Friday, 27 January 2017

කිරි අත්තා ගේ කාරය


ප්‍රියාන් ගේ අම්මා  ඔහු කුඩා කල කිරි අත්තා (මව ගේ පියා) සතුව තිබූ මෙරුන් පාටට හුරු රතු සහ කළු පැහැති කාරයක් ගැන විස්තර කළාය. එවකට වසර හය හතක ලාබාල දැරිවියකව සිටි ඇය, කාරයේ දොර අසල පා පුවරුවක් වැන්නක් ඇති බවත් එහි සිටගෙන මහා පාර  ඇති සීමාව දක්වා තාත්තා රථය පදවන විට නැගී යන බවත්  කීවාය. වරෙක ඒ දුටු තාත්තා ගේ  මාමා එනම් ඇගේ සීයා (ඇය ඔහුට කියන්නේ කොළඹ විධිහට සීයා කියාය.) ඇයට කෝටුවක් ගෙන තැලුවේය. ඒ ගැහැණු ළමයෙකු ලෙස හැසිරෙන විධිහ නොදන්නේ යයි කියමිනි. කෙළි දෙලෙන් විසූ පොඩිත්තියකව සිටි අම්මා  තම පියා  සමග  කාරයේ එල්ලී ප්‍රීතියෙන් සුරතලින් ගිය මිනිත්තුව එසේ අවසන් විය.


සමහර විට ප්‍රියාන් පරණ කාර් වලට ඇලුම් කළේද මේ කතාව  නිතර නිතර ඇසූ නිසා විය යුතුය. ඔහු සංචාරයට ගිය විදේශික නගර වලදී කුඩා කාර් පොඩිත්තක් සමරුවක් ලෙස මිලදී ගැනීම පුරුද්දක් විය.  ප්‍රියාන්  වෙසෙන නගරයේ වසරකට වතාවක් ගිම්හාන නිවාඩුවේදී විශාල රථ වාහන ප්‍රදර්ශනයක් පැවැත්වෙයි. පරණ කාර් , වෑන් , ලොරි, යුධ රථ මෙන්ම වාෂ්ප බලයෙන් දුවන ලද ට්‍රැක්ටර් මෙන්ම  ගල් රෝලවල් ද එහි ප්‍රදර්ශනයට තබා තිබේ.

ප්‍රියාන් ගේ  අළුත උපන් දියණිය බැලීමට අම්මා  පැමිණියේ ද මේ කාලයේමය. දරුවා බැලීමට බිරිඳගේ පැත්තේ නෑදෑයන්ද පැමිණි දවසක ප්‍රියාන් අම්මා  ද කැටුව පරණ රථ වාහන ප්‍රදර්ශනයට ගියේය. පාපන්දු පිට්ටනි කිහිපයකින් සමන්විත  භුමියේ ෆෝර්ඩ් වැනි කාර් එක පැත්තක්ද ඔස්ටින් හා බෙන්ස් ආදිය තව පැත්තකද  වශයෙන් මනරම් ලෙස පෙළ ගස්වා  තිබුණි.

රථ  අයිතිකරුවන් ඒ අසල කූඩාරම් තනාගෙන ඒවා තුලට වී තේ බිබී සංගීත රස විඳිමින් සිටියහ. තවත් පසෙක ළමුන් සහ වැඩිහිටියන් සඳහා මේලාවකි. නගර වැසියෝ බොහොමයක් දීප්තිමත්  හිරු එළියේ සතොසින් ඇවිදිමින් ප්‍රදර්ශනය නැරඹුහ. ඒ දුටු ප්‍රියාන් ට තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ "සෝබාව දේ " ගීතය මතකයට නැගුණි.

ප්‍රියාන් හා මව ඇවිදිමින් යන'තුර එක්තරා පරණ ෆෝර්ඩ්  කාරයක් අසල මව හිටිහැටියේ  නැවතී බලා සිටියාය.

"අපේ තාත්තා ගේ කාර් එක " අම්මා සෙමින් කීවාය. වාරු නැති වූවාක් මෙන් අම්මා තණ නිල්ලේ හිඳ ගත්තාය.

"කිරි අත්තා ගේ කාරෙක කොහෙද මෙහෙ. එයා ලංකාවෙනෙ" යි විහිළුවක් කරමින් ප්‍රියාන් ඈ  අසලින් ඈඳි  ගත්තේය.

"මං දන්නවා " අම්මා බිඳුණු හඬින් කීවාය. මව දෙස බැලූ  ප්‍රියාන් ට ඇගේ නෙත් තෙත් ව ඇති බව පෙනුනි. මවගේ සිත බිඳීම ගැන ඔහු ශෝක විය.

"මම විහිළුවට කිව්වේ " මව සැනසීමට මෙන් ඔහු පැවසීය. ඔවුන් දෙදෙනා මද වෙලාවක් කාරය දෙස බලා සිටියහ.

"අම්ම කවදාවත් වැඩිය කිරි අත්ත යි කිරි අම්මයි ගැන මුකුත් කියල නැහැ.  තාත්ත කිව්වෙත් නැහැ. " ප්‍රියාන් චෝදනා මුඛයෙන් පැවසීය.

"කියන්න මොනවාද තියෙන්නේ. මගේ අම්ම ගැන මමත් දැනගත්තේ වෙන කෙනෙක් ගෙන් කොට " මව සෙමින් පැවසුවාය.

"ඒ කිව්වේ" ඔහු ඇසීය.

"ඔයා හම්බවෙලා මාස හයක් විතර ඇති. අපි හිටිය ගෙදෙට්ට ආව අර ඉස්සර කාලේ ගැල්වල යනවා වගේ ගොන් දෙන්නෙක් බැඳපු ලොකු කරත්තයක්. ඒකෙ අවුරුද්දක් පුරාවට කන්න තරම හාල් මුට්ට,මුං, පිටි,  කුරහන් ආදී නොයෙකුත් දේ පුරවල තිබුන." අම්මා සෙමින් කීවාය.

"ඉතින්" ප්‍රියාන් තවත් හරි බැරි ගැසී වාඩි වූයේ අම්මා දිග කතාවකට  අර අඳින බව පෙනුණු හෙයිනි.

"මම එළියට ගියහම වයසක මනුස්සයෙක් මගේ දිහා බලාගෙන හිටිය. ඊට පස්සේ අඬන්න පටන් ගත්ත. මම ඇහුව මේ මොකද කියල. එතකොට ඔයාගේ තාත්තත් එළියට  ආව. අක්කල දෙන්න එළියෙ සෙල්ලම් කරනවා. දුවේ මේ ඔයාගේ ළමයිද කියල ඇහුවා. තාත්තාට ඒක ඇල්ලුවේ නැහැ. තමුසේ කවුද? කොහේ ඉඳලද ආවේ? කියල සැරෙන් ඇහුවා. දන්නවනේ තාත්තගේ හැටි." ඈ දිග හුස්මක් ගත්තාය. ඒ මියගිය තම පියා මතක් වීමෙන්ද සිද්ධිය මතක් වීමෙන්ද කියා ප්‍රියාන්ට සිතා ගත නොහැකි විය.

"තාත්තාට  ඉතින් සැක  හිතුණොත් එහෙම තමා" ප්‍රියාන් හූමිටි තැබීය.

"ඒ ගමන කිව්වා - මේ දූගේ මහත්තයා වෙන්ටැති - කියල. දුව, මම ඔයාගේ පුංචිම මාම. තව මාමලා හය දෙනෙක් ඉන්නවා කියල ආයි අඬන්න ගත්ත. ඒ ගමන තාත්තා ඒ මනුස්සයට ගේ ඇතුළට කථා කලා. එයා එන්න අදිමදි කලා. ආලින්දයේ පුටුවක් උඩ වාඩි  වුණා. ඔයාලගේ කොළඹ ආච්චි තේකක් ගෙනාව." මව කීවාය.

"පුදුම වැඩක් නේ. කොයි  පැත්තෙන් නෑදෑයො ද " ප්‍රියාන් ඇසීය.

"මගේ අම්මගේ පැත්තේ.  ඒ කියන්නේ ඔයාලගේ කිරි  අම්ම. එයා  මැරුණේ මම පුංචි කාලෙනේ. මට මතක නැහැ එයා ගැන.  කොළඹ  ආච්චි (ප්‍රියාන් ගේ මවගේ නැන්දණිය) කීවේ අම්ම කොළඹ මහා ඉස්පිරිතාලේ නර්ස් නෝනා කෙනෙක් කියල. නමුත් මම හිතන්නේ එය මේට්‍රන් කෙනෙක් (සාත්තු සේවිකාවක්) වෙන්න ඇති කියල. අම්මයි තාත්තයි යාළුවෙලා බැඳලා තියෙන්නේ. අම්මා ගේ පැත්තේ අය අපේ තාත්ත ගේ කුලේ මදි කියල කැමති වෙලා නැහැ මුලින්. පස්සේ අම්මගේ අම්ම කොළඹ ඇවිත් බලල ගිහින්.  අපේ තාත්ත ගැන පැහැදිලා. සල්ලිත්  තිබුනනේ ඉතින් .  එයාගේ දුව හොඳින් ඉන්නවා කියල සතුටින් ගිහින් තියෙන්නේ. " මව විස්තර කලාය.

"කිරි අත්ත මොකද කළේ " ප්‍රියාන් විමසීය. මේ විස්තර ඔහු අසන්නේ පළමු වරටය.

"එයා කොළඹ හා අවට  කොන්ත්‍රාත් එකට බිල්ඩින් හදන එක කළේ. ගෙවල් නුත් හැදුව කියල තමා මම දන්නේ.  ඒනිසා අතේ සල්ලි ගැවසුනා. මහා ඉස්පිරිතාලේ අලුත්වැඩියාවකට ගිය වෙලේ අම්මව දැකල යාළු වෙලා "  අම්මා  ඇස් පුංචි කළාය. ප්‍රියාන් ට විශ්වාස ගන්නිමට අපහසු දෙයක් කියන විට ඇස් පුංචි කිරීම ඇගේ සිරිත බව ඔහු දත්තේය.

"ඒ කාලේ යාළු වෙලා බඳිනවා කියන එක ටිකක් හිතන්න අමාරු දෙයක් නේද? ඉතින් අර මාම මොකද කිව්වේ." කතාව ඇදී යන නිසා ප්‍රියාන් මව උනන්දු කළේ කවදාවත් අසා  නොතිබූ මේ සිද්ධිය දැන  ගැනීමේ අභිප්‍රායෙනි.

"ඔන්නොහෙ වැඩකුත් නැහැ මේවා කියල. ඔයාගේ තාත්ත මට තහනම් කරලා තිබ්බේ මේවා කියන්න. අපට නෑදෑයෝ නැහැ කියල තමා ඔයාලට කියන්න  කියල තිබ්බේ." ඇය තවත් සුසුමක් හෙළුවාය.

"කමක් නැහැ අම්මේ. අපි දැන් වැඩිහිටියෝ. ළමයි නෙමේ නේ. දැන් ඕව දැනගත්ත කියල මොනවා වෙන්නද?" ප්‍රියාන්  මව සැනසීමට මෙන් කියුවේය.

"අම්මගේ අම්ම ඇවිත් ගියාට පස්සේ මේ ගොල්ලෝ එහෙ ගිහින්. තාත්ත , ඒ කියන්නේ ඔයාලගේ  මුත්තා නේද, අත්ත, මුත්තා , කිත්ත, කිරි කිත්ත වගේනේ යන්නේ. ඉතින් එයත් සමාව දීලා අම්මට. අසනීපෙන් ඉඳල තියෙන්නේ. එයා මැරෙන කොට අපේ අම්මට ඉඩ කඩම් අටෙන් එකක් පවරලා. මාමලා හතටයි මෙයාටයි. මෙයා  පුංචිම නංගි. සමහර මාමලා මේකට කැමති වෙලා නැහැ . අර ආව පුංචි මාම කියපු විධිහට අම්මට හොඳම පළදාව තියෙන වත්තකුයි , කුඹුරු කිහිපයකුයි ලැබුනලු. මාමලා වාද කරලා . එයා කොළඹ ඉන්නේ. එයාට ඒවා වැඩක් නැහැ. එයාට  සල්ලි තියනවා.  අපි තමා මෙහෙ කඹුරන්නේ කියල.  මාමලට ඒ ඉඩ කඩම් ඕන වෙලා. අම්මලට අවුරුද්දට ගමට එන්න කියල. කෑම මේසේ දී අම්මගේ කෑමට කබර තෙල් දාල ලු. අම්මට දවස් දෙක තුනක් නවත්වන්නේ නැතුව බඩ හිස් වුනාලු. එහේමම නැති වෙලා. ඔය කතාව කිව්වේ එදා ආව පුංචි මාම. එයා කිව්වා එයාලු  බාලම සහෝදරයා. එයාගේ නංගිට  (අපේ අම්ම ට )  එයා ගොඩක් ආදරෙන් ලු  හිටියේ. එයා ඔය වැඩේට  කැමති වුනේ නැහැලු.  හැම වෙලේම ඔය ගැන හිත හිතා හිටියලු. අපි ගැන හෙව්වලු.  මම අම්මා වගේ නිසා ටවුමේ දැකපු කෙනෙක් ආරංචිය දීල. පස්සේ එයා තවත්  ආරංචි කරලා බැලුවහම මම කසාද බැඳලා මෙහෙ ඉන්නේ කියල දැනගෙන ඇවිත් තියෙන්නේ. අර කරත්තේ ගෙනාපු ඒවා අම්මගේ කොටසලු. මිට පස්සේ හැමදාම අවුරුද්දට දෙපාරක් ගෙනත් දෙන්නම් ලු. ගමට ඇවිත් යන්න කියන්නලු  ආවේ.  ඕක කළ ලොකු අයිය මැරුනලු. අනිත් අය්යලත් විස්සෝපෙන් ලු ඉන්නේ. ඔන්න ඔහොම කිව්වා අඬ අඬ. " මව එක හුස්මට කියාගෙන ගියාය.

ප්‍රියාන් ට කිසිවක් කියා ගත නොහැකි විය.

"ඔයාලගේ තාත්ත කොහොමත් කේන්ති ගන්න කෙනානේ. ඒක ඇහුව විතරයි, තමුසෙගෙ කෙහෙල්මල් බඩු ටිකත් අරගෙන යනවා ආපු පළාතකට. ආයි එන්න එපා පැත්ත පළාතේ කියල එලව ගත්ත. ඒ මාම ඇඩ්රස් එකක් දෙන්න හැදුව. ඒත් එළවලම දැම්ම. මට කිව්වා ආයේ කතා කරන්නත් එපා ඒ ගැන කියල. එහෙම  නෑදෑයෝ ඕන නැහැ කියල. " අම්මා හැඬුවේ නැතත් ඇගේ ශෝකය ඔහුට දැනිණි.

"අපේ තාත්තට තරහ ගියහම වැඩිය කල්පනා කරන්නේ නැහැනේ. කියන දේ මූණටම කියල දානවා. මම අතන කෑම දෙන තැනින් අපි දෙන්නට තේ දෙකක් ගේන්නම් " ප්‍රියාන්  නැගිට්ටේය.

"නැහැ අපි දෙන්නම කතා කර කර යමු තේ ගන්න." අම්මාද නැගිට ආවාය.

"හැබැයි එදා තමා මම දැන  ගත්තේ මගේ තාත්ත ගේ දුකට හේතුව. එයා බිව්ව හැටි. මාව වඩා   ගත්ත වෙලාවට එයා හඬපු හැටි. කොළඹ ආච්චි කීවේ මම අම්ම වගේ නිසා එයාගේ මල්ලිගේ ඇස් වල කඳුළු එනවා කියල.ඒක හින්දට වඩා මම හිතන්නේ අපේ අම්ම අකාලයේ මැරුණ  එක ගැන එයා දුක් වුනේ කියල. තාත්තා එතනින් පස්සේ දිගටම බිව්වා. පරක්කු වෙලා ගෙදර ආවේ. හැබැයි අපට කවදාවත් නරකට සැලකුවේ නැහැ. ගෙදර එනකොට පැණි රහ දෙයක්, මස්කට්, බූන්දි හරි මිදී වල්ලක් හරි අරන් එනවා. අපි කෑම කෑවද කියල බලනවා. හැබැයි ඒවා එන්න එන්නම අඩුවුණා." සෙමින් ඇවිදින් ගමන් අම්මා මතුලාය. ඇය ගමන් කලේ සිහිනයෙන් මෙනි. ඇයට ඇගේ පියා සිහිවෙන නිසා විය හැකි යයි ප්‍රියාන්  සිතුවේය.

තේ කෝප්ප දෙක ගත්  ඔහු අර පරණ කාරය   පෙනෙන මානයේ තණ බිස්සේ හිඳගෙන  මවටද හිඳ ගැනීමට උදව් කළේය.

"එයා කාරෙක වික්කද ඊට පස්සේ"

"නැහැ පුතේ, මට වයස හත  කාලේ වගේ එයා  රත්නපුරේ මොකක්ද ශාලාවක් හදන්න ගියා. ඔය සමන් දේවාලේ පැත්තේ වගේ. එතකොටත් හරියට බොනවා. ශාලාව හදල ඉවර වෙලා ගණුදෙනු බේරාගෙන කොළඹ ඇවිත් වැඩට ගිය කට්ටිය එක්ක. තව කවුරුහරි හමුවෙලා ආයේ බීල. ඒ දවස් වල ඔය කොටා රෝඩ් එක පැත්ත ඝන කැළේ. කොළඹ සීය කියපු විධිහට මෙයාගේ කාරෙක ලොකු වලකට තල්ලු  කරලා දාල ඒ මිනිස්සු. කාරෙකේ  වීදුරු හෙම පොඩි කරලා දාලලු. තාත්ත ලොකු රිදී හවඩියක්  බැඳගෙන හිටියේ. ඒකෙ ඇතුලේ  පොකට් එකක සල්ලි දාල තිබ්බේ.  උන් ඒවා ඔක්කොම හොරෙන් අරගෙන. තාත්තට හොඳටම ගහල. තාත්තා ලේ පෙරාගෙන  එතන වැටිලා ඉන්නව උදේ පාන්දර කවුද දැකල ඒ ළඟ තියෙන සිංහල ඉස්පිරිතාලෙට කියල. "

"සිංහල ඉස්පිරිතාලේ කිව්වේ ආයුර්වේද රෝහලක් වෙන්නැති"

"ඒ කාලේ ඒවා තිබුනද මම දන්නේ නෑ පුතේ. ඒක  සිංහල වෙදකම් කරන තැනක්. වෙද  මහත්තය තාත්තව  අඳුරනවා. කොළඹ  සීයා ඒ කියන්නේ තාත්තගේ මාමා වත් අඳුරනවා. එයා තමයි ඇවිත් කියල තියෙන්නේ. අපි ගියා බලන්න. මගෙ  නැන්ද, ඔයාලගේ කොළඹ ආච්චි එක්ක. තාත්තා මගෙයි නංගි ගෙයි අත් අල්ලලා කොළඹ ආච්චිට භාර දුන්න. එයා  බඳින්න නේ හිටියේ. මගේ දරුවෝ දෙන්න බලා  ගනින්. බඳින්න ඕනේ නැහැ කියල තාත්තා එයාගේ අත් අල්ලාගෙන කියල ඇඬුව ලු. ඉතින් එයා බැන්දේ නැහැ. අපිව බලාගෙන හිටිය. එයා හැම වෙලේම කිව්වේ තාත්තට ඒක වුනේ එදා සමන් දේවාලෙට පඬුරු  දාපු නැති නිසාලු. නැත්නම් හැමදාම පඬුරක් දාගෙනලු එන්නේ. " අම්මා දිග සුසුමක් හෙළුවාය.

"අනේ මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. කොළඹ ආච්චි කොහොමද දන්නේ පඬුරු දැම්මද නැත්ද කියල. ඒක නෙමේ ඒකයි එහෙනම්  කොළඹ ආච්චි තනිකඩව හිටියේ ". කළු සුරුට්ටු බොන බයිලා කියන කොළඹ ආච්චි ගැන සිහියට පැමිණ ඔහුට  සිනහවක් පහළ විය.

 "අම්මට මතකද කොළඹ  ආච්චි කියන බයිලා වගේ කවි. "
"මඟුල් ගෙදර කාර් හැටයි
කේක් ගෙඩිය නව රියනයි
විස්කි බ්‍රැන්ඩි ජල ගැල්මයි
රටට ණයයි අප්පොච්චියේ "
ඔහු මතකින් කීවේය.


"තව එකක් මතක් වුණා"

"එක මිනිහෙක් ගියාලු බං පන්සලකට හිඟා කන්න - හාමුදුරුවෝ දුන්නලු බං තට්ට ගෙඩිය පලල යන්න" කියා ප්‍රියාන් මහා හඬින් සිනා සුනේය. අසලින් යන මිනිසුන්ද හැරී බැලූහ.

"ආච්චි ඕව කොහෙන් ඉගෙන ගත්තද මන්ද. හැබැයි එයා අර ගඳ ගහන කළු සුරුට්ටු බොන්න පුරුදු වුනේ කොහොමද? සිගරට් බොන්නේ නැතිව" ප්‍රියාන් මවගෙන් ඇසුවේ එය ඔහුට මහත් කුතුහලයක් ව තිබු හෙයිනි. ඔහුගේ නිවසට එන යහළුවන්ටද  සුරුට්ටු බොන ආච්චි පුදුමයක් විය. ඔවුන් විහිළු තහළු කළත් ඇය සිනාසුනා  මිස ඒවා ගණන් ගත්තේ නැත.

"ඔයාට හොඳට  මතකයි ඒවා. ආච්චි ඔයාට තමා ගොඩක් ආදරේ. ඔයාට ඕව කියල දෙනවා මට මතකයි. එයා බිව්වේ ටිකක් ලස්සන දිග සුරුට්ටු. අපේ තාත්ත ගෙනත් දුන් ඒවා. තාත්ත මැරුණට පස්සේ තමයි එයා ඔය  යාපනේ කළු සුරුට්ටුවට පුරුදු වුනේ. ඒක ලාබලු"

"ආ  ඔව්. ඔය කියන්නේ සිගාර් වලට. ඒවත් සුරුට්ටු තමයි. ලංකාවට පිටරටින් ගේන  නිසා ගණන්. ඒවා මෙහෙත්  ගණන් තමයි. " ප්‍රියාන් කීවේය.

"ඒ වුනාට අපේ තාත්තට හම්බ වුනා  අඳුනන කාපිරි සොල්දාදුවෙක් ගෙන් ලාබෙට. " මව සිනාසුනාය. බොහෝ වෙලාවකට පසු දුටු ඇගේ සිනාව ප්‍රියාන්  ගේ සිතට සහනයක් ඇති කළේය.

"අම්මේ, මේ රටේ ඔය විධිහට කළු මිනිසුන්ට  කියන්නේ නැහැ. ඕක ඔය නිගර් වගේ වචනයක්නේ. ඉතින් ඊට පස්සේ කාරෙකට මොකද වුනේ " ප්‍රියාන් මදක් සිනාසී ඇසීය.

"කිරි අත්ත ඊට දවස් දෙකකට පස්සේ නැතිවුණා. කාරෙක මම හිතන්නේ අර වෙද මහත්තය හරි කවුරු හරි අරගත්තා. අපේ සීයට කාර් එළවන්න  බැහැනේ.  ඊට පස්සේ ඉතින් හිටිය ගේත් නැති වුණා. තාත්තගේ මල්ලි බොරුවක් කරලා, පොඩි ගාණක් දීල කොළඹ ආච්චි රවටලා  ඒක අරගෙන. එයා අපි ඔක්කොම බලා ගන්නවා  කියල. ඒත් ඊට පස්සේ  අපිව ගෙයින් එළියට දැම්මනේ. ඒක ඒ පැත්තේම තිබ්බ ලොකු ගෙයක් නිසා එයා ඇහැ ගහගෙන හිටියේ කාලෙක ඉඳන්. අපි ගෙට අල්ලලම හදල තිබ්බ ඇනෙක්ස් එකේ කාලයක් හිටිය. ඊට පස්සේ එතනිනුත් අපිව එලෙව්ව එයාට  අයිතියි කියල. මම සාමාන්‍ය පෙළ ට වෙනකන් අමාරුවෙන් ඉගෙන ගෙන රස්සාවට ගියා . ඔයාගේ තාත්ත හම්බ වුනේ ඊට පස්සේ."  අම්මා ගේ  දෙනෙත් නැවතත් තෙත්ව ඇත.

"දෙපැත්තේම නෑදෑයෝ ගැන කතා කරන්නේ නැත්තේ ඒකයි එහෙනම්. ඒ වුනාට ඔය දෙන්න ඊට පස්සේ හොඳින් හිටියනේ අම්මේ. මාත් පරණ කාර් වලට කැමති ඒක හින්ද වෙන්න ඇති. ඒවායේ හැඩයට මම හරි ආසයි."

මවද නැගිටුවාගෙන එතනින් නැගිට ගිය ප්‍රියාන් පරණ කාර් වල අනුරූ  විකුණන ස්ථානයක් වෙත ගියේය. එහි තිබු කිරි අත්තාගේ කාරය  හා සමාන පෙනුමක් ඇති පුංචි කාරයක් මිලදී ගත්  ඔහු එය අම්මා අත තැබුවේය.

අම්මාගේ මුහුණට එළියක්  වැටුණි.  කිරි අත්තා ඔවුන් අතර  සිටින්නාක් මෙන් හැඟීමක් ප්‍රියාන් ට ඇතිවුණි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
   

Thursday, 19 January 2017

ට්‍රම්ප් ගේ ජීවිතය අනතුරේද? අවුරුද්දකට වඩා ට්‍රම්ප් රජකම් කරයිද?

එක්සන්මොබයිල් තෙල් නිධියක් 
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති චන්දය දිනා අවසානය. ඔහු ගේ චන්ද ප්‍රමාණය,  ප්‍රධාන විරුද්ධවාදිනිය  වූ හිලරි ක්ලින්ටන් ට  ලැබුණු මුළු ඇමෙරිකා  එක්සත් ජනපද ජනප්‍රිය චන්ද ප්‍රමාණයෙන් මිලියන්  3 කින් පමණ අඩු වුවද ඉලෙක්ටොරල් ක්‍රමයෙන් ඔහු ට  ජය ගැනීමට හැකිවිය.  නමුත් ප්‍රශ්නය එය නොවේ. පසුගියදා සී අයි ඒ සංවිධානයේ ඉවත්ව යන ලොක්කා  වන ජෝන් බ්‍රෙනන් ගේ ප්‍රකාශය බලන්න. ඔහු කීවේ "ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව ගැන දන්නේ නැත " යනුවෙනි.

ඔහුගේ ප්‍රකාශයෙන් ඩොනල්ඩ් හා අමෙරිකන් රහස් ඔත්තු සේවා අතර ඇති  දැඩි පරතරය මෙන්ම විශ්වාසය බිඳ වැටීමද  පිළිඹිබු වේ.  මෙය එතරම් හොඳ සලකුණක් නොවේ. ඇමෙරිකානු ඔත්තු සේවා රුසියාව විශ්වාස කරන්නේ නැත. සෝවියට් දේශය පැවති වසර 70 පුරා එය ඔවුන්ගේ ප්‍රධාන සතුරු අඩවිය විය. ගොර්බචෝව් හා යෙල්ට්සින් සිටි ඉතා සුළු කාලයක් තුල ඔවුන් ගේ බිය දුරු වී තිබුනද වඩා බලවත් ව්ලදිමීර් පුටින් පත්වීමෙන් පසු ඒ බිය තවත් කිහිප ගුණයකින් වැඩි විය.

 රුසියාවට  ද්‍රෝහී වුනු ඔත්තුකරු ඇලෙක්සැන්ඩර් ලිත්විනෙන්කෝ බ්‍රිතාන්‍ය භුමිය තුල මරා දැමීමත් සමගම ඒ බිය බ්‍රිතන්‍ය ඔත්තු සේවා වලටද බෝවිනි. බටහිර ඔත්තු සේවා පුටින් අඩු තක්සේරු කළ නොහැකි බව වටහා ගත්තේ එහිදීය. සෝවියට් පාලන  සමයේ කේජිබි ඔත්තු සේවයේ නිර්මාතෘ (මුලින් එන්කවඩ NKVD )  දෙර්ෂින්ස්කිගේ එක පිළිවෙතක් වූයේ ද්‍රෝහී වූ ඔත්තුකරුවන් කෙදිනක හෝ මරා දැමීමයි. පුටින් අනුගමනය කරන්නේ කවුද යන්න මින් බටහිර ඔත්තුසේවා වලට පැහැදිලි විය.

මේ අතරේදී හිටපු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වන ක්‍රිස්ටෝපර් ස්ටීල් විසින් ට්‍රම්ප් 2013 දී රුසියාවට  ගිය විට රුසියානු ගණිකාවන් සමග හැසිරුණු ආකාරය සහිත වීඩියෝ පුටින් සතුව තිබෙන බව හෙළි කළේය. එය දරුණු ප්‍රකාශයකි. ඒවා භාවිතා කර පුටින් ට ට්‍රම්ප් ව බ්ලැක්මේල් කල හැකිය.  එවැනි  විශේෂ  පුද්ගලයෙකු සමග සාමාන්‍ය  ගණිකාවන් සිටින්නේ නැත. එක්කෝ ඔවුන් මිල අධික එස්කෝර්ට් සේවයක අය විය යුතුය. නැත්නම් රුසියානු ඔත්තු සේවයේ (FSB) නිලධාරීන් වන සුරූපී කාන්තාවන්ය. මෙය සාමාන්‍ය ඔත්තු සේවා  උපක්‍රමයකි.

ට්‍රම්ප් කිවේ ස්ටීල් බොරු  කාරයෙකු බවත් රුසියාව එවැන්නක්  කලේ නැති බවත්ය. තරුණියන් සමග සිටියේ නැති බවක් ඔහු කීවේ නැත. රුසියාවද  එය ප්‍රතික්ෂේප කළේය. එසේම  ස්ටීල්  නමැති හිටපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු කරුවෙකු  මේ චෝදනා එලි දැක්වූ බවද ඔවුහු  හෙළි කළහ.  මේ නිසා මරණ බියෙන් ස්ටීල් දැන් සැඟවී සිටි. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ විදේශ සේවයේ (MI6) ප්‍රධානියා වන ඇලෙක්ස් යන් මේ හෙළිදරව්ව භාවිතා කරමින් ප්‍රකාශ කළේ රුසියාව බටහිර දේශපාලන නායකයන්ගේ, පක්ෂවල , රජයන්හි පරිගණක හැක් කරන බවත් ප්‍රධාන තර්ජනයක් බටහිරට එල්ලවී ඇති බවත්ය.

ඇමෙරිකා  එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය  අතර "විශේෂ සම්බන්ධතාවයක් " ඇති බව බ්‍රිතාන්‍ය දේශපාලකයන් නිතර පවසති. රීගන් හා තැචර් අතර, බුෂ් හා බ්ලෙයාර් අතර මෙන්ම කැමරන් හා ඔබාමා අතරද එය එසේ විය. නමුත් තෙරේසා  මේ හා ට්‍රම්ප්  අතර එවැනි සම්බන්ධයක් ඇතිවේ යයි විශ්වාසයක් බ්‍රිතාන්‍ය සිවිල් සේවය තුල නැත. මේ අනුව කිසියම් භයානක තත්වයක් වර්ධනය වී තිබේ. ඒ ට්‍රම්ප් ට එරෙහිව ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය  ඔත්තු සේවා හා ආරක්ෂක සේවා  පෙළ ගැසීමයි.  තමන් ආරක්ෂා කරන උදවිය හෝ ඔවුන්ගේ ජාතියක් සමග ගැටුම් ඇතිකර ගැනීම නුවණ ට හුරු නොවන බව තම ජිවිතයෙන් වන්දි ගෙවමින් ලෝක දේශපාලන නායිකාවක් පෙන්වා දුන්නාය. ඒ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිය.

බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු නිළධාරි තන්ත්‍රය දැන් වඩාත් බිය වී ඇත්තේ මෙම ට්‍රම්ප් පුටින් සම්බන්ධයටය. මුලදී රුසියානු හැකරුන් ඇමෙරිකාවේ දේශපාලනයට අත ගසන බව ක්ලින්ටන්ට හා ඔබාමාට ඔත්තු සේවා විසින් දැනුම් දුන්නද ඔවුන් ඒවා වැඩි තැකීමකට ගත්තේ නැත. රුසියාව ක්‍රිමියා ව අල්ලා ගැනීමෙන් පසු රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක ඔවුන් තවත්  දීර්ඝ කළහ.  ක්‍රිමීයා වේ රුසියානු හත්වැනි නාවික හමුදාව ස්ථානගත කර ඇති බැවින් ක්‍රිමියාව නැටෝවට ලබාදීමට රුසියාව කැමති වන්නේ නැති බව යුරෝපය වටහා ගත්තේ නැත. ඉන්පසු උක්රයිනයේ බෙදීමට රුසියාව  හවුල් කියා තවත් සම්බාධක පැනවුණි.  මෙහි පෙරමුණ ගත්තේ කැමරන් ගේ බ්‍රිතාන්‍ය රජයයි. යුරෝපා සංගමයෙන්  බ්‍රිතාන්‍යයේ නික්ම යාමට අඩිතාලම වැටුනේ මෙහිදීය.

එසේ වූයේ කෙසේද කියා බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබුනේ නැත. යුරෝපා සංගමයෙන් නික්ම යාමේ චන්දය දිනීමෙන් පසු යුකේඅයිපී පක්ෂයේ නායක ව සිටි නයිජල් ෆරාජ් මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ බොරිස්  ජොන්සන් ද  එක්තරා ධනවත් ලන්ඩන් වැසියෙකු  ගේ සාදයකට සහභාගී වුහ. ඒ බ්‍රිතානයේ පදිංචි ඇලෙක්සැන්ඩර්   ලේබෙදෙව් ය. බ්‍රිතාන්‍යයේ නොමිලේ බෙදන වැඩි දෙනා කියවන එව්නින්ග් ස්ටෑන්ඩර්ඩ් හා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් වල අයිතිකරු ඔහුය. එසේම ඔහු විශාල මුදල් ප්‍රමාණයක් ෆරාජ් ට දුන් බවට රාවයක් පැතිරී තිබුණි. ලේබෙදෙව් පූටින් ගේ යහළුවෙකි. රුසියාවට එරෙහි සම්බාධක දැමීමට මුල් වුනු කැමරුන් විසි වුනේ එලෙසය.

මුලදී බැරැක් ඔබාමා රුසියන් හැකරුන් ගේ කතාවට  හෝ රුසියාව ඇමෙරිකානු චන්දයට අත පොවන බවට  වූ වාර්තා එතරම් පිළිගත්තේ නැත. හිලරි ක්ලින්ටන් පැරදුනු පසු හදිසියේම ඔහු රුසියානුවන් පිටුවහල් කරමින් මේ කතා/වාර්තා  සියල්ල පිළි ගත්තේය.

මෙයට ආසන්නම හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත් කිරීමකි. ඇමරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් (secretary of State) ලෙස ට්‍රම්ප් පත් කළේ රෙක්ස් ටිලෙර්සන් ය. (Rex Tillerson) රෙක්ස් ටිලර්සන් යනු එක්සන්මොබයිල් නම් අති විශාල ඛනිජ තෙල් කොම්පැනියේ   (නව බල ශක්ති සෙවීමට ප්‍රසිද්ධ  ව්‍යාපාරයකි) රුසියාව සමග තිබු සම්බන්ධතාවයේ  ප්‍රධානියාය. (CEO) එසේම ඔහු එම ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධරයාය.
ට්‍රම්ප් සහ ලෝක රූ රැජින තරඟයේ සාමාජිකාවන් 

රුසියාවේ ආර්ක්ටික් මුහුදු  ප්‍රදේශයේ, රුසියාවට අයත් කළු මුහුදු සීමාවේ (Black Sea) සහ සයිබීරියාවේ ඇති විශාල තෙල් නිධි සමුහයක් තිබේ. මේවා තවමත්  අත නොගසා ඇති ඩොලර් බිලියන් ගණනක්  වටිනා ස්වභාවික ධන්ස්කන්ධයකි. වසර 2013 හා 2014 කාලයේ එක්සන්මොබිල් කොම්පැනිය රුසියාවේ රොස්නේෆ්ට්  සමග පර්යේෂණ යෝජනා ක්‍රම කිහිපයක් මේ තෙල් නිධි සඳහා නිම කළහ. ට්‍රම්ප් ලෝක රූමතිය තේරීමේ තරඟයට රුසියාවට ගියේ 2013 දීය.  ඒ රුසියන් බිලියන් ඩොලර් ධනවතෙකු වන අරස් අගලරෝව් සමග ලෝක රුප රැජිණිය තේරීමේ තරඟයට සහභාගී වන්නටය. ඒ අතරම ඔහු රුසියානු ඔත්තු සේවයේ රුමතියන් කිහිප දෙනෙකු සමග සිටින්නටද ඇත.

නමුත් මේ ගමනේදී  එක්සන්මොබයිල් මිතුරාගේ තෙල් කොම්පැනිය සමග පුටින් ගේ සම්බන්ධතාවය  තර කරන්නට ඔහුට හැකිවුණි. සයිබීරියාවේ තෙල් හැරීමට ඩොලර් බිලියනයක් වටිනා ගිචිසුමක් රුසියාවේ ප්‍රධානතම තෙල් කොම්පැනිය වන  රෝස්නෙෆ්ට්  සමග අත්සන් කිරීමට  ලැහැස්ති වන්නේ මේ අනුවය. මේ ගිවිසුම ඩොලර් බිලියනයක විශාල එකක් වුව පමණක් නොව ඩොලර් බිලියන් ගණනක ආදායමක් ද  උපදවන්නකි.  නමුත් සම්බාධක එන්නේ මේ අතරය. ක්ලින්ටන්-ඔබාමා සම්බාධක වලට යුරෝපා සංගමයද සහය දුනි. මෙහිදී සම්බාධක වලට ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් මුලදී එකඟ  නොවූ බවද සඳහන් කල යුතුය. ඒ මෙර්කල් හා ජර්මන් බස කතා කරන  පුටින් අතර තිබෙන සමිපතාවය   නිසාය.  එසේම ජර්මනියේ ගෑස්  හා තෙල් අවශ්‍යතා වලින් භාගයක් ම සපයන්නේද රුසියාව නිසාය. නමුත් මෙහිදී පෝලන්තය හා බ්‍රිතාන්‍යය ඉතා තදින් සිටියහ. ඉහත කී ගිවිසුම අත්සන් කිරීම තහනම් වුනි.

ඩොලර් බිලියනක වෙළඳාමක්  අහිමි වන විට ධනවත් ව්‍යාපාරයක් නිකම් බලා සිටීද? තෙල් යනු අදද ලෝකයේ දේශපාලනය තීරණය කරන ඉතා බලවත් සාධකයකි. ඒ සඳහා ලෝක යුද්ධ , ප්‍රාදේශීය  යුද්ධ, සියදිවි නසා ගැනීම්, ඝාතන බොහොමයක් සිදු වී තිබේ. හිලරි  ක්ලින්ටන් හා ඔබාමා බලාපොරොත්තු නොවූ දෙය වන්නේ මින් පසුවය.

රුසියාවේ හැකරුන් කිහිප දෙනෙක් සිටින්නට ඇත . නමුත් ට්‍රම්ප් හැම ප්‍රාන්තයක්ම ජය ගන්නේ නිකන්ම  නොවේ. ඇමෙරිකාවේ මැතිවරණ වලට මුදල් අවශ්‍ය. එම මුදල් ධනවත් ව්‍යාපාර කිහිපයකින්ම පොම්ප කෙරිණි.  එසේම රුසියානු  මාධ්‍ය සියල්ලක්ම පාහේ සහය දුන්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප්  ටය.  ව්ලදිමීර් පූටින් සහය පල කළ අශ්වයා තරඟයෙන් දිනුවේය. දිනූ ට්‍රම්ප්, එක්සන්මොබයිල්හි  ටිලර්සන් තමන්ගේ  රාජ්‍ය ලේකම් ලෙස නම්  කළේය.

ට්‍රම්ප් ගේ පළමු කාර්යය රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම  විය හැකිය. ඉන්පසු රොස්නෙෆ්ට් හා එක්සන්මොබයිල් අතර බිලියනයේ තෙල් හෑරීමේ ගිවිසුම  අත්සන් කල හැකිවනු ඇත.

 සෝවියට් දේශය බිඳ වැටුනේ එහි අභ්‍යන්තරයෙනි. එනම් රට වටේ  කොතරම් පීඩනයක් තිබුනද ලෝකයේ කිසිම රටක උදව්වකින් තොරව  පැවතීමට හැකියාවක් ද ඔවුන්ට තිබුණි. රටක පැවැතීමට සියලුම අත්‍යවශ්‍ය සම්පත් සෝවියට් දේශය සතුව තිබුණි. නමුත් මිහයිල් ගොර්බචෝව් ඒ සියල්ල වෙනස් කලේ පැවතුන පාලන තන්ත්‍රයට එරෙහිව යමිනි. ඉන් පලගත් එකම රාජ්‍ය ආයතනය කේජිබි රහස් ඔත්තු සේවයයි. ඔවුන් රටේ සම්පත් කොල්ල කෑ අතර තමන්ගේ යහළුවන් අතරද කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් අතරද බෙදා ගත්හ.  අවසානයේ ඔවුන් ගෙන්ම  කෙනෙක් රටේ  ජනාධිපති වී මේ කොල්ලකෑම්  වලට කිසියම් තිතක් තැබිය.

සමහර විට පූටින් ගේ අභිප්‍රාය ඇමෙරිකා එක්සත් ජනපදය එහිම ජනාධිපතිවරයෙකු අතින් කඩා බිඳ දැමීමද?  නේටෝ සංවිධානය බිඳ දමා විසුරුවා හැරීමද? සියලුම බටහිර ආරක්ෂක සේවා හා රහස් ඔත්තු සේවා ට්‍රම්ප්  සමග ප්‍රශ්න ඇති කරගන්නා සෙයක් පෙනෙන්නේ ඇයි?

මේ පාලන තන්ත්‍ර හා නිලධාරීන්ට මෙන්ම තම රටේම ප්‍රසිද්ධ  ධනවතුන්ට  එරෙහිව ට්‍රම්ප් ට කටයුතු කළ හැකි වෙයිද? මට නම් පෙනෙන්නේ වැඩිදුර යාමට ප්‍රථම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එනු ඇති බවයි. එය පරාජය වුවහොත්  (එනම් ට්‍රම්ප් ඉන් ජය ගත්තොත්) ඇමෙරිකානු ආරක්ෂක  සේවාවන්ට ට්‍රම්ප් ට වඩා  දැඩි ආරක්ෂාවක් දිය යුතු තරමට  ඔහු සතුරන් ඇති කරගෙන තිබේ යයි පෙනේ.

මුලාශ්‍ර:
1. CIA boss John Brennan says Donald Trump "doesn't understand Russia"
2. MI6 chief used Trump dossier details in key speech on Russia.


Friday, 13 January 2017

නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්

නෙළුම් යාය වෙබ් අඩවියේ පහත සඳහන් දැන්වීම පළ කර තිබේ.
නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්  2017 මාර්තු 25 වනදා පැවැත්වේ.

ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ.

වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල්  25.000, 15,000 හා 10,000 බැගින්  පිරි නමනු ලැබේ.

හතර  සහ පස්වන ස්ථාන වලට නෙළුම් යාය සම්මානයක් හිමිවනු ඇත. 
මුදලින් රුපියල්  5000 සහ නෙළුම් යාය සම්මානයක් පහත සඳහන් අංගයන් සඳහා පිරි නමනු ලැබේ.

1. අතීත කාමය 
2. අධ්‍යාපනික 
3.ඉතිහාසය 
4. කාලින සංවාද 
5. කෙටි කථා 
6. දේශපාලන 
7. පරිවර්තන 
8.ප්‍රහසන 
9. බ්ලොග් නවකතා 
10. විද්‍යා ප්‍රබන්ධ 
11. විද්‍යා හා තාක්ෂණ 
12. විවිධාංග 
13. සංගීතය 
14.  සංචාරක හා ඡායාරූප 
15. කාව්‍ය නිර්මාණ 
16. සාහිත්‍ය කලා  විචාර 

ඔබට ඔබේ බ්ලොග් අඩවියද මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් අංගයන් ගෙන්  එකකට ඔබේ බ්ලොග් ලිපියක් සුදුසු යයි සිතේ නම් එය එවන්න. එසේම සහෝදර බ්ලොග්කරුවන්ට ද තමන් කැමති බ්ලොග් වල තේරීම් එවිය හැකිය. සියලුම බ්ලොග් ලිපි පලවී තිබිය යුත්තේ 2016 ජනවාරි 1 දා සිට 2016 දෙසැම්බර් 31 දා වන කාල පරාසය තුල පමණි.

ඔබගේ තේරීම් මේ ඊමේල් ලිපින වලට එවන්න.
editor@nelumyaya.com
deputyeditor@lankanewsweb.net
කල්‍යාණ මිත්‍ර - sumithyapa@gmail.com
අටම් පහුර - atampahura@gmail.com

එක්  එක් අංගයන් සදහා බ්ලොග් අඩවි 5 බැගින් නිර්දේශ කරනු ලැබේ. අවසන් තේරීම මාර්තු 25 දින ප්‍රකාශයට පත් වනු ඇත.   අපක්ෂපාති විනිශ්චය මණ්ඩලයක් මගින් බ්ලොග් තේරීම් සිදු කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණයයි.

නෙළුම් යාය බ්ලොග් අඩවි සඳහා පමණක් වන වෙබ් අඩවියකි. එය ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය කොටසට සම්බන්ධ පෞද්ගලික මුදලින් නඩත්තු වන වෙබ් අඩවියකි. බ්ලොග්පවර් http://www.blogpower.info/ යනු එයට සම්බන්ධ සින්ඩිය වන අතර එය ද පෞද්ගලික මුදලින් නඩත්තු වන්නකි.

නෙළුම් යාය සම්මන උළෙල පවතින ශ්‍රී ලංකාවේ රජය සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙය රාජ්‍ය සම්මන උළෙලක් ද නොවේ. නමුත් රජයේ නිලධාරියෙකු හෝ රජයකට සම්බන්ධ දේශපාලනඥයෙකුගේ උදව් ලැබුනොත් ඒවා ප්‍රතික්ෂේප කරන්නේද  නැත. ඒවා විනිවිද භාවයෙන් අනිකුත් බ්ලොග් කරුවන්ගේ සහභාගිත්වයෙන් ලබා ගනු ඇත. (පසුගිය වසරේ ශාලාව ලබා ගැනීමට ගියේද අනිකුත් බ්ලොග් කරුවන් සමගය.) වෙනත් ඕනෑම අයෙකුටද මෙවැනි උළෙලවල් සංවිධානය කළහැකි  අතර ඉල්ලීමක් කරන්නේ නම් හැකි ඕනෑම උදව්වක් කරන්නෙමු.  නෙළුම් යාය පිළිබඳ අවසන් තීරණ ගන්නේ නෙළුම් යාය සංස්කාරක මඩුල්ලය.

මේ බ්ලොග් සම්මාන උළෙලේදී හැකි පමණ බ්ලොග් කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ  දරන්නෙමු. සමහරු මග හැරී  යා හැකි අතර සැවොම සතුටු කිරීමද කල නොහැක. 

වෙනත් ඕනෑම නිර්මාණාත්මක ක්‍රියාවකදී මෙන් මෙයටද විවේචන එල්ල විය හැකි බවත් ඕනෑම දෙයක් 100% නිවැරදිව කිරීමට නොහැකි බවත් පිළි ගන්නෙමු.  අපේ ශක්ති ප්‍රමාණව හැකි තාක් සාධාරණව, නිවැරදිව, අපේ හෘදය සාක්ෂියට එකඟව  මේ උළෙල කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරන්නෙමු. 

නෙළුම් යාය ප්‍රධාන සංස්කාරක.

(කොළඹ  ගමයා බ්ලොග් අඩවිය මෙම සම්මාන උළෙලට (තරඟ සඳහා) ඉදිරිපත් වන්නේ නැත.)

Wednesday, 11 January 2017

හිතුවක්කාරී?

මගේ බ්ලොගයේ පළකළ ලිපි ඇතුලත් "පොල්කට්ටෙන් එලියට " පොත එළි දැක්වූදා ප්‍රකාශකයෙකු විසින් පැමිණ පොත් කිහිපයක් අප අතර බෙදා දුනි. මම එය උඩින් පල්ලෙන් බලා පසුව කියවන්නට තබා ගතිමි. පොත ඇත්තටම කියවන්නට ලැබුනේ පසුගිය උඳුවප් මසය. ඒ හදිසියේ සොහොයුරෙකුගේ අසනීපයට ශ්‍රී ලංකාවට ගිය බැවිනි. පොතද රැගෙන ගිය මම එය කියවා  අවසන් කලෙමි.

කතාව පටන් ගන්නේ ශාන්ති නමැති රුවැති ගුරිවරියක ට ලැබෙන ඉංග්‍රීසි ගුරු පත්වීමකිනි. ඉංග්‍රීසි ඉගැන්වීම වෙනුවට ඇයට පුංචි උන්ගේ පන්තියක් බලාගන්නට පැවරෙන්නේ විදුහල්පති බිරිඳගේ සටකපට කමකටය. නමුත් ඇය ඒ පුංචි උන්ගේ ලෝකයේ ගිලෙන්නීය. නිදි කුමාරි හා නිශ්ශබ්ද විලියම් ලා  සොයා පිය නගන්නීය.

ශාන්තිගේ රුව ගුරු නිවසේ නවාතැන් ගත්  අනිත් ගුරිවරියවූ ශර්මිලාගේ නෙතින් දන්වන්නේ අපුර්ව ලෙසය.

"මද විදුලි එළියෙන් දැල්වුණු, චාම් සැහැල්ලු දුහුල් කපු පිළියෙන් නිමැවුණු රෑ ඇඳුමෙන් වැසුනු නොවැසුනු, නූස් නොමිටි නිරූපිකා සිරුර හා සුලලිත් අංග පසඟද, නිදිබර දෙනෙත් හා සුනිසිත මුව මතින් ඇඳුනු සරල සිහින් සිනහවෙන් ඔප වැටුණු අනාලේපිත වත කමලද; දහවලෙහි ද රැයෙහිද එක සේ දිස්වන, ලාවණ්‍යාගාර පහස නොමුසු, ඡවි කල්‍යාණයෙහි ස්වභාවික ආකර්ෂණ පැහැයද; ඇය සිත තුල සටහන් වූයේ නොවැටහෙන මිශ්‍ර හැඟීමක්ද උපද්දමිනි.  "  මේ ස්වභාවයෙන්ම වූ රූමත් වූ ලිය ගැන පිරිමි ගැහැණු දෙපිරිසම ආකර්ශනය වන්නේ යයි මේ සොඳුරු වියමනෙන් හැඟවෙයි.

නවාතැනේ යෙහෙළිය මෙන්ම යෙහෙලියකද නොවූ නොගැලපෙන ශර්මිලාගේ ජීවිතය ගැන විවරණයක් මෙන්ම උපමා වලින් යුක්ත වූද කතාවක් ඉන්පසු ඉදිරිපත් වෙයි. තම පන්තියේ පුංචි දරුවන් දෙදෙනෙකුගේ ජිවිතයට එබී බැලීමට ශාන්ති තීරණය කරයි. ඉනික්බිතිව  එළඹෙන්නේ කතුවරයා විසින් ඒ පවුල් ගැන කරන විවරණයකි.

ඒ අතරේම ඔහුගේ හෙළ බස හැසිරවීමේ අප්‍රමාණ  හැකියාවද කියවන්නාට ආස්වාදයක් ගෙන දෙයි. පහත වදන් පෙලින් අපුර්ව චිත්‍රයක් සිතෙහි මැවෙන්නේ නැතිද? සුමටවූ සිනිඳු වූ සෞම්‍ය වූ භාෂාවකින් කියවෙන විස්තරය අමුතුම ආහ්ලාද්යක් සිත ජනිත නොකරන්නේද?

"දිය හිඟව සෙමෙන් ගලන කඩතොළු ඇළ නඟන සිහින් සරසරය, ඉඳහිට හමන මලානික කාෂ්ඨක සුළඟට  නතු ව වියළි තුරු හිමිගෙන් වියෝ ව තෙත  රහිත මිහි මත පතිත වන වියපත් කොළයක ශෝකී ස්වරය, හිරු හා උරණ ටකරම් තහඩු මවන උණුසුම් වාෂ්පී තාපය, පොඩීත්තියගේ නැවුම් සිරුරේ සජීවී සංවේදනය, සිය ඇලපතට වදින සිඟිති නැහැ පුඩු අගින් විහිදෙන කෙටි හුස්ම දනවන තෙත් රත් පහස, ශාන්තී සිතුවිලි නිදන, කාලය නිසල, හුදෙකලාවක් නොවන හුදෙකලාවක, ආස්වාදයක් නොවන ආස්වාදයක, හිස් බවක් නොවන හිස් බවක, දැහැන්ගත කළාය." (පිටුව 21)

ටකරම් තහඩුවක් යට තැනුණු කුඩා නිවසක් ගැන නොවේද මේ කියන්නේ.

ශාන්තී ගේ කතාවට පොඩිත්තියක හා ඇගේ මව කුමාරි ගේ අනුවේදනීය කතාවක් ද  එක්වෙයි. නව කතාවක් යැයි සිතුවක්  කෙටි කතාවක් ලෙස හදිසියේම අවසන් වෙයි. ඇත්තටම එය එසේද?

කතාවක් තුල කතාවක් ( story within a story) යනු සාහිත්‍ය ඉතිහාසයේ "මිසා න බිම්" (Mise en abyme) යන ප්‍රංශ නමින්ද  හඳුන්වන සාහිත්‍ය ලියවිලි ක්‍රමයකි. අන්ද්රේ  ගිඩ් ගේ කලාවේ විවිධ අංගයන් තුල ස්ව-නිරූපණය ලෙස හැඳින්වෙතත් පංච තන්ත්‍රයේ මෙන් කතාවක් තුල කතාවක් (හෙවත් කතාවේ එවැනිම වූ වෙනත් හා වෙනස්   කොපියක්) ගැන කීමටද මෙය යෙදවේ.  එසේම කෙටි කතා කවය (short story cycle) නමින් හඳුන්වන සාහිත්‍ය ක්‍රමයේ එකකට එකක් ඈඳුනු කෙටි කතා සමුහයකින්  ද එක කතාවක් නිමවෙයි.   මට පෙනෙන ලෙසට කතුවරයා ඉතා සාර්ථක ලෙස මේ ක්‍රම දෙක සම්මිශ්‍රණය කරයි. 

ගුරු නිවසෙන් නික්ම මාරුව ලැබුණු ශාන්ති නව විදුහලට යයි. ඉන්පසු ඇරඹෙන්නේ ශර්මිලාගේ කතාවයි . ශාන්ති සමග ගුරු නිවස්නයේ පදිංචිව සිටියේ ඈය. කතාව  නව මානයකින් ශාන්ති දෙස බැලීමට අපව යොමු කරයි. පසුව  එළඹෙන්නේ සිංහල ගුරුවරයාගේ, විදුහල්පතිගේ සහ විදුහල්පති  බිරියගේ වාරයයි. නැවත නැවතත් එකම කතාව එහි පාත්‍ර වර්ගයාගේ ඇසින් අපට විශ්ලේෂණය කරවයි. විදුහල්පතිගේ ක්‍රියා කලාපය ගැන හෝ සිංහල ගුරුවරයාගේ ක්‍රියා කලාපය ගැන ඇතිවන  පාඨක අමනාපය නිවෙයි. කසිප්පු  විල්සන් මුදලාලි ගැනද ශූර ලෙස පාඨක අනුකම්පාව ඉපිදවිමට කතුවරයා සමත් වෙයි .

 මේ අපුරු කතාව තුලින්  මවිසින් උපුටා ගෙන සටහන් කල වදන් පෙළක් මගේ මතකයට නංවයි. එනම් "ඔබ කෙනෙකු (ගේ ඇවිදීම) විවේචනය කිරීමට කලින්  ඔහු හෝ ඇයගේ සපත්තු පැළඳ ගව්වක් ඇවිදින්න" යනුවෙනි. විවිධ චරිත වල ඇසින් කතාව නැවත නැවත කීමේදී අප නෙත ගැටෙන සත්‍යය ද එයයි.

කුමාරිගේ පියා  හා මව වන ලලිතා ගේ කතාන්දරය ප්‍රධාන කතාව වෙන්නේ අපහසුවකින් තොරවය. කුමාරිගේ පියා  තරුණයන්ගේ අරගලය ට සහභාගිවුණු සටන්කාමියෙකි. අත් අඩංගුවට පත් සටන්කාමීන් ගෙන් දිවි බේරුණු කීප දෙනෙකුගෙන් අයෙකි.
"වැදිච්ච පහරවල් වල, කරන්ට් ඇල්ලිලිවල, ලාච්චුවට දැමිලි වල, වේදනාව විතරයි, ඒ දවස් වල දැනුනේ. "(පිටුව 103)

අපහසුවකින් තොරව කුමාරිගේ පියා නිමල් ගේ ගොරතර බියකරු යාමය ගැන කියන කතුවරයා  පියකරුව ලියවෙන ප්‍රේම කතාවකට කුමාරිගේ මව හරහා හීන් සීරුවේ එළැඹෙයි.
"අපි දෙන්න සිතල මහා රෑක, කරුවල ගෙදරක, නිවෙන ලිප විතරක් සීතලයි කරුවලයි පන්න ගන්න  බැරිමරගාතේ පොර බදද්දී තනිවුනා. වෙන්ඩ ඕන සියල්ල සිද්ධ වුණා. මට මතක තියෙන්නේ පෙරමුණ ගත්තේ මං කියන  එක විතරයි."
"ගමේ කෙනෙක් හරි පොලිසියෙන් හරි හමුදාවෙන් හරි කොයි වෙලේ එයිද කියල හිත හිතා ගිනි ගහන අව්වේ, ගස් හෙවනේ, වල ගොල්ලේදී කාම ගින්න නිවා ගත්ත."

මේ ගැහැණියම නිමල් හමුදාවේ අත් අඩංගුවෙන් බේරා ගන්නය  තම පතිවත යුධ හමුදා ප්‍රධානියාට දන්දෙයි. කුමාරි නම් දියණිය ඇගේ කයට පිවිසෙන්නේ ඒ හේතුවෙනි.

තමන් සමග එකට අත් අඩංගුවේ සිටි පක්ෂයේ සහෝදරයෙකුගෙන් ඒ අමිහිරි රහස, එනම් කුමාරිගේ පියා තමන් නොවන වග නිමල් දැනගනී. ඉන්පසු ඔහුගේ හැසිරීම තවත් ශෝචනීය  සිද්ධි දාමයක මුල වෙයි.

කුමාරි තම දියණිය සල්ලාලයෙකුගෙන් බේරා  ගන්නට කරන සටනත් ඉන් පැරදී පලා යන අයුරුත් පාඨකයා දැන  ගන්නේ ක්‍රීඩා ගුරුවරයා ගෙනි. කුමාරිගේ ගනුදෙනු කරුවකු වන ඔහු ගැන අපට සානුකම්පිතව හිතෙන්නේ කතාවේ මේ කොටසිනි.

මේ කතාවේ කුමාරි හා කුමාරිගේ දියණිය ගැන මම කිසිවක් නොලියමි. එය කියවිය යුත්තේ ඔබය. මෙය සත්‍ය කතාවක් නම් අප ජිවත්වන සමාජය කෙරෙහි කිසියම් වෛරයක්, අසහනයක්, නොපහන් හැඟීමක්  සිත තුල ජනිතවනු ඇත. කෙටිකතා කිහිපය අවසානයේ මේ සිද්ධීන් මාලාවේ අවසන් ප්‍රතිපලය  පව්කාර කුමාරි යයි තමන් ව හඳුන්වා ගන්නා කතගේ අවසන් ලියුමෙන් කියැවෙයි.

"මට සන්තෝසෙන් යන්න පුළුවන්, දෝණිට අම්මට වැඩිය හොඳ රත්තරන් පුංචි අම්මෙක් හම්බ වුන හින්ද. නෑදෑයෙක් නොහිටපු දෝණිට හොඳ ආච්චියෙක් සීයෙක් හම්බ වුණ හින්ද."

හිතුවක්කාරිගේ උණුසුම්  හදවත අපට ඉතිරි කරමින් කතුවරයා සමු ගනියි.

මේ ලියමන මෙතැනින් අවසන් කරන්නට සිතුවත් ලැබුණු ප්‍රතිචාරයක් නිසා මේ අදහස් සමුච්ඡය ද  එක් කරමි.

මේ පොත එතරම් ජනප්‍රිය නොවුණු බව ප්‍රතිචාරයක් මගින් කියැවුණි. මෙය යථාර්ථවාදී  රීතියට අනුව ලියන ලද්දක්ද? විජිත ගුණරත්නගේ වලාපටල චිත්‍රපටයේ එකිනෙකට සම්බන්ධ යයි කිව නොහැකි සිද්ධීන්  මාලාවක්  විකාශනය වේ. අවසානයේදී අපට ඒවා එකිනෙකට ඇමිණිය හැකිය. මේ ග්‍රන්ථයේ  හැම කථා නායකයෙකුගේම කතාව අවසානයේ ඒවා ඇමිණිය හැකිය.  අනික මේ  යථාර්තයට මුහුණ දීමට සමාජය අපොහොසත්ය.

ශාන්ති ගැන යමක් එකතු කල යුතු යයි නැවත  සිතුනි. ශාන්ති යනු සුන්දර සුකුමාල රුවැති ඔබේ සාමාන්‍යකරණය  කරනල ද සිංහල ගැමි යුවතියක් නොවේ.  ඇය ඉංග්‍රීසි ගුරුවරියක් සේම බොහෝ විට විරුද්ධ ලිංගික ඇසුර නොපතන, එනිසාම හෝ සමාජයෙන් කිසියම් විනිශ්චයකට ලක්වුණු රූමත් තරුණියක බවත් අසාධාරණයකට භාජනය වූ දියණියක් ලෙසත් මට හැඟේ.

දීප්ති කුමාර ගුණරත්න ගේ "ඇසිඩ් වැස්ස" පොතේ මිචෙල් ෆුකෝ ට අනුව ජීවිතය යනු ප්‍රතිනිර්මාණය කළ හැකි කලා කෘතියක් යයි කියවේ.  මේ පොතේ ඇත්තේද ජීවිතය පිළිබඳ එවන් ප්‍රති නිර්මාණයකි.

පොත කියවා  අවසන් වනවිට පොතෙහි ඇතැම් පාත්‍ර වර්ගයා ගැන ඇතිවන හැඟීම කුමක්ද? නැවතත් මා "ඇසිඩ් වැස්ස" තුලින් සටහනක් ණයට ගනිමි. (පිටුව 37)

"මොලීනා විසින්  වැලන්ටයින්ට කියන  චිත්‍රපට කතා සරිත් සාගරය තුළ එක්තරා දර්ශනයක් සුවිශේෂ කොට සැළකිය හැකිය. කතාවට අනුව ස්ථානය වන්නේ ජර්මානුවන් යටත් කරගත් ප්‍රංශයේ පැරිස් නුවරයි. දිනක් ගෙස්ටාපෝ හමුදාවේ නායකයෙක් විවේකයෙන් සිටින මොහොතක තමන් ගේ ප්‍රංශ ජාතික  සුරතලියට මෙසේ පවසයි. 'අපිට මේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතාම භයානක අපරාධ සමුහයක්. සමහර විට ඔබ පවා මෙයින් තැති ගැන් වී සිටිනවා ඇති. නමුත් අපිව වටහා ගන්න! මේ භයානක ක්‍රියාවන්ට යටින් පිරිසිදු අධ්‍යාත්මයක් සහිත හොඳ අවංක අව්‍යාජ මිනිසෙක් ජිවත් වෙනවා. එයාව හඳුනා ගන්න.!"

සමහර විට මේ පොතේ සිදුවීම් තුල අපට හමුවන සමාජය ගැන කියන්නට ඇත්තේද එයයි.

පසු කතාවක්:


පොතක් කියවූ පසු එය සිත් ගත්තේ නම් පෙරවදන පසුවදන ආදිය කියවීම මගේ සිරිතකි.ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවියන් විසින් අපූරු පසු වදනක් එක කර තිබිණි. කතා කිහිපයක් චරිතයන් තුලින්  ලියැවුණු  අපුරු ආකාරය ගැන ඔහුද සඳහනක්  කර තිබිණි. පොත 2014 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ  විශිෂ්ටතම නවකතාව ලෙස සම්මාන ලබා තිබුණි.

මෙනිසාම දෝ පොත කියැවීමේදී කියැවෙන්නේ  ඌවේ පාසලක් විය හැකියි සිතුනි. ඌවේ ලුණුගල පාසලක් ගැන මෙහි ලියා ඇත. මා  විශ්මයට පත්වූයේ කතුවරයාගේ ලිපිනය දැකීමෙනි.  එම ලිපිනයත් මා මේ බ්ලොග් ලිපියේ සඳහන් කරන නිවසත් එකක්දැයි සිතුනු බැවිනි.  මම පොතේ තුබුණු දුරකථන අංකයට ඇමතුමක් දුනිමි.
එච් බී ගුණරත්න  මහතා ජිවත් වන්නේ එම නිවසේමය. ඉන්පසු මම ඒ නිවසේ සිටි අනිකුත් අක්කලා, අයියලා  හා මගේ සම වයසේ යහළුවාගේ නම් කීවෙමි. ඔහු ඒවා සනාථ කලේ වසර 32කට පසුත් මට ඒවා මතක තිබීම ගැන විශ්මය පළ කරමිනි.
හදිසියේම මේ ගුණරත්න යනු කවුද යන්න මට පසක් විය.

වරක් තවත් යහළුවෙකු සමග ලුණුගල කඩ විදියේ ඇවිදමින් ගියෙමි. මේ වසර 1974 විය යුතුය. මා  හතරේ පංතියේය. මේ රැවුල වවාගත් ගුණරත්න අයියා අප ඉදිරියෙන් ගියෙයේ. ඔහු පෙන්වමින් මගේ යහළුවාට මා ඔහු ගැන කිසියම් පෞද්ගලිකවූ දෙයක් කීවෙමි.  ඔහුට එය ඇසී මගේ දෙමාපියන්ට කියා තිබුණි. වැඩිහිටි කතා කියන්න එපා යයි මගේ පියා  තරවටුවක් ද කළේය.

ගුණරත්න අයියලාගේ නිවසේ නවයුගය පත්තරය මෙන්ම තවත් බොහෝ පුවත් පත් සඟරා තිබුණි. මා ඒවා කියැවූයේ මහත් අභිරුචියෙනි.

ඔහුගේ නවකතාවක්  කියවීමට ලැබීම භාග්‍යයකි.

මූලාශ්‍ර :
https://en.wikipedia.org/wiki/Short_story_cycle
https://en.wikipedia.org/wiki/Story_within_a_story

Friday, 6 January 2017

සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්

විතානගේ ගේ පියා 

පසුගිය ලිපියේ සඳහන් චන්ද්‍රජිත් විතානගේ සහෝ ගැනද  යමක් ලිවිය යුතුය.  නව සම සමාජ පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු 1984 සෝවියට් දේශයට ආ කණ්ඩායමේ විය. ඔහු පැමිණියේ මා දන්නා පරිදි මිත්‍රත්ව සංගමය හරහාය.  ඔහු උගත්තේ දනියෙත්ස්ක්  නගරයේය.

ඔහුගේ පියා හොරණ විදුහලක විදුහල්පතිවරයකුව සිටි වාමාංශික දේශපාලනය කල අයෙකි.  වසර 1980 දී කල වැඩ වර්ජනයේ දී රැකියාව අහිමි විය. 1988 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යයි සැලකෙන දෙදෙනෙක් ඔහුට වෙඩි තබා මරා  දමන ලදී. ඔහුගේ මිනිය  දණිහින්  පහලට පමණක් ඔසවා ගෙන යා යුතුයි නීතියක් ද පැනවිණි.  විතානගේ ගුරුතුමා වනාහි නිර්භීත ශ්‍රේෂ්ඨ වාමාංශික ක්‍රියාධරයෙකි.

පියාගේඅවමඟුල් උළෙලට සහභාගී වීමට යන  විතානගේ සමග සෝවියට් දේශයේ මොස්කව් හි ශේරෙමිතෝවා ගුවන් තොටට ගිය අය අතර මමද වීමි. අවමඟුලෙන් පසුව නැවත රුසියාවට  පැමිණි විතානගේ මට කිවූ කරුණක් වන්නේ ඔවුන් දේ.ජ.ව්‍ය. අණ නොතකා පියාගේ දෙන කර මතින් තබා ගෙන ගිය බවයි. එසේම ඒ කාලයේ දී එම තරුණයන්ට විරුද්ධව රජය දුන් අවි ආයුධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කල නියම මානවවාදියකු වන වික්‍රමබහු කරුණාරත්න මහතාට ද මගේ ප්‍රසාදය හිමිවේ.
 01. මීගමු වෙරළේදී 1989 අගෝස්තු පුළුස්සා ඝාතනය කර තිබූ සරසවි සිසුවෙක්, 02. ආරක්ෂක අංශ මගින් දකුණේදී ඝාතනය කරන ලද සරසවි සිසුන් සහ තරුණයින් පිරිසක්, 03. ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූවේයැයි චෝදනා කොට ජවිපෙ කැරළිකරුවන් විසින් හක්මනදී සිව්දරු මවක් ඝාතනයකර ගසක බැද දමා තිබූ අන්දම, 04. ජවිපෙ කැරළිකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලද බස්රථ කිහිපයක්. උපුටා ගත්තේ ධර්මන් වික්‍රමරත්න මහතාගේ ලිපියකිනි.

සෝවියට් දේශය ගැන යම් ප්‍රකාශයක් කළොත් "මං පොර" ලා හැටියට අපව සලකන පොල්කට්ටක් ඇතුලේ සිරවී සිටින ජවිපෙට  හිතවත් වජිර යාපා වැන්නවුන් මේවාට කියන්නේ මොනවාද යන්න ගැන දැන  ගැනීමට කැමැත්තෙමි. (මෙහිදී මවිසින් එවකට පැවති යුඑන්පී රජය මගින්  වධ බන්ධන පමුණුවා තරුණයන් මරා  දැමීම සාධාරණය කිරීමක් නොකෙරේ. අනුර කුමාර දිසානායක මහතා තම ශෝකය හා කම්පනය ඒ පිළිබඳව  ප්‍රකාශ කළ බව දනිමි. සමාව ඉල්ලනවාට වඩා කල යුතුව තිබුනේ පක්ෂය තුල ඒ ගැන අවංක සාකච්ඡාවක් ගෙන යාමය.  බාගෙට දන්නා යාපලා බිහිවන්නේ එසේ නොකළ බැවිනි.)  අවම වශයෙන් ජවිපෙ දේශපාලනය සහ සෝවියට් දේශපාලනය එකක් නොව දෙකක් බවත් විජේවීර මහතා සෝවියට් දේශය ධනවාදයට පා නගතියි කියා  එය හෙළා  දුටු බවත් ඔවුහු නොදනිති.

සෝවියට් ශිෂ්‍යත්ව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය 

පසුගිය අවුරුද්දේ මාර්තු මස මගේ "පොල්කට්ටෙන් එපිටට " පොත එලි දැක්වීමේදී මම කිසියම් කරුණක් සඳහන් කලෙමි. ඒ සෝවියට් ශිෂ්‍යත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට  රටකින් එම සංවිධානයට ගෙවිය  යුතු වූ සාමාජික මුදල්  හා බැඳී තිබුණු බවයි.

මා එය දැන ගත්තේ කෙසේද යන්න මෙහි පැහැදිලි කරමි.
මොස්කව් බලශක්තිය පිලිබඳ
 තාක්ෂණික විශ්ව විද්‍යාලය (පින්තුරය මගේය) 

කොළඹ  රාජකීය විදුහලේ උගත් සිසුවෙක් විදුලි ඉංජිනේරුවකු වීමට ට මා උගත් මොස්කව් බලශක්තිය පිලිබඳ තාක්ෂණික  විශ්ව විද්‍යාලයට පැමිණියේය. මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හා බැඳී තිබුණකි.   රාජකීය විදුහලේ සිටි කල නිතර දබර වලට පැටලී සිටි අයෙකු ලෙස මම ඔහු ගැන දැන  සිටියෙමි. ඔහු මගේ වසරේ  අයෙක් වුවත් රුසියාවට පැමිණියේ තෙවන වරත් උසස් පෙළ විභාගයට පෙනී සිටිය. එවිට මම තෙවන වසරේ උගනිමින් සිටියෙමි. සමස්ත සෝවියට් ශ්‍රී ලංකා  ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ලෙස කටයුතු කලේද මේ අවධියේ බව මට මතකය. (මේ සිද්ධිය මිට පසුව වූවාද විය හැකිය.) එසේම මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා සිසුන් සංගමයේ ද ලේකම් වී සිටියෙමි. (සෝවියට් ක්‍රමයට අනුව සංගමයක බලවත් පුද්ගලයා ලේකම්ය. සභාපති පත් කරන්නේ දවසකට පමණි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මෙනි).

ඔහු විදුහලේදී මෙන් නොව විශ්ව විද්‍යාලයේදී හොඳ තැනැත්තෙකු විය. මම ඔහු රැගෙන මගේ රුසියන් මිතුරු මිතුරියන් ගේ නිවෙස් වල පවා ගියෙමි. වරක් මට බීමත් රුසියන් ජාතිකයෙකු පහර දීමට එද්දී ඔහු වහා ඉදිරියට පැන මා බේරා ගත්තේය. ඔහුට කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණි.  මෙය මානසික රෝගයක් දක්වා පසුව උත්සන්න වී විශ්ව විද්‍යාලයෙන් මානසික රෝහලක නතර කර ප්‍රතිකාර  (විදුලිය ඇල්ලීම වැනි) කරන ලදී. නමුත් පසුව සිදුවූ කිසියම් සිද්ධියකි මාලාවකින් පසුව ඔහු ගේ ශිෂ්‍ය භාවය තහනම් කර ඔහුට ශ්‍රී ලංකාවට නැවත යාමට අණ කෙරුණි.

මුලදී ඔහු එය නවත්වා ගැනීමට ඔහු හොඳින් හඳුනන විදේශික ශිෂ්‍යයන් සඳහා වන පීඨාධිපතිවරිය වන දෙනිසෝවා සමග තැත් කලමුත් එසේ කළ නොහැකි විය. ඉන්පසු මා කරා පැමිණි මුත් මුලදී මට එය කල නොහැකි යයි කීවෙමි. පසුව  ඔහු ශ්‍රී ලංකා කොපයට සම්බන්ධ සිසුන්ද පසුව හමුවී තිබුණි. පසන් කොඩිකාර, මහින්ද, රෝහණ ලක්ෂමන්, ටියුඩර් ද මේ පිරිස අතර වී යයි ඔහු කීවේය. ඔවුන් ඔහුට කියා තිබුනේ කෙසේ හෝ අජිත්ටම කරදර කර නැවත ශිෂ්‍ය භාවය පිහිටුවා ගන්නා ලෙසයි.   මේ නිසා ඔහු මගේ කාමරයටම වී කරදර කරන්නට විය. පසුව මා වී.වී. දේශන වල සිටියදී එහිද පැමිණ ඉවතට කැඳවා ගෙන පැය ගණන් කතා කරමින් තම දුක් ගැනවිල්ල කියන්නට විය.

අන්තිමේදී මා  කලේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්මාකොව් නමැති නිලධාරියා හමුවීමයි. ඒ නිලධරයා ලඟට යනවිට රොත්මන්, මාල්බරෝ වැනි සිගරට් 20-30 පෙට්ටියක්, හොඳ විස්කි හෝ වෙනත් විදේශික මත්පැන් බෝතලයක් වැනි දේ රැගෙන යා යුතුය. නැත්නම් පැත්ත බලන්නේ නැත. අර සිසුවාට මුදල් නැති හෙයින් මගේ වියදමින් එයද රැගෙන ගියෙමි. වැඩේ බලන්නම් කී  ශ්මාකොව් සතියකට පසු මා ගියවිට සිසුවාගේ ශිෂ්‍ය භාවය නැවත පිහිටවීම කළ නොහැකි බවයි. අපේ විශ්වවිද්‍යාලයටම යන ලෙස ඔහු මට දැන්වීය.

අපේ විශ්වවිද්‍යාලයට මොස්කව් වල තද පිළිගැනීමක් තිබුණු එකකි. එහි කොමියුනිස්ට් පක්ෂ බලධරයන් තරමක ස්වාධීනත්වයක් භුක්ති වින්දේය. මේ නිසා මා  කළේ විදේශික සිසුන් පිලිබඳ උප කුලපති හමුවීමට යාමයි. මේ උපකුලපති කේජිබී එක සමග කෙලින්ම සම්බන්ධකම් ඇති තැනැත්තා ලෙස හැමෝම දැන සිටියහ.   විදේශික ශිෂ්‍යයන්ගේ තොරතුරු සෙවීම ඔහුගේ එක කාර්යයයක් විය.

ඔහු මට පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට යන ලෙසයි.යුනෙස්කෝව පිහිටා  තිබුනේ පාර්ක් කුල්තුරි යන ස්ථානයේය. UNDP එක තවත්  කොහෙද තැනකය. යූඑන් එකට යන්නේ කුමට ද යන්න මට මහා විමතියක් විය.  එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක්  බවත්ය. එනිසා අවසන් කර යන සිසුන්, අස්වෙන සිසුන් ආදීන් ගේ සමස්ත සංඛ්‍යාව  ගැන රුසියන් අධ්‍යාපන අමාත්‍යංශය, ඔවුන්ටත් අදාළ රටේ තානාපති කාර්යාලයටත් දන්වන බවය. මේ අනුව සිසුවකු ගේ සුභ සාධනය ගැන අදාළ රටේ තානාපති කාර්යාලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ද  වගකීමක් තිබෙන බව ඔහු කීවේය. ලංකාවේ  තානාපති කාර්යාලයට ගොස්  වැඩක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නෙමි.

ඔහු කී කතාව  මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත. දැන් NGO ගැන කියන්නාක් මෙන් එක්සත් ජාතීන්ගේ  සංවිධානය යනු ඇමෙරිකන් හොරණෑවක් යයි පතුරු ගැසීම ප්‍රව්දා වැනි පුවත්පත් මගින් කරන ලදී.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එදා මෙන්ම අදද වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ එක්සත් ජනපදයයි. එ.ජා. සංවිධානයේ නිලධරයන් මුදල් නාස්ති කරතියි යන්නද නිතර නැගුනු චෝදනාවක් විය.

දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ තෙල් විකිණීමෙන් හා අමුද්‍රව්‍ය, දියමන්ති ආදිය විකිණීමෙන් පමණි. රටට අවශ්‍ය  දේ මිලදී ගන්නට මිස  වෙනත් දෙයට එම මුදල් යෙදවීමට ඔවුහු  කැමති නොවූහ.

මේ නිසා සංවර්ධනය  වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන  අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ.

මින් සෝවියට් ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන නොගත්තේ යයි කියන අදහස මතුවන්නේ නැත. මොන මුදල ගෙව්වත් ඒවායේ  සෝවියට් ජනතාවගේ දහදිය හා කඳුළු ගැබ්ව තිබේ.  එනිසා එසේ සිසුන් යැවු රටවල් මෙන්ම උගත්  සිසුන්ද සෝවියට් ජනතාවගේ කැප කිරීම නිදහස් අධ්‍යාපනය ලබාදීම ගැන ස්තුතිවන්ත විය යුතුය.

නමුත් මෙයත් සෝවියට් දේශපාලන ක්‍රමය ගැන කතා කිරීමත්  සමග පටලවා  ගත යුතු නැත.

කෙසේ හෝ කිසිවෙක් මේ ගැන දැන  සිටියේ නැති අතර අර සිසුවාගේ ප්‍රශ්නයේ සංවේදී බව නිසා මට මෙය කා හටවත් කිව නොහැකි විය.  ඔය කියන ස්ථාන ගැන සොයා ගැනීමට නොහැකි නිසා මම කේජිබි උප කුලපති හමුවීමට නැවත ගියෙමි. "ඔහේ කරදරයක් වුනානේ " යයි මැසිවිලි කී  ඔහු ෆයිල් එකක් දෙකානාත් නමැති සිසුන් පිලිබඳ කාර්යාලයෙන් ගෙන්වා ගති.

එහි විශ්ව විද්‍යාලයේ උගන්නා  සියලු ලාංකික සිසුන් ගේ නම් තිබු අතර නාමාවලිය බලමින් "ගොස්‌ - ගොස්" යයි කියාගෙන ගොස් අර කි සිසුවාගේ නම ඉදිරියේ  නතරවුනේය. ඔහු "ගොස්" යනුවෙන් කිවේ රුසියානු භාෂාවෙන් ගසුදාර්ස්ත්වා හෙවත් රජය  යන්න මට වැටහුණි. ඒ කියන්නේ රජය හරහා පැමිණි යන්න බවය. ඉන්පසු ඔහු කීවේ අස් කල සිසුවා පැමිණ  ඇත්තේ මිත්‍ර සංගමයෙන් බවය. (එහි නිත්‍යානුකූල නම  වොක්ස් හෙවත්  විදේශීය සංස්කෘතික සම්බන්ධකම් සඳහා වන සමස්ත සෝවියට් සංගමයයි)  තමන් මට වැරදි උපදෙසක් දුන් බව කී ඔහු සිසුවා  ගේ අස්කිරීම අවලංගු කර ගැනීමට මිත්‍ර සංගම් කාර්යාලයට යන ලෙස කිවේය. මේ නිලධාරියා බොරුවක් කර මා කඩේ යැව්වාදැයි කුකුසක් මගේ සිතේ පහල විය. ඉහත  කි සංස්කෘතික සංගමයට සංස්කෘතික මන්දිර පවත්වා ගෙන යාමට හා අවුරුද පතා විශාල මුදලක් සෝවියට් සංගමය විසින් වෙන් කරන ලදී. ශිෂ්‍යත්ව සුළු සංඛ්‍යාවක් දීමද එයට අයත්ව තිබුණි.

මා කලේ මේ බව වටින් ගොඩින් තහවුරු කරගෙන අර සිසුවා ගෙන්ද ඇසීමයි. මුලින් එය ප්‍රතික්ෂේප කල ඔහු පසුව එය සත්‍යයක්  බව පිළිගත්තේය. ඔහුගේ පියා  වාමාංශික වෘත්තීය සමිතියක සිටි නයුවෙකි. මේ නිසා මා කළේ මිත්‍ර සංගම් කාර්යාලයට යෑමයි. එහි සිසුන් බාරව සිටියේ ඉතා තඩි , මහත, නෙරා ඇති  බඩක් සහිත පුද්ගලයෙකි. ඔහු දුටු විගස මට මතකයට නැගුනේ  අර ඕර්වෙල් ගේ "සත්ව ගොවිපල" පොතේ ඌරන් සමූහයය. ඔහු මට පෙනෙන්නට මෙන් විදේශික හවානා වැනි සිගාර් එකක් උරමින් පැමිණියේය. මා  ඔහුට අල්ලස පිණිස කිසිවක් රැගෙන ගියේ නැති එකට අමනාපයෙන් මෙන් කතා කල ඔහු සිසුවාගේ විස්තර උඩින් පල්ලෙන් බලා  "මෙයී" (මෙය අපේ විශ්ව විද්‍යාලයට කියන කෙටි නමයි) එකේ වැඩට ඇඟිලි ගහන්නට බැහැ යයි කීවේය. ඉන්පසු ආ  ලෙසින්ම අහංකාර ලෙස ඇතුලට ගියේය.

මම ඉන්පසු නිහඬව  සිටියෙමි. අර සිසුවාද  ශ්‍රී ලංකාවට යැවුනි. ඔහු  ගියේ මා ඔහු වෙනුවෙන් කටයුතු නොකළැයි මා  සමග තබාගත් වෛරයකින් යුක්තව යයි ඔහුගේ යහළුවෙකු පසුව කීවේය.  මට කළ හැකි දෙයක් තිබුනේ නැත. අර කේජිබි උප කුලපතිට එය නැවැත්විය හැකිව තිබුනත් එය නොකළ ඔහු ඔහු මට පසුව කී පරිදි "සිසුවා " සුව කල නොහැකි අයෙකි. අද වෙන තුරුත් මා මෙය කිසිවකුට කීවේද නැත.

මගේ පොත එළි දක්වන දිනයේ මා සරදමකට මෙන් පැවසුවේ විජේවීර මහතා මේ බව දැන  සිටියානම් ශ්‍රී ලංකාවේ  එක්සත් ජාතීන් ගේ  කාර්යාලයට ගොස් පැමිණිලි කර තමන් ගේ වීසා අවලංගුව සාදා ගැනීමට තිබු බවයි. එසේ නම් සමහර විට ලංකාවේ ඉතිහාසයද වෙනස් වන්නට තිබූ  බවයි. ඇත්ත වශයෙන්ම විජේවීර මහතා  ගියේ කොපය හරහා නම් ඔහු මිත්‍ර සංගම් ආධාර යටතේ ගිය අයෙකු වන්නටද ඉඩ තිබිණි.

මා පසුව මේ ගැන විස්තර සෙවූ මුත් මේ කතාව සනාථ කරන කිසිදු රාජ්‍ය ලේඛනයක් මා සතුව නැති බවද කිව යුතුය. නමුත් ඉන්පසු මට හමුවූ සෝවියට් දේශයේ ගුරු භවතුන් කිහිප දෙනෙකුම මේ කතාව සනාථ කළහ.

ශ්‍රී ලංකාවේ ඇති අධ්‍යයන පොදු සහතික පෙළ උසස් පෙළ විභාගය යනු බොහෝ විට කට පාඩම් කර මෙන්ම ගණිත ගැටළු විසඳීම් ආදිය මතකයේ තබාගෙන පිළිතුරු දිය යුතු විභාගයකි. එය සමත් වන අය අනිවාර්යයෙන්ම දක්ෂය. නමුත් මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට ඔන්න මෙන්න තියා අඩු ලකුණු ගත් ඕනෑම අයෙකු ඉන් ජිවිතයේ අනිත් කටයුතු වලදී අදක්ෂයෙකු වේ යයි ඉන් කියවෙන්නේද  නැත.  එසේම වෙනත් විභාග පසු කලෙක සමත් නොවන්නේ යයිද කිව නොහැක.

එසේම එම විභාගය අසමත් හා ඉතා අඩු ලකුණු ගත් අය අදක්ෂයන් යයි ඉන් කියවෙන්නේද නැත. රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයෙකු පසු කලෙක එංගලන්තයේ අපොස උසස් පෙළ සමත්ව වෛද්‍යවරයෙකු වුනු බව මම දනිමි.  එනිසා කිසිවකු කොහෙන්ද ආවේද උසස් පෙළ සමත්ද යන ප්‍රශ්නය මා කිසි දිනක කාගෙන් වත් ඇසුවේ නැත. ඊට වඩා වැදගත් වන්නේ පිටරට සිටින අප සැවොම  සමග ගොඩ නගා ගන්නා යහපත් මානුෂික සම්බන්ධතාවයයි. මට නොයෙක් රටවලින් ඉතා හොඳ මිතුරු මිතුරියන් රැසක්  සිටි අතර සෝවියට් දේශයේ ඒ ගත කල කාලය ගැන අදත් ඉතා හෘදයන්ගමව සතුටින් සිහි කරමි.

මූලාශ්‍ර :
1. මේ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ සඳහන් වන්නේ සෝවියට් සංගමය ඩොලර් මිලියන් 197 පමන  එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව තිබුණු බවයි.

2. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රටවලින් ගෙවන මුදල්  (දැන්)
3. ඉහත පින්තුරය උපුටා ගත්තේ ලන්කාවෙබ් අඩවියට ධර්මන් වික්‍රමරත්න  මහතා ලියු ලිපියකිනි. 

Thursday, 5 January 2017

වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි

වජිර යාපා නමැති ජවිපෙට හිතවත් සහෝදරයෙකු දැන  හෝ නොදැන කොමෙන්ටුවකින් මට මඩ පහරක් ගසා  තිබුණි. ඒ දැක තවත් "මං තුමෙකුට" හා ඇනෝ කෙනෙකුට  ජොලියක් පහළවී තිබේ. "මං තුමාගේ" ජොලිය කඩන එක පවක් වුනත් පිළිතුරක් දීම යුතුකමක් යයි සිතමි.

("මං තුමා ලා " - යනු තමන්ට තුමා කියා ගන්නා හීනමානයෙන් පෙළෙන්නන්  රැසකි. මොවුන් බොහෝවිට තම තමන්ම  මංතුමා ඔබතුමා  යනුවෙන් පිට කසා  ගනිති. වෙන කවුරුත් නොකියන නිසා විය යුතුය. )

මා බුකියට දැම්මේ මේ කොමෙන්ටුවයි.

//සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත වී හිටිය. හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපාලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. // Ajith Dharma
වජිර යාපා ගේ පිළිතුර: මෙයත් වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි කරන්නේ .යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි

මුලින්ම මම ලියුවේ මොකක්ද කියල පැහැදිලි කරන්නම්.

///සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත්  වී හිටිය.// සත්‍යවාදියෙකුගේ දිනපොත ලිව්වේ පහු කාලෙක වගෙයි මට මතක. මම ඒකට  හුඟක් කැමැත්තෙන් හිටි කාලයක් තිබුන. හැබැයි ඔහු ටිකක් හැඟීම්බරයි කියලත් හිතිච්ච වාර අනන්තයි. "දිවයිනේ" ඔහු ගේ පිටුව ටත් මම කැමතියි. හැම දෙයක්ම කියවනවා. දවසක් ඔහු කැමරාවක් නැතිය කියලත්,  තියනවා නම් හොඳ පින්තුර ටිකක් දාන්න පුළුවන් කියලත් ලිව්වා. මම මගේ ඒ දිනවල තිබ්බ සෙනිත් කැමරාවත් අරන් ඒක  දෙන්න ගියා  මම හිතන්නේ  බ්ලූමැන්ඩල්  පාරේ කාර්යාලයට. එතන හිටි කවුරු හරි ඕනෑවට එපාවට වගේ කතා කලේ. එයා හිටියේ  නැහැ කීව. මම ආපහු  හැරිලා ආව. තවම දුකයි ඒ ගැන. හැබැයි මම අද මළකඳක් වගෙයි කියල ලීවේ, එයා ගැන බුකියේ මහා වාදයක්  ගියා මොකක්ද සමරුවක් ගැන. අපි දන්නා කතුවරයෙක් හා බ්ලොග් කරුවෙක් වුන හෙන්රි වර්ණකුලසූරිය මහතාත්  පැටලිලා හිටිය.  ඉතින් මට හිතුන මේ මනුස්සය දැන් මැරිලා වගේ ඉන්නේ කියල. අර ජීවය මුකුත් නැහැ. පහු කලෙක පොඩ්ඩක් ජාතිවාදය  පැත්තටත් ඇදිල හිටිය කියල සමහරු කියනවා. මට ඇත්තටම ආපු හැඟීම ඒක.

// හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි//

මා අපොස උසස් පෙළ පළමු වරට කළේ 1983 දී  රාජකීය විදුහලේ 12MS1 පංතියේය. මා කලේ ගණිත විෂයන්ය.  මට මොරටුවට යාමට ලකුණු මදිවුනි. මේ නිසා නැවත දෙවන වර කරන ලෙස ගෙදරින් හා යහළුවන් ගෙන් බලපෑම් තිබුණි. නමුත් මම ඒ දිනවල දේශපාලනයට ආශා කලෙමි. මුලින්ම "මව්බිම සුරකිමු" කියා සිරිල් මැතිව් මහතා  සම්බන්ධ දෙමළු හෙළා  දැකීමේ ව්‍යපාරයකටත් පසුව ජවිපෙ හිතවාදී ව්‍යාපාරයකටත්  සහයෝගය දුනිමි.  රාත්‍රී කාලයේ ජවිපෙ පෝස්ටර්  වගයක්ද ඇලෙව්වා  මතකය. බොහෝ රුසියානු පොත්පත් හා සෝවියට් පොත් ද කියෙව්වෙමි. මා  කුඩා කාලයේ සෝවියට් ළමා පොත් බොහොමයක් තාත්තා අපට කියවීමට ගෙනත් දුනි. නන්දා  මාලිණි ගේ ජාතිවාදී ගීත ගැන සුචරිත ගම්ලත් මහතාගේ ලිපියක් කියෙව්වේද මේ කාලයේය. ඉන්පසු ඔහුගේ දේශනා අසන්නට ගියෙමි. 

අපගේ යහළුවා  වන නන්දන වීරරත්න සහෝදරයා මහජන පුස්තකාලයේ සංවිධානය කල" නිර්මාණ සංවාද කුලකයේ" චිත්‍රපට විචාර වලටද සහභාගී වුනෙමි.  දවසක මැයි පළවෙනිදා ජවිපෙ පෙළපාලිය නරඹමින් සිටියදී තාත්තාට මා හසුවිය. ඔහුගේ ප්‍රධානියෙකුට ආයාචනය කර එර්නස්ට් ඇන්ඩ්  යන්ග් සමාගමේ ප්‍රධානියකු හමුවීමට පියා මා රැගෙන ගියේය. ඔහු මට බ්‍රිස්ටල් විදියේ ගොඩ නැගිල්ලක පවත්වන එම ආයතනයට ගණකාධිවරුන් ගන්නා  විභාගයට පෙනී සිටීමට නියම කළේය. මම එය සමත් වීමි.  

අපොස උසස් පෙළ ප්‍රතිපල වලින් මොරටු යාමට මදි වුනත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව කිරීමට  අවස්‌ථාව ලැබුණි. ඒ අතරේ  මොරටුවේ  තාක්ෂණ විද්‍යා පාඨමාලාවටද (NDT) තේරුණි. 

මම නිතරම සෝවියට් සංස්කෘතික මන්දිරයේ  නොමිලේ පෙන්වන චිත්‍රපට  නැරඹීමට පුරුදුව සිටියෙමි.  නව සම සමාජ පක්ෂයේ "කම්කරු විත්ති" නිති පතා  කියවූ නිසා එහි සාමාජිකයෙකු වන චන්ද්‍රජිත් විතානගේ මා  සමග මිතුරු වුනි.  අප දෙදෙනා බොහෝ විට සෝවියට් සංස්කෘතික මන්දිරයේ චෙස් ඇදීමටත් රුසියානු පරිවර්තන පොත් රැගෙන ඒමටත් ගියෙමු. ඇමෙරිකානු සෙන්ටර් එකට වරක් දෙවරක් ගියමුත් එය මගේ හිතට ඇල්ලුවේ නැත. එහි සිටි ඔලුව උදුම්මා ගත්  "මන්තුමා" වැනි විසුළු කොල්ලෙකු නිසා බව නම් මතකය. 

සෝවියට් සංස්කෘතික මන්දිරයේද මෙවැනිම පිරිසක් සිටි අතර ඔවුන් අපට අකමැති බවත් වෙනත් අය එහි එනවාට  අකුල් හෙලන බවත් මට වැටහුණි. හේතුව සොයා ගත්තේ චන්දනය. ඔහු කිවේ මේ අය සෝවියට් ශිෂ්‍යත්ව බලා පොරොත්තුවෙන් එහි සිටින බවයි. අලුතින් අය එනවාට එතන කිසියම් ඉරිසියාවක් තිබුණි. මා  සෝවියට් ශිෂ්‍යත්ව ගැන දැන  ගත්තේ එදාය. වැඩිදුර විපරම් කිරීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් ඒවා ගැසට් කරන බව දැන  ගතිමි. පත්‍රයේ පලවූ පසු අයදුම් කළෙමි. කිසියම් හේතුවකට මමද සිලෙක්ට් වී තිබුණි.

දැන් ප්‍රශ්නය වුනේ තෝරා  ගන්නේ කුමක්ද යන්නය. අර ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානී මහතා කිවේ මට තිබෙන්නේ සෑම දිනකම වරුවක් ඉගෙන ගැනීමත් වරුවක් වැඩ කිරීමත්  බවය. මට රුපියල් 350 පඩියක් ද  ලැබේ, අවුරුදු තුනක ඉගෙනිමකින් පසු රුපියල් 15000 මාසික පඩියක් සමග රැකියාව ලැබෙන අතර සමහර විට රථයක්ද ලැබෙනු ඇතැයි කිවේය. (එය ඒ දවස් වල හොඳ පඩියකි)  මගේ ලකුණු  ඉතා හොඳ බවද තවත්  රාජකීයයන් එහි සිටින බවද කීවේය. මා  එයට නොගියේ අරුම පුදුම හේතුවකටය. එනම් එහි ටයි දමා ගෙන වැඩ කිරිල්ල මට ඇල්ලුවේ නැත.

ඉන්පසු යන්නේ කොහිද කියා කොලයක එක එක ඔප්ශන් එකේ  වාසි අවාසි   ලියුවෙමි. මා දන්නා පරිදි මගේ සහෝදරිය මේ කොලය සුරක්ෂිතව තබා ගෙන තිබේ. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි පෙළක් දිවයින පුවත් පතේ ගියේ මේ කාලයේය.  එහිදී සෝවියට් දේශය පාලනය කරන්නේ  නිලධාරීන් ගෙන් යුත් "සමාජවාදී පන්තියක් " බව ට අදහසක් ඔහු ගෙනාවේය. විජේවීර මහතාගේ පොත් හා ලිපි මෙන්ම ඔරුවල බන්දු  ගේ පොත් ("සෝවියට් සිර මැදිරියේ සිට" වැනි ) දෑ කියවා  සිටි මට මේ තර්කය ඉමහත් කුහුල දනවන්නක්  විය. අපනාසියෙව්  ගේ දයලේක්තික භෞතික විද්‍යාව ගැන වූ පොත්ද මා  සතුව තිබුණු අතර ඒවායේ ලියූ අදෝ සංසාරයක් මට තේරුනේ නැත.  අන්තිමේදී මා  කොලයේ ලියුවේ සෝවියට් දේශයේ "සමාජවාදී පන්තිය " පන්තියක්ද යන්න  සෙවීම වැදගත් බවයි. ලයනල් බෝපගේ මහතා ජවිපෙන් අයින් වුනේ මේ කාලයේ බවද මට මතකය.

 ආචාර්ය දයාන් ජයතිලක මහතා කල දේශනා වලටද ගියෙමි. ඔහුගේ දේශනා බොහෝ තිබුනේ ගර්ල් ගයිඩ් මුලස්ථානයේ වන අතර ඒවා වූයේ  "ලතින් ඇමෙරිකානු විප්ලවය" ගැනය. "ශ්‍රී ලංකා ගාඩියන්" ද නිතර කියවුයෙමි. 

ජවිපෙ දේශපාලනයට  සම්බන්ධ වීමට සිතා  සිටි මම එය ප්‍රතික්ෂේප කලේද මේ කාලයේය. ඒවාට බලපෑවේ එසේ කියවූ ප්‍රකාශන හා ගිය දේශන බව සිතමි. නමුත් ඒකාලේ ජවිපෙ  සිටි සමහරු තවම මිතුරන්ය.  

එනිසා මා තෝරා ගත්තේ සෝවියට් දේශයට යන්නටය. මෙය පොර කතාවක් නොව ඇත්තකි. 

//හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .//
සෝවියට් දේශයට යන්නට ටිකට් වියදම ලංකා රජය දෙන්නේ නැත. එනිසා ඒ වියදම් දැරුවේ  මගේ පියා ය. අනිත් ළමයින්ට ද එසේය.  ටිකට් එක රුපියල් 17000 බවද මට මතකය.  1984 දී එය අපට ලොකු මුදලකි.

//කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා.ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි//
 මෙයද වැරදි නොදන්නා  කතාවකි. හෙවත් බොරුවකි.  රුබල් 90න්  ඉතිරි කරගත් මුදලින් අපි ලන්ඩනයට ගියෙමු. එහේ තාවකාලික රැකියාවක්  කර හෝ ලන්ඩන් හෝ බර්ලින් වලින් රැගත් ඇඳුම් ආදිය  (ඩෙනිම් ) ගෙන රුසියාවට පැමිණ ඒවා විකුණා  ලබා ගත්  මුදලින් ටිකට් රැගෙන ලංකාවට ගියෙමු. වජිර මහතා ගේ සහෝදරයා කීව් නගරයේ උගත් අතර ඒ විස්තර ඔහු දන්නවා  ඇත. අමිහිරි වුවද  සත්‍යය එයයි. 

//ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.// 
ලංකාවට මා මුදලක් යැව්වා නම් යැව්වේ එංගලන්තයේ රැකියාව කර උපයා ගත් මුදල්ය. අනිත් අයද එසේය. නැත්නම් බිස්නස් කර උපයා ගත් මුදල්ය. මේවා සියල්ල ඔප්පු කල හැකි දේවල්ය.  

//අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්// 
ලෙනින් විප්ලවය නොකලා නම් මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනු ඇත. එය අවසන් කර පශ්චාත් උපාධියක් කර හෝ නැතිව ගුරුවරයෙක් වී කොහේ හරි උගන්වනු ඇත. නැත්නම් ගණකාධිකාරවරයෙක් වී සිටිනු ඇත. 1988-89 තබා 1971 ද ලංකාවේ සිදු නොවනු ඇත. දයා  පතිරණ, විජේවීර,  නන්දන මාරසිංහ, විජය කුමාරතුංග මෙන්ම 60000 වැසියන්ද   අද ජිවතුන් අතර වනු ඇත. වජිර යාපා 1994 කීව් නොයනු ඇත. "මං තුමා"ට අපට මඩ ගහන්නට ලිපියක් ලියන්නට බැරි වනු ඇත.

අපට ප්‍රශ්නය ඇත්තේ ලෙනින් කළ විප්ලවය ගැන නොව ස්ටාලින් කළ ප්‍රති-විප්ලවය ගැනය .

නමුත් සෝවියට් දේශයේ ගතකල සොඳුරු අතීතය කිසිදා අමතක නොවේ. මා  ඒ ගැන බ්ලොග් ලිපි ලියන්නේද එබැවිනි. අවුරුද්දකට සැරයක් ජවිපෙ හා අනිත් අය  කරන විරු  සමරු සෝවියට් දේශය ගැන කරන්නට  මට අවශ්‍යතාවයක් නැත. ඒ වෙනුවට ඒ රටේ තිබු සෞභාග්‍යය මෙන්ම කාලකන්නි කම ගැනද  ලියමි.


 ප.ලි. 
මං තුමාගේ බ්ලොගයේ අපොස උසස්  පෙළ ගැන ප්‍රශ්න කර ඇති  බැවින් මෙසේද ලියමි. සෝවියට් දේශයේදී විදුලි ඉංජිනේරු උපාධිය අවසන් කලෙමි.  මා  වරලත් (chartered) පරිගණක ඉංජිනේරුවෙක් වෙමි. වසර  තුනකට පෙර රසල් ගෘප් හි විශ්ව විද්‍යාලයක් වන  ක්වින් මේරි හි අභ්‍යවකාශ භෞතික විද්‍යාව (astrophysics) පිළිබඳ ශාස්ත්‍රපති  උපාධියක් මෙරිට් එකක් සහිතව නිම කලෙමි. රාජකීය තාරකා  විද්‍යා සංගමයේ සාමාජිකයෙක් ද වෙමි (FRAS).  නමුත් නමේ අගට ඔය කිසිවක් භාවිතා නොකරමි. හේතුව මැක්සිම්  ගෝර්කිගේ පොත් කියවා  ඇති නිසාය. මා ගරු කරන්නේ ජීවිතය නමැති විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත්තවුන්ට පමණක් වන නිසාය. 

Wednesday, 4 January 2017

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටස

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් -2

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - 3

පූටින් විසින් සිරියානු ප්‍රශ්නයට අත  දැමුවේ  සෝවියට් දේශය කාලයේ සිට පවත්වාගෙන  පැමිණි  ටර්ටුස් වරාය ආශ්‍රිත යුධ මධ්‍යස්ථානය නිසා බව පෙර ලිපියෙන් පැහැදිලි කලෙමි.  අප පසුගිය වසරේ ජූලි මස රුසියාවේ කල සංචාරයේදී ශාන්ත පිතර්බුර්ගයේ සාර් වරුන්ගේ  ගම (ට්සාර්ස්කොයේ සෙලෝ) ට ගියෙමු. එහි මහා කැතරින් අධිරාජිනියගේ ගිම්හාන මාලිගාව ද වෙයි.  පහත පින්තුරයේ ඇති පරිදි රත්රන් ඔබ්බවා  සාදන ලද විශාල  ශාලාවක්  එතුළ ඇත. අපේ කුරාතර් හෙවත් මාලිගාවේ මග පෙන්වන්නිය පැවසුවේ  පුටින් "සිරියානු ප්‍රශ්නය " විසඳුවේ මෙහි බවයි. අප දන්නා පරිදි යුද්ධය අවසන් නැත.  එසේනම් පුටින් විසඳුවේ යයි රුසියානුන් කියන්නේ කුමක්ද?
මහා කැතරින්ගේ ගිම්හාන මාළිගාව 
පුටින් හා බෂාර් අසාද් මුණු ගැසුණු ශාලාව - පින්තුර මගේය.


සාමාන්‍යයෙන්  විදේශික රටවලින් එන නායකයන් විස්මයට  පත් කරවීමට හා තම රටේ විභූතිය පෙන්වීමට ඔවුන් පෞරාණික මාළිගා වලට රැගෙන යාම බ්‍රිතාන්‍යය, රුසියාව වැනි රටවල නායකයන්ගේ සිරිතකි. රුසියාවේ සාර් රජු මෙන් හැසිරෙන  පුටින් මෙහිදී අසාද්  ට කරන ලද බලපෑම නම් රජය අත් නොහරින ලෙසය. අසාද් හා රටේ ආරක්ෂාව රුසියානු හමුදාවලින් කෙලින්ම සලසන්නට ඔහු පොරොන්දු විය. ඔහු උපයෝගී කර ගත්තේ මා  සඳහන් කල 1971 අත්සන් කළ සෝවියට්-සිරියානු ගිවිසුමයි.

අසාද් දැන් පත්වුණේ "මග හිටියොත් තෝ නහී. ගෙදර ගියොත් අඹු නහී " තත්වයටය. ඔහුට සිදුවුනේ  එක්කෝ බටහිර බලපෑමට යටත්වී ඉවත්විමටය. නැත්නම් පූටින් ගේ පඹයෙකු වීමටය. ඔහු තෝරා ගත්තේ දෙවැන්නය.

මේ අවස්ථාව  වන විට  අයිසිස් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානය ඉරාකයේ කොටසකුත් සිරියාවේ බොහොමයක් ප්‍රදේශත් අල්ලාගෙන තිබුණි. ඔවුන්ට ඇමෙරිකන් හමුදා ඉරාකයේ දමාගිය බොහෝ නවීන ආයුධ ද හිමිව තිබුණු අතර ඉරාක හමුදා මෙන්ම සිරියන් හමුදා ද ඔවුන්ගේ ප්‍රහාර හමුවේ පසුබැස ගියහ. ඔවුන්ට අවශ්‍ය වුයේ අතීතයේ තිබූ ඉස්ලාමික ලෙවන්ට් නමැති රාජ්‍යය නැවත පිහිටවිමටය.  මෙය ගෝලාන්  කඳුකරයේ සිට ග්‍රීසිය දක්වාත් ඊශ්‍රායලයේ, පලස්තීනයේ සිට තුර්කිය දක්වාත් ඉරාකයත් ඇතුළු අති  විශාල ප්‍රදේශයකි.

පූටින් ගේ රුසියානු ගුවන් හමුදාවල  උදව්වෙන් දමස්කස් නගරයට එල්ල වුනු ප්‍රහාර මැඩ පවත්වා ගැනීමට හැකිවුණු පසු අසාද් විසින් 2014 දී චන්දයක් පවත්වන  ලදී. මේ චන්දය ඇත්තටම පැවැත්වුනේ අසාද් පාලනය කරන ප්‍රදේශ එනම් ගොඩබිම් වශයෙන් 50% කට අඩු එහෙත් ජනතාව  වැඩියෙන් එක්රැස්  වුනු ප්‍රදේශයකය. ඔහු 80% පමණ චන්දයකින් නැවත තේරී පත් වුවද බටහිර රටවල් මෙම මැතිවරණය  පිලි ගත්තේ නැත.

නමුත් බෂාර් අල් - අසාද් ට  පුටින්ගේ සහයෝගය දිගටම ලැබුනේ පුටින්ට හා රුසියාවට, මධ්‍යධරණී මුහුදට ඇති එකම මාර්ගය සිරියාව හරහා වැටී තිබෙන නිසාය.
යාසිඩි කාන්තාවන් අයිසිස් ට එරෙහිව 

මෙහිදී තවත් යමක් සිදුවුණි. අයිසිස්  සංවිධානය ඉතා අන්තවාදී දරුණුම ගණයේ  එකක් වූ අතර ඔවුහු යාසිඩි නමැති වෙනත් ක්‍රමයක මුස්ලිම් දහමක් අදහන ජනතාව මිත්‍යාදෘෂ්ටික යයි හඳුන්වා ඔවුන් සංහාරය කරමින් ඔවුන්ගේ ගැහැණු දරුවන් (වයස 10 දරුවන් පවා ) ලිංගික වහල් භාවයට ගනිමින් කෘර ලෙස හැසිරුණහ. ඔවුන් කෙරෙහි දැඩි විරෝධයක් බටහිර යුරෝපීය  ජනතාව ගෙන්  එල්ල වුනි. එසේම ඔවුන් කුර්දි වරුද අනුකම්පා විරහිතව මරා දැමුහ. මෙයට තුර්කිය අනියමින් ආධාර කළේය. කුර්දි වරුන්ගේ කෝබේන්  නගරයට ප්‍රහාර එල්ල  කල අයිසිස් නගරය යටත් කර ගැනීමට තැත් කළේය.
ඒ ගැන මා 2014 දී ඉංග්‍රීසියෙන් ලියු ලිපියක් මෙහි ඇත.

කුර්දි කම්කරු පක්ෂය මාක්ස් ලෙනින්වාදී සංවිධානයකි. නෙටෝවට අයත් රටක් වූ තුර්කියට පහර දෙන නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදාව  ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබුණි. එනිසාම මේ සිරියන් යුද්ධයෙදි සිදුවූ අනිත් අපුර්වතම සිදුවීම නම් එක්සත් ජනපදය ප්‍රථමවරට මාක්ස්-ලෙනින්වාදී සංවිධානයකට යුධ ආධාර දීමයි. කෝබේන් නගරය  බේරා  ගැනීමට අයිසිස් ත්‍රස්තවාදීන්ට  නේටෝව විසින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. ජනාධිපති  බැරැක් ඔබාමා ගත් එම ඉතා නිවැරදි තීරණය නිසා කෝබෙන් නගරය හා එහි වැසියන් සමුලඝාතනයෙන් බේරුනි.

නමුත් නේටෝව අයිසිස් වලට සම්පුර්ණයෙන්ම පහර එල්ල කලේද  නැත. එයට හේතුව ඔවුන් තවමත් සිරියාවට විරුද්ධව පහර දීමයි. මේ අතරතුර "ඉස්ලාමික සහෝදරත්වය සංවිධානය" තනිකරම විසිරී  ගිය අතර ඔවුන් බොහොමයක් "නිදහස සිරියන් හමුදාවටද " හා අයිසිස් වරුන්ට එක්විය. මේ අනුව ඊශ්‍රායලය කලේ හීන් සීරුවේ පූටින්ගේ පැත්ත ගැනීමය. ඔබමා  විසින් ජනාවාස පිහිටවීම නවත්වන්න යයි ඊශ්‍රායලය ට  හා නෙතන්යාහුට  බල කිරීම ද  තවත් හේතුවක් විය.

මේ අනුව සිරියන් හමුදා දිගින් දිගටම දිනන්නට විය.  එසේම මියයන සාමාන්‍ය පුරවැසි ගණන ද ඒ හා සමානව වැඩිවිය.  බ්‍රිතානයේ කැමරුන්  ට සහ ඇමෙරිකාවේ ඔබාමා ට හමුදාමය මැදිහත්වීමකට බල කෙරුණි. කැමරන් එම යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය පරාජය විය. (බ්‍රිතාන්‍ය ජනතාව ද මැදිහත් වීමකට විරුද්ධ විය) ඒ අනුව ඔබාමාද හමුදාමය මැදිහත්වීමකට අකමැති විය. එහි එක ප්‍රතිඵලයක් වුයේ දෙපැත්තෙන්ම බැට  කන අති විශාල අනාථයන් සමුහයක් යුරෝපයට ගලා ඒමයි. යුරෝපයේ දේශපාලනය අවුල්වීමට ද එය හේතුවක් විය. මෙහිදී මට ලියන්නට අමතකවූ කරුණක් නම් ජනාධිපති ඔබාමාව  කිසිවකු පැසසුවේ නැතත්  ඇමෙරිකන් හා නේටෝ හමුදා යෙදවූයේ නම් පූටින්ට හෝ සිරියානු හමුදාවට කිසි ලෙසකවත් දිනීමට නොහැකි වන බවය. සිරියාව තව ඇෆ්ඝනිස්ථානයක් වී  ජනාධිපති පූටින්ට අකුලාගෙන යාමට සිදුවනු ඇත.

එපමණක් නොවේ. අයිසිස් සංවිධානය යුරෝපය ටද  ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්නට පටන් ගති. මේනිසා අයිසිස් සංවිධානයට පහර දීමට නෙටෝවට සිදුවිය.  ඇමෙරිකාව කුර්දින්ට සහයෝගය දීම නිසා අමනාප වුනු තුර්කිය, රුසියාව හා ජනාධිපති පූටින් දෙසට හැරුණි. මෙය වැළැක්වීම සඳහා ඔත්තු සේවා මාර්ගයෙන් තුර්කියේ අසාර්ථක කැරැල්ලක් ඇති වුනි.  ඒ අතරම තුර්කිය රුසියන් යානයක් ද බිම හෙළීය. රුසියාව තුර්කියට විරුද්ධව සම්බාධක පැනවීය. බොහෝ තුර්කි ආයතන රුසියාවේ වෙළෙඳාම්  හා ඉදි කිරීම්  කල අතර රුසියානුවන් බොහොමයක් තුර්කියේ සංචාරකයන් ද විය. මේ අදායම් සියල්ල බිඳ වැටුණි.  මේ නිසා රුසියාව සමග සාමයකට ඒමට එර්ඩොගන් යත්න දැරීය.

ඇමෙරිකාව හමුදා මැදිහත්වීමක් නොකරන අතර සවුදී අරාබිය යේමනයේ යුද්ධයක පැටලී සිටි. පසුගියදා අලෙප්පෝ නගරය "සිරියානු නිදහස් හමුදාව" අතින් මුදා ගැනීමේ සටන බෂාර් අල් අසාඩ් දියත් කලේ මේ පසුබිම මතය. එයට කෙලින්ම රුසියන් හමුදා සහය ලැබුණි.  සිරියන් හමුදා ජන සංහාරයක් කරතියි බටහිර පුවත්පත් වාර්තා කෙරුවද එවැන්නක්  සිදු වුයේ නැත. රුසියානු හා සිරියන් හමුදා මිනිසුන්ට ඉවත්වීමට කඩින්කඩ සාම  විරාමයන් දියත් කළහ. එම සාම විරාමයට උදව් කලේ පුටින් හා තුර්කියේ එර්ඩොගන්ය. ඒවාට පහර දුන්නේ අනිත් පැත්තේ අල් කයිඩා වැනි සටන්කාමීන් පමණි. අලෙප්පෝ නගරය සිරියන් හමුදා අතින් සාර්ථක ලෙස "මුදා " ගැනුනි. සිරියන් සටන්කාමීන්ට අනුව නගරය නැවත  හිරභාරයට (අසාද් ගේ) පත්විය.  ඒ සඳහා වෙහෙසවුනු තුර්කියේ රුසියානු තානාපතිවරයා අන්තවාදීන් අතින් මරා දැමුණි.

නමුත් තුර්කිය හා ඊශ්‍රායලය පුටින් ගේ ගේ පැත්තේ සිටීමත්, ජනාධිපති පූටින් අසාද් ගේ පැත්තේ සිටීමත් හිලරි ක්ලින්ටන් පරාජය වී ට්‍රම්ප් ජය ගැනීමත්  බෂාර් අල් අසාඩ් ට වාසි සහගත වී තිබේ. බොහෝවිට ට්‍රුම්ප් ගේ එක්සත් ජනපදය අත නොගැසීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුනොත් බෂාර් අල් අසාඩ් සිරියන් සිවිල් යුද්ධය රුසියාවේ සහයෙන් අවසන් කරනු ඇත.

ඊශ්‍රායෙල් හමුදාවේ සෙබළියෝ 

අයිසිස්  ගරිල්ලන්ට පහර දෙන හිස්බුල්ලා සංවිධානයට ඉරානය ආධාර දෙයි. ඊශ්‍රායලය ට  දැන් මැද පෙරදිග ඇති එකම තර්ජනය ඉරානය පමණි. ඉරානය න්‍යෂ්ටික අවියක් සදහා පරීක්ෂණ කළහොත් ඊශ්‍රායලය පහර දෙනු නියතය. රුසියාව ඉරානයේ සහයට පැමිණීමේ ඉඩකඩ ඉතා අඩුය.  ඊශ්‍රායලයේ රුසියන් බස  කතා කරන සෝවියට් යුදෙව්වන් බොහොමයක් සිටි. ඔවුන් ගේ රුසියාව සමග ඇති සම්බන්ධය දැඩි අතර ඔවුන්ගේ දේශපාලන පක්ෂයට ක්නෙසට් හි බලයක්ද තිබේ.

සංක්‍රමණිකයන් පිලි ගන්නට බලා  සිටින ඊශ්‍රායල  සෙබළියෝ 
ඊශ්‍රායල කාන්තාවන් අරාබි කාන්තාවන්ට වඩා නිදහසක් භුක්ති විඳිති. ඔවුන්ගේ තරුණියන් ගේ හමුදා ඡායාරුප අන්තර්ජාලයේ ඉතා ජනප්‍රියය. මේවා ඊශ්‍රායල දේශපාලන ප්‍රචාරයන්ය. හමුදාවට බඳවා ගැනීමේ අඩුවක්ද නැත.

 ඒ පැත්තෙන්  යුද්ධයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය.

මූලාශ්‍ර :

සිරියාවේ 2014 චන්දය 
යාසිඩි සංහාරය 
කුර්දි කම්කරු පක්ෂය