Tuesday 13 June 2023

ඩැනියෙල් ෂ්ටයින් ගේ පරිවර්තනය -1- (ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)

පළමු වෙළුම 


මගේ දෙවියන් වහන්සේට ස්තූති වේවා: මම ඔබ සියල්ලන්ටම වඩා භාෂාවන්ගෙන් කතා කරමි; නමුත් දේවස්ථානයේදී මා වඩාත් කැමති වදන් පහක් කියන්නට මගේම දැනුමින්,මගේ හඬින් ඔබලාට ඉගැන්විය හැකිනම් නොදන්න බසෙක වචන දස දහසකට වඩා.


1 කොරින්තියන්, 14:18-19


1. 

උඳුවප් මස 1985 , බොස්ටන් නගරයේදී 

ඒවා මනුක්‍යාන් 

මට හැම වෙලේම දැඩි ශීතලක් දැනුනි.  ගිම්හාන කාලයේ  මුහුදු වෙරළේදී, දැඩි හිරු රශ්මිය මධ්‍යයේ, මගේ පිට කොන්ද පැත්තෙන් ශීතලක්  දැනේ. සමහර විට එසේ වන්නේ මා ඉපදුණේ දැඩි ශීත සමයක, මහා කැළයක් මැද නිසාත්, මා  මගේ ජීවිතයේ  මුල් මාස කිහිපයම ගත කළේ  මවගේ ශීත සමයට අඳින විශාල  ලෝගුව තුල හිරවී සිටි නිසාත් විය හැකිය. මා ජීවත් වේ යැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැත. එනිසා කිසිවෙකු හෝ ජීවිතය ත්‍යාගයක් යයි පවසති නම් ඒ මටය. නමුත් ම නොදන්නා කාරණය වන්නේ මට ඒ ත්‍යාගය සැබැවින්ම ඇවැසි වූවාද යන්නය. 

බොහෝ අයට තමන් පිළිබඳ  මතකය ඇරඹෙන්නේ ඉතා ළඳරු අවදියේ සිටය.  මගේ මතකය අවදි වන්නේ වසර දෙකක දැරියකව කතෝලික අනාථ නිවසක සිටි කාලයේදීය. 

 මට ඉතා වැදගත් දෙයක්ව තුබූයේ, මටත් මගේ දෙමව්පියන්ටත් සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. ඒ කිසි දෙයක් මගේ මතකයේ නැත. සමහර සිද්ධීන් අරබයා ම දැනුවත් වූයේ මගේ වැඩි මහලු සහෝදරයා වන විතෙක් ගෙනි.. නමුත් ඔහුද ඒ කාලයේ කුඩා දරුවෙක් විය. මට පිරිනැමුණු ඔහුගේ මතකයන් තුලින් ඒ කාලය පිලිබඳ නිවැරදි සිතුවමක් ගොඩ නගන්නට මට හැකි වුනේ නැත. ඔහු රෝහලේ වැතිරී සිටිද්දී එක්සයිස් පොතක මතක් වුනු හැමදෙයක්ම ලියා තැබුවේ මා වෙනුවෙනි. ඒ දිනවල අපේ මව ජීවත්ව සිටින්නී යයි අප දැන නොසිටියෙමු. මගේ සහෝදරයා රුධිරය විෂවී මිය ගියේ අපේ මව කම්කරු  සිර කඳවුරෙන් නිදහස ලැබීමට කලිනි.  

මගේ හැඳුනුම්පත් වල සඳහන් වනුයේ මා ඉපදුන නගරය  එම්ස්ක් ලේනිනි. නමුත් ඇත්ත වශයෙන්ම  මා පිළිසිඳ ගෙන තිබෙන්නේ එම නගරයේදීය.  එම්ස්ක් නගරයේ තිබූ  යුදෙව්වන්ගේ ගෙටෝවෙන්  මගේ මව, 1942 අගෝස්තු මස පලා යනවිටත් ඇය මාස හයක ගර්භණියක් ව සිටියාය. ඇය පල ගියේ  මගේ සය හැවිරිදි  සහෝදරයා විතෙක් ද  රැගෙනය. ඒ අනුව මා ඉපදුනේ  එම්ස්ක් නගරයෙන් කිලෝමීටර සිය ගණනක් ඈත යාමට අසීරු තද වන ගහණයකය. එහි  එම්ස්ක් ගෙටෝවෙන් පැනගිය යුදෙව්වන් පිරුණු රහසිගත යුදෙව් කොලණියක් විය. ඒ කොළණිය 1944 අගෝස්තු  මාසයේ බෙලොරුසියාව  ජර්මන් ග්‍රහණයෙන් මුදවා ගන්න කල්ම එතනම පැවතුණි. කොලනිය   ජර්මන්  ආක්‍රමණිකයන් ට විරුද්ධව සටන් කළ ගරිල්ලා භට කණ්ඩායමක් වශයෙන් නම්කර  තිබුනත් ඇත්ත වශයෙන්ම එතැන හිටියේ නාසින්ට යටත්  ප්‍රදේශයක රහසේ ජීවත්වීමට උත්සාහ කල යුදෙව්වන් තුන්සීයක් පමණකි.    කඳවුරේ සිටි  පිරිමින්ගේ ප්‍රබලතම අධිෂ්ඨානය වූයේ ජර්මන්  වරුන් සමග කරන සටනකට වඩා  තමාගේ ආයුධ වලින් එතැන සිටි මහල්ලන්, ගැහැණුන්  සහ ළමයින් ටික ආරක්ෂා කර ගැනීමටය.

  මගේ මව අවුරුදු ගණනාවකට පසු මට පැවසූ පරිදි, පැන නොයා ගෙටෝ  එකේ නැවතී සිටි මගේ පියා එහිදී මිය ගොස් තිබෙන්නේ ඔවුන් ගේ පැන යාමෙන් දින කිහිපයකට පසුය. ගෙටෝහි  ඉතිරිව සිටි සියලු වැසියන්ට ජර්මන් වරුන් වෙඩි තබා මරා දමනු ලැබිය. මව මට පැවසුවේ මගේ පිය අප සමග පැනයන්නට  අකමැති වූ බවයි. ඔහුගේ අදහස වුනේ පැන ගියොත් කලබලවන  ජර්මානුවන් වඩාත් තදින් පලි ගැනීමට ඉඩ ඇති බවයි. ඒ නො ඇසූ බඩ  ගැබ්බරවී සිටි මගේ මව විතෙක් ද රැගෙන පලා ගියාය.  ගෙටෝවේ සිටි අටසියයක් යුදෙව්වන්ගෙන් පල ගොස් දිවි බෙර ගත්තේ තුන්සීයක් පමණකි.   

එම්ස්ක්හි පදිංචිව සිටි යුදෙව්වන්  සහ අවට ගම්වල සිටි යුදෙව්වන් ජර්මන් සොල්දාදුවන් විසින් ගෙටෝව වෙත ගාල් කලහා. මගේ මව එම  ප්‍රදේශයේ ජිවත්වූ අයෙකු නොවේ. නමුත් ඇයට එහි රැඳී සිටීමට හේතුවක් තිබුනි. ඇය ල්වෝව් නගරයේ සිට පැමිණ තිබුනේ කේජිබි ඒජන්තයෙකු ලෙසය. ඇය අති වාමාංශික තද කොමියුනිස්ට්වාදිනියකි. විතෙක්  ඉපදී  තිබුනේ 1936  ල්වොව්  හි සිර කඳවුරක දී පක්ෂයේ සහෝදරයෙක් සමග ඇගේ තිබුණු  සම්බන්ධයකිනි. මා ඉපදුනේ ඇය ගෙටෝවේදී හඳුනාගත් වෙනත් පුරුෂයකුට දාවය. මගේ ජීවිත  කාලය තුල මගේ මව තරම් මාතෘ පදවියට අතිශයින් නුසුදුසු කාන්තාවක් මට හමුවී නැත.  මා ඇත්තෙන්ම සිතනුයේ මගේ සහෝදරයාත් , මමත්  උපදින්නට  ඇත්තේ වෙනත් සුදුසු උපත්පාලන  ක්‍රමයක් නොතිබුණු නිසා හෝ  ගබ්සා කිරීමට ක්‍රමයක් නොතිබූ නිසා කියාය. මගේ යෞවන වියේදී මම ඇයට තදින්  ද්වේශ කළෙමි. පසු කාලයකදී මමට  ඇය සැලකුවේ මගෙන් දුරස්ව ජිවත්වන අමුතු ජාතියේ  පුදුම සහගත සත්වයෙක්  ලෙසය. අද වනතුරුත් මට ඇය සමග එක වහලක් යට  තැනක රැඳී සිටීමට නොහැකිය. දෙවියන්ට ස්තුතී වන්නට එවැනි අවස්ථා කොහොමත් දුර්ලභය.

මම ඇගෙන් අතීතය ගැන අසන වාරයක් පාසා හිසකෙස් කෙලින් කරගෙන ඈ තරහින් කෑ ගැසුවාය. ඇය හැමදාමත් දුටුවේ ම නිර්දේශපාලනික සුළු ධනේශ්වර තැනැත්තියක්  ලෙසය.  ඇය සැබැවින්ම එතැනදී නිවැරදිය. මට දරුවකු ලැබුණු පසු මා නිතැතින්ම දැන සිටියේ, ගැහැණියකගේ ජීවිතය එම දරුවා වෙනුවෙන් වෙන් වන බවය. නමුත් ඒ මගේ මව නම් නොවේ. ඇය මනස විකල්වන තරමේ භක්තිවන්ත කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවකි.

මසකට කලින් මට එස්තර් ගන්ට්මන් හඳුනාගන්නට ලැබුණි.  ඇය ඉතා ප්‍රියමනාප, චාම් වයස්ගත ගැහැණියක වූ ඇය ඉතා සුදු සමකින් යුත් පැසුණු හිසකේ  නිල් පැහැ කරගත් එකියක් විය.  ඇය කරීන් ගේ යෙහෙළියකි. ඔවුන් දෙදෙනා රැකියාව කළේ පුණ්‍යායතනයකය. කරීන් මට ඇය ගැන බොහෝ කලක සිට කියා තිබුණු නමුත් මට ඇය හඳුනා ගැනීමට උනන්දුවක් තිබුනේ නැත. නත්තලට ටික දිනකට කලින් කරින් ඇගේ පනස්වන උපන්දිනයට පැවැත්වූ සාදයේදී මම හදිසියේ එස්තර් දෙස  දැඩි උනන්දුවකින් බැලුවෙමි. මම අඩක් පමණ දන්නා එහි සිටියවුන් අතරේ ඇය කැපී පෙනුණේ කලක සිට දන්නා හඳුනන්නියක ලෙසිනි. එම සාදය සාමාන්‍ය  ඇමරිකානු සාදයකට වඩා හදවතට සමීප වූ අවංක එකක් ලෙස මට හැඟුනි. පෝලන්ත ජාතිකයන් විශාල ප්‍රමාණයක්ද, රුසියානුන් කිහිප දෙනෙක්ද යුගොස්ලාව් දෙදෙනෙක්ද එහි විය. ස්ලවේනියානු භාෂාවේ හඬ මට සුන්දර ලෙස ඇසුනේ අතරින් පතර වූ පෝලන්ත හඬවල් මැද්දේය. 

මට රුසියානු සහ පෝලන්ත යන භාෂා දෙකින්ම කතා කල හැකිවුවත් මා  ඉංග්‍රීසි බස කතා කලේ පෝලන්ත ඌරුවකිනි. අප එතරම් වැදගැම්මකට නැති වචන දෙක තුනක් කතා කරද්දීම  එස්තර් ඒ බව නිරීක්ෂණය කළාය.

   "ඔබ පෝලන්තයෙන්ද" ඇය  ඇසුවාය. මට එම ප්‍රශ්නය සැම විටම දැඩි කරදරකාරී එකක් විය.  එයට ඉක්මන් පිළිතුරක් දීම අපහසු වූයේ ත්  වෙහෙසකාරී ලෙස දීර්ඝ පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වූයේත්  මගේ මව  පෝලන්තයේ වෝර්සෝ නගරයේ දී  ඉපදුනත් , නොදත් අයෙකුට දාව මා උපත ලද්දේ බෙලොරුසියාවේ වීමත්, ළමා කාලය රුසියාවේ දී ගත කර පෝලන්තයට  පැමිණියේ 1954 දී වීමත්, නැවත ඉගෙනීම සඳහා රුසියාවට ගොස් , එතැනින්  නැගෙනහිර ජ්රමනියට පැමිණ ඉනික්බිතිව අවසන් වූයේ ඇමෙරිකාවෙන් බැවිනි.        

එනමුදු කිසියම් හේතුවකට මෙවර මා  කිසිවෙක්ට කිසිදා නොකියූ දෙයක් කීවෙමි.

- මම උපන්නේ එම්ස්ක් වල, හරියටම කියනවා නම් චෝර්නයි පුශා වල. 

- මහළු ගැහැණිය හුස්මක් ඉහළට ගෙන "මොන අවුරුද්දේද " කියා ඇසුවාය.

- 1942, මම කීවෙමි. මම කිසි දිනෙක මගේ සඟවා නැත. එයට හේතුව වූයේ මා  කොහොමත් වඩා තරුණ ලෙස   පෙනීමත් කිසිවෙක් මගේ වයස හතලිස් තුනක් යයි නොසිතීමත්ය.  

ඇය යන්තමට මා වැළඳගත් විට ඇගේ නිල් පැහැ ගන්වන ලද කෙස් තීරුව සමහ හිස වෙව්ලූ බව මට දැනුනි.

"මගේ දෙවියනේ, මගේ දෙවියනේ, ඒ කියන්නේ උඹ ජීවත්වෙනවා. අර පිස්සු ගෑණි උඹව වැදුවේ අගලක. මගේ සැමියා තමයි උත්පත්තියට උදව් කළේ. ඊට පස්සේ, මට හරියටම මතක නැහැ, මාසෙකට පස්සේ වගේ ඈ ළමයි අරගෙන අතුරුදහන් වුනා කොහෙටද. හැමෝම ඇයට ඉන්න කීවට ඈ කිසිවෙකුට ඇහුම් කන් දුන්නේ නැහැ. හැමෝම විශ්වාස කලේ ඔයාලව පාරේදී හරි ඊලඟ ගම්මානයේදී හරි අල්ල ගනීවි කියල. දෙවියන්ට ස්තූති වේවා, උඹ ජිවත් වුනා!"

අපි කොරිඩෝරයට පිවිසුනෙමු. එතැන් සිට අප දෙදෙනාට වෙන්වන්නට නොහැකි වුනි.  අප දෙදෙනා හිම කබායන් ගන්නට එය යද්දී විසුළු සහගත වූයේ කබායන් දෙකම  එක වගේ වීමෙනි.  ඒ කබා යුගලම ඉතා මහත, සත්ව ලෝම වලින් සෑදු අමෙරිකාවේ පිලි ගැනීමකට ලක්නොවූ ඒවාය. මා පසුව දැන  ගත්තේ එස්තර් ද මා  මෙන්ම ශීතලෙන් පීඩා විඳින බවයි.

අපි ඇගේ නිවසට වාහනය පැදවූයෙමු. ඇය ජිවත් වුනේ බොස්ටන් නගර මධ්‍යයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩල මාවතේ ම සිටි  වාසස්ථානයට මිනිත්තු දහයක දුරකිනි.  අපි ගමනේ යන විටත් , මා  රථය  පදවමින් ද ඇය මා අසල හිඳ   සිටියදීත් මට අමුතුම හැඟීමක් දැනුනි. මුළු දිවිය පුරාම මා සිහින මැවූයේ මට වඩා වැඩි මහලු, නුවණැති මට දැනුම් තේරුම් කියා දිය හැකි,මට කීකරු විය හැකි , මට අසා සිටිය හැකි අයෙක් වුවත් එවැන්නෙක් මුණ නොගැසිනි. අනාථ නිවාසයේ තද විනය පාලනයක් තිබුණු  නමුත් ම පැතුවේ එවැන්නක් නොවේ.මගේ  මුළු ජීවිතය පුරාවට   මම ජ්‍යෙෂ්ඨයෙකු සේ හැසිරුනෙමි. මගේ මව, ස්වාමිපුරුෂයා හෝ යහළුවන් මේරුණු අය වූයේ නැත. මේ වැඩිමහල් ගැහැණිය තුල තිබු කිසියම් අමුතු අන්දමක බැඳීමක් තුල ඇය කියන සියල්ලට කලින්ම මට එකඟ විය හැකිව තිබුණි. 

අපි ඇගේ ගෙතුලට ගියෙමු. ඇය විදුලි පහන් දැල්වූවාය. පොත් රාක්කය කොරිඩෝරය දිගේ නිවසේ පිටුපස දක්වාම විහිද ගොස්ය. මා එදෙස විස්මයෙන් බලන බව ඈ දුටුවාය. 

"මේ මගේ සැමියා ගේ පුස්තකාලය. එයට භාෂා පහකින් කියවන්න පුළුවන්. කලාවන් පිලිබඳ පොත් හුඟක් තිබෙනවා. මට මේවා තියල යන්න සුදුසු කෙනෙක් හොයා ගන්න ඕනේ " 

එස්තර් ධනවත්  වැන්දඹුවක් බවත් ඇයට දරුවන් නැති බවත්, අතිශය තනිකමින් පෙලෙන බවත්  කැරින් කීවා මතකය. එස්තර් ගේ පවුලේ සියලුම දෙනා දෙවන ලෝක යුධ සමයේදී මිය ගොස් ඇත.   

එස්තර් මට කි දේ මෙයයි: ඇය මගේ මව පළමු වරට දුටුවේ  එම්ස්ක් හි ගෙටෝවේ දී ජර්මනුන් අවශේෂ ගම් හා ප්‍රදේශ වලින් යුදෙව්වන් එළවද්දීය. ඒ තාක් කල් ගෙටෝවේ හිටියේ නගර වැසියන් පමණකි. නගරවැසියන් ගෙටෝවට පැමිණ තිබුනේ ස්ව කැමැත්තෙනි. ඊට හේතුව ඔවුන් ගෙටෝවට පැමිණීමට දින කිහිපයකට පෙරතුව යුදෙව්වන් විශාල ප්‍රමාණයක් නගරයේදී ඝාතනය කර තිබුණි. යුදෙව්වන් නගරයේ කතෝලික සහ ඔර්තොඩොක්ස් පල්ලි අතර මැද චතුරශ්‍රයට ගාල් කර නගරවාසීන් විසින්ම වෙඩිතබා එක්දහස් පන්සියක් පමණය ඝාතනය කර ඇත. දිවි බේරා ගත් වුන් ගෙටෝවට ගාල් වී ඇත.

එය සාමාන්‍ය ගෙටෝවක් ලෙස හැඳින්විය නොහැක්කේ එවැන්නක හැදෙන්නේ දිස්ත්‍රික්කයක හෝ  කිහිපයක වැඩවසම් යුගයේ සිට යුදෙව්වන්  ජීවත්වීම නිසාවෙනි. එම්ස්ක් හි සිදුවුයේ මීට පටහැනි ලෙස මිනිසුන් තම නිවෙස් අතහැර කිසියම් රජ කුමරෙකුට අයත්ව තිබු අඩක් විනාශ වුනු පරණ බළකොටුවකට විතැන් වීමෙනි. ඔවුහු එය වටා කම්බි ගසා මුරකරුවන් රැඳවූහ. මුලදී කවුරුන් කාගෙන් ආරක්ෂාකාරී වන්නේද  යන්න අපැහැදිලි විය.  පොලිස් භටයන් ලෙස කටයුතු කලේ දේශීය බෙලරුසියානුවන්ය.යුදෙව්වන් මුර කිරීම තමනට අයත් නොවන පහත් කාරියක් ලෙස ජර්මනුන් සැළකූහ.බෙලොරුසියානුන් සමග ගනුදෙනුව තනිකරම අල්ලස් මත යැපිනි. සියලුම දේට ඔවුන් අල්ලස් මුදල් ලබාගත් අතර ඔවුන් ලවා ආයුධ වුවද ලබාගැනීමට හැකියාවක් තිබුණි.

 "ඔබේ මව පළාතේ කෙනෙක් නෙමෙයි." එස්තර් කීවාය.

"ඇය රූමත් කාන්තාවක්, හැබැයි හරි කෙලින් කතා කරන, තියුණු ගැහැනියක්. ඇයට පුංචි පුතෙක් හිටිය. මට මතකයි ඇගේ වාසගම. කොවච් නේද?  "

මම ඉමහත් අසීරුවෙන් හැකිළුනෙමි. මම ඒ වාසගමට ද්වේෂ කලෙමි. මගේ මවට වෙනත් වාසගමක් තිබූ බව මම හොඳින් දනිමි. එම වාසගම පක්ෂය විසින් ලබා දුන් නමට සාදාගත් හොර හැඳුනුම්පත් වල සඳහන්  එකකි.  ඇය ජිවිතයෙන් භාගයක්ම ගත කලේ එම වැරදි නමිනි. මට තිබු විවාහ වීමේ හදිසියට එක හේතුවක් වුයේද එම නමින් නිදහස් වීමට තිබූ දැඩි කැමැත්තය. හැමෝම තිගැස්සුනේ පෝලන්තයේ යුදෙව් ගැහැනියක් ජර්මානුවෙක් කසාද බැඳීමය.  ඇත්තටම, එරික් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (නැගෙනහිර ජර්මනියේ) කොමියුනිස්ට් වාදියෙක් වූවා පමණක් නොව එම හේතුව නිසාම රුසියාවේ උගෙනුම ලැබීමටද ඔහුට හැකි විය. අප මුණ ගැසුනේද එලෙසය.

මා එස්තර් දෙස බැලුවේ ළඳරුවෙක් රසකැවිල්ලකට ආශාක්ත වූ ලෙසිනි. එවැනි ගැහැණියක්, මෘදු සහ නිහඬ, යුරෝපියානු සුලලිත බව සමග සිල්ක් සාය , ඉතාලියානු පාවහන් , කිසිදු බොරු සාටෝපයක් නැති, බොළඳ ඇමෙරිකානු  ජේත්තුව නොපෙන්වන ඇය , මවකට, නැන්දණියකට, මිත්තණියකට මොන තරම් සුදුසුද? ඇය මට ඇමතුවේද මගේ දයාබර දරුවා කියාය.

ඇය විස්තර කිරීම ඇරඹුවේ මගේ කිසිදු අනුබලයකින් තොරවය. ගෙටෝව තුල පාලනය සඳහා ප්‍රබල සංවිධානයක් එය තුලම ගොඩ නගා තිබුණි.ප්‍රබල ස්වයංපාලන ක්‍රමයක් සහ තමන්ගේම ප්‍රධාන විධායක නිලධරයෙකුද එහි විය. ඉතා ප්‍රසිද්ධ හා උගත් බොහෝ අය කියන පරිදි ඉතා සාධාරණ රබි වරයෙකු වූ  රබී ෂර්මන් මේ බලවතා විය..පෝලන්ත යුදෙව්  වෛද්‍යවරුන් වූ  එස්තර් සහ ඇගේ සැමියා මේ ප්‍රදේශයට  පැමිණ තිබුනේ යුද්ධයට වසර කිහිපයකට කලින්ය. එස්තර් දන්ත වෛද්‍යවරියක වූ අතර ඇගේ සැමියා ඉසාක් ගන්ට්මන් ශල්‍ය වෛද්‍යවරයෙකු විය.   ඇය ෆ්‍රෑන්ක්ෆට් නගරයේ දන්ත වේද විදුහලින් උපාධිය ලබාගෙන තිබුණි. ඔවුන් නිදහස් චින්තකයන් නොවූ සාමාන්‍ය  යුදෙව්වන් වූ අතර සබාත් දිනයේ (සෙනසුරාදා) ඉටිපන්දමක් දැල්වුවද එලෙසම වගේ සෙනසුරාදාවක සංගීත හෝ නැතය සන්ධ්‍යාවකට අසල  නගරයකට පැකිලීමකින් තොරව ගියහ. එම පෙදෙසේ ජීවත්වූ යුදෙව්වෝ ඔවුන්ට පිටස්තරයන් සේ සැලකුවද දත් වෙදකම් සඳහා ඔවුන් වෙත ගියහ. හිට්ලර් ගේ ජර්මනිය පෝලන්තය ඈඳාගත් වහාම ඉසාක් සිය බිරියට පැවසුවේ සියල්ල අවසන් වන බවත්  කෙසේ හෝ එතැනින් ලෝකයේ කොතැනකට හෝ පැන යා යුතු බවත්ය. ඔහු පලස්තීනයට යාමට පවා සූදානමින් සිටියේය. ඔවුන් කරන්න කුමක්ද යයි සිතමින් සිටියදීම ජර්මන් ආක්‍රමණිකයන් යටතේ ගෙටෝවේ කොටුවීමට සිදුවුණි.

අප ඉඳගෙන සිටියේ, මදක් පැරණි වුවද  හොඳ රසවන්ත බවකින්  යුරෝපියානු විලාසිතාවට බඩු භාණ්ඩ සැකසුනු අනගි තට්ටු නිවසක විසිත්ත කාමරය තුලය.  අයිතිකාරියගේ සංස්කෘතික ජීවිතය මට වඩා බොහෝ උසස් මට්ටමක බව මට ඒ වනවිටත්  වැටහී තිබුනේ එසේ වූයේ කලාතුරකින් බැවිනි.   කැටයම් මිස ලාභ පින්තූර එල්ලා නොතිබූ එය පොහොසත් නිවසක් විය.  සම්පුරණ  භාණ්ඩ කට්ටල නොවූවද සෑම ලී බඩුවක්ම කොටසින් කොටස පරිස්සමින් එකතු කර පිරිද්දන ලද බවක් පැහැදිලි විය.  නූස් පෙට්ටගමක් උඩ කිසියම් ජිවිතයේ වෘක්ෂය වැනි මෙක්සිකානු පිඟන් බඩුවක් විය.  

එස්තර් හිඳගෙන සිටියේ ගැඹුරට ගිය හාන්සි පුටුවක කෙල්ලක මෙන් එක කකුලක් උඩට ගෙන ඇඟ යටින් සඟවා වා ගෙන, ඇගේ  නයි හැවෙන් සාදන ලද  සපත්තු කුට්ටම   එතැනම ගලවා දමාය. මෙවැනි විස්තර මගේ සිතේ හොඳින් ඇඳී තිබේ. මගේ මවට මා සුළු ධනේශ්වර එකියකයි කීවේ නිකම්ම නොවේ.  අනාථ නිවාසය, කුඩා කල නිවස, මගේ  කොන්ද හරහා එන ශීතල විසින් අමතක නොකරවයි.   මගේ මව අපේ අන්ත දුගී භාවය  සැළකුවේ සාමාන්‍යයක් ලෙසටය. ස්ටාලින් ගේ සිර කඳවුරු ඇයට සුව පහසු නිවසක් සේ දැනුනා විය යුතුය. මම අනාථයෙකු ලෙස මගේ දුගී බවින් මිදී පලා යද්දී මට ලැබෙන හැම කෝප්පයක්ම, තුවායක්ම, මේස් කුට්ටමක්ම සිප ගැනීමේ සූදානමින් සිටියෙමි.අප බර්ලිනයේ, ප්‍රේන්ට්සුලර් බර්ග් හි  එකට ජිවත් වීමට පටන් ගත් මුල් වසරේ එරික් අමතර  රැකියාවකුත් කලේ මට ඇඳුම් ආයිත්තම්, උයන පිහන භාණ්ඩ සහ අනිකුත් දේ මිලදී ගැනීමට ඉඩ සැලසීමටය. එය මට අතීතය අමතක කරවීමට ඉවහල් වන බව ඔහු දැන සිටියේය. එම පිස්සුව පසු කලෙක හොඳ වුනත් , මා  දැන් සිටින ඇමෙරිකාවේදී පවා මගේ විනෝදාංශය වූයේ සේල් ඇති සාප්පු වල, ලාභ හා භාවිතා කල බඩු විකුණන ගැරේජ් වල හා  භාවිතා කළ බඩු විකුණන ෆ්ලී  මාකට් වල ඇවිදීමය. ග්‍රීෂා, මගේ වත්මන් සැමියා එය සැහැල්ලුවට ගණන් ගත්තේ ඔහු පැමිණියේද රුසියාවෙන් බැවිනි. ඔහුද  හැදුනේ වැඩුනේ  මෙවැනි දේවලට, භාණ්ඩ වලට  ආශාවෙන් දිවයන මිනිසුන් අතරය. ඇමෙරිකාවේ උපත ලත් මගේ පුත් ඇලෙක්ස් ගේ විනෝදාංශයද දේවල් මිලදී ගැනීමය.  අප හොඳ භාණ්ඩ ලෝලීන් බව එස්තර් නිහඬව වටහා ගත්තාය.

        "ගෙටෝව ඉතාමත්ම නරක තත්වයේ තිබුනේ. හැබයි ඉතින් ඊටත්  වඩා අජූව ඒවා දැකල තිබුනේ නැති නිසා. අපි එතකොට දැනගෙන හිටියේ නැහැ අමානුෂික වධ කඳවුරු ගැනවත් දස දහස් ගණනින් මිනිසුන් මුළු යුරෝපය පුරා  මරාදමමින් සිටින බව වත්". මේ දෑ පවසන ගමන්ම ඈ සිනාසුමුත් ඇගේ චර්යාවේ කිසියම් වෙනසක් එනම් කිසියම් නොඇලීමක්, ශෝකයක් සේම හඳුනාගත නොහෙන යමක් විය. ඒ නුවණැතිකම යයි මම අනුමාන කළෙමි. ඔව්, අප කතා කළේ පෝලන්ත බසින් බැවින් එය මට සහනයක් විය.

"අප කොපමණ කල් ගෙටෝවේ හිටියද? " මම ඇසුවෙමි.

"අවුරුද්දකට අඩුවෙන්. හතලිස් එකේ සරත් සමයේ. අපි එහෙන් ගියේ එක්දාස් නවසිය හතලිස් දෙකේ අගෝස්තු 11. පස්සේ තවත් අවුරුදු දෙකක්  චෝර්නයි පුශේ වල සටන්කාමී කණ්ඩායමක. නිදහස ලැබෙන තුරුම අගල් ඇතුලේ තමා ජිවිතේ ගෙවුනේ. පවුල් සටන්කාමී කණ්ඩායමක කඳවුරක්. අන්තිම වෙනකොට තුන්සීයකින් ඉතිරි වුනේ එකසිය විස්සක් පමණයි. ළමයි හය දෙනෙක් අපේ කණ්ඩායමේ හිටිය. ළමයි දෙන්නෙක් කැලේ ඉපදුනා. උඹ සහ තව පිරිමි දරුවෙක්. එයා මැරුණා"

       "චෝර්නොයි පුශි වලින් මගේ මව ගියේ ඇයි  "මා  එම පැනය ඇසුවේ මගේ මව ඒ පිළිබඳව මට පිළිතුරක් සපයා දී තිබුන වුවත් මගේ මව බොහෝවිට අසත්‍යයම පැවසූ බැවිනි. ඇය ඇත්ත නොකීවාටත් වඩා මට ඇය විශ්වාස කිරීම ඉතා අපහසු වූ බැවිනි. මට අවශ්‍ය වුයේ එස්තර් කුමක් කියන්නේදැයි දැන ගැනීමටය. ඒ ඇය සාමාන්‍ය කාන්තාවක් වූ බැවිනි.

"අපි හුඟක් උත්සහ කළා ඇය වළක්වන්න. මට හොන්දට මතකයි ඉසාක් හුඟක්ම අමනාපෙන් හිටිය එයා ළමයින්ගේ ජිවිත අනතුරේ දමමින් අනාථනිවාසය හැරයමින්  කරන්න යන අසාධාරණය ගැන.  එයා උත්තරයක් වත් දුන්නේ නැහැ.  ඇය ගෙටෝව ඇතුලෙදි කතා කල එකම තැනැත්තා විදුලි කාර්මිකයෙකු වූ නෞම් බෞහ් විතරයි." 

මගේ පියාගේ වාසගම මා දැන ගත්තේ ඒ අවස්ථාවේය. මගේ මව එය කිසිදාක පැවසුවේ නැත. ඇය සාමාන්‍ය ගැහැනියක වූවා නම් මගේ නම විය යුතුව තිබුනේ ඒවා බෞහ් ය. කොපමන සිත් ගන්නා  සුළුද.  

 "එයා  ගැන මට විස්තර කරන්න " මම එස්තර් ගෙන් අයැදීමි.

"මම එයා ගැන වැඩිපුර දන්නේ නැහැ.  හැබැයි එයා සුදුසුකම් ලත් ඉංජිනේරුවෙක් නම් නොවේ"  ඇය කිසිදු චලනයකින්  තොරව කොන්ද කෙලින් කරගෙන හිඳගෙන සිටියේ වංශාධිපතිනියක ලෙසිනි. කිසිදු යුදෙව් අභිනයකින් තොරවය.

 "ඉසාක් මට කියල තියනවා යුද්ධයට කලින්, මේ බෞහ් ව රෝහලට එන්න කිව්වය  කියල මොකද්ද කැඩුණු යන්තරක් හදන්න. ගෙටෝවේ එයට ඉසාක් වගේම  හොඳ තැනක් තිබුන.   සමහර යුදෙව්වන්ට නගරයේ රැකියා තිබුන, ඔවුන්ට අවසර තිබුන නිසා. ඉසාක් රෝහලේ ලෙඩුන් බලද්දී , බෞහ් නගරයේ රැකියාව කළා. "  

"ගෙටෝවේ ඔබේ මවයි නෞම් නුයි ජිවත් වුනේ එකට. වම් පැත්තේ මොකක් හරි කාමරේක. මේ බලකොටුව බාගෙට බාගයක්  විනාශ වෙලා තිබුන නිසා එතනට එලෙව්වට පස්සේ අපි බලකොටුව  අලුත්වැඩියා කරන්න කටයුතු කලා. මුල්කාලයේදී ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට  අවශ්‍ය ද්‍රව්‍ය පවා මිලදී ගත්ත. යූදේන්රාත් (යුදෙව්වන් ගෙන් සැදුම් ලත් කමිටුවක්. විශේෂයෙන් ජර්මනුන් ආක්‍රමණය කරන ලද පෙදෙස්වල) කමිටුවෙන් තමයි මෙහෙයෙව්වේ. ඔක්කොම් අවසන් වුනේ ඉතා දරුණු ලෙස. යුදෙන්රත් එක දිගින් දිගටම වගේ බෙලරුසියානු පොලිසියට මුදල් ගෙව්වා. උන්ගේ හිටියා මහා එපා කරපු කපටියෙක් පොලිසියේ ස්ථානාධිපති විධිහට. මට උගේ නම මතක නැහැ. ඌ අපට පොරොන්දු වුනා "ක්‍රියාන්විත " වලින් - තේරුණා නේද මම කියන්නේ මොකක් ගැනද කියල - ගෙටෝවේ ඉන්න අපට මුකුත් වෙන්නේ නැහැ කියල ඌට අල්ලස් දෙනකම්. ඒ වෙනකොටත් අහල පහල ගම්වල යුදෙව්වන් විනාශ කරලා ඉවරයි කියල අපි දැනගෙන හිටියේ. යූදේන්රාත් එක වෙලාව එනකන් ඇඟිලි ගැන ගැන උන්නේ, අර වාචාලය අපට කිසි උදව්වක් කරන්නෙත් නැහැ කරන්නත් බැහැ කියල අපි දැනං උන්න. ඌ අපෙන් සල්ලි හෙව්වා විතරයි. හැබැයි ඒ වෙනකොට කාගේ අතේවත් සල්ලි තිබුනේ නැහැ. ගෑණු තමන් ස්වර්ණාභරණ හැටියට අන්තිමටම  ඉතුරු කරගෙන හිටි මඟුල් මුද්ද පවා දුන්න. මගේ මුද්දත් මම දුන්න. මම හැම විස්තරයක්ම දැනන් හිටියේ නැහැ ඒ වෙලාවේ, දැන් ඉතින් ඒකෙන් ඇති වැඩකුත් නැහැ."

"සමහර  අය ඇත්තටම හිතන් හිටිය පැවැත්ම මුදලට ගන්න පුළුවන් කියල. එනිසාම තමයි බේරිලා පැනලා යන්න යෝජනා කරපු වෙලේ ඒ ගැන ප්‍රජා සභාවක් කැඳෙව්වාම කට්ටිය දෙකට බෙදුනේ. භාගයක් පැනල යන්නත් ඉතිරි භාගේ ඊට විරුද්ධවත්. විරුද්ධව හිටි අය විශ්වාස කළේ පැනල යන්න තැත් කළාට පස්සේ ඉතිරිව ඉන්න අය භයානක පීඩාවකට පත්වෙයි කියල. හැබැයි දේවල් නිකම් පිඩාවක ට පත් කිරීමෙන් එහාට ගිහිල්ලයි තිබුනේ, තේරුනාද. පලායාම සංවිධානය කළ අය අතරේ සම්පුර්ණයෙන් කැපවුණු  නියම සටන්කාමීන් හිටිය.  ඔවුන්ට අවශ්‍ය වුනේ මුහුණට මුහුණලා සටනක්. ඔවුන්ට නගරයෙන් සහයෝගය තිබුනා වගේම සනවී සටන් කරන ගරිල්ලන් ගේ සහයෝගයත් තිබුන. අපි ඒක දැනගෙන හිටියේ නැහැ ඒ වෙලේ. ඇත්තටම කියනවනම්, හැමදේම සංවිධානය කලේ ඩිටර් කියලා තරුණ  ජූවෙක්. ඔහු ගෙස්ටාපෝ (හිට්ලර් ගේ රහස් පොලිසිය) එකේ පරිවර්තකයෙකු හැටියට වැඩ කළා.  මොන විධිහකින් හරි තමන් ජූවෙක් බව ඔහු දක්ෂ ලෙස සඟවා ගෙන හිටියේ. ඔහුව පස්සේ  අත් අඩංගුවට ගත්තත් පලා  යන්න සමත් වුනා. "

එක්වරක, යුද්ධය අවසන් වෙන්න ඔන්න  මෙන්න කියල තිබෙද්දී ඔහු චෝර්නයේ පුශේ වල අපේ කඳවුරට ආව. එයා රුසියානු ගරිල්ලා කණ්ඩායමක සටන් කරමින් හිටිද්දී එළදෙනක් සමග අප වෙත එවා තිබුන. එක්කෝ ගරිල්ලන් එළදෙන මිලයට අරන් තිබුන, නැත්නම් බලෙන්ම අරන් තිබුන. එයාල අපේ මස් වෙළෙන්දෙකු ලෙස කටයුතු කළ තරුණයෙකුට කීව එළදෙන මරල එයාලට සොසේජස් හදල දෙන්න කියල.  ඩිටර් එළදෙන එක්ක ආවහම අපේ මිනිස්සු ඔහුව හඳුනා ගෙන ප්‍රීතියට පත් වුනා. කවුරුහරි සමගොන් (කසිප්පු වැනි බීමක් ) ගෙනාව. ඔහු ගස් කොටයක් උඩ වාඩි වෙලා ක්‍රිස්තුස් ගැන කථා කරන්න පටන් ගත්ත. මිනිස්සු එකිනෙකා දිහා බලන්න ගත්ත.   ක්‍රිස්තු ගැන කතා කරන එක වගේ තවත් මෝඩකමක් ගැන හිතා ගන්නවත් බැහැ ඒ වගේ වෙලාවක. මට හිතුන ඔහුට පොඩ්ඩක් වෙන්න පිස්සු කියල. විශ්වාස කරන්න පුලුවන්නම්, ඒ  වනවිටත් ඔහුව බැප්ටයිස් කරලා, එයා ළඟ සුරුවම් වගයකුත් තිබුන. හුඟක් අමාරුවුනා විශ්වාස කරන්න මේ අර පලායාම සංවිධානය කරපු කෙනා කියලවත්. එතකොට 1945 මුල් කාලේ, නිදහස ලබල අපි හැමෝම ඔහුත් සමග පෝලන්තයට පළමු දුම්රියෙන්ම ගියා. මට කවුරු හරි කිව්වා ඔහු යුද්ධයෙන් පස්සේ කතෝලික පිය තුමෙක් වුනාය කියල. "

 "එදා ඒ දෛවෝපගත දිනයේ පලායාමට කලින් රාත්‍රිය වාදය  කොච්චර තියුණු වුනාද  කීවොත් එකිනෙකාට ගුටිබැට  දෙන්න පවා ගත්ත. අවුරුදු අසූවක් විතර වන නුවණැති මිනිහෙකු වූ  රබී ශිර්මන් තමයි රණ්ඩුව නැවැත්වුවේ. ඔහුට පුරස්ථි පිළිකාවක් තිබුන නිසා ඒ බලකොටුව තුලදීම ශල්‍ය කර්මය කලේ ඉසාක්. මොන ශල්‍යකර්මද එතන, කැතීටරයක් දැම්ම එක විතරයි කළේ.  රබී පුටුවකට නැග්ග ගමන් හැමෝම නිහඬ වුනා. ඔහු කීව ඔහු කොහෙවත් යන්නේ නැහැ, මෙතනම ඉන්නවා. යන්න ශක්තියක් නැති අය  හිටපු දෙන්. ශක්තිය තියෙන අය පලා ගියදෙන්.  ඉසාක් කිව්වා අපි යනවා කියල. ඒ වගේම අපි ගියා. උඹේ අම්ම  පුතත් එක්ක ගියා, නෞම් හිටිය. එතකොට කවුරුත් දන්නේ නැහැ එයා බඩ ගැබ්බරයි කියල. ඉසාක් දැනගෙන හිටිය, මොකද එයා ආව ගබ්සාවක් කරගන්න  ටික දිනකට කලින්. ඉසාක් එය ප්‍රතික්ෂේප කළා දවස් පැනල නිසා. 

එස්තර් ඇගේ හිස තීරණය නිවැරදි බවක් පවසන්නට මෙන් සෙලවූවාය.    

"ඉතිං බලන්නකෝ, එයා හරි තමා, කොපමන හොඳ දැරිවියක්ද ඉපදුනේ. ඒ මදිවට ජිවත් වුනා. එස්තර් සිටියේ දැඩි විඩාවකින් පෙළෙමින් බව දුටු මම නැවත හමුවීමට ගිවිස ගනිමින් නික්ම ගියෙමි. මම අමුතුම හැඟීමකින් පෙළෙමින් සිටියෙමි. මට මගේ පියාගේ ජිවිතයේ සෑම සිදුවීමක්ම  ගැන දැනගැනීමට මහත්සේ අවශ්‍යව තිබුණු මුත් මා දැන් එයට බිය වීමි. එක අතකට දැඩි  දැන  ගැනීමේ ආශාවත්, අනිත් අතට  දැන ගැනීමට ඇති බියත් එකට පැන නැගුණි. මම හැම විටම අතීතයේ ගැලවෙමින් සිටි මුත් ග්‍රීෂා මුණ ගැසීමෙන් පසු එය නැතිව ගියේය. ඒවා නම්  ඒ පෝලන්තයේ සගොර්ස්ක් ළමා  නිවාසයේ සිටි කුඩා දැරිය , පසුව සෝවියට් අනාථ නිවාසයේ හැදී වැඩුණු ඇය තව දුරටත් මා යැයි නොසිතුණි.  මට එය පෙනුනේ අතීතයේ දුටු සිනමා පටයක කොටසක් මෙනි.  නමුත් දැන් මට ඒ සියල්ල දැන ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.  මට තවමත් සිතේ මවා ගැන්මට අපහසුව ඇත්තේ  තරුණ කාන්තාවක් , දරුවන් දෙදෙනෙකුගේ මවක් ඔවුන් අනාථ නිවාසයකට භාර දුන්නේ කෙසේද යන්නය. මා නොදන්නා තවත් දෙයක් තිබෙන බව මට හැඟේ.

~ මතු සම්බන්ධයි 

ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි.

- පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 

14/06/2023 

33 comments:

  1. ස්තුතියි .මෙය ආසාවෙන් කියවනවා .

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අජිත්. මම ඉතාම ආශාවෙන් කියනවා. ඔයාගේ පරිවර්තන ඉතාම මටසිලුටු ,කියවන්න ආසා හිතෙන විදියට ඔයා ලියනවා. එය පරිවර්තනයක්දැයි කියන්න බැරි තරම් දැනෙනවා. හරිම රහට, මිහිරට ඔයා ලියනවා. ස්තුතියි නැවත නැවත

      Delete
    2. බොහොම ස්තූතියි පද්මිණි

      Delete
  2. යුධයක් යනු සැමවිටම ඛේදවාචකයකි. අවාසනාවට, අද දක්වාම මිනිසුන් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැත. මහන්සිවී කල හොඳ පරිවර්තනයක් ලෙස පෙනුනත්, මට රසවිඳිය නොහැකිවීම ගැන සමාව අයදිමි.

    ReplyDelete
    Replies
    1. හැම කප් එකක්ම හම ඩ්‍රින්ක් එකටමා හරි යන්නේ නැහැලු

      Delete
    2. අවන්කවම මටත් මේක ලොකුවට සෙට් නෑ.
      පරිවර්තනයට දාල තියෙන මහන්සියට ටැංක්ස්. සමහරතැන් (වාක්‍යය) අපූරුයි ❤️!

      Delete
    3. ස්තූතියි. හැමෝටම හැම පොතම හරියන්නේ නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ

      Delete
  3. ගෑනු ලමයා අම්මාට වෛර කරන්නයි තාත්තා ගැන දැන ගන්න තිබුණු කුතුහලයයි පරස්පරයි වගේ නෙහ්

    ReplyDelete
    Replies
    1. පරස්පර දේවල් කරලම නැත්ද

      Delete
  4. ලස්සන කතාවක් අජිත් වෙනස් පරිසරයක වෙනස් කතාවක් ඒ කාලේ බලපු සෝවියට් කෙටි කතා නව කතා වගේ හරිම ලස්සනයි ගොඩක් රස වින්දා ඒ වගේම නෙට්ෆ්ලික්ස් එකේ බලපු දෙවන ලෝක යුද්ධයේ කතා මූවීස් ටීවී සීරීස් මතක් වුනා අජිත්

    මේක ඔබේම ස්වතන්ත්‍ර නිර්මාණයක් වගේ නේද? කතාව දිගටම ලියන්න පුළුවන් වෙයි ද? එහෙම නම් ගොඩක් හොඳයි අජිත්

    තව දෙයක් තමයි ගිය අවුරුද්දේ ආපු මේ වීඩියෝ ක්ලිප් එකේ බුදුදහම ගැන කියන කතාව ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? මේ ගස් හිටවන එක බුදුන් අනුමත කරල තියෙනවා ද?

    https://www.facebook.com/umandawa/videos/393384936154724/?app=fbl

    ReplyDelete
    Replies
    1. සමහර ඇනෝලා වෛර කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්, දේශනයේ කියනවා වගේ. - ඩොලර් ප්‍රශ්නේ ගැන කියනවනම් , දේශපාලකයෝ සහ මුදල් විශුද්ධිකරණය කරන අයට ඩොලර් සංචිතයට අත ගහන්න නොදුන්නනම් වඩා හොඳයි නේද

      Delete
    2. මේක මගේ නිර්මාණයක් නෙමේ. පරිවර්තනයක් කියල ලියල තියෙනවා.

      Delete
  5. මරු, උලිත්ස්කයා - වීදි කාන්තාව

    ReplyDelete
    Replies
    1. එයා තමා පොත ලීවේ

      Delete
  6. ආරම්භයේ හැඳින්වීමක් එකතු කලා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මට අමතක වුනා. ඊළඟ එකට කලින් දාන්නම්

      Delete
    2. අනේ ආයෙත් අමතක වුනා.

      Delete
  7. ඔබ පැය 4 ක් ජීවත් වීමට පැය 8 ක් වැඩ කරයි.

    ඔබ දිනක් භුක්ති විඳීමට දින 6 ක් වැඩ කරයි.

    ඔබ විනාඩි 15 කින් කෑම අවසන් කිරීමට පැය 8 ක් වැඩ කරයි.

    ඔබ පැය 8 ක් වැඩ කර නිදාගෙන පැය 5ක් නිදාගනී..

    ඔබ සතියක් හෝ දෙකක් නිවාඩුවක් ගත කිරීම සඳහා අවුරුද්ද පුරා වැඩ කරයි.

    මහලු වියේදී විශ්‍රාම ගැනීමට ඔබ ඔබේ මුළු ජීවිත කාලයම වැඩ කරයි...

    ඔබේ අවසන් හුස්ම හෙලීම ගැන මෙනෙහි කරන්න. ජීවිතය යනු අන් කිසිවක් නොවන බව අවසානයේ ඔබට වැටහෙන්නේය..

    ජීවිතය කෙටි ගමනක්, එහි සෑම මොහොතක්ම අත් නොහැර ජීවත් වන්න. පුලුවන් කාලයේදී විඳින්න...!!

    ReplyDelete
    Replies
    1. මම මේ මං ගැන ලියන්නේ:
      ඔබ පැය 4 ක් ජීවත් වීමට පැය 8 ක් වැඩ කරයි. - මම පැය 8ම වැඩ කරන්නේ නැහැ, සාමාන්‍යයෙන් පැය 6 වැඩ. ඉතිරි පැය 1.5 ඉගෙන ගන්න, ඇඩ්මින් හෙම. අපි පැය හතක හෝ හතහමාරක් වැඩ කරන්නේ. ඊට පස්සේ 5.30 ඉඳන් රෑ 12.00 , 12.30 වෙනකන් හැරලා. පැය 6.5 ජිවත් වෙනවා.

      ඔබ දිනක් භුක්ති විඳීමට දින 6 ක් වැඩ කරයි. - මට සෙනසුරාදා හා ඉරිදා දින දෙකක් නිවාඩු

      ඔබ විනාඩි 15 කින් කෑම අවසන් කිරීමට පැය 8 ක් වැඩ කරයි.- මට කෑම පැයක් තියනවා

      ඔබ පැය 8 ක් වැඩ කර නිදාගෙන පැය 5ක් නිදාගනී..- . පැය 7 වැඩ කරලා පැය 7 නිදා ගන්නවා.

      ඔබ සතියක් හෝ දෙකක් නිවාඩුවක් ගත කිරීම සඳහා අවුරුද්ද පුරා වැඩ කරයි. මට සති හතරක් නිවාඩු තියනවා.

      මහලු වියේදී විශ්‍රාම ගැනීමට ඔබ ඔබේ මුළු ජීවිත කාලයම වැඩ කරයි...- මම මහලු වියේ වැඩ කිරීමට කැමතියි. වැඩ කිරීම මට ප්‍රීතිය ගෙන දෙන්නක්

      ඔබේ අවසන් හුස්ම හෙලීම ගැන මෙනෙහි කරන්න. ජීවිතය යනු අන් කිසිවක් නොවන බව අවසානයේ ඔබට වැටහෙන්නේය..- මැරෙනවා කියල දන්නවනේ

      ජීවිතය කෙටි ගමනක්, එහි සෑම මොහොතක්ම අත් නොහැර ජීවත් වන්න. පුලුවන් කාලයේදී විඳින්න...!! - ඒකනම් යස අගේට කරනවා

      Delete
  8. හානා හීය පානා අඬහැරෙන් දැනේ
    කියනා කීම මේ තැනටත් ගැලපෙන්නේ
    රසබර ඇරඹුමකි - මුලටම ඔබ දෙන්නේ
    'Copy' කොට අකුරු ලොකු කරගෙන කියවන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔන්න අකුරු ලොකු කළා

      Delete
    2. මට නං හොඳටම හොඳයි දැන්. ස්තුතියි අජිත් මහත්තයෝ!

      Delete
  9. මේ වගේ දීර්ඝ පරිවර්ථනයක් කරන්න කොච්චර විතර වෙලාවක් යනවද? මට නං, ඉංග්‍රීසී කතාවක් තේරුනට, හරියටම ගැලපෙන සිංහල වචන හැමතිස්සෙම ඔලුවට එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේකට අවුරුදු දෙකක් විතර ගියා. තවම ඉවර නැහැ

      Delete
  10. දෙවනි කොටස ලගම එනවද??😁

    ReplyDelete
    Replies
    1. මේ පොත සෑහෙන්න පරිවර්තනය කරලනම් ඉවරයි. නමුත් බ්ලොග් එකට දාන්න එපා කියල කියනව. හේතුව ප්‍රකාශකයෝ අරගෙන ප්‍රින්ට් කරනවා කියල කාගේ හරි නමක් දාල. එනිසා පල කරන්න තියෙන එක්ක නිසා නොදා ඉන්න තීරණය කළා

      Delete
  11. අම්මටසිරි මේකෙ එක මට මිස්වෙලා. හෙට දෙකම කියවඤ්ඤං 😁

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .