Showing posts with label Soviet. Show all posts
Showing posts with label Soviet. Show all posts

Monday, 2 October 2017

සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්, බ්‍රෙෂ්ට් හා සාක්කිය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 - විජේවීර හා පොල්පොට් 

බෙර්ටෝල්ට්  බ්‍රෙෂ්ට් 
සෝවියට් පොත පත  සහ ප්‍රධාන වශයෙන් රුසියන් සාහිත්‍යය ශ්‍රී ලංකාවේ විප්ලවයකට බලපෑවා නම් බොහෝ විට රුසියන් විප්ලවයට දායක වුනු සියල්ල (ලෙනින්, ට්‍රොට්ස්කි ඇතුළු විප්ලව නායකයන්) සතුටු වනවා නොඅනුමානය. ඒ ඔවුන් සියල්ල ලෝක විප්ලවයක් ගැන සිහින මැවූ හෙයිනි.

ශ්‍රී ලංකාවේ මෙන්ම කොමියුනිස්ට් රටවල්ද බොහෝ ජනප්‍රිය පොතක්  වූයේ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි " නම් තරමක් දුරට ප්‍රබන්ධ ගත කරන ලද ඕස්ත්රොව්ස්කි   ගේ ජිවිත කතාවේ කොටසකි. මේ පොත සමග එසේ තරුණ පරපුර කෙරෙහි අදත් බලපෑ පොතක් නම් පසු කලෙක චුලානන්ද සමරනායක මහතාද පරිවර්තනය කළ ගුරු ගීතයයි. චිත්‍රපට කිහිපයක්ද ගුරු ගීතය නිසා නිමවුණි. මේ එම නවතම නිර්මාණයක් ගැන මා ලියූ ලිපියකි.

චින්ගීස්ගේ අයිත්මාතොව් ගේ  "ගුරු ගීතය" පොත ජපන් බසට  පරිවර්තනය කල ජපන් ජාතික රියෝකිචි සුගිමොටෝ තම ප්‍රසිද්ධ නිළි බිරිඳ වන යොෂිකෝ ඔකඩා සමග සෝවියට් දේශයට ගියේ සෝවියට් නාට්‍ය කලාව ගොඩ නැංවීමට ව්සේවොලෝඩ් මෙයර්හෝල්ඩ් ට උදව් වෙන්නටය. නිකොලායි ගොගොල් ගේ "රජයේ පරීක්ෂක the government inspector " කතාව  නාට්‍යයට නැගුවේ මෙයර්හෝල්ඩ් ය.

කොමියුනිස්ට්වාදියෙකු වූ සුගිමොටෝ ජපානයේ "පෙරටුගාමී" (avant-garde) නමින්  නාට්‍ය කණ්ඩායමක් ගොඩ නගාගෙන සිටි අතර ඔහුට ජපන් රජයෙන් මරණිය තර්ජන එල්ල වී තිබුණි. ජපන් පොලිසියෙන් බේරීමට සෝවියට් දේශයට ගිය  සුගිමොටෝ සහ යෝශිකෝ එන්කාවද (NKVD) හෙවත් සෝවියට් රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගෙන දරුණු ලෙස වධ දෙන ලදී. ඔහු ලවා මෙයර්හෝල්ඩ් සෝවියට්  රජයට විරුද්ධ රහස් ඔත්තු කරුවෙකු යයි ලියමනකට අත්සන් ගන්නා ලදී.  ලෙනින් ගේ ද ප්‍රියතම නාට්‍යකරුවෙකු වූ මෙයර්හෝල්ඩ් ත්‍රස්තවාදී, රහස් ඔත්තු කරුවෙකු යයි හංවඩු ගසා  ස්ටාලින්/බෙරියා ගේ අණ පරිදි 1939 දී මරා දැමුනි. මේ කාලයේ දීම "ගුරු ගීතයේ" ජපන් පරිවර්තක ජපන් ජාතික සුගිමොටෝ රහස් ඔත්තුකරුවෙකු ලෙස නම් කොට වෙඩි තබා මරා  දමන ලදී.

ජාතිවාදී කලබල වලින් පසු ජවිපෙ තහනම් කරන ලද තත්වයක් තුල ජවිපෙට රජයේ මර්දනකාරී හස්තය එල්ලවූ බව සැබෑය. ඇතැම් ජවිපෙ ක්‍රියාකාරීන් අත් අඩන්ගුවේද පසුවූහ. විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු (පද්මසිරි සහ රෝහණ )  පොලිස් වෙඩි තැබීම්  වලින් මියගොස් තිබුණි. නමුත් 1986 දෙසැම්බරයේ ස්වාධින ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය කිරීමත්  සමග ජවිපෙ දේශපාලන ඝාතන  රැල්ලකට මුල පිරීය. මේ ඝාතනය  පිළිබඳව රසිකොලොජි ලියු සටහන් කිහිපයක් මෙහි ඇත.

එසේම  දයා පතිරණ ඝාතනය  ගැන වැදගත්  දේශපාලන විවරණයක් පෙසපෙට  නැඹුරු අක්ෂය වෙබ් අඩවියේ  පලවිය. ලිපිය ලියා  ඇත්තේ නජිත් ඉන්දිකය.

කිසි සේත්ම ජාතිවාදියෙකු නොවූ දයා  පතිරණ විජේවීරගේ ස්ටලින්වාදී මාවෝ වාදී පොල්පොට් වාදී න්‍යායට කෙලින්ම විරෝධයක් පෙන්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සටන්  වල පෙරමුණේ සිටියකි.

ඒ කාලයේ මා  කියවූ නවකතා පොතක් වූයේ  කිර්ති නම් කුමරෙකු සොළින් පරදවා ලංකාව නැවත එක්  සේසත් කළ කතා පුවතයි. ලිව්වේ කව්ද  යයි මට මතක නැති වුවත් (කලහේ කුමාරදාස විය හැකිය)  එය ඉතා හොඳ නවකතාවකි.  තරුණ වියේ සිටි මට  රට රැක  ගැනීමට පෙරට යාමට  සොළීන් එළවීමට හොඳ උත්තේජනයක් දුන් පොතකි ඒ.  මා ඉතිහාසය හා රජවරුන් සම්බන්ධ  විස්තර කියවීමට කැමතිය. මිනිසුන් පෙළූ  සොළී ආක්‍රමණිකයන්  පැරදවීම හා රට බේරා ගැනීම අගය කළ යුත්තකි. නමුත් ඒ ජාතිකවාදී සටන් මාක්ස්වාදී ව්‍යාපාරයකට  බද්ධ කිරීම අනුවණ කමකි. කිර්ති විජයබාහුලා  අන්වර්ථ නම් වලින් එලියට පසුව ආවේද මේ ප්‍රොජෙක්ට් එක යටතේය. (දැනුදු මේ නම් ගත් අය මේ බ්ලොගයට ප්‍රතිචාර දැමීමට පැමිණෙති. ඒ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමයට විරුද්ධව යමක් ලියුවොත්ය.)

මේ කාලයේ  සිදුවූ එවැනි තවත් ඝාතනයක් නම්  නන්දන මාරසිංහය. මේ ඒ ගැන මා ලියු ලිපියකි.  "කාලයේ රාවය " ගීත සමුච්චය කළ නන්දන ජවිපෙ බැංකු කොල්ලයක් කළ අය  ගැන පොලිසියට දැනුම් දුන්නා යයි චෝදනා කර මරා දැමුණි. (පොලිස් ඔත්තු කරුවෙකු ලෙස නම් කර ) එම ඝාතනයට දෙදිනකට පෙර ඔහු සමග සිටි, එසේම ඝාතන තර්ජනයකට ලක්ව සිටි සුනිලා  අබේසේකර සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නන්දන ගෙන් ඉල්ලා සිට ඇත්තේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවෙන ලෙසයි. නමුත් විජේවීර බේරා ගැනීමට යාපනය සිර ගෙයට පවා ගිය නන්දන විජේවීර එවැන්නකට නියෝග කරනු ඇතැයි නොසිතන්නට ඇත.

වෛද්‍ය රුවන් ජයතුංග විසින් ලියූ ලිපියක විජේවීර මහතා පිලිබඳ මනෝ විශ්ලේෂණයක් ඉදිරිපත්  කර තිබුණි. රුවන් මෙන් තවත් බොහෝ අයද ස්ටාලින් මෙන්ම  හිට්ලර් ද මනෝ ව්‍යාධි වලින් පෙළුණු බව කියා තිබේ. (සෝවියට් රතු හමුදාවේ ප්‍රචාරක නිලධාරියකුව සිටි දිමිත්‍රි වොල්කගොනොව් ගේ 'ස්ටාලින් " පොත කියවන්න.) යුඇන්පියෙන් පියාට පහර දීම, විජේවීරගේ අවලක්ෂණ භාවය ගැන කරුණු බොහෝ අය ඉදිරිපත් කර තිබුණි. නමුත්  මගේ අදහස නම් රෝහණ විජේවීර මේ මෙහෙයවූයේ තමන් විසින්ම ස්ටාලින්, මාවෝ, පොල්පොට් ක්‍රියාවලිය න්‍යායාත්මකව  හදාරා දියත්  කළ අරගලයක් බවයි. අවාසනාවකට එය සුළු ජාතීන්ට එරෙහිව ජාතිකවාදය මෙන්ම ජාතිවාදයද ඉස්මතු කරගත් මාවෝවාදී ඝාතන  රැල්ලක් බවට පෙරලුනි.

විජය කුමාරතුංග මරා  දැමුවේ තමන් විසින් නොවන්නේ යයි ජවිපෙ පවසතත් විජය එදා සිටි තැන එනම් ද්‍රවිඩ කැරලිකරුවන් ගැන සාකච්චා කළ යුතු යයි කි ස්ථාවරය විජේවීරගේ මතවාදයට ඉඳුරාම වෙනස් එකක් විය. දයා පතිරණ හා දයාන් ජයතිලක  දෙදෙනාම සිටියේ "ස්වයං නිර්ණය අයිතිය" සුළු ජාතීන්ගේ  අයිතියක් වශයෙන් පිලි ගන්නා තැනකය. අද ජාතිවාදී පැත්තේ සිටියත් දයාන් ජයතිලක ඒ කාලයේ ලතින්  ඇමෙරිකානු විප්ලව ගැන දේශන පවත්වමින් සිටි අතර වර්ධරාජා පෙරුමාල් ගේ වාමාංශික  කණ්ඩායමටද එක්වී සිටියේය.

පසු කාලීනව වාමාංශික   ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් ඝාතනය කරමින් ඉදිරියට පැමිණියේ කොටි සංවිධානයයි. ඒ අනුව ප්‍රභාකරන් ඒ පැත්තෙන් ද්‍රවිඩ ජාතික අරගලය ජාතිවාදී ස්වරූපයකින් ස්ථාපිත කල අතර විජේවීර දකුණේ  ඒ කාර්යභාරය ඉෂ්ඨ කළේය. ප්‍රේමදාස  රජය තම ඉන්දීය විරෝධය හරහා  උතුරේ කොටි  සංවිධානය හිතවත්ව තබා ගනිමින් දකුණේ දැවැන්ත භිෂණයක්  දියත් කළේය. සතුරන් මෙන්ම මිතුරන්ද දෙපැත්තෙන්ම  ඝාතනය වූ මේ සමයේ රැල්ලට එරෙහිව ඇතැම්  නාට්‍යකරුවන් මෙන්ම ඇතැම් සාහිත්‍යවේදීන් ද ක්‍රියාත්මක වෙමින් සිටියහ. රැල්ලේ, පවනේ සිටි කලාකරුවන් වූ නන්දා  මාලිනි ආදීන්ට  මහාචාර්ය සුචරිත ගම්ලත් ඔහුගේ ලිපි වලින් නිර්දය ලෙස පහර දුන්නේය.  ඉදිරියේ එන අනතුර ඔහු වටහාගෙන සිටින්නට ඇත.

කවුරුත් අමතක කල කරුණක්  වුයේ ලෙනින් විප්ලවයේ කැඩපත නමින් සඳහන් කලේ ටෝල්ස්ටෝයි ගැන බවය. "යුද්ධය හා සාමය" එවකට රුසියානු සමාජය විග්‍රහ කල අනගි ග්‍රන්ථයක් වශයෙන් ලෙනින් හැඳින්විය. "යුද්ධය හා සාමය" යනු කිසි සේත්ම විප්ලවීය වීර කාව්‍යයක් නොවේ.

හෙන්රි ජයසේන , රන්ජිත්  ධර්මකීර්ති, "කැළණි පාලම " කල ආර් ආර් සමරකෝන් වැන්නන්  ජනප්‍රිය මාදිලියේ නාට්‍ය  ඉදිරපත් කල අතර "සාජන්ට් නල්ලතම්බි " වැනි ප්‍රහසන නිර්මාණ ජනප්‍රිය රැල්ලෙන් ඉදිරිපත් විය. හෙන්රි ජයසේන ගේ "හුණු වටයේ " කතාව බ්‍රෙෂ්ට් ගේ රංග කලාව ගැන එතරම් තැකීමක් නොකළ අතර සෞන්දර්යවාදී  මුහුණුවරට වැඩි  තැනක් ලැබී තිබුණි. සෝවියට් සාහිත්‍යයේ විප්ලව වාදී කැප කිරීම් සහිත හා ආවේගී ගුණයන්ගෙන් පිරි කතා  රැල්ල ද සමග  චීන, උතුරු කොරියානු (ඉල් සුන්ගේ එක්සත් ජනපද අධිරාජවාදී  හමුදා වලට එරෙහි හපන්කම්) , වියට්නාම (හෝ චි මින්) මෙන්ම චේ ගේ වීර කතාද බහුල විය.

බොහෝවිට මතක තබා ගත යුත්තේ මේ විප්ලවීය වීර කතා නිර්මාණය වුයේ ඔක්තෝබර් විප්ලවය  ජයගත් පසු බවය. ලෙනින් ලා හෝ ට්‍රොස්කි ලා මෙන්ම ස්ටාලින්ද වීර වික්‍රම විප්ලවීය  කාව්‍යය, කතා  කියවීමක් ගැන සඳහනක් මා  කොහෙවත් දැක නැත.

ස්ටාලින් තමන්ගේ" great purge" හෙවත් පක්ෂය හා රට "සුද්ධ කිරීම" ආරම්භ කලේ ලෙනින් ද මියගොස් වසරකට පසුය.  එසේම මාඕ තමන්ගේ සංස්කෘතික විප්ලවය දියත් කලේ බලය ලබාගෙන කාලයකට පසුවය. මේ දෙදෙනාම තමන්ගේ පැරණි විප්ලවකාරී සගයන් සහ උගතුන් (intelligencia)  විනාශ කළහ.  පොල්පොට් තම ක්‍රියාවලිය පටන් ගත්තේද බලය ලබා ගැනීමෙන් පසුය. විජේවීර  මහතා තුන්ඩු වලින් පුංචි ආණ්ඩුවක් පිහිටුවා බලය ලැබුනා  යයි සිතා  එම කාර්යය ආරම්භ කළේය.
විජිත ගුණරත්න 

රැල්ලට එරෙහිව ගිය සාහිත්‍යවේදීන් අතරින් එක් අයෙකු වූයේ බ්‍රෙෂ්ට් ගේ එපික්  රංග රීතියට අනුව කල "දැති කියත " වේදිකා නාට්‍යයේ නිර්මාතෘ  වූ විජිත ගුණරත්නය. ස්වීඩනයේ ඉගෙනුම හදාරා පැමිණි ගුණරත්න "සුභ සාධක", ඉනි මගක් සහ බුරුවෙක් වැනි ස්වයං නිර්මාණ ද "පැන්ස තුනේ කතාව " ආදී අනුවර්තන ද   කල අතර 1988 දී "සාක්කිය" නාට්‍යය එලි දැක්විය.   ඉතාලියානු ජාතික ඩාරියෝ ෆෝ ගේ Accidental Death of an Anarchist (අරාජිකවාදියා ගේ හදිසි  මරණය) නමැති කතාවේ අනුවර්තනයක් තුලින් බ්‍රෙෂ්ට් ගේ එපික් රංග කලාව ඔහු නිවැරදිව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.  පොලිසියේ සීඅයිඩී එකේ හතරවෙනි තට්ටුවෙන් "පැන දිවි නසා ගත් " දොඩම්පේ මුදලාලි ගැන මතකද? මේ "සාක්කිය " කතාවද  එවැන්නකි.  සාක්කිය නිසා 1988 දී විජිත ගුණරතන වෙඩි  ප්‍රහාරයකට මුහුණ දුන්නේය. එනිසා ඔහු දිවි බේරා  ගැනීම සඳහා නැවතත් ස්වීඩනයට පිටු වහල් විය.

විජිත ගුණරත්න ගේ "වලා පටල" චිත්‍රපටය ගැන ලිපියක් මෙහි ඇත.

"නාද සංකථන  "යනුවෙන් පර්යේෂණ ලිපි කිහිපයක් පළ කරන තරුපති  මුණසිංහ මෙසේ ලියයි.

"බ්‍රෙෂ්ට් ගේ රංග රීතිය මුල් කරගත් නාට්‍ය ශ්‍රී ලාංකීය වේදිකාවට ගෙන එන්නේ විජිත ගුණරත්නයන්ය. සුනිල් විජේසිරිවර්ධනයන්ට (2003) අනුව, දැති කියතෙන් විජිත  ගුණරත්නයන් ඇරඹු බ්‍රෙෂ්ට්ගේ රංග සංකල්පය පදනම් කරගත් නව රංග මාර්ගය සුභ සාධක, සත්යාංගනාවී, සහ සාක්කි යන නාට්‍ය හරහා වඩා පොහොසත් කරන්නට සමත් වූ බවයි. හෙන්රි ජයසේනයන් ට පසුව බ්‍රෙෂ්ට් නැවත ශ්‍රී ලංකාවට මතක් කර දෙන්නේ විජිත ගුණරත්නය.  බ්‍රෙෂ්ට් ගේ රංග සංකල්පයන්ට යම් තරමකට හෝ ගුණරත්නයන්ට සමීප විය හැක්කේ වාමාංශික දේපාලන කියැවීම හරහා වීම බව මම  විශ්වාස කරමි. " (පි. 58 නාද සංකථන.)

"සංස්කෘතික ක්‍රියාවලියේදී අපේ වම ඉන්නේ සිහිනයක. ඔවුන් කලාකරුවාගේ මූලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. මේ ගැන වම සංවාදයක් පැවැත්විය යුතුයි. සමාජ පරිණාමය සඳහා කලාව කියන කාරණය සම්බන්ධව වමට දැඩි ලෙස හිතන්න කාලය ඇවිත්. අපේ වගේ ඌණ සංවර්ධිත රටක කලාකරුවන් වම වෙනුවෙන් පෝලිමේ ඇවිත් පෙනී සිටියි කියල හිතනවා නම් ඒක වැරදියි. - විජිත ගුණරත්න " - (පි.59 නාද සංකථන)

බ්‍රෙෂ්ට් ගේ මේ රංග රීතිය වැදගත් වන්නේ ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් පරාරෝපණය (alienation or entfremdung - ජර්මන් ) කිරීමයි. කලාවේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ   ප්‍රේක්ෂකයාට  සිතන්නට බල කිරීම   හා කියවන්නාට විවේචනාත්මකව සිතන්නට බල කිරීම මිස ආවේගයෙන් හැසිරෙන කලහකාරීන් පිරිසක් නිර්මාණය කිරීම නොවේ.

ධර්මසිරි බණ්ඩාරනායක 

ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් "ධවල භීෂනය" නාට්‍යය නිර්මාණය කරන ලද්දේ 1988 දීය. ෂෝන් පොල් සාත්‍රේ ගේ "ඡායා නැති මිනිස්සු "(Men Without Shadows ) අනුසාරයෙන් නිපදවුණු මෙම නාට්‍යයෙහි ඇත්තේ නාසි වාදී ප්‍රංශ දක්ෂිණාංශික විචි රජයේ සොල්දාදුවන් මගින් අත් අඩංගුවට ගන්නා නාසි විරෝධී (french resistance) සටන්කාමීන් සමුහයක් ගැනය.

විජිත ගුණරත්නයන් ගේ හා ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ අනතුරු හැඟවීම්, ආවේගාත්මක සටන් පාඨ, විප්ලවකාරී උත්තේජනයක් දෙන ගීත හා නවකතා අතර ගිලුණු තරුණයන් සමුහයකට සහ ඔවුන් ගේ නායකත්වයට ඇස ගැසුනේ නැත. විජිත ගුණරත්නලා සිටියේ ජවිපෙ නායකත්වයට ගව් ගණනක්  ඉදිරියෙනි.

"ගුරු ගීතය " ගැන හා බෙර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් ගැන සඳහනකින්  ලිපිය අවසන් කරමි.
 මේ මගේ රුසියානු මිතුරියක ගේ පෙම්වතෙකු හා  කිර්ගිස් ජාතික තරුණයෙකු වූ රුස්ලාන් කී කතාවකි. ඒ කිර්ගීසියාවේ අගනුවර වන බිෂ්කෙක් වලට ඈතින් ඇති පෙදෙස් වල ලාබාල තරුණියන්  කසාද බැඳීම සඳහා හෝ ලිංගික වහලුන් ලෙස තබා ගැනීමට පැහැර  ගන්නා බවයි. කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් වරුන්ට විශාල නිවෙස් ඇති බව සහ එම නිවෙස් වල බිම්ගත කාමර තිබෙන බවත් ඇතැම් විට මෙම තරුණියන් ඒවායේ රඳවා ගෙන සිටින බවත්ය. ඔහු මේ තරුණියන් ඇසින් දුටු බව හමුදා භටයෙකු ලෙස සේවය කරද්දී දුටු බව කීය. (සෑම සෝවියට් තරුණයෙක්ම  අවුරුදු 17දී හමුදා සේවයට යා යුතුය)  සෝවියට් තුර්ක්මෙනිස්ථානයේ,  තජිකිස්ථානයේ ද මෙවැනි සිද්ධීන්  සිදුවෙන බවත්ය. සමහරවිට මොස්කව් හෝ වෙනත් නගර වල සිට එන නිලධාරීන් නිහඬව සිටින්නේ ඔවුන්ටද කෑමෙන්, මෙන් හා තරුණියන් ගෙන් සංග්‍රහ ලැබෙන  නිසා විය හැකි බවත්ය. මේ 1988 පමණ දීය.

මේ වසර 1999 බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කිර්ගිසියාවේ මනාලියන් ලෙසට කියා පැහැර ගෙන ගොස් දූෂණය කර හැර දමන තරුණියන් ගැන ලියූ කතාවකි.

මේ 2004 තරම් මෑත කාලයක එවන් "මනාලියක් " පැහැර  ගැනීමක් ගැන කතාවකි.
http://www.pbs.org/frontlineworld/watch/player.html?pkg=303_kyrgyz&seg=1&mod=0

සමහර ෆේස්බුක් විප්ලවවාදීන් දුයිෂෙන් මෙන් ඉදිරියට එන්නට කියන විට , විප්ලවවාදීන්ට අති උත්තම මරණය තෝරාගෙන ජනතාව  වෙනුවෙන් සටන් වදින්නට ආවේගාත්මක ලෙස ඉතා සංවේදී ලෙසින් ආයාචනා කරන විට සෝවියට් දේශයේ සිටි අපට සිනහ පහල වන්නේ මේ නිසාය. මේ ඇත්තටම  සිනහවීමට නොව හඬන්නට සුදුසු  කරුණකි.

සෝවියට් දේශයෙන් දෙන "ස්ටාලින් සාම ත්‍යාගය" 1954 දී පුද කරන ලද්දේ බ්‍රෙෂ්ට් ටය.  ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර බර්ලිනයේ ගත කල අවසන් වසර කිහිපය තුල බ්‍රෙෂ්ට් නාට්‍ය කිහිපයක්ම කළේය.  නැගෙනහිර බර්ලින් ගොඩනැගිලි ඉදිකරන කම්කරුවන් පිරිසක් වර්ජනය කලේ 1953 දීය. කොමියුනිස්ට්වාදී  කම්කරු පන්තියෙන් යයි කියා පාලනය වන රටක වර්ජන කළ හැකියි ඔවුන් සිතන්නට ඇත.  වර්ජනයට මුලිකත්වය දුන්නේ පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, කම්කරු  වෘත්තීය සමිති හා නාසි හා ෆැසිස්ට් විරෝධී සංවිධාන ජාල වලිනි. මාසයකින් මිලියනයක් පමණ වර්ජනයට පක්ෂව  හා නැගෙනහිර ජර්මන් රජයට විරුද්ධව එක්වුනි. බ්‍රෙෂ්ට් මුලදී වර්ජකයන්ට එරෙහිව ජර්මන් රජයට සහය පල කළේය.

නැගෙනහිර ජර්මනියේ ස්ථාපිත සෝවියට් හමුදා විසින් දරුණු ලෙස වර්ජනය සහ ජනතා නැගිටීම මර්දනය කරන ලදී. බ්‍රෙෂ්ට් රජයට එරෙහි විය. අවසන් වරට ඔහු ලිවූ කාව්‍යයක මෙසේ සඳහන් වෙයි.

දාහත් වෙනි දා ජූනියේ ජනතා නැගිටීමින් පසු
කතුවරුන් ගේ සංගමයේ ලේකම්
පත්‍රිකා බෙදුවා ස්ටාලින් වීදියේ 
ඔහු කීවේ ජනතාව කෙරෙහි
රජය විසින් තැබූ විශ්වාසය බිඳ හෙලලා කියල
එය නැවත  දිනා ගත හැක්කේ
වඩා තදින් උත්සහ කිරීමෙන් පමණක් කියා

ඊට වැඩිය ලෙහෙසි නැත්ද
රජය විසින් මේ අවස්ථාවේ
ජනතාව  විසුරුවා හැරලා
අලුත් ජනතාවක්  පත් කර ගත්තොත්

After the uprising of the 17th of June
The Secretary of the Writers Union
Had leaflets distributed in the Stalinallee
Stating that the people
Had forfeited the confidence of the government
And could win it back only
By redoubled efforts.

Would it not be easier
In that case for the government
To dissolve the people
And elect another?

(collected edition of Brecht's work)

~ වසන්තය එනවා සත්තමයි ~~~~


මූලාශ්‍ර:

නාද සංකථන - නාදය සහ සංගීතය අතර පර්යේෂණ ලිපි සංග්‍රහය - තරුපති මුණසිංහ
 නන්දන මාරසිංහට මොකද වුනේ ?- සත්හඬ
Leo Tolstoy as the Mirror of the Russian Revolution - ලෙනින් 
බෙර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් 
කිර්ගීසියාවේ මනාලියන් පැහැර  ගැනීම 
Plight of Kyrgyzstan brides who are kidnapped, raped and abandoned
කසාක්ස්ථානයේ පැහැර ගැනීම

Saturday, 23 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 - විජේවීර හා පොල්පොට්

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම


සලොත් සර් හෙවත් පොල්පොට් 
ජනතා  විමුක්ති පෙරමුණ මෙහෙයවූ ප්‍රථම කැරැල්ලේදී සිරගතව සිට ඉන්පසු අධ්‍යාපනය ලැබීමට සෝවියට් දේශයට පැමිණි කිහිප දෙනෙක් මට මොස්කව් වලදී හමුවුණි. ඔවුන් සියල්ලගේම මතය වූයේ සෝවියට් දේශයට පැමිණි පසු දැනගත් කරුණු එදා දැන   සිටියා නම් කිසි විටෙකත් කැරැල්ලට සහභාගී නොවන බවයි. මේ අනුව විජේවීර මහතාගේ (සහෝදරයාගේ) සංවිධාන ශක්තිය, ව්‍යාපාරයට ඇති කැපවීම, පක්ෂයක් ගොඩ නැගීම ආදී සියල්ල නොඅඩුව තිබුනද '71 කැරැල්ල වනාහී ඕනෑ කමින් කළ අත්හදා බැලීමක් පමණක් වී යයි සිතමි. හැත්තෑ එකේ කැරැල්ල දක්ෂිණාංශික ධනවාදී ආණ්ඩුවකට එරෙහිව නොව අර්ධ වාමාංශික සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ  රජයකට එරෙහිව කළ එකක් වීම නිසාම  එය පැහැදිලිය.

එසේම වාමාංශික රජයක් වුවද එහි පොලීසිය සහ නීතිය  සම්බන්ධ ආයතන කැරැල්ලට ප්‍රථමව ජවිපෙ හා අනිකුත් රජයට පක්ෂ නොවන වාමාංශික සංවිධාන වල සාමාජිකයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම් කරමින් මර්දනයක් දියත් කළ බවද නොරහසකි.

සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව රට නැංවීම සඳහා 1971 නොවැම්බර් මාසයේදී පස් අවුරුදු සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. මේ පස් අවුරුදු සැලැස්ම සෝවියට් දේශයේ මෙන්ම  අනිකුත් සමාජවාදී රටවල ක්‍රියාවට නංවන ආකාරයේ පස් අවුරුදු සැලසුම් හා සමාන එකකි.  සෝවියට් දේශයට පක්ෂපාති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ට්‍රොස්ට්කිවාදී සම සමාජයද රජයේ හවුල් කරුවන් විය.

සෝවියට් සාහිත්‍යය ශ්‍රී ලංකාවේ  ප්‍රචලිත වන්නට හරියට පදනම වැටුනේ මේ කාලයේය.

හැත්තෑවේ මැද කාලයක මගේ පියා කරත්ත රෝදයක් සම්බන්ධ කතාවක්  රැගත් සෝවියට් ළමා පොතක පරිවර්තනයක් ගෙනදුන් අයුරු මට මතකය. ඒ කාලයේ සෝවියට් ළමා පොත් ඉතා ජනප්‍රිය විය. සෝවියට් දේශය සඟරාවද සෝවියට් සංස්කෘතික මන්දිරය හරහා බෙදා හැරීමද සිදු විය. නොබැඳි සමුළුව (1976) පවත්වන කාලයේ රජයේ බොහෝ ප්‍රකාශන සෝවියට් ආධාරයෙන් කළ ඒවා වුනු අතර සෝවියට් හා රුසියන් පොත් වල පරිවර්තන කිහිපයක් එලි දැක්වුණි.

පරිවර්තකයන් අතුරින් සෝවියට් දේශයේ වාසය කරමින් ම රුසියානු පොත් පරිවර්තනය කල දැදිගම වී රුද්‍රිගු ගේ පොත් මින් ප්‍රධාන තැනක් ගති.   "වානේ පන්නරය ලැබූ හැටි " සහ ගෝර්කිගේ "අම්මා " පොත තරුණ මනසට බලපෑම් කරන අන්දමේ පොත් විය. එසේම බොරිස් පලේවොයි ගේ "සැබෑ  මිනිසෙකුගේ කතාවක්", ෂෝලහොව් ගේ "මිනිසෙකුගේ ඉරණම"වැනි සෝවියට් සොල්දාදුවන්ගේ වීර ක්‍රියා සම්බන්ධ පොත් ද සිංහලට පරිවර්තනය වී මොස්කව් හි  ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පල කෙරුණි.

විවෘත ආර්ථිකයක් ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කොට ගත්  ජේ ආර් ජයවර්ධන රජය 1977 දී බලයට පත්වන විට ඉන්දියාවේ තිබුනේ සෝවියට් හිතවාදී සංරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්තියක් සහිත රජයකි. මේ නිසා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය බටහිර දෙසට  නෙත් යොමු කරමින් සිටි ශ්‍රී ලංකාවට ප්‍රති විරෝධී එකක් විය.

අපරාධ විමුක්ති කොමිෂන් සභාව අහෝසි කළ නිසා ඒ යටතේ දඬුවම් ලබාසිටි රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් නිදහස් වුනි. ජවිපෙ ග්‍රාමීයව හා සිසු ප්‍රජාව අතර සීග්‍රයෙන් වැඩුණත් නාගරික කම්කරු පන්තිය අතරේ වැඩි බලයක් තිබුනේ නැත. කම්කරු බලය තිබුනේ නව සමසමාජය, සම සමාජය, බාලා තම්පෝගේ වෙළඳ හා කාර්මික   කම්කරු සංගමය ආදීන් අතය.

පැරණි වම විසින් වැඩි පඩි ඉල්ලා 1980 දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන ලදී. තමන්ගේ සීමිත කම්කරු සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්  ජවිපෙ නායකත්වය තම සාමාජිකයන්ට වර්ජනයට සඳහා  එලියට බැසීමට අණ කලේ නැත. මා අසා තිබුනේ වැඩ බිම්වල, තම නම්ගම් ප්‍රසිද්ධ සුළුතරයක් ජවිපෙ සාමාජිකයන්ට පමණක් වර්ජනයට සහභාගිවන ලෙස අණ දුන් බවකි.

බ්‍රිතාන්‍යයේ මාගරට් තැචර් ගල් අඟුරු ආකර වසා දමා  කම්කරු වර්ජන නැවැත්වූ ආකාරයෙන්ම ජේ ආර් සියලුම වර්ජිත සේවකයන් අස් කර දමා  වර්ජනය මැඩ පැවැත්වූවේය.  පරණ වමට වැදුණු මේ දැඩි ප්‍රහාරයෙන් ඔවුන් අකර්මණ්‍ය වුනු අතර ජවිපෙ බලය වැඩි විය. ජවිපෙ ක්‍රම ක්‍රමයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දහරාවට එකතු විය.

ජයවර්ධන රජය සමයේ කළ ප්‍රධාන වැරදි දෙකින් එකක් වූයේ 1982 කුප්‍රකට ජනමත විචාරණයයි. ජයවර්ධන මහතාට පහසුවෙන් දිනිය හැකි වුවත් ඔහු ප්‍රබල භිෂණයක් විපක්ෂයට එරෙහිව දියත් කළේය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා  අයිතිය අහෝසි කර තිබු අතර විපක්ෂයේ ප්‍රබල චරිතයක් වූ  විජය කුමාරණතුංග නැක්සලයිට් චෝදනාවට සිරගත කරන ලදී.

දෙවැන්න නම් 1983 ජාතිවාදී  කෝලාහල පාලනය කිරීම  ප්‍රමාද වීම සහ එයට වැරැද්ද පටවමින් නිරපරාදේ  ප්‍රධාන වාමාංශික පක්ෂ තුනක් තහනම් කිරීමයි.  අනිත් පක්ෂ දෙකේ තහනම ඉවත් කළද ජවිපෙ තහනම  ඔහු ඉවත් කළේ නැත. මෙම 82/83 ජයවර්ධන රජයේ ක්‍රියා කලාපය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටි තරුණ පරපුරේ බලාපොරොත්තු බිඳවන්නක්  විය.

 මහා බ්‍රිතාන්‍යය, නොබැඳි රටක් වූ ආර්ජන්ටිනා රජයට එරෙහිව කළ ෆෝක්ලන්ත සටනට සහය  දුන් රටවල් හතින් එකක් වූයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාව ඇතුළු නොබැඳි රටවල් ගත්තේ ආජන්ටිනාවේ පැත්තයි. මේ සිද්ධීන් සමුහයේ ප්‍රථිපලයක් ලෙස වැඩුණු ලංකාවට එරෙහි ඉන්දියාවේ නුරුස්නා  භාවය උතුරේ සන්නද්ධ කණ්ඩායම් වලට තමිල්නාඩුවේ පුහුණුව හා ආයුධ ලබා දීම් මගින් පැහැදිලි විය.

ජයවර්ධන රජය විමුක්ති කොටි සංවිධානය පරදවන්නට ඔන්න මෙන්න තිබියදී යුද ආක්‍රමණයක් කරන බවට තර්ජනය කොට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙනුයේ 1987 දීය. රෝහණ විජේවීරගේ "ඉන්දියානු ව්‍යාප්තවාදය " පන්තියට තද ගැම්මක් ලැබුනේද මෙනයිනි.

මේ කාලය වනවිට ජේ ආර් විසින් මුදාහල  ලිබරල් වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා රැකියා අවස්ථාවන්  වැඩිවී තිබුණු අතර නව ධනපති කොටසක්ද රටේ බිහිවෙමින් පැවතුනි. මොවුන් ඊට කලින් අවුරුදු වල සිටි සම්ප්‍රදායික ධනපති රාමුවෙන් ඔබ්බට ගිය පිරිසක් විය. එසේම මහවැලිය ආදී විශාල යෝජනා ක්‍රම, ගම් උදාව, මහපොළ ආදියද ක්‍රියාත්මක විය. මේ වෙනස්  කමට අසු නොවුණු  ගම්බද සහ නාගරික තරුණ පිරිසක් සිටියහ.  "සාහිත්‍යය කන්න දැයි " ඇසූ  ජේ ආර් ට එරෙහිව පෙළගැසුණු මේ තරුණ පෙලට ජවය සැපයු සාහිත්‍යයක් ද  විමුක්ති කාමී ලේබලයේ සංගීතයක්ද නිදහස් ආර්ථිකය යටතේම බිහිවුණි. ඔවුන් බලා සිටියේ අවස්ථාවකි.

තහනමින්  පසු සැඟවී වැඩ කළ ජවිපෙ, බහුලව තිබූ සෝවියට් පොත පත කියවා  බිහි වෙන්නට සිටින ලංකාවේ තරුණ පාවෙල් කොර්චාගින් ලාට ගර්භාෂය විය.

අරගලය මතු වූයේ ප්‍රථමයෙන්ම අධ්‍යාපන ඇමති  රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල ධවල පත්‍රිකාවට එරෙහිවය. ඉන් මතුවූ අරගලය ඉන්පසු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවත් ඉන්පසු නිදහස් අධ්‍යාපනය රැක ගැනීම දක්වාත් දිග ඇදුනි.

කාම්බෝජයේ 1925 මැයි 19 උපන් සලොත් සර් ධීවර ගම්මානයක උපත ලද්දෙකි. ඔහු මුලින් උගත්තේ බෞද්ධ ආශ්‍රමයකය. කාම්බෝජය එවකට පැවතියේ ප්‍රංශ ආධිපත්‍ය යටතේය. සලොත් සර් කාර්මික අධ්‍යාපනයක් ලබන්නට ශිෂ්‍යත්වයක් ලබා ප්‍රංශයේ පැරිස් නුවරට ඉගෙනීමට  ගියේය. (සලොත් 1949-1953 දක්වා ගුවන් විදුලි කාර්මික ශිල්පය උගත්තේය). ඔහු 1950 දී පමණ  ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වය මගින් යුගොස්ලවියානු සමාජවාදී සමුහාණ්ඩුවේ සගේර්බ් නගරයේ මංමාවත් ඉදි කිරීමේ තරුණ කණ්ඩායම් වලට එකතු වී වැඩ කළේය.ඔහු සහ ඉයන් සාරි  ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට බඳුනේ 1951 දිය.

සෝවියට් දේශය වියට්මින් ගරිල්ලා කණ්ඩායම වියට්නාමයේ නිත්‍යානුකුල  රජය ලෙස පිළිගත් පසු සලොත් සර් වියට්නාම නිදහස් අරගලයට ප්‍රංශයේ  සිට සහය දුන්නේය. වසර 1951 දී පැරිසියේ රහසිගත අධිරාජ්‍ය විරෝධී (ප්‍රංශ) කොමියුනිස්ට් කණ්ඩායමකට බැඳුණි. විභාග එක දිගට අසමත් වීමෙන් පසු මේ සලොත් සර් කාම්බෝජයට පැමිනියේ අර රහසිගත කොමියුනිස්ට් කණ්ඩායමේ කාම්බෝජ ශාඛාවට ඇතුළු වෙමිනි.

කාම්බෝජයේ  කොමියුනිස්ට් පක්ෂය තහනම්ව පැවතුණි. එහි නායකයා වන  ටෞ සමුත් නරෝදම් සිහනුක් රජු ගේ ඔත්තු සේවා විසින් අත් අඩංගුවට ගෙන මරා දැමුණි. වසර 1963 දී පක්ෂයේ ඊළඟ රහසිගත  සැසි වාරයේදී සරොත් සර් මධ්‍යම කාරක සභාවේ ලේකම් වරයා ලෙස පත් වුනි. මේ වෙන කිසිවකුත් නොව පොල් පොට් ය.
ඔහුගේ දෙවැනියා වූයේ ඉයන් සාරි ය.


වියට්නාම සහයෙන් කාම්බෝජයේ බේස් කඳවුරක් පිහිටුවා ගත් පොල්පොට් තමන්ගේ මුලික බෞද්ධ ඉගැන්වීමේ බලපෑමෙන් කොටසක් තම දර්ශනයට ඇතුලත් කර ගත්තේය. ඒ සුඛෝපභෝගී භාණ්ඩ ආදිය  කෙරෙහි ඇති ඇල්ම නැති කර ගත යුතුය යන්නයි. එසේම කම්කරු පන්ති අරගලය මුලික කරගත් ප්‍රධාන මාක්ස්වාදී දහරාවෙන් පිට පැන ගම්බද ගොවින් ප්‍රධාන නිර්ධන  පංතියක්  ලෙසද විප්ලවයට ජිවය සපයන්නන් ලෙසද හඳුන්වා ගත්තේය. ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වැඩි හරියක් මේ වැඩවසම් දාස  භාවයේ සිටි දිළිඳු ගොවීන්ගෙන් පැවතෙන්නන් විය.

- මා ඉහත ලියූ  පොල්පොට් වියට්නාම අරගලයට එකතුවී සිටියාය යන්න හෝ වියට්නාම සහයෙන් බේස් කඳවුරක් පිහිටුවීම නිවැරදි නොවේ. මා එය දැනගත්තේ මේ අවුරුද්දේ කල කාම්බෝජ සංචාරයෙනි. 2019-12-26 

ගොවීන්ගේ අරගලය 1966 දී පටන් ගත් අතර පොල්පොට් සහ පක්ෂය 1968 සිට එයට නායකත්වය දුනි. චීනය විසින් ආයුධ සහ මුදල් වලින් දෙන ආධාර වලින් පොහොසත්ව පොල්පොට් ගේ කෙමර් රූජ් ගරිල්ලන් කාම්බෝජ හමුදා වලට පහර දුනි. වසර 1975 දී ඔහු කාම්බෝජයේ බලය අල්වා ගැනීමට සමත් වුනි. ඉන්පසු පිහිටුවන ලද "ප්‍රජාතන්තවාදී " කම්පුචියා  ජනරජයේ අගමැති වූයේ පොල් පොට්ය. නාමික ජනාධිපති වූයේ  කියූ සම්පන් ය. කියූ සම්පන්ට ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක්ද තිබුණි.  කෘෂිකර්මාන්තය රටේ ප්‍රධාන ජිවනාලිය ලෙස හඳුන්වා දුන් පොල්පොට් -කියූ සම්පන් රජය ගොවිතැන් කාර්මීකරණය කිරීම තුලින් රටම ස්වයංපෝෂිත කල හැකි යයි විශ්වාස කළේය. කිසිම රටකින් භාණ්ඩ ආනයනය තහනම් කෙරිණි. වසර 1975 නම් කරන ලද්දේ බින්දුවේ වසර (year zero) ලෙසය. ඉතිහාසය පටන් ගන්නේ එතැනිනි.
පොල්පොට් රජයේ ඝාතන 

ඉන්පසු නොම්පෙන් සහ ප්‍රධාන නගරවලින් සියලුම් ජනයා ගම්  වලට පිටමන් කරන ලදී. ගම්වල කොමියුන් පිහිටවන ලද අතර ජනතාව  වර්ග තුනකට බෙදන ලදී . එනම්  මූලික සියලු හිමිකම් සහිත  (බේස් මිනිසුන් - නිර්ධන ගොවි ජනයා සහ කෙමර් රූජ් සහායකයන්) ,  අයදුම්කරුවන් (මුලික වෙන්නට අයදුම් කරන, කෙමර් රූජ් දර්ශනයට  විරුද්ධ නොවන වැසියන්.) , ශේෂයන් (මේ අය බොහෝ විට නගර වලින් පිටුවහල් කළ බුද්ධිමතුන්, බටහිර රටවල අධ්‍යාපනය ලද්දන්, යම් ධනයක් තිබු මධ්‍යම පන්තිකයන්,  අනිකුත්  නගර වැසියන්  ආදීන් විය)  ලෙසය. "ශේෂයන්" ට කන්නට දුන්නේ දවසටම  කුඩා බත් පොල්කටු දෙකකි.  බොහෝ දෙන්නෙක් සාගින්නෙන් මිය ගියහ. සාගතයෙන් මියය යන  බොහෝ දෙනාට තමන්ගේම අතින් වලවල් සාරා ගෙන වැතිරෙන්නට නියම විය. නැත්නම් වෙඩි තබා මරා  දමන ලදී.

මේ කොමියුන් වල ළමුන් ජිවත් වූයේ දෙමව්පියන්ගෙන්  වෙනම ය. සමහර විටක වැඩිමහල් ළමුන් කෙමර් රූජ් හමුදාවට බඳවා ගන්නා ලදී. ඔවුන් බොහෝ විට ඝාතකයන්ගේ භූමිකාවට යොදා ගන්නා  ලදී.

මේ අතරේ  පොල්පොට් චීනයේ මාඕවාදයට සම්බන්ධ පිළිවෙතක් අනුගමනය කල අතර සෝවියට් හිතවාදී වියට්නාමයටත් සෝවියට් දේශයටත් විරුද්ධ පිළිවෙතක් අනුගනමය කළේය. සෝවියට් දේශය තම ප්‍රධාන සතුරා ලෙස සලකාගෙන සිටි ඇමෙරිකා  එක්සත් ජනපදය ප්‍රමුඛ  බටහිර රටවල් මේ නිසා පොල්පොට් ගේ ප්‍රතිපත්ති කෙරෙහි මුලදී තැකීමක් නොකළහ. පොල්පොට් කාම්බෝජයේ සිටි සුළු ජන කොටස් කෙරෙහිද තැකීමක් නොකළේය. මේ බොහෝ අය අධිරාජ්‍යවාදී ගැත්තන් ලෙස නම්කර ඝාතනය කරන ලදී.

සියලු ආගම් තහනම් කරන ලද අතර බෞද්ධ හිමි වරුන් 25000 පමණ ඝාතනය කරන ලදී. ඔවුන් විසින් නගරයෙන් පිටමං කළ මිනිසුන්ටත් ගම්වල  සිට කැලෑවලට දක්කන ලද මිනිසුන් ටත් කෑම බිම හෝ ජලය මේ දීර්ඝ ගමන් වලදී ලබා දුන්නේ නැත. මේ නිසා  විශාල සංඛ්‍යාවක් කුස ගින්නෙන් සහ දුර්වල කමින් හැදුනු ලෙඩ රෝගවලින් මිය ගියහ. වෙඩි තබා හෝ ආයුධ වලින් පහර දී මරා දැමුවන් ද සමග  සමග මේ ඝාතනය වූ සංඛ්‍යාව මිලියන 1.7 ත්  2 ත් අතර වේ යයි නොයෙකුත් අධ්‍යයන වලින් තහවුරු වී ඇත.

දැනුදු මගේ යහළුවෙකු වන මේ ලිපියේ ඡායාරූපයේ සිටින මා  සමග විශ්ව විද්‍යාලයේ උගත් එන්ග්  වෙන් න්ගුයෙන් රාත්‍රියේ සෑම විටම විදුලි පන්දමක් කොට්ටය යට තබා නිදා ගත්තේය.  ඔහු පසුව කී  පරිදි ඒ පුරුද්ද ආවේ සිටි තැනින් කොයි වෙලේ පැන යන්නට සිදුවේද නොදන්නා නිසා බවයි. ඔහු නිතර ගැස්සී නැගිටියි. ඔහුගේ පවුලේ අය විඳි දුෂ්කරතා බොහොමයක් ඔහු මට විස්තර කළේය.

මේ ඝාතන  හා  මිනිසුන් සාගින්නෙන් හාමතින්  මිය යාම නතර වුයේ සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් වියට්නාම හමුදා කාම්බෝජය ආක්‍රමණය කිරීමෙනි. වියට්නාම ආක්‍රමණයෙන් පොල්පොට් ගේ බිහිසුණු ක්‍රියා බොහොමයක් හෙලිදරව්  වුනි. එය එසේ වුවත් නැවතත් මහජන චීනයේ සහ තායි රජයේ ආධාරයෙන් පොල්පොට්,  හෙන්  සම්රින්, ඉයන් සාරි නැවතත් වියට්නාම හමුදා සහ ඔවුන් සමග එක්ව සිටි කැම්පුචියා  සමාජවාදීන්ට පහර දුනි. වියට්නාම චීන යුද්ධයක් සුළු වශයෙන්  පටන් ගත්තේද මේ කාලයේය.  කාම්බෝජ හමුදා ජයගත් අතර පොල්පොට් චීනයට පැන ගියේය. ඔහු මියගියේ 1998 අප්‍රේල් 15දාය.

රෝහණ විජේවීර සහෝදරයා හැට ගණන්වල වෛද්‍යවරයෙකු වීමට සෝවියට් දේශයේ උගත් අතර ඉගෙනීම හැර දමා පැමිණිය හෝ විසා නැති වීම නිසා ලංකාවේ හිර විය. ඔහු සෝවියට් දේශයේ සිටියදී බයිකල් අමූර් දුම්රිය මාර්ගය හදන තරුණ  කණ්ඩායම් වල වැඩ කළේය. ඔහු තම මුලික පක්ෂ දේශපාලන අයන්න ශන්මුගදාසන් ගේ කොමියුනිස්ට් පක්ෂයෙන් (චීන පිල ) කියැවූ  බවද 71 කැරැල්ල බොහෝ විට ගම්වල තරුණයන් මූලික කොට හටගත් එකක් මිස නාගරික  කම්කරුවන්ගේ සහයෝගයක් නොතිබූ බවද කීවෙමි. කොටින්ම  විජේවීර සහෝදරයා  මාක්ස්වාදයේ මුලික ඉගෙනුමකින් බැහැරව කටයුතු කළේය.

ලයනල් බෝපගේ 1984 ඉවත් වනවිට ජාතීන් ගේ ස්වයං නිර්ණය (මෙය බොහෝ ධනවාදී රටවල් අනුගමනය කරන පිළිවෙතකි) පිළිබඳ විජේවීරගේ මතයට විරුද්ධ වූ බව මා ඒ දිනවල අසා තිබේ. (ඔහුගෙන් විමර්ශනය කළ යුතුය). අප උගත් සෝවියට් රුසියානු පොත්වල රුසියානු රජවරුන් (මහා පීටර් ග්‍රේට් වැනි අය) හා  නැපෝලියන් පැරදවූ සාර් හමුදාවේ ජෙනරාල් කුතුසෝව්  වැනි වීරවරුන් ගැන වර්ණනා කර තිබේ. චීන මාඕවාදීන් මෙන්ම පොල්පොට් ද   කාම්බෝජ වීරයන් භාවිතා කළේය. ඔහුට දාව උපන්  (පොල් පොට් ගේ ) 1986 උපන් දියණියගේ නම "සීතා" රැගෙන ඇත්තේ කාම්බෝජයේ ප්‍රසිද්ධ රාමායනයේ පරිවර්තනයකිනි. (එහි නම් රීම්කර් ය) රෝහණ විජේවීර යොදා ගත්තේ සොළින්ට එරෙහිව සටන් කළ කිර්ති කුමරු (පසුව විජයබාහු රජු) ආදීන් ය.

1977 දී හෙළිදරව් කරන තුරුම පොල්පොට් ගේ පක්ෂයේ නම වූයේ අන්කාර් (angkar) ය. ඔහුගේ ව්‍යාපාරය ඛේමර් රූජ් ය. එනම් කම්පුචියාවේපෞරාණික නම  සහිත කේමර් දේශප්‍රේමී ව්‍යාපාරයයි.  පොල්පොට් ගේ නියම නම සලොත් සර් ය. ඔහුගේ පක්ෂයේ ප්‍රධානීන්ට ප්‍රාදේශීය  නායකයන්ට හෝ පක්ෂ කේඩර්  වරුනට තිබුනේ අන්වර්ථ නාමයන්ය. පොල්පොට් මුලිකව අනුගනය කළේ මාඕ වාදයයි. ඉන්පසු කෘෂිකාර්මික සමාජවාදයයි. පොල්පොට් ලාට සැබවින් අවශ්‍ය වුයේ පෞරාණික  කාම්බෝජ රාජධානියක් වූ අන්කාර් වට් හි ශ්‍රී  විභුතිය නැවත  ගොඩ නැගීමටයි.  මිලිනය ගණනක ජනතාවක්  මේ පර්යේෂණයට භාජනය කළේ එබැවිනි.

රෝහණ  විජේවීර ද රහසිගත ජනතා  විමුක්ති පෙරමුණට යොදා ගත්තේ එම උපක්‍රමයන්මය.  දේශප්‍රේමී ජනතා  ව්‍යාපාරය, දේශප්‍රේමී කම්කරු මධ්‍යස්ථානය අසූව දශකයේ මැද පිහිටවුනි.  සාමාජිකයන්ට තිබුනේ අන්වර්ථ නාමයන්ය.  ජවිපෙ මුලික ආර්ථික ප්‍රතිපත්තියක් වුයේ ගරා වැටුණු වැව් ප්‍රතිසංස්කරණය කර  රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමය. කාර්මික දියුණුව සමග මිනිසුන් ගේ රැකියා අවස්ථා  අඩුවෙන බවට  ජවිපෙ චෝදනාවක් විය. විජේවීර සෝවියට් දේශයේ සිටි කාලයේත් ඉන් පසුවත් මුලිකව අනුගමනය කළේ ස්ටාලින්වාදී  මාඕ වාදයයි. ලෙනින් ගේ හා මාක්ස් ගේ පින්තුර රැගෙන පෙළපාලි ගියේ ඔවුන් මූලික විප්ලවකාරීන් නිසා හා පක්ෂ සාමාජිකත්වය රවටන්නට පමණක් යයි සිතමි.

~ මතු සම්බන්ධයි

මුලාශ්‍ර:

http://www.bbc.co.uk/history/historic_figures/pot_pol.shtml
https://en.wikipedia.org/wiki/1987%E2%80%9389_JVP_insurrection
https://en.wikipedia.org/wiki/Khmer_Rouge


Saturday, 9 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

මුල් ලිපිය මෙතැනින්  කියවන්න.
විජේවීර ලුමුම්බාවේ 

ලංකා සමසමාජය ගැන කතා කරන විට පොපි මල් එකතු කිරීමේ ව්‍යාපාරයට එරෙහිව සුරිය මල් ව්‍යාපාරය පැන නැගුනු හැටි මතක් කලෙමි. එලෙසම ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයටද පැරණි වාමාංශික නායකයන් මහත්  සේ සහය දුන්හ. මිනිසුන්ට ඒ කාලයේ පරිප්පු ඇතුළු සහනාධාර බෙදු හෙයින් ඇන් ඇම් "පරිප්පු මහත්තයා"  වශයෙන් ද ප්‍රසිද්ධ විය. එනිසාම  ඔහු 1977 දක්වාම රුවන්වැල්ල ආසනය නියෝජනය කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් සටනේ පුරෝගාමීන් වූයේද ඔවුන්ය.  බ්‍රිතාන්‍යයෙන් පුර්ණ නිදහස ඉල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රම ක්‍රමයෙන් සහන ලබා ගැනීම මගින් නිදහස දිනා  ගැනීමට එෆ් ආර් සේනානායක ප්‍රමුඛ ලංකා ජාතික සභාව (Ceylon National Congress) කටයුතු කළේය. ඔහු සමග දෙමළ  ජාතික පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බි ජයතිලක , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර , ඊ  ඩබ්. පෙරේරා , එච් ඩබ් අමරසුරිය ආදීන්ද වූහ .

වර්ෂ 1943 දී ඩී එස් සේනානායක මහතා ජාතික සභාවෙන්  ඉවත්  වූයේ ඔවුන් (ජාතික සභාව)  ඩොමිනියන් තත්වයෙන් පමණක් සෑහීමට පත් වීම නිසාය. එක්සත් ජාතික පක්ෂය 1946 දී  බිහි වූයේ මින් පසුවය. මේ නිසා ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඇන් ඇම් කොල්වින්ලාගේ සම සමාජයද රටේ පූර්ණ නිදහස උදෙසා සටන් කළහ.

මා පෙර ලිපිය අවසන් කලේ පැරණි  වමට සෝවියට් සාහිත්‍යයේ  බලපෑමක් සිදු නොවීයයි යන නිගමනයට එළඹෙමින්ය.

පැවති එජාප පාලනය බිඳ දමා බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ 1956 දීය. මේ වනවිට ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳුණු සෝවියට් වාදී  එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස් කරන ලදී. මහජන එක්සත් පෙරමුණ වශයෙන් ඔවුන් හා සම සමාජ පක්ෂය බණ්ඩාරනායක රජයට එක්විය.  බණ්ඩාරනායක ආණ්ඩුව කිසිම බල කඳවුරකට නොබැඳී සිටීමේ ප්‍රතිපත්තිය යටතේ සෝවියට් දේශය සහ චීනය සමග තානාපති සම්බන්ධතා 1957 දී  අරඹන ලදී. සෝවියට් ශ්‍රී ලංකා  මිත්‍රත්ව සංගමය 1959 දී පිහිටුවන ලදී.ඉතා සීමිත ලෙසින් සෝවියට් සාහිත්‍යය හා පුවත්පත් ශ්‍රී ලංකාවට ඒමට පටන් ගත්තේ ඉන් පසුවය. ඔරුවල වානේ කම්හල, මෝදර පිටි කම්හල හා කැලණිය ටයර් කම්හල පිහිටුවීමට ගිවිසුම් අත්සන් කෙරුණේද මේ කාලයේය.

එවකට පැවති දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් වැසියන්ගේ වීරකම් මෙන්ම රතු හමුදාවේ ජයග්‍රහණයන් ලොව පුරා ප්‍රචාරණය කිරීමට "සෝවියට් සතිය " නමින් සඟරාවක් 1942 දී පමණ සෝවියට් විදේශ අමාත්‍යංශය හා සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පළ කරන ලදී. මේවා මුලදී බෙදා හරින ලද්දේ තානාපති කාර්යාල මගිනි. පසුව "සෝවියට් දේශය" යනුවෙන් මාස් පතා පල කෙරුනේ මේ සඟරාවයි.

ස්ටාලින්ගේ මරණයෙන් පසු  චීනය සෝවියට් දේශයට ප්‍රතිවිරුද්ධ මතයක සිටියේය. එයට හේතුව නිකිතා කෘෂෙව් (1953-1964)  හා ඔහුගෙන් පසු බලයට පත්වූ සෝවියට් ජනාධිපති/පක්ෂ ලේකම් වරු ස්ටාලින් වාදයට විරුද්ධව අදහස් පල කිරීමයි. ලෙනින් අසලම  එම්බාම් කර සංරක්ෂනය කර තිබු ස්ටාලින්ගේ මිනියද කෘෂෙව්  ගේ අණින්   ඉවත් කර ලෙනින් ගේ සොහොන්  ගෘහය පිටුපස තාප්පය අසල මිහිදන් කරන ලදී.

නිකිතා  කෘෂෙව් ස්ටාලින් විසින් පක්ෂයට කරන ලද ද්‍රෝහී ක්‍රියා ගැන ප්‍රසිද්ධ කතාවක්  කරන ලද අතර මේ ක්‍රියාවලිය "ස්ටාලින් ඉවත් කිරීම   de-Stalinization" ලෙස නම් කරන ලදී.  ස්ටාලින් ගේ අණින්  මරණ ලද හෝ සයිබීරියාවේ වැඩ කඳවුරු (ගුලාග්) වලට යවන ලද  මිලියන් 20ක පමණ සෝවියට් ජනතාව ගැන ප්‍රසිද්ධියේ  විස්තර සපයන ලදී.  එසේම ගුලාග් (වැඩ කඳවුරු) වසා දමා  සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලදී. රුසියාවට අයත්ව තිබූ ක්‍රිමියාව උක්රයිනයට භාර දුන්නේද මේ කෘෂෙව් මය.
ස්ටාලින් වළ දමා ඇති ස්ථානය (පින්තූරය මා විසින් ගත්  එකකි)

මහජන චීන ජනාධිපති හා කොමියුනිස්ට්  පක්ෂ සභාපති මා ඕ සේතුං හා අගමැති චෞ එන් ලායි සෝවියට් දේශය ස්ටාලින්වාදයෙන් පිට පැනීමට විරුද්ධ විය.  මේ නිසා සෝවියට් දේශය සහ චීනය අතර මතවාදී  විරුද්ධත්වයක් හට ගැනිණි. " මොස්කව් වල වැස්සොත් කොළඹ කුඩ ඉහළනවා" යයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා පීකිං වල වැස්සොත් කොළඹ කුඩ ඉහලන චීන පිල ලෙසින් බෙදිණි. චීන පිල බිහි වූයේ 1960 පමණය.

සෝවියට් දේශය ස්ටාලින් වාදය ඉවත දමමින් නැවතත් මාක්ස් ලෙනින් වාදයට යාම පිලිබඳ ප්‍රකාශ නිකුත් කරන සමයේ චීනයේ මාඕ සේතුං සංස්කෘතික විප්ලවය දියත් කරන ලදී. (cultural revolution) මේ සමයේ මිලියන් 30 කට අධික චීන ජනතාවක්  ඝාතනය වුනි. මාඕ ට සහය දුන් සටන් සගයන් පවා "නැවත ඉගෙනීම" පිණිස අති  දුෂ්කර තත්වයන් යටතේ ජිවත් වීමට ගම්වලට පටවන ලදී. (ඩෙන් ෂියා ඕ පින් එවැන්නෙකි)

වසර 1963 දී කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පදවියට පත් වූයේ මාඕවාදී පොල්පොට්ය. වසර 1979 දක්වා පැවති ඔහුගේ පාලනයේදී "නැවත ඉගෙනීම" සඳහා ගම් වලට  යැවුණු  මිලියන් 1 සිට 3 දක්වා ජනතාවක්  ඝාතනය විය.

ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය  නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ 1962 සභාග ආණ්ඩුවකට පිවිසුණි. එක්සත් වමේ පෙරමුණ යටතේ කොමියුනිස්ට් පක්ෂය, ට්‍රොට්ස්කිවාදී සම සමාජය හා මහජන එක්සත් පෙරමුණ රජයේ සිටියද ඇමති ප්‍රශ්න නිසා එය බිඳී ගියේය.  ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සිසුන් 31 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට පිටත් කෙරුනේ මෙම වාමාංශික රජය සමග අත්සන් කළ ගිවිසුමකිනි. ශිෂ්‍යත්ව ලබා දුන්නේ මිත්‍රත්ව සංගමය හරහා වන අතර බොහෝ විට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සිසුන්ට පමණක් අවස්ථා ලැබිණි. සමහර විට  අයදුම් කරන ලද්දේද ඔවුන් පමණක් වන්නට ඇත.

මෙසේ ගිය එක සිසුවකු වන රෝහණ විජේවීර  වසර කිහිපයකින් පසු රෝගී තත්වයක් උඩ ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට ඔහු චීන පිලේ නිසා රුසියානු තානාපති කාර්යාලය වීසා ප්‍රතික්ෂේප කල බව කියති. මේ කතාව  පිළිගත නොහැක්කේ සෝවියට් වීසා ලබා දෙන්නේ කාල වකවානුවකට බැවිනි. එම කාල වකවානුව තුළ නැවත පැමිණීමේ ගුවන් ගමන් බලපත්‍රය ඇත්නම් රුසියානු තානාපති කාර්යාලයට යාමේ අවශ්‍යතාවයක් නැත.

මා වඩාත් විශ්වාස කරන කතාව නම් විජේවීර සමග කිසියම්  අමනාපයකින් හෝ ඉරිසියාවකින් සිටි සිසුවෙකු හෝ දෙදෙනෙකු ඔහුට එරෙහිව මිත්‍රත්ව සංගමයට චෝදනා කළ පසු ඔහු විශ්විද්‍යාලයෙන් පහ කිරීමට මිත්‍රත්ව සංගමය කටයුතු කල බවය.  ඔහුට එරෙහි චෝදනාවල ඔහු චීනයට පක්ෂව කතා කරන බවටද චෝදනාවක් අඩන්ගුවී තිබුනේ යයි කියති. විජේවීර පැහැදිලිව කියා තිබුනේ සෝවියට් දේශය ධනවාදය කරා ගමන් කරන බවත් මාඕ ගේ ස්‌ථාවරය නිවැරදි බවත්ය. විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නිසා ඔහු සෝවියට් දේශයට පැමිණියේ එහි එවකට නායක එස් ඒ වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහයෙන් බව කියවේ.  එසේම නැවත රුසියාවට පැමිණීමට ඔහු පක්ෂයේ උසස් අයගේ උදව් පතා ගියත් එයද නොලැබී තිබුණි.

මිත්‍රත්ව සංගමය හෝ කොමියුනිස්ට් පක්ෂය හරහාත්  පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාත් ගිය සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි  කල හැකි වුයේ අදාල විශ්ව විද්‍යාලයට සහ මිත්‍රත්ව සංගමයටය.

(මේ තත්වය වෙනස් වූයේ 1980 දී ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය සෝවියට් දේශය සමග ගිවිසුමක් ගැසීමෙනි. සෝවියට් ශිෂ්‍යත්ව වල අගය වටහා ගෙන සිටි ජේ ආර් ශිෂ්‍යත්ව සඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමට සෝවියට් දේශය එකඟ කරවාගෙන දෙරටේ අධ්‍යාපන අමාත්‍යංශ අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. අපොස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් සංවිධානය කළ සම්මුඛ පරීක්ෂණ දෙකක් හරහා තෝරා යවන ලද්දේ ඉන් පසුවය. මා  සම්මුඛ පරික්ෂණයට අයදුම් කලේද මේ ශිෂ්‍යත්ව පිලිබඳ දිවයින පුවත් පතේ පල කල දැන්වීමකට අනුවය.මේ සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ හැක්කේ පක්ෂයකට හෝ මිත්‍ර සංගමයට නොව රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණය.)

කේ ශන්මුගදාසන් ගේ නායකත්වයෙන් යුත්   කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට මුලින් බැඳුනු විජේවීර මහතා  ඉන්පසු තමන්ගේම පක්ෂයක් සංවිධානය කළේය. නව වම වුයේ ඔහු විසින් එසේ පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණයි.

වසර  1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටවූ  සමගි පෙරමුණු රජයට කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ද ඇතුලත් වුනි. වසර 1971 වනවිට සිංහල තරුණයන් බහුතරයක් විසින් වාමාංශික සමගි පෙරමුණු රජයට එරෙහිව කැරැල්ලක් ගසන ලදී. කැරැල්ලේ න්‍යායවාදී නායකයා වූ විජේවීර අනුගමනය කළේ චීනයට හා මාඕ වාදයට පක්ෂ ප්‍රතිපත්තියකි. ඔහුගේ එක පන්තියක් වුයේ ඉන්දියානු ව්‍යාප්තවාදය යන්නය. ඉන්දියාව සමග දේශ සිමා යුද්ධයක පැටලී සිටි චීනය ඉන්දියානු  ව්‍යාප්තවාදය තදින් විවේචනය කළ රටකි. (නමුත් සැබවින්ම සිකීමය හා ටිබෙටය ආක්‍රමණය කළේ චීනයයි.)  මේ කැරැල්ලට විරුද්ධව සිරිමාවෝගේ රජයට සහය දීමට ඉදිරිපත් වූ එක රටක් වන්නේ සෝවියට් දේශයයි.කැරැල්ලට පක්ෂ යයි සැක කල එකම රට වුයේ උතුරු කොරියාවයි.

රුසියානු සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වන චෙකොව් ගේ පොත් ඒ පී ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද්දේ 1949 තරම් ඈත කාලයේය. (රුසියානු කෙටි කථා) ඉන්පසු බොහෝ රුසියානු සාහිත්‍ය පරිවර්තන කෙරුණු අතර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව කටයුතු කල උඩකැන්දවල  ශ්‍රී සරණංකර හිමියන් පලකල "නවලෝකය " සඟරාවේ  ඒවා පළවන්නට විය.  මේ සාහිත්‍ය පරිවර්තන බොහොමයක්ම ප්‍රේමකතා සහ පූර්ව  විප්ලවීය සම්භාව්‍ය  රුසියානු සාහිත්‍යය කෘති වීය.

විජේවීර මහතා ගේ ලුමුම්බා සමකාලීනයකු වූ පද්මහර්ෂ කුරණගේ  මහතා  චෙකොව් ගේ මෙන්ම වෙනත් කතුවරුන්ගේද කෘතීන් අනගි ලෙස  පරිවර්තනය කරණ ලදුව මොස්කව් ප්‍රගති ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කර බෙදා හරින ලදී. මේවා කිසිවක් රුසියානු විප්ලවයට සම්බන්ධ ඒවා නොවීය.  දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන එන්නේ පසු කාලයකය.


 මේ නිසා මේ 1971  කැරැල්ලට සහභාගී වූ තරුණයන්ට සෝවියට් සාහිත්‍යයේ බලපෑම එතරම් ප්‍රබල වුවක් යයි කීම ඉතා අපහසුය.මගේ නිගමනය නම් 1971 කැරැල්ල දක්වා වූ කාලය අතර තුර නව වමට බලපෑවේ සෝවියට් සාහිත්‍යය නොව විජේවීරගේ මාඕ වාදය බවයි. ග්‍රාමීය තරුණයන් කැරැල්ල සඳහා  විජේවීර සංවිධානය කළේත් මාඕ වාදය අනුව මිස ලෙනින් වාදය අනුව නොවේ. ලෙනින් ඔක්තෝබර් විප්ලවය ට්‍රොස්ට්කි සමග සංවිධානය  කලේ පෙත්රෝගාඩ් (සෙන්ට් පිටර්ස්බර්ග්) නාගරික කම්කරුවන් හා සොල්දාදුවන් අතර මිස රුසියානු ග්‍රාමීය ගොවි ජනතාව  අතර නොවේ.

~මතු සම්බන්ධයි
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20160304/282510067654331

https://www.thoughtco.com/body-of-stalin-lenins-tomb-1779977




Wednesday, 30 August 2017

අර්බුස් ගෙඩිය හා කුකුළා - සෝවියට් විහිළු කතා

සෝවියට් විහිළු කතා ගැන ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ බ්ලොග්  නවකතාවේ සඳහන් කල පසු එම කතා පිලිබඳ කුඩා සංවාදයක් ගොඩ නැගුණි. ඒ අනුව මේ කතාවද  ලියන්නට සිත් වුනි. එහි මාක්ස් විසින් "සලක ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න " යයි කියන කතාව  ඇත්තටම ගොතා  ඇත්තේ සෝවියට් ක්‍රමයට විරුද්ධ සෝවියට් වැසියන් නොව එම ක්‍රමයට පක්ෂ අය විසින් බව රුසියානුවන්ගේ විශ්වාසයයි. එයට හේතුවූ   කතාව ගෙතී ඇත්තේ ස්ටාලින්ගේ කාලයේදී ඔක්තෝබර්  විප්ලවයට දායක වුනු බොහෝ පරණ කොමියුනිස්ට් වාදීන් හා වාමාංශිකයන්  මරා දැමීම හෝ ගුලාග් (වැඩ කඳවුරු) වලට පිටුවහල් කිරීම නිසා බව ඔවුන්ගේ විශ්වාසයයි. කාල් මාක්ස් පැමිණියා නම් ඔහු ඔවුන්ගෙන් සමාව  අයදින බව මේ සමහර වාමාංශිකයන්ගේ විශ්වාසය විය.

මේ තරමක් දිග විහිළු කතාව ද සෝවියට් සමාජයේ පැතිරී තිබු එකකි. විහිළුවට අමතරව උපහාසාත්මක ලෙස එදා සමාජය, පක්ෂ තනතුරු බෙදා හදා ගැනීම ආදිය පිලිබඳ කිසියම් විවේචනයක් ද කතාවේ තිබේ. මේ කතාවේ කොටස් කෙටි කර කියනුද  මා  අසා තිබේ.

වොවච්කා හෙවත් වෝවා මේ විහිළු වල නිතර සිටින ප්‍රධාන චරිතයකි. මේ කතාවේ වොව්කා යන්තමින් තරුණ වියට එළඹුණු ගැටවරයෙකි. (teenager).

ගම්වල ඩිස්කෝ : (ඒ කාලයේ බොහෝ සෝවියට් රුසියානු (අනිත් රටවල් ගැන දන්නේ නැත) ගම් වල ප්‍රජා ශාලාවේ මෙවැනි සංගීත සන්ධ්‍යා  පැවත්වුනි. බොහෝ විට තරුණයෙක් තරුණියක් හා හමුවීමට මෙන්ම පෙම්වතුන් බවට පත්වීමෙන් පසු මේ ඩිස්කෝ සන්ධ්‍යාවකට යාමද සිරිතක් වශයෙන් කළහ. මේ හා සම්බන්ධ විහිළු කතා ද බොහෝය.)

වැඩිවිය පැමිණි වෝව්කා ට තමන්ගේ ගැටවර වියේ පෙම්වතිය ගමේ  ඩිස්කෝ එකට ගෙන යාමට අවශ්‍ය විනි.  වෝව්කා ගණන් බැලුවේය. පෙම්වතිය ගෙනයන පළමු වර නිසා ත්‍යාගයක් අවශ්‍යය. ඇය කැමති ඔරලෝසුවක් කෙනකු ළඟ තිබෙන අතර එය රූබල් විස්සකි. වයින් බෝතලයක් වත් පසුව බීමට ගත යුතුය. ප්‍රජා ශාලාවේ විකුණන යුෂ වීදුරුවක් හා පිරශ්කි ගැනීමට මුදල් අවශ්‍යය. අවශ්‍ය වන සම්පුර්ණ මුදල රූබල්  30 පමණය.

පොඩි පොඩි හොර වෙළඳම් කළද වොව්කා අතේ එතරම් මුදලක් නැත. නිවසේ  එහා මෙහා යමින් සිටි වෝවා පාරට වැටුනේය. තම පෙම්වතියද ජිවත් වන ගමේ පක්ෂ ශාඛාවේ ලේකම් ගේ නිවස ඉදිරියෙන් යන ඔහුට ගෙවත්තේ වැවී ඇති විශාල අර්බුස් ගෙඩියක් දුටුවේය. අර්බුස් යනු විශාල පැණි කොමඩු වර්ගයකි.




ප්‍රීතියෙන් පිනා ගිය වොව්කා වත්තට පැන  බෑගයකින්ද වසා  ආරක්ෂා කර තිබූ පක්ෂ ලේකම් ගේ අර්බුස් ගෙඩිය කඩා  ගත්තේය.  එයත් රැගෙන තම නිවස දෙසට එන විට තම පියාගේ කුකුළු රෑන දුටුවේය. (සමුහ ගොවිපළවල් අසල නොමැති ගම්වල රුසියානුවන් බිත්තර සඳහා මෙන්ම ඉඳහිට සාදයකට මරා කෑමට ගැනීමට හෝ වෙනයම් දෙයකට හුවමාරු කිරීමට කුකුළන් ඇති කළහ).

රෑනේ සිටි හොඳම කුකුලා අල්ලාගත් ඔහු උගේ බෙල්ල කරකවාගෙන ලණුවක පටලා   ගත්තේය.

අර්බුස් ගෙඩිය හා කුකුළා රැගෙන පාරේ යමින් සිටි ඔහු දේශපාලන කොමිසාර් ගේ රන්වන් කෙහෙ හා නිල් ඇස් ඇති රූමත්  බිරිඳ තම නිවස ඉදිරිපිට පෙම්වතෙක් එනතුරු බලා සිටිනු දුටුවේය. කොමිසාර් බලපුළුවන්කාරකම් පෙන්වා කසාද බැඳ ගත්තා යයි ගම්මු කියන ඇය කොමිසාර් ට රිදවීමට  පෙම්වතුන් කිහිප දෙනෙකු තබා ගෙන සිටින බව කොමිසාර් හැර ගමේ අනිත් සියල්ල දත්හ.

(දේශපාලන කොමිසාර් යනු පක්ෂයට වග කියන දේශපාලන දැනුමෙන් පොහොසත් ලෙස සලකන තැනැත්තාය. බොහෝ විට කේජිබි එකට අනුබද්ධ හෝ ඔත්තු දෙන්නෙකි. ස්ටාලින් ගේ කාලයේ ඔවුන්ට විරුද්ධව යාම මරණයට අත වැනීමකි.)

තරුණිය ගැහැණිය ඉදිරියට ගිය වොව්කා, තවරිෂ් ශෙනා කොමිසාරා (කොමිසාර් ගේ බිරිඳ සහෝදරී )  අර්බුස් ගෙඩියකුයි කුකුළෙකුයි රූබල් දහයකට ගන්නවා දැයි ඇසීය.

ගැටවරයා ගේ හිසේ සිට දෙපතුල දක්වා විමසුම් බැල්මක් හෙළු කොමිසාර් බිරිඳ සිතුවේ පමාවුනු පෙම්වතා වෙනුවට මේ කොල්ලා වුනත් නරක නැහැ කියාය. "අර්බුස් ගෙඩිය ගන්නම්" කියා, කොල්ලාගේ කමිස කරෙන් ඇද ගෙතුලට ගත් ඈ  පෙම්වතා නොපැමිණීමෙන් පමාවුනු   කාර්යය කර ගන්නට ගත්තාය. 

ඒ අතර දොරට තට්ටුවක් වැටිණි.

කොමිසාර් බිරිඳ වහ වහා  කොල්ලාගේ ඇඳුම්, අර්බුස් ගෙඩිය හා කුකුළා අතට දී විශාල රෙදි කබඩ් එකේ   සැඟවූවාය. 
(රුසියානු ගෙවල් හා තට්ටු නිවාස  වල  නිදන කාමරයේ බිත්තියක් වැසෙන්නට සීලිම  තෙක් උස විශාල රෙදි අල්මාරි සාදා තිබේ. මේවා නිවසත් සමගම ලැබේ. )

පමාවී පැමිණි පෙම්වතා සමග අහවල් වැඩේ යෙදී සිටිද්දී තවකෙක් දොරට තට්ටු කරනු ඇසිනි. වහවහා එම පෙම්වතා ද කබඩ් එකට දමා වැසූ ඈ ඊළඟ පෙම්වතා ගෙතුලට ගත්තාය.

වෝව්කා තමන්ගේ චාන්ස් එක දුටුවේය.

"මේ තවරිෂ් (සහෝදරයා) අර්බුස් ගෙඩියක් ගන්නවද"
"තොට පිස්සුද යකෝ, අර ආවේ කොමිසාර් නම් අපිට වෙඩි තියයි.  හිටු" අල්මාරියේ අනිත් පසින් කෝපවත් හඬක් ඇසුනි. 
"එහෙනම් කුකුලෙක් ගන්නවද? අර අහවල් ගෙදර හොඳම  කුකුලා " වොව්කා තමන්ගේ ගෙදර තිබෙන තැන සඳහන් කළේය.
"තෝ මගේ කුකුළා හොරකම් කරාද, තෝව මරනවා. " අනිත් පසින් ගෙරවිල්ලක් ඇසුනි.
"ආ මේ තාත්තද , මම මේ වෝවා, තාත්ත ඔච්චර වැඩ කාරයෙක් කියලා දන්නේ නැහැනේ. අම්මට කියන්නද, නැත්නම් අර්බුස්  ගෙඩියයි කුකුළයි ගන්නවද දෙකටම දහයයි " 
"හපොයි තෝ  වගේ එකෙක් හැදුවනේ" කි වොව්කා ගේ පියා රූබල් දහය දී අර්බුසය හා කුකුළා ගත්තේය.

ටික වෙලාවක් ගියේය. එළියේ වැඩේ තවම යයි.

වෝවා: "තාත්තේ, තාත්තේ, කුකුලයි ගෙඩියයි අපහු දියන්"
"තොට පිස්සුද , කුකුළා කොහොමත් මගේ තෝ වික්කට, මම සල්ලි දුන්නේ තොට "
"මම කෑ ගහන්නද දන්නවනේ තවරිෂ් කොමිසාර් මාමගේ හැටි "
"ආ ගනින් ආපහු."

කවුදෝ නැවතත් දොරට තට්ටු කරුණු  ඇසුණි. කලබල වුනු කොමිසාර් බිරිය වහා එම පෙම්වතා ද අල්මාරියේ මැදට අමාරුවෙන් ඔබා තල්ලු කර දොර වැසුවාය. එවර ආවේ ගෙහිමියා වන දේශපාලන කොමිසාර් වරයාය. 

වොව්කා තමන්ගේ වාසනාව නැවත උරගා බැලුවේය.
"මේ ඕයි කුකුලෙක් ඉන්නව ගන්නවද රූබල් 5යි. "
"මොන කුකුල්ලුද ඕයි . මගේ රැවුල ගිනි අරන් තමුසේ සුරුට්ටු පත්තු කරනවද " අලුත් අමුත්තා හොරෙන් මිමිණුවේය.
" ආ මේ අපේ පක්ෂ ලේකම් තුමා නොවැ. තවරිෂ් ලේකම් තුමා මම කොමිසාර් තුමාට කියන්නද ඔබ මෙතැන කියල "
"කට කට දීපන් කුකුළා "
"ආ කුකුළාට පහයි අර්බුස් එකට පහයි දෙකටම දහයයි."
"මට අර්බුස් තෝ මගේ අර්බුස් ගෙඩිය නේද මේ හොරකම් කරලා තියෙන්නේ , මං තෝව "
"ඔන්නොහෙ ඕක ගන්න ලේකම් තුමා.මාත් ගත්තා. අපි ඔක්කොම එක බෝට්ටුවේ " පසෙක සිටි වෝවා ගේ තාත්ත කීය.
"ආ වොව්කා  ගේ තාත්තා. ඔහෙත් මේ බෝට්ටුව පදින කෙනෙක්ද? කෝ දීපන් එහෙනම්. මෙන්න රූබල් 10."

ටික වේලාවකින් වොව්කා ලේකම් ගෙන් අර්බුස් ගෙඩිය  හා කුකුළා නැවත ඉල්ලීය. 
"තොට පිස්සුද යකෝ මම  ගත්තේ සල්ලි දීලනේ  "
"ඔන්නොහෙ දීලා දාන්න ලේකම් තුමා " අනිත් පැත්තෙන් හඬ නැගුණි.

"හඃ මම හිතන්නේ තාත්තයි පුතායි මාව මේ උගුලට ඕන කමින්ම අහු කරලා. මේක අපේ හතුරන්ගේ කුමන්ත්‍රණයක්. අපේ ගමට විරුද්ධව මම කරන සේවයට අකුල් හෙලන්න. අපේ පක්ෂය අපකීර්තිමත් කරන්න. උඹල ඇමෙරිකන් ඔත්තු කරුවන්ද දන්නේ නැහැ. මම අල්ල ගන්නන්කො "
"මොන පිස්සුද ලේකම් තුමා ඔබමනේ ආවේ කොමිසාර් ගේ ශෙනා (බිරිඳ) ට කෙළින්න. අපි කිව්වයි " වොව්කා ගේ තාත්තා සැර  කළේය.
"තවරිෂ් ලේකම් මාමේ , එහෙනම් මම තවරිෂ් කොමිසාර් මාමට කතා කරන්නම් මේක විසඳන්න " වොව්කා කීවේය.
"හා හා එච්චර දුර යන්න ඕනෙද තරුණ සහෝදරයා. අපි සාකච්ඡා කරල විසඳ ගමු. මෙන්න අර්බුස් ගෙඩියයි. කුකුළයි ගන්න ඉස්සෙල්ල "

ඒ අතරේ වොඩ්කා බීගත් පසු අහවල් වැඩේ කළ වහාම තම ස්වාමියා වන කොමිසාර් කඩා වැටී නිදන බව දත් ගෘහණිය ස්වාමියා නිදි ගත්  වහාම එකා බැගින් හැංගී සිටි පෙම්වතුන් එළියට දැම්මාය.

යන්නට කලින් පොරොන්දු වූ පරිදි අර්බුස් ගෙඩිය දී තව රූබල්  පහක් කොමිසාර් බිරිඳ ගෙන් ගන්නට වොව්කා අමතක නොකළේය.

රූබල් 25 ට තෑග්ග ද මිලදී ගත් වෝවා තම පෙම්වතිය වන පක්ෂ ලේකම්ගේ දියණිය කැටුව ඩිස්කෝ යාමට පැමිණෙද්දී ලේකම් ගේ බිරිඳ රාත්‍රී ආහාරයට බිම පිණිස වයින් බෝතලයක් මේසයේ ලැස්ති කර තිබුණාය.  වෝවා ලේකම් ගේ බිරිඳ ට   "තමන්ගේ හොඳ කුකුළා " පෙන්වා  වයින් බෝතලයට වඩා කුකුළා වටින  බව කියා හුවමාරු කර ගත්තේය. 

ඩිස්කෝ එක අවසානයේ පෙම්වතිය සමග ඔහුගේ නිවසට ගිය වෝවා දැක අම්මා කෑ ගැසුවාය.
"උඹ කොහෙද ඔය පොඩි කෙල්ල එක මෙහෙ රිංගන්නේ. කෙල්ලව ගිහිල්ලා ලේකම් ගේ ගෙදර දාල වරෙන් "
"පිස්සුද අම්මේ ලේකම් නැන්දමයි මේ වයින් බෝතලෙත් දීලා යන්නේ කිව්වේ " කියා අම්මාද චාටුවෙන් රැවටූ  වෝවා කෙල්ල සමග කාමරයට වැදුනේය.

වයින් බෝතලය වෙනුවට තමන් මිලදී ගත් කුකුලාම නැවත ලැබී ඇති බව දුටු ලේකම් කෝපාවිෂ්ටව  ප්‍රාදේශීය පක්ෂ කාර්යාලයෙන් නිකුත් කල ගිනි අවියදා රැගෙන වෝවා සොයා ගියේය.

ගෙදර දොර ඉදිරියේ ලේකම් තැන වෝවා ගේ පියා  හා මව සමග යන දබරය ඇසී ජනේලෙන් හිස එලියට දැමු වෝවා 
"තවරිෂ් ලේකම් මාමේ , දුව ඉන්නේ මෙහෙ, අර කොමිසාර් ගෙදර දී පොරොන්දු වුණා වගේ. ආ අර අර්බුස් ගෙඩිය ඉල්ලලා දෙන්නද ආපහු?" කියා කෑ ගැසීය.

"පිස්සුද ඒවා ඕනේ නැහැ, කට කට. මේ වෝවගේ තාත්තේ , මම මේ කල්පනා මට පක්ෂයෙන් ප්‍රාදේශීය ශාඛාවේ ලේකම් කම ප්‍රදානය කරල තියෙනවා. මගේ කෙල්ලත් මූට කැමති එකේ ලේකම් කම අපෙන් පිට යවන්නේ මොකටද? වෝවා හොඳ දක්ෂ කොල්ලෙක් කියල මට තේරුණා. මම වෝවව මගෙන් පස්සේ හිස් වෙන ගමේ පක්ෂ ශාඛාවේ ලේකම් ධුරයට යෝජනා කරනවා. "

ගමේ පක්ෂ රැස්වීමේදී හිටපු පක්ෂ ලේකම් ගේ යෝජනාවෙන් හා දේශපාලන කොමිසාර් ගේ සම්මතයෙන් ඉදිරිපත් වූ එකම නාම යෝජනාව වන වෝවච්කා ට බිහිරි වලොද්යා ගේ හැර 99% ක්ම චන්ද ලැබී තිබුණි.

ප.ලි.
පළතුරු වලට කියන රුසියානු නම් මේ වීඩියෝවේ  දැක්වේ.



Thursday, 27 July 2017

සෝවියට් ජිවිතයෙන් බිඳක් 2

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1
අපේ කාමරය 
සෝවියට් දේශයට ඒමට කලින් හමුවුණු මිතුරෙකු වූයේ විතානගේ ය. ඔහු ගැන මේ ලිපියේ ලියා ඇත. ඔහු තරම් දේශපාලනය නොකළ මිතුරෙකු වුයේ කිත්සිරි පෙරේරා හෙවත් කිතාය. කිතාත්, විතානත් තවත් නම අමතක යහළුවෙකුත්, මමත්  සෝවියට් සංස්කෘතික මන්දිරය හා මහජන පුස්තකාලය පැත්තේ ගැවසුනෙමු. ඔහු මට වැඩිය වසරක් කලින් ආනන්දයේ අපොස උසස් පෙළ  කර තිබුණි. ඔහුටද මට මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික  විද්‍යා පීඨයට (physical science) ඇතුළු වීමට ලිපිය ලැබී තිබුණි. නමුත් ඔහුගේ සිහිනය වූයේ ගුවන් යානා කාර්මික ඉංජිනේරුවකු වීමටය. කිතා ටද  සෝවියට් දේශයට යාමට ලැබීම මට ඉමහත් ප්‍රීතියට කරුණක්  විය. ඔහු උගත්තේ උක්රයිනයේ  කීව් නගරයේය.

පසුගියදා ඔහු සමග කතා බහ කෙළෙමි. ඔහු ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට බැඳී එයාක්‍රෆ්ට් ඉංජිනේරුවකු ලෙස වසර කිහිපයක් සේවය කර තිබුණි.  ඉන්පසු මැලේසියාව ආදී රටවල සේවය කර දැන් උක්රයිනයේ කීව් මධ්‍යස්ථානය  කර ගෙන මැද පෙරදිග රටවලට හෙලිකොප්ටර පිළිබඳ සේවා සපයන ආයතනයක උපදේශකයෙකි. 
ලුද්මිලා සහ න්ගුඑන් 
ඉහත මුල්  පින්තුරයේ ඇත්තේ  මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ   පළමු වසරේ සිට මාත් අජිත්  පියරත්නත් සිටි කාමරයයි. මගේ පළමු වසර කාණ්ඩයේ කිහිප දෙනෙක් ඡායාරූපයේ සිටී. මගේ දකුණු  පලස්තීනයේ අලි ඉසා (ඔහුට මා නම දැමුවේ අලි ඉස්සා කියාය), ඉරානයේ තොර්කමන්  පූරි ඵරීඩා,   සුඩානයේ ඩෆ් එල්ලා එල්නුර්  සිටී. මගේ දකුණු පසින් සිටින්නේ කාම්බෝජයේ එන්ග් වෙන් න්ගුඑන්, පේරු හි මරියා ඉසබෙල් රමිරෙස් හා සෝවියට් රුසියන් ශිෂ්‍යාවන්  දෙදෙනෙකු වන ඇලෙක්සන්ද්‍රා (කෙටියෙන් සාෂා) සහ ලුද්මිලා ය. (කෙටියෙන් ලූදා).

අපි බොහෝවිට පන්ති අවසානයේදී මගේ කාමරයේ හෝ ඉසා ගේ කාමරයේ  රැස්  වී  කේක් වැනි කෑමට යමක්  මිලදී ගෙන තේ හෝ වයින් බිබී  දොඩමළු වුනෙමු. ලුදා බොහෝ විට ගිටාරය රැගෙන රුසියානු ගීත ගායනා කලාය. මට ගිටාරය වැයීමට තරමක් පුහුණු කළේද ඇයයි.
ලූදා හා ගිටාරය 


වෙනත් දවසක ස්වේතා, ඵරීඩා හා සාෂා 
මේ මයකොව්ස්කයා උමං දුම්රිය පළේදී ගත් ඡායාරූපයකි 1988 
අපේ පන්ති කණ්ඩායමේ කියුබන්වරු  රොත්තක් සිටි අතර ඔවුන් ගෙන් සමහරුන්  පමණක් අපත් සමග ලඟින් ඇයි හොඳයි කම් පැවැත්වූහ. අපේ මුළු කණ්ඩායමම   උගත්තේ තාප විදුලි බලාගාර ඉංජිනේරුවන් වීමටය.  මා  දන්නා පරිදි ඵරීඩා කොමෙයිනි  ගේ ඉරාන රජය යටතේ ජිවත් වීමට අකමැති වූවාය . පළමු වෛද්‍ය විද්‍යාලයේ  උගත් ඇගේ පෙම්වතා සමග ඇය ස්විට්සර්ලන්තය බලා ගියාය. සාෂා පෞද්ගලික ආයතනයක සේවය කරයි. ස්වේතා ගැන ආරංචියක් නැත.

මේ පින්තුර ටික බේරා ගත්තේ බොහෝ අමාරුවෙනි.  මා නැවත  ශ්‍රී ලංකාවට නොඑන බව දැනගත් පසු මගේ දෙමාපියන් සේප්පුවකට දමා වසා තිබී සොයුරා ගේ නිවසේදී සොයා ගන්නා විට ඒවා හොඳ  තත්වයේ තිබුනේ නැත. පින්තූර ගත්තේ මගේ සෙනිත් කැමරා වෙනි.

තවත් දවසක 1987
ඉහත පින්තූරයේ උඩම සිටින්නේ රුසියානු ශිෂ්‍යයෙකු වන මැක්සිම් හා සුඩාන  ජාතික ඩෆඅල්ලාය.  මේ දෙවැනි පින්තුරයේ මා සමග සිටින්නේ කෙටි කළක් මා  සමග සමීපත්වයක් තිබුණු පේරු ශිෂ්‍යාවක වන ඉසබෙල් රමිරස් ය. මට පිටු පසින් අපේ පන්තියේ ස්තාරස්තා (වැඩි මහලු යන අරුතින්) නමින් හැඳින්වුණු ශිෂ්‍යාවයි. ඇය විදුලි ඉංජිනේරුවරියක ලෙස තාප විදුලි බලාගාරයක රැකියාව කරන්නීය. කාමරයේ පැත්තක ඇත්තේ රුසියානු ශිතකරණයකි.
මැක්සිම් දැන් මොස්කව් ඉකෙයා  (IKEA) වෙළඳ සංකීර්ණයේ පරිගණක කළමණාකරු ලෙස සේවය කරයි.
මට ඔහු ගිය අගෝස්තුවේ මොස්කව් හිදී මුණ ගැසුණි.
දකුණු කෙලවරේ මැක්සිම් 2016
ඔහු අප නැවතී සිටි ලැගුම් හලට පැමිණියේය. පින්තුරයේ සිටින අනිත් දෙදෙනා සමන් ජයමහ සහ සම්පත් නාගසිංහ යි. සෝවියට් දේශයේ අධ්‍යාපනයෙන් පසු එහිම නතර වී ව්‍යාපාර ඇරඹු  ඔවුන් දැන්  සාර්ථක ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

පොඩි පාටියක් ලූදා , ස්වේතා , නතාෂා , ඩෆ් සහ ඉන්ගා  1987
එන්ග් මගේ හොඳම මිතුරෙකු වූ අතර තවමත් අපි දෙදෙනා ෆේස්බුක් හරහා  එකිනෙකා ගේ විස්තර දැන  ගන්නෙමු. එන්ග් ගේ දෙමාපියන් පොල්පොට් ගේ කාලයේ සිර කඳවුරක  දරුණු වධ වින්දහ.
රුසියාවේ සිටියදී එන්ග් හිටි ගමන් නින්දෙන් බයවී ඇහැරෙයි. ඔහු නිතරම විදුලි පන්දමක් අතේ තබාගෙන නිදා ගනී. ඒ පොල්පොට් කාලයේ භීෂණයට මුහුණු දී ලැබුණු අත්දැකීම් නිසා බව ඔහු මට පවසා තිබේ.

ලූදාත්, එන්ග් හා මමත් ඉතා හොඳ යහළුවන් වුනෙමු. ලුදා ගේ දෙමාපියන් ගුරුවරුන් වූ අතර ඔවුනට මොස්කව් වලින් පිට දාචා නමින් හැඳින්වෙන,  ගිම්හාන යේ ඔවුන් නිතර නැවතී සිටින කාමර කිහිපයකින් යුතු ගෘහයක්  විය. අපි එහි ගිම්හාන  සමයේ නිතර ගියෙමු.  දැන් පික්නික් ලෙස හැඳින්විය හැකි සංචාර කිරීම අපගේ විනෝදාංශයක් විය. මේ කාලයේදී සෝවියට් ජන ජීවිතය පිලිබඳ බොහෝ දේ ලූදා ගෙන් දැන ගතිමි.

මා ලන්ඩනයට පැමිණි පසු මට ලූදා හා ඇගේ සැමියා පිකඩිලී  වලදී හමුවිය. මම ඔවුන් දෙදෙනාට බියර බිමට ආරාධනා කර පබ් එකකට රැගෙන ගියෙමි. ලූදා ගේ සැමියා උජාරුවෙන් ඔහුගේ අතේ පැළඳි රෝලෙක්ස් ඔරලෝසුව මට පෙන්වූ අතර තමන්ට ඕනෑම රටකට අප මෙන්ම දැන් යා  හැකි බවද හොඳ රැකියාවක් කරන අතර හොඳින් ජිවත් වන බව ද කීවේය. "ඉස්සර උඹල ඇවිත් අපට බටහිර  දේ පෙන්වනවා. දැන් අපටම බලන්න පුළුවන්" . සෝවියට් දේශය බිඳී යාම ඔහු සැළකුවේ හොඳ දෙයක් ලෙසටය. 

 ඔහු මහත්වරුන් ගේ කාමරයට ගිය අතරේ ජීවිතය හොඳ දැයි ලූදා ගෙන් ඇසුවෙමි.

"රෝමා (ඇගේ සැමියා) ට ළමයි දෙන්නා  එංගලන්තේ පෞද්ගලික විදුහලකට දාන්න ඕනෙයි කියල බලන්න ආවේ. මම නම් කැමති නැහැ. අපි රටවල් බලන්න යනවා. රෝම ගාව සල්ලි තියනවා. එයා තුවක්කු අරගෙන දඩයමේ යනවා  පරණ රුසියන් කුලවතුන් (රදළයන්) වගේ.  පාටි දානවා. ගොන් පාට් නුත් දානවා " ලූදා එක හුස්මට කීවාය. ඇගේ වදන් වල කිසියම්  සමච්චලයක් රැඳී තිබේ යයි  මට හැඟුනි.

"මට තේරුණා. ඔයා හොඳින් ජිවත් වෙනවා නම් එච්චරයි."   කීවෙමි.

"ඒත් මගේ ජිවිතේ හොඳම කාලේ අර අපි සැහැල්ලුවෙන් හිටි ලස්සන කාලේ. " ඇගේ  නිල් පැහැ  නෙත් මදක් තෙත්වී තිබෙනු දුටුවෙමි. රෝමා පැමිණි පසු ඔවුන් දෙදෙනා සමුගෙන නික්‌ම ගියහ. මට නැවත ඔවුන් මුණ ගැසුනේ නැත.

සෝවියට් දේශයේ ගත කල ජිවිතයෙන් අප ලද අත්දැකීම් අප කිසිවකුට  කිසිදා අමතක වන්නේ නැත.

- දකුණු අයර්ලන්තයේ සුමාන දෙකක පමණ නිවාඩුවක් ගත  කිරීමට  යන බැවින් බ්ලොගය ලියවෙන්නේ වත් ප්‍රතිචාර වලට පිළිතුරු දීමක් සිදුවන්නේත් නැත. ඒ ගැන සමාවන්න.  






Sunday, 23 July 2017

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1

 සෝවියට් දේශය පොත ශ්‍රී ලංකාවේ වාමාංශික අදහස් ඇත්තන් පමණක් නොව වෙනත් රටවල් පිලිබඳ දැන ගැනීමට ආශා කරන්නන් ද කියවූ සඟරාවකි. මට මතක විධිහට එය එව්වේ සෝවියට් සංස්කෘතික මන්දිරය මගින් නොමිලයේය. පසුගිය ලිපියට වැටුණු ප්‍රතිචාරයක තිබුනේ සෝවියට් දේශය පොත ප්‍රචාරණය සඳහා නිමවූවක් පමණක් බවයි.  එහි සත්‍ය තොරතුරු අඩංගුව තිබුනේ නැතිමද යන්න මගේ අත්දැකීමක් තුලින්ම විමසීම මෙම ලිපියේ අරමුණයි.

1983 දී උසස් පෙළ විභාගයට පෙනී සිටි  සෝවියට් දේශයේ ඉගෙනීම සඳහා ගියේ 1984 වසරේය. එම වසරේ මූලික අවුරුද්ද පද් යනුවෙන් (preparatory faculty පද්ගතවිතේල්නි ඵකුල්ටියේත් ) හැඳින්වුණි. රුසියානු භාෂාවට අමතරව අපොස උසස් පෙළ හා විශ්ව විද්‍යාල පළමු වසරට උගන්වන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ජ්‍යාමිතික සැලසුම් නිර්මාණය ආදී විෂයන්ද රුසියානු භාෂාවෙන්ම ඉගැන්වුනි. පළමු වසරේ  අප උගත්තේ මාදි නමින් හඳුන්වන මොස්කව් රථ වාහන හා මාර්ග සංවර්ධන විශ්ව විද්‍යාලයේය. (MOSCOW AUTOMOBILE AND ROAD CONSTRUCTION STATE TECHNICAL UNIVERSITY(MADI))

මෑතකදී මම  එංගලන්තයේ සේවය කරන,  මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පළමු වෛද්‍ය පිඨයේ (1st medical) උගත්,  මගේ මිතුරෙක් වන වෛද්‍ය සුදත් කුමාරසිංහ හමුවීමට ගියෙමි. (කණගාටුදායක ලෙස ඔහු දැන් අප අතර නැත-2020) ඔහු  පසුගිය මස (මේ කියන්නේ 2017 වසරේ)  ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ ඔහුගේ නිවසේ තිබු සෝවියට් සඟරාවක් රැගෙන පැමිණියේය.  එහි තිබුනේ 1985 අවුරුද්දේ සෝවියට් දේශය සඟරාවේ  අප ගැන පලවී තිබු ලිපියකි. එය හඳුන්වා තිබුනේ "ශ්‍රී ලංකාවට විශේෂඥ කණ්ඩායමක් " යනුවෙනි.
මේ තිබෙන්නේ එම ලිපියයි.
මේ ලිපියේ ඇති පින්තුරයේ වම් පස කෙළවර සිටින්නේ මමයි. මුළු කන්ඩායමේ ම ලාබාළතමයා  වූයේද මමයි. මගේ වම් පස සිටින්නේ ආචාර්ය ජානක ලියනගම මහතායි. රාජකීය විදුහලේ මෙන්ම මාදි හිද දීප්තිමත් සිසුවකු වූ ඔහු පසුව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (2009) ලෙස කටයුතු කරන බව දැන  ගතිමි.  දැන් ඔහු රැකියාව කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක උප කුලපති ලෙස බව මිතුරෙකු පැවසීය.
අපි කට්ට්ටිය 1985 MADI 
ඔහුගේ වම් පසින් සිටින්නේ ප්‍රභා ගුණවර්ධනයි. ඇය ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඉංජිනේරුවරියක ලෙස සේවය කරන්නීය. ඇය ඉදිරිපසින් මැද සිටින්නේ  ආචාර්ය වඩුගේ(Phd) ය.  ඔහු රුසියානු තරුණියක සමග විවාහ වී සිටින අතර මොස්කව් හි ව්‍යාපාර  කිහිපයක හිමි කරුවෙකි. ඔහු ගේ වම් පසින් පිටුපස සිටින්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගත්, චතුර ලෙස සිංහල කතා කරන ආචාර්ය සිවලිංගම් සෙල්ව කුමාර් ය. සෙල්ව කුමාර් මහතා යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ  ව්‍යාපාර හිමි කරුවෙකි. ඔහු ලඟින් වමේ සිටින්නේ ආනන්දයේ ම උගත් අජිත් පියරත්නය. ඔහු ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. ඔහු අසල කෙළවරේම දකුණේ සිටින්නේ කල්‍යාණ ඔබේසේකරයි.  යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියුතුව සිටි ඔහු දැන් ජිවත් වන්නේ එංගලන්තයේ ස්ටන්ස්ටෙඩ් පෙදෙසේය. ඔහු සතුව අහස්යානා සැලසුම් පිලිබඳ තමන්ගේම ව්‍යාපාරයක් ඇති අතර එහි මුලස්ථානය ස්ටන්ස්ටෙඩ් ගුවන් තොටුපලේ පිහිටා ඇත.  සියල්ලන්ම විශිෂ්ට ලෙස සෝවියට් දේශයේ අධ්‍යාපනය අවසන් කළහ.

(සෙල්ව කුමාර් මහතාගේ ගේ සමකාලින විධායක සිවිල් ඉංජිනේරු උපාලි හේවගේ මහතා මෙම පින්තුරයේ නැත) 
මේ සියල්ලන්ම අපොස උසස් පෙළ සමත් දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ ඒ විශ්ව විද්‍යාල වලට යාමට නොහැකි වුනු සරසවි වලට ඇතුලත් වීමට සුදුසුකම් තිබූ හෝ සරසවී  සඳහා ප්‍රවේශයන් ලැබූ අයයි. සෝවියට් දේශයේ ජනතාව  අපට ඉගැන්වූවා ට අප ඔවුන්ට අදත් ණය ගැතිය. රුසියානුවෙක් හමුවෙන ඕනෑම මොහොතක මම ඔවුන්ට එය පවසමි.
පරීක්ෂණාගරයක 
මේ පින්තූරය තරමක් ගැටළු සහගත වන්නේ මේ පරීක්ෂණාගාරය අප සියල්ලම උගන්නා තැනක් නොව එහි සිටි යාන්ත්‍රික ඉංජිනේරු ශිෂ්‍යන්ට පමණක් වීමයි. මෙය ප්‍රචාරණය සඳහා යයි යමෙකුට චෝදනා කළ හැකිය. නමුත් පර්යේෂණාගාරය එතැන තිබුණු අතර එය බොරුවක්  නොවේ. මාධ්‍යවේදියා අපටද එතැනට එන්නට කියා සියල්ලන්ගේම පින්තූරයක් ගත්තේය. 
පහළ පින්තූරය හොඳින් බලන්න. මේ විශ්ව විද්‍යාලය හිඟන රටක තිබිය නොහැකිය.
මාදි 1985
පහත පින්තූරයේ සිටින්නේ මමයි. මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ රිලේ සම්බන්ධ කරන එලෙක්ට්‍රොනික පුවරුවක් ක්‍රියාත්මක කරමින් සිටියදී මිතුරු සිසුවකු ගත් ඡායා රූපයකි. මා මෙය පළ කරන්නේ සෝවියට් දේශය සඟරාවේ පල කරන ලිපි වල ඡායාරුප හා සැබෑ තත්වය එතරම් වෙනස් නොවන බව කියන්නටය.

1986 MEI 

පහත පින්තුරය මා අසල  සිටින්නේ බංග්ලාදේශ සිසුවෙකි. ඔහු ගේ වම් පසින් අපේ පළමු වසරේ රුසියානු භාෂාව ඉගැන්වූ නීනා ෆෙදරෝව්නා ගුරුතුමියයි. ඉතා කරුණාවන්ත ගුරුතුමියක් වූ ඇය මම අදත් ඉතා ආදරයෙන් සිහි  කරමි. ඇය අසල සිටින්නේ ඉන්දියානු සිසුවකු වන අරුන්ය.
පළමු අවුරුද්දේ කෞතුකාගාර සවාරියකදී  1984-85
නීනා ෆෙදරෝව්නා අපව නිතර කෞතුකාගාර , චිත්‍ර ප්‍රදර්ශන නරඹන්නට මෙන්ම  පුෂ්කින්, ශේස්තොකොවිච් වැනි ලේඛකයන්ගේ, සංගීතඥයන් ගේ නිවෙස් වලට රැගෙන ගියාය. සමහර ඒවා විශ්ව විද්‍යාලයෙන් පවසා කරන ලද ඒවා වුවත් බොහොමයක් ඇගේ කැමැත්තෙන් ම අප රැගෙන ගිය ඒවා විය. මට උණ හැදී අසනීප වූ විට නේවාසිකාගාරයටම  පැමිණ දුක සැප බලා ගියාය. දෙමව්පියන්ගෙන් ඈත්ව දුරු රටක උගන්නා  ඇය අපට මවක් වූවාය.

- මතු සම්බන්ධයි

Thursday, 20 July 2017

සෝවියට් ඇනෝ ගේ සමාජවාදය


සෝවියට් මත්පැන් බෝතල් බ්රෙශ්නෙව් ගේ පින්තුරය යට (අන්තර්ජාලයෙන්)
ගිය වර ලිපියේ මෙන්න මෙහම ප්‍රශ්නයක් අහල තිබුන ඇනෝ කෙනෙක්. 
"මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.
ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද?"

මම දුන්න කෙටි පිළිතුර එම ලිපියේ කෙළවර තිබෙනවා. දැන් දෙන්න හදන්නේ දිග පිළිතුරක්. මොකද මේ ප්‍රශ්නය අධ්‍යාපනය  ගැන කතා කරන හැම වෙලේම වගේ දමල ගහන නිසා. 

මගේ එම ලිපි මාලාවේ  සඳහන් වෙන්නේ අධ්‍යාපනය විකිනීමට සහය දැක්වීමක්ද? එහෙම නැත්නම් නැති වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය සයිටම් එක තිබ්බත් නැතත් නැති වෙලා කියන සත්‍යය  අවධාරණය කිරීමද? මට නම්  සයිටම් එක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ගේම් එකක් විතරයි.  බැලූ  බැල්මට ධනපතියෙක්ගේ විද්‍යාලයක් ලාභය ගන්න  අධ්‍යාපනය විකුණනවා. ඒකට විරුද්ධ වෙමු වෛද්‍ය සංගමය සමග. හරිම සරලයි තේරුම් ගන්න.

නමුත් ඒ ගොල්ලෝ සඟවන්නේ මොකක්ද? අවම වශයෙන් අවුරුදු 20 කට කලින් තිබ්බ නිදහස් අධ්‍යාපනයක් වත් දැන් නැහැ. පාසල් වල උගැන්වීම් සෑහෙන්න කඩන්  වැටිලා. ඒ අතරේ හොඳ ගුරුවරු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්න බව අමතක කරන්නත් හොඳ නැහැ. නමුත් හතර පන්තියේ ඉඳලා  ළමයි ටියුෂන් පන්ති යවන රටක තමයි මේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ.

සම්පුර්ණ නිදහස් අධ්‍යාපනයක් දෙන්න නම් එක්කෝ ජර්මනිය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය වගේ දියුණු රටක් වෙන්නේ ඕනේ. නැතිනම් තනි රටක සමාජවාදයක් පිහිටුවීමේ න්‍යාය යටතේ සමාජවාදී රටක් පිහිටුවන්න ඕනේ. (කියුබාව , උතුරු කොරියාව වගේ )
ඔය දෙක අතර මැද තියෙන්නේ සිරිමාගේ ආණ්ඩු කාලය. සල්ලි දුන්නත් ලංකාවේ මිනිස්සු ඒකට නම්මා ගන්න  එකනම් බොරු. ඒ නිසා " සයිටම් වහපියව්" කියන එක මත තමා පැවැත්ම තියෙන්නේ. ඒක වැහුවොත් ඊට පස්සේ තව මොකක් හරි එයි.  අඩුම ගානේ තමන්ටවත් අවංක වෙලා කිව්වා නම් මිනිසුන්ට අපි මේ හදන්න උත්සාහ කරන්නේ  සමාජවාදය. ඒකෙදි නිදහස් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම දෙනවා කියල. මිනිස්සු කැමති නම් චන්දෙ දෙයි.

දැන් යමු සෝවියට් දේශය ගැන කතා කරන්න. සෝවියට් දේශය හිඟන රටක්ය. මිනිස්සු හිඟන්නෝ වගේ හිටියේ කියල කතා අහල තියෙනවා නේද? ඒවා වැඩිමනත් බොරු. ඒ දවස් වල තිබුණු ජේ ආර් ගේ ශ්‍රී ලංකාවේ බහුතරයක් සාමාන්‍ය සෝවියට් වැසියාට වඩා  ධනවත් කියල කියන්න බැහැ.  ලංකාවෙන්  ගිය යුඇන්පී සිරි ලංකා මැති ඇමැතින් ගේ පුත්තුන්ට හෙම දුප්පත් වගේ පේන්න  ඇති.

1917 දී සෝවියට් දේශය පිහිටුවන කොට ඒක යුරෝපයේ කලබල වැඩිම තිබ්බ, යුද්ධයකට මැදිවී තිබ්බ රටක්. නමුත් දුප්පත්ම රට නෙමෙයි. දැන් වුනත් රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම රට. මොකා මොන සම්බාධක දැම්මත් ඕනෑම අමුද්‍රව්‍යයක් තියෙන, වගා කල හැකි ඉඩම් තියෙන ඛනිජ තෙල් නිධි, දියමන්ති අදටත් ඉතිරි වෙලා තියෙන රටක්. ධනවත් රටක්.  යුද්ධය නිසාත් ලෙනින් සමාජවාදය පිහිටවපු නිසාත් රට මුලින් වැටුනත් ලෙනින් ලා මුළු රටටම විදුලිය ලබා දුන්නට පස්සේ එය දියුණු වුනා. ස්ටාලින් ගේ ඒකාධිපතිවාදී  දරුණු පාලනය නිසාම 1939 වනවිට   යුරෝපයේ අනිත් රටවල තත්වයටම සෝවියට් දේශයත් භෞතික වශයෙන් දියුණුවක් ලැබුවා.

දෙවන ලෝක යුද්ධෙන් වැඩියෙන්ම බැට කෑ රටක් තමා සෝවියට් දේශය. මිලියන් ගාණක් මැරිලා රටෙන් භාගයක්ම විනාශ වුණා. ඒ වගේ විනාශ වුන අනිත් රට තමා යුද්ධය පටන් ගත්  ජර්මනිය. දැන් ඔය රටවල් දෙකෙන් ජර්මනියට මාෂල් ක්‍රමය යටතේ අති විශාල මුදල් ප්‍රමාණයක් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ඇමෙරිකා  එක්සත් ජනපදයෙන් ලැබුන. එනිසා ඔවුන් සෑහෙන්න දියුණු වුණා. සෝවියට් දේශයටත් 41-45 කාලයේ ඇමෙරිකන් ආධාර ලැබුණා. ඔවුන් ඒවා ගෙවා දැමුවා පසුව.
තරුණ පුරෝගාමීන් රතු චතුරශ්‍රයේ 

"තරුණ කොමියුනිස්ට් සංවිධානය දිනේවා"-ස්ටාලින් 

ඇමෙරිකා  එක්සත් ජනපදයේ ධනවාදය දියුණු වුනේ අවුරුදු 300 තිස්සේ  (1776). මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපිය රටවල් අධිරාජ්‍ය ගොඩ නගාගෙන තිබුන මේ වෙනකොට. කාර්මික විප්ලවයෙන්  පසු අවුරුදු දෙසිය ගානක් ගියා ඔවුන්ට දියුණු වෙන්න. මුලින්ම ධනවාදය අවසන් වෙයි කියල මාක්ස් හිතුවෙත් මේ ධනවාදී රටවල , බ්‍රිතාන්‍යය හෝ ජර්මනියේ.  සෝවියට් දේශයට ඇත්තටම තිබුනේ යුද්ධයෙන් පස්සේ ගතුවුනු අවුරුදු 35-40 පමණයි දියුණු වෙන්න.

ඉතින් 1984 මම සෝවියට් දේශයට යන කොටත් ඒක  ලංකාවට වඩා සෑහෙන  දියුණු රටක්. මුල්ම චන්ද්‍රිකාව උඩු ගුවනට යවල, මුල්ම මිනිසා උඩු ගුවනට යවල, අමෙරිකාවත් පහු කරගෙන ඒ පැත්තෙන් (අජටකාශය ජය ගැනීම) ඉහලට ගිය රටක්.  න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ රටක්. හිඟන රටක් නම් නෙමේ කොහොමටවත්.    නමුත් ඒ රට ගොඩ නැගුවේ ඒකාධිපති වාදී  ක්‍රමයකින්.  1945 - 1985 කාලය දක්වා ගත්තොත්  උමං දුම්රිය පද්ධතිය, මාර්ග පද්ධතිය, නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපන ක්‍රමය, විදුලි බල පද්ධතිය මේ හැම දෙයක්ම බ්‍රිතාන්‍යය හා හුඟක් යුරෝපීය රටවල් තරම්ම දියුණුයි. ඒ රටවල සංචාරය කරපු නිසා මේක අත්දැකීමෙන්ම දන්නවා.

තට්ටු නිවාසයක් (ෆ්ලැට්) එකක් ඕන නාගරිකයෙකුට තිබ්බ හෝ විශාල ෆ්ලැට් එකක්  පවුල් කිහිපයක් විසින් බෙදා ගැනීම (ෂෙයාර් ) වගේ දෙයක් මිනිස්සු කලා. නගරයෙන් පිටතත් දාච කියන ග්‍රීෂ්ම සෘතුවේ නිවාසත් මොස්කව් වල හුඟක් අයට තිබුන.  මේ තට්ටු නිවාස  වුනත් එංගලන්තේ කවුන්සිල් ගෙවල් වගේ ලොකු ඒවා. ගිහින් තියන නිසාම  මම දන්නවා.

නමුත් සෝවියට් වැසියන්ට  බටහිර  තරම් සුඛෝපභෝගී ජිවන රටාවක් තිබ්බේ නැහැ. ඕනෑ කරන කාරෙකක් ගන්න, සපත්තු කුට්ටමක් ගන්න, ඩෙනිමක්  ගන්න, හොඳ විස්කි බෝතලයක්, බ්‍රැන්ඩි එකක් ගන්න  තිබ්බේ නැහැ.  ශීතකරණ සෝවියට් දේශයේ නිෂ්පාදනය කරපු ඒවා. ඒවා නරකම නැහැ. අපේ කාමරවලත් තිබ්බේ ඒවා. සින්දු අහන සෙට් හරි නැහැ ජපන් ඒවා තරම්. විදේශික ශිෂ්‍යයෝ තමයි හොඳ ඒවා විකුණුවේ.

එතකොට  සෝවියට් දේශය ඇයි නිදහස් අධ්‍යාපනය දුන්නේ විශාල සංඛ්‍යාවක් දියුණු වෙමින් පවතින රටවල සිසුන්ට වගේම බටහිර රටවල සිසුන්ට (ඉතා අඩු සංඛ්‍යාවක්). ඔවුන්ගේ දෘෂ්ටිවාදය - කොමියුනිස්ට්වාදය පතුරුවන්න. ඒකයි හේතුව. ධනවාදී රටවල එක දෘෂ්ටිවාදයක් කියල එකක් නැහැ. එක එක කාලෙට තමන්ට අවශ්‍ය දේ හදා ගන්නවා. කතෝලික පාසල් වල කතෝලික ආගම, බෞද්ධ පාසල් වල බුද්ධාගම, මුස්ලිම් පාසල් වල මුස්ලිම් ආගම උගන්වනවා වගේම  රජයේ පාසල් වල ඔය ඔක්කොම හා ධනවාදී අර්ථ ක්‍රමය අවශ්‍ය නම් උගන්වනවා. ධනවාදී රටවල දෘෂ්ටිවාදය පතුරුවන්නේ මාධ්‍ය හා පොත්පත් මගින්. මුස්ලිම් ආගම බහුතරයක් අදහන මධ්‍යම ආසියාවේ සෝවියට් සමුහාණ්ඩු හුඟක් ලෞකික වුනෙත් ඔන්න ඔය  නිදහස් අධ්‍යාපනය නිසා.

හැබැයි  ඔය ශිෂ්‍යත්ව දීලා කොමියුනිස්ට්වාදය පතුරුවන්න හදපු එක මහා මෝඩ වැඩක්.  හුඟක් සිසුන්ව ඒකට  අනුගත  කර ගන්න බැරිවුනා.තම රටේ  ඉඳන්ම කොමියුනිස්ට්වාදය ගැන දැනගෙන හිටි කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ කම් තියෙන අය සමහරක් ( අර මම ලිව්ව ජැප්පා වගේ උන් ඇරෙන්න) පසුකාලීනවත් ඒ භක්තිය තියන් හිටිය තමයි . ඉතින් කවුරු  හරි කියන කොට අපි මුලික උපාධිය ගත්තේ ඔන්න ඔය බදු සල්ලි වලින් කියල හිතට එන ප්‍රශ්න ගොඩයි.

සෝවියට් දේශය හුඟක් රටවලට නොමිලේ උදව් කලා. තුල්හිරිය පෙහෙ කම්හල, ඔරුවල වානේ  කම්හල , මිසරයේ අස්වාන් වේල්ල ඕවගේ නොයෙකුත් රටවල නොයෙකුත් දේ හැදුව. මේවා ඇත්තටම මෝඩ වැඩ. ඕව කලේ කොමියුනිස්ට් පක්ෂේ අයගේ මාන්නෙ රැක ගන්න. කොමියුනිස්ට් වාදය කෙසේ වෙතත් නිලධාරිවාදය  ව්‍යාප්ත කරනවට එරෙහිව ඔරුවල බන්දු  ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " වගේ පොත් බිහි වීම තමයි වුනේ. (වානේ පොතට  පස්සේ) ඊට අමතරව අති විශාල මුදලක් වියදමක් දරමින් පිටරටවල (ලංකාවේ  වගේ) කොමියුනිස්ට් පක්ෂයි ඒවායේ හිටි නිලධාරින්වයි නඩත්තු කළා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වුණා.

 සෝවියට් දේශයට ඇත්තටම කරන්න තිබ්බේ මොකක්ද? අර තමන්ගේ මිනිස්සු ගැන බලන එක. උන්ගේ ජිවන තත්වය බටහිර රටවලට වඩා උසස් කරන එක.  ඒක කරන්න  ඕන තරම් සල්ලි සෝවියට් දේශයට තිබ්බ. දැන් රුසියානුවන්ට තෙල් වලින් කොපමණ මුදල් ලැබෙනවද? ඒ කාලේ තෙල් දුන්නේ හුඟක් මිල අඩුවට. කියුබාව ගෙනියන්න. නිකරගුවාව රඳවා ගන්න. අප්‍රිකාවේ ඉන්දියාවේ ලංකාවේ මිනිසුන්ට කම්හල් පුදන එක. ඒවා පස්සේ යකඩ කෑලි වලට විකුණයි කියන එක තේරෙන්න තිබ්බ. දෙන ආධාර මුදල් ඇමෙරිකාව,  ජපානය හෝ යුරෝපය කරනවා වගේ පොළියක්ති යාගෙන දෙන්න තිබ්බේ. මහජන චීනය දැන් කරන්නේ මොකක්ද? නිකන් කිසි ආධාරයක් දෙන්නේ නැහැ. කොන්දේසි ගොඩයි. ණය මුදලට ගහන පොළිය වැඩියි. සෝවියට් වැසියන් බටහිරට වඩා හොඳින් හිටිය නම් බටහිර මිනිස්සුම බලනවා කොහොමද ඒක  වුනේ කියල. ලංකාව, කියුබාව, ඇන්ගෝලාව වගේ රටවල මිනිස්සු විතරක් නෙමේ. ඒ ක්‍රමය වඩා හොඳයි කියල නිකම්ම ඔප්පු වෙනවා.

සෝවියට් දේශයේ තිබ්බ අනිත් ප්‍රශ්නය තමයි හැමෝම කතා කරන නිලධාරිවාදය හා කොමියුනිස්ට් පක්ෂයේ  ඉතා පක්ෂග්‍රාහී පාලනය.  දැන් කලශ්නිකොව් බටහිර රටක හිටියනම් මිලියනර් කෙනෙක්ය , සෝවියට් දේශයේදී පදක්කමයි, තත්වයයි ඉන්න හිටින්න  නිවසක් පමණයි තිබුනේ කියල කවුරුත් දන්නවා  නොවැ.නමුත් නොදන්නා  දේ තමයි හුඟක් දක්ෂ මිනිසුන් ගේ දක්ෂකම් අකාලයේ වියැකිලා යන්න දුන්න  කියල. නිර්මාණාත්මකමිනිසුන්ගේ  නිර්මාණ, විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන් ගේ  නව සොයා ගැනීම් එක්කෝ බටහිරට හොරෙන් විකුණුව. නැත්නම් ඉරිසියාවට ඉවත දැම්ම. ඒ මිනිසුන්ව නැති කරලා දැම්ම. මොකද ඔය පක්ෂ සහ නිලධාරී තන්ත්‍රයේ හිටියේ පොතක් පතක් කියවන උන් නෙමේ.

මෙතැනදී මතක් වෙන්නේ   වාමාංශික පක්ෂවල   පොරවල්  ඉන්නව "ඔය පොත් කියවල පැරණි  දේ ගැන අත්දැකීම් ලියල කාටද  හරි  ගියේ" කියල අහන අය. අපි වගේ භාවිතාවෙන් දැන ගත්තම ඇති. අපි දන්නා දේ ඕකුන් දන්නවද වගේ කතාත් කියනවා. සිගරැට් පනහක් විතර දවසට පුච්ච පුච්ච සිගරට් කොම්පැනි පොහිසත් කරමින්. ඔව් ඔව්  ඇත්ත, අත්දැකීම් වලින් තමා දෙයක් ගැන ඉගෙන ගන්නේ පුර්ණ වශයෙන්. නමුත් අත්දැකීම් හා රැකියාවේ පුහුණුවෙන් ඉගෙන ගන්න නම් ඒ ගැන දැනගෙන  කියවල බලල ඉන්නත් ඕනේ. නැත්නම් වැරදි බොත්තම තමයි හැමදාම ඔබන්නේ.

මේ වෙලාවේදී මතක් වෙන්නේ අයින් රෑන්ඩ් ව, දක්ෂිණාංශික උන්ගේ අත්පොතක් වුනත් අර "ඇට්ලස් හැකිළුවා "(Atlas Shrugged) කියන පොත කියවල තියනවා නම් දැනගන්න පුළුවන් මේ නිලධාරිවාදයේ හැසිරීම හරියටම විස්තර කරලා තියනව කියල. අයින් රෑන්ඩ් හෙවත් ඇලිසා සිනොවියෙව්නා රෝසේන්බෞම් ඉපදුනේ 1905 දී ශාන්ත පිතර්බුර්ගයේ යුදෙව් ධනවත් පවුලක. විප්ලවේ කාලේ රුසියාවේ ඉඳල පස්සේ ඇමෙරිකාවට ගිහින් රෑන්ඩ් උනා . මුල් කාලේ සෝවියට් දේශයේ තිබ්බ යුද කොමියුනිස්ට් වාදය ගැන හොඳ වැටහීමක් තිබිල තියෙනවා කියල තේරෙනවා මේ පොත කියවනකොට. හැබැයි මේ ප්‍රබන්ධයක් වගේ පොතේ ලියල තියෙන හැම දෙයක්ම මම අනුමත  කරන්නේ නැහැ. බොහොම  අන්තවාදී ප්‍රකාශත් තිබෙනවා.

ඒත් සමහර දේවල් කියෙව්වම හිතෙනවා හරි මෙහෙම   තමයි උනේ කියල. එක තැනක මෙහෙම තියනවා.
"After all, it does not make any difference to the poor whether their livelihood is at the mercy of an industrialist or of a bureaucrat" පි.542
"දුප්පතාට, තමන්ට කෙළවෙන්නේ කම්හල්  හිමිය අතින්ද නිලධාරියා අතින්ද කියන එකේ වෙනසක් නැහැ "
සෝවියට් දේශයට ගිය  මුල් අවුරුදු වල නැවුම් ගතිය ගිහින්, අපි මිනිසුන්ව අඳුර ගෙන ඒ ගෙවල් වලට යන්න ගත්තට පස්සේ, පෙම් සබඳතා, යාළු මිත්‍රකම් පටන් ගත්තම අපි වඩා ඇත්ත දැන  ගන්නවා. අන්න එතැනදී අපිට සෝවියට් දේශය එපා වෙන්න පටන් ගන්නවා.

මට මතකයි 1980 ගණන් වල ආචාර්ය නලින්ද සිල්වා දිවයින ට ලියන ලිපි පෙළක "සමාජවාදී පන්තිය" කියල වදනක් නිර්මාණය කරනවා. (හරි කොහෙන් හරි අහුලා ගෙන පරිවර්තනය කරන්නත් ඇති) මේක මම මෙතැනත්  කියල තියනවා.  ඔය කතාව මට හරියටම තේරුනේ 1989, 1990 කාලේ උපාධි පාඨමාලාව අවසන් වෙන කොට වගේ.  සමාජවාදී පන්තියට අනුව තමයි සෝවියට් මිනිහෙකුගේ ඉරණම තීරණය වුනේ. තීරණය කළේ. කොටින්ම සමහර  විදේශික ශිෂ්‍යයන් අති  විශාල ධනවතුන් කළේ , සමහරුන්ව නැත්තටම  නැති කළේ ඔය සමාජවාදී පන්තියේ සමහරු. ඒ ගොල්ලන්ට ගෑ වෙන්න ඉන්නේ නැතිව ශේප් එකේ උපාධිය අරගෙන ලිස්සල යන එක තමයි හොඳම කියල තේරුම් අරගෙන තමයි හුඟක් ශිෂ්‍යයෝ වැඩ කළේ. හැබැයි ඉතින් "සමාජවාදී පන්තිය" එක්ක හොඳට හිටියම රටවල් වල තානාපතිල ඇමතිලා වෙන්න තරම් ඒ සම්බන්ධතා බලවත් වෙනවා.

ආ නලින් ද සිල්වා ගැන කියන කොට තවත් දක්ෂිණාංශික වීඩියෝවක යොමුවක්  ඒ ලිපියෙම ප්‍රභාත් කියන මහත්මය දමල තිබුන. ආචාර්ය නලින් ද සිල්වගේ දිග සාකච්චාවක්. අර ජාතිවාදී කියල හිතන කතා ටික අත හැරියොත් ලංකාවේ "නිදහස් අධ්‍යාපනය " ඇති වෙච්ච හැටි ගැන හෙම වැදගත් කරුණු රැසක් දැන ගන්න පුළුවන්. අයින් රෑන්ඩ් ගේ  පොත් මෙන්ම මේවල වුනත් හැම දෙයක්ම කියවලඅහල  සහතික ඇත්ත හැටියට ගන්න ඕනේ නැහැ. මෙහෙම දේවල් වුණා හෝ වෙලා තියෙනවා කියල ලබන අවබෝධය වැදගත්.

ආ එතකොට අර ගියපාර ලිපියේ ලියල තිබුන වගේ ජවිපෙ, පෙසප, පෙරටුගාමී උදවියගේ ළමයි පෞද්ගලික විදුහල් වල ඉගෙනීම, ටියුෂන් යැවීම වගේ දේවල් ගණන් ගන්න හොඳ නැහැ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ හෝ වෙන කොහේ හරි ජොබක් කරගෙන ළමයින්ට උගන්න ගෙන ශේප් වෙලා ජිවත් වෙන්නේ නැතිව අමාරුවෙන් හරි විරෝධතාවයක්  කරන එකත් හොඳයිනේ. ඒවා අගය කරන්න ඕනේ. ආත්මාර්ථකාමී අපි වගේ උන් යන්නෙත් නැති එකේ. පුංචි හරි සාකච්ඡාවකින්, භාවිතාවකින් විප්ලවයක් තවමත් කර ගන්න බැරී  වුණානේ කියල හිතට එන  සාංකාව (nostalgia) මග හැර ගන්න වුනත් පුළුවන්. භාවිතාව  වැදගත්.

වෛද්‍ය වෘත්තීය රැක  ගන්න සටන් කරලා සමාජවාදයට යන්න බැහැ කියල කවුරුත් කියල නැහැ.

"සාදු කියන්න පින්වතුනි"


ප.ලි. -ශිෂ්‍යයන්ව  නිදහස් කරන්න. මොකද ඔයිට  වඩා වැරදි කරලා  හිරේ යන්න නියමිත අය ආණ්ඩුවේත් ඉන්න නිසා. සුදු වෑන් කටහ්වක් ආයිත් යනවා. ඇත්ත හරියට දන්නේ නැහැ. ඕව නම් මරි ඩ වැඩ. කරන්න හිතනවා නම්. හැබැයි ඉතින් ආණ්ඩුවටත් පෙසපෙටත් අවශ්‍යම දේ තමයි වෙන්නේ කියලත් හිතෙනවා.