Sunday, 15 November 2015

අගෝරා සැ ඳෑවේ "යුධ පිටියක සවාරිය "

"නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන බියකරු සිහිනයන්...මගේ ඇතුලාන්තයෙහි පිළිඹිබුව මගේ සිහිනයන් වලින් හෙළිදරව් කිරීමක් ....සිහිනය තමයි මගේ ඇරඹුම". විසිවන ශතවර්ෂයේ අධිතාත්වික කලා සම්ප්‍රදායේ (surrealism) පෙර ගමන් කරුවෙකු වන ෆර්නැන්ඩෝ ඇරබෙල් තමන්ගේ නාට්‍ය ගැන කීවේ එලෙසය. ඔහුගේ "යුධ පිටියට විනෝද චාරිකාවක් " Piquenique no Front නම් වූ නාට්‍යය අපට යුද්ධයේ නිරර්ථක බව අධිතාත්වික වූ  සිදුවීම් පෙළක් එකිනෙකට පතිත කරමින්  (juxtaposed) තියුණු ලෙස පහදයි.

"මාධ්‍යයන් මගින් උත්කර්ශණය කරන යුද්ධය මගින් අපේ සදාචාරය, අනිකා කෙරෙහි අපේ ඇති කරුණාව, දයාව, අනෙකා ආරක්ෂා කිරීම වැනි ගුණාංග ඉවත ලෑමට බල කරමින් අනිකාගේ ජීවිතය මෙන්ම දේපල ද විනාශ කිරීම සඳහා අපව  නිසඟයෙන් අනුබල දීමට පොළඹවන හැටි නිර්දය ලෙස "යුද චාරිකාවේ" පෙන්වයි. " (උපුටා ගත්තකි) යුදයක් නැති කාලයේදී සාමකාමී මිනිසුන් ලෙස රංගනය කරන අප යුද කාලයේදී මේ දේපල හා ජිවිත විනාශයට සහය දෙන්නේ කෙසේද? ඇරබෙල් පෙන්වන්නේ අප එකිනෙකා වටහා ගන්නා විට, හඳුනා ගන්නා විට ඉන් අපේ සමාජීය බැඳීම හා සහයෝගය ඇතිවී, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, සැකය වෙනුවට ගෞරවයක් හා භක්තියක් ඇති වෙමින් යුදපිටිය විනෝද චාරිකාවක් බවට රූපාන්තරණය වන බවයි.

 ෆර්නැන්ඩෝ ඇරබල් ටෙරාන් ඉපදුනේ 1932 ස්පාඤඤ යේ මෙලිලා හිදීය. ඔහුගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ හමුදාව එරෙහිව සටන් වැදුණු රිපබ්ලිකන් වාදීන්ගේ හමුදාව සමග සිටි භටයෙකි. පසුව අත්අඩංගුවට පත්වී මරණ දණ්ඩනය නියම වන ඔහුගේ පියා උමතු රෝගියෙකු මෙන් රඟපා, උමතු රෝගීන්ගේ රෝහලකට තමන්ව යවා ගැනීමට සමත් වෙයි. එම රෝහලින් දැඩි ශීත සමයක දී පැන යන ඔහුව නැවත කිසිවෙකුට මුණ නොගැසෙයි.

මව සමග තනිවන ඇරබෙල් පසුව ප්‍රංශයට පදිංචියට යයි. ඔහු ගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ  හමුදා සමග සමූහාණ්ඩුව වෙනුවෙන් සටන් කල යුද්ධය සිවිල් යුද්ධයක් (හෙවත් අභ්‍යන්තර යුද්ධයක්) ලෙස මාධ්‍ය හා දේශපාලකයින් නම් කලත් ඇරබල් එය හැඳින් වූයේ "uncivil" අශිලාචාර යුද්ධයක් යනුවෙනි.

නාට්‍ය නිෂ්පාදකයෙක්, චිත්‍රපට තිර කතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් මෙන්ම කවියෙක් ද වන ෆර්නැන්ඩෝ ඇරබල් 1962 දී අලිහන්ද්රෝ ජරදොව්ස්කි සමග පැනික් ව්‍යාපාරය නමින් අධිතාත්වික (surrealism) කලා සම්ප්‍රදාය නැංවීමට සංවිධානයක් ගොඩ නගයි.

පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ අගෝරා කලා කවය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික සැඳාවේ දී ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් නිමැවූ "යුධ පිටියේ සවාරිය" වේදිකාගත කරන ලදී. විජිත ගුණරත්න "සාක්කි" නමින් නාට්‍යයක් අසූ ගණන් වල ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර වේදිකා ගත කරන ලදුව, දේශපාලන තර්ජන ලැබ පසු කලෙක ස්වීඩනයේ පදිංචියට ගියේය. ඔහු විසින් ස්වීඩන් භාෂාවෙන් පළවූ ග්‍රන්ථ බොහොමයක් සිංහලට පරිවර්තනය කර ඇත. ඇරබල් මෙන්ම විජිතද ප්‍රතිභාපුර්ණ නාට්‍යකරුවෙකු පමණක් නොව ග්‍රන්ථ කතුවරයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද, තිර රචකයෙකු ද වෙයි.පියා තුලින් ස්පාඤඤ සිවිල් යුදයට පිවිසුණු ඇරබල් මෙන් විජිතද ශ්‍රී ලංකාවේ අශිලාචාර යුද දෙකක් අත් දුටුවෙකි.

විජිත උපන් ශ්‍රී ලංකාවේ දකුණේ අත්විඳි එක යුදයක එක ම විශ්ව විද්‍යාල වල එක බත් පත බෙදන් කෑ එක දේශනාගාරයේ දේශනා ඇසූ සිසු සහෝදරවරු එකිනෙකා මරා ගත්හ. එලෙසම එකම පන්තියේ උන් දෙපැත්තට බෙදී එකිනෙකා මරා දැමුහ. එක රටේ ජාතීන්  දෙකක් එකම අලුත් අවුරුදු උළෙලක් එකම මාසයක  සමරමින් අවුරුදු තිහක් මුළුල්ලේ එකිනෙකා මරා ගත්හ.


යුද බිමේ හුදකලාව සිටින සපෝ නමැති යුද භටයා තමන් ගේ කම්මැලි කම යවා ගැන්මට කවුරුන් හෝ එවන මෙන් කපිතාන් ගෙයි යදියි. සෙබලෙක් නැත්නම් "කාන්තාවක " වුවත් කම් නැත. සටන් නැති යුද බිමක් අප ඉදිරියේ මැවෙයි. සොල්දාදුවෝ ඉන්නේ නිකම්ය. කම්මැලි කමේය. මේ අධිතාත්වික වූ  දර්ශනයෙන් පටන් ගන්නා නාට්‍යයේ - යුද බිමේ සිටින තමන්ගේ පුතා බැලීමට, සපෝ ගේ දෙමාපියන් යන්නේ විනෝද චාරිකාවකට ඇවැසි කෑම බීම, අකුලන පුටු, බිමට එළන ඇතිරිලි, කැමරා ආම්පන්න ආදිය  රැගෙනය. යුද බිම යනු විනෝද චාරිකාවකට  සුදුසු තැනක්ය යන්න හඟවන විරුද්ධාභ්‍යසය තුලින් අපට ඊළඟ ජවනිකාවක සපෝ ගේ මව තම සොල්දාදු පුතා මුහුණ සෝදා දත් මැද ඇත්දැයි සොයා බලයි. මාධ්‍ය මගින් උත්කර්ෂණයට නංවන යුද බිම අපට පෙන්නුම් කරන්නේ ගාම්භීර මහා වැදගත් යුද සිහිනයක හැසිරෙන සැපෝ ගේ දෙමාපියන් මගිනි.

සපෝ අනිත් පැත්තේ භටයෙකු යුද සිරකරුවෙකු ලෙස අල්ලා ගනී. අල්ලා අත් පා බැඳ සිරයට ගෙන පසුව නිරුවත් කොට නීති විරෝධිව මරා දමනු ලබා වැතිර සිටින යුධ සිරකරුවන් සිරකාරියන් ගේ දසුනක් වෙනුව, මුලින් බිස්කට් කකා සිටින සිරභාරයට  ගත් ළමයෙකු පසුව මැරී සිටිනු පෙන්වන රූපවාහිනී  යථාර්තයක් වෙනුවට අපේ සොඳුරු සොල්දාදුවා සපෝ, තමන් ගේ හිරකරුට කුමක් කරන්නදැයි පියා ගෙන් විමසයි. කොමඩි ජවනිකාවක් මෙන් දිග හැරෙන ඊළඟ කොටසේ උපහාසාත්මක වදන් මේ අප සැබවින් සිහින දකින යුද්ධය දැයි අපෙන් විමසයි. අති සාර්ථක රංගනයක යෙදෙන "අම්මා " සිරකරුට පික්නික් මේසයට ආරාධනා කරන්නීය. මේ "සොඳුරු " යුද විනෝද චාරිකාවේ "හිරකරු " සමග සපෝ යෙදෙන සංවාදයේදී භටයන් දෙදෙනාම එක සමාන අදහස් ඇත්තවුන් මෙන්ම ඔවුන් ගේ ගේ ජෙනරාල් වරු දෙදෙනාටම කියා ඇත්තේ එකම දෙයක් බවත් දෙදෙනාම වටහා ගනී. දෙදෙනා දෙපැත්තේ සිට කරන්නේ හේතු විරහිත යුදයක් බව, සමාජයේ සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකු වන එක සමාන සරල බලා පොරොත්තු තිබුණු මේ තරුණයන් දෙදෙනාත් දෙමාපිය යුවලත් වටහා ගනිති. මේ වැටහීම මත පරණ අශ්වාරෝහක භටයෙකු ද වන සපෝ ගේ පියා සාමයකට යෝජනා කරයි.

මේ අතර වාරයක ගුවන් යානා මගින් බෝම්බ හෙලයි. අපේ යුද භටයා හා හිරකාර යුද භටයා බංකරයේ සැඟවෙන අතරේ "ජනතාව" - සපෝ ගේ මව හා පියා වැටෙන බෝම්බ වලින් බේරීමට කුඩයක් ඉහළාගෙන අවට ඇවිමින් අතිශයින් අධිතාත්වික වූ රූප රාමු මවයි. ජනතාවට බෝම්බ වැස්ස යනු "භයංකර" දෙයක් නෙමේ. ඒවා වලින් මිනිසුන් "මැරෙන්නේ" නැත. රෝහල් වලට දැමු විට වහලවල් නිසා මුකුත් වෙන්නේ නැත. ඉනික්බිති රතු කුරුස භටයන් එන්නේ තුවාල කරුවන් හා  මරණයට පත් වූවන් සොයා ය. මේ සොඳුරු යුද්ධයේ මැරුණු අය නැත. අනිත් අයට බොහෝ උදව් කරන සාමකාමී ජනයා (සපෝ ගේ පියා හා මව ) මැරුණු අය හෝ තුවාල කරුවන් දුටුවොත් සොයා කතා කිරීමට කරුණාවෙන් පොරොන්දු වෙති. මියගිය හෝ තුවාල කරුවන් සොයා ගත නොහැකිව රතු කුරුස කරුවන් දුකින් නික්ම යති. රතු කුරුස ව්‍යාපාරයට යුරෝපයේ මුදල් ලැබෙන්නේ යුද්ධයක මැරෙන තරමට අනුව යයි ඔබ දන්නවාද?

උපහාසාත්මක අධිතාත්වික යුද්ධයක් පිලිබඳ මේ රංගනයේ අවසානය, සැබෑ යුද්ධයේ බියකරු යථාර්තය අපේ හිස මතට අනුකම්පා විරහිතව මුදා හරියි. ගුවනින් හෙලන ඊළඟ බෝම්බ වර්ෂාවෙන් හා වෙඩි පහරින් සියල්ලෝම මිය යති.


අද දවසේ ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ කරන දරුණු ක්‍රියා වැළැක්වීමට ඇමෙරිකානු හමුදා බෝම්බ දමයි. මාධ්‍ය වලට අනුව "ඉතා නිවැරදිව හෙලන "precision bombs" වන මේවා වලින් මිය යන්නේ ත්‍රස්තවාදීන් පමණකි. ත්‍රස්තවාදීන් හැදුවේ ද තවත් ජනාධිපතිවරයෙකු ඉවත් කරන්නය. එම ජනාධිපතිවරයා ආරක්ෂා කරන සිරියානු සෙබළුන් මෙන්ම ඔවුන්ට විරුද්ධව සටන් කරන කැරලි කරුවන් ද සිරියානුන්ය. රුසියාවේ පූටින් ද යුද්ධයට එළඹී තිබේ. ඔහුගේ ගුවන් යානා වලින් හෙලන බෝම්බ වලින් මිය යන්නේ ද ඉස්ලාමික අන්තවාදීන් පමණකි. ඉඳහිට ඇමෙරිකාව විසින් පූටින් ගේ හමුදා සිරියානු රෝහලකට ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරයි.. ඒ අතරේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කරති.


අපට මාධ්‍ය වලින් දෙන්නේ ඔවුන්ට අවශ්‍ය යුද්ධය පමණකි. යුද්ධයේ සැබෑ ස්වරුපය වෙනුවට පෙන්වන යුද්ධය අරාබෙල් හා විජිත විසින් උත්ප්‍රාසාත්මකව පෙන්වන අතාත්වික යුද්ධයයි. එක පැත්තක් දී සිටින්නේ ආගම වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයකය. ඒ පැත්තේ ජනයා දකින්නේ ආගමය. අනිත් පැත්තෙන් ශිෂ්ටාචාරය බේරා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදය අපනයනනය කිරීමට සටන් වදිති. ඒ පැත්තේ ජනයා දකින්නේ ප්‍රජාතන්තවාදය හා නිදහස වෙනුවෙන් සටන් වදින්නන්ය. අප නරඹන්නෝ වෙමු.


ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධයේ වාර්තාකරුවන් හැසුරුනේ විනෝද චාරිකාවක් වාර්තා කරන අය මෙන් නොවේද? බෝම්බ වරුසාවක් හෙලද්දී එක පැත්තක් ඒවා වීඩියෝ කර තමන් ගේ වාර්තා පමණක් බලන බටහිර වෙසෙන ජනතාවට පෙන්වුහ. ඒ තමන්ගේ යුද භාණ්ඩාගාරය (war chest) වැඩි කර ගැනීමටය. බෝම්බයෙන් මියෙන අයගේ සිරුරු යෙදවුනේ ලැබෙන චැරිටි මුදල වැඩි කර ගැනීමටය. ඇතැම් අය මුදල් සඳහා පොත් ලිවූහ. අනිත් පැත්තේ වාර්තාකරණය මුළු ජනතාවක් ඇසපිය නොහෙලා රූපවාහිනයට නෙත් යොමු කරගෙන කඩල කමින්. චොකලට් කමින් නරඹන සෝප් ඔපෙරාවක් විය. සැබෑ යුද්ධයේ දෙපැත්තේම සොල්දාදුවන් ගේ කුඩු වුනු බංකර හා වැසියන්ගේ තැන තැන විසිරුණු  මළ  සිරුරු හා ශරීර  කැබලි වල වාර්තා ලැබුනේ පසුවය.

අද දවසේ යුද්ධය යනු රුපවාහිනිය හා අන්තර්ජාලයේත් රඟ දැක්වෙන "රියැලිටි ෂෝ "එකකි.

විජිත ගුණරත්න  යුධ පිටියේ සවාරියක් නාට්‍යයේ රඟ දැක්වීමට තෝරා ගෙන තිබුනේ ඉතාලියේ ජිවත් වන රැකියා කරන ශ්‍රී ලංකික සහෘදයන් පිරිසකි. ප්‍රවීන වේදකා නළුවන් නොවුනත් ඔවුන් ප්‍රශංසනීය රංගනයක යෙදෙයි. විජිතගේ නාට්‍ය හැකියාවන් මනාව පිළිඹිබු කෙරුනේ ජනතාව අතරින් තෝරාගත් කිහිප දෙනෙකුට සම්මානනීය නාට්‍යයක් සාර්ථකව රඟ දක්වන්නට පුරුදු පුහුණු කිරීම තුලිනි.
හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වාර්තාකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්" බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී" යනුවෙන් ලියන මොහොතේ ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති. මේ අතිශයෝක්තියෙන් ඔප වැටුණු අධිතාත්වික රංගනය ම  අරබෙල්
ගේ  "යුද සවාරිය" තුලින් මතු කරන යථාර්තයම වෙයි.

ජනතාවනි ජිවත්වන්න.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මා කැමරාකරුවන්ට කැමති අතර මමද බොහෝ විට කැමරාවක් රැගෙන උත්සව වල පින්තුර රැගෙන තිබේ. ඒ බොහෝ විට පැත්තක සිට කාහටවත් අපහසුවක් නොවන පරිදිය. අප අත්දකින අශ්ශීල යුද වාර්තාකරණය සිහි ගන්වන යමක් මේ නාට්‍යය රඟ දක්වන අතර සිදුවිණ. මෙය ඕනෑ කමින් සිදු කෙරුවක් නොවුනද අනිත් අය නාට්‍යයක් නරඹද්දී තමාගේ පස්ස පෙන්වමින් දඟලමින් පින්තුර ගැනීමේ වැදගත් කම කුමක්දයි මට නොතේරේ. "Flash photography " තිබෙනවා යයි සමහර ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කරද්දී යුරෝපීය මාධ්‍ය අනතුරු හඟවයි. ඒ ඇස ගිනිකන්වැටීමේ ගතිය ඇසට එතරම් හොඳ නැති නිසාය. අඳුරු කරන ශාලාවක නම් ෆ්ලෑෂ් එකකින් එන ආතතිය වැඩිය. මේ එවැනි "යුද වාර්තාකරණයේ " එදා යෙදුන අයෙකි. ඔහු මෙය විවාහ මංගල්‍යයක් යයි සිතුවා ද මම නොදනිමි. කැමරාකරුවනි නරඹන ජනතාව ගැනත් සිතන්න.


15 comments:

  1. එක ම විශ්ව විද්‍යාල වල එක බත් පත බෙදන් කෑ එක දේශනාගාරයේ දේශනා ඇසූ සිසු සහෝදරවරු එකිනෙකා මරා ගත්හ.//////// මේ රටක අනාගත උගතුන් නේද ?

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වැඩිය ආවේගී වුනහම ඕන කෙනෙකුට වෙන දෙයක්.

      Delete
  2. යුධ වාර්තාකරණය කල මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාප එහි අරමුණ හා කිසිසේත් නොගැලපුණු බව පසුව පසක් විය

    ReplyDelete
    Replies
    1. පස්සේ සමහර අය පින්තුර ඩයස් ලට හෙම විකුණුවා නේද.

      Delete
  3. හැම යුද්ධයක්ම එක වගේ. බලය තියෙන වුන්ගේ අරමුණු වෙනුවෙන් නූගතුන් යුධපිටියේ මියයාම.

    ReplyDelete
    Replies
    1. යුධ පිටියේ මිය යන්නේ සාමාන්‍ය මිනිස්සු. ඉඳ හිට ලොකු අයත් මිය යනවා ඇති.

      Delete
  4. අගෝරා කලා කවයේ බ්ලොග් අඩවියක් තියෙනවා...... අපේ සින්ඩියෙත් තියෙනවා..... ඒ වගේ ම මගේ මිතුරෙකුත් ඔය සෙට් ඒක තුළ ඉන්නවා..... මොනවා වුණත් ඔවුන් මේ කරන්නා වූ කාර්ය නම් අගෙයි.......

    ReplyDelete
  5. යුධ වාර්තාකරණය කියා දෙයක් ලංකාවේ නොතිබුණි... තිබුණේ එදා වේල හොයා ගැනීමේ පරම පවිත වූ චේනතාවක් පමණි.. ඒට ගරහන්නට ඔබ මා කවුද.. ලොල් ද මංද..

    නාට්ටියෙ කතාවෙන් මට තේරුණ දේ තමා ඒ නාට්‍ය තේරුං ගන්න ඒකට බැහැල ඇතුලෙ හාරං ඉන්න වෙනව කියනෙක.. අර හංගල කිය දේ තමා සැරම

    ReplyDelete
    Replies
    1. මේ නාට්‍යයේ සම්ප්‍රදාය තමා ඒක. යුද පිටියක විනෝද චාරිකාවක් කරනන් පුලුවන්ද? නමුත් අපි කරන්නෙත් ඒක.

      Delete
  6. අද වෙනකොට ලොවම පාලනයකරන්නට මාධ්‍ය සමත් වෙලා තියෙනවා.ඒ නිසාම සුපිරි බලවතුන් විදිහට ඔවුන් තමන් ගැනම හිතාගෙන ඉන්නවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය හිමි අය තමා සුපිරි බලවතුන්.

      Delete
  7. අපේ යුද්ධ වාර්තාකාරයෝ දඹුලු ගිහිං තලගොයිත් මරාගෙන කෑවා.

    ReplyDelete
    Replies
    1. දැන් දඹුල්ලේ තලගොයි නැතුව ඇති.

      Delete
  8. යුද්ධය උත්කර්ශවත්වයට එසවූයේ මාධ්‍ය විසින්.යුද්දේ බිහිසුණු ප්‍රචණඩත්වය වෙනුවට පෙන්නුවේ ගැලරිය පිනවන සටන් ජවනිකා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .