව ඕනෑම රටක සිටිය හැකිය. තමන්ටම මුලදී තේරුම් ගැනීමට අපහසු වුනු සෝවියට් ජීවිතය හා ලිංගික චර්යාවන් ගිහාන් මිතුරන්ට පැහැදිලි කළේ එලෙසය.

ගැහැණු ළමුන්ට දෑවැද්ද දීමක් කියා දෙයක් නැත. එයින් ඔවුන් නිදහස්ය. කුලය බැලීමට අවශ්‍යද නැත. මෙතන ඇත්තේ නිදහස් ආදරයකි. තරුණයා හෝ තරුණිය බොහෝ විට තමන් කැමති කෙනෙකු සමග පෙම් සබඳතා පටන් ගනිති. මේවා සමහර විට කෙලින්ම ලිංගික සම්බන්ධයෙන්ම ඇරඹෙති. එසේ නොවී මාස ගණන් දිගට යන සබඳතා ද තිබේ. විවාහ වලින් කෙළවර වන්නේ බොහෝ විට දරුවෙකු ඉපදෙන විටය. සෝවියට් නීතියට අනුව දරුවකු ලැබෙන්නේ නම් විවාහ විය යුතු අතර පිරිමියා දරුවා භාර ගත යුතුය. බොහෝ තරුණ තරුණියන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල එකට ජිවත් වීම සුලභය. මෙය විශ්ව විද්‍යාලයෙන් එළියේ කර්මාන්තශාලා වල නේවාසිකාගාර වලද දැකිය හැකිය. කසාද නොබැඳ එකට ජීවත්වීම සාමාන්‍ය දෙයකි. එසේ නොමැති තරුණයෙකුට හෝ තරුණියකට සබඳතා කිහිපයක් එකවර පැවතීමද සාමාන්‍ය දෙයකි. එනම් නිත්‍ය පෙම්වතෙකු හෝ පෙම්වතියක නැත්නම් නිදහස් ලිංගික සබඳතාවයන් ගෙනයාම ගැන දෙමාපියන් වත් වෙන කවුරුන් වත් කිසිවක් කියන්නේ නැත.

නමුත් වෙනත් රටවල මෙන් රැකියාවේ ප්‍රබල කම හා සමාජයේ සිටින ස්ථානය අනුව තීරණය වන සබඳතා හා විවාහ ද තිබේ. මේවා එළිපිට නොකීවද කොමියුනිස්ට් පක්ෂයේ හෝ හමුදාවේ ඉහල ජෙනරාල් කෙනෙකුගේ දියණියක විදේශිකයකු හා පැටලුනොත් නොයෙකුත් ප්‍රශ්නය. මෙයින් සමහරු තමන්ගේ රැකියාවේ තත්වය මත සබඳතා තෝරාගන්න ට දරුවන්ට කියති.

ගිහාන් ට තම මිතුරා ගැන දුක හිතුනද ඔහුගේ නරුම කම් වලට සමාව දීමට නොහැකිය.කුලයෙන් ඉහල කන්‍යාවියක් කියා ඔහු සිංහල තරුණියක් බැඳගත්තද නිලන්ත තමන්ට එම නීතියම සාධාරණ යයි නොසිතුවේය.
"මචන් මම යනවා හෙට නැවේ. මාස ගාණක ජොබක්. හැබැයි එතැනින්ම ඔස්ට්‍රේලියාවට යනවා "
 නිලන්ත ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පැවසීය.
"ඒ මොකද? උඹ මෙතන විශාඛා ගේ වැඩේ ට මොකද කරන්නේ ළමයත් එක්ක ඒකි තනියමනෙ." ගිහාන් විමසිය.
"මොනවා කරන්නද. ඒක ඉවරයි. ගෙයත් ඒකිගේ නමට තියෙන්නේ. ඒකි දෑවැද්දට ගෙනාපු එකනේ. පරට්ටි මට කිව්වා කතාව උඹ දන්නවද? මම හිතන් හිටියේ බඳින කොට මේකි පත්තිනි අම්ම කියලනේ"

නිලන්ත කෝපයෙන් මිට මොළවා මේසයට පහරක් ගැසීය. ගිහාන් විමතියට පත් මුහුණින් තම යහළුවා දෙස බැලීය.
"මේකි මට කිව්වා එක කොල්ලෙක් නෙමෙයි. දෙන්නෙක්ම හිටියලු. ගලේවෙල ගියාලූ. ලොලිපොප් කෑවලු.තොට පෙට්ටිය ලොකු වුනාට මගේ කොල්ලෝ ලෙව කාපුව තමා තොට හම්බ වුනේ කියල කිව්වා. දුන්නා බැ** ගේ මූණ ඉදිමෙන්න.දතකුත් කැඩුනද දන්නේ නැහැ. ලේත් ආව. පරට්ටි. තව මූණ සමතලා වෙන්න දෙන්න තිබ්බේ" කෝපයෙන් පිපිරෙමින් නිලන්ත මොර දුනි.

 "උඹට පිස්සුද බන් ඒ අහිංසක ගෑණිට ගහන්න. ළමයත් බලා ගෙනද හිටියේ?"
"නැහැ ළමය අම්මලා ගාව. මම යනවා උදයන්තය එක්ක බෝතලේකට සෙට් වෙන්න. ඕන නම් වරෙන්. අද අන්තිම දවස මාස ගාණකට මම යනවා. අර වේ* ගැන අනුකම්පා කතා කියන්න එපා මට. "
එසේ කියා ගෙයින් එලියට ගිය නිලන්ත කාරය පණ ගන්වනු ගිහාන් ට ඇසිනි.

ගිහාන් නැවතත් තම අතීත මතක ලොවට පිවිසුණේය. සිකුරාදා සවස මොස්කව් පළමු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරා සමුවීමට ගිය ගිහාන් වොඩ්කා බෝතල් භාගයකට වඩා වග කියා මිතුරා පිළියෙළ කල කුකුල් මස් කරියක් සමග බතක් ගිල දමා සිංහල සින්දු අසමින් දේශපාලනය ගැන කතා කරමින් සිටියේය. රෑ බෝවී නිදාගත් ඔවුන් පසුවදා තරමක් දහවල්වී ඇහැරුණු පසු උදය ආහාරය සඳහා ළඟ තිබු පිල්මෙනි අවන්හලට ගියහ.
පිල්මේනි යනු ගිහාන්ගේ ප්‍රියතම රුසියානු කෑමකි. ඉන් පසු කිරි කෝපි එකක් බි මිතුරාට සමු දුන් ගිහාන් වෛද්‍ය විද්‍යාලය අසල පිහිටි ක්‍රපොතින්ස්කයා උමන් දුම්රිය පොලට පැමිණියේය. දුම්රිය පාක් කුල්තුරි හෙවත් සංස්කෘතික උද්‍යානය නමැති උමන් දුම්රිය පලට පැමිණි විට ඔහුට එයින් බැස තවම දවස ඉතුරුව ඇති හෙයින් ගෝර්කි හෙවත් සංස්කෘතිය හා විවේකය සඳහා වන මධ්‍යම උද්‍යානය (central park of culture and leisure) ට ගොස් ඇවිදීමට සිත් විනි.

~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~

මේ ප්‍රබන්ධයේ විස්තර වන  කාල පරාසය 1980 දශකයේ අග භාගය වන අතර කතාවට පාදක වන්නේ  බිඳී විසුරුණු සෝවියට් දේශය නමැති රාජ්‍යයේ විශ්ව විද්‍යාල සිසුන්ය.

Tuesday, 17 November 2015

පොහොසත් ඉන්දියාව හා දුප්පත් ඉන්දියාව


බඩු කර තියන්නා 

තරාතිරම්වාදය ගැන ලිවූ කතාවක මගේ ඉන්දියානු වන්දනා ගමන ගැන සඳහන් කලෙමි. මගේ මව සමග යාමට පවුලේ වෙනත් අයට නොහැකි වීම නිසා ගිය ගමනකි මෙය. මම කෙලින්ම ලන්ඩනයේ සිට කටුනායක හරහා (ට්‍රාන්සිට්) චෙන්නායි නගරයට ගියෙමි. බ්‍රිතාන්‍යයේ සිටින බොහෝ ඉන්දියානුවන් ව්‍යාපාර කරන පොහොසත් අය වෙති. නැත්නම් වෛද්‍ය, ඉංජිනේරු, ඖෂධවේදී, හෙදි වැනි රැකියා කරන වෘත්තිකයන්ය. මගේද මිතුරන් කිහිප දෙනෙකු සිටින අතර ඉන්දියාව මධ්‍යම පන්තියේ දුප්පතුන්ද සෑහෙන ප්‍රමාණයක් සිටින ලංකාව වැනිම රටක් ලෙස සිතා සිටියෙමි. ලේය්ලන්ඩ් බස් සමාගම්, බැංකු, තෙල් කොම්පැනි හිමි ඉන්දීය ජාතික හින්දුජා වැනි සහෝදරවරු එංගලන්තයේ ධනවත්ම ව්‍යාපාරිකයන්ය. මම බොහෝ හින්දුන් අතර නිරීක්ෂණය කළ දෙයක් නම් මිනිසුන් දුප්පත් හෝ පොහොසත් වන්නේ, ආබාධිත වන්නේ පෙර කරුමයන්ට අනුව යයි දැඩි විශ්වාසයක් ඔවුන් අතර පවතින බවයි. මෙය හින්දුන් අතර පමණක් නොව පුදුම සහගත ලෙස ඉන්දීය මුස්ලිම් වරුන් අතරද තරමක් දුරට පවතින අදහසකි. දිළිඳු ජනතාව කෙරෙහි එතරම් අනුකම්පාවක් මා අඳුනන කිසිවෙකු කෙරෙන් නොදිටීමි. ඔවුන් සෑහෙන ලෙස සශ්‍රීක නිසා මෙසේ අනුකම්පා විරහිත ස්ථාවරයක් ගන්නා බව සිතුවෙමි.

 ඉදින් මම අත් බෑගයක් සහ කිලෝ 20ට අඩු පහසුවෙන් ඇදගෙන යා හැකි මධ්‍යම ප්‍රමාණයේ පොඩි ගමන් මල්ලක් (සුට්කේසයක්) ද රැගෙන ගියෙමි. එහි තිබුනේ ඇඳුම් සහ කැමරා ආම්පන්න පමණි. දින විස්සක පමණ චාරිකාවක් නිසා හැකි පමණ බර අඩු කරගෙන අතවශ්‍යම ඇඳුම් හා අඩුම කුඩුම පමණක් ගැනීම මිට හේතුවයි. ආගමන විගමන දොරටුවෙන් පැමිණ ගුවන් තොටුපළෙන් එලියට යමින් මම ටැක්සි නැවතුම සෙව්වෙමි. සුට්කේස් එක රැගෙන යාමට බඩු ඔසවන්නන් කීප දෙනෙකු ඇසුවද මම ඒ විමසීම් නොතකා ඉදිරියට අදුනෙමි. කටුනායක ගුවන් තොටුපලේ මෙවැන්නන් ට මම පවුමක් දෙකක් දීමට මාරු කාසි රැගෙන යාමට පුරුදුව සිටියෙමි. සමහර වෙලාවට එය කරදරයක් ලෙසද සැලකුවෙමි. ඒ අප සූට්කේස් ගන්නේ තනිවම ඇද ගෙන යාමට හැකි වන පරිද්දෙන් නිසාය. දැන් කටුනායක ගුවන් තොටුපලේ මෙම සේවාව නතර කර ඇත. 

අවුරුදු 14-15 වියැති පිරිමි ළමයෙකු මගේ පස්සෙන්ම ගමන් මල්ල කුලී රථයක් වෙත රැගෙන ගොස් දෙන්නට පෙරැත්ත කරමින් පැමිණියේය. අනිත් ගමන් මළු කර ගසන්නන් නතර වුවත් ඔහු නතර වූවේ නැත. ඔහු මට කරදරයක් වන තැන මම සැර කලෙමි. එවර ඔහු කලේ බිම දිගාවී ගෙන මෙන් දණ ගසමින් සූට්කේස් එක රැගෙන යාමට ඉල්ලීමයි. කිසිම මිනිසෙකු තවෙකෙකුට දණ ගැසීම හෝ බිම වැටී අයැදීම නොකළ යුතු යයි දැඩි සේ අදහන මම මෙතැනදී ඉමහත් අපහසුවට පත් වීමි. අහල පහල මිනිසුන්ට මෙය ගානක් නැත්තේ ඔවුන්ට මෙවැනි දර්ශන දැක පුරුදු නිසා විය යුතුය.

"මේ ගමන් මල්ල ඉතාම සැහැල්ලුයි. මට ගෙන යන්න පුළුවන්" යයි පැවසූ මම පැකිලෙමින් ම ඔහුට සූට්කේස් එක භාර දුන්නෙමි. මහත් ප්‍රීතියෙන් එය රැගෙන යන ඔහු මගෙන් කැඩුණු ඉංග්‍රීසියෙන් කොහේ සිට පැමිණෙන්නේද ආදිය විමසා කුලී රථ නවතන තැනට මා ගෙන ගියේය. පෝලිමේ තිබූ රථයක් නවතා ඔහු එහි මගේ ගමන් මලු දැමු පසු මම ඔහුට රුපියල් 60 ක් පමණ දුනිමි. එය පැන්ස 50 පමණය. මට පවුමක් දෙන්නට නොසිතුනේ මගේ බෑගය කොහෙත්ම බර එකක්ද නොවූ බැවිනි. ඔහු නැවතත් බිම පෙරලී ස්තූති කොට එතනින් ඉගිල ගියේය.

කුලී රථය හතර අතට කරකැවී කරකැවී ගොස් වටරවුමක නතර විය. රථ වාහන අධික වෙලාවක් වූ නිසා සැහෙන වෙලාවක් ඒ අසල රැඳුනු රථය ඉදිරියට ඇදුනි. එහි ඇති වට රවුමේ පාර මාරු වන පාලමක් වැනි කොටසක් විය. මහා පාරේ දෙපැත්තේ බලමින් සිටි මට පෙනුනේ අර සූට්කේස් එක රැගෙන ආ යව්වන ළමයාය. ඔහු පදික වේදිකාවේ පෙට්ටි ගොඩක් එකතු කර සෑදු තැනක වාඩිවී පුංචි ගැහැණු දරුවකුට රොටියක් කඩා කවමින් සිටියේය. ඔහු අසල ඇණ තියාගත් වැඩි වයසක් නැති ගැහැණියකුත් තවත් ළමයෙකුත් සිටියහ. මා බලන දෙස නිරීක්ෂණය කළ කුලී රථ රියැදුරා මදෙසට නොහැරීම "ඔහුගේ පවුල (his family)" කීවේය. "ඒ පොඩි කොල්ලා විවාහ වෙන්න විධිහක් නැහැ". මම කීවෙමි. "නැහැ නැහැ ඔහුගේ මව සහ සහෝදර සහෝදරියෝ" රියදුරා පිළිතුරු දුනි. කොල්ලා රොටී කවමින් සිටියේ පුංචි ගැහැණු ළමයෙකුට වන අතර ඔහු ගේ මව යයි සිතිය හැකි කත පුංචි පිරිමි ළමයා සමග රොටී කෑලි කිසියම් ව්‍යංජනයකට ඔබමින් රොටී කෑවාය. මා පසු තැනක දුටු පරිදි ඒ පරිප්පුය.

බොහෝ දිළින්දන්ගේ දෛනික ආහාරය පරිප්පු සහ නාන් රොටිය බව පසුව දැනගතිමි. හදිසියේම මේ පිරිමි ළමයා බිම වැතිරෙමින් සූට්කේසය ගෙන යාමට ඉල්ලුවේ ඇයි දැයි මට වැටහිණි. එදා දවසම මුකුත් නොලබා සිටි ඔහුට මා එවෙලේ ගමන් මල්ල ගෙන යාමට දී සුළු මුදල නුදුන්නා නම්, ඔහුගේ මවත් කුඩා නැඟනිය හා මළණුවන් ද එදා දවස බොහෝ විට කුස ගින්නේ ගත කරනු ඇත. සිත කිසියම් සියුම් වේදනාවකින් කීරි ගැසී ගියේ ඒ වේලාවේය. ඉන්පසු ලැබුන අවස්ථා දෙක තුනකදීම මම හැම විටම සූට්කේසය ගෙන යාමට කාට හෝ ඉඩ දී කිසියම් සුළු මුදලක් අත තැබීමි.

 දුම්රියේ ළමයා 

 අප චෙන්නායි සිට දුම්රියෙන් වෙනත් නගරයකට යමින් සිටියෙමු. දුම්රියේ තිබෙන වැසිකිලිය සෑම ප්‍රධාන දුමරියපළකදීම සෝදා පිරිසිදු කරන ලබයි. ඊළඟ ප්‍රධාන දුම්රියපල සැහෙන දුරක නම් වැසිකිලිය පිරිසිදු වන්නේ නැත. එක්තර වයසක මවක් (උපාසක අම්මා කෙනෙක්) වැසිකිලියට බැරි මරගාතේ ගියාය. දුම්රිය ඇදෙන්නේ වේගයෙනි. අර කාන්තාව වැසිකිලියේ හිඳ ගැනීම වෙනුවට එහි උඩ ඇන තියා ගන්නට තැත් කරන්නට ඇත. එහි ඇද වැටුණු ඇය භයවී දොර ඇරියාය. එලියට පැමිණ උදව්වක් ඉල්ලීමට කලින් ඇය ඇඳ සිටි ඇඳුමේම තෙත් කර ගත්තාය. ඇය සමග පැමිණි අය හැඬුම් මුහුණින් සිටි වයසක කත පිරිසිදු කර වෙනත් ඇඳුමක් ඇඳ ගැනීමට උදව් වීමට ඊළඟ මැදිරියේ වැසිකිලියකට රැගෙන ගියහ. මේ අල්ල පනල්ලේ මගේ මවටද වැසිකිලි යාමට අවශ්‍ය විනි. නමුත් කොරිඩෝරයේ හා වැසිකිලියේ හැම තැනම මූත්‍රා ය. කොරිඩෝරයේ අඩිය තබා එහාට යාමටද නොහැක. මොනවදෝ ලාභ සෙල්ලම් බඩුවක් වැනි දෙයක් විකුණන වයස දහයක පමණ ළමයෙක් පැමිණියේ මේ අතරය. ඔහු පසුපසින් තේ විකුණන වැඩිහිටියෙක්ද පැමිණියේය. මෙවැනි යමක් විකුණන මෙන්ම හිඟමනේද යන ළමුන් මේ දුම්රිය වල දැකිය හැකිය. තේ විකුණන තැනැත්තාගෙන් බාල්දියක් සොයා ගෙන එතන වතුර දමා සේදිය හැකි ක්‍රමයක් ගැන විමසුවෙමි. මදක් කල්පනා කර ඔහු ළමයාට යමක් කීය. ළමය හිස වැනුවේය. කියක් හෝ දෙන්නේ නම් ළමයා එතන ශුද්ධ කර දෙන බව කි තේ විකුණන්නා නික්ම ගියේය. මම ළමයාට මුදල් දෙන බව හා බාල්දියකින් බිම සේදීම හා මෝප් කරීම හැකි අයුරින් හස්ත මුද්‍රාවෙන් පෙන්වා දුනිමි. ඉන්පසු සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. තමන් හැඳගෙන සිටි කමිසය ගැලවූ ළමයා වැසිකිලියේ සින්ක් එකෙන් වතුර ගනිමින් බිම දමමින් තමන්ගේ කමිසයෙන් අර පොළොව සේදීමට පටන් ගත්තේය.

මේ අනපෙක්ෂිත සිදුවීමෙන් මා මෙන්ම මගේ මව හා එතැන සිටි කාන්තාවන් කීප දෙනෙකුද සසල වූ අතර කොලු පැටියා ට අනුකම්පාවෙන් ඔවුන් කතාබහ කරන්නට විය. මට මෙය නතර කරන්නට විධියක් නොවූ අතර නිහඬවම විනාඩි දහයක් පහලවක් පමණ බිම හා වැසිකිලිය පිරිසිදු කිරීමේ යෙදුනු ළමයා ඉන්පසු කමිසය සෝදා දොරටුවේ වනා එතන නිහඬව හිඳ ගත්තේය. මම ඔහුට පවුමක දෙකක වටිනාකමට ඉන්දියානු මුදලක් දුනිමි. ඔහුගේ දෑස ප්‍රීතියෙන් පිනා ගියේය. තේ කරුවා ආපසු එන විටත් ඔහු එතනම හිඳ සිටියා මිස තමන්ගේ අර පොඩි සෙල්ලම් බඩුව විකුන්නන්නට ගියේ නැත. "මිනිහට ස්වීප් එකක් ඇදිලා වගේ. ඊළඟ නැවතුමෙන් දැන් ගෙදර යනවලු. දවස් පහකට හරියන්න හම්බ කරලා." තේ කරුවා ඉරිසියාවෙන් මෙන් කිවේය.

 දරු දෙදෙනා 

දිනක දුම්රියේ ගමනකින් පසු අප ගියේ බස් රථ වලය. සුප්‍රසිද්ධ තැනක අප නටබුන් බැලීමට ගමන් කරන මාර්ගයේ සුපුරුදු ලෙස යාචකයන් මග දෙපස රැඳී සිටියහ. මේ දරු දෙදෙනාද සිටියේ එතනය. මා මුලින් සිතුවේ ඔවුන් ඉදිරියෙන් ම සිටි ගැහැනියගේ දරුවන් කියාය. අපේ නඩයේ සැදැහැති වන්දනාකරුවන් බොහෝ යාචකයන්ට නොයෙකුත් දෑ දුන්හ. එතනට අසල සිටින ඉන්දියානුන් ද පැමිණ බලා සිටියහ. ළමයි දෙදෙනාට බිස්කට් දුන්නත් කොලු පැටියා මුදල්ම ඉල්ලුවේය. "ළමයා හවසට ගෙදර ගෙනියන්න කීයක් හරි ඉල්ලන්නේ" මම කියුවෙමි. එතැන් සිටි ඉන්දියානු ජාතිකයා මා කීදේ වැටහුනාක් මෙන් "ළමයට සල්ලි ඕනේ " යයි ඉංග්‍රීසියෙන් කීවේය. මේ ගමනේදී යන්තමින් හෝ සිංහල කතා කරන ඉන්දියානුන් කීප විටක්ම අපට හමු වුනි. අඩුම ගනනේ සිද්ධාලේප, සබන් සබන් කියා ඉල්ලීමට ඔවුහු දැන සිටියහ. බොහෝ අය ඉංග්‍රීසියෙන් කතා කරති.

"ගෙදර මව් පියෝ සල්ලි අරන් එන්න කියනවා ඇති " මම කීවෙමි. "නැහැ මේ ළමයි ජිවත් වෙන්නේ අතන. " ඉන්දියානුවා අතහැර දමන ලද විශාල කොන්ක්‍රීට් කාණු හා බංකර වගයක් පෙන්වමින් කිවේය. එතැන් තවත් ළමයින් සිටින බව පෙනුනි. එතැන් සිට මා දැනගත් කතාව මෙසේය. මේ පුංචි ළඳරුවන් දෙදෙනා ගේ දෙමාපියන් ජිවත් වන්නේ හැතැප්ම 500 පමණ ඈතය. රාත්‍රියට නිවසට යාමක් නැත. තමන්ට ඔවුන්ට කෑම ඇඳීම දීමට නොහැකි යයි පවසමින්, රැකියාවක් කර දිවි රැක ගන්න යැයි කියා පියා විසින් දරුවන් ගෙදරින් එළවා ඇත. අයියාට නංගිව රැක ගැනීම භාර දී, පියා පොඩි වුන් දෙදෙනාම අනුකම්පා විරහිත දෙස දුම්රියකට නංවා ඇත. අනිත් අනාත වූ දුම්රිය දරුවන් විසින් මොවුන් දෙදෙනා මෙතනට ගෙනවිත් තිබේ. ඔවුන් සියල්ලෝම ජිවත් වන්නේ අත හැර දමා ඇති අර ලොකු සිමෙන්ති පයිප්ප අස්සේ බංකර වැනි කොන්ක්‍රීට් තාප්ප ඇති තැනකය.

ඔවුන් රැයේ නිදා ගන්නේ මවගේ පියාගේ උණුසුමේ තුරුළු වී නොවේ. ඔවුන්ට අනිත් වැඩිහිටි මිනිසුන් ගෙන් ප්‍රශ්න, අපයෝජන ආදිය නොවෙන්නේ දැයි මම ඇසුවෙමි. මේ ගැන මට ඉන්දියන් ජාතිකයා කිවේ අපූරු කතාවකි. ඔවුන් අතර සිටින වැඩිහිටි ළමුන් ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරති. ඒත් අමුතුම විධිහටය. ඔවුන්ට ළමුන් ගෙවල් වල වැඩට පැහැරගෙන යාම්, අපයෝජන ආදිය සම්පුර්ණයෙන් වැළැක්විය නොහැකි නිසා (පොලිස් ආරක්ෂාවක් කියා දෙයක් නැත) වැඩිහිටි ළමුන් සිය කැමැත්තෙන් ඒවාට යටත් වේ. ඒ වෙනුවට පොඩි ළමුන් හම්බ කරන මුදල් හා කෑම වලින් කොටසක් ඔවුන් වැඩිහිටි ළමුන්ට දෙති. මේ අප නිතර නොදකින නොලියැවෙන ඉන්දියාවයි.

ඉන්දියාවෙන් එන්නට සිටි අවසන් දවස් දෙකේ මා නැවතී සිටි හෝටලයෙන් එපිට තිබුනේ නගරයේ මහ පාරයි. මෙහි පදික වේදිකාවේ ඇතැම් තැන්වල නොයෙකුත් දිළිඳු නිවාස නැති පවුල් දැකිය හැකිය. එවන් එක පවුලක් පාර අයිනේ යන්තම් අටවා ගත් ඉටි රෙදි කඩමලු යට ජිවත් වෙනු දුටිමි. ඒවායේ දොරක් කියා දෙයක් නැත. යන්තමට අව්වට වැස්සට හසු නොවී සිටින්නට අටවා ගත්තකි. මහා වැස්සක දී වුව මෙවන් අයට කඩ පිලකට වත් එන්නට කඩ හිමියන් ඉඩ දෙන්නේ නැත. පුංචි දුවෙකුත් පුතෙකුත් සිටි ඔවුන් ගේ මේ පුංචි "පැල්පත" පිටිපස කුණු වතුර ගලන කාණුවකි. උදේ නැගිට ජනේලයෙන් බලන විට මා දුටුවේ පාර අයිනේ ගලා යන වැසි වතුරෙන් දුවගේ මුහුණ සෝදන මවයි. වැස්ස තුරල් වූ පසු දරුවන් දෙදෙනා වැරහැලි අන්දවා පාරේ සෙල්ලම් කිරීමට යොමු කල මව ඉටි රෙදි වැසූ පැල්පතට වී සිටියාය. ටික වෙලාවකින් කොහෙන්දෝ සොයාගත් කෑම ටිකක් ගත් පියා එතනට පැමිණියේය. හතර දෙනාම පැල්පතේ ගුලිවී උදේ ආහාරය ගත්හ. දෙමව්පියන්ට ගුලිවී පුංචි උන් දෙන්නා කෑම ගන්න ආකාරය බලා සිටියෙමි. දිළිඳු වුවත් නැතත් දරුවන්ට මවු පියන්ගේ උණුසුම තිබේනම් කොපමණ අගෙයිද?

මේවා ලිව්වේ මගේ දානපති කමක් ගැන කීමට නොවේ. අප යන සංචාර වල බොහෝ දෙනා නොදකින පැත්තක් ගැන ලියන්නටය. ඉන්දියාව සුන්දර රටකි. බොහෝ පියකරු දර්ශන හා බෞද්ධ නටබුන් දුටිමි. ඒ අතර බිහාරයේ දරුණු දුප්පත්කම ඉස්මතු වී පෙනෙයි. චීනය හා සසඳන කල ඈත පෙදෙස් වල ඉන්දියානු ගම තවමත් දුප්පත්ය. බුද්ධ ගයාවේ සිදුහත් කුමරු විශාඛාව ගෙන් පිඬු සිඟා වැඩි ගමේ ඇතැම් පවුල් තවමත් ප්‍රවේනි දාස ක්‍රමයේය. මේ පින්තුරයේ සිටින ගැටවරයා එවැනි ප්‍රවේනි දාස පවුලක අයෙකි. වන්දනා ගමනේ යෙදෙනෙ බොහෝ ලාංකිකයන් බෙහෙත්, බිස්කට් මෙන්ම මුදල් ද මේ ළමයින්ට ත්‍යාග කරනු දුටිමි. එසේම ගමන අවසානය ලංවන විට මේ සැදැහැතියන් බුදු බැතිය පසෙක දමා නොයෙකුත් බඩු බාහිරාදිය පිස්සුවෙන් මෙන් මිලදී ගනු දුටිමි. මේ බස් තුනක පමණ සෙනග එක කුඩා ගමක සපත්තු කඩය හා තවත් මොනවදෝ කඩයක තිබු සියලු දේ මිලදී ගත්හ. චෙන්නායි වලද මෙය දුටිමි. මේ බෞද්ධ සිද්ධස්ථාන අසල ඇති බොහෝ ගම්වල ආර්ථිකයට වන්දනා කරුවන් ගේ පැමිණීම සහනයකි.

සිඝ්‍රයෙන් දියුණු වනවා යයි කියන ඉන්දියාවේ තවමත් අන්ත දරිද්‍රතාවය ලංකාව මෙන් කීප ගුණයකි යයි මට සිතේ. මේ ලබන දියුණුවේ පල ඉන්දීය වැසියන් සියල්ලන්ටම ලැබෙන්නට තව දශක ගණනක් ගත වෙනු ඇත.

Sunday, 15 November 2015

අගෝරා සැ ඳෑවේ "යුධ පිටියක සවාරියක් "

"නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන බියකරු සිහිනයන්...මගේ ඇතුලාන්තයෙහි පිළිඹිබුව මගේ සිහිනයන් වලින් හෙළිදරව් කිරීමක් ....සිහිනය තමයි මගේ ඇරඹුම". විසිවන ශතවර්ෂයේ අතාත්වික කලා සම්ප්‍රදායේ (surrealism) පෙර ගමන් කරුවෙකු වන ෆර්නැන්ඩෝ ඇරබෙල් තමන්ගේ නාට්‍ය ගැන කීවේ එලෙසය. ඔහුගේ "යුධ පිටියක චාරිකාවක් " Piquenique no Front නම් වූ නාට්‍යය අපට යුද්ධයේ නිරර්ථක බව අතාත්වික සිදුවීම් පෙළක් එකිනෙකට ඈඳමින් (juxtaposed) තියුණු ලෙස පහදයි.

"මාධ්‍යයන් මගින් උත්කර්ශනය කරන යුද්ධය මගින් අපේ සදාචාරය, අනිකා කෙරෙහි අපේ ඇති කරුණාව, දයාව පෑම, අනෙකා ආරක්ෂා කිරීම වැනි ගුණාංග ඉවත ලෑමට බල කරමින් අනිකාගේ ජීවිතය මෙන්ම දේපල ද විනාශ කිරීම සඳහා අප නිසඟයෙන් අනුබල දීමට පොළඹවන හැටි නිර්දය ලෙස "යුද චාරිකාවේ" පෙන්වයි. " (උපුටා ගත්තකි) යුදයක් නැති කාලයේදී සාමකාමී මිනිසුන් ලෙස රංගනය කරන අප යුද කාලයේදී මේ දේපල හා ජිවිත විනාශයට සහය දෙන්නේ කෙසේද? ඇරබෙල් පෙන්වන්නේ අප එකිනෙකා වටහා ගන්නා විට, හඳුනා ගන්නා විට ඉන් අපේ සමාජීය බැඳීම හා සහයෝගය ඇතිවී, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, සැකය වෙනුවට ගෞරවයක් හා භක්තියක් ඇති වෙමින් යුදපිටිය විනෝද චාරිකාවක් බවට රූපාන්තරණය වන බවයි.

 ෆර්නැන්ඩෝ ඇරබල් ටෙරාන් ඉපදුනේ 1932 ස්පාඤඤ යේ මෙලිලා හිදීය. ඔහුගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ හමුදාව එරෙහිව සටන් වැදුණු රිපබ්ලිකන් වාදීන්ගේ හමුදාව සමග සිටි භටයෙකි. පසුව අත්අඩංගුවට පත්වී මරණ දණ්ඩනය නියම වන ඔහුගේ පියා උමතු රෝගියෙකු මෙන් රඟපා, උමතු රෝගීන්ගේ රෝහලකට තමන්ව යවා ගැනීමට සමත් වෙයි. එම රෝහලින් දැඩි ශීත සමයක දී පැන යන ඔහුව නැවත කිසිවෙකුට මුණ නොගැසෙයි. මව සමග තනිවන ඇරබෙල් පසුව ප්‍රංශයට පදිංචියට යයි. ඔහු ගේ පියා ෆ්රන්කොගේ හමුදා සමග සමුහාණ්ඩුව වෙනුවෙන් සටන් කල යුද්ධය සිවිල් යුද්ධයක් (හෙවත් අභ්‍යන්තර යුද්ධයක්) ලෙස මාධ්‍ය හා දේශපාලකයින් නම් කලත් ඇරබල් එය හැඳින් වූයේ "uncivil" අශිලාචාර යුද්ධයක් යනුවෙනි.
නාට්‍ය නිෂ්පාදකයෙක්, චිත්‍රපට තිර කතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් මෙන්ම කවියෙක් ද වන ෆර්නැන්ඩෝ ඇරබල් 1962 දී අලිහන්ද්රෝ ජරදොව්ස්කි සමග පැනික් ව්‍යාපාරය නමින් අතාත්වික (surrealism) කලා සම්ප්‍රදාය නැංවීමට සංවිධානයක් ගොඩ නගයි.

පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ අගෝරා කලා කවය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික සැඳාවේ දී ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් නිමැවූ "යුධ පිටියේ සවාරියක්" වේදිකාගත කරන ලදී. විජිත ගුණරත්න "සාක්කි" නමින් නාට්‍යයක් අසූ ගණන් වල ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර වේදිකා ගත කරන ලදුව, දේශපාන තර්ජන ලැබ පසු කලෙක ස්වීඩනයේ පදිංචියට ගියේය. ඔහු විසින් ස්වීඩන් පොත් බොහොමයක් සිංහලට පරිවර්තනය කර ඇති අතර මෙහි සඳහන් "සොරෙකුගේ දියණිය, රෝනියා " ඉන් එකකි. ඇරබල් මෙන්ම විජිතද ප්‍රතිභාපුර්ණ නාට්‍යකරුවෙකු පමණක් නොව ග්‍රන්ථ කතුවරයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද, තිර රචකයෙකු ද වෙයි.පියා තුලින් ස්පාඤඤ සිවිල් යුදයට පිවිසුණු ඇරබල් මෙන් විජිතද ශ්‍රී ලංකාවේ අශිලාචාර යුද දෙකක් අත් දුටුවෙකි.

විජිත උපන් ශ්‍රී ලංකාවේ දකුණේ අත්විඳි එක යුදයක එක ම විශ්ව විද්‍යාල වල එක බත් පත බෙදන් කෑ එක දේශනාගාරයේ දේශනා ඇසූ සිසු සහෝදරවරු එකිනෙකා මරා ගත්හ. එලෙසම එකම පන්තියේ උන් දෙපැත්තට බෙදී එකිනෙකා මරා දැමුහ. එක රටේ ජාතින් දෙකක් එකම අලුත් අවුරුදු උළෙලක් එකම මසක සමරමින් අවුරුදු තිහක් මුළුල්ලේ එකිනෙකා මරා ගත්හ.


යුද බිමේ හුදකලාව සිටින සපෝ නමැති යුද භටයා තමන් ගේ කම්මැලි කම යවා ගැන්මට කවුරුන් හෝ එවන මෙන් කපිතාන් ගෙයි යදියි. සෙබලෙක් නැත්නම් "කාන්තාවක " වුවත් කම් නැත. සටන් නැති යුද බිමක් අප ඉදිරියේ මැවෙයි. සොල්දාදුවෝ ඉන්නේ නිකම්ය. කම්මැලි කමේය. මේ අතාත්වික දර්ශනයෙන් පටන් ගන්නා නාට්‍යයේ - යුද බිමේ සිටින තමන්ගේ පුතා බැලීමට, සපෝ ගේ දෙමාපියන් යන්නේ විනෝද චාරිකාවකට ඇවැසි කෑම බීම, අකුලන පුටු, බිමට එලන ඇතිරිලි, කැමරා ආම්පන්න රැගෙනය. යුද බිම යනු පික්නික් එකකට සුදුසු තැනක්ය යන්න අඟවන විරුද්ධාභ්‍යසය තුලින් අපට ඊළඟ ජවනිකාවක සපෝ ගේ මව තම සොල්දාදු පුතා මුහුණ සෝදා දත් මැද ඇත්දැයි සොයා බලයි. මාධ්‍ය මගින් උත්කර්ෂනයට නංවන යුද බිම අපට පෙන්නුම් කරන්නේ ගාම්භීර මහා වැදගත් යුද සිහිනයක හැසිරෙන සැපෝ ගේ දෙමාපියන් මගිනි.

සපෝ අනිත් පැත්තේ භටයෙකු යුද සිරකරුවෙකු ලෙස අල්ලා ගනී. අල්ලා අත් පා බැඳ සිරයට ගෙන පසුව නිරුවත් කොට නීති විරෝධිව මරා දමනු ලබා වැතිර සිටින යුධ සිරකරුවන් සිරකාරියන් ගේ දසුනක් වෙනුව, බිස්කට් කකා සිටින සිරයට ගත් ළමයෙකු පසුව මැරී සිටිනු දකින යථාර්තයක් වෙනුවට අපේ සොඳුරු සොල්දාදුවා සපෝ, තමන් ගේ හිරකරුට කුමක් කරන්නදැයි පියා ගෙන් විමසයි. කොමඩි ජවනිකාවක් මෙන් දිග හැරෙන ඊළඟ කොටසේ උපහාසාත්මක වදන් මේ අප සැබවින් සිහින දකින යුද්ධය දැයි අපෙන් විමසයි. අති සාර්ථක රංගනයක යෙදෙන "අම්මා " සිරකරුට පික්නික් මේසයට ආරාධනා කරන්නීය. මේ "සොඳුරු " යුද විනෝද චාරිකාවේ "හිරකරු " සමග සපෝ යෙදෙන සංවාදයේදී භටයන් දෙදෙනාම එක සමාන අදහස් ඇත්තවුන් මෙන්ම ඔවුන් ගේ ගේ ජෙනරාල් වරු දෙදෙනාටම කියා ඇත්තේ එකම දෙයක් බවත් දෙදෙනාම වටහා ගනී. දෙදෙනා දෙපැත්තේ සිට කරන්නේ හේතු විරහිත යුදයක් බව, සමාජයේ සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකු වන එක සමාන සරල බලා පොරොත්තු තිබුණු මේ තරුණයන් දෙදෙනාත් දෙමාපිය යුවලත් වටහා ගනිති. මේ වැටහීම මත පරණ අශ්වාරෝහක භටයෙකු ද වන සපෝ ගේ පියා සාමයකට යෝජනා කරයි.

මේ අතර වාරයක ගුවන් යානා මගින් බෝම්බ හෙලයි. අපේ යුද භටයා හා හිරකාර යුද භටයා බංකරයේ සැඟවෙන අතරේ "ජනතාව" - සපෝ ගේ මව හා පියා වැටෙන බෝම්බ වලින් බේරීමට කුඩයක් ඉහළාගෙන අවට ඇවිමින් අතාත්වික රූප රාමුවක් මවයි. ජනතාවට බෝම්බ වැස්ස යනු "භයංකර" දෙයක් නෙමේ. ඒවා වලින් මිනිසුන් "මැරෙන්නේ" නැත. රෝහල් වලට දැමු විට වහලවල් නිසා මුකුත් වෙන්නේ නැත. ඉනික්බිති රතු කුරුස භටයන් එන්නේ තුවාල කරුවන් මැරුන වුන් සොයා ය. මේ සොඳුරු යුද්ධයේ මැරුණු අය නැත. අනිත් අයට බොහෝ උදව් කරන සාමකාමී ජනයා (සපෝ ගේ පියා හා මව ) මැරුණු අය හෝ තුවාල කරුවන් දුටුවොත් සොයා කතා කිරීමට කරුණාවෙන් පොරොන්දු වෙති. මියගිය හෝ තුවාල කරුවන් සොයා ගත නොහැකිව රතු කුරුස කරුවන් දුකින් නික්ම යති. රතු කුරුස ව්‍යාපාරයට යුරෝපයේ මුදල් ලැබෙන්නේ යුද්ධයක මැරෙන තරමට අනුව යයි ඔබ දන්නවාද?
උපහාසාත්මක අතාත්වික යුද්ධයක් පිලිබඳ මේ රංගනයේ අවසානය, සැබෑ යුද්ධයේ බියකරු යථාර්තය අපේ හිස මතට අනුකම්පා විරහිතව මුදා හරියි. ගුවනින් හෙලන ඊළඟ බෝම්බ වර්ෂාවෙන් හා වෙඩි පහරින් සියල්ලෝම මිය යති.


අද දවසේ ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ කරන දරුණු ක්‍රියා වැළැක්වීමට ඇමෙරිකානු හමුදා බෝම්බ දමයි. මාධ්‍ය වලට අනුව "ඉතා නිවැරදිව හෙලන precision bombs" වන මේවා වලින් මිය යන්නේ ත්‍රස්තවාදීන් පමණකි. ත්‍රස්තවාදීන් හැදුවේ ද තවත් ජනාධිපත්වරයෙකු ඉවත් කරන්නය. එම ජනාධිපතිවරයා ආරක්ෂා කරන සිරියානු සෙබළුන් මෙන්ම ඔවුන්ට විරුද්ධව සටන් කරන කැරලි කරුවන් ද සිරියානුන්ය. රුසියාවේ පූටින් ද යුද්ධයට එළඹී තිබේ. ඔහුගේ ගුවන් යානා වලින් හෙලන බෝම්බ වලින් මිය යන්නේ ද ඉස්ලාමික අන්තවාදීන් පමණකි. ඉඳහිට ඇමෙරිකාව විසින් පූටින් ගේ හමුදා සිරියානු රෝහලකට ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරයි.. ඒ අතරේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කරති.


අපට මාධ්‍ය වලින් දෙන්නේ ඔවුන්ට අවශ්‍ය යුද්ධය පමණකි. යුද්ධයේ සැබෑ ස්වරුපය වෙනුවට පෙන්වන යුද්ධය අරාබෙල් හා විජිත විසින් උත්ප්‍රාසාත්මකව පෙන්වන අතාත්වික යුද්ධයයි. එක පැත්තක් ආගම වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයකය. ඒ පැත්තේ ජනයා දකින්නේ ආගමය. අනිත් පැත්තෙන් ශිෂ්ටාචාරය බේරා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදය අපනයනනය කිරීමට සටන් වදිති. ඒ පැත්තේ ජනයා දකින්නේ ප්‍රජාතන්තවාදය හා නිදහස වෙනුවෙන් සටන් වදින්නන්ය. අප නරඹන්නෝ වෙමු.


ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධයේ වාර්තාකරුවන් හැසුරුනේ විනෝද චාරිකාවක් වාර්තා කරන අය මෙන් නොවේද? බෝම්බ වරුසාවක් හෙලද්දී එක පැත්තක් ඒවා වීඩියෝ කර තමන් ගේ වාර්තා පමණක් බලන බටහිර වෙසෙන ජනතාවට පෙන්වුහ. ඒ තමන්ගේ යුද භාණ්ඩාගාරය (war chest) වැඩි කර ගැනීමටය. බෝම්බයෙන් මියෙන අයගේ සිරුරු යෙදවුනේ ලැබෙන චැරිටි මුදල වැඩි කර ගැනීමටය. ඇතැම් අය මුදල් සඳහා පොත් ලිවූහ. අනිත් පැත්තේ වාර්තාකරණය මුළු ජනතාවක් ඇසපිය නොහෙලා රුපවාහිනයට නෙත් යොමු කරගෙන කඩල කමින්. චොකලට් කමින් නරඹන සෝප් ඔපෙරාවක් විය. සැබෑ යුද්ධයේ දෙපැත්තේම සොල්දාදුවන් ගේ කුඩු වුනු බංකර හා විසිරුනු වැසියන්ගේ මල සිරුරු කැබලි වල වාර්තා ලැබුනේ පසුවය.

අද දවසේ යුද්ධය යනු රුපවාහිනිය හා අන්තර්ජාලයේත් රඟ දැක්වෙන "රියැලිටි ෂෝ "එකකි.


ප.ලි:

 මෙහි දැක්වෙන්නේ විජිත ගුණරත්න විසින් දෘෂ්ටි නමින් ඉදිරිපත් කරන ලද ඩාරියෝ ෆෝගේ the pope and the  witch ඇසුරෙන් සකස් කළ නාට්‍යය පිළිබඳ හැඳින්වීමකි.

ඔහු යුධ පිටියේ සවාරියක් නාට්‍යයේ රඟ දැක්වීමට තෝරා ගෙන තිබුනේ ඉතාලියේ ජිවත් වන රැකියා කරන ශ්‍රී ලංකික සහෘදයන් පිරිසකි. ප්‍රවීන වේදකා නළුවන් නොවුනත් ඔවුන් ප්‍රශංසනීය රංගනයක යෙදෙයි. විජිතගේ නාට්‍ය හැකියාවන් මනාව පිළිඹිබු කෙරුනේ ජනතාව අතරින් තෝරාගත් කිහිප දෙනෙකුට සම්මානනීය නාට්‍යයක් සාර්ථකව රඟ දක්වන්නට පුරුදු පුහුණු කිරීම තුලිනි.
හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වර්තකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්" බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී" යනුවෙන් ලියන මොහොතේ ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මා කැමරාකරුවන්ට කැමති අතර මමද බොහෝ විට කැමරාවක් රැගෙන උත්සව වල පින්තුර රැගෙන තිබේ. ඒ බොහෝ විට පැත්තක සිටිය. අප අත්දකින අශ්ශීල යුද වාර්තාකරණය සිහි ගන්වන යමක් මේ නාට්‍යය රඟ දක්වන අතර සිදුවිණ. මෙය ඕනෑ කමින් සිදු කෙරුවක් නොවුනද අනිත් අය නාට්‍යයක් නරඹද්දී තමාගේ පස්ස පෙන්වමින් දඟලමින් පින්තුර ගැනීමේ වැදගත් කම කුමක්දයි මට නොතේරේ. "Flash photography " තිබෙනවා යයි සමහර ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කරද්දී යුරෝපිය මාධ්‍ය අනතුරු හඟවයි. ඒ ඇස ගිනිකන්වැටීමේ ගතිය ඇසට එතරම් හොඳ නැති නිසාය. අඳුරු කරන ශාලාවක නම් ෆ්ලෑෂ් එකකින් එන ආතතිය වැඩිය. මේ එවැනි "යුද වාර්තාකරණයේ " එදා යෙදුන අයෙකි. ඔහු මෙය විවාහ මංගල්‍යයක් යයි සිතුවා ද මම නොදනිමි. කැමරාකරුවනි නරඹන ජනතාව ගැනත් සිතන්න.


Wednesday, 11 November 2015

වප් මස බ්ලොග් සම්මානය

පසුගිය වප් මස බ්ලොග් සම්මානය සඳහා බ්ලොගයක් තෝරා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වුණා. හුඟක් බ්ලොග හොඳ ලිපි කෙටි කතා ආදිය පල කරල තිබ්බ. මේ මස සඳහා අප තෝරා ගත්තේ හමුදාවේ සිටියදී ලත් අත්දැකීම් ගැන ලියන බ්ලොගයක්. මේ බ්ලොගය හමුදාව ගැන විතරක් නෙමේ, තමන් කළ සංචාරයන් ගැනත් වෙනත් සමාජයේ එදිනෙදා ඇතිවන ප්‍රශ්න ගැනත් කතා කරන, සංවාදයන් ඇති කරන බ්ලොගයක්.

අප තෝරා ගත්තේ වප් මස (ඔක්තෝබරයේ පලවූ) මේ ලිපියයි. ඒ තවත් කොන්ඩයෙක් බිහි නොවන්නට නම් , නමැති ලිපියයි. ඔහු හමුදාව ගැන ලිවීමට අමතරව බොහෝ ප්‍රශ්නකාරී මාතෘකා ගැනත් ලියනවා. පන්සලක් ගැන ලියු එකක් මේ. මේවට මල් වගේම ගලුත් ලැබුනත් ඉන් කලබල නොවී තමන්ගේ බ්ලොගය කරගෙන යනව. වරක් එක්තරා ගායකයකු ගැන ලියු ලිපියක් දැක එම ගායක මහතා නෙලුම් යායට චෝදනාවකුත් කලා. නමුත් අප පසුව ඔහුට තේරුම් කර දුන්න බ්ලොග් ලිපිය ලියා ඇත්තේ ඔහුට එදිරිව නොවන බව. ඒ මේ බ්ලොග් කරුගේ දක්ෂතාවය. මේ බ්ලොගය ලියන්නේ විචාරක මහතා. බ්ලොගයේ නම අසමි දකිමි සොයමි. ඔහුට නෙළුම් යාය සහෘදයන් ගේ සුබ පැතුම්.

http://nelumyaya.com/?p=4573

 මෙම බ්ලොග් සම්මාන පිළිබඳව මගේ බ්ලොගයේ දමන්නේ ප්‍රචාරය පිණිස පමණි.

Monday, 9 November 2015

නීතිය කැඩූ කුමාර් ගුණරත්නම්, නීතියට අභියෝගයක් වූ වෛද්‍ය සමරසිංහ හා අතරමං වූ යහපාලිනිස්ටලා

"අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කර තිබේ." යයි ලංකාදීපයේ පළවූ පුවතක් කියවුයෙමි. වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට පසුගිය කාලයේ තිබු මරණ තර්ජන ආදිය සලකා බලන කල රජයේ ක්‍රියාව හොඳ දෙයක් ලෙස පෙනී යා හැකිය. ඒ එවැනි අන්තරායදායක රැකියාවක් සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමෙනි. නමුත් ඇත්තටම සිදු වන්නේ වෙනත් දෙයක් විය හැකිය. එනම් හොර ඖෂධ කාරයන් බේරා ගැනීම සඳහා වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඔවුන්ගෙන් යැපෙන්නවුන් කල්පනා කරනවා විය හැකිය. ඒ නිසා යහපාලනයට චන්දය යහපාලිනිස්ටලාට දැන් වී ඇත්තේ යහපාලනයට වැද ඇති හොරුන්ගෙන් එය රැකගැනීම සඳහා සටන් කිරීමටය. රජය නිසි හේතු දැක්වීමක් නොකරන්නේ නම් වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීම වැළැක්වීම සඳහා යහපාලනිස්ට ලා විරෝධයක් පටන් ගත යුතුය. නැත්නම් රජයේ සමහර ඇත්තන් ගිය ආණ්ඩුවේ ක්‍රියා පටිපාටියම අනුගමනය කිරීමට සැරසෙන සැරසිල්ල මුලිනුපුටා දැමීමට වෙන විධිහක් නැත.

 කුමාර් ගුණරත්නම් මහතා මට කීප විටක්ම මුණ ගැසී තිබේ. ඔහුගේ දේශනද කීප විටක්ම අසා තිබේ. සමාජවාදී පක්ෂයක නායකයකු වශයෙන් ඔහු අමුතු දෙයක් කියන්නේ නැත. එසේම සමාජවාදී රටක උගෙනුම ලබා පැමිණි මට පරණ පන්නයේ සමාජවාදය කොහොමත් දිරවන්නේද නැත.සමාජවාදයක් ඇති වෙනවා නම් ඇතිවන්නේ මිනිසුන් වඩාත් දැනුවත් වී ඇති ධනවාදයේ ඉහල අවධියකට පිවිස ඇති නිදහස් මිනිසුන් වෙසෙන රටවල මිස විකෘති ධනවාදයක් ක්‍රියාත්මක වන පසුගාමී රටවල නොවන බවට නිගමනයකට මා එළඹුණේ බොහෝ කලකට පෙරය.

 ඒ නිසා මම ධනවාදී රටක ජිවත් වෙන ගමන් අරගල කර පොලිස් පහරදීම් වලින් මිය යන්නට හෝ ඉගෙනීම් කඩා කප්පල් කරගන්නට හෝ රැකියාව නැති කරගෙන දු දරුවන්ගේ ජිවිත අඳුරේ හෙලන්නට කිසිවෙකුට දේශනා කරන්නට යන්නේ නැත. (දේශනා කරද නැත). ඒ මහතා සේ කරනවා යයි යෝජනා කරන්නේද නැත. ඔහු ඉල්ලා සිටින්නේ ධනවාදී රටක සිට නොව තමන් උපන් රටේම ජිවත්වි දේශපාලනය කරන්නටය.

 කුමාර් ගුණරත්නම් මහතා සැබවින් ම නීතිය කඩ කර තිබේ. ඒ ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ වීසා අවසන් වූ පසුත් නතරවී සිටීමෙනි. මා වැනි සාමාන්‍ය පුරවැසියෙකු වීසා අවසන් වූ පසු නැවත එංගලන්තයට පැමිණිය යුතුය. එනමුත් මට එසේ නැවත නොපැමිණ, සිංහලත් දන්නා නිසා සැඟවී රැකියාවක් කිරීමට හා නිසොල්මනේ ජිවත් වීමද කළ හැකිය. ඒ කවුරුන් හෝ මගේ තරහකාරයෙක් දැන්වුවොත් මිස, ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ආගමන විගමන නිලධාරීන් මා සොයා නොපැමිණෙන හෙයිනි. එවැනි සැඟවී ජිවත් වන අය ශ්‍රී ලංකාවේ බොහෝ සිටිති. ඒ නීති විරෝධිව වුවත් කවුරුත් ඒ ගැන දන්නේ වත් සොයන්නේ වත් නැත. එසේ වූ පලියට මම එසේ කරන්නට යන්නේද නැත.

 මා රැකියා කරන ආයතනයේ එක් ඉංග්‍රීසි ජාතික අධ්‍යක්ෂක වරයෙකුගේ මව කැනේඩියානු කාන්තාවකි. ඔහු ඉපදී ඇත්තේ එංගලන්තයේය. මව ගේ මුතුන්මිත්තන් කැනඩාවට සංක්‍රමණය වූ ඉංග්‍රීසින්ය. ඔහුගේ පියා ඉංග්‍රීසි ජාතිකයෙකි. කැනඩාවට නිවාඩුවකට යාමට ප්‍රථම ඔහු (අධ්‍යක්ෂකවරයා) කැනඩා ගමන් බලපත්‍රයක් ඉල්ලා සිටි අවස්ථාවේ එය නිකම්ම ලැබිණි. ඒ පුරවැසි භාවයද සහිතවය. ඔහුට දැන් බ්‍රිතාන්‍ය හා කැනඩා ද්විත්ව පුරවැසි භාවය තිබේ. ඔහු කැනඩාවේ ඉපදී නැතිව මව පමණක් කැනේඩියානු වීම සෑහේ. අපේ ආයතනයේ පරිගණක ඉංජිනේරුවකුට රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ගැනීමට සිදුවූ බව ඇසූ ඔහු ඉමහත් පුදුමයට පත් විය. ඔබ රටට මුදල් යවන, ඒ රටේ මව්පියන්, නෑදෑයන් වෙසෙන, ඒ රටේ ඉපදී ඇති අයෙකු වශයෙන් ශ්‍රී ලංකාව විසින් නොමිලයේම පුරවැසි භාවය නොදෙන්නේ මන්ද යයි ඔහු මගෙන් විමසීය. මා පැවසුවේ ධනවත් රටක් නොවන ශ්‍රී ලංකාව හැකි සෑම අයුරකින්ම මුදල් සොයන නිසා මේ ගාස්තුව නියම කර ඇති බවත් එය තරමක අසාධාරණ ගණනක් බවත්ය. ඒ මදිවාට පසුගිය කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ගැනීමට නොයෙක් දෙනා පසුපස සිඟා කෑමටද සිදුවින. දැන්නම් ඒ ප්‍රශ්නය නැතත් නැවත පුරවැසි භාවය ගැනීමට ලක්ෂ දෙකක මුදලක් දෙන්නට සිදුව ඇති අතර ඒ සඳහා කොන්දෙසිද නහුතයක් ද ඇත.

 කුමාර් ගුණරත්නම් මහතා ප්‍රමුඛ ඔහුගේ පක්ෂයට සහය දෙන අයගේ තර්කය නම් ඔහු වෙනත් නමකින් ඕස්ට්‍රේලියානු පුරවැසි කම ගත්තත් ඔහු ලංකාවේ උපන් ලංකාවේ පුරවැසියකු බවයි. එය සත්‍යයකි. රටක ඉපදී ඇති කෙනෙකු ගෙන් ඒ අයිතිය පැහැර ගන්නට නොහැකිය. හරියට තමන් උත්පත්තියෙන් ලැබූ මව හෝ පියා වෙනස් කළ නොහැකි ලෙසටමය. කැනඩාව වැනි රටවල ප්‍රතිපත්තිය මේ අනුව නිවැරදිය. මේ නිසා මට සිතෙන්නේ කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන ලෙසත්, ඔහුගේ පුරවැසි භාවය ලබා දෙන ලෙසත් කරන ඉල්ලීමට සහය දීමටය. ඔහුට ඇප නොදී සිර ගෙට යවන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණය නිසා විය හැකිය. ශිෂ්‍යයන්ට පහර දීමෙන් පොලිසියත් රජයත් මහත් අපකීර්තියක් ලැබූ අතර ශිෂ්‍ය ඉල්ලීමද ඉන් පසුව ඉටු කිරීමට සිදු වුනි. එය සාධාරණ ඉල්ලීමක් නම් මෙපමණ දුර දිග යන්නට නොදී රජයට එය ගොඩින් බේරා ගන්නට ඉඩ තිබුණි. දැන් පෙනෙන පරිදි මේ ලැබුන "පරාජයේ" වාඩුව ගන්නේ කුමාර් ගුණරත්නම් ගෙන් බව හැඟේ. මේ අත් අඩංගුවට ගැනීමට නීතිමය පදනමක් තිබුනත් ඔහු ඇප නොදී ඇතුලට දැමීමෙන් හා, පසුගිය රජයේ වඩා පොහොසත් බලපුළුවන්කාරකම් සහිතව සිටි අය ඇප මත එලියට දැමීමෙනුත් පෙනී යන්නේ වරප්‍රසාද අඩු අයට නීතිය වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වන බවයි.

 දේශපාලන පක්ෂ නායකයෙකුට තම දේශපාලනය නිදහසේ කර ගෙන යාමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. බ්‍රිතාන්‍යය , ජර්මනිය වැනි රටවල අති දක්ෂිණාංශික හා අති වාමාංශික පක්ෂවලට පවා යම් තාක් දුරට නිදහසේ දේශපාලනය කිරීමට ඉඩ දී තිබේ. (උදා : BNP, English Defence League, National Democratic Party of Germany ). මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතා අනුගමනය නොකරනු ඇතැයි සිතමි. දෙමළ ජනතාවට එරෙහිව පැවති 1983 කෝලාහල වලින් පසු වමේ පක්ෂ තුනක් තහනම් කෙරුණු අතර ජවිපෙ තහනම ඉන් පසුව හෝ ඉවත් කෙරුනේ නැත. ඉන් සිදුවුයේ එම පක්ෂය රහසිගත ක්‍රියාකාරිත්වයකට යාමත් රැකියා විරහිත තරුණ පෙළ ඊට ආකර්ෂණය වීමත්ය. උතුරේ යුද්ධයට අමතරව දකුණේත් සිවිල් යුද්ධයකින් ශ්‍රී ලංකාව බැට කෑවේ ඉන් පසුවය. කුමාර් මහතා ලංකාවට පැමිණිවිට මා ලියු බ්ලොග් ලිපිය වුයේ "විමලේගේ පිහිටට කුමාර් කුමාර් ගේ පිහිටට විමලේ "යනුවෙනි.

මේ රජය පත් වී වසරක් ගත වීමට ප්‍රථම විමල් විරවංශ මහතාට පාස්පෝර්ට් චෝදනාවන් කිහිපයක් ම එල්ල වී තිබේ. ඒ නිසාම දෝ ඔහු උපක්‍රමශීලිව කුමාර් ගේ පැත්ත ගන්නා ලෙසක් පෙනී යයි. එනමුදු මා මගේ මුල් ලිපියේ සඳහන් කල පරිදි කුමාර් ගුණරත්නම් විමල් වීරවංශ ගේ පැත්තට ගියේ නැත. ඔහු ගෙන යන්නේ ඔහුටම අනන්‍යවූ දේශපාලනයකි. විමල් මහතාට එකතු වී ඇත්තේ බංකලොත් සෝමවංශය. කුමාර් ගුණරත්නම් ට දේශපාලනය ශ්‍රී ලංකාවේ කරන්නට ඉඩ දිය යුතුව ඇත්තේ, කොටස් තුනකට බෙදුණු එළිපිට රඟන ජවිපෙ/පෙසපේ /ජනිපෙ දේශපාලනය ලංකාවට වඩා හිතකර නිසාය.

 කොටින්ම දැන් ශ්‍රී ලංකාවේ සැඟවුණු ආරක්ෂක ඇමති කෙනකු සිටියාදැයි සිතෙන තරමට තත්වය ව්‍යාකූලය. ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ඔහු අනුර කුමාර මහතාගේ කීමට කුමාර් ගුණරත්නම් ඇල්ලු බවය. වෙබ් පුවත්පත් කීපයක් පසු ගියදා ප්‍රකාශ කලේ යහපාලන රජය අනුර කුමාරගේ කීමට කුමාර් ගුණරත්නම් ඇල්ලු බවකි. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහතා එතරම්ම බලවත්ය. ඔහු බලවත් ව ඇත්තේ ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද නිර්දයව විවේචනය කරන නිසාද නැත්නම් මෙවැනි රහස් ගනුදෙනුවක් පවතින නිසාද? එසේ ආණ්ඩු විවේචනය කල/කරන අයෙක් ඔය කියන අන්දමේ ගනුදෙනුවක් පවත්වා ගනීවිද?

මට නම් පෙනෙන්නේ ආණ්ඩු දෙකම අනවශ්‍ය භයක් ඇති කරගෙන තිබෙන බවකි. සැබෑ යකා කියන තරම් කළු නැත. (pun not intended). යහපාලින්ස්ටලා කුමාර් ගේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට සහය දැක්වුවත් සිසුන්ට පහර දීමේදී විරෝධය දැක්වුහ. යහපාලින්ස්ටලා මේ රජයට අන්ධානුකරණයෙන් වඳින්නට සුදනම් නැති බව පැහැදිලිය. මාරපන මහතාට ඇතිවූ විරෝධයේදී පෙරමුණ ගත්තේද යහපාලින්ස්ටාලාය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙනුවෙන්ද ඔවුන් ඉදිරිපත් විය යුතුය. අතරමන් වෙන්නට කලින් යහපාලින්ස්ටාලා දැන් කල යුතුව ඇත්තේ නැවත සංවිධානය වී නැග එන දුෂණයට හා ඥාති සංග්‍රහයට විරෝධය පාමින් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමය. සෝභිත හිමියන් වෙනුවෙන් උපහාර කල යුතුව ඇත්තේද එලෙසමයි.



Wednesday, 4 November 2015

අන්තරේ ගැටේට හිරවුණු පොලිසියේ කිරිපල්ල හා මහමගේ හිරවුණු කිරි ඇල්ල

මහාමාර්ග ඇමති කිරිඇල්ලට යහපාලන ආණ්ඩුවේ විද්වත් මණ්ඩලයක් මගින් උසස් අධ්‍යාපන ඇමති පදවියත් ලබාදීමේ බුද්ධිමත් තීරණය ඇස් පනාපිට ඔප්පුවී ගියේය. දැන් ඒ සිදුවීම් පෙල විග්‍රහ කරමින් බ්ලොග්වල, මුණු පොතේ සහ පත්තර වල මෙන්ම ගොසිප් වෙබ් අඩවි වලද කතාව තවම නැවතී නැත. මට දැන් ප්‍රශ්න කීපයක් මතුවී තිබේ. ගුරුවරුන් ළමුන්ට පහරදීම කිසිදා අනුමත නොකළ අයෙකු ලෙස, ගැහීමෙන් ළමයි හැදිය නොහැකි බව පිළිගන්නා අයෙකු ලෙස පොලිසිය තියා මොකා වුනත් සිසුන්ට පහරදීම අනුමත කිරීමට හැකියාවක් නැත. එනිසා අපි එයට විරෝධය පළ කරමු.

 මා එසේ කීවද පොලිසිය ගැනද අනුකම්පාවක් ද තිබේ. ඒ සුළු පොලිස් නිලධාරීන් ගැනය. අපි රතුපස්වල ගනිමු. උද්ඝෝෂණයේදී හමුදාව කැඳවූ අතර ඔවුන් පුහුණුව ලැබූ දෙය වන වෙඩි තැබීමක් සිදුවී විරෝධතා කරුවෙක් මිය ගියේය.

උද්ඝෝෂණයකදී එක එල්ලේ වෙඩි තැබීම නීති විරෝධීය. පොලිසියට උගන්වා තිබෙන පිළිවෙල නම්, ජනතාවට අවහිර වන අවස්ථාවක, උද්ඝෝෂණ වලක්වාලීම සඳහා මුලින් ශබ්ද විකාශන මගින් විසිර යන ලෙස දැන්විය යුතුය. උද්ඝෝෂකයන් එම අණ පිළිපදින්නේ නැත්නම් වතුර විදීම වැනි ක්‍රමයක් හා ඉන් පලක් නැත්නම් කඳුළු ගෑස් ගැසීම කල යුතුය. ඉනුත් පලක් නැත්නම් කුළුපොලු හමුදාව ඉදිරියට ගෙනවිත් එක පෙලට උද්ඝෝෂණකරුවන් තල්ලු කරමින් ඉදිරියට යමින් ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කල යුතුය. උද්ඝෝෂකයන්ට අවම බලයක් යොදා පහර දීමටද අවසර තිබේ. බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල උද්ඝෝෂකයන්ට විසිර යන්නේ නැත්නම් පහර දීම කරනු ලබයි. ඉහත සිද්ධියේදී පොලිසිය මූලිකව තම නීති පොත අනුගමනය කල බවක් පෙනී යයි. (අවසන් පහරදීම් සිද්ධීන් වලට කලින්) පොලිසිය මගින් වෙඩි තැබීමක් සිදු වුයේද නැත. එහෙත් පොලිසිය විරෝධතාවය මැඩීමට ගත් ක්‍රියාමාර්ග අතර අවශ්‍ය කාල පරතරය තිබුනේද යන්න ප්‍රශ්නයකි. කෙසේ වුවද තිරශ්චීන ලෙස එලව එලවා කල පහරදීමට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබේ.


උදාහරණයක් ලෙස සසිනි සන්දීපනී ශිෂ්‍යාවට කල පහරදීම කිසි සේත්ම අනුමත කල නොහැකිය. ඇය ඒ අවස්ථාවේ පොලිසියට තර්ජනයක් කරන්නේ නැත. ඉවත්ව යාමට තතනන සිසුවියකට පහර දීම වීර ක්‍රියාවක් ලෙස ඒ පොලිස් නිලධාරියා සිතනවා නම් ඔහුව මානසික රෝහලකට යැවිය යුතුය. එසේම ප්‍රථම වතාවට මේ පහරදීම ගැන විමසන්නට උසස් පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. මෙය පැසසිය යුත්තකි. ඔවුන්ට බලතල ඇත්නම් එතනින් නතර නොවී නීතිය කඩ කිරීමක් සිදුව ඇත්නම් දඬුවම් දීමද කල යුතුය.

දැන් අපි ඩිප්ලෝමා ගැන කතා කරමු. ප්‍රංශයේ අවුරුදු හතරක පාඨමාලා වලට ඩිප්ලෝම දෙන අතර ඒවා ඩිග්රි (උපාධි) වශයෙන් නම් කිරීමට නම් එහි අධ්‍යපාන අමාත්‍යංශයේ සහතිකය ගත යුතුය. රැකියා සඳහා එසේ සහතික කිරීම අනවශ්‍යය. ජර්මනියේද ඩිප්ලෝමා දෙන අතර අවුරුදු 4-5 දක්වා ඇති පාඨමාලා උපාධි හා සම තත්වයේ සැලකේ. ඇත්තේ නමේ වෙනස් වීමක් පමණි. ඩිග්රි හෙවත් උපාධි ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසි කතා කරන රටවල පමණි.ඒවායේ ඩිප්ලෝමා ප්‍රදානය කරන නමුත් ඩිප්ලෝමා උපාධි වලට වඩා අඩු තත්වයක ලා සැලකේ. නමුත් බොහෝවිට ඩිප්ලෝමාවට රැකියා ලැබෙන අතර උපාධියක් තිබීමම රැකියාවක් ලැබීමේ හේතුවක් නොවේ. මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වැනි ආයතන වල විභාග සමත් වී හා පරිගණක පාඨමාලා සම්පුර්න කර ඩිප්ලෝමා සහතික රැගත් ඉංජිනේරුවන් ඩිග්රි ඇති අය සමග සමව හෝ වඩා උසස් රැකියා කරනු මා දැක තිබේ.

ප්‍රංශය අනුව යමින් සාර් රුසියාවේ උසස් විද්‍යාල වල දුන්නේ ඩිප්ලෝමාය. සෝවියට් දේශයද එම ක්‍රමයම අනුගමනය කළේය. අපට ලැබුණු උපාධියේ රුසියානු භාෂාවෙන් හා (ප්‍රංශ බස කතා කරන අප්‍රිකානු සිසුන් හට එම ප්‍රංශ භාෂාවෙන්ද) උපාධි සහතිකය ඩිප්ලෝමා කියා නම් කෙරුණු අතර ඉංග්‍රීසියෙන් Master of Science degree කියා සඳහන් කර තිබුණි. මෙය ඉන්පසු ප්‍රංශයේ මෙන්ම සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය මගින් උපාධියක් ලෙස සහතික කරන ලදී. ලංකාවේ උපාධි ලැබූ බහුතරයකින් සමන්විත වෛද්‍ය වරුන්ගේ සංගමය මෙන්ම ඉංජිනේරු සංගමයද මේ සෝවියට් උපාධි වලට විරුද්ධ වු. ඔවුන්ගේ මුලික තර්කයන් වුයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අඩු අය මේ උපාධි ලබා පැමිණෙන බව හා මේවා ඩිප්ලෝමා බවයි. (කවුදෝ අර රුසියානු භාෂාවේ සඳහන් ඩිප්ලෝම වචනය අහුලාගෙන ඇත) ඒ දවස් වල අපේ සෝවියට් උපාධි ලැබුවෙක් "ලුමුම්බා උපාධිය කුරුම්බා කඩන්නද" යන මැයින් දිවයින් පුවත් පතට ලියු ලිපියක්ද දුටුවෙමි. මෙහිදී සෝවියට් උපාධිධාරීන් රජයට පැහැදිලි කලේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නමුත් ඉඩ නැතිවීම, දිස්ත්‍රික් ක්‍රමය නිසා අත්වුණු අසාධාරණය නිසාද සිසුන් නැගෙනහිර යුරෝපිය රටවලට හා චීනයට ගිය බවයි.

මා වැනි තවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට සුදුසුකම් ලබා (ලිපිත් නිවසට පැමිණ පසු) ඉගෙනීමට සෝවියට් දේශයට ගිය අයද බොහෝ විය. රුසියන් භාෂාවෙන් ඩිප්ලෝමා කියා කීවද එය ඩිග්රියක් බව ඔප්පු කරන්නට අපේ මුල් උපාධිධාරීන් විෂය නිර්දේශ ගෙනවිත් පෙන්වූහ. එසේම අපේ සෑම උපාධියක්ම Master of Science degree ලෙස නම් කර සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් වෙන්ව සහතික කර තිබුණි. මම සමස්ත සෝවියට් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වී සිටියදී විදුලි ඉංජිනේරු හා වෙනත් පාඨමාලා වල විෂය නිර්දේශ ඉංජිනේරු සංගමයට මෙන්ම අදාල අමාත්‍යවරයා ටද භාර දුනිමි. විෂය නිර්දේශ සන්සන්දනය කිරීමේදී සෝවියට් දේශයේ බොහෝ උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පාඨමාලා වලට වඩා වැඩියෙන් විෂයයන් උගන්වන බව මෙන්ම වඩා ගැඹුරට උගන්වන බවද පැහැදිලි විය. පුහුණුව අතින්ද සෝවියට් ක්‍රමයේ උසස් කම් දැකිය හැකි විය. මා උගත් මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ තමන්ගේම තාප විදුලි බලාගාරයක් තිබුණි. අප මුලික පුහුණුව ලැබුවේ එහිය. එවන් තමන්ගේම විදුලි බලාගාර තිබු විශ්ව විද්‍යාල ලෝකයේම ඇත්තේ අතලොස්සකි. සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු වැනි අනිත් පාඨමාලාද උසස් තත්වයේ විය. මා මේ කියන්නේ ශ්‍රී ලංකා වේ උපාධි පහතට දැමීමට නොවේ. ඒවායේ හොඳින් උගන්වන අතර සිසුන් මහන්සිවී ඉගෙන ගන්නා බවද පිලිගනිමි.කෙසේ හෝ සෝවියට් උපාධිධාරීන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එම උපාධි සම තත්වයේ ලා සලකන ලදී.


 සෝවියට් දේශයේ නමය පන්තියෙන් පාසල් හැර ගිය සිසුන් හා විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් අඩුවූ සිසුන් සඳහා හෙද විදුහල්, කාර්මික විද්‍යාල ආදිය පිහිටුවා තිබුණි. නමුත් කාර්මික විද්‍යාලයක අවසන් කල කෙනෙක් කාර්මික නිලධාරියෙක් ලෙස විනා ඉංජිනේරුවකු ලෙස හඳුන්වනු නොලබයි. ඒවායේද ඩිප්ලෝමා දෙන නමුත් එහි තත්වය පහලය. ඒවායේ අවුරුදු හතර අවසන් කර රැකියාවකට යාමට හෝ අවශ්‍ය නම් විශ්ව විද්‍යාලයකට ඇතුලු වී තව අවුරුදු තුනක් හෝ දෙකක් (පාඨමාලාවට අනුව) උගෙන උපාධිය ලබා ගත හැකිය. 

ලංකාවේ කාර්මික විද්‍යාල හා වෙනත් පාඨමාලා බොහොමයක අපොස උසස් පෙළ සමතුන් උගනිති. ඔවුන්ගෙන් සමහරු විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නොගිය අයය. මේ පාඨමාලා වලට උපාධියක සම තත්වය දීමට නම් ඉගැන්වීමේ තත්වය, ලැබෙන රැකියාවට අදාල පුහුණුව ආදී නිර්ණායකයන් සොයා බලා, විෂයට අදාල වෘත්තිකයන් හා අධාපන වේදීන්ට තීරණයක් ගැනීමට ඉඩ හල හැකිය. සිසුන් පෙළපාලි ගොස් බල කල පලියට රජයකට එය කල නොහැක. එයින් බාල්දු වන්නේ එම රටේම අධ්‍යාපන ක්‍රමයයි. මොරටු විශ්ව විද්‍යාලයේ NDT නම් පාඨමාලාවක් තිබේ. මා දන්නා විධිහට එහි විදුලි අධිකාරී පාඨමාලාව හදාරා විදුලි අධිකාරී විය හැකිය. අවුරුදු 15 රැකියා කර ඉංජිනේරුවරයෙකු හා සම තත්වයට පත් විය හැකිය. එසේ නැතුව ඔවුන්ට ඉංජිනේරු උපාධියම දෙන්න යයි එම සිසුන් ඉල්ලීම් කරනවා දැයි මම නොදනිමි. එසේ ඉල්ලීමක් තිබේ නම් කල යුත්තේ එම වසර තුන හොඳින් අවසාන කල අයට අන්තිම අවුරුද්ද හෝ දෙක ඉංජිනේරු පාඨමාලාව කරන්නට අවසර දී උපාධිය ලබා දීමය. එච් එන් ඩි සිසුන් සඳහා වුවද එවැනි ක්‍රියා මාර්ගයක් ගත හැකිය.


 පොලිසියට ගල් ගැසීමෙන් එවැනි තත්වයක් ලබා ගත හැකිවේ යයි සිතීම මිත්‍යාවකි. මේ තිබෙන්නේ ත්‍රිමා විතාන වැනි සිසුන් පුද්ගලික විද්‍යා විද්‍යාල වලට එරෙහි උද්ඝෝෂණ පෙලේ සිටියදී මරා දැමුණු පසු ඒවාට චෝදනා ලැබුවන් පසුව රජයන් කීපයකම අමාත්‍ය වරුන් වූ රටකය. එම චෝදනා පවා ඔප්පු කර ගැනීමට නොහැකිවී ඇත. විශ්ව විද්‍යාල යාමට නොහැකි වුනු සිසුන් බොහෝමයක අධ්‍යාපන තත්වය උසස්ය. ඔවුන්ට හැදෑරීමට කාර්මික විසුහල් හෙද විදුහල් පමණක් නොව පරිගණක පාඨමාලා ගණකාධිකරණ පාඨමාලා ආදියද තිබේ. මම පෞද්ගලිකව මුදල් අය කරන විශ්ව විද්‍යාල වලට කැමති නැත. මම බ්‍රිතානයේ කම්කරු පක්ෂයේ ජෙරෙමි කෝබින් ට සහ දෙන එක හේතුවක් නම් ඔහු විශ්ව විද්‍යාල වලින් මුදල් අයකිරීම අහෝසි කර නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට පොරොන්දු වීමයි. එසේ වතුදු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ නම් විරුද්ධත්වයක් නැත. සමාජවාදී ක්‍රමයක එවැනි විද්‍යාල රජයට පවරා ගත හැකි වුවත් දැනට ඇති යථාර්තය හමුවේ එවැන්නකට විරෝධය පෑමෙන් වෙන්නේ තවත් අතිරේක සිසුන් ප්‍රමාණයක් අතරමං කිරීමක් පමණකි. අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස "සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් " ගැන වෛරයකින් නොවේ. අඩු ලකුණු ගත් සිසුන් නොයෙකුත් ක්‍රම හරහා සෝවියට් දේශයටද පැමිණියහ. එය ශ්‍රී ලංකාවේ සමාජයේ වැරැද්ද මිස සිසුන්ගේ නොවේ. අනික වරක් එස් තුනක් ගත්තා කියා මේ කට පාඩම් කර පාස් වෙන විභාග වලින් දෙවනුව හෝ තෙවැනිව හොදින් සමත් වෙන අයද සිටිති.

 කියුබාව වැනි රටවල දොස්තරවරුන්ට හොඳ පඩි ලැබෙන්නේ නැත. එවන් එක දොස්තර කෙනෙක් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන කඩයක් පවත්වා ගෙන යන බව රූපවාහිනී වාර්තාවක දුටුවෙමි. අවශ්‍යතාවයට වැඩියෙන් දොස්තර වරු හා ඉංජිනේරුවන් සිටින රටකි කියුබාව. කියුබාවේ ඒ තත්වය ළඟදීම වෙනස් වනු ඇත. කියුබාවේ හෝ වෙනිසියුලාවේ ඇති පරිදි සමාජවාදී රජයක් අද හෙටම නොඑළඹෙන නිසා අන්තරයට පවතින නීතියට යටත්ව දැනට කටයුතු කිරීමට සිදුවනු නොවැලැක්විය හැකිය. අන්තරේ ඉහත සිද්ධියේදී පොලිසියේ කිරිපල්ල අතගාන්නට සිසුන්ට පවරා තමන්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා ගත් බව මගේ හැඟීමයි. සිසුහුද ඒ වෙනවට පොලිසියෙන් හොඳටම ගුටි කෑවෝය. පොලිසිය සුපුරුදු පරිදි හොඳටම අනා ගත්තේය. අවුරුදු ගණනක සිටම මෙලස හැසිරෙන ලංකාවේ පොලිසිය යහපාලන ආණ්ඩුවක් ඇවිත් මාස කීපයකින් වෙනත් විධිහකට හැසිරෙන්නේ යැයි බලා පොරොත්තු වීමම බොළඳ කමකි. ස්වාධින කොමිසම් ආවේ යන්තම් මාසයකට කලින්ය. මිට වඩා මර්දනකාරී ආණ්ඩුවක් පලවා හැරි යහපාලන ලැදි ජනතාවට කුමාරසිංහලා, රණතුන්ගලා දැන්මම තියා කොකා පෙන්වමින් සිටිති. සිසුන්ට පහර දීමට විරෝධය පාමින් ලිපියක් නිකුත් කළ මංගල සමරවීර මහතා මෙන්ම, කරුණාරත්න පරණවිතාන මහතාද යහපාලනයට සහය දුන් බොහෝ අයද ඉදිරියට පැමිණ පොලිස් පහරදීම හෙලා දැක ඇත. ඔවුන් විසින් මේ ප්‍රශ්නය සාකච්චාවෙන් විසඳා ගන්නා මෙන් දෙපාර්ශ්වයටම බල කල යුතුය. යහපාලන ලැද්දන්ට තවත් මර්දනකාරී ආණ්ඩුවක් අවශ්‍ය නැත.