Wednesday 23 January 2019

චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ වික්‍රමය (ටයිකොන්ඩෝ සමුළුවේදී ඇසුණු කතාවක් -)

"අධිෂ්ඨානය විසින් අපරාජිත ව්‍යායාමයන් නිර්මාණ කරයි. සත්‍ය ආශ්චර්යයන්  හෙළිදරව්වට ඇති යතුර එයයි. මිනිසාගේ හැකියාවන් වල නිමක් නැත."-චුන් ජූ යුන්


පහුගිය ඔක්තෝබරයේ අප  ලංකාවට  ගියේ ප්‍රධාන කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි. ඉන්  එකක් වූයේ දරුවන් සහභාගී වූ  ටයෙක්වොන්ඩෝ තරඟාවලියයි. ඉන්පසු මගේ දෙවෙනි පොත වූ  "සියාමා" එලි දැක්වීමයි.

 ටයෙක්වොන්ඩෝ තරඟාවලිය අවසන් වූ  දවසේ එහි ප්‍රධාන   සංවිධායක දුෂාන්ත පෙරේරා සහ අනිත් ගුරුවරු  ටයෙක්වොන්ඩෝ සටන් කිහිපයක්,  කොරියන් නැටුම් ප්‍රදර්ශනයක් සමග කතාබහකුත් සැලසුම් කර තිබුණි. ඒ කතාබහේදී කොරියන් කණ්ඩායමේ ප්‍රධානියාගේ කතාව තදින්ම  මගේ සිත පැහැර ගැනීමට සමත් වුනි. මේ ඒ කතාවයි.

මේ කතාව ඇත්තටම චුන් ජූ යුන් නමැති කොරියානු ව්‍යාපාරිකයා වටා  ගෙතුනකි. ඔහු කොරියාවේ ඉතා ප්‍රසිද්ධ අයෙකි. ඒ හයිඋන්ඩයි (Hyundai) නමැති ලෝකයේ ප්‍රකට ව්‍යාපාර සමූහයේ අයිතිකරු බැවිනි. එම නමින් මෝටර් රථ ඇති නිසා  ඔහු ශ්‍රී ලංකාවට හෝ බ්‍රිතාන්‍යයට ද අමුත්තෙක් විය නොහැකිය.

මේ කතාව  අයින් රෑන්ඩ් (රුසියානු නමින්  අලිසා සිනොවියෙව්නා) පන්නයේ කතාවක් ලෙසද කෙනෙකුට හැඟෙනු ඇත.

කොරියන්  කණ්ඩායම් ප්‍රධානියා කතාව කළේ   ටයෙක්වොන්ඩෝ ක්‍රීඩාව පුහුණු වෙන දරුවන්ට "තම උත්සාහය කිසි විටෙක අත නොහැරිය යුතුය"  වැනි  පණිවිඩයක් දීම සඳහා බව මට සිතුනි.

චුන් ජූ දැන් උතුරු කොරියාව නමින් හඳුන්වන රටේ දරුවන් නම දෙනෙකු ගෙන්  යුත්  ගොවි පවුලක උපන්නෙකි. ඔහුගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒ දිනවල කොරියාව ජපානයට යටත්ව තිබූ  කොලනියකි. චුන් ගේ පියා චුන් බොන්ග්  සික් , තමන්ගේ දරුවන්  තම ගොවිපලේ  වැඩට බොහෝ විට යොදා ගත්තේ වෙනත් විසඳුමක් නොවූ බැවිනි. ඒ පැතිවල බොහෝවිට ළමයි හදන්නේද ගෙදර සහ ගොවිපල වල වැඩට අත් උදව් ගැනීමටය. ඔවුන් ගේ දිවිය වටා බැඳී තිබූ  දිළිඳු කමින් කෙසේ හෝ මිදිය යුතුය යන අදහස ළමා කාලයේදීම චුන්ගේ හිතට ආවේ ගොවිපළේ අමාරු වැඩ වල යෙදී සිටිද්දීය.

චුන් සහ යහළුවෙකු  මුලින්ම කළේ ළඟම  ටවුමේ කැලෑවෙන් එක්කළ ලී අසල නගරයට ගොස් විකිණීමයි. උසස් අධ්‍යාපනයක් ලැබීම සිහිනයක් පමණක් ම වූ ඒ අවධියේ   ඔහුට ඉඩ ලැබුනේ ඔහුගේ සීයා විසින් සංවිධානය කල පාසැලේ තවකාලිකව කුඩා කාලයක් ඉගෙනීමට පමණි. ඉනික්බිතිව ඔහු කරන්නේ ගෙදරින්  පැන යාමය.  වයස අවුරුදු 16 දී චුන් චොන්ජින් නමැති නගරයේ රැකියාවක් සොයා පිටත් වෙයි. චුන් මාස දෙකක් පමණ කොවොන් අතරම තිබූ නගරයක  වැඩ බිමක රැකියාවක් සොයා ගනී.

මෙය දැඩි වෙහෙස දනවන අමාරු රැකියාවක් විය. හරියකට කෑමක්,  නෑමක් නොමැතිව මකුණන් ගහණ බූරු ඇඳන් වල ගතකල නිදි වර්ජිත රාත්‍රීන් බොහොමයක් විය .කුසට හරියට නොකා නිදා ගත්තත් මකුණන් ගෙන් එන ගැහැට ඔහුට කෙසේවත් ඉවසන්නට නොහැකි විය. බේරෙන්නට  මොනවා කළද එය හරි ගියේ නැත. වරෙක බූරු ඇඳ එළියේ සීතලේ තබාගෙන නිදා හිටියත්, දවල්ට  ගිනි අව්වට දමා තිබුනත් රාත්‍රියට අනිවාර්යයෙන්ම මකුණන් ගේ ආගමනය සිදු විය. අවසානයේ බූරු ඇඳ පසෙකට ලා  චුන්  ශාලාවේ තිබූ මේසයක උඩ නිදා ගනී.  පොරවගන්නා  රෙදිකඩ පවා සෝදා වේලා ගෙන සුවසේ නිදාගන්නට සිතා සිටියත් රාත්‍රියේ  මකුණුවන්ගේ ප්‍රහාරයෙන්   චුන්ට  ඇහැරේ. ඔහු  දකින්නේ පුදුමාකාර දෙයකි. අනික් ඇඳන් වලින් පැන බිත්තිය දිගේ වහලට එන මකුණෝ එකින් එකා  මේසේ සිටිනා  චුන් ගේ  ඇඟ උඩට පනින්නේ  කොමාන්ඩෝ භටයන්  ලෙසය.

දෙමසකට පමණ පසු චුං ගේ පියා ඔවුන් සිටින තැන සොයා පැමිණ චූන් ට බැණ අඬගසා නැවත නිවසට රැගෙන යයි. ඔහුට නැවතත් පරණ ආකාරයටම පියාගේ ගොවිපළේ  වැඩ කිරීමට සිදුවේ.  නමුත්  චුන් ට මකුණන්ගේ  වික්‍රමය අකිසි ලෙසකින්වත් මතක නොවේ. කොපමණ පුංචි සතෙක් වුවත් මකුණන්  තම  උත්සාහය  අත් නොහරී. චුන් සිතුවේ මකුණන් ඔහුන්ගේ ඇඟේ ලේ බීමට එන කාරණය  නොව මකුණාගේ අප්‍රතිහත ධෛර්යය ගැනය.

තවත් වසරක් පියාගේ ගොවිපලේ වැඩ කරන චුන් පවුලට තමාගෙන් ඉටු විය යුතු කාර්යයන් අවසන්  කර ගොවිපලේ එළදෙනක්ද විකුණා මුදල් සොයාගෙන සියෝල් නුවරට පැමිණේ. එවිට චුන්ට වයස 18 කි. බිල්ඩින් වැඩ වැනි වෙහෙසකර රැකියා කිහිපයකට පසු ඔහු ගිණුම් ලිපිකරුවෙකු ලෙස රැකියාවක් සොයාගනී. ඉන්පසු මුදල් ඉතිරි කර සහල් විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළත් දෙවන  ලෝක යුද්ධ සමයේ ජපනුන් අල්ලා ගැනීම නිසා එය අවසන් වේ.. වයස 24 දී වාහන අලුත්වැඩියා කරන සමාගමක් ජපන් වැසියෙක් සමග සහයෝගයෙන් පටන් ගත් නමුත් අවසානයේ එය ජපන්නුන්ටම  විකිණීමට සිදුවෙයි.

මින් පසුබට නොවෙන චුන්  කාර් මැනුවල් පොත්,  ව්‍යාපාරික පත්‍රිකා ආදිය කියවමින්  තනියම ඉගෙනීමේ යෙදෙයි. යහළුවන්ගෙන් ඉගෙනීම සඳහා රාත්‍රී පන්ති වලටද සහභාගී වෙයි. මේ කාලයේදී ඔහු වාහනයක් නිෂ්පාදනය සඳහා නිර්මාණය කළ සැලසුමක් හොන්ඩා (ජපාන) සමාගමට ඉදිරිපත් කරයි. එය වැඩි ගණනකට නොගෙනම  ප්‍රතික්ෂේප  වුවත්  මේ මිනිසා එයින් නොසැලේ.  දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවාත් සමගම ඔහු හයිඋන්ඩයි මෝටර් වාහන කර්මාන්ත ශාලාව හා සමාගම  පිහිටුන්නේය. ඒ සමගම 1946 දී  හයිඋන්ඩයි සිවිල් කර්මාන්ත සමාගමද එකවර පිහිටුවයි.

ඇමෙරිකන් හමුදාවෙන් මෙන්ම කොරියන් රජයෙන්ද ලැබෙන කොන්ත්‍රාත්තු නිසා දිගින් දිගටම ඔහුගේ සමාගම් දියුණු වේ. මහා මාර්ග (motor way ) සෑදීම සඳහා කොන්ත්‍රාත්  කොරියාවේ හා තායිලන්තයේ ගිවිසුම් ලබා ගැනීමට ඔහු සමත් වෙයි. එසේම නැව් නිපදවන නාවික තටාක අංගනයක්  (ඩොක්යාඩ් එකක්)  උල්සන් වල නිම කිරීමට  ඔහු සමත්වෙයි. එය ඒ දිනවල ලෝකයේ විශාලතම නෞකා නිපදවන නෞකාංගනය වේ. න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් 1970 දී ගොඩනගන ඔහුගේ සමාගම් අතරට රසායනික මූලද්‍රව්‍ය නිපදවන කම්හල් ද එක්වේ.  ෆෝඩ් සමාගම සමග එකතුව ඔහු ගේ මෝටර් රථ නිපදවන සමාගම  පළමු මෝටර් රථය වන කෝටිනා නිපදවන්නේ 1968 දීය. එම සමාගමම 1986 දී පෝනි එක්සෙල් නමැති රථය තනිවම නිපදවනු ලබයි.

උතුරු-දකුණු කොරියන් යුද්ධය පටන් ගන්නේ 1950 වසරේදීය. ඔහු බසාන් වලින් පැන සියෝල් වලට නැවතත් පැමිණේ. ඔහුගේ සමාගම් තව තවත් දියුණු වෙද්දී අලුතින් බිහිවූ උතුරු කොරියාවට වරෙක  එළදෙනුන් දහසක් පමණ පරිත්‍යාග කරන්නේ එහි ජීවන තත්වය නගා සිටවිමට දායක වන්නටය.  උතුරු කොරියාව සමග කතාබහක් ඇරඹීම සඳහා ප්‍රථම අඩිතාලම දැම්මේද ඔහුය. ඔහු සාමාන්‍ය ධනපතියෙකුට වඩා වෙනස් වන්නේ සමාගම් වල පාලන ශෛලිය සහ අනිකුත් අයට උදව් කිරීම මතය. හයිඋන්ඩයි සමාගමේ දියුණු වීමට, පාලනයේදී දක්ෂයන් තෝරා ඔවුන් වැඩ කරන සැටි නිරීක්ෂණය කර  ඔවුන් මත විශ්වාසය තැබීම ප්‍රධාන හේතු සාධකයක් විය.  එසේම පරිස්සම් සහගතව නොකඩවා උත්සාහ කරමින්  එලෙසම අනවරත වැඩ කිරීමද,  පරෙස්සම් සහගත වියදම් කිරීම්, සේවකයන් කෙරෙහි  කරුණාව හා ආදරය වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පාලනයේදී යොදා ගනු ලැබූ අතර එහි ඵලය වුයේ සමාගම් තවත් දියුණු වීමයි.

ඔහු උල්සන් වෛද්‍ය විද්‍යාලය ගොඩ නගා බොහෝ අයට වෛද්‍ය ආධාරද නොමිලයේ ලබා දීමට මගක් සැලසීය. ඔහුගේ අසාන්  නමැති පදනමින්  රෝහල් නවයක්ම  දකුණු කොරියාවේ ගොඩ නගන ලදී.  එසේම ඔහු තමන් නොලද  අධ්‍යාපනය කොරියානු දරුවන්ට ලබා දෙන්නට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. සින්යෝන්ග් පර්යේෂණ පදනම පිහිටුවා විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සඳහා විශ්ව  විද්‍යාල හා ආයතන වලට මුල්‍යාධාර දෙමින් උදව් කලේය.


ඔහු ගැන කිවූ දේ අතරින් මගේ වඩාත්ම සිත් ගත්තේ මෙන්න මේ කොටසය. කොරියාව දෙකඩ වන විට දෙපසේම ජනතාව යුද්ධ වලින්  බැට කා අන්ත අසරණව ජිවත්වූහ.   දකුණු කොරියාවේ බොහෝ මිනිසුන් ජීවත් වූයේ අනාථයන් සඳහා වූ විශාල පිට්ටනි වල හැදූ කුඩාරම් වලය . මිනිසුන්ට රැකියා  නැත. එනිසා ඔහුගේ සමාගම් වලින් රැකියා සැපයීම ආර්ථිකයේ දියුණුවට  හේතුවක් විය. උල්සාන් නගරය එහි වැසියන් හඳුන්වන්නේ හයිඋන්ඩයි නගරය නමිනි. ඔවුන් ඒ තරමට තමන්ට රැකියා ලබාදුන් සමාගම් සමූහයට උපහාර දක්වති.

නමුත් තවත් බොහෝ දෙනා සිටියේ දිළිඳු බැවින් මිරිකෙමිනි. කොරියානු ජනාධිපතිවරයාට රට ගොඩ නැගීමේ සැබෑ උවමනාවක් තිබුණි. මේ දිනවල  තෙල් ලැබෙන කාලයයි. මේ නිසා එහි රටවල්  විශේෂයෙන් සෞදි අරාබිය, ජෝර්දානය, එක්සත් අරාබි එමීරය ආදී රටවල් වල  බොහොමයක් සංවර්ධන  යෝජනා ක්‍රම දියත් විය. බොහෝ ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය සහ අනිකුත් යුරෝපීය රටවල් මේ රටවල ක්‍රියාත්මක වුවද ඒ කාලයේ ඔවුන් ජනගහනය අඩු කමින් පීඩා වින්දහ. දකුණු කොරියාව වැනි රටවල් ඒ හිඩැස පිරවීමට ඉදිරිපත් වුනි. මේ අනුව කොරියානු සමාගම් සෞදියේ ඉදි කිරීම්  කටයුතු කළහ.

සෞදි රජු විසින් ජුබයිල් වල විශාල වරායක් තැනීමට ටෙන්ඩර් කැඳවීය. ඩොලර් බිලියන් ගණනක් වටිනා මේ වරාය  තැනීම භාර ගතහොත් කොරියන් ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය විශාල ප්‍රාග්ධනයක් සැපයෙයි. ඒ කොරියන් කොම්පැනියට ලැබෙන ලාභය පමණක් නොව කොරියානුවන්ට රැකියා ද ලැබෙන  නිසාය. රැකියා නිසා ලැබෙන සෞදි මුදල් නිසා කොරියාවේ සිටින ඔවුන්ගේ පවුල් වල සාමාජිකයනට හොඳින් ජිවත් වීමට හැකිවනවා පමණක් නොව ආර්ථිකය  දියුණු වීමටද එය බලපාන බව කොරියානු ජනාධිපතිවරයා  වටහා ගත්තේය.

නමුත් ටෙන්ඩරයේ සඳහන් වරාය යෝජනා ක්‍රමය නැරඹීමට ගිය කොරියානු ව්‍යාපාර හිමියන් නොයෙකුත් හේතුන් කියා ටෙන්ඩරය ගැනීමේ අදහස ප්‍රතික්ෂේප  කළහ. වැඩ කිරීමට  නොහැකි තරම් අධික උෂ්ණත්වය  එක හේතුවකි. බීමට හා නෑමට අවශ්‍ය ජල  පහසුව නැතිකම තව එකකි. නිදාගන්නට අවශ්‍ය හොස්ටල් යනාදිය නොමැති වීම තවත්  එකකි. නිතර එන වැලි කුණාටු තවත් එකකි. (මේ හැත්තෑව දශකයයි. මුදල් තිබුනත් ඒ කාලයේ සවුදිය එතරම් දියුණු රටක් නොවේ)

    කොරියානු ජනාධිපතිවරයාට ඉවසුම් නැති විය. අන්තිමේදී ඔහු කතා කළේ අප කථා නායකයා වන චුන් ජූ යුන් ටය.

"ඔබගේ මකුණාගේ කතාව මට කිහිප දෙනෙක්ම කියා තිබෙනවා චුන්. ඔබ මේ වරාය  යෝජනා ක්‍රමය නැරඹීමට යන්න. හොඳින් සොයා බලා එය කළ හැක්කක් දැයි මට කියන්න. මෙවැනි යෝජනා ක්‍රමයක් අපේ රට දිළිඳු කමින් මුදවා ගැනීමට ලොකු පිටුවහලක් වේවි. මේ අය මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කිරමට නොහැකි යයි ඔබ කිවොත් මම පිළි ගන්නම්"
අල් ජුබයිල් වරාය 

සති දෙකක සෞදි චාරිකාවක නිරත වූ චුන් ජූ යුන් නැවත පැමිණි කොරියානු ජනාධිපතිට වාර්තා කලේ මෙසේය.

"සෞදියේ දහවල් කාලයේ වැඩ කිරීමට බැහැ. ඉතා රස්නෙයි. ඒ නිසා අපි රාත්‍රී කාලයේ වැඩ කරමු. වැලි කුණාටු එන නිසා අපේ රටේ  අනාථයන් සඳහා තිබෙන විශාල කුඩාරම් රැගෙන එහි පිහිටුවමු. කොරියානු යුද්ධයේ දී ඉතිරිවූ සොල්දාදුවන් සඳහා භාවිතා කළ යකඩ සැකිලි භාවිතා කර කූඩාරම්  ශක්තිමත් කරමු, එවිට ඒවා කුණාටු වලට ඔරොත්තු දේවි. අපට තෙල් දෙන්නේ සෞදියයි. ඒ එන තෙල් නැව් ආපසු යන්නේ හිස්වය. ඒවාට කොරියාවෙන් වතුර බැරල් පටවා  යවමු. එවිට රැකියා කරන කොරියානුවන්ට  ජල   හිඟයක් ඇති නොවේ. "

මකුණා ගෙන් උගත් පාඩම වූ ලබා ගැනීමට වෑයමක් නොකර යමක්  අත නොහරින චුන් ගේ අදහස වූයේ එයයි.

ටෙන්ඩරය හයිඋන්ඩයි සමාගමට භාර ගත්  චුන් ජූ යුන් ඒ යෝජනා කළ අයුරින්ම රාත්‍රියේ වැඩ කිරීමට කොරියානුවන් යෙදවීය. ජල ප්‍රශ්නයද සාර්ථකව විසඳා තිබුණි. හයිඋන්ඩයි සමාගමට විශාල ලාභයක්ද හිමි විය. මේ 1976 කාලයේය. කොරියානුවන්ට ඉන්පසු දිගින් දිගටම අරාබි රටවල යෝජනා ක්‍රම ලැබුණි.   දකුණු කොරියාව ලබාගත් ඉමහත් ආර්ථික දියුණුවට මේ මැද පෙරදිග යෝජනා ක්‍රම වලින් ගලා එන ධනය  ලොකු පිටුවහලක් වුනි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

මුලාශ්‍ර: https://en.wikipedia.org/wiki/Chung_Ju-yung





Thursday 17 January 2019

සහන් කසීර ගේ නැගෙනහිර ජර්මනිය

ඔබෙහොෆ් 
බුකියේ පළවෙන සහන් කසීර වික්‍රමසිංහ ලියන හුඟක් දේවල්  කියවන කෙනෙක් මම. එයා ලියන බොහොමයක් දේට කැමතිත් එක්ක. ගාල්ලේ  දී පැවැත්වීමට නියමිත  ෆෙයාවේ සාහිත්‍ය  උළෙලේ " සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම් " පිළිබඳව සහන් කසීර  කතා කිරීමටත් නියමිතයි. 

මම අද දැක්ක ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවියේ ලිපියක් පළ කරලා තියනවා සහන් කසීර  වික්‍රමසිංහ. මිහිපිට කිසිවක් අලුත් නොවේ ! කියන  ඒ ලිපියට මේ යොමුවෙන් යන්න පුළුවන්.

  ලිපිය කියවන කොට මට හිතුනේ  ඉඳල හිටලා ගුරුන්ටත් වරදිනවා ඇති කියල. මෙන්න මේ ඡේදයන් දැකලා.

මම මෙය උපුටා ගත්තේ එම වෙබ් අඩවියේ පළවී තිබුන ලිපියෙන්.

//සෝවියට් සංගමයේ බලපෑමෙන් සමාජවාදී පාලනයක් රැගත් නැගෙනහිර ජර්මනිය දිළින්දන්ගෙන් පිරුණු අපායක් ව තිබියදී බටහිර සහාය ලද බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කේතුමතියක් බවට පත්ව තිබිණ.
බර්ලින තාප්පය බිඳ දැමූ පසුව බටහිර කලාපයට පිවිසුණු නැගෙනහිර ජර්මානුවන් එහි සශ්‍රීකත්වය ; නාන කාමර වල සුවපහසුව දැක විස්මයට පත් වූ බව පැවසේ.//

සමහර වෙලාවට ලිපියේ අන්තිමට කියන මේ වාක්‍යයට අනුව,
//මිත්‍රවරුනි ; දේශපාලනික , සංස්කෘතික සහ ආගමික පඹවැල් තුළින් මිනිස් බව තවමත් නිදහස ලබා නැති බව ඔබ වැටහේද ?//  මම තවම ඔය කියන දේශපාලනික පඹ වැල් වලින් නිදහස ලබලා  නැතිව ඇති.

මම දන්නා තරමින් නැගෙනහිර ජර්මනිය දිළින්දන් ගේ අපායක්  බවට පත්වෙලා තිබ්බේ නැහැ. ඒ තර්කයෙන්ම ගත්තොත් ලංකාව තවමත් ඊට වැඩිය දිළිඳුයි. දිළින්දන්ගෙන්  පිරිලා කියල කිව්ව හැකි සමහර පැති. නැගෙනහිර ජර්මනිය කියන්නේ  සමාජවාදී ලෝකයේ වඩා හොඳට තිබ්බ රටවල් කිහිපය අතරින් එකක්. අදත් එහි කුඩා ළමුන්  සඳහා තිබු කෙයාර් හෝම්  පද්ධතිය තවමත් පාවිච්චි වෙනවා. මම එයින් එකකට ගිහිනුත් තිබෙනවා. ළමයින් බලන්නේ උපාධිය  දක්වා උගත් තරුණ ගුරුවර ගුරුවරියන්. ඒ උසස් තත්වය තවමත් එහෙමයි.

අනික් සමාජවාදී රටවල් තමා  හංගේරියාව, යුගෝස්ලාවියාව වගේ ඒවා. බටහිරට හිතවත්ව හිටි රුමේනියාව, ඇල්බේනියාව නම්  දිළින්දන් ගෙන් පිරි තිබු රටවල් . මම රුමේනියාවට ගිහින් තිබෙන නිසා ඇහින් දැක්කා ඒකනම්.

අපි සෝවියට් දේශයේ උගත් කාලයේ බටහිර ජර්මනියට එන්න  කලින් හොඳට මිල අඩුවට ආහාර ගන්නේ නැගෙනහිර බර්ලිනයේ රෙස්ටුරන්ට් වලින්.

උන්ට බටහිර මිනිසුන්ට තරම්  හොඳ ඇඳුම් පැළඳුම් කාර්  තිබ්බේ නැහැ. නමුත් බඩගින්නේ මුකුත් නැතිව හිටි හිඟන්නෝ නම් නෙමෙයි.
බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කොහොම වෙතත් ඇමෙරිකන් මාර්ෂල් ප්ලෑන් එක නිසා ගොඩ ආව රටක්. කොටින්ම ඇමෙරිකන් සල්ලි වලින් නැවත ගොඩ නැංවුන රටක්. බටහිර ජර්මනිය  පින් දෙන්න ඕනේ ඇමෙරිකාවට  ඒකට නම්.

මම ලියපු එක ලිපියක්   තියනවා මෙතන.  වර්තමාන ජර්මනිය එක රටක් වුනත් නැගෙනහිර වාසීන්ට තවම කියන්නේ ඔසී කියල. (ඕස්ට්‍රේලියානුවන්  නොවේ)  මගේ බිරිඳගේ සොයුරිය බැඳලා ඉන්නේ නැගෙනහිර ජර්මන් වැසියෙක්. නම අන්ද්‍රියාස් . ඔහුගේ ගම තුරින්ගියා ප්‍රාන්තයේ කර්ස්දොෆ්. ඔහු  ඔබෙහොෆ් වල ස්කි ජම්පින් කරපු ක්‍රීඩකයෙක්.  අපි නිවාඩුවට සමහර විටෙක  ඔවුන්ගේ තට්ටු හතරක නිවසේ නතර වෙනවා. එම නිවස 1920 හදපු එකක්. නාන කාමර හතරක් තිබෙනවා තට්ටුවට එක ගානේ. ඒවා සහ බටහිර ජර්මනියේ තිබ්බ නාන කාමර වල  වල වෙනසක් නැති බව සහතික කරලා කියන්න පුළුවන්. මොකද එකම වසර වල බටහිර ජර්මනියේත් ඉඳල තිබෙන නිසා.  මේ ගමේ අනිත් නිවෙස් හුඟක් ඒවගේ.

මේ ඒ ගම ගැන ලියපු එකක්.

ධනවාදී රටක සමාජවාදී ගම 


මේ නැගෙනහිර ජර්මනියේ නිවාස ගැන මම ලියු ලිපියක්. සහන්ට කැමතිනම් කියවන්න පුළුවන්.  

මේ ගමේ මගේ බිරිඳගේ තවත් ඥාතිවරියක් ඉන්නන නිසා අපි එහි ගියා. ලස්සන ගමක් නිසා දෙතුන් වරක් ම නැවතී ඉඳල තිබෙනවා  ශීත කාලයේ නිවාඩුවට.  ඥාතිවරියත් ඇය ගේ දරුවනුත් නැගෙනහිර රාජ්‍යය පැවති  සමය පුරා  ජීවත්වූ දෙමහල් නිවස තමයි පින්තූරයේ තිබෙන්නේ. ඔවුන් සහන්  කියන තරම් දිළින්දෝ කියල නම් හිතෙන්නේ නැහැ. නැගෙනහිර ජර්මනිය පැවති  කාලයේ ගත්  පින්තුර පවා තිබෙනවා තවමත්. ඔවුන්ගේ පරණ ට්‍රබන් කාරයේ විනෝද ගමන් ගිය ඒවා හෙම හැත්තෑව අසූව දශකයේ.  ලංකාවට වැඩිය නම් හොඳයි.
නැගෙනහිර ජර්මනියේ තුරින්ගියා වල සූල් සහ එර්ෆුට් කියන නගර දෙකටත් ගිහින් තිඑබෙනවා. නැගනහිර ජර්මන් රජය කාලේ හදපු තට්ටු නිවාස එහි තවම තිබෙනවා. බටහිර ජර්මනියේ කවුන්සිල් (රජයෙන් දෙන) ගෙවල් සහ ඒවා අතර වැඩි වෙනසක් නැහැ. ලංකාවේ ඒ කාලේ තිබුන තට්ටු නිවාස වලට වඩා දෙතුන් ගුණයක් හොඳයි.
  
මේ නැගෙනහිර ජර්මනියේ පුටීන් ගේ භූමිකාව ගැන ලියපු එකක්.
 විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය

හැබැයි එක දෙයක් ඉතා පැහැදිලිව කිව යුතුයි. බටහිර ජර්මනිය කේතුමතියක් වෙන්නේ නාන  කාමර නිසා නම් නෙමෙයි.  නිදහස නිසා. නැගෙනහිර ජර්මනියේ පවත්වාගෙන ගිය  කේජිබි එකේ ගෝලයා වුනු ස්ටාසි ඔත්තු සේවාව නිසා රටම  අපායක්  වෙලා තිබුන සමහරුන්ට. විශේෂයෙන්ම ලේඛකයන්ට, විද්‍යාඥයන්ට අනිකුත් බුද්ධිමතුන්ට.    ස්ටාසි එකට ඔත්තු දුන්නේ නැත්නම් වධ දෙන නිසා. තමන්ගේම යහළුවන් ගැන ඔත්තු දෙන්න බැරි නිසා දිවි  නසාගත් මිනිසුන් හිටිය. මිනිස්සු වෙඩි කාගෙන හරි බටහිරට පැනල ගියේ ආර්ථික සුව පහසුවක් සෙවීමට වඩා නිදහස සොයා .

හැබැයි තවමත් පරණ නැගෙනහිර ජර්මනියට කැමති මිනිසුත් ඉන්නවා. අර ගුඩ්බයි ලෙනින් කියන චිත්‍රපටයේ  කියවෙන්නේ එහෙම  කතාවක්.  කැමති නම් හොයාගෙන බලන්න හොඳ ක්ලැසික් චිත්‍රපටයක්.



අහ්, ලියන්න අමතක වුණා. සවුදි කෙල්ල ගැන කතාවට නම් සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ දෙන පබ්ලිසිටිය දැක්කම සැකත් හිතෙනවා. සම්පුර්ණයෙන්ම අනවශ්‍යයි වගේ.  ඔයාලටත් ජමාල් ඛශෝගී  අමතක වුනාද? නැත්නම් යේමනය.

Wednesday 2 January 2019

නව වසරට කතාවක් - සුභ 2019 නව වසරක් වේවා බ්ලොග් කියවන ලියන ඔබ සැමට

නොයෙකුත් හේතූන් නිසා වසර 2004 අපට හොඳට මතකයි. දේශපාලන කණ්ඩායමක පිපුරුණු බෝම්බයක් නිසා සමහරුන්ට මතකයි.   මට මතක බොක්සින් ඩේ සුනාමිය නිසා. මම හිටියේ ජර්මනියේ  කොබර්ග් නගරයේ. අපි නත්තලට හැම වසරකම වගේ  බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට යන නිසා එදා දෙසැම්බර් 26 දා හිටියෙත් එහෙ. ලන්ඩනයේ ජිවත්වන යාළුවෝ සහ ජර්මනියේ මගේ බිරිඳගේ නෑදෑයෝ එක දිගට කෝල් කරන්න  පටන් ගත්ත.
" ටීවී එක දාන්න "
 "ටීවී එකේ නිව්ස් දාන්න"
"ඔයාගේ ලංකාවේ පවුලට කොහොමද?" වගේ ප්‍රශ්න අහල.   එතකොට තමයි දැන ගත්තේ මුහුද ගොඩ ගලල කියල. දිගින් දිගටම පෙන්නුවේ ගාල්ල ඒ මුල් දවස් කිහිපයේ. මට දිගින් දිගටම කියන්න වුනා අපේ  නෑදෑයෝ හොඳින් ස්තූතියි කියල.  පස්සේ ඉන්දුනීසියාවට වඩා ප්‍රබලව සුනාමිය වැදිලා තියනව කියලත් දැනගත්ත. ලංකාවේ නැගෙනහිර  හා දකුණු වෙරළබඩ පෙදෙස් විනාශ වෙලා.

නිවාඩුවෙන් පස්සේ ලන්ඩනයට ඇවිත් සාගර, ශ්‍රීනාත් , ශාන්ත, මෙන්ඩිස් වැනි  යහළුවෝ කිහිප  දෙනෙක් එක්ක ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියන පදනම පිහිටුවා ගත්ත. මුලින් අපි බඩු  කන්ටේනර් කිහිපයක් යැව්වා ලංකාවට. දකුණේ සහ නැගෙනහිර පාසැල් දෙකක ළමයින්ට  භාණ්ඩ බෙදල දුන්න.
මොනිකා ශාෆර්- ෆෙහ්ර 

ඉන් පස්සේ මව හෝ පියා අහිමි වුන ළමයි විසි ගණනකට ශිෂ්‍යත්ව දෙන්න පටන් ගත්ත ලංකාවේ දකුණේ  විහාරස්ථානයක තිබුන පදනමක් සමග එකතු වෙලා. මේ කතාවට  පාදක වෙන ජර්මන් ජාතික මහාචාර්ය මොනිකා ශාෆර්ෆෙහ්ර Monika Shaffer-Fehre      හඳුනාගන්නේ මේ වකවානුවේ. ඇයට ලංකාවේ ළමයි දෙන්නෙක් ස්පොන්සර් කරන්න  ඕන වුනා. එයින් පස්සේ අපේ පදනමේ නොයෙකුත් ආධාර එකතු කිරීමේ වැඩ වලට 2004 පටන් පහුගිය අවුරුදු 14 මුළුල්ලේ ඇය සහයෝගය දුන්න.

ඇය රැකියාව කලේ ලෝක ප්‍රසිද්ධ උද්භිද උද්‍යානයක් වන  කිව් ගාඩ්න් එකේ, ඇය ශාක වර්ග ගැන ප්‍රසිද්ධ උපදේශකවරියක්. Flora of Ceylon (ශ්‍රී ලංකාවේ ශාක වර්ග )  කියන පොතේ මූලික සම්පාදකවරිය (එම් ඩී දසනායක හා ක්ලේටන් සමග)  ඇය. තවත් පර්යේෂණාත්මක ලිපි බොහොමයක කතෘ. වරක් ඇය ශ්‍රී ලංකාවට යන අපේ යෙහෙළියක අත අන්වීක්ෂයක් යැව්වා ඉගෙන ගන්න දියණියකට. අද ඒ දියණිය ශ්‍රී ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලබා  ඇමෙරිකාවට ඉගෙනීමට ගොස් දැන් ලන්ඩනයේ රැකියාව කරනවා කියල දැන ගන්න ලැබුන.
ඇය එවැනි උදව් බොහොමයක් නිහඬව කර තිබෙනවා. ඇගේ එක හීනයක් වුනේ ලංකාවට නැවත යන්න. වැඩ අධික කමක් ඇගේ  සැමියා මිය යාමත් නිසා එය කර ගන්නට නොහැකි වුනා. (සැමියා මයිකල් ශාෆර් නමැති ඉංග්‍රීසි ජාතිකයෙක්. )
ශාන්ත සමග 

දරුවන් සඳහා ඇයගෙන් දිගටම මුදල් ලැබුනත්  ගිය වසරේ  ඔක්තෝබරයේ  සිට ඇයගෙන් මේලයක් ලැබුනේ නැහැ. එනිසා මම ඊමේල් දෙක තුනක්ම යවා  බලා හිටිය. ඇය විශ්‍රාම  ගොස් නිසා කිව් ගාඩ්න් එකට කතා කර  වැඩකුත් නැහැ කියා හිතුව.

පහුගිය සතියේ ඇගෙන් මේලයක් ලැබුන.

ඇයටත් සැමියාටත් ළමයි නැහැ. ඔවුන් ජිවත් වුනේ දකුණු ලන්ඩනයේ සුවපහසු නිවසක. ඔහු මිය ගිය පසුත් ඇය එහි ජිවත් වුනා. පහුගිය ඔක්තෝබරයේ ඇය නිවසේ ඇද වැටී තිබෙනවා. ලන්ඩනයේ  එක දෙයක් වන්නේ බොහෝ විට මෙහි  ජිවත්වන්නන් අනෙක් අයගේ දේවල් සොයා නොබැලීම හා ඇඟිලි නොගැසීම. අනිත් අයට කරන අපහසුතාවයක්  යයි සිතා  එසේ නොකිරීම එකේ හේතුවක්. එසේම අනුන්ගේ  පෞද්ගලිකත්වයට ගරු කිරීම. සමහර වෙලාවට වෙලාවක් නැතිකම.  ඇය මොබයිල් දුරකතනයක් භාවිතා නොකරන්නියක් නිසා  කිසිම සමාජ ජාලයකත්  නැහැ. "ලින්ක්ඩ් ඉන්" රැකියා ජාලයේ  ඇරෙන්න.  මා සමග ඉඳහිට ඊමේල් හුවමාරු කර ගන්නවා පමණයි.

ඉතින්  ඇද වැටුණු තැනින් නැගිට ගැනීමට නොහැකිව ඇය දින  අටක්ම  නොකා නොබී වතුර පොදක් නැතිව බිම වැතිරී ඉඳල. කාටවත් කියන්න විධිහක් වත් නැහැ. දුරකථනයත් ඈත.  අට වන දවසේදී, ඉඳහිට ඇය ස්වාධින සේවයක යෙදෙන ප්‍රොතෙස්තන්ත නිකායක චැරිටි පදනමේ යහළුවන්  දුරකතනයෙන් අමතලා . පිළිතුරක් නැති තැන පොලිසියට දන්වලා. පොලිසියෙන් ලන්ඩන් ඇම්බියුලන්ස් සේවාව සමග ඇවිත් දොර කඩා ඇතුළු වී තිබෙනවා.පොලිසියට පමණක් නොව  වෛද්‍යවරුන්ටත් යෙහෙළියන්ටත් පුදුමයි  වතුර පොදක් නැතිව දින අටක්  එක තැන වැතිරී මේ කුඩා කාන්තාව ජීවිතය රැක  ගැන්මට සටන් කළේ කොහොමද කියා. පොලිසිය බේරා ගන්න කොටත් ඇය හොඳ සිහියෙන්  ඉඳ තිබෙනවා.   අන්වීක්ෂය රැගෙන ලංකාවට ගිය  ඇය දැන  සිටි මගේ යෙහෙළියක් වන ආශා කිවේ ඇය කරන, කළ හොඳ වැඩ හේතුවෙන් කර්මානුකූලව ඇගේ දිවි බේරෙන්නට එය බලපාන්නට ඇත කියායි. කරුණාවන්ත මේ කාන්තාවගේ සිතේ මානසික ශක්තියත්  බලවත් හේතුවක් වන්නට ඇති.

මමත් අපේ පදනමේ අනිත් අධ්‍යක්ෂකවරයා වන ශාන්තත් වහාම  ඇය බලන්න කෑම බීමත් රැගෙන ඇගේ  නව නිවසට ගියා. ඇගේ නව නිවස තිබෙන්නේ  රෝහලක් ඉදිරිපිට. සැමියා සමග දිවි ගෙවූ නිවස විකුණා ඇය මෙහි පදිංචියට ඇවිත්.එහි වැඩිපුර ඉන්නේ මහලු අය . විදුලි සෝපානද  ඇතිව ඉතා පහසුවෙන් නිම කරන ලද්දක්.  මගේ බිරිඳ සාදා දුන ජර්මන් කෑම බීම ඇය ඉතා කැමැත්තෙන් ආහාරයට ගත්ත.

අද 2019 ජනවාරි පළමුවනදා උදයේම මට දුරකථන ඇමතුමක් දී සුභ පැතුවා ඇය.  ඉතින්  මේ  කාරුණික දිරිය කාන්තාවගේ  කතාවත් සමග මගේ බ්ලොග් අවුරුද්ද පටන් ගන්නයි  අදහස.

මෙතෙක් දවස් මෙය කියවන්නට පැමිණි පාඨක  ඔබ සැමටත් බ්ලොග් ලියන  සේම සින්ඩි පවත්වාගෙන යන සැමටත්  වාසනාවන්ත, සෞඛ්‍ය සම්පන්න, මිල මුදලින් මෙන්ම සතුටින් ද පිරුණු  සුභම සුභ 2019 නව වසරකට ආසිරි පතමි.