Sunday 4 June 2023

ලක්ෂ පහ පැන්නීම



මේ බ්ලොගය පටන් අරගෙන ලියපු මුල්ම ලිපිය තමා "අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තව දුරටත් වලංගුද ?" කියන දේශපාලන ලිපිය.  ඒ ලිපිය පල  කලේ  2013 ජනවාරි නම වැනිදා. දැන් 2023 මැයි 26 කියන්නේ බ්ලොගය පටන් අරගෙන අවුරුදු දහයකුත් මාස පහක් විතර. ඔන්න ඉතින් මේ අවුරුද්දේ බ්ලොගයට ආපු සංඛ්‍යාව ලක්ෂ පහක් පැන්නුව.  මම හිතන් හිටියේ ඔය සංඛ්‍යාවට ආවහම ලියන එක නවත්වන්න. හැබැයි එක අතකට හිතුන එහෙම කරන එකෙත් තේරුමක් නැහැ කියල. හොඳ නරක දෙකම සිද්ධ වුනා මේ බ්ලොග් ලියද්දි. නමුත් හොඳ පැත්ත  නරකට වඩා වැඩියි කියල හිතෙන්නේ.

හොඳ පැත්ත බැලුවොත් ලිපි 592 ක් ලියල තියනවා. ඒ අනුසාරයෙන් පොත්  තුනක් පල කළා. "පොල් කට්ටෙන් එපිටට", "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" තමයි ඒ. 

ඒ පොත් එලි දක්වනකොට  බ්ලොග් ලෝකයේ බොහොම දෙනෙක් ආව. "පොල් කට්ටෙන් එපිටට" එකට උදව් කලේ චූලානන්ද සමරනායක සහෘදය. ඒකට සුමිත් කලණසිරි යාපා, ඉවාන් සංවිධානය පැත්තෙන් උදව් කළා.  මාතලන්, මහේෂ්, දුලිප්, කටුස්සා, බස්සි, ඔමායා, කසුන්, සුදීක, බෝධිනී, නුවර කුමාරි,  රසික, බිබිසිඑකේ  චමින්ද,   සහ මගේ පරණ යාලුවෝ උපුල්, හේමාලි, ඒ වගේම දීප්ති ආදී නම් කී නොකී පැමිණි සියල්ලන්ටම  ස්තූතියි අදටත්. ත්‍රිකෝණ ය ශාලාව  ලබා දුන්නේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය, චුලා හඳුන්වා දුන්නට පස්සේ.  





බ්ලොග් සම්මාන  උළෙලවල තුනක් පවත්වන්න හැකි වුනා නොයෙකුත් හැල හැප්පීම් මැද.  හුඟක් අය කියනවා බ්ලොග් සම්මාන නිසා  බ්ලොග් ලෝකේ නැති වුනා කියල. නමුත් ඒක  පටන් ගත්තෙම  බ්ලොග් ලෝකේ මධ්‍යකාලින බ්ලොග්   කාරයෝ හා ආදී කල්පික බ්ලොග් කාරයෝ අතර ගිය මාරාන්තික වලිය නිසා හුඟක් අය බ්ලොග් ලිවිම නැවැත්තුව කාලෙක කියන එක හැමෝටම අමතකයි. ඒ කාලේ වෙන කොට  බ්ලොග් ඇදන්  ගියේ මාතලන්, කතන්දර කාරයා (රසික), බස්සි, බෝධිනී  හා තව  කිහිප දෙනෙක් පමණයි. ඒ 2015 විතර. 

සම්මාන උළෙල වල් තුනම  හොඳට වුනා  කියන එකයි මගේ අදහස. ඒකට නොයෙකුත් චෝදනා ආපු එකත් ප්‍රශ්න තිබුණු එකත්  ඇත්ත. අතපසුවීම් වුනා. අපට ලංකාවේ තත්වයන්ට අනුව ක්‍රියා කරන අන්දම ගැන පුහුණුවක් නොතිබීම සහ සමහර වෙලාවට හැම දෙනාවම  විශ්වාස කිරීමත්  ප්‍රශ්න ඇති කළා. නමුත් අද වුනත් ඒ සම්මාන උළෙලවල් පැවැත්වීම ගැන පසු තැවීමක් නැහැ. සමහරු චෝදනා කරන පරිදි සම්මාන උළෙල කිසි ලෙසකින් වත්  පක්ෂග්‍රාහී වුනේ නැහැ. ඒ චෝදනාව කෙරුවේ හෝ කරන්න පරණ ජවිපෙ සපෝටර් කෙනෙකු හා බයි සහෝදරයෙකු පමණයි කියල පසුව දැන ගන්න ලැබුණ. ඉයන්, සුමිත්, දිමුතු (කටුස්සා) , මාධව , ප්‍රසන්න ඇතුළු බොහොමයකගේ උදව් ලැබුණ.

සියමා පොත පල කරන කොටත් ඒ බ්ලොග් සහෝදරත්වයම නැවත හිටියා උදව් කරන්න.තරංගනී රෙශිකා ,  ප්‍රගීත් අනුරාධ, දිලිනි කාරියකරවන, නන්දන වීර රත්න, දීප්ති ගුණරත්න,  නිපුන ප්‍රනාන්දු   ඇතුලු කට්ටියක්ම ආව, කතාපවත්වන්න , සින්දු කියන්න වගේම. සහභාගිත්වයට රන්දිකා ළමයි තුන්දෙනත් එක්ක ආව, සුමිත්, ප්‍රා බෝධිනී යුවල, ධම්මික, පද්මිණි, ඉයන්  ඇතුළු නම් නොලියවුණු සියල්ලමට ස්තූතියි.







තුන්වැනි පොත සඳහාත් මේ බ්ලොග් සහෝදරත්වය ඒ වගේම සහයෝගයක් දුන්න.  ඒ අතරේම් සුනිල් විජේසිරිවර්ධන, චන්ද්‍රගුප්ත තේනුවර, රාමනායක සමග රුසියානු මධ්‍යස්ථානයත් අමතක කරන්න බැහැ.  


මේ කෑල්ල පස්සේ එකතු වෙන එකක්. මෙන්ඩා අපිත් එක්ක ආව එක බ්ලොග් සම්මාන උළෙලක් ඉවර වෙලා. මගේ පන්ති සගයකු වන RK විතානගේ සහ මල්ලිත් හිටිය. මොන හේතුවකට හරි කොත්තු කාල ඉවර වෙලා එනකොට වෑන් එක ස්ටාර්ට් වුනේ නැහැ. මෙන්ඩයි අපියි තල්ලු කළා.  ඔහොම පොඩි පොඩි කෑලිත් තිබ්බ.

බ්ලොග් යාළුවෙකු වන සුදීක හෙවත් දිල්රුක් හොඳ යාළුවෙක්. දේශපාලන වශයෙන් අපි දෙන්න අහසයි පොළොවයි වගේ. ඒ වුනාට සුදික අගය කරනවා අපි කරපු දේවල්. 

ලන්ඩන් පොත් එලි දැක්වීම් ගැන ලියන්න අමතක වුනා. විජිත ගුණරත්න ස්වීඩන් ඉඳන් ආව. සරෝජ් පතිරණ, අරුණ පෙරේරා, සුදත්, සේනක, වරුණ, මහින්ද , දුෂාන්ත සහ විපුලි, බුද්ධික සහ ප්‍රියන්වදා, කුමාර, මායා, නුවන්, ආශා , නිල්  සහ    මගේ පවුලේ අය  සහභාගී වුනා පොත් එලි දැක්වීම් වලට. නන්දන වීරරත්න ලංකාවේ සහ එංගලන්තයේ දෙකටම සහභාගී වෙච්චි කෙනෙක්.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ එකටත් සෑහෙන ප්‍රමානයක් සහභාගී වුන අතුල රත්නායක, සුබෝධ, සරෝජ්, මාකස්  ප්‍රියන්ත , ආශා සුරියබණ්ඩාර , විපුලි , අයුමිනි වික්‍රමරත්න  සහ පවුල ඒ අයගේ සහයෝගයටත් ස්තුතියි. 



ඒ දවස් වල පැරා, මාතලන්, එකොනමැට්ට , රාමචන්ද්‍ර මේ ලක්ෂ පහේ  සීමාව ඉතා පහසුවෙන් ඉක්මවල ලක්ෂ දහාය පන්නද්දී තමන්ගේම  වෙබ් අඩවි වලටසහ  ෆේස්බුක් එකට ගියා. ඉතින් එහෙම  දැවැන්තයෝ නොවන නිසා අවුරුදු දහයකට පස්සේ මේ ගාන ආපු එකත් ලොකු දෙයක්. 

මේ නිසා බ්ලොග් එකට ආපු සියලුම පාඨක යහළුවන්ට, හොඳ කියන්න ආපු ඇනෝ ලට, බනින්න  ආපු ඇනෝ ලාට සියල්ලන්ටම ස්තූතියි. හොඳ සංවාද හැදුනු තැන් බොහොමයක්ම තිබ්බ. නොතිබ්බ තැනුත් තිබ්බ.  හදා ගත්ත.

නරක දෙකට වුනානම් වුනේ ළමයි දෙන්නගේ ඉගෙනීම ගැන හෙම බලන එක මිස් වුනා බ්ලොග් සම්මාන කරපු කාලේ. ලිවීමට ඇබ්බැහි වුනා. සමහර අභූත චෝදනා ආව. 

ඉතින් නවත්වනවද බ්ලොග් එක- මේක ටිකක් හිතන්න ඕනේ කාරණයක් ෆේස්බුක් එකේ ලියල පබ්ලික් දාන්න මම කැමති  නැහැ. මොකද මතභේදයට තුඩු වන දේවල් බ්‍රිතාන්‍ය නීතියට අනුව ලියන එක ටිකක් අමාරුයි. එහෙම එකක් බැරි වෙලාවත් වැටිලා  කාගේ හරි හිතට අමාරු වුනා කියල පැමිණිල්ලක් ආවොත් රස්සාව දමල ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා ෆේස්බුක් එකේ මම ලියන ඒවා හුඟක් දාන්නේ යාළුවන්ට  විතරයි.නැත්නම් සිංහලෙන් කියවන අයට විතරයි. ඒ නිසා බ්ලොග් එක තියා  ගන්න වෙනව.

හැබැයි මට පොඩි writer's block එකකුත් ඇවිල්ල තියෙන්නේ. රුසියාව , යුක්‍රේන යුද්ධය ගැන ලියන්න බැහැ . එක පැත්තක් හරි කියල නම් ලිව්ව හැකි බය නැතිව. මධ්‍යස්තව ලීවොත් ඒ යුද්ධේ  දෙපැත්තට ඉන්න දෙපැත්තම  තරහ වෙනවා. රුසියාවේ පැත්තට ලියන එක භයානකයි මොන බාසාවෙන් වුනත් මේ යන විධිහට.  රජ පවුල ගැන විවේචනාත්මකව ලීවොත් සමහර ලිබරල් කියලා පෙනී ඉන්න අයට තරහ යනව. උන්ට තියෙන රාජාණ්ඩු වාදී මානසික ව්‍යාධිය මට නැති නිසා.  සෝවියට් දේශයේ ඉගෙන ගත්ත නිසා ඒ  කඳවුර  ගැන විවේචනාත්මක ව ලියන්න බැහැලු. එංගලන්තේ ජිවත් වන නිසා මේ රට ගැන  විවේචනාත්මක ව ලියන්න බැහැලු. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඒ ලෙවල් වනකන් ලබපු නිසා  විවේචනාත්මක ව ලියන්න බැහැලු. අනික පිටරට  ඉඳන් උපදෙස් දෙන්නත් ලියන්නත් බැහැලු. ඒ නිසා මේ බ්ලොග් එකේ ලියන දේවල් සීමා කරලා මොන මාතෘකා යටතේද ලියන්න කියල පාඨක ප්‍රජාව ගෙන්ම තමා අහන්න වෙන්නේ.

අනික ජිවිතේ ගැන ලියන්නත් කම්මැලියි. ඉදිරිය ගැන කිසිම ඇම්බිෂන් එකක් නැහැ. මේ  ඉන්න  විධිහට කූල් එකේ ඉඳලා  මැරිලා යන්නයි ඕනේ. මැරෙන එක වුනත් පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉන්නේ අම්මා තවම ඉන්න නිසා. දුවල දෙන්න හුඟක් ස්වාධීනව හදල තියෙන්නේ. උන් දෙන්නට මං නැතිව ජීවත් වෙන්න පුළුවන්. බිරින්දෑට වුනත්  අවුලක් නැහැ. මේකෙන් කියන්නේ නැහැ  අපි අතරේ ආදරයේ අඩුවක් තියෙනවා කියල. ඒවා හොඳට ලැබෙනවා. නමුත් මේ යන්නේ ජිවිතේ කියන එකේ බෝනස් දවස් ටික කියල හිතෙන  නිසා අලුතින් කරන්න ඕනේ කියල හිතපු  දේවල් ඔක්කොම නවත්වල තියෙන්නේ. ඒ වෙනුවට සංචාරය, පොත් කියවීම, පුළුවන් තරම් නෙට්ෆ්ලික්ස් චිත්‍රපට බැලීම තමා වැඩිපුරම කරන්නේ. 

අළුතින් අදහසක් ආවොත් අටපට්ටමට,  සොරි බ්ලොග් එකට ලියන්නම්. 

කාව හරි ගැන ලියන්න මතක වුනානම් සමාවෙන්න. 
එතකන් පොඩි තිතක් තියමු නේද?

 




71 comments:

  1. මොනවා වුනත් අජිත් ලියන එක ගැන සතුටුයි. ඔබගේ අත්දැකීම් පරාසය විසාලයි. අපට නැති වෙනස්ම ආකාරයේ අත්දැකීම් ඔබට තියනවා. ඒ අත්දැකීම් අපත් සමඟ බෙදාගත්තාට ස්තූතියි. මම නං ඔබෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා, වගේම සෑහෙන ලිපි සංඛයාවක් ඉහලින්ම රසවින්ඳා.
    ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ 30
    https://kolambagamaya.blogspot.com/2018/07/30.html

    මේ වගේ රසවත් ලිපි, මගේ "අමතක නොවෙන මතක" අතරේ ඉහලින්ම වැජඹෙනවා. ස්තූතියි.

    // ලියන්නත් කම්මැලියි. ඉදිරිය ගැන කිසිම ඇම්බිෂන් එකක් නැහැ....//
    වැල් කම් ටු ද ක්ලබ්. 😉 ඒත් දිගටම ලියනවා නං තමා සතුටු.😊

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. "ප්‍රථම ප්‍රේමය පොතේ සමහර කෑලි ටිකක් ලියන්න ඉන්නේ. " මොකද අහුඟක් අයගේ අත්දැකීම් අතර තියනවා කියන නිසා , "මගේ කෑල්ල " දාගන්න. 😉

      Delete
  2. ප්‍රතිඵල කෙසේ වෙතත් බ්ලොග් සම්මාන සංවිධාන කලේ හොඳ චේතනාවකින් යන්නට එකඟ වෙමි. "බ්ලොග් ලෝකේ මධ්‍යකාලින බ්ලොග් කාරයෝ හා ආදී කල්පික බ්ලොග් කාරයෝ අතර ගිය මාරාන්තික වලිය" හ්ම්.....කල එලි බැසීම, ජනප්‍රියත්වය, හිට් කවුන්ටර්, සම්මාන හරහා හිත් රිදීම නිසා, සහජ පෘතක්ජන කැලෑගති වන ඊරිසියාව හා කුහකකම් මතුවන බව මගේ විස්වාසයයි. තම නමින් බ්ලොග් ලියන අය ගැන මගේ අමනාපයක් නැත. එය තම, තමන්ගේ තෝරාගැනීමක් වන අතර, මගේ තෝරාගැනීම වන නිර්නාමිකත්වයට ගරුකරන තාක් මට අවුලක් නැත.

    කෙසේවත් බ්ලොග් ලෝකයේ ජනප්‍රිය චරිතයක් නොවුනු, දැනට අර්ධ වශයෙන් අක්‍රීයව වැජඹෙන මම, යථාකාලයේදී අප්‍රකට/අද්භූත චරිතයක් ලෙසම වාෂ්පවී යෑමට බලාපොරොත්තුවෙමි.

    ReplyDelete
    Replies
    1. මගේ නමින් බ්ලොග් ලියවුනේ අහම්බයක් නිසා. නැත්නම් කොළඹ ගමයා කියල තමයි ලීවෙ. වැරදිලා අනිත් ගූගල් එකට සෙට් කරන්න ගිහින් නම රෙජිස්ටර් වුනා. 😀 //සේවත් බ්ලොග් ලෝකයේ ජනප්‍රිය චරිතයක් නොවුනු, දැනට අර්ධ වශයෙන් අක්‍රීයව වැජඹෙන මම, යථාකාලයේදී අප්‍රකට/අද්භූත චරිතයක් ලෙසම වාෂ්පවී යෑමට බලාපොරොත්තුවෙමි.// ස්ව කැමැත්ත තමා ඉතින්. හැබැයි අපට නම් ජනප්‍රිය චරිතයක්. කාලයක් මම හිතන් හිටියේ මේ බස්සිගේ (යශෝධා) ස්වාමි පුරුෂයා කියල. මටත් හැබැයි ඒ වාෂ්ප වී යෑමේ උවමනාව තදින් තියනව.

      Delete
    2. බස්පා, අජිත්.... මොනාද මේ වාස්ප වෙන්ට බලහපොරොට්ටු. ඇයි බොලා වාස්ප එන්ජින්ද

      Delete
    3. අත්/කකුල්/තටු බූතබව ඔහොමම තියාගෙන සම්පූර්ණයෙන්ම වාස්ප නොවී නිකං හැමදාම වගේ ලිස්ස ලිස්ස හිටියානං මොකද?

      Delete
    4. බසු ගැන නම් දන්නේ නැහැ . මම නම් වාෂ්ප එන්ජින් වලට කැමැතියි

      Delete
    5. මේ සංසාරෙ බොහොම දිගයි, නමියො. මේ අනිත්‍යය වූ සංසාරේ, බ්ලොග් වලටත් එක්ස්ෆයරි ඩේට් තියේ.
      https://www.youtube.com/watch?v=QptZ8tYZAkE

      Delete
    6. හ්ම්..ලිස්ස ලිස්ස හිටියානං නේද? බලාගෙන ගියාම, ඒකත් නරකම අදහසක් නෙමෙයි තමයි. ඕනෙම නං බුරාව ආදර්සෙට ගන්නත් ඇහැකි නෙව?

      Delete
    7. බුරා ලිස්සනවා කියලත් දැනගත්ත

      Delete
    8. Mary Hopkin is a Welsh singer, married to an American record producer, musician and singer Tony Visconti , which lasted only 10 years producing two children. Mary now lives a nomadic lifestyle, flitting about between countries. Rumour has it that she lives in a chateau in France where she can only be reached by carrier pigeon. While not strictly true, she still values her privacy.

      Delete
    9. //බුරා ලිස්සනවා කියලත් දැනගත්ත//

      මේ මොනවා අහනවද? අපේ මොන ලිස්සිලිද, බුරා තමා ලිස්සීම් කලාවේ පිකාසෝ. අන්තිම සහ එකම (හවුල්) බ්ලොග ලියල ලිස්සුව ලිස්සිල්ලක්, සෙරෙප්පු ඇලේ, Flat cap එක කැලේ.

      Delete
    10. අජිත්ගෙ සිංදුවට, එකට එක...
      https://www.youtube.com/watch?v=eFjjO_lhf9c&pp=ygUMc3VtbWVyIG9mIDY5

      Delete
    11. ඒකත් මරු සින්දුව

      Delete
  3. සුබ පැතුම්, මමත් මේ ලක්ස පහ අස්සේ ඉන්නව ඇති.
    විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විජේබාහු මහත්මා. ඔව් අනිවාර්යයෙන්ම ඉන්නව.

      Delete
  4. Jagath Pathirana5 June 2023 at 00:30

    අපොස සාමාන්‍ය පෙළ (රාජකීය විද්‍යාලය), නෙළුම්යාය සිංහල බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, න්‍යෂ්ඨික විදුලි ඉංජිනේරු(සෝවියට් සංගමය), පරිගණක ඉංජිනේරු(එක්සත් ජනපදය), කොළඹගමයා බ්ලොග් අඩවියේ නිර්මාතෘ, සම්මානනීය ප්‍රවීන ගත්කතු අජිත් ධර්මකීර්ති මහතාට අපගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. එතකොට උසස් පෙළ කලේ තුත්තුකුඩි මහා විද්‍යාලෙද? සම්මානනීය කතාව සම්පුර්ණයෙන් වැරදියි. කුලක වලට අයත් නොවන අයට සම්මාන ලැබෙන්නේ නැතිලු. - ස්තූතියි ආවට ජගත්

      Delete
  5. තව තව ලියන්නට ඔබහට සිත් වේවා
    පහ මොකක්ද දහයක්වත් hit වේවා
    'වැඩිම ඇවිස්සෙන්නා'හට ජය වේවා
    හිත හොඳ අජිත්, ඔබ නිදුකින් වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. නිදි නම් ලියන්නේ හිටිවන කවිය
      මම නම් ලියන්නේ පිළිතුරු කවිය
      ඇවිස්සෙන තරමට මට හිට් වැඩිය
      හිත හොඳ නිදි ආවම මගෙ හිත සුවය

      Delete
  6. ඔබේ බ්ලොග් පිටු කියැවීම් ලක්ෂ 5 ට උණුසුම් සුබපැතුම් . බ්ලොග් ලියන එක නවත්වන්න එපා. තවත් වැඩියෙන් ජීවන අත්දැකීම් සහ සංචාර ගැන ලියන්න. ඔබට තියෙන අත්දැකීම් වෙනස් ගුගෝලීය පරාසයක , වෙනස් විෂය පරාසවල සහ වෙනත් මානවල ඒවා හින්ද ඒවා ඩිජිටල් ගත කරන එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. තව ඇදගෙන යනවද නැත්නම් වෙනත් වැඩකට යොමු වෙනවද කියන උභතෝකෝටිකයේ මම ඉන්නේ. ඔබගේ ප්‍රතිචාරය වැදගත්.

      Delete
  7. නෙලුම්යාය වෙනුවෙන් කමියාගේ පොස්ට් එක්කුත් ලියලා..මහාපාන්දර වෑන් තල්ලු කරපු මමත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. කමියා අලුත් පෝස්ට් , දැක්කේ නැහැ. වෑන් තල්ලු කරපු එක ඕන් දැම්මා 😉

      Delete
  8. උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ග්‍රේට් එකොන් , පොතක් ලියා පල කලොත් නරකද? ආර්ථික විද්‍යාව පිළිබඳව සරලව - වගේ එකක්. - සීරියස් කීවේ

      Delete
  9. සුබපැතුම් !!!!

    ReplyDelete
  10. බ්ලොග් නොලියා කියවීම පමණක් කල කාලයේ සිට කියවපු බ්ලොග් එකක්. ලක්ෂ 5 ට සුභ පැතුම්. ඇත්තටම මම හිතුවේ මීට වඩා විශාල කවුන්ට් එකක් ඇති කියල. පසු කාලීනව බ්ලොග් ලියන්න ආවත් ඔබ, ,මාතලන්, බස්සි, කමී, අටම්, ඉවාන්, චෙෆා වැනි අය තත්ත්ව තරාතිරම් නැතුව මාවත් ඔය ගොඩට පිළිගත්තටත්, ඔබ සංවිධානය කල දේවල් වලට සහභාගී වීමට කාරුණිකව ඉඩ දුන් නිසාත් ඒ ගැන ඇත්තේ කෘතඥතාවයක්. මින් ඉදිරියට ලක්ෂ ගණන් වලින් කියවන්නන් එන එක ඔක්කොම බ්ලොග් වලට වෙන දෙයක් නෙවෙයි. ඒත් දිහටම කුමක් හෝ ලීවීමෙන් ඒ හරහා හමුවීම නම් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. මම ලියන්නේ සීමිත පිරිසකට බවයි මගේ හැඟීම. අනික තව බ්ලොග් දෙක තුනක ඒවත් එකතු වුනානම් වැඩි ගානක් එනවා. මට තව බ්ලොග් දෙක තුනක් තිබුන නිසා. මේක තමා දිගටම ඇදන් ගියේ. ඉදිරියේදීත් බ්ලොග් වලින්ම හමුවෙමු. මම ලිවේ නැතත් ලියන අය ඉන්නවනේ. සමහර විට ලියන දේවල වෙනසක් කිරීමටයි බලාපොරොත්තුව.

      Delete
  11. Congratulations Ajith, more power to you. Even though I dont agree with what you write. your well articulated views keep me out of my echo chamber lol keep on writing

    ReplyDelete
    Replies
    1. Thank you ano. //your well articulated views keep me out of my echo chamber lol keep on writing// well that was nice. 😌

      Delete
  12. ලස්ස පහ සපිරීම නිමිත්තෙන්... මගෙත් හද පිරි මෙව්ව එක 🌹🙏

    මමනං ලියන්නමයි කියලා බල කරන්නෙ නැහැ... ඒ වැඩේ අත්අරින්නම හිතාන ඉන්නවානම්.
    ඒත් බලපු චිත්තරපටියක්, පොතක් ගැන ලියන්ට ඇහැකි නෙව. හැමදා ලියන දේසපාලන පෝස්ටුවවලට වෙනස්ව

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනසක් කරන්න තමා දැන් හිතන් ඉන්නේ.

      Delete
  13. ඔබතුමා ස්වේජ්ජාවෙන් කරන දෙයක් නිසා බලකරන්න බෑ. හැබැයි නොලියා ඉන්න එපා. මම ඔබේ ලිවීම් තුලින් වින්දනයට අමතරව යම් දැනුමක් ලබනවා. මං වගේ අය තව ගොඩක් ඇති.

    ReplyDelete
    Replies
    1. මේ දිරි ගැන්වීමට ඔබ තුමාට බොහොම ස්තුතියි

      Delete

  14. ලක්ෂ 5 ට උණුසුම් සුබපැතුම්//
    දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්. වඩා ජනප්‍රිය මාතෘකා තමයි ලියන්න හිතෙන්නේ.

      Delete
  15. මමත් ක්‍රමයෙන් බුකියටම ඇබ්බැහි වුණා. උඹ ලියන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. කවුරුන් හෝ වේවා ස්තුතියි. බුකියට මගේ එපමණ කැමැත්තක් නැහැ. යහළුවෝ ප්‍රමාණයෙන් 2000 විතර අයින් කළා. දැන් ඉන්න 3000 නුත් අයින් කරන්න හිතන් ඉන්නේ. කොළඹ ගමයා අකවුන්ට එක තමා ගෙනියන්න් හිතන් ඉන්නේ.

      Delete
  16. සුබ පැතුම්.

    ReplyDelete
  17. මේ කෑල්ල පස්සේ එකතු වෙන එකක්. මෙන්ඩා අපිත් එක්ක ආව එක බ්ලොග් සම්මාන උළෙලක් ඉවර වෙලා. මගේ පන්ති සගයකු වන RK විතානගේ සහ මල්ලිත් හිටිය. මොන හේතුවකට හරි කොත්තු කාල ඉවර වෙලා එනකොට වෑන් එක ස්ටාර්ට් වුනේ නැහැ. මෙන්ඩයි අපියි තල්ලු කළා. ඔහොම පොඩි පොඩි කෑලිත් තිබ්බ.

    බ්ලොග් යාළුවෙකු වන සුදීක හෙවත් දිල්රුක් හොඳ යාළුවෙක්. දේශපාලන වශයෙන් අපි දෙන්න අහසයි පොළොවයි වගේ. ඒ වුනාට සුදික අගය කරනවා අපි කරපු දේවල්.

    ලන්ඩන් පොත් එලි දැක්වීම් ගැන ලියන්න අමතක වුනා. විජිත ගුණරත්න ස්වීඩන් ඉඳන් ආව. සරෝජ් පතිරණ, අරුණ පෙරේරා, සුදත්, සේනක, වරුණ, මහින්ද , දුෂාන්ත සහ විපුලි, බුද්ධික සහ ප්‍රියන්වදා, කුමාර, මායා, නුවන්, ආශා , නිල් සහ මගේ පවුලේ අය සහභාගී වුනා පොත් එලි දැක්වීම් වලට. නන්දන වීරරත්න ලංකාවේ සහ එංගලන්තයේ දෙකටම සහභාගී වෙච්චි කෙනෙක්.

    ReplyDelete
  18. Congratulations, Ajith, on your milestone!

    ReplyDelete
  19. සුබ පැතුම්! ඉලක්කයට ලඟා වීම උත්තේජකයක් කරගන්නව නම් තමයි වඩා හොඳ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . ඇත්තටම එහෙම ඉලක්කයක් තිබුනේ නැහැ. පස්සේ හිතුන ලක්ෂ පහ ආවහම නවත්වන්න ඕනේ කියල.

      Delete
  20. ලස්ස පහ ගැන සතුටුයි. අජිත්තයිය ආව කාලෙම ආව අපිටවත් ලස්ස පහක් නෑ මෙයා. (අපි ලියන්නැති එක වෙනම දෙයක්) ඒ වුණාට ඒක හෙන අසාදාර නයි නේද මෙයා. ඔයාට මටත් ලස්ස පහක් දෙන්න තිබ්බ. ඒ මදිවට ගූගලය අපිට කුඩම්මගෙ සැලකිලි.
    හුහ්.. ලියන්න තියා කමෙන්ට් දනේන දෙන්කෙත් නෑ. (ක්‍රෝම් වලිං විතරයි අවුල. අනික් බවුසර් වල තෙල් අදින්න හිතෙන්නෑ මෙයා)

    මුල් කාලෙ කියව්ව අදත් ඉද හිටල කියවනව. ආව දාසක හම්බෙමු.
    එතකං දිගටම ලියමු.

    ජය 😊

    ReplyDelete
    Replies
    1. ලියන්නේ නැත්නම් ලස්ස පහ එන්නේ කොහොමද කියන එකත් කතා කරන්න හොඳ මාතෘකාවක් . ගුගල් ලියන්න දන්නේ නැත්තේ ඇයි? ඇහුවමයි.

      Delete
  21. ලක්ස පහට සුබ පැතුම් අජිත් අයියා .... අපි තරු ගැන , විශ්වය ගැන ආයේ ලියමුද ? මම ඔයාගේ බ්ලොග් එකක් බලන්න ආවේ ඒවා කියවන්න .. නමුත් ගොඩක් වැදගත් දේවල් කියවන්න තිබ්බ තැනක් .. නතර නොකර ලියන්න

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනේ තමා වෙන මොනවා හරි ගැන

      Delete
    2. සුභ පැතුමට ස්තූතියි

      Delete
  22. සුභපැතුම් අජිත් අයියේ.... දිගටම ලියන්න ශක්තිය දහිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලංගොඩයා . ඔබතුමා දිගටම ලියන වග දැක්කා.ජොකා වැඩේට ආවට වැටක් ගහන්න අමතක වුනා

      Delete
  23. :-)
    මාරයි, මං ලංකාවේ තිබුණු පොත් එළිදැක්වීම් දෙකට ම ගිහිං තියෙනවා නේ. කණ කැස්බෑවා විය සිදුරෙන් බලනවා තරම් නොවුනත් සෑහෙන්න කරුණු සමපාත වෙන්න ඕනෑ එහෙම වෙන්න.

    ඔය හිට්ස් නම් එච්චර වැදගත් දර්ශකයක් නොවේ. අවුරුදු නවයකට පෙර යාවත්කාලීන කිරීම නවතා දැමූ මගේ කතන්දර බ්ලොග්එකට තාමත් හිට්ස් ලැබෙනවා.

    බ්ලොග් ලිපියට සම්බන්ධව ඇතිවෙන සාකච්ඡා තමයි ඉතාම වැදගත්. ඒ අතින් අජිත් ගේ බ්ලොග් එක විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පුදුම වැඩේ කියන්නේ. දෙකටම ඇවිත්. ස්තූතියි . පොත් එලි දක්වන කාලෙමත් නෙවේ හැබැයි. අපි වගේ සුළුතර අයට හිට්ස් ඉතින් ටිකාක් වැදගත්. ඒකත් නැත්නම් ලියන්න හිතෙන්නම නැහැ. ඇවිල්ල බනින ඇනෝ සෙට් එක නිසා සාකච්චා වැඩි වෙනවා. විශේෂ ස්තුතිය ඇනෝ ලාට. ඒ අතින් මේ කොමෙන්ට් දාලා තියන අය බස්සා , නිදි, නමියා, ජගත් නිතර එනවා. , ඉයන්, ප්‍රා, අනුරුද්ධ, ලිට්සිකර්, චමින්ද, ලෝටස්, කුමාර , ලලිත් , මහේෂ් නිතර නොවුනත් ඇවිත් යනවා හුඟක් වෙලාවට.ලිවිම අත හරින්න අමාරු හේතුවක්. 🥲

      Delete
    2. අම්මට සිරි ! සිපිපියයි ලපිපියයි !

      Delete
    3. අම්මට සිරි බම්පියා

      Delete
    4. //බ්ලොග් ලිපියට සම්බන්ධව ඇතිවෙන සාකච්ඡා තමයි ඉතාම වැදගත්. ඒ අතින් අජිත් ගේ බ්ලොග් එක විශිෂ්ටයි//
      ++++++++++++🙏👌

      Delete
    5. බම්පියා කියන්නෙ කවුද අජිත්?

      Delete
    6. ඔයා කැන්ඩි ලේක් එක ගාව ඉඳන්ද ලොග් වුනේ. එහෙනම් ඔයා නෙමේ

      Delete
    7. පොතලන් මාන්නයා කියන්නෙ කවුද අජිත් ?

      Delete
    8. දන්නේ නැහැ සත්තලන්

      Delete
  24. ලක්ෂ පහට උණුසුම් සුබ පැතුම් අයියේ..ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොසා. ඔයා කවුද කියල ලඟකදී එනකන් දැනන් උන්නේ නැහැ නොව.දැන් දන්නවා තිබෙන බව

      Delete
  25. ලක්ෂ පහට සුබ පැතුම් @ Ajith Darma

    පොඩි දෙයක්, ඔබ මේ කෙටි වීඩියෝව නරඹන්න මේකේ රුසියා උක්රයීන් යුද්ධය සහ යුරෝපීය ජනමතය ගැන ආචාර්ය සරත් අමුණුගම කියන කතාව ඇත්තද?

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/769639561288135/?app=fbl

    මේක බලල මේ ගැන විග්‍රහයක් කරන්න පුළුවන්ද ඔබේ සෝවියට් සහ යුරෝපීය අත්දැකීම් අනුව? මේක ඇත්ත වගේ මටනම් හිතෙනවා 🤔

    ReplyDelete
    Replies
    1. //අමෙරිකාවෙන් දුන්න ජෙට් යානාවලින් ඇයි සෙලෙස්කි සෑහීමකට පත්වෙන්නේ නැත්තේ? // අමෙරිකාවෙන් ජෙට් යානා ත්වං දීලා නැහැ. පුහුනු කරනවා විතරයි. විවරණයේ වැරැද්දක් නැහැ . ඒක තමා වෙන්නේ. රුසියාවට සපෝර්ට් කරන්නේ ට්‍රම්ප් සමග දක්ෂිනන්ශිකයෝ වීම ප්‍රශ්නයක්. හංගේරියාව ත් එහෙමයි. ඒ අය හිතන්නේ රුසියාව ක්‍රිස්තියානි මොරාල් එක රකිනවා කියල. එහෙම එකක් මට පේන්නේ නැහැ. රුසියානුවෝ තමන්ගේ රටට තර්ජනයක් තියනවා කියන එක විශ්වාස කරනවා

      Delete
  26. ඔව් මං බැලුව. ගොඩක් අය දීප්තිට කැමති නැත්තේ ඔය කුහක වාදය එලි කරන නිසා. ඔය උන් ඔක්කොම දීප්ති ව කපල දාන්නේ ඒකයි. මම ඔය බ්ලොග් සම්මාන කරපු අවුරුදු තුනටත් පුදුම දේවල් ටිකක් ඉගෙන ගත්තේ. නතාෂා ගේ කෙසේ එකේදී මම ඒ වීඩියෝ එක බලල එක ෆේස්බුක් වෝල් එකේ දැම්ම. උවිඳු දාපු එක. ඔය කෑ ගහන ලිබරල් සෙට් එකෙන් කි දෙනෙක් දැම්මද බලන්න. ඔක්කොම ආණ්ඩුවට කුද ගහ ගන්න කියලා දාන්න තිබ්බ. ලෝයර්ස් ලගේ ඉඳන් ලබ්බේ අරගල ලිබරල් ල වුනත් දැම්මේ නැහැ. ඇයි දැම්මම තේරෙනවා නතාෂා බුද්ධාගමට අපහාස කරල්නැහැ කියල. සිංහල බෞද්ධ සෙට් එක ඒක දාන්නෙත් නැහැ. ඒත් ඒ හේතුවම නිසා අහුවෙනවා සාමාන්‍ය මිනිසුන්ට ඇත්ත. පුදුමයි නේද?

    ReplyDelete
  27. ඔය වාමාංශික පක්ෂ නායකයෝ අනිත් අය අඳුරන්නේ නැහැ කියන කතාව ඇත්ත. සනත් නිශාන්ත ගැන හොඳ කිය්නව් අකියන්නේ දීප්ති දිය වෙලා ගිහිල්ල වගේ පේන්නේ. හැබැයි මේ ඇත්තට සනත් නිශාන්ත ගැන හොඳ කියනවා නෙමේ. SLVLOG වල ඇතැම් අය සහන ආණ්ඩුවේ සම්බන්ධය. අර නතාෂා ගේ ඉවෙන්ට් එක කරපු පල්ස් කට්ටියගේ ඔෆිස් එක තියෙන්නේ දිලිත් ගේ දෙරණ මුලස්ථානයේ මයි . මේ මුළු වීඩියෝ එක.
    https://www.youtube.com/watch?v=3ASKdZbuXwE

    ReplyDelete
  28. ජය වේවා!!!
    දිගටම ලියමු....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .