Saturday 25 December 2021

සුභ නත්තලක් කියනවද සුභ නිවාඩුවක් කියනවද

මේ ප්‍රශ්නය මට නිතර හිතෙන දෙයක් නත්තල් කාලෙට. දැන් ක්‍රිස්තියානි ආගම අදහන්නේ නැති අයත් නත්තල සමරන නිසා. මම අහල තියෙන්නේ රෝම අධිරාජ්‍යය පගන් ආගමිකයන් ගේ දවසක් නත්තල ලෙස අරගත්තා කියල. රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳ ගත්තට පස්සේ අනිත් ආගමිකයන් කොන් නොකරන්න ගත්ත හොඳ පියවරක් කියල මට හිතෙන්නේ.

මම ආගමික නොවන කෙනෙක්. නිරාගමිකද කියන්න දන්නේ නැහැ මොකද මම  මොන දහමකට වත් ඇලෙන්නේ නැතිව ඉන්න හදන කෙනෙක් නිසා. දෙවියන් නොඇදහීම හා ආගමික නොවීම සෝවියට් දේශයට යන්න කලින්ම  දහයේ පන්තියේ ඉඳන් වගේ තිබුන අදහසක්. එනිසා ඒ මතවාදය සමග සම්බන්ධයක් නැහැ.
හැබැයි මම පුරාණ විහාර වලට  යන්න තවමත් කැමැතියි. ඒ දවස් වල හුණුපිටියේ ගංගාරාමය හරිම චාම් නිදහස් නිහඬ තැනක්. බෝ මළුවේ ඇවිදින්න නැත්නම් සීමා මාලකය වටේ පෝය දවසට නිහඬව  ඇවිදින්න මම හරි  කැමතියි. ඒ කාලේ දැන් වගේ පැය දහ හතරක්ම  ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරපු  විහාර තිබ්බේ නැහැ. 
සෝවියට් දේශයේදී මගේ යහළුවකු හා ක්‍රිස්තියානි ආගමිකයකු වන මැක්සිම් සමගත් තවත් යෙහෙළියක වන ලූදා සමගත් පල්ලි වලට ගිහින් තිබෙනවා. ගිහින් ඉටිපන්දම පත්තු කරලා ඒ ගොල්ලෝ වැඳලා එනකන් පැත්තකට වෙලා ඉන්නවා. ඒ පල්ලිවල රැකගෙන තිබුන පුරාණ කුරුස, වෙනත් ඇදහිලි කරුවන්ගේ භාණ්ඩ බලන්න මම කැමතියි. මගේ ජර්මන් බිරිඳ හමුවුන  දවස් වලත් අපි ප්‍රොතෙස්තන්ත හා කතෝලික පල්ලිවලට ගියා,  එයා පන්සලටත් ආව. 



නත්තල සමරන්න එයා හැම  වෙලේම නත්තල් ගහක් හැදුව. මට තේරුණා එයා ඒක කරන්නේ අපි අවුරුද්ද සමරනවා වගේ කියල. එයාගේ මව්පියන්නුත්  ඒ දේම කරනවා. නැගෙනහිර ජර්මනිය අදේවවාදික කියල අපි හිතන් හිටියත් ඔවුන් ඒ කාලෙත් ඒවා කරලා තිබෙනවා. ඒක  උරුමයෙන් ඇවිත් තියෙන්නේ. එයාට මතකයි සීයල ආච්චිලා කරපු  හැම දෙයක්ම  වගේ. ඉතින් ජර්මනියේ  වගේ චාරිත්‍ර මෙහෙත්  කරනවා. ජේසු බිළිඳු උපන් විධිහ සමරන නාට්‍ය වලට දුවල දෙන්න  පොඩි කාලේ සහභාගී වුනා. බිරිඳත් ඒ සිදුවීම සමරන්න පොඩි ගව ලෙනක්  හදනව. 


 එයාගේ හිතට ඒක සමීප නිසා මමත්  නත්තල එයා සමග සමරන්න ගත්ත. දූලා  දෙන්න ලැබුනම නත්තල ඊටත්  වඩා වර්ණවත් වුනා. මොකද අපි හැමවෙලේම නත්තලට ජර්මනියට ගිය නිසා. ජර්මන් නත්තල් මාකට් හරිම විසිතුරු තැන්. හරියට ලංකාවේ වෙසක් බලන්න යනවා වගේ.  ඒවායේ නොයෙකුත් කෑම ජාති තිබෙනවා. මම කැමතිම බ්‍රට්වර්ස්ට් කියන ගින්නේ පළහා  දෙන සොසේජය කන්න. තුරින්ගියා ප්‍රදේශයේ හදන එක තමා රහම. ඊට අමතරව නොයෙකුත් කුළුබඩු වර්ග , පලතුරු යුෂ සහ රතු වයින් දමල හදන මුල්ට් වයින් (මල්ඩ් වයින් mulled wine ) කියන උණු බීමක් පානය කරනවා. ඒකෙන් සීතල මග හැරෙනවා.

නත්තලට කලින් කිසියම්  අපහසුතා  ඇති පවුලකට, ළමයෙකුට හෝ වැඩිහිටි  කෙනෙකුට උදව්වක් ආධාරයක් කරන එකත් සිරිතක්. මම ඒ ගැන විස්තර ලියන්න යන්නේ නැහැ. නිහඬව  කරන දෙයක් නිසා. 


නත්තල් පටන් ගන්න කාලෙක ලෝභ මිනිසෙකු ගැන (scrooge) හෝ අළු කෙල්ල (සින්ඩරෙල්ල වගේ කතාවක්), නට් ක්‍රැකර් වගේ නාට්‍යයක් හෝ  ඔපෙරාවක් බලන්න යන එකත්  සිරිතක්. අවුරුදු තුනකට පස්සේ අපිත් ගියා ලන්ඩන් වල ඔල්ඩ්විච් නෘත්‍ය  ශාලාවේ ටීනා ටර්නර් ගැන තියෙන සංගීත නාටකය බලන්න. උත්සව සමය ජර්මනියේ පවුල් පටන් ගන්නේ  ඒවගේ දේවලින් . නගරයේ නත්තල් සැරසිලි බලන්න ඊට පස්සේ යනව. අපිත් ගිය කවෙන්ට් ගාඩ්න් කියන මැද ලන්ඩනයේ ප්‍රදේශයකට. 




දෙසැම්බර් 24 ක්‍රිස්මස් දවසට කලින් දවසේ  පවුලේ ඔක්කොම එකතු වෙනවා. එදාට පවුලේ අය විතරයි රෑ කෑමට එකතු  වෙන්නේ. රාත්‍රී කෑමට මාළු වලින් හදන යමක්.   ඉනෙස් ගේ මව මගේ දුවලගේ  තරුණ මිත්තනිය (එයා මට මහලුයි කියල හිතෙන්නේ නැහැ) කෑම මේසය හදනවා ඒ දෙන්න එක්ක. මාළු කෑම, ඒක ජේසුස් වහන්සේ සම්බන්ධ දෙයක් නිසා කියා මම හිතන්නේ. ඔහුගේ ධිවරයන්  සමග සම්බන්ධය හෝ ඔහු උපන් දවස නිසා එදාට මස් කන්නේ නැහැ. මම හරි හේතුවක් දන්නේ නැහැ. කෑමෙන් පස්සේ නත්තල් සීයා එනව රෑට තෑගී අරන් . දුවල ටිකක් ලොකු වෙනකොට දැනගත්ත එයාලගේ ජර්මන් මාම තමා එහෙම ඇඳගෙන එන්නේ කියල. එයාලා දැනගත්තත් ඒක පෙන්නුවේ  නැහැ. මගෙන් හොරෙන් ඇහුව. මමත් කීව ඔව් ඒ වුනාට ඒක ප්‍රසිද්ධියේ  කියන්න ඕනේ නැහැ කියල. දැන් ඒ වෙනුවට තෑගී ඔක්කොම ක්‍රිස්මස් ගහ පාමුල තබනවා.  වඩා හවස් වෙනකොට පොඩි පොඩි නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර්  liquor වර්ග හා කෝපි  බොමින් ගිය අවුරුද්දේ සිදුවූ සිදුවීම්, හිනා යන දේ, කළ වැරදි තීරණ ගැන කතාකරනවා.  


මේ කාලෙට කන්න විශේෂ කේක් එකකුත් හදනවා. ඒකට කියන්නේ  ස්ටොලන් කේක් කියල. ටිකක් ලංකාවේ වෙඩින් කේක් වගේ හැබැයි වඩා ළා පාටයි. පලතුරු, වියළි මිදි , ඇල්මන්ඩ් නට්ස් හෙම දාල හදන්නේ.   ගොඩක් කල් තබාගෙන කන්න පුළුවන්.
   මේ සම්ප්‍රදායන් අපේ අවුරුදු, වෙසක් කාලේ වගේ ආදරණිය දේවල් හැටියට මට හිතෙන්නේ.

කෝවිඩ් නිසා අපට අවුරුදු තුනක්ම ජර්මනි යන්න බැරිවුනා.  නමුත් අපි හැකිතාක්  මගේ මාමා හා නැන්දගේ චාරිත්‍ර  ඒ විධිහටම කරනවා.   ඊයේ හවස ඉනෙස් හැදුව ලොකු  සැමන් මාළුවෙක්. ලංකාවේ  සැමන්  මාළු කියන්නේ ටින් මාළු වගයක්. මෙහෙ සැමන් මාළුවා තමයි ගන්නේ. 

 අපි  ජපන්/චීන ආකාරයේ එළවලු දාපු ඩම්ප්ලින්  කෑවේ මූලික ආහාරයට. ඊට පස්සේ සැමන් මාළුවා සුදු වයින් සමග.  ඊට පස්සේ අතුරු පස. පවුලේ කට්ටියම එකතුවෙලා කතා කර කර ඉඳල සාමාන්‍ය දැනීම ප්‍රශ්න  අහන සෙල්ලමක් කළා. එහෙම  සෙල්ලම් ජාති කරන එකත් සිරිතක්. අවුරුද්දට  පංචි දමනවා වගේ.

අද ක්‍රිස්මස් දවස. අපි හතර දෙනාගේ තෑගි හුවමාරු කරගෙන හිටිය. අපි දෙන්නටම දුවල  කැමති  පොත් වගයක්   දුන්න වෙනත් තෑගි වලට අමතරව. එයාල ඒවා කියවනවා.

ජර්මනියේ ක්‍රිස්මස් දවසේ දවල්  කෑමට එංගලන්තේ  වගේ කළුකුම් මස්ම  ගන්නේ නැහැ. ඒ කාලෙට ජර්මනියේ කැලෑ සතුන් මරන්න අවසර දෙනවා. ඉතින් ගෝන  මස්, මුව මස්, වල ඌරු මස් සහ වල් පාත්ත   මස් සුලභයි. මාමණ්ඩිය මුළු පවුලම අවන්හලකට නත්තල් දවසේ දවල්ට කෑමට එක්කන් යනව . නැත්නම් නෑදෑ ගෙදරක ගියාමත් අර මස් ජාතිම තමා   තමා කන්න දෙන්නේ. එළවලු විතරක් කන කෙනකුට ටිකක් අපහසු කාලයක් මේක.



අපේ නිවසේ අද ඒ වගේම පාත්ත මසක් හැදුව. ඒකට අලවලින් හදන ඩම්ප්ලින් (dumplin) සහ රතු ගෝව අනිවාර්යයි. සෝස් එක හදන්නේ හතු දාල. ඊට නත්තල් කාලෙට අනිවාර්යයෙන්ම කන බ්‍රසල්ස් ස්ප්‍රවුට් කියන බෝල වගේ පොඩි ගෝව ගෙඩි වගේ ජාතියකුත් තියනවා. ඊට පස්සේ නැවතත් කේක් කාල කොපි බොනවා. දැන් කට්ටියම චිත්‍රපටයක් බලනවා. හැබැයි පවුලම එකතු වීම සහ කාලය හොඳින් සතුටින්  ගත කිරීම වැදගත්. මගේ බිරිඳ සාමාන්‍යයෙන් පල්ලියට යනවා එදාට.ජර්මනියේ දී  නම් අනිවාර්යයෙන්ම මාමයි නැන්දයි එක්කන් යනවා. මෙහෙ නම් අපිට කියල ඒ වගේ පල්ලියක් නැහැ . මුලදී ගියත් දැන් ළමයි දෙන්න වැඩිය යන්න කැමති නැති නිසා ඉනෙස් යන්නෙත් නැහැ. ඒ වෙනුවට නත්තල් ගීත ගෙදර ඉඳන් අහනව. 

මේ කාලෙට බැදපු  චෙස්ට්නට් ගෙඩි වල මදේ  කන එකත් සිරිතක්. ටිකක් බැදපු කොස්  ඇට වගේ කියල යාළුවෙක් කීව.

 
ඕක  තමා අපේ නත්තල.  අවුරුද්ද වගේම  මේකත් මට ආදරණිය දෙයක්.ඒ නිසා  මම කොහොමත් නත්තල සමරනව පවුලේ අය එක්ක. ආගමික උත්සවයකට වඩා අපේ පවුලට සම්බන්ධ සංස්කෘතික අංගයක් කියලයි මට හිතෙන්නේ.යහළුවෝ,  ක්‍රිස්තියානි නොවන වගේම නත්තල සමරන්නේ නැති බව මට හිතුනොත් මම කියනවා සතුටු නිවාඩුවක් ලැබේවා කියල. අනිත් අයට සුභ නත්තලක් කියල.   

මේ කාලය හැමෝටම ඉතා අමාරු කාලයක්. හැම රටක්ම ප්‍රශ්න. අපට නත්තලින් ගන්න පුළුවන් හොඳම  පණිවිඩය කියල මට හිතෙන්නේ  ඔබේ අසල්වැසියා, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙලියන් සහ අමාරුවෙන් ජිවත්වන හැමෝම ගැන හිතන්න කියල. අපට ඒ අය වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් කරන්න කියල. 
ඔබ සියල්ලට සුභ නත්තලක් සමග සතුටු හා ප්‍රීතිමත් නිවාඩු සමයක් සමග දුක් කරදර, ලෙඩ රෝග  අඩු සතුටුදායක  නව වසරක් වේවා. 

  
  


Saturday 18 December 2021

දේශපාලන තේරීම





දේශපාලනය ගැන කතා කිරීමට හෝ ලියන්නට නොයන්නෙමියි අවුරුද්දකට පමණ පෙර තීරණයක් ගතිමි. නමුත් ඒ තීරණයට අනුව ක්‍රියා කිරීම ඉතා අපහසු බව සීඝ්‍රයෙන් වැටහෙමින් තිබේ. සමාජ මාධ්‍ය ජාලා දෙස බැලූ විට බොහෝ අය පසුගිය ශ්‍රී ලංකා චන්දයේ ගෝඨා රජය දිනවන්නට චන්දය දුන් හැට නම ලක්ෂයක් ජනතාවට දෙස් දෙවොල් තබනු පෙනේ. මගේ අදහස නම් ලංකාවේ චන්දදායකයා චන්දය දුන්නේ ඒ කාලයේ තිබූ ඔවුන්ට චන්දය දෙන්නට තිබූ තේරීම අනුව හොඳම තේරීම හෝ නරක අය අතුරින් හොඳම තේරීම  යයි ඔවුන් සිතා  සිටි අපේක්ෂකයාට බවයි. ඒ නිසා තව දුරටත්  ඔවුන්ට දෙස් දෙවොල් තැබීමේ පලක් නැත. 

ඒ අතර මගේ මිතුරකු වන සරෝජ් පතිරණ නව ව්‍යවස්ථාවක් රජය මගින් රහසේ ගෙන එන බවට දැන ගන්නට ඇති නිසා  ඒ ගැන කතිකාවක් කිරීමට  එකඟ වන්නේ දැයි විමසා සිටියේය.  කතිකාවට සහභාගී වීමට මිස කාටවත් කඩේ යාමට නම් සූදානම් නැති බව මම ඔහුට පැවසුවෙමි. එම කතිකා කණ්ඩායමට එම කොන්දේසිය මත ඇතුලත් වුනෙමි. බොහෝ විට නව රජයක් පිහිටවූ පසු මෙවන් කණ්ඩායම් වල නයුවන්ට රාජ්‍ය පදවි ලැබී ඔවුන් වාෂ්ප වී යන නිසා මෙයත් එවන් එකක්දැයි තවමත් නොදනිමි.

දැනට ශ්‍රී  ලංකාව පත්ව ඇති තත්වය අනුව ඉදිරි ජනාධිපති මැතිවරණය තීරණාත්මක එකක් වනු ඇතැයි සිතමි. අපේක්ෂයකන් ගණනකින් හොඳ කෙනෙකු  තෝරා ගැනීමට නම් ඔහුගේ හෝ ඇයගේ අපට මතුපිටින් පෙනෙන හොඳ නරක ලියා  බැලීමට සිතුවෙමි. තවත් අදහස් ඇත්නම් ප්‍රතිචාර ලෙස දමන්න. 

මම පිටරටක ජීවත් වන නිසා මේ අයගෙන් කවුරු දිනුවත් මට ප්‍රශ්නයක් නැත. ලංකාවේ සිටින ළඟ නෑදෑ හිතමිතුරන්ට නම් එය  එසේ නොවේ. එනිසා පිටරට සිටින නිසා වැඩක් බලාගෙන සිටින්නැයි මා  හට  කීමෙන් ද පලක් නැත. හේතුව නම් මා  කවදාවත් කදමලු බැඳගෙන චන්දය දෙන්නට. බෝඩ් ඔසවාගෙන ලංකාවට ජාතියේ අයෙකු නොවන හෙයිනි. එසේම අප වෙසෙන රටවල ඇති මානව නිදහස, රැකියාවක් කිරීමේ නිදහස, දේශපාලන බලපෑමකින් තොරව ජිවත් වීමේ නිදහස, දියුණු සමාජ තත්වය ලංකාවේද තිබිය යුතු යයි විශ්වාස කරන්නෙක්මි. 
පළමුවෙන්ම විපක්ෂ නායකයා ගෙන් පටන් ගනිමු. 


සජිත් ප්‍රේමදාස - මා  ඔහු හැබැහින් දැක තිබුනේ රාජකීය විද්‍යාලයේ උගත් අවධියේය.  යහළුවන් සමග කඩලේ හිටි පෙදෙසේ ඔහු සැරි  සරනු  දැක තිබේ. ඒ දිනවල ඔහු රටේ අග්‍රාමාත්‍යවරයා ගේ  පුතාය.   ඔහු හොඳ  ගිටාර් වාදකයෙකු  බවද තැනින් තැන  දුටිමි. එසේම සතා සීපාවට ගහට කොළට ආදරය කරන අයෙකු බවටද ඇතැම් යහළුවන් පවසා  තිබේ. 
හිටපු  ජනාධිපති අපේක්ෂකයා හැටියට මෙතුමා බැලුවේ අනිත් එවැන්නන් සේම  තම හිටපු ජනපති පියාගේ පහණින් එළිය  බලන්නට බව මට සිතේ. ලංකාවේ දේශපාලනයේ  අනිත් හැමෝම (නාමල් රාජපක්ෂ ද ඇතුළුව ) වාගේ එහෙව් අය  නිසා අපට  එහි වරදක් දැකීමට එක වරම නොහැකිය. නමුත් එය වැරදිය.  පුතණ්ඩියාලාට  තමාගේ පහනකින් එලිය බලන්න බැරිනම් මිලියන 20 කට ඔවුන් එළිය  දෙන්නේ කොහොමද?

ඔහු ගැන ඇති මගේ  ඊලඟ ප්‍රශ්නය නම් බලයට පැමිණි පසු රට කරවන්නේ ආර්යාවන් දෙදෙනාමද යන්නය? එය ඇත්තටම බරපතල ප්‍රශ්නයක් මෙන්ම  ඔහු විසින් පිළිතුරු දිය යුතු එකකි. ඔහුට විරුද්ධ බොහෝ අය නගන චෝදනාවක්  වන්නේද එයයි. ඊලඟ ප්‍රශ්නය නම් ඔහු  පාක්ෂිකයන්ට රක්ෂා දෙන හැටි පෙන්වන වීඩියෝවක් ගැනය. එතන රැකියා දෙන අන්දමේ තේරීම කෙසේ වුවත් ඔහුගේ උද්දච්ච විලාසය අමතක කිරීමට නොහැකිය. එසේම ඔහුට පක්ෂය තුල ඇති බලය ගැනද මට විචිකිච්චාවක් තිබේ. තවත් අවාසියක් නම් ඔහු ගෝඨාභය ජනතිපති තුමා ආරක්ෂක ලේකම් සමයේ ඔහුගෙන් ලබාගෙන ඇති  බවට (ඔහුගේ සොහොයුරියට උදව්  ගැන  කතාවක් සමාජ මාධ්‍ය හා පාක්ෂික නොවන අය අතරේ සැරි සරයි. ඔහුගේ ආර්ථික පිළිවෙත ගැනද  මට දැන ගන්නට දෙයක් නැත. ඔහු නිවාස  ඇමතිව සිටි සමයේ කළේ මොනවාද යන්නද සෙවීමට අමරුය. මා දන්නේ ඔහු පන්සල් වලට මුදල් බෙදා ගෙන ගිය වගක් හෝ දහම් පාසැල් ගොඩනැගිලි පිහිටුවීමට මුදල් දෙන බවකි. එසේම තමන් අනුර බණ්ඩාරනායක මෙන් ඔටුන්න හිමි කුමරෙකු බවට ඔහු සිතන බවක්ද කියුම් කෙරුම් වලින් මට හැඟේ.

ඔහුගේ පියා  කළ හොඳ  දේවල් අතර ගාමන්ට් කර්මාන්ත ශාලා පිහිටුවීම,  ඒවා ගැන සක්‍රිය ලෙස  සොයා බැලීම, ගම් උදාව තුලින් නිවාස  ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ආදියද ඇතුළත්ය. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාට  ජේ ආර් භාර දුන්නේ දෙකොණ පත්තු වුනු ගිනි හුලක් බඳු රටකි. පත්තු වීගෙන පැමිණ මැද සිටි ඔහුත් දවාගෙන ගිනිහුල නිවී ගියේ දරුණු ප්‍රශ්න රාශියක් හා කැඩී බිඳී ගිය ලංකික සමාජයක් ඉතිරි කරමිනි.  ප්‍රේමදාස මහතා  කොටි සංවිධානයට ආයුධ දුන්නේ  උපක්‍රමශීලි ලෙස යයි සිතමි. නමුත් එයද ආපස්සට පත්තු වුනි. සජිත් ට     ජනාධිපතිවරණය ජය ගන්නට නම් පියාගේ කාලයේ කළ හොඳ ඉස්මතු කරන ගමන් ඒ කාලයේ ඇති කළ ප්‍රශ්න වලටද ඔහුගේ අදහස් පැහැදිලි කළ යුතු යයි සිතමි. පියාගේ අඩි පාරේ යාමට සපත කරන්නේ නම් ඔහු කල හොඳ ගැන  කියන ගමන්ම   කළ වැරදි වලට සමාව ඉල්ලීමේ කාලයද මෙය විය හැකිය.  එසේ නමුත් ඔහුට ජය ගන්නට නම්  මේ ආණ්ඩුව මීට  වඩා ජනතාවට එපා විය යුතුය.




චම්පික රණවක - චම්පික රණවක හා ඔහුගේ හතලිස් තුන්වන  සේනාංකය දැනට සිටින්නේ සජබ සමගය. චම්පික ඇමතිවරයෙකුව සිටියදී ඔහුගේ වැඩ ගැන මෙන්ම ඔහුගේ නගර සංවර්ධන  සැලසුම් ගැනද මට තිබුනේ  සාධනීය හැඟීමකි.  නමුත් කාලයකට ඉහත ඔහු සමග කටයුතු කළ බොහෝ මිතුරන් කියන්නේ ඔහු විශ්වාසයට ගත නොහැකි තමන්ගේ වාසිය ලැබුණු වහාම යහළුවන් සියල්ලෝමත්,   තමන්  එතෙක් කල කී දෑ සියල්ලමත් හැර දමා යන අයෙකු  බවයි.  (නමුත් අසිරිමත් සිරි ලංකාවේ බොහොමයක් දේශපාලකයන් කරන්නෙත් එයම නොවේද?)  මේ  කියන අය බොහෝවිට ඔහුත්  සමග ජාතිවාදී පිලේ සිටි අය විය යුතුය.  ගම්මන්පිල දරන්නේද එබඳු අදහසක් විය හැකිය. රටේ නායකයා වීමට ඉලක්කයක් තිබිම වැරැද්දක් නොවේ. නමුත් එක්නැළිගොඩ ලිව්වා යයි කියන ලිපියක් ගැන රටේ ප්‍රසිද්ධ කතාවක් ඇත. ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයිද යන්න  මා නොදන්නා  එම ලිපිය ගැනද බොහෝ අය නිතර සිහිපත් කරති. අනික නම් ප්‍රසිද්ධ නිළියක් ඔහුගේ වාහනයේ සිටි නිසා කෙනෙකු පිටුපසින් පැමිණ ඔහුගේ රථයේ වැදුනද තම රියදුරා පටලවා  ඔහු පලා ගිය බවයි. රිය අනතුරට තමන්ගේ අතේ වරදක් නොවුනත් ඔහු එසේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහුද අනිකුත් දේශපාලකයන් මෙන්ම දූෂිත පැත්තට බර අයෙකු බව බොහෝ අය තර්ක කරති. චම්පික රණවක ගේ ජනාධිපති සිහිනයට ඔහුගේ අතීතය ඉමහත් බාධාවක් වී ඇතැයි මට සිතේ.


නමුත් ඔහු සිටින අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු අධ්‍යාපන මට්ටමක් ඇති, වඩා තාර්කික ලෙස සිතන සහ ප්‍රමාණවත් ලෙස රටක් සංවර්ධනය කිරීම පිලිබඳ තමන් ගේම අදහස් ඇති අයෙකු ලෙස මට පෙනේ. 
ඔහුට ජනාධිපතිවරණය ජය ගැනීමට නගින්නට තිබෙන කන්ද අපහසු එකකි. යහපාලනයට  සහය දුන් සිවිල් සංවිධාන, කුඩා පක්ෂ (රනිලේ ගේ කුඩා එජාපය ඇතුළුව )  එකතු කර ගැනීම අනිවාර්යය. සමහරවිට පරණ මිතුරා  ගම්මන්පිලද රාජපක්ෂ පිලෙන් හැලීගෙන යන වෙසක් මවා පාන විරවංශ සහෝදරයාද එක්කර  ගත හැකිය. අනුර  කුමාර දිසානායක සමග ගිවිසුමකට එළැඹීමද වැදගත්ය. එසේ විය යුත්තේ  ජවිපෙන් ඔහුගේ අපේක්ෂකත්වයට  දැඩි තර්ජනයක් එල්ල වනු  නිසැක  බැවිනි.   නමුත් සජිත් ප්‍රේමදස සිටියදී ඔහුගේ අපේක්ෂකත්වයක් ගැන සිතීම අපහසුය. 



 නාමල් රාජපක්ෂ - කලින් දෙදෙනා තරම් පළපුරුදු දේශපාලකයෙක් නොවූවද නාමල් රාජපක්ෂ දේශපාලන තලයේ ඉක්මන් ගමනක් යන්නෙකි. වෙන රටක් සමග නොව තම රටේ පිරිසක් සමග අභ්‍යන්තර යුද්ධයක් කොට වෙන රටක් සමග  යුධයක් කොට දිනූ ලෙස සමරන යුද්ධය නිමකළ දේශපාලන නායකත්වය ඔහුගේ පියා ගේය. හමුදා නායකත්වය බාප්පා ගේය. හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන පවුලකින් පැවතෙන ඔහුට රාජ්‍යයේ භාරකාරත්වය දක්ෂිණ ආසියානු පසුගාමී චන්ද දායකයන් සිටින රටක නිතැතින්ම හිමිවිය හැකි ඔටුන්න හිමි කුමරා ඔහුය. ඔහු ඒ සඳහා  දැන්ම සිටම සූදානම් වෙයි. ඔහු පැරදීමට නම් සජිත්ට මෙන්ම ගෝඨාභය ආණ්ඩුව මීට වඩා තවත් අදක්ෂ එකක්   විය යුතුය. නාමල් රාජපක්ෂ තම පියා මෙන් හොඳට හෝ නරකට ජනතාව අතරට යන්නෙකි.   ඔහු පෙන්වන "නිරහංකාර " කමට මිනිසුන් කැමතිය. ගෙවල් වල තීන්ත ගෑමේ සිට මළ ගෙදරක හැමෝම සමගම අයියා , මල්ලි , මාමේ , නැන්දේ ලෙස අමතා කතා කරන බව මා අසා ඇත. ඔහුට ඇති  ලොකුම අවාසිය නම් රාජපක්ෂ  පවුලට අයත් වීමේ වාසියම සමහර විට  අවාසියක් විය හැකි වීමය. මේ ආණ්ඩුව තවත් චොර වුවොත් නාමල් රාජපක්ෂට ලෙහෙසි නැත. නැතහොත් හොඳ දේශපාලන දැක්මක් ඇති යයි නොපෙනුනද සජිත් ප්‍රේමදාස ට හොඳ  සටනක් දී දිනීමේ හැකියාවක් නාමල් රාජපක්ෂට ඇත. මගේ අවසන් ප්‍රශ්නය නම් නාමල් රාජපක්ෂ වැන්නෙකුගේ දේශපාලන දෘෂ්ටිය කුමක් විය හැකිද යන්නය. එය තවමත් ඔහු විසින් එළි දක්වා නම් නැත. පියාට මෙන් දිනා පෙන්වන්නට යුද්ධයක් නැති තැන සමහර විට යුද්ධයක් මවා ගැනීමට ඉඩක් ඇත්ද යන්න නොදනිමි. 



අනුර කුමාර දිසානායක -  අනුර කුමාර දිසානායකට තර්ජන එල්ල වන්නේ ප්‍රධාන වශයෙන්  පොහොට්ටුවේ ආධාරකරුවන් ගෙන්   හා ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදීන් ගෙන්ය. ඔහුගේ දක්ෂ කතා විලාසයත් , කියන කරුණු වල තාර්කික සත්‍ය භාවයත් නිසා මේ සියල්ලෝම සජිත්ට වඩා ඔහුව සතුරෙකු ලෙස  සලකන බව පෙනේ.  ඔහුගේ පුංචි අම්මා ගැන කියන කතා  සහ දරුවා හොඳ පාසැලකට  යැවීමේ සිට රැකියාවක් අරන් දීමේ කතාවේ මඩ ප්‍රහාර හැටියට සලකමි. නමුත් ලංකාවේ චන්ද දායකයා  යනු එවැනි කතා වලින් ඉක්මණින් සැලෙන්නකි. ඔහුට අයත්  අයර්ලන්තයේ ඇති නිවසක් ගැන  ප්‍රශ්නයක් ද තිබේ. මට නම් එය ප්‍රශ්නයක් නොවුනද ලංකාවේ චන්දදායකයා සිතන්නේ සමාජවාදීන් ට තිබිය යුත්තේ නිවෙස් නොව පැල්පත් කියාය. එනිසා පිටරටක නිවසක් තිබීම පාපයක් විය හැකිය.
ඔය පැල්පත් කතාවේ මූලය ද ජවිපෙ බයියන්ගෙන් ම එන දෙයකි. ඔවුන්ගේ ස්වර්ග රාජ්‍යය කියුබාවය. කියුබාව ගැන මගේ ලිපියක් මෙහි ඇත. මගේ කියුබන් මිතුරන් කියන අන්දමට ඔවුන් 1991 සෝවියට් දේශය බිඳ වැටුණු පසු ගත කළේ අභාග්‍ය සම්පන්න කාලයකි. ඔවුන් යන්තම් ජාම බේරා ගත්තේ ඇමරිකන් සම්බාධක නොතකා යුරෝපා සංගමය සංචාරකයන්ට යාමට ඉඩ දීමෙන් හා සීමිත වෙළඳ කටයුතු ආරම්භ කිරීමෙනි. එසේම වෙනිසියුලාවද තෙල් දීමෙන් උදව් කළේය.  කස්ත්‍රෝ සහෝදරයන් විසින් කියුබානුවන් ට වෙනත් රටවල රැකියා කර මුදල් එවීමට සැලසුවේ මින් පසුවය. . ශ්‍රී ලංකාව එය කරන්නට පටන් ගත්තේ කස්ත්‍රෝ ලාට කලින්ය. සමාජවාදය යනු නිර්ධනීන්  වැඩි කිරීමක්  නොව ඔවුන්ට හොඳ ජිවනෝපාය මාර්ග සැලසීමක්  බව කෙසේ හෝ කට්ටියට අමතක වී ඇත.

මගේ රාජකීය විදුහලේ මිතුරකු යොමුවක් එවීම නිසා දැනගත  මහාචාර්ය චන්දිම ගෝමෙස් ගේ බ්ලොගයේ ජවිපෙට ඊළඟට රට භාර දිය යුතු යයි පවසා  ඇත. මේ යොමුවෙන් ගොස් බලන්න.  එහි ප්‍රතිචාර තීරුවේ නීතිඥ වරියක හොඳ ප්‍රශ්න වගයක් නගා තිබේ.

මට හිතෙන්නේ අනුර/ලාල් කාන්ත/ටිල්වින් කණ්ඩායමට ඇති ප්‍රධානම ප්‍රශ්නය ඔවුන්ගේම ජවිපෙ බයියන් බවයි. ජවිපෙ සාමාජිකයන්යන් ගෙන් බොහොමයක්  තවමත් කියුබාවට අමතරව  පොල්පොට් හා ස්ටාලින් වන්දනා කරන්නවුන්ය. පොල්පොට් ට වඩා ස්ටාලින් හොඳ වුවත් ස්ටාලින් ගේ අන්දමේ පාලනයක් අද දවසේ  ගෙනයාමට නොහැකිය. එවැනි පාලනයක් දැන් ඇත්තේ උතුරු කොරියාවේ පමණකි. ජවිපෙන් තවත් කොටසක් විජේවීර/සෝමවංශ කාලයේ මෙන් ජාතිවාදින්ය. ශ්‍රී ලංකාවට ඇති දේශ ප්‍රේමය කිසියම් ආකාරයක  ජාතිවාදයක් බවට හැරෙව්වේ විජේවීරය. එය වැඩිදුර ගෙනියමින් තම පක්ෂයට 88-89 කාලයේ දරුණු දඬුවම් දුන් හමුදාවට පසු කලෙක සහය දුන්නේ සෝමවංශ ය. ඒ කාලයේ කුමාර් ගුණරත්නම් හා අනුර කුමාර දෙදෙනාම සිටියේද ඔය ජවිපයේමය.


වර්තමාන ජවිපෙ නායකයන් එම දර්ශනයෙන් සෑහෙන ඈතකින් සිටිනා  බව පෙනුනත්  සාමාජිකත්වය තවම සිටින්නේ අතනය.එනිසා ඔවුන් තීරණාත්මක මොහොතක හැරෙන්නේ  විමල් විරවංශ ගේ පැත්තටය.  ජවිපෙ  හැමදාම චන්දයක දී සීයට තුනේ සිටින්නේ මේ නිසාය.

මගේ අදහස නම් අනුරකුමාරලා සඳළු තලයෙන් බැස ආ යුතු බවය. ලෙනින් වගේ වෙන්නට නම් ඔහු වගේ ක්‍රියා කල යුතුය. වෙනස්කම් තබාගෙන කොමිටි වල  එළිවෙනකන් වාද කරගෙන වුවද ලෙනින්ට ට්‍රොට්ස්කි වැනි අය සමග එකට වැඩ කිරීමට මෙන්ම ඔවුන්ගෙන් වැඩ ගැනීමේද  හැකියාව තිබුණි. විජේවීර මෙහිදී කලේ තමන්ට වඩා ජනප්‍රිය වේ යයි සලකන අය හිමින් සීරුවේ ඉවත් කිරීමයි. එසේම විජේවීර විවේචන ප්‍රිය කලේ නැත. තනියම දේශපාලනය කරමින්  බලය ඇල්ලීම ඔහුගේ අදහස් වූ අතර ඉවත්ව ගිය පරණ සාමාජිකයන්ට හා ඔහුව විවේචනය කල අයට විජේවීර සමාව දුන්නේ නැත.  මේ දිනවල රන්ජිත්  හෙන්නායක ආරච්චි හෙවත් බර්ටි සහෝදරයා ලියූ බක්මහ කඳුළු පොත කියවමින් සිටිමි.  මේ ගැන ඉතා හොඳ විස්තරයක් එහි තිබේ.

අනුරගේ පක්ෂය කල යුත්තේ හැකිනම් පරණ කොමියුනිස්ට් පක්ෂය හා සමසමාජය සමගද සාකච්චා කිරීමය. මෙතෙක් කල් ඔවුන් පෙරමුණු කියා හැදුවේ තමන්ගේම සංවිධාන  කිහිපයක් අටවා ගත බොරු පෙරමුණුය .
සමහර විට කුමාර් පෙරටුගාමී සමාජවාදීන්  හා දීප්ති ගේ සමභුමිපක්ෂයද (ජාතික ප්‍රශ්නය නිසා ඒ පක්ෂ දෙක එකතු නොවීමේ ඉඩක්  ඇති වුවද) , සමාජවාදී සමානතා පක්ෂය හා නසසපයෙන්  කැඩී ගිය කණ්ඩායම්ද  එකතු කරගෙන පුළුල්  ජන බලවේගයක් සෑදිය යුතුය. චීන ක්‍රමයට මුල් කාලයේ කටයුතු කිරිමේද වරදක්  මට පෙනෙන්නේ නැත. (ආයෝජකයන් ගෙන්වීම හා රට තුල ව්‍යාපාරිකයන්ට ඉඩ දීම)   

මේවා බොහෝවිට වෙන දේවල් නෙමේ. ජවිපෙ මෙන්ම අනික් වාමාංශික පක්ෂ වලටද තමන්ගේ කුණු කන්දල් හා පාටිසාන් න්‍යායන් රටට වඩා වැදගත්ය. ඔවුන් (හැම වමේ පක්ෂයක්ම) රට ඉදිරියේ තබනවා කියන කතාව  පට්ටපල්  බොරුවකි.  තමන්ගේ පක්ෂයේ තැන හා පක්ෂ න්‍යාය, පක්ෂයේ මුදල් පොට්ටනිය හා තනතුරු ආරක්ෂා කිර්මව ඔවුන්ට ඊට වඩා වැදගත්ය. රට ඉදිරියට තබා දේශපාලනය  කලේ ලෙනින්, මාඕ,  කැස්ත්‍රෝ හා   චේ ලාය . මේ ලෝකල් චේලා ඒ  අහලකවත් දැනට නැත.


කෙසේ වුවද අද ඇති  තත්වය යටතේ අනුර කුමාර දිසානායකට, සජිත් ප්‍රේමදාසට හා නාමල් රාජපක්ෂ ට තියුණු  තරඟයක් දිය හැකිය.
චම්පික රණවකට දිනන්නට නම් ඔහුට ජවිපෙ සහය අත්‍යවශ්‍යම වේ. ඔය දෙදෙනා හැර වෙන හොඳ ජනාධිපතිවරණ  අපේක්ෂයකයෙක් ගැන මට සිතා ගැනීමට නොහැකිය.

(බනින්නට අවශ්‍ය අයට ප්‍රතිචාර විවෘත කර ඇත)