Thursday, 14 May 2020

හපුගොඩ ගේ කතාවක්

පහළ තිබෙන සටහන  පළ කරල තිබුනේ මහේෂ් හපුගොඩ සහෝදරයාගේ වෝල් එකේ කියල ජයසිරි අලවත්ත මහත්මය සකර්බුර්ගයාගේ ඕපාදුප භාණ්ඩාගාරයේ ෂෙයාර් කරලා තිබුන. මමත් ඒකට යන්නේ ඔයවගේ ඕපදූප අහුලගන්නම තමයි.

හපුගොඩ සහෝදරයා  ලියල තියෙන්නේ මෙහෙම.

ඔබේ ඇස තුළ මම කවුද?

වසර සිය ගණනක් අපිව යටත් කරගෙන හිටියේ බ්‍රිතාන්‍ය කාරයෝ. ඊට කලින් පෘතුගීසි හරි ලන්දේසි කාරයෝ හරි හිටියට උන්ගෙන් අපට වෙච්ච මානසික බලපෑම අඩුයි. නමුත් බ්‍රිතාන්‍ය කාරයෝ කියන්නේ අපේ මානසික ලෝකය ගොඩක් ලොකුවට වෙනස් කරපු අය. කලින් දෙගොල්ල ඔය බිස්නස් එකක් කාරිය කරලා ගියාට බ්‍රිතාන්‍ය කාරයෝ අපිව මානසික වශයෙන් වෙනස් කලා. ඒක ටිකක් දිග්ගැස්සුන ව්‍යාපෘතියක්. ඔවුන්ගේ දේවල් අපිට දුන්නා විතරක් නෙවෙයි ඔවුන්ගේ දේවල් උසස් කියලත් අපිට කියල දුන්නා. දැන් අපිට ඕනි ඒ වගේ වෙන්න. නමුත් අපිට එහෙම වෙන්නත් බැහැ.

විශේෂයෙන් භාෂාව කියන තැනදී මේක ලොකුවට පේනවා. ඉංග්‍රීසි කියන්නේ අනෙක් භාෂාවල් වලට වඩා මොකක්දෝ ලොකු එකක් බවට කවුරුත් නොදැනීම පත්වුණා. ඉංග්‍රීසි කතා කරන කොට මොකක්දෝ 'ලොකු එකක්' හැමෝටම වෙනවා. උච්චාරණය උණත්. ඉන්න ඉරියව්ව උණත්. ඒක කතාකරන කෙනා අමුතු කෙනෙක් වෙනවා. පාරේ තොටේ මොනවා හරි ප්‍රශ්නයක් උනොත් කොන්දොස්තර කොල්ලට උනත් ඉංග්‍රීසියෙන් කතා කරනවා. කඩුව කියන්නේ ඒකයි. කපල දානවා. කඩ්ඩ පොඩ්ඩක් දාල කපල දාපන්. පැහැදිළිව පේන්න ඕනි මෙතන අනන්‍යතා ප්‍රශ්නයක් කැරකෙනවා තියල තමන් වටේ. මනසේ තියන මකුළු දැළක් වගේ. මොකක්දෝ තමන්ට වඩා වැඩි දෙයක් තමන්ට වෙනවා. වෙනත් විදේශ භාෂා වලදී මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැති තරම්.

අර ගුවන් තොටුපළේ නිරෝධායනය ගැන උපදෙස් දුන්න හමුදා නිලධාරියා ගේ ප්‍රශ්නේ (එසේ වී ඇත්නම්) තේරුම් ගන්න අපහසු දෙයක් නෙවෙයි. මම එන්නේ උඹලා යටත් කරගෙන හිටපු ස්වාමියා ගේ රටේ ඉඳලා. සුද්දා පිළිගන්න හැටියට ම මාව පිළිගනිල්ලා. ඔයාල නිකමට හිතන්න මේ කඩුව ම ඉල්ලා සිටින කෙනා ගේ වෙස් මුහුණ ඇතුළේ කොච්චර අසරණ ජීවියෙක් ඇත්ද කියල. එයාගේ අනන්‍යතාවය කොච්චර අවුල් වෙලා ඇත්ද? සුද්දන්ගෙන් බැණුම් අහල, කිච වෙලා, ඒ රටේ අනන්‍යතාවයක් නැතුව ඉඳල කොච්චර පීඩනයක් ඇත්ද ඒ වගේ කෙනෙකුට...මම දිහා ලොකුවට බලන්න කියන කෙනෙක් ඇතුලේ ගොඩක් වෙලාවට ඉන්නේ ඉන්නේ පොඩි මිනිහෙක්.

විජිතකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ම අවුල හැටියට ෆ්‍රාන්ස් ෆැනොන් දකින්නේ ස්වාමියා ගේ අගතීන් වහලාට සම්ප්‍රේෂණය කිරීම සහ ඒ අගතීන් වලින් ගැලවෙන්න සාර්ථක මාවතක් වහලාට නොමැති වීම (බලන්න ක්වන්ටින් ටැරන්ටිනෝ ගේ Django Unchained ෆිල්ම් එකේ ස්ටීවන් ගේ චරිතය).

මේ ස්වාමියා දීලා ගියපු සමහර උද්දච්ච, අහංකාර, තමන් උසස් අනෙක් අය පහත් වගේ මෝඩ වටිනාකම් වලින් මිදෙන්න මාර්ගයක් අපි දන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි දන්නවා. සමහරු සුද්දාටත් වඩා හොඳට දන්නවා. සුද්දාටත් ඉංග්‍රීසි උගන්නපු කෙනෙක් කියලත් කියනවා.

කොච්චර හොඳට ඉංග්‍රීසි කතා කළත් අපේ අනන්‍යතාවය තුවාල සහිතයි. දැන් තියෙන එයාලගේ බ්‍රිතාන්‍ය සමාජයටවත් යටත් විජිත අත්දැකීමෙන් පස්සේ තියන අපේ සමාජයටවත් මේ තුවාල සුවපත් කරන්න ක්‍රමවේදයක් නැහැ. භින්නොන්මාදය, කාංසා තත්වය සහ 'යථාර්තය තුළ තමන් කවුද' යන ප්‍රශ්නයෙන් ඔවුන් සැමදා පෙළෙනවා. ඒක මේ ලියන මා තුළ පවා පශ්චාත් යටත්විජිත අවිඥාණයක් හැටියට ක්‍රියාත්මක වෙනවා.

ඉතිං යූ. කේ. වලින් ඇවිල්ලත් එයාල ගුවන් තොටුපළේ ඉඳල ම අහන්නේ එකම ප්‍රශ්නයක් තමයි. ඒ තමයි 'ඔයාගේ ඇස තුළ මම කවුද?' කියන එක (Who am I in the eye of the Other?). 'මම දන්නේ නැහැ මම කවුද කියල...ඔයාවත් දන්නවද මම කවුද කියල?' සංක්‍ෂිප්ත කළොත් ඕක තමයි ප්‍රශ්නේ. මේ ගැඹුරු ප්‍රශ්නයට උත්තරයක් නම් අර හමුදා සෙබළාට තියෙන්න නැතුව ඇති. ඇත්තටම කිව්වොත් එයාල ඒ සිංහල විතරක් කතා කරපු කොල්ලගෙන් කෑගහල ඉල්ලලා තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ආදරේ.

ආදරේ නැති කෙනා තමයි දන්නේ ඒකෙ අගේ. ඒ වගේම ආදරේ තියෙන ප්‍රශ්නේ තමයි ඉල්ලන කෙනා දන්නේ නැහැ ඉල්ලන්නේ මොකක් ද කියල. අහන කෙනා දන්නේ නැහැ ඇහෙන්නේ මොකක් ද කියල. ඒකෙ ප්‍රථිපලයක් හැටියට ඉතිං අවුල් වයිරල් වෙනවා.


//සුද්දන්ගෙන් බැණුම් අහල, කිච වෙලා, ඒ රටේ අනන්‍යතාවයක් නැතුව ඉඳල කොච්චර පීඩනයක් ඇත්ද ඒ වගේ කෙනෙකුට// මහේෂ් හපුගොඩ සහෝදරයා මේ කතාවෙන් සෑහෙන්න එංගලන්තේ ඉන්න එවුන් පහතට දාන වගක් පේනවා.  .නැත්නම් එයාට  "අර ගමෙන් ඇවිත් ලන්ඩන් වල ඉඳගෙන එහෙ වැඩ කරන්නේ නැතිව ලංකාවට  අත දාන්නේ මොකටද කියන කතාවම යලි මතක් වුනාද දන්නේ නැහැ. ඒක මෙතැන තියනවා. 
ඔහු ඒ පිලිබඳ සාධාරණ පැහැදිලි කිරීමක පසුව කළා මම හිතන්නේ. ඒ යොමුව මගේ ළඟ නැහැ. තමන්ගේ දේශපාලනයට  විරුද්ධයි කියල හිතුනම පොඩි විවේචනයක්  ආවත් බයියෝ, ටොයියෝ , ජෙප්පෝ, පෙරෙට්ටෝ කියා වෙනසක් නැතිව පිටරට සිටින මිනිහට කඩා පනින බව මම කලින් ලිපියක  කිව්වා. 

මේ සිද්ධියේදී මහේෂ් සහෝදරයාට එක්තරා ප්‍රමාණයට එම පරණ අවුල නැවත  ඉස්මතුව ඇති බවක් තමා පේන්නේ .


ඒ වගේම මට නැවතත් පොඩි විචිකිච්ඡාවක් ඇතිවුනා හපුගොඩ සහෝදරයා හා ජයසිරි අලවත්ත මහතා ගැන.  මේ රට මම දැන් අවුරුදු විස්සක්  විතර ජීවත්වෙන රටක්. මම දැක්ක විධිහට  සුද්දන්ට අණදෙන ඉන්දියන් කාරයෝ, කළු මිනිස්සු ඉන්නවා මේ රටේ. වානේ වලින් බිලියනපතියෙකු වුන ඉන්දීය ලක්ෂ්මි මිටල් ට තමා රැජිනට අයිති වෙලා තිබ්බ ලන්ඩන් හරි මැද හේමාක්ට් හරියේ මාලිගා දෙකක් අයිති. ඒ එකක් ඇතුලේ පුස්තකාලයක දත්ත ගබඩාවක් පිලිබඳ පරිගණක වැඩකට ගියේ වෙලේ  තමා මමත් දැන ගත්තේ. 

  බයියන් ලෙස හඳුන්වන ස' වෙනුවෙන් බුකියේ මරාගෙන මැරෙන අය   සිතා සිටියේ ඒ එංගලන්තයෙන් පැමිණි ටොයියන් සමූහයක් කියල. දූෂමාන ආරංචි, බොරු මේම් ආදිය බුකිය පුරා එකපාරටම සැරි  සරුවේ ඒකයි. පස්සේ හදිසියේම වැඩේ එලියට ආව . ආණ්ඩුවේ කට්ටියගේ ළමයිනුත් ඒකෙ. දොස්තරලාට අමතරව. කට්ටිය නිහඬ වුනා . ඔච්චරයි උනේ.

ඒ කියන්නේ ඉතින් මේ   තග දාල තියෙන්නේ දේශපාලන මඩ ගොහොරුවේම ඉන්න ළමයි බමයි හා නිලධාරී න්ගේ ළමයි නේ. මොකද මේ අයට  ලන්ඩන් වලදී ලංකාවේ වගේ ගරු සරු හම්බ වෙන්නේ නැහැ . මෙහේ කවුරුත් තමන් කාගෙවත් පුතාල දුවල කියල ගණන් ගන්නේ නැහැ . (එහෙම වුන් ඇති ) සුද්දෝ  ගණන් ගන්නේ නැහැ කොහොමත්. අනික අපි වැඩ කරන තැන්වල සුද්දෝ අපට අණ  දෙන්න එන්නේ නැහැ. අණ දෙන්නේ නැතිව වැඩ ගන්න ක්‍රමය සුද්දෝ හොඳට දන්නවා. මහේෂ් හපුගොඩ දන්නවද දන්නේ නැහැ? අපේ බොසාලට (මට ඉන්නේ දෙන්නයි) ලංකාවේ වගේ සර් කියන්න ඕනේ නැහැ. මුල් නම කියල කතා කරන්නේ. මෙතැන තියෙන්නේ වෙන කේස්  එකක්.

ඒ ගැන ලිපියක් දීප්තිම කාලෙකට කලින් ත්‍රිමාණ යේ දාල තිබුන. දැන් ධනවාදී රටවල ඉන්න බොස්ල පවුලේ ප්‍රශ්න ගැන වැඩ කරන අය එක්ක කතා කරනවා . ඉඳල හිටලා බොන්න යනවා කියල. මේ කතා දෙකම ඇත්ත. අපේ ඔෆිස් එක වැඩිය ලොකු  නොවුන  කාලේ සිකුරාදාට හැමෝම පබ් එකට බියර් බොන්න යනව. ගෙවන්නේ බොස්. හැබැයි අමතක කරන්න එපා පහුවදාට මොකක් හරි වැඩ  ගැන ප්‍රශ්නයකදී මේ බොස්ම තමයි ඔයාව අස් කරන්නෙත් කියල. 

මෙහෙ ඉන්නව කඩ්ඩ ටිකක් පුළුවන් වුනහම සිංහල අමතක කරන අය . හැබැයි ඔය ඇවිල්ල තියෙන අය ලංකාවේ කොහොමත් සෝබනේට  කඩ්ඩ භාවිතා කරන අය කියල මම හිතන්නේ. එකපාරක් මගේ මිත්‍ර දොස්තරලා ජෝඩුවක්  මෙහෙ ආව අර වෛද්‍ය පුහුණුවට. මෙහෙ ඉන්නත් හිතල යන්න ගියා. හේතුව මොකක්ද දන්නවද කීවේ ?
"මචන්  මේ රටේ දොස්තරලා ගණන් ගන්නේ නැහැ . අපේ රටේ එහෙම  නොවේ. අපේ රටේ මිනිස්සු ගරු කරනවා අපට .  දෙකට නැවිලා ඔලුව පහත්  කරලා කතා කරන්නේ කියල.! 

ඉතින් මට නම් පේන්නේ  ඕක එංගලන්තයේ ජීවත් වෙන  එවුන්ගේ ප්‍රශ්නයක්  නෙමේ. එංගලන්තෙට එන එකම ලොකු දෙයක් කියල හිතන් ඉන්න රැලක් ආපහු ලංකාවට ගියහම පෙන්නන රැස්පොට් එක.  ඒ කියන්නේ ඕක ලංකාවට ආවේණික වූ ප්‍රශ්නයක් කියල. 

මම ගිය අවුරුද්දේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත පළ කරන්න ලංකාවට දීප්ති කුමාර සහෝදරයා පොත් දෙකක් එව්වා. 
ආ, ඊට කලින් දීප්ති "ජිජැක් අධ්‍යයනය " කිලය මාධ්‍යවේදී ජයසිරි අලවත්ත හපුගොඩ ගෙන් ප්‍රශ්න අහල හපුගොඩ ඒවාට සවිස්තරව පිළිතුරු දෙන මාදිලියේ පොතක් එවල තිබ්බ.
හපුගොඩ සහෝදරයා ඉතා දක්ෂ ලෙස  ජිජැක් ගේ මතවාදයන් ශ්‍රී  ලාංකික  සන්දර්භය තුල පැහැදිලි කරනවා.

දීප්ති ගුණරත්න මේ පොතට දිග හැඳින්වීමක්  ලියල තියනවා. ඒකෙ අන්තිමට දීප්ති මෙහෙම කියනවා.
"මේ තරම් පොත් කියවපු සංවිධානයකින් මෙච්චර  මැට්ටෝ බිහි වුනේ කොහොමද? දෙවියන් අපිට ලබා දුන් තෑග්ග වන මහේෂ් හපුගොඩ හරහා  එම ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත. ජීසස් ගේ කියමන  වූයේ "දෙවියනේ ඔබ කොහිද?" මැට්ටන්ගෙන් මගේ ව්‍යාපෘතිය වෙන් කිරීමට මේ ලෝකයට එවූ තෑග්ගට දෙවියන්ට ස්තුති වේවා. ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවන්නා යථාර්ථවාදියෙක් නොවේ. මාක්ස්වාදය අද දවසේ ඉල්ලන්නේ භෞතිකවාදයද නොවේ. එය ඉල්ලන්නේ "රැඩිකල් විඥානවාදය' ය."- (පුනර්ජීවනය  -ජිජැක් අධ්‍යයනය)

දැන් මේ රැඩිකල් විඥානවාදය රෝහණ විජේවීර ගෙනාපු ජාතිකවාදයට හෝ නලින්ද සිල්වා හා ගුණදාස අමරසේකර ගේ ජාතිකවාදයට වෙනස් වෙන්නේ කොහොමද?

මේ පොතේ ඇත්තම මහේෂ් හපුගොඩ ජිජැක් ගෙන් ගත්ත හුඟක් අදහස් හොඳට විවරණය කරලා තිබෙනවා. විවාදයක් නැහැ. මට  නිසඳසකුත් ලියවුනා මේ කොරෝනා අස්සේ. ඒක මෙතන "ලොක් ඩවුන් සුන්දරද මෙතරම්" , හපුගොඩ මෙහෙම කියනවා.
  
"ධනවාදයේ ඵලයක් ලෙස ඔබ, ඔබගේ ආශාව මරණය දෙසට යොමු කර තිබේනම් ධනවාදය  තවදුරත් ඔබෙන් ඉල්ලා සිටින්නේ "ඔබ මරණය දෙසටම ගමන් කරන්න " යනුවෙන්. ජංගම දුරකතනයක් තිබෙද්දී තවත් එකක් මිලදී ගන්න ධනවාදය අපට බල කරන අබව ඔහු කියනවා.  

මගේ අයි ෆෝන් 7 දියණියට දී අයි ෆෝන් xr එකක් මම ගත්තේ ඒකද ? මට ගෙවීමේ ක්‍රමයට ඒක ලැබෙන්නේ නිකන්. මම ඒ සමාගමට දිගින් දිගටම මාසයකට වරක් ගෙවන හොඳ පාරිභෝගිකයෙක් නිසා.

හපුගොඩ පිළිතුරු දුන්නේ මේ විධිහට. "එනම් අපි ගමන් කරන්නේ මරණය කරා නම් ඊට  ඇවැසි සෞන්දර්යය ඔවුන් විසින් සපයනු ලබනවා. මෙය ඉතාමත්ම අමානුෂික තත්වයක්. දැනට ධනවාදය විවේචනය කරන්නෝ වටහා නොගන්න සත්‍යය  මෙයයි. " (පි. 156-157)

ඉතින් මම සිංගල් මෝල්ට් (තනි මෝල්ට් එකෙන් හැදූ ) විස්කි වීදුරුවක් බොනවා සිගාර් එකකුත් එක්ක, චේත් ඒක කළා. මේ වෙලාවේ බොන එකයි, දුම් පානය කරන එකයි හොඳ නැහැ කියනව කොරෝනා වෛරසය නිසා. මම එහෙම කරන්නේ ඇයි? මට මරණය අවශ්‍ය නිසාද නැත්නම් කොහොමත් එන මරණයක් එක්ක මම ඒ මොහොත විඳින නිසාද?
මේ ධනවාදය ඔබට තේරීමක් දෙන්නේ නැත්ද? විස්කි නැත්නම් රාත් , මස් නැත්තම් මයියොක්කත් ඔබට  ගන්න පුළුවන්. ඒ මොහොතම  විඳින්න පුළුවන් නේද?

   මම හිතෙන්නේ මේ පොතේ ප්‍රශ්න හැදුවේ දීප්ති කියල. ජයසිරි අහනව විතරයි. 
 එතකොට ඉහත බ්‍රිතාන්‍යයෙන් ලංකාවට එන සීමාවාසික පුහුණුව ට ගිය වෛද්‍යවරු හා ලොකු ලොක්කන්ගේ ළමයි බව නොදැන එයට විවේචනයක් ගෙන එන නාමල් උඩතලමත්ත ඇතුලු  පොහොට්ටුවාදීන් පසුව නිහඬ වෙනවා. මොකද උන්ගේ මහා අනෙකා වන උන්ට නැති රසයක් විඳින බ්‍රිතාන්‍යයයේ  ජිවත්වෙන එවුන් එතන නැති නිසා. බ්‍රිතාන්‍යයේ ජිවත් වන ඒ ගොල්ල  (මමද ඇතුළුව) මරණය උපේක්ෂාවෙන් මේ ධනවාදය තුල මේ මොහොත රස විඳිනවා. 

දීප්ති මට තවත් පොත් දෙකක් දුන්නා. එකක නලින් ද සිල්වා මහතාගේ "කාලය". අනික එයට පිළිතුරු ලෙස ලියන ලද "මගේ ලෝකයෙන් පසු ලෝකය. "

රැඩිකල් විඥානවාදී කියල දීප්ති කියන  මහේෂ් හපුගොඩ ලියන්නේ මොනවද කියල දැනගන්නත් ශ්‍රී ලංකා  පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති වෙනසක් කරගෙන යනවද  කියල බලන්නත් එක්ක පොත් දෙකම කියෙව්වා. කොවිඩ් 19 නිසා ඇතිවුන තත්වයත් එයට පිටුවහලක් වුනා කිව්වොත් නිවැරදියි.

මගේ බ්ලොගයේ මේ ගැන ලියන ලිපි කිහිපයක් ඊළඟට පලවෙන්නට නියමිතයි.


6 comments:

  1. හිතවත් අජිත්,
    ඔබ විසින් ලියන්නට යෙදෙන එම ලිපි පෙල වඩාත් අර්ථවත්ව සහ සාධනීය මඟකට යොමුුු කිරීම පිණිස අපගේ බුද්ධිමය සහ න්‍යායාත්මක අවි අගතියකින් තොරව භාවිතා කිරීමට ඒවා නියමිත strategic points හි ස්ථාන ගත කර ඇති බව දන්වමු. එහිදී පලමු ගොදුර විය හැක්කේ මෙම වටිනා සංවාදය අල කිරීමට පැමිණෙන කුහකයන්, ඊර්ෂ්‍යාකාරයන් සහ බයියන් බවද කියා සිටිමු.
    ජය!
    CP-C

    ReplyDelete
    Replies
    1. දැනට කිසිවෙකු එන්නේ නැති තත්වයක් තුල අපි සංවාදය ගෙනියමු

      Delete
  2. යුද්දෙටත් ඇවිත් සිඳුටත් එපිටින් ඉඳන් ............

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .