Monday 30 January 2023

ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්


මේ දිනවල පළාත්පාලන චන්දය පිළිබඳ උණුසුමක් ශ්‍රී ලංකාවේ පැතිර තිබේ. පසුගිය වසරේ ලංකාවට සංචාරයකට ගිය අවස්ථාවක ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග සුහද කතා බහක නිරත වීමට මට අවස්ථාව ලැබුණි . එහිදී මට දැන  ගන්නට ලැබුනේ ජවිපෙ  සෝවියට් දේශයේ ස්වර්ණමය සමය වශයෙන් සලකන්නේ හැටේ දශකය  සහ හැත්තෑවේ දශකයේ මුල් භාගය බවයි. හිටපු නායකයා ඒ කාලයේ එහි ඉගෙන ගැනීම අහම්බයක් දැයි නොදනිමි.  මා සෝවියට් දේශයේ සිටියේ 1985 සිට 1991 දක්වාය. ඒ කාලය සෝවියට් දේශය පරිවර්තනය වෙමින් පැවති කාලයයි. ඒ පරිවර්තනය අවසන් වූයේ ඒ මහා රාජ්‍යයේ බිඳ වැටීමෙනි.  එදා එම සාකච්ඡාව දිගට ගෙනියන්නට ඔහුට වේලාවක් නොමැති විය.
 නමුත් ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති මවන මේ අවස්ථාවේ මට එම සාකච්ඡාවේ ඉතිරි කොටස අවසන් කිරීමට අවශ්‍ය වුනි, ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ පද්මිණි මාතරගේ සොයුරියයි.

මා  ඇසූ ප්‍රශ්න කලින් සූදානම් කළ ඒවා නොවන අතර අසන ප්‍රශ්න  ගැන මම ඔහුට කලින් දැනුවත් කිරීමක්ද නොකෙළෙමි.

මා ඇසූ එක ප්‍රශ්නයක් වූයේ 2005 දී රාජපක්ෂවරු  බලයට ගෙන එම පිළිබඳව පසු තැවෙන්නේ නැත්ද කියාය.  යුද්ධයක් නොවී සාමකාමිව විසඳා ගැනීමට හැකියාවක් තිබුණු බව මගේ විශ්වාසය බවද කීවෙමි. ඔහුගේ අදහස ජවිපෙ ඒ කාලයේ පැවති ස්ථාවරයට  වඩා වෙනස් එකක් නොවුනි. රට බෙදීම වළක්වා ගැනීමටහැකිවුනු බව ඔහු පැවසුවේය. නමුත් වැරදි සිදුවුණු බවද ඔහු පිලි ගත්තේය. සමහර විට එය මදක් ඉදිරියට යාමක් යැයි සිතමු.

ඊයේ මම ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුවට  සහභාගී වුනේ දර්ශන හෙට්ටි ආරච්චි මහතා එවූ පණිවුඩයක් අනුවය. මගේ හිත මිතුරන් කිහිප දෙනෙකුද එහි පැමිණුන බැවින් මම ද  නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගී වුනෙමි. සමුළුවේ  මුල් හරිය හරියට ලංකාවේ චන්ද රැස්වීමක් මෙන් විය. ලන්ඩනයේ ජිවත්වන  යුඇන්පී දේශපාලනය කරමින් පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වූ ,  උපතිස්ස ගමනායක සමග විශ්ව විද්‍යාලයේ සිටි අයෙකු ජාජබ රජයකට සහය පළ කළේය.  

ඉන්පසු පොහොට්ටුවේ දේශපාලනය කල ආරච්චි කට්ටුවේ සනත් නිශාන්ත සමග පළාත් සභාවේ සිට සනත් ගෙන් ඔක්සිජන් ගුටි කෑ අයෙකුද සහය පළ කළේය. සනත් නිශාන්ත ගේ නම සඳහන් කිරීමත් සමග නැගුනු අත් පොළසන්, හු හඬ ආදිය නිසා ඔහු එංගලන්තයේ ඉතා ජනප්‍රිය බව සිතා ගත හැකිවිය. 

 ප්‍රසන්ජිත්  විජේසූරිය කළ කතාවේදී ඔහු සමග  විශ්ව  විද්‍යාලයේ මෙන්ම කලාලෝකයේ  සිට පසුව වෙනත් දේශපාලන ගමනකට පිවිසි  (පොහොට්ටු)  අයෙකුද පිලි ගත්තේය. ඒ කියන්නේ එලෙස "හැරුණු" බොහෝ දෙනෙකු එහි සිටින බව පෙන්වන්නට සංවිධාකයන් සෑහෙන උත්සහයක් ගත් බවය. 

 ඒ චන්ද කතා අතර මම දුටුවේ එක්සත් ජාතික පක්ෂයට කාලයකට ඉහත දී සහය පල කල අය මෙන්ම පොහොට්ටු හෝ රාජපක්ෂ වාදීන් යයි මා සිතා  සිටි හෝ දැන සිටි  කිහිප දෙනෙකුද එහි සිටින බවය.  එසේම මම පෙරටුගාමීන් යයි සිතා සිටි බොහෝ දෙනෙකුද එහි විය. සමහරවිට එය හොඳ ප්‍රවණතාවයක් විය හැකිය. 

සිංහලෙන් ,  දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීම අගය කරමි. ඒ අතර සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් ගැයුණු ගී  කිහිපයක්ද විය.

ආචාර්ය  හරිනි අමරසූරියගේ දේශනය  මගේ සිත් ගත්තේ ඇය ඉදිරිපත් කල කරුණු නිසාය. එසේම ඇගේ කතාවෙන් බොහෝ විට සිතුනේ  ඉදිරියේ දී එන ජාජබ රජයක් බොහෝ විට ටෙක්නොක්‍රටික් එකක් වනු ඇත කියාය.  එහි හොඳ හා නරක දෙකම තිබිය හැකිය. නමුත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවාදී මැතිවරණයක් හරහා  බලය පත්වීම ගැන විශ්වාස කරයි.


 අවසානයට  කතා කළ වෛද්‍ය නලින්ද  ජයතිස්ස පැවසුවේ පළාත් පාලන මැතිවරණ නොපවත්වා ආණ්ඩුව උද්දච්ඡ ලෙස මහජන සහයෝගයක් නැතිව රජයක් ගෙන යන්නේ නම් එයට විරුද්ධව ක්‍රියා කරන  බවයි. බොහෝවිට ජාජබ නායකත්වයෙන් යුතු අරගලයක් විය හැකිය.  ඔහු කිවූ වැදගත් කරුණක් වන්නේ විධිමත් රජයක්, දූෂණ කොමිස් නොඉල්ලන දේශපාලකයන් සිටින රජයක් යටතේ ආයෝජකයන් නැවත එනු ඇත කියාය. ඔහු උදාහරණයකට ගත්තේ වියට්නාමයයි. ඒ අදහසට මට එකඟ විය හැකිය. 

ඉංග්‍රීසි භාෂාවේ rabble-rousing කියා යෙදුමක් තිබේ. ඒ දේශපාලනඥයෙකු ජනතාව ඇවිස්සෙන ලෙස  කතා කිරීමක් හැඳින්වීමටය . අවසාන කතාව නලින්දට දුන්නේ  ඒ නිසා විය හැකිය,. ඔහු ඉතා ශුර ලෙස කතාව අවසන් කලේ බොහෝ ආධාරකරුවන් පුටුවෙන් නැගිට්ටවා ජාජබ ට ජයවේවා ලෙස කල ප්‍රීති ඝෝෂා කිරීම් මධ්‍යයේය.

එහි සිටි පිරිසේ විවිධත්වය නිසා මෙන්ම ලංකාවේ සිට ලැබෙන ආරංචි  අනුවද  පළාත් පාලන මැතිවරණයකදී ජාතික ජන බලවේගයට සජබට හෝ පොහොට්ටුවට  වඩා චන්ද ගත හැකි බවක් පෙනී යයි. (මේ අනාවැකිය බිමේ තත්වයන් අනුව ඉදිරියේදී  වෙනස් විය හැකිය.) 

ටිල්වින් සිල්වා "සහෝදරයා" ගෙන් ඇසූ ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු සඳහා මේ යූටියුබ් වීඩියෝව බලන්න. 

- අජිත් ධර්මකීර්ති 

වීඩියෝව සඳහා සම්බන්ධීකරණය කළ පද්මිණි මාතරගේ ට ස්තූතියි.

පසු  සටහන: මේ ලිපිය ගිය වසරේ අප අතරින් වෙන්ව ගිය මගේ  ආදරණිය මිතුරියක වූ  විපුලි පලිහක්කාර වෙනුවෙනි. ඇය හැම විටම චෝදනා කළේ
 "අජිත්, ඔයා ජවිපෙ ගැන මුකුත් ලියන්නේ නැහැ. ලිව්වොත් විවේචනයක් මයි." කියාය.
 එසේ නොවන බව කියා  ජවිපෙ ගැන ලියූ ලිපියක් යොමු කලෙමි. එයට ඇය චෝදනා කළේ 
"මේකේ, හොඳක් කියල පේන්න වත් නැහැනේ කියාය."  
ඔන්න විපුලී පමාවී හෝ මම ලිපියක් ලියා පමණක් නොව, සමුළුවකටත් සහභාගී වී ඔයාගේ සහ පද්මිණි ගේ ටිල්වින් අයියා සමග සාකච්චාවක් යූ බටයේ ද දැමුවෙමි. 

 

Tuesday 24 January 2023

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය


 අපේ ඊළඟ  වැදගත් සංචාරක ස්ථාන දෙකක් වූයේ සැන්ටෝරිනි වල පිහිටි කෞතුකාගාරයක් හා පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානයකි. පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානය හැඳින්වුණේ අක්‍රෝතිරි  යන නමිනි. කෞතුකාගාරය තිබුනේ හෙරක්ලියොන් වලය. මේවායේ තිබුනේ අවුරුදු 3600 කට පෙර ග්‍රීක දූපත් වල තිබුණු අතිශයින් දියුණු ශිෂ්ටාචාරයක විස්තරය.මිනෝඅන් පිපිරුම ලෙසින් හඳුන්වන ගිනිකඳු පිපිරීමෙන් පසු එම ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම  වාගේ  විනාශ වී ගියේය. 

මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ  මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය.  ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල  ජිවත්වූ ග්‍රීකයන්ට  අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා  තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස්  එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ  ක්නොසස්  නමැති පෙදෙසේ විශාල  මිනොඅන්  මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.  

 ග්‍රීකයන් මවිත කල වංකගිරිය මෙයයි.
ග්‍රීක දේව  කතා බැහැර කළ  යුරෝපීයයන් ඉන්දු යුරෝපීය ශිෂ්ටාචාරයක්  මගින් මෙය ගොඩ නැගු බවට සැක පහල කළහ.  විල්හෙල්ම් ගයිගර් සහ තවත් නාසි ජර්මනියට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහ ටිබෙටයට පැමිණියේ මේ ගැන තව දුරටත්  සොයා බැලීමටය. එසේම බ්‍රිතාන්‍ය සහ තවත් ප්‍රංශ කණ්ඩායම් ගියේ ඉන්දියාවටය. හිට්ලර්ට අවශ්‍ය වූයේ ඔහුගේ පිරිසිදු ආර්ය මූලයන් ජනතාවක් පිළිබඳ  අදහසට ඉන්දියාවෙන් සාක්ෂි සෙවීමටය.  ඔවුන්ටද හිට්ලර් ටද වැරදුනු තැනක් තිබේ.

ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල්  පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව  4000-3500  තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද  මෙම පාෂාණය ආභරණ  සැදීමට, මාළිගාවල  සහ ආරාම වල විසිතුරු කිරිමට  භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත්  ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත  කී පුරා  විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට  හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන්  ආවේ ගියේ එහෙයිනි. 

ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය  තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව  මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ  යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ  බෞද්ධ පාසැල් පිහිටුවිමටද  පුරෝගාමී වූවාය.  බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය.  බ්ලවැට්ස්කි ගැන  ලියුවේ මම  අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා  ලංකාවට ගිය බව දැන  ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි. 

බලන්ගොඩ මානවයා සිටියා යයි සැලකෙන්නේ වසර තිස් අට දහසකට පෙරය. මේ ගැන කලින් ලියූ බ්ලොග් ලිපියක මෙසේ සඳහන්  කලෙමි.

 වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා  ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව  ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. ඒ සම්බන්ධය සම්පුර්ණයෙන් ම නැති වුනේ 15 ශතවර්ෂය   වැනි සාපේක්ෂව ඉතා මෑත කාලයකය. 

උඩ  තිබෙන මිනොඅන් තරුණියගේ චිත්‍රය බලන්න. එහි මාලිගාවක ඇඳ තිබෙන චිත්‍රය සීගිරි අප්සරාවන්ට සමානය. සීගිරිය ඇත්ත වශයෙන්ම කාශ්‍යප රජු විසින් කරවන ලද්දක්ද? නැතිනම් සාදා තිබුණු බල කොටුවකට පැමිණ එහි ඔහු ලැගුම් ගත්තාද යන්න අපට කිව හැකිද? එය කාශ්‍යප ලෙසින් කරවන ලද බවට සාක්ෂි තිබේ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.  කාශ්‍යප රජු  මුලින් තිබූ චිත්‍ර අනුසාරයෙන් ඒවා නැවත අඳින ලද්දේද? 

මේ  පහල ක්නොසස් මාළිගාවේ සිතුවම් අතර ගැහැණුන් වඩා පැහැපත් ලෙස පෙන්වා දෙන අතර පිරිමින් දුඹුරු  රත් පැහැයකින්  ඇඳ තිබේ.  වඳුරන් ගේ චිත්‍ර සහ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කරන්න.





මුතු මාලයක් වැනි දෙයක් එක කාන්තාවක් අත තිබේ. මුතු භාවිතා කර ඇති පුරාණ ඊජිප්තුවේ වන අතර ටොලමි විසින් තැප්‍රෝබේන් නමින් ලෝක සිතියමක ලංකාව  ලකුණු කලේ  ක්‍රිව. දෙවන  සිය වසේදීය. ඒවා බොහෝ විට  පැමිණයේ ලංකාවේ මුතු පර වලින් බව කිව හැක්කේ දෙවන සියවස වන විටත් ලංකාවේ මුතු ජනප්‍රියව තිබූ නිසාය.  ක්‍රිස්තු පූර්ව 3500 දී මිනොඅන් වරු භාවිතා කලේ ලංකාවේ මුතුද?

අපට කියා දී ඇත්තේ යුරෝපයේ විශිෂ්ටතම  මාර්ග මුලින්ම තැනුවේ රෝමන් වරුන්  බවය. ඒ කතාව භාග සත්‍යයකි. රෝම හමුදා ප්‍රවාහනය කිරීමට හා අශ්ව  කරත්ත සඳහා සාදන ලද රෝමන් පාරවල් විශිෂ්ටය. නමුත් ඊට කලින් හොඳ මංමාවත් සමූහයක් මිනොඅන් වරු සාදා තිබේ. පහළ පෙන්වා ඇත්තේ එම මාර්ගයක කොටසකි. (ක්)නොස්  මාලිගාවට යන මාර්ගය ඔවුන් ගල් අල්ලා සකස් කර ඇත. මෙය රෝමන් මර්ගයක් නොවන බව බව පැවසූ   අපේ සංචාරක මාර්ගෝපදේශිකාව,  මෙය යුරෝපයේ මුලින්ම ගල් අල්ලා  සකස් කල මාවත බවත් එය  යුරෝපීයයන් ගේ කාර්යයක් නොවන බවත් පැහැදිලි කළාය. ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ඇගෙන්  මා මේ පිළිබඳව තව දුරටත් විමසූ පසු  යුරෝපීය ග්‍රීකයන් පිරිසක් නොව වෙනත් ජන කණ්ඩායමක් එනම් මිනොඅන් වරු මේවා සාදා ඇති බවත් ඒ ශිෂ්ටාචාරයේ නටබුන් පිළිබඳව  වත්මන් ග්‍රීක විද්‍යාඥයන්  වඩා සූක්ෂමව, පූර්ව නිගමන වලින් තොරව  සොයා බලන බවත් පවසා සිටියාය. යුරේකා නමින් හඳුන්වන විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ කෞතුකාගාරයට යන ලෙස ඇය අපට යෝජනා කළාය.  ඒ ගැන තවත් ලිපියක් ඉදිරියේදී ලියමි. 


 
බලංගොඩ මානවයාගේ පරපුරෙන් පැවත එන  යක්ෂ, නාග සහ දේව ගෝත්‍රික රාජධානි තුනක් ශ්‍රී ලංකාවේ තිබුනා යයි සිතමු. ඔවුන් සියල්ලෝම එක රටක ජිවත් වූ බවත් ඔවුන් ඉන්දියානු අර්ධ ද්වීපයට සේතු සමුද්‍ර  මාවත දිගේ  ඇවිද යන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. 

විජය කුමරු සමග ලකාවේ මැද හා  දකුණු පලාතට සේන්දු වූ පිරිස නිසා  එම පළාත් වල භාෂාව සිංහල ලෙස දියුණු වන්නට ඇති බවත්  එළාර වැනි රජවරුන්ගේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා  උතුරු පළාතේ වත්මන් දෙමළ  බස බව දියුණු වෙන්නට ඇති බවත් උපකල්පනය කළ නොහැකිද?  එසේ නම් දෙමල හා සිංහල ලෙස බෙදී ඇත්තේ එකම රටක ජිවත් වූ එකම ජන සමූහයක් විය නොහැකිද?

   වසර 3500 කට ප්‍රථම මිනොඅන් ශිෂ්ටාචාරය ද ඔවුන්ගේ විය හැකිද? 

ඊලම් හෙවත් ඊලමයිට් වරු ජිවත්ව ඇත්තේ ඉරානයේය. ඒද ක්‍රිස්තු පූර්ව 4000 සිට ක්‍රිපූ 1500 දක්වා වන අතීතයකය. ඊලම් ශිෂ්ටාචාරය තිබුනේ ආර්යයන් ඉරානයට  පැමිණීමට පෙරය. ඊළම ලංකාවේ තිබුනේ නැත. ඔවුන් සුමේරියන් වරු හා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ට සමාන බවක් දක්වයි. අවුරුදු 3500 ක පමණ කාලයකට පෙර ඔවුන් මුහුදු මාර්ගයෙන් පැමිණ ඇතැයි පුරා විද්‍යාඥයන් අනුමාන කරති.  බැබිලෝනියන් වරු හා සටනකින් පැරදෙන තුරු ඊලමයිට් වරු ක්‍රිස්තු පූර්ව 750 දක්වා ජිවත්ව ඇත. 

මේ සියල්ලන්ගේම මූලාශ්‍රය බලන්ගොඩ මානවයාගේ පරම්පරාව විය නොහැකිද? මධ්‍ය ප්ලේයිස්ටෝසින යුගයේ (වසර 200,000 සිට 500,000 දක්වා ) සිට ඉන්දියානු අර්ධද්වීපයේ හෝමෝ ඉරෙක්ටස් ජනාවාස තිබී ඇත. කර්ණාටක ප්‍රදේශයේ මෑතකදී අස්ථි ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෙසොලිතික් යුගයේ (අවුරුදු 25000-30000) ආදිතමයා මේ අනුව හමුවන්නේ ලංකාවේදී ය.

මා කාම්බෝජයට ගිය අවස්ථාවේ එහි ඇති නාග ප්‍රතිමා දැක ඒ ගැන විමසුවෙමි. . ඔවුන්  ගේ අතීත කතාවකට අනුව කාම්බෝජ කුමරකු වන තොන්  නාග ගෝත්‍රික කුමරියක වන වාසුකී  (ලිව්යේ)  සමග වූ විවාහ වී  චම්පා හි කාම්බෝජ  රාජධානිය ගොඩ නගා ඇත.  හිස්  නවයක නාග ප්‍රතිමා අන්කර් වට් හා නොම්පෙන් (සුදු පැහැ ප්‍රතිමාව) නගරවල දක්නට ඇත. 


තවත් අපූරු චිත්‍රයක් අපට හමුවුණි. ඒ ක්‍රිපූ 3500-3600 මහා පිපිරුමට කලින් මිනොඅන් වරු කිසයම් යුද්ධයක් ගැන ඇඳ  තිබෙන සිතුවම්ය. මුදුදෙන් පැමිණෙන විශාල නාවික හමුදාවක් මිනොඅන් නාවික හමුදා සමග සටන් කරන මේ සිතුවම් ඇඳ ඇත්තේ කුමන යුද්ධයක් ගැනද කියා පුරා විද්‍යාඥයන් තවමත් නොදනිති. ඔවුන් සිතන්නේ අප්‍රිකානුන් සමග ඇතිවූ සටනක් කියාය.



වසර 10000 කට පෙර සිටියේ දඩයම් කරුවන් සහ ආහාර එකතු කරන්නන් (hunter - gatherers)  බවට ඇති මතය බිඳී යමින් පවතී. තුර්කියේ ගොබෙල්කි ටෙපේ ආරාමය වන ගොඩනැගිල්ල  සාමාන්‍ය දඩයම්කාර සමාජයකට  නිම කළ නොහැකිය. මෙය වසර දෙදහසකට අඩු නටබුන් ගොඩක් බවට මුස්ලිම් මුල්ලා  වරුන් පවසන අදහස නිසා මුලදී කැණීම් නොකර තිබුණි. බටහිර පුරා  විද්‍යාඥයන් එයට වසර 2000-3000 කට පෙර ගොඩ නගන්නට ඇති පැවැසුහ. තුර්කි සහ නව යුරෝපීය සොයා ගැනීම් වලට අනුව එය වසර 12000-13000 පමණ පැරණිය.  (පින්තූරය අන්තර් ජාලයෙනි) 

ඒ කාලයේ භාවිත කරන ලද උපකරණ ද එයට යාබද නගරයක පොලොව යට තැනු විශාල කාමර සහිත ගොඩ නැගිල්ලක්ද සොයා ගෙන ඇත. 

බුදුන් ශ්‍රී ලකාවට සේතු සමුද්‍ර සන්ධිය හරවා පයින් වැඩම කර යක්ෂ - නාග යුද්ධය සමථයකට  පත් කලාද? එසේත් නැතිනම් ලංකාවේ ඉපදුනු බුදුන් වහන්සේ (නමක්) ඒ යුද්ධය  නැවත් වූවාද? මේ ප්‍රශ්නය සොයා බැලීම සඳහා ලන්ඩනයේ මගේ මිතුරු නීතිඥයෙකු වන වජිර ධනපාල සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පුස්කොලපත් පිරික්සන්නටත් වෙනත් සාධක සොයා ගැනීමටත් වසර දෙක තුනකට පමණ පෙර තීරණය කලෙමි. වජිර ඒ අදහසට පක්ෂව ඇත්තේ ඒ ගැන සොයා බලා බව මට පැවසීය.  කෝවිඩ් වසංගතය  එන්නට පෙරාතුව දෙරණ රූපවාහිනියේ වසන්ති නානායක්කාර මහත්මිය හා  ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක  වන පද්මිණි මාතරගේ සමග එකතුව මේ පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට  අප අදහස් කරගෙන සිටියෙමු. එය කෝවිඩ් සමග ඇතිවූ තත්වය නිසා වැලකි ගියේය.  තවම එවැනි අදහසකට පක්ෂපාතිත්වයක් නැති මුත් ග්‍රීසියේ දී මා  දුටු, කියැවූ , ඇසූ දේවල්  අනුව ඒ ගැන සොයා බැලීමට අදහස් කරගෙන සිටිමි. 

ග්‍රීක වාසීන්ට  හෙලනික් වරු යන නාමය ලැබුනේ කෙසේද යයි මම කෞතුකාගාරයේ භාරකරුගෙන් විමසුවෙමි. ඔහු කීවේ හෙලස් යනු ග්‍රීක මුල් නම බවයි. හෙලස් යන නමින් හෙලනික් යන නම සැදී ඇත. ග්‍රීක ආණ්ඩුව හෙලනික් රිපබ්ලික් ය. ඔවුන්ගේ භුමිය හෙලස් ය. ඔහු තව දුරටත් මා සමග කතා කල අතර ඒ සාකච්ඡාව ඉදිරියේදී පල කරමි. //The Greeks called their land Hellas and themselves Hellenes. It was the Romans who called them Greeks- (Graeci ) and that is the name by which we know them. The Greek historian Herodotus wrote that “ Egypt is the gift of the Nile ” but he never came up with an expression so memorable to describe his own country.-wikipedia-google-//

 මේ පිලිබඳ ඉදිරියේදී පල කරන ලිපි පෙලට සමගාමිව මිනෝඅන් ශිෂ්ඨාචාරය සමග ලංකාවේ  ඇති සම්බන්ධතාවය සොයා බැලීමට තීරණය කලෙමි. අප පටන් ගත යුත්තේ බ්ලවස්ට්කි , ගයිගර් ආදීන්ට වැරදුනු තැනිනි. එනම් ආර්ය මිත්‍යාව ඉවත් කරය. දේශපාලන හා ජාතිවාදී අරමුණු වලින් තොර සැබෑ සාක්ෂි සොයන කිසියම් ව්‍යාපෘතියක් ඇරඹීම ගැන ඔබේ අදහස් පල කරන්න.  (බ්ලොග් අඩවියේ පළ කිරීම වඩා හොඳය.)

- මතු සම්බන්ධයි 

- අජිත් ධර්මකීර්ති 


Lapis lazuli

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5

ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

Greece vs Hellas: The Semantics Behind the Country with Many Names

ගොබෙල්කි ටෙපේ 

Helena Blavatsky

Nazi Scientists Who Wanted To Find The Origins Of The Aryan Race Came To Sri Lanka


Sunday 15 January 2023

නේස් නෝනලා ගේ කතා වස්තුව

                                    
ලලා අයියා ලලක්කා ට හොරෙන් අහවල් වචනය ලැප් එකේ ගහන්නට මාන බලමින් උන්නේය. අහවල් වචනේ වැඩියෙන්ම හොයන්නේ ලංකාවේ උන් කියා ගුගලයා ද කියන බැවින් ලලයියා  හිටියේ මොකද කරන්නේ කියා හිතා ගත නොහැකිවය. ඉඳහිට ඉතාලියේ ඉන්න නෑයින් ට හා පිටරට  ඉගෙන ගන්නා දෝණිට ෆේස්බුක් එකෙන් ලලක්කා කතා කරන නිසා ලලක්කා ද ඉඳහිට ලැපය භාවිතා කරයි.

ඔය අව් අස්සේ පිටරටින් කෝල් එකක් ආවේය. ඒ කෝල් එක ආවේ පස්සයේ  හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එකට සපෝර්ට් කරනා අයෙකු ගෙනි. හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එක ගැන නොදන්නා කෙනෙක් නැතිය. ඒකට අනුව ඕනෑම හිතවතෙකුගේ ගෙදරට ගිහින් එයාගේ අලුත් කමිසය දාගෙන සපත්තු හෝ සෙරෙප්පු දෙකත් ඇත්නම් ඒකත් අරගෙන එලියට බැසිය හැකිය. හඩුන් අයියා පස්සයේ ලොකු  අයෙක් නිසා හිතවතා මුකුත් කියන්නේ නැත. කියලා  සවුත්තු වෙන්නටද  බැරිය. අනිත් එවුන් විප්ලවයට ද්‍රෝහී වුනා යයි කියනු ඇත. විප්ලවය  පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේද පිටත වෙන්නේද නොදන්නා නමුත් හිතවතා  කරබාගෙන  ඉන්නේය.

මේ නිසා ලලයියා බය නැතුව පිටරට හිතවතා ට සිද්දිය කිව්වේය.

"අයියෝ ඕක මොකද්ද  ලලයියේ. අපි ඉන්නේ ඕවටනේ. කෙලින්ම ගහන්න පෝං හබ් කියල. ලලයියට ඕනෑ මොකද්ද ඕනෑ ජාතියක් එනවා " හිතවතා ටිපක් දුන්නේය.

"ඒ වුනාට මලේ ලැපේ අක්කත් බලනවනේ. ඕවා බලල  අහු වෙලා දික්කසාද වෙන්න බැහැ මේ නහින දෙහින කාලේ " ලලා අයියා සෑඩ් එකෙන් කීවේය.


"අය්යෝ අයියේ අපි ඉන්නේ ඒකටනේ" . පිටරට හිතවතා ආයෙත් ඇද්දේය. මූ නම් හොඳ එකෙකි . හඩුන්නෙට්ටි ඩොක්ට්‍රින් එකට අනුව මේ හිතවතා  ලලයියාගේ ඉන්ටනෙට් බිලද ගෙවන්නේය.

"ආ එහෙනම් කියමුකෝ බලන්න. "

"ලලයියේ ගූගල් ක්‍රෝම් එකේ උඩ ඉංකොග් නිටෝ කියල එකක් තියෙනවා. ඒ කියන්නේ අහුවෙන්නේ නැතිව ඉතිහාසෙට යන්නේ නැතිව පෝං හබ් එක බලන්න පුළුවන්. ඕං වැඩේ කොරනවනම්" හිතවතා දුන් උපදෙස මසුරන් ය.

ඒ කාලේ ඉඳන්ම නේස් නෝනලා ගැන ලලයියා ගේ හිතේ ලෙන්ගතු පොජ්ජක් තිබුනේය.  එක පාරක් අහිංසකම අහිංසක නේස් නංගි කෙනෙක් ගැන ආලවන්ත සිතක් ද තිබුන නමුත් පස්සයේ වැඩ නිසා අහවලාට  සීගිරි යන්නට බැරි වුනාසේ ඒකටත් කෙළ වුනේය.  

පිටරට හිතවතා ගේ උපදේශය නම් මරුය. අර සයිට් එකේ නේස් නෝනලා ගොඩකි. එක එක විධියේය. මේ ගොල්ලෝ ඇත්ත නේස් නෝනලා ද නැත්නම් නේස් නෝනා ලාට ඇඳගත්ත උදවිය දැයි පොඩි විචිකිච්චාවක් ද ආවේය. 

ඕන සේපාල් ගේ ලබ්බක් කියා ලාලයියා රෑ වෙනකන් සයිට් එකේ හිටියේය. ලලක්කා ඉඳහිට කාමරයට එබෙන නිසා මුකුත් කර ගන්නට ද බැරිවුණි. 

ඉතින් ඔහොම ඉඳිද්දී ලලයියා ට නින්ද ගියේය.

ලලයියා  දැක්කේ මාර හීනයකි. මැතිවරණයෙන් අපේස්සා  කල පරිදිම පස්සය  ඉහළින්ම ජය ගෙන තිබුනේය.

ලලයියා ට කිඹුලේ මහත්තයා කරපු අමාත්‍යංශය ලැබී තිබුනේය.

ලලයියා කෙලින්ම  ගියේ මහා ඉස්පිටිතාලේ ටය. ලලයියා ගේ ඒ  දවස්  වල කස්සෙක දැන් වැඩ කරන්නේද ඒකේය.

 අමටිවරයා වසයෙන් කළ මුල්ම  කතාවේ ලලයියා කීවේ නේස් නෝනලා සුනිල්  ප්‍රේරා  මල්ලි  වැනි විද්වතුන්  පෙන්වා දුන් පරිදි ලස්සනට ඇඳිය යුතු බවය. පිටරට නේස් නෝනලා මෙන් ඇස්සයිස් කළ යුතු බවය. බඩවල් වෙබ්සයිට් වල නංගිලාට මෙන්  මෙන් පැතලියට තිබිය යුතු බය. නේස් නෝනලා ද හිකි හිකි ගගා අසා සිටියෝය. මිනිසුන් සදෙව් ලියන්  වන්  නේස්ත් නෝනලා දැක චිත්ත  ප්‍රීතියෙන් පිනා ගොස් ඉබේම සනීප වෙන්නේය. රටට අවුසද ඉතිරි වන්නේය. නේස් නෝනලාට පඩි වැඩි කරන්නට ඕනෑ නැත. නේස් නෝනලා බලන්නට දොස්තර ලා එන හෙයින් දොස්තර සංගමේ වැඩ වර්ජනද නැවතිලා ය.

ලාලයියා ඇමටිවරයා ලෙස  කල නිහඬ විප්ලවේට චූන් ගොස් අලුත් ජනොධිපති උතුමා වන අනුරායියා ද කෝල් එකක් දී සුභ පැතුවේය.

ඒ අස්සේ  ලලක්කා මහා හයියෙන් කෑ ගහන හඬ ඇසී ලලයියා හොඳටම තෙමී  ගෙන ඇහැරුනේය.

තෙමිච්ච සරම හෙමින්ම රෙදි කූඩයට ඔබා ලලයියා නාගෙන ආවේය.

ලලක්කා පෝං එක අරගෙන ආවේ එවිටය.

"මජ්ජිම කාරක සභාවෙන් කතා කරනවා . ඔයා පරක්කු නොවී යන්න."

ලලයියා පෝං එකට කන තිබ්බා විතරය. අරෙහං කෑ ගහනවාය.

"මොකඩ්ඩ ශාහෝදරයා චන්ද කඩන්න කොන්තරත්තුවක් වත් ගත්තද  ලංඩන් වලින්  "

-ඔබලාගේ හුදු විනෝදය සඳහා පමණි. සියලුම නම් ගම් මනහ්කල්පිතය. 




- අජිත් මල්ලි 

 



Monday 9 January 2023

ඩයනා ගේ මරණය හා හැරී ගේ පොත -හෙවත් අමතරයා ගේ කතාව


ඩයනා හෙවත් වේල්ස්හි කුමරිය ගේ මරණය සිදුවූ දිනයේ තමන් සිටි තැන බ්‍රිතාන්‍යයේ සිටි බොහෝ අයගේ මතකයේ රැඳෙනු ඇතැයි පුවත්පතක ලියා තිබුණි. මා  ඒ දිනවල එය විශ්වාස නොකළ මුත් ඩයනා ගේ මරණය සිදුවූ දිනයේ මා සිටි තැන අදත් මට මතකය. සමහර විට ඩයනා කුමරියට තිබුණු විශාල ප්‍රසිද්ධිය නිසා විය හැකිය.  අප සිටියේ කෝන්වෝල් ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමිනි. මට මතක විධිහට කෑම්ප් එකක කුඩාරමක් අටවා ගෙන සිටි නිසා මුහුණ සේදීමට, නෑමට, සිරුරු කිස සඳහා වෙනත් තැනකට යා යුතුව තිබුණි. ඩයනාගේ මරණය මා  දුටුවේ එතන එළිමහනේ  හැමටම බලන්නට අටවා තිබූ රූපවාහිනියකය. එහි  සිටි අය මුව අයා ගෙන කිසිවක් නොකියා බලා සිටිනු මට අදත් මතකය.  ඩයනා කුමරිය මිය ගියේ 1997 අගෝස්තු 31 දාය.

ඩයනා ගේ මරණයේ පින්තූර කිහිපයක් මට අදත් මතකය. එනම් පැපරාසීන් - පුවත්පත් වාර්තාකරුවන් හා කැමරාකරුවන් විනාශ වී ගිය බෙන්ස් රථය අසල වටවී සිටින අයුරුය. කුමරියක් වුවා හෝ නැතා ගැහැණියක් මිය යද්දී ඔවුන්ට අවශ්‍යව තිබුනේ පින්තූරය. ඔවුන්ගේ මුදල්ය.  එය ඉතා සානුකම්පිත දසුනක් විය. එසේම මට වටහා ගත නොහැකි වූයේ අනියම්  මිනිමැරුමක් වූ එය පැරිස් පොලිසිය ලිස්සා  හැරියේ මන්ද යන්නය. ඔවුන් එම පැපරාසීන් අත් අඩංගුවට නොගත්තේ ඩයනා ගේ පෙම්වතා ඩොඩි මුස්ලිම් නිසාද , නැත්නම් රජ පවුල බ්‍රිතාන්‍ය රජය හරහා එය වැළැක්වූ නිසාද යන්න අදටත් පැහැදිලි නැත. පැපරාසීන් ඩයනා ගේ රථය පැන්නූ  අයුරු මෙන්ම ඔවුන් එය හැප්පුනාට පසු පින්තුර ගන්නා සැටිද පසුව හෙළි දරව් වුනු ඡායාරූප වල මැනවින් පෙනේ. 

 අද හැරී කුමරු අයිටිවී ආයතනයේ ටොම්  බ්‍රෙඩි සමග වූ සාකච්චාවේ දී ඒවා එසේම පැහැදිලි කරද්දී ඒ මතකය යලිත් අලුත් වුනි. මම රජ පවුලේ  පාක්ෂිකයකු නොව සමුහාණ්ඩුවාදියෙකි. නමුත් රජ පවුලට ජනතාවගේ සහය ලැබෙන තාක් කල් එය පැවතෙනු ඇත.  මට හැරී සහ මෙගන් ගැන ලොකු අදහසක් තිබුනේ නැති අතර ජනතාවට බලපාන එදිනෙදා  ප්‍රශ්න හමුවේ මේ කතාවට  අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන බව සිතුවෙමි. විදුලි බිල් හා ගෑස් බිල් ප්‍රශ්නය, ජාතික සෞඛ්‍ය සේවාවේ වැඩි පඩි ඉල්ලීම්, දුම්රිය වර්ජන, අහර මිල ඉහල යාම ආදිය  වඩා වැදගත් ප්‍රශ්නය.

නමුත් අද හැරී ගේ සාකච්ඡාව නරඹද්දී මට සිතුනේ එක්තර ප්‍රමාණයකට කවුරුන් හෝ මේ දක්ෂිණාංශික ටැබ්ලොයිඩ් මාධ්‍ය වල අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට විරුද්ධ විය යුතු බවය. ඔවුන් එතරම්ම විසකුරුය. මම සාමාන්‍යයෙන් බිබීසියේ ගිය Top Gear වාහන පිලිබඳ වැඩ සටහනට සහ එහි නිවේදකයන් තිදෙනාට කැමතිය.  එහි එක ප්‍රසිද්ධ නිවේදකයකු වූ ජෙරෙමි ක්ලාක්සන් ඉතා ජනප්‍රියය. මමද ඔහුට කැමතිය.  සුප්‍රසිද්ධ දක්ෂිණාංශික ටෝරි පක්ෂ ආධාරකරුවකුද තරමක පුරුෂෝත්තම වාදියකු ද වන ඔහු සමහර විට ගැහැණුන්ට , වෙනත් ජාතීන් ට සිනහ වෙන්නෙකි. ඒ නිසා  ඔහුට බිබිසිය අනතුරු ඇඟවීම් පවා කර තිබුණි.  වරෙක චීන ජාතිකයන්ගේ ඇස් සම්බන්ධයෙන් සිංහ  වීම නිසා සහ තවත් කරුණක් නිසා ඔහු රූපවාහිනියෙන් ඉවත් කරන ලදී. ඉතා ධනවත් ඔහු ත මන්ගේම ගොවිපලක් පිහිටුවා ගත්  ඔහු එය හැඳින්වුයේ ඩිඩ්ලි ස්ක්වට් යනුවෙනි. ස්ක්වට් යනු උක්කුටයෙන් වාඩි වීමය. වචන දෙකේ තේරුම කමකට නැති හෝ වටිනාකමක් නැති දෙයක් යන්නය. නමුත් මේ ගොවිපල හා එහි වෙළඳ සල ඉතා ජනප්‍රියය.

ක්ලාක්සන් මෙගන් ආදිපාදවරිය  ගැන කැත කතාවක් ලීවේය ඒ ගේම් ඔෆ් ත්‍රෝන්ස්   කතා පෙලේ සේර්සෙයි රැජිනට පරිදි මෙගන් නිරුවත් කොට ලන්ඩන් නුවර ඇවිද්දවා ගූ ගැසිය යුතු බවය.  එම  කාන්තාවන්ට එරෙහි ද්වේෂ සහගත කතාවට ජෙරෙමි ගේ දියණිය  මෙන්ම තවත්බො  අය විරුද්ධත්වය පල කර තිබුණි.පුවත්පත් මණ්ඩලයට පුවතකට එදිරිව ලැබුණු වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබුනේද එයටය.  ඔහුගේ ලිපිය පල කල ටැබ්ලොයිඩ් පුවත්පතක් වන සන් පත්‍රය ලිපිය අහක්  කර ගත්තේය. ජෙරෙමි ට සමාව ඉල්ලන්නට  සිදුවිය. හැරී කුමරු කියන්නේ රජ පවුල ඒ ගැන කිසිවක් කතා නොකළ බවය. එයට විරුද්ධ වීම තබා මෙගන් ගේ සමේ වර්ණය හා ජාතිකත්වය ගැන යන කතා වලටද ඔවුන් කිසිවක් නොකළ බවය. 


හැරී හා මෙගන් ගේ මේ සමහර චෝදනාවල යම් සත්‍යයක් ඇති බව මට දැන්වැ ටහේ.

හැරීගේ පැත්ත ගැන දැන  ගැනීමට මම ඔහුගේ පොත මිලට ගතිමි. පොතේ නම "අමතරයා" යන්නයි. රජ කමට හිමිකම් කියන්නා සහ අනිකා (දෙවැන්නා) යන තේරුමෙනි. 

- අජිත් ධර්මකීර්ති 

Thursday 5 January 2023

දීප්ති කුමාර ගුණරත්න සමග අවංක සාකච්ඡාවක්


දීප්ති  කුමාර  ගුණරත්න කියන්නේ සෑහෙන කාලයක සිට මගේ මිත්‍රයෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්  මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන  නන්දන වීරරත්න සහ විචාරකයෙකු වන  සිරිමල් විජේසිංහ  මහජන පුස්තකාලය කේන්ද්‍ර කොටගෙන නිර්මාණ සංවාද කුලකය කරන සමයේ , ඒ කියන්නේ අසූව දශකයේ අග අපි දෙදෙනාම උසස් පෙළ ශිෂ්‍යයන් වශයෙන් එවැනි  සාකච්ඡා වල ඉඳල තිබෙනවා. දීප්ති මට නැවත හමුවෙන්නේ X කණ්ඩායමේ ප්‍රකාශන හරහා. එම කණ්ඩායමේ විසිර යාමෙන් පසු ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී  ලංකා පෙරටුගාමී පක්ෂය (Sri lanka Avanguard Party)  හා කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර අවුලක් ඇතිවුනා පක්ෂයේ නම පිළිබඳව.  ඒ හා සම්බන්ධ ලිපියක  මම ඒ පිළිබඳව මගේ අදහස පළ කිරීමෙන්  පසු අපේ සංවාදය  නැවත ඇති වුනා. ඒ ගැන 2013 ලියු ලිපියක් තමයි මේ. 

දීප්ති ඉන්පසු පක්ෂයේ නම වෙනස් කළා. ඔහු දැන් ශ්‍රී ලංකා සමබිම පක්ෂයේ නායකයායි.  දේශපාලන වශයෙන් දීප්ති සහ මම එකඟ වෙන තැන් වැඩි බව මට කාලයක සිට වැටහී තිබෙන දෙයක්. ඒ කියන්නේ ජාතිවාදය හා යුද්ධය ට අප දෙදෙනාම එරෙහි වූවන් මුල් කාලයේ සිටම. එසේම පෞද්ගලික  විශ්ව විද්‍යාල විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ගැන අපේ අදහස් එකයි. අරගලය සම්බන්ධයෙන් අපි දෙදෙනා අතර තිබුනේ වෙනස් මත දෙකක්. නමුත් ඔහු ගේ මතය වඩා නිවැරදි එකක් යයි මම දැන් පිළි ගන්නවා.  බොහෝ අය ඔහුව විවේචනය කරන බව සත්‍යයක්.  නමුත් මගේ සියාමා පොත එළි දැක්වූ වෙලේ අදහස්  දැක්වීමට මම ආරාධනය කලේ නන්දන වීරරත්න සහෝදරයාට සහ දීප්ති ට.  මම දීප්ති සමග එකඟ නොවන්නේ ඔහු ඇතැමුන් එල්ල කර, කරන  පෞද්ගලික විවේචන ලෙස මම සලකන අදහස්, එතැනදී එකඟ නොවී සිටීමට  එකඟ වන්නට අපට හැකි වුනා. 

පසුගිය ඔක්තෝබර්  මම ශ්‍රී ලංකාවේ සිටින විට දිප්තිව හමු වුනා. ඔහු ඉල්ලු  ජුඩිත් බට්ලර් ගේ "අරගල" සම්බන්ධ පොතක් දීමට ගිය වෙලේ.  එතකොට අපට හිතුන මම අහන නොයෙකුත් ප්‍රශ්න අලලා පොඩි වීඩියෝ එකක් කරමු කියල. ලංකාවේ සිට අන්තර්ජාල සම්බන්ධතා මේ දවස්  වල ටිකක් අමාරු නිසා  අපි පසුගිය දෙසැම්බර් 29 වනදා Zoom  හරහා සංවාදය අරන් ගියේ වීඩියෝ එක නැතිව. ඒක ප්‍රශ්නයක් නෙමේ කියා සිතනවා.

පහත ඇත්තේ මගේ ප්‍රශ්න සහ ඒවාට දීප්ති කුමාර ගුණරත්න සැපයූ පිළිතුරුයි.  මෙමෙ ප්‍රශ්න ඔහුට කලින් සැපයූ ඒවා නොවේ. 

යූ ටියුබ් යොමුව 

 




ලිපියේ යොමු:


//සමබිමෙන් විවෘත ආරාධනාවක්
පසුගිය දශක දෙකට සාපේක්ෂව අප විසින් දේශපාලන පක්ෂයක් ලෙස ලබා ගන්නා ලද ජයග්රහණ රාශියක් ඇත. එහිදී අපට කිසිවෙක් උදවු උපකාර නොකල ද බොහෝ අය අපට විවේචනයන් ගෙන ඒමටත්, උපදෙස් ලබා දීමටත් ඉදිරිපත් විය. එලෙස නොමඳ විවේචනයන් සහ උපදෙස් ලබා දුන් සියල්ලන්ටම අපගේ ස්තූතිය පුද කරන්නෙමු.
සෑම විටම සමාජය තුළ යම්කිසි සමාජීය වශයෙන් දේශපාලන මැදිහත් වීමක් කරන විට ප්රබල ලෙස බාධාවක් වන්නේ මුදල් නැමති බාධාවයි. ප්රධාන ධාරාවේ වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂයන් වලට උදවු කිරීමට ව්යාපාරිකයන් සහ පුද්ගලයින් විශාල පිරිසක් සිටියද, සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට උත්සහ කරන අප වැනි දේශපාලන පක්ෂයන් ට එලෙස මූල්යමය වශයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙක් තවමත් ඉදිරිපත් වී නැත. මෙතෙක් අප පැමිණි ගමන් මග පැමිණියේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ගේ ධෛර්යයෙන් සහ පක්ෂයේ දීප්ති සහෝදරයා ගේ වැඩපිළිවෙළට සත්ය ලෙසම ආදරය කරන සහෝදර සහෝදරියන් ගේ කැපවීමෙන් ය.
එහෙත් පුළුල් වශයෙන් ජාතික දේශපාලනයට පිවිසීමේ දී මුදල් නැමති සාධකය සියල්ල ට ඉහළින් බාධාවක් ලෙස පැමිණෙන බැවින් පක්ෂයක් ලෙස සමාජය ක්රියාකාරීව වෙනස් කිරීමට ගන්නා ක්රියාමාර්ග වලට බාධාවක් ලෙස ඉස්මතු වන බව පක්ෂයක් ලෙස අපි ද සෘජුව පිළිගන්නෙමු.
අප වටා සිටින බොහෝ දෙනෙකු මෙන්ම අප ගැන දන්නා බොහෝ දෙනෙකු නොදන්නේ පක්ෂය නඩත්තු වන්නේ කෙසේ ද කියා ය. අපට නිධානයක් හෝ ධනයෝගයක් හෝ ලැබී ඇතැයි සියල්ලන්ම සමප්රේක්ෂණය කරන නිසා පක්ෂයේ කටයුතු ප්රමාද වීමට හේතු ද විමසයි. මුදල් යනු බොහෝ දේ තීරණය කරන සාධකයකි.
පක්ෂයක් ලෙස සමාජයට පැමිණිලි කිරීමට සිදු වන්නේ ඉදිරියේ එන මැතිවරණය සඳහා මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා අවශ්ය ලෙස මූල්ය තත්වය යහපත් කර ගැනීමට අවශ්ය වන බැවිනි.
අපව දන්නා නොදන්නා ඕනෑම අයෙකුට පක්ෂයේ කටයුතු සඳහා උපකාර කිරීමට සියල්ලන්ටම අවස්ථාව විවෘත කිරීමට පක්ෂය විසින් තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂයේ මුදල් ලේකම් වන මිහිරාන් සහෝදරයා සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා දායක විය හැක.
මිහිරාන්:- 077 495 0204
එසේම අප පක්ෂයේ මාධ්ය ලේඛම් වරයෙකු පත්කර ඇති අතර ඒ සඳහා ප්රසන්න සහෝදරයාගෙන් විමසිය හැක.
ප්රසන්න:- 076 881 9091
මීට අමතරව අප සමඟ සම්බන්ධ වීමට, සංවිධාන ගත වීමට, සංවාද පැවැත්වීමට කැමති පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂය සිටී නම් ඒ සඳහා රුවන් සහෝදරයා සම්බන්ධ කරගත හැක.
රුවන්:- 0764999498
සමබිම පක්ෂය විසින් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. අපට ආධාර කරලීමට හැකියාව ඇති, ඊට කැමති අය සිටී නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කල හැක.
සමබිම පක්ෂය
ලංකා බැංකුව (BOC-BATHTHARAMULLA )
A.No. 87467875//