Wednesday 26 May 2021

ඔබ සැමට ප්‍රීතිමත් වෙසඟක් වේවා


සෙනසුරාදා ඉනෙස් සුපර්මාකට්  ගිහින් බඩු  වගයක් ගෙනත්. පැස්ටා හාල්, කෑම ජාති අනම්  මනම්.   ඊට කලින් දවසෙත් බඩු ගෙනාව නිසා මම ඇහුවා මොකෝ මේ වැරදිලාද ආයි ගෙනාවේ කියල. 
එයා අහනවා 
"ඇයි මනුස්සයෝ මතක නැත්ද අද කවද්ද කියල?"
මම කිව්වා මතක නැහැ කියල. 
එයා කියනවා, 
"ඇයි මනුස්පයෝ අද වෙසක් නේ , අද බණක් තියනවා පන්සලේ, හාමුදුරුවෝ එන්න කිව්වා, බණ අහන්න  "
"අම්මට සිරි වෙසක්ද "
ඔන්න ඉතින්  බලන්න ජර්මන්  කට්ටියට බුද්ධාගම අඳුන්වල දීල කරගත්ත වැරැද්ද.

මම හිතන් හිටියේ මැදිවියට ආවහම අපේ අම්මල හෙම තමයි පන්සල් යන්න ලැහැස්ති වෙන්නේ කියල. බලාගෙන ගියහම  ඒකත් යුනිවර්සල් ෆෙනොමෙනා එක්ක හෙවත් විශ්වීය පුරුද්දක්ද කොහෙද?
 
ඉතින් මම කිව්වා,
"දැන් ඉතින් මොකෝ කරන්නේ , මම  පොරොන්දු  වුනානේ නන්දන යි යමුනයි එක්ක ඇවිදින්න යන්න , ඔයත් එනවනේ. "
ඉනෙස් කියනවා,   එයත් ඇවිදින්න යන්න ඇවිත් ඊට පස්සේ  පන්සල් යන්නම්ලු.

සෙනසුරාදා ඇවිදලා  ඇවිල්ල මේන්  මෙයා පන්සල් යන්න හදනව. 

අපි නියම  බුද්ධාගමේ තුන්දෙනා පුටු උඩ  වැටිලා මහන්සියට. තව කොහේ යන්නද? හොඳ වෙලාවට නන්දනට මතක් වුනා වෙසක් තියෙන්නේ 22 නෙමේ 26 කියල.

හාමුදුරුවන්ට දවස වැරදිලා කියල යන්තම් බේරුනා. 



මේකයි, අපි එංගලන්තේ බොරිස් ජෝන්සන්ට කොපමණ බැන්නත් මුලදී හරි ක්‍රියා මාර්ග ගත්තේ නැහැ කියල මිනිහ පිළිවෙලකට එන්නත් දෙන්න ගත්ත. මුලින්ම  සෞඛ්‍ය සේවයේ (වෛද්‍ය, හෙදි සහ අනිකුත්ඕ නෑම සේවයක්)  සහ ඉදිරි පෙළ කෝවිඩ් මර්දනය වෙනුවෙන්වු වැඩ කරන අයට,  ඒ එක්කම හෘද රෝගීන්ට, ඇදුම තියෙන අයට. ඊට පස්සේ,   අවුරුදු 80න් උඩ මහලු අයට  එන්නත ගැහුවා.. ඊට පස්සේ වයස 60-70. ඊට  පස්සේ වයස 50-60.  ඉන් පස්සේ අපි වගේ 50 න් උඩ. අගමැතිත්  වෙලා මිනිහත් ගහගත්තේ එතකොට.    මේ රටේ වයසක මිනිස්සු තමයි රට හදන්න උදව් කළේ. අනුන්ගෙන් සූර කාල හරි නැතා හරි. උන් උන්ගේ වයසක එවුන්ට තමයි ඉස්සෙල්ල සලකන්නේ. රටට දහඩිය හෙලපු අය. ඒ අතරට අපටත් වැදුන. සුදු අයට විතරක් කියල එන්නත් ගැහුවේ නැහැනේ. 

ශ්‍රී ලංකා රජය මුලින් හරියට කළා. කොළඹ පැතිරෙන කොට කොළඹ අයට එන්නත් ගැහුවා. ඒකෙන් පැතිරෙන එක අඩු වුනානේ. ඒකම තමයි අනිත් රටවල් කළේ . පැතිරෙන පැති බලල ඒවල එන්නත  ගහල ව්‍යාප්ත වීම අඩු කළා.

අනික තමයි කොරෝන වයිරසය නොයෙකුත් විකෘති  හදනවනේ. (mutation ) ඒ වයිරසයේ හැටි.  ඒක සාමාන්‍ය දෙයක්. මට වැඩිය ඒව ගැන  දන්නා අය මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව. හැබැයි නවතම ප්‍රභේද ඔය විකෘතිය හරහා එනවා (New variants of a virus strain emerge through the process of mutation). ඉන්දියානු , බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකා වගේ. ඒවා ටිකක් සැරයි.

ඉතින් දැන් වෙනම  එන්නත් ගිහින් ගැහුවට එච්චරම වැඩක් නැහැ තමන් ඉන්න පළාතේ ආසාදිතයන් වැඩි නම්. මොකද වෙන ප්‍රභේදයක් හැදෙන්න ඕන තරම්  අවකාශ තියනවා.  හොඳම වැඩේ තමන් හැසිරෙන ගම නගරයේ හැමෝටම එන්නත ගහන එක.
ඊටත් වැඩිය හොඳ වැඩක් තමයි, කෝවිඩ් හැදිලා මැරෙන්න වඩා ඉඩ තියෙන හෘදයාබාධ රෝගීන්, පිළිකා තියන අය, අඩුම රෝගීන් , අධික රුධිර පීඩන රෝගීන්ට මුලින් ගහන එක, රට වෙනුවෙන් දිවිය කැප කරපු විශ්‍රාමික අයට එන්නත ගහන එක. මේ වෙසක් එකේ ඒක හොඳ වැඩක් නෙමේද? ධර්ම රාජ්‍යයක් වශයෙන්, බෞද්ධයන්   වශයෙන්.  වැඩිහිටියෝ මහලු නිවාස වල දාලයන  සුද්දෝ, යුරෝපියයන් ඒක  කරනවනම් ධර්ම රජයකට කරන්න බැරි කමක් නැහැනේ. ශිෂ්ඨසම්පන්න මිනිසුන් වශයෙන් කරන්න බැරි දෙයක් නෙමෙයි. 

අන්තිම වශයෙන් මගේ බිරිඳ  අසනීප වෙලාවෙත් මේක ලිව්වා. කොරෝනා හැදුනු පසු මොන බෙහෙත් ද ගන්නේ -ආයුර්වේද එපාද  කියල ලිපියක්. කෝවිඩ් හැදිලා කියල දැනුනොත් ඇඳෙන් බහින්න එපා. ඇවිදින්න එපා. වැසිකිලි කැසිකිලි යනව ඇරෙන්න මුකුත්ම  කරන්න එපා. අමාරු වෙනවා.. එකපාරට මැරිලා වැටෙන්න තරමට හතිය, මහන්සිය වැඩි වෙන්න පුලුවන්.   දීර්ඝ ගමන් වුනත් ඉතාම වෙහෙසකාරී දෙයක්. ඇඳේම ඉන්න.   කෑම ගෙනත් දෙන්නවත් කෙනෙක් නැත්නම් ඉතින් කොහොම හරි රෝහලකට යන්න වෙනව.


ඔබ සැමට සුබ වෙසඟක්  

පින්තුර ගත්තේ මම. මේ පාර  ලංකාවට ගිය වෙලේ. එක්තරා දරුණු  කාලයක පාරවල් වල  අතුරුදහන් වුනු  තරුණ තරුණියන්  උදෙසා හදපු පන්සලක්ලු. හාමුදුරුවරු නැහැ. ඒක බලාගන්නේ  දායකයන් පිරිසක් විතරයි. බොල්ගොඩ පාලමෙන් තමයි තරුණ තරුණියන්ව දාල තියෙන්නේ. දුක විඳපු රටක්. දුක් දන්නා රටක්. ශිෂ්ඨසම්පන්න වෙන්න කාලේ හරි නේද?










Monday 24 May 2021

එංගලන්තේ එන්නත් පෝලිම


මීට කලින් ලිව්ව කෝවිඩ් කතාවලට දැන් තුන්වෙනි රැල්ලකුත් එකතුවෙලා.  මේක මේ එන්නත් පෝලිම් ගැන අහපු කතාවක්. කීවේ යාළුවෙක් උනාට නම ගම විස්තර දාන්න එපා කීව නිසා එයාව  ඇම්ඩා කලා.
 
ඔන්න ඇම්ඩා  කෝවිඩ්එ න්නතක් ගහගන්න පුලුවන්ද බලන්න වෙබ් අඩවියක ලිපිනය දාපු එයාගේ ගම පැත්තේ මධ්‍යස්ථානයකට ගිහින්. පෝලිම තියෙනවලු කිලෝ මීටරයක් විතර දුරට. පන් මල්ලක එළවලු ටිකක්  දාගත්ත මැදිවියේ අක්ක කෙනෙක්,  වයසක අම්ම කෙනෙක් එක්ක හිටියාලු පෝලිමේ අන්තිම කොනේ. ඔන්න ඇම්ඩා හිට ගත්තලු ඒ  පිටි පස්සේ.  ඒත් ඉතින් මගේ යාළු ඇම්ඩා ට එක තැන ඉන්න පුළුවන් එකෙක් නෙමේ. ඇම්ඩා ගේ පිටි පස්සෙන් අන්කල් කෙනක් ඇවිත් හිට ගත්තම,  අන්කල්ටයි අක්කටයි දෙන්නටම එයාගෙ පෝලිමේ තැන තියා  ගන්න කියලා ඇම්ඩා ගියාලු ඉස්සරහට,  පෝලිමේ මුල හොයාගෙන   නර්ස් නංගිලා දිහත් බලල එන්න හිතාගෙන.

මෙන්න බොලේ පෝලිමේ ඉස්සරහ තවත් පෝලිමක් යනවලු අනිත් පැත්තට.  ඇම්ඩා ටිකක් ඉස්සරහ හිටපු ලස්සන ඇන්ටි කෙනක් ගෙන් ඇහුවලු මොකද්ද මේ අනිත් පෝලිම කියල. ආ "ඒ මේ නෑදෑයන්ගේ යාලුවන්ගේ සපෝටර් ලගේ පෝලිම" නේ කියල. ඇම්ඩා ඇහුවලු ඇන්ටිගෙන්. "ඉතින් මේ ඒකත් තියෙනවනේ කිලෝ මීටර් භාගයක් විතර" කියල.
 
"ඒකනේ අනේ , හොඳ වෙලාවට අපේ දුව මේ අවුරුද්දේ මෙඩිකල් තේරුණා. මිට පස්සේ අපට පෝලිමේ ඉන්න ඕනේ නැහැ" . කියල තොල් දෙකත් උළුක්කු කරලා ඇන්ටි කියපි.

ඉතින් ඇම්ඩා ෆෝන් එක පීර පීර හෙව්වලු  කවුද ඉන්නේ දන්නා අඳුනන සවුක්කිය සේවකයෙක්,  දේශපාලකයෙක් කියල. හොඳ  වෙලාවට මතක් වුනාලු  ඇම්ඩා ගේ කොල්ල බඳින්න ඉන්න කෙල්ලගේ අම්මගේ නංගි ගේ බාල කොලූ පී එච් අයි මහත්තෙයක් කියල. ඇම්ඩා කෝල් එක ගන්න හදන කොටම මෙන්න අර  "නෑදෑයන්ගේ යාලුවන්ගේ සපෝටර් ලගේ " පෝලිම ළඟ හෙන කලබලයක් ලු.  ඒ ගමන ඇම්ඩා කෝල් කිරිල්ල පැත්තකට  දාල ඒක බලන්න ගියාලු. කෙහෙවලු පටලවාගෙන කලිසම් බෙල්ට් කඩාගෙන යනවලු දාර වලියක්. වලියක් කොතනද ඇම්ඩා එතන කියාගෙන ඇම්ඩාත් දැන් එන්ටර් වෙන්නලු යන්නේ. කාගේ හරි වලියක් නේ කියල.  ඔන්න එතකොට පොලිසියත්  ආවලු එතනට.

කවුද බූරුවෙක් පොලිසියට කතා කරලා නේ කියල හිතින්  බැන බැන ඇම්ඩා පාර අද්දර ගැට්ටක් උඩට නැග්ගලු වලිය බලන්න. ඒ ගමන පොලිසියේ ඇත්තොත් ගැට්ට උඩටම නැගල හරි බරි ගැහිලා වලිය බලනවලු. හොල්මන් වෙච්ච පාර ඇම්ඩා ගේ පොලිසි බයත් නැතුව ගිහින් ළඟම  ඉන්න රාළහාමි ගෙන් ඇහුවලු බයාදු ලීලාවක් දාල  
"මේ  රාළහාමි දෙකක් ඇදල දෙන්නැද්ද මුන්ට මව්කිරි මතක් වෙන්න. මෙහම රණ්ඩු  කරනවද නේද " 

රාළහාමිත් පුදුමෙට වගේ ඇම්ඩා එක්ක කතා කෙරුවලු.
"මොන පිස්සුඩ ඕයි අපට කියල තියෙන්නේ බලාගෙන ඉඳල පොලොසියට ගිහින් වාර්තාවක් ලියන්න විතරයි. හොඳට එන්නත් දුන්න කියල, ඕවට අත දාන්න ගිහින් කන්දකාඩු , කිලිනොච්චි පැත්තේ කොරෝනා ඩියුටි දැම්මොත් හෙම "

ඇම්ඩා ත් ඇරියේ නෑලු , "ඉතින්  මේ වලිය රාළහාමි තදයි වගේනේ  "

රාළහාමිට ඒ පාර තදවෙලා කීවලු 
"තමුසේ දන්නවද ඒ නිත්‍යානුකුලව බැණ අඬගහ ගන්නේ කවුද කියල. දිස්ත්‍රික් මන්ත්‍රී ගේ සපෝටර් තුමයි, එම් ඕ එච් ගේ අක්කගේ මහත්තයයි , පලස්සබා මන්ත්‍රීගේ බාප්පයි,  දිස්ත්‍රික්ගේ හොස්පිටල් එකේ අධ්‍යක්ෂක  ගේ   අයියයි ආ තව නර්ස් නෝනගේ අක්කගේ  දුවයි. ඒ ගොල්ලෝ ඔය සාකච්ඡා කරනවා කවුද වඩා සම්භාවනීය, කවුද ඉස්සෙලම එන්නත  විද ගන්නේ කියල. මේවා අපට අයිති වැඩ නෙමේ විසඳන්න. අර පෝලිමේ ඉස්සරහම පාර දෙණිය මහත්තයාගේ සංගමේ ප්‍රබල  නියෝජිතයෙක් ඉන්නවා. එයාගේ පවුලේ විසි දෙනාට ගැහුවට පස්සේ එයා ඕක විසඳයි කියල.  "

එහෙම කියල පොලිසිය අකුලාගෙන ගිහින්.  මගේ යාළුව හෙවත් අන්වර්ථ නාමයෙන්  පෙනී හිටින ඇම්ඩා  මේ නහින දෙහින කාලේ මොන එන්නත්ද කියල ඇළ ගාව ගෙදර කසිප්පු වීරේ ගෙන් කසිප්පු වඩියක් අරන් වයිරස් යන්න කටත් හෝදගෙන,  ධම්මික පැණි කුප්පියකුත් වැඩි ගාණට අරන් කුරුඳු සිගැරට්ටුවකුත් පත්තු කරගෙන ගෙදර   ඇවිත්.  

ඉතින් ඔන්න  මේ විස්තර  ලීවම සමහර නංගිලා බනිනවා පිටරට වලට ගිහින් තමන්ගේ රට සවුත්තු කරනවා කියල. එහෙම එකකට නම් නෙමේ ලිව්වේ. 

මමත් ඉතින් ලංකාවේ හිටිය පසුගිය මාසේ,  මේ අධිරාජ්‍යවාදී සුද්දන්ගේ ජරා කම කියන්නේ ජීපී ගේ  - ඒ කියන්නේ අපේ දොස්තර  -  සේවයෙන් මට මෙසේජ් දෙකක්ම එවල දෙවෙනි එන්නත ගහ ගන්න එන්න කියල. අපි දුඹුරු  හින්දද  මන්ද ඇස්ට්‍රා සෙනෙකා එක දෙන්න තමයි එන්න කියන්නේ.  බලනකොට වයිෆ් ටත් ඒකමනේ . මාව බැන්ද හින්ද වෙන්න ඇති කියල හිත හදා ගත්ත.

ලංකාවෙන්  ආවට පස්සේ එතනත් වර්ණභේදය. බෝඩර් එකේදී ප්‍රශ්නම දෙකක් ඇහුව. පීසීආර් එක කලාද? කෝ මොබයිල් එකේ ඊමේල් එක පෙන්නන්න කියල. යන්න කිව්වා. ඊට පස්සේ ඉතින්  අධිරාජවාදී සුද්දෝ දවස් දහ හතරක්ම මට ගෙදරින් එළියට යන්න එපා කිව්වා. පීසීආර් දෙකකුත් කරන්න වුනා. අර ඉන්දියන් කාරයෝ වගේ හොර එකක් හදා ගෙන  දෙන්නවත් වෙලාවක් නැහැ.  

ඒ නිවාස  අඩස්සියේ ඉඳල ඊට පස්සේ ජීපී සේවයට  කෝල් කලහම විනාඩි දහ අටක්ම ඉන්න  උනා දුරකතනයේ ෆෝන්  එකේ එල්ලිලා. අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ ආසියානු එකෙක් තමයි කියල. ඒක තමයි එච්චර  වෙලා ගත්තේ. ඊටත්  පස්සේ දවස් තුනක්ම ගත්ත දෙවෙනි එන්නතට අපොයින්මන්ට් එකක් දෙන්න. මගේ නම බලල තේරෙන්න ඇති ආසියාතිකයෙක් කියල. තනිකරම සුදු ජාතිවාදය. මගේ ජීපි සහ ඒකෙ වැඩ කරන අයනම් ටැමිල් හැබැයි. නමුත් සුද්දන්ට නේ වැඩ කරන්නේ.
 
ඔන්න ඉතින් ඉරිදා දවසේ එන්නත ගහගන්න ගියා. පලවෙනි එක ගහල තියෙද්දිත් පෝලිමේ ඉන්න කීවනේ . කළු තරුණියෝ දෙන්නෙක්  තමා  එතන පිළිගැනීමේ  නිලධාරිනියන්. සුද්දන්ට කත් අදින නිසා මට පෝලිමේ පිටි  පස්සටම යන්න කීව . එකසිය පනහක් විතර හිටිය පෝලිමේ. මාව සුද්දන්ගේ පිටි පස්සටම දැම්ම. මගේ ඉස්සරහ හිටියේ  ස්පාඤ්ඤ ගෑනියක් හැබැයි. පෝලිමේ පිටි පස්සට ඊට පස්සේ ටික ටික සුද්දෝ, කළු අය එහෙම එකතු වෙන්න ගත්ත. ඔත්තු බලන්නද මන්ද. පැය භාගයක් ම පෝලිමේ හිටිය මාත්. හරි පිළිවෙලට පෝලිම ගියා. කොහෙන්වත් පනින්න විධිහක් නැහැ. සුද්දන්ට පුලුවන්ද වැඩක් කරන්න හරියට.

ඇතුලට යන තැන කළු  අප්‍රිකානු සම්භවයක් තියෙන සුද්දන්ට කත් අදින එකෙක්  තමා හිටියේ. නැත්නම් ඌට ඕන තරම් පුළුවන්නේ මාව පෝලිමෙන් පිටට අරගෙන එන්නත කලින්ම ගහල යවන්න. කළේ නෑ. 

ඉතින් පෝ ලිමේ ඉඳල අධිරාජ්‍යවාදී එන්නත ගහ ගත්ත. බ්ලඩ් ක්ලොට් හැදෙන්නේ නැත්ද කියල ඇහුවම කියනව අවුරුදු 30ට පහළ අයට විතරලු එහෙම  හැදෙනවා කියන්නේ. බොරුවක්ද කොහෙද?
එන්නත ගැහුවෙත් කළු දොස්තර  ගැහැණු ලමයෙකුයි සයිප්‍රස් වල හෙද නංගි කෙනෙකුයි.  මේ අධිරාජ්‍යවාදී සුද්දෝ  තවම මේ මිනිසුන්ව හූර කනවනේ.

සයිප්‍රස් නංගි ගෙන් ඇහුවා ඇයි මෙහෙ ඉන්නේ කියල. එහෙ ජොබ් නැහැලු. ඒත් ඉතින් මෙහෙ ඇවිත් එන්නත් ගගහ  මෙහෙ සුද්දට කඹුරනවට වැඩිය  තමන්ගේ රටේ හිටියනම් මොකද මං අහන්නේ? (මං ගැන අහන්න ඔට්ටු  නෑ)

ඔන්න ඉතින් එන්නත  ගහගෙන ආව  ගිය සුමානේ . තවම නම් මුකුත් නැහැ. මට ලෙඩ වුනොත් හෙම සුද්දට එරෙහිව නඩුවක් දාන්න වන්දි ඉල්ලලා. 

 මේ ලිපිය චීන වාමාංශික නෝනලා මහත්තයල පොෂ් ඉංග්‍රීසියෙන් බුකියේ ලියන එකට විරුද්ධ නිසා සිංහලෙන්ම ලියල දැම්ම. 

Saturday 22 May 2021

වර්තමාන කෝවිඩ් තත්වය

මුලින්ම ලිවිය යුත්තේ මෙවැන්නක් ලිවීමේ පරමාර්ථය බිය ගැන්වීම නොවන බවයි. බ්‍රිතාන්‍යයේ පසුගිය මාස දෙකහමාරක තත්වය අසාමාන්‍ය විය. දිනකට එක්දහස් පන්සියක සිට දෙදහස දක්වා කෝවිඩ් වැළඳුනු රෝගීන් ප්‍රමාණයක් මිය ගියහ. නමුත් රටේ ජනතාවට එන්නත් දීම වේගවත් කිරීම හා   සමගාමිව ලොක්ඩවුන් ක්‍රමයද ක්‍රියාත්මක කිරීම මියයන ප්‍රමාණය හා ආසාදිත වන ප්‍රමානය අඩු වී තිබේ. එසේම  නිවෙස් වල හමුවීම් සීමා කිරීමෙන්, මංගල උත්සව ආදිය තහනම් කිරීම, පබ් වසා දැමීම  ආදී ක්‍රම පිලි පැදීමද මෙයට දායක වී තිබේ . කෙසේ වෙතත් ඉන්දියානු ප්‍රභේදය මේ තත්වයට කෙසේ බලපාන්නේද යන්න තවමත් කිව නොහැකිය.

ගිය අවුරුද්දේ මාර්තු වල ශ්‍රී ලංකාව කොවිඩ් තත්වය මැඩීම අතින් ඉදිරියෙන්ම සිටියත් නවසීලන්තය,  ජර්මනිය සහ බ්‍රිතාන්‍ය  වැනි රටවල්  කොවිඩ් මර්දනය හොඳින් කරන රටවල් ලෙස ඉදිරියේ තබා යුරෝපීය වාර්තාවක් එළි දක්වා තිබුණි. ඒ මන්ද යන්න ලංකාවේ බොහෝ අය ප්‍රශ්න කොට තිබුණි. සමහරු ශ්‍රීලංකාව එකට දමා ඕස්ට්‍රේලියානු වාර්තාවක් ද සකසා  තිබුණි. එහිදී පෙර කී යුරෝපීය වාර්තාවේ  සඳහන්  කොට තිබුනේ වසංගතය වැඩිවන තත්වයකදී තිබෙන ICU ඇඳන් ගණන, රටක සෞඛ්‍ය  ක්ෂේත්‍රය ට  එය මැඩීමට ඇති හැකියාව ආදිය ගැනද සිතා බලා මුල් වාර්තාව සැකසූ බවයි. ශ්‍රී ලංකාව  ජර්මනියටත් වඩා පහලට දැමුනේ එනිසාය. ඔවුන් නිවැරදි බව දැන් වැටහෙනු ඇත.  



එනිසා නැවතත් ලංකාවේ තත්වය දත්ත මගින් විමසා බැලුවෙමි. මෙහි ආර් R අගයන් ගැන 2020 මාර්තු මාසය කාලයේ ලියා ඇති ලිපි වල සඳහන් කෙරෙන නිසා ඒ  ගැන ලියන්නේ නැත. එකොනමැට්ටා ගේ බ්ලොගයේද R අගයන් ගැන ඇති තරම් ලිපි ලියා තිබේ. කෙනෙකුට මගේ බ්ලොගයේ යොමුවෙන්  ඒ පැත්තට ගොස් කියවා ආ හැකිය.

ශ්‍රී ලංකාවේ දත්ත මා ලබා ගත්තේ https://www.worldometers.info/coronavirus/ වෙබ් අඩවියෙනි. 

ඒ දත්ත විමසා බැලූවිට මැයි අග වනවිට R0 අගය 1.3 හා 1.5 අතර දෝලනය වන්නේ නම් ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ අසුදහසේ සිට අනූදහස දක්වා වනු ඇත. ජූනි 14 වනවිට මේ අගයන් දෙලක්ෂ විසි දහසත් දෙලක්ෂ තිස් දහසත් අතර වේ.  මීට ලියා  පදිංචි නොවූ සංඛ්‍යාවන් ද ඇතුලත් කළහොත් මේ ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකිය.   දින ගනනට සාපේක්ෂව අනුලෝමව වැඩි වීමක් පෙන්නුම් කරන්නේ තවමත් එන්නත් කිරීම් හෝ ලොක් ඩවුන් කිරීමේ බලපෑම මද බව නිසා විය හැකිය. 

මරණ සංඛ්‍යාවද වැඩි වන්නේ අනුලෝම වශයෙන් බව පෙනේ. දින හතකට  කට අටකට වරක් මරණ සංඛ්‍යාව එකවරම වැඩි  වේ. මේ පිළිගත හැකි තත්වය අනිකුත් බොහෝ රටවලද එසේමය.  මේ අනුව මැයි අග වන විට අසූවක් පමණ රෝගීන් දල වශයෙන් ජිවිත හැරයනු  ඇති බවත් ජූනි 14 වනවිට එම සංඛ්‍යාව 140 ක් 150 පමණ වන බවත් පෙනේ.  මේ තත්වය මග හැරිය හැකි යයි මට සිතෙන්නේ නැත. එයට හේතුව අප නොදන්නා සංඛ්‍යාවක් රෝගය වැළඳී ඇති බව පෙනෙන හෙයිනි.  අප නොදන්නා තවත්ශ්‍ සංඛ්‍යාවක්රී ද මිය යන හෙයිනි.  ලංකාවේ pcr පරීක්ෂණද එක පිළිවෙලකට කරන ලද්දක් ලෙස  මම නොදුටුවෙමි. ඒවා එහෙන් මෙහාන් මිනිසුන් නවත අහඹු ලෙස කරන බවක් දුටුවෙමි.  (මෙහෙදී මා වැරදි විය හැකියි)   පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ද කිසියම් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇති  බව පෙනේ.  මේ වැඩ පිළිවෙළවල් ඉදිරිපත් කිරීමේ වරදක් නැත. නමුත් අඩු ආදායම් ලාභී රටක් ලෙස පූර්ණ ලොක් ඩවුන් කිරීමකට යාම හෝ ඇඳිරි නීති පැනවීම මගින් අඩු ආදායම් ලබන ජනතාව  දැඩි අපහසුතාවයකට පත්වීම ද දැඩි ලෙස කල්පනාවට ගත යුතු කරුණකි.

මගේ අදහස නම් ඇමරිකානු වාර්තාව කියන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට දහසක් පමණ මියයන තරමට තත්වයක් එළඹීමට ඉඩක් නැති  බවයි. ඇමෙරිකානු වාර්තාවට මට වඩා දත්ත තිබිය හැකි බව පිලි ගනිමි. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ කැපවීම, රෝහල් වල තත්වය ආදිය බොහෝ අඩු ආදායම් ඇති රටවලට වඩා ඉහල තත්වයක පවතී.

රුසියානු සහ චීන එන්නත්  කෝටි  දෙකකට මදක් වැඩි ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් භාගයකට වත් ලබා දුන හොත් ඔය කියන තත්වය  ඇති වන්නේ නැති බව මගේ අදහසයි. මා  කියන්නේ පළමු එන්නතෙන් ද කොවිඩ් ව්‍යාප්ත වීම සෑහෙන්න මැඩ පවත්වන බවට සාක්ෂි ඇති බවයි..  මේ නිසා 140 කට මා අනුමාන කර ඇති දිනක මිය යන ප්‍රමානය ජූනි අග වනවිට 200-250 පමණ විය හැකි වුවත් බ්‍රිතාන්‍යය හෝ ඉතාලියේ වැනි තත්වයකට පැමිණීමට ප්‍රථම වළකා ගත හැකිවීමේ ශක්‍යතාවය වැඩිය. ඒ සඳහා රටම එකතුව වැඩ කිරීමේ අවශ්‍යතාවය බරපතල ලෙස මතුව  පවතී.  
ඇමෙරිකානු වාර්තාවේ වගුව (එකොනමැට්ටා පෙන්වූ පරිදි) 
     





මගේ පරණ ලිපි මේවාය. 

Wednesday 12 May 2021

"සමබිම" දීප්ති ගේ දියවෙන සටනක්ද


මම කාලයකට කලින් මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග නමින් ලිපියක් ලීවෙමි.ඒ "මගේ ලෝකයෙන් පසු ලෝකය" කෘතිය  පිලිබඳව පැවති  සංවාදයක් ගැන ලිපියකි. මේ ලිපියට පිළිතුරක් ලියන හපුගොඩ සහෝදරයා සැලකුවේ එය ඔහුට කරනා විවේචනයක් ලෙසය. මේ නිසා ඔහු අපූරු පිළිතුරක් දී තිබුණි.  ඒ පිළිතුරේ වැදගත්ම වාක්‍යය වූයේ මෙයයි. 


"මා පිටරට සිට මෙරට ට චන්ඩි පාට් දමන වමේ දේශපාලනයක ද නිරත නොවෙමි. මා ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ ය. " (ම.හ.)

ඉන්පසු  ඔහු මෙසේද ලියා තිබුණි.
මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්නය. 

ඒ කියන්නේ ඔහු සිතා සිටියේ මම පිටරට සිට ලංකාවට තග දමන්නෙකු හැටියටය. ඔහුගේ ෆිලොසොෆිය සමහර බයියන්, සමහර ටොයියන්, සමහර ජෙප්පන්/පෙසපන්  ගෙන් වෙනස් වන්නේ නැතිබවට මම පිළිතුරු දුනිමි.

එහිද සඳහන්  කළ පරිදි මම කෝබින් ගේ කම්කරු පක්ෂයේ සාමාජිකයෙක්ව සිටියෙමි.  එයින් ඉවත්වුනේ ඇයිද යන්න තවම ලීවේ නැත.


මගේ පිළිතුරෙන් කොටසක් මෙසේ විය. /මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ  සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.//

එම ලිපියේම මහේෂ් හපුගොඩ දුන් පිලිතුරද  තිබේ. ඔහු ගමෙන් පැමිණි බව ඔහුම පිලි ගැනීම හැර අනිකුත්  ඔහුගේ පැහැදිලි කිරීම් මම පිලි ගත්තා යයි නොසිතමි.
.
ලිපි පෙලේ  සඳහන් වූ මගේ ලෝකය පොත මා  දැන් කියවා  තිබේ.   එයට පිළිතුරක් ලෙස මහේෂ් හපුගොඩ හා ජයසිරි අලවත්ත එක්ව ලියු "මගේ ලෝකයෙන් පසු ලෝකය" පොතද කියෙව්වෙමි. එම පොත සැබවින්ම "මගේ ලෝකය " පොතට පිළිතුරක්ද නැත්නම් තමන්ගේ ම දැනුම විවරණය කිරීමක් ද  යන්න තවමත් සිතමි.



ඊට කලින් ජිජැක් ගැන ඔවුන් දෙදෙනා ලියු පොතේ අග දීප්ති ගුණරත්න මෙසේ ලියා තිබුණි.

//"මේ තරම් පොත් කියවපු සංවිධානයකින් මෙච්චර  මැට්ටෝ බිහි වුනේ කොහොමද? දෙවියන් අපිට ලබා දුන් තෑග්ග වන මහේෂ් හපුගොඩ හරහා  එම ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත. ජීසස් ගේ කියමන  වූයේ "දෙවියනේ ඔබ කොහිද?" මැට්ටන්ගෙන් මගේ ව්‍යාපෘතිය වෙන් කිරීමට මේ ලෝකයට එවූ තෑග්ගට දෙවියන්ට ස්තුති වේවා. ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවන්නා යථාර්ථවාදියෙක් නොවේ. මාක්ස්වාදය අද දවසේ ඉල්ලන්නේ භෞතිකවාදයද නොවේ. එය ඉල්ලන්නේ "රැඩිකල් විඥානවාදය' ය."- (පුනර්ජීවනය  -ජිජැක් අධ්‍යයනය)//

 ඇත්තටම ගතහොත් භෞතික  විද්‍යාව,  අභ්‍යවකාශ භෞතික විද්‍යාව වැනි විෂයයන් අද ඇත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඔහුගේ පොත ලියන කාලයටත් වඩා පුළුල් පරාසයකය.

මේ ගැන මම තව ලිපියක් "හපුගොඩ ගේ කතාවක් " මැයෙන් ලීවෙමි. 

 
ඔය හපුගොඩ /අලවත්ත සහෝදරයින්ගේ පොත් දෙක පිටුපසම දීප්ති ගුණරත්න ගේ අවතාරය හොල්මන් කරන බව මම කියමි. 

හැබැයි පසුව මට පෙනී ගියේ මහේෂ් හපුගොඩ නමැති දර්ශනවාදියා දීප්තිගේ ත්‍රිමානය  තුල තව දුරටත් හොල්මන් නොකරන බවය. ඊට හේතුව වුයේ හපුගොඩ ගේ ලිපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජවිපෙ සහෝදරවරු ෆේස්බුක් එකේ හෝගා බෙදා හදා ගන්නා  බැවිනි. මේ සංසිද්ධිය මම ඊට කලින්ද දැක තිබේ. එක්ස් කණ්ඩායමෙන්  හෝ පරණ පෙරටුගාමී (දැන් සමබිම) පක්ෂයෙන් යමෙකු වෙන්වූ වහාම අනිකුත්  වාමාංශික පක්ෂ දෙකට ඔවුන් ඉබේම  මාහැඟි වස්තූන් වේ. නමුත් කුමන  හෝ හේතුවකට ඒ බව ඔවුහු ප්‍රසිද්ධියේ පිලිගැනීමට මැලි වෙති.
 
එසේම මම හපුගොඩ සහෝදරයාගේ  ලිපි "ලංකා නිව්ස් වෙබ් " අඩවියේ මෙන්ම ලංකා ලීඩ් නිව්ස්, ලීඩර් වැනි ප්‍රකාශන  වලද දුටුවෙමි. ඔහුට වැඩි ඉඩකඩක් ලැබෙනවා කියන්නේ ඔහු දීප්ති සමග නැති බව බොහෝ දුරට අනුමාන කලෙමි.  මම මහේෂ් හපුගොඩ ට සුභ පතමි. ගමෙන් නගරයට එන අය එකතැන පල්විය  යුතු නැත. 


දීප්ති කියන දේ අසන පිළිපදින දීප්ති සමග සිටි අයට බුකියේ චෝදනා මිස වෙනත් දේවල් ලැබෙන්නේ නැත. ඒ කණ්ඩායම්ද අනිකුත් පැරණ එක්ස් කාරයන් සමග සැම විටම අවුලේය. එසේම  බොහෝ "විද්වතුන්" ලෙස තමන්වම තමන් හඳුන්වා ගන්නා  අය දීප්තිට බුකියේ සිනාසෙති.   බුකිය විකාරයක් බවට දීප්ති කියන්නේද එනිසා විය යුතුය.

දිප්තිද සියට සියක් බෝසතකු  නොවේ. ඔහු තමන් හැරගිය අයට ද ඒ අයගේ යහළුවන් යයි සිතන අයටද නිර්දය ලෙස පහර දෙයි. එනිසා ඔහුට තරහකාරයන් වැහි වැහැලාය. මට හිතෙන්නේ දීප්තිට මේ නිසා ජිවිතේට ලෙනින් කෙනෙකු වෙන්නට බැරිය.  මේ ගැන මගෙන් ඇසූ  ජවිපෙ සහෝදරයෙකුට මා දුන් පිළිතුර වූයේ, පක්ෂය හැරගිය නන්දන මාරසිංහ වැනි අයට විජේවීර පිළිතුරු දුන්නේ කළුකුඩුබස්නයෙන් බවයි.    ඒ නිසා සාපේක්ෂව දීප්ති විජේවීරට වඩා සාධාරණ බවය. ඔහු අවඥාසහගත ලෙස කිව්වේ දීප්තිට එවැනි හයියක්  නැති බවයි. 

මෙවර ලංකාවට ගිය වෙලේ යහළුවෙකු ගෙන් හපුගොඩ /දීප්ති සුසංයෝගයේ ඉරණම  පිළිබඳව විමසුවෙමි. ඔහු කීවේ දීප්ති තමන්ට වඩා කෙනෙකු පක්ෂයේ ඉහලට ගියහොත් ඔවුන්ව ඉවත් කරන බවය. එනම්ම දීප්ති තමන්ව බුද්ධිමය වශයෙන් පසු කරයන්නට පක්ෂයෙන් කෙනෙකුට  ඉඩ දෙන්නේ නැති බවත් ප්‍රභා මනුරත්න, බුද්ධික, කල්යානන්ද , නිර්මාල් දේවසිරි මෙන්ම හපුගොඩ ද ඉවත්ව ගියේ ඒ නිසා බවය. 

මට  ඒ අදහස පිළි ගැනීමට නොහැකි බව කීවෙමි. මගේ අදහස වූයේ,  දැන්  ජිජක් විශාරදයෙකු වී සිටින ජයසිරි අලවත්ත සහෝදරයා  හා ඉන් එහා ගොස් ජනප්‍රිය දර්ශනවාදී අදහස් බෙදා හදා ගන්නා හපුගොඩ සහෝදරයාගේ ග්‍රන්ථ ද්විත්වය පසුපස දීප්තිගේ බුද්ධිමය මැදිහත්වීමක් තිබුණු බව ඉතාමත් පැහැදිලිය.  එනිසාම දීප්තිට එවැනි අවශ්‍යතාවයක් තිබෙන්නට ඉඩක් නැත.එක්ස් කණ්ඩායමෙන් ගිය අයද දීප්ති ගෙන් තව දුරටත් ඔවුනට ගන්නට දෙයක් නොමැති නිසා නික්ම ගියා විය යුතුය. ඒ ගැන බොහෝ සෙයින් ත්‍රිමාණ වෙබ්  අඩවිය හා බුකිය තුල විවේචන-ප්‍රති විවේචනය යන නිසා ඒ ගැන කතා නොකර සිටිමු.  නමුත් සමන් පුෂ්ප කුමාර ඔහුගේ  පශ්චාත් උපාධියෙන් පසු නැවත  දීප්තිගේ පක්ෂයට නො ආවේ ද ඒ නිසාය යන තර්කය බැහැර කිරීම මදක් අපහසුය.  

මුලින් දීප්ති කුමාර ගුණරත්නට හා ඔහුගේ පක්ෂයට කැමතිව සිටි තවත් මා බ්ලොග් ලෝකයේ දැන සිටි සගයෙකු  දැන් සිටින්නේ විදර්ශන කන්නගර කණ්ඩායම සමගය.  ඔහුගේ  මුලික තර්කය දීප්ති චතුරිකා පසුපස යාම නිසා ක්‍රෙඩිබිලිටිය විනාශ කරගෙන ඇති බවය. නැතිනම් කාඩ් කුඩු කරගෙන ඇති බවය. චතුරිකා පසුපස යාමට වඩා දීප්ති  කලේ රැකියාවක් යන්න මගේ වැටහීමයි.  ඒ රැකියාවේ ප්‍රතිපල සමහර විට ඉදිරියේදී බලා ගන්නට හැකිවනු ඇත. මා හඳුනන බ්ලොග්  සගයා  දැන් අනුයන  විදර්ශනගේ සමහර ලිපි හා කියුම් දීප්ති ලියන ඒවා තරමට මට තේරෙන්නේ නැත. එනිසා මම ඒ සහෝදරයාව  බොහෝ සෙයින් මග හැර තිබේ.   

දීප්ති කුමාර ගුණරත්න ගෙන් මේවා ගැන විමසු විට කිවේ මහේෂ් හපුගොඩ පක්ෂයෙන් පිටත සිටියත්  තවමත් ඔවුන් සමග සිටින බවය.  සමහරවිට මේ  මේ  සියල්ල බැඳ තබන හුය රුවන් ෆෙර්ඩිනන්ඩ් විය හැකිය.  නිව්ස්වෙබ් අධිපතියන් සාමාන්‍යයෙන් ජිජැක් ට සිනාසෙති. එසේම නූතන මාක්ස්වාදය සමගද ඔවුන්ගේ සමබන්ධ්යක් නැත. මංගලගේ ලිබරල්වාදය සඳහා එහි ඉඩක් තිබේ. එනිසා හපුගොඩ ගේ නව මිතුරන් ඔහු පිළිගන්නේ දීප්ති ඉක්මවා ගියා යයි  සිතන නිසාද?

ලංකාවේ පරිවර්තන නොව ස්වතන්ත්‍ර පොත් පලකරන්නට ගොස් ප්‍රකාශකයන්ගේ, එම ක්ෂේත්‍රයේ කෙලි කාරයන් ගේ හා   අනිකුත් ලේඛකයන් ගේ නරුමවාදයට මුහුණ දුන් මට දීප්ති මුහුණ දෙන්නේ කුමන නරුමවාදයකටද  යන්න ගැන යම් තරමක අවබෝධයක් ඇත. වාමාංශික  පක්ෂ වල සමහරු ක්‍රියා කරන්නේද  අර නරුමවාදය තුලමය. 
 
බලාගෙන යනවිට සියල්ල නැවතත් අවුල් වී ගොස්ය. අවුල ලිහන්නට කෝවිඩ් 19 හොඳ අවස්ථාවක්  දී තිබේ. 


පරණ ලිපි පෙළ:

Saturday 8 May 2021

කෝවිඩ් තර්ජනය මැද ලංකාවට ගිය ගමන

මම පසුගිය මාර්තු 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේ මගේ මවට හදිසියේ හෘදයාබාධයක් වැළඳීම නිසාය. ඇස්ට්‍රසෙනෙකා පළමු එන්නත පමණක් විද තිබු නිසා දින දහ  හතරක් නිරෝධායනය  වූයේ බේරුවල සිනමන් බේ නැමැති හෝටල් සංකීර්ණයෙහිය.  ශ්‍රී ලංකාවට ඒමට ප්‍රථම මම බ්‍රිතාන්‍ය ස්ටර්ලින්  149 (රුපියල් හතලිස් දහසක් පමණ) ගෙවා පිසීඅර් පරීක්ෂණයක් කර ගතිමි. පරීක්ෂණය  නෙගටිව් වුනු පසු පමණක් අපට ගුවන් යානයට ගොඩ විය හැකිය.  කටාර් ගුවන් සේවයේ ඩෝහා වලට පැමිණ එතනින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානයකට ගොඩ වුනෙමි. මේ යානා දෙකෙහිම සෙනග සිටියේ ඉතාමත් අඩුවෙනි. මගේ ඉදිරිපස සහ පිටුපස ආසන පේලි හිස්ව පැවතුනි.

  මේ පීසීආර්  සහතිකය  හීත්‍රෝ ගුවන් තොටේදී තදබල ලෙස හා  ලංකාවේදී ද පරික්ෂාවට ලක් කෙරුණි. ලංකාවේදී ෆෝම් එකක් ද පුරවන්නට  තිබේ. හැබැයි ලංකාවේ ආරක්ෂක නිලධරයා පරික්ෂා සහතිකය තේරුම්  ගත්තාද කියා නොදනිමි. ඔහු කිසිදු ප්‍රශ්නයක් පරීක්ෂණය ගැන ඇසුවේද  නැත. (වරදක් කියනවා නොවේ).

මා පැමිණියේ පෞද්ගලිකව නිසා ගුවන් තොටුපලින් එවෙලේම වාගේ පිට වුනෙමි. ඒ අතරේ හමුදා නිලධාරීන් මගීන් ලියා පදිංචි කරමින් බොහෝ අය එක තැනක පෝලිමට ගොනු කරනු දුටිමි. ඒ පෝලිමේ මීටරයේ දුරනම් තිබුනේ නැත.

සිනමන් බේ හෝටලයේදී පළමු දින, හත්වන දින සහ දහතුන් වන දිනයේදී රුපියල්  8775 ගණනේ    තවත් පීසීආර් ටෙස්ට්  තුනක් කල යුතුවිය.  එහිදී පීසීආර් පොසිටිව් වුනු දෙතුන් දෙනෙකු තම කාමරවලම  නිරෝධායනය කර තිබෙනු දුටුවෙමි. ට්‍රැවල්  බබ්ල් (සංචාරක බුබුල) නිසා කොවිඩ් බෝ වෙනු ඇතැයි  බොහෝ අය සංචාරකයන් ගෙන්වීම විවේචනය කළද ඒ සම්බන්ධයෙන් මගේ එදා පැවතුනු  අදහස නම් දැන් වෙනස් වී ඇත. 

  කසක්ස්ථානයෙන්, රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් සියලු දෙනා එම රටවල දී පීසීආර් පරික්ෂාවක් කර පැමිණෙන අතර ඔවුන් සංචාරක නිකේතන වල රැඳී සිටින දින 7 දී තවත් දෙකක්ද කරති. තම රටේ දී  පොසිටිව් නම් ලංකාවට එන්නට ලැබෙන්නේ නැත.  එසේම ඒ කිසිවෙකුටත් සංචාරක හෝටලයෙන් එළියට යන්නට අවස්ථාවක්  ලැබුනේද නැත. කලින් එක්තරා  පිරිසක් එසේ සංචාරය සඳහා ලංකාවේ යම් ස්ථාන වලට රැගෙන ගිය බව දැනගත්තද අප සිටි සංචාරක නිකේතනයේ එසේ කළේ නැත. කලින් සිද්ධියේදී කළ විවේචන දේශපාලනය මත පදනම්ව සිදුවූවක් යයි සිතමි. පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් එසේ කිරීමේ වරදක් තිබේද?






දෙවන කාරණය  නම්  මෙම සංචාරක නිකේතනයේ  වැඩ කරන සුළු සේවකයන් මට පැවසූ දේවල්ය. ඔවුන්ගේ මූලික  වැටුප මසකට රුපියල් දොළොස්දහසක් පමණ වේ. (මා  කියන්නේ සාමාන්‍ය  වේටර් වරුන්, කාමර පිරිසිදු කරන්නන් ආදීන් ගැනය)  ඊට අමතරව සංචාරකයන්  වියදම් කළහොත් බිලට එකතුවන සන්තෝෂම් (ටිප්) වලින්ද ඔවුන්ට මුදලක් ලැබේ. ඇත්තම කියන්නේ නම් එවැනි අඩු පඩි තවමත් ලංකාවේ තිබෙන බව මා දන සිටියේ නැත. ඇඟළුම් කම්හල් සේවිකාවන්ට ද   රුපියල් හතලිස්පන්දහකට  වඩා පඩි ලැබෙන බව මට දැන  ගන්නට ලැබී තිබුණි.  සංචාරකයන් විසින් ටිප් දෙන අවස්ථා ඇතත් බොහෝ සේවකයන්  පැවසුවේ එසේ ලැබෙන්නේ බටහිරින් පැමිණෙන සංචාරකයන්ගෙන් බවය. නැගෙනහිර යුරෝපයේ අය ටිප් දීම දුලබ බව ඔවුහු පැවසූහ. සේවකයන්ට  කෑම බිම එම නිකේතනයෙන්ම සැපයේ.මාස  හත අටක් රැකියා නොමැතිව  සිටි ඔවුහු තම ජිවිත  ගැට ගහ ගත්තේ  බොහෝ අමාරුවෙන් බව කියූහ. ඔවුන් ණය බරින් මිරිකී සිටිති. ඔවුන් දින 14 හෝ දින 28ක්  එම නිකේතනයේම නිරෝධායනය විය යුතුය. එනිසා ඔවුන්ගෙන් කෝවිඩ් රටට ව්‍යාප්ත වුනායයි ද  කිව නොහැකිය. 

මා දුටු තවත්දෙ යක්නම් වෙරළ ආශ්‍රිතව ජිවත්වන්නන් බොහොමයක්ද සංචාරක ව්‍යාපාරය නැතිකමින් පීඩා විඳින බවය. සංචාරකයන් රැගෙන මුහුදට යාම , බෙල්ලන් හා වෙනත් භාණ්ඩ අලෙවි කිරීමද ඔවුන්ට කළ නොහැකිය. අප සමග  සිටි සංචාරකයන් දෙදෙනෙකු රුපියල් හතලිස් දහසකට  රහසේ වැටෙන්  පන්නාගෙන ගැඹුරු මුහුදේ කොරල් පෙන්වන්නට ගොස් ඒ ගමේ දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්වී තිබුණි. ඉතිරි අය නොයෙකුත් පලතුරු, ෂැම්පු වර්ග, ආයුර්වේද බෙහෙත් ආදිය ගෙනැවිත් ඈතින් සිට විකිණීමට තැත් කරති, සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම නවත්වන්නට කලින් මේ මිනිසුන් ජිවත් වන්නේ කෙසේ දැයි ද සළකා බැලිය යුතුය. 

සංචාරක  බුබුල යටතේ හෝ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ නම් ඔවුන් කැමතිය. ආණ්ඩුවේ ලොක්කන් හෝ හිතවතුන්ට මුදල් ලැබේද නැත්ද යන්න මම නොදනිමි. නමුත් සංචාරක මණ්ඩලය ඒ සඳහා සුදුසුකම් සපුරාගත් සංචාරක හෝටල් වල නම් වෙබ් අඩවියට ඇතුලත් කර සංචාරකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙලට විරුද්ධ වීමට මට නම් නොහැකිය. එයින් යැපෙන්නන් බොහොමයක් සිටින බැවිනි.

මට සිනමන් බේ නිකේතනයේ දී ලෙබනන් ජාතිකයෙකු, ඉරාන ජාතිකයෙකු සහ ඉන්දියානුවකු මුණ  ගැසුන අතර ඔවුන් තිදෙනාම තම රටින් කරගත්  පීසීආර් පරීක්ෂණ හැඳුනුම්කම් මාර්ගයෙන් කරගත් බව  පිළිගත්හ. හොඳ  වෙලාවට සිනමන් බේ හිදී කරන ලද ඒවා නෙගටිව් විය. ඔවුන් පැමිණ තිබුනේ, සවුදි අරාබිය, බ්‍රිතාන්‍යය වැනි රටවල් ඉන්දියාව, ඉරානය, ලෙබනනය ආදී රටවල් වල සිට තමන්ගේ රටවලට  පැමිණීම තහනම් කර ඇති නිසා ලංකාවේ නිරෝධායනය වී එමගින් ඉහතකී රටවලට  පැන ගැනීමටය. බොහෝවිට මේ නිසාම බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ සිට පැමිණීම් ද තහනම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. 

එසේම මෙවැනි අයගෙන් කටුනායක ගුවන් තොටුපලේදීම කොවිඩ් පැතිරීම සිදුවිය හැකිය. කෝවිඩ් 19 වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මා ලංකාවට  එනවිටත් රටවල් 60 කට පැමිණ පැතිරී තිබුණි. ඒ අතර බොහෝ මැද පෙරදිග රටවල්ද විය. (ලෙබනනය, ග්‍රීසිය හා සයිප්‍රසයද  ඇතුළුව) මේ රටවලින් ලංකාවට  එන බොහෝ දෙනෙක් පැමිණෙන්නේ පීසීආර් නොකර බව නොරහසකි. කිසියම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේදී පොසිටිව් ලෙස හඳුනාගන්නා ලද බවත් එසේම නොරහසකි. 


මගේ වැරැද්ද ඒ දෙවෙනි රැල්ල ලෙස හඳුනාගැනීමයි. මේ යන්නේ ඇත්තටම තෙවන කෝවිඩ් රැල්ලයි. ඉන්දියාව තවම උච්ච (පීක්) තත්වයට පැමිණ නොමැති නිසා ශ්‍රී ලංකාව ප්‍රවේශම් විය යුතු වන්නේ ඉදිරි මාස දෙක, තුන තුලදී බව දත්ත විශ්ලේෂණය කරන විට පෙනේ. කොපමණ  පුවත්පත් සහ සමාජ ජාලා මගින්  හඬ නැගුවත් මගේ අදහස නම් සාපේක්ෂව තවමත්  දරුණු තත්වයකට ශ්‍රී ලංකාව  පැමිණ නොමැති බවයි. දරුණු තත්වය එන්නේ තව ,මාසයකින් දෙකකින් ඉන්දියානු ප්‍රභේදය ද ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසුවය. රට සම්පුර්ණ ලොක් ඩවුන් කිරීමට යාමක්සි දුවිය හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය එන්න එන්නම දරුණු වෙමින් පවතින අතර එයින් මිදිය හැක්කේ වෙළඳාම, තේ නිෂ්පාදනය , ඉදි කිරීම්  හා සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යාමෙන්ය. එනිසා ලොක්ඩවුන් කිරීමේදී ඒ පිලිබඳ වද  සිතීම වැදගත්ය. මේ සඳහා කුමන සැලසුමක් පවතින රජය ක්‍රියාත්මක කරන්නට යන්නේද යන්න පැහැදිලි නැත.

කටාර් ගුවන් සේවය විසින් හොර පීසීආර් සහතික හරි හැටි හඳුනා නොගත් නිසා බ්‍රිතාන්‍ය රජය එම ගුවන් සේවයට රටට ඒම තහනම් කරන ලදී. එනිසා මම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නව ප්‍රවේශ පත්‍රයක් මිලදී ගතිමි.  ශ්‍රී ලංකන් ගුවන් යානයේ තත්වය නම් අබලන්ය. (පින්තුරය බලන්න) හිඳගත් ආසන දෙක තුනෙහිම ඉන්ෆ්ලයිට් එන්ටටේන්මන්ට් හි පෙන්වන චිත්‍රපට භාගයකින් නතර වෙයි. සමහර ආසනවල හෙඩ්ෆෝන් එක ගහන්නට බැරි ලෙස කැඩී ඇත. යුඑස්බී වැඩ කරන්නේ නැත. ලොකුම ෂොක් එක එය නොවේ. සාමාන්‍යයෙන් ඉතා  උසස් තත්වයෙන් දෙන ශ්‍රී ලන්කන් සේවයේ එකොනොමි පන්තියේ කෑම වේල දුටුවිට දුක හිතුනි.  මට එකොනොමි  ආසනය බිස්නස් පන්තියට ප්‍රතිශතයක් ගෙවා  අප්ග්‍රේඩ් කිරීමට ඇරයුමක් ලැබුනත් එසේ නොකළේ යානය බොහෝ විට හිස්ව යන බව දන්නා හෙයිනි. එම ඔෆර් එක කාටත් ලැබෙන එකකි. බිස්නස් පන්තිය කටාර් යානයේ මෙන්ම පිරී  පැවතුනි. කොවිඩ් වලින් බේරෙන්නට සිතා  බිස්නස් පන්තියේ යන අය ගැන දුක හිතුනේ එකොනොමි  පංතියේ මා ඉදිරිපස හා පසුපස පේලි දෙක තුනක්ම  හිස්ව යන බව දැකීමෙනි.


මේ යානයේ තේ දුන්නේ නැත. වතර බෝතලයක් හැර වෙන බීමක් (සාමාන්‍යයෙන් වයින්, විස්කි. කොකා කොලා , ලෙමනේඩ් හෝ දොඩම් යුෂ ලැබේ) දුන්නේ ද  නැත. නිදිමත නිසා තේ නොඉල්ලුවෙමි. මදක් සීතල දැනුන නිසා පොරවනයක්  ඉල්ලු මුත් ඒවා  කොවිඩ් නිසා දෙන්නේ නැතැයි කියූහ. වාසනාවකට  මෙන් යානය උණුසුම් වූයේ මධ්‍යම ආසියාවට  ඉහලින් යන බැවිනි. කටාර් යානයේ දී මේ සියල්ල ලැබුන බව මම ගුවන් සේවක මහතාට කීවෙමි. "ඔවුන්ට" මුදල් ඇති බව ඔහුගේ පිලිතුර විය. මුදල් ඇති කතාව ගැන හිතමින් සිටියේදී මට නින්ද ගියේය. ලන්ඩනය  ලඟා වීමට ප්‍රථම උදේ ආහාරය ලැබුණි. ඔම්ලටයේ කියන්නට  වරදක් නැති  මුත් ඊට වඩා හොඳ උදය ආහාර එමිරේට් හෝ කටාර් යානයේ ලැබේ. 


උදය ආහාරයෙන් පසුවද තේ නැත. ගුවන්ගමනට ගෙවූ  මුදල පෙර  වාර වලට වඩා වැඩි වීම  වීම නිසා මේ සැලකිල්ල නම් මගේ  සිත් නොගත්තේය. මම ගුවන් සේවක මහතා කැඳවා තේ ඉල්ලුවෙමි. ඔහු පැවසුවේ තේ දෙන්නේ බිස්නස් පන්තියට බවය. මගේ මුහුණේ කෝප සහගත ස්වරූපය ඔහුට වැටහෙන්නට ඇත. 

"මම අරන් එන්නම් මහත්මයා " කිවූ ඔහු තේ රැගෙන පැමිණියේය. ඉන්පසු බ්‍රෙඩ් රෝල කන්නට බටර් පමණක් තිබූ බැවින්  ජෑම් ඉල්ලුවෙමි.  ජෑම් දෙන්නේද බිස්නස් පන්තියට පමණක් බව ඔහු කීවේය. එවර නම් මට තරහ වෙනුවට හිනා ගියේය. 

"බිස්නස්  පන්තියට තේයි ජෑම් නුයි දෙන එක හොඳයි. අපරාදේ නේ නැත්නම් වැඩිපුර ගෙවපු  සල්ලි. අනික පිරිලත් වගේ නේද. හොඳ වෙලාවට මම ඔෆර් එක ගත්තේ නැත්තේ". 

 සිනාසුනු සේවක මහතා මදෙසට මදක් නැමී කිවේ "සල්ලි නැහැ සර්. කොස්ට් කටින් නේ. " එවිට මම ආසනයේ ඉරුණු තැන් (ඉහල පින්තූරය ) පෙන්වා   මට තේරුණ බවත් සීට් දෙක තුනේම In-flight entertainment (IFE) වැඩ නොකරන බවද කීවෙමි. ඒ වනවිට   මම හතරවෙන ආසනයට මාරු වී සිටියෙමි. සේවක මහතා කටාර් වලට සල්ලි ඇති බව කියුවේ මන්දැයි මට වැටහුනේ එවිටය. 
 ශ්‍රී ලංකන් යානයේ කැබිනය තුල සේවාව කවදත් ඉහළ මට්ටමේ විය. තනිවම ගමන් ගත්  මහළු ද්‍රවිඩ කාන්තාවකට භාෂා අපහසුතා මැද ඔවුන්ම හත් ආදරයෙන් උපස්ථාන කරනු දුටුවෙමි.

හැබැයි ශ්‍රී ලංකන් ගුවන්සේවාව නම් ඇත්තේ  කඩා වැටෙන තැනකය. එනිසා සංචාරක බුබුළු ලෙස හෝ සංචාරකයන් ගෙන්වීමට විරුද්ධ වීමට පෙර ඒ ගැනත් සිතා බැලිය යුතු වේ. හොඳට හෝ නරකට ශ්‍රී ලංකාවට ඇත්තේ මේ ගුවන් සේවාව පමණකි. මිහින් ලංකා ගොඩබිම් ගතව බොහෝ කල් යයි සිතමි.

හීත්‍රෝ ගුවන් තොටේ ලොකු  පෝලිමක් තිබුනේ නැත. නමුත් මට තවත් පීසීආර් දෙකකට පවුම් 169 ක් ගෙවා මුදල් බැඳිය යුතු විය. දවස් දහයක් නිරෝධායනය  වෙමින් සිටියදී ඒවාද නෙගටිව් ලෙසට දන්වා තිබුණි. 
 
  මේ මා ශ්‍රී ලංකාවට මා  ගිය අපූරුම ගමනක් විය. ගිය වියදම එතරම් ප්‍රශ්නයක් නොවුනේ මව තරමක් සුව වූ හෙයිනි. සති හයෙන් සති හතරක්ම ලංකාවේ සිටියදී රැකියාව කිරීමටද සිදු වුනි. මට නිවාඩු තිබුනේ සති දෙකක් පමණි. ලංකාවේ අත්දැකීම් කිහිපයක්ද ලිවීමට ඉඩ තබාගෙන නවතිමි.