Thursday, 23 July 2020

තණමල්විල කොල්ලෙක් සහ වට්ටෝරු කථා

තණමල්විල කොල්ලෙක් ගැන මුලින් ලියූ ලිපි දෙකෙහි යොමු:.


වට්ටෝරු සිනමාව කියා ජාතියක් තිබුනා මතකද? තවමත් ඉන්දියානු හා දකුණු ඉන්දියානු සිනමාව තුල මේ වට්ටෝරු කතා දක්නට ලැබේ. වට්ටෝරු සිනමාවට අයත් අනිවාර්ය අංග කිහිපයක් තිබුණි. ඒවායේ කෙල්ල හා කොල්ලද දුෂ්ටයා ද අනිවාර්යයෙන් සිටිති. එක්කෝ කෙල්ල දුප්පත්ය. කොල්ලා  පොහොසත්ය. නැත්නම් අනිත් පැත්තටය. තාත්තා හා අයියා විරුද්ධය. කෙල්ලගේ පෙම ඉල්ලන තවත් ටිකක් කැත දුස්ටයෙකුද සිටී. ඒ අතරේ පෙම්වතාට හෝ පෙම්වතියට උදව් කරන ඔවුන් තරම් ලස්සන නැති විහිළුකාර යහළුවෙක් හෝ යෙහෙලියක්ද සිටී. ලස්සන තැන්වල (ඇල්ල ප්‍රදේශයේ හෝ හැටන් වල ) රූගත කිරීම වල ගස් වටේ දුවන සින්දු කියන දර්ශන ඇතුලත්ය. අන්තිමේදී   කෙසේ හෝ  දෙදෙනාගේ සැබෑ ,අවංක, අකලංක,  අනන්තයට දිවයන, කෝඳුරු මාදුරු ප්‍රේමය ජය  ගනී .  

හින්දි  සිනමාවේද මෙවැනි වට්ටෝරු කතා හා ගීත පිරි චිත්‍රපට  බහුලය. හැබැයි  හැම  වට්ටෝරු කතාවක්ම  නරක නැත. 

බච්චන්ගේ වාර්තා කැඩූ අභිමාන් මෙන්ම ගීත් වැනි චිත්‍රපටද මා දෙවරක් බැගින් බලා තිබේ. එසේම මෑත කාලයේ ෂාරුක් ඛාන් රංගන    කබි කුෂි කබි ඝම් හා ප්‍රීති සින්තා රඟන කෝ මිල් ගයා ද බැලිය හැකි වට්ටෝරු සිනමා ගණයේ චිත්‍රපටය.
  
ශ්‍රී ලංකාවේ  මෙන්ම වෙනත් ආසියානු රටවල්ද බ්‍රිතාන්‍යයේ ද වට්ටෝරු රූපවාහිනී කතා බහුලය. කොරියන් කතා, ඉන්දියන් කතා හා චීන කතා වල හුරු පුරුදු වට්ටෝරු දක්නට ලැබේ. හොඳට හැදී නරකට යන එකම පුතා බේරා  ගන්න සුන්දර දුප්පත් කෙල්ලන් ගැන කියවෙන ආසියානු රූපවාහිනි නාට්‍යය බහුලය.  එසේම ඉතා අස්භාවික භෞතික විද්‍යාවේ නියාමයන් බිඳ දමන  වර්ගයේ සටන් හා ජවනිකා ඇතුලත් චිත්‍රපට දකුණු ඉන්දියානු රූපවාහිනී හා චිත්‍රපට වල බහුලය.

මේ වට්ටෝරු කතාවලට එරෙහිව ලිබරල් වාදීන් හා බොහෝවිට ට්‍රම්ප් ලිබරල් ලෙෆ්ට් කියා හඳුන්වන වාමවාදී පැත්තෙන් එන විකල්ප සිනමාවක්ද විකල්ප රූපවාහිනි කතා මාලාවල් ද තිබේ. උදාහරණයක් වශයෙන් "24" නමැති ජැක් බවර් ඒජන්තයා රඟන (කිෆර් සදලන්ඩ් ) ඇමරිකන්  කතා  මාලාව වඩා දක්ෂිණාංශික නීතිය කෙසේ හෝ රැකීමේ (වධ දීම් සාධාරණය කිරීම) පස ගන්නා අතර පයිරේට් ටිවි , මිස්ටර් රොබොට්, හියුමන් වැනි කතා මාලා වාමවාදී ස්වරයක් ගනී. ස්ටැන්ලි කුබ්රික් ගේ මෙටල් ජැකට් චිත්‍රපටය විකල්ප වට්ටෝරුවේ වාමවාදී එකක් යයි සිතමි.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ  නිපදවුණු බොහෝ චිත්‍රපටවල විකල්ප වට්ටෝරුවට ඇතුලත් වූයේ කුමක්ද? වර්තමාන අධ්‍යක්ෂක වරුන් වන හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සත්‍යජිත් මා ඉටිපේ , සහ මලිත් හෑගොඩ   ආදීන්ගේ සිනමාව මේ ගණයට ඇතුළත් කළ හැකිය.
 
හමුදාවේ සොල්දාදුවෙක් හා මායිම් ගම්මාන සම්බන්ධ  කතාවක්  "සුළඟ එනු පිණිස" චිත්‍රපටයට ඇතුලත්ය. බොරදිය පොකුනෙහි ඇත්තේ ගාමන්ට් යන තරුණියක්  ගැන කතාවකි. ඇය පැමිණ ඇත්තේ තණමල්විල වැනි දුප්පත් යයි කිවහැකි ගමකිනි. ඩොස්ටොයෙව්ස්කි ගේ කතාවක්  ඇසුරින් නිපදවූ "ඔබ නැතිව ඔබ එක්ක " චිත්‍රපටයේ  සෙල්වී ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ කිලිනොච්චි පැත්තේ දමිළ කාන්තාවකි.

විකල්ප වට්ටෝරුවේ මේ කතාවල අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ  යුද්ධය සම්බන්ධ විකල්ප මතයට වැඩි තැනක් ලැබේ. ඒ හමුදා භටයා යන්නේ "රට බේරා ගැනීමට වුවද" ඔහු පසුව "රණ විරුවෙකු" වුවද ඔහු හමුදාවට බැඳෙන්නේ වෙනත් ජිවන මාර්ගයක් නොමැති තැනය. අවම වශයන්  දෙමාපියන්ට නිවසක් සාදා,  දීග නොකිය අක්කා හෝ නංගි ට විවාහයක් කර දී මල්ලිට උගන්වන්නටය. ජාතිවාදී රණ ඝෝෂාව තුල මැකී ගියද මෙය සත්‍යයක් බව අපි දනිමු.     

මේ වට්ටෝරුවේ "කොළඹ නිසරු සමාජය" පිලිබඳ ලිබරල්වාදී අදහස් හා රණවිරු ලොබියේ එන්ජිඕ විරෝධයද දැකිය හැකිවනු ඇත. එසේම රැකියා විරහිත කොල්ලන් කෙල්ලන් රවටන් වාමාංශික "තෙල බෙදන්නන් " හා ඔවුන් කෙරෙහි කලකිරුණු චන්දරේ ලාද සිටිති.

නමුත් වට්ටෝරුව තිබූ පමණින්  දක්ෂතාවයක් නැත්නම් සාර්ථක චිත්‍රපටයක් කළ නොහැකිය.  ඒ සඳහා හොඳ වට්ටෝරු වෙදෙක් විය යුතුය. චිත්‍රපටයක් හදනවාට වඩා සාර්ථක රූපවාහිනී කතා මාලාවක් "විකල්ප වට්ටෝරුව" යොදා සෑදීම තවත් අමාරු කාරියකි. මට අනුව රොෂාන් රවින්ද්‍ර නම් දක්ෂ වට්ටෝරු වෙදා කර ඇත්තේ එයයි.

කරන්නට දෙයක් නැති, අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ අසමත්  වැලි ගොඩ දාන, නිදන් හාරන, රෙදි මහන, අන්තිමට ගාමන්ට් යන, සම්භාහන  ආයතන වලට යන ගැමි තරුණ තරුණියන් පිරිසක් සිටිති. උන්ව රවට්ටන දේශපාලුවන් ද සිටිති. යාන්තමට කුලවාදයේ අමිහිරි බවද මේ මම කතාමාලාව තුල දැක ගත හැකිය.  වාමාංශයේ නොහැකියාව පෙන්වන ගමන් හා තරුණයින් රවටා පනින  උන්ගෙන් සමහරු  පසුව ව තම බඩ වඩා ගැනීමට දේශපාලුවන්ට එක්වෙන උන් ගැනද අනිවාර්ය ජවනිකා ඇතුළත්ය. හමුදාවට යන එකෙක්ද දිවි දුන් පසු මිනිය තබන්නටවත් ඉඩක් නැති නිවසක්ද තිබේ. මියගිය භටයෙකුගේ  හමුදාවේ පෙන්ෂන් එකට ඔහුගේ මව හා ගැබ්බර බිරිය දබර වෙන දුක්මුසු දසුන් අප නිතර ලංකාදීපයේ හෝ දිවයිනේ   පොඩි ප්‍රවෘත්ති කෑලි වල කියවමු.  හමුදාවේ සිට ගෙදර එන යුදයෙන් ආබාධිත වූ  සහෝදරයෙක්ද සිටී. 
සින්දු බණ කියන හාමුදුරුවන් සමහර විට අපවත් වුනු ලොකු හාමුදුරුවන් ගේ  පුතා විය හැකිය. හැබැයි සියල්ල ඇති පමණටය. ප්‍රේක්ෂකයා මේ වට්ටෝරුවෙන් වෙහෙසට පත් නොවේ. 

       මේ කතා මාලාවේ මගේ සිත්ගත්ම චරිතය සමන්ති අක්කාය.  
මගේ මුල්ම ලිපිය , "තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා " හි තණමල්විල බැරල් එක ලෙස හැඳින්වීම තරමක අපහාසයක්  සේ පෙනුනද එයේ එසේ නොවන බව පවසමි.  එහි "තණමල්විල බැරලය" ලෙස ආදරයෙන් හැඳින්වූයේ එම නාට්‍යයේ වඩා වැදගත්ම චරිතය ලෙස මට සිතෙන්නේ  දීප්තගේ සොයුරිය වන  සමන්ති අක්කා බැවිනි.  සමන්ති අක්කා ලෙස  සුලෝචනා වීරසිංහ ගේ රඟපෑම නාට්‍යය පුරාම   විශිෂ්ඨ ලෙස ඉස්මතුවේ. මේ චරිතයේ රංගන සුලෝචනා වීරසිංහ අති දක්ෂ ලෙසත් ඉතා පහසුවෙනුත් ඒ චරිතයට ආවේශ වෙයි.  මේ කතා මාලාවේ චරිත සියල්ලම  එකිනෙකට බැඳ තබන නොකැඩෙන  නොබිඳෙන හුය ඇයයි. තිර රචකයාත් අධ්‍යක්ෂකවරයාත් බල පොරොත්තු වූවාට වඩා වැඩි රංගනයක් ඇගෙන් වීයයි සිතමි. 

මේ රූපවාහිනි කතා මාලාව මට පෙනෙන්නේ පාලමක් ලෙසටය. කැළණි පාලම හෝ "ලන්ඩන් බ්‍රිජ්  " පාලම සිහියට නගන්න. දෙපැත්තේ කුළුණු දෙක යා කරන්න පාලම  සමන්ති අක්කාය. පාලම රඳන කුළුණු දෙක තාත්තා හා යසෝධරා ය.  දීප්ත ඇවිද යන්නේ එහිය, ඒ අතර තුර ඔහුගේ යහළුවන් පතෝලයා , කුරා , මරියා , නාලිකා , ජර්මන් යුවතිය පාලමේ ඇවිද යන දීප්තට එලිය දෙන පහන් කණුය. දෙපැත්තේ බැමිය . 

අපොස සාමාන්‍ය පෙළ අසමත් දීප්තට ඇත්ත වශයෙන් අනාගතයට බලපාන යමක් ලැබෙන්නේ තාත්තා ගෙනි. සිත්තම් කලාව ඔහුට එන්නේ පියා ගෙනි. ඒ මතුකරන අදහස වැදගත්ය. කිසියම් ශිල්පයක් පුහුණු විය යුතුය. අනාගතයට ප්‍රයෝජනවත් වන්නේ එයයි. පොත් දෙන යසෝධරා "කියැවීම " ඔහුට පුහුණු කරයි "ලෝකය" දැන ගැනීම අවශ්‍ය දෙයකි. හරි "කියැවීම" ඉතා වැදගත් වන්නේ එබැවිනි.    

දීප්ත ලෙස ධනුක දිල්ෂාන් ගේ රඟපෑම් ගැන කියනවාට වඩා ඔහුත් අධ්‍යක්ෂකවරයාත් අතර සම්බන්ධය ගැන කීම වටී. ගොළු හදවත එපිසෝඩ් වලට අමතරව මට එය පෙනෙන්නේ සිඩ්නි පොලාක් ගේ ජෙරමියා ජොන්සන් චිත්‍රපටයේ රොබට් රෙඩ්ෆෝඩ් ගේ චරිතය මෙනි. වඩා වැඩි කතාබහක් නොමැති එම චරිතය මුළු චිත්‍රපටයම අතික්‍රමණය කරයි. ජෙරෙමියා  ජොන්සන් හි කඳු කරයේ තනිව ජිවත් වන මිනිසා වැඩි කතා බහක් නැත්තෙකි. නමුත් ඔහු තමන්ට අවශ්‍ය ජීවිත දැනීම හොඳ  යහළුවන් පිරිසක් හරහා  ලබාගෙන ක්‍රොව් ආදී වාසී (මුල් ) ඇමරිකානු ගෝත්‍රයක් අසල වාසයට යයි. 

අවශ්‍ය නම්  කෙවින් කොස්ට්නර් අධ්‍යක්ෂණය කල  වෘකයන් සමග රඟන්න (dances with wolves ) චිත්‍රපටය සහ එහි ප්‍රධාන චරිතය ජෝන් ඩන්බර්  ද ගත හැකිය. තනිව ජිවත් වන  ඩන්බර් වෘකයකුට කෑම දී යහළු වී ඌ සමග සෙල්ලම් කරයි. ඔහුට මුල් අමෙරිකානුන් (රතු ඉන්දියානුන් ) වෘකයන් සමග නටන්නා  යන නම තබන්නේ එහෙයිනි. ගෝත්‍රය පැහැරගත් සුදු යුවතියට ඔහු පෙම් බඳී.  

ධනුක දිල්ෂාන් , රොෂාන් රවින්ද්‍ර ට අවශ්‍ය ලෙසම රඟපාන අතර අධ්‍යක්ෂවරයා ගේ හැකියාව තම රංගනය හරහා ඔප මට්ටම් කර පෙන්වයි. ඇත්ත වශයෙන් ම ප්‍රධාන චරිත මෙන්ම මේ කතා මාලාවේ යහළුවන් පිරිස ඇතුළු අවශේෂ චරිත සඳහා රඟන   නළු නිලි සමූහයම විශිෂ්ඨ බව කියමි.

මීට කලින්  නරඹන ලද "කුඹියෝ " ටෙලි නාට්‍යයේ ඊලග කොටස එනතුරු නොඉවසිලිමත්ව සිටියෙමු. ඒ එය නිකම් රහස් පරීක්ෂක නවකතාවක් වැනිවූ හෙයිනි. "සහෝදරයා" ටෙලි නාට්‍යය මදක් දේශපාලනික  වූවකි. ඒ දෙකම ඒ පෙන්වුනු ශානරයට සාධාරණය ඉටු කරයි.
 මේ දෙකටම වඩා තාත්වික ලෙස සමාජ විශ්ලේෂණයක යෙදෙන "තණමල්විල කොල්ලෙක් "    හිතේ ගැස්මක් හෝ නොඉවසිලිමත් බවක් ඇති නොකලද නිහඬ ලෙස බ්‍රෙෂ්ටියානු කල්පනාවකින් අවසන් කල හැකි නිර්මාණයකි. සිතන්නට යමක් ඉතිරි කරන නාට්‍ය වලට කැමති පිරිසට එය අගය කළ හැකිය.
 
 ***********************************
තණමල්විල කොල්ලෙක් රුපවාහිනී නාට්‍යය ගැන බ්ලොග්  ලියන පිරිස අතර මත කිහිපයක් ඇති බව පෙනුනි. නිදිගේ පංචතන්ත්‍රය ලියන නිමල් ද, අනිත් කොනේ බෝධිනී එය සියයට සියයක් අගයන පිරිස  අතරේද නිදහස් සිතුවිලි ලියන  රවී වීරසිංහ (දැන් වැඩිපුර ලියන්නේ  ෆේස්බුක්  පෝස්ට්ය) වැඩි කැමැත්තක් නොපෙන්වන පැත්තේද සිටින බවක් පෙනේ. රවී යනු බොහෝ විට පවතින දේශපාලන වාතාවරණය දෙස බොහෝ විට තියුණු උපහාසයකින් විවේචනාත්මක බැල්මක් හෙලන අයෙකි. එසේ නමුදු ඔහුට නාට්‍යය පෙනෙන්නේ තරමක  විහිළුවක් ලෙස යයි හඟිමි.  මතුපිටින් එම විහිළුව මමද මුල් ලිපි දෙකෙන් අවධාරණය කලෙමි. 
නමුත් මේ  කතා මාලාවේ චරිතවල  ශෝකාන්තයන් ද , ප්‍රධාන ලෙස ඉස්මතු වූ  මධ්‍යම පන්තික පවුලට එය  සුඛාන්තයක් ලෙස අවසන් වීමද (පියා මිය ගිය මුත් ) ඔහුට මග හැරී නැතියයි  සිතමි. කතාවේ 89 පුතා මියගිය  පිස්සු තාත්තා ගේ සිට , දේශපාලනික ලෙස කොළඹ අතරමං ව ගමට යන සගයා ද , රැකියා නොමැතිව ජිවිත ගැට ගහ ගන්නා යහළුවන්ද , යුද්ධයට ගොස් මිය ගොස් හෝ ආබාධිතව ගෙදර එන අයියා ද මා කිවූ පරිදි වට්ටෝරුවේ කොටසකි, එහෙත් එය සැබෑ වට්ටෝරුවයි. තවමත් එයින් මිදීමට සමාජයක් ලෙස  ශ්‍රී ලංකාව අපොහොසත්ව  ඇත. මගහැරිය නොහැකි ලෙස නැවත නැවතත් ඉස්මතු  වන්නේ එයයි. 
 

12 comments:

  1. රහයි, හරබරයි!
    අජිත් මහත්තයෝ, වීරයා ගෙදර ඇවිත් ලියූ; සහෝදරයා අධ්‍යක්ෂ නාමල් ජයසිංහ තිර රචනය කළ අලුත් ටෙලියක් දැන් පටන් අරන්. 'සත්‍යා'. ප්‍රධාන චරිතය රොෂාන් රවීන්ද්‍රයි කරන්නේ. මම නම් බලනවා.... හොඳයි වගේ... දැක්කද?

    ReplyDelete
    Replies
    1. ඒකත් බලමු යූ බටෙන් තමා ඉතින් මචෝ

      Delete
  2. හොඳයි. සෑහෙන දුරට ඔබ සමඟ එකඟයි.

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා . ඩි ජි එම් බස්සා බ්ලොග් අඩවිය ඉවරද

      Delete
  3. මට නම් උනේ දැඩි ලෙස අපේක්ෂා භංගත්වයට පත්වීම. ( Really disappointed ) රොෂාන් රවීන්ද්‍රගෙ අධ්‍යක්ෂණයක් කිව්වම මම මීට වඩා පපුවට ඔලුවට දැනෙන හැඟෙන දෙයක් බලාපොරොත්තු වුනා ඇත්තම කිව්වොත්.

    මම කලිනුත් කිව්වෙ...අන්තිම කොටස් දෙක මට සති දෙකක් යනකල් බලන්ට බැරිවුනා..ඒත් අඩේ..තණමල්විල අන්තිම කොටස් දෙක මිස් උනානෙ..යකෝ මොකක් උනාද මන්ද කියල අවසානය බලන්ට දැඩි උනන්දුවක් හෝ කුතුහලයක් මගෙ හිතේ තිබ්බෙම නෑ..

    ඒ උදාසීන හැඟීම කූඹියෝ,සුදු ඇඳගෙන කළු ඇවිදින්, වීරයා ගෙදර ඇවිත්, බැද්දේ කුලවමිය, තාරා වගෙ කතා බලද්දි මගෙ හිතේ තිබ්බ නොඉවසිල්ලට හාත්පසින් වෙනස්.

    තණමල්විල කොල්ලෙක් කියන්නෙ සෝමාලියාවට පාන් කෑල්ලක් වැටුන වගේ කියන එකයි මගෙ කල්පනාව නම්....පාන් උනත් අවුලක් නෑ මොකවත්ම නැතුව ඉන්න අයට ඒත් මතක තියාගන්න ඕන ඒ කේක් නෙවෙයි පාන්...හෙහ්..හෙහ්...

    අන්තිමට බලාගෙන යනකොට මොනම යටිබඩක්වත් නෑ....:) :)

    ReplyDelete
    Replies
    1. මම ඔය ලිපියේ සන්ධාන කරලා තියනවා වගේ කුඹියෝ , එහෙම නැත්නම් 24, හෝම්ලන්ඩ් වගේ ඒවා බලල පුරුදු අයට මේක එපමණ වැඩක් නැහැ රවී හුඟක් වෙලාවට අනුරාධපුරේ , කන්දකාඩුව වගේ පළාත්වල වැඩ කරලා තියල පේනවා. ඒ නිසා රවිට මේක සාමාන්‍යයි. රවී දනන්වද ලනක්වේ ඔපමණ මි ගවයෝ ප්‍රමාණයක් මම ඉස්ස්සෙල්ලම දැක්කේ ඔය නාට්‍යයේ. මම ඒක දැනන් හිටියේ නැහැ. රවිට මේ සේරම සමනය ලෙස දැනීම පුදුමයක් නොවෙයි. සෝමාලියාවට පාන් කෑල්ලක් කියන අදහසට මම එකඟ නැහැ. ඒක නිකන් අපි වගේ අයට ඉන්සල්ට් එකක් වගේ. රවී හිතන්වදමම නාට්‍ය බලන්නේ නැහැ. කියල. සිංහල ටෙලි නාට්‍ය බලනවා හොරයි. ඉස්සෙල්ලම බැලුවේ කුඹියෝ , ඊට පස්සේ සහෝදරයා. තව ප්‍රංශ කතාවක් වගේ ඒවා බැලුව. මම හුඟක් බලන්නේ චීන , රුසියානු, සෝවියට්, ජර්මන් ප්‍රංශ , බ්‍රිතාන්‍ය හා ඇමෙරිකන් ඒවා. ඔව් ඒ පැත්තෙන් බැලුවොත් මේක එඅපමන් ගතියක් නැහැ. මම අර ලීවා වගේ වට්ටෝරුව අරගෙන තියනවා. නමුත් අරගෙන තියනවා දක්ෂ ලෙස.

      අන්තිමට බැලුවොත් මම කසාද බැන්දෙත් ටිකක් ඔය විධිහට. ගැහැණු ළමයි කිහිප දෙනෙක්ම ජිවිතේ හිටිය. අන්තිමට හදිසියෙන් වගේ ජර්මන් එකක් බැන්ද . ඒත් වීස වලටම නෙමේ. නමුත් තාත්තගේ මළගමට ලංකාවට ගිහින් නොඑයි කියල එයා මාව හොයාගෙන ආව ලංකාවට. ඉතින් ඒ පැත්තෙන් ටිකක් සමීපයි වගේ යුරෝපේ ඉන්න අපේ කතාවලට. ගොඩක් අයට ඒ අත්දැකීම තියනවා. මම ඕලෙවල් නම් ෆේල් නැහැ. නමුත් ඔලෙඅල් ඒලෙවල් කරලා නිදහස අධ්‍යාපනේ බේරා ගන්න නිශ පුද්ගලික විශ්ව විද්‍යාල අරින්නේ නැති නිසාත් අතරමන් වෙච්ච සෑහෙන කොටසක් ඉන්නවා. මේ උන්ගේ කතාව

      Delete
    2. /සෝමාලියාවට පාන් කෑල්ලක් කියන අදහසට මම එකඟ නැහැ. ඒක නිකන් අපි වගේ අයට ඉන්සල්ට් එකක් වගේ./

      සමාවෙන්න අජිත්ට පාන් කතාව අපහාසයක්වගෙ හිතුන නම්...ඒත් පාන් කතාව තවම වලංගුයි...:)

      මට තවමත් හිතාගන්න බැහැ මේ තරම් වර්ණනා කරන්න මොනවද මේකෙ තියෙන්නෙ කියල...ප්‍රශ්ණයක් නෑ...We will agree to disagree...:)

      Delete
    3. කතාවෙන් අදහස් වෙන්නේ මුකුත් කන්නේ නැතිව වේලි වේලි ඉන්න එවුන්ට පාන් කෑල්ලත් දිව බොජුනක් වගේ නේ කියන එක්ක. මම ඔය බැද්දේ කුලවමිය වගේ ඒවා බලල නැහැ ඉදිරියේදී බලන්නම් ඔයා කියන නිසා. රොෂාන් මම දැක ගත්තේ සහෝදරයා එකේ. මේ නාටකයේ මම මිනිහව දැක්කේ ටිකක් සිඩ්නි පොලාක් වගේ. ටිකක් අලුත් වගේ නළුවෙක් අරගෙන පර්යේෂණ කරන්න බය නැති කෙනෙක්. එහෙම අය තමා ඕනේ. මේ නාට්‍ය මාලාවේ හෙන සරල එදිනෙදා ලංකාවේ කතාවක් ලස්සනට ගලපලා තියනවා. මම ඒක දකින්නේ දක්ෂකමක් හැටියට. ඒකනේ මම කිවේ විකල්ප වට්ටෝරුවේ කියල. මම වැඩිපුර බලන්නේ සිංහල නාට්‍ය මාලා නෙමේ. හුඟක් පිටරට ඒවා. සාමන්‍යයෙන් හොඳ රිවීව් තියනවනම් මම බලනවා. ඒකයි මම කිව්වේ අපි වගේ එවුන් සෝමාලියාවේ නෙමේ ඉන්නේ කියල. උඹ එහම හිතනව කියන්නේ උඹ උඹ ගැන හිතන් ඉන්නේ හෙන සිරා පොරක් වගේ කියල නාට්‍ය සියල්ලෙන් අගතැන්පත් . උඹ ඔය බැබිලෝන් බර්ලින්, බ්‍රේකින් බෑඩ් , ඇෆ්ටර් ලයිෆ් , රිවර් දොන් , රෙඩ් සෝගම් , නතින් ගෝල්ඩ් කැන් ස්ටේ (චීන ), දාස් බූට් වගේ ඒවා ඔක්කොම බලල කැමැතියි . නමුත් ලංකාවේ සීරිස් තීරණය කරන්න බැහැ . මේ අධ්‍යක්ෂකට හොන්ඩ අනාගතයක් තියනවා. මටනම් පේන්නේ ඒක

      Delete
  4. යම් යම් සීමා ඇතුලේ අජිත් කියල තියෙන කාරණා එක්ක මං එකඟයි... සිනමාව සම්බන්ධව. ටෙලි නම් නොබලයි, නොදනී.

    ReplyDelete
    Replies
    1. සීමා මොනවාද කියල කල්පනා කලේ. කොමෙන්ටුවට ස්තූතියි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .