සියාමා නවකතාව පිළිබඳ ඔබේ අදහස් හා විවේචන

ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ මිතුරෙකු  මට ඊමේල් පණිවුඩයක් ඒවා තිබුණි. ඔහු සියාමා ගේ කතාව අන්තර්ජාලයේ දැක කියවූ බවත් එය ළගන්නා සුළු කතාවක් බවත් ඔහු එහි සඳහන් කර ඇත. එසේම  එවැන්නක් මුලින් ලීවේ නැත්තේ ඇයිදැයි විමසා තිබුණි.  මට කියන්නට ඇත්තේ හැම දෙයටම වෙලාවක් ඇති බවත් ඒ වේලාව එළඹුණේ මේ දිනවල දී බවත්ය.

ජමාත් - අල්  - ඉස්ලාමි බංග්ලාදේශ අන්තවාදී පක්ෂයේ නායකයාට 2013 දී බංගලා දේශ රජය මගින් පිහිටුවන ලද අධිකරණය මගින්, ඔහු කරන ලද සාමුහික ඝාතන  ස්ත්‍රී  දුෂණ ආදියට වරදකරු කර මරණිය දණ්ඩනය පනවන ලදී. අන්තවාදය මැඩ  පැවැත්වීමට බංග්ලාදේශ රජය ප්‍රශංසනීය උත්සාහයක් දරයි. අන්තවාදීන් නිසා විනාශ වුනු පවුල් හා ජිවිත බොහෝය. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුද දිවි දුන් බංගලා දේශයේ අපේ සහෝදර සහෝදරියන් අන්තවාදයට එරෙහිව තීරණාත්මක සටනක් ගෙන යති. බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදය එම  රටේ සාමකාමි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. එසේම එය එහි වෙසෙන බෞද්ධ සුළුතරයට එරෙහිවද ක්‍රියාත්මක වේ.

අනිකුත් රටවල මෙය එසේමය. වෙනස් වන්නේ ලේබලය පමණි. බුරුමයේ බෞද්ධ අන්තවාදය එහි වෙසෙන රෝහින්ගියා මුස්ලිම් වරුන්ට එරෙහිව  ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ හින්දු අන්තවාදය මුස්ලිම් ජන කොටස් මෙන්ම අනිකුත් ප්‍රාන්තවල සුළු ජන කොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදය අලුත්ගම වැනි සිද්ධීන් වලදී මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය. දෙමළ බහුතරය වෙසෙන උතුරේ දෙමළ අන්තවාදය මුස්ලිම් වරුන් හා සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය. එංගලන්තයේ, ජර්මනියේ හා විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපිය රටවල නාසි ලේබලය යටතේ අන්තවාදය ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ අන්තවාදය කෙනෙකුගේ ශරීර වර්ණයට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනේ.

 ලොව පුරා සමාජ ජාලා භාවිතා කරන්නවුන්, බ්ලොග් කරුවන්, සමාජ සංවිධාන මේවාට එරෙහිව සටන් කරති. මුළු ලෝකයේම මේ සටන් එක්විය යුතුය. සාධාරණ සමාජයක ජිවිත අයිතිය ඇතුව හිංසනයන්ට ලක් නොවී  ජිවත් වීමට සෑම වැසියෙකුටම අයිතියක් ඇත්තේය.

ඕනෑම බ්ලොග් ලිපියක හෝ කලාත්මක ආකෘතියක පිළිඹිබු වන්නේ අපේ සිතුම් පැතුම් මෙන්ම අපේ හෝ වෙනත් අයෙකුගේ අත් දැකීම්ය. සමහර විට ඒවා මුළු මනින්ම මනඃකල්පිත ප්‍රබන්ධ විය හැක. සමහරවිට සත්‍ය අත් දැකීම්  විය හැක. නමුත් ඒවා ලියන්නේ, ගයන්නේ, රඟන්නේ හෝ ප්‍රතිමාවක නිරූපණය  කරන්නේ ජිවත් වන ලෝකය පදනම් කරගෙනය. අපට එයට වියුක්තව යා  නොහැක. අප වෙනත් ග්‍රහලෝක ගැන විද්‍යාත්මක ප්‍රබන්ධයක් ලීවද එයට පාදක වන්නේද අපේ ලෝකයේ දැක්මම පමණි.

අන්තවාදය හැරුණු කොට මිනිස් අයිතිවාසිකම් සූරා කන කොටස් කීපයක් වෙති. මෙහිදී මම ශ්‍රමය සූරා කෑම පිලිබඳ කතිකාව උවමනාවෙන් මග හරිමි. ඒ ගැන මේ බ්ලොගයේ ඉහත ලිපි වල කතා කර තිබේ. මිනිසෙකුට හෝ ගැහැනියකට හෝ ළමයෙකුට තම උවමනාව පරිදි නිදහසේ ජිවත් වීමට, නිදහසේ ඉගෙනීමට, රැකියාවක් කිරීමට, සෙල්ලම් කිරීමට, සැන්දෑ සාදයක විනෝද වීමට හෝ උද්‍යානයක ගමන් කිරීමට ඉඩක් නොදෙන කොටස් ද අප අතර සිටිති. මේ අයද මිනිස් අයිතිවාසිකම් උදුරා ගන්නා ගොඩට දැමිය
යුතුය.

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .