ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සැඟවුණු පැතිකඩ හෙළි කරන නන්දන වීරරත්නගේ කෘති කිහිපයක් ගැන සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.
ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස නන්දන වීරරත්න මහතා ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් පිළිබඳව සාක්ෂි සහිතව කරුණු අනාවරණය කිරීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය යනු හුදු දේශපාලන වාද-විවාදවලින් ඔබ්බට ගිය, අඳුරු සහ සැඟවුණු පරිච්ඡේද රාශියක් කුස තුළ රඳවා ගෙන සිටින දීර්ඝ කතාන්දරයකි. ප්‍රවීණ ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න සහෝදරයා විසින් රචිත කෘති මඟින් උත්සාහ කර ඇත්තේ එම ඉතිහාසයේ වසන් කරන ලද සත්‍යය හෙළිදරව් කිරීමටය .
නන්දන වීරරත්න විසින් රංගන ශිල්පියෙකු පිළිබඳව රචනා කරන ලද කෘතිය ‘සලෙලු වරම්’ ලෙස නම් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘ඉනෝකා ගල්ලගේ එදිරිව කමල් අද්දරආරච්චි’ දූෂණ නඩුව පිළිබඳව සිදුකළ ගවේෂණාත්මක පුවත්පත් වාර්තාකරණයකි. 1995 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ‘රාවය’ පුවත්පතේ "කෙල්ලන් දූෂණය කිරීමට සිනමා නළුවන්ට නීතිමය වරම්" යන සිරස්තලය යටතේ පළ වූ ගවේෂණාත්මක ලිපි පෙළ ඇසුරින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. එවකට පැවති තර්ජන හේතුවෙන් කතුවරයාගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා මෙම ලිපි පළ කරන ලද්දේ "විශේෂ ලියුම්කරුවෙකු විසිනි" යන නාමය යටතේය. මහේස්ත්‍රාත් අධිකරණයක තීන්දුවක් මාධ්‍ය මගින් විවෘතව අභියෝගයට ලක් කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස මෙම ගවේෂණය සැලකේ. මෙම වාර්තාකරණය හරහා ඇති වූ ප්‍රබල මහජන අවධානය නිසා එම නඩුව මහාධිකරණය හමුවේ නැවත විභාග කිරීමට මග පෑදිණි. හුදෙක් නඩු විභාගයෙන් ඔබ්බට යමින්, අධිකරණයේ වගවීම, ගවේෂණාත්මක පුවත්පත් කලාවේ බලපෑම සහ ඊළාම් යුද සමයේ ශ්‍රී ලංකාවේ පැවති පුළුල් සමාජ-දේශපාලන වාතාවරණය විමසා බැලීමට වීරරත්න මහතා මෙම සිදුවීම යොදා ගනී.
මට එම පොත පිළිබඳව ඇතිවූ එක් ප්‍රශ්නයක් වූයේ කතුවරයා එකම සිද්ධීන් නැවත නැවතත් වෙනත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. එය පොත කියවීමේදී වෙහෙසකර ගතියක් ඇති කරයි. අනිත් ප්රශ්නය නම් මහේස්ත්‍රාත් තීන්දුවකට අභියෝග කලද අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් නන්දන සහෝදරයාට එරෙහිව ඉදිරිපත් නොවීමයි. කෙසේ වුවද මේ නඩුව මෙන්ම කමල් අද්දර ආරච්චි සහ රමණි බර්තොලමියුස් සම්බන්ධයද අපේ කාලයේ සිද්ධීන් නිසා වර්තමානයේ එය එතරම් වැදගත්කමක් තව දුරටත් උසුලන්නේ නැත.
නන්දන වීරරත්න ගේ ඊළඟ වැදගත් කෘතිය වන්නේ "1981 යාපනය ගිනි ලෑම" ය. දකුණු ආසියාවේ පැරණිතම සහ වටිනාම පුස්තකාලයක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීම සහ 1981 වසරේ යාපනයේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා පිටුපස සිටි දේශපාලන නායකත්වය පිළිබඳව මෙම පොතෙන් සාකච්ඡා කෙරේ. විශේෂයෙන්ම එවකට ප්‍රබල අමාත්‍යවරයෙකු වූ සිරිල් මැතිව් මහතාගේ භූමිකාව සහ ඔහු ඊට වගකිව යුතු ආකාරය පිළිබඳව කතුවරයා මෙහිදී තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරයි.
එය ශ්‍රී ලංකාවේ ප්රචණ්ඩ රාජ්‍යයේ ආරම්භය බවට නන්දන වීරරත්න නගන තර්කයද සාධාරණ එකකි . එයට කලින් තිබූ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා මෙන් නොව මේ සංවිධානාත්මක චන්ද මංකොල්ලය ඇත්තෙන්ම එකළ එතරම්ම බලවත් තිබූ රජයකට අනවශ්‍ය දෙයකි. යාපනය පුස්තකාලය ගිනි ලෑම එහි අතුරු ප්‍රතිඵලයක් විය. ගාමිණී දිසානායක , සහ රනිල් වික්‍රමසිංහ ඇමතිවරු ඒ අවස්ථාවේ යාපනයේ සිටියද ඔවුන් යාපනය පුස්තකාලය ගිනිලෑමට කෙලින්ම සම්බන්ධ යයි කිව නොහැකිය . නමුත් ඔවුන් එදා යාපනයේ දිස්ත්‍රික් සභා චන්දය කොක්කෙන් හෝ කෙක්කෙන් දිනන්නට එහි ගිය බව නොරහසකි. නමුත් එයින් ඇත්ත වශයෙන්ම සිදුවුයේ ජේ ආර් ගේ රජය අපකීර්තියට පත්වීමයි.
"රට වැනසූ කළු ජූලියේ දින හතක්" කෘතිය 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ජාතිවාදී කෝලාහල පිටුපස තිබූ සංවිධානාත්මක දේශපාලන හස්තය සහ එම දින හත තුළ රට තුළ සිදු වූ ඛේදවාචකය විස්තර කෙරේ. එය හුදු අහඹු කෝලාහලයකට වඩා එහා ගිය සැලසුම්සහගත ක්‍රියාවලියක් බව ඔහු මෙහිදී පෙන්වා දෙයි. අපි ඒ දිනවල ඇල්ලේ ගුණවංශ, සිරිල් මැතිව් සන්ධානය ගැන දැන සිටියෙමු . මේ ලියන මමද ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු කණ්ඩායම පල කරන ලද "මව් බිම" නමැති ජාතිවාදී පුවත්පත් බෙදීමට සහය දී ඇත්තෙමි. දෙමළ සිසුන් අධ්‍යාපන උසස් පෙළ විභාගයට වැඩි ලකුණු අසාධාරණ ලෙස ලබා ගන්නා බවට වැඩි දෙනා මෙන් අපද විශ්වාස කෙරුවෙමු. එහෙත් 1983 කරන ලද විනාශය අපගේ ඇස් ඇරවීමට සමත් වුනි .
එය ඇරඹුණේ බොරැල්ල කනත්තට පැමිණි ඇල්ලේ ගුණවංශ සහ කණ්ඩායම විසින් බවද අපි පසුව දැන ගත්තෙමු. මේ පොතේ 223 පිටුවේ සිට වැදගත් කරුණක් සඳහන් වේ . ලෙෆ්ටිනන්ට් කර්නල් සුනිල් පීරිස් කඩයක් ගිනි තබන්නට යන පිරිසකට නවත්වන්නට අණ කළත් ඔවුන් එය නොසලකා ඇත. ඉන්පසු කර්නල් වරයා විසින් ජාතික ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු සහ තව කිහිප දෙනෙකුට පහරදී එළවා ඇත. ඒ අවස්ථාවේදී සුනිල් පීරිස් ට ජේ ආර් හමුවට එන්නට නියෝගයක් දී ඇත . එහිදී ඔහු දැක ඇත්තේ තමන් පහර දුන් බවට ජේ ආර් ජනාධිපතිට පැමිණිලි කරන පුද්ගලයා සිරිල් මැතිව් බවය.
"බටලන්දට ගිනි තැබුවෙමු" පොත 88-89 භීෂණ සමයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ බටලන්ද වධකාගාරය සහ ඒ ආශ්‍රිතව සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව කෙරුණු ගවේෂණාත්මක හෙළිදරව්වකි. එවකට පැවති දේශපාලන මර්දනයේ ස්වභාවය මෙමඟින් මනාව පැහැදිලි වේ. මේ පොතේ නැවතත් බොහොමයක් කාරණා නැවත නැවතත් ලියා ඇත. එය හරි හැටි සංස්කරණ කර නැත. එසේම වරදකරුවන්ට දඬුවම් කිරීමට තරම් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරද නැත.නන්දන පවසන ඔහුගේ එකම වැදගත් සාක්ෂිකරුවෙකු දැන් ජිවතුන් අතර නැත.
නන්දන වීරරත්න සහෝදරයාගේ විශිෂ්ටතම ගවේෂණාත්මක කෘතිය ලෙස මට සිතෙන්නේ "ජනාධිපතිවරයෙක් ඝාතනය කරන්නේ කෙසේ ද?" යන පොතයි . මෙම ග්‍රන්ථය , හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනය පිළිබඳව සිදු කළ අතිශය ගැඹුරු විමර්ශනයකි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, එම ඝාතනය හුදෙක් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ ක්‍රියාවක් ලෙස පමණක් ලඝු නොකර, ඒ පිටුපස තිබූ රාජ්‍ය අභ්‍යන්තර කුමන්ත්‍රණ, ආරක්ෂක අංශවල හැසිරීම සහ මෙතෙක් හෙළි නොවූ රාජ්‍ය රහස් රාශියක් සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබීමයි. ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂක වළල්ල බිඳ වැටුණු ආකාරය සහ එම ඝාතනයෙන් පසු පරීක්ෂණ යටපත් වූ ආකාරය පිළිබඳව මෙහි ඇතුළත් තොරතුරු ඕනෑම පාඨකයෙකු විස්මයට පත් කරන සුළුය.
මෙම කෘතිය ලංකාවේ දේශපාලන ග්රන්ථ අතර සුවිශේෂී එකක් වන්නේ, එය සාමාන්‍ය පුවත්පත් වාර්තාවකට එහා ගිය බරපතළ ගවේෂණයක ප්‍රතිඵලයක් නිසාය. 1993 මැයි 01 වන දින කොළඹදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක් වූ ආකාරය පිළිබඳව මෙහිදී ඉතා සුක්ෂම ලෙස විමර්ශනය කෙරේ. හුදෙක් බෝම්බකරුවෙකුගේ ක්‍රියාවක් ලෙස පමණක් නොව, රාජ්‍ය තන්ත්රය තුළ ඒ වන විට ක්‍රියාත්මක වූ බල අරගලය සහ ආරක්ෂක විධිවිධානවල අරුම පුදුම බිඳ වැටීම් ලොමු දැහැ ගන්වන සුළුය. ඇතැම් විට කියවන්නාට මෙය රහස් පරීක්ෂක නවකතාවක් මෙන් හැඟුනොත් පුදුමයක් නොවේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එවකට සිදු වූ විමර්ශනවලදී යටපත් කරන ලද හෝ නොසලකා හරින ලද වැදගත් සාක්ෂි රැසක් නන්දන වීරරත්න මහතා මේ හරහා පාඨකයා හමුවට ගෙන එයි. රාජ්‍ය බලය හිමි ඉහළම පුටුවක සිටින අයෙකු ඉලක්ක කර ගනිමින් මෙවැනි කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ග්‍රන්ථය කියවීමෙන් පාඨකයාට පුළුල් අවබෝධයක් ලබාගත හැකිය.
රාවය වාර්තාකරු හැටියට නන්දන සහෝදරයාට 'සුචරිත'යට ඇතුළු වීමට අවස්ථා ලැබෙයි. පොතේ ආරම්භය එතැනිනි . ප්‍රේමදාස මහතා ගේ ආධාරකරුවන් දෙපසට බෙදී සිටි අන්දමද සිරිසේන කුරේ ගේ 'කේ ලයින් ' කණ්ඩායම ගැනද ඔහු විස්තර කරයි.
යාපනේ ගුරු නගර් හි කුලවිරසිංහම් හෙවත් බාබු සුචරිතයට රිංගන ආකාරය සහ 'බාබු ' ප්ප්රවාහන සේවය ගැන අප නොදන්නා විස්තර ද ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමග ඔහුගේ ගමන් ගැන ද මනා ලෙස විස්තර කෙරේ. රණසිංහ ප්‍රේමදාස මහතා කේළාම් දේශපාලනයේ ගිලි සිටීමත් පාර්ලිමේන්තුවේ කොඩිවින කැපීමත් ඔහු කෙතරම් දුරට මිත්‍යා විශ්වාස වල එල්බ සිටියේද යන්න පැහැදිලි කරයි. පුංචි ගැහැණු ළමුන් තිදෙනෙකු පන්සලේ තබාගෙන සිටි වැඩිහිටි කන්දේ සිද්ධාර්ථ නම් චීවරධාරියා ගෙන් පවා ගුරුකම් කරගෙන ඇත.
පොතේ සඳහන් වැදගත්ම කරුණු කිහිපයකින් එකක් නම් 'කළු බළල්ලු' නමැති නිල නොලත් සන්නද්ධ කණ්ඩායම ගැන ඔහුගේ සම්බන්ධකමය . එයින් චෝදනා කරන්නේ කළු බළල්ලු හරහා ජවිපෙ සාමාජිකයන් නොව එජාපයේම ඇතැම් ප්‍රේමදාස මහතාට අවනත නොවන පිරිස් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී විරුද්ධ පක්ෂ වලට සම්බන්ධ අයද ඝාතනය කර ඇති බවයි . මෙම ගණන තුන්දහසකට වැඩි බවද නන්දන වීරරත්න සඳහන් කරයි.
ප්‍රේමදාස මහතා 'තනි අලියෙකු ' ඒ කටයුතු කිරීමේ ආදීනව වලින් එකක් වනුයේ විමුක්ති කොටි සංවිධානය සමග සාම සාකච්චා ඇරඹීමය. ඔහුගේ එතරම්ම බලවත් වූ ද, ශ්‍රී ලංකාවට හානි දායක වූ ද ඉන්දියානු විරෝධය ද එයට බල පාන්නට ඇත. ඔහු වඩා පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජේ ආර් ගෙන් පාඩමක් ඉගෙන ගත්තේද නැත. ඒ සම්බන්ධයේ ඔහු කළ දරුණුම පාවාදීම නම් හත් සියයක් පමණ නැගෙනහිර පොලිස් නිලධාරීන්ට කොටින්ට යටත් වන්නට අණ දීමත් ඉන්පසු කොටින් විසින් ඔවුන් සියල්ල ඝාතනය කිරීමත්ය.එය වැළැක්වීමට රන්ජන් විජේරත්න මෙන්ම ජනාධිපති ලේකම් විජයදාස රාජපක්ෂ සහ ජනරාල් හැමිල්ටන් වනසිංහ ද උත්සාහ දරා ඇති බව පොතේ සඳහන් වේ.
ජනාධිපති ප්‍රේමදාස ගේ ප්‍රධානම විරුද්ධ වාදියෙකු වූ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ලලිත් ඇතුලතුදලි ඝාතනය LTTE මතට බලෙන් පැටවූ එකක් බවත් ඔහු ඝාතනය කළා යයි අහිංසක දෙමල තරුණයෙකු වන මුගලන් ගේ මළ සිරුර ඝාතනය කරන ලද තැනට ට ගෙනැවිත් තැබූ බවටත් කතුවරයා චෝදනා කරයි. ඒ සඳහා යම් සාක්ෂි ප්‍රමාණයක් ද ඔහු හෙළිදරව් කරයි.
ගාමිණී දිසානායක මහතා ප්‍රේමදාස මහතාගේ තර්ජනයෙන් බේරීමට රට හැර ගිය පවසන නන්දන වීරරත්න ගේ ග්‍රන්ථයේ සුව්ශේෂී හෙළිදරව්ව රන්ජන් විජේරත්න ඝාතනයයි . මෙය හා සම්බන්ධ වැදගත්ම සාක්කිය නම් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල සහ දිව්රුම් පෙත්සමයි. කළු බළල්ලු කවුදැයි උඩුගම්පොල හෙළි කරේ මෙහිදීය. (මුළු දිව්රුම් පෙත්සම පොතේ අගට ඇතුළු කර ඇත.) අල්ලාගත් ජවිපෙ හෝ විරුද්ධ පක්ෂ තරුණයන්ට දස වධ දීමටත්, විශේෂයෙන් බෝල්පොයින්ට් පෑනක් එක කණකින් ඇතුළු කර අනික් කණින් එලියට එන ලෙස ගැසීමේ ඔහුගේ වික්‍රමයත් ප්‍රසිද්ධය. මේ නිසාම දෝ ඔහුගේ පවුලේ හතර දෙනෙකුන් (දරුවන්ද දෙදෙනෙකුද ඇතුළුව) ගාල්ලේදී ජවිපෙ විසින් ඝාතනය කළ බවට චෝදනාවක් ඇත .
රන්ජන් විජේරතන් සහ ප්‍රමදාස උඩුගම්පොළ ප්‍රේමදාස ජනාධිපති ගේ ප්‍රධානම නියමුවන් දෙදෙනෙකි . එහෙත් ප්‍රේමදාස උඩුගම්පොළ කළ වරද නම් ජෙනරල් රන්ජන් විජේරත්න ගේ අණක් පිළිපදිමින් පිටකොටුවේ නුර්ජින් හජ්ජියාර් සමාගම වැටලීමයි. ඒ ඔවුන් ළඟ ඇති විශාල පුපුරන් ද්‍රව්‍ය සහ යුධ තිබීමත් ඔවුන් ඒවා විකුණමින් සිට ඇත්තේ කොටින්ට බවත් හෙළිදරව් වීමයි . එම වාර්තාව රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ගේ මරණයට සති හයකට පෙර නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොල විසින් භාර දී ඇත. ඉන් සති හයකට පසු රන්ජන් විජේරත්න 'කොටි බෝම්බයකින් ' මිය ගියේය. ලුණුගල 'කෙසෙල්වත්ත' වතුයායෙන් වැවිලිකරුවෙකු සේ ජිවිතය ඇරැඹු රන්ජන් විජේරත්න ගේ දිවිය නිමා වුනේ එලෙසය. නන්දන සහෝදරයා ලුණුගල ජීවත් වූ කාලයේ ඔහු රන්ජන් විජේරත්න නම් වැවිලිකරු දැන සිටින්නට නැත . උඩුගම්පොල සහ ජනාධිපති ප්‍රේමදාස අතර සම්බන්ධය කෙළෙවර වුනේ එලෙසය. තමන්ගේ ජීවිතය අවදානමේ බව වටහා ගත් උඩුගම්පොළ ඉන්දියානු රෝ සංවිධානයේ උදව්වෙන් ඉන්දියාවට පැන ගියේය.
රෝ සංවිධානයේ උදව්ව පැමිණියේ හජ්ජියාර් සමාගම කොටින්ට විකුණූ පුපුරන ද්‍රව්‍ය සහ රජිව් ඝාතනයේ පුපුරන ද්‍රව්‍ය වල සමානකම් නිසා බව නන්දන ලියයි.
ජනාධිපති ප්‍රේමදස ඝාතනය බැර කරන ලද්දේ ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයටය. තමනට උදව් කරන ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමට කොටි නායක ප්රභාකරන්ට අවශ්‍ය විනිද ? විමුක්ති කොටි සංවිධානය විසින්, ඉන්දියානු රෝ එකට සම්බන්ධ යයි කියා එහි දෙවෙනි නායක මහේන්ද්‍ර රාජා හෙවත් මහත්තයා සහ ඔහුගේ අනුගාමිකයන් 300 පමණ මරා දමන ලදී. ඉතිරි අය කොළඹට පැමිණ සැඟවී සිටියහ . ඒ සැඟවී සිටිද්දී සමහරුන් අල්ලාගෙන යාපනයට මරන්නට ගියේ පොලිසියේද සහය ඇතිව කොටින් විසින් ප්‍රේමදාස - විමුක්ති කොටි සාම කතා සමයේය . මගේ හදවත ගැහෙන්නට ගත්තේ නන්දන වීරරත්න ගේ ඊළඟ වාක්‍යයත් සමගය . බාබු හෙවත් කුලරත්නම් වීරසිංහම් සුචරිතයට එවන ලද්දේ කොටි දෙවෙනි නායක මහත්තයා මිස කොටින්ගේ රහස් ඔත්තු සේවයේ පොට්ටු අම්මාන් නොවීමය.
නන්දන වීරරත්න සහෝදරයාගේ හොඳම ගවේෂණාත්මක කෘතිය මෙය බව මා කියන්නේ ඒ නිසාය.
මෙම කෘති කියවීම යනු ශ්‍රී ලංකාවේ දේශපාලනය පිටුපස ඇති සැබෑ අඳුරු පැතිකඩ හඳුනා ගැනීමට ලැබෙන කදිම අවස්ථාවකි. ඉතිහාසයේ සැඟවුණු සත්‍යය සොයා යෑම යනු හුදු කුතුහලයක් සපුරා ගැනීමක්ම පමණක් නොව, අනාගතයේදී එවැනි ව්‍යසන යළි ඇතිවීම වළකා ගැනීමට අප ලද හැකි කදිම පාඩම් සමුහයක. නන්දන වීරරත්න සහෝදරයාගේ මෙම කෘති මඟින් අපට පෙන්වා දෙන්නේ නිල රාජ්‍ය ඉතිහාසය පිටුපස තිබූ තවත් එක් බිහිසුණු යථාර්ථයකි.
අජිත් ධර්ම 21/11/2026


No comments:
Post a Comment
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .