Wednesday 28 June 2023

කන්ද මුදුනේ පල්ලි, පන්සල්, කෝවිල්

අනාදිමත්  කාලයක ඉඳන් පර්වත මුදුන්  වල, කඳු මුදුන්  වල පල්ලි , පන්සල්, දේවාල , ආශ්‍රම ගොඩ නැංවුණු බව දන්නවද? කඳු මුදුන් කියල කියන්නේ දෙවියන් වහන්සේට සහ දිව්‍ය  ලෝකයටළඟම  තැන් කියල හිතන නිසා මේ වගේ සිද්ධස්ථාන හැදුනා කියල කියනව. නිදහස්  හුළඟ විඳින්න  කඳු නගින අය වගේම භාවනා කරන්න යන තාපසයන්ටත්  කඳු මුදුනක්  කියන්නේ නිදහස් තැනක්.  ගොඩ නැගිල්ලක්  හැදුවම යම් ප්‍රමාණයකින් ඒ නිදහස ඇහිරෙනවා තමයි.


උඩ පින්තුරේ අපි ග්‍රීසියේ සැන්ටෝරිනි දුපතට ගිය වෙලාවේ  ගත්ත එකක් . කන්ද මුදුනේ කුඩා පියකරු පල්ලියක් තියනව. බොහොම සරල එකක්. ඒකෙ පියතුමා දවසකට දෙසැරයක් පමණ පයින්ම ඇවිත් යනවා.  

මේ දිනවල බතලේගල කන්දේ ඉදි කරගෙන යන විහාරයක් පිළිබඳව ලොකු හා හූවක් යනවා. ගල් බෝර  දාල පර්වත  කඩන නිසා ලොකු විනාශයක් වෙනවලු. කොන්ක්‍රීට් ගබඩාවක් හදන්නලු යන්නේ. දාගැබක් තියෙන බව නම් පේනවා. බතලේගල කන්දට බයිබල් කන්ද කියලත් කියනව. ඒ නම දාල තියෙන්නේ යටත් විජිත සමයේ රට පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින්. සමහරු කියනව ඒ නිසා තමා  මේ විරුද්ධ වෙන්නේ කියල. පරිසර වේදීන් විරුද්ධ වෙන සාධාරණයි කියල හිතමු. ඇත්තටම කිසියම් පරිසර විනාශයක් සිදු වෙන නිසා. 

නමුත් බතලේගල කන්දේ පොඩි දාගැබක් සහ විහාරයක නටඹුන් තිබිල තියනව. මේ සත්‍යය  අපට බැහැර කරන්නට බැහැ. විහාරය හදන්නට විරුද්ධ වෙන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනික් කන්දක හදන පළමුවෙනි විහාරය මේක නෙමෙයි. ඔය පින්තුර බලන්නකෝ.  ලෝකයේ තිබෙන කඳු මුදුන් වල අහලා තිබෙන පල්ලි පන්සල් දිහා. 

අපට මෙහෙම යෝජනා දෙකක්  ගේන්න බැරිද?

1. තිබෙන පන්සල පෞරාණික  ස්ථානයක් හැටියට වැටක් ගහල සංරක්ෂණය කිරීම. ඒක බලන්න යන අයගෙන් මුදලක්  අය කිරීම. (විදේශික සංචාරකයන් ටත් එකම මිලක්) . ඒක  බලාගන්න අර පන්සල හදන්න යන  හාමුදුරුවන්ටම දෙනවා. කන්දේ පහල මුරකුටියක් සහ  හාමුදුරුවන්ට ඉන්න පොඩි පන්සලක් හදනව.  ප්‍රවේශ පත්‍ර ආදායමෙන් මුර කරන අයට ගෙවල ඉතිරිය හාමුදුරුවන්ට දෙන්න පුළුවන් පන්සලට වියදම් කරන්න. හැබැයි ලවුඩ්ස්පිකර් දාල ශබ්ද දූෂනය කිරීම එහෙම තහනම් කරන්න ඕනේ. සංචාරකයෝ තමාගේ කුණු අහුලන් යන්න ඕනේ. නැත්නම් දඩ ගහල ඒ ආදායමත් හාමුදුරුවන්ටම  දෙනවා. 

2. පන්සල් ගොඩ නැගිල්ලක් කන්ද මුදුනේ ඉදි කිරීමට ඉඩ දීම. හැබැයි මේකෙදි අර කණ්ඩලම හෝටලේ හැදුව වගේ පරිසරය ආරක්ෂා කරගෙන  කරන්න නියම කරන්න ඕනේ. ලවුඩ්ස්පිකර් දාල ශබ්ද දුෂනය කිරීම එහෙම පිටින්ම  තහනම් කරන්න ඕනේ. මේවා පාලනයක් කරන්න ආණ්ඩුවේ ආයතන තියනවනේ.  ඒ පාලනය  නිසි පරිදි කරලා අවට පරිසරය දුෂණය නොවෙන විදිහට  හදන්න ඉඩ දෙන්න හැකියාවක් තිබෙනවා නේද?. පෝයට ඇරෙන්න අනිත් වෙලාවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම, මුර කරුවන් යොදවා අවට ස්ථානය අපවිත්‍ර කරන්නට ඉඩ නොදීම වගේ දේ කරන්න පුළුවන්. පන්සල ප්‍රමිතියක් ඇතිව පෞරාණික  බව රැකෙන පරිදි හදන්න නියම කරන්න  බැරිද.

කොටින්ම පක්ෂ විපක්ෂ දෙගොල්ලටම සංවාදයකට ඇවිත් දෙගොල්ලටම හරියන විධිහේ විසඳුමක් ගේන්න බැරිද? 

(අමතර ප්‍රශ්නයක් . මම දැක්ක තිලක් සබරගමුව කියල කෙනෙක්  මෙහෙම ලියලා  තියනව- "හැබැයි නිරාගමික කියලා කෝවිලක් ගානෙ පල්ලියක් ගානෙ රිංගල ගේම් ගහන එකාලට නම කීවත් නැතත් ඔටෝ පිං ...... තකෙන්" නිරාගමික කෙනෙක් පන්සලකට පල්ලියකට යන වැරැද්ද මොකද්ද ? මම  නම් යනව ඕනෑම ආගමික සිද්ධස්ථානයක් බලන්න. )

කඳු මුදුන්වල තැනූ ආගමික සිද්ධස්ථාන 


1.  Sagra di San Michele, Italy ඉතාලියේ ශාන්ත මයිකල් ගේ ඇබේ එක -උම්බෙර්ටෝ එකෝ ගේ "රෝස මලේ නම" නවකතාව  මේ පල්ලිය ආශ්‍රිතව ලියල තියෙන්නේ. 

2.  Felsenkirche, Idar-Oberstein, Germany පර්වත පල්ලිය - ජර්මනිය සහෝදරයා තල්ලු කරලා මරපු නිසා කුමාරයෙක් පව් සම කරවගන්න හදපු එකක් 

3. Chapel on the Rock, Denver, United States - එක්සත්බො ජනපදය සෙට්ටි කියල කෙනෙක් හදල තියෙන්නේ බයිබලයේ මැතිව් 16:18 මතක් වෙලා. “Upon this rock I’ll build my church, and the gates of hell shall not prevail against it.”

4. Saint Michel d’Aiguilhe, Le Puy, France - ප්‍රංශය 

5. Jvari Monastery, Mtskheta, Republic of Georgia - ජෝර්ජියාව ජ්වරි ආශ්‍රමය - යුනේස්කෝවෙන් නම් කරලා තිබෙන තැනක් . පරණ පේගන් පන්සලක් උඩ ශාන්ත නීනෝ කියන දේවගැති වරිය  හදල තියෙන්නේ.  



6. The Al Qibla Mountain Mosque In Rize, Turkey - අල් ක්යුබ්ලා මුස්ලිම් පල්ලිය, තුර්කිය 




7. Great Pagoda of Doi Inthanon දොයි ඉන්තනොන් විහාරය - තායිලන්තය - එම රටේ උසම කන්දේ හදල තියෙන්නේ 


8. Taung Kalat - තඋන් කලට් - බුරුමය 


9. Hanging Temple - එල්ලෙන පන්සල හෙන්ෂයි කන්ද - චීනය - ක්‍රිව 491 සාදා තිබේ 


10. Roussanou Monastery - රෝසාණෝ ආශ්‍රමය ග්‍රීසිය ශාන්ත බාර්බරා වෙනුවෙන් 16 සියවසේ සාදන ලද්දකි 






මුලාශ්‍ර  -

Saturday 24 June 2023

සුදු සමනළයා - ෆ්‍රැන්සිස් ඩගන් ගේ කවියක පරිවර්තනයක්

සුදු සමනලයෙක් කියන්නේ ආත්මයක් කියල කවුදෝ ලියල තිබ්බ  මතකයි. මේ ඊයේ අපේ පුංචි ගාඩ්න් එකට ආපු සුදු සමනලයෝ දෙන්නෙක්.





 
මේ ෆ්‍රැන්සිස් ඩගන් ගේ කවියක්. මගේ පරිවර්තනය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රමණයට  දින කිහිපයක් පමණක් ඇති 
ඈ බිත්තර දමා පසු මියෙන්නී 

ඇයට විනාඩියක් ඔබටත් මටත් පැයක්
ඇය හිරු එළිය ඇති අහසේ 
උයන් බිම හරහා පියාසර කරන්නී 
ඇගේ බිඳෙනසුලු පියාපත් මත 
දුඹුරු පැහැ ලප ඇති සුදු සමනළයෙක්

කුරුල්ලෙකුට මෙන් ඇයට 
ගායනා කිරීමට ගීතයක් නැති 
එනමුත්  සොබා දහමේ  
ආශ්චර්යයන් පුදුමමයි 

ලාම්පුවක් ළඟ වැනි උණුසුම් වූ දවසක  
ලස්සන පියාඹන කෘමියෙක්
තවත්  දින කිහිපයක්  
ඇය සොබා දහම  සමඟ වැතිර සිටිනු ඇත

එක දිනක් තුල  ඇය සිය 
දිවියේ උච්චයට පැමිණෙනු ඇත 
ඒ වගේ දින කිහිපයක් ජීවත් වුනාට  
පෙනෙන්නේ කාලය මද බවක් 

නිහඬ පියාපත් මත ඇය 
උණුසුම් ගිම්හාන සුළඟ  තුළ 
උයන තුළ නටන්නිය  
එතරම් මෘදු හා බිඳෙන සුළු පියකරු දෙයක් 
මෑත වැසි මහා වැස්සෙන් 
උයන් බිම  හරිතවත් වී සශ්‍රීක වී  
ඇය පිපෙන ගස් හා මල් වටා නටන්නී 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 24/06/2023

Just a few days to mate lay her eggs and then die
A minute to her an hour to you and I
She flits through the parkland in the sunlit sky
With brown spots on her fragile wings a white butterfly
Unlike a bird she does not have a song to sing
Yet the wonders of Nature are an amazing thing
A beautiful flying insect in the warm lamp of day
In a few days at the most with Nature she will lay
In only a day she will have reached her life's prime
And a few days to live does not seem much in time
On silent wings she dances in the park in the warm Summer air
To look at so gentle and fragile and fair
In the parkland green and lush after the recent showers
She dances around the blossoming trees and the flowers.

Monday 19 June 2023

කටු ඔටුන්නට සටන් වැද - අංක එක

 

වෙස්ටෙරෝස් සහ වින්ටර්ෆෙල් අතරේ හැම වෙලාම යුද්ධනේ. හැබැයි යුද්ධ නැති කාලෙකුත් තිබුන.  ඊට  පස්සේ ආයෙත් පටන් ගත්ත.  සමහරු වින්ටර්ෆෙල් වල අලුතින් පත් වෙච්ච ඒකාධිපතිය වැරදි කියනවා. සමහරු  වෙස්ටරෝස් වල විකටරුපී ජනාධිපති ගේ වැරැද්ද කියනවා. ඒ කොහොම වුනත් යුද්ධේ පටන් අරන් ඉවරයි.

දැනට යුද්ධේ කවුරු දිනනවද කියන්න බැහැ. වින්ටර්ෆෙල් වල සීතල වැඩියි. හැබැයි ඉතින් දැන් ග්‍රීෂ්ම කාලේ නේ. වින්ටර්ෆෙල් වලින් කාලෙකට කලින් කුරුමියා ප්‍රාන්තය අල්ලගත්ත. ඒකට හේතු තියනවා. 
එක හේතුවක් තමා අමෙරිගෝ වෙස්පුචි ගේ රටේ එවුන් වින්ටර්ෆෙල් එකේ එකම ග්‍රීෂ්ම නැව් තටාකෙට හොම්බ දාන්න ආපු එක. මුදු හතක් එහායින් හිටියත් එයාල එහෙමයි. 

ඊළඟ ට ඇතිවුණු ප්‍රශ්නේ තමා කුරුමියා ප්‍රාන්ත යට බිමට ජලය දෙන එක නවත්තපු එක. ඔය බොන වතුර, ගොවි තැනට ජලය  කපන  එක ලෝකේ ඕන තැනක  ප්‍රශ්න  ඇතිවෙන ඒවා.  මුදු හතකටත් එහායින් දෙරණේ කියල රටක සොරොව්වක් වහන්න ගිහින් කට්ටියක් දරුණු විධිහට ඉල්ලන් කෑව.  වැඩේ හරිද වැරදිද කියල නෙමේ මේ කතා කරන්නේ. වුන දේ කිව්වේ. ඒවා එහෙමයි.

ඉතින් ඔහොම තියෙද්දී වින්ටර්ෆෙල් වලින් හමුදා එවල වෙස්ටොරෝස් කෑල්ලක් අල්ල ගත්තනේ. ඒ යුද්ධේ තවම යනවා. ඒ අතර අර අල්ල ගත්ත කෑල්ලේ ප්‍රධාන වැවේක  බැම්මක්  පිපිරුණා. මේක පිපිරුවේ අපි නෙමේ කියල තමා වෙස්ටොරොස් කට්ටිය කියන්නේ. වින්ටර්ෆෙල් කියන්නේ අපේ අල්ලගත්ත ප්‍රදේශයේ තියෙන   එක අපි මොකටද  පුපුරවන්නේ කියල.

වෙස්ටොරෝස් පැත්ත ගත්තොත්:
-- නීතියෙන්ඒ  රටට අයිති නිසා පුපුරුවන එක තේරුමක් නැහැ.
--අලුතෙන් යන යුධ මෙහෙයුමට අවාසියි මොකද පරණ පොලොව යට හංගල තියෙන පැතලි බිම්  අඹ පුපුරන්න --පුළුවන් නිසා සහ අන්න ඒවා දැන් වතුරේ පාවෙනවා කියලත් කියනව.   
යුධ ටැංකි වල වදින්න පුළුවන්. වතුර බහිනකන් ඉන්න ඕනේ. 

වාසි මොනවාද? 
වෙස්ටෙරෝස් හමුදා අලුතින් පටන් ගත්ත මෙහෙයුමට වාසියි. සතුරාගේ  හෙවත් වින්ටර්ෆෙල් වල ඒ පැත්තේ ඩිෆෙන්ස් එක ඉවරයි. ඒ පෙරමුණම හෝදගෙන ගිහිල්ල. පෙරමුණ පිටිපස්සට ගිහිල්ල. ඒ ගොල්ලන්ට ආයෙත්  කුරුමියා ප්‍රාන්ත යට වතුර දෙන එක ප්‍රශ්නයක්. ප්‍රදේශයේ කෑම හිඟයි .

වින්ටෙර්ෆෙල් පැත්ත ගත්තොත් 

ඒ කොටස යටත්  කරගෙන ඉන්න නිසා  පුපුරුවන එක තේරුමක් නැහැ. 
අලුතෙන් යන යුධ මෙහෙයුමට මුහුණ දීමට  අවාසියි මොකද පරණ පොලොව යට හංගල තියෙන පැතලි බිම්  අඹ පුපුරන්න පුළුවන් නිසා, ඒවා දැන් වතුරේ පාවෙනවා.  යුධ ටැංකි වල වදින්න පුළුවන්. 
ඊට  අමතරව  පළාතේ ගොවිතැන ඉවරයි. පරිසරය විනාශ වෙලා. 

වාසි මොනවාද? 
වෙස්ටෙරෝස් හමුදා අලුතින් පටන් ගත්ත මෙහෙයුමට අවාසියි. ඒක දින කිහිපයකින් ප්‍රමාද වෙනවා. ඒ  අතරේ පෙරමුණ පිටිපස්සට ගන්න පුළුවන්. වතුර බහිනකන් පොඩි විවේකයක් ගන්නත් පුළුවන්. වෙස්ටෙරෝස් හමුදා වාහන  මේකෙන් ඇතිවන මඩ ගොඩේ එරෙන්න පුළුවන්. 

ඒ නිසා වඩා වාසි කාටද? තමන් තීරණය කරන්න.

ඉතිරිය  කියවන්න ............
ඔයිට කලින් පෘතුවි ඉතිහාසයේ වේලි වලට බෝම්බ දාල තියනවා, බාබේරියන් වරුන් ගේ නාසි නායකයා ලෝක යුද්ධයක් පටන් ගත්ත හතලිස් ගණන් වල මුල භාගේ. . මෑන් ගේ නම ගිට්ලර්.  එයාව නවත්වන්න නම් රටේ ආර්ථිකය බිඳ දමන්න ඕනේ කියල ඩෑම්බස්ටර් රේඩ් කියල ප්‍රොජෙක්ට් එකක් ආව වෙස්ටෙරෝස් වලට  ගොඩක් මෙහායින් තියෙන දූපතේ ආණ්ඩුවෙන්. ඒකෙ හිටියේ රජ කෙනෙක් සහ සුරුට්ටු උරණ අගමැති කෙනෙක්.   ඒ ප්‍රොජෙක්ට් එකේ මුලික අරමුණ  ජලාශ වල වේලි බිඳ දැමීම. ඔපෙරේෂන් තද දඬුවම   කියලත් කියනව. එකදාස් නවසිය හතලිස් තුනේ මැයි 16 හා 17 රාජකීය ගුවන් හමුදාවේ 617 කණ්ඩායම බවුන්සින්ග් (වැදුනම උඩට ඇවිත් පුපුරන ලොකු අඹ ) දැම්මා සම්මා පල්ලහට. මෝනේ , එඩේසි කියන වේලි බිඳිලා  ගියා. රුර් නිම්නය, එඩර් නිම්නය හෙම ජලයෙන් යට වුනා. ජාල විදුලි  බලාගාර දෙකක් විනාශ වෙලා ගියා. සෝවියට් සිරකරුවන් ඇතුළු ජර්මන් වරුන් එක්දාස් හයසීයක් පමණ මිය ගියා.  ගම් නියම් ගම්  විනාශ වුනා. ලොකු ජයග්‍රහණයක්. 

එතකොට ඔය නාසි කාරයාම සෝවියට් පැත්තට යනකොට එහෙ හිටිය ස්ටාලින් කියන රජාත් තමන්ට එහෙම දඬුවමක් දී ගත්ත.  එක්දාස් නමසිය හතලිස් එකේ අගෝස්තු වල. වෙස්ටරෝස් වල සඵරෝෂි කියල වේල්ලක් තිබ්බ ද්නිපර් කියල ගඟක් හරස් කරලා හදල . ඒකට  අඹ දාල පුපුරවල විශාල සිදුරක් හදල නගරයේ වැඩි කොටසක නාසි හමුදාවන්ට ඉදිරියට  එන්න බැරි වෙන්න වැළැක්වුවා. ඒකෙන් නැවත  ගොනුවෙලා පහරට සුදානම් වෙන්න කාලයක් ලැබුන. හැබැයි   ඒ කරපු ගොබ්බ වැඩෙන්  රතු හමුදා භටයන් එක්ක ලක්ෂයක් විතර සාමාන්‍ය  වැසියන් මැරුන කියල කියනව.  ඒක පොඩ්ඩක් අතිශයෝක්තියක් හැටියට තම මට  හිතෙන්නේ. මොකද ඒ වෙලාවේ ඒ පළාතේ  එපමණ මිනිස්සු ප්‍රමාණයක් හිටියද  කියල සැක සහිත නිසා.

ඉතින් ඕක යුධ උපක්‍රමයක් තමා. කවුද කලේ කියල තව ටික කාලෙකින් එළිවෙයි. ඒ අතරේ වෙස්ටෝරෝස් හම්බ වෙච්ච කිරි ටොයියා  අලුත් ආයුධ වලින් ගැහුවට තවම ලොකුවට මුකුත් වෙලා නැහැ කියල තමා කියන්නේ. 
 --වින්ටෆෙල් - වඩා සිතල පැත්ත. වෙස්ටොරොස් - බටහිරට බර පැත්ත  
rostov allegedly taken over by wagnber group




මොස්කව් වල කිසි අවුලක් නැත 





Tuesday 13 June 2023

ඩැනියෙල් ෂ්ටයින් ගේ පරිවර්තනය -1- (ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)

පළමු වෙළුම 


මගේ දෙවියන් වහන්සේට ස්තූති වේවා: මම ඔබ සියල්ලන්ටම වඩා භාෂාවන්ගෙන් කතා කරමි; නමුත් දේවස්ථානයේදී මා වඩාත් කැමති වදන් පහක් කියන්නට මගේම දැනුමින්,මගේ හඬින් ඔබලාට ඉගැන්විය හැකිනම් නොදන්න බසෙක වචන දස දහසකට වඩා.


1 කොරින්තියන්, 14:18-19


1. 

උඳුවප් මස 1985 , බොස්ටන් නගරයේදී 

ඒවා මනුක්‍යාන් 

මට හැම වෙලේම දැඩි ශීතලක් දැනුනි.  ගිම්හාන කාලයේ  මුහුදු වෙරළේදී, දැඩි හිරු රශ්මිය මධ්‍යයේ, මගේ පිට කොන්ද පැත්තෙන් ශීතලක්  දැනේ. සමහර විට එසේ වන්නේ මා ඉපදුණේ දැඩි ශීත සමයක, මහා කැළයක් මැද නිසාත්, මා  මගේ ජීවිතයේ  මුල් මාස කිහිපයම ගත කළේ  මවගේ ශීත සමයට අඳින විශාල  ලෝගුව තුල හිරවී සිටි නිසාත් විය හැකිය. මා ජීවත් වේ යැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැත. එනිසා කිසිවෙකු හෝ ජීවිතය ත්‍යාගයක් යයි පවසති නම් ඒ මටය. නමුත් ම නොදන්නා කාරණය වන්නේ මට ඒ ත්‍යාගය සැබැවින්ම ඇවැසි වූවාද යන්නය. 

බොහෝ අයට තමන් පිළිබඳ  මතකය ඇරඹෙන්නේ ඉතා ළඳරු අවදියේ සිටය.  මගේ මතකය අවදි වන්නේ වසර දෙකක දැරියකව කතෝලික අනාථ නිවසක සිටි කාලයේදීය. 

 මට ඉතා වැදගත් දෙයක්ව තුබූයේ, මටත් මගේ දෙමව්පියන්ටත් සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. ඒ කිසි දෙයක් මගේ මතකයේ නැත. සමහර සිද්ධීන් අරබයා ම දැනුවත් වූයේ මගේ වැඩි මහලු සහෝදරයා වන විතෙක් ගෙනි.. නමුත් ඔහුද ඒ කාලයේ කුඩා දරුවෙක් විය. මට පිරිනැමුණු ඔහුගේ මතකයන් තුලින් ඒ කාලය පිලිබඳ නිවැරදි සිතුවමක් ගොඩ නගන්නට මට හැකි වුනේ නැත. ඔහු රෝහලේ වැතිරී සිටිද්දී එක්සයිස් පොතක මතක් වුනු හැමදෙයක්ම ලියා තැබුවේ මා වෙනුවෙනි. ඒ දිනවල අපේ මව ජීවත්ව සිටින්නී යයි අප දැන නොසිටියෙමු. මගේ සහෝදරයා රුධිරය විෂවී මිය ගියේ අපේ මව කම්කරු  සිර කඳවුරෙන් නිදහස ලැබීමට කලිනි.  

මගේ හැඳුනුම්පත් වල සඳහන් වනුයේ මා ඉපදුන නගරය  එම්ස්ක් ලේනිනි. නමුත් ඇත්ත වශයෙන්ම  මා පිළිසිඳ ගෙන තිබෙන්නේ එම නගරයේදීය.  එම්ස්ක් නගරයේ තිබූ  යුදෙව්වන්ගේ ගෙටෝවෙන්  මගේ මව, 1942 අගෝස්තු මස පලා යනවිටත් ඇය මාස හයක ගර්භණියක් ව සිටියාය. ඇය පල ගියේ  මගේ සය හැවිරිදි  සහෝදරයා විතෙක් ද  රැගෙනය. ඒ අනුව මා ඉපදුනේ  එම්ස්ක් නගරයෙන් කිලෝමීටර සිය ගණනක් ඈත යාමට අසීරු තද වන ගහණයකය. එහි  එම්ස්ක් ගෙටෝවෙන් පැනගිය යුදෙව්වන් පිරුණු රහසිගත යුදෙව් කොලණියක් විය. ඒ කොළණිය 1944 අගෝස්තු  මාසයේ බෙලොරුසියාව  ජර්මන් ග්‍රහණයෙන් මුදවා ගන්න කල්ම එතනම පැවතුණි. කොලනිය   ජර්මන්  ආක්‍රමණිකයන් ට විරුද්ධව සටන් කළ ගරිල්ලා භට කණ්ඩායමක් වශයෙන් නම්කර  තිබුනත් ඇත්ත වශයෙන්ම එතැන හිටියේ නාසින්ට යටත්  ප්‍රදේශයක රහසේ ජීවත්වීමට උත්සාහ කල යුදෙව්වන් තුන්සීයක් පමණකි.    කඳවුරේ සිටි  පිරිමින්ගේ ප්‍රබලතම අධිෂ්ඨානය වූයේ ජර්මන්  වරුන් සමග කරන සටනකට වඩා  තමාගේ ආයුධ වලින් එතැන සිටි මහල්ලන්, ගැහැණුන්  සහ ළමයින් ටික ආරක්ෂා කර ගැනීමටය.

  මගේ මව අවුරුදු ගණනාවකට පසු මට පැවසූ පරිදි, පැන නොයා ගෙටෝ  එකේ නැවතී සිටි මගේ පියා එහිදී මිය ගොස් තිබෙන්නේ ඔවුන් ගේ පැන යාමෙන් දින කිහිපයකට පසුය. ගෙටෝහි  ඉතිරිව සිටි සියලු වැසියන්ට ජර්මන් වරුන් වෙඩි තබා මරා දමනු ලැබිය. මව මට පැවසුවේ මගේ පිය අප සමග පැනයන්නට  අකමැති වූ බවයි. ඔහුගේ අදහස වුනේ පැන ගියොත් කලබලවන  ජර්මානුවන් වඩාත් තදින් පලි ගැනීමට ඉඩ ඇති බවයි. ඒ නො ඇසූ බඩ  ගැබ්බරවී සිටි මගේ මව විතෙක් ද රැගෙන පලා ගියාය.  ගෙටෝවේ සිටි අටසියයක් යුදෙව්වන්ගෙන් පල ගොස් දිවි බෙර ගත්තේ තුන්සීයක් පමණකි.   

එම්ස්ක්හි පදිංචිව සිටි යුදෙව්වන්  සහ අවට ගම්වල සිටි යුදෙව්වන් ජර්මන් සොල්දාදුවන් විසින් ගෙටෝව වෙත ගාල් කලහා. මගේ මව එම  ප්‍රදේශයේ ජිවත්වූ අයෙකු නොවේ. නමුත් ඇයට එහි රැඳී සිටීමට හේතුවක් තිබුනි. ඇය ල්වෝව් නගරයේ සිට පැමිණ තිබුනේ කේජිබි ඒජන්තයෙකු ලෙසය. ඇය අති වාමාංශික තද කොමියුනිස්ට්වාදිනියකි. විතෙක්  ඉපදී  තිබුනේ 1936  ල්වොව්  හි සිර කඳවුරක දී පක්ෂයේ සහෝදරයෙක් සමග ඇගේ තිබුණු  සම්බන්ධයකිනි. මා ඉපදුනේ ඇය ගෙටෝවේදී හඳුනාගත් වෙනත් පුරුෂයකුට දාවය. මගේ ජීවිත  කාලය තුල මගේ මව තරම් මාතෘ පදවියට අතිශයින් නුසුදුසු කාන්තාවක් මට හමුවී නැත.  මා ඇත්තෙන්ම සිතනුයේ මගේ සහෝදරයාත් , මමත්  උපදින්නට  ඇත්තේ වෙනත් සුදුසු උපත්පාලන  ක්‍රමයක් නොතිබුණු නිසා හෝ  ගබ්සා කිරීමට ක්‍රමයක් නොතිබූ නිසා කියාය. මගේ යෞවන වියේදී මම ඇයට තදින්  ද්වේශ කළෙමි. පසු කාලයකදී මමට  ඇය සැලකුවේ මගෙන් දුරස්ව ජිවත්වන අමුතු ජාතියේ  පුදුම සහගත සත්වයෙක්  ලෙසය. අද වනතුරුත් මට ඇය සමග එක වහලක් යට  තැනක රැඳී සිටීමට නොහැකිය. දෙවියන්ට ස්තුතී වන්නට එවැනි අවස්ථා කොහොමත් දුර්ලභය.

මම ඇගෙන් අතීතය ගැන අසන වාරයක් පාසා හිසකෙස් කෙලින් කරගෙන ඈ තරහින් කෑ ගැසුවාය. ඇය හැමදාමත් දුටුවේ ම නිර්දේශපාලනික සුළු ධනේශ්වර තැනැත්තියක්  ලෙසය.  ඇය සැබැවින්ම එතැනදී නිවැරදිය. මට දරුවකු ලැබුණු පසු මා නිතැතින්ම දැන සිටියේ, ගැහැණියකගේ ජීවිතය එම දරුවා වෙනුවෙන් වෙන් වන බවය. නමුත් ඒ මගේ මව නම් නොවේ. ඇය මනස විකල්වන තරමේ භක්තිවන්ත කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවකි.

මසකට කලින් මට එස්තර් ගන්ට්මන් හඳුනාගන්නට ලැබුණි.  ඇය ඉතා ප්‍රියමනාප, චාම් වයස්ගත ගැහැණියක වූ ඇය ඉතා සුදු සමකින් යුත් පැසුණු හිසකේ  නිල් පැහැ කරගත් එකියක් විය.  ඇය කරීන් ගේ යෙහෙළියකි. ඔවුන් දෙදෙනා රැකියාව කළේ පුණ්‍යායතනයකය. කරීන් මට ඇය ගැන බොහෝ කලක සිට කියා තිබුණු නමුත් මට ඇය හඳුනා ගැනීමට උනන්දුවක් තිබුනේ නැත. නත්තලට ටික දිනකට කලින් කරින් ඇගේ පනස්වන උපන්දිනයට පැවැත්වූ සාදයේදී මම හදිසියේ එස්තර් දෙස  දැඩි උනන්දුවකින් බැලුවෙමි. මම අඩක් පමණ දන්නා එහි සිටියවුන් අතරේ ඇය කැපී පෙනුණේ කලක සිට දන්නා හඳුනන්නියක ලෙසිනි. එම සාදය සාමාන්‍ය  ඇමරිකානු සාදයකට වඩා හදවතට සමීප වූ අවංක එකක් ලෙස මට හැඟුනි. පෝලන්ත ජාතිකයන් විශාල ප්‍රමාණයක්ද, රුසියානුන් කිහිප දෙනෙක්ද යුගොස්ලාව් දෙදෙනෙක්ද එහි විය. ස්ලවේනියානු භාෂාවේ හඬ මට සුන්දර ලෙස ඇසුනේ අතරින් පතර වූ පෝලන්ත හඬවල් මැද්දේය. 

මට රුසියානු සහ පෝලන්ත යන භාෂා දෙකින්ම කතා කල හැකිවුවත් මා  ඉංග්‍රීසි බස කතා කලේ පෝලන්ත ඌරුවකිනි. අප එතරම් වැදගැම්මකට නැති වචන දෙක තුනක් කතා කරද්දීම  එස්තර් ඒ බව නිරීක්ෂණය කළාය.

   "ඔබ පෝලන්තයෙන්ද" ඇය  ඇසුවාය. මට එම ප්‍රශ්නය සැම විටම දැඩි කරදරකාරී එකක් විය.  එයට ඉක්මන් පිළිතුරක් දීම අපහසු වූයේ ත්  වෙහෙසකාරී ලෙස දීර්ඝ පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වූයේත්  මගේ මව  පෝලන්තයේ වෝර්සෝ නගරයේ දී  ඉපදුනත් , නොදත් අයෙකුට දාව මා උපත ලද්දේ බෙලොරුසියාවේ වීමත්, ළමා කාලය රුසියාවේ දී ගත කර පෝලන්තයට  පැමිණියේ 1954 දී වීමත්, නැවත ඉගෙනීම සඳහා රුසියාවට ගොස් , එතැනින්  නැගෙනහිර ජ්රමනියට පැමිණ ඉනික්බිතිව අවසන් වූයේ ඇමෙරිකාවෙන් බැවිනි.        

එනමුදු කිසියම් හේතුවකට මෙවර මා  කිසිවෙක්ට කිසිදා නොකියූ දෙයක් කීවෙමි.

- මම උපන්නේ එම්ස්ක් වල, හරියටම කියනවා නම් චෝර්නයි පුශා වල. 

- මහළු ගැහැණිය හුස්මක් ඉහළට ගෙන "මොන අවුරුද්දේද " කියා ඇසුවාය.

- 1942, මම කීවෙමි. මම කිසි දිනෙක මගේ සඟවා නැත. එයට හේතුව වූයේ මා  කොහොමත් වඩා තරුණ ලෙස   පෙනීමත් කිසිවෙක් මගේ වයස හතලිස් තුනක් යයි නොසිතීමත්ය.  

ඇය යන්තමට මා වැළඳගත් විට ඇගේ නිල් පැහැ ගන්වන ලද කෙස් තීරුව සමහ හිස වෙව්ලූ බව මට දැනුනි.

"මගේ දෙවියනේ, මගේ දෙවියනේ, ඒ කියන්නේ උඹ ජීවත්වෙනවා. අර පිස්සු ගෑණි උඹව වැදුවේ අගලක. මගේ සැමියා තමයි උත්පත්තියට උදව් කළේ. ඊට පස්සේ, මට හරියටම මතක නැහැ, මාසෙකට පස්සේ වගේ ඈ ළමයි අරගෙන අතුරුදහන් වුනා කොහෙටද. හැමෝම ඇයට ඉන්න කීවට ඈ කිසිවෙකුට ඇහුම් කන් දුන්නේ නැහැ. හැමෝම විශ්වාස කලේ ඔයාලව පාරේදී හරි ඊලඟ ගම්මානයේදී හරි අල්ල ගනීවි කියල. දෙවියන්ට ස්තූති වේවා, උඹ ජිවත් වුනා!"

අපි කොරිඩෝරයට පිවිසුනෙමු. එතැන් සිට අප දෙදෙනාට වෙන්වන්නට නොහැකි වුනි.  අප දෙදෙනා හිම කබායන් ගන්නට එය යද්දී විසුළු සහගත වූයේ කබායන් දෙකම  එක වගේ වීමෙනි.  ඒ කබා යුගලම ඉතා මහත, සත්ව ලෝම වලින් සෑදු අමෙරිකාවේ පිලි ගැනීමකට ලක්නොවූ ඒවාය. මා පසුව දැන  ගත්තේ එස්තර් ද මා  මෙන්ම ශීතලෙන් පීඩා විඳින බවයි.

අපි ඇගේ නිවසට වාහනය පැදවූයෙමු. ඇය ජිවත් වුනේ බොස්ටන් නගර මධ්‍යයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩල මාවතේ ම සිටි  වාසස්ථානයට මිනිත්තු දහයක දුරකිනි.  අපි ගමනේ යන විටත් , මා  රථය  පදවමින් ද ඇය මා අසල හිඳ   සිටියදීත් මට අමුතුම හැඟීමක් දැනුනි. මුළු දිවිය පුරාම මා සිහින මැවූයේ මට වඩා වැඩි මහලු, නුවණැති මට දැනුම් තේරුම් කියා දිය හැකි,මට කීකරු විය හැකි , මට අසා සිටිය හැකි අයෙක් වුවත් එවැන්නෙක් මුණ නොගැසිනි. අනාථ නිවාසයේ තද විනය පාලනයක් තිබුණු  නමුත් ම පැතුවේ එවැන්නක් නොවේ.මගේ  මුළු ජීවිතය පුරාවට   මම ජ්‍යෙෂ්ඨයෙකු සේ හැසිරුනෙමි. මගේ මව, ස්වාමිපුරුෂයා හෝ යහළුවන් මේරුණු අය වූයේ නැත. මේ වැඩිමහල් ගැහැණිය තුල තිබු කිසියම් අමුතු අන්දමක බැඳීමක් තුල ඇය කියන සියල්ලට කලින්ම මට එකඟ විය හැකිව තිබුණි. 

අපි ඇගේ ගෙතුලට ගියෙමු. ඇය විදුලි පහන් දැල්වූවාය. පොත් රාක්කය කොරිඩෝරය දිගේ නිවසේ පිටුපස දක්වාම විහිද ගොස්ය. මා එදෙස විස්මයෙන් බලන බව ඈ දුටුවාය. 

"මේ මගේ සැමියා ගේ පුස්තකාලය. එයට භාෂා පහකින් කියවන්න පුළුවන්. කලාවන් පිලිබඳ පොත් හුඟක් තිබෙනවා. මට මේවා තියල යන්න සුදුසු කෙනෙක් හොයා ගන්න ඕනේ " 

එස්තර් ධනවත්  වැන්දඹුවක් බවත් ඇයට දරුවන් නැති බවත්, අතිශය තනිකමින් පෙලෙන බවත්  කැරින් කීවා මතකය. එස්තර් ගේ පවුලේ සියලුම දෙනා දෙවන ලෝක යුධ සමයේදී මිය ගොස් ඇත.   

එස්තර් මට කි දේ මෙයයි: ඇය මගේ මව පළමු වරට දුටුවේ  එම්ස්ක් හි ගෙටෝවේ දී ජර්මනුන් අවශේෂ ගම් හා ප්‍රදේශ වලින් යුදෙව්වන් එළවද්දීය. ඒ තාක් කල් ගෙටෝවේ හිටියේ නගර වැසියන් පමණකි. නගරවැසියන් ගෙටෝවට පැමිණ තිබුනේ ස්ව කැමැත්තෙනි. ඊට හේතුව ඔවුන් ගෙටෝවට පැමිණීමට දින කිහිපයකට පෙරතුව යුදෙව්වන් විශාල ප්‍රමාණයක් නගරයේදී ඝාතනය කර තිබුණි. යුදෙව්වන් නගරයේ කතෝලික සහ ඔර්තොඩොක්ස් පල්ලි අතර මැද චතුරශ්‍රයට ගාල් කර නගරවාසීන් විසින්ම වෙඩිතබා එක්දහස් පන්සියක් පමණය ඝාතනය කර ඇත. දිවි බේරා ගත් වුන් ගෙටෝවට ගාල් වී ඇත.

එය සාමාන්‍ය ගෙටෝවක් ලෙස හැඳින්විය නොහැක්කේ එවැන්නක හැදෙන්නේ දිස්ත්‍රික්කයක හෝ  කිහිපයක වැඩවසම් යුගයේ සිට යුදෙව්වන්  ජීවත්වීම නිසාවෙනි. එම්ස්ක් හි සිදුවුයේ මීට පටහැනි ලෙස මිනිසුන් තම නිවෙස් අතහැර කිසියම් රජ කුමරෙකුට අයත්ව තිබු අඩක් විනාශ වුනු පරණ බළකොටුවකට විතැන් වීමෙනි. ඔවුහු එය වටා කම්බි ගසා මුරකරුවන් රැඳවූහ. මුලදී කවුරුන් කාගෙන් ආරක්ෂාකාරී වන්නේද  යන්න අපැහැදිලි විය.  පොලිස් භටයන් ලෙස කටයුතු කලේ දේශීය බෙලරුසියානුවන්ය.යුදෙව්වන් මුර කිරීම තමනට අයත් නොවන පහත් කාරියක් ලෙස ජර්මනුන් සැළකූහ.බෙලොරුසියානුන් සමග ගනුදෙනුව තනිකරම අල්ලස් මත යැපිනි. සියලුම දේට ඔවුන් අල්ලස් මුදල් ලබාගත් අතර ඔවුන් ලවා ආයුධ වුවද ලබාගැනීමට හැකියාවක් තිබුණි.

 "ඔබේ මව පළාතේ කෙනෙක් නෙමෙයි." එස්තර් කීවාය.

"ඇය රූමත් කාන්තාවක්, හැබැයි හරි කෙලින් කතා කරන, තියුණු ගැහැනියක්. ඇයට පුංචි පුතෙක් හිටිය. මට මතකයි ඇගේ වාසගම. කොවච් නේද?  "

මම ඉමහත් අසීරුවෙන් හැකිළුනෙමි. මම ඒ වාසගමට ද්වේෂ කලෙමි. මගේ මවට වෙනත් වාසගමක් තිබූ බව මම හොඳින් දනිමි. එම වාසගම පක්ෂය විසින් ලබා දුන් නමට සාදාගත් හොර හැඳුනුම්පත් වල සඳහන්  එකකි.  ඇය ජිවිතයෙන් භාගයක්ම ගත කලේ එම වැරදි නමිනි. මට තිබු විවාහ වීමේ හදිසියට එක හේතුවක් වුයේද එම නමින් නිදහස් වීමට තිබූ දැඩි කැමැත්තය. හැමෝම තිගැස්සුනේ පෝලන්තයේ යුදෙව් ගැහැනියක් ජර්මානුවෙක් කසාද බැඳීමය.  ඇත්තටම, එරික් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (නැගෙනහිර ජර්මනියේ) කොමියුනිස්ට් වාදියෙක් වූවා පමණක් නොව එම හේතුව නිසාම රුසියාවේ උගෙනුම ලැබීමටද ඔහුට හැකි විය. අප මුණ ගැසුනේද එලෙසය.

මා එස්තර් දෙස බැලුවේ ළඳරුවෙක් රසකැවිල්ලකට ආශාක්ත වූ ලෙසිනි. එවැනි ගැහැණියක්, මෘදු සහ නිහඬ, යුරෝපියානු සුලලිත බව සමග සිල්ක් සාය , ඉතාලියානු පාවහන් , කිසිදු බොරු සාටෝපයක් නැති, බොළඳ ඇමෙරිකානු  ජේත්තුව නොපෙන්වන ඇය , මවකට, නැන්දණියකට, මිත්තණියකට මොන තරම් සුදුසුද? ඇය මට ඇමතුවේද මගේ දයාබර දරුවා කියාය.

ඇය විස්තර කිරීම ඇරඹුවේ මගේ කිසිදු අනුබලයකින් තොරවය. ගෙටෝව තුල පාලනය සඳහා ප්‍රබල සංවිධානයක් එය තුලම ගොඩ නගා තිබුණි.ප්‍රබල ස්වයංපාලන ක්‍රමයක් සහ තමන්ගේම ප්‍රධාන විධායක නිලධරයෙකුද එහි විය. ඉතා ප්‍රසිද්ධ හා උගත් බොහෝ අය කියන පරිදි ඉතා සාධාරණ රබි වරයෙකු වූ  රබී ෂර්මන් මේ බලවතා විය..පෝලන්ත යුදෙව්  වෛද්‍යවරුන් වූ  එස්තර් සහ ඇගේ සැමියා මේ ප්‍රදේශයට  පැමිණ තිබුනේ යුද්ධයට වසර කිහිපයකට කලින්ය. එස්තර් දන්ත වෛද්‍යවරියක වූ අතර ඇගේ සැමියා ඉසාක් ගන්ට්මන් ශල්‍ය වෛද්‍යවරයෙකු විය.   ඇය ෆ්‍රෑන්ක්ෆට් නගරයේ දන්ත වේද විදුහලින් උපාධිය ලබාගෙන තිබුණි. ඔවුන් නිදහස් චින්තකයන් නොවූ සාමාන්‍ය  යුදෙව්වන් වූ අතර සබාත් දිනයේ (සෙනසුරාදා) ඉටිපන්දමක් දැල්වුවද එලෙසම වගේ සෙනසුරාදාවක සංගීත හෝ නැතය සන්ධ්‍යාවකට අසල  නගරයකට පැකිලීමකින් තොරව ගියහ. එම පෙදෙසේ ජීවත්වූ යුදෙව්වෝ ඔවුන්ට පිටස්තරයන් සේ සැලකුවද දත් වෙදකම් සඳහා ඔවුන් වෙත ගියහ. හිට්ලර් ගේ ජර්මනිය පෝලන්තය ඈඳාගත් වහාම ඉසාක් සිය බිරියට පැවසුවේ සියල්ල අවසන් වන බවත්  කෙසේ හෝ එතැනින් ලෝකයේ කොතැනකට හෝ පැන යා යුතු බවත්ය. ඔහු පලස්තීනයට යාමට පවා සූදානමින් සිටියේය. ඔවුන් කරන්න කුමක්ද යයි සිතමින් සිටියදීම ජර්මන් ආක්‍රමණිකයන් යටතේ ගෙටෝවේ කොටුවීමට සිදුවුණි.

අප ඉඳගෙන සිටියේ, මදක් පැරණි වුවද  හොඳ රසවන්ත බවකින්  යුරෝපියානු විලාසිතාවට බඩු භාණ්ඩ සැකසුනු අනගි තට්ටු නිවසක විසිත්ත කාමරය තුලය.  අයිතිකාරියගේ සංස්කෘතික ජීවිතය මට වඩා බොහෝ උසස් මට්ටමක බව මට ඒ වනවිටත්  වැටහී තිබුනේ එසේ වූයේ කලාතුරකින් බැවිනි.   කැටයම් මිස ලාභ පින්තූර එල්ලා නොතිබූ එය පොහොසත් නිවසක් විය.  සම්පුරණ  භාණ්ඩ කට්ටල නොවූවද සෑම ලී බඩුවක්ම කොටසින් කොටස පරිස්සමින් එකතු කර පිරිද්දන ලද බවක් පැහැදිලි විය.  නූස් පෙට්ටගමක් උඩ කිසියම් ජිවිතයේ වෘක්ෂය වැනි මෙක්සිකානු පිඟන් බඩුවක් විය.  

එස්තර් හිඳගෙන සිටියේ ගැඹුරට ගිය හාන්සි පුටුවක කෙල්ලක මෙන් එක කකුලක් උඩට ගෙන ඇඟ යටින් සඟවා වා ගෙන, ඇගේ  නයි හැවෙන් සාදන ලද  සපත්තු කුට්ටම   එතැනම ගලවා දමාය. මෙවැනි විස්තර මගේ සිතේ හොඳින් ඇඳී තිබේ. මගේ මවට මා සුළු ධනේශ්වර එකියකයි කීවේ නිකම්ම නොවේ.  අනාථ නිවාසය, කුඩා කල නිවස, මගේ  කොන්ද හරහා එන ශීතල විසින් අමතක නොකරවයි.   මගේ මව අපේ අන්ත දුගී භාවය  සැළකුවේ සාමාන්‍යයක් ලෙසටය. ස්ටාලින් ගේ සිර කඳවුරු ඇයට සුව පහසු නිවසක් සේ දැනුනා විය යුතුය. මම අනාථයෙකු ලෙස මගේ දුගී බවින් මිදී පලා යද්දී මට ලැබෙන හැම කෝප්පයක්ම, තුවායක්ම, මේස් කුට්ටමක්ම සිප ගැනීමේ සූදානමින් සිටියෙමි.අප බර්ලිනයේ, ප්‍රේන්ට්සුලර් බර්ග් හි  එකට ජිවත් වීමට පටන් ගත් මුල් වසරේ එරික් අමතර  රැකියාවකුත් කලේ මට ඇඳුම් ආයිත්තම්, උයන පිහන භාණ්ඩ සහ අනිකුත් දේ මිලදී ගැනීමට ඉඩ සැලසීමටය. එය මට අතීතය අමතක කරවීමට ඉවහල් වන බව ඔහු දැන සිටියේය. එම පිස්සුව පසු කලෙක හොඳ වුනත් , මා  දැන් සිටින ඇමෙරිකාවේදී පවා මගේ විනෝදාංශය වූයේ සේල් ඇති සාප්පු වල, ලාභ හා භාවිතා කල බඩු විකුණන ගැරේජ් වල හා  භාවිතා කළ බඩු විකුණන ෆ්ලී  මාකට් වල ඇවිදීමය. ග්‍රීෂා, මගේ වත්මන් සැමියා එය සැහැල්ලුවට ගණන් ගත්තේ ඔහු පැමිණියේද රුසියාවෙන් බැවිනි. ඔහුද  හැදුනේ වැඩුනේ  මෙවැනි දේවලට, භාණ්ඩ වලට  ආශාවෙන් දිවයන මිනිසුන් අතරය. ඇමෙරිකාවේ උපත ලත් මගේ පුත් ඇලෙක්ස් ගේ විනෝදාංශයද දේවල් මිලදී ගැනීමය.  අප හොඳ භාණ්ඩ ලෝලීන් බව එස්තර් නිහඬව වටහා ගත්තාය.

        "ගෙටෝව ඉතාමත්ම නරක තත්වයේ තිබුනේ. හැබයි ඉතින් ඊටත්  වඩා අජූව ඒවා දැකල තිබුනේ නැති නිසා. අපි එතකොට දැනගෙන හිටියේ නැහැ අමානුෂික වධ කඳවුරු ගැනවත් දස දහස් ගණනින් මිනිසුන් මුළු යුරෝපය පුරා  මරාදමමින් සිටින බව වත්". මේ දෑ පවසන ගමන්ම ඈ සිනාසුමුත් ඇගේ චර්යාවේ කිසියම් වෙනසක් එනම් කිසියම් නොඇලීමක්, ශෝකයක් සේම හඳුනාගත නොහෙන යමක් විය. ඒ නුවණැතිකම යයි මම අනුමාන කළෙමි. ඔව්, අප කතා කළේ පෝලන්ත බසින් බැවින් එය මට සහනයක් විය.

"අප කොපමණ කල් ගෙටෝවේ හිටියද? " මම ඇසුවෙමි.

"අවුරුද්දකට අඩුවෙන්. හතලිස් එකේ සරත් සමයේ. අපි එහෙන් ගියේ එක්දාස් නවසිය හතලිස් දෙකේ අගෝස්තු 11. පස්සේ තවත් අවුරුදු දෙකක්  චෝර්නයි පුශේ වල සටන්කාමී කණ්ඩායමක. නිදහස ලැබෙන තුරුම අගල් ඇතුලේ තමා ජිවිතේ ගෙවුනේ. පවුල් සටන්කාමී කණ්ඩායමක කඳවුරක්. අන්තිම වෙනකොට තුන්සීයකින් ඉතිරි වුනේ එකසිය විස්සක් පමණයි. ළමයි හය දෙනෙක් අපේ කණ්ඩායමේ හිටිය. ළමයි දෙන්නෙක් කැලේ ඉපදුනා. උඹ සහ තව පිරිමි දරුවෙක්. එයා මැරුණා"

       "චෝර්නොයි පුශි වලින් මගේ මව ගියේ ඇයි  "මා  එම පැනය ඇසුවේ මගේ මව ඒ පිළිබඳව මට පිළිතුරක් සපයා දී තිබුන වුවත් මගේ මව බොහෝවිට අසත්‍යයම පැවසූ බැවිනි. ඇය ඇත්ත නොකීවාටත් වඩා මට ඇය විශ්වාස කිරීම ඉතා අපහසු වූ බැවිනි. මට අවශ්‍ය වුයේ එස්තර් කුමක් කියන්නේදැයි දැන ගැනීමටය. ඒ ඇය සාමාන්‍ය කාන්තාවක් වූ බැවිනි.

"අපි හුඟක් උත්සහ කළා ඇය වළක්වන්න. මට හොන්දට මතකයි ඉසාක් හුඟක්ම අමනාපෙන් හිටිය එයා ළමයින්ගේ ජිවිත අනතුරේ දමමින් අනාථනිවාසය හැරයමින්  කරන්න යන අසාධාරණය ගැන.  එයා උත්තරයක් වත් දුන්නේ නැහැ.  ඇය ගෙටෝව ඇතුලෙදි කතා කල එකම තැනැත්තා විදුලි කාර්මිකයෙකු වූ නෞම් බෞහ් විතරයි." 

මගේ පියාගේ වාසගම මා දැන ගත්තේ ඒ අවස්ථාවේය. මගේ මව එය කිසිදාක පැවසුවේ නැත. ඇය සාමාන්‍ය ගැහැනියක වූවා නම් මගේ නම විය යුතුව තිබුනේ ඒවා බෞහ් ය. කොපමන සිත් ගන්නා  සුළුද.  

 "එයා  ගැන මට විස්තර කරන්න " මම එස්තර් ගෙන් අයැදීමි.

"මම එයා ගැන වැඩිපුර දන්නේ නැහැ.  හැබැයි එයා සුදුසුකම් ලත් ඉංජිනේරුවෙක් නම් නොවේ"  ඇය කිසිදු චලනයකින්  තොරව කොන්ද කෙලින් කරගෙන හිඳගෙන සිටියේ වංශාධිපතිනියක ලෙසිනි. කිසිදු යුදෙව් අභිනයකින් තොරවය.

 "ඉසාක් මට කියල තියනවා යුද්ධයට කලින්, මේ බෞහ් ව රෝහලට එන්න කිව්වය  කියල මොකද්ද කැඩුණු යන්තරක් හදන්න. ගෙටෝවේ එයට ඉසාක් වගේම  හොඳ තැනක් තිබුන.   සමහර යුදෙව්වන්ට නගරයේ රැකියා තිබුන, ඔවුන්ට අවසර තිබුන නිසා. ඉසාක් රෝහලේ ලෙඩුන් බලද්දී , බෞහ් නගරයේ රැකියාව කළා. "  

"ගෙටෝවේ ඔබේ මවයි නෞම් නුයි ජිවත් වුනේ එකට. වම් පැත්තේ මොකක් හරි කාමරේක. මේ බලකොටුව බාගෙට බාගයක්  විනාශ වෙලා තිබුන නිසා එතනට එලෙව්වට පස්සේ අපි බලකොටුව  අලුත්වැඩියා කරන්න කටයුතු කලා. මුල්කාලයේදී ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට  අවශ්‍ය ද්‍රව්‍ය පවා මිලදී ගත්ත. යූදේන්රාත් (යුදෙව්වන් ගෙන් සැදුම් ලත් කමිටුවක්. විශේෂයෙන් ජර්මනුන් ආක්‍රමණය කරන ලද පෙදෙස්වල) කමිටුවෙන් තමයි මෙහෙයෙව්වේ. ඔක්කොම් අවසන් වුනේ ඉතා දරුණු ලෙස. යුදෙන්රත් එක දිගින් දිගටම වගේ බෙලරුසියානු පොලිසියට මුදල් ගෙව්වා. උන්ගේ හිටියා මහා එපා කරපු කපටියෙක් පොලිසියේ ස්ථානාධිපති විධිහට. මට උගේ නම මතක නැහැ. ඌ අපට පොරොන්දු වුනා "ක්‍රියාන්විත " වලින් - තේරුණා නේද මම කියන්නේ මොකක් ගැනද කියල - ගෙටෝවේ ඉන්න අපට මුකුත් වෙන්නේ නැහැ කියල ඌට අල්ලස් දෙනකම්. ඒ වෙනකොටත් අහල පහල ගම්වල යුදෙව්වන් විනාශ කරලා ඉවරයි කියල අපි දැනගෙන හිටියේ. යූදේන්රාත් එක වෙලාව එනකන් ඇඟිලි ගැන ගැන උන්නේ, අර වාචාලය අපට කිසි උදව්වක් කරන්නෙත් නැහැ කරන්නත් බැහැ කියල අපි දැනං උන්න. ඌ අපෙන් සල්ලි හෙව්වා විතරයි. හැබැයි ඒ වෙනකොට කාගේ අතේවත් සල්ලි තිබුනේ නැහැ. ගෑණු තමන් ස්වර්ණාභරණ හැටියට අන්තිමටම  ඉතුරු කරගෙන හිටි මඟුල් මුද්ද පවා දුන්න. මගේ මුද්දත් මම දුන්න. මම හැම විස්තරයක්ම දැනන් හිටියේ නැහැ ඒ වෙලාවේ, දැන් ඉතින් ඒකෙන් ඇති වැඩකුත් නැහැ."

"සමහර  අය ඇත්තටම හිතන් හිටිය පැවැත්ම මුදලට ගන්න පුළුවන් කියල. එනිසාම තමයි බේරිලා පැනලා යන්න යෝජනා කරපු වෙලේ ඒ ගැන ප්‍රජා සභාවක් කැඳෙව්වාම කට්ටිය දෙකට බෙදුනේ. භාගයක් පැනල යන්නත් ඉතිරි භාගේ ඊට විරුද්ධවත්. විරුද්ධව හිටි අය විශ්වාස කළේ පැනල යන්න තැත් කළාට පස්සේ ඉතිරිව ඉන්න අය භයානක පීඩාවකට පත්වෙයි කියල. හැබැයි දේවල් නිකම් පිඩාවක ට පත් කිරීමෙන් එහාට ගිහිල්ලයි තිබුනේ, තේරුනාද. පලායාම සංවිධානය කළ අය අතරේ සම්පුර්ණයෙන් කැපවුණු  නියම සටන්කාමීන් හිටිය.  ඔවුන්ට අවශ්‍ය වුනේ මුහුණට මුහුණලා සටනක්. ඔවුන්ට නගරයෙන් සහයෝගය තිබුනා වගේම සනවී සටන් කරන ගරිල්ලන් ගේ සහයෝගයත් තිබුන. අපි ඒක දැනගෙන හිටියේ නැහැ ඒ වෙලේ. ඇත්තටම කියනවනම්, හැමදේම සංවිධානය කලේ ඩිටර් කියලා තරුණ  ජූවෙක්. ඔහු ගෙස්ටාපෝ (හිට්ලර් ගේ රහස් පොලිසිය) එකේ පරිවර්තකයෙකු හැටියට වැඩ කළා.  මොන විධිහකින් හරි තමන් ජූවෙක් බව ඔහු දක්ෂ ලෙස සඟවා ගෙන හිටියේ. ඔහුව පස්සේ  අත් අඩංගුවට ගත්තත් පලා  යන්න සමත් වුනා. "

එක්වරක, යුද්ධය අවසන් වෙන්න ඔන්න  මෙන්න කියල තිබෙද්දී ඔහු චෝර්නයේ පුශේ වල අපේ කඳවුරට ආව. එයා රුසියානු ගරිල්ලා කණ්ඩායමක සටන් කරමින් හිටිද්දී එළදෙනක් සමග අප වෙත එවා තිබුන. එක්කෝ ගරිල්ලන් එළදෙන මිලයට අරන් තිබුන, නැත්නම් බලෙන්ම අරන් තිබුන. එයාල අපේ මස් වෙළෙන්දෙකු ලෙස කටයුතු කළ තරුණයෙකුට කීව එළදෙන මරල එයාලට සොසේජස් හදල දෙන්න කියල.  ඩිටර් එළදෙන එක්ක ආවහම අපේ මිනිස්සු ඔහුව හඳුනා ගෙන ප්‍රීතියට පත් වුනා. කවුරුහරි සමගොන් (කසිප්පු වැනි බීමක් ) ගෙනාව. ඔහු ගස් කොටයක් උඩ වාඩි වෙලා ක්‍රිස්තුස් ගැන කථා කරන්න පටන් ගත්ත. මිනිස්සු එකිනෙකා දිහා බලන්න ගත්ත.   ක්‍රිස්තු ගැන කතා කරන එක වගේ තවත් මෝඩකමක් ගැන හිතා ගන්නවත් බැහැ ඒ වගේ වෙලාවක. මට හිතුන ඔහුට පොඩ්ඩක් වෙන්න පිස්සු කියල. විශ්වාස කරන්න පුලුවන්නම්, ඒ  වනවිටත් ඔහුව බැප්ටයිස් කරලා, එයා ළඟ සුරුවම් වගයකුත් තිබුන. හුඟක් අමාරුවුනා විශ්වාස කරන්න මේ අර පලායාම සංවිධානය කරපු කෙනා කියලවත්. එතකොට 1945 මුල් කාලේ, නිදහස ලබල අපි හැමෝම ඔහුත් සමග පෝලන්තයට පළමු දුම්රියෙන්ම ගියා. මට කවුරු හරි කිව්වා ඔහු යුද්ධයෙන් පස්සේ කතෝලික පිය තුමෙක් වුනාය කියල. "

 "එදා ඒ දෛවෝපගත දිනයේ පලායාමට කලින් රාත්‍රිය වාදය  කොච්චර තියුණු වුනාද  කීවොත් එකිනෙකාට ගුටිබැට  දෙන්න පවා ගත්ත. අවුරුදු අසූවක් විතර වන නුවණැති මිනිහෙකු වූ  රබී ශිර්මන් තමයි රණ්ඩුව නැවැත්වුවේ. ඔහුට පුරස්ථි පිළිකාවක් තිබුන නිසා ඒ බලකොටුව තුලදීම ශල්‍ය කර්මය කලේ ඉසාක්. මොන ශල්‍යකර්මද එතන, කැතීටරයක් දැම්ම එක විතරයි කළේ.  රබී පුටුවකට නැග්ග ගමන් හැමෝම නිහඬ වුනා. ඔහු කීව ඔහු කොහෙවත් යන්නේ නැහැ, මෙතනම ඉන්නවා. යන්න ශක්තියක් නැති අය  හිටපු දෙන්. ශක්තිය තියෙන අය පලා ගියදෙන්.  ඉසාක් කිව්වා අපි යනවා කියල. ඒ වගේම අපි ගියා. උඹේ අම්ම  පුතත් එක්ක ගියා, නෞම් හිටිය. එතකොට කවුරුත් දන්නේ නැහැ එයා බඩ ගැබ්බරයි කියල. ඉසාක් දැනගෙන හිටිය, මොකද එයා ආව ගබ්සාවක් කරගන්න  ටික දිනකට කලින්. ඉසාක් එය ප්‍රතික්ෂේප කළා දවස් පැනල නිසා. 

එස්තර් ඇගේ හිස තීරණය නිවැරදි බවක් පවසන්නට මෙන් සෙලවූවාය.    

"ඉතිං බලන්නකෝ, එයා හරි තමා, කොපමන හොඳ දැරිවියක්ද ඉපදුනේ. ඒ මදිවට ජිවත් වුනා. එස්තර් සිටියේ දැඩි විඩාවකින් පෙළෙමින් බව දුටු මම නැවත හමුවීමට ගිවිස ගනිමින් නික්ම ගියෙමි. මම අමුතුම හැඟීමකින් පෙළෙමින් සිටියෙමි. මට මගේ පියාගේ ජිවිතයේ සෑම සිදුවීමක්ම  ගැන දැනගැනීමට මහත්සේ අවශ්‍යව තිබුණු මුත් මා දැන් එයට බිය වීමි. එක අතකට දැඩි  දැන  ගැනීමේ ආශාවත්, අනිත් අතට  දැන ගැනීමට ඇති බියත් එකට පැන නැගුණි. මම හැම විටම අතීතයේ ගැලවෙමින් සිටි මුත් ග්‍රීෂා මුණ ගැසීමෙන් පසු එය නැතිව ගියේය. ඒවා නම්  ඒ පෝලන්තයේ සගොර්ස්ක් ළමා  නිවාසයේ සිටි කුඩා දැරිය , පසුව සෝවියට් අනාථ නිවාසයේ හැදී වැඩුණු ඇය තව දුරටත් මා යැයි නොසිතුණි.  මට එය පෙනුනේ අතීතයේ දුටු සිනමා පටයක කොටසක් මෙනි.  නමුත් දැන් මට ඒ සියල්ල දැන ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.  මට තවමත් සිතේ මවා ගැන්මට අපහසුව ඇත්තේ  තරුණ කාන්තාවක් , දරුවන් දෙදෙනෙකුගේ මවක් ඔවුන් අනාථ නිවාසයකට භාර දුන්නේ කෙසේද යන්නය. මා නොදන්නා තවත් දෙයක් තිබෙන බව මට හැඟේ.

~ මතු සම්බන්ධයි 

ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි.

- පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 

14/06/2023 

Sunday 4 June 2023

ලක්ෂ පහ පැන්නීම



මේ බ්ලොගය පටන් අරගෙන ලියපු මුල්ම ලිපිය තමා "අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තව දුරටත් වලංගුද ?" කියන දේශපාලන ලිපිය.  ඒ ලිපිය පල  කලේ  2013 ජනවාරි නම වැනිදා. දැන් 2023 මැයි 26 කියන්නේ බ්ලොගය පටන් අරගෙන අවුරුදු දහයකුත් මාස පහක් විතර. ඔන්න ඉතින් මේ අවුරුද්දේ බ්ලොගයට ආපු සංඛ්‍යාව ලක්ෂ පහක් පැන්නුව.  මම හිතන් හිටියේ ඔය සංඛ්‍යාවට ආවහම ලියන එක නවත්වන්න. හැබැයි එක අතකට හිතුන එහෙම කරන එකෙත් තේරුමක් නැහැ කියල. හොඳ නරක දෙකම සිද්ධ වුනා මේ බ්ලොග් ලියද්දි. නමුත් හොඳ පැත්ත  නරකට වඩා වැඩියි කියල හිතෙන්නේ.

හොඳ පැත්ත බැලුවොත් ලිපි 592 ක් ලියල තියනවා. ඒ අනුසාරයෙන් පොත්  තුනක් පල කළා. "පොල් කට්ටෙන් එපිටට", "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" තමයි ඒ. 

ඒ පොත් එලි දක්වනකොට  බ්ලොග් ලෝකයේ බොහොම දෙනෙක් ආව. "පොල් කට්ටෙන් එපිටට" එකට උදව් කලේ චූලානන්ද සමරනායක සහෘදය. ඒකට සුමිත් කලණසිරි යාපා, ඉවාන් සංවිධානය පැත්තෙන් උදව් කළා.  මාතලන්, මහේෂ්, දුලිප්, කටුස්සා, බස්සි, ඔමායා, කසුන්, සුදීක, බෝධිනී, නුවර කුමාරි,  රසික, බිබිසිඑකේ  චමින්ද,   සහ මගේ පරණ යාලුවෝ උපුල්, හේමාලි, ඒ වගේම දීප්ති ආදී නම් කී නොකී පැමිණි සියල්ලන්ටම  ස්තූතියි අදටත්. ත්‍රිකෝණ ය ශාලාව  ලබා දුන්නේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය, චුලා හඳුන්වා දුන්නට පස්සේ.  





බ්ලොග් සම්මාන  උළෙලවල තුනක් පවත්වන්න හැකි වුනා නොයෙකුත් හැල හැප්පීම් මැද.  හුඟක් අය කියනවා බ්ලොග් සම්මාන නිසා  බ්ලොග් ලෝකේ නැති වුනා කියල. නමුත් ඒක  පටන් ගත්තෙම  බ්ලොග් ලෝකේ මධ්‍යකාලින බ්ලොග්   කාරයෝ හා ආදී කල්පික බ්ලොග් කාරයෝ අතර ගිය මාරාන්තික වලිය නිසා හුඟක් අය බ්ලොග් ලිවිම නැවැත්තුව කාලෙක කියන එක හැමෝටම අමතකයි. ඒ කාලේ වෙන කොට  බ්ලොග් ඇදන්  ගියේ මාතලන්, කතන්දර කාරයා (රසික), බස්සි, බෝධිනී  හා තව  කිහිප දෙනෙක් පමණයි. ඒ 2015 විතර. 

සම්මාන උළෙල වල් තුනම  හොඳට වුනා  කියන එකයි මගේ අදහස. ඒකට නොයෙකුත් චෝදනා ආපු එකත් ප්‍රශ්න තිබුණු එකත්  ඇත්ත. අතපසුවීම් වුනා. අපට ලංකාවේ තත්වයන්ට අනුව ක්‍රියා කරන අන්දම ගැන පුහුණුවක් නොතිබීම සහ සමහර වෙලාවට හැම දෙනාවම  විශ්වාස කිරීමත්  ප්‍රශ්න ඇති කළා. නමුත් අද වුනත් ඒ සම්මාන උළෙලවල් පැවැත්වීම ගැන පසු තැවීමක් නැහැ. සමහරු චෝදනා කරන පරිදි සම්මාන උළෙල කිසි ලෙසකින් වත්  පක්ෂග්‍රාහී වුනේ නැහැ. ඒ චෝදනාව කෙරුවේ හෝ කරන්න පරණ ජවිපෙ සපෝටර් කෙනෙකු හා බයි සහෝදරයෙකු පමණයි කියල පසුව දැන ගන්න ලැබුණ. ඉයන්, සුමිත්, දිමුතු (කටුස්සා) , මාධව , ප්‍රසන්න ඇතුළු බොහොමයකගේ උදව් ලැබුණ.

සියමා පොත පල කරන කොටත් ඒ බ්ලොග් සහෝදරත්වයම නැවත හිටියා උදව් කරන්න.තරංගනී රෙශිකා ,  ප්‍රගීත් අනුරාධ, දිලිනි කාරියකරවන, නන්දන වීර රත්න, දීප්ති ගුණරත්න,  නිපුන ප්‍රනාන්දු   ඇතුලු කට්ටියක්ම ආව, කතාපවත්වන්න , සින්දු කියන්න වගේම. සහභාගිත්වයට රන්දිකා ළමයි තුන්දෙනත් එක්ක ආව, සුමිත්, ප්‍රා බෝධිනී යුවල, ධම්මික, පද්මිණි, ඉයන්  ඇතුළු නම් නොලියවුණු සියල්ලමට ස්තූතියි.







තුන්වැනි පොත සඳහාත් මේ බ්ලොග් සහෝදරත්වය ඒ වගේම සහයෝගයක් දුන්න.  ඒ අතරේම් සුනිල් විජේසිරිවර්ධන, චන්ද්‍රගුප්ත තේනුවර, රාමනායක සමග රුසියානු මධ්‍යස්ථානයත් අමතක කරන්න බැහැ.  


මේ කෑල්ල පස්සේ එකතු වෙන එකක්. මෙන්ඩා අපිත් එක්ක ආව එක බ්ලොග් සම්මාන උළෙලක් ඉවර වෙලා. මගේ පන්ති සගයකු වන RK විතානගේ සහ මල්ලිත් හිටිය. මොන හේතුවකට හරි කොත්තු කාල ඉවර වෙලා එනකොට වෑන් එක ස්ටාර්ට් වුනේ නැහැ. මෙන්ඩයි අපියි තල්ලු කළා.  ඔහොම පොඩි පොඩි කෑලිත් තිබ්බ.

බ්ලොග් යාළුවෙකු වන සුදීක හෙවත් දිල්රුක් හොඳ යාළුවෙක්. දේශපාලන වශයෙන් අපි දෙන්න අහසයි පොළොවයි වගේ. ඒ වුනාට සුදික අගය කරනවා අපි කරපු දේවල්. 

ලන්ඩන් පොත් එලි දැක්වීම් ගැන ලියන්න අමතක වුනා. විජිත ගුණරත්න ස්වීඩන් ඉඳන් ආව. සරෝජ් පතිරණ, අරුණ පෙරේරා, සුදත්, සේනක, වරුණ, මහින්ද , දුෂාන්ත සහ විපුලි, බුද්ධික සහ ප්‍රියන්වදා, කුමාර, මායා, නුවන්, ආශා , නිල්  සහ    මගේ පවුලේ අය  සහභාගී වුනා පොත් එලි දැක්වීම් වලට. නන්දන වීරරත්න ලංකාවේ සහ එංගලන්තයේ දෙකටම සහභාගී වෙච්චි කෙනෙක්.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ එකටත් සෑහෙන ප්‍රමානයක් සහභාගී වුන අතුල රත්නායක, සුබෝධ, සරෝජ්, මාකස්  ප්‍රියන්ත , ආශා සුරියබණ්ඩාර , විපුලි , අයුමිනි වික්‍රමරත්න  සහ පවුල ඒ අයගේ සහයෝගයටත් ස්තුතියි. 



ඒ දවස් වල පැරා, මාතලන්, එකොනමැට්ට , රාමචන්ද්‍ර මේ ලක්ෂ පහේ  සීමාව ඉතා පහසුවෙන් ඉක්මවල ලක්ෂ දහාය පන්නද්දී තමන්ගේම  වෙබ් අඩවි වලටසහ  ෆේස්බුක් එකට ගියා. ඉතින් එහෙම  දැවැන්තයෝ නොවන නිසා අවුරුදු දහයකට පස්සේ මේ ගාන ආපු එකත් ලොකු දෙයක්. 

මේ නිසා බ්ලොග් එකට ආපු සියලුම පාඨක යහළුවන්ට, හොඳ කියන්න ආපු ඇනෝ ලට, බනින්න  ආපු ඇනෝ ලාට සියල්ලන්ටම ස්තූතියි. හොඳ සංවාද හැදුනු තැන් බොහොමයක්ම තිබ්බ. නොතිබ්බ තැනුත් තිබ්බ.  හදා ගත්ත.

නරක දෙකට වුනානම් වුනේ ළමයි දෙන්නගේ ඉගෙනීම ගැන හෙම බලන එක මිස් වුනා බ්ලොග් සම්මාන කරපු කාලේ. ලිවීමට ඇබ්බැහි වුනා. සමහර අභූත චෝදනා ආව. 

ඉතින් නවත්වනවද බ්ලොග් එක- මේක ටිකක් හිතන්න ඕනේ කාරණයක් ෆේස්බුක් එකේ ලියල පබ්ලික් දාන්න මම කැමති  නැහැ. මොකද මතභේදයට තුඩු වන දේවල් බ්‍රිතාන්‍ය නීතියට අනුව ලියන එක ටිකක් අමාරුයි. එහෙම එකක් බැරි වෙලාවත් වැටිලා  කාගේ හරි හිතට අමාරු වුනා කියල පැමිණිල්ලක් ආවොත් රස්සාව දමල ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා ෆේස්බුක් එකේ මම ලියන ඒවා හුඟක් දාන්නේ යාළුවන්ට  විතරයි.නැත්නම් සිංහලෙන් කියවන අයට විතරයි. ඒ නිසා බ්ලොග් එක තියා  ගන්න වෙනව.

හැබැයි මට පොඩි writer's block එකකුත් ඇවිල්ල තියෙන්නේ. රුසියාව , යුක්‍රේන යුද්ධය ගැන ලියන්න බැහැ . එක පැත්තක් හරි කියල නම් ලිව්ව හැකි බය නැතිව. මධ්‍යස්තව ලීවොත් ඒ යුද්ධේ  දෙපැත්තට ඉන්න දෙපැත්තම  තරහ වෙනවා. රුසියාවේ පැත්තට ලියන එක භයානකයි මොන බාසාවෙන් වුනත් මේ යන විධිහට.  රජ පවුල ගැන විවේචනාත්මකව ලීවොත් සමහර ලිබරල් කියලා පෙනී ඉන්න අයට තරහ යනව. උන්ට තියෙන රාජාණ්ඩු වාදී මානසික ව්‍යාධිය මට නැති නිසා.  සෝවියට් දේශයේ ඉගෙන ගත්ත නිසා ඒ  කඳවුර  ගැන විවේචනාත්මක ව ලියන්න බැහැලු. එංගලන්තේ ජිවත් වන නිසා මේ රට ගැන  විවේචනාත්මක ව ලියන්න බැහැලු. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඒ ලෙවල් වනකන් ලබපු නිසා  විවේචනාත්මක ව ලියන්න බැහැලු. අනික පිටරට  ඉඳන් උපදෙස් දෙන්නත් ලියන්නත් බැහැලු. ඒ නිසා මේ බ්ලොග් එකේ ලියන දේවල් සීමා කරලා මොන මාතෘකා යටතේද ලියන්න කියල පාඨක ප්‍රජාව ගෙන්ම තමා අහන්න වෙන්නේ.

අනික ජිවිතේ ගැන ලියන්නත් කම්මැලියි. ඉදිරිය ගැන කිසිම ඇම්බිෂන් එකක් නැහැ. මේ  ඉන්න  විධිහට කූල් එකේ ඉඳලා  මැරිලා යන්නයි ඕනේ. මැරෙන එක වුනත් පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉන්නේ අම්මා තවම ඉන්න නිසා. දුවල දෙන්න හුඟක් ස්වාධීනව හදල තියෙන්නේ. උන් දෙන්නට මං නැතිව ජීවත් වෙන්න පුළුවන්. බිරින්දෑට වුනත්  අවුලක් නැහැ. මේකෙන් කියන්නේ නැහැ  අපි අතරේ ආදරයේ අඩුවක් තියෙනවා කියල. ඒවා හොඳට ලැබෙනවා. නමුත් මේ යන්නේ ජිවිතේ කියන එකේ බෝනස් දවස් ටික කියල හිතෙන  නිසා අලුතින් කරන්න ඕනේ කියල හිතපු  දේවල් ඔක්කොම නවත්වල තියෙන්නේ. ඒ වෙනුවට සංචාරය, පොත් කියවීම, පුළුවන් තරම් නෙට්ෆ්ලික්ස් චිත්‍රපට බැලීම තමා වැඩිපුරම කරන්නේ. 

අළුතින් අදහසක් ආවොත් අටපට්ටමට,  සොරි බ්ලොග් එකට ලියන්නම්. 

කාව හරි ගැන ලියන්න මතක වුනානම් සමාවෙන්න. 
එතකන් පොඩි තිතක් තියමු නේද?