Sunday 31 January 2016

නෙළුම් යාය 2016 සම්මාන උළෙල - 2015 හොඳම බ්ලොග්කරු සඳහා නාම යෝජනා හා ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය

නෙලුම් යාය සහෘද සමූහය විසින් පවත්වන 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු 26 වන සෙනසුරාදා පස්වරු 3.00 ට පවත්වන්නට කටයුතු යොදා ඇත.

පවත්වනු ලබන ස්ථානය වන්නේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවහිය. එහි ලිපිනය නො 163, කිරුලපන මාවත, කොළඹ 5 ය.
එහිදී පහත සඳහන් සම්මාන ලාභීන් තෝරාගනු ලැබේ.

1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල - පළමුවන ස්ථානය රුපියල් 15,000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය සිංහල - රුපියල් 10,000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය සිංහල - රුපියල් 5,000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය


2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙවන ස්ථානය දෙමළ - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

තුන්වන ස්ථානය දෙමළ - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය

දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත.

සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.
 (පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු.

1. w3ලංකා - http://www.w3lanka.com/2016/01/blog-post_56.html, http://www.w3lanka.com/2016/01/blog-post_8.html

2. එකොනැමැට්ටා - http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html, http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html

3. නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.co.uk/2015/12/379.html, http://ranrandil.blogspot.co.uk/2015/11/366.html

4. කුරුටු ගෑ ගී පවුර - http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.html, http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html 

5. රසිකලොජි - http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html, http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html

6. ට්‍රාන්සිල්වේනියා - http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html, http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html

 7. බස්සිගේ නවාතැන - http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.html, http://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html 

8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html, http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html

 9. ඉවාන් පව්ලුෂා - http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.html, http://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html

10. විචාරක - http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html, http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html, ​

11. අසම්මතයා - https://asammathayaaa.wordpress.com/2015/11/​​, https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/​ ​

12. පින්ච්පොයින්ට් - http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html, http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html

මීට අමතරව සිංහල බ්ලොග් සඳහා පමණක් පහත සඳහන් රුපියල් 5000 තෑගි වවුචර හා සහතික පිරිනමනු ලැබේ.
මේ සඳහා යෝජනා වුන බ්ලොග් අඩවි ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු.

දේශපාලන - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කවි /නිසඳැස් පළමු (රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
කාලීන සංවාද - පළමු(රුපියල් 5000 වටිනා තෑගි වවුචර) දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
 කෙටි කතා - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික
 විද්‍යා හා තාක්ෂණ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 විද්‍යා ප්‍රබන්ධ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 නවකතා - (බ්ලොග් ) රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 හයිකු - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ප්‍රහසන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 අතීත කාමය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 සංගීතය රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 සංචාරය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ඉතිහාසය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 ගෘහස්ත කරන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 පරිවර්තන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 18ප්ලස් - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික
 වීඩියෝ බ්ලොග - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 ජනවාරි 2016 නෙළුම් යාය සම්මානය 

මෙවර 2016 වසරේ නෙළුම් යාය දුරුතු මස මාසික සම්මානය හිමි වන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වසර ගණනක් බ්ලොග්කරණයේ දී සිටින ජනප්‍රිය බ්ලොග් කරුවෙකුට. හන්තානය ගැන මෙන්ම ජෙට් එන්ජිම ගැනද ඔහු ලියූ බ්ලොග් ලිපි නෙළුම් යාය සහෘද සමුහයේ මෙන්ම අපගේ වෙබ් අඩවි කියවන බොහෝ දෙනා අගය කල නිර්මාණ. මේ බ්ලොග් කරු තමන්ගේ නිර්මාණ "තිලක සිත " නමි පොතක් වශයෙන් ද පල කර තිබෙනවා. ඔහු මහගම සේකරයන් ගේ 2016 ජනවාරි 14 වසර හතළිහක් පිරෙන ගුණ සමරු දිනය සමරා ලියු මෙම නිර්මාණය නෙළුම් යායේ පලකල පසු බොහෝ දෙනාගේ සිත් ගත් බව කිව යුතුයි.

 මේ එයින් කොටසක්.

 'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

 'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.
 'එහෙනම් ? '

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දැනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ කියා මම හඬ නගා අම්මා ඇමතීමි ."

  ජනවාරි මස බ්ලොග් සම්මානය හිමි වන්නේ තිලකසිතට.

Sunday 24 January 2016

බ්ලොග් කරුවනි ව්‍යවස්ථාවට කෙළිමුද ? කතා කරමුද?

දුරකථන ඇමතුමක් ආව හදිසියේම වගේ. දන්නා අඳුනන කෙනෙකු ගෙන්. ඔහු එංගලන්තයේ සිටින ඉංජිනේරු අංශයක රැකියාව කරන මහත්මයෙක්.
 "අජිත් හරි වැඩේනේ වෙලා තියෙන්නේ, මෙච්චර අමාරුවෙන් රැක ගත්ත රට මුන් කඩලා දෙන්නනේ හදන්නේ. ඔක්කොම හරි දැන් රට බෙදන්න. රට අපට නැති වෙනවා."
මම ඇහුවා "කවුද කවුද එහෙම කරේ. මොකක්ද වුනේ"
"ඇයි දන්නේ නැත්ද? මේ ටෝනි බ්ලෙයාර් ලංකාවට ගිහිල්ල. අර හොරගොල්ලේ හැතිරිත් එක්ක එකතු වෙලා. උන් හොර ව්‍යවස්ථාවක් හදල."
"කවුද ඔය කතාව කිව්වේ. ඕක ඇත්ත වෙන්න බැහැ? ටෝනි බ්ලෙයාර්ට නම් මමත් කැමති නෑ. මේ ඉරාකෙට ගිහින් බුෂ් එක්ක නටපු පිස්සුව නිසා. බ්‍රිතාන්‍යයේත් සෑහෙන්න ජන-අප්‍රිය වෙලානේ ඉන්නේ. හැබැයි ලංකාවට ගියේ අර කදිරගාමර් දේශනයට මම දන්න තරමින්. බ්ලෙයාර් ගේ වැරදි තිබුනත් උතුරු අයර්ලන්තේ ප්‍රශ්නේ හරියට විසඳුනේ බ්ලෙයාර් නිසා."

"නැහැ අජිත්. කෝ ඔයාල හිටියට ලංකාවේ මොනා වෙනවද කියල බලන්නේ නැහැනේ. රට බෙදෙනවා. මේ ගොල්ලෝ හොරෙන් ව්‍යවස්ථාව හදලා. දෙමළුන්ට කෑලි තුනක් දීල. මුස්ලිම් එවුන්ට පැති දෙකක් දීල, අර බඩි උඩිය විල්පත්තුවත් කනවා. අපිට කොහෙවත් නැහැ. අපිට උන්ගේ පැතිවල ඉඩමක් ගන්න තියා ජිවත් වෙන්න වත් දෙන එකක් නැහැ. ඉතින් අප කට්ටිය කතාවෙලා මිටීන් එකක් තියනවා. වැඩි විස්තර දැනගන්න ඒකට එන්න. කොහොම හරි නවත්වමු. "

මට මෙවෙලේ කල්පනා උනේ හැම වෙලේම මේ ප්‍රශ්නේ විසඳන්න කියල කිසියම් රජයක් ලැහැස්ති වෙනකොට එරෙහි වෙන කොටසක් ඉන්නවා දෙපැත්තේම. බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ගහන්න යනකොට එජාපය විරුද්ධ වුණා . බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේම අය වුනත් විරුද්ධ වුණා. අන්තිමට එතුමාව මරා දැමුව. ඊට පස්සේ තවත් උත්සාහයන් කීපයක් තිබුන. කවුරු මොනවා කීවත් චන්ද්‍රිකා උත්සහ කලා අන්තර් පාලනයක් දීලා ප්‍රශ්නේ විසඳන්න. රනිල් විතරක් නෙමේ ජවිපෙත් විරුද්ධ වුණා.

රාජපක්ෂ මහත්මය ආපු කාලේ උත්සාහ කලා කියල තමා කියන්නේ. ඒ පාර ප්‍රභාකරන් විරුද්ධ වුණා. අන්තිමට දරුණු යුද්ධයකින් එවැනිම වූ ප්‍රචණ්ඩ ගරිල්ලා සටනක් පරාජය කලාට පස්සේ දැන් අවස්ථාව ලැබිල තියනවා ප්‍රශ්නය සාධාරණව විසඳන්න. ප්‍රභාකරන් ඇතුළු ඒ ත්‍රස්තවාදී කියා බොහෝ අය කියන කණ්ඩායම කලේ නිදහස් අරගලයක් කියල කියන කොටසකුත් සිටිනවා. ඒකෙ කිසියම් සත්‍යයක් නැතුවාම නෙමෙයි. මොකද කුල ප්‍රශ්න, දුප්පත් කම, විශ්ව විද්‍යාල වල ඉඩ නැතිවීම ගැන ඔවුන් ගේ චෝදනා , මිට අමතරව යාපනේ රජෙක් හිටිය අවධිය (ලංකාවෙන් කොටසක් පෘතුගීසින් පාලනය කල සමයේ හා ඊට පෙර) තුල තමන් ට මිට වඩා නිදහසක් තිබු බවට දෙමළ ප්‍රජාවෙන් කොටසක් විශ්වාස කරනවා.

දෙමළ බෙදුම් වාදය කියල තවත් බ්ලොගයක ලිපි පෙලකුත් යනවා.

එම ලිපි පෙළ පාක්ෂිකයි කියල චෝදනාවකුත් තියනවා. නමුත් එහි කිසියම් වැදගත් කරුණු ප්‍රමාණයක් හෙළි දරව් වෙනවා. තමන් දේශපාලනිකව මොන පැත්තේ හිටියත් ඉතිහාසයට අයත් කරුණු අපට පැති වලට බෙදල අනුයුක්ත කරන්න බැහැ. මොකද ඒවා වෙලා ඉවරයි. ඉතින්

අපි ආයේ මේ සාකච්චාව නොකර ඉමුද? දෙමළුන්ට ඇත්තටම ඔය කියන දේ දෙනවද? මේවා බොරු ප්‍රචාර වෙන්න බැරිද? ඇත්තටම ව්‍යවස්ථාව හදලද තියෙන්නේ? අපට බොරුවක් ද මේ කරන්නේ යන්නේ? ඉතිහාසයේ එන තවත් අවස්ථාවක් මුග්ධ ජාතිවාදයකට මුවා වෙලා නැවත අත හරිමුද?

 ඔය අතරේ බ්ලොග් ලියන හිතවතෙක් මෙහෙම යෝජනාවක් කලා.
"බ්ලොග් කරුවෝ විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා. මම දැක්කා අර කරු පරණවිතානත් එයාගේ සතර දිගන්තය බ්ලොගයේ ව්‍යවස්ථාව ගැන කතා කරලා තිබෙනවා. අපි ලියමුකෝ මේ ගැන. අපි අපේ යෝජනාත් දෙමු."

උදාහරණයක් ලෙස ඔහු මෙහෙම යෝජනාවක් කලා:

පොලිස් බලතල - පොලිස් රථවාහන අංශය බලතල සහිතව පළාත් වලට ගියාට කමක් නැහැ. එතකොට ගෘහස්ත හිංසන, සුළු සොරකම් වගේ දේවල් පළාත් වලට බලය බෙදපු නීති පද්ධතියක් තුලින් එම පළාත් වලම විසඳන්න කිව්ව හැකි. නමුත් පොලිසියට ආයුධ නිකුත් නොකළ යුතුයි. හැබැයි එතකොට ආයුධ නැතුව පොලිසියට ජනතාව හසුරුවන්න පුලුවන්ද?

එංගලන්තයේ නම් ආයුධ අරන් යන්නේ නැහැ පොලිසිය. ඇමෙරිකාවේ පොලිසිය නම් අරන් යනවා. ආයුධ රැගත් අපරාධකරුවකු සිටියොත්? ඒකට ඇමෙරිකාවේ වගේ ෆෙඩරල් පොලිසියක් දානවද? හමුදාව අයින් කරනවද? ඇයි අයින් කරන්නේ. රටක් වශයෙන් රටේ ඕනෑම තැනක හමුදා කඳවුරු පිහිට වීමට මධ්‍යම රජයට අවසර තිබෙනවා නේද? මිනිසුන්ට අවහිර නොවෙන ආකාරයට රටේ ආරක්ෂාවට කඳවුරක් පිහිටෙව්වම මක් වෙනවද? මේ වගේ ප්‍රශං සාකච්චා කරලා ජනතාවගේ අදහස් ඇතුව අපාට් ඉදිරිපත් කරන්න බැරිද?

ඉතින් අපි කල්පනා කලා මෙහෙම. අපි හැමෝටම ව්‍යවස්ථාවේ හැම දෙයක්ම ගැනම අදහස් දෙන්න බැහැ. අපිට වෙලාව තියෙන වෙලාවට, අපට පුළුවන් හැමෝගෙම පක්ෂ විපක්ෂ අදහස් එකතු කරලා ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට භාර දෙන්න. අපට පුළුවන් නෙලුම් යායෙන් ඒ හැම අදහසක්ම, එකතු කරලා මුද්‍රණය කරල නව ව්‍යවස්ථාව අපේ යෝජනා කියල ඉදිරිපත් කරන්න. ඒවා ගැන ඒගොල්ලෝ කතා කරනවද , නැත්නම් නිකම්ම කුණු කුඩේට දානවද කියල හොයල බලන්න පුලුවන් එතකොට. ජනතාවට නොදැනී හොර වැඩක් වෙනවා කියන චෝදනාව සත්‍යයක්ද කියලත් හොයල බලන්න පුළුවන්.

 ඔබලාගේ අදහස කුමක්ද?

Thursday 21 January 2016

උඳුවප් මස නෙලුම් යාය බ්ලොග් සම්මානය

උඳුවප් මස බ්ලොග් සම්මානය දීම තරමක් ප්‍රමාද වුනේ මාර්තු 26 වනදාට පැවැත්වීමට නියමිත බ්ලොග් සම්මාන උළෙල පිලිබඳ සාකච්චා කටයුතු මේ දිනවල කරගෙන යන බැවින්. මෙවර පසුගිය අවුරුද්දේ අවසාන මාසය සඳහා ඉතා සුදුසු බ්ලොග් අඩවි කීපයක්ම තිබෙනව. ඒ අතරේ තවත් අලුතින් පැමිණි බ්ලොගයකට සම්මානය දීම සඳහා අප තෝරා ගත්තා. මට හිතෙන විධිහට නම් මේ බ්ලොගය ඇත්තටම පටන් ගත්තේ බ්ලොග් ලියන අනිත් යහළුවන්ගේ ඉල්ලීම් වලින් කියල.

මේ බ්ලොග්කරු හැම බ්ලොගයකටම ඇවිල්ල ගැලපෙන ගීතයකින් කොමෙන්ට් කරලා යන කෙනෙක්. තව කිහිප දෙනෙකුත් මෙසේ කලත් මේ බ්ලොග්කරු තමන් ගීත
විතරක් නෙමේ ගීත ගයන ගායක ගායිකාවන් ගැනත්, ලිවූ කලාකරුවන් ගැනත් ගීත ගැනත් සමහර විට අප කවුරුත් නොදන්නා තොරතුරු පවා ම හොයාගෙන බ්ලොග් ලෝකයට හෙළි දරව් කරනවා. ඉතින් මේ අපි කවුරුත් දන්න සින්දු ඇනෝට මෙවර බ්ලොග් සම්මානය දෙන්න අපි තීරණය කලා. ඔහු අමරදේවයන් ගේ උපන් දිනය වෙනුවෙන් ලියු මේ ලිපිය බලන්න.

  මෙතැනින් එම බ්ලොගයට යා හැකියි.

ප.ලි මට ලියන්නට අමතක වුනු වැදගත් කාරණයක්. මෙවර බ්ලොග් සම්මානය සඳහා දායක වන්නේ අපේ බ්ලොග් රසවතෙක්. ඔහුත් බ්ලොග් ලියන්නෙක්. නමුත් නම හෙළි කිරමට අකමැතියි. නෙළුම් යාය වෙනුවෙන් ඔහුට අපේ හෘදයංගම ස්තුතිය.

අමරදේවයන් ගයන මේ ගීතය මගේ ඉතාමත් හඳ බැඳි ගීතයක්.

රෑ දුරු රට මේ 

රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

 කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ
රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය -අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක  

Tuesday 19 January 2016

ලංකාවේ ජනාධිපති නිවැරදිය. හරක් මස් ආනයනය කිරීම හොඳ වැඩකි .

අද උදේ බිරින්දෑ එක්ක පොඩි සාකච්චාවක් ගියා ලංකාවේ  ජනාධිපති කියපු කතාවක් ගැන. 
"ලංකාවේ ජනාධිපති හරක් මස් ගෙන්වන්න යනවා පිටරටින්. මහා විකාරයක්නෙ. අර බ්ලොගා කෙනෙක් විරුද්ධව ලිපියක් දාල. "
බිරිඳ කියනවා "ඇයි ඒක වැරදි එංගලන්තෙත් ගෙන්වන්නේ නවසිලන්තෙන් "
මම කියනවා  "නැහැ. මෙතන තියෙන්නේ ලංකාවේ මිනිස්සු විශේෂයෙන් ආගම පැත්තෙන් කට්ටිය විරුද්ධයි නේ හරක් මරනවට. ඉතින් පිටරටක මරලා ආනයනය කරත් ඒත් මරන්න වෙනවනේ."
 බිරිඳ අහනව "ඉතින් ලංකාව හින්දු ආගමික රටක් නොවෙයිනේ. බෞද්ධ අය නම් මුකුත් මසක් කන්නේ නැහැනේ ඔයාගේ අම්මා වගේ." (මගේ මව මස් මාළු කිසිවක් කන්නේ නැත.)
"නැහැ ලංකාවේ බෞද්ධ අයත් හරක් මස් නොකෑවට කුකුල් මස්, එළු මස්, මාළු හෙම කනවා. ඒක නේ මෙතන ප්‍රශ්නේ. මේවා ගැලරියට කියන ඒවානේ . දෙමල අය හින්දු භක්තිකයෝ නේ. ඒක නිසා පොයින්ට් ගන්න කිව්ව එකක් වෙන්න ඇති."
"එහෙනම් ලංකාවේ ජනාධිපති හරිම නුවණැති කතාවක් නේ කියල තියෙන්නේ. ලංකාවේ හරකුන් මරන්නේ නැති නිසා හින්දු කට්ටිය ගේ හොඳ හිත ලැබෙනවා. බෞද්ධ කට්ටියත් කැමති වෙයි. පිටරටින් ගෙනෙන කොට ගණන් වැඩි වෙන නිසා කන අයත් අඩුවෙයි. හරක් මස් කෑම නතර වෙයි."
"ඉතින් මස් කන අයට අසාධාරණයක් වෙනවනේ?"
"මම දන්නේ නැහැ. ඔයා ලංකාවේ දේශපාලනේ දන්නා නිසා කල්පනා කරල බලන්නකෝ. මම නම් හිතන්නේ ඕක හොඳට හිත බලා කියපු දෙයක්."

 උඩුවාගේ සටහනේ හරක් මස් පිටරටින් ගෙන්වාගැනීමේ යෝජනාව ගැන හරිම අසාධාරණ බ්ලොග් ලිපියක් දාල තිබුන. ගිය ආණ්ඩුව තිබුන නම් ඕක උඩුව ලියන්නේ නැහැ කියල හොඳටම ෂුවර්. ඊට හොඳම නුවණැති කොමෙන්ටුව දාල තිබුනේ රසිකලොජිස්ට්.

මෙන්න ඒ කොමෙන්ටුව.
 "මෙහෙමයි.
ලංකාවේ නාටු හරකුන්ට වඩා ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හරකුන් පුෂ්ථිමත්. එනිසා, ලංකාවේ හරක් දෙන්නෙක් මරන වෙලේ ඕස්ටේ‍ර්ලියාවේ, නවසීලන්තයේ එක හරකයි මරන්න වෙන්නේ. ලෝකයේ මැරෙන හරක් ගාන අඩු වෙනවා.

ඊලඟට පිටරටින් මරලා, අධිශීතකරන නැව්වල දාගෙන ලංකාවට ගෙන්න යන වියදම එකතු වුනාම හරක් මස් මිළ වෙළඳ පොලේ ඉතා ඉහල යනවා. එතකොට ඉල්ලුම අඩුවෙනවා. හරක් මැරෙන එක තවත් අඩු වෙනවා.

හරක් හැඳීම අඩුවෙන නිසා, හරක් පිට කරන එන මීතේන් නිසා සිදුවෙන පරිසර විනාශය අඩු වෙනවා.

කොහෙමද ටිකිරි මොලේ!"

ඉතින් මම ඔලුව හරව හරවා කල්පනා කරලා බැලුව? රසික විහිළුවට කිව්වද මන්දා ඒත් කතාව සම්පුර්ණ ඇත්ත නේ. ජනාධිපති තුමා හුඟක් කල්පනා කරලනේ කතා කරන්නේ කියල මට තේරුණා. අර තනපටය විසි කලේ සාමාන්‍ය මහා ජනතාව යන්නේ නැති කොළඹ කට්ටිය විතරක් යන ප්‍රසංග කියල තමා එතුමා හිතනවා ඇත්තේ. ඉතින් ඒකට විරුද්ධව කතා කරහම ලංකාවේ ඉන්න සංවර ජනතාව ගේ සිත් ප්‍රීතියෙන් උතුරා යන්න ඇති. ඒ ගොල්ලන්ගේ චන්දය වුනත් ලැබෙන්න හොඳටෝම ඉඩ තියෙයි. ඕනෑම නම් ඉතින් බස් වල ජැක් ගහන සුළුතරයක්, ඔය ස්ත්‍රී දුෂණ කරලා හිරේ යන සුළුතරයක් චන්දෙ නොදී ඉඳියි. ආ ඔය අන්තර්ජාලයේ සෙක්ස් කියන වචනය හොයන කොල්ලෝ කුරුට්ටෝ ඉතින් චන්දෙ නොදී හිටියත් මොකද?

 දැන් මේ ගව මස් පිට රටින් ගෙන්වන කතාව. ලංකාවේ ගව මස් කන්නේ වැඩිපුරම මුස්ලිම් ජනතාව. ලංකාවේ බෞද්ධ ජනතාව හරක් මස්, ඌරු මස් කන්නේ නැහැ. අනික මාළු, කුකුල්ලු කෑවට වැඩිය පව් පිරෙන්නේ නැහැ. ටිකයි පිරෙන්නේ. බලන්න හරක කියන්නේ කොච්චර ලොකු සතෙක්ද? ඉඳල හිටලා කුනිස්සෙක් ඉස්සෙක් මාලුවෙක් කෑවට කමක් නැහැ. කිසිම පවක් නැහැ. පවක් ආවත් ඕනනම් දශම ගානක් වෙයි. අනික මේ හැමදේම රටින් ගෙන්වන එකේ මස් ගෙන්නුවම මොකද වෙන්නේ? ඔය පොලොන්නරුව පැත්තේ කිරි වලට වැඩිය නවසිලන්තේ කිරි කොච්චර ගුණයෙන් රසයෙන් වැඩිද? මසුත් ඒ වගේම වෙන්න එපැයි.

අමතක වුණා කියන්න. පොලිසියටත් වැඩිය කරදරයන් නැහැනේ. නැත්නම් ඔය හොර හරක් ලොරි අල්ලන්නයි, ඒවා උසාවියට දාන්නයි මොන කරදරයක්ද?

 මම ලඟදි පුවතක් දැක්කා අපේ යාලුව දිලන්ත හෙම බිඳුණු බලේ එක්ක ජනාධිපති තුමා හමුවෙන්න ගියා හරි යනවා හරි කියල. ඒ ගොල්ල කීවද දන්නේ නැහැ මුස්ලිම් වරු තමා වැඩිපුර හරක් මස් කන්නේ. ඒ ගොල්ලන්ට සල්ලිත් තියෙන එකේ පිටරටින් ම ගෙන්වන්න. එතකොට අපේ හරක් මස් කන හොර බෞද්ධයන් මස් කන එක නතර කරනවා. ඔබතුමාටත් පින්. යෝජනා කරපු අපටත් පින් කියල. ඒ මදිවට දෙමල හින්දු භක්තිකයන්ගේ හා දැනට මහා මහින්දට තවමත් කැමැත්ත පල කරන චන්ද ගොඩෙනුත් කොටසක් ෂුවර්.

 ලංකාවේ ලඟදි චන්දයක් එහෙම එනවද? .

Thursday 14 January 2016

හිටපු හමුදා නිලදරුවකු වීම වරදක්ද ? ඡායාරූපයක් ගැනීම නිසා අත් අඩංගුවට පත් වුනු බ්ලොග්කරුවෙකු කතාවක්

නාටකය පටන් ගත්තේ පෙරේදාය. අද මේ ලිපිය ලියන්නේ කෙළවරක් වී යයි සිතුවත් අවසන් නොවූ කතාවක් ගැන කියන්නටය. බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් සැරි සරනා සහෘදයෙක් ගෙන් පෙරේදා මට පණිවුඩයක් ලැබුණි. "හදිසියක්. කල්‍යාණ මිත්‍ර පොලිසියෙන් අල්ලලා". ඊයේ පෙරේදා ඌව පළාතේ සම්පත් මද යැයි කිව හැකි පාසලක ළමා ළපටින්ට නෙළුම් යායත් සමග එකතුව පොත් පත් උපකරණ ආදිය බෙදාදී ලංකාවේ පවසන විධිහට පින්කමක් ද කරගත් කල්‍යාණ මිත්‍ර තෙමේ මේ කුමක් නම් කරගෙනද. රාජපුරුෂයන් විසින් කුදලා ගෙන යන්නට ".

නියම විස්තරයක් සොයා ගැනීම සඳහා වහාම ලංකාවට කතා කලෙමි. සිදු වී ඇත්තේ මට නම් හිතා ගැනීමට නොහැකි දෙයකි. අතක් පයක් නිකන් තියාගෙන ඉන්නට බැරි මේ හාදයා ඡායාරූපයක් ගෙන තිබේ. එසේ මෙසේ එකක් නොව හමුදාපති තුමෙකුගේ එකකි. එයත් එසේ මෙසේ එකක් නොව ගමනක් යමින් සිටියදීම වැඩ කිඩ දා හමුදාපති වාහනය කැමරාවට හසු කරගෙන තිබේ. කැමරාව මොබයිල් එකේ ඇති කැමරාවයි. මෙය හමුදාපති මහතා ගේ ආරක්ෂාවට සිටි නිල දරුවන් ගේ උකුසු ඇසට හසු වී තිබේ. ත්‍රිවිලයකින් යමින් සිටියදී ගත් ඡායාරූපයක් පවා ඇසට හසු කරගන්නට ඔවුන් සැබවින්ම දක්ෂයන් විය යුතුය. මෙහිදී අවධාරණය කළ යුත්තේ ඔහු ගත්තේ ඡායාරුපයක් පමණක්ය යන්නය.


ලංකාවේදී ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මේ ඇබැද්දිය නිසා ඡායාරූප ගැනීම ගැන ලංකාවේ නිලදරුවන් කොතරම් සංවේදීද යන්නද මා හොඳින් දන්නා නිසා කල්‍යාණ මිත්‍ර ගේ ක්‍රියාව අනුමත කිරීමට මට නම් නොහැකිය. කොටින්ම හමුදාපතිවරයෙකු ගේ වාහනයේ ඔහු සිටියදී පින්තුර ගැනීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. මෙය සිදු වූයේ 2009 ට කලින් නම් කල්‍යාණ මිත්‍ර මාස හයක් වත් ඇතුලට යන බව විශ්වාසය. කල්‍යාණ මිත්‍ර කියන අන්දමට ඔහු එය ගත්තේ හමුදාපති වරයා ගමන් ගත් රථයේ ඔහුගේ සන්නාමය (insignia) තිබු නිසාය. ඔහු එය දැක නොතිබූ නිසා පින්තුරය ගත් බව පවසයි. ඇත්තටම වෙන හේතුවක් ගැන මටවත් සිතා ගැනීමට නොහැක. බ්‍රිතාන්‍ය වැනි රටක නම් අගමැති ගේ, රැජිනගේ හෝ ඕනෑම ඉහල අයෙකුගේ ඡායාරුප ගත හැකිය. නමුත් හමුදාව සම්බන්ධ ස්ථාන වල ඡායාරුප ගත හැකිදැයි නොදනිමි.  මා පසුගියදා එවැනි හමුදා කඳවුරක ඡායාරූප කිහිපයක් ගත්තෙමි. කඳවුර අවට ප්‍රදේශය ඉතා පියකරු බැවිනි. ඒ අහල පහලක එළදෙනුන් හා තවත් සතුන් කීප දෙනෙකු ඇරෙන්නට වෙනත් කිසිවකු නම් නොදුටිමි.

ඒ කියන්නේ එංගලන්තය වැනි රටක නම් බොහෝ විට සිදු වන්නේ මෙයයි. ඔවුන් රහසින්ම මා පසු පස කිසිවකු එවනු ඇත. මගේ ලිපිනය සොයාගෙන මා කවුදැයි සොයා ගැනීම අපහසු නැත. රහසේම ඒ විස්තර සොයාගෙන සාමාන්‍ය සිවිල් පුරවැසියකු නම් කිසිවක් නොකරති. නමුත් කිසියම් ම හෝ සැකයක් ඇති වුයේ නම් (ත්‍රස්ත සංවිධානයක සම්බන්ධකමක්) ඉන්පසු පසු පස යමින් වරදක් කරන තුරු සිට අත් අඩංගුවට ගනිති. හැබැයි ඒ හෙල්ලෙන්නට බැරි වෙන්නට සාක්ෂි සොයා ගෙනය. එතෙක් කිසිම හිරිහැරයක් කරන්නේ නැත. බොහෝ විට මුල් පැයේදීම සියලු තොරතුරු සොයා ගැනීමට ඔවුන්ට හැකිය. නමුත් ප්‍රධානම කාරණය නම් ඉහල නිලයක් ඇති පුද්ගලයෙකුගේ වාහනයක ඡායාරුපයක් ගැනීම වරදක් නොවන බවයි.

ඉතින් හිටපු නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම පදක්කම් තුනක් ලබා ගත් රණ විරුවකුද වන වන අපේ මිත්‍රයා ඡායාරුපයක් ගැනීමේ වරද කීම දැයි විමසන්නට ඇත. යුනිෆෝර්ම් හැඳි ආරක්ෂක භටයන් ගෙන් ප්‍රශ්න විමසිය යුතු නැත යන්න මම ජිවිතයේ මුල් කාලයේම ඉගෙන ගත් දෙයකි. හිටපු නාවික හමුදා නිලධාරියෙකු නිසා කල්‍යාණ මිත්‍රට අපට මෙන් ඒ ගැන විචිකිච්චාවක් තිබෙන්නට නැත. ඔහුගේ ප්‍රශ්න ඇසීමෙන් උරණවූ ගුවන් හමුදා නිලධාරීන් ඔහු පොලිසියට භාර දී ඇත.

මෙයට තවත් හේතුවකුත් තිබෙන්නට පුළුවන. ගුවන් හමුදාපති තුමාගේ ගේ දියණිය කිසියම් සංගීත සන්ධ්‍යාවකට යාම හෝ එහි දී සංගීතඥයා වැළඳ ගැනීමක් කිරීමක් පිළිබඳව කිසියම් මාධ්‍යයක් මගින් විවේචනයට ලක් වී තිබෙන බව දැනගන්නට ලැබී තිබේ. බ්‍රිතාන්‍යයේ ජිවත් වන අපට නම් මේවා මහා ලොකු දේවල් නොවේ. ඕනෑම සංගීත සන්ධ්‍යාවක එවැනි දේ කොහොමත් සිදු වන බැවිනි. අපේ කාර්යාල වල තරුණියන්ද අනන්ත මෙවැනි සංගීත සන්ධ්‍යා වලදී සංගීතඥයන් අසලට යාමට පොර කති. නමුත් මේ සිද්ධිය විවේචනය කරමින් පල කල පුවතක් නිසා භටයන් මෙහිදී මදක් සංවේදී වුවා විය හැක.

පොලිසියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇත. එහිදී කල්‍යාණ මිත්‍ර විසින් බුකියේ හෙවත් වත්පොතේ පොලිසිය සම්බන්ධව පල කල කිසියම් පුවත් ප්‍රමානයක් ගැන විමසා තිබේ. මෙය නම් කණගාටුවට කරුණකි. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේශපාලන හෝ වෙන මොනයම්ම ලිපියක් තමන්ගේ බිත්තියේ පල කිරීමට කාගේවත් අවසරයක් අවශ්‍ය නැත. බටහිර රටවල නම් ජාතිවාදී, ආගම්වාදී හෝ ත්‍රස්තවාදී හෝ පුද්ගලයෙකුට එල්ල කර මරණිය තර්ජන හා අපහාස කිරීම ආදියේදී බුකියේ හෝ වෙනයම්ම තැනක පල කරන දෙයක් පොලිසියේ අවධානයට ලක්විය හැකිය. බොහෝ විට එවැනි අයට නඩු පවරනු ලැබේ. මෙතැනදී කල්‍යාණ මිත්‍ර අතින් එවැන්නක් සිදුවී නැත.

මට දැන් ප්‍රශ්න කිහිපයක් මතු වී . එකක් නම් ශ්‍රී ලංකාව තවමත් අනාරක්ෂිතද යන්නය. නාවික හමුදාවෙන් ඉවත්ව පැමිණි රණ විරුවකු වන කල්‍යාණ මිත්‍ර ඡායාරුපයක් ගැනීමෙන් වරදක් කලාද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ත්‍රස්ත තර්ජන තිබේ යයි කි බව අප දනිමු. එය එසේ නම් ඒ ගැන හෙළි දරව් කිරීම රජයේ යුතුකමකි. සාමාන්‍ය සිවිල් වැසියන් මේවා දන්නේ නැත. ගුවන් හමුදාපති තුමා විසින් මේ සිද්ධිය පිළබඳ එතරම් තැකීමක් නොකළ බවක් අපට දැන ගන්නට ලැබී ඇත. එයට අපගේ ස්තූතිය. එසේම සිද්ධිය දැනගත් වහාම අප හා දුරකතනයෙන් සම්බන්ධවී ප්‍රශ්නය නිරාකරණය කිරීමට පොරොන්දු වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති කරණාරත්න පරණවිතාන මහතාටද නෙළුම් යාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු.

මගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ කල්‍යාණ මිත්‍ර ඇප දී පොලිසියෙන් නිදහස් කර ඇතත් පොලිසියෙන් ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් ඔහු පිළිබඳව විමසා තිබේ. ඔහුගේ බිරිඳ දැනට දරුප්‍රසුතිය සඳහා නිවසේ සිටි. කල්‍යාණ මිත්‍ර නාවික හමුදාවෙන් ඉවත්ව අවුරුදු හය හතක් වේ. එසේම ඔහු පිළිගත් ඉදිකිරීම් ආයතනයක කළමනාකරුවෙකි. නීති ශිෂ්‍යයෙකි. සමාජ සේවකයෙකි. සමාජ ජාලා ක්‍රියා කරුවෙකි. බ්ලොග් ලියන්නෙකි. මේ කිසිවක් නොව පොලිසියට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු හිටපු හමුදා නිලධාරියෙකු වීමය. මේ අව් අස්සේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු විසින් තවත් පුවතක් පල කර තිබේ. ඒ කල්‍යාණ මිත්‍ර මෙය වීඩියෝ කළා කියාය. අදාල මාධ්‍යවේදියා මෙය දුටුවා ද? ඔහුගේ මොබයිල් දුරකථනය තවම පොලිසියේය. ඔහු අත් අඩංගුවට ගත් පොලිසිය එය තමන් ගේ භාරයට ගත්තේය. පින්තුරයක් වීඩියෝවක් බවට පත් වූයේ කෙසේද? ලංකාදීප මාධ්‍යවේදියා කියන්නේ ඇත්තක් නම් කවුරුන් හෝ දුරකථනය නැවත රැගෙන ගොස් වීඩියෝ කළා දැයි අප දන්නේ නැත. කෙසේ හෝ වේවා අහිංසක ලෙස ගත් ඡායාරුපයක් නිසා කල්‍යාණ මිත්‍ර කිසියම් අන්දමකින් වරදකට හසු කරන්නට තැත් කරන්නේ යයි සැකයක් අපට මතුව තිබේ. අප පොලිසියෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ සත්‍ය තත්වය වටහා ගෙන අපේ සහෝදර බ්ලොග් කරු තේරුමක් නැති පරීක්ෂණ වලින් නිදහස් කරන ලෙසයි.

Sunday 3 January 2016

බ්ලොග් කරුවන්ගේ ආගමනයන් හා නික්ම යාම්

පසුගිය නත්තල් කාලය ජර්මනියේ ගත කල බැවින් කලින් ලිපියේ ලියු පරිදි වැඩි පුර බ්ලොග් කියවීමට කාලයක් නොවුනි. ඒ කාලයේ තමන්ට හැකි පරිදි මා වෙනුවෙන් කාලය වැය කරමින් නෙලුම් යාය වෙබ් අඩවියේ බ්ලොග් කරුවන් ගේ ලිපි පල කල කල්‍යාණ මිත්‍රට ස්තුති කරමි. අලුත් අවුරුද්ද ආරම්භයේ දීම දුටුවේ ගිය වසරේ අපගේ බ්ලොග් සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති පරණවිතාන මහතා තමන්ගේ බ්ලොගයේ ලිපියක් පල කරමින් පුස් බැඳ තිබුණු සතර දිගන්තය බ්ලොගය නැවත යාවත්කාලීන කිරීමයි. ඔහුගේ ආගමනය අපට ද ධෛර්යයකි.

අප ගියවර බ්ලොග් සම්මාන දීමට කටයුතු කරන අවස්ථාවේ එක ප්‍රසිද්ධ නීතිඥවරයෙකු කීවේ බ්ලොග් යනු කාලය කා දමන්නට කරන හොබියක් පමණක් බවත් ඒවායේ ඇත්තේ කුණු කන්දල් පමණක් බවත්ය. අපට උදව් කිරීමට අවශ්‍ය නම් සැබෑ වෙබ් ජන මාධ්‍යවේදීන්ට උදව් කරන ලෙසත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පුහුණුවක්ද ආරම්භ කරන බව පැවසුවේය. ඔහු ආරම්භ කළ පුහුණුවක් අදටත් නැත. මම ඔහුට කිවේ බ්ලොග් යනු තවත් එක් සන්නිවේදන මාධ්‍යක් බවත් එය ලියන්නා අනුව වෙනස් විය හැකි දෙයක් (එනම් විනෝදාත්මක ලෙස, දැනුම සැපයීමට, තමන්ගේ ස්ව නිර්මාණ ඉදිරිපත් කිරීමට වැනි) බවත් බොහෝ රටවල ජන මාධ්‍ය භාවිතයේ බ්ලොග යනු ඉතා ප්‍රබල අංගයක් බවත්ය. ගාඩියන් පුවත් පතේ බොහෝ ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදීන් මුලින් ම ලියන්නේ තමන් ගේ බ්ලොගයේය.

මම නිර්නාමික නම් වලින් ලිවීම අත්හැර කොළඹ ගමයා බ්ලොගය මගේ සැබෑ නමින්ම ආරම්භ කලේ කිසියම් හේතු කිපයකටය. මුල් කාලයේ මා සමග සංවාද කල එක අයෙකු වුයේ යකා ය. ඔහු සමග ගිය සංවාදයක් මෙහි ඇත. පසුව ඔහු යකා නොව මධ්‍යස්ථ මතධාරියා විය. ඉතින් එවැන්නෙකු ගේ නික්ම යාම කණගාටුදායකය.

මධ්‍යස්ථ මතධාරියා ලියු අවසන් ලිපියේ ඇතැම් තැන්වල මා ආරම්භ කල දේ සඳහා විවේචනයක් තිබේ යයි සිතෙන නිසා එයට පිළිතුරු දීමක් කරමි. එය එසේ නොවේ නම් ඔහුට පැමිණ ඒ ගැන පැහැදිලි කල හැකිය. කවුරුන් හෝ නිදහස් අදහස් ඉදිරිපත් කරන විට වට කරගෙන පහර දෙයි නම් ඔහුට කල යුතුව තිබුනේ කොමෙන්ට් වසා දැමීම හෝ පාලනය කිරීමයි. ඒවා පල කිරීමට අවශ්‍ය නැත.

නෙලුම් යාය විසින් කඳුකරයේ පාසැල් වල දරුවන්ට පොත් පත් හා උපකරණ ප්‍රමාණයක් බෙදා දුන්නෙමු. කල්‍යාණ මිත්‍ර, කටුසු හදවත, රූපේ වැනි බ්ලොග් කරුවන් හා වෙබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මිට සහභාගී වුනි. බ්ලොග් කරුවන් දෙදෙනෙක් (පැතුම් හා ඉවාන්) මුදලින් දායක වුනි. මධ්‍යස්තයා කියන්නේ මේවා අණබෙර ගසා නොකළ යුතු බවකි. මෙය අපට චෝදනාවක් දැයි නොදනිමි. ලංකාවේ එසේ කල හැකිද? ජනතාවගේ මුදල් වලින් දේශපාලකයන් ආධාර දී පත්තර වල දා ගන්නා රටක? මමත් මගේ යහළුවන් පිරිසකුත් චැරිටියක් පිහිටුවා සුනාමියෙන් අසරණ වූ ළමුන්ට උදව් කළෙමු. මෙවැනිම සපත්තු, පොත් බෙදා දීම් ආදිය කළෙමු. ඒ 2004 සිටය. මේවා පත්තර වල දැම්මේ නැත (වෙබ් අඩවිය) .

නමුත් අපි එසේ කල දේවල් වරක් එක්තරා ඇමෙරිකානු චැරිටි පදනමක් තමන් කල දේ යයි පවසා තම වෙබ් අඩවි වල දමා අමෙරිකානුන්ගෙන් තවත් ඒ දේ කරන්නට ආධාර ඉල්ලා තිබුණි. පසුව සොයා බලන විට අප කල ඒ දේවල ඡායාරූප ආදිය ඔවුන්ට දී තිබුනේ ඒවාට සහභාගී වුනු රජයේ නිලධාරියෙකි. මවිසින් විරෝධය පල කල පසු ඔවුහු ඒවා ඉවත් කලත් සමාවක් නම් ඉල්ලුවේ නැත. අනුන් ගේ වැඩ තමන් ගේ යයි කියමින් එසේ වංචා කළ හැකි වුයේ අප ඒවා ප්‍රසිද්ධ නොකළ බැවිනි. වරක් අප විසින් යුදයෙන් ආබාධිත වූ භටයන්ට සහය උපකරණ යැව්වෙමු. ඒවා බෙදා දුන්නේ උසස් නිලධාරියෙකු ගේ බිරියකි. ඔවුන් අපේ පදනමේ නමවත් සඳහන් කලේ නැති අතර භටයන්ට හැඟවුයේ ඒවා උසස් නිලධාරියා ගෙන් බවය. ඒ නිසා ආධාර දෙද්දී ඒ ගැන විස්තරයක් පල කල යුතු බව සිතමි. නැත්නම් අපට උදව් කරන අය අප කිසිවක් නොකළා යයි සිතන්නටද ඉඩ ඇත.

කඳුකරයේ පාසල් පොත් බෙදා දීමේදී සංවිධාන ක්‍රමයේ ප්‍රශ්න කීපයක් ම ඇති වුනි. ඒ නිසා අප ගිය මාසයේ කුරු ගෑ ගී පවුර බ්ලොගය විසින් සංවිධානය කළ එවන් අවහිරතා ඇති ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමට දායක වුනෙමු. එය මුළුමනින්ම සංවිධානය කලේ හා මුලිකත්වය ගත්තේද ඔවුන්ය. දැන් ඒ අනුසාරයෙන්ම තවත් බ්ලොග්කරුවන් පිරිසක් එවැනිම සද් කාර්යයක් කරන්නට සැරසෙති. අපි එයටද දායක වෙන්නෙමු. ඒ නිසා මධ්‍යස්ත මතධාරියා එවැනි දේ ප්‍රසිද්ධ කිරීමෙන් හොඳක් මිස නරකක් වන්නේ නැත. හැකිනම් ඔබත් දායක වෙන්න.

බ්ලොග් වලට සම්මාන දීමට තීරණය කලේ මමයි. ඉන්පසු එයට මුල්‍ය ආධාර දෙමින් තමන්ගේ වෙබ් අඩවියේ වඩා වැඩි ඉඩක් සපයා දෙමින් මෙන්ම වෙනම වෙබ් අඩවියක් නෙලුම් යාය නමින් ඇති කිරීමෙන් ද මහත් සේ උදව් කල ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රධාන කර්තෘ වරයෙක්ද සිටි. අප මේවා කරන්නේ නිස්සරණාධ්‍යශයෙන්ය. ලංකාවට මෙය පුරුදු නැති දෙයක් බව අප දනිමු. සමහරු හිතන්නේ අපට ලොකු පොරවල් වීමට අවශ්‍යව ඇති බවකි. අහෝ මිතුරනි, අපි මේ උළෙලවල් සංවිධානය කරන බව හෝ සම්මාන, ත්‍යාග දෙන බව හෝ අපගේ පවුල් වල උදවිය තබා මිතුරන් වත් දන්නේ නැත.

සම්මාන දීමෙන් නිදහස් අදහස් ප්‍රමිතිකරණයට ලක්වේ යයි කීම පදනම් විරහිත දෙයකි. බස්සි වඩාත් හොඳින් තවමත් ලියන්නීය. ඒ මදිවට පොතකුත් ගැසුවාය. මාතලන් ගේ කුණුහරප වල අඩුවක් නැත. ඔහු තමන්ට ආවේණිකවූ ශෛලියෙන් තවමත් ලියයි. එක් අයෙකු දෙදෙනෙකු හැර අනිත් අය තවත් හොඳට නිර්මාණ කරති. නිදහස් සිතුවිලි ඉන් එක් බ්ලොගයකි. සම්මාන දුන්නත් නැතත් බ්ලොග් කරුවෝ ලියති. සම්මාන දෙන්නේ අප හදාගත් නිර්නායකයන්ටය. ඒවා මොනවා දැයි කීමට අප බැඳී නැත. සම්මාන දෙන්නට කලින් අපි ඒ බව බ්ලොග්කරුවන්ට දැනුම් දෙන්නෙමු. ඔවුන්ට ප්‍රතික්ෂේප කරන්නට අවස්ථාවක් ද දෙන්නෙමු. ඒවාට අකමැති කෙනෙක් තමන් ගේ සම්මාන උළෙලක් පවත්වනවාට අපෙන් බාධාවක් ද නැත. එසේ බාධා කරන්නට අප මහා ලොක්කන් ද නොවේ. බ්ලොග් උළෙල වල් වැඩි වෙන තරමට හොඳ බ්ලොග් කරුවන්ට මය.

ටික්කා මධ්‍යස්ත මතධාරියා ට අපහාස කිරීමක් ගැන දැක්කේ ඔහුගේ අවසන් ලිපියෙනි. සාමාන්‍යයෙන් ටික්කා මට විවේචන ලියා නැත. ඔහු ඉංග්‍රීසියෙන් සින්හල කොටන නිසා සාමාන්‍යයෙන් මම ඔහුගේ කොමෙන්ට් කියවන්නේ නැත. (ටික්කා අමනාප නොවන්න.) ඒ ගැන නොයෙක් වර ඔහුට පවසා දැන් ඔහු සිංහලෙන් කොමෙන්ට් කරයි. ටික්කා අපහාස කර ලියා ඇති දේ මධ්‍යස්ත මතධාරියා පල කර ඉන්පසු ඒ ගැන දුක් වෙමින් අනිත් අය ඔහු සඳහා ඉදිරි පත් නොවන්නේ යයි කියයි. මම එය ඊයේ කියවූ නිසා කියන්නට තිබෙන්නේ ටික්කා සාමන්‍යයෙන් කුණුහරුප ගොඩක් ලියන අයෙකු බව මා දැක ඇති බවයි. එය ඔහුගේ නිදහස නිසා මම කිසිවක් කීමට නොගියෙමි. මධ්‍යස්ත මතධාරියා ඒවාට අකමැති නම් ඒවා පල නොකර සිටියා නම් ඉවරය. නැත්නම් එයට සරිලන පරිද්දෙන් උත්තරයක් දීමට මධ්‍යස්ත මතධාරියා ට ද නිදහස ඇත.

මා දැක ඇති දෙයක් නම් දරුණු විවේචන ඉදිරිපත් කරන අයට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් විට "මට ගැහුවෝ" යයි කියා ඔවුන් ම ඉන්පසු අඬා වැලපෙන බවයි. මටද එවැනි දරුණු ප්‍රහාරයන් කීපයක් මගේ බ්ලොගයේ හා මාතලන්ගේ බ්ලොගයේ දී එල්ල විය. ඒ මගේ දරු පවුල ගැනය. ඒවාට ගත් හා ගන්නා ක්‍රියා මාර්ග ගැන මෙහිදී කිසිවක් නොකියමි. නමුත් මධ්‍යස්ත මතධාරියා ටික්කා ගේ ඔය කියන අපහාසයට බ්ලොග් ලිවිම නැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමන් දුර්වලයෙකු බව පමණය. ඔය කියන ලිපියේදී මා ගත්තේ මධ්‍යස්ත මතධාරියා ගේ පැත්තය. මගේ කොමෙන්ටුවෙන් එය දැක ගත හැකිය. මා කොහොමත් පාසැල් ගුරුවරුන් ළමුන්ට තලනවාට විරුද්ධ අයෙකි. එසේම විචාරක මහතාට විරුද්ධව මගේ බ්ලොගයේ පලවූ කොමෙන්ටුවක් මම පල කලේ නැත.

මා අදේවවාදියෙකු මිස නිරාගමිකයෙකු නොවන නිසා ඔහු ආගම් ගැන කියන දේ ගැන කිසිවක් නොකියමි. මම යන්නේ හින්දු දෙවියන් ගේ ප්‍රතිමා නැති පන්සල් දෙකකට පමණි. සියලු දේව ඇදහීම් වලට විරුද්ධ අයෙකු මිස අනිකාට තම ආගමක් තමන් ට ඕනෑ විධිහට ඇදහීමේ නිදහසට විරුද්ධ නොවෙමි. එසේම ඕනෑම ආගමක් විවේචනය කිරීමට හා නිදහසේ අදහසක් පළ කිරීමට මට මෙන්ම අන් අයටද අයිතියක් තිබේය යන්න විශ්වාස කරමි. බුදු දහම ගැන හැඳින්වීමේදී බුදුන් කිවේ "ඒහි පස්සිකෝ " කියාය. එනම් අන්ධ භක්තිය නොව "එව බලව" කියාය. ළමා අපචාර මෙන්ම දුෂණ කරන ඕනෑම ආගමක, ඕනෑම යතිවරයෙකුට මම නම් විරුද්ධය. තමන් අතරමන් වූ ඕනෑම අවස්ථාවක දේශපාලක තක්කඩියන් කරන්නේ ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීමයි. මධ්‍යස්ත මතධාරියා එම තත්වයට පත් නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

අවසන් වශයෙන් කිව යුත්තේ තමන් කල යුත්තේ තමන්ගේ සිතට ප්‍රීතියක් දැනෙන තමන් කැමති දේ පමණක් බවය. අකමැති දේ කිරීම සිතටද වධයකි. මධ්‍යස්ත මතධාරියා ගේ නික්ම යාම කණගාටුවට කරුණක් වුවද තමන් සිතන දේවල් බ්ලොග් වලින් ඉටු නොවේ නම් එය වදයක් කර නොගෙන ඉන් ඉවත්ව යාම යෙහෙකි. නොඑසේ නම් වෙලාව ඇති පමණට බ්ලොග් ලිවිම හෝ සංවාදයේ රැඳී සිටීම යෙහෙකි.

Friday 1 January 2016

සුභ නව වසරක් සමග මහා තනපට යුද්ධයත් නිම කරමු

නත්තල් නිවාඩුවට ජර්මනියට ගොස් පැමිණියේ ඊයේය. නිවාඩු යනවිට මගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමට බිරිඳ දරන ප්‍රයත්නයන් පරාජය කරමින් ඊමේල් ටිකක් යවා ගත්තද බ්ලොග් කියවීම් අතපසු විය. අප ජර්මනියට යන්නේ වසරක් පාසා බිරිඳගේ දෙමව්පියන් හා නෑදෑයන් බැලීමට අප යොදා ගන්නා කාලය නත්තල නිසා මිස ආගමික සංවත්සරයක් සැමරීමට නොවේ. ඉතින් ඊයේ ලන්ඩනයට පැමිණි විට තවමත් තනපට යුද්ධය නිමා නොවී ඇදෙන බව දුටිමි. මෙහිදී මට මතක් වුනේ ජර්මනියේ විවාහ උත්සව වලදී කෙරෙන ක්‍රීඩාවක් ගැනය.


ශ්‍රී ලංකාවේදී සිදී කෙරුණු අපේ විවාහයේදී අපි සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළෙමු. ජර්මනියේදී අප අනුගමනය කලේ එහි චාරිත්‍රය. එහි විවාහ උත්සව වල නෑදෑයන් හා යහළුවන් නොයෙකුත් "ක්‍රීඩා" සංවිධානය කරනු ලබයි. පටන් ගැන්මේදී ඒවා කවි කියවීම, පරණ මතකයන් එකිනෙක ඇවිස්සීම, මනාල යුවලගේ ප්‍රේම කතා හා ඔවුන්ට විහිළු තහළු කිරීම ආදියෙන් සමන්විත වෙයි. වඩාත් රාත්‍රිය එළඹෙද්දී හා මධුපානයන් නිදහසේ ගලා යද්දී ක්‍රීඩා ද වඩා "වැඩිහිටි" වෙයි. ජර්මනියේ ළමුන්ව රාත්‍රී 9.00 පමණ වන විට නිදා ගැනීමට යවති. අවුරුදු 14ට වැඩි ළමුන්ට 10.30 පමණ වනතුරු සිටිය හැකිය. මා සහභාගී වූ විවාහ උත්සව කිහිපයකම මෙය මෙසේ සිදු විය.

ඉන්පසු කරන "වැඩිහිටි " පන්නයේ ක්‍රීඩාවක් මට මතක් වුයේ තනපට කාල ගෝට්ටිය නිසාය. සංගීත පුටු තරඟය මතකද? මෙහි වැඩිහිටි වර්ෂන් එක මෙසේය. පිරිමි ගැහැණු සියල්ලෝම සංගීතයට වටේ යති හිටි හැටියේ සංගීතය නැවතුනු පසු අප අර කුඩා කාලයේ ක්‍රීඩා කල "කන් කන් බූරු සින් සින් නෝරු " ආකාරයේ අණක් ලැබෙයි. දුවල දුවල ගිහින් අණ කරන දේ කර වහා පැමිණ හිස් පුටුවකින් වාඩි විය යුතුය. මේවා බොහෝ විට සිනහ උපදවන හා "වැඩිහිටියන්ට පමණයි" ස්වරුපයේ අණවල්ය. එකක් වන්නේ "දුවල දුවල ගිහින් තනපටක් (බ්‍රා එකක්) අරන් ඇවිත් වාඩි වෙන්න" යන්නයි. තරඟයේ කාන්තාවන් සිටී නම් ඔවුන් බොහෝ විට අත යවා තමන්ම තනපට මුදාගෙන වාඩි වෙති. ප්‍රශ්නය වන්නේ උෂ්ණ කාලයක නම් (ශිත සෘතුවේ නොවේ නම්) බොහෝ ගැහැනුන් තනපට පැළඳ නොසිටීමයි. එවිට බොහෝ අය තරඟයෙන් පරාජය වෙති. විවාහක පිරිමින් තම බිරින්දන් ගෙන් තනපටය රැගෙන දිව එන අතර තනිකඩ අයට අවට සිටින කාන්තාවන්ගෙන් තනපටය සිඟා යාමට සිදු වේ. සමහර විට මේ තනපටය මුදා ගැනීම අසීරු වෙන අතර උඩුකය වැස්ම උස්සා තනපටය අදින කාන්තාවන්ද සිටිති. එවිට නොමිලයේ ලැබෙන කලාත්මක දර්ශන වලින් සිත සතප්පවා ගත හැකිය.

පිරිමින්ටද ගැලවී යා නොහැක. ඊළඟ අවස්තාවේදී දුවල දුවල ගිහින් යට ඇඳුම හෙවත් ජොකා ගළවා ගෙන ආ යුතුය. හිල් තිබෙන අපිරිසිදු ජොකෙක් ඇඳන් ආවා නම් කාඩ් ඉවරය. මෙය කල යුත්තේද සම්පුර්ණයෙන්ම කලිසම ගැලවීමෙන් නොවේ. කලිසම එක කකුලක තිබෙද්දී හා රහස් පෙදෙස වසා ගෙන ජොකා ගැලවිය යුතුය. මා දුටු එක දසුනක කාන්තාව කලේ තමන් ඇඳ සිටි කබාය ගලවා සැමියාට පොරවා ඔහුගේ කලිසම බලෙන් මෙන් ගලවා ජොකා අරගෙන දිවිමයි. මෙහිදී තමන් සැමියා ගේ යටි කය කබායෙන් වැසූ බව අමතකව ඇය කබායද ඇඟ ලා ගත්තාය. නිරුවත්ව කෑ ගසන සැමියා දැක සියල්ලෝම පෙරලි පෙරලි සිනා සුනහ. මෙවැනි ක්‍රීඩා බොහෝ විට කරන්නේ මිනිසුන් අපහසුතාවයට පත් කර සිනහ වීමටය.

ශීත සෘතුව අවසන් වීගෙන යන විටම අපේ කාර්යාලවල තරුණියෝද තනපට හැඳීම අත හරිති. කවුරුත් එය විවේචනය කරන්නට යන්නේ නැත. මේ සියල්ලේ මේ රටවල සංස්කෘතික විඥානය අනුව සලකා බැලිය යුතු හැසිරීම් වේ. මේ රටවල තනපටයක් ගැලවීමේ හෝ නොහැඳ සිටීමේ ලොකු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වන්නේ එම සංස්කෘතික තත්වයන් නොමැති රටවල එය එසේම කල යුතුද යන්නය. මගේ අදහස වන්නේ එසේ නොකළ යුතුය යන්නයි.

අප ශ්‍රී ලංකාවට යනවිට අපේ පවුලේ ගැහැණු කිසිවෙකු කොටට අඳින්නේ ඇත. රටේ සංස්කෘතිය අනුව එසේ හැසිරිය යුතු බවට මම ඔවුන් ට කියා ඇත්තෙමි. වරක මගේ දියණිය කොටට හැඳ සිටින ශ්‍රී ලංකික තරුණ කාන්තාවන් කිහිප දෙනෙකු කොළඹ දී මට පෙන්වූවාය. මා ඇයට කිවේ ඔවුන් එසේ ගියද පිට රටින් පැමිණෙන අප දෙස මිනිසුන් වඩා තදින් විමසා බලන බවත් සමහර නෑදෑ ගෙවල එසේ හැඳ ගියොත් විවේචනයට ලක් විය හැකි බවත්ය.

තමන් සිටින රටේ සංස්කෘතිය අනුව හැකිතාක් දුරට හැසිරිය යුතු බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ තනපට හා උඩුකය වැසීම ඉංග්‍රීසින් පටන් ගත් විට එයට විරුද්ද වූවෝ කුලිනයෝය. කුලහිනයන්ට උඩුකය වැසීම තහනම් වූ හෙයිනි. ඒ නිසා එදා එය ප්‍රගතිශීලී පියවරක් විය. දැන් තනපට ගැලවීම ප්‍රගතිශීලි ද ?

පිටරටවල වුනාය කියා ශ්‍රී ලංකාවේද එසේ හැසිරීම කල යුත්තක් නොවේ. ඒ නිසා සිරිසේන මහතා තමන් ජිවත් වූ පොළොන්නරුවෙන් උකහා ගත් සංස්කෘතික හැදියාවන්ට අනුව කළ චෝදනාව මෙතරම් තදින් විවේචනය කිරීමේ තේරුමක් නැත යන්න මගේ විශ්වාසයයි. විවේචනය කල යුත්තේ ඔහුගේ පුතා, බෑනා හා ඔහුගේ ගුවන් හමුදාපතිගේ දියණියද ගිය මේ ප්‍රසංගය වැනි ඒවා ඔහු තහනම් කල යුතු යයි පැවසීමය. ඒ කියන්නේ පවුලේ අය ගියා වුනත් මම මේවා තහනම් කරනවා යයි හෝ මඩු වලිගෙන් තලනවා යයි කීමය. ඔහු පුතාට හා ගුවන් හමුදාපති තුමාගේ දියණියට එසේ කළා දැයි මම නොදනිමි. නමුත් ශ්‍රී ලංකාවේ පවුලට සැලකීමේ ප්‍රවනතාවයෙන් වෙනස් ව පවුලේ කැමැත්තද ගණන් නොගෙනෙ මෙවැනි තහනමක් යෝජනා කිරීම පිළිබඳව ඔහුට මගේ ප්‍රසාදය හිමි වේ.

තන පටයේ බලය පිළිබඳව කියවෙන මේ රුසියානු වීඩියෝවත් බලන්න.

එසේම අතිගරු ජනාධිපති උතුමාණන් එන්රිකේ සමග ගයන ගීයක් ද අද වත් පොතේ දුටුවෙමි. එයත් නරඹන්න

සියලුම බ්ලොග් කරුවනට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.