Tuesday, 12 November 2024

බණ්ඩාර අයියාගේ සිහිනය

බණ්ඩාර අයියාගේ සිහිනය

*****************************************

මට බණ්ඩාර අයියාව මුලින්ම මතකයට නැගෙන්නේ ඔහු අපට බාල  දක්ෂ ව්‍යාපාරයට එක්වන්නට කළ ආරාධනය නිසාය. ඒ මම හතේ හෝ අටේ පන්තියේ සිටි කාලයේය. ඔහු නාලන්දා විද්‍යාලයේ කැඩෙට්  කණ්ඩායමේ සිටි බවට මට මතක ඇත.  එසේම ඔහු අපේ  බාලදක්ෂ ගුරුවරයා හෙවත් ස්කවුට් මාස්ටර්  විය. අප ඔහු කී පරිදි දාහත් වන බාල දක්ෂ කණ්ඩායමට බැඳුනෙමු. එය   තිබුණේ කොල්ලූපිටියේ ඇන්ග්ලිකන් පල්ලිය සම්බන්ධවය.


 වරක් එහි වත්තේ ගස් දෙකක් අතර  කඹයක් දමා එක ගසක සිට අනෙක් ගසට බඩගා යාමට අභියෝගයක් විය. මට කල හැකි වුයේ භාගයක් දුර යාමට පමණි. මම භාගයක් දුර බඩ ගා ගොස් වැටුනෙමි . ජයග්‍රහණය කලේ ප්‍රතිපක්ෂ කාණ්ඩයයි . බණ්ඩාර අයියා කීවේ, භාගයක් හෝ යාම ජයග්‍රහණයක් බවත් අවශ්‍ය නම් ඉතිරි ටික ප්‍රක්ටිස් කර ගිය හැකි බවත්ය. ඔහු අනිකුන් මෙන් අසමත් වීම ගැන උසුළු විසුළු කර  සිනා සුනේ නැත.  


මට කොහොමත් ඒ කාලේ සිටම යම් යම් දේවල්  කැඩීමේ ගැලවීමේ ඇටවීමේ පුරුද්දක් තිබුණි.  බණ්ඩාර අයියා වරක් ඔහු ළඟ තිබී බේඩන් පවල් සාමි වරයාගේ , scouting for Boys පොත කියවීමට දුන්නේය. එහි වදන් ලෙහෙසි වුනත් ඒ කාලයේ මට කියවීම අමාරු  නිසා ඔහු ළඟ තිබූ ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරිය ද දුන්නේය.

chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/http://www.thedump.scoutscan.com/yarns00-28.pdf


පොතේ තිබෙන දේවල් මෙන්ම වෙනත් පොත් වල තිබුණු දේද කිරීමට මම උත්සාහ  කලෙමි .  ඒ කාලයේ කෝස්ටික් සෝඩා  මිලදී ගෙන සබන් හැදීම වැනි දේ කෙරුවෙමි. බිත්තරයක් විනාකිරි වල දමා දවස් කිහිපයක් තබා පිට්ටනියේ වලලා හූ  හඬ අසේදැයි  සෙව්වෙමි .   .  

මට හිතෙන්නේ මා තවමත් කැඩුණු බිඳුණු දේවල් අටවන්නේද ඒ නිසා කියාය. මගේ පොඩි දියණියටද අටවන ටූල් සෙට් එකක් තිබේ. ඇයද එවැනි දේට දක්ෂය.


ජනාධිපති පදක්කම හෝ එවැනි දෙයක් සඳහා අපි ඇතුගල්පුර කන්ද නැගීමට කොළඹ සිට බයිසිකල් වලින් ගියෙමු . එය සංවිධානය කලේ බණ්ඩාර අයියාය . දහවල් කන්ද මුදුනට ළඟාවූ අපට බත් පාර්සල් රැගෙන ආවේ ඔහුය. අපොස සාමාන්‍ය පෙළ විභාගය නිසා මම බාලදක්ෂ වැඩ වලට යාම අත් හැරියෙමි . ජනාධිපති පදක්කම ලැබීමට මොකද්දෝ එක කාර්යයක් පමණක් කිරීමට මට ඉතිරිව තිබුණි .

ඒ ගැන මේ ලිපියේද ලියා ඇත .

අපේ ගෙවල් පැත්තේ තිබූ බාස්කට් බෝල් පිට්ටනිය කෙටි සුදු බැම්මක් විය . මේ පිට්ටනියේ සිටින විට හවස් වන විට හිරු රත් පැහැයෙන් බටහිර අහසේ බැස යනු නැරඹිය හැකිය. එසේම මුහුද හා බේරේ වැව පැත්තෙන් මදනලක් ද හමයි. ඒ සිසිලස නිසා සැන්දෑ යාමයේ එහි හිඳ කතා බහ කිරීම බොහෝ අයගේ සිරිත විය. බණ්ඩාර අයියා හොඳින් හැඩ වැඩ දා හැඳ පැළඳ මෙහි පැමිණ යහළුවන් සමග කතා කරයි . ඒ ගැන සමහරු ඔහුට විහිළුවක් දෙකක් කරනුද මට ඇසී තිබේ . මෙවැනි එක දවසක ඔහු තමන් ගේ අනාගත බලාපොරොත්තුවක් ගැන කීවේය.


"මම පොලිසියට බැඳෙනවා. පොලිස් පරීක්ෂක කෙනෙක් වුනහම ඈත ගමක පොලිස් ස්ථානාධිපතිකමක් අරන් යනව. ඒ පැත්තෙන්ම කසාද බැඳලා වැවක් , දොළක් හෝ කුඹුරක් ගාව හොඳට හුළං වදින නිදහස් තැනක ගෙයක් හදල ජීවත් වෙනවා . ගම්වල පොලිසියේ ස්ථානාධිතිට පොඩි තැනක් තියනව . මට පුළුවන් බාලදක්ෂ වැඩේ කරන්න . පාසැල ට , දහම් පාසැලට උදව් කරන්න. අලුත් අවුරුදු උත්සව වලට හෙම කතා කරණ නිසා සහභාගී වෙන ගමන් ගම පළාත හදන්න උදව් වෙන්න පුළුවන්. " මට නම් ඒ හීනයට වැඩිය හිත ගියේ නැත .


"මම නම් ගම් පැති වලට කීයට වත් යන්නේ නැහැ." කවුරු හරි පිළිතුරක් දුන්නේය . අනිත් කොල්ලන් සමච්චලයට සිනා සුනහ .

" ඒ වුනාට කුඹුරක් හෝ වත්තක් වගේ අරගෙන වගා කරන්නත් මගේ අදහසක් තියනව . නිස්කලංකව කරදරයක් නැතිව ජීවත්වෙන්න පුළුවන්, හොඳ ලස්සන තැනක් වෙන්නත් ඕනේ . " බණ්ඩාර අයියා පිළිතුරු දුන්නේය .


මට ඒ හීනයට වැඩි කැමැත්තක් තිබුනේ නැතත් ගමක සුන්දරත්වය දැන සිටි නිසා ඒ අදහසේ අමුතු අරුමයක් නොදිටිමි . අපොස උසස් පෙළ අවසන් කරන කාලයේ මා බණ්ඩාර අයියා දුටුවේ තව එක වරක් පමණකි . ඒ ඔහු කිසියම් දෙයකට තාත්තා හමුවීමට පැමිණ කතා කර ගිය දවසේය . ඉන්පසු මම වැඩිදුර ඉගෙනීම සඳහා සෝවියට් දේශයට ගියෙමි . බණ්ඩාර අයියා පොලිසියට බැඳී තිබුණි . ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස නැගෙනහිර පළාතේ සේවය කළේය .


එක්දාස් නමසිය අසූ හතේ හෝ අසූ අටේ මට ගෙදරින් ලිපියක් ලැබුණි . එහි මගේ පියා ඉතා කණගාටුවෙන් ලියා තිබුනේ බණ්ඩාර අයියා හදිසියේ මිය ගිය පුවතය . පොලිස් උත්තමාචාර මැද ඔහු අවසන් ගමන් ගිය බවද පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස උසස් කරන ලද බවද ලියා තිබුණි .


බණ්ඩාර අයියා ගමන් කල ජීප් රථය නැගෙන හිර පළාතේ දී කොටි බෝම්බයකට හසුව තිබුණි .

මා ලංකාවට ගිය විටක් ඔහුගේ නිවසට ගියෙමි . බණ්ඩාර අයියා ගේ මවත් නැගණියත් දැඩි ලෙස හඬා වැළපුණේ මම බාල දක්ෂයකු වූ කාලයේ නිතර එහි ගොස් බණ්ඩාර අයියා සමග කතා බස් කල බව ඔවුන්ද දැන සිටි නිසාය . මට ඔවුන් ගේ වැළපීම වාවා ගත නොහැකි වුනි .


මාස  කිහිපයකට පෙර මගේ මිතුරු ප්‍රොෆා යනුවෙන් මා ආදරයෙන් හඳුන්වන මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මුණ ගැසුණු විට ඔහු තවත් ශෝචනීය හෙළි දරව්වක් කළේය . බණ්ඩාර අයියා ගේ මව හා පියා ඔහුගේ මරණයෙන් නොබෝ කළකට පසු දිවි මං අවසන් කළ බවත් ඔහුගේ නැගණිය වසර කිහිපයකට පෙර පිළිකාවක් හේතුවෙන් ලොව හැර ගිය බවත්ය . එසේම ඉතිරි වුනු එකම ඥාතියා වන ඔහුගේ මළනුවන් ටද ළඟදී කරදරයක් සිදු වුනු බවත්ය . අප දෙදෙනා අතීත කත වල මදක් ගැලී සිටියෙමු .


මම නිකවැරටිය පැත්තේ ගමක දින කිහිපයක් නැවතී සිටියෙමි . අසල නිවසක ගැමියෙකු ගෙන් එදාම දොවන ලද කිරි බෝතලයක් ලැබී තිබුණු බැවින් යහමින් කිරි දමා සාදා ගත් තේ කෝප්පයක් ඇතැතිව ගෙවත්තේ නිවස ඉදිරිපස පුටුවක ඈඳී ගෙන විවේක ගතිමි . ඉදිරිපසින් තිබුනේ වැවය . වම් පැත්තේ පහලට වෙන්නට කුඹුරු යායකි . වැව පැත්තෙන් කුරුල්ලන් විටින් විට ඉගිල ගියහ . වැව පිස න හමන මදනල හේතුවෙන් දැඩි අව් රශ්මියෙන් පීඩාවක් දැනුනේ නැත .


ඉඳහිට වරක් ගැමියෙකු හෝ තුරුණ ගොවියෙකු මෝටර් සයිකලයකින් නිවස පසු කර ගියහ . ඒ හැරෙන්නට පළාතම දැඩි නිහඬතාවකින් පෙළුණි . ලොකු දඬු ලේනකු පොල් ගසකට නගිනු බල සිටියෙමි . ඌ එළවන්නට මට සිතුනේ නැත .


තලගොයකු ඉව අල්ලමින් පැමිණ නැවත හැරී බඩ ගා ගියේය . මොණරෙකු ගේ කෑ ගැසිමක් ඈතින් ඇසුණි . අන්තර්ජාල පහසුකම් වලට ගෙවා තිබුනද එය වැඩ කලේ නැත . සිම් කාඩ් එකක් සම්බන්ධ නොකළ නිසා මගේ විදේශ ජංගම දුර කථනයට කෝල් ලැබෙන්නේද නැත .

කියවමින් තිබූ පොතද පසෙකින් තබා මම වැව දෙස හා අවට පරිසරය ද නරඹමින් තේ කෝප්පය තොල ගෑවෙමි . ඒ නිහඬ නිස්කලංක බව තුල සිතට දැනුනේ මහත් සහනයකි . සාමකාමී බවකි .

මට ඒ මොහොතේ සිහි වුනේ බණ්ඩාර අයියාය . ඔහුගේ සිහිනය වූයේ මෙවැන්නක්ද? තමන්ගේ සිහිනය සාක්ෂාත් වන්නට පෙර ඔහු දිවි හැර ගියේය . ඒ වෙනුවට පිටරට සිට පැමිණි මම ඒ නිස්කලංකය විඳිමින් සිටිමි . මට ඇති වූයේ පසුතැවිල්ලක් හා වරදකාරී හැඟීමක් ය . බණ්ඩාර අය්යා පැවසූ ගමක අසිරිය මෙය යයි මම වටහා ගතිමි . ගම්වල නොයෙකුත් ප්‍රශ්න , මිනිසුන් ගේ කුඩුකේඩු කම් ආදිය තිබෙන බව සැබෑය . ඒ අතරේ තමන්ට අවශ්‍ය නම් හුදෙකලා සුන්දරත්වය විඳීමට ගමෙන් බාධාවක් නැත . තෝරා ගැනීම ඇත්තේ අප වෙතය .


මට බණ්ඩාර අයියා ට සමු දීමට අවස්ථාවක් තිබුනේ නැත . ඔහු දුටු අනාගත සිහිනයේ එක කොටසක හවුල්කාරයෙකු වීමට මට හැකිවිය . ඒ මොහොත වෙනුවෙන් මම ඔහුට ස්තූති වන්ත වෙමි .

එනිසා වසර විසි ගනනකට පසුව හෝ මෙසේ ලියමි .


බණ්ඩාර අයියේ සුභ ගමන් .

-- අජිත් 12/11/2024

පින්තුරයක් පසුව එල්ලමි .







23 comments:

  1. සිහින හැබෑ වෙන යුගයක් එළඹෙන්න
    දවසක් තියෙද්දී - කියවන්නට ලැබුණ
    පුවතින් සසල වුණු වාගෙම දුක හිතුණ
    මං පතනවා 'හැමගෙම දුක් දුරු වෙන්න!'

    ReplyDelete
    Replies
    1. දුකක් නිසාම ලිය වුනක් නොවේ නිදී
      ඒ මිතුරා වෙනුවෙන් පිදූ උපහාරයක්
      සහ ආදරනීය සැමරුමක් .
      හැම සිහිනයක්ම හැම විටම සැබෑ වෙන්නේ නැත .

      Delete
  2. අවි ගැටුම්වල කුරිරුබව කොතරම් හොඳ මිනිසුන් හා ඔවුන්ගේ සිහින අපට අහිමිකර ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. කල්‍යාණ මිත්‍ර ලියන් ආව ලිපි වගයක් .

      Delete
  3. ලියල තියෙන රටාව හොඳයි. මටත් ඇති වූයේ කණගාටුවක් හා වදකාරී හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . හීන් පසුතැවීමක් වගේ එකක් නේද

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. //මම නිකවැරටිය පැත්තේ ගමක....එදාම දොවන ලද කිරි ...දමා සාදා ගත් තේ කෝප්පයක් ඇතැතිව ගෙවත්තේ නිවස ඉදිරිපස පුටුවක ඈඳී ගෙන විවේක ගතිමි . ඉදිරිපසින් තිබුනේ වැවය . වම් පැත්තේ පහලට වෙන්නට කුඹුරු යායකි . වැව පැත්තෙන් කුරුල්ලන් විටින් විට ඉගිල ගියහ . වැව පිස න හමන මදනල හේතුවෙන් දැඩි අව් රශ්මියෙන් පීඩාවක් දැනුනේ නැත . ඉඳහිට වරක් ගැමියෙකු හෝ තුරුණ ගොවියෙකු මෝටර් සයිකලයකින් නිවස පසු කර ගියහ . ඒ හැරෙන්නට පළාතම දැඩි නිහඬතාවකින් පෙළුණි . ලොකු දඬු ලේනකු පොල් ගසකට නගිනු බල සිටියෙමි . ඌ එළවන්නට මට සිතුනේ නැත .තලගොයකු ඉව අල්ලමින් පැමිණ නැවත හැරී බඩ ගා ගියේය . මොණරෙකු ගේ කෑ ගැසිමක් ඈතින් ඇසුණි//

    අහා, මාටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර රටාවේ ලියවිල්ලක්. ඇයි අර දඬු ලේන ගැන එහෙම කිව්වෙ?
    ඈතින් නරියෙකු හොක්කි, හොක්කි හූඌඌ... යැයි හඞ තැලුවේය. මාලු බාන්නට පැමිණි නරියා, වැව් ඉවුරේ කක්කුට්ටන් අල්ලනවා විය යුතුය.

    ReplyDelete
    Replies
    1. හේ හේ නරි මොටෝ ස්තුතියි . ඔය ඇත්තටම වුනු දේවල් . ලපටි පොල් කන නිසා දඬු ලෙනට ගහන්න බල්ලව යවන්න කියල තියෙන්නේ . ඒ වුනාට ඒ සතා වුනත් ජිවත් වෙන්න එපැයි

      Delete
  6. ඔබ කොලඹ නම් පදක්කමට චන්දේ දමා අංක 7ට මනාපය දාන්න.
    ඔබ ගම්පහ නම් පදක්කමට චන්දේ දමා අංක 10ට මනාපය දාන්න.
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පදක්කම කියන්නෙ අර බාලදක්ෂයො පලදින ඒවද. ඒවට මොකටද ඡන්ද දාන්නේ??

      Delete
    2. පදක්කම කාගේද කියල දන්නේ නැහැ . ජගත් දැම්ම නිසා ජාතිවාදී පක්ෂයක් වෙන්න ඇති . මම පෞද්ගලිකව නම් ජාතිවාදී පක්ෂ වලට චන්දෙ දෙන්නේ නැහැ .

      Delete
  7. Robert Baden-Powellගෙ books.
    Soft copies ඕනෙ නම් කියන්න.

    1. Scouting for Boys: The Original 1908 Edition
    2. Young Knights of the Empire
    3. My Adventures as a Spy
    4. The Matabele Campaign
    5. Scouting for Girls / Adapted from Girl Guiding
    6. Yarns for boy scouts, told round the camp fire
    7. Rovering to success : a book of life-sport for young men
    8. Aids To Scouting: for N.C.O.s and Men
    9. Quick Training For War

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් . දෙකක් කියවල තියනවා . ආයේ කියවන්න මනාපයක් නම් නැහැ .

      Delete
  8. බේඩ්න්-පවල් ගෙ ඊ බුක්ස් ඕනෙනම් කියන්න

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දන්නා අවශ්‍ය අයට

      Delete
  9. ගමක සුන්දරත්වය විඳින්න නං, ඒරොප්පෙ ඉඳලා ඩොලර්/පවුම් අරගෙන එන්නම ඕනෙ. හැබැයි වැඩිකල් හිටියොත් ආතල් එක කැඩෙනවා. හැමදාම කන අල,බතල එපා වෙනවා. රම්ප් ස්ටීක්/හවානා සුරුට්ටු මතක් වෙනවා. සුන්දර ගම (මීමුරේ) කියන්නෙ , ඒරොප්පෙ,සිදාදියෙ ගොබිලොන්ට විකුණන හොඳ මාර්කටින් කැම්පේන් එකක්. හැබැයි සමහර සිදාදියෙ ගොබිලො ඇවිත් නාල,ගම කාලත් යනවා.

    මම පොඩිකාලෙ හිටියෙ ඔය වගේ ගමක. දොළ,කුඹුර, ඇල, කුඹුකෙ ලිඳ තිබ්බා. ඇන්දෙ සරම නිසා හොඳට හුලං එහෙමත් වැදුනා. ඒත් මතක සංදියෙ ඉඳලම ඕන වුනේ ගමෙන් පනින්න, රට යන්න, කුඩුකේඩුකම් අඩු, අනුන් ගෙ සීනී කිරන්න නැති නගරෙක ජීවත් වෙන්න. මගේ හීන වලත් සුන්දර ගම තියෙනවා, හැබැයි ඒක තියෙන්නෙ මගේ හිතේ විතරයි.

    ReplyDelete
    Replies
    1. බසු , බණ්ඩාර දුන්න පණිවිඩේ තමා තමන් ට ඕන විධිහට හදා ගන්න කියල . මම ඔතන bbq දාල සින්දු කියලත් තියනවා . ප්‍රා දන්නවා ඇතිවෙච්ච ප්‍රශ්න . ඔයා හරි . ඒත් ර වගේ මොහොතවල් තියනවා . ඒවා වලට අර ප්‍රශ්න ඔක්කොම යටපත් වෙනවා . හැබැයි ඔය කියන සෙට් දැන් ටොරොන්ටෝ , ලන්ඩන් බර්ලින් වලටත් ඇවිල්ලනේ . ගැලවීමක් නැහැ ගොයියෝ .

      Delete
  10. Replies
    1. රසික තුමාට හොඳ මතකයක් නේ තියෙන්නේ . අනුන්ෆේ බ්ලොගයක ගිය ලිපියක් වෙලත් . මුළු කතාවම කියල නැහැ . මම ලින්ක් එක දාන්නම් . ස්තුතියි හොයල දුන්නට .

      Delete
  11. හරිම සංවේදී කතාවක්... මටත් මගේ බන්ධනාගාර මිතුරා මතක් වුණා... ඔහුත් පොලිසියෙ උප පරීක්ෂකයෙක් වෙන්න උත්සාහ කළත්, එවක යුද්ධෙ නිසා ගෙදරින් කැමති වුණේ නෑ, මොකද ඒ කාලෙ අලුතෙන් පොලිසියට බැඳුණු අයව දාන්නෙ නැගෙනහිර පළාතට, කොයි වෙලාවෙ කොටින්ගෙන් කන්න වෙයිද දන්නෙ නැති නිසා. අන්තිමට ජේලර් කෙනෙක් විධියට බන්ධනාගාරෙට බැඳෙන ඔහු මිය යන්නෙ බන්ධනාගාර බස් රථයට එල්ල කරපු පාතාල ප්‍රහාරයකින්, එවකට එය ලංකාවම කැළඹූ ප්‍රහාරයක්. මම ඔහුගෙ අවසන් කටයුතුවලට යන්නෙ ආරංචිය ලැබිච්ච මොහොතෙම, එවකට මම හිටියෙ සිංගප්පූරුවෙ. හරිම අවාසනාවන්ත සිද්ධියක්... කොහෙ හිටියත් මැරෙන්න වෙන්නෙ ගෙනාපු ආයුෂ ඉවර වෙච්ච නිසා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඒකත් හරිම අනුවේදනීය කතාවක් නේ . මොන විධිහකින් හරි අවාසනාවන්ත අවසානයක් ඔහුට ලැබීල . ඇත්තටම ඒ ගෙනාපු ආයුෂ ඉවර වෙලා කියන කතාව මම දෙතුන් පාරක්ම අහල තියනවා . මට ඒක විශ්වාස කරන්න අමාරු වුනත් මෙහෙම සිද්ධි නිසා ඒක තහවුරු වෙනවා නේද ?ඔබගේ මිතුරා ට පැතූ න්නිවනක් ලැබේවා

      Delete
  12. ආදරණිය මිතුරු මිතුරියනි , එක්තරා අමන ඇනෝ කෙනෙකු නින්දිත මඩ ප්‍රචාර යොමු කරන නිසා කමෙන්ට් මොඩරේෂන් දමන්නට සිදු වීම ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි .

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .