මට පෙනෙන විධිහට ගොඩක් අයට සංගා එක්ක ඇරියස් එකක් තියනවා. සමහර විට හොඳට ඉංග්‍රීසි කතා කරන නිසා, සාර්ථක ක්‍රීඩකයෙක්, හොඳ වෙළෙන්දෙක්, හොඳ මාකටින්, ක්‍රිකට් මහා ගෙදර පින්තූරේ එල්ලලා තියෙන නිසා, බෝර්න් අගේන් බිරිඳ නිසා , වෙළඳ දැන්වීම් වල ඉන්න නිසා, ආදී ඕන හේතුවක් වෙන්න පුළුවන්. සංගා ට හිනාවෙන්න බලාගෙන හිටිය වගේ අර ජර්මන් වලින් ශාඩෙන්ෆ්රෞඩ (schadenfraude) කියල කියන්නේ. අනිකට කෙළ වුනහම හිනා වෙන එක. මෙතන ප්රශ්නය සංගා ලොකු කම් පෙන්වල නෙමේ කියන එක හෝ , රයන් එයාර් නිලධාරිනිය වර්ණවාදී හෝ ජාතිවාදී කතාවක් කීම කියන දේවල් අපේ අයට අදාල වෙලාම නැහැ. සමහරු බොර දියේ මාළු බානවා මුළු යුරෝපෙම ජාතිවාදියි කියල. එහෙම දේ වෙනවද? හැමදාම හැම ෆ්ලයිට් එකේම නැති වුනත් වෙනවා.
පළමුවෙන්ම කියන ඕනේ අයිරිෂ් ජාතිකයන් හරිම හිතවත් හොඳ මිනිස්සු . අපි සංචාරයේ ගිහින් තියනව , හැබැයි උන්ට සුද්දා හෙවත් ඉංග්‍රීසිකාරය පෙන්නන්න බැහැ. මහා අයිරිෂ් සාගතය උනේ සුද්ද නිසා කියල වෛරයක් තියනවා . යුද්ධ කාලේ අයිරිෂ් අය දෙමළ කෝස් එකට ආධාර කළා. හේතුව දෙමල සහෝලා ගිහින් කියල සුද්ද තමයි අපේ රටේ දෙමළ ප්‍රශ්නේ ඇති කලේ කියල . මාත් එක්ක කයියක් ගහන ආපු අපේ ටැක්සි ඩ්‍රයිවර් මහත්මය මම අයිරිෂ් නිදහස් සටන ගැන හොඳට දන්නා බව දැන ගත්තම "පිස්සුද බ්‍රදර් සල්ලි එපා" කියල කොච්චර දුන්නත් සල්ලි ගත්තේ නැහැ රයිඩ් එකට. පොඩි ගානක් නෙමේ. උන් එහෙමයි හිතට ඇල්ලුවහම. ඉතින් සංගට එහෙම කතා කළා නම් හුඟක් වෙලවට අය්රිෂ් කෙනෙක් වෙන්න බැහැ කියල මට හිතුන. කොහොමත් "රයන් එයා" එකේ වැඩිපුරම වැඩ කරන්නේ පිටරටවල අය.
හරි දැන් ඉස්සෙල්ලම අපි අපිට බැනගෙන ඉමු .
එංගලන්තයේ ඉඳන් ලංකාවට , මැද පෙරදිග රටවල් හරහා යන අය දන්නා දෙයක් තමයි ලන්ඩන් ඉඳන් මැද පෙරදිග ඩුබායි, අබුඩාබි, ඕමාන් යනකන් වගේ සර්විස් එක හොඳයි . ඊට පස්සේ කනා බල්ලට පොල්ලෙන් ගහනවා වගේ සර්විස් එක කියල . හැම එකේම වගේ බට් එමිරේට්ස් එක ටිකක් හොඳයි. ඒ නිසාම පහුගිය අවුරුදු කිහිපය ඇතුලත අපි යන්නේ ශ්‍රී ලන්කන් විතරයි. එක පාරක් දෙපාරක් ගියා එමිරේට්ස්.
මට ළඟකදී ගුවන් යානාවක සේවිකාවක් වී හිටි පිලිපීන ගෑල් ළමයෙක් පාටියක දී හම්බ වුනා. සාමාන්‍ය තරමට උස, ලස්සන මික්ස් එක්කෙනෙක්. එයාගේ පියා ඇමෙරිකන් සොල්දාදුවෙක් . මම එයාට ඔය කතාව කිව්වා.
"අනේ ඔයා තරහ වෙන්න එපා කියල," එයා කිව්වා මෙහෙම - "ඔය ෆ්ලයිට් එක මහා ජරා එකක්. උඹලගේ මිනිස්සු ටොයිලට් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මුළු දකුණු ආසියාවටම යන ෆ්ලයිට් වල එහෙමයි කියල . සුද්ද කරලා ඉවරයක් නැහැ. යන අනිත් මගීන් විශේෂයෙන් සුදු ජාතිකයෝ ඇවිත් කම්ප්ලේන් කරනවා" කියලත් කිව්වා. ඔයාල දන්නවනේ ගුවන් සේවිකාව කියන්නේ උත්කර්ෂයට නංවපු රැකියාවක් උනාට එසෙන්ෂලි වේටර් කෙනෙක් ගේ රස්සාවක් කියල . ඒ හැම දෙයක්ම එයාල කරන්න ඕනේ. මම ඉතින් මුවින් නොබැන හිටියා ඇහුව වැරැද්දට-මොකද අපේ යක්ඛ පුත්තු අතීතයේ සිට ගෙන එන ශුද්ධ වූ ජාන මුත්‍ර මගින් ටොයිලට් සීට් එකේ සහ ඉන් පිටත වටේ විසිරවීමේ සත් ක්‍රියාව මමත් අත්දැකල තියන නිසා . - ඔය කියන තරුණිය දැන් යුරෝපයේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් වැඩක් කරන්නේ ජර්මන් ජාතිකයෙක් බැඳලා ඇවිත් .
ඉතින් සංගා ට බනින ගමන් තමනුත් කල්පනා කරලා බලනවනම් හොඳයි . මොකද ඔන්න ඔහොම තමා සමහර ගුවන් සේවිකාවෝ අපි ගැන හිතන්නේ. අපි කොච්චර ලොකුවට හිතන් ගියත්. අනික ඔය වගේ රහස් උන් කියන්නේ නැහැ ලෙහෙසියෙන්. හැබැයි මට නෝටිස් වුනා සිංහලෙන් පවා දැන් උපදෙස් ලියල තියනවා කියල කාලයක් ඉඳන් සමහර ෆ්ලයිට් වල.
අපි යාලු වුන අලුත අනූ ගණන් වල ජර්මනියට ගියා ලුෆ්තන්සා ගුවන් සේවයේ. ඒවායේ ටිකට් 'රයන් එයා' වගේ තුන් ගුණයක් විතර. අපි දෙන්න අයිනේ සීට් දෙකක (යුගල සිට් අයිනේම තියන) ඉඳ ගෙන ඉන්න කොට ගුවන් සේවිකාව ඇවිත් ඇහුව ඉනෙස් ගේ කනට කරලා යමක්. එයා පුදුමෙන් වගේ කීව "නැහැ ඕනේ නැහැ" කියල. මම ඇහුවා මොකෝ කියල. ගුවන් සේවිකාව කියනවලු වෙන තැනක ඉඳ ගන්න දෙන්නම් කියල. ටිකකින් මේකි ආයි ඇවිත් කිව්වා ජනේලය අයිනේ තැනකුත් තියනවා කියල . ඉනෙස් සැරෙන් කිව්වා නැහැ එයා ඉන්න තැන හොඳයි කියල. ඒ කාලේ ඒ පොඩි පැය දෙකටත් කෑම වේලක් දෙනවා. මේ ගෑනි අපිව පහු කරගෙන සර්ව් කරනවා. ඉනෙස් ඒ ගමන කතා කරල කිව්වා. එයාට කෑම එක ගෙනත් දුන්න. මට නැතිව. ඉනෙස් කිව්ව මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට දුන්නේ නැහැ කියල . ඒ ගමන මූණ ඇද කරගෙන ඇවිත් දුන්න. සිද්ධිය වෙලා දැන් අවුරුදු 26 ට වැඩියි . අද වෙන තුරුත් අපි ලුෆ්තන්සා ගිහින් නැහැ. දැන් හොඳ ඇති. හැබැයි ක්‍රි.ව. දෙදහෙන් පස්සේ වගේ ඉඳන් මැතක් වන තුරු මොන ප්‍රශ්නයක් වත් තිබ්බේ නැහැ . කෝවිඩ් වලිනුත් පස්සේ ලොකු සංක්‍රමණික රැල්ලක් ආවනේ යුරෝපයට. මම ඒ ගැන මුකුත් කියන්නේ නැහැ . නමුත් ඉන් පස්සේ සලකන ආකාරයේ වෙනසක් ඇති වුනා කියන එකනම් මට තේරුම් ගියා .
මම 2019 ට කලින් එක පාරක් බ්‍රිටිෂ් එයාර්වේස් එකේ ගියා . ලංකාවට යන එක නවත්වන්න කලින්. මාලේ යන ෆ්ලයිට් එක. ඒක එහෙන් ඇවිත් අපිව කලම්බෝ වලින් අරන් එනවා. මගේ සීට් එක සහ කෑම තියෙන ට්‍රේ එක අපිරිසිදුයි. මම කතා කරලා කිව්වා. අපේ කෑල්ලේ සේවය කලේ කළු ජාතික තරුණියක් සහ සුදු ජාතික තරුණියක්.
සුදු එකී ඇවිත් කිව්වා මාලේ වලදී පිරිසිදු කරලා නැහැ කියල. මම කීව හරි ඉතින් පිරිසිදු කරන්න කියල දැන් මගේ වැරැද්දක් නෙමේනේ. මේකි කළු කෙල්ල ගාවට ගියා. මුණු මුණු ගෑව . කළු එකී ජූනියර් වෙන්න ඕනේ, ඒත් ආවේ නැහැ. ප්ලේන් එකෙන් බහිනකන් ඒක එහෙමයි. මම ඊට පස්සේ නම් බ්‍රිටිෂ් එයාර්වේස් එක්ක කොහෙවත් ගියේ නැහැ. මොකටද අපේ බිස්නස් දෙන්නේ.
අවුරුදු දෙකකට කලින් අපි උස්බෙකිස්න්තාන් ගිහින් ඉස්තාන්බුල් හරහා ආවේ . එක ෆ්ලයිට් එකක් කැන්සල් වෙලා අපිව දැම්මේ දෙවෙනි එකට. ඒක ෆුල්. මුන් කිව්වා සමහර හෑන්ඩ්ලගේජ් ඇතුලට දාන්න වොලන්ටරි වෙන්න කියල . අපේ ඒවා දුන්නේ නැහැ. එකයි නේ තියෙන්නේ. නමුත් ළමයි දෙන්න ටොයිලට් ගිහින් එන කොට එක බෑග් එකක් නොකියම උස්සන් ගිහින්. අපි හොයන කොට කොට අපිට හරිම කතා විධිහට යන්න කිව්වා ෆ්ලයිට් එකට. නැත්නම් දාල යනවා ලිව්වා. බෑග් එක ලන්ඩන් වලින් ඉල්ලන්න ඔෆිස් එකෙන් එවන්නම් කිව්වා. ඒක බොරුවක්. අපි ආව. ඒ බෑග් එකේ තිබ්බ සමරු ත්‍යාග සහ ඇඳුම් මුකුත් නැහැ. ඒවා තවම ඉස්තාන්බුල් වල. ලන්ඩන් වලින් කීව එයාලට කරන්න දෙයක් නැතිලු. අපේ තුර්කි යාළුවෙක් වන නුරායි ගිහින් ඉල්ලුව . එයාට දුන්නෙත් නැහැ . අන්තිම රූඩ් මිනිස්සු. ආයේ ටර්කිෂ් එයාර් ලයින් යන්නේ නැහැ කියල හිතන් ඉන්නේ . අදහස පස්සේ වෙනස් වෙන්න පුළුවන් .මේ එක සිද්ධියක් නේ කියල හිතල.
මම ඉනෙස් ට නිතර කියන කතාවක් තමයි . එයා සුදු ජාතික නිසාත් ළමයි දෙන්න ඉන්න නිසාත් priority boarding කියල අපි වෙනම ගෙවල යන නිසාත් ප්‍රශ්න අඩුයි කියල. ඒ කියන්නේ "රයන් එයා" එකේ වැඩි ගානක් ගෙවල සීට් බුක් කරලා ගිය හැකි. නැත්නම් කඩාගෙන බිඳගෙන දුවන්න ඕනේ සීට් එකක් අල්ල ගන්න. දැන්නම් සීට් අංක දෙනවලු අන්තිම දවසේ. එංගලන්තයේ දී ඇත්තටම රයන් එයාර් පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් කවදාවත් වෙලා නැහැ.
ළමයි පුංචි කාලේ මමයි ලොකු දුවයි එක තැනක් ඉනෙස් නුයි පොඩි දුවයි තව තැනක. අපේ පිටි පස්සේ හිටියේ මහලු ජර්මන් ජෝඩුවක් . මිනිහ නිතරම කකුල් දික කරලා දුවගේ සීට් එකේ වද්දනවා . දුව මට කිව්වා . මම මෑන් ට නැගිටලා කිව්වා කරුණාකරල වැඩිය සීට් එකට් ගහන්න එපා කියල. මුන් දෙන්න ඊට පස්සේ පිරිමි එයා හොස්ටස් ට ජර්මන් වලින් මොකද්ද කීව. මූ මට විත් කියනවා දුවට හරියට හැසිරෙන්න කියන්නලු , පිටි පස්සේ අයට හිරිහැර කරන්න එපාලු. ළමයට වයස දහයක් ඇති. මම කිව්වා අපි කරපු දෙයක් නැහැ මේ මිනිහ කකුලෙන් ගහනව කියල . ඒ ගමන් අරූ තර්ජනය කලා ෆ්ලයිට් එකෙන් බැස්සහම පොලිසියට කියනවා කියල. මට මළ පැනල . ඒ අස්සේ ඒ පේලියේ හිටපු ඉනෙස් එක්ක අර නාකි දෙන්න හොඳ කතාවක් . මම ඉනේස්ට කීව වෙච්චි දේ. අපි එක පවුලේ කියල දැන ගත්තම අරුන් සද්දේ වැහුවා. බහින කොට අරූ ට කිව්වා 'උඹ නාසි බල්ලෙක් ' කියල. ඒ වෙලේ ඌ මොනා කරන්නද?
අවුරුදු දෙකකට විතර කලින් ජර්මනියේදී මාව පික් කලා පෝලිමේ ඉන්න කොට බෑග් එක ලොකු වැඩියි කියල (මම මැනලා ගෙනාවේ. මේක ලන්ඩන් වලින් ගෙනියන්න දුන්න) මම ඒකත් කිව්ව. මේ කෙල්ල හෙන රූඩ් ලෙසින් කීව 'අපි ලන්ඩන් නෙමේ කියල ' කතා කලේ එහෙම හරිම නැස්ටි විධිහට. ගෙව්වේ නැත්නම් යන්න දෙන්නේ නැහැ කිව්වා. එයා ජර්මන් නෙමේ හැබැයි. ඇක්සෙන්ට් එකෙන් තේරුනා වෙන රටක කියල . කොහොම හරි මම වාද කරල බැරි තැන අන්තිමට ගෙවල ආව . දැන් අර චෙකින් එකේ පාස්පෝර්ට් එක සහ බෝඩින් පාස් එක චෙක් කරලානේ එවන්නේ . (සංගා බ්ලොක් වෙච්චි තැන) ආයේ චෙක් කරන්නේ නැහැ . නමුත් ෆ්ලයිට් එකට යන්න පඩි පෙලින් බැහැල එතන ඉන්න වුනා බලාගෙන සෑහෙන වෙලාවක් . ෆ්ලයිට් එක රෙඩි නැතිව. මම ප්රයරිටි බෝඩින් නිසා ඉස්සරහම හිටියේ . මේ ගෑනි අර දොර අරින්න ඇවිත් ඒක ඇරලා අනිත් අයට යන්න දීල මගේ පාස්පෝර්ට් එක ආයේ බලන්න ඕනේ කිව්වා (පාස්පෝට් එක බ්‍රිටිෂ්) . මම බෑග් එක ඇදල පෙන්වන කොට අනිත් මිනිස්සු මගේ දිහා බල බල පහු කරගෙන යනවා. එතැන කිසිම වැඩක් නැති දෙයක් ඒ කලේ.
ඊට පස්සේ ආපු ගමන් වාර දෙකම ජෙට් 2 එකෙන් සහ ශ්‍රී ලන්කන්. ආයේ අයර්ලන්තේ හෙට අනිද්දා ගියොත් ඉවානයගෙ දිහා, "රයන් එයා" තමා යන්න වෙන්නේ. ඒත් යනවා. මොකද ගමන් වාර 120න් දෙකක් තුනක් අවුල් කියන්නේ 3% අඩුයි නේ සම්භාවිතාව. ඒ අනුව නොට් බෑඩ් ඉතින්.
අන්තිම කතාව අපි ජපන් යද්දී . ශැන්හයි කනෙක්ෂන් ෆ්ලයිට් එකට වෙලා මදි. බ්ලොග් එකේ ලිපිය තියනවා. කැතේ ප්සිෆික් කොහොමත් හොඳ එයාර්ලයින් එකක් . කොහොම අහරි ජපානෙට යන ෆ්ලයිට් එකට දැම්ම. අපි දෙන්න දෙතැනක. මගේ පිටි පස්සේ හිටියේ සුදු මහත්මයෙක් . මගේ ඉස්සරහ චීනෙක් . සාමන්‍යයෙන් මම සීට් එක පස්සට දාන්නේ නැහැ. කෑවට පස්සේ චීනා සීට් එක පස්සටම දැම්මා. මගේ මූන ගාවටම . මම ඉතින් මගේ එක පොඩ්ඩක් වෙන්න පස්සට දැම්මා. සුද්ද ගැහුවා සීට් එකට. මම ටිකක් ඉස්සරහට ගත්ත. ඒත් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න වුනත් අමාරුයි . ආයේ දැම්ම පස්සට. සුද්ද ආයේ ගැහුවා. මම ගණන් ගත්තේ නැහැ. මූ දෙතුන් පාරක් විතර ගැහුවා අතිනුයි කකුලෙන් සීට් එකටයි . ඒ ගමන් මම නැගිටලා ඌට කිව්වා ආයේ ගැහුවොත් කම්ප්ලේන් කරනවා . අනික මගේ ඉස්සරහ එකාටත් ගන්න කියපන් සීට් එක ඉස්සරහට කියල. මූ මුකුත් කිව්වේ නැහැ මගේ දිහා පුදුමෙන් වගේ බලන් හිටිය. මන් හිතන්නේ මම නැගිටල බනී කියල හිතුවේ නැහැ, දැන් මූ ළඟ අනිත් පැත්තේ ඉන්න සුදු ගෑනු දෙන්න මූට චැට දානව. මු සවුත් ඇෆ්රිකන් සුද්දෙක්. හරිනේ, ගෑනු දෙන්න ඕස්ට්‍රේලියා. මුන් මට ඇහෙන්න කියන්නේ මිනිස්සු රූඩ්, සමහරු ෆ්ලයිට් වල එහෙමයි. ෆ්ලයිට් වල ගිය එවුන් නෙමේ වගේ කතා. මම සත පහකට ගණන් ගත්තේ නැහැ, චීනා ට කියපන් ඉස්සෙල්ල. දැන් ටෝකියෝ බැස්සම මම උඩ රාක්කෙ දාපු බඩු ගන්න හදනවා , සුදු ගෑනි ඒකිගේ බෑග් එක ගත්තේ මගේ මූණේ වද්දල. ඕන කමින් කලේ කියල තේරුණා නිසා, මට මළ පැනල මම ඒකිගෙන් ඇහුව මොකද්ද උඹේ ප්‍රශ්නේ කියල. මගේ තරහ මූණ බොහොම භයානකයි . ඉනෙස් මිනිස්සු පීරාගෙන ඇවිත් බදාගෙන කිව්වා -" අනේ අපි බැහැල යමු . දැන් ඇවිල්ලනේ . උන්ව ගන්න ගන්න එපා කියල ." අර ගෑනි මුලින් හිනා වුනාට - මම හැරිලා එනකොට කිව්වා "සොරි මම දැක්කේ නැහැ" කියල.
ඒකටත් හරියන්න ජපානේ - අපට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ , හැමෝම කියනවා ජැප්පෝ ජාතිවාදී කියල මම නම් දැක්කේ නැහැ එහෙම දෙයක්. සුපර්මාකට් එකක මගේ ට්‍රේන් සෙට් එකට චාජරයක් හොයද්දි මුලින් කෙල්ලක් තව එකෙකුට කතා කරල, ඒකි මැනේජර් ට කතා කරල අන්තිමට හතර දෙනක් මට අවශ්‍ය දේ හොයල, හොයා ගත්තම භාවිත කරන හැටිත් වට වෙලා කියා දුන්න. අන්න සර්විස් .
"රයන් එයා" එකේ ෆ්ලයිට් ස්ටාෆ් එකෙන් 42% දකුණු යුරෝපියානු රටවල අය . ඒ කියන්නේ ඉතාලියානු , ස්පාඤ්ඤ, පෘතුගීසි , ඇල්බේනියා, ක්‍රොඒෂියා ආදී රටවලින්. නැගෙනහිර යුරෝපියන් 8% පමණ ඉන්නවා . උතුරු යුරෝපියානු ඒ කියන්නේ බ්‍රිතාන්‍ය , අයර්ලන්ත , නෙදර්ලන්ත, ප්‍රංශ වගේ රටවලින් 30% පමණ . ඉතිරිය ලෝකේ අනික් රටවලින්.
දැන් ධනවාදයට අනුව තරඟය හොඳ වෙන්න එපාය. එතකොට තමා පාරිභෝගිකයාට හොඳ . නමුත් ඕනෑවට වඩා කට් ප්‍රයිස් කරලා රයන් එයා , අනිත් එයාර්ලයින් අයින් කරලම වගේ දැම්ම. අර ප්‍රයිවෙට් බස් වගේ සමහර රූට් වලට ඒ ගොල්ලෝ විතරමයි ඉන්නේ. අර ධනවාදයේ තියෙන චොයිස් එක කෝ ? ඒකට මොකද වුනේ? අනිත් කාරනේ තමා - අපට කියන්නේ 'කස්ටමර් ඕල්වේස් රයිට් ' කියලනේ . "ඔබේ පාරිභෝගිකයා සැම ම විටම නිවැරදිය" (වැරදි වුනත් ) . සොරි කියල මුව් ඔන් වෙන්න පුළුවන් වුනත්, රයන් එයා සොරි කිව්වේ නැහැ , ඒ වෙනුවට වැඩේ අමතක කරල දානව. සංගා වැදගත් නැහැ, අන්න එතනයි මට ප්‍රශ්නේ.
අපේ අල්ලපු ගෙදර මනුස්සය ඊයේ පෙරේද යන්න ගිහින් ටිකට් තුනක් වරදලා දීල. එයාව ආපහු හරවල එව්වා. කෙල්ල කම්ප්ලේන් කලහම පවුම් පනහක වවුචරයක් දීල. ටැක්සි ෆෙයාර් එකත් ඊට වැඩියි . ඊළඟ ෆ්ලයිට් එක දවස් තුනකින්. දවස් තුනක නිවාඩුව හබක්. එයා ඉතුරු දවස් තුනට ගිහින් ආව. එය හිතන්නේ ඊට කලින් කම්ප්ලේන් එක්ක කල නිසා එයාගෙන් පලි ගත්ත කියා . වෙන්නත් පුළුවන් . නොවෙන්නත් පුළුවන්.
කොටින්ම කට් ප්‍රයිස් නිසා අපි ගියාට බේසික් සර්විස් එකට, අපට අයිතියක් තියනව.
ඔය ඉහත කියන සිද්ධි අවුරුදු 30 ඇතුලත් සිද්ධි වෙච්චි දේවල් . ඉතින් සම්භාවිතාවක් ගත්තම, ගිය රටවල් ප්‍රමාණය ගත්තම ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. සීයට දෙකක් පමණ තමා ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මේව කවදාවත් ලියල නැහැ. මොකද් ආගිය ගමන් ඊට වැඩිය ජොලි සහ හොඳ නිසා .
අජිත් හෙවත් කොළඹ ගමයා - 02/11/2026



No comments:
Post a Comment
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .