Friday, 31 July 2020

නමේ පන්තියේ තරඟය - නැවත ලැබුණු පින්තූර


මේ කතාව නමයේ පන්තියේ කතාවක් ලෙස මගේ  බ්ලොග් අඩවියේ  2017 අප්‍රේල් 24 දා පල විය.

ලිපිය: නමයේ පන්තිය - නමය නරකද

අප දිනු තරඟාවලිය ගැන මිහිර පත්‍රයේ 1979 දී පළ කල පුවතට  අදාල කොටස එම තරඟවලට සහභාගී වූ මහේෂ ත්‍රිමාන්න ට නිවසේ පොත් ගුල අස්  කිරීමේදී ඊයේ හදිසියේ ඇස ගැටී තිබුණි. ඔහු අද එය මට ෆේස්බුක් හරහා එවීය. මේ පින්තුරය ගැන මා  ඒ දිනවල  ලැජ්ජාවට පත්ව සිටියේ එතැන සිටි උසින් කුඩාම සිසුවා මා බැවිනි. මගේ උස ගැන මට දැන් ලැජ්ජාවක් නැත,


ඒ ලැජ්ජාව මට නැතිවුනේ සෝවියට් දේශයේදීය. සෝවියට් දේශයේදී කලාතුරකින් හැරෙන්නට කිසිවකුත් මට උස සම්බන්ධයෙන් විහිළුවක්  කර නැත.  කිසිම  කරුණකදී උස ප්‍රශ්නක් වීද නැත. 

මගේ දකුණු පස මහේෂ ත්‍රිමාන්නත් කෙලවරේ ටී ඒ ඩී දාබරේ සහ වමේ කලවරේ ප්‍රදීප් ජෙගනාදන් ද වෙති.

 

නමයේ පන්තියේ දෙවන භාගයේ  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම්  වලට සහභාගී වුනෙමි. සිංහල  සංගමය (හෝ ඉතිහාස සංගමය)  විසින් පන්ති අතර ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න වලින් සමන්විත තරඟයක් පවත්වන ලදී. මම එය දිනුවෙමි. මට සහතිකයක් වැනි යමක් ලැබුණා දැයි මතක නැත. නමුත් ඉතිහාස පොත් කියවීමෙන් ලැබූ දැනුමට වටිනාකමක් ලැබුන බවට හැඟීමක් තිබුණි.

 රාජකීය විදුහලේ රැස්වීම් පවත්වන ශාලාවට ඇතුළු වන තැන විශාල දැන්වීම් පුවරුවක් තිබේ. බොහෝ දැන්වීම් ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒ අතරේ වටකුරු ලක්ෂණ සිංහල අකුරු වලින්  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම් ගැන ලියැවුණු දැන්වීම් ද දුටුවෙමි. ඒවායේ අත්සන් කර තිබුනේ සමන් ආතාවුද හෙට්ටි යන නමකිනි.

සමන් අයියලා බොහෝ දේවල් සංවිධානය කිරීමට දක්ෂයන් විය. සමන් ආතාවුද හෙට්ටිට  ඒ දිනවලත් ගුවන් විදුලිය සමග  යම් සබඳතාවක් තිබුණි.  ඒ අතර ඔවුන් පාඨශාලාන්තර සාමාන්‍ය දැනීමේ තරඟයක්ද සංවිධානය කළහ. මෙයට සහභාගී වන රාජකීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා පුස්තකාලයේ ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු දීමට තිබුණි. මට වැඩිම ලකුණු තිබූ හෙයින් මම කණ්ඩායම් නායකයා වීමි. මේ කණ්ඩායමට සිටියේ මමත්, ප්‍රදීප් ජෙගනාදන් ( මහාචාර්යවරයෙකු වන  ප්‍රදීප් ජෙගනාදන් මේ දිනවල ඉන්දියාවේ ශිව් නාඩර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය ලෙස රැකියාව කරයි.), මහේෂ් ත්‍රිමාන්න සහ ඒ ටි ඩී දාබරේය. ඉතිරි සාමාජිකයාගේ නම මතක නැත.

තරඟ පැවතියේ බේරේ වැව මැද පිහිටි සිඟිති උයනේය.

සමන් ආතාවුද හෙට්ටි සහ සිංහල  සාහිත්‍ය සංගමයේ  තවත් කිහිප දෙනෙක්ම අප කණ්ඩායම සමග තරඟය පවත්වන තැනට පැමිණියහ. මුල් වට කිහිපයම අපට පහසුවෙන් දිනිය හැකි විය. අවසන් පූර්ව තරඟය තිබුනේ විශාඛා විද්‍යාලය සමගය. අපට ඔවුන් ලෙහෙසියෙන් පරදවා අවසන් වටයට යාමට හැකි විය. දේවී බාලිකාව හෝ වෙනත් විදුහලක් පරදවා ආනන්ද විදුහල් කණ්ඩායමද   අවසන් වටයට අපේ කණ්ඩායම සමග තේරුණි. ආනන්ද කණ්ඩායමේ නායකයා ගේ නම අජිත් ගුණතිලක බවද මතකය.

ආචාර්ය ජෙගනාදන් හෙවත් ජෙගා ලඟදි කිව්  කරුණක් නම් එම තරඟාවලියේ අප විසින් පැරදවූ කාන්තා විද්‍යාල කණ්ඩායමේ (Ladies college ) ඔහුගේ ප්‍රියම්බිකාව වන මාලතී ද සිටි බවය. ඔවුන්ට මේ බව හෙළි  වුනේ  විවාහයට  පසුව කළ කතා බහකදී බව ඔහු පැවැසීය.

 තරඟයේදී වට තුනකින් අපට ආනන්ද විදුහල පැරදවිය හැකි විය. ආනන්ද කණ්ඩායම අසමත් වුනු ප්‍රශ්නයකට මම පිළිතුරු දුනිමි. ඒ "අසාහි ෂිම්බුන්" යනු කුමක්ද යන්නය . ඉතියෝපියානු යුද්ධය හා එරිත්‍රියාව ගැන ප්‍රශ්නයකට ජෙගා පිළිතුරු දුන්නේය. ශූරතා පළිහ හේමා ප්‍රමදාස මහත්මිය අපට ප්‍රදානය කරන ලදී.

අප ජයග්‍රහණය කළ ප්‍රීතියට  ත්‍රිමාන්න ගේ   පියා  විසින් මුළු බේරේ  වැව පුරා බෝට්ටු සංචාරයකට මුළු කණ්ඩායම ම රැගෙන ගියේය. ඉන්පසු රාජකීය විදුහලට ගොස් එවකට එහි සිටි විදුහල්පති තුමාට ජයග්‍රහණය ගැන පවසා ශූරතා පළිහ භාර දුනිමු.

පසුදා  මා පාසැල අවසන් ව නිවසට එද්දී අපේ නිවෙස් අසළ යහළු යෙහෙලියන් සමූහයක් මිහිර පත්‍රයක් අතැතිව කෑ ගසමින් සිටිනු දුටිමි. ඒ අපේ ඡායාරූපයක් මිහිර පුවත්පතේ දෙවෙනි පිටුවේ පළවී තිබූ නිසාය. උස කොල්ලන් තිදෙනෙකු අතර උසින් අඩු මම ශූරතා  පළිහ ද අතැතිව සිටින ඡායාරූපයකි.  එදින  අපේ නිවෙස් අසල මම මදක් ජනප්‍රිය වී සිටියෙමි.

ඊළඟ වසරේ ප්‍රදීප් ජෙගනාදන් ශ්‍රී ලංකා රුපවාහිනියේ පාසැල් අතර ඉංග්‍රීසියෙන් පැවැත්වුණු සාමාන්‍ය ය දැනීමේ තරඟාවලියටද සහභාගී වුනි.

සමන් අතාවුද හෙට්ටි  අයියා නැවත  හමුවන්නේ "ලන්දේසි දූපත" ළමා නාට්‍යය හරහාය. ඔහු රඟ පෑවේ ජිල් ජෝනා ට ද වන්දබෞනා ට ද යන්න මට මතක නැත.  අවුරුදු 38 කට පසු පසුගියදා දැන  හෝ නොදැන සහෘද කිවිඳියක හරහා රූපවාහිනියේ සංවාදයක යෙදෙන්නට ස්වාධීන රුපවාහිනියේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා අපට අවස්ථාවක්  ලබා දුන්නේය.

එසේම පාසලේ සහෝදර සිසුන් කණ්ඩායමකට තම දක්ෂතා  පෙන්වා තමන් උගත් විදුහලට ආඩම්බරයක් ලබා දීමට එම තරඟාවලිය සංවිධානය කල සමන් අයියා ප්‍රමුඛ සිංහල සාහිත්‍ය සංගමයට හැකිවිය.

ඔබලාට ස්තූතියි.

Wednesday, 29 July 2020

පර්රිප්පු කෑම

කොවිඩ් 19 නිසා අපි දෙන්නම ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඉනෙස් උදේට විතරක් වැඩ කරන නිසා එයාට දවල්ට උයන්න් වෙලාව තියනව. ඉතින් මට තමයි අවුරුදු නැත්නම් නත්තල්. ඔෆිස් එකේ වගේ මයික්‍රෝවේව් එකේ රත් කරලා ඊට කලින් දවසේ උයපුව කන්න ඕනේ  නැහැ. උදේට කැඳ හදල දෙනවා. ලංකාවේ වගේ කොළ කැඳ හරි සව්  හරි සිමොලිනා වගේ දේ. දවල්ටත් වෙන වෙනම  ඒවා. යූටියුබ් පර්යේෂණත් යනවා.

අද හැදුවේ මුං පියලි වලින් පරිප්පු. මේ පහල තියෙන්නේ පැකට් එක. මුං ඩාල් චිල්කා කියන්නේ.

පරිප්පු කියනකොට මගේ යාළුවෙක් මතක් වුනා . මෑන් ඒවාට   කීවේ පර්රිප්පු කියල.  ඒ දස්වල ගෙවල් පැත්තේ කොල්ලෝ මට කීවේ රෝයල් පරිප්පුවා කියල. මං වගේ රෝයල් පරිප්පුවෝ කිහිප දෙනෙක්ම හිටි නිසා අවුලක් වුනේ නැහැ. බිග්  මැච් වලදී හැබැයි  තෝරා පරිප්පු කියා කෑ  ගහනවා කියල මට ඇහිලා තියෙන්නේ.

    මේ ලිපිය ඇත්තටම ලියන්න හිතුනේ මෙන්න මේ ලිපිය කියවපු නිසා. ඉන්දියාවෙන් කෑ පරිප්පු.ලියල තියෙන්නේ චන්දිම ගෝමෙස් මහතා තමන්ගේ බ්ලොග් එකේ. පරිප්පු වර්ග සහ නිර්මාංශික ඉන්දියානු කෑම  ගැන තියෙන සටහනක්. මම මගේ මවත් රැගෙන  බෞද්ධ  සිද්ධස්ථාන  වැඳ ගැනීමේ සංචාරයකට 2006 දී  ගිය නිසා මේ රසවත් ඉන්දියනු කෑම වේල් ගැන හොඳ අදහසක්  තියනවා.

මම මගේ  බ්ලොගයෙම කලින් තැනක ලියල තියෙන කතාවක් තමා අවුරුදු විසි  ගණනකට පස්සේ මම කිරි තේ එකක් බීවේ ඉන්දියාවේදී කියන එක . ඒ කාලෙත්  මට කිරි බොන්න බැරි බව දැනගත්තු බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්දියාවේ කිරි ආහාර කන්න සහ තේ බීල බලන්න කියල මට අනුසාශන කරපු නිසා. ඉතින් අම්මත් එක්ක හොඳ  ආපන ශාලාවකට ගිහින් නිර්මාංශික ආහාර වේලක්, යෝගට්, අරව මේවා එක්ක කාල කිරි තේ එකකුත් බිව්වා. ඒ ගමනේදී තමා දැනගත්තේ මට යුරෝපේ කිරි තමා අරහං කියල. (අර ලැක්ටෝස් ප්‍රශ්නෙත් එක්කම )

ඉතින් චන්දිම ගෝමෙස් ගේ ලියුම කියවල බැලුවට පස්සේ මට හිතුන හුඟක් දවසකින් පරිප්පුවක් කෑවේ නැහැ නේද කියල. ඉනෙස් නුත් හුඟක් කැමැතියි පරිප්පු කන්න. 
අපි මුණ ගැහුණු දවස්වල මම එක දවසක් කුකුළු මස්, බත් සහ පරිප්පු ඉව්ව. සෝවියට් දේශයේදී අපරාදේ කියන්න බැහැ වඩුගේ අයිය කියන සීනියර් උන්නැහ තමයි  මසුයි, මාළු මිරිස් (මේ කියන්නේ පෙපර් )  උයන්න ඉගැන්නුවේ.  මේ වඩුගේ අයිය කියන්නේ සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ නෑදෑයෙක්.  ඇත්තටම අපට හිටියේ  රත්තරන් සීනියර් උන් ටිකක්.  මම දන්නෙත් අර දෙක උයන්න විතරයි ඒ දවස් වල. 

කතාව වෙන පැත්තකට යනවා වගේ. 

දැන් ඉතින් එයා ඒ කියන්නේ    ඉනෙස් ඔය මම ඉව්ව දවසේ පරිප්පු ටික පිඟානකට බෙදාගෙන කාල ඉවර කළා. මම බැලුවා මේ මොකක්ද වුනේ කියල. එයාහිතුවේ ඒ සුප් කියලලු. මගේ පරිප්පු ඉවිල්ල  හිතා ගත්ත හැකිනේ.  
 අපේ අම්ම ලන්ඩන් ආපු දවස් වල ඉනේස්ට පරිප්පු උයන්න ඉගැන්වූවා. කහ විතරයි දාන්නේ . තෙම්පරාදු කරන්නේ මෙහෙම . ඔන්න ඔය වගේ. මෙයා අම්මට කියනවා මේ අජිත් උයන්නේ එකම විධිහටනේ. තුනපහයි මිරිසුයි ලුනුයි එකට දාල බලා ඒකට මස් දානවා. පරිප්පු හදන්නෙත් එහමයි. වෙන ඕන එකක් හදන්නෙත් එහමයි. මම කිව්වා මම දන්නේ කොහොමද ඉතින්, වඩුගේ අයියා කියල දුන්නේ එහමයි. මාත් එක්ක හිටි අනිත් අජිත් (ලොකු අජිත්)  ඉව්වෙත් එහෙමයි.   

පරිප්පු හදන එක මට තහනම් වුනා ඊට පස්සේ.

මේක මතක් වුනේ චන්දිම ගෝමෙස් කියල තිබ්බ එකම පරිප්පුව  ඉන්දියාවේ වෙන වෙන ප්‍රාන්ත වල වෙන වෙනම විධි වලට  උයන්නේ, ඒ හැම එකක්ම හරිම රසවත්  කියල. 
ඒ අතර පරිප්පු වගේ කෑම (pulses) කොපමන සෞඛ්‍ය ය සම්පන්නද  කියලත් ලියල තියනවා. ලිපිය බලන්න,
ඉතින් මම ඉනේස්ට ඕක කිව්වා. මෙයා කීව අපි ළඟ මුං පියලි පරිප්පු වගයක් තිබ්බ . උයන්නම් කියල.
යූ  ටියුබ් එක බලාගෙන හැදුව විතරක් නෙමේ  ඒකෙ කියල තියන විධිහට උඩට කොත්තමල්ලි කොළත් දාල කෑම වේල දුන්න.
ෆේස් බුක් එකේ දාන්න ඉතින් මම උයන්නේ නැති නිසා ඉනෙස් ගේ කෑම පින්තූර තමා දාන්න වෙන්නේ. බලාගෙන ගියහම ලංකාවේ පිරිමි අපට වැඩිය උයනවා  කියල තමා පේන්නේ ෆෙස්බුකේ තියෙන නානාප්‍රකාර උයන්නන් ගේ සංගම් බැලුවහම. ලංකාව ගොඩක් වෙනස් වෙලා නේද?  


 

Thursday, 23 July 2020

තණමල්විල කොල්ලෙක් සහ වට්ටෝරු කථා

තණමල්විල කොල්ලෙක් ගැන මුලින් ලියූ ලිපි දෙකෙහි යොමු:.


වට්ටෝරු සිනමාව කියා ජාතියක් තිබුනා මතකද? තවමත් ඉන්දියානු හා දකුණු ඉන්දියානු සිනමාව තුල මේ වට්ටෝරු කතා දක්නට ලැබේ. වට්ටෝරු සිනමාවට අයත් අනිවාර්ය අංග කිහිපයක් තිබුණි. ඒවායේ කෙල්ල හා කොල්ලද දුෂ්ටයා ද අනිවාර්යයෙන් සිටිති. එක්කෝ කෙල්ල දුප්පත්ය. කොල්ලා  පොහොසත්ය. නැත්නම් අනිත් පැත්තටය. තාත්තා හා අයියා විරුද්ධය. කෙල්ලගේ පෙම ඉල්ලන තවත් ටිකක් කැත දුස්ටයෙකුද සිටී. ඒ අතරේ පෙම්වතාට හෝ පෙම්වතියට උදව් කරන ඔවුන් තරම් ලස්සන නැති විහිළුකාර යහළුවෙක් හෝ යෙහෙලියක්ද සිටී. ලස්සන තැන්වල (ඇල්ල ප්‍රදේශයේ හෝ හැටන් වල ) රූගත කිරීම වල ගස් වටේ දුවන සින්දු කියන දර්ශන ඇතුලත්ය. අන්තිමේදී   කෙසේ හෝ  දෙදෙනාගේ සැබෑ ,අවංක, අකලංක,  අනන්තයට දිවයන, කෝඳුරු මාදුරු ප්‍රේමය ජය  ගනී .  

හින්දි  සිනමාවේද මෙවැනි වට්ටෝරු කතා හා ගීත පිරි චිත්‍රපට  බහුලය. හැබැයි  හැම  වට්ටෝරු කතාවක්ම  නරක නැත. 

බච්චන්ගේ වාර්තා කැඩූ අභිමාන් මෙන්ම ගීත් වැනි චිත්‍රපටද මා දෙවරක් බැගින් බලා තිබේ. එසේම මෑත කාලයේ ෂාරුක් ඛාන් රංගන    කබි කුෂි කබි ඝම් හා ප්‍රීති සින්තා රඟන කෝ මිල් ගයා ද බැලිය හැකි වට්ටෝරු සිනමා ගණයේ චිත්‍රපටය.
  
ශ්‍රී ලංකාවේ  මෙන්ම වෙනත් ආසියානු රටවල්ද බ්‍රිතාන්‍යයේ ද වට්ටෝරු රූපවාහිනී කතා බහුලය. කොරියන් කතා, ඉන්දියන් කතා හා චීන කතා වල හුරු පුරුදු වට්ටෝරු දක්නට ලැබේ. හොඳට හැදී නරකට යන එකම පුතා බේරා  ගන්න සුන්දර දුප්පත් කෙල්ලන් ගැන කියවෙන ආසියානු රූපවාහිනි නාට්‍යය බහුලය.  එසේම ඉතා අස්භාවික භෞතික විද්‍යාවේ නියාමයන් බිඳ දමන  වර්ගයේ සටන් හා ජවනිකා ඇතුලත් චිත්‍රපට දකුණු ඉන්දියානු රූපවාහිනී හා චිත්‍රපට වල බහුලය.

මේ වට්ටෝරු කතාවලට එරෙහිව ලිබරල් වාදීන් හා බොහෝවිට ට්‍රම්ප් ලිබරල් ලෙෆ්ට් කියා හඳුන්වන වාමවාදී පැත්තෙන් එන විකල්ප සිනමාවක්ද විකල්ප රූපවාහිනි කතා මාලාවල් ද තිබේ. උදාහරණයක් වශයෙන් "24" නමැති ජැක් බවර් ඒජන්තයා රඟන (කිෆර් සදලන්ඩ් ) ඇමරිකන්  කතා  මාලාව වඩා දක්ෂිණාංශික නීතිය කෙසේ හෝ රැකීමේ (වධ දීම් සාධාරණය කිරීම) පස ගන්නා අතර පයිරේට් ටිවි , මිස්ටර් රොබොට්, හියුමන් වැනි කතා මාලා වාමවාදී ස්වරයක් ගනී. ස්ටැන්ලි කුබ්රික් ගේ මෙටල් ජැකට් චිත්‍රපටය විකල්ප වට්ටෝරුවේ වාමවාදී එකක් යයි සිතමි.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ  නිපදවුණු බොහෝ චිත්‍රපටවල විකල්ප වට්ටෝරුවට ඇතුලත් වූයේ කුමක්ද? වර්තමාන අධ්‍යක්ෂක වරුන් වන හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සත්‍යජිත් මා ඉටිපේ , සහ මලිත් හෑගොඩ   ආදීන්ගේ සිනමාව මේ ගණයට ඇතුළත් කළ හැකිය.
 
හමුදාවේ සොල්දාදුවෙක් හා මායිම් ගම්මාන සම්බන්ධ  කතාවක්  "සුළඟ එනු පිණිස" චිත්‍රපටයට ඇතුලත්ය. බොරදිය පොකුනෙහි ඇත්තේ ගාමන්ට් යන තරුණියක්  ගැන කතාවකි. ඇය පැමිණ ඇත්තේ තණමල්විල වැනි දුප්පත් යයි කිවහැකි ගමකිනි. ඩොස්ටොයෙව්ස්කි ගේ කතාවක්  ඇසුරින් නිපදවූ "ඔබ නැතිව ඔබ එක්ක " චිත්‍රපටයේ  සෙල්වී ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ කිලිනොච්චි පැත්තේ දමිළ කාන්තාවකි.

විකල්ප වට්ටෝරුවේ මේ කතාවල අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ  යුද්ධය සම්බන්ධ විකල්ප මතයට වැඩි තැනක් ලැබේ. ඒ හමුදා භටයා යන්නේ "රට බේරා ගැනීමට වුවද" ඔහු පසුව "රණ විරුවෙකු" වුවද ඔහු හමුදාවට බැඳෙන්නේ වෙනත් ජිවන මාර්ගයක් නොමැති තැනය. අවම වශයන්  දෙමාපියන්ට නිවසක් සාදා,  දීග නොකිය අක්කා හෝ නංගි ට විවාහයක් කර දී මල්ලිට උගන්වන්නටය. ජාතිවාදී රණ ඝෝෂාව තුල මැකී ගියද මෙය සත්‍යයක් බව අපි දනිමු.     

මේ වට්ටෝරුවේ "කොළඹ නිසරු සමාජය" පිලිබඳ ලිබරල්වාදී අදහස් හා රණවිරු ලොබියේ එන්ජිඕ විරෝධයද දැකිය හැකිවනු ඇත. එසේම රැකියා විරහිත කොල්ලන් කෙල්ලන් රවටන් වාමාංශික "තෙල බෙදන්නන් " හා ඔවුන් කෙරෙහි කලකිරුණු චන්දරේ ලාද සිටිති.

නමුත් වට්ටෝරුව තිබූ පමණින්  දක්ෂතාවයක් නැත්නම් සාර්ථක චිත්‍රපටයක් කළ නොහැකිය.  ඒ සඳහා හොඳ වට්ටෝරු වෙදෙක් විය යුතුය. චිත්‍රපටයක් හදනවාට වඩා සාර්ථක රූපවාහිනී කතා මාලාවක් "විකල්ප වට්ටෝරුව" යොදා සෑදීම තවත් අමාරු කාරියකි. මට අනුව රොෂාන් රවින්ද්‍ර නම් දක්ෂ වට්ටෝරු වෙදා කර ඇත්තේ එයයි.

කරන්නට දෙයක් නැති, අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ අසමත්  වැලි ගොඩ දාන, නිදන් හාරන, රෙදි මහන, අන්තිමට ගාමන්ට් යන, සම්භාහන  ආයතන වලට යන ගැමි තරුණ තරුණියන් පිරිසක් සිටිති. උන්ව රවට්ටන දේශපාලුවන් ද සිටිති. යාන්තමට කුලවාදයේ අමිහිරි බවද මේ මම කතාමාලාව තුල දැක ගත හැකිය.  වාමාංශයේ නොහැකියාව පෙන්වන ගමන් හා තරුණයින් රවටා පනින  උන්ගෙන් සමහරු  පසුව ව තම බඩ වඩා ගැනීමට දේශපාලුවන්ට එක්වෙන උන් ගැනද අනිවාර්ය ජවනිකා ඇතුළත්ය. හමුදාවට යන එකෙක්ද දිවි දුන් පසු මිනිය තබන්නටවත් ඉඩක් නැති නිවසක්ද තිබේ. මියගිය භටයෙකුගේ  හමුදාවේ පෙන්ෂන් එකට ඔහුගේ මව හා ගැබ්බර බිරිය දබර වෙන දුක්මුසු දසුන් අප නිතර ලංකාදීපයේ හෝ දිවයිනේ   පොඩි ප්‍රවෘත්ති කෑලි වල කියවමු.  හමුදාවේ සිට ගෙදර එන යුදයෙන් ආබාධිත වූ  සහෝදරයෙක්ද සිටී. 
සින්දු බණ කියන හාමුදුරුවන් සමහර විට අපවත් වුනු ලොකු හාමුදුරුවන් ගේ  පුතා විය හැකිය. හැබැයි සියල්ල ඇති පමණටය. ප්‍රේක්ෂකයා මේ වට්ටෝරුවෙන් වෙහෙසට පත් නොවේ. 

       මේ කතා මාලාවේ මගේ සිත්ගත්ම චරිතය සමන්ති අක්කාය.  
මගේ මුල්ම ලිපිය , "තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා " හි තණමල්විල බැරල් එක ලෙස හැඳින්වීම තරමක අපහාසයක්  සේ පෙනුනද එයේ එසේ නොවන බව පවසමි.  එහි "තණමල්විල බැරලය" ලෙස ආදරයෙන් හැඳින්වූයේ එම නාට්‍යයේ වඩා වැදගත්ම චරිතය ලෙස මට සිතෙන්නේ  දීප්තගේ සොයුරිය වන  සමන්ති අක්කා බැවිනි.  සමන්ති අක්කා ලෙස  සුලෝචනා වීරසිංහ ගේ රඟපෑම නාට්‍යය පුරාම   විශිෂ්ඨ ලෙස ඉස්මතුවේ. මේ චරිතයේ රංගන සුලෝචනා වීරසිංහ අති දක්ෂ ලෙසත් ඉතා පහසුවෙනුත් ඒ චරිතයට ආවේශ වෙයි.  මේ කතා මාලාවේ චරිත සියල්ලම  එකිනෙකට බැඳ තබන නොකැඩෙන  නොබිඳෙන හුය ඇයයි. තිර රචකයාත් අධ්‍යක්ෂකවරයාත් බල පොරොත්තු වූවාට වඩා වැඩි රංගනයක් ඇගෙන් වීයයි සිතමි. 

මේ රූපවාහිනි කතා මාලාව මට පෙනෙන්නේ පාලමක් ලෙසටය. කැළණි පාලම හෝ "ලන්ඩන් බ්‍රිජ්  " පාලම සිහියට නගන්න. දෙපැත්තේ කුළුණු දෙක යා කරන්න පාලම  සමන්ති අක්කාය. පාලම රඳන කුළුණු දෙක තාත්තා හා යසෝධරා ය.  දීප්ත ඇවිද යන්නේ එහිය, ඒ අතර තුර ඔහුගේ යහළුවන් පතෝලයා , කුරා , මරියා , නාලිකා , ජර්මන් යුවතිය පාලමේ ඇවිද යන දීප්තට එලිය දෙන පහන් කණුය. දෙපැත්තේ බැමිය . 

අපොස සාමාන්‍ය පෙළ අසමත් දීප්තට ඇත්ත වශයෙන් අනාගතයට බලපාන යමක් ලැබෙන්නේ තාත්තා ගෙනි. සිත්තම් කලාව ඔහුට එන්නේ පියා ගෙනි. ඒ මතුකරන අදහස වැදගත්ය. කිසියම් ශිල්පයක් පුහුණු විය යුතුය. අනාගතයට ප්‍රයෝජනවත් වන්නේ එයයි. පොත් දෙන යසෝධරා "කියැවීම " ඔහුට පුහුණු කරයි "ලෝකය" දැන ගැනීම අවශ්‍ය දෙයකි. හරි "කියැවීම" ඉතා වැදගත් වන්නේ එබැවිනි.    

දීප්ත ලෙස ධනුක දිල්ෂාන් ගේ රඟපෑම් ගැන කියනවාට වඩා ඔහුත් අධ්‍යක්ෂකවරයාත් අතර සම්බන්ධය ගැන කීම වටී. ගොළු හදවත එපිසෝඩ් වලට අමතරව මට එය පෙනෙන්නේ සිඩ්නි පොලාක් ගේ ජෙරමියා ජොන්සන් චිත්‍රපටයේ රොබට් රෙඩ්ෆෝඩ් ගේ චරිතය මෙනි. වඩා වැඩි කතාබහක් නොමැති එම චරිතය මුළු චිත්‍රපටයම අතික්‍රමණය කරයි. ජෙරෙමියා  ජොන්සන් හි කඳු කරයේ තනිව ජිවත් වන මිනිසා වැඩි කතා බහක් නැත්තෙකි. නමුත් ඔහු තමන්ට අවශ්‍ය ජීවිත දැනීම හොඳ  යහළුවන් පිරිසක් හරහා  ලබාගෙන ක්‍රොව් ආදී වාසී (මුල් ) ඇමරිකානු ගෝත්‍රයක් අසල වාසයට යයි. 

අවශ්‍ය නම්  කෙවින් කොස්ට්නර් අධ්‍යක්ෂණය කල  වෘකයන් සමග රඟන්න (dances with wolves ) චිත්‍රපටය සහ එහි ප්‍රධාන චරිතය ජෝන් ඩන්බර්  ද ගත හැකිය. තනිව ජිවත් වන  ඩන්බර් වෘකයකුට කෑම දී යහළු වී ඌ සමග සෙල්ලම් කරයි. ඔහුට මුල් අමෙරිකානුන් (රතු ඉන්දියානුන් ) වෘකයන් සමග නටන්නා  යන නම තබන්නේ එහෙයිනි. ගෝත්‍රය පැහැරගත් සුදු යුවතියට ඔහු පෙම් බඳී.  

ධනුක දිල්ෂාන් , රොෂාන් රවින්ද්‍ර ට අවශ්‍ය ලෙසම රඟපාන අතර අධ්‍යක්ෂවරයා ගේ හැකියාව තම රංගනය හරහා ඔප මට්ටම් කර පෙන්වයි. ඇත්ත වශයෙන් ම ප්‍රධාන චරිත මෙන්ම මේ කතා මාලාවේ යහළුවන් පිරිස ඇතුළු අවශේෂ චරිත සඳහා රඟන   නළු නිලි සමූහයම විශිෂ්ඨ බව කියමි.

මීට කලින්  නරඹන ලද "කුඹියෝ " ටෙලි නාට්‍යයේ ඊලග කොටස එනතුරු නොඉවසිලිමත්ව සිටියෙමු. ඒ එය නිකම් රහස් පරීක්ෂක නවකතාවක් වැනිවූ හෙයිනි. "සහෝදරයා" ටෙලි නාට්‍යය මදක් දේශපාලනික  වූවකි. ඒ දෙකම ඒ පෙන්වුනු ශානරයට සාධාරණය ඉටු කරයි.
 මේ දෙකටම වඩා තාත්වික ලෙස සමාජ විශ්ලේෂණයක යෙදෙන "තණමල්විල කොල්ලෙක් "    හිතේ ගැස්මක් හෝ නොඉවසිලිමත් බවක් ඇති නොකලද නිහඬ ලෙස බ්‍රෙෂ්ටියානු කල්පනාවකින් අවසන් කල හැකි නිර්මාණයකි. සිතන්නට යමක් ඉතිරි කරන නාට්‍ය වලට කැමති පිරිසට එය අගය කළ හැකිය.
 
 ***********************************
තණමල්විල කොල්ලෙක් රුපවාහිනී නාට්‍යය ගැන බ්ලොග්  ලියන පිරිස අතර මත කිහිපයක් ඇති බව පෙනුනි. නිදිගේ පංචතන්ත්‍රය ලියන නිමල් ද, අනිත් කොනේ බෝධිනී එය සියයට සියයක් අගයන පිරිස  අතරේද නිදහස් සිතුවිලි ලියන  රවී වීරසිංහ (දැන් වැඩිපුර ලියන්නේ  ෆේස්බුක්  පෝස්ට්ය) වැඩි කැමැත්තක් නොපෙන්වන පැත්තේද සිටින බවක් පෙනේ. රවී යනු බොහෝ විට පවතින දේශපාලන වාතාවරණය දෙස බොහෝ විට තියුණු උපහාසයකින් විවේචනාත්මක බැල්මක් හෙලන අයෙකි. එසේ නමුදු ඔහුට නාට්‍යය පෙනෙන්නේ තරමක  විහිළුවක් ලෙස යයි හඟිමි.  මතුපිටින් එම විහිළුව මමද මුල් ලිපි දෙකෙන් අවධාරණය කලෙමි. 
නමුත් මේ  කතා මාලාවේ චරිතවල  ශෝකාන්තයන් ද , ප්‍රධාන ලෙස ඉස්මතු වූ  මධ්‍යම පන්තික පවුලට එය  සුඛාන්තයක් ලෙස අවසන් වීමද (පියා මිය ගිය මුත් ) ඔහුට මග හැරී නැතියයි  සිතමි. කතාවේ 89 පුතා මියගිය  පිස්සු තාත්තා ගේ සිට , දේශපාලනික ලෙස කොළඹ අතරමං ව ගමට යන සගයා ද , රැකියා නොමැතිව ජිවිත ගැට ගහ ගන්නා යහළුවන්ද , යුද්ධයට ගොස් මිය ගොස් හෝ ආබාධිතව ගෙදර එන අයියා ද මා කිවූ පරිදි වට්ටෝරුවේ කොටසකි, එහෙත් එය සැබෑ වට්ටෝරුවයි. තවමත් එයින් මිදීමට සමාජයක් ලෙස  ශ්‍රී ලංකාව අපොහොසත්ව  ඇත. මගහැරිය නොහැකි ලෙස නැවත නැවතත් ඉස්මතු  වන්නේ එයයි. 
 

Thursday, 16 July 2020

කෝවිඩ් 19 කොරෝනා වයිරස් රෝගය වැළඳුනු රෝගියෙකු ගේ සටහනක්

පසුගියදා අප  දන්නා හඳුනන "අවුල් වන්නට පෙර " බ්ලොගය ලියූ අරුණ  පෙරේරා මහතාට කෝවිඩ් 19 ආසාදිත තත්වය ඇතිව තිබුණි. දින අටක පමණ කාලයක් බාත් නගරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අරුණ  පෙරේරා තම නිවසට පැමිණ දැනට සති අටක්  පමණ වේ. හදිසියේ නැවතත් දින දෙකක් පමණ පශ්චාත් කෝව්ඩ් තත්වයක් මත ඔහුට නැවතත් රෝහල් ගත වන්නට සිදුවිය. මේ ඔහුගේ අත්දැකීමකි.

******************************************************************
තාමත් නටන කෝවිඩ් වන්නම 💃🏻🕺🏻💃🏻.🕺🏻.........කරුණාකර පරිස්සම් වෙන්න.

                    කෝවිඩ් සුවවී අදට සති අටක් පමනවේ. නමුත් විටින් විට හුස්ම ගැනීමේ අපහසුතාවයත්, අධික වෙහෙසත් ,හාට් බීට් එකේ වේගයත්, විටින් විට ඇතිවෙන ක්ලාන්ත (මෝල් කලන්තෙ නොවේ)ගතියත් ආදී දහසක් අපහසුතාවයන් ශරීරය තුල පවතී. දෙවතාවක් මගේ ජෙනරල් ප්‍රැක්ටිශනර්ට කීවත් ලොකු ප්‍රතිකාරයක් සිදු නොවේ. අඳුරන ඩොකාලාත් තත්වයට අලුත්ය. මේ කිසිවක් පැහැදිලි කර දිය නොහැක. කීවාට කවුරුත් පිලිගන්නේත් නැත. දැන් මේක  Post Covid 19 Syndrome යනුවෙන් හැඳින්වේ. ඩොක්ටර්ස්ලා පවා මේ තත්වය තවම නිසියාකාරව හඳුණාගෙන නැත. මේ අලුත්ම රෝගී තත්වයකි.

පෙරේදා මට හුස්ම ගැනීමට අපහසුවී මද කලන්තෙ ගතියක් ඇතිවීම නිසා G.P.ඇමතුවෙමි. මාව චෙක් කරලා වහාම එමර්ජන්සි වාට්ටුවට පිටත් කරේය. එතනට ගියාම මාව ඇඩ්මිට් කරා. ඉක්මනින් බ්ලඩ් ටෙස්ට් 🔎🔎රාශියක් කරලා විවේක ගන්නට කිව්වා. පසු දින බ්ලඩ් රිපෝර්ට් බලා ඔවුන් සතුටට පත්වූවත් සෑහීමකට පත්වූයේ නැත. මෙහිදී ඔවුන් අනුමාන කරේ ලන්ග්ස් ඇතුලේ බ්ලඩ් ක්ලොට් සෑදීමට ඉඩ ඇති තත්වයකි. එය මාරාන්තික විය හැක. ඒය පෝස්ට් කෝවිඩ් තත්වයක් බව දැන් සොයාගනිමින් පවති. D-Dimer නම් බ්ලඩ් ටෙස්ට් එක  සිදුකරයි🔬🔬. එයින්  සෑහීමකට පත් නොවු ඔවුන් තවත් කාඩියොලොජි ටෙස්ට් සහ CT pulmonary angiogram (CTPA)ටෙස්ට් එකෙන් පසු ලන්ග්ස් ඇතුලේ බ්ලඩ් ක්ලොට්ස් නැති බව ස්ථිර බව කීවේය👍.ඒ සියලුම හොස්පිට්ල් ටීම් එකට මගේ ගෞරවය සහ ප්‍රණාමය.🙏🙏

 දැන්  මගේ මේ හුස්ම ගැනීමේ අපහසුතාවය මාරාන්තික තත්වයක් නොවන බව පැහැදිලිය. තව මාස හතර පහක් යනතුරු මේ සියලු අපහසුතාවයන් පවතින බවත් මෙය ස්ලෝ ප්‍රොසෙස් එකක් බවත් ඩොක්ස්ලා කියයි. බෙහෙත් නොමැත. බ්‍රීතින් එක්සර්සයිසස් පමනි. ඇවිදින විට වැඩි පරිස්සමට වෝකින් ස්ටික් එකක් හොස්පිට්ල් එකෙන් ලබා දුනි. දුව නම්  කියන්නේ වෝකින් ස්ටික් එක නිසා මම දැන් ඔෆිශියලි ඕල්ඩ් කියාය. 😝😝කෝවිඩ් කරපු කෙළියක්. 😎😎
මෙච්චර හෑල්ලක් ලිව්වේ උඹලාටත් පරිස්සම් වෙන්නය. ⚠️⚠️

Friday, 10 July 2020

බැවේරියාවට වෙඩිම ගන්න ගිය කොල්ලෙක් සහ පිරිසක්

තණමල්විල කොල්ලෙක් ගැන ලියන කොට හිතුන මේකත් ලියන්න. අපි ජර්මන් නෑදෑයන් සඳහා කරපු විවාහයේ උත්සවය ගන්න ගිය හැටි. ඒක තිබ්බේ ජර්මනියේ ශ්මිඩෆෙල්ඩ් කියන  පුංචි නගරයේ. අපි ලන්ඩන් වලින්  සුදු පාට ෆෝර්ඩ් ට්‍රාන්සිට් වෑන් එකක් කුලියට ගත්ත . මම හිතන්නේ අට  දෙනෙකුට විතර  තමයි යන්න පුළුවන්. අපිම තමයි ඩ්‍රයිව් කරන්නේ. මගේ අතීසාර යාළු මිත්තරයෝ  කිහිප දෙනෙක් තමා ආවේ යන්න  අපිත් එක්ක. ක්‍රිස් තමා වාහනේ වැඩි හරියක් යුරෝපය තුල පදවන්න  එකඟ වුනේ. කොහොමත්  යුරෝපයේ වාහනය පැදවීමට වඩාත් හැකියාව ඇත්තේ ක්‍රිස්ට  සහ ඉනෙස් ට කියල අපි පිලි ගත්ත.

එතකොට ක්‍රිස් ගේ හතරවෙනි හෝ  පස්වෙනි වයිෆ් විල්මත් ආව. ක්‍රිසා ට දැන් ඉන්නේ අට වෙනි හෝ  නම වෙනි  වයිෆ් නිසා මට නොම්මරේ හරියට මතක නැහැ කී  වෙනියද කියල. විල්මා ගුවතමලා කියන ලතින් අමෙරිකානු රටින් පැමිණි ලස්සන කෙල්ලක්.

එතකොට පොඩිකාලේ ඉඳන් මගේ යාළුවෙක් වන නීල් , එයාගේ පිය බිරිඳ ආශා , ඒ ගොල්ලන්ගේ දුව, පුංචි ලස්සන පොඩිත්ති සඳලිත් ගමනට එකතු වුනා  .   ආශා ව මම ඊට කලිනුත්  දන්නවා . ආශා  ඉගෙන ගත්තේ සෝවියට් දේශයේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ නිසා. ආව අනිත් යාළුවා තමා සුමුදු , එයා ඉගෙන ගත්තෙත් සෝවියට් දේශයේම ට්බිලිසි වල. (ජෝර්ජියාවේ).

මම ඩෝවර් වෙනකන් වාහනේ අරන් ගියාට පස්සේ වාහනේ දැම්ම ඉංග්‍රීසි ඕඩය තරණය කරණ  පී ඇන්ඩ් ඕ ස්ටෙනා ලයින්  නැවට. නැව  ඕස්ටෙන්ඩ් වල නැංගුරම දැම්මම   බෙල්ජියම් හරහා ජර්මනියට  යන එක තමා අපේ ප්ලෑන් එක. 

යුරෝපේ හරහා නැව, සොරි වෑන් එක ගෙනියන කාර්යය භාරව හිටියේ කලින් කිව්ව විධිහට ක්‍රිස්ට සහ ඉනෙස්ට  (මගේ බිරිඳ). ඉඳහිට මමත් නීලුත්  ඉදිරිපත් වුනා පැය කිහිපය බැගින් වාහනය  පදවන්න. ප්‍රධාන රියදුරු මහත්මයාට සහ මහත්මියට නිවාඩු දෙන්නත් එපැයි. ලන්ඩන් ඉඳන්  ඩෝවර් වලට පැය එකහමාරක් දෙකක් විතර යනවා , නැවේ ගමන  මම හිතන්නේ පැය හයක් විතර . එතන ඉඳන්  තව පැය දහයක් විතර එක දිගට වාහනය  පැදෙව්වොත් ජර්මනියට යන්න පුලුවන්.  අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ  බෙල්ජියමේ අග නගරය වන බ්‍රසල්ස් හරහා ජර්මනියේ කොලෝන් නගරයටත් එතනින් තුරින්ගියා කියන ජර්මනියේ මධ්‍ය ප්‍රදේශයටත්   යන්න.   

අපේ ගමනාන්තය වුනු  ශ්මිඩෆෙල්ඩ් කියන නගරයේ බර්ග් ස්ටුටන් හවුස් කියන පුංචි  හෝටලය. ඒකෙ තමා  විවාහ මංගල්‍යය පැවැත්වූවේ. මේ හෝටලයට සාමාන්‍යයෙන් එන්නේ ස්කි කරන්න යන අය. අපේ කට්ටියට සහ ජර්මන් නෑදෑයන්ට (මම හිතන්නේ පනහක් පනස් පහක් විතර හිටියා) . හැමෝටම එදා රෑ ඉන්න  රාත්‍රී කාමර බුක් කරලා තිබ්බේ නැන්දම්මායි, මාමණ්ඩියි.  රෑ වෙනකන් කාල බීල , විශේෂයෙන් බීල කවුරුත් යන්නේ නැති නිසා පටියකදී එහම කාමර වෙන් කර ගන්න එක ජර්මනියේ සිරිතක්. 



මුලින්  කතා කරගත්ත විධිහට බෙල්ජියම් වලදී ක්‍රිස් තමා වාහනය අතට ගත්තේ. 

ඉතින් ඩී ජේ ක්‍රිස් වෑන් එකේ සීට් එක උඩ ඉඳ ගත්තද නැත්නම් උඩ  පාවෙනවද කියල අපට සුවර් එකක් තිබ්බේ  නැහැ. ක්‍රිස් ට ලෝකයේ වටිනා පැළෑටියක් ගැන ආචාර්ය උපාධියක් තියනවා. ඔස්ට්‍රේලියාවට ඉංජිනියරින් කරන්න ගිහින් පස්සේ ලන්ඩන් වලට කෘෂිකර්මය ඉගෙන ගන්න ඇවිත් දැන් ලන්ඩන් නයිට් ක්ලබ් වල මෙගා ඩී ජේ කෙනෙක්. බොහොම ප්‍රසිද්ධයි. පැළෑටි ගැන කිව්වහම ක්‍රිස් ගේ ස්පෙෂලිටි එක තමයි වල් පැලෑටි.  
 
වෑන් එක  මෝටර් වේ එකකින් අරගෙන ඊළඟ එකට දැම්ම ක්‍රිස්. මේ මෝටර් වේ එකෙන් අනිකට දාන්න පොඩි හරස් පාරවල් තිබෙන බව යුරෝපයේ ඉන්න අය නම් දන්නවා ඇති. වෑන්  එක දාල ක්‍රිස් යනවා ආතල් එකේ. එක පාරටම මට පෙනුන තව වාහනයක් ඉස්සරහට  එනවා. මම හිටියේ හරි පැත්තේ ඒ කියන්නේ වම් පැත්තේ ඉඳගෙන. ක්‍රිස් දකුණු පැත්තේ විල් එක කරකවනවා ගානක් නැතිව.

මං කිව්ව්ව ක්‍රිස්ට - "මචං අර කාරෙක වැරදි පැත්තෙන් එන්නේ මොකද බං " 
"ඔව් බං ඌ සූස්තියක්වත් වත් ගහලද කොහෙද ? අනික මේ බෙල්ජියම් උන් හරියට බොන එවුන්නේ බන් "
ක්‍රිසා කියනවා.
තත්පරයක් ගියේ නැහැ මට හරි සිහිය ආව, වෙඩිම ගන්න යන ගමන්නේ. 
මම  කෑ ගැහුවා. 

"යකෝ ක්‍රිසා  අපි යන්නේ වැරදි පැත්තේ , හරවපන් හරවපන්. අනිත් පාරට දාපන් යකෝ....ව් "

ක්‍රිස් ගේ අටවැනි බිරිඳ, වැරදුනා හතරවැනි බිරිඳ විල්මා කතෝලික ආගම හොඳට අදහන  කෙල්ලක්. විල්මා කතිරේ ගහගෙන ඔරොසන්  කියවනවා. යදිනවා. මුළු වෑන් එකම කෑ  ගහනවා.

"හරි බං හරි " ඕකට කෑ ගහන්න ඕනෙද කියල ක්‍රිසා අර කාරෙකට මීටර් පහක් විතර තියල අනිත් පැත්තට දැම්ම.

බෙල්ජියම් කාරෙකේ හිටිය කපල් එකක්.   උනුත් වගේ වගක් නැතිව හැමදාම සිද්ධ වෙන දෙයක් වගේ ඔහේ ගියා. කාරෙක ස්ලෝ කලෙත් නැහැ, සුද්දෙක්, ඇමෙරිකන් කාරයෙක් වගේ ඔලුව එලියට දාල කෑ  ගැහුවෙත් නැහැ.    ලංකාවේ එකෙක් වගේ හෝන් එක ගහගෙන පරම්පරාව මතක් කලෙත් නැහැ. අපි තීරණය කළා උන් හොඳටම බීල ඉන්න ඇති කියල මේ මහා දවල්.

අපි මග විවේක ගන්න ස්ථානයක නවත්වලා තේකක් හෙම බිව්වා. ඉනෙස් හෙමින් සිරුවේ රියදුරු අසුනට නැග්ගා. නීල්  මැප් එක අරගෙන මාර්ගෝපදේශක කාර්යය භාර ගත්ත. ඒ දවස් වල ඔය ගුගල් මැප් නැහැ. ගාමින් ද කොහෙද කියල මැප් රීඩර් එකක් තිබ්බ වැඩ කලේ නැහැ. මායි ක්‍රිසයි පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ල ඇල වුනා. 

හැබැයි ගමනේ අන්තිම හරියේ, මම හිතන්නේ කොලොන් වලින් පස්සේ ක්‍රිස් ආයි ඩ්‍රයිවින් කළා.ඒ වයසේදීම  හෘදයාබාධ හදා ගන්න ඕනේ නැති නිසා මම පස්සට වෙලාම හිටිය ඉතින්.

ඔන්න ගියා කියමුකෝ එතනට කරදරයක් නැතිව. 

වෙඩින් එක ගැන විස්තරේ පස්සේ කියන්නම්. පින්තූර තියනවනේ. පුංචි සඳලි අපිත් එක්ක රෑ වනතුරුත් නැටුව. 

එනකොට අපි ආවේ ඇම්ස්ටර්ඩැම්විල හරහා. ඒ පැත්තේ මල් පිපිලා. මම කිව්වේ ටියුලිප් මල්. අපි ඒවා බලන්නත් ගියා කියුකොන්හොෆ් වලට. ක්‍රිස් නම් හැම මල් ජාතියක්ම බලන්න ගියා. ඒ නගරයේ මල් විකුනනවා සල්ලි මාරු කරන තැන් වලත්. මල් කඩවල විතරක් නෙමේ. සමහර ආපනශාලා වල මල් පොකුරු එක්ක කේක් පවා විකුනනවා. හවස් වෙනකොට අපි කන්න ගියා හොඳ  ආපනශාලාවකට අම්ස්ටල් නදියේ  බෝට්ටු සංචාරයකත් යෙදිලා. 

ක්‍රිසා  හිනාවෙනවා. සුමුදුව , නීල් හෙම  ගල් ගැහිලා බලන් ඉන්නවා.  මම නම් පැනිරහ  විතරයි කෑවේ. අනිත් කට්ටිය නම් කෑවද කොහෙද.  ඊට පස්සේ ආශා ගියා පුන්චිත්ති සඳලි එක්ක හෝටලේට  නිදා ගන්න.

අපි ඉතින් ඔය  සැක්ස් මියුසියම් පැත්තට ගිහිල්ල ඒකත් බලල , ඒ පැත්තේ  රවුමක් දාලා රතු එලිය තියෙන පැත්තේ කැටයම් දාපු ලස්සන ජනේල බල බලා ගඟ  අයිනෙන් රවුමක්  දාල එනකොට ගල් ගැහිලා බයවෙලා හිටිය කට්ටිය යථා තත්වයට ඇවිත්.

ආපහු  එනකොට ඩෝවර් වලින් වෑන් එක නැවෙන් එලියට ගත්තේ මම. මොන හේතුවකටද මන්ද මම රිවස් කළා එලියට ගන්න කලින්. නැවේ  අර වාහන හසුරුවන දෙන්නෙක් උඩ පැනල අත වනන කොට දැක්කේ තව පොඩ්ඩෙන් වෑන් එක ඉංග්‍රීස් ඕඩයේ හෝදන්න දානවා කියල. 

කොහොම හරි දැන් ඉමිග්රේෂන් එකටත් ආවා. වීසා බලන තැන. වෑන් එකෙන් බහින්න ඕනේ නැහැ. මෙන්න ක්‍රිසා පොලිතින් බෑග් එකක් ගුලි කරලා ඩ්‍රයිවින් සිට් එක යට ගහනවා. 
මම ක්‍රිසා ට කෑ ගැහුවා.
" යකෝ ඕක විසි කරපන්. පිස්සුද මෙච්චර දුර ගෙනාවේ  මුහුදට විසි කරන්නේ නැතිව. "

 ඒ වෙලාවෙම වීසා නිලධාරියා වීදුරුවට තට්ටු කරලා පාස්පෝර්ට් ඉල්ලුව. 

  මම දුන්න පාස්පෝර්ට් ටික.  පිටි පස්ස බැලුවහම  වෑන් එක ඇතුලේ ජනතාවගේ මූණු අලුත් බිත්තියක්  කපරාරු කෙරුව වගේ පැතලි වෙලා. සුදුමැලි වෙලා. ගමන් මහන්සියට.

අර නිලධාරියා හිනා වෙලා පාස්පෝට් ටික දිලා යන්න කිව්වා.

මගක් දුර ගිහිල්ල  ක්‍රිසා ගුලි කරපු  පොලිතින් බෑග් එක අරගෙන කියනවා 
"මේකේ මුකුත් නැහැ බන් "

ඕන්  ඔහොමයි ජර්මනියේ වෙඩිම අරන් ආවේ. වසර විස්සකට කළින්. 

   පින්තූර පොඩ්ඩක් අප්සෙට්. ඇල්බම් එකෙන් මොබයිල් එකට ගත්ත නිසා.

පින්තූරේ  මැද ඉන්නේ නීල්,  වම් පැත්තේ ඉනෙස් සහ මම දකුනු පැත්තේ ක්‍රිස් සහ විල්මා හොටෙල් එකේදී 



ආශා සමග සඳලි ඉනෙස් ඉඳගෙන 
 

වම් පැත්තේ සිටින්නේ විල්මා සහ ක්‍රිස් , දකුණේ ක්‍රිස්ටොෆ් ඉනෙස් ගේ මාමගේ පුතෙක් 
ඇම්ස්ටර්ඩම් හි බෝට්ටු චාරිකාව 
 
 

Monday, 6 July 2020

ගොළු හදවතින් තණමල්විලට



පළමු ලිපිය තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා 

මට මතක විධිහට ඉස්සෙල්ලම  "ගොළු හදවත" බැලුවේ අසූ ගණන්වල මුල කොල්ලුපිටියේ  පොලිසියේ පිටුපස පිට්ටනියකද කොහෙද?  පිට්ටනියත්  දැන් එතන නැතිව ඇති.   සුගත් ගෙයි දම්මිගෙයි සින්දුව නම් යූබටයේ ඕන තරම් අහන්න පුළුවන් වෙනවනේ  එපාවෙනකම්ම.

ඊට පස්සේ ආවේ කේමදාස මාස්ටර් ගේ "ගොළු හදවතින් තුන්වැනි යාමයට " කැසට් පටය. සෝවියට් දේශයේ ඉගෙන ගත්දී මගේ යාළුවෙක් හිටිය වෛද්‍ය විද්‍යාව හදාරපු , එයා ළඟ ඒ කැසට් පටය තිබ්බ නිසා  අපි ඒක නිතර ඇහුවා. යාලුවා අද අප අතර නැහැ. හැබැයි මට කැසට් පටය නම් දීල තිබ්බ වසර ගාණකට කලින්. දැන් යූ බටේ ඒකත් තියනවා. ගොළු හදවතේ මියුරු සංගීතය කේමදාස මාස්ටර් ගෙන්.

තණමල්විල කතාවෙත් ගොළු හදවත වගේ කතාවක් යනව. හැබැයි අපි ඉන්නේ හැට ගණන්වල නෙමේනේ, දෙදාස් විස්සේ නිසා දම්මිලා දහ දෙනෙක් එක්ක විතර.
 පලවෙනි දම්මි මම ආදරයෙන් කියන බම්මන්නා , සමාවෙන්න දීප්ත ට තෑග්ගකුත් අහිංසක විධිහට ගෙනත් දෙනවා. අහිංසකම අහිංසක ගමේ කෙල්ල. මූන රවුමට තියන ලස්සන අහිංසක හිනාවක් තියන දම්මි. නමත් ගොළු හදවතේ දම්මිමයි. 
කතාවේ තුන්වන කොටසේ අර 4x4 එක පහු කරන යද්දී පතෝලය  ව** පෙන්නන සීන් එකේදී දීප්ත දම්මිව තුරුල් කරගන්නවා, එච්චරම තමයි. දම්මිගේ ඒ චරිතෙටම ගැලපෙන රඟපෑම් මරු.  

දීප්තට ගැලපෙනම නම කියන්නේ සුලෝ . "භූතයා " කියල. සුලෝ ටත් තියනව දීප්ත එක්ක පොඩි ලස්සන ආදර හැඟීමක්. භූතයා ගාණට ඒකත් හැන්ඩ්ල් කරනව. වැඩිය දෙන්නෙත් නෑ . ගන්නෙත් නෑ. 
සුලෝගේ තියනවා ගෑවිලා යන සුන්දර කමක්. රඟපෑම් කියල වැඩක් නෑ . ටොපේ ටොප්.

ඊළඟ දම්මි , යසෝ අක්ක. "ගොළු හදවතේ " වගේම අක්ක පටන් ගන්නේ පොත් වලින් ගේම දෙන්න. පොත දානවා , පොත් දෙනවා ගන්නවා. මුකුත් වෙන්නේ නැහැ. ජනේලෙන් එළියේ ඉඳන් බලල යනවා. තණමල්විල ඉඳන් රත්නපුරේ ඇවිල්ල අවන්හලක ටෝස්ට් කනවා.   
හරියට අපි ලන්ඩන් ඉඳන් ලංකාවට ට ගිහිල්ල ට්‍රිපක් යනකොට දකින දකින ආප්ප කඩවල, කොත්තු කඩවල නවත්තනවා වගේ.   ඒක කෙළවර වෙන්නේ යසෝ අක්ක නොඑන ලෝකෙට ගියාට පස්සේ. සමන්ති අක්කට ඔයිට වැඩිය සපෝර්ට් එකක් දෙන්න තිබ්බ දීප්ත මලයට සම්ප්‍රදායට එරෙහිව යන්න. ලංකාවේ අනන්ත වෙන දෙයක් රොෂාන් රවින්ද්‍ර දන්නෑ වගේ ඉන්නවා. 

යසෝධරා ගේ රඟපෑම් අපි හැමෝම දන්නවා. දැකලත් තියනවා. දුන්න චරිතේ හොඳට  කරනවා.

ඊළඟ දම්මි, දම්මිමත් නෙමේ. තමන්ට ලැබෙන්නේ නැති තෑග්ග යසෝ දෙනවා යාලුවට. සුලෝගේ භූතයට (මම කිව්වේ දිප්තට) තිබ්බ නාලිකා ගේ කසාදෙ බේරලා දෙන්න. ක්‍රිස්ටොෆ් කිසිලේව්ස්කි ගේ ත්‍රී කලර්ස් බ්ලු සිනමා කෘතියේ ජුලී ගේ සැමියයි දරුවයි  නැති වෙලා ඉන්න කොට, ජුලී  ජිවිතයට තේරුම දෙන කෙනෙක් හෙව්වා වගේ නාලිකා ගේ ජිවිතේට  තාවකාලික සහනයක්  දෙන්න තිබ්බ. අත ඇරලා දාමු. මේවා හරියට ලංකාවේ වෙන්නේ නැහැ වගේ. නාලිකා ගේ රඟපෑම් එතන ඇවරේජ්. කතාවට  අවුලක් වෙන්නේ දෙන්නේ නැහැ. ගානට ගෙනියනවා.

ඊළඟ දම්මි අර අපේ පරපුරේ මුල්ම දම්මි ට එහා. දම්මි- මරියා කියන්නෙම ආදරණිය ගීතයක් වගේනේ. ඒ නිළියට  (කලණි) අපි ආදරයෙන් බැඳුනේ "සහෝදරයා " කතාවෙදිනේ. ඉතින් මේ භුතයට (සොරි දිප්තට) එයාව නම් කොහොමටවත් දෙන්න බැහැ. අල්තාරේ ගාවට ගිය එකත් "ගොළු හදවතේ" වෙරළු දුන්න වගේ අර අපේ හිතත් ඔල්මොරොන්දන් වෙන්න දාපු කෑල්ලක්. යන්තන් මරියා දීප්තයව කර ගහ ගන්නේ නැතිව බේරුනා. හප්පේ හිතට ආපු සනීපෙ. අර අපේ මුල් දම්මිට , යසෝට කරපු අසාධාරනෙට පොලිත් එක්ක හම්බවෙනවා එතැනදී. වෙඩින් කාඩ් එකත් හදල දීල සැරසිලිත් කරලා අල්තාරේ ගාව අන්නවන ඇන්නිල්ල මරු.

හැබැයි සහෝදරයා එකේ හිටිය නිසාද කොහෙද ඒ රඟපෑමම තමා දැනුනේ. වෙලාවකට හිතුන එතනට වෙන කෙනෙක් දාන්න ඕන කියල.. මරියා කියන්නේ පූජාසනයක් උඩ තියල කොණ්ඩේ   මල් ගහල ඈතින් ඉඳන් බලන් ඉන්න ඕනේ පෙම්වතියක් වගේ. දීප්ත කළේ ඒක.  

දැන් නිකමට හිතන්නකෝ ෆ්‍රෙන්ච් අධ්‍යක්ෂක කෙනෙක් හරි, ජර්මන් හරි සමහර බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂක කෙනෙක් හරි   ඔය ජවනිකා අවුරුදු 51 එකකට  පස්සෙත් (ගොළු හදවත - 1969) ඔහොම කරයිද? ඔය ඉහත  කියන සම්බන්ධතා   ටිකෙයි විශේෂයෙන් නාලිකා ගේ ගෙවල් පැත්තෙන් හෙම හොඳ ස්ටිමි සීන්ස් (steamy s** scenes - ලංකාවේ මේ  දවස් වල යන සමහර පරිවර්තන පොත් අනුව වාශ්පිත ජවනිකා  ) ටිකක් බලන්න තිබ්බ. නෙට්ෆ්ලික්ස් සී රිස් එකක් හෙම දැම්මනම්. ලංකාවේ තවම එහෙම නැතිලු. ඒ වුනාට අර මොකද්ද සර්ච් යන්තරේක එස් ඊ එක්ස් වචනේ හොයන කට්ට්ටිය ගේ උඩින්ම ඉන්නවලු. මේ හින්ද  වෙන්ට ඇති.



දැන් මගේ බිරිඳ බඳින්න  කලින් වුනත් හම්බ වෙන්න යනකොට යුරෝපයේ කොහොමත් අපි එක්කෝ මුහුණ දෙපැත්තට ඉඹිනවනේ. කෙලින්ම මුහුණට කිස්  කරන්නේ නැත්නම් (අහල පහල අම්මල තාත්තල හිටියොත්.)  ඒ නැතත් අම්මල තාත්තල හම්බවෙන්න ගියත් ඒ අයත් පොඩ්ඩක් සජීවී ලෙස  මුහුණ දෙපැත්ත කිස්  කරලනේ භාර ගන්නේ. එළියේ හෝ ගේ ඇතුලේ.  ඉතින් ඒ ටික වගේම ඒ ජර්මන් ජවනිකා ඔක්කොම වගේ දැනුනේ හුඟක් ආධුනික විධිහට. මම මෙතැන උලුප්පල පෙන්නුවේ ඒ නිසා.  මට හිතුන රොෂාන් රවින්ද්‍ර ඒ ජවනිකා වල  පොඩ්ඩක් අඩුවෙන්  උපදෙස් දීල තියනවා හරි නිළිය ආධුනික වැඩි ඇති  කියල.  එහෙම නැත්නම් අර ගොළු හදවතේ තේමාවම දීප්ත අරභයා අරන් යන්න හදල මේ පිටරට ජවනිකා වලදී පොඩ්ඩක් ඇනගෙන වගේ.

මුලින් ලිව්ව ලිපියට ප්‍රතිචාරයක් දාපු බ්ලොග් සහෘදයෙකු වන මාතලන් කියල තිබ්බ "අජිත් උඹත් තණමල්විල කොල්ලෙක් නේද " කියල . ඒ කිව්වේ ඒ අච්චුවේ වගේ කියන එක කියල මට තේරුණා. මාතලන් කිව්ව එකට හේතුව මේක වෙන්න ඇති. මේ  නාට්‍යය අපට අල්ලා යන හේතුවත් ඒකම වෙන්න ඇති.


ඒකෙ මේ ලියන විස්තරේ තියනවා. තාත්තා අවසන් හුස්ම හෙලන කොට මම මගේ එම්එස්සි එකේ නිබන්ධනය ලියනවා. ඒක ඉවර කරලම එන්න හිටියේ. පස්සේ ඒකට  කල් අරගෙන මරණෙට ආව.තාත්ත ගොඩක් කාලයක් අසනීපෙන් හිටි නිසා  ගෙදර මකුළු දැල් බැඳිලා ජරා ජීර්ණ වෙලා. දැක්ක ගමන් දුක හිතුන. මල්ලිට අම්මට  ඒවා බලන්න වෙලාවක් නැහැ. තාත්තගේ ලෙඩ  එක්ක ඔට්ටු වුනා මිසක්.  මම මළගමේ දී  ඇඬුවේ  නැති වුනත් හත් දවසේ දානේ  වෙනකොට යන්නේ නැහැ කියල හිතාගෙන හිටියේ ආපහු.  එපා වෙලා හිටියේ. තිබුන හීන වගයක් බොඳ වෙලා ගිහින් වගේ නිසා. හත් දවසේ දානේ දෙන වෙලේ පාංශකූලේ දුන්  හමුදුරුවෝ වදාල දෙයකට මට  වාවන්නේ නැතිව ගියා. එක පාරටම තේරුනා තාත්ත තව දුරටත් නැහැ කියල. එවෙලේ කඳුළු එන්න ගත්ත නිසා මම එලියට ගියා. අම්ම පිටිපස්සෙන් ඇවිල්ල මාව වැළඳ ගෙන අපි දෙන්නම එවෙලේ ඇඬුව. එච්චරයි.
 
මගේ ජර්මන් පෙම්වතිය (දැන් බිරිඳ) ලංකාවට  ආව .එයා එතකොට ඩෙල්ටා එයාර් ලයින් එකේ වැඩ නිසා එයට නිකන් ටිකට් එකකුත් දීල තිබුණ.  
එයා මට කීව අපි ආපහු යමු. ඔයාට මෙහෙ කරන්න දෙයක් නැහැ කියල. එයා ආවේ නැත්නම් මම හුඟක්  දුරට ආපහු  ලන්ඩන්  නොඑන වග එයාට තේරිලා තිබ්බේ ඒ වෙනකොට. 

හැබැයි ඉතින් ඒ තීරණේ හරි. අද  මම ලස්සන දුවල දෙන්නෙක් ගේ තාත්ත කෙනෙක්. ආදරණිය බිරිඳ ක  ගේ සැමියෙක්. අපි බඳින  කොට එයාට සාරි අඳින්න ඕනේ වුනා. බඳින්න ඕන වුනේ සිංහල ක්‍රමයට පෝරුවක් උඩ නැගල .  ඉතින් සාරියක් අන්දලා තමයි බැන්දේ. දැන් ඉතින් ඒ දවස් වගේ නෙමේ. අම්ම එක්ක කතා කරන්න  ලේසියි වට්සැප්  වීඩියෝ දාල . අවුරුද්දකට සැරයක් වත් ලංකාවට ඇවිත් යනවා. ඒ හැම වෙලේම  තාත්ත තව ටික කාලයක් හිටිය නම් කියල හිතෙන වාර අනන්තයි.   පිටරටක ඉන්න  අපේ ගොඩක් අයගේ  කතාව වෙන්න ඇති ඉතින්. 

හැබැයි කතාවේ අන්තිම හරිය.............
  
- තව එක කොටසක් තියනවා ලියන්න 

Thursday, 2 July 2020

තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා

දැන් ඉතින් තණමල්විල කොල්ලෙක් ඉවර වෙලා හදවත කිරී ගැහිලා යන විචාර කියෙව්වට පස්සේ මේවා ලීවාට කමක් නැහැනේ නේද?

ඔය තණමල්විල කොල්ලෙක් බලද්දී මට හිතිච්ච එක දෙයක් තමයි ඇයි දිප්තට අධ්‍යක්ෂක නික් නේම් එකක් දැම්මේ නැත්තේ කියල. අනිත් එවුන්ට  පතෝලයා , කූරා ,නාඩියා  අරව මේවා දල තියෙද්දී මේ බම්මන්නට විතරක් නමක් නැහැ.

ඉතින් මම මේක බලන්නේ බිරින්දෑ එක්ක. එයා ජර්මන් ජාතික නිසා සිංහල බැහැ කියල දන්නවනේ. (ජර්මන් මික්ස් කෙල්ල බඳින කෑල්ලට පස්සේ එන්නම්) ඉතින් අර දැන්වීම් එකක් එන වෙලාවට  එයා ප්‍රශ්න අහනවා වුනේ මොකක්ද කියල.  ඔන්න එක තැනක බම්මන්නගේ (දීප්ත කුමාරයාගේ) අක්කණ්ඩි ෆුල් අවුල් වෙලා ඇඳේ අල්ප දයන්න ගහගෙන ඉන්නවා.

මල්ලි අහනවා "මොකෝ ඕයි " කියල. 

අක්කා මූන රිවට් කරගෙන කියනවා. "බලන්ඩකෝ මල්ලි මේ අයියා ..." . කෙල්ලට අනේ පව් හොඳටෝම අප්සෙට්. නිකන් ඉන්න වෙලාවට  පොත් කියවන සදා සොඳුරු අක්ක කෙනෙක් වන මෙතුමියට හොඳටම අප්සෙට් ගිහිල්ල.

බලනකොට ඉතාලි මස්සිනා  ඉඩම් හොයන්න, ගන්න යවනවලු. ඒ ඉඩමුත් එකපාර ගන්න බැහැ . එක එක ප්‍රශ්න. විකුණන අය ඉස්සෙල්ල හා කියනවා පස්සේ බැහැ කියනවාලු.  (ඒවා එහම තමා මොනවා ගන්න ගියත්) . අනික ඉතාලි කාරයට බිස්නස් කරන්නත් ඕනෙලු. යකෙක්නේ මේකා. ජරා සල්ලි හොයන්න අර අහිංසක , සිතුවමක් ඇඳගෙන ඉන්න තාත්තයි හමුදාවේ අයියයි  ඉන්න පවුල නරක කරන්න හදන හැටි. 

 ඒ මදිවට මේ දීපාල් (ඉතාලි මෑන් ) කියනවලු රියදුරු බලපත්‍රය ගන්න. එයාගේ යාලුවෙන්ගේ වයිෆ් ලාටත් තියනවලු 
ගෙයක් හදන්නත් යනවා. ඉතාලි භාෂාව ඉගෙන ගන්න කියනව. මොන බහුභූතයෙක්ද නේද?
අක්ක කියනවා "එයා එයාගේ සල්ලි වලට අපිව නටවන්න හදනවා. " කියල. අක්කට තේරුණා. 

කතාවේ හැටියට මට පෙනුනේ මේ තමන්ගේ පාඩුවේ පොතක් කියවගෙන අක්කණ්ඩි කැමති නැහැමේ  වැඩේට. කොපමණ  සොඳුරුද? සල්ලි වලට යට වෙන්නේ නැති මිනිස්සු.

ඉතින් මම ඕක බිරින්දැට පැහැදිලි කරලා දුන්න. යකෝ මේ යෝදි  බනින්න   ගත්තනේ අර අහිංසක අක්කට.
"මහා කම්මැලි ගෑණියෙක්. අර උදේට පොඩ්ඩක් උයල , ඒකට  ඉතින් අර අම්මත් ඉන්නවා , දවල්ට හරි රෑට හරි කෑම ටික බෙදල, පොතක් පෙරලගෙන කම්මැලි කමේ ඉන්න විතරයි එයා දන්නේ. ඉතාලි මනුස්සය කොච්චර හොඳද?   සල්ලිත් එවනවා  ඉඩම් ගන්න, කඩයක් දාන්න , කාටවත් අත නොපා ජිවත් වෙන්න බිස්නස් එකක්  කර ගන්න. මේ ගෑනිට ඕනේ අර පරණ මඩ ගොඩේම  ලැගිලා ඉන්න.!"

"නැහැ අනේ ඔයාට තේරෙන්නේ නැහැ. අධ්‍යක්ෂක ට ඕනේ පෙන්වන්න මුදලට අරවට මේවට යට වෙන්නේ නැති අය තණමල්විල ඉන්නවා කියල පෙන්වන්න."
"ඔයාට ඕනේ එකක් හිතා ගන්න, මම නම් කියන්නේ ඉතාලි එක්කෙනා තමා හොඳ. එයා තමා හරි. මේ අක්කා මහා  කම්මැලියි."

හදන්න බැහැ  ඉතින් . ඒ එයා හිතන විධිහ.
මේවා විවේචන  හැටියට ගණන් එපා ඉතින් , සුසිත විජේමුණි ලියල රොෂාන් රවින්ද්‍ර මෙපමණ  හොඳට අධ්‍යක්ෂණය කළේ නැත්නම් අපි ලියන්නේ නැහැනේ.

මොකද ඉතින් අපි හාරසිය පනස්පස් වෙනි ඉනිම බලන එකක්ය. සැප්තැම්බර් වල ලංකාවේ ඉන්නකොට කවුද රූපවාහිනිය  දාල වැරදිලා බැලුන ටිකක්. කකා හිටිය එක ඉස්මොල්ලේ  ගියා කිව්වහම.   ටක් ගාල දුවල ගිහිල්ලා  වමනේ දැම්මම හරි ගියා .

බිරින්දෑ ඊට පස්සේ "තණමල්විල කොල්ලෙක්" බලන එක වර්ජනය කළා. 

හැබැයි ඉතින් පස්සේ බලනකොට අර අක්ක සල්ලි වලට යට වෙලා. වෑන් එකත් පදවන්න දන්නවා . බම්මන්න, සොරි දීප්තයා ගෙදර එනකොට ගේකුත් හදල ළමයෙකුත් ඉන්නව. අක්කණ්ඩි  ඩෙනිමකුත් ගහගෙන මොඩ්  වෙලා.

සිරාවට කීවොත් ඉතාලි මස්සිනා පොරක්නේ. ඔච්චර ලස්සන ඉතාලි කෙල්ලෝ ඉන්දෙද්දී තණමල්විල බැරල් එකක්ම කර ගහලා ජිවිතේ දුන්න එක.
(කෝවිඩ් හදාගෙන එන්න නම් එපා හැබැයි) 

 සුසිත/රොෂාන්  සුසංයෝගය  ඇත්ත ඇති සැටියේ ටොක්කකින්  එළියට දාල.