Tuesday 29 April 2014

පීචං අමෙරිකන්ලා හා තවත් කතා - 1

පලවන කොටස: "ඔයා කොහෙන්ද? මම රෝයල් එකේ ". මේක ඒ කාලේ රුසියාවේ හිටපු ලංකාවේ සිසුවෝ කෙනෙකුට දෙන්නෙකුට ගහපු කාඩ්  එකක්. ඒගොල්ලන්ගෙන් කොහෙන්ද (ලංකාවේ) කියල ඇහුවම රෝයල් එකෙන් කියල කිව්වලු. ඉතින් මම නම් කවදාවත් කිව්වේ නැහැ මම රෝයල් එකෙන් කියල , ඇහුවොත්ම  මිසක් ඉගෙන ගත්තේ රෝයල් එකේ කියනවා මිසක්. නමුත් තමන්  හිටියේ ආනන්දා  කොලේජ් එකේ, රෝයල් කොලේජ් එකේ නාලන්ද කොලේජ් එකේ තර්ස්ටන් කොලේජ් එකේ , X -කණ්ඩායමේ කියල කියන අය  ඕන තරම් ඉන්නවා. ඕක ඉතින් හෙන ලොකු කමක් ඇතුව තමා  කියන්නෙත්. හරියට නිකන් අමුතු පට්ටමක් වගේ. සමහරවිට ජොබ් එක වුනත් සෙට් වෙනවා හරි කොලේජ් එක,  කණ්ඩායමේ නම්.

ඉතින් අසු ගණන්වල අපි බස් වල රෝයල් යන කාලේ  රෝයල් එකට ගිය බුවෙක් හිටිය. පොරට  මේ exchange program (ශිෂ්‍ය හුවමාරු ) එකකින් හදිසියේ ඇමෙරිකාවට යන්න ලැබුන. මාස  අටකින් විතර පොර ආපහු  ආව . ආව තමයි ඊට පස්සේ දැක්ක තැන ඇමෙරිකාව ගැන විතරයි කතාව. මේ ඇමෙරිකාව කියන්නේ ඇමෙරික එක්සත් ජනපදයට. ඒකෙත්  එක නගරයකට. කැලිෆොර්නිය වල  කොහෙ හරි. කොහෙද මු නිකන් මුළු ඇමෙරිකාවේම ගියා  වගේ කතාව. "මචන් ඇමෙරිකාවේ ලොකු. මචන් ඇමෙරිකාවේ පාරවල් වල ලොකු. මචන් ඇමෙරිකාවේ කාර්  වල ලොකු. මචන් කෑම  ගොඩවල ලොකු. (ඒ දවස් වල ඉතින් McDonald's ලංකාවේ නැහැ. අපේ ගෙවල් වල හරක් මස් කන්නෙත් නැහැ. ඉතින් මොන burgers ද.  කෑම නම්  ගොඩක් දෙනවා තමයි. අර ජෙනටිකලි වෙනස් කරපු (ජානමය) කෑම  කොහොමත් ලාභයිනේ. අර දුප්පත් මිනිස්සු බැරල් වගේ ඉන්නේ ඒවා කාල  ලෙඩත් හදා  ගෙන ) - ඔය  වගේ මූ  අදිනවා නයා. දකින දකින හැම තැනම හම්බ වුනොත් ඉතින් "මචන් ඇමෙරිකාව තමයි". පස්සේ මූ  අමෙරිකාවේ  කෙල්ලන්ගේ ලස්සනත් කියන්න ගත්ත. මූට   කව්ද කෙල්ලෙක් කිස් එකකුත් දීල.  අන්තිමට කොල්ලෝ මු එනකොට මාරු වෙන්න ගත්ත. "ද ඇමෙරිකන්" එනවා කියල.

කොහොම හරි පොර අපේ පැත්තේ මිලාගිරියට යන කෙල්ලෙකුට වහ වැටුන. පොර ඇමෙරිකන් කතා දෙක තුනක් කිව්වට හරි ගියේ නැහැ. ඒ දවස්වල පාසල් බස් රථය නැති දවසට අපේ බස් එක තමා  113 ජුබිලිකනුව. අපි බජාර් එකම නැගල හිටි වෙලාවක මේ ගෑනු ළමයත් නැග්ග. කරුමෙට ද ඇමෙරිකන් නුත් කොහෙද ඉඳල දෙවෙනි හෝල්ට් එකෙන් නැග්ග. දැන් අපිත් ඉන්න එකේ පොරට වැඩක් පෙන්නනත් ඕන වුණා. පොර "මචන් අමෙරිකාවේ බස් නම්  මාර  ලොකුයි , මාර  සැපයි" කියන ගමන් ගෑනු ළමය ගාවට ඇදුනා. පොර කියනවා අපට ඇහෙන්න "මම මේ ඇමෙරිකාවේ ගිය අරය. මන් ඔයා ගැන ලොකු අටෙන්ෂන් එකකින් ඉන්නේ. ඔයා  නිකන් අමෙරිකන් babe කෙනෙක් වගේමයි.  මන් ඔයාට කැමතියි. " කෙල්ල ටිකක් වෙලා බලන් ඉඳල කියපි: "මේ මම ඔයාට කැමැති  නැහැ. තමුසේ මම තමුසෙට  කැමතියි කියල බොරුත් කියල අපේ අය්යා  ඉන්නේ  හම්බ වෙන කම් අහන්න . වද  නොදී යන තැනක යන්න. " කියල බස්සෙක ඉස්සරහට ගියා. පොර පටස් ගාල  ඊළඟ හෝල්ට් එකෙන් බැහැල 138ක එල්ලුනා. ඊට පස්සේ අපේ පැත්ත පළාතේ ආවේ නැහැ. හැබැයි පොරට එදා ඉඳන් කිවේ "ද පීචං  ඇමෙරිකන්" කියල.

දැන් මේ ගොඩක් ලංකාවේ අය ඇමෙරිකාවට යනවා. ඉගෙන ගන්නවා. මගෙත් හාවඩ්, MIT ආදිය  ඉවර කරපු යාලුවෝ ඉන්නවා. ගොඩක් ඉන්ජිනේරුවොත්  ඉන්නව. හරිම නිහතමානී බුවාලා ඉතින්. නමුත්  ඔය අතරේ ඇමෙරිකාව හිස් මුදුනේ තියාගෙන අදහන කට්ටියත් ඉන්නවා. ඇමරිකන් කාරයෝ කියන ඔක්කොමත් හරි. ලෝකේ ඉන්න ශ්‍රේෂඨතම ජාතිය ඒගොල්ලෝ. මෙන්න මේ වීඩියෝ එකේ අමෙරිකනුවෙක්ම හොඳ පැහැදිලි කිරීමක් කරනවා මේ කතාවට.  පුලුවන්නම් බලන්න.
https://www.youtube.com/watch?v=ML3qYHWRIZk

සමහර මේ අමෙරිකනුවාදී වෙච්ච අයට ඇමෙරිකාවේ බුවාලා කියන කරනදේ විතරයි ඇත්ත . අවුරුදු 250ක විතර ඉතිහාසයක් තියෙන , තවම දුප්පත් මිනිස්සු කැරවාන්  වල ජීවත්  වෙන ඇමෙරිකාවේ සමහර අයට දියුණු වෙන්න පුළුවන් වුනාට හැමොටෝම ඒක කරන්න බැහැ . (ඉගෙන ගත්ත ලංකාවේ අය දෙතුන් දෙනෙක් කලාට).  තාරකා විද්‍යාව දියුණු වේගන එන කාලේ චන්ද්‍රසේකර සිමාව හොයාගත් ඉන්දියානුවා ගැන, අයින්ස්ටයින් ගේ සාපෙක්ෂ්තවාදය ඇසුරෙන් විශ්වයේ පරිණාමයට සමීකරණ ඔප්පු කරපු ෆ්රිද්මන් හා ගැමොව් (රුසියානුවන් ) ගැන , ආවර්තිතා  වගුව හොයාගත් මෙන්දෙල්යෙව් ගැන ඔවුන් ඕන කමින්ම කතා කලේ නැහැ. මාක්ස් ගේ ප්‍රාග්ධනය පරිශීලනය කරලා ආර්ථික විද්‍යාව ගැන කියන ගමන් ඒවා ගැන මතක් කරන්නේවත් නැහැ. ඇමෙරිකාව තාරක විද්‍යාව දියුණු කලේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එහෙ ගිය ජර්මන් හා යුදෙව් (ජර්මන් සම්භවය සහිත) විද්‍යාඥයන් විසින්.  කොටින්ම පිටින් යන මිනිස්සු තමා  ඇමෙරිකාව ගොඩ දාන්නේ. ඉතින් ඇමෙරිකාව දියුණු රටක් වුනාට ධනවාදයේ කෙලෙවරට ගිහිල්ලත් නැහැ. තියෙන ට්‍රිලියන ප්‍රමාණයේ ණයට අනුව යන්නෙත් නැහැ. නැවත යුද්ධයක් පටන් ගත්තේ නැත්නම් චිනේ ණය ටික ගෙවා ගන්නත් බැහැ . ඉතින් විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසන අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ අපි ගලක් දෙකක් ගැහුවොත් ඕක බිඳිලා විසිරිලා යනවා කියල.


Sunday 27 April 2014

මුදල් හෝ භාණ්ඩ සංසරණය - ප්‍රාග්ධනය ( අංක 6)

මුදල් හා භාණ්ඩ සංසරණය ගැන තව දුරටත් කතා කරන්න හිතනවා මෙහිදී. එක කාරණයක් මතක් කරන්න ඕනේ. මම ප්‍රාග්ධනය මුළුමනින්ම පරිවර්තනයක් කරනවා නෙමේ. මට වැදගත්ය කියල හිතෙන තැන්  අරගෙන හැකිතාක් සරල විධිහට පරිවර්තනය කරලා පොඩි විමසුමක් හා විවේචනයක් තියෙනවා නම් එය ඉදිරිපත් කිරීම තමා  මම කරන්නේ. සිංහල පරිවර්තන තව ඕන තරම් ඇති. මේ ලිපි පෙලේ අංක පහට කොමෙන්ටුවක් දාල  තිබෙනවා. මාර්ක් තෝන්ටන් මුදල් ගැන දේශනයක් කරනවා. අහල බලන්න. එය ධනවාදී ආර්ථික විශේෂඥයකු වශයෙන් වෙන අමුතු දෙයක් ද කියන්නේ කියල. මාක්ස් කිව්වා වගේ barter හුවමාරුව ගැන කියනවා, ඕනනම් පරිවර්තනය කරලම දාන්නම් . තොර්න්ටන්  නොකියන්නේ මේ medium ඔෆ් Exchange කියන මුදල ශ්‍රමය විකුණන ආකාරය ගැන. මාක්ස් ගැන හරියට නොකියෙව්වම හිතන්නේ මේ මිනිස්සු තමා  හරි කියල. නමුත් ඇත්ත තත්වය තම ඒ ගොල්ල මාක්ස්වාදය පරිශීලනය කරලා තම ඔතනට ඇවිත් තියෙන්නේ. 

1. වටිනාකම මැනීම
මාක්ස් මෙතනින් පසු උපකල්පනයක් ගෙනෙනවා පහසුව සඳහා. එනම් රත්රන් යනු මුදල් - භාණ්ඩයක් වශයෙන්.
මුදලේ ප්‍රධාන කාර්යය වන්නේ භාණ්ඩවලට තම අගය විදහා පෑමට හෝ තම අගය නියෝජනය කිරීමට, ප්‍රමාණය අතින් සමාන ගණනකට (බෙදීම් , එකතු කිරීම, වැඩි කිරීම ආදියට  අනුකුලව )  , ගුණාත්මක භාවයෙන් සමාන දෙයක් සැපයීමයි. ඒ නිසා මුදල විශ්වීය මිනුම් අගයක් ගන්නවා. ඒ නිසා රත්රන් මේ නිසා මේ තැන ඉතා හොඳින් ගන්නවා කියල කිව්වා හැකියි.

නිශ්චිත මිලක් සහිත භාණ්ඩ මොන විධිහේ ස්වරුපයක්ද ගන්නේ:
ඇඳන් 10ක් = රත්රන් කෑලි  8  => commodity A = x gold
පුටු 8ක් = රත්රන් කෑලි 5 => commodity B = z gold
මෙට්ට 6ක් = රත්රන් කෑලි 3 =>  commodity C = y gold
a,b,c (10, 8, 6) නියෝජනය කරන්නේ නියමිත A, B, C කියන (ඇඳ , පුටු, මෙට්ට ) භාණ්ඩ සංඛ්‍යාවක් සහ x, z, y (8, 5, 3) කියන්නේ ඒවාට අදාල වටිනාකම රත්රන් කෑලි වලින් (සංචිතයෙන්) .  ඉතින් මොන භාණ්ඩය  වුනත් රත්රන් වල ප්‍රමාණයෙන් නිර්ණය කල හැකියි. එතකොට කිසියම් නිශ්චිත රත්රන් ප්‍රමාණයක් ඒකක අගයක් ලෙස ගන්න පුළුවන් අපට. එතකොට ඒ ඒකකය එක හා සමාන ප්‍රමාණ වලට බෙදල මිනුම් දණ්ඩක් හදා  ගන්න පුලුවන් . (standard or scale).

එතකොට මේ මුදල කියන එකට එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක් ඉෂ්ට කරන්න වෙනවා. වටිනාකම් හෝ අගයේ මිනුම්  දණ්ඩක් ලෙස හා  මිල දර්ශකයක්  ලෙස. මෙය වටිනාකම් හෝ අගයේ මිනුම්  දණ්ඩක්වුණා  වගේම සමාජය පිළිගත් මිනිස් ශ්‍රමයේ පුනරුප්පත්තියත් වෙනවා. මෙය මිල දර්ශකයක් වෙනවා වගේම කිසියම් නිශ්චිත ලෝහ වර්ගයක බරකුත් වෙනවා. 

මිල කියල කියන්නේ භාණ්ඩය එතුල ගැබ් වී ඇති මුදල්-නාමය (money-name) කියල මාක්ස් කියනවා.  ඒ නිසා මාක්ස් කියනවා මේ භාණ්ඩයක වටිනාකම මුදලෙන් පමණක් කීම මිත්‍යාවක් කියල. හොඳයි දැන් මිල කියල කියන්නේ භාණ්ඩයක වටිනාකමේ ප්‍රමාණය වගේම  මුදල් සමග එහි ඇති  හුවමාරු අනුපාතයේ  නියෝජනය. හැබැයි එහි අඩු වැඩි වීම සහ භාණ්ඩයේ වටිනාකමේ අඩු වැඩි වීම අතර සමාන කමක් නැහැ.
උදාහරණයක් ගමු.  අපි හිතම එක හා සමාන ප්‍රමානයකින් යුත් සමාජයට අවශ්‍ය ශ්‍රමයන් දෙකක්   හාල් කිලෝ දහයකින්   නියෝජනය වුණා  කියල.  මේ හාල්  කිලෝ දහය  පවුම් £10  කියලා (රත්රන් අවුන්ස 2 ක් විතර) . දැන් හාල්  කිලෝ දහයේ මිල වැඩි වුණා  කියල  හිතමු පවුම් 15ට යම් හේතුවක් නිසා (යුද්ධය, අස්වැන්න අඩුවීම වගේ) .  එහෙම නැත්නම් අඩුවුණා කියල හිතමු පවුම් 8ට (£8).  මේ දෙකම (15 හා 8) හාල්  වල මිල අගයන්. පලවෙනි තැනදී හාල්  වල වටිනාකම මුදලින් පිළිබිඹු වෙනවා. දෙවෙනි තැනදී එහි මුදල් සමග ඇති හුවමාරු අනුපාතයේ අඩු වැඩි වීම වලට අනුච්ව තීරණය වෙනවා. ශ්‍රමයේ නිෂ්පාදන බලය වෙනස් නොවී පැවතුනා  නම්,  අපි කලින් උප කල්පනය කල ශ්‍රම දෙක මේ මිල වැඩි වීම අනුව එක්කෝ වැඩි වෙන්න ඕන. නැත්නම් අඩුවෙන්න ඕන.  මේ තත්වය හාල් නිපදවන්නා මතවත්  (ගොවියා) වෙනත් භාණ්ඩ අයිතිකරුවන් මතවත් තීරණය වෙන්නේ නැහැ. (මාක්ස් පාවිච්චි කලේ තිරිඟු).  

මෙහිදී මිලක් ඇති මුත් භාණ්ඩ හෝ සේවා ස්වභාවයක් වන ශ්‍රමයට අදාල නැති දේ තිබිය හැකියි. උදාහරණ වන්නේ නොතාරිස් සීල්  එක, කාගේ  හරි වලව්කාර නාමයක් (title ) මිලට ගැනීම වගේ දේ. මාක්ස් මේවා වල මිල මවාගත් දෙයක් බවයි කියන්නේ.  


Sunday 13 April 2014

ධනවාදී රටක සමාජවාදී ගම



ධනවාදී රටක සමාජවාදී ගම


මගේ බිරිඳගේ පැත්තේ නෑදෑයෝ ඒ කියන්නේ මගේ බිරිඳගේ මව් පියන් ඉන්නේ කොබර්ග් කියන බැවෙරියානු (ජර්මනියේ ලොකු ප්‍රාන්ත රාජ්‍යයක්) ප්‍රාන්තයේ. මේක පරණ බටහිර ජර්මනියේ ලස්සන නගරයක්.  බිරිඳගේ නෑදෑයෝ පරණ බටහිර ජර්මනියේ මෙන්ම නැගෙනහිර ජර්මනියේද වාසය කරනවා. මේ කියන්න යන්නේ පරණ නැගෙනහිර ජර්මනියට අයත්ව තිබු කුඩා ගමක් ගැන. ජර්මනිය එක රටක් බවට පත්වෙලා දැන් අවුරුදු 24 ක්. ඒ නිසා ධනවාදී සමාජ ක්‍රමයට තමයි අනුගත වෙලා තියෙන්නේ පරණ නැගෙනහිර  ජර්මන් කොටසත්. මේ කුඩා නගරයේ මගේ බිරිඳගේ නෑදෑයන්  සිටින නිසා අපි නිතර එහෙ යනවා. තුරින්ගියා කඳු අතර තිබෙන ලස්සන නගරයක් නිසා සහ හිම ක්‍රීඩාවල යෙදෙන්නට (skiing) ලෙහෙසි පහසු නිසා. හිම ක්‍රීඩාවල යෙදෙන්නට සාමාන්‍යයෙන් සංචාරකයන් යන්නේ ඇල්ප්ස් වලට . එහෙ ගාමිෂ්  කියන නගරයේ සිට ට්‍සුග්ස්පිට්ස් (Zugspitze) කියන ලොකු කඳුකරයට. නමුත් අපි මේ කුඩා ගමට ගියාම නොමිලයේම ස්කි කරන්න හැකියි. අනික අපේ නෑදෑය  තමා ස්කි කරන භාණ්ඩ කුලියට දෙන ආයතනයේ ඉන්නේ. ඉතින් එයා අපට මේවා නිකම්ම දෙනවා. මේ කුඩා ගමේ නම කර්ස්දොර්ෆ්.
ඉතින් මේ ගමේ ජන සංඛ්‍යාව 650ක් විතර ඇති.

http://en.wikipedia.org/wiki/Cursdorf

මේ ගම හා අහල පහල ගම් සාමාන්‍ය අපි මොස්කව් වල දැකපු විධිහට වඩා වෙනස්. රාජ්‍ය ධනවාදී හෙවත් සමාජවාදීහැඩය තිබු රටවලට සුපුරුදු තට්ටු ගෙවල් වෙනුවට මෙහි තිබෙන්නේ තනි ගෙවල් (තට්ටු දෙකේ සිට තට්ටු කීපයක් ඇති). මේවා හුඟක් විශාලයි. දැන් ලංකාවේ හදන විශාල ගෙවල් වගේ. අනික මේවා හදල ගොඩක් කල්. නැගෙනහිර ජර්මනියේ තිබු රජය මේවා ආණ්ඩුවට ගත්තේ නැහැ. ඒ කාලේ හිටි අය හෝ ඔවුන්ගෙන් පැවත එන ඥාතීන් තමා ඒ ගෙවල් වල ඉන්නේ. මේ ගමේ තවත් වැදගත් අංග කීපයක් තියෙනවා. එනම් ගිනි නිවන හමුදා භට කණ්ඩායම හා එහි මුලස්ථානය. ඒක බලා ගන්නේ ගමේ අයම ස්වේච්චාවෙන්. නිවාඩු තියෙන වෙලාවට ගමේ අය ගිහින් එතැන් අස්පස් කරලා දාල එනවා. ඊළඟට වෙලාව තියෙනේ වෙලාවට ගිනි භටයන් වශයෙන් පුහුණු වෙනවා. ගින්නකදී ලගම ඉන්න පුහුණු වූ අය දුවල ගිහින් ගිනි නිවන යන්ත්‍රය අරන් යනවා ගින්න නිවන්න. ගමේ අය ගෙවන බද්දෙන් කොටසක් කෙලින්ම ඒකේ නඩත්තුවට යනවා.

අපේ නෑදෑයට අවසරයක් දීල තියෙනවා ආණ්ඩුවෙන් ගෝන්නු මරන්න. ගෝනෙක් මැරුවම මෙයා මස් ටික බෙදල දෙනවා. එයාට කෙනෙක්ගෙන් ඒ වෙනුවට ඔවුන්ගේ ගෙදර හදන කුකුලුන් ගෙන් බිත්තර ලැබෙනවා. තව කෙනෙක් ගෙදර හදපු චෙරි පානයක් (මධ්‍යසාර සහිත පානයකි) දෙනවා. තව අය අල, කැරට් ආදී දේ දෙනවා, ගමේ වඩුවා ඇවිත් කැඩිච්ච තැනක් හදල දෙනවා. මුදලට වඩා භාණ්ඩ හා සේවා හුවමාරුවක් සිද්ධ වෙන්නේ.;එතකොට මුළු ජර්මනියට අදාලව සිදුවන ආර්ථික උද්ධමනය මොවුන්ට දැනෙන්නේ නැහැ. ඔවුන් කිසියම් භාණ්ඩ හුවමාරු ක්‍රම වේදයක් සකසාගෙන තිබෙනවා මේ විධිහට.

මට පරණ නැගෙනහිර ජර්මන් වැසියෙක් මෙහෙම දෙයක් කිව්වා. ස්ටාසි හෙවත් නැගෙනහිර ජර්මන් රහස් පොලිසිය නැති එක තමා හොඳම. අපේ ඔළුවට උඩින් කවුරුත් නැහැ. නිදහස් කියලා . එහෙම නිදහස දුන්නම ඉබේම සමාජවාදී ක්‍රමයකට හුරු වෙච්ච මිනිස්සු ටිකක්.

තවත් දෙයක් කියන්න ඕනේ. බල ශක්ති පාවිච්චිය පිළිබඳව. ඒ ගෙවල් වලට සීත කාලයට උණුසුම් කරගන්න ලොකු වියදමක් යනවා ගෑස් පාවිච්චි කරනවා නම්. මේවා විශාල නිවාස නිසා. ඔවුන් මේ අතින් ඉන්නේ අපට හුඟක් ඉදිරියෙන් (එංගලන්තයටත් වඩා). වහලවල් වල සුර්ය කෝෂ තහඩු සවි කරලා තියෙන්නේ. ඊළඟටකෑම උයනකොට යන තාපය ප්‍රධාන පයිප්ප ජලයට සවි කරලා තියෙන්නේ ඒ තාපයෙන් ප්‍රයෝජනය ගන්න ගේ උණුසුම් කරන්න හා වතුර උණුසුම් කරන්න,. ඊළඟට ඉවත ලන ආහාර, කඩදාසි ආදී කාබනික  අපද්‍රවය වෙනම උදුනකට දානවා. ඒවා දහනය කරන නිසා එයිනුත් තාපය ලැබෙනවා. වතුර උනුකරන්න. මේ උදුනටම වත්තෙන් එන දරත් දානවා. ඉතින් විදුලි වියදම හා ගෑස් වියදම ඉතා අඩුයි . ග්‍රීෂ්ම කාලයට සුර්ය තාප විදුලිය වැඩි නම් ඔවුන්ට ඒක ප්‍රධාන මධ්‍යම ජාලයට විකුනන්න උනත් පුළුවන්. ඒ නිසා ඒ පැත්තෙනුත් ආණ්ඩුවට අත නොපා ජිවත් වෙන්න පුළුවන්. හැබැයි මුල් මුල්‍ය ආධාරය දීල තිබෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුවෙන්.

Thursday 10 April 2014

යකාගේ ප්‍රශ්නයේ දෙවන කොටස

යකා  කියනවා මෙහෙම: (මේ යකා ඇවිල්ල ලංකාවේ ඒ දවස්වල හිටිය යක්ෂ ගෝත්‍රයට අයිති කෙනෙක්. ඒ තේරුමෙන් තම යකා කියල නම ගෙන තියෙන්නේ. නොදන්නා අයට  දැනගන්න.) 
මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුට අපහාස උපහාස කරන කෙනෙක් නොවෙයි. නමුත් සයිබරයේදී මාක්ස්වාදීන් මට පුද්ගලිකව අපහාස කරමින් ගේම ඉල්ලූ විට මමත් ටිකක් රෝන් සයිඩ් ගියා. මාක්ස්වාදීන්ගේ ආයුධ දෙකක් තිබෙනවා.එකක් නින්දාව අනික ප්‍රචන්ඩත්වය.ඔවුන් හා ගනුදෙනු කරන විට ඔවුන්ට තේරෙන භාෂාවට අවතීර්ණ විය යුතුයි.

මේ කතාවේ තරමක ඇත්තක් තිබෙනවා. මම අසු ගණන්වල කලබල (මර්දනය කියල කියමු) එන්න ටිකකට කලින් ලංකාවට ගියා රුසියාවේ සිට. එහිදී හම්බ වුණා  එක්තරා විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්  මගේ පැරණි මිතුරෙක්. මිනිහ මට කිවා "එයා දැන් ලොකු ළමයෙක් "   අහවල් පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක් කියලා . ඉදිරියට ලොකු වැඩ කොටසක් කරනවා කියල. එතකොට මම දෙජවී එකේ 1987 ඉන්දියන් හමුදාව ආපු  වෙලාව බස් එහෙමෙ ගිනි තියපු එක දැකල හිටියේ. මම ඒක  විවේචනය කලා . මොන හේතුවක් නිසාවත් මිනිසුන් පාවිච්චි කරන මිනිසුන්ගේ බදු මුදලින් ගත්ත දේ විනාශ කරන්න එපා කියල. හදන සමාජවාදී සමාජයකටත් බස් ඕන වෙනවා කියල. ඒ වගේම මම ඔහුට කිවා සෝවියට් දේශයේ තිබෙන ප්‍රශ්න ගැනත්. ම්නිහ මට සුළු ධනේශ්වර ගොබ්බයෙක් කියල කිව්වා. එයාල සෝවියට් දේශයේ තියෙන එකට වඩා  උසස් එකක් හදන්නේ කියල. කොහොම හරි විශ්ව විද්‍යාල කැන්ටිමේ තේ කෝප්පෙට ගෙවල මම ගියා  යන්න . 88-89 පහුවෙලා ආපු  කලෙක හොයල බැලුව යාලුවන්ගෙන් මැන්ට මොකද වුනේ කියල බලන්න. පව්නේ මොනවා කිව්වත් යාළුවොනේ කියල. මෙන්න මු හොඳ අර ධනවාදී කියපු ඇමති කෙනෙක් ගේ ලේකම් කෙනෙක්. ලමයවත් හොඳම ඉස්කෝලෙකට දාගෙන . යාළුවෙක් කීවා  මු අර බිල්ලෙක් ද මොකෙක්ද කියලත්. අනේ ඉතින් සුලු ධනේශ්වර අපි කවුරුවත්  පාවා  නොදී, කාටවත් ගහන්නේ බනින්නේ නැතුව ධනවාදී රටක දැහැමෙන්  සෙමෙන් ඉන්නවා. ඊට අමතරව මාක්ස්ට ත් තවම සලකනවා ප්‍රඥයෙක් හැටියට.  අර ඊයේ පෙරේද අවමගුලකට ගිය වෙලාවෙත් කවුද කාටද ගහල තියෙන්නේ . ඉතින් මිනිස්සුන්ට මාක්ස්වාදය එපා වෙන එක අහන්න දෙයක්යැ . මාක්ස්ගේ නමින් නේ ගහන්නේ. මාක්ස් හිටියනම් බේරේ වැවට පැනල මැරෙනවා .

මේ ප්‍රශ්න වලට උත්තර මාක්ස්වාදීන් දිය යුතුයි.බොරුවට සමීකරන අරගෙන අපෝහනය කරල ව්‍ය්ත්පන්න කරල මෙතන මහ කැටයම් සාජ්ජ තියෙන සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන මහා දේව පූජාවක්ය කියල කියන්න ඕන නැහැ. - යකා 

දැන් ඔබ බැලුවොත් සමීකරණ වලින් තමයි ගොඩක් දේවල් නිරාකරණය වෙන්නේ. ලෝකය අපට ගණිතමය සමීකරණවලින් වටහා ගත හැකියි. අභ්‍යවකාශ  විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ දේට සමීකරණ අපෝහනය කරන්න අවශ්‍යයි. තද වචන නැතුව සමීකරණ ඔප්පු කරන්න ඕනේ කියල කියමු නේද. දැන් මම ලියන්නේ පුළුවන් තරම් සරල සිංහලෙන්. ඕක ඔය ලංකාවේ මාක්ස්වාදීන් කියල කියන කට්ටිය විතරක් නෙමේ . හැමෝම කරන දෙයක්නේ. තමන් දන්නවයි කියල පෙන්නන්න බර වචන දාන  එක.  අපි සමීකරණ වලින් ගණනය කරන්නේ නැතුව ලොකු පාලමක් හැදුවොත් ඒක කඩා  වැටෙන්න පුළුවන්. මාක්ස්ගේ සමීකරණ ටික ටික සාකච්චා කරමු. ඊළඟ මගේ ලිපියේ එකක් (සමීකරණයක්) එනවා. 

වහල් වැඩවසම් ආදී වශයෙන් සිදුවන්නේ යයි කියන සමාජ පරිනාමය , 
හොඳයි මේක මාක්ස් කිව කියල හිතන්නේ නැතුව තමන් කල්පනා කරලා බලන්න. ගල් යුගයේ ඉඳන් මිනිස් සමාජය / ඉතිහාසය පරිණාමය වුනේ කොහොමද. මාක්ස් අමතක කරන්න.  මේ ප්‍රශ්නයත් ඉදිරියට එන නිසා ඒ වෙලාවට ආයි  කතා කරමු. 

කම්කරුවාට පමණක් හිමි අතිරික්ත වටිනාකම - අතිරික්ත වටිනාකම කම්කරුවට පමණක් හිමියි කියල කොහෙද තියෙන්නේ . මේ ප්‍රශ්නයත්  ඉදිරියට එන නිසා ඒ වෙලාවට ආයි  කතා කරමු.  (කලින් එක වගේම) 
සියල්ල ආර්ථිඅකයට ඌණනය කිරීම - මේක පැහැදිලි කරන්න 

උත්තර කොමියුනිස්ට් සමාජයේ මිනිසුන් රහත් වීම (මිනිස් සොබාවය අතිඋත්තර සොබාවයක් ගැනීම ) - මේකට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නම්.  දැන් ඔබ හා මම ඉපදුන රට , මම ඉතාම දැඩි ලෙස ආදරය කරන රට ගැන බලමු.  දැන් ඔය රටේ මිනිස්සු බල්ලෙක් දැක්කම ගල් වලින් ගහනවා. පුසෙක් දැක්කොත් මරනවා. පැටව ලැබුනම පන්සල් වත්තට ගිහින් දානවා.  මාක්ස්වාදියෝ විරුද්ධ වාදීන්ට ගහනවා මරනවා. විරුද්ධවාදීන් මාක්ස්වාදීන්ට දස වධ දීල මරනවා.  පක්ෂ වල එවුන් එකාට එකා මරා ගන්නවා. ආගම්  හතරක් පහකුත් තියෙනවා  ඒ මදිවට, ඒ ගොල්ලොත් ගහ ගන්නවා. . හැබැයි ඔයා  බනින්නේ මාක්ස් කිව්ව දෙයක් ගැන.   දැන් බලමු මාක්ස් මොකක්ද කිව්වේ . එංගලන්තයේ හා ජර්මනියේ කාර්මික විප්ලව සිඳුවී කම්කරු පන්තියක් ඇති වෙලා තියෙන නිසා විප්ලවයක් සිදු  වේය හෝ කොමියුනිස්ට් සමාජයක් බිහි වේය කියලනේ. එහෙම වුනේ නැතත් ධනවාදී එංගලන්තයේ හෝ ජර්මනියේ මිනිස්සු කොහොමද ? ඒ මිනිස්සුන්ගේ සත්ව කරුණාව කොහොමද? අනික සෝවියට්  වැසියන් වුනත් නරක නැහැ. මම ඕන තරම් ගෙවල් වලට ගිහින් කාල  බිල විනෝද වෙලා තියෙනවා. ප්‍රශ්න අඩු මිනිසුන්  තමා මේ වගේ හොඳින් ඉන්නේ. ඉතින් මාක්ස් උපකල්පනය කලා  ධනවාදයේ අය  මේ තරමට ශිලාචාර නම් මින් පස්සේ එන කොමියුනිස්ට්ච්වාදය මිට වඩා  හොඳ වෙයි කියල.  ඒකටත් වැරැද්දක් ඔයා  හදා ගන්නවා .
අපේ රටේ (ලංකාවේ) වැඩි දෙනා  නරක නැහැ.  අනුන්ට උදව්වක් කරගෙන් කවුරුත් සින්දුවක් කියාගෙන ඉන්න හොඳ ජනතාවක්. ප්‍රශ්න වැඩි වුණාම තමා  කවුරුත් නරක්  වෙන්නේ නේද. ? 


මේවා පිළිගන්න පුළුවන්ද .මේවා මාක්ස් එන්ගල්ස් සීයල දැක්ක හීන නොවෙයිද? ඊයේ  පෙරේදා  දැකපු සිහින  අද සැබෑ වෙනවා කියල අහල නැද්ද :) 

යකාගේ ප්‍රශ්න වැලට තනි උත්තරයක් - පලවන කොටස

මෙතන ඔබට දැක්ම පිළිබද ගැටළුවක් තිබෙනවා. විද්‍යාත්මකව ඔප්පු නොකළ දේවල් ඔබ පිළිගන්නෙ නැත්නම් ඔබ විද්‍යාවට පිටුපසින්. - යකා 
මට ඔය කතාවම යෝහොව අදහන කට්ටියත්, මළවුන්ට කතා කරන කට්ටියත් , කතෝලික  යාළුවොත් ආදී මෙකි නොකී හැමෝම කියනවා. එතකොට ඔප්පු කරන්න බැරි දේ පිළිගන්න එකා විද්‍යාවටත් ඉදිරියෙන් ඉන්නේ. ඒ කට්ටිය තම ඔය මරා ගන්නේ ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ එහෙම. 

එහෙම නොවෙයි.පරීක්ෂන.නිරීක්ෂණ,නිරීක්ෂන වලින් ලැබෙන දත්ත විග්‍රහ කර නිගමනයන්ට එළබෙනවට අමතරව දුමක් පෙනේ නම් ගින්නක්ද තිබිය යුතුය කියන උපකල්පනය සත්‍ය ලෙස හිතල ඊට සමාන වෙනත් අවස්ථා නිරීක්ෂනයෙන් අර උපකල්පනය සත්‍ය වූ විට එම උපකල්පනය එම රාමුවට අදාලව සත්‍ය ලෙස පිළිගන්නවා. අදාල නොවන දේ වෙනත් රාමුවක.එතකොට කිසිම දෙයක් මඟ හැරෙන්නෙ නෑ.  යකා 

ඉතින් මනුස්සයෝ ඕකනේ විද්‍යාත්මක ක්‍රමය. තර්කනුකුලාව හොයා බැලීම, දත්ත එක් රැස්  කිරීම , විශ්ලේෂණය,  උපකල්පනය කල නියමය නිරීක්ෂණ හා ප්‍රබල දත්ත මගින් , අනුමත කිරීම - ඕව තමයි විද්‍යාත්මක විධිහට කරන ව කියන්නේ. නැතුව සුදු ලෝගුවක් ගහ ගෙන lab  එකක් ඇතුලට වෙලා කරන දෙයක්ම නෙමේ. 

උදාහරනයක් ලෙස කුඩා දරුවෙක් පෙර ආත්ම කියනව.
එම දත්තයන් ඔහුට කිසිවෙකුවිසින් උගන්වා නැත්නම් එය පෙර ආත්මයක් තමයි. එහෙම නැතිනම් භූතයෙක් උගන්වලා. ඔය දෙකෙන් එකක්. බෞද්ධයන් මුල් එක පිළිගනිද්දි අන්‍යාගමිකයන් භූතයෙක් (සාතන් ) මේ දැනුම පොඩි එකාට දුන්න කියල කියනව. කොහොඅම්හරි පොඩි එකා චාටර් වෙන්නෙ නැතිව ඒ විස්තර කියන්නෙ කොහොමද
උපකල්පන වලින් ලබන ඒ දැනුම විද්‍යාවෙන් සනාථ හෝ අනාථ විය හැකියි.ඒක එතකොට බලමු.  යකා 


මම ඔබට ඊයේ කිවේ මම - Dr l Stevenson පොත් කියවල dr Brian Wiess ගේ ඒවා කියල මේ මතය තවත් තහවුරු කරගෙන හිටිය කියල. Stevenson ගොඩක් පොඩි ළමයි කියන කතා අහල වාර්තා ගත කරලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් ජාන  තියෙනවනේ. ඔය ජානවල කිසියම් මතකයන් රැඳිලා  තියෙනේවනේ.  උදාහරණයක් වශයෙන් අපේ මවට හරි පියාට හරි දියවැඩියාව තිබ්බ නම් අපට ජාන  මගින් ඒක  එනවා. ඒ වගේම හැඩ රුව  පවා මව්පියන්ගෙන් ළමයින්ට යනවා. ඔය ජාන වලින් එන ලෙඩ අරව මේවට අමතරව තව හොයා නොගත් මතකයන් තිබෙන්න පුළුවන්.  දැන් මේ පළාතේ උපන් ළමය තව පළාතක මැරුණ කෙනෙක් ගැන විස්තර කියන කොට මෙහෙම වෙන්න බැරිද. ඒ වෙන පළාතේ මැරුණ  කෙනෙක් මේ පළාතේ කෙනෙක් බැඳලා තිබෙනවා. ඒ බැන්ද  කෙනාගේ ළමයෙක්  මේ ළමයාගේ පවුලේ කෙනෙක් බඳිනවා. එයාගේ ළමය ඔය ආත්මය කියන ළමය නම්, එයාගේ අප දකිනවට වඩා  වැඩි මතකයන් ඇති ජානයක් එක පාරටම (on  වෙලා )  වැඩ කරලා ළමය කියන්න පටන් ගන්නව ජාන  ජාතකේ. 

අනික බුදු හාමුදුරුවෝ කිව්වයි කියන්නේ , උපදින පුද්ගලයා මමත් නෙමේ වෙන  අයෙකුත් නොවේ කියලනේ.  එතකොට බුදු හාමුදුරුවෝ මේ ජාන  වල මතකයන් ගැන වෙන්න බැරිද දේශනා කලේ.  ඒක  අපේ කට්ටිය මාක්ස්ව වරදවා තේරුම් ගන්නවා වගේ බුදු හාමුදුරුවෝ වරදවා තේරුම් ගත්ත වෙන්න බැරිද?
පොතක් තියෙනවා David  Duncan  ගේ "The  Geneticist  who  planned  hoops  with  my DNA "කියල. පුලුවන්නම් බලන්න.  ඉතින් මේක අපි වීද්‍යාවෙන් සනාථ හෝ අනාථ වෙනවද කියා බලා  ඉඳිමු

Wednesday 9 April 2014

හුවමාරුව හා මුදල් - Exchange (අංක 5)

Exchange: හුවමාරුව 
මිනිසුන් භාණ්ඩ වල අයිතිකරුවන් වශයෙන් තමා  ඉන්නේ හෝ පැවැත්ම හැටියට හඳුනාගන්නේ.  ආර්ථික වේදිකාවේ රඟ  දක්වන්නන් යනු ඔවුන් අතර පෞද්ගලික කරන ලද ආර්ථික සම්බන්ධතා පමණයි.  භාණ්ඩවල අයිතිකරුවන්ට එහි ඇත්තේ භාවිතමය නොවන අගයක්  යයි කියන මාක්ස්, එහි අයිතිකරුවන් නොවන අයට භාවිතමය අගයක් ඇතයි කියයි. එම නිසා අනිවාර්යයෙන්ම භාණ්ඩ අතිනත මාරු  විය යුතු යයි ඔහු පවසයි.
- මෙහිදී මට මාක්ස්ට එකඟ වෙන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් පැන  නගිනවා? එනම් මම මා වෙනුවෙන් පමණක් මගේ භාවිතය සඳහා පමණක් භාණ්ඩයක් නිපදව ගත්තොත් ? පොල් කොහු වලින් මම මටම ලණුවක් නිපදවා ගත්තොත් මට එය හුවමාරු කිරීමට ඕන වෙනවද?
(මෙතන මම මාක්ස්ගේ ප්‍රාග්ධනය සම්පුර්නයෙන්ම පරිවර්තනයක් කරනවා නොවෙයි.  මාක්ස් කියල තියෙන වැදගත් හරිය විතරක් අරගෙන විවේචනයක් කිරීමයි කරන්න බලා  පොරොත්තු වෙන්නේ. )
මින්පසු මාක්ස් කියනවා මේ අතිනත මාරු වීමම තමා හුවමාරුව වන්නේත් සහ එම සම්බන්ධය මත එය හුවමාරු වටිනාකම (value ) වන්නෙත් කියා. ඒ කියන්නේ ඕනෑම නිෂ්පාදන භාණ්ඩයක් භාවිතමය අගයකට (වටිනාකමකට)  කලින් අගයක් (වටිනාකමක්) ඇතිකරගත යුතුයි. මේක ටිකක් අපබ්‍රන්සයක් වගේ නිසා මාක්ස් මෙහෙම උදාහරනයකුත් දෙනවා.
භාණ්ඩ අයිතිකරුවන් ගොතේ ගේ අර ප්‍රසිද්ධ ෆෞස්ට් නමැති චරිතය වගේ කියල. 
(http://en.wikipedia.org/wiki/Goethe’s_Faust)
“In their difficulties our commodity owners think like Faust: ―Im Anfang war die Tat.‖ [―In the beginning was the deed.‖ – Goethe, Faust.]
මුලදී තිබුනේ කාර්යය පමණයි - ෆෞස්ට්
භාණ්ඩ අයිතිකරුවන් තමන් හිතන්න කලින් කරනවා, නැවත නැවත කරනවා - මොකද්ද? හුවමාරුව.  ඔවුන්ට තම භාණ්ඩයේ අගය හොයා ගන්න නම් එක වෙන ලෝක සම්මත භාණ්ඩයක් සමග සැසඳිය යුතුයි. (කලින් සටහන් වල පෙන්නුවා වගේ) නමුත් මේ එක භාණ්ඩය ලෝක සම්මත මාධ්‍යය (universal equivalent )  බවට එක සමාජීය කාර්යයකින් පත්වන්නේ නැත. මුළු මහත් නිෂ්පාදන භාණ්ඩයන්ගේ සමාජීය කාර්යයක් (මුළු නිෂ්පාදන ක්‍රියාවලිය තුල ) තුල එක භාණ්ඩයක අගය මගින් අනිත්  සියලු භාණ්ඩවල අගයවල් නියෝජනය වන්නේය. එම එක භාණ්ඩයේ භෞතික ස්වභාවය සමාජය පිළිගත් හුවමාරු  මාධ්‍යය බවට පත්වන්නේය . සමාජීය ක්‍රියාවලියක් මගින් මේ ලෝක සම්මත මාධ්‍යය , මේ හුවමාරු භාණ්ඩයේ අගය අනිත් භාණ්ඩ වලින් වෙනස්ව පවතී. මෙය මුදල money බවට පත්වේ.

ඊළඟට මාක්ස් කියනවා නොමෑඩ්  (හෙවත් අහිගුන්ථක ) ජාතීන්  මුලින්ම මේ මුල්‍ය (මුදලේ භාවිතය) ආකාරය පාවිච්චි කල බව. ඔවුන්ට අයිතිවෙලා තිබුනේ ඉක්මනින්  තැනකින් තැනකට ගෙන ගිය හැකි දේ පමණයි. ඔවුන්ට වෙනත් ජාතින් සමග සම්බන්ධ වීමේ අවස්ථා වැඩි නිසා ඔවුන් භාණ්ඩ හුවමාරුව ප්‍රධාන වශයෙන් කල පිරිසක්. (ලංකාවෙත්  මේක එහෙමයි. එහෙම අය  ගම්  පළාත්වල හිටිය ) . වහලුන් පවා මුදල් වෙනුවට ආදේශ කල හැකි තත්වයක තිබ්බ. වහලුන් තැනින්  තැනට ප්‍රවාහනය කල හැකි නිසා.
නමුත් ඉඩම් (තැන තැන ගෙන ගිය නොහැකි) මේ තත්වයට ආවේ නැහැ. ඉඩම් මුදල් වෙනුවට ආදේශ වීමට පටන් ගත්තේ ධනවාදී සමාජය දියුණු වීමත් සමගයි. 17 වන ශතවර්ශයේ මුලින්ම පටන් ගත අතර වැඩි දියුණු වුයේ ප්‍රංශ ශාන්වාදී විප්ලවයෙන් පසුවයි. 

රත්රන් සහ රිදී ස්වභාවයෙන්ම  මුදල් නොවේ නමුත් මුදල් ස්වභාවයෙන්ම රත්රන් හා රිදී බව මෙම ලෝහ වල භෞතික ලක්ෂණ වලින් පෙන්නුම් කරයි. මේ මොහොත දක්වා අප හඳුනාගත්තේ මුදල් යනු භාණ්ඩවල අගය විදහාපාන දෙය වශයෙන් හෝ භාණ්ඩවල අගයයන් පරිමාවෙන් වැඩි වෙන අයුර සමාජමය වශයෙන් පෙන්වන දෙයක් වශයෙනුයි. 

අනිත් භාණ්ඩ වගේම මුදල නමැති භාණ්ඩය තම අගයේ (වටිනාකමේ)  ප්‍රමාණය (පරිමාව) පෙන්වන්නේ වෙනත් භාණ්ඩ වලට සාපේක්ෂවයි. මෙම අගය එය නිපදවීමට ගිය ශ්‍රම කාලය මත තීරණය වෙන අතර , එය පෙන්විය හැකි වන්නේ (සාක්ෂාත්  කර ගත හැකි වන්නේ )  ඒ හා සමාන නිෂ්පාදන ශ්‍රමයක් වැය  කර නිපදවන තව භාණ්ඩ ප්‍රමාණයක අගය හරහායි. මුදලේ එවැනි ප්‍රමාණාත්මකව තීරණය වන සාපේක්ෂ අගය ඇතිවන්නේ නිෂ්පාදන මුලදී සිදුවන හුවමාරු ක්‍රියාවලියේදී. මේ නිසා මුදල් සමාජයේ භාවිතයට එළඹෙන විට එහි අගය තීරණය වී ඉවරයි. 17 වන ශත වර්ෂයේ අවසාන භාගයේ මුදල භාණ්ඩයක බව පෙන්නුම් කල අවසාන වුවත් මෙය අවසන් විග්‍රහයේ සුළු පියවරක් පමණයි. අපේ දැවෙන ප්‍රශ්නය වන්නේ මුදල් යනු භාණ්ඩයක් යයි වටහා ගනිමම නෙමෙයි, නමුත් කොහොමද, අයි හා මොන මාර්ගයෙන්ද භාණ්ඩ මුදල් බවට පත් වුයේ කියා සොයා ගැනීමටයි. 

භාණ්ඩයන්ට  තම අගයන් තමන්ගේ කිසිම උත්සහයක් නැතුව තමන් සමග සම්බන්ධ වෙන වෙන භාණ්ඩයක් හරහා මුලුමනිනමනියෝජනය  කිරීමට හැකිවී ඇත. රත්රන් හා රිදී යන ද්‍රව්‍ය පොළොවෙන් උඩට ගත්  වහාම මුළු මානව ශ්‍රමයේම උත්පත්තිය  නියෝජනය කරයි. මුදලේ විජ්ජාව මෙයයි.

ඉහත මාක්ස් ගේ හුවමාරුව ගැන කියමන් මිට වැඩිය තේරුම් යන ආකාරයෙන් ලියන්නට නම් ඒ පරිච්චේද ඒ ආකාරයෙන්ම පරිවර්තන කරන්න සිදු වෙනවා. ඒ නිසා මේ තරමට තම කරන්න වෙන්නේ. මීළඟ ලිපියෙන් මේ හුවමාරුව පිලිබඳ නවතම උදාහරණයක් සපයන්න බලා  පොරොත්තු වෙනවා. 

Friday 4 April 2014

මාක්ස් ගේ ප්‍රාග්ධනය හා රාජ්‍ය ධනවාදය - (අංක 4)

මාක්ස් ගේ ප්‍රාග්ධනය ගැන ලියන්න හිතුන කාරණා  කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි රාජ්‍ය ධනවාදය පිලිබඳ අදහස. මේක මම ලඟදි වෙන බ්ලොග් එකක් (අරුණි ශපීරෝ ගේ ) කියවල ඒ වෙනුවට රාජ්‍ය ධනවාදය පිලිබඳ අදහස ඉදිරිපත් කරමින් දුන්න  උත්තරයට ලැබුනේ අපහාසාත්මක වදන් වැලක්. අපි "සෝවියට් දේශය කඩා වැටුනට පස්සේ ඒකටත් ධනවාදයටම  දෝෂාරෝපණය කරනවා  කියල". ඒවා නිකන් හරියට හිතන්නේ නැතුව කියන කතා. මොකද රාජ්‍ය ධනවාදය කියන අදහස මට මුලින්ම නැගුනේ දේශපාලන ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න මුල් හරියදීම. මාක්ස් කිව විදියේ සුරා  කෑම තිබෙනවානම්, ලාභාංශය හොයනවනම් ඒ ලාභය රජය හා පක්ෂය මිනිසුන්ගේ කැමැත්තට පිටින් රාජ්‍ය යන්ත්‍රය  ශක්තිමත් වීම හා පක්ෂය ශක්තිමත් වීම කරා  යනවනම් එතන රාජ්‍ය ධනවාදයක් නැත්ද කියන ප්‍රශ්නය මගේ හිතට නැගුන දෙයක්.
මාක්ස් කිවේ කොමියුනිස්ට් සමාජය ගොඩ නැගෙන විට රාජ්‍යය අහෝසිවී යමක් ගැන නේ. නමුත් රුසියාවේ උනේ ඒකෙ  අනිත් පැත්ත .
 අපි 80 අවසාන දශකයේ  එහෙ ඉන්දැද්දී කොමියුනිස්ට් වාදය උගන්නපු ගුරුවරු පවා හිතුවේ ආර්ථිකය නිදහස් කර රාජ්‍ය බලය පවත්වා ගත යුතුයි කියල. එක ටිකක්  වර්තමාන චීන ක්‍රමයට සමානයි. නමුත් ආර්ථිකය විවුර්ත කරන්නේ නිදහස් ආර්ථික මොඩලයට (වෙළඳ කලාප වගේ) නෙමෙයි. නිෂ්පාදන ක්‍රමයන් හා කර්මාන්ත ශාලා පක්ෂයේ හා රජයෙ අයිතීන් මුදවා කම්කරු සෝවියට් සභා වලට පැවරීම. එක එහෙම වුනේ නැහැ. ලෙනින්ට ඕනේ විදියට. ස්ටාලින්ට ඕන විදියට නිර්ධන පන්ති ආඥාදායකත්වය එසේම තියාගෙන රාජ්‍යය හැම අස්සක් මුල්ලක් නාරම අතු විහිදුවා ගත්තා . මේක නෙමේ විය යුතුව තිබුනේ. රාජ්‍ය ධනවාදය කියන අදහස ආවේ එහෙම.

අපට විදුලි ඉංජිනේරු විද්‍යාව සඳහා  ප්‍රයෝගික (practical ) වැඩ තිබුනේ අන්තිම අවුරුදු කීපයේ විදුලිබලාගාරවල . නමුත් ඊට කලින් තිබුනේ කම්හල් වල. ඒවල  වැඩ කරපු පුහුණු ශ්‍රමිකයෝ ගොඩක් පැය  අට හරියට වැඩ කලේ නැහැ.  මම ඒ මොකද කියල ඇහැව්වම එක කම්කරුවෙක් දුන්නේ අපුරු උත්තරයක්. එයා  කිව්වේ " මාක්ස් කියල තියෙන්නේ දල වශයෙන් වැඩ කරන පැය  අටෙන් 4යි කම්කරුවට පඩිය වශයෙන් ලැබෙන්නේ. ඉතිරි පැය හතර ලාභය වශයෙන් ධනපතියට යනවා කියල. නමුත් මෙතන ඒ පැය හතරේ ලාභය යන්නේ පක්ෂයේ හොර නඩේට සහ නිලදාරී ටිකට . ඒ නිසා අපි පැය  හතරයි වැඩ කරන්නේ " කියල. මම කිව නමුත් ඔබේ ළමයින්ට ලැබෙන නිදහස් අද්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවාව , ලාභ ප්‍රවාහන පහසුකම අඩිය ලැබෙන්නේ වැඩ කලොත් නේද කියල. එතකොට් අමිනිහ කියපි, ඇයි  මගෙන් බදු කපන්නේ මොකටද කියල. මම වැඩිය වාද  කරන්න ගියේ නැහැ. මටත් කලින් යන එක ලේසි නිසා.

නමුත් මෙතන තිබුනේ ගොඩක් ඔඩු දුවපු ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ අන්තිම කාලේ  ආර්ථික වර්ධනය බින්දුවයි. රට ඔහේ යැවුන විතරයි.  රාජ්‍ය ධනවාදය ඒකෙ  කරන්න පුළුවන් අන්තිම කෙලෙවරට වගේ ඇවිල්ල තිබුනේ.

ඉතින් අපට මාක්ස් නැවත හදාරන්න අවශ්‍ය වෙන්නේ ඒකයි .  ප්‍රග්ධනයේ වැදගත්ම කොටස් ටික අරගෙන , ඊට  විරුද්ධව තියෙන මතවාදත්  සාකච්චා කරලා මොන වගේ සමාජයක්ද එන්න ඕනේ කියන නිගමනයට එන්න පුළුවන්.

ප .ලි
නමුත් මේ රාජ්‍ය ධනවාදය කියන අදහස අරුණි ගේ එකක හැටියට ත්‍රිමාණ වෙබ් අඩවියේ දාල තියෙනවා http://3mana.com/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A/
ඒක  වැරදියි :
මගේ ඒ comment එක තියෙන්නේ මෙතන:
http://arunishapiro.wordpress.com/2014/02/25/%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1/#comments

මේක : Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:00 පෙ.ව.
සෝවියට් දේශයේ තිබ්බේ රාජ්‍ය ධනවාදයක් අරුණි . අපි කවුරුත් ඒක සමාජවාදයක් හැටියට නම් කරන්නේ නැහැ. lenin ge NEP පිළිවෙත war communism වලින් පස්සේ ගෙනාවෙත් ඒකයි . නමුත් ස්ටාලින් එය නැවත රාජ්‍ය ධනවාදයටම හැරෙව්වා . kapital එක කියවනවානම් Marx රාජ්‍ය ධනවාදයක් පිහිටුවන්න කියල නැහැ. සෝවියට් දේශය ජීවත්වූ හා දැනට නව ලිබෙරල්වාදී රටක ජීවත් වන අයෙක් වශයෙන් මම නව ලිබෙරල් වදයට කැමතියි . නමුත් එයින් රාජ්‍යය අහෝසිවී කොමුනිස්ට්වාදයට යනවට ඊට වඩා කැමතියි. හැබැයි ඔබ කියන පරණ සමාජවාදී ක්‍රමයට නොවේ. මන් හිතනවා නොර්වේ රාජ්‍යය ඉක්මනින්ම කොමියුනිස්ට්වාදයට යයි කියා. – අජිත්
අරුණිගේ පිළිතුර:
arunishapiro said, on පෙබරවාරි 28, 2014 at 4:09 ප.ව.
Ajith Dharmakeerthi,
සමාජවාදය බංකොළොත් වුනාම ඒකටත් මොකක් හරි ධනවාදී ලේබලයක් අලවන හැටි!!!!
ධනවාදය හඳුනා නොගෙන එයට වැරදි ලේබල් ගැහැව්ව මාක්ස් එයාගෙ දාස් කපිතාල් එකේ සමාජවාදී රාජ්‍යයක් හැදෙන හැටි ගැනත් කියා දීලා නැතිකම තමයි ලොකුම අඩුපාඩුව. සෝවියට්ලාට කලින් ඒක පැහැදිලි කරල නැහැයි කියල අවබෝධ කරගත්තේ ඔස්ට්‍රියන්-ජර්මන් අධිරාජ්‍යයයි. අනගි පාරට්ටු බාන අය ඒවා ඉෂ්ට වෙන හැටි නොපෙන්වන එක එදත් එහෙමයි අදත් මෙහෙමයි.
නව ලිබරල්වාදයට රාජ්‍යයක් අහෝසි කරන්න බැහැ. එතකොට කොහොම ද තමන් උපයන්න තමන් කැමති විදියට පරිහරණයට කැමති වෙහෙසෙන්නාගේ මහන්සිය මංකොල්ල කන්නෙ?!!!! තවත් විදියකින් අහන්නම්, උපයන්න අය නැත්නම් බෙදන්නෙ කොහොම ද?
ඔබ බලාගෙන ඉන්න නෝර්වේ රාජ්‍යය ඉක්මණින්ම කොමියුනිස්ට්වාදයට යනකම්. ඒ අතරෙ නෝර්වේ වැසියන් තමන්ගෙ ඉහළ යන ජීවන වියදම ගැනත් 60 ගණන් වල දී හොයාගත්ත තෙල් නිධි වලට වෙළඳපොලේ තරඟයක් නොවේවි ද යන්න ගැනත් (ඇමෙරිකාව ෆ්‍රැකින් පටන් ගත්තම) කල්පනා කරලා ධනවාදය ක්‍රියාවට නංවනවා. එහෙ ව්‍යාපාරිකයන්ට ඇති නිදහස, වෙළඳාමට ඇති නිදහස, පුද්ගලික දේපල අයිතිය ආරක්ෂාව අද ඇමෙරිකාවේ වගේමයි. ඒත් ඔවුන්ගෙ බෙදලා දෙන්න දන්නවා කියන ආණ්ඩුවේ මැදිහත්වීම නිසා ඔවුන් උපයන මුළු ආදායම (gross) සහ ඔවුන් බදු ගෙවූ පසු වියදම් කරන්නට ලැබෙන ආදායම (disposable income) දෙකම ඇමෙරිකාවේ වැසියෙක්ට වඩා අඩුයි. බටහිර නොවන සංක්‍රමණිකයා නිසා නෝර්වේ රජයට ක්‍රෝන මිලියන 4.1 ($713,740.30) වැය වෙන අතර ක්‍රෝන බිලියන 70 billion kroner ($12,185,810,000) වසර හතක දී සංක්‍රමණිකයන් නිසා රටට අහිමි වෙලා තියෙනවා. පාකිස්තානි, සෝමාලි, ලිතුවේනියන් අය ඇදී එන්නේ ඔයා වගේ නව ලිබරල්වාදයට පිංසිද්ධ වෙන්න කියලා අනුන් හම්බ කරන ධනයෙන් යැපෙන්න තමයි!!!!

Wednesday 2 April 2014

ජනරලේ ලියුම - තාක්ෂණයේ දියුණුව හා මානව සංහතියේ විනාශය

ජනරළ පුවත්පතේ  2014 මාර්තු 14 කලාපයේ ඉහත  මාතෘකාව "තාක්ෂණයේ දියුණුව හා මානව සංහතියේ විනාශය " යටතේ ලිපියක් ලිය තිබුණා . බලු බැල්මට කතාව ඇත්ත   වගේ පෙනෙන ලිපියක්. ගොවියන් නිෂ්පාදනය කරන බව භෝග සියල්ල විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගෙන කරන නිසා පාරිභෝගිකයන්ගේ ශරීර සෞඛ්‍ය විතරක් නෙවේ පරිසරය පවා විනාශ  වෙන බව. ඒක ඇත්ත . මේක දරුනුවටම ක්‍රියාත්මක වෙනවා ලංකාව වගේ රටක.නමුත් මේක දැනට සමජවාදී යැයි  නාමිකව කියා ගන්න රටවල පවා භාවිතා වෙන දෙයක්. පලදාව  වැඩි කර ගැනීමට කරන උත්සාහය සඳහා මිනිසුන් යොදාගන්න තවත් එක්  උපක්‍රමයක්. මේකෙන් වෙන අතුරු අබාධ ඇති වෙන බව දැන් තම පිළිගන්නේ. ඉතින් දියුණු ධනවාදී රටවල දැන් නැවත පලිබොධ  නාශක භාවිතා නොකරන එළවළු  පලතුරු  විකිණීම ජනප්‍රිය වේගෙන යනවා. ඉතින් මේක ධනවාදයේ ප්‍රශ්නයක්ම නෙමෙයි. ධනවාදී ක්‍රමයකට උත්තර නැති ප්‍රශ්නෙකුත් නෙමෙයි.

මේ ලිපියේම තව කීප තැනක තාක්ෂනය නිසා සිදුවුණා යයි හිතන අකටයුතුකම් රාශියක් තියෙනවා . එනම් ට්‍රැක්ටරයක් ගත්තම එයින් ගමේ කීප දෙනෙකුගේ රස්සා නැතිවීම , එහෙමෙ නැත්නම් ගත්ත නය ගෙවන්න බැරිවීම. ලිපියේ උලුප්පල තියෙන්නේ ට්‍රැක්ටරයේ වැරැද්ද . ලංකාවේ තියෙන ක්‍රමය යටතේ අතරමැදි ව්‍යාපාරිකය අස්වැන්න මිලදී ගත්තේ නැත්නම් ගොවියට වස බොන්න  වෙන තත්වයක් නේ තියෙන්නේ . ගොවියා කොහොමද අස්වැන්න ගත්තේ කියන එක වැදගත් නැහැ.
අපි බලමු ලෙනින් මොකද කිව්වේ කියල (NEP ) එක හෙවත් නව ආර්ථික පිළිවෙත යටතේ.  ඔහු කිවේ කුඩා ගොවීන්ට හොඳ අස්වැන්නක් ගන්න අමාරුයි පොඩි පොඩි ඉඩම් කෑලි වල වගා කරලා. ඒ වගේම යන්ත්‍රෝපකරණ (ට්‍රැක්ටර් වගේ ) පාවිච්චියත් වියදම වැඩියි. මොකද ඉඩම පොඩි නිසා . (කල්පනා කරලා බලන්න , ට්‍රැක්ටරයකට ඩිසල් වලට යන වියදම හා වගාවේ ප්‍රමාණය මත අස්වැන්නේ ඵලදායිතාවය තීරණය වෙන්නේ නැද්ද කියල ) ඉතින් ලෙනින් උපකල්පනය කලා,   සෝවියට් කොමිසාර්  වරුන් ලවා ගොවීන්ට පැහැදිලි කරලා කිව්වොත් තමන්ගේ ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන් ගොවීන්  තමන් ස්වේච්චාවෙන් එකතු වෙලා ඉඩම් ටික සමුහ විධිහට නවීන ක්‍රම උපයෝගී කරගෙන අස්වද්දුවොත්  , ඵලදාව වැඩි වෙනවා කියල. ඉතින් දුන්න නිදහස යටතේ "යුධ කොමියුනිස්ට් වාදය - war  communism  " ඉවර කරලා ඇති වුන අවුරුදු කීපයේ ගොවීන්ගේ අස්වැන්න වැඩි වුණා . (සංඛ්‍යා  ලේඛන ඇත) . නමුත් අපි දන්නවා ස්ටාලින් පස්සේ ගොවින් බලෙන් එකතු කරලා සමුහ ගොවිපලවල ගාල්  කරලා අකමැති අය  මරල (කොසැක් වරුන් ) මේ ක්‍රියාදාමය කඩා  කප්පල් කලා  කියල.  නමුත් පසු කලෙක සෝවියට් සමුහ ගොවිපලවල් සාර්ථක වුණා ඔවුන්ට තරමක් ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දුන්නට පස්සේ .  දුෂණ වැඩි වුන නිසා නැවත ඒවා අසාර්ථක වුණා  සෝවියට් දේශයේ අවසාන කාලයේ. හැබැයි මේ සමුහ ගොවිපළවල් වල ඇති විශාල යන්ත්‍ර සුත්‍ර භාවිතා කරලා කරන වැඩ ගොවියට සැහෙන්න ලේසි කරලා ගොවියාත් එක්තරා විධිහකට කම්කරු හෝ පුහුණු ශ්‍රමිකයකුගේ තත්වයට පත් කරලා තිබුනේ.

මේ ලිපියේම තව කීප තැනක තියෙනවා යන්ත්‍ර සුත්‍ර දියුණුව නිසා රැකියා නැති වෙන බව. ධනවාදීන් ලාභය වැඩි කර ගන්න මිනිසුන් රැකියා වලින් එලවා  දමා නුතන යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි කරන බව.  මේ ලිපියේ මෙන්න මෙහෙම කියනවා. (උපුටා දක්වමි) //"ඒ දියුණු තාක්ෂණයත් කරන්නේ අපි ලවාම  අපිව වනසන එකයි. ඒ සමහර මැෂින් නිසා තුන් හතර දෙනෙකුගේ රක්ෂා නැති වෙන අතර සමහර මැෂින් වලින් 10 දෙනෙකුගේ විතර රක්ෂා නැති වෙනවා. ගණන් හදල බලන්න. ඒ මැෂින් දහස් ගණනක් රටේ ක්‍රියාත්මක වෙන කොට ලක්ෂ ගණනාවක් මිනිසුන්ගේ රක්ෂා අහෝසි වෙන කොට. "//
එතකොට තව ටිකක් කියව ගෙන යන කොට මෙන්න මේ කතාවම ආයේ  වෙන විධියකින් ."// මුලදී කතා කරපු ආහාර තාක්ෂනය වගේම , නිෂ්පාදන තාක්ෂණයත් දියුනුයිලු. බොහෝ කාර්මික නිෂ්පාදන සඳහා අධිබල නිෂ්පාදන යන්ත්‍ර පොහොසත් රටවල් හරහා වෙළඳ පොලට එනවා. මහා පරිමාණයේ හා කුඩා පරිනාමයේ දේශීය නිෂ්පාදකයන් ඒවා තම කර්මාන්තවලට යොදවන්නේ මහා කෑදරකමකින් යුතුවයි. එක කාලයක 1000ක් වැඩ කරපු ඒ කර්මාන්ත ශාලාවේ අර මැෂින් යෙදුවට පස්සේ වැඩ කරන්නේ 200ක් 300ක් විතරයි. ඉතිරි 700ක් විතර වන පිරිස එලියට විසිවුණා ."//
දැන් මෙන්න මේ ටික කියවන කොට හිතෙන්නේ මාක්ස්වාදය අනුව හිතල ලියපු එකක් නොවන බව.  මේ කියන්නේ පොල්පොට් වාදයට  යමු කියල. ධනවාදයට සම්බන්ධ හැම උපකරණයක්ම විනාශ කරලා , ආපහු ගොවි බිම් වලට ගිහින් අවුරුදු දහස් ගනනකට කලින් තිබ්බ ක්‍රමයේ ඉඳන් පටන් ගන්න ගිහින් මිලියන් කි දෙනෙක් කම්භෝජයේ මැරුවද? මැරුණද ? චීන සංකෘතික විප්ලවය සමයේ කලෙත් එකම නේද. මේ විධිහට හිතන එකත් වැරදි කියල ඉතිහාසයෙන්ම ඔප්පු වල තියෙද්දී මෙතනට ජනතාව නැවත  රැගෙන යන්න හදන්නේ ඇයි ?

වහල් අවධිය, වැඩ වසම් යුගය පහු කරමින් ධනවාදයට ලෝකය ඇවිල්ල තවම අවුරුදු 200ක් වත් නැහැ. වැරදුනු සමාජවාදී ක්‍රම කීපයක් තිබ්බ , තියෙනවා තමයි. නමුත් ධනවාදී සමාජ ක්‍රමයක ඇතිවන දියුණුවට පස්සේ තමයි මාක්ස්වාදයට අනුව කොමියුනිස්ට්වාදී  සමාජ ක්‍රමය බිහි වෙන්නේ. කර්මාන්ත බිහි වීම. නවීන යන්ත්‍රෝපකරණ බිහි වීම , නව බිජ ව්‍යපෘති ක්‍රම බිහි වීම අනිවාර්යයි. නමුත් මේ ක්‍රමයේ වැරදි මතු වෙනවා . පරිසර විනාශ සිදු වෙනවා.  සමාජය හා රට මේ ව්‍යසනයෙන් බේරා ගන්න තමා  වෙන ක්‍රමයක් අපට අවශ්‍ය වන්නේ . අප විරුද්ධ විය යුත්තෙ මිනිසාට   වැඩ කිරීම පහසු කරන, වෙලාව ඉතුරු  කරන  නවීන තාක්ෂනයට නෙමේ . ඒ අනුව ඉතුරු වන ශ්‍රමය වෙන  දේට යොමු කිරීම.
එංගලන්තයේ කර්මාන්තශාලා වැහෙන කොට රට ඉබේම service economy එකකට හෙවත් සේවා සපයන ආර්ථිකයකට හැරුන. මිනිසුන්ට වන රැකියා අවස්ථා හැදීම සහ මිනිසුන්ගේ වෙලාව , සංස්කෘතික වැඩට, ඉගෙනීමට ක්‍රීඩා වලට යොමු කිරීම ආදී දේ කල යුතුයි. අපට වෙන ග්‍රහ ලෝක ගවේශනය කරන්න පවා ඉදිරියේදී සිදු වේවි . මේවට ශ්‍රමය අවශ්‍යයි. එය හරියට මේ පවතින ක්‍රමය තුල කළමනාකරණය කර ගන්නට  බැරි අවස්ථාවක්  මතු වෙනවා. නාසා  (NASA ) ආයතනය කල විද්‍යාත්මක අධ්‍යනයක  මේ පිළිබඳව සඳහන් වෙනවා.  මෙන්න මේ යොමුවෙන් එක ගැන තොරතුරු බැලුව හැකියි. //

Nasa-funded study: industrial civilisation headed for 'irreversible collapse'?

http://www.theguardian.com/environment/earth-insight/2014/mar/14/nasa-civilisation-irreversible-collapse-study-scientists //
මෙයින් කියන්නේ මේ කාර්මික දියුනුව මේ යන විධිහට පරිසරය විනාශ කරමින් ගියොත් බිඳ වැටෙන බවයි. ඉතින් ඉහත ලිපියේ මුලික අදහස හරි වුනත් විය යුත්තේ තාක්ෂණයට හා එහි දියුණුවට එරෙහි වීම නොව කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් තුල එය හරි මගට ගැනීමයි . මොකද නාසා එක කියන්න කලින් මාක්ස් ඒක  එහෙම වෙනවා කියල අවුරුදු එකසිය ගානකට කලින්  , කියල තියෙන නිසා.