බෝධිනී නංගි ගේ අලුත් පොත ඇත්තටම මට අලුත් පොතක් නෙමේ . ඒ කියන්නේ පොතේ භාගයක් විතර දැනට අවුරුදු දොළහකට විතර කලින්, බෝ සිංහල වෙබ් අඩවි වලට ලියද්දි කියවපු කතාවක් . වෛද්‍ය බෝධිනී සමරතුංග ගේ මම කැමතිම පොත තමා "අනිත් කොන". පශ්චාත් යුධ සමයේ උතුරේ රෝහල් වල සේවය කල වෛද්‍යවරියකගේ අත් දැකීම්. බෝධිනී ගේ මානුෂිකත්වය , ජනතාවට සේවය කරන්න තියෙන අභිලාශය සියල්ල කැටි කරගත්ත, හදවතට කතා කරන පොතක් .
"මගේ පස්සෙන් එන්න " කියන්නේ "අනිත් කොනට " කලින් ලියන්න පටන් අරගෙන, බෝධිනී ගේ ගමන් මගේ එයාට අමතක වෙලා ගියපු , නමුත් නව ආරම්භයක් සඳහා කරපු පොතක් හැටියට මම දකින්නේ . අර ජනතාවට සේවය කරන්න ඕනේ , ඔවුන් දුකින් මුදවා ගෙන හොඳ ජීවන තත්වයකට පත් කරන්න ඕනේ කියන ආදරණිය හේතුව මතම ලියවෙච්චි තවත් පොතක් . හැබැයි මේක නවකතාවක්. ටිකක් සමහර විට බෝධිනී ගේ සිතුම් පැතුම් වලටත් හරියන එකක් .
කතා නායකයා වන ජීවක එන්නේ නුවර කලාවියේ ඉඳන් කොළඹ විශ්ව විද්‍යාලයට ඉගෙන ගන්න . උසස් යයි සම්මත වුනත් පසුව දුප්පත් වුනු පවුලක දරුවෙක් . එයාගේ පාසැල් ප්‍රේමය, නෑදෑ ඇමති කෙනෙක් ගේ පුතා උදුරා ගන්නවා. ඉතින් ඒ පීඩනයත් එක්කම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න එන ජීවක කරන්නේ කොළඹ පැල්පත් සමූහයක දරු දැරියනට උගන්වන එක . මේවට ඒ කාලයේ කිව්වේ වතු කියල . මගෙත් යහළුවෝ දෙතුන් දෙනෙක් හිටිය ඔය වතුවල . කොම්පඤ්ඤ වීදිය පැත්තේ . ඒ නිසා මම ඒවා ගැන තරමක් දුරට දන්නවා. ඉතින් ඒවායේ පවතින ප්‍රශ්න ගැන ජීවකටත් වැටහීමක් ලැබෙනවා . මත්ද්‍රව්‍ය ප්‍රශ්න , පිරිමින් ගේ අධික මත්පැන් පානය. පළාතේ අපිරිසිදු කම, හරි වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් නැති කම ආදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන, විරැකියාව බහුල මිනිසුන් සමූහයක්. ජිවත් වෙන්න මත්ද්‍රව්‍ය විකිණීම පමණක් නොව ගණිකා වෘත්තිය මෙන්ම තවත් නීතිමය නොවන දේ කරන්නටත් ඔවුන් පෙළඹෙනවා. ජීවක උදව් කරන්නේ, අනාගතයක් නැහැයි කියල පෙනෙන ඔවුන්ගේ ළමයින්ට .
ඒ සඳහා ජිවකට උදව් කරන ඔහුගේම යහළුවෝ සෙට් එකක් ඉන්නව විශ්ව විද්‍යාලයේ . ඒ අතරේ ජනත්‍රී කියල වෛද්‍යවරියකුත් ඉන්නව, අමාරුවෙන් වතු පරිසරයක ඉඳන් ඉගෙන ගත්තු කෙනෙක් . . විශ්ව විද්‍යාලයට අලුතින් එන අබා හෙවත් අපර්ණා ජිවකට වහ වැටෙනවා . අබා ටත් හොඳට ලියන්න පුළුවන් නිසා ජීවකගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ගැන හෙම ඇය ලියනවා . ඔවුන් අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවාද නැත්ද කියල කියන්න අමාරුයි පොත කියවන කොට . ඒක අබාගේ unrequited love හෙවත් අනුරාගී ප්‍රේමයක් වගේ ගෙනියන්නේ . දෙන්නට දෙන්න කැමති බව නම් ඉඳහිට ඉඟියක් ලැබෙනවා .
මේ කතාව ලස්සනයි . හැබයි කතාවේ දේශපාලනික පැත්ත තමා ජීවක අන්තරේ දේශපාලන උද්ඝෝෂණ වලට යන්නේ නැති කම .
මේ පොතේ සැහෙන දුරට විවේචනය වෙනවා , සිසුන් ගේ දේශපාලනික ක්‍රියාකාරකම් ගැන. අබා සිසු උද්ඝෝෂණ ගිහින් කඳුළු ගෑස් කාලා එනවා . ජීවක ඒවා විවේචනය කරනවා. එයා හිතන්නේ කොළඹ දිළිඳු වත්තක් තෝරාගෙන එයා කරන චැරිටි වැඩ පිලිවල වඩා පලදායි එකක් කියල . මේක ඇත්තටම මම දැක්කේ බෝධිනී ඇතුළු ඒ කාලේ බ්ලොග් ලියපු හුඟක් බ්ලොග් කරුවන්ගේත් අදහසක් වගේ . අන්තරේ උද්ඝෝෂණ වලට සෑහෙන විරුද්ධත්වයක් මතුවෙලා තිබුනනේ ඒ කාලේ.
මම හිතන්නේ නම් ඔය දෙකම සම සමව තියෙන්න ඕනෑ කියල . සිසුන් දේශපාලනය කරන එක හොඳයි ඉගෙනීම කඩා කප්පල් කර ගන්නේ නැතිව . නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියල කරන උද්ඝෝෂණ වලට අමතරව දේශපාලන පක්ෂ වල බලය පෙන්වන්න කරන උද්ඝෝෂණ වලටත් සිසුන් ඉත්තෝ වෙන අවස්ථා තිබෙනවා තමයි.
හැබැයි චැරිටි වැඩ වුනත් සීයට සීයක් හරියන දෙයක් නෙමේ කියල මම අත්දැකීමෙන් වටහා ගත් දෙයක් . අපිත් චැරිටි එකක් කළා අවුරුදු විස්සක් විතර සුනාමියෙන් පස්සේ . තවම ළමයි ඉතා සුළු ගණනකට උදව් කරනවා . ඒ අය ඉවර වුනහම අනිවාර්යයෙන්ම වහල දානවා ඒක. මොකද අපේ එක ළමයෙකුට උදව් කරන්න ඉල්ලන්න ආව දෙතුන් දෙනෙක් හිතන් හිටියේ චැරිටි එකෙන් එයාලටත් ගොඩ යන්න පුළුවන් කියල හිතාගෙන. ඒ ගොල්ලෝ අයින් වුනහම මට ඒක වැටහුනා. එහෙම දේවල් ලංකාවේ වෙනවා මම හිතන්නේ.
චැරිටි කරන දේශපාලන පක්ෂ වුනත් සලකන්නේ තමන්ගේ අයට විතරයි කියල මම දැක්ක . ඒ අතර ළමයින්ට දවාලට කෑම වේලක් දෙන එකත් ඇතැම් අය කරනවා . නමුත් එක විදුහලකට දෙකකට දීල ඇති වැඩේ මොකද්ද කියලා මට හිතුන? එතකොට අනිත් පාසල් වල ළමයි ? ඒ ළමයින්ටත් බඩගිනි හැදෙනවනේ . මට හිතෙන්නේ, අවශ්‍ය වෙන්නේ දේශපාලන පක්ෂ වලට ගැති නැති ස්වාධින, පුළුල් සමාජ ව්‍යාපාරයක් හදන එක. ඒකෙන් රජයට බල කරන්න පුළුවන් වෙන්න ඕනේ ළමයින්ට දහවල් ආහාර වේලක් ලබා දෙන්න කියන්න . මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙලවල් ගෙනියන්න. ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න වෙන්නේ එහෙම .
මම බෝධිනී ගේ "ජීවක දර්ශනයට " එකඟ නොවන්නේ එතන . ජීවක උසස් පෙළ ඉවර කරලා විශ්ව විද්‍යාලෙට ආව අවුරුදු දෙක තුනට වත්තක්ම වෙනස් කරලා . ළමයින්ට උගන්වලා .
"සාමාන්‍ය පෙලින් පස්සේ ඉගෙනීම නවතා විවිධ කර්මාන්ත යෙදෙන වත්තේ දරුවන් එකා දෙන්නා , උසස් පෙළ කඩ ඉම ජයගෙන සරසවි වරම් ලැබුවෝය . "පි 164.
මේක ඇත්තටම වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි . ඔය වතුවල මිනිස්සු ඒ කාලේ රෑට කොටසක් ඇහැරගෙන ඉන්නව . මොකද නිදා ගන්න ඉඩ නැති නිසා ශිෆ්ට් ක්‍රමයට තමා නිදා ගන්නේ . ටිකක් ඉගැන්නුවා කියලඔය ජිවිත ඔය ලියන ඉක්මනට වෙනස් කරන්න අමාරුයි. අනික රාජකීය, ආනන්ද , නාලන්ද , ගෝතමී , ලේඩිස් කොලේජ් , විශාඛා, දේවි බාලිකා, මහානාම . ලුම්බිණි, සෙන් තෝමස් ඔහොම කියල අටෝ රාශියක් හොඳ ඉස්කෝල අතර කොළඹ පොඩි ඉස්කෝලත් තියනවා . ශ්‍රී සාරි පුත්ත , මහාබෝධිය (මහ ඉස්පිරිතාලේ ගාව ). ඒවායේ ළමයින්ට කවදාවත් යන්න හම්බ වෙන්නේ නැහැ සරසවි . මොකද කොළඹ සරසවි පිවිසුම් කඩයිම් ලකුණු ගාන වැඩියි අනිත් හැම තැනටම වැඩිය .
ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ඒ කාලේ හොඳ ක්‍රමයක් හැදුව. ඉස්සර බේරේ වැවේ ඩුප්ලිකේෂන් පාර පැත්තේ වතු වලට කිව්වේ කොරියාව . හාමුදුරුවෝ කාර්මික වැඩ උගන්වන්න හුණුපිටියේ තැනක් හැදුව . ඉලෙක්ට්‍රික් වැඩ , වඩු වැඩ හෙම . එතනින් ගොඩක් අය ඉගෙන ගෙන ජිවත් වෙන්න මාර්ගයක් හොයා ගත්ත .
අනික තමා මේ වතුවල ගොඩක් අය මැද පෙරදිග ගියා . වැඩියෙන්ම ගැහැණු . ඒගොල්ලෝ මුලින්ම ගෙනාවේ රුපවාහිනී . ඒක සාධාරණයි . ඒ මිනිසුය්න්ට එතකන් ඕපාදුප සහ බෝධිනී ලියනවා වගේ රණ්ඩු තමා තිබ්බේ . මේක වුනේ ජේ ආර් ගේ කාලේ . ඊට පස්සේ මේ හුඟක් අය වැසිකිලි පහසුකම් හදා ගත්ත . ගෙවල් පොඩියට තට්ටු දෙකට හැදුව . මෙන්න මේ ලිපියත් බලන්න .
පස්සේ කාලෙක ගෝඨාබය රාජපක්ෂ ත් සමහර ප්‍රොජෙක්ට් වලට අත දැම්ම. අර හොඳට ගෙවල් හදන හිටපු මිනිස්සුත් එලවල දැම්ම ගෙවල් හදන්න . අන්න එතනත් තියෙනවා ඛේදවාචකයක් .
මේ විවේචනයක් ම නෙමේ. සංවාද කරන්න ඕනේ මාතෘකාවක් . "ඔව් අබා , හිතන්න එපා හැම තිස්සෙම අත්පුඩි ගහන අයම ඉන්නව කියල . අනික් එක විවේචන එනවා කියන්නේ හොඳ දෙයක් . ව්විවෙචන දිහා විවෘත මනසකින් බලන්න පුරුදු උනොත් අපි කරන දේවල්වල තියෙන අඩුපාඩු හදා ගන්න ඒක හොඳ අවස්ථාවක්" තිලක් එසේ කියා ... බෝධිනී 181 පිටුවේ ලියා තිබෙනවා .
ළමයින්ට ඇඳුම් පැළඳුම් , පාවහන් , පොත් පත් ලබා දීමේ නම් ප්‍රශ්නයක් නැහැ . එවැනි උපකාර වෙනස් තැන් කරා ගෙනගිය හැකි නිසා.
තවත් කාරණයක් තමා දැන් ඔය ජාතියේ වතු කොළඹ නැති කම .
මේ සංගණනය බලන්න Does Colombo have sprawling slums and shanties, . පහුගිය අවුරුදු ගණන ඇතුලත ඒ ඉඩම් වලට ලොකු ඉල්ලුමක් ආව . අයිති අය ඒවා ලොකු ගණන් වලට විකුණලා හොඳ ගෙවල් අරන් පිට නගර වලට, ගම් වලට ගියා . අයිතිවාසිකම් නැති සමහරුන්ට ආණ්ඩුවේ ෆ්ලැට්ස් ලැබුන . ඉතිරි අය අනාතයි . අනික ලංකාවේ දකුණු පළාතට යනකොට මුහුද අද්දර තිබෙන ගෙවල් ගැන හොයන්න කියල මම නම් යෝජනා කරන්නේ .
මේ පොත වඩාත්ම හොඳම කොටස තියෙන්නේ අන්තිම හරියේ . ජීවක ගේ මහාචර්ය පියා ගැන බෝධිනී මුලින්ම වගේ අපි කිසියම් ඉඟි කිහිපයක් දෙනවා . අපට මතකයි මහාචාර්ය සේනක බිබිලේ හදිසියේ ගයානා වලදී මිය ගිය කතාව . ඒ වගේම ලංකාවේ (පමණක් නොවේ , ලෝකයේම) ක්‍රියාත්මක වෙන ඖෂධ මාෆියාව ගැන . ජීවක ඒ ගැන විස්තර හොයාගෙන තමන් දන්නා රුපවාහිනී චැනලයකට දෙනවා . ඒ අතරේ නොයෙකුත් ලොමු දැහැ ගැන්වෙන සිඳුවීම් වලට මුහුණ දෙනවා . ඇත්තම කියනව නම් ඒවා මට විශ්වාස කරන්න පුළුවන්. ප්‍රබල ඇමතිවරයෙක් තමන්ගේ පියාව ඝාතනය කළ බව ඔප්පු කරන්න ජීවක සමත් වෙනවා .
මම වැඩි විස්තර ලියන්න යන්නේ නැහැ . පොත අරගෙන කියවන්න ඕනේ විස්තරේ දැන ගන්න . මේ දවස් වල ලංකාවේ ප්‍රවෘත්ති බැලුවොත් හොර බෙහෙතක් සාදා මිනිසුන්ට එන්නත් කිරීම ගැන නඩුවක් යනවා . ඒවාට ප්‍රබල දේශපාලකයන් සම්බන්ධ බව ඔප්පු වෙලා තිබෙනවා . රෝහල් වල සිදුවුණා යයි කියන අක්‍රමිකතා ගැන පරීක්ෂණයක් යනවා . බෝධිනී වගේ වෛද්‍යවරියකට ඒ ගැන තිබෙන මූලික අත්දැකීම් අපට වඩා වැඩියි. මට මතකයි බෝධිනී ඒ දිනවල ලේ බැංකුවේ වැඩ ගැන හෙම බ්ලොග් එකේ ලියනවා . මුලින් නම් අපට මේ පොතේ ඒ කොටස් ප්‍රබන්ධයක් කියල අත අරින්න තිබ්බ . නමුත් මේවා තව දුරටත් ප්‍රබන්ධ නොවන බව අපි දැන් දන්නවා. ඒ ගැන මේ විධිහට ලීව එක ගැන බෝධිනිට ස්තුතිවන්ත වෙන්න ඕනේ .
පොතේ නම "මා සමගින් එන්න" එන්න කියල වෙනස් කළා නම් කියලත් හිතුන . අබා හා ජීවක එකට යන්න හිතන් ඉන්න ගමනක් නේ . අමතක වුනා ලියන්න . ඒ දෙන්නා .....
ඇත්තම මේ පොත ප්‍රකාශයට පත් කරන්න තිබ්බේ මීට කලින් . නමුත් ලොකු ප්‍රමාදයකුත් නැහැ.
අපේ කාලයේ විශිෂ්ඨ ලියන්නියක් වන බෝධිනී සමරතුංග තම පළමු ස්වතන්ත්‍ර නවකතාව එළි දැක්වීම ගැන සුභ පැතුම් .
මූ ලාශ්‍ර:
ප . ලි . :
මේ කතාවේ සඳහන් දැන් නැතැයි කියා මා කියන වතු කොම්පඤ්ඤ විදියේ තිබු ඒවාය . වෙලුන් පැසේජ් , වෑකන්ද හා බෙරේ වැවේ සීමා මාලකය අසල මේවා පිහිට තිබුණි . ඒ අසූව දශකයේ දීය. මේවා දැන් නැත .
බෝධිනී ලියන්නේ අනූව දශකයේ වනාතමුල්ල ප්‍රදේශය ගැනය .
කොළඹ ගමයා 29/06/2025