Sunday 24 January 2016

බ්ලොග් කරුවනි ව්‍යවස්ථාවට කෙළිමුද ? කතා කරමුද?

දුරකථන ඇමතුමක් ආව හදිසියේම වගේ. දන්නා අඳුනන කෙනෙකු ගෙන්. ඔහු එංගලන්තයේ සිටින ඉංජිනේරු අංශයක රැකියාව කරන මහත්මයෙක්.
 "අජිත් හරි වැඩේනේ වෙලා තියෙන්නේ, මෙච්චර අමාරුවෙන් රැක ගත්ත රට මුන් කඩලා දෙන්නනේ හදන්නේ. ඔක්කොම හරි දැන් රට බෙදන්න. රට අපට නැති වෙනවා."
මම ඇහුවා "කවුද කවුද එහෙම කරේ. මොකක්ද වුනේ"
"ඇයි දන්නේ නැත්ද? මේ ටෝනි බ්ලෙයාර් ලංකාවට ගිහිල්ල. අර හොරගොල්ලේ හැතිරිත් එක්ක එකතු වෙලා. උන් හොර ව්‍යවස්ථාවක් හදල."
"කවුද ඔය කතාව කිව්වේ. ඕක ඇත්ත වෙන්න බැහැ? ටෝනි බ්ලෙයාර්ට නම් මමත් කැමති නෑ. මේ ඉරාකෙට ගිහින් බුෂ් එක්ක නටපු පිස්සුව නිසා. බ්‍රිතාන්‍යයේත් සෑහෙන්න ජන-අප්‍රිය වෙලානේ ඉන්නේ. හැබැයි ලංකාවට ගියේ අර කදිරගාමර් දේශනයට මම දන්න තරමින්. බ්ලෙයාර් ගේ වැරදි තිබුනත් උතුරු අයර්ලන්තේ ප්‍රශ්නේ හරියට විසඳුනේ බ්ලෙයාර් නිසා."

"නැහැ අජිත්. කෝ ඔයාල හිටියට ලංකාවේ මොනා වෙනවද කියල බලන්නේ නැහැනේ. රට බෙදෙනවා. මේ ගොල්ලෝ හොරෙන් ව්‍යවස්ථාව හදලා. දෙමළුන්ට කෑලි තුනක් දීල. මුස්ලිම් එවුන්ට පැති දෙකක් දීල, අර බඩි උඩිය විල්පත්තුවත් කනවා. අපිට කොහෙවත් නැහැ. අපිට උන්ගේ පැතිවල ඉඩමක් ගන්න තියා ජිවත් වෙන්න වත් දෙන එකක් නැහැ. ඉතින් අප කට්ටිය කතාවෙලා මිටීන් එකක් තියනවා. වැඩි විස්තර දැනගන්න ඒකට එන්න. කොහොම හරි නවත්වමු. "

මට මෙවෙලේ කල්පනා උනේ හැම වෙලේම මේ ප්‍රශ්නේ විසඳන්න කියල කිසියම් රජයක් ලැහැස්ති වෙනකොට එරෙහි වෙන කොටසක් ඉන්නවා දෙපැත්තේම. බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ගහන්න යනකොට එජාපය විරුද්ධ වුණා . බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේම අය වුනත් විරුද්ධ වුණා. අන්තිමට එතුමාව මරා දැමුව. ඊට පස්සේ තවත් උත්සාහයන් කීපයක් තිබුන. කවුරු මොනවා කීවත් චන්ද්‍රිකා උත්සහ කලා අන්තර් පාලනයක් දීලා ප්‍රශ්නේ විසඳන්න. රනිල් විතරක් නෙමේ ජවිපෙත් විරුද්ධ වුණා.

රාජපක්ෂ මහත්මය ආපු කාලේ උත්සාහ කලා කියල තමා කියන්නේ. ඒ පාර ප්‍රභාකරන් විරුද්ධ වුණා. අන්තිමට දරුණු යුද්ධයකින් එවැනිම වූ ප්‍රචණ්ඩ ගරිල්ලා සටනක් පරාජය කලාට පස්සේ දැන් අවස්ථාව ලැබිල තියනවා ප්‍රශ්නය සාධාරණව විසඳන්න. ප්‍රභාකරන් ඇතුළු ඒ ත්‍රස්තවාදී කියා බොහෝ අය කියන කණ්ඩායම කලේ නිදහස් අරගලයක් කියල කියන කොටසකුත් සිටිනවා. ඒකෙ කිසියම් සත්‍යයක් නැතුවාම නෙමෙයි. මොකද කුල ප්‍රශ්න, දුප්පත් කම, විශ්ව විද්‍යාල වල ඉඩ නැතිවීම ගැන ඔවුන් ගේ චෝදනා , මිට අමතරව යාපනේ රජෙක් හිටිය අවධිය (ලංකාවෙන් කොටසක් පෘතුගීසින් පාලනය කල සමයේ හා ඊට පෙර) තුල තමන් ට මිට වඩා නිදහසක් තිබු බවට දෙමළ ප්‍රජාවෙන් කොටසක් විශ්වාස කරනවා.

දෙමළ බෙදුම් වාදය කියල තවත් බ්ලොගයක ලිපි පෙලකුත් යනවා.

එම ලිපි පෙළ පාක්ෂිකයි කියල චෝදනාවකුත් තියනවා. නමුත් එහි කිසියම් වැදගත් කරුණු ප්‍රමාණයක් හෙළි දරව් වෙනවා. තමන් දේශපාලනිකව මොන පැත්තේ හිටියත් ඉතිහාසයට අයත් කරුණු අපට පැති වලට බෙදල අනුයුක්ත කරන්න බැහැ. මොකද ඒවා වෙලා ඉවරයි. ඉතින්

අපි ආයේ මේ සාකච්චාව නොකර ඉමුද? දෙමළුන්ට ඇත්තටම ඔය කියන දේ දෙනවද? මේවා බොරු ප්‍රචාර වෙන්න බැරිද? ඇත්තටම ව්‍යවස්ථාව හදලද තියෙන්නේ? අපට බොරුවක් ද මේ කරන්නේ යන්නේ? ඉතිහාසයේ එන තවත් අවස්ථාවක් මුග්ධ ජාතිවාදයකට මුවා වෙලා නැවත අත හරිමුද?

 ඔය අතරේ බ්ලොග් ලියන හිතවතෙක් මෙහෙම යෝජනාවක් කලා.
"බ්ලොග් කරුවෝ විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා. මම දැක්කා අර කරු පරණවිතානත් එයාගේ සතර දිගන්තය බ්ලොගයේ ව්‍යවස්ථාව ගැන කතා කරලා තිබෙනවා. අපි ලියමුකෝ මේ ගැන. අපි අපේ යෝජනාත් දෙමු."

උදාහරණයක් ලෙස ඔහු මෙහෙම යෝජනාවක් කලා:

පොලිස් බලතල - පොලිස් රථවාහන අංශය බලතල සහිතව පළාත් වලට ගියාට කමක් නැහැ. එතකොට ගෘහස්ත හිංසන, සුළු සොරකම් වගේ දේවල් පළාත් වලට බලය බෙදපු නීති පද්ධතියක් තුලින් එම පළාත් වලම විසඳන්න කිව්ව හැකි. නමුත් පොලිසියට ආයුධ නිකුත් නොකළ යුතුයි. හැබැයි එතකොට ආයුධ නැතුව පොලිසියට ජනතාව හසුරුවන්න පුලුවන්ද?

එංගලන්තයේ නම් ආයුධ අරන් යන්නේ නැහැ පොලිසිය. ඇමෙරිකාවේ පොලිසිය නම් අරන් යනවා. ආයුධ රැගත් අපරාධකරුවකු සිටියොත්? ඒකට ඇමෙරිකාවේ වගේ ෆෙඩරල් පොලිසියක් දානවද? හමුදාව අයින් කරනවද? ඇයි අයින් කරන්නේ. රටක් වශයෙන් රටේ ඕනෑම තැනක හමුදා කඳවුරු පිහිට වීමට මධ්‍යම රජයට අවසර තිබෙනවා නේද? මිනිසුන්ට අවහිර නොවෙන ආකාරයට රටේ ආරක්ෂාවට කඳවුරක් පිහිටෙව්වම මක් වෙනවද? මේ වගේ ප්‍රශං සාකච්චා කරලා ජනතාවගේ අදහස් ඇතුව අපාට් ඉදිරිපත් කරන්න බැරිද?

ඉතින් අපි කල්පනා කලා මෙහෙම. අපි හැමෝටම ව්‍යවස්ථාවේ හැම දෙයක්ම ගැනම අදහස් දෙන්න බැහැ. අපිට වෙලාව තියෙන වෙලාවට, අපට පුළුවන් හැමෝගෙම පක්ෂ විපක්ෂ අදහස් එකතු කරලා ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට භාර දෙන්න. අපට පුළුවන් නෙලුම් යායෙන් ඒ හැම අදහසක්ම, එකතු කරලා මුද්‍රණය කරල නව ව්‍යවස්ථාව අපේ යෝජනා කියල ඉදිරිපත් කරන්න. ඒවා ගැන ඒගොල්ලෝ කතා කරනවද , නැත්නම් නිකම්ම කුණු කුඩේට දානවද කියල හොයල බලන්න පුලුවන් එතකොට. ජනතාවට නොදැනී හොර වැඩක් වෙනවා කියන චෝදනාව සත්‍යයක්ද කියලත් හොයල බලන්න පුළුවන්.

 ඔබලාගේ අදහස කුමක්ද?

37 comments:

  1. ඉතා හොඳ අදහසක් අජිත්. මගේ අදහස් ඉකමනට පෝස්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. අදහස් ටිකක් එකෙතු වුනොත් හොඳයි.

      Delete
  2. අම්මෝ.. කණාමැදිරියා ගෙන් බැට කාපු මට මෙයා කියනවා ගිණිපෙලි ගැන කතා කරන්නලු.

    ReplyDelete
    Replies
    1. පොලිසියෙන් ගැහුවේ නැහැ කියල කිව්වේ........................

      Delete
  3. අදහස ඉතාමත් හොඳයි. ක්‍රියාත්මක වුනොත් ඊටත් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරල් බාලන්නයි තියෙන්නේ.

      Delete
  4. අජිත් අයියා වැඩේට අපි උපරිම සහයෝගය දෙනවා.... අැත්තට ම මේක ඉතා වටිනා දෙයක්..... දේශපාලනය කියන්නේ මහා ජරා වලක් කියලා ඒක ප්‍රතික්ෂේප කිරීම වැරදි දෙයක්.... අපි පාලනය වෙන්නේ ඒ ජරා වලෙන් නම් අපි දැනගත යුතුයි ඒ ජරා වල කොහොමද හොද අතට හරවා ගන්නේ කියලා... මේක හොද අවස්ථාවක්.... සමහර විට අපි බලපෑම් කරලා හදන ඒක ව්‍යවස්ථාවක් (ව්‍යවස්ථාවේ ඒක් වාක්‍යයක්) ලොකු වෙනසකට හේතු වෙන්න බැරි නැහැ...... ඒ නිසා අපි පොදුවේ අදහස් දෙන ගමන් ස්ථාවරයක ඉදලා බලපෑමක් කරන්න උත්සහ කරමු........

    ReplyDelete
    Replies
    1. කුරුටු මේක ඕගොල්ලන්ට හොඳට ගැලපෙනවා. ඒ බ්ලොගය පැත්තෙන් පටන් ගත්තොත් හොඳ නැත්ද?

      Delete
  5. මම නම් කියන්නෙ පොලිස් ඉඩම් බලතල සහිතව උපරිම බලය බෙදීමක අවුලක් නෑ කියල. අනික ඕක කොහොමත් දෙන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ලෙහෙසි නැහැ. විරෝධතා හුඟක් එයි.

      Delete
  6. මචෝ... අපේ කාළය මිඩංගු කරන්න ඕන ව්/ඇඩක් වෙන දේකට. සිරිසේන කියනවා රට බෙදන්නෙත් නෑලූ. විධායකේ අහෝසි කොරන්නෙත් නෑලූ. ඡන්ද ක්‍රමේ වෙනස් කරන්නෙත් නෑලූ.. එහෙනම් අහවල් එකටද බං වියවස්තාවක්..

    සුදු නෙළුම වගේම නිකං සල්ලි කන ගේමක්.. පිස්සු විකාරයක්..

    අනික උන්ටම අදාලව තියෙන ප්‍රශ්ණෙ මොකක්ද... එහෙම ප්‍රශ්ණයක් නෑ.. තියෙන්නේ පොදුවේ දුප්පත් කමට විසඳුම් හොයන එක.. එතකොට ප්‍රශ්ණ නෑ...

    එහෙම දවසකට වැදගත් විදියට ඡන්දයකින් විසඳන්න පුළුවන්.. කියුබෙක්වල වගේ... මොකක්ද තව රටක මෑතක තිබුනා වගේ...

    ReplyDelete
    Replies
    1. අපි බල කරලා බලමු බන්. නිකන් ඉන්නව ට වඩා. උමබ් අකියන එක මට තේරෙනවා.

      Delete
  7. රට සහ නැගෙනහිරට පොලිස් බලතල දීම යනු:
    මෙතෙක් කල් සින්හල පොලිස් කාරයන් ගෙන් ඇනුම් බැනුම් සහ රැවුම් වල ට ලක් වූ දෙමල සහ මුස්ලිම් අන්කූරන් ට දෙමල සහ මුස්ලිම් පොලිස්කාරයන් ගෙන් පස්චාත් බාගය රත් වෙන්නට ගුටිකා ගොනිකා මැල්ලුමෙන් තවා ගැනීමේ ස්වර්නමය අවස්තාව උදාවීමයි!

    ReplyDelete
    Replies
    1. හරියට හරිය. ඒ මදිවාට නැගෙනහිර කාත්තන්කුඩි එවුන්ගේ දකුණු අත් කැපී, කස පහරවල් වැදී සිටියදී උන් අසයිලම් ඉල්ලා බස්නාහිර පළාතට එනු ඇත.

      Delete
    2. උන් දෙගොල්ලන්ට ටික කාලෙකට මේක ප්‍රැක්ටිස් කරන්න දුන්නොත් පස්සේ එපා කියල කියන එකක් නැද්ද...

      Delete
  8. නුදුරු දිනෙක මෙය අප'තින් ඉටු කෙරෙනු ඇත.

    ReplyDelete
  9. හොඳයි,අපිටත් අපේ අදහස් දෙන්න පුළුවන්.එක බ්ලොග් එකක් හරහා බ්ලොග් කරුවෝ මේ යෝජනා කරනවාද /නැතිනම් තනි තනිව තම තමගේ බ්ලොග් හරහා ඒ යෝජනා ගෙනවිත් එකම තැනකට සියල්ල ලින්ක් කරනවාද ?

    ReplyDelete
    Replies
    1. මේක හොන්ඩ අප්‍රශ්න්යක්. ඇත්තටම් ඒක කල්පනා කලේ නැහැ. නෙලුම් යායේ ව්‍යවස්ථාව කියල වෙනම පිටුවක් හදල ඒකට ඔක්කොම ලින්ක් කරමුද?

      Delete
  10. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම හොදින් සකස්කල පමණින් සමාජය යහපත් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයට තිබුනද සාමාන්‍ය ජනතාව ක්‍රියාකරන ආකාරය අනුව ඒවා බලාත්මක වන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ සෑබෑ වෙනසක් සිදුවන බව පවසමින් හෝ එයින් හානියක් වන බව පවසමින් තමන්ගේ බලය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාව ඇත්තේ රටේ ජනතාව තමන්ගේ කැමැත්තෙන් තොරාගනු ලබන මහජන නියෝජිතයින්ට සහ දේශපාලන පක්ෂ වලටය.


    2. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම තරමේ වන දේවල් නොවේය. මම සිතන පරිදි සාමාන්‍ය ජනතාවට වඩාත් ඵලදායි වන්නේ තමන්ගේ සහ තම සහෘදයන්ගේ සුරක්ෂිතභාවය පිලිබදව සමාජය විසින් ගනු ලබන තිරණයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එවැනි යම් සුරක්ෂිත භාවයක් ලැබේයැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එහි මුලික අර්ථයම වනුයේ පවතින පාලන ක්‍රමය ශක්තිමත්ව පවත්වාගෙන යාමය. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහස් ගැනීම සදහා අවස්ථාවක් ලබා දුන්නද එය බොහෝවිට මුලා කිරීමක් පමණය. අවසානයේ ජනතාවට වැඩකට නැති, දේශපාලකයන්ගේ බලය ආරක්ෂාවන ව්‍යවස්ථාවක් ඉදිරිපත්වනු ඇත. දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩකට ඇති එකක් බව මෙයින් නොකියමි.

    3. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දේශපාලකයින් මෙන්ම ඉන් පිටත සිටින දේශපාලන ක්‍රියාදරයන් බොහෝමයක් තමන්ගේ අනුමැතිය සහ කරුණු ඉදිරිපත් කරනුයේ ජනතාවගෙන් වැඩි කොටසක් තමන්ගේ කණ්ඩායමට අත්කර ගැනීමේ අරමුණින්ය. ඔවුන්ට ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හෝ සාමකාමි සමාජයක් වෙනුවෙන් වන අවශ්‍යතාවයට වැඩියෙන් ඇත්තේ තමන්ගේ ගොඩ හා පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයය. සිවිල් බුද්ධිමතුන්ට හා පුජකයින්ටද ඇත්තේ එවැනිම අපේක්ෂාවක් පමණි. ඉහත පැන නැගෙන ගැටලුත් සමග මාධ්‍ය විසින් තමන්ගේ ලාභය සදහා මෙවායේ පාර්ශවිය කරුණු ඉදිරියේදි සමාජ කතිකාවකට ගෙන එනු ඇත.එය හුදෙක් ජනතාවගේ යහපත උදෙසා නොව තමන්ගේ ලාභය, ජනප්‍රියත්වය හා පැවැත්ම මතම පමණක් රදා පවතිනු ඇත.

    4. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කලද නොකලද යෝජනාවන් ඉදිරිපත් කිරීම සහ ඒ පිලිබදව කතිතාවක් ඇති කිරීම නරකම නැත. එයින් ජනතාවගෙන් යම් කොටසක් හෝ නව දැක්මක් හෝ වෙනසක් පිලිබදව අපේක්ෂාවක් ඇති කරගන්නවා ඇත. එවැනි අපේක්ෂාවන් ජනවාරි 8න් පසු දියවි ගිය අයුරින් දියවි යෑමට ඇති ඉඩ ඉතාමත් වැඩිවුවද මේ සම්බන්ධයෙන්වන ඔබගේ යෝජනාව අගය කරමි. ඒ අනුව යෝජනා ඉදිරිපත් කිරිමට වෙනම පිටුවක් සකස්කරනවානම් හොදය.

    ReplyDelete
    Replies
    1. ඔය ඔබ ඉහත ඉදිරිපත් කරන කරුණු තුනම සත්‍යයන්ය. නමුත් අපි හැම වෙලේම කලේ ඔවුන්ට ඉඩ දීමම නොවේද? මට මෙහිදී මෙහෙම් දෙයකුත් සිතුනා. වාමවාදී කෙනෙක් ඇවිල්ල දෙනවා යෝජනා -
      රටේ පෞද්ගලික ව්‍යාපාර ජනසතු කරමු, පද්ගලික ඉඩම් ජනසතු කරනු. තනි පක්ෂයක සමාජවාදී රටක් පිහිටවනු. වගේ දෙයක්. නමුත් ඒවා ඔය මණ්ඩලයෙන් කරන්න බැහැ. කැමැති වෙන එකක් නැහැ. නමුත් හමොටාම් එක සමාන අවස්ථා දිය යුතුය වවාගෙ එකක් දාන්න පුළුවන් නේද?

      Delete
    2. මම දැනට බොලොග් එකක් ලියන්නේ නැත. එහි ඇති ව්‍යවස්ථාව පිලිබද යෝජනාවලට මාගේ අදහසක් ලිවිමට අවශ්‍යතාවය ඇත. එහෙත් ඒ සදහා කලයුතු ආකාරය පිලිබද මාගේ අවබෝධය දුර්වලය. එබැවින් මාගේ යෝජනාවන් නෙලුම් යායට ඉදිරිපත් කල යුතු ක්‍රමවේදය පිලිබදව පොඩි දැනුවත් කිරීමක් කරන්නේනම් කෘතඥ වෙමි.

      Delete
    3. ඔබගේ කොමෙන්ටු මේ ලිපියේ අග අමුණා ඇත .
      http://nelumyaya.com/?p=5105
      ඔබට කොමෙන්ටුවල් ලෙස හෝ යෝජනා මෙහි හෝ ඉයන් ගේ අඩවියේ දැමුවොත් මම එය වෙනම ගෙන නෙළුම් යායට එකතු කරන්නම්. බ්ලොගයක් තැබීම අවශ්‍ය නැත.

      Delete
  11. අපි උත්සාහයක් දරමු.

    ReplyDelete
    Replies
    1. අන්න, ඔහොමනෙ එන්න ඕනේ. මොළේට යමක් වැටහෙන අය තමා ඉදිරිපත් වෙන්න ඕනේ . හැම වෙලාම වුනේ කොහෙන් හරි අටවගත්ත සංවිධානෙක කට්ටිය ඉස්මතු වෙන එක.

      Delete
  12. neethi pothe adupaadu nisaa rajayan karana waradi walata (baninawata wada) negative liya liya ennawata wadaa viwasthawata hondha yojanaa denna puluwannam Hondhai.
    habai ethin ape yojana athulath wewida kiyana ekai prasne.

    ReplyDelete
    Replies
    1. //habai ethin ape yojana athulath wewida kiyana ekai prasne// එතකොට දෙමු හොඳ attack එකක්. ඒ කියන්නේ විවේචනයක් සහ ප්‍රබල විරෝධයක්.

      Delete
  13. පරිපාලන (elected and appointed) තනතුරු වල සියළු දෙනා වත්කම් ප්‍ර‍කාශයට පත් කළ යුත් බවත්, ඕනෑම පුරවැසියකුට / සංවිධානයකට එම තොරතුරු බලාගැනීමට හැකියාව සහ වගවිමකින් යුතුව එම තොරතුරු අභියෝගයකට ලක් කිරීමට අයිතියද නව ව්‍යවස්තාවට ඇතුල් විය යුතුයි.

    ReplyDelete
  14. අපි හැමෝම කැමතී බදු මග හැරීමටත් සහන ලබා ගැනීමටත්, අපේ වගේ විචාරයක් නැති බනනා රිපබ්ලික් වලදී අපට අපව සාධාරණීකරනය කරන්නත් පුළුවන්. අද කාලයේ කෙනෙකු තමාගේ වත්කම් පොදු ඩොමෙයින් එකක එළි කිරීම කරදර බොහොමයක් කැන්දා ගැනිමක්, රජයක් විසින් පුරවැසියන්ගේ වත්කම් තොරතුරු හෙළිදරව් කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වෙන්න ඇති කියා මම අනුමාන කරනවා, ඒත් සියළු පුරවැසියන්ගේ / ආයතන / ව්‍යාපාර වල වත්කම් සහ බදු ගෙවීම් තොරතුරු පබ්ලික් ඩොමෙයින් එකක පල කිරීමකින් තොරව අප රටට වැටිල ඉන්න අගාධයෙන් ගොඩ යන්න බැරිවෙයි, ඒ නිසා සියළු පුරවැසියන් / ආයතන වල වත්කම් හෙළිකිරීම ව්‍යවස්තාවෙන්ම නියමකරන්න වෙයි.

    අපේ පූජ්‍ය පක්ෂයටත් වත්කම් හෙළිකරන්න වුනොත් අප?ූරුවට තියේවි එම නිසා ...

    ReplyDelete
  15. ජනතාවගේ අදහස් ගැනීම ගැන විශ්වාසයක් නෑ. ඒක බොරුවක් විය හැකියි.
    අන්තිමට ගේනවනම් ගේන්නේ රනිල්ට ඕන ව්‍යවස්ථාව.
    සමහරවිට ජනතා අදහස් එකතු කිරීම යම් කිසි ලෝ පොයින්ට් එකක්ද මන්දා?
    (කොහොමත් ජනතාව යනු බටහිර දේශපාලන විද්‍යාවේ පාවිච්චි කෙරෙන වියුක්ත පට්ටපල් සංකල්පයක් :D)
    මෙතනදී සැකකල යුතු කරුණ නම් ආණ්ඩුවට මෙකක්ද මේ තදියම කියන එක.
    එරාන් වික්‍රමතුංග මහතා කියලා තියෙනවා ව්‍යවස්ථාව වෙනස් කලොත් විදේශ ආයෝජන ප්‍රමාණය 3 ගුණයකින් වැඩි වෙන බව. ඔයවගේ කතාවක් මමනම් ඇහුවමයි. ඔය කතා ඇහෙනකොට සැක නොහිතා කොහොමද?

    ලංකාවේ දෙමළුන්ට නිදහස අඩුයි කියන කතාවේ ඇත්තක් තියෙනවා.
    ලංකාවේ දෙමලෙක්ට දරුවෙකුට නමක් දමනවිට දරුවා සිංහල නෙමෙයි කියා ඇඟවෙන නමක්ම දැමිය යුතුයි.
    දෙමළ කෙල්ලෙක්ට ඇඳුමක් අඳිනවිට තමන් සිංහල කෙල්ලෙක් නෙමෙයි කියා ප්‍රදර්ශණය වන විදියට ඇඳුම් ඇඳිය යුතුයි.
    අනිත් මොන මලදානේ කලත් හැමවිටම සිංහල නොවී සිටීමට ආයාසයක් ගත යුතුයි. ඉතින් ඔවුන්ගේ නිදහස අඩුයි.
    විලියම් හා කේට් යුවලටත් ඔය ගැටලුවම ඇති. මන්ද ඔවුන්ට වැදගත්, ප්‍රීතිමත්, විනීත, ඉංග්‍රීසි, ක්‍රිස්තියානි, යුවලක් ලෙසම හැසිරීමට සිදුවී තිබෙනවා. ඔවුන් ඇත්තටම එහෙම අය නෙමෙයිනම් ඔවුන් මොන නතරම් දරුණු රැග් එකක් කනවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. විලියම් හා කේට් කැමත්තෙන්නේ රැග් එක කන්නේ.

      Delete
    2. තවම සවුත්තු වෙලා නැහැ හැම දෙයක්ම. හොයල බලල වැඩ කරන්න.

      Delete
  16. පුංචිවට හරි උත්සහයක් දරලා බලමු

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා මේ අදහසම රජයට පක්ෂපාති වෙන්න ලියපු එකක් කියල හිතයි කියල. නමුත් ඇත්ත වශයෙන්ම මේ ගොල්ලන්ට මේක කරනන් ඕනෙද නැත්ද තීරණය කරන්න විධිහකුත් නැහැ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .