Sunday 27 October 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 6 - බොයිලර් ඉංජිනේරුවා



මෙතෙක් කතාව කියවන්න ඕනේ නම් මේ ලින්ක් වලට යන්න 

විස්කි කතාවෙන් පස්සේ බ්‍රයන් සහ මයිකල් වඩාත් හිතවත් කමක් දැක්වූවා කියා කිවොත් නිවැරදියි .  හැබැයි අර සංක්‍රමණිකයන්ට බනින එක සහ රස්සා නැති අය රජයේ සහනාධාර ගන්න එකට බනින එක නම් අඩු වුනේ නැහැ. හැබැයි මේ ඕන තැනකදී වර්ණවාදයක් නම් ඇදල ගත්තේ නැහැ .  ඒ මම හිටි නිසාද යන්න තේරුනේ නැහැ . 

ඔය අතරේ ඉනෙස් ගේ මාතෘ නිවාඩු  කාලය අවසන් වෙලා  රැකියාවට යන්න කාලේ ඇවිත් .  අපේ අම්මත් ආපහු ගිහින් .  ඉතින් අපි දැන් හිටු කියල  පුංචි ෂනායා ව තියල වැඩට යන්න නර්සරි හොයනවා .  ජර්මනියේ ඒවා ඉතා හොඳයි නේ .  සමාජවාදී රටවලත් එක හොඳ දෙයකට තිබුනේ පුංචිම පුංචි ළඳරුවන්  බලාගන්න නර්සරි හෙවත් පෙර පාසැල්  ඉතා හොඳ  තත්වයේ ඒවා .  ළමයිනට කෑම බිම දී ,  සෙල්ලම් ආදිය කරවලා, නිදාගැනීමේ සිට අසනීප වුනොත් බලන්න කියල හෙදියන්  පවා  සමහර ඒවල ඉන්නව .  බලා  ගන්න සේවිකාවෝ එක්කෝ ගුරුවරියන්. නැත්නම්  ඔවුන්ට ළමයින් සම්බන්ධ උපාධියක් හෝ වෘත්තීය  ඩිප්ලොමා එකක් හෝ තියනව.  ස්කැන්ඩිනේවියානු රටවල තත්වයත් ඒකමයි. ඉතින් අපි හිතුව එංගලන්තෙත් එහෙම ඇති කියල . 

ඉනෙස් ගෙවල් ළඟ තියෙන ඒවලින් පටන් අරන් රජයේ සහ පෞද්ගලික නර්සරි බොහොමයකට ගියා . එක්කෝ ඒවායේ කාමර අපිරිසිදුයි. නැත්නම් වැඩ පිළිවෙල හොඳ නැහැ එයාට.  කුස්සි හෝ නිදන තැන ළමා ඇඳන් (කොට්ස්)  එහෙම හරි නැහැ. අන්තිමට බැරිම තැන මේ පැත්තේ ගණන් වැඩිම තැනක් හම්බ වුනා .  ඩේවිඩ් ලොයිඩ් සෙන්ටර් කියල. ඒක රැකියා කරන අයට ජිම් එක,  පූල් එක ,  බාර් එකක්  විතරක් නෙමේ බෝලින් සෙන්ටර් එකක් ,  බිලියඩ් ටේබල් ආදිය   ඔක්කොම තියන තැනක්. ළමයි තියා යන්නත් පුළුවන් .  ගාන සැරයි. ඒ කාලේ සතියකට පවුම් එකසිය පනහක්. අපි දෙන්න සාකච්චා කරලා බැලුව. ගෙවන්නා පුළුවන් දෙන්නම වැඩ නිසා .   ඒත් ඉතින් ජර්මනියේ ලෙවල් එකටම නම්  නැහැ .  

ඉනෙස් SAP කන්සල්ටන්ට් කෙනෙක් ලෙස මට වඩා හම්බ කරනවා. එයාට ජර්මනියට  එන්න කියල තියෙන්නේ මෙහෙ  ඔෆිස් එක වහනවා කියල  එයා කිව්වා අපි ජර්මනි  යමු .  ඔයා ගෙදර ඉඳල  ළමය බලා ගන්න, කියල .  ඔයා ජර්මන් ඉගෙන ගන්න,  රෑට ක්ලාස් යන්න මම ගෙදර ආවට පස්සේ .  ළමය ලොකු වුනහම රස්සාවකට යන්න  පුළුවන් . ඕක ඉතින් කරන්න පුළුවන්  මගුලක් ද කියල තමා ඒ දවස් වල හිතුනේ.  ඒ නිසා කෙලින්ම බැහැ කිව්වා .  ඒ දවස් වල ස්කිල්ස් වලට ජොබ් දෙන සීන් එක තිබුනෙත්  නැහැ ජර්මනියේ .  හැබැයි දැන් තියෙන මොළේ ඒ කාලේ තිබුන නං ගෙදර නැවතිලා ළමයි බලනවා. පොතක් පතක් කියවගෙන.   


ඉතින් අපි ලමයව දැම්ම ඩේවිඩ් ලොයිඩ් .   ඉනෙස් උදේට එයාව ලොයිඩ් එකට  දාල වැඩට යනවා එහෙම්ම.  ටික  දවසට පස්සේ එයා කියනව ,  අද  ඔයා ලමයව ගෙනියන්න මම අම්ම හින්දද මන්ද එයා දාල යනකොට දුව අඬනව කියල. දුවට අවුරුද්දට ටිකක් අඩුයි . ළමය අරන් ගිහින් පුෂ් චෙයාර් එකේම  තියල යන්න හදන කොට  දුව අඬන්න පටන් ගත්ත. බොහොම ළාබාල අවුරුදු 17-18 ක යුවතියක් ඇවිත් කීව, 
"ළමය තියල යන්න. ඔයා  ගියහම ළමය ඇඬිල්ල නවත්වයි" කියල.  

මම නිකමට වගේ එතන තිබ්බේ පිට්ටනියේ දෙපාරක්  විතර ඇවිදලා විනාඩි දහයකට පස්සේ ආයේ ගියා ළමය බලන්න .  කෙල්ල හෝ ගාල අඬනව  ඒ අතරේ තව ලමයි දෙතුන් දෙනෙකුත් අඬනව. ඇතුලේ කවුරුත් නැහැ .  එළියේ බලන කොට පොඩි කෙල්ලෝ දෙතුන් දෙනෙක් සිගරට් බොනවා .  ඇතුලේ කුස්සියේ තව පොඩි කෙල්ලෙක් ටුනා මාළු ටින් එකක් කඩනවා. අපට කියල තිබ්බේ ඒ ගොල්ලෝ  ළමා කෑම අලුත්ව හදල දෙනවා කියල .  අනික සිගරට් බොන්න තහනම් ළමයි බලන තැන්වල .  මැනේජර් පේනතෙක් මානෙක නැහැ .  මම ළමය අරන් ගෙදර ආව වැඩට යන්නේ නැතිව .  ඉනෙස් ගෙදර ආවහම අපි කල්පනා කළා මොකද කරන්නේ කියල.  අල්ලපු ගෙදර අච්චි අම්ම බලන්න එන  දුව කීව , ඔය ලොයිඩ් එකට ළමය දාන්න  එපා, පොඩි  ළමයෙක් මැරිලා  කවුන්සිල් එකෙන්  වහල තිබ්බ අවුරුදු දෙකක් කියල .  බ්‍රයන් පොලිසියේ හිටි නිසා බ්‍රයන් ගෙන් ඇහුවම කතාව ඇත්ත .  අපි හොයල බැලුවහම කවුන්සිල් එකේ පොඩි කෝස් එකක් කෙරුවහම ඕන කෙනෙකුට නර්සරි දාන්න පුළුවන් .  වෙන සුදුසුකම් හොයන්නේ නැහැ.  ඉනෙස් එහෙම්ම ගෙදර නැවතුනා රස්සාව  අත ඇරලා ළමයා බලා ගන්න. ආපහු ජර්මනි යන අදහසත් අත හැරියා .  

හැබැයි අපට අමාරුයි,  දෙන්නෙක් ගේ පඩියෙන්  පහසුවෙන් රන් වුනු ගෙදර එක්කෙනෙකුගේ පඩියෙන් රන් වෙන්නේ උනහම .  මෝර්ගේජි ,  බිල් ටික එකතු වෙලා එනකොට ලෙහෙසි නැහැ . අපරාදේ කියන්න බැහැ  ඉනෙස් කොහොම හරි ඇදගෙන ගියා.  අර කරදර එන කොට ගෙඩි පිටින් එනව කියනව වගේ අපේ පරණ ගෑස්‌ බොයිලරේ  ලෙඩ දෙන්න ගත්ත .  පරණ බොයිලර් කියන්නේ ලෙඩ තමා .  සොල්දරේ වතුර ටැංකියක් තිබ්බ .  ඒකෙන් පහලට ඊළඟ ටැංකියට වතුර එනව .  ඒක රත් කරන්න ඕනේ උණු  වතුර එන්න. හරියට වැඩ කරන්නේ නැහැ .  පයිලට් ගෑස් එක නිතර නිමෙනවා . ගෙදර රත් කරන ටැංකියත් රත් වෙන්නේ නැහැ .  
මේ සිස්ටම් එක වෙනස් කරන්න හෙන ගානක් යනව .  ඒ කාලෙ පවුම් 2000-2500 විතර අලුත් බොයිලර් එකකට සහ ඒක සෙට් කරන්න. මේ වසර 2002 වගේ. 
කොම්බි බොයිලරේ


මම දවසක් ඕක අල්ලපු ගෙදර බ්‍රයන් ගේ බෝඩිම්වකාරය  මයිකල් ට කීව. මයිකල් ඇහුව,  
"ඇයි ඕක බ්‍රයන් ට  කියන්නේ නැත්තේ" .  
මම ඇහුව, 
"බ්‍රයන්ගෙන් ණයක් ඉල්ලා ගන්න කියලද ?  එහෙනම් ඉතින් මට ක්‍රෙඩිට් කාඩ් එකෙන් කොහොමත් ගෙවන්න පුළුවන් නේ කියල.   ඒත් ඉතින් ඒකත් ගෙවන්න එපැයි. පස්සේ "..  
"නැහැ නැහැ ,  බ්‍රයන් උඹට අඩු ගානට ක‍රල දෙයි ,  කොර්ගී  රෙජිස්ටර්ඩ් ගෑස් ඉන්ජිනියර් කෙනෙක් නේ." කියල මයිකල්  කීව.  ඉස්සර ඔය කෝගි කියන ලියා  පදින්චිය නැති කෙනෙක් බොයිලරයක්   පිහිටුවල තිබ්බොත් ගෙදර රක්ෂණ සහතිකය වලංගු නැහැ .  අනික අනතුරුදායකයි නේ නොදන්න කෙනෙක් ගෑස් පයිප්ප සෙට් කරන්න ගිහින් .   දැන් ඒ කෝගි එක ගෑස් සේෆ්ටි රෙජිස්ටර් කියල වෙනස් කරලා තියෙන්නේ .  ඕක පාස් වෙන්න කෝස් එකක් කරන්න  ඕනේ . 

ලන්ඩන්  මෙට්‍රොපොලිටන් පොලිසියෙන් අවුරුදු පනහේදී විශ්‍රාම යන්න පුළුවන් .  බ්‍රයන් විශ්‍රාම ගිහින් ඊට පස්සේ ගෑස්  බොයිලර් ඉංජිනේරුවෙක්  වශයෙන් ට්‍රේන් වෙලා. දැන්නම් මට පුදුමයි . ඒ විශ්‍රාම වැටුප නරක එකක් නෙමේ .  නමුත් මේ මනුස්සය කියනව .  මට ගෙදර නිකන් ඉන්න කම්මැලියි .  බොන්න ,  නිවාඩු යන්න සල්ලි ඕනේ .  ඒ නිසා මේකත් ඉඳහිට කරනවා කියල . 
මම ඉතින් මගේ ප්‍රශ්නේ කියල,  කීයක් ගන්නවාද කියලත්  ඇහුව. බ්‍රයන් ටිකක් වෙලා කල්පනා කරලා කියනව.

"මෙහමයි. උඹ කොම්පියුටර් ඉන්ජිනේරුව .  මම බොයිලර් ඉන්ජිනේරුව .  මම  ඕක උඹට  දාල දෙන්නම් මට සල්ලි එපා . බොයිලර්  එක උස්සල ඔතන තියන්න විතරක් උදව් කරපන් .  උඹ මම කියන හොඳ ජාතියේ  කොම්බි බොයිලර් එකක් ගනින් .  ඔය තියන ක්‍රමේ පරණ වාතයක්.     ඒ වෙනුවට ,  ඒ වෙනුවට." මෑන් පොඩ්ඩක් බර කරල කීවේ ඒ ටික .  "මට මගේ කොම්පියුටරේ ප්‍රශ්න වලට උදව් කරපන් .  මට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියනව .  ඒක හිරවෙලා තියෙන්නේ .  මට ඒකෙ තියන විස්තර ගන්න විධිහක් නැහැ .  ඒකත් හදල දීපන්."

නිකන් හිටිය මට අහල ගියත් ඇති කියන්නැහේ මම එකෙන්ම කැමති වුනා .  අපි සෙනසුරාදා දවසක කොම්බි බොයිලරයක්  ගත්ත . ඒ කියන්නේ වතුර කෙලින්ම එළියේ ලයින් එකෙන් ගන්නවා .  ඒක බොයිලර් එකෙන්  රත් කරලා උණු වතුරට ගන්නවා . අනිත් වෙලාවට  උණු වතුර ගේ රත් කරන  රේඩියේටර් සෙට් එකට යවනව .  හැබැයි උණු වතුර භාවිතා කරන කොට ගේ රත් කරන එක කපා හරිනවා .   ඒක අවුලක් නෙමේනේ.  හැම වෙලේම ගේ උණුසුම්  කරන්න ඕනේ නැහැනේ .  බ්‍රයන් මුලින්ම උඩ සොල්දරේ  වතුර ටැංකිය කපා හැරිය .  කෙලින්ම බටේ පහලට සෙට් කරා කොම්බි බොයිලරේ  හරහා යන්න .  ගෑස් ලයින් එකත් දැම්ම .  උණු වතුර , ඇල් වතුර ලයින් දෙකත් සෙට් කළා. අවශ්‍ය තැන වැල්ඩින් කරලා හෙම .  මෑන් ඇත්තටම දක්ෂයි .  ඉනෙස් ටත් හෙනට  සතුටුයි වැඩේට .  පයිලට් ගෑස් එකක් පත්තු කරන්න ඕනෙත් නැහැ .  ඉබේ පත්තු වෙනවා .  සේෆ්ටි පැත්තෙනුත් හොඳයි .  


මම කිව්වා ,  බ්‍රයන් ඕන වෙලාවක  කොම්පියුටර් ප්‍රශ්නයක් කියහන් .  සෙට් කරලා දෙන්නම් කියල .  ඒ දවස් වල මම ගෙදර කොම්පියුටරේ කවදාවත් සල්ලි වලට ගන්නේ නැහැ .  කොම්පියුටර් මාකට් කියල ලන්ඩන් වල හෝ එංගලන්තේ හැම තැනම  කොම්පියුටර් කෑලි විකුණන  පොළවල් තිබ්බ .  ඒ වලින් කොම්පියුටර් එකකට අවශ්‍ය කොටස්  - මදර් බෝඩ් එක වෙනම,  රැම් ටික, එතනෙට් කාඩ්, සවුන්ඩ්  කාර්ඩ් ,  ග්‍රැපික්ස් කාඩ්, කේබල්  ඔක්කොම වෙන  වෙනම ගෙනත් සෙට් කරලා හදා  ගන්න එක තමා කලේ .  ඉතින් අපිට හොඳ  අවබෝධයක් තිබ්බ .  මම අමතර ආදායමක් ගන්න  සමහර වෙලාවට ගෙවල් වල ප්‍රයිවෙට් ගිහින්  පරිගණක ට්‍රබල් ෂූටින් කරනවා .  ඒ දවස් වල පැයට පවුම් 15- 25 අතර  වගේ තමා ගන්නේ ඒවාට .  මම ඒත් කල්පනා කළා බ්‍රයන් ගේ කොම්පියුටරේ කොපමණ  පාරක් කැඩෙනවාද දන්නේ නැහැ මට මේ වැඩේ මෑන් නිකන් කරල දුන්නේ කියල .  

 ඒත්  ඉතින් ඒ එක්කම  කල්පනා වුනා දක්ෂිණාංශික  අදහස් තිබ්බට මේ මනුස්සය වැඩ කරන්න  කැමති කෙනෙක් නේ.  පරණ ට්‍රැෆික් පොලිස් සාජන්ට් කෙනෙක් කියල ඔලුවක් නැතිව වෙන රස්සාවකටත් පුරුදු වෙලානේ .  ඉතින් රැකියාවක්  කරන්නේ නැතිව නිකන් ආණ්ඩුවේ සහනාධාර  පඩිය ගන්න එවුන්ට බනින එකේ සාධාරණත්වයක් තියනව නේද කියල .  ඇත්තටම මෙහෙ  එහෙම ගෑස් ඉංජිනේරුවෝ අඩුයි .  ගෙවල් වල වයරින් කරන්න හෝ හදිසියකට හෝ  ඉලෙක්ට්‍රිශියන්ල  නැහැ . ඒකටත් අර විදුලි වයරින් සහතිකයක් තියනව  මට දන්නවා  වුනත් ක‍රන්න බැහැ. සහතික නැතිව කරන  අය ඕන තරම් ඉන්නවා .  හැබැයි රක්ෂණ සහතිකේ ට කෙලවෙනවා හරියට නීතියට කලේ නැත්නම්.   බ්‍රික් ලේයර්ස් (ගඩොල් තියන්න )  ලා නැහැ නමුත් අර රස්සා නැති වුන් ඒවාට පුරුදු වෙන්නෙත්  නැහැ.  නිකන් ආණ්ඩුවේ සල්ලි අරන් ඉන්නව. අවුරුදු  ගණන් බදු ගෙවන අයට ඉතින් මළ පනින්නේ නැත්ද ඔය වැඩේට?

අජිත් - 27/10/2024  
 

26 comments:

  1. +++++++++++++++👌🙏💐😊

    ReplyDelete
  2. කෙනෙක් ගැන අපි කරන තක්සේරුවත් සැබෑ පුද්ගලයත් අතර සෑහෙන පරතරයක් ඇතිවෙනවා. හිතන හැටි හරි කියලා හිතෙන කොටම මෙන්න වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . මිනිස්සු පොත් වගේ කියනවනේ . ඇතුල කියවන්නේ ටික දෙනයි

      Delete
  3. මෙහෙත් මම දන්න යාලුවෙක් හිටිය හොඳට ජොබක් කරගෙන. උගෙ බාල පුතා mildly autistic කියල ආන්ඩුවේ පට්ට සහනාධාරයක් හම්බුවෙනව. උගෙ තව යාලුවෙක් කියල මොකොටද බං ජොබ් කරන්නෙ කියල ඌ ජොබෙනුත් අස් වෙලා පවුලම ජීවත්වුනා අර සහනාධාරයෙන් සෑහෙන කාලයක්. සහනාධාර කියන දේවල් අවභාවිතා කිරිම සෑහෙන්න වැඩියි විශේශයෙන්ම අපේ රටවල් වලින් ඇවිල්ල ඉන්න එවුන්ගෙන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත . මට කරන්න බැරි වෙඡාම වැඩක් . ගන්න පුළුවන් කාලෙත් ගත්තේ නැහැ . බ්‍රයන් අපිත් එක්ක සෙට් වෙන මූලික හේතුවත් ඒකමද දන්නේ නැහැ . මම දන්නා කෙනෙක් හිටිය . ඇල්කොහොලික් කියල සහනාධාර ගන්නවා ජොබ් එකට යන්න බැහැ කියල . උගේ ගෙදර ගියහම බෝතල් හැම තැනම . වයිෆ් පොඩි රස්සාවක් කරනවා . අපි බොන ගානට තමා බොන්නේ . ජිපී (දොස්තර ) අපේ කෙනෙක් . ලියල් දෙනවා අර ලෙඩ මේ ලෙඩ ඔක්කොම . අර බෝතල් හැම තැනම දාල තියෙන්නේ කවුන්සිල් එකෙන් එන එවුන්ට පේන්න . කවුන්සිල් එකෙන් එන්නෙත් අමුම ගොබ්බයෝනේ . මාසෙට දෙපාරක් ද කොහෙද ඇල්කොහොල් නවත්වන්න තියෙන සායන වලට යන්න ඕනේ . එක ආබාධිත බෙනිෆිට් ගානට වැටෙන්නේ . ඕවගේ කේස් බොහොමයක් තියනව .

      Delete
    2. එහෙම කියන අයගේ හේතුවකුත් තියනව සාධාරණිකරණය කරන . අපේ රටවල් මුන් හූර කාල පොහොසත් වුනේ මුන්ගෙන් ගත්තට කමක් නැහැ කියල . එතකොට අපි වගේ වැඩ කරලා බදු ගෙවන උන් . - උඹලත් එහෙම කරපල්ලා - කැ* සුද්දට කෙලවන්න ඕනේ . ඔය ආස්ථානය කොපමණ හරිද වැරදිද මම දන්නේ නැහැ .

      Delete
    3. //උඹලත් එහෙම කරපල්ලා - කැ* සුද්දට කෙලවන්න//
      හ්ම්.....හර්ද සාක්කියක් නැති මිනිස්සු. ඔය තරම් පහත් තත්ත්වෙට වැටුනාම ඕනම බලු වැඩක් කලෑකි, කැතක් නැතුවම. මට පුදුම අජිත් තාම එහෙම අය ඇසුරු කරන එකයි. එක අතකට අනතුරුදායකයි කියල හිතෙන්නෙ නැද්ද?ඔහොම එකෙකුට, යාලුවොන්ට කෙලවන එක සුලු දෙයක්.

      මෙහෙ වුනත්, හැමෝම නීතියෙන් එක සමාන වුනාට, මේසෙ යටින් සුදු හමට සැලකිල්ල වැඩියි. සුදු හම වුනත්, නැගෙනහිර යුරෝපයේ නම් කෙනහිලි තියනවා. ඒකෙ මහ ලොකු අමුත්තක් නෑ. අපි රටේ මහජාතිය විදිහට සුළු ජාතින් ගැන වපර ඇහැම තමයි. එහෙමයි කියල, කැත විදිහට සිස්ටම් එක උලා කන එක moral compass එකක් ඇති එකෙකුට කරන්න ඇහැකි දෙයක් නෙමෙයි.

      Delete
    4. ලෙසටම ගාණ කපන අර නර්සරි කාරයො කරන්නෙත් ඒ වගේම බාල වැඩක්. ඒකෙන් පෙන්නුම් කරන්නෙ, පවතින සමාජයේ පරිහානිය කියලයි මට හිතෙන්නෙ.

      Delete
    5. මට එහෙම යාලුවෝ නම් නැහැ දැන්. ඒ කාලේ දැනගෙන හිටි අය තමා . හැම රටකම එක වගේ සෙට් එකක් ඉන්නව කියා තමයි මට නම් හිතෙන්නේ . නර්සරි කාරයන්ගේ සිට කෙයාර් හෝම් දක්වාත් තවත් ඒ වගේ තැනුත් - එකම සංසිද්ධිය. මෙහා සොමලියන් සෙට් එක කරන වැඩක් තමා පුළුවන් තරම් ළමයි ගෙන්නලා තමන්ගේ ළමයි කියල චයිල්ඩ් බෙනිෆිට් ගන්න එක . ඒක හැබැයි නැගෙනහිර් යුරෝපිය සෙට් එකත් කරනවා . එහෙ ඉන්න ළමයි මෙහෙ ඉන්නේ කියල දාන එක .

      Delete
  4. රසවත් ලිපියක්. එක හුස්මට කියෙව්වා.
    කියන්න දේවල් නං බොහොමයි. සැරින් සැරේ ඇවිත් කියන්නං.

    ReplyDelete
  5. https://sithgathsahithyakalakruthi.blogspot.com/2024/10/2020.html#comment-form

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය හොඳයි . හැලපයාගේ නේද බ්ලොග් එක .? මම හැලපයගේ බ්ලොග් වල කොමෙන්ට් දාන්නේ නැහැ . කවදාවත් අපේ ඒවාට එන්නේ නැහැනේ යුඇන්පී කාරයෝ නිසා . 😀

      Delete
  6. චතුෂ කුමාර-ස්කොට්ලන්තය28 October 2024 at 06:16

    බ්‍රොයිලර් ඉංජිනේරුවෙක් කිවේ එතුමා කුකුළු මස් කොම්පැනියකද සේවය කරන්නේ?
    ෆ්‍රී රේන්ජ් මස් විතරයි අපි නං කන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බ්‍රොයිලර් කියල ලියල තියෙන්නේ

      Delete
  7. බ්‍රයන් ගේ විත්ති නියමයි
    හරි කැමතියි කියවන්න

    ReplyDelete
  8. අම්මප වැඩේ කියන්නෙ අජිත් මහත්මයා කොම්බි බොයිලර් එකක් ගනිද්දි අපි සොම්බි බොයිලර් ලදරම වීසි කරපු එක. 😂😂😂

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක 👍👍👍😂😂😂. ඔය නාකි සොම්බිය එක්ක ඇයි ඔච්චර තරහ ඔබතුමා ?

      Delete
    2. මොක්ක හරි වෙලාද දන්නේ නැහැ . අනික අපි ඔය බටලන්ද වගේ දේවල් ගැන ඇත්තටම දන්නේ නැහැනේ . නන්දන ගේ පොත කියෙව්වට ලොකු විස්තරයක් නැහැ .

      Delete
  9. ලස්සනට ලියල තියෙන කතා මාලාවක් අජිත්, ලංකාවේ අමන මරිමෝඩ දේශපාලන කුණු ගොඩවල් ගැන ලියන්න නාස්ති කරන කාලය මේ වගේ වැදගත් පෝස්ට් ලියන්න යොදවන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මොකද ඇත්තටම අනේ අපට අප්‍රියයි දැනට ලංකාවේ දේශපාලනය තුල ඉන්න උන් සියල්ලම..එක්කො හොරු එක්කො බොරු ටොන් පච විදින කෙබර පප්පලා අනෙක ලංකාවේ මිනිස්සුත් ඇත්තටම දේශපාලනය කරනවා කියලා කියන්නෙ රැල්ලට මොකෙක් හරි හොරෙක් නැත්නම් බොරුකාරයෙක්ගෙ පස්සේ එල්ලෙන ...වැල යන අතට කරු ගහන පුද්ගල කැමැතක් මිස බුද්ධිමත් තේරීමක්ම නොවේ.. වසර 76ක් අරාජිත උනෙත් මේ ඉන්න උන්ගෙ මනාපෙ නිසානෙ..පිටින් ඇවිත් චන්දෙ දුන්නෑනෙ ඒකනෙ කුණුහරුප ලියන්නෙ අනිකාගේ අදහස ඉවසනු බැරිව !

    ඔයාට නම් ස්තුතියි මේ වගේ සංයමයෙන් ඒ වගේ කැත ප්‍රශ්නයක් වුණත් අහන්න තරම් මහත්මා ගතියක් ඔබ සතුවීම ගැන..👍🌺

    ReplyDelete
    Replies
    1. මොන වගේ කැත ප්‍රශ්නයක් ද ඇනෝ ? අපි හැමෝම දේශපාලන ජීවීන් කියනවනේ . ඒක ඇවිල්ල නැතුවත් බැරි ඇතිවත් බැරි දෙයක් . අපේ අනාගතය තිරණය වෙනවනේ සමහර දේශපාලන තීරණ වලින් . උදාහරණයක් වශයෙන් හුඟක් අය ට්‍රම්ප් ට අකැමතියි. දක්ෂිණාංශික විතරක් නෙමේ වර්ගවාදියි. බ්‍රයන් සමහර විට ට්‍රම්පට කැමති වෙයි . නමුත් කමලා හැරිස් ආවොත් යුද්ධේ දිග්ගැසෙන එක තමා වෙන්නේ . යුද්ධේ ඉවර වෙනවනම් අපි වඩා සුරක්ෂිතයි. ආර්ථිකයටත් හොඳ වෙයි . අපි ආත්මාර්ථකාමී වෙනවනම් ට්‍රම්ප් තමා හොඳ . අමාරු තීරණ

      Delete
  10. මගෙත් අල්ලපු ගෙදර ඔය වගේ හැන්ඩි මෑන් කෙනෙක් ඉන්නවා. ඒත් ඉක්මණටම ගේ විකුණලා යනවා. දැන් පෙන්ෂන් ගිය සුදු අය මේ පැති වලින් ටිකක් ඈතට යනවා. ඒ අය හිත හොද මිනිස්සු . බලෙන් උදව් කරන්නේ නෑ . ඒත් අවශ්‍ය වෙලාවට නියමයි.

    ReplyDelete
    Replies
    1. හැන්ඩිමෑන් කෙනෙක් කියලත් කිව හැකියි . හැබැයි පරණ පොලිස් කාරයෙක් ඒ ගානට ට්‍රේන් වෙන්ව කියන එකත් ලොකු දෙයක් කියලයි මට හිතුනේ . ඒ මදිවට බිල්ඩර්

      Delete
  11. මොකක්දෝ ළයාදරයක්
    ඒත් එක්ක තෙතමනයක්
    දැවටුණු හොඳ පෝස්ටුවක්
    මට නං ඇල්ලුවා ගොඩක්!!!!!!!!!!!!!!!!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .