Wednesday, 23 January 2019

චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ වික්‍රමය (ටයිකොන්ඩෝ සමුළුවේදී ඇසුණු කතාවක් -)

"අධිෂ්ඨානය විසින් අපරාජිත ව්‍යායාමයන් නිර්මාණ කරයි. සත්‍ය ආශ්චර්යයන්  හෙළිදරව්වට ඇති යතුර එයයි. මිනිසාගේ හැකියාවන් වල නිමක් නැත."-චුන් ජූ යුන්


පහුගිය ඔක්තෝබරයේ අප  ලංකාවට  ගියේ ප්‍රධාන කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි. ඉන්  එකක් වූයේ දරුවන් සහභාගී වූ  ටයෙක්වොන්ඩෝ තරඟාවලියයි. ඉන්පසු මගේ දෙවෙනි පොත වූ  "සියාමා" එලි දැක්වීමයි.

 ටයෙක්වොන්ඩෝ තරඟාවලිය අවසන් වූ  දවසේ එහි ප්‍රධාන   සංවිධායක දුෂාන්ත පෙරේරා සහ අනිත් ගුරුවරු  ටයෙක්වොන්ඩෝ සටන් කිහිපයක්,  කොරියන් නැටුම් ප්‍රදර්ශනයක් සමග කතාබහකුත් සැලසුම් කර තිබුණි. ඒ කතාබහේදී කොරියන් කණ්ඩායමේ ප්‍රධානියාගේ කතාව තදින්ම  මගේ සිත පැහැර ගැනීමට සමත් වුනි. මේ ඒ කතාවයි.

මේ කතාව ඇත්තටම චුන් ජූ යුන් නමැති කොරියානු ව්‍යාපාරිකයා වටා  ගෙතුනකි. ඔහු කොරියාවේ ඉතා ප්‍රසිද්ධ අයෙකි. ඒ හයිඋන්ඩයි (Hyundai) නමැති ලෝකයේ ප්‍රකට ව්‍යාපාර සමූහයේ අයිතිකරු බැවිනි. එම නමින් මෝටර් රථ ඇති නිසා  ඔහු ශ්‍රී ලංකාවට හෝ බ්‍රිතාන්‍යයට ද අමුත්තෙක් විය නොහැකිය.

මේ කතාව  අයින් රෑන්ඩ් (රුසියානු නමින්  අලිසා සිනොවියෙව්නා) පන්නයේ කතාවක් ලෙසද කෙනෙකුට හැඟෙනු ඇත.

කොරියන්  කණ්ඩායම් ප්‍රධානියා කතාව කළේ   ටයෙක්වොන්ඩෝ ක්‍රීඩාව පුහුණු වෙන දරුවන්ට "තම උත්සාහය කිසි විටෙක අත නොහැරිය යුතුය"  වැනි  පණිවිඩයක් දීම සඳහා බව මට සිතුනි.

චුන් ජූ දැන් උතුරු කොරියාව නමින් හඳුන්වන රටේ දරුවන් නම දෙනෙකු ගෙන්  යුත්  ගොවි පවුලක උපන්නෙකි. ඔහුගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒ දිනවල කොරියාව ජපානයට යටත්ව තිබූ  කොලනියකි. චුන් ගේ පියා චුන් බොන්ග්  සික් , තමන්ගේ දරුවන්  තම ගොවිපලේ  වැඩට බොහෝ විට යොදා ගත්තේ වෙනත් විසඳුමක් නොවූ බැවිනි. ඒ පැතිවල බොහෝවිට ළමයි හදන්නේද ගෙදර සහ ගොවිපල වල වැඩට අත් උදව් ගැනීමටය. ඔවුන් ගේ දිවිය වටා බැඳී තිබූ  දිළිඳු කමින් කෙසේ හෝ මිදිය යුතුය යන අදහස ළමා කාලයේදීම චුන්ගේ හිතට ආවේ ගොවිපළේ අමාරු වැඩ වල යෙදී සිටිද්දීය.

චුන් සහ යහළුවෙකු  මුලින්ම කළේ ළඟම  ටවුමේ කැලෑවෙන් එක්කළ ලී අසල නගරයට ගොස් විකිණීමයි. උසස් අධ්‍යාපනයක් ලැබීම සිහිනයක් පමණක් ම වූ ඒ අවධියේ   ඔහුට ඉඩ ලැබුනේ ඔහුගේ සීයා විසින් සංවිධානය කල පාසැලේ තවකාලිකව කුඩා කාලයක් ඉගෙනීමට පමණි. ඉනික්බිතිව ඔහු කරන්නේ ගෙදරින්  පැන යාමය.  වයස අවුරුදු 16 දී චුන් චොන්ජින් නමැති නගරයේ රැකියාවක් සොයා පිටත් වෙයි. චුන් මාස දෙකක් පමණ කොවොන් අතරම තිබූ නගරයක  වැඩ බිමක රැකියාවක් සොයා ගනී.

මෙය දැඩි වෙහෙස දනවන අමාරු රැකියාවක් විය. හරියකට කෑමක්,  නෑමක් නොමැතිව මකුණන් ගහණ බූරු ඇඳන් වල ගතකල නිදි වර්ජිත රාත්‍රීන් බොහොමයක් විය .කුසට හරියට නොකා නිදා ගත්තත් මකුණන් ගෙන් එන ගැහැට ඔහුට කෙසේවත් ඉවසන්නට නොහැකි විය. බේරෙන්නට  මොනවා කළද එය හරි ගියේ නැත. වරෙක බූරු ඇඳ එළියේ සීතලේ තබාගෙන නිදා හිටියත්, දවල්ට  ගිනි අව්වට දමා තිබුනත් රාත්‍රියට අනිවාර්යයෙන්ම මකුණන් ගේ ආගමනය සිදු විය. අවසානයේ බූරු ඇඳ පසෙකට ලා  චුන්  ශාලාවේ තිබූ මේසයක උඩ නිදා ගනී.  පොරවගන්නා  රෙදිකඩ පවා සෝදා වේලා ගෙන සුවසේ නිදාගන්නට සිතා සිටියත් රාත්‍රියේ  මකුණුවන්ගේ ප්‍රහාරයෙන්   චුන්ට  ඇහැරේ. ඔහු  දකින්නේ පුදුමාකාර දෙයකි. අනික් ඇඳන් වලින් පැන බිත්තිය දිගේ වහලට එන මකුණෝ එකින් එකා  මේසේ සිටිනා  චුන් ගේ  ඇඟ උඩට පනින්නේ  කොමාන්ඩෝ භටයන්  ලෙසය.

දෙමසකට පමණ පසු චුං ගේ පියා ඔවුන් සිටින තැන සොයා පැමිණ චූන් ට බැණ අඬගසා නැවත නිවසට රැගෙන යයි. ඔහුට නැවතත් පරණ ආකාරයටම පියාගේ ගොවිපළේ  වැඩ කිරීමට සිදුවේ.  නමුත්  චුන් ට මකුණන්ගේ  වික්‍රමය අකිසි ලෙසකින්වත් මතක නොවේ. කොපමණ පුංචි සතෙක් වුවත් මකුණන්  තම  උත්සාහය  අත් නොහරී. චුන් සිතුවේ මකුණන් ඔහුන්ගේ ඇඟේ ලේ බීමට එන කාරණය  නොව මකුණාගේ අප්‍රතිහත ධෛර්යය ගැනය.

තවත් වසරක් පියාගේ ගොවිපලේ වැඩ කරන චුන් පවුලට තමාගෙන් ඉටු විය යුතු කාර්යයන් අවසන්  කර ගොවිපලේ එළදෙනක්ද විකුණා මුදල් සොයාගෙන සියෝල් නුවරට පැමිණේ. එවිට චුන්ට වයස 18 කි. බිල්ඩින් වැඩ වැනි වෙහෙසකර රැකියා කිහිපයකට පසු ඔහු ගිණුම් ලිපිකරුවෙකු ලෙස රැකියාවක් සොයාගනී. ඉන්පසු මුදල් ඉතිරි කර සහල් විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළත් දෙවන  ලෝක යුද්ධ සමයේ ජපනුන් අල්ලා ගැනීම නිසා එය අවසන් වේ.. වයස 24 දී වාහන අලුත්වැඩියා කරන සමාගමක් ජපන් වැසියෙක් සමග සහයෝගයෙන් පටන් ගත් නමුත් අවසානයේ එය ජපන්නුන්ටම  විකිණීමට සිදුවෙයි.

මින් පසුබට නොවෙන චුන්  කාර් මැනුවල් පොත්,  ව්‍යාපාරික පත්‍රිකා ආදිය කියවමින්  තනියම ඉගෙනීමේ යෙදෙයි. යහළුවන්ගෙන් ඉගෙනීම සඳහා රාත්‍රී පන්ති වලටද සහභාගී වෙයි. මේ කාලයේදී ඔහු වාහනයක් නිෂ්පාදනය සඳහා නිර්මාණය කළ සැලසුමක් හොන්ඩා (ජපාන) සමාගමට ඉදිරිපත් කරයි. එය වැඩි ගණනකට නොගෙනම  ප්‍රතික්ෂේප  වුවත්  මේ මිනිසා එයින් නොසැලේ.  දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවාත් සමගම ඔහු හයිඋන්ඩයි මෝටර් වාහන කර්මාන්ත ශාලාව හා සමාගම  පිහිටුන්නේය. ඒ සමගම 1946 දී  හයිඋන්ඩයි සිවිල් කර්මාන්ත සමාගමද එකවර පිහිටුවයි.

ඇමෙරිකන් හමුදාවෙන් මෙන්ම කොරියන් රජයෙන්ද ලැබෙන කොන්ත්‍රාත්තු නිසා දිගින් දිගටම ඔහුගේ සමාගම් දියුණු වේ. මහා මාර්ග (motor way ) සෑදීම සඳහා කොන්ත්‍රාත්  කොරියාවේ හා තායිලන්තයේ ගිවිසුම් ලබා ගැනීමට ඔහු සමත් වෙයි. එසේම නැව් නිපදවන නාවික තටාක අංගනයක්  (ඩොක්යාඩ් එකක්)  උල්සන් වල නිම කිරීමට  ඔහු සමත්වෙයි. එය ඒ දිනවල ලෝකයේ විශාලතම නෞකා නිපදවන නෞකාංගනය වේ. න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් 1970 දී ගොඩනගන ඔහුගේ සමාගම් අතරට රසායනික මූලද්‍රව්‍ය නිපදවන කම්හල් ද එක්වේ.  ෆෝඩ් සමාගම සමග එකතුව ඔහු ගේ මෝටර් රථ නිපදවන සමාගම  පළමු මෝටර් රථය වන කෝටිනා නිපදවන්නේ 1968 දීය. එම සමාගමම 1986 දී පෝනි එක්සෙල් නමැති රථය තනිවම නිපදවනු ලබයි.

උතුරු-දකුණු කොරියන් යුද්ධය පටන් ගන්නේ 1950 වසරේදීය. ඔහු බසාන් වලින් පැන සියෝල් වලට නැවතත් පැමිණේ. ඔහුගේ සමාගම් තව තවත් දියුණු වෙද්දී අලුතින් බිහිවූ උතුරු කොරියාවට වරෙක  එළදෙනුන් දහසක් පමණ පරිත්‍යාග කරන්නේ එහි ජීවන තත්වය නගා සිටවිමට දායක වන්නටය.  උතුරු කොරියාව සමග කතාබහක් ඇරඹීම සඳහා ප්‍රථම අඩිතාලම දැම්මේද ඔහුය. ඔහු සාමාන්‍ය ධනපතියෙකුට වඩා වෙනස් වන්නේ සමාගම් වල පාලන ශෛලිය සහ අනිකුත් අයට උදව් කිරීම මතය. හයිඋන්ඩයි සමාගමේ දියුණු වීමට, පාලනයේදී දක්ෂයන් තෝරා ඔවුන් වැඩ කරන සැටි නිරීක්ෂණය කර  ඔවුන් මත විශ්වාසය තැබීම ප්‍රධාන හේතු සාධකයක් විය.  එසේම පරිස්සම් සහගතව නොකඩවා උත්සාහ කරමින්  එලෙසම අනවරත වැඩ කිරීමද,  පරෙස්සම් සහගත වියදම් කිරීම්, සේවකයන් කෙරෙහි  කරුණාව හා ආදරය වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පාලනයේදී යොදා ගනු ලැබූ අතර එහි ඵලය වුයේ සමාගම් තවත් දියුණු වීමයි.

ඔහු උල්සන් වෛද්‍ය විද්‍යාලය ගොඩ නගා බොහෝ අයට වෛද්‍ය ආධාරද නොමිලයේ ලබා දීමට මගක් සැලසීය. ඔහුගේ අසාන්  නමැති පදනමින්  රෝහල් නවයක්ම  දකුණු කොරියාවේ ගොඩ නගන ලදී.  එසේම ඔහු තමන් නොලද  අධ්‍යාපනය කොරියානු දරුවන්ට ලබා දෙන්නට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. සින්යෝන්ග් පර්යේෂණ පදනම පිහිටුවා විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සඳහා විශ්ව  විද්‍යාල හා ආයතන වලට මුල්‍යාධාර දෙමින් උදව් කලේය.


ඔහු ගැන කිවූ දේ අතරින් මගේ වඩාත්ම සිත් ගත්තේ මෙන්න මේ කොටසය. කොරියාව දෙකඩ වන විට දෙපසේම ජනතාව යුද්ධ වලින්  බැට කා අන්ත අසරණව ජිවත්වූහ.   දකුණු කොරියාවේ බොහෝ මිනිසුන් ජීවත් වූයේ අනාථයන් සඳහා වූ විශාල පිට්ටනි වල හැදූ කුඩාරම් වලය . මිනිසුන්ට රැකියා  නැත. එනිසා ඔහුගේ සමාගම් වලින් රැකියා සැපයීම ආර්ථිකයේ දියුණුවට  හේතුවක් විය. උල්සාන් නගරය එහි වැසියන් හඳුන්වන්නේ හයිඋන්ඩයි නගරය නමිනි. ඔවුන් ඒ තරමට තමන්ට රැකියා ලබාදුන් සමාගම් සමූහයට උපහාර දක්වති.

නමුත් තවත් බොහෝ දෙනා සිටියේ දිළිඳු බැවින් මිරිකෙමිනි. කොරියානු ජනාධිපතිවරයාට රට ගොඩ නැගීමේ සැබෑ උවමනාවක් තිබුණි. මේ දිනවල  තෙල් ලැබෙන කාලයයි. මේ නිසා එහි රටවල්  විශේෂයෙන් සෞදි අරාබිය, ජෝර්දානය, එක්සත් අරාබි එමීරය ආදී රටවල් වල  බොහොමයක් සංවර්ධන  යෝජනා ක්‍රම දියත් විය. බොහෝ ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය සහ අනිකුත් යුරෝපීය රටවල් මේ රටවල ක්‍රියාත්මක වුවද ඒ කාලයේ ඔවුන් ජනගහනය අඩු කමින් පීඩා වින්දහ. දකුණු කොරියාව වැනි රටවල් ඒ හිඩැස පිරවීමට ඉදිරිපත් වුනි. මේ අනුව කොරියානු සමාගම් සෞදියේ ඉදි කිරීම්  කටයුතු කළහ.

සෞදි රජු විසින් ජුබයිල් වල විශාල වරායක් තැනීමට ටෙන්ඩර් කැඳවීය. ඩොලර් බිලියන් ගණනක් වටිනා මේ වරාය  තැනීම භාර ගතහොත් කොරියන් ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය විශාල ප්‍රාග්ධනයක් සැපයෙයි. ඒ කොරියන් කොම්පැනියට ලැබෙන ලාභය පමණක් නොව කොරියානුවන්ට රැකියා ද ලැබෙන  නිසාය. රැකියා නිසා ලැබෙන සෞදි මුදල් නිසා කොරියාවේ සිටින ඔවුන්ගේ පවුල් වල සාමාජිකයනට හොඳින් ජිවත් වීමට හැකිවනවා පමණක් නොව ආර්ථිකය  දියුණු වීමටද එය බලපාන බව කොරියානු ජනාධිපතිවරයා  වටහා ගත්තේය.

නමුත් ටෙන්ඩරයේ සඳහන් වරාය යෝජනා ක්‍රමය නැරඹීමට ගිය කොරියානු ව්‍යාපාර හිමියන් නොයෙකුත් හේතුන් කියා ටෙන්ඩරය ගැනීමේ අදහස ප්‍රතික්ෂේප  කළහ. වැඩ කිරීමට  නොහැකි තරම් අධික උෂ්ණත්වය  එක හේතුවකි. බීමට හා නෑමට අවශ්‍ය ජල  පහසුව නැතිකම තව එකකි. නිදාගන්නට අවශ්‍ය හොස්ටල් යනාදිය නොමැති වීම තවත්  එකකි. නිතර එන වැලි කුණාටු තවත් එකකි. (මේ හැත්තෑව දශකයයි. මුදල් තිබුනත් ඒ කාලයේ සවුදිය එතරම් දියුණු රටක් නොවේ)

    කොරියානු ජනාධිපතිවරයාට ඉවසුම් නැති විය. අන්තිමේදී ඔහු කතා කළේ අප කථා නායකයා වන චුන් ජූ යුන් ටය.

"ඔබගේ මකුණාගේ කතාව මට කිහිප දෙනෙක්ම කියා තිබෙනවා චුන්. ඔබ මේ වරාය  යෝජනා ක්‍රමය නැරඹීමට යන්න. හොඳින් සොයා බලා එය කළ හැක්කක් දැයි මට කියන්න. මෙවැනි යෝජනා ක්‍රමයක් අපේ රට දිළිඳු කමින් මුදවා ගැනීමට ලොකු පිටුවහලක් වේවි. මේ අය මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කිරමට නොහැකි යයි ඔබ කිවොත් මම පිළි ගන්නම්"
අල් ජුබයිල් වරාය 

සති දෙකක සෞදි චාරිකාවක නිරත වූ චුන් ජූ යුන් නැවත පැමිණි කොරියානු ජනාධිපතිට වාර්තා කලේ මෙසේය.

"සෞදියේ දහවල් කාලයේ වැඩ කිරීමට බැහැ. ඉතා රස්නෙයි. ඒ නිසා අපි රාත්‍රී කාලයේ වැඩ කරමු. වැලි කුණාටු එන නිසා අපේ රටේ  අනාථයන් සඳහා තිබෙන විශාල කුඩාරම් රැගෙන එහි පිහිටුවමු. කොරියානු යුද්ධයේ දී ඉතිරිවූ සොල්දාදුවන් සඳහා භාවිතා කළ යකඩ සැකිලි භාවිතා කර කූඩාරම්  ශක්තිමත් කරමු, එවිට ඒවා කුණාටු වලට ඔරොත්තු දේවි. අපට තෙල් දෙන්නේ සෞදියයි. ඒ එන තෙල් නැව් ආපසු යන්නේ හිස්වය. ඒවාට කොරියාවෙන් වතුර බැරල් පටවා  යවමු. එවිට රැකියා කරන කොරියානුවන්ට  ජල   හිඟයක් ඇති නොවේ. "

මකුණා ගෙන් උගත් පාඩම වූ ලබා ගැනීමට වෑයමක් නොකර යමක්  අත නොහරින චුන් ගේ අදහස වූයේ එයයි.

ටෙන්ඩරය හයිඋන්ඩයි සමාගමට භාර ගත්  චුන් ජූ යුන් ඒ යෝජනා කළ අයුරින්ම රාත්‍රියේ වැඩ කිරීමට කොරියානුවන් යෙදවීය. ජල ප්‍රශ්නයද සාර්ථකව විසඳා තිබුණි. හයිඋන්ඩයි සමාගමට විශාල ලාභයක්ද හිමි විය. මේ 1976 කාලයේය. කොරියානුවන්ට ඉන්පසු දිගින් දිගටම අරාබි රටවල යෝජනා ක්‍රම ලැබුණි.   දකුණු කොරියාව ලබාගත් ඉමහත් ආර්ථික දියුණුවට මේ මැද පෙරදිග යෝජනා ක්‍රම වලින් ගලා එන ධනය  ලොකු පිටුවහලක් වුනි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

මුලාශ්‍ර: https://en.wikipedia.org/wiki/Chung_Ju-yung





22 comments:

  1. අපූරු කතාවක් නේ! මකුනාගේ කතාව!! මුළු ලොවටම වැදගත් කතාවක්!!!. "අධිෂ්ඨානය විසින් අපරාජිත ව්‍යායාමයන් නිමානය කරයි. .සත්‍ය ආශ්චර්යය හෙළිදරව්වට ඇති යතුර එයයි. මිනිසාගේ හැකියාවන් වල නිමක් නැත."-චුන් ජූ යුන්" නැවත උපුටා දක්වමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , කතාව ඇහුවම මටත් හිතුන ඒක . අනික ඇත්ත කතාවක් නිසා බර වැඩියි

      Delete
  2. කොරියාවේ උන් එහෙමවුනාට ලංකාවේ අපි එහෙම වෙන්නේ නෑ. ණයට කාලා ණය ගෙවන්න ණය ගන්න ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි.

    ReplyDelete
    Replies
    1. ලංකාව ඉස්සරට වඩා දියුණුයි, අධෛර්ය වෙන්න එපා. හොඳ දේශපාලකයෝ ටිකක් පත කර ගන්න කොරියන් ජනාධිපති වගේ වැඩේ ගොඩ

      Delete
    2. හා හොඳයි අපි ලංකාවට හොඳ දේශපාලකයින් ටිකක් පත්කරගන්නම් එක ඔහෙලට අදාලා නෑනේ. ඔහේ ගේ උපදෙස් අපට අවශ්‍ය නෑ එකට .

      Delete
    3. උපදෙස් බලෙන් ගන්න ඕනේ නැහැ. ගන්න කට්ටිය ගනී. ඔයා පැත්තකට වෙලා ඉන්න මෙයා.

      Delete
  3. රජකම වෙනුවෙන් හත් වරක් සටන් වැදුණු වලගම්බා සහ ඔහු සම්බන්ධ මකුළුවාගේ කතාව මේ හා සමානයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් මට මතක නැහැ. ලින්ක් එකක් තියේද?

      Delete
    2. Actually, Robert the Bruce of Scotland.

      https://www.scotclans.com/scotland/scottish-myths/royal-legends/bruce-spider/

      Delete
  4. අපේ බොස් ඈ! <3 <3 යුන්දෙයි (H සයිලන්ට්) එහෙමයි Hyundai කියන එක වර නගන්නේ.. තැන්කියු පෝස්ට් එකට.. ප්‍රින්ට් එකක් අරන් ස්ටාෆ් එකට බෙදන ගමන්..

    ReplyDelete
    Replies
    1. කොරියන් මනුස්සය තමා ඔය විධිහට හයිඋන්ඩයි කියල කිව්වේ.
      // ප්‍රින්ට් එකක් අරන් ස්ටාෆ් එකට බෙදන ගමන්..// මේ ඇත්තටම කීවද නැත්නම් නක්කියටද

      Delete
    2. අපේ කොරියන් ඉන්ජෙක් කියල දුන්න විදිහ "හුන්දෙ⁣ය" කියල උන් කියන කොයිකත් තේරැම් ගන්න හරි අමාරැයි 🙂

      වැඩි විස්තර අහගන්න බැරිව ගියා අපේ එකෙක් බලුමස් රෙසිපි අහල ඌ අපිත් එක්ක තරහ උන නිසා 😕

      Delete
    3. https://www.bbc.co.uk/news/blogs-magazine-monitor-25813198
      It depends where you are, says Jo Kim, a linguist and Korean specialist at the BBC Pronunciation Unit. The original Korean pronunciation is closest to HYUN-day (-hy as in Hugh, -u as in bun, -ay as in day, stressed syllables shown in upper case). Hyundai UK, including its adverts, has a different way of saying it: high-UUN-digh (-igh as in high, -uu as in book, British anglicisation).

      Delete
    4. "හුන්දෙ⁣ය" හුන්දෙයි කියල කොරියන් අය කියනවා

      Delete
    5. 'හ' යන්නට යංසය දාල හියුන්දෙයි (ඒක ටයිප් කරන්න බෑ - අර පස් ජාතියක් තියෙන්නේ හියුමස් ද මොනවද කියල අන්න ඒක හරියට ලියන්නත් බෑ මේකේ..) :) :D කියලත් කියවෙනවා.. ඒත් ගොඩක්ම වෙලාවට H සයිලන්ට්.. මෙහෙ තව කොරියන් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි එකක් තියෙනවා Keangnam කියල.. ඒක අපි කියන්නේ කියංනෑම් කියල.. ඒ උනාට කොරියන් උන් කියන්නේ ජොන්නාම් කියල.. සිරාවට ප්‍රින්ට් අරං දුන්න ස්ටාෆ් එකේ කීප දෙනෙකුටම කියවපියව් කියල..

      Delete
  5. සමාජවාදය යනු මේ අනුව මරණය තරමට ම ප‍්‍රබල සහජාසයක් වන්නේ එය මිනිසා මරණය කරා යන ගමන අන් මඟකට යොමු කිරීමට (Detour) තරම් ප‍්‍රබලත්වයක් එය සතුව ඇති හෙයිනි. එනම් එයට මිනිසා අමරණීයත්වය දක්වා ද රැගෙන යා හැකිය. එසේනම් මිනිසාට අනේකත්වය මුණ ගැසෙන මොහොතේ එම අනේකත්ව වස්තුව සමඟ සමාජවදී පැටලීමක් ඇති වීම වැළැක්විය හැක්කේ කෙසේද? රුසියානු මාක්ස්වාදී ලේඛකයෙක් වූ අන්ද්‍රේ ප්ලැටනොව් විසින් 1926 වසරේ ලියන ලද නමුත් ඔහුගේ ජීවිත කාලය තුළ දී පළ නොකරන ලද The Anti Socalisit නම් ලියවිල්ල උපුටා දක්වමින් ඇලෙන්කා සුපැන්ජිත් මෙසේ පෙන්වා දෙයි.

    ‘ප්ලැටොනොව් විසින් ධනවාදී අලෙවිකරණ දැන්වීමක් සඳහා ලියන ලද අනෙකා මුණගැසීමේදී මිනිසා තුළ ඉස්මතු විය හැකි දේශපාලනික උද්දීපනය නිත්‍යානුකූල සම්පන්න ලෙස සහ කාර්යක්ෂමව මැඩ පැවැත්විය හැකි විද්‍යුත් චුම්බන උපකරණය පිළිබඳ කෙටි සටහන ඔස්සේ පිරිමින් සහ ගැහැනුන් යන කොට්ඨාස දෙකේම දේශපාලනික පේ‍්‍රරණ තනි තනිවත් සාමූහිකවත් මෙමගින් පාලනය කළ හැකිය. ‘

    ප්ලෙටොනව් ඉහත ලියවිල්ලේ කුමන පාර්ශ්වය නියෝජනය කරනවා ද යන්නට වඩා වැදගත් වනේනේ ඉහත ලිපියේ මුහුණත වටිනාකම සැලකිල්ලට ලක් කිරීම බව පෙන්වා දෙන සුපැන්ජිත් මෙහි දැක්වෙන පූර්ව උපකල්පනවල ඇති ගැටලූකාරී බව ඉස්මතු කරයි.
    මුල්ම ප්‍රොබ්ලමැතිකය නම් අජිත් ධර්ම මහතා හට පුරෝකතනය කළ නොහැකි අනේකත්වයක ඇති පැවැත්ම මේ තුළින් අනෙකා අවිශ්වසනීය තැනකට (මිනිස් පැවැත්ම) පත්වීමයි. විශේෂයෙන්ම ස්වච්ඡන්දතාව සහ ධනවාදී බව විශ්වාස කිරීම ඔස්සේ අනෙකා සමඟ අප ගොඩනගන සම්බන්ධතාවයේ කොන්දේසි ආර්ථිකය සමඟ මුසුව පැවතීම අර්බුද ජනනය කරන දෙයක් ලෙස ගැනීම සමාජ සම්බන්දතාවලට සතුරු ලෙසින් සමාජවාදය පිහිටුවා ගැනීමක් වන බව සුපැන්ජිත්ගේ අදහසයි.

    අජිත් ධර්ම මහතා ඉහත ලිපියේදී දකුණු කොරියාවේ ධනවාදය උලුප්පාදමිමින් කතා කලත් ඔහුට අමතක වී ඇත්තේ සවුදි අරාබියේ දිවිදුන් කම්කරුවායි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , පිළිතුරක් පහත ඇත

      Delete
  6. පළමුවෙන්ම Alenka Zupančič ස්ලවේනියන් ඉන්දියන් නෙමේ, එයාගෙන නම අලෙන්කා සුසන්ජිච් වගේ ඇහුනට සුසන්චිච් . ජිත එකක් නැහැ. ඕකේ ඒ හඳ ගැන. දැන් ඇඟිල්ල ගැන කතා කරොත් , සමාජවාදයට වැරදුන තැන් තමා උතුරු කොරියාව , කියුබාව සහ සමහර නැගෙනහිර යුරෝපීය බලෙන් තබාගත් සමාජවාදී රටවල්. දකුණු කොරියානු ධනවාදය දියුණු නොවී එහි සමාජවාදයක් හැදෙන්න නැහැ. මාක්ස්ට අනුව. උතුරු කොරියාවේ ඒ වෙනුවට හැදුනේ නැගෙනහිර ජර්මනිය වගේ විකෘති දරුවෙක්. සවුදි අරාබියේ කොරියානු කම්කරුවන් දිවි දුන් බවක් මම නම් අහල නැහැ. කොරියානුවන් කුඩාරම් වල කොරියාවේ කන්න නැතිව මැරෙද්දි දුක් විඳින කොට තමයි ඔවුන්ට අරාබියේ රැකියා ලැබුනේ. උතුරු කොරියානු සමාජවාදය රැකුණේ ඒ ළඟ තිබු චීනය හා සෝවියට් දේශය නිසා. දැන් රැකෙන්නේ චීනය හා පුටින් නිසා. සයිබීරියාවේ ගස් කපන්න ගිහින් මැරුණ කොරියානු කම්කරුවන් ගැන දන්නවද ? ධනවාදයේ සැබෑ දියුණුවකින් හා ප්‍රගතිශීලි වෙනස් කිරීම් වලින් තොරව දුප්පතුන්ගෙන් තනිකරම සමන්විත රටක සමාජවාදය පිහිටුවන්න බැහැ . එහෙමෙ නම් ආයිත් චීනයක් තමයි හදන්න වෙන්නේ. තනි පක්ෂ ධනවාදය

    ReplyDelete
  7. https://www.dailydot.com/unclick/bedbug-tips-tricks-online-forums/

    ReplyDelete
  8. කලින් අහලා නැති කතාවක්.

    ReplyDelete
  9. නොදැන හිටි දෙයක් දැනගත්ත බොහොම ස්තූතියි !

    ReplyDelete
  10. නොදැන හිටි තොරතුරක්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .