මෙතෙක් කතාව කියවන්න ඕනේ නම් මේ ලින්ක් වලට යන්න.
විස්කි කතාවෙන් පස්සේ බ්‍රයන් සහ මයිකල් වඩාත් හිතවත් කමක් දැක්වූවා කියා කිවොත් නිවැරදියි . හැබැයි අර සංක්‍රමණිකයන්ට බනින එක සහ රස්සා නැති අය රජයේ සහනාධාර ගන්න එකට බනින එක නම් අඩු වුනේ නැහැ. හැබැයි මේ ඕන තැනකදී වර්ණවාදයක් නම් ඇදල ගත්තේ නැහැ . ඒ මම හිටි නිසාද යන්න තේරුනේ නැහැ .
ඔය අතරේ ඉනෙස් ගේ මාතෘ නිවාඩු කාලය අවසන් වෙලා රැකියාවට යන්න කාලේ ඇවිත් . අපේ අම්මත් ආපහු ගිහින් . ඉතින් අපි දැන් හිටු කියල පුංචි ෂනායා ව තියල වැඩට යන්න නර්සරි හොයනවා . ජර්මනියේ ඒවා ඉතා හොඳයි නේ . සමාජවාදී රටවලත් එක හොඳ දෙයකට තිබුනේ පුංචිම පුංචි ළඳරුවන් බලාගන්න නර්සරි හෙවත් පෙර පාසැල් ඉතා හොඳ තත්වයේ ඒවා . ළමයිනට කෑම බිම දී , සෙල්ලම් ආදිය කරවලා, නිදාගැනීමේ සිට අසනීප වුනොත් බලන්න කියල හෙදියන් පවා සමහර ඒවල ඉන්නව . බලා ගන්න සේවිකාවෝ එක්කෝ ගුරුවරියන්. නැත්නම් ඔවුන්ට ළමයින් සම්බන්ධ උපාධියක් හෝ වෘත්තීය ඩිප්ලොමා එකක් හෝ තියනව. ස්කැන්ඩිනේවියානු රටවල තත්වයත් ඒකමයි. ඉතින් අපි හිතුව එංගලන්තෙත් එහෙම ඇති කියල .
ඉනෙස් ගෙවල් ළඟ තියෙන ඒවලින් පටන් අරන් රජයේ සහ පෞද්ගලික නර්සරි බොහොමයකට ගියා . එක්කෝ ඒවායේ කාමර අපිරිසිදුයි. නැත්නම් වැඩ පිළිවෙල හොඳ නැහැ එයාට. කුස්සි හෝ නිදන තැන ළමා ඇඳන් (කොට්ස්) එහෙම හරි නැහැ. අන්තිමට බැරිම තැන මේ පැත්තේ ගණන් වැඩිම තැනක් හම්බ වුනා . ඩේවිඩ් ලොයිඩ් සෙන්ටර් කියල. ඒක රැකියා කරන අයට ජිම් එක, පූල් එක , බාර් එකක් විතරක් නෙමේ බෝලින් සෙන්ටර් එකක් , බිලියඩ් ටේබල් ආදිය ඔක්කොම තියන තැනක්. ළමයි තියා යන්නත් පුළුවන් . ගාන සැරයි. ඒ කාලේ සතියකට පවුම් එකසිය පනහක්. අපි දෙන්න සාකච්චා කරලා බැලුව. ගෙවන්නා පුළුවන් දෙන්නම වැඩ නිසා . ඒත් ඉතින් ජර්මනියේ ලෙවල් එකටම නම් නැහැ .
ඉනෙස් SAP කන්සල්ටන්ට් කෙනෙක් ලෙස මට වඩා හම්බ කරනවා. එයාට ජර්මනියට එන්න කියල තියෙන්නේ මෙහෙ ඔෆිස් එක වහනවා කියල එයා කිව්වා අපි ජර්මනි යමු . ඔයා ගෙදර ඉඳල ළමය බලා ගන්න, කියල . ඔයා ජර්මන් ඉගෙන ගන්න, රෑට ක්ලාස් යන්න මම ගෙදර ආවට පස්සේ . ළමය ලොකු වුනහම රස්සාවකට යන්න පුළුවන් . ඕක ඉතින් කරන්න පුළුවන් මගුලක් ද කියල තමා ඒ දවස් වල හිතුනේ. ඒ නිසා කෙලින්ම බැහැ කිව්වා . ඒ දවස් වල ස්කිල්ස් වලට ජොබ් දෙන සීන් එක තිබුනෙත් නැහැ ජර්මනියේ . හැබැයි දැන් තියෙන මොළේ ඒ කාලේ තිබුන නං ගෙදර නැවතිලා ළමයි බලනවා. පොතක් පතක් කියවගෙන.
ඉතින් අපි ලමයව දැම්ම ඩේවිඩ් ලොයිඩ් . ඉනෙස් උදේට එයාව ලොයිඩ් එකට දාල වැඩට යනවා එහෙම්ම. ටික දවසට පස්සේ එයා කියනව , අද ඔයා ලමයව ගෙනියන්න මම අම්ම හින්දද මන්ද එයා දාල යනකොට දුව අඬනව කියල. දුවට අවුරුද්දට ටිකක් අඩුයි . ළමය අරන් ගිහින් පුෂ් චෙයාර් එකේම තියල යන්න හදන කොට දුව අඬන්න පටන් ගත්ත. බොහොම ළාබාල අවුරුදු 17-18 ක යුවතියක් ඇවිත් කීව,
"ළමය තියල යන්න. ඔයා ගියහම ළමය ඇඬිල්ල නවත්වයි" කියල.
මම නිකමට වගේ එතන තිබ්බේ පිට්ටනියේ දෙපාරක් විතර ඇවිදලා විනාඩි දහයකට පස්සේ ආයේ ගියා ළමය බලන්න . කෙල්ල හෝ ගාල අඬනව ඒ අතරේ තව ලමයි දෙතුන් දෙනෙකුත් අඬනව. ඇතුලේ කවුරුත් නැහැ . එළියේ බලන කොට පොඩි කෙල්ලෝ දෙතුන් දෙනෙක් සිගරට් බොනවා . ඇතුලේ කුස්සියේ තව පොඩි කෙල්ලෙක් ටුනා මාළු ටින් එකක් කඩනවා. අපට කියල තිබ්බේ ඒ ගොල්ලෝ ළමා කෑම අලුත්ව හදල දෙනවා කියල . අනික සිගරට් බොන්න තහනම් ළමයි බලන තැන්වල . මැනේජර් පේනතෙක් මානෙක නැහැ . මම ළමය අරන් ගෙදර ආව වැඩට යන්නේ නැතිව . ඉනෙස් ගෙදර ආවහම අපි කල්පනා කළා මොකද කරන්නේ කියල. අල්ලපු ගෙදර අච්චි අම්ම බලන්න එන දුව කීව , ඔය ලොයිඩ් එකට ළමය දාන්න එපා, පොඩි ළමයෙක් මැරිලා කවුන්සිල් එකෙන් වහල තිබ්බ අවුරුදු දෙකක් කියල . බ්‍රයන් පොලිසියේ හිටි නිසා බ්‍රයන් ගෙන් ඇහුවම කතාව ඇත්ත . අපි හොයල බැලුවහම කවුන්සිල් එකේ පොඩි කෝස් එකක් කෙරුවහම ඕන කෙනෙකුට නර්සරි දාන්න පුළුවන් . වෙන සුදුසුකම් හොයන්නේ නැහැ. ඉනෙස් එහෙම්ම ගෙදර නැවතුනා රස්සාව අත ඇරලා ළමයා බලා ගන්න. ආපහු ජර්මනි යන අදහසත් අත හැරියා .
හැබැයි අපට අමාරුයි, දෙන්නෙක් ගේ පඩියෙන් පහසුවෙන් රන් වුනු ගෙදර එක්කෙනෙකුගේ පඩියෙන් රන් වෙන්නේ උනහම . මෝර්ගේජි , බිල් ටික එකතු වෙලා එනකොට ලෙහෙසි නැහැ . අපරාදේ කියන්න බැහැ ඉනෙස් කොහොම හරි ඇදගෙන ගියා. අර කරදර එන කොට ගෙඩි පිටින් එනව කියනව වගේ අපේ පරණ ගෑස් බොයිලරේ ලෙඩ දෙන්න ගත්ත . පරණ බොයිලර් කියන්නේ ලෙඩ තමා . සොල්දරේ වතුර ටැංකියක් තිබ්බ . ඒකෙන් පහලට ඊළඟ ටැංකියට වතුර එනව . ඒක රත් කරන්න ඕනේ උණු වතුර එන්න. හරියට වැඩ කරන්නේ නැහැ . පයිලට් ගෑස් එක නිතර නිමෙනවා . ගෙදර රත් කරන ටැංකියත් රත් වෙන්නේ නැහැ .
මේ සිස්ටම් එක වෙනස් කරන්න හෙන ගානක් යනව . ඒ කාලෙ පවුම් 2000-2500 විතර අලුත් බොයිලර් එකකට සහ ඒක සෙට් කරන්න. මේ වසර 2002 වගේ.
මම දවසක් ඕක අල්ලපු ගෙදර බ්‍රයන් ගේ බෝඩිම්වකාරය මයිකල් ට කීව. මයිකල් ඇහුව,
"ඇයි ඕක බ්‍රයන් ට කියන්නේ නැත්තේ" .
මම ඇහුව,
"බ්‍රයන්ගෙන් ණයක් ඉල්ලා ගන්න කියලද ? එහෙනම් ඉතින් මට ක්‍රෙඩිට් කාඩ් එකෙන් කොහොමත් ගෙවන්න පුළුවන් නේ කියල. ඒත් ඉතින් ඒකත් ගෙවන්න එපැයි. පස්සේ "..
"නැහැ නැහැ , බ්‍රයන් උඹට අඩු ගානට කරල දෙයි , කොර්ගී රෙජිස්ටර්ඩ් ගෑස් ඉන්ජිනියර් කෙනෙක් නේ." කියල මයිකල් කීව. ඉස්සර ඔය කෝගි කියන ලියා පදින්චිය නැති කෙනෙක් බොයිලරයක් පිහිටුවල තිබ්බොත් ගෙදර රක්ෂණ සහතිකය වලංගු නැහැ . අනික අනතුරුදායකයි නේ නොදන්න කෙනෙක් ගෑස් පයිප්ප සෙට් කරන්න ගිහින් . දැන් ඒ කෝගි එක ගෑස් සේෆ්ටි රෙජිස්ටර් කියල වෙනස් කරලා තියෙන්නේ . ඕක පාස් වෙන්න කෝස් එකක් කරන්න ඕනේ .
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියෙන් අවුරුදු පනහේදී විශ්‍රාම යන්න පුළුවන් . බ්‍රයන් විශ්‍රාම ගිහින් ඊට පස්සේ ගෑස් බොයිලර් ඉංජිනේරුවෙක් වශයෙන් ට්‍රේන් වෙලා. දැන්නම් මට පුදුමයි . ඒ විශ්‍රාම වැටුප නරක එකක් නෙමේ . නමුත් මේ මනුස්සය කියනව . මට ගෙදර නිකන් ඉන්න කම්මැලියි . බොන්න , නිවාඩු යන්න සල්ලි ඕනේ . ඒ නිසා මේකත් ඉඳහිට කරනවා කියල .
මම ඉතින් මගේ ප්‍රශ්නේ කියල, කීයක් ගන්නවාද කියලත් ඇහුව. බ්‍රයන් ටිකක් වෙලා කල්පනා කරලා කියනව.
"මෙහමයි. උඹ කොම්පියුටර් ඉන්ජිනේරුව . මම බොයිලර් ඉන්ජිනේරුව . මම ඕක උඹට දාල දෙන්නම් මට සල්ලි එපා . බොයිලර් එක උස්සල ඔතන තියන්න විතරක් උදව් කරපන් . උඹ මම කියන හොඳ ජාතියේ කොම්බි බොයිලර් එකක් ගනින් . ඔය තියන ක්‍රමේ පරණ වාතයක්. ඒ වෙනුවට , ඒ වෙනුවට." මෑන් පොඩ්ඩක් බර කරල කීවේ ඒ ටික . "මට මගේ කොම්පියුටරේ ප්‍රශ්න වලට උදව් කරපන් . මට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියනව . ඒක හිරවෙලා තියෙන්නේ . මට ඒකෙ තියන විස්තර ගන්න විධිහක් නැහැ . ඒකත් හදල දීපන්."
නිකන් හිටිය මට අහල ගියත් ඇති කියන්නැහේ මම එකෙන්ම කැමති වුනා . අපි සෙනසුරාදා දවසක කොම්බි බොයිලරයක් ගත්ත . ඒ කියන්නේ වතුර කෙලින්ම එළියේ ලයින් එකෙන් ගන්නවා . ඒක බොයිලර් එකෙන් රත් කරලා උණු වතුරට ගන්නවා . අනිත් වෙලාවට උණු වතුර ගේ රත් කරන රේඩියේටර් සෙට් එකට යවනව . හැබැයි උණු වතුර භාවිතා කරන කොට ගේ රත් කරන එක කපා හරිනවා . ඒක අවුලක් නෙමේනේ. හැම වෙලේම ගේ උණුසුම් කරන්න ඕනේ නැහැනේ . බ්‍රයන් මුලින්ම උඩ සොල්දරේ වතුර ටැංකිය කපා හැරිය . කෙලින්ම බටේ පහලට සෙට් කරා කොම්බි බොයිලරේ හරහා යන්න . ගෑස් ලයින් එකත් දැම්ම . උණු වතුර , ඇල් වතුර ලයින් දෙකත් සෙට් කළා. අවශ්‍ය තැන වැල්ඩින් කරලා හෙම . මෑන් ඇත්තටම දක්ෂයි . ඉනෙස් ටත් හෙනට සතුටුයි වැඩේට . පයිලට් ගෑස් එකක් පත්තු කරන්න ඕනෙත් නැහැ . ඉබේ පත්තු වෙනවා . සේෆ්ටි පැත්තෙනුත් හොඳයි .
මම කිව්වා , බ්‍රයන් ඕන වෙලාවක කොම්පියුටර් ප්‍රශ්නයක් කියහන් . සෙට් කරලා දෙන්නම් කියල . ඒ දවස් වල මම ගෙදර කොම්පියුටරේ කවදාවත් සල්ලි වලට ගන්නේ නැහැ . කොම්පියුටර් මාකට් කියල ලන්ඩන් වල හෝ එංගලන්තේ හැම තැනම කොම්පියුටර් කෑලි විකුණන පොළවල් තිබ්බ . ඒ වලින් කොම්පියුටර් එකකට අවශ්‍ය කොටස් - මදර් බෝඩ් එක වෙනම, රැම් ටික, එතනෙට් කාඩ්, සවුන්ඩ් කාර්ඩ් , ග්‍රැපික්ස් කාඩ්, කේබල් ඔක්කොම වෙන වෙනම ගෙනත් සෙට් කරලා හදා ගන්න එක තමා කලේ . ඉතින් අපිට හොඳ අවබෝධයක් තිබ්බ . මම අමතර ආදායමක් ගන්න සමහර වෙලාවට ගෙවල් වල ප්‍රයිවෙට් ගිහින් පරිගණක ට්‍රබල් ෂූටින් කරනවා . ඒ දවස් වල පැයට පවුම් 15- 25 අතර වගේ තමා ගන්නේ ඒවාට . මම ඒත් කල්පනා කළා බ්‍රයන් ගේ කොම්පියුටරේ කොපමණ පාරක් කැඩෙනවාද දන්නේ නැහැ මට මේ වැඩේ මෑන් නිකන් කරල දුන්නේ කියල .
ඒත් ඉතින් ඒ එක්කම කල්පනා වුනා දක්ෂිණාංශික අදහස් තිබ්බට මේ මනුස්සය වැඩ කරන්න කැමති කෙනෙක් නේ. පරණ ට්‍රැෆික් පොලිස් සාජන්ට් කෙනෙක් කියල ඔලුවක් නැතිව වෙන රස්සාවකටත් පුරුදු වෙලානේ . ඉතින් රැකියාවක් කරන්නේ නැතිව නිකන් ආණ්ඩුවේ සහනාධාර පඩිය ගන්න එවුන්ට බනින එකේ සාධාරණත්වයක් තියනව නේද කියල . ඇත්තටම මෙහෙ එහෙම ගෑස් ඉංජිනේරුවෝ අඩුයි . ගෙවල් වල වයරින් කරන්න හෝ හදිසියකට හෝ ඉලෙක්ට්‍රිශියන්ල නැහැ . ඒකටත් අර විදුලි වයරින් සහතිකයක් තියනව මට දන්නවා වුනත් කරන්න බැහැ. සහතික නැතිව කරන අය ඕන තරම් ඉන්නවා . හැබැයි රක්ෂණ සහතිකේ ට කෙලවෙනවා හරියට නීතියට කලේ නැත්නම්. බ්‍රික් ලේයර්ස් (ගඩොල් තියන්න ) ලා නැහැ නමුත් අර රස්සා නැති වුන් ඒවාට පුරුදු වෙන්නෙත් නැහැ. නිකන් ආණ්ඩුවේ සල්ලි අරන් ඉන්නව. අවුරුදු ගණන් බදු ගෙවන අයට ඉතින් මළ පනින්නේ නැත්ද ඔය වැඩේට?
අජිත් - 27/10/2024