Monday 25 February 2019

මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග

මහේෂ් හපුගොඩ ගේ "මගේ ලෝකයෙන් පසු ලෝකය " කෘතිය පිලිබඳව පැවති  සංවාදයේ සියළුම කතා ඇසුවෙමි.  මහේෂ් හපුගොඩ ගේ හෝ දීප්ති කුමාර ගුණරත්න ගේ කතාවේ මූලික හරයන්ට මගේ කිසිදු විරෝධතාවයක් නැත. නමුත් මේ රැස්වීමේ මුඛ්‍ය   පරමාර්ථයක්  වන්නේ ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකය කෘතිය (මා කියවා නැත) ගැන සාකච්ඡාව හා ඔහු ජාතිකවාදයට නැඹුරු වීමේ හේතුවක් විග්‍රහ කිරීමට නම් එය එතරම් සාර්ථක වී නැත යනු මගේ අදහසයි.

මහේෂ් හපුගොඩ ගේ  "භක්තිය යනු දෙවියන්ගෙන් ‘නිදහස්’ වීමට ඇති හොඳම මාර්ගය වන්නේ ය" ලිපියේ මෙවැන්නක් සඳහන් වෙයි.
"එසේ නම් බටහිර ට ගොස් විද්‍යාඥයෙක් වීමට මුලපිරූ නලින් ද සිල්වා ‘මට බටහිර අරුතකින් විද්‍යාඥයෙක් විය නොහැකි’ (IMPOSSIBLE) බවට ඒත්තු ගනිමින් මෙරටට නැවත පසු බසින විට අනූව දශකයේ දීප්ති කළේ කුමක්ද? ඔහු කලේ බටහිර දියුණු මතවාද ලාංකික පොළොව මත පැල කිරීමට උත්හාස කිරීමයි (IMPOSSIBLE INTO POSSIBLE). එසේ නම් ‘අනූව දශකයේ යමක් සිදු වී ඇත’ යන ප්‍රවාදය සත්‍යයකි. නලින් යථාවට බිය වූ බව අප කියන්නේ ඒ නිසාය. "

සැබවින්ම ආචාර්ය නලින් ද සිල්වා යථාවට බිය වූයේද? මගේ අදහස නම් යථාවට බිය වූයේ එවකට තිබූ පරණ (කොප, ලසසප)  හා ඒ කාලයේ පිබිදී ආ නව වාමාංශය (ජවිපෙ) යන්නයි. දීප්තිට බටහිර මතවාද (හේගල්, ලැකාන් ගේ සිට ජිජැක් දක්වා ) ලංකාවේ පැල කිරීමට අවකාශයක්  බිහිවුනේ එනිසාය. කොටින්ම නලින්ද සිල්වා සහ ගුණදාස අමරසේකර ජාතික චින්තනයට යෑමෙන් නොදැනුවත්වම හෝ ඔවුන් බිහි කළ අවකාශය නිසාය.

මම එය මෙසේ පැහැදිලි කරමි. ගුණදාස අමරසේකර මහතා ද මට මතක විධිහට මුලින්  තරමක් දුරට වාමාංශික අදහස් තිබූ අයෙකි.  එය නලින් ද සිල්වා මහතාගේ තරම් දැඩිව පැන නැගුනක් නොවේ.  මාලින්ද සෙනෙවිරත්න ගේ ලිපියකට අනුව ආචාර්ය නලින් ද සිල්වා මහතා අමරසේකර ගේ "ධර්මපාල තුමා මාක්ස්වාදියෙක් ද" කෘතිය තදබල විවේචනයකට ලක් කොට ඇත.

අපේ තරුණ වයස අප පසු කලේ ගුණදාස අමරසේකර ගේ "යලි උපන්නෙමි", "කරුමක්කාරයෝ ", "අසත්‍ය කතාවක් " මෙන්ම මාර්ටින්  වික්‍රමසිංහ ගේ "සත්ව සන්තතිය " ආදී ග්‍රන්ථ  කියවමිනි. මේවා අපට සමාජය මෙන්ම  දැනුමද ප්‍රශ්න කරන්නට කියාදුන් පොත් පත්ය.  මට ඉතා හොඳින් මතක ලිපි පෙළක් ආචාර්ය නලින්ද සිල්වා දිවයින පුවත්පත ට ලියුවේය.  උපාලි විජේවර්ධන ජිවතුන් අතර සිටි ඒ කාලයේ  (ඔහු අතුරුදහන් වුනේ  '83 පෙබරවාරි වලය) එම පුවත්පත අද තරම් අතිශය ජාතිවාදී නොවූ තරමක් දුරට හොඳ විද්වත් ලේඛකයන්ගෙන් පිරුණු එකක් විය. මට මතක විධිහට නලින් ද සිල්වා මහතා  සෝවියට් කඳවුරේ "සමාජවාදී පන්තිය " ගැන කියුවේද මේ ලිපි පෙළ තුලය. නිලධාරී පෙලැන්තිය  සමාජවාදී පන්තියක් ලෙස නම් කළ නොහැකි වුනත් එදා ඔහුගේ අදහස් වටිනා ඒවා විය.

ඔහුගේ ගණිතමය දැනුම,  අභ්‍යවකාශ තාරකා විද්‍යාව හා ක්වන්ටම් භෞතිකය පිලිබඳ දැනීම විසින් එංගල්ස් ගේ "ඓතිහාසික භෞතිකවාදය " ප්‍රශ්න  කිරීම සඳහා ඔහුව පොළඹවන්නට ඇත.   එංගල්ස්  "ඓතිහාසික භෞතිකවාදය " ග්‍රන්ථයේ  ඉදිරිපත් කරන විද්‍යාව සම්බන්ධව හා තාරක විද්‍යාව   සම්බන්ධ  කරුණු සියල්ලම වාගේ යල් පැන  ගිය ඒවා වුවත් ඒවා දේවත්වයේ ලා සැලකීමම ඔහුටද ප්‍රශ්නයක් වන්නට ඇත. එංගල්ස් පොත ලියන විට ලෝකයා දැන  සිටියේ එක මන්දාකිණියක් එනම් සෞර ග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීර පථය ගැන පමණකි. එංගල්ස්  සඳහන්  කරන්නේ එපමණකි. එසේම පරිණාමවාදය පිලිබඳ ඉමහත් ප්‍රීතියට පත්ව මාක්ස් විසින් ප්‍රග්ධනයේ දෙවෙනි වෙළුම ඔහුට පුදන්නට කැමති වුවද ඩාර්වින් මාක්ස් ට ලිපි ලියා නැත. (එක ලිපියක් හැර)

එංගල්ස් උදම් ඇනුවේ සත්ව සන්තතියේ පරිණාමය ඩාර්වින් ඉදිරිපත් කල ලෙසටම මාක්ස්  මිනිස් සංහතියේ පරිණාමය ඉදිරිපත් කල බව පවසමිනි.  ඓතිහාසික භෞතික වාදය තුල එංගල්ස් තර්ක කළේ  එකල දැන  සිටි සීමිත විශ්වයේ (මන්දාකිනියේ) පරිණාමය හදාරමින්  ලෝකයේ පරිණාමය ද ඒ අනුව විග්‍රහ කල හැකි බව කියමිනි. නමුත් අප දැන් දන්නේ මේ පරිණාමය හුදු අහම්බයක් පමණක් බවයි. නමුත් ඒ අහම්බය අපට භෞතික විද්‍යා නියමයන් ඇසුරින් පැහැදිලි කරවා ගත හැකිය.

මහේෂ් හපුගොඩ සිතන්නේද එංගල්ස් ගේ පොත සර්ව සම්පුර්ණ එකක් කියාද?

පසු කාලයක පෙරටුගාමී සමාජවාදීන් ජවිපෙන් කැඩී යාමට ප්‍රථම පුබුදු ජයගොඩ ප්‍රමුඛ විශ්ව විද්‍යාල සිසුන් විසින් ක්වන්ටම් භෞතිකය ගැන පොතක් ලියා තිබුණි. මට මතක විධිහට එහි නම "ක්වන්ටම් ලෝකයේ දයලෙක්තිකය" වැනි එකකි. එහි අවසානයේ ක්වන්ටම් භෞතිකය පිලිබඳ දැනුම මාක්ස්වාදී අදහස් වලට විරුද්ධ නොවන බවට තර්කයක්ද  ගෙන එයි.

බොහෝ  ක්වන්ටම් භෞතික විද්‍යාවේ නියමුවන් පෙරදිග දර්ශනයන් පිලිබඳ අවබෝධයකින් යුක්තව සිටි බව නොරහසකි. සමහරවිට තමන් හැර දමා තිබූ පෙරදිග දර්ශනය වෙත යන්නට ගණිතඥයකු වන ද සිල්වා මහතාට සිතෙන්නට ඇත. නමුත් ඔහු නිවැරදි නොවන තැන මා ඇතුළු  වෙනත් බොහෝ අයට අනුව නම් බටහිර විද්‍යාව අසත්‍යයක් යයි ද එය ඉවත දැමිය යුතුයිද ඔහු විසින් ඉදිරිපත් කරන තර්කයයි.

වර්තමානයේ  බොහෝ බටහිර විද්‍යාඥයන්, මිට අවුරුදු 40-50 කට කලින් සිටි අය තරම් අන්තවාදී හෝ වාර්ගික නැත. ඉන්දීය, ශ්‍රී  ලාංකික හා අප්‍රිකානු විද්‍යාඥයන් බොහොමයක් බටහිර රටවල සේවය කරති. එනිසා බටහිර විද්‍යාව යනුවෙන් අමුතු දෙයක් අද නැත. ජපානය හා චීනයද විද්‍යාවේ දියුණුව ට ප්‍රාග්ධනය හා දැනුම  සපයන ප්‍රධාන පෙලේ රටවල් දෙකකි. ඒවා ආසියාතික රටවල්ය.  පෙරදිග දර්ශනයන් හා බටහිර දර්ශනයද , භෞතික විද්‍යාවද එකතුවුණු නවීන විද්‍යාවේ දියුණුවට උරදෙන්නවුන් තව දුරටත් නලින්ද සිල්වා මහතා කියන පරිදි "යුදෙව් චින්තකයන්" පමණක්ම නොවේ.

උදාහරණයක් ලෙස භෞතික  විද්‍යාවේ කවන්ටම් භෞතිකයේ  අරී අට මග ගනිමු. (eightfold way).  පරමාණු වල ද්විතියික අංශුන් (subatomic particles) වන හඩ්රෝන්ස් (hadrons) නිවැරදිව ව්‍යුහගත කිරීම සඳහා වන නියමයන් භෞතික විද්‍යාඥ මරේ ගෙල්මන් (murray Gell-Mann) හැඳින්වුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසය. ඔහු බෞද්ධයෙකි   (සමාවන්න,  සිංහල බෞද්ධයකු නොව ඇමෙරිකානු බෞද්ධයෙකි ).   ඔහුගේ මෙම අරි අට මග ව්‍යුහගත කිරීමෙන් ක්වාර්ක් මොඩල සොයා ගැනීමට මග පෑදුනි. බෞද්ධයෙකු වශයෙන් ඔහු එම නම භාවිතා කලේ ක්වන්ටම් අංශුන් වල පුදුම සහගත හැසිරීම් නිසා විය හැකිය. (ස්ට්‍රෙන්ජ්නස් strangeness කියා තත්වයක්ද මේ අංශුන් වලඇත . සිනා නොවන්න ) 

මෙම මම කලකට ඉහත  ලියූවකි. ක්වන්ටම් යුගල බන්ධනය හෙවත් සහසම්බන්ධතාවය

නමුත් ක්වන්ටම් අංශුන් වල එම හැසිරීම මගින් දෙවියන් සිටින්නේ යයි හෝ එම දෙවියන් නාථ දෙවියන් විය හැකියි කියා කොහෙත්ම ඔප්පු වන්නේ නැත. මේ නාථ  දෙවියන් ගැන කලකට ඉහත ලියුවකි.
පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

අප මතක තබා ගත යුත්තේ බොහෝ නියමයන්  ඉදිරිපත් කර තිබෙන්නේ තවත් කිසියම් ස්වභාවික නියමයකට හෝ රීතියකට, රාමුවකට සාපේක්ෂව බවයි. නිව්ටන් ගේ භෞතික  විද්‍යාව හා අයින්ස්ටයින් ගේ භෞතික විද්‍යාව වෙනස් වන්නේ ඒවා වැරදි නිසා නොව භාවිත කරන ලද රාමුව නිසාය. ආචාර්ය නලින් ද සිල්වා මෙය හොඳින් දන්නා බවට සැකයක් නැත. මේ ගැන මා ලියා  ඇති මේ ලිපියෙන්  පහත කොටස උපුටා ගනිමි.නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද?

නිව්ටන් ගේ  වස්තුන් දෙකක ගුරුත්වාකර්ෂණ බලය නියමයන්  සත්‍ය වන්නේ  නිව්ටන් අවකාශය (space) (නිරපේක්ෂ) නියතයක් (absolute space) ලෙස සැලකීම නිසාය.  ඔහුට අනුව වෙනස් වූයේ කාලය පමණි.

අයින්ස්ටයින්  අවකාශය හා කාලය යන දෙකම  නියතයන් ලෙස සැලකුවේ නැත. ඔහුට අනුව මේ දෙකම විචල්‍යයන්ය. මේ අනුව අයින්ස්ටයින් අවකාශ-කාලය (space-time) නමැති සංකල්පය ඉදිරිපත් කල අතර එය නියත යයි නිගමනය කළේය

ක්වන්ටම්  අංශුන් ගැන කතා කරද්දී අවකාශ-කාලය (Space -Time ) ද නියත නොවන අතර අවකාශය හා කාලය නියත ලෙස ගෙන ක්වන්ටම් අංශුවක පිහිටීම ගණනය කල නොහැක.

සමහර භෞතික විද්‍යාඥයන් බෞද්ධ හෝ හින්දු වේදයන් හි ඉගැන්වීම්  කියවා  තිබෙන බවට සැකයක් නැත්තේ ඔවුන්  යථාර්තය යනු නියතයක් නොව අදහසක්  බවට පෙරදිග දර්ශනයන්  හැදෑරීම තුලින්  වටහා ගෙන සිටි බැවිනි. 

ගෙල්මන් අරී අට මග ගැන විස්තරයක් මෙහි තිබේ . ඔබට කිසියම් භෞතික  විද්‍යා දැනුමක් මේ ලිපිය කියවීම සඳහා අවශ්‍යය. Gell-Mann’s Eight Fold Way

ක්වන්ටම් භෞතිකයේ ගණිතමය අවබෝධය අපට කියන්නේ අපගේ යථාර්තය දිගින් දිගටම වෙනස් සම්භාවිතාවන් ලෙස ප්‍රාදුර්භූත වන බවයි. එනම් ඇත්තේ එසේ වීමට ඇති  සම්භාවිතාව පමණි.  අප සංවේදී වන්නේ හෝ ජිවත්  වන්නේ ඉන් එක සම්භාවිතාවක පමණකි. (වඩාත් අවබෝධ කර ගැනීමට ශ්රෝඩින්ගර් ගේ පූසා ගැන කියවන්න)

අප දන්නා පරිදි සෑම  පරමාණුක   අංශුවකටම (particle) ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් (charge) හා ශක්තියක් (energy)  ඇති ප්‍රති-අංශුවක් (anti-particle) තිබේ. මේවායේ ස්කන්ධය සමානය (mass).   ඉලෙක්ට්‍රෝනයට පොසිට්‍රෝනය ද, නියුට්‍රොනයට ඇන්ටි නියුට්‍රොනයද, ප්‍රෝටෝනයට ඇන්ටි ප්‍රෝටෝනයද මීසෝනයට ඇන්ටි මීසෝනය  ආදී වශයෙනි.
ඒ කියන්නේ පදාර්ථයට (matter ) ප්‍රති පදාර්ථයක් (antimatter) ඇති බවය. මේ අංශුන් හා ප්‍රති අංශුන් එකිනෙකා  හමුවූ විට එකිනෙකා  විනාශ (annihilate) කරගනු ලබන අතර  එම සන්සිද්ධියේදී ෆොටෝන් වැනි අංශුවක් නිපදවනු ලැබේ.
(මේ ප්‍රති අංශුන් වලින් පොසිට්‍රෝනය 1932 දී පෝල් ඩිරැක්  හා කාල් ඇන්ඩර්සන් විසින් කරන ලද පරීක්ෂණයකදී   සොයා ගන්න ලදී)

මෙවැනි අදහසක් එනිසා පැන නැගිය හැකිය. අප සෑදී ඇත්තේද මේ පරමාණුක අංශුන් වලින්මය. එම හැම අංශුවකටම ප්‍රති අංශුවක් ඇත්නම් ප්‍රති අංශු වලින් පමණක් ඉපදුනු ප්‍රති-ඔබ කෙනෙක් හෝ ප්‍රති-මම කෙනෙක්ද සිටිය හැකිය. මේ ප්‍රති-මම හෝ ප්‍රති-ඔබ වෙනත් ප්‍රති-විශ්වයක එනම් anti-particle හෙවත් antimatter විශ්වයක සිටිය නොහැකිද?
එවැනි සම්භාවිතාවක් තිබිය නොහැකිද?

මේ ගැන දිගින්  දිගට තව ලිවිය හැකි වුවත් මගේ මූලික අදහස මෙයයි. මේ නිසා තව දුරටත් අපට මිනිස් පරිණාමය පිලිබඳ ඩාර්වින් ගේ මතය පරීක්ෂණ හා නිගමන මගින් තහවුරු කල හැකි වුවත්  විශ්වයේ පරිණාමය ඉතා කුඩා අන්ශුන්ගේ හැසිරීම දක්වා ලඝු කිරීමේදී මුලික ඓතිහාසික භෞතිකවාදයේ  සඳහන් කරුණු වල බිඳ වැටීම වැළැක්විය නොහැකිය.

දයලෙක්තික භෞතිකවාදය යනු ඇත්ත වශයෙන්ම යථාර්තය වටහාගැනීම සඳහා වන මාර්ගයකි. එය කෙනෙකුගේ සිතුවිලි, භාවයන් හෝ භෞතික ලෝකය වටහා ගැනීමක් විය හැකිය. කාර්ල් කවුට්ස්කි මේ වදන් යුගල සංයෝජනය  කරන විට (coined) අදහස් කලේ සෑම චලනයකම (movement ), අන්තර්  සම්බන්ධයකම (interconnection), වෙනස් වීමකම  (change), එහි විලෝමය(ප්‍රතිපක්ෂය) හා එකිනෙකට පරස්පරවූ (contradictory) පාර්ශ්වයන් ගේ එකතුව (unity)  නියත වශයෙන්ම හේතු සහිතව වටහා ගැනීමේ ක්‍රමය ලෙසයි.  සරල ලෙස කීවොත් සෑම ප්‍රපන්චයකම පක්ෂ හා විපක්ෂ යනුවෙන් දෙකක් ඇති අතර ඒවා ගැටීම මගින් ඒවායේ එකතුව පෙන්නුම් කරනු ලබයි.

අංශුන් හා ප්‍රති-අංශුන් වලට මේ දයලෙක්තික  භෞතිකවාදී අදහස ගැලපිය හැකිද?  අංශුන් හා ප්‍රති අංශුන් ගැටීමෙන් නිපදවන නව ෆොටෝනය හේගල් කිවූ සින්තසිස් එකද?

එසේ නම් ක්වන්ටම්  භෞතිකය මගින් පදාර්ථය පවතින්නේ එක් සම්භාවිතාවක් ලෙස යනුවෙන් නිවැරදිවම හෙළි දැක්වීම තුල මේ අදහස් තව දුරටත් වලංගුද?

මේ නිසා අපට සමාජවාදය පිලිබඳ පරණ ආකල්පය තවදුරත් ඉදිරියට ගෙන යා හැකිද?

දිප්ති කුමාර  හා මහේෂ් හපුගොඩ ආදරය ගැන කියන්නේ එනිසා විය යුතුය. මට වැටහෙන ආකාරයට  ඔවුන්ට අනුව (හෝ ජිජැකියානු දර්ශනය තුල) ආදරය හා මිනිස් සම්බන්ධතා වර්ධනය කිරීම තුලින් ධනවාදය අවසන් කිරීමේ අඩිතාලම ගොඩ නගා ගත හැකිය. ප්‍රති-දීප්ති හා ප්‍රති-මහේෂ් වෙනත් ප්‍රති-විශ්වයක වෛරය (පන්ති වෛරය) අත්හදා බලනවා විය හැකිය.

දීප්තිගේ කතාව;
(සංවාදයට විවෘතයි)
ගෙල්මන් ගේ  සංවාද 1:

ගෙල්මන් ගේ  සංවාද 2




මාක්ස් හා ඩාවින්ගේ ලිපි ගැන:
http://friendsofdarwin.com/articles/marx-capital/
https://www.jstor.org/stable/2709077?seq=1#page_scan_tab_contents

මාන අටක විශ්වය 

Saturday 23 February 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (49) - ඉරණම ද ?

රෙකුලාසි පාලම 

ප්‍රියාන් දැන  සිටියේ ඔහුගේ මිත්‍ර රුසියානුවා කීදේ පමණි. තාන්යා ගේ සොහොයුරිය ලේනා ප්‍රියාන්  සමග කතාබහ කිරීම ප්‍රතික්ෂේප කළාය. ඒ වෙනුවට ඇය කළේ රුසියානුවාට යම් විස්තරයක් කීමය.

ප්‍රියාන් කියන දේ අවධානයෙන් අසාගෙන සිටියා විනා කිසිවක් නොකී ගිහාන් ගෙතුළ කරන පෙරළිය ඔහුට ඇසුනේ අවසන්  නොකළ ඇමතුමේ රිසීවරය තුලිනි. අවසානයේ දුරකථනය අතට ගත්තේ නිලන්තය.

"ප්‍රියාන් ගිහාන්ට මොනවාද කීවේ " නිලන්ත ඇසීය.

"මචන් මගේ යාළු රුස්ස ලියොනිඩ්  තමයි තාන්යා ගේ අක්කව හම්බ වුනේ. මට කතා කළේ නැහැ. තාන්යා මැද  පෙරදිග රටකට ගිහින් තියෙනවා. කැමැත්තෙන් වෙන්න ඕනේ. මොකක් හරි මොඩෙලින් වැඩකට කියල. ගිහාම වෙලා තියෙන්නේ වෙන දෙයක්. එහෙදි බලෙන් තියාගෙන ඉඳල එන්න බැරිවෙල. හැබැයි ආවට පස්සේ මොස්කව් වල පොඩි මාෆියා ගෘප් එකක් උස්සන් ගිහින් තියාගෙන  ඉඳල. ඔය ටික තමා දැනට කීවේ." ප්‍රියාන් පැවසීය.

"ගිහාන්ට දරා ගන්න බැහැ මචන් "

"මම හුඟක් දවස් කල්පනා කරලා කීවේ. රුස්ස මට කිව්ව හැම විස්තරයක්ම කිව්වෙත් නැහැ.  දැන් මොකද කරන්නේ."

ප්‍රියාන් ඇසුවේ ඔහුට කිසියම් දෙයකට වැරෙන් පහර දීමක් වැන්නක් ඇසුණු හෙයිනි.

"අර කොෆී ටේබල් එකට ගහල කැඩුවා. වතුර ගුරුලේත්තුව පොළේ ගැහුවා. කබඩ් දෙක තුනකම දොරවල් පයින් ගහල කඩලා දැන් අතන විශාඛා එක්ක ඉඳගෙන ඉන්නවා ඔලුවත් බදාගෙන. මොකද කරන්නේ. මේවා ඇත්තටම වෙච්චි  ඒවාද? මෙහෙත් ඔය රුසියාවේය  කියන කෙල්ලො නම් ඉන්නවා. ඔය මැද පෙරදිග නම් අජූතයි මම හිතන්නේ " නිලන්ත කීවේ ගිහාන්ට නොඇසෙන්නට ය.

"මචන්, මැද පෙරදිග මිනිස්සුන්ගේම  වරදක් නෙමේ. රුස්ස කියපු විධිහට මට තේරුනේ ඕව ජරා රුස්සොම කරන දේ විධිහට. මැද පෙරදිග ඉන්න එකා  දන්නේ නැහැනේ කැමැත්තෙන් ගේනවද නැත්ද කියල.  උන් කරන්නේ ගනුදෙනුවක්. උන් සල්ලි ගෙව්වම උන් ඒකට සර්විස් එකක් අපේක්ෂා කරනව. බටහිර ගැහැණු, මොඩෙලින් කරන සමහර එවුන් ඔය අරාබි කාරයන් ගේ යොට් වලට එහෙම  කැමැත්තෙන් යන්නේ. මොනකෝ  වල හෙම  ඔය වගේ දේ ඕන තරම් වෙනවා. මම දන්නා විධිහට මොස්කව් වල ඉන්න  සමහර  ලංකාවේ බිස්නස්  කරන එවුනුත් කලා. තවම කරනවා ඇති. ඉන්දියන් කාරයෝ , අප්‍රිකානු ශිෂ්‍යයෝ, රුස්සෝ එක්ක එකතු වෙලා තමන් යාළුවෙලා හිටි කෙල්ලන් පවා සිංගප්පුරුව වගේ රටවලට ගෙනල්ල හෝටල් වල තියාගෙන වික්කලු. මුන් ඔය රටවල ඉගෙන ගත්තද කියලත් වෙලාවකට හිතෙනවා.  ලංකාවේ එහෙම කරපු එකෙක්ම මට කියල තියනව කෙල්ලන්ට  කියලයි එක්කන් ගියේ කියල. ඇත්තද බොරුද දන්නේ නැහැ. ගිහාන් ට ඕක අනුමාන කරන්න  එච්චර අමාරු නැහැ. ඌ දන්නවා " ප්‍රියාන් කීයේය.

රුසියානුවන්ට විශේෂයෙන් රුසියානු හෝ ඒ අවට පැරණි සෝවියට් සමූහාණ්ඩු  වල සෝවියට් ක්‍රමය ඇතුලේ සාපේක්ෂව ආරක්ෂිතව සිටි මිනිසුන් සෝවියට් ක්‍රමය පෙරලී ලැබුණු නිදහස තුල අතරමං වූහ. නව  ක්‍රමයට හරිහැටි මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන බොහෝ අයට අවබෝධයක් නොවීය.

"ඔය හොස්ටල් වල හෙම  හිටපු කෙල්ලන්ගෙන් සුළු කොටසක් මාෆියා පැත්තට ගියා . අනිත් උන්ගෙන් සමහරු උස්සන්න ගත්ත බලෙන්. මම දන්නා විධිහට ඕව පත්තරවල වත් ගියේ නැහැ .මොස්කව් දැන් හැට ගණන් වල  චිකාගෝ වගේ කියල සමහර රුස්සෝ කියනවා.  මචන් කතාව  ඉවර නැහැ. නමුත් නොකිය ඉන්න එක හොඳයි කියල මම හිතන්නේ. ගිහාන්ව  ලංකාවේ නවත්ත ගනින්. යන්න දෙන්න එපා" ප්‍රියාන් තව දුරටත්  පැවසුවේ ගිහාන් ගැන අනුකම්පාවෙනි . ඔහුට අවශ්‍ය වූයේ දුරකථන සංවාදය අවසන් කිරීමටය.

"ගිහාන් කියන්නේ යනවා කියලනේ.  මම මොකද කරන්නේ." නිලන්ත පවසනවාත් සමගම ගිහාන් නැවත දුරකතනයට පැමිණියේය.

"ප්‍රියාන්, මට හිතා ගන්න පුළුවන් මොනවාද වුනේ කියල.  මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වුණා. අර හොස්ටල් එකක තියන් හිටිය කියන එක නම් මට තේරෙන්නේ නැහැ. පොලිසියෙන් ගිහිල්ල බේරා ගත්ත කිව්වේ. උන්ට එහෙම බලෙන් හිර කරන් ඉන්න පුලුවන්ද මොස්කව් වල? මට  ලේනට කතා කරන්න බැරිද? බැරි වුනොත් මම යනවා මොස්කව්. මම තාන්යා ට ආදරෙයි. ඒක වෙනස් වෙන්නේ නැහැ.  උඹේ යාළු රුස්ස ගිහිල්ල ලේනව හම්බ වුනේ කොහෙද, මට රුස්සව හම්බ වෙන්න බැරිද? මම කොහොම හරි තානි ව කැමති කර ගන්නම් දැන් එයා එන්න අකමැති නම්. "

"ගිහාන්" ප්‍රියාන් මදක් නැවතී දිග හුස්මක් ගත්තේය .

"තාන්යා අඳුරන ටැක්සි කාරයෙක් ඉන්නවද? ඒ අර එකපාරක් ගිහින් හිටිය එකා ද?"

"ඔව්. ඌ  හොඳ මනුස්සය. එයාගෙම අම්ම එක්ක  හිටියේ ෆ්ලැට් එකක. මට කෝල් කරලා තාන්යා ඉන්නව කියල එන්න කිව්වේ. ඊට පස්සේ අපිත් එක්ක සෑහෙන යාළු කමින් නේ හිටියේ"

"තාන්යා එහෙ ඉඳල තියෙන්නේ. ලේන ගේ ගෙදර නෙමේ "

ප්‍රියාන් මදක් නැවතී දීර්ඝ හුස්මක් ගත්තේය. ගිහාන් නිහඬව අසා සිටී.
නරක ආරංචියක්, කෙනෙකු හදිසි අනතුරකට මුහුණ දුන් අවස්ථාවක් , මිය ගිය අවස්ථාවක් ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැන  සිටි ළඟම කෙනෙකුට කීම අපහසුය. ඔවුන් කෙසේ ක්‍රියා අකරනු ඇත්දැයි නොදන්නා බැවිනි. ප්‍රියාන්  මුහුණ දුන්නේද ඒ තත්වයටමය. ඔහු තීරණය කළේ වැඩි හැඟීමක් ඇති බවක් නොදැනෙන සේ ඔහු දන්නා ආරංචිය කීමටය.

"මචන්, මට මේක ටිකක් විශ්වාස කරන්න අමාරුයි තාන්යා ව දන්නානිසා.  උඹ තාන්යා ව හොයාගෙන එයි කියල  නවත්වන්න කිව්වද කියල මම දන්නේ නැහැ. ලේනා කියල තියනවා තාන්යා රුස්සගේ ටැක්සිය අරගෙන ගිහින් බිල්යායෙව  පැත්තේ බඩු  කෝච්චි යන රේල්  පාරකට ගිහිල්ල කියල " ප්‍රියාන් නැවතත් කෙටි විරාමයක් ගත්තේය.

"කෝච්චිය එන පාරේ ටැක්සියේ දොරවල් ලොක් කරලා තියන් ඉඳල."
"මොනවා".

ඉතිරිය අසා සිටියේ නිලන්තය.

"ගිහාන් දොර ඇරගෙන ගියා යන්න මචන්. මොකද්ද  උඹ කීවේ"

ප්‍රියාන් ට ඔහුගේ මිතුරු රුසියානුවා  කළ විස්තරයට අනුව කාරයේ සිටියේ තාන්යා බව හඳුනා ගෙන තිබෙන්නේ ගමන් බලපත්‍රයේ කොටසකින් හා අත් බෑගයෙනි. රුසියාවේ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියවල්   ගමන් කරන්නේ අධික  වේගයෙනි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ලුණුගල සිට බිබිල හරහා මහියංගනයට යන මහා පාර A5 ලෙස මාර්ග සිතියමේ නම් කර තිබේ. A මාර්ගයක් වුවද මේ මාර්ගය ඉතා කුඩාය. වාහන දෙකක් මාරු වෙන්නේද ඉතා අපහසුවෙනි. සමහරවිට එක වංගුවක වාහන නවතාගෙන අනිත්  වාහනය එනතුරු බලා සිටිය යුතුය.  මේ නිසා බොහෝ ලොරි හා බස් ගමන් කරන්නේ නැවතී නැවතීය.

මේ මාර්ගය වඩාත් අනතුරුදායක වන්නේ වැසි කාලයටය. එහිදී බොහෝවිට  විට කුඩා නායයාම් ඇතිවන අතර ඉහළ කන්දේ සිට මාර්ගයට ගල් පතිත වීමද සිදුවේ. වරක් බසයක් ගමන් කරන අතරතුර  කන්දේ ගල් කැඩී  ඉදිරිපසින් මාර්ගයට වැටී ඇති අතර බසය පසු පසට ගනිද්දී පසු පසින්ද කඩා වැටී බසය හිරවී තිබුණි.

ලුණුගලත් බිබිලත් අතර මාර්ගයේ රෙකුලාසි පාලම නම් පාලමක් හමුවේ.  මේ පාලමින් උඩ  රාවණා ගුහාව නමින් ගුහාවක්ද එම ගුහාවට ඇතුළත් වීමට ලෙන් දොරක් ද තිබූ අතර  එම ගුහාව තුලින් නුවර දක්වා යාමට උමගක් ඇතැයි කතාවක් වැසියන් අතර තිබුණි. (මේ උමග මහා මාර්ග සංවර්ධන ආයතනය මගින් වසා දමා ඇත. මේ මාර්ගය දැන් විශාල කරමින් ඇත - කතෘ)

වසර 1974 දී එක  රාත්‍රියක වන්දනාවේ ගිය පරණ වෑන්  රථයක් මේ මාර්ගයේ ගමන් කලේ කට්ට කරුවළේය. එහි විදුලි පහන් ක්‍රියා විරහිතව තිබුණි. මාර්ගය හරියට පෙනේනේද නැත. පාරේ එක පැත්තක කඳු ද අනිත් පැත්තෙන් හෙළද වේ.
රෙකුලාසි පාලමේදී දී වෑන් රථය ලිස්සා  ගොස් එතැන් ඇති ගල් තලාව උඩ  වැටී සුණු විසුණු වී තිබූ අතර එහි ගමන් කළ එක අයෙකු හැර අනිත් සියල්ලෝම මිය ගියහ.

 නිලන්ත හදිසියේම වාගේ පළමු වතාවට ලන්ඩනයට දුරකථන ඇමැතුමක් දුන්නේ සුභ ආරංචියකට  නොවේ.

"කොහොමද නිලන්ත , එදායින් පස්සේ  ගිහාන් කතා කළෙම නැහැ . මමත් සද්ද නැතිව හිටියේ පොඩ්ඩක් සන්සුන් වෙන්න අරින්න. කාලය විසින්  හැම තුවාලයක්ම හොඳ කරනවයි කියනවනේ."

"ප්‍රියාන්, ඒ ගැනම තමයි මම මේ කතා කළේ. ගිහාන් නැති වුනා මචන්."

"මොනවා" ප්‍රියාන් ට ඒ ආරංචිය අදහාගත නොහැකි විය.
"ඒ කොහොමද "

"එදා ඉඳන් ගිහාන් හිටියේ සෑහෙන අප්සෙට් එකෙන්. හිතා ගන්න පුලුවනිනේ උඹට. කෙල්ල මෙහෙ එක්කන් ඇවිත් අපිත්  එක්ක විනෝද ගමන් යන්න වගේ හීන මව මව හිටියේ. රස්සාවට ගියෙත් නැහැ සතියක් විතර. අපි තමයි රස්සාවට යන්නත්  බල කලේ. මොස්කව් යන්න එපාම කියල හැමෝම කිව්වේ."

"මට හිතා ගන්න පුළුවනි. සමාවෙයන් මචං. මට ලැබුණු ආරංචිය කියනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නැහැ. "

"ඒක මම දන්නව . මම කියන්න යන්නේ ඒ වගේම එකක්. ගිහාන් උන්ගේ සයිට් එකක වැඩකට නුවර ගිහින් එහෙම්ම රන්දෙනිගලත් ගිහිල්ල උඹල එක්ක රුසියාවේ හිටි යාළුවෙක් හම්බ වෙන්න. එතනින් මොන හේතුවකටද මන්ද ගිහාන් ට හිතෙන්න ඇති  ලුණුගල හරහා එන්න. යාළුව කියල තියනවා ඉඳල යන්න කියලත්. අර අපට සම්බන්ධ සිද්ධියකුත් උනානේ ඒ පැත්තේ. ඒ හින්දද මන්ද ගිහා ට හිතුනේ යන්න. මේ කාලෙට මෙහෙ වැස්සනෙ  මචන්. ඔය  ඒ පැත්තට වහින්නේ ධාරාණිපාත වැහි. හිටපු ගමන් බදුල්ල, පස්සර , ලුණුගල පැති නාය යනවා. ගිහාන් ගියේ සයිට් එකෙන් ඌට දීල තියෙන ජීප් එකෙන්.   රන්දෙනිගල ඉඳන් බිබිල හරහා ලුණුගල ඇවිත්. ඔය පාරේ රෑ වෙලාවට වැඩිය  යන්නෙත් නැහැ. අනික හොඳටම වහිනවා. ඔය කලින් ඇක්සිඩන්ට් එකක් වෙච්ච තැනකම ජීප් එක  ලිස්සල ගිහින්.  පාන්දර පාරේ ගිය වාහනයක් දැකල ලුණුගල පොලිසියට කියල. හොඳටම වහින නිසා ඒ වතුර පාරත්  සැරයි. මිනිය හම්බ වුනේ නැහැ මචන් "
නිලන්ත එක හුස්මට කීවේ හිතේ තිබූ මහා බරක් හෑල්ලු කරන්නට මෙනි.

"හයියෝ මචන්. මේකා ඕන කමින් කර ගත්තද. හිතා ගන්නත් බැහැ අනේ බං "

"දන්නේ නැහැ මචන්. අර 88-90 ගණන් වල ඔය හරියේ මළමිනිත් දාලා තියනවාලු.  පොලිසිය උත්සාහ කරා කිව්වා හොයන්න.බැරිවුණා කියල තමයි කියන්නේ.  වාහනේ නම් උඩට ගත්ත. ඉස්ස්සරහ චප්ප වෙලා තිබ්බේ. අර ගිහාන් නිතර අහන කැසට් එක තිබ්බ ඩෑෂ් බෝඩ් එක උඩ. මට හිතුන ගිහාන් අපට  පණිවිඩයක් තිබ්බද කියලත් "

"ඒ කිව්වේ. "

"ඔයා කතා කරාට පස්සේ ගිහාන් විශාඛා ටයි මටයි කිය කියා හිටිය තාන්යා එක්ක මුලින්ම අහපු  සින්දු ටික ඒ කැසට් පටියේ තිබ්බේ කියල. අර  "ට්‍රැජඩි" කියන සින්දුවට ඉස්සෙල්ලම නැටුවේ  කියල. උන් දෙන්න ඔය කැසට් එක නිතර අහනවලු.  ඒක කල්පනා කර කර තව ඩිප්‍රෙස් වුනා "

"ගිහාන් ගේ අම්මලා තීරණය කරලා තියනවා  පන්සලට දානයක් දෙන්න  ගිහාන් වෙනුවෙන්. අපි  ආයි පාරක් හොයල බලනවා. වැස්ස අඩු වුනහම. ඒත් මචන් පොලිසියෙන්  කියන්නේ කබරයෝ හෙම කනවා. හොයන්න අමාරු වෙයි කියල.

 "මට හිතා ගන්න බැහැ ගිහාන් එහෙම දෙයක් ඕන කමින් කෙරුව කියල. සමහර විට තාන්යා ගැන කල්පනාවෙන් යන්න ඇති. අනික් රෑත් වෙලා ඒ වගේ පාරක ගියේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. මොනවා කරන්නද  මචං. එහෙම  දානයක් වත් දෙන එක හොඳයි. "

ප්‍රියාන් සහ නිලන්ත ඒ කතා කළේ අවසන් වතාවටය. බොහෝ දුරට තම  තමන් ගේ පවුල්, රැකියා පිළිබඳ කටයුතු නිසා ගිහාන් හා තාන්යා පිලිබඳ මතකය කෙමෙන් වියැකෙමින් තිබුණි. හුදෙකලා පෙම්වතුන් දෙදෙනෙකු ගේ ආදර අන්දරයක් බොහෝ විට පෞද්ගලික එකකි.

~~~~~~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි


Tuesday 19 February 2019

මිණිබිරී ගේ රචනාවට පිළිතුරක්

මිනිබිරියක් ලිවූ සිංහල රචනාවක් කියල අපුරු නිසඳැසක් බුකියේ එහෙ මෙහෙ යනවා. යාළුවෙක් ගේ බිත්තියේ  තිබිල කියෙව්වා. පස්සේ හිතුන ඒ ගැම්මටම මේ පිළිතුර ලියන්න.
කරෝල කතාවයි, අඩි දෙකකට උඩින් කතාවයි  ඇත්තටම මම දන්න කෙනෙකුගේ නෑදෑයෙකුට වුන දෙයක්.
බුකියේ කවිය 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සීයලා කර ඒ වර්ජනේදී
එක් වෙන්නටම  එපා කියල
රටේ අලුත්ම වමේ කට්ටිය
හොරෙන් වාගේ කියා තිබුනා

ඒ ගොල්ලොත් ඔය ඔහේ ඉඳිද්දී
සීයලා අපේ  ජීවත්ම වෙන්නට
ගෙවල් ගානේ කරෝලයි හාල්
මැස්සො වික්කා

එහෙම හිටි සීයාගේ යාලුවා
හයක් අවුරුදු ගතවෙලා ආ
දෙවන විප්ලවේ ද්‍රෝහියෙක් වී
වෙඩිම  පහරකට මුහුණ පෑවා

ද්‍රෝහියෙක් වුනු අනේ ඔබගේ
යාළුව ගේ මිනිය අඩි දෙකක උඩකට
ගෙනියගන්නත්  බැහැ කියාලා
නීතියක් අනෙ  දමා තිබුනා

වර්ජනය  කලෙ  නුඹ  එදා ඒ
උන්ම වෙනුවෙන් නොවේදැයි දෝ
අනේ සීයේ මටත් හිතුනා

Tuesday 5 February 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (46) - ස්වේතා



ප්‍රියාන් මුහුණ දුන්නේ බරපතල ප්‍රශ්නයකටය. ගිහාන් ට විස්තරය පැවසීමට එක අතකින් ඔහුට නොහැකිය. ඒ ඔහුගේ මිත්‍රත්වය නිසාය. නමුත් ගිහාන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටී. ඒ නිසා නොකියා බැරිය. නිලන්තට කතා කර විස්තරය කීමට සිතූ මුත් ගිහාන් ට කලින් නිලන්තට කීම නොමනාය. නිලන්ත පිළිබඳව ඔහු දනිතත් ඔවුන් අතර එතරම් දැඩි මිත්‍රකමක් නැත. ඔහු ගිහාන්ගේ අඹ යහළුවා මිස ප්‍රියාන් සමග දැඩි මිත්‍රත්වයක් නැත.  ශ්‍රී ලංකාවට ගිය විටෙක ඔහුගේ නිවසේ දුරකථන අංකය ලැබුනමුත් ඔහු එම නිවසින්  පිටවී ගොස්ය.

හදිසියේම විශාඛා ගේ පාසල් මිතුරියක් තමන්ගේ ද මිතුරියක් බව ඔහුට සිහිවිය. හදිසියක් යයි කියා ඇයට ඇමතූ  ඔහු විශාඛා හා නිලන්ත ගේ නිවසේ දුරකථන අංකය ලබා ගත්තේය.

නිලන්ත දිගින් දිගටම ප්‍රියාන් ගෙන යම් විස්තරයක් ලබා ගන්නට තැත් කළේය.

"මචන් මම ගිහාන්ට කතා කරනවා කිව්වේ හවස හයට විතර. උඹට බැරිද රෑ හතට අටට විතර එහෙ යන්න. වෙන විස්තරයක් කියන එක හරි නැහැ. පුලුවන්නම් පලයන් ඌ වෙනුවෙන්. "

"මචන් මම ගිහාට ඕන දෙයක් කරනවා. ඒත් උඹ අපට කිව්වනම් හරි. අපි ඌ කියල වෙනසක් නැහැ බං, ඌ මගේ එක කුස උපන්  සහෝදරයෙක්  වගේ . මොකක් කියලද මම යන්නේ "

"උඹල යාළුවොනේ හේතුවක් නැතිව යන්න බැරිද?"

"මම වටලප්පන් හදල දෙන්නම්. ගිහා පෙරේතයනේ ඒවාට. තෝසේ ටිකකුත් හදන්නම් අම්ම එක්ක. ඔයාට යන්න බැරිනම් කෑම ටිකක් හදාන  ආව කියල දෙන්නම යමු. අම්ම දරුව  බලා ගනීනේ. "
විශාඛා කීවාය. ඒ අදහසට ප්‍රියාන් ද, නිලන්තද එකඟ වුනි.

*************************************************
ගිහාන් ට ඇති මුදල් ප්‍රශ්න ගැනත් ඔහුගේ සොයුරියගේ විවාහය සංවිධානය කිරීම,  දෙදෙනාට එකට සිටින්නට තැනක් සොයා ගැනීම ආදිය ගිහාන් මුහුණ දෙන අනිකුත්  ප්‍රශ්න ගැනත් තාන්යාට අවබෝධයක් තිබුණි. ඇය දන්ත වෛද්‍යවරියක ලෙස උපාධිය අවසන් කළා වුවත් එක්වරම රැකියාවක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉතා අසීරු බව ගිහාන් පවසා තිබුණි. ඒ තමන්  පිටරටක උපාධිය ලත් නිසාය.එසේම කසාද බැඳ වීසා ලබා ගන්නා තුරු රැකියා කිරීමටද නොහැකිය. ගිහාන් ඉංජිනේරුවකු  වුවද ඔහු දැනට ලබන වැටුප  සාපේක්ෂව ඉතා අඩු බවද ඇය දත්තාය. ඒ පඩිය ඩොලර් වලට පෙරලා ගණන් ගැනීමෙනි.

ඇය තමන්ට ලැබුන පත්වීමට රොස්ටොව් ගියේ නැත. සෝවියට් දේශය බිඳ වැටුණු පසු රුසියාවේ ඒ පත්වීම් හරියට සිදු කෙරුණේද නැත. හැමෝම සිටියේ වික්ෂිප්ත බවකිනි . හිටපු බලධාරීන් සහ බොහෝ කන්තක්ති හෙවත් "සම්බන්ධකම්" තිබූ අය හදිසියේ  "බිස්නස්" කාරයන් වී සිටියහ.  නගරවල තිබූ සුපර්මාකට්, ගබඩා ආදී දේපොළ කුණු කොල්ලෙට විකිණී ගියේය. ඒවා ගත් අය ඉතා අමුතු පෙනුමැති තමන් බිස්නස් මෑන් ලා යන අමුතු නමින් හඳුන්වා ගත් නවතම  ධනපතියන් ලෙස හැසුරුණු   කොටසක් විය. සම්ප්‍රදායික ධනපතියන්ට වඩා ඔවුන් දිස්වුනේ මංකොල්ලකරුවන් රැසක් පරිදිය.

අල්ලසක් නොදී කිසිදු දෙයක් කර ගැනීමට නොහැකි තත්වයක් උදාවුනි.
ගිහාන් ඉතිරි කර ඇය සන්තකයේ තබා ගිය  ඩොලර් කිහිපය අල්ලසක් ලෙස වියදම් කළ ඈ  මොස්කව් වල පොලික්ලිනිකා නමින් හඳුන්වන රෝහලක  පත්වීමක් ලබා ගත්තාය . ඒවායේ වැටුපද ලැබෙන්නේ පමා වෙලාය . ඒ වැටුපද ඉතා සොච්චමකි. ඒ දිනවල් රූබල් වලට කිවේ දිර්වෙයාන්නිකි කියාය. ඒ කියන්නේ ලී පතුරු යන අදහසිනි. ලී  පතුරු තරමට රූබල් වල වටිනාකමක් නැත.

තම සොයුරිය සමග තාවකාලිකව වාසයට ගිය තාන්යා මුදල් වියදම් කලේ ඉතා සකසුරුවමිනි. ගිහාන් ගේ යහළුවකු වූ ප්‍රියාන් මොස්කව් වල හිටි දවස් වල ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ එම රටේ නිෂ්පාදිත  පියකරු කබා (ජැකට්) කිසියම් ප්‍රමාණයක් විකිණීමට දී තිබුණි. එය ලැබුනේ වැලන් නම් ප්‍රියාන් ගේම තවත් යහළුවෙකු හරහාය. ඇයට එවැනි දේ  නුහුරු වුවද යෙහෙළියන් කිහිප දෙනෙකුට දී ඒවා විකුණා  කිසියම් මුදලක් උපයා ගත්තාය.  දැන් ඔහුගේ ඒ යහළුවන් කිසිවෙකු මොස්කව් වල නැත. ඇයට දැනුනේ දැඩි අසරණ බවකි. ශ්‍රී ලංකාවට යෑමට ගුවන් ගමන් බලපත්‍රය ගැනීමට සමහරවිට ඒ මුදල සෑහෙන මුත් කිසියම් මුදල් ප්‍රමාණයක් අත නැතිව යාමට ඇය අකැමැති වූවාය . තම දෙමාපියන් ගිහාන්ට කැමති බවත් ඇය ශ්‍රී ලංකාවට යෑමට සූදානම් වීම  ගැන ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති බවට ඇති දැනීමත් ඇයට සහනයක් ගෙන දුනි.

නමුත් ගිහාන් ගෙන් ලිපියක්වත්  ආරංචියක් නැත. පසුගිය  කාලයේ දුන් දුරකථන ඇමතුම් වලින් විශාඛා සම්බන්ධ ප්‍රශ්න තිබූ බවත්,  ඔහුගේ නැගණිය සහ මවත්  විදේශීය ගැහැණියක සමග විවාහ වීම පිළිබඳව දරන  ආකල්පය  එතරම් ඔවුන්ගේ පැත්තට නොවන බවත්   ඇය දැන  සිටියාය.  එනිසා වෙනත් නිවසක මිස ගිහාන් ගේ නිවසේ  ජිවත් විය නොහැකිය. ගිහාන් අඩුම ගණනේ ඇයව එංගලන්තයට වත් රැගෙන ගියා නම්.......
 වැල්යුති හෙවත් හාඩ් කරන්සි හෙවත් පවුම් උපයා ගත හැක්කේ එහි රැකියාවක් කිරීමෙනි. ඇගේ සිතේ  මුල් වරට ගිහාන් කෙරෙහි කෝපයක්  උපන්නේය.  තවමත් ලංකාවට කතා කිරීමට ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයකට යා යුතුය. ඒවා ඇත්තේ ගොර්කාව්ස්කයා වීදියේ  හෝ අර්බත්ස්කයා  වලය.  පසුගිය සති කිහිපයේම ඇය සැම  විටම නොවරදවා ගොස් දුරකතනයෙන් කතා කලත් ගිහාන් දුරකථනය ගත්තේ නැත.

ඔහු ලංකාවේ තරුණියක  සමග විවාහ වෙන්නට සිතා නිහඬ වෙනවා වත්ද? එසේ වීමට නොහැකිය. ඔහු තමන් ට දැඩි ලෙස ආදරය කළ බව පමණක්  ඇය දනී. එසේ සිතීම ගැන තමන් කෙරෙහිම කෝපයක් ඇගේ සිතේ නැගුණි.
හොඳම දේ මුදල් ටිකක් කෙසේ හෝ සොයාගෙන ශ්‍රී ලංකාවට යාම යයි ඇයට සිතුනි. ගිහාන් ගේ ලිපිනය ඇය සතුව තිබේ. දැන් රුසියානුවන් ට මුදල් තිබේ නම් වීසා ලබා ගත හැකිනම් ඕනෑම රටකට යා හැකිය.  ගිහාන් සොයා ශ්‍රී ලංකාවට යාම හැර වෙනත්  විසඳුමක් ගැන සිතීමට ඇය අපොහොසත් වූවාය.

 එකම කාමරයේ ඈ සමග සිටි යෙහෙළියක වන ඉන්ගා ඇයට ආරංචියක් දුනි. ඒ ස්වේතා ගැනය. ස්වේතා දැන් " ට්‍රාවල්  ඒජන්සි " යන ඉංග්‍රීසි නමින් හඳුන්වන කුඩා සමාගමක් පිහිටුවා විදේශිකයන්ට රුසියාව  පෙන්වීමට මෙන්ම රුසියානුන්ට පිටරට පෙන්වීමට ගෙනයන බව ඉන්ගා කීවාය. එවැනි දේ පෙර තිබුනේ නැත. ඇය රැකියාවට බොහෝ කතුන් බඳවා ගන්නා බවද නොයෙකුත් බටහිර පන්නයේ වෙළඳම් කරන   "බීස් නාස්  වුමන්" බවද තව දුරට පැවසූ ඉන්ගා තන්යාට දුරකථන නොම්මරය දුන්නාය. මේ     ට්‍රාවල්  ඒජන්සි යනු  විදේශ සංචාර සංවිධානය කරන සමාගමක් බව තාන්යා පසුව දැන ගත්තාය. "බීස් නාස්  වුමන්" යනු වෙළඳම් කරන කාන්තාවය.

ස්වේතා ඒ කාලේ  සිටියේ ඔවුන්ගේම කොරිඩෝරයේ ඈත කාමරයකය. රූමත් තරුණියක වූ ඇයට පිරිමි මිතුරන් බොහොමයක් විය. ඒ  අය අතර වෙළඳාම ට මෙන්ම කුඩා මාෆියා වැඩට ප්‍රසිද්ධ සෝවියට් සමුහාණ්ඩු වල  චෙචෙන්, අර්මේනියන් , ගෘසියන් මිතුරන්ද විය.   සෝවියට් කාලයේ ඇය නේවාසිකාගාරයේ නොයෙකුත් කාන්තා සුවඳ විලවුන්, ක්‍රීම්  වර්ග , ඩෙනිම් මෙන්ම කාන්තා යට ඇඳුම් ද විකුණා මුදල් සෙව්වාය . ඇය පැළඳුවේ බටහිර ඇඳුම් ආයිත්තන්ය. ස්වේතා ගෙන් තාන්යා ද ඇඳුමක් දෙකක් මිලදී ගෙන තිබේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වේතා බීස් නාස් වුමන් ය.

අර්බත්ස්කයා පෙදෙසේම ඒජන්සිය  පිහිටා  තිබීම නිසා තැන සොයා ගැනීමට දැඩි අපහසුවක් වූයේ නැත.

තාන්යා දුටු  ස්වේතා තමන් සිටි වායු සමීකරණය කළ කාමරයෙන් පිටතට  පැමිණ තාන්යා වැළඳගෙන සිරිත් පරිදි මුහුණ දෙපැත්තට හාදු දෙකක් දී පිළි ගත්තාය.

තමන් පත්වී සිටි තත්වය සැකෙවින් විස්තර කළ තාන්යා ගිහාන් ගැන වැඩි විස්තර  නොකියා කිසියම් මුදලක් සොයා ගැනීමට කාන්තාවන්  භාවිතා කරන  භාණ්ඩ විකිණීමක් වැනි හවහක  සුළු වේලාවක් කළ හැකි රැකියාවක් තාවකාලිකව සොයා ගැනීමට උපකාර ඉල්ලා සිටියාය.
මහා හඬින් සිනහා සුනු ස්වේතා තමන් තව දුරටත් සුවඳ කුප්පි විකුණන ස්වේතා නොවන බව අවඥාවෙන් පැවසුවාය.  ඇගේ ඒජන්සියට යුරෝපීයයන් හා විශේෂයෙන් ඇමෙරිකානුවන් එන බවත් ඔවුන්ට මොස්කව් පෙන්වීම සඳහා යන්නේ නම් දිනකට ඩොලර් විසි පහක් පමණ දිය හැකි බවත්ය.  එසේ මුදල් ඉතිරි කිරීමට නම් මාස කිහිපයක් වත් රැකියාව කළ යුතු බව තාන්යාට සිතුණි. නමුත් තම වෛද්‍ය රැකියාවට යා යුතු නිසා එසේ කල නොහැකි බව ඈ  ස්වේතාට පැවසුවාය. ඇය මුදල් සොයන්නේ ශ්‍රී ලංකාවට යෑමට බවද පැහැදිලි කළාය.

තාන්යා දෙස හොඳින් බැලූ ස්වේතා මදක් නොසිතාම කළේ කිසියම් විධිහක අයුතු යෝජනාවකි.

"අවශ්‍ය නම් එම සංචාරකයන් ගෙන් සමහරු රැය පවා ගත කිරීමට කැමති විය හැකියි. ඩොලර් සීයක් දෙසීයක් නිකම්ම හෙව්ව හැකි. එහෙම කරන අය ඉන්නවා " ස්වේතා කීවේ ඇඟට පතට නොදැනීය.

" උඹ දන්නවනේ ස්වේත්ලානා  මම ලංකාවට යන්නේ පෙම්වතා හම්බවෙන්න. අපි එහෙදි බඳිනවා. එනිසා කීයටවත් එහෙම  සල්ලි හොයන්න මට ඕනේ නැහැ." තාන්යා දැඩි ලෙසින් පිළිතුරු දුන්නාය.
ස්වේතා හෝ ස්වෙතච්කා  යනු නම කෙටි කර ආදරයට කියනා ආකාරයයි. ස්වෙත්ලානා යනු  දීර්ඝ නාමයයි. වඩා නිත්‍යානුකුල බව හැඟවීමට හෝ යහළුවන් හෝ දෙමාපියන් අවවාදයක් දෙනවිට තදින් කියන බව ඇඟවීමට  රුසියානුන්  මුළු නමම  භාවිතා කරති.

ඒ අතරේ ටයි එකක් දමා වටිනා කබායක් හැඳි  කොණ්ඩය කළු ආර්මේනියානු හෝ ගෘසියානු ජාතිකයෙකුට  සම කළ හැකි මැදිවියේ මිනිසෙක්  පැමිණියේය.

"එරික් කොහොමද, ප්‍රීවියත්,  ප්‍රීවියත්  ? ස්වේතා ඔහුව උණුසුම් ලෙස පිළි ගත්තාය?

"මේ එරික් ඇවිතිස්යාන් , මේ තාන්යා. තාන්යා එරික් මට ගොඩක් බිස්නස් අරන් එන කෙනෙක්  " ස්වේතා එකිනෙකා  හඳුන්වා දුන්නාය. එරික් යටැසින් තාන්යා  දෙස බල හැඳ සිටි වටිනා අව් කන්නාඩි  යුගල ගැලෙව්වේය.

"තාන්යා රස්සාවක් හොයනවා. ඔයා අරන් එන සංචාරකයින්ට මොස්කව් පෙන්වන්න කියල කිව්ව මම . හැබැයි එයාට ඉක්මනට සල්ලි ඕනෙලු ලංකාවට යන්න."

"කවද්ද යන්නේ ශ්‍රී ලංකාවට " එරික් ඇසීය.

"ළඟදීම යන්න කියල ඉන්නේ සල්ලි ටිකක් මදි " තාන්යා පිළිතරු දුන්නාය.

එරික් ඈ දෙස දෙතුන් වරක් බැලුවේය. ඔහු බලන්නේ තමන්ගේ සිරුර දෙස බව වටහාගත් තාන්යා මහත් අපහසුතාවයකට  පත් වුවාය. රතුවූ මුහුණින් නැගිටි තාන්යා ස්වේතා ට සමුදී එතනින් ඉවතට යන්නට සුදානමින්ය.

"ඔයා මොඩලීරවනිය (මොඩෙලින් රුසියානු බසින්)   කරලා තියනවද " ඔහු වහා ඇසීය.
තාන්යා ට ඔහු ඇසූ දෙය තේරුනේ නැත.

"මේකි ඕව දන්නේ නැහැ එරික් ". මහා හඬින් සිනාසී කියූ ස්වේතා

"ඔහොම ඉඳ ගනින් " පසින් බලෙන්ම වාගේ  තාන්යා උරහිසින් තදින් අල්වා  වාඩි කර ඇයද ඒ අසල මේසයේ වාඩි වූයේ ඇගේ  දිග කකුලක් තාන්යා හිඳ  සිටි පුටුවේ ඇන්දට තබමිනි. ස්වේතා හැඳ සිටියේ ලෙවයිස් ඩෙනිම් සායකි . ඇය හිඳ  ගත්තේ රතු පාට යට ඇඳුමද මදක් පෙනෙනා ලෙසය. තාන්යා ජනේලයෙන් පිටත බැලුවාය.

"තාන්කා මේ අහපන්.  උඹට මුකුත් කරන්න දෙයක් නැහැ වැඩිය, අපි උඹට ඇඳුම් දෙනවා. උඹට  තියෙන්නේ ඒ ඇඳුම්  ඇඳගෙන ඒවා බලන්න එන මිනිස්සු ඉස්සරහ එහාට මෙහාට ඇවිදින්න. ඇත්තටම එරික් ට තේරුණා උඹේ ඇඟ හොඳයි කියල. අල ගිලින අපේ සමහර අනිත් කෙල්ලන්ට  වගේ උඹට තඩි කකුල් නැහැ. ඉස්සරහත්  ගානට තියනවා. පස්සත් ලස්සනයි. මොකද කියන්නේ. " ස්වේතා තාන්යා ගේ උරහිසට අතක් තබා ලෙන්ගතු ලෙසින් කීවාය.

"වෙන නරක වැඩ කරන්න නැහැනේ . රෑට මිනිස්සු එක්ක යන්න  හෙම නම් මට බැහැ . මම අහල තියනවා එහෙම ඒවා වෙනවා කියල. " තාන්යා ඇසුවේ අවිහිංසක ලෙසිනි.

"උඹ නම් මෝඩ ගෑණියෙක්. මෙහෙ දැන් සල්ලි තියන රුසියන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා. ඔය විදේශිකයෝ නැතුවට. මම උඹට එකෙක් හොයල දෙන්නම්. "

"මට එපා. උඹට ගොඩක් ස්තූතියි. මම  යනවා" තාන්යා නැගිටින්නට තැත් කළාය.

"මෙහෙ එක දවසක් මොඩලීරවනිය  කලොත් ඩොලර් සීයක් විතර දෙන්න පුළුවන්. හැබැයි ඩුබායි කියන මැද පෙරදිග රටේ එකක් තියනවා ළඟදීම. සති දෙකක කාලෙකට. එහේ  මොඩලීරවනිය කලොත් ඔයාට ඩොලර් දෙදාහක් දෙන්නම්. තව ගැහැණු ළමයි ගොඩක් යනව. ඔයා ඇත්තටම ලස්සන නිසා කියන්නේ. අපි ගිවිසුමක් අත්සන් කරලා ගෙනියන්නේ. හොර කරන්නේ නැහැ. ගමන් වියදම්, කෑම වියදම්,  හෝටල් වියදම් ඔක්කොම දෙනවා. අනික ඒ රටේ ඉඳල ලංකාව කියන රටට හුඟක් ළඟයි. පැය දෙකක්වත් නැත්ද කොහෙද? මෙහෙ එන්නේ නැතුවම එහෙට යන්නත් පුළුවන් ඔයාට " එරික් කීවේය.

ලංකාව යන නම ඇසුනු වහාම නැගිටමින් සිටි තාන්යා ට ඉබේම ඉන්දවිනි.

ස්වේතා තාන්යා ගේ වෙනස් වීම සැණෙකින් නිරීක්ෂණය කළාය.
"තාන්කා, මගේ කෙල්ලේ, උඹ නියම රුසියන් දියමන්තියක් නේ. උඹල වගේ උන් ඕනේ අපට. හැබැයි උඹ ටිකක් වැඩිමල්. අපට ඉන්න කෙල්ලෝ  උඹටත් වඩා හුඟක් ලාබාලයි. නමුත් මගේ නේවාසිකාගාරේම හිටි කෙල්ලනේ උඹ. මම උඹව එක්ක යන්නම්. මාත් යනවා. පාස්පෝර්ට් එක අරන් වරෙන් මම ඩුබායි වලටයි, ලංකාව කියන රටටයි  වීසා ගහල දෙන්නම්. "

"ඔයා පාස්පෝර්ට් එක අරන් එන්න. හෙටම. අපි ගිවිසුම් අත්සන් කරනවා ඉදිරි දින දෙක තුනේ. ඩොලර් පන්සීයක් අත්තිකාරම් දෙන්නම්. " එරික් ඉතා කරුණාවෙන් මෙන් කීය.

තම ලාච්චුව විවෘත කළ ස්වේතා ඉන් ඩොලර් සියයක් ගෙන තාන්යා අත තැබුවාය.

"උඹ දිරිවෙයාන්කා වගේ ඔය ගම්වල අඳින ගවුමක් නේ ඇඳන් ඉන්නේ. මේක අරගෙන හොඳ ඇඳුමක්  දෙකක් ගනින්. ඉතුරු ඒවා අපි දෙන්නම් " (දිරිවෙයාන්කා යනු ලී පතුරක් හෙවත් කිසිම කමකට නැති යන අර්ථය දෙන වදනකි)

ඔවුන්ගේ හදිසි කරුණාවට තාන්යා වශී වූවාය. හදිසියේම අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමටද ලංකාවට යාමටද මාර්ගයක් පෑදී තිබේ. ඇයට ස්වේතා ගේ දුරකථන අංකය දුන් ඉන්ගා ටද සිතින් ස්තූති කළාය.

තාන්යා ගේ වැඩිමහල් සොයුරිය ලේනා ට මේ චාරිකාව එතරම් සිතට ඇල්ලුවේ නැත. ඇය එයට දැඩි ලෙස විරුද්ධ වූවාය. තම නැගණිය නොදන්නා රටකට යාම අනතුරුදායක බවට ඇය තර්ක කළාය.

"ගිහාන් ට ඕනේ නම් ඌ එන්න ඕනේ මෙහෙ. මෝඩ කොල්ල. උඹ යන්නේ මොකටද? උඹ ආලයෙන් පිස්සු වැටිලා ඉන්න මෝඩ කෙල්ලක් " ලේනා කෑ ගෑවාය.

නමුත් ලේනා ගේ පෙම්වතා වලොද්යා මෙන්න  ඔවුන්ගේ පියා  වන ඇලෙක්සෙයි ද මව අක්සානා ද ගත්තේ තාන්යා ගේ පැත්තය.

" ඔන්නොහෙ රට රටවල් බලල ලංකාවට  ගිහින් ගිහාන් හමු වුන දෙන් . එක පාරට බඳින්න එපා. එහෙ ලංකාව බලල, ජිවත් වෙන්න පුලුවන්ද බලල  එන්න මෙහෙට ආපහු. ගිහාන්ට කියන්න මෙහෙදී  බඳින්න කියල. ඔයාට ස්වේතා විශ්වාසයි නේ ".

ස්වේතා අවිශ්වාස කිරීමට තාන්යා ට හේතුවක් නොතිබිණි. ඇය ගේ  සිත අරක් ගෙන   තිබුණේ සති දෙකකින් ලංකාවට යෑමට ලැබෙන අවස්ථාව  ගැනය.

මව ගේ අවසාන යෝජනාව සම්මත වුනි.

මොස්කව් ශේර්මිතෝවා ගුවන් තොටුපලේදී සොයුරියන් දෙදෙනාම බොහෝ වෙලා එකිනෙකා  වැළඳගෙන  කඳුලක් පිස ගත්තෝය. ඔවුන් දෙදෙනා මෙසේ වෙන්වී එක සොහොයුරියක්  වෙනම රටකට ගොස් නැත.

ගුවන් යානයේදී තාන්යා ගේ මුළු සිත පුරා වූයේ ගිහාන් ගැන සිතිවිලිය.

"සති දෙකයිනේ. ඊට පස්සේ ගිහානුෂ්කව   හම්බවෙනවා. එයා  ආසයි මම එයාව බදාගෙන   එයාගේ බෙල්ල ගාවට තොල තියා හොරෙන් වගේ හාදුවක් දෙන එකට". ඇයට නොදැනීම සිනාවක් මුවග  නැගුණි.

ඇගේ යාබද අසුනේ සිටි යන්තම් වයස  දහ අටක් වන ක්සේන්යා තාන්යා ගේ මුවෙහි නැගුණු  මදහස දැක සිනාවක් පෑවා ය. තාන්යා ජනේලයෙන් එළිය බැලුවාය . ගුවන් යානය මොස්කව් නුවරින්  ඉහල අහසට නැගෙයි.

කුමක්දෝ හේතුවක් නිසා ඇයට මොස්කව් නුවර කිහිප දිනකට  හෝ හැරයාම පිළිබඳව දැඩි ශෝකයක්  දැනුණි.

~~~~~~~මතු සම්බන්ධයි
-පින්තූරය අන්තර්ජාලයෙනි.