Wednesday 22 January 2020

ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

මේ ඉතිහාස කතාවේ පුර්විකාව මෙසේය  . පෙමස් ගුණසිංහ මහත්මයා තම බ්ලොගයේ ලියන උග්ගල් අලුත් නුවර දේවාලය හා ඒ අවට විස්තර කියවීම හේතුවෙන් මිට දෙවසරකට පමණ පෙර ලංකාවට ගිය විටෙක  මම ඒ ප්‍රදේශයට ගියෙමි. රත්නපුර ප්‍රදේශයේ සුන්දර පෙදෙසක පිහිටි දේවාලය සහ විහාරස්ථානය නරඹා කපු මහතා සමගද කතා බහ කර ඡායාරූප කිහිපයක් ද ගෙන පැමිණියෙමි. ඒ දේවාලය ගොඩනැගූ  ප්‍රාදේශීය රජු කවරෙක්ද යන්න පිළිබඳව ගුණසිංහ මහතා හා මා අතර  දීර්ඝ සංවාදයන් විටින් විට පැවති අතර  දේවාලයෙන් විමසුවද ඔවුන්ට ඒ පිළිබඳව අදහසක් නොතිබිණි. 

 මම ලංකාවේ ජීවත්වූ කාලයේ ලංකා ඉතිහාසය පිලිබඳ පොත් හැදෑරීම ඉතා උනන්දුවෙන් කළ අයෙක්මි. සිංහල මෙන්ම ද්‍රවිඩ ප්‍රදේශ වලද රජකම් කල රජවරුන් පිළිබඳ විස්තර ගැන වැඩි උනන්දුවක් තිබුනේ ඒ තොරතුරු රසවත් නිසා පමණක් නොව ඒ කාලය පිලිබඳ යම් අදහසක් ඇතිකර ගැනීමටද එය වැදගත් වූ බැවිනි. ඉහත කී දේවාලය සාදන ලද  රජු සීතාවක රාජසිංහ විය නොහැකිය යන මතයට මා  එළඹුණේ ඒ කාලයේ එම ප්‍රදේශයේම රජකම් කල තවත් ප්‍රාදේශීය රජෙක් ගැන විස්තරයක් මගේ මතකයේ තිබූ හෙයිනි. 






මගේ මතකයේ තිබූ පරිදි පරණවිතාන මහතා ද එකතුව සංස්කරණය කර එවකට ලංකා  විශ්ව විද්‍යාලය මගින් පළ කරන ලද  "ලංකා ඉතිහාසය" නම් ග්‍රන්ථයේ මෙවැනි ප්‍රාදේශීය රජෙකු ගැන විස්තරයක් තිබුණි. එම ග්‍රන්ථයේ  කාණ්ඩ  දෙකක් කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ ආශ්‍රේය පුස්තකාලයේ (reference library) තිබුණි.  නමුත් මට අවශ්‍ය  අවශ්‍ය දෙවන කාණ්ඩය අතුරුදහන් වී ඇත. මේ පොතේ ඉංග්‍රීසි මුද්‍රණයක් ලන්ඩනයේ පිහිටා  ඇති "බ්‍රිතාන්‍ය පුස්තකාලයේ" ඇති බවට ඉඟියක් ලැබුණි. ඒ පිළිබඳව පසුව සොයා බැලිය යුතුය.


පළමුවම මේ හදිසියේ ලංකා ඉතිහාසය සෙවීමට උත්සාහ කරන්නේ ඇයිදැයි කාට  හෝ පැනයක් මතුවිය හැක . මේ දිනවල සාකච්ඡා වෙන  ප්‍රශ්න දෙකක් පිළිබඳව සැකෙවින් සඳහන් කරමි.


පළමුවැන්න නම් ලංකාවේ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව ගෙන් බහුතරය දකුණු ඉන්දියානු දෙමළ හෝ  ද්‍රවිඩ ජනතාවෙන්  (Dravidian) පැවත එන්නන් යයි මතවාදයක් සිඝ්‍රයෙන් පැතිරී යාමයි. මේ මතය මිට ප්‍රථම  ඊලම් යුද්ධය පැවති  කාලයේ සිට  තිබූ එකකි. ඊළාමය යනු ලංකාවට කියූ තවත් නාමයක් බව මෙන්ම ලංකාවේ මුල් පදිංචිකරුවන් සිංහලයන් නොව මහාවංශයේ  යක්ෂ, නාග ගෝත්‍රිකයන් ලෙසින් වරදවා හැඳින්වූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් බව ඊලාම් යුද්ධය කාලයේ දෙමල ජනතාව  අතර බහුලව ප්‍රචලිත වූ මතයක් විය. වර්තමානයේ සිංහල විද්වතුන්ගෙන් සමහරක්ද ඒ මතයට සහය දක්වති. එයට අවශ්‍ය සාක්ෂි සපයනුයේ මේ මේ බ්ලොග් අඩවියේ සඳහන්  DNA පර්යේෂණයක් පිළිබඳව වන සටහනයි. 

මෙය සැබවින්ම වටිනා පර්යේෂණයකි.මහාචාර්ය  කමනි තෙන්නකෝන් පවසන්නේ සිංහල, දෙමළ සහ වැදි  ජනගහනය  අතර ජානමය සමානකම් පවතින බවයි. එනිසා ශ්‍රී ලංකාවේ  මුල් ජනගහනය ද්‍රවිඩ විය හැකි බවටත් සිංහලයන්ට ඇත්තේ ඔවුන් සමග භාෂා වෙනස් කමක් පමණක් බවත් ඇය සඳහන් කරයි. ඔවුන් මේ සඳහා  දෙසියයක  පමණ පිරිසක් නියැදියක් ලෙස ගෙන   DNA පරීක්ෂාවක් කරති.   මේ අධ්‍යයනයෙන් සිංහලයන්ට දකුණු ඉන්දියානු දෙමල ජනතාව සමග ජාන සමානකම්  69.86% තිබෙන බවත්  ශ්‍රී ලංකාවේ දෙමළ  ජනතාවට  සිංහලයන්  හා ජාන  සමානකම 55.2% බවත් තහවුරු වන බව පර්යේෂකයන් පවසති. මේ නිසා සමහර දෙමළ සහෝදරවරු තර්ක කරන්නේ සියලුම සිංහලයන් පැවත එන්නේ ඔවුන්ගෙන් බවත් සිංහල යනු පස්වන හෝ හයවන සියවසේ සිට  පරිණාමය වූ  භාෂාවක් බවත්ය. ලංකාවේ මුල් බෞද්ධයන් වූයේ දමිළ  ජනතාව බවද උතුරු ප්‍රදේශයේ ඇති බෞද්ධ නටබුන් වලින් එය තහවුරු වන බව ද ඔවුහු තව දුරටත් පවසති.  ෆේස්බුක් සමාජජාලයේ ලෙනිටා ඩීන් මේ ගැන කල සාකච්ඡාවට මමද සහභාගී වුනෙමි. (යොමුව මෙතැන ෆේස්බුක්)මේ හේතුව අනුව ඔවුන් තර්ක කරන්නේ ද්‍රවිඩ ජනතාව ලංකාවේ මුල් පදිංචි කරුවන්  බවත් සිංහලයන් (විජයගෙන් පසු) පසුව පැමිණ ඔවුන් හා මිශ්‍ර වූ බවත්ය. 


මම ඇගේ තර්කයට මූලික වශයෙන් විරුද්ධ වුනෙමි. එක හේතුවක් නම්  DNA පරික්ෂණයට සහභාගී වූ නියැදිය ප්‍රමාණවත් නොමැති වීමයි. අසූ කොටියක් පමණ  දෙමළ ජනතාවක් තමිල්නාඩුවේ වෙසෙති. ද්‍රවිඩ හෙවත් Dravidian සම්භවයක් ඇති ජනතාව කේරලය, අන්ද්‍රා ප්‍රදේශය හා  කර්ණාටකයේද  ජිවත් වන හෙයින් ද්‍රවිඩ ජනතාව ලෙස   ගතහොත් එය අති විශාල සංඛ්‍යාවකි.  ලංකාවේ ජනගහනය ලක්ෂ විසි හතරක් පමණ වේ. එනිසා ද්‍රවිඩ සම්භවය  ඇති දෙසීයක්  සොයා ගැනීම අතිශයින් මිශ්‍ර ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ සුළු දෙයකි. 

මේ පර්යේෂණය මග හරින කරුණු බොහොමයක් තිබේ. කාලිංඝ මාඝගේ ආක්‍රමණයෙන් හා ඉන්පසු පැමිණි සොළී ආක්‍රමණ වලින් ඉතිරි වූ ජනතාව, ඉන්පසු අවධියක කේරළයෙන්  හා  මලබාරයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූවන්ද , නායක්කර් වන්ශිකයන්ද ඉංග්‍රීසින් විසින් ගෙන් වූවන්ද ඔවුහු අමතක කරති.   


දෙවැනි හේතුව හෙවත් මගේ තර්කණය හෙවත්  උපකල්පනය (hypothesis) වන්නේ මෙයයි. වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (ලෙනිටා ඩින් එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරන්නීය.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා හා වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා හා උපකරණ අනුව  ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ඔවුන් ලංකාවට සංක්‍රමණය වූයේ අප්‍රිකානු ප්‍රදේශ වලින් විය හැකිය.  ඒ කියන්නේ මේ සිංහලයන්ගේ හෝ ලංකාවාසී ජනතාවගේ  මුල් පදිංචිකරුවන්ය.

 මෙම ලාංකිකයන්ට පසුව විජයගෙන් පැමිණි හත් සියයක පමණ සුළු පිරිස සම්බන්ධ වන්නට ඇත. ප්‍රක්‍රිට් භාෂාව මෙන්ම තවත් වහරයන්ද දියුණුවී එකතුවී සිංහලය නම් භාෂාව විකාශනය වන්නට ඇත. සොළි ආක්‍රමණයන්ගෙන හා පසුව පැමිණි යුරෝපීයයන් ගේ ආක්‍රමණයෙන් මේ ආදී සිංහලයන්/ලාංකිකයන්  පසුව  බහුල වශයෙන් ඌව වෙල්ලස්සට  සහ උඩරටට සංක්‍රමණය වූහ. වෙල්ලස්සේ දී ඉංග්‍රීසින් විසින්  ගම්  බිම් ගිනි තබමින් මරා දැමූ බහුතරයක් මේ මුල් ලංකාවාසීන් යයි මම සිතමි. ඉංග්‍රීසින් හා ස්පාඤඤ වරුන්ද ඔවුන් යටත් කරගත් රටවල මුල් පදිංචිකරුවන් සෑහෙන ප්‍රමාණයක් විනාශ කිරීමට වග බලාගත්හ. ඔවුන්ගේ පාලනයන්ට මූලික ප්‍රතිවිරෝධය එන්නේ ඔවුන්ගෙන් බව මේ අධිරාජ්‍යවාදීන් දත්හ.


මේ  ආදි  ලාංකිකයන් හෝ සිංහලයන් ගෙන්   පැවතෙන ජනතාව අදටත් බදුල්ල , වැලිමඩ සිට නැගෙනහිර දක්වා ම ජිවත් වෙති. ඔවුන්ගෙන් සමහරක් සුද්දන් ගෙන් ජීවිතය බේරා ගැනීමට නැගෙනහිරට පලා  විත්  නැගෙනහිර පදිංචිව සිටි අරාබි වෙළෙඳුන් ගෙන් මුස්ලිම් ආගම වැළඳ ගෙන වෙස් වලා ගන්නට ඇති බවටද මතයක් තිබේ. (සාක්ෂි සොයා ගත යුතුය). මේ ආදී ලාංකිකයන් වඩා සමාන වන්නේ ඉහත කී  පොලිනිසියාවේ, අන්දමන් දුපත් , නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ මුල් පදින්චිකරුවන්ටය.  


මේ ඇවිලෙන වාදයට තවත් ගින්නක් එකතු වී තිබේ. ඒ බුදුන් හෙවත් සිද්ධාර්ථ කුමරු උපන්නේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ  යන්නයි.  ඒ සඳහා බොහෝ යු ටියුබ් වීඩියෝ තිබුනද ප්‍රධාන සාක්ෂිය වැන්නක්  තිබෙන්නේ  බ්‍රිතාන්‍ය පුස්තකාලයේ බව පිරිසක් පවසති.


 ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ ඉන්දියානු රජය යටත් විජිත පාලන සමයේදී සේවයෙන් පහකළ ජර්මන් පුරාවිද්‍යාඥයා සම්බන්ධවය. අලොයිස් ඇන්ටන් ෆියුරර් වන මොහු ගෞතම බුදුන් උපන්නේ ලුම්බිණි නගරයේ යයි සොයා ගත්  තැනැත්තායි. ඉන්දියානු රජය වෙනුවෙන් මදුරා පුරයේ කැණීම් කළේ ඔහුය. ඔහු වංචනිකයෙක් බවට (වෙනත් ශීලා ලිපි සම්බන්ධව) ඔප්පු වීම නිසා ඉන්දියානු යටත් විජිත රජය ඔහුව ඉවත් කරන ලදී. ඔහු සමහර ශිලා ලිපි වලට තමන්ම අකුරු එක්කර ඇති බවට චෝදනා පවතී. මේ චෝදනාවම මහාචර්ය  සෙනරත් පරණවිතාන මහතා කෙරෙහිද පවතී. 


මේ කතාවේ තවත් සාධකයක් නම් ජොහැන්නස් ජෝර්ජ් බුලර් ගේ ඉරණමයි. බුලර් ඇන්ටන් ගේ ගුරුවරයා වන අතර ඔහු  පුරාතන ප්‍රකිත් භාෂාව ට අදාළ (ද්‍රවිඩ මිතුරන් කියන භාෂාවමය)  ශබ්ද කෝෂයක් පරිවර්තන කල අයෙකි. ඔහු අභිරහස්  ලෙස වැවකට වැටී මිය ගියේය. 


මම  මේ සිදුහත් කුමරු  ශ්‍රී ලංකාවේ උපන්නේය යන  අදහසට විරුද්ධ අයෙක්මි. මගේ ඉන්දීය සංචාරයේදී බුදුන්වහන්සේ  වැඩ සිටි බොහෝ තැන්වලට යාමට මට හැකිවුණි. මා සිතන්නේ ඉතා ලෙහෙසි කාබන් පරීක්ෂණ වලින් ඒ නටබුන් කොයි කාලයේද කියා ඔප්පු කල හැකි බවයි. එවැනි නටබුන් ශ්‍රී ලංකාවේ නැත.


එසේම එසේ සිද්ධාර්ථ කුමරුන් ලංකාවේ උපන්නේ  නම් ඔහු උපදින්නට  ඇත්තේ ඉහත කී  ආදි  ලාංකිකයන්ගේ පවුලකය. එසේ නම් සිද්ධාර්ථ උත්පත්ති කතාව  ගැන මෙන්ම බුදුන්  වහන්සේ ගැනද ජනකතා පැතිරෙනු ඇත්තේ එහි හෝ දකුණු ඉන්දියාවේ මිස දැන් පවතින බිහාරයේ නොවේ. එසේ නම් අපගේ ද්‍රවිඩ මිතුරන් කියන ඔවුන් බෞද්ධයන් යයි පවසන කතාවේ සත්‍යතාවයක් තිබිය හැකිය. එනම් බුදුන් උපන්නේ ලංකාවේ ද්‍රවිඩ පවුලක හෝ ආදිවාසී සින්හල ලාංකික පවුලකය. 

එසේම මේ පිරිස මේ මස 26 වනදා සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.  ඔවුන්ගේ නීතිඥ මහතා වන වජිර ධනපාල මහත් ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනයක්ද එවා තිබේ. ඔවුන් බ්‍රිතාන්‍ය පුස්තකාලය පුස්කොල පොත් ලංකාවෙන් ගෙන ඒම  ගැන නඩු පවරන බවද පවසති.  මේ සංවාදයට එක්වන ලෙස ආරාධනය කරමි. 


එයට මගේ අදහස් හා  හිටපු ගුරු විදුහල්පති වරයෙකුද වන පෙමස් ගුණසිංහ මහතාගේ අදහස පහත පල කරමි. (ෆේස්බුක් සංවාදයකි ).


// අජිත් - මට හිතෙන්නේ මේ පුස්කොළ පොත් ඔවුන් ගෙනාවේ නැත්නම්, ලංකාවේ තිබ්බ නම් ඒවා එක්කෝ ගිනි තියල. නැත්නම් කාට හරි විකුනලා. මෙහෙ (ලන්ඩනයේ) තිබුන නිසා බේරුනා කියන එකයි මගේ අදහස.




පෙමාස්  ගුණසිංහ: මාත් එකගයි. වර්තමානයේත් ලංකාවේ පුස්කොල පොත් විකිණීයමින් තිබෙන බව ගමේ තිබුණ පැරණි පුස්තකාල වලට සිදුවූ දෑ ගැන සිතන විට පෙනී යනවා. මගේ මුත්තකු සතුව  තිබූ පැරණි පුස්කොල පොත් වලට කුමක් සිදුව ඇත්ිද යන්නවත් නොදනිමි. මා සරසවියේ සිට එන විට ඒ සියල්ල නොතිබිණි. උග්ගල් අලුත්නුවර විවේකාරාම විහාරයේ ඉනිදරතන හිමිපාණන් වහන්සේ ගේ අපවත් වීමෙන් අනතුරුව කාමරයක් පුරාවා තිබූ පුස්කොල පොත් ගොනුවම පන්සලේ භාරකාරත්වය පැවරී තුබූ පොඩිහාමුදුරුවන් රවටා කිසියම් වෙළෙන්දකු විසින් ගෙන ගොස් තිබුණා. (ඒවා වෙනුවට හාමුදුරුවන්ට බල්බ තොගයක් දී තිබුණා) ගමේ පැරණි වෙදමහතකු සතුව තිබූ පුස්කොල පොත් වෛද්‍යවරයාගේ අභාවයත් සමගම අතුරුදහන් වී ගොසින් තිබුණා. එම පොත් එකක් රුපියල් 10000 ගණනේ ඉල්ලා  තිබුණ බව සාකච්ඡා අවස්ථාවක අපට පැහැදිලි කළා. මේ වෙදපොත් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව මාවෙත ඉදිරිපත් කළ විස්තරයේ කොටසක් යූටියුබ් චැනලයේ තිබෙනවා. පසු දින කීපයකට පසුව හදිසියේම වෙදමහතා අභාවප්‍රප්ත වුන බව ආරංචි වුනා. අර පොත් කොහේ තියන්න ඇතිදැයි විමසමින් වෙද බිරින්දෑ අපේ නිවසට පැමීණ මා විමසුවා. තවත් අවස්ථාවක වෙනත් පැරණි වෙදමහතකු සතුව තිබූ පුස්තකාලයක පුස්කොල පොත් වරින් වර විකිණි යමින් ඇති බව අසන්නට ලැබුණත් ඒවා බේරා ගන්නට හැකිවුනේ නෑ. මේ උදාහරණ සලකන විට යටත්විජිත සමයේ ගෙන ගිය ඒවා ලොව කොහේ හෝ පුස්තකාලයකවත් සුරක්ෂීතව පැවතීම වාසනාවක් බව මට ද හැගියනවා. ඓතිහාසික ග්‍රන්ථ හා වස්තු කාලය දේශය නොසලකා රැකිය හැකි තැනක රැකියයතු මානව උරුමයන් නොවේද යන කල්පනාව මට ද ඇතිව තිබෙනවා. මා ඉහතින් කියන ලද ගමේ තිබී අවතැන්ව ගිය පුස්කොල පොත් ද ලොව කොතැනක හෝ සුරක්ෂිතව තිබෙවි. කිසියම් දිනක විද්‍යාර්ථීන්ට හමුවේවියි සැනසෙමි.

 ඔබ පවසන පොත් ගැන මගේද මතකයේ යාන්තමට තිබෙනවා. බළන්ගොඩ පන්සල් පුස්තකාලයක තිබූන බවට ද මතකයේ පවතිනවා. මෙවර ලංකාවට ගිය පසුව  ඒ ගැන සොයන්න දැඩි පෙළඹිමක් ඔබේ ලිපිය නිසා ඇති වුනා. මා පැවසූ ඇතැම් විස්තර අඩංගු, ගමේ දැනමුත්තන් සතුව තිබූ පුස්කොල පොත් ඇතුළු ලේඛන සියල්ලම පාහේ ඒ පැරැන්නන්ගේ අභාවයන් සමගම අවතැන්ව ගිහින් පැවතීම ලොකු විපතක්. හටන්පල "ආචාරිපංගුවේ" පැවති "වෛජයන්තය" මෙන්ම ලේකම් මහතා ළඟ පැවති "මෛමතය" වැනි බොහොමයක් පැරණි පුස්කොල ග්‍රන්ථ ද සොයන්නම බැරිව ගිහින්. මේ පොත් දෙකේ තවත් පිටපත් කොහෙන් හෝ හමු වී තෙන්නකෝන් විමලානන්දයන් සහ ආනන්ද කුමාරස්වාමි වැනි වියතුන් කියවා ඇති බව ඔවුන්ගේ පොත් කියවන විට හමු වෙනවා. එහෙත් ඒවායේ උපුටා දක්වා ඇති විස්තර ප්‍රමාණවත් නැති බව පෙනී යනවා. ඔබට අලුත්නුවරට තදාසන්න හටන්පල ගමට යන්නට අවස්ථාව ලැබී නැති බව සිතන්නට හැකියි. හමුවී ඇත්තේ ද මෑත දී රාජකාරි පැවරී ඇති තරුණයන් බවද පෙනී යනවා. රාජසිංහයන් සම්බන්ධව මෙන්ම යකඩ වානේ කර්මාන්තය, විශේෂයෙන් විවිධ වානේ ආයුධ පණ පවීම සම්බන්ධව තොරුතුරුද හටන්පල පැරණියන් වෙතින් සොයන්නට ඉඩ තිබුණා. කාලය විසින් බොහෝ මූලාශ්‍ර අපට අහමිව ගිහින් උත්තරවිහාර වංශය(උත්තර විහාරට්ඨ කතාව) ගැන මහාවංශයේ සටහන් තිබුණත් අදාල ග්‍රන්ථය සොයන්නට බැරිවම ගිහින්. එහි මේ ප්‍රදේශයට අදාලව සැඟව ඇති බොහෝ දේ තිබෙනු නිසැක බව පෙනීයනවා. ඒවා සැඟව ගිය විස්තර පමණක් වීම කණස්සල්ලට හේතුවක්, ඔබට හැකිනම් අදාල ග්‍රන්ථ පිටපතක් බ්‍රිතාන්‍යයේ පවතී දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

- පෙමාස් ගුණසිංහ

37 comments:

  1. ඉන්දියානු දෙමළ ජාතිවාදය ක්‍රිස්තියානි මිශනාරීන් විසින් ඇතිකල එකක් එහි අරමුණ ඉන්දියාව හින්දූත්ව රාජ්‍යයක් බවට පත්කිරීම වැලැක්වීමයි. කතෝලික පල්ලිය දෙමළ ජාතිවාදය අවුස්සන ප්‍රධාන බලවේගයක්.

    ReplyDelete
    Replies
    1. මේ ගැන කතා කරන්නට ඒ පිළිබඳව මගේ දැනුම ප්‍රමාණවත් මදි . දෙමල හින්දුන් තමා වැඩි හරියක් සිටින්නේ බවයි මගේ අදහස

      Delete
  2. ගමයා තුමණි,
    ඉතා ආසාවෙන් කියවු ලිපියක්.ඔබ සමග එකග වන අතරම ඊට ඌණ පූරණයක්ද එකතු කරනු කැමැත්තෙමි. උත්තර අට්ඨ කතාව තිබුනි නම් අභයගිරි පා‍ර්ශ්විකයේ මතයත් දැන ගන්න තිබුනා...සිංහලයන් හෝ වෙනත් නවීන ලෝකයේ කිසිම ජනතාවක් ජානමය වශයෙන් පිරිසිදු නෑ. වසර ලක්ෂ ගණනක් පුරා සිදුවු සංක්‍රමණ හා ආක්‍රමණ හිංදා ඔවුන් සියල්ල මිශ්‍ර ජාතීන්...නමුත් යක්ෂ, රාක්ෂ, නාග ආදී සිව් හෙළ ගෝත්‍ර එක්වී සිංහලය හැදුනු බවයි මං හිතන්නෙ...එහෙම එක් වෙන්න හේතු උනේ මොකක්ද? මං හිතන්නේ ඒ බුදුදහම පැමිණීම හෝ බලවත් ආර්ය සංක්‍රමණ බවයි. විවි ඉතිහාසයේ දෙවැනි කොටස මං ගාව ට්තියෙනවා. ඔබට අවශ්‍ය කොටස දැන්වුවොත් සොයා දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා මල්ලි ,
      උත්තර අට්ඨ කතාව ගිනි තබා විනාශ කල පොතක් නම් එවැනි පොතක් තිබු බව දන්නේ කෙසේද?
      //නමුත් යක්ෂ, රාක්ෂ, නාග ආදී සිව් හෙළ ගෝත්‍ර එක්වී සිංහලය හැදුනු බවයි මං හිතන්නෙ//
      එම අදහස ට මමත් එකඟයි. නමුත් ඔප්පු කිරමට අවශ්‍ය සාධක දැනට නැහැ.
      // විවි ඉතිහාසයේ දෙවැනි කොටස මං ගාව ට්තියෙනවා. ඔබට අවශ්‍ය කොටස දැන්වුවොත් සොයා දෙන්නම්...//
      එහෙම නම් ඔයාද ඒ පොත අරගෙන ගියේ ආශ්‍ර පුස්තකාලයෙන්. අන්න හොයනවා. - හේ හේ
      මට අවශ්‍ය කොටස වසර්ක 1350 සිට 1650 දක්වා රයිගම හා රත්නපුර පැත්තේ සිටි රජවරු ගැන. පිටු ටික ෆොටෝ ගහල එවැන්න බැරිද? ස්තූතියි

      Delete
    2. පොත් ගිනි තබා විනාශ කලා යැයි කීම අර්ධ සත්‍යයක්...සමහර පොත් ආක්‍රමණ කාල වලදී ගිනි තියන්ඩ ඇති. නමුත් අපේ පන්සල් ආශ්‍රිතව පිටපත් ගණනාවක් තිබුනා. අද පවා මහාවංසය උනත් වංසත්ථප්පකාසිණිය උනත් පිටපත් කීපයක් තියෙනවා....ලොකුම ප්‍රශ්නය නිසි නඩත්තුවකින් තොරව පුස්කොල පොත් ගබඩා කර තබා ගැනීම....පුස්කොල පොතක් අවුරුදු දෙතුන් සීයකට වඩා පවතින්නේ නෑ ස්වභාවික තත්ව යටතේ....ඒවා නැවත පිටපත් කොට නිසි පරිදි 'කලු මැද' තබා ගන්න ඕන...උත්තර අට්ඨ කතාව විකල්ප මතයක් ඉදිරිපත් කලා වෙන්න පුලුවන් මහාවිහාර මතයට වඩා....අභයගිරි පාර්ශ්වය වේදිකාවෙන් බැහැල යනකොට ඔවුන්ගේ පොත් පත් පවා රැක ගැනීමට උනන්දුවක් නැති වෙන්ඩ ඇති. අභයගිරිය සතුව තිබූ වෙනම විනය පිටකයකුත් තිබුනු බව සදහන්...උත්තරඅට්ඨ කතාවේ පිටපතක් /පිටපත් තවම සමහර තැන් වල තිබෙන බවටත් කතාවක් තිබෙනවා.

      ගෙදර ගියාම පොතේ අදාල කොටස් එවන්නම්....හොරකම් කර ගත්තු එකක් නං නෙවෙයි...අනිවා පුස්ථකාලෙකින් පොත් හොරකං කරල නෑ!!! 😂😂

      Delete
    3. කට්ටකාඩුවේ ලොකු මහත්තයා, මම හොරකම් කරගත්තු කතාව කීවේ විහිළුවට ඈ. අදාල කොටස එවන්න. මේල් එක දෙන්නේ කොහොමද? මම පුස්තකාලෙට ගියහම අහපු කතාව මේ කොටසේ ලියල තියනවා. ඔයා මගේ ෆේස්බුක් එකේ නැති නිසා දකින්න නැතිව ඇති. //කතාව මෙහෙමයි . පෙමස් ගුණසිංහ මහත්මයා බ්ලොගයේ ලියන උග්ගල් අලුත් නුවර දේවාලය හා ඒ අවට කතා නිසා මම අවුරුදු දෙකකට කලින් ලංකාවට ගිය වෙලේ එතනට ගියා. රත්න පුරේ පැත්තේ ලස්සන තැනක්. ඒ කතා ටිකක් අහගෙන ආව ඡායා රූප එක්ක. ඒක හදපු ප්‍රාදේශීය රජු කවුද කියන එක ගැන අපි අතර පොඩි සාකච්ඡාවක් ගිය නිසා මම ඒක ගැන ඇහුව දේවාලෙන් . ඒ ගොල්ලන්ට අදහසක් නැහැ. මොකද මම ලංකාවේ ඉන්න කාලේ ලංකා ඉතිහාසය ගැන ඉතිහාස පොත් රාශියක් කියවල තිබෙන නිසා (ඒ දවස් වල සෑහෙන්න උනන්දුයි ඉතිහාසය කියවන්න) ඒ රජු සීතාවක රාජසිංහ වෙන්න බැහැ කියන මතය මට තිබෙනවා. ඉතින් ප්‍රා (ප්‍රදීප් ජයතුන්ගත් ) අල්ලගෙන ගියා ජාතික පුස්තකාලයට.ලංකාවටම නෙමේ ලෝකෙටම තියන එකම එක සත්ව විද්‍යාව (veterinary science)) පොතකුත් හොයන්න එක්කයි ගියේ. අපරාදේ කියන්න බැහැ ප්‍රා ගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ඒ පොත හොයා ගත්ත. අන්න නියම බ්ලොග් ප්‍රතිචාර දක්වන්නෙක්. ඇඟෙන් දෙන්නේ සපෝර්ට් එක. ඒ පොත ගැන පස්සේ කියන්නම්. ඉතින් මේ "ලංකා ඉතිහාසය" කියන පොතේ ඔය කියන රජු ගැන විස්තරේ තියනවයි කියල මට මතක නිසා හෙව්වා පොත. කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ ආශ්‍රේය පුස්තකාලයේ (reference library) පොත තිබ්බ. "ලංකා ඉතිහාසය" ලංකා විශ්ව විද්‍යාලයෙන් ගහපු (දැන් පේරාදෙණිය). හැබැයි මට අවශ්‍ය දෙවන කාණ්ඩය නැහැ, ඒක උස්සලලු රෙෆ් එකෙන්.. මම ඇහුව කවුද කියල පිළිතුර - "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමයි ඉතින් වෙන කවුද?". තවත් පොත් දෙකක් තිබුන. ඒවලත් මැද නැහැ. පිටු කඩන් ගිහින්. කවුද මේව කරන්නේ. පිළිතුර - "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමයි ඉතින් වෙන කවුද?" ලියා ගන්න කම්මැලි කමට පිටුව කඩාගෙන යනව. ඊළඟට අවශ්‍ය කෙනාට පොත නැහැ, මේවා කරන්නේ ඇත්තටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝමයි කියන්න සාක්ෂි නැහැ. වෙන කවුරු හරි වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. විගේනේශ්වරන් වුනත් අරන් හැන්ගුවද කවුද දන්නේ. 😀 නමුත් මහජන පුස්තකාලේ අදහස ඒකයි. ඒ පොත - ඇත්තටම ලෝකෙටම එකයි තියෙන්නේ. ඉංග්‍රීසි මුද්‍රණයක් බ්‍රිතාන්‍ය පුස්තකාලේ ඇතිලු, තවම වෙලාවක් නැහැ ගිහින් හොයන්න. ආයි මුද්‍රණය කරන්නේ නැති නිසා, අපරාදේ. තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නව නම් ගිහින් දෙන්න නිර්නාමිකව හරි, වටින පොතක් ලංකා ඉතිහාසය ගැන..//

      Delete
    4. මම අහල තියෙන්නේ මහාවිහාර වාසීන් අභයගිරිය ගිනි තිබ්බ කියානේ. ඒ ගිනි තියන කොට පුස්කොලපොත් ඇතුළු විශාල ග්‍රන්ථ සම්භාරයක් ගිනිබත් වුනාලු ඔය කියන උත්තර අට්ඨ කතාව කොහෙද තියෙන්නේ? ඔන්ලයින් ගෙන්න ප්‍රොජෙක්ට් එකක් කරමුද?

      Delete
    5. අජිත් තුමා, පුස්ථකාලේ පොත් ඉස්සුව කථාව විහිලුවක් බව තේරුම් ගත්තා.. ඒක නිසාමයි ඊට අදාල ඉමොජිකොන්ස් දෙකකුත් යෙදුවේ. වඩා වැදගත් කාරනේ උත්තර අට්ඨ කතාවනේ...මහාවිහාර පාර්ශ්වය අභයගිරිය ගිනි තිබ්බායැයි කියන කතාව නං අනිවාර්ය බොරුවක්. ඔවුන්ට අවශ්‍යතාවක් තිබුනත් ( තිබුනා යැයි මං හිතන්නේ නෑ) ඊට පසුබිමක් තිබුනේ නෑ...'තුන් නිකා සමගි කොට' කියවෙන කාලේ වෙනකොට ප්‍රභල මධ්‍යස්ථානය - ධනයෙන්ද බලයෙන්ද- අභයගිරිය බවයි මට හිතෙන්නේ....මහාවංසයම තමයි මූලාශ්‍රය. මහාවංසය අභයගිරි සම්ප්‍රදායන්ගෙන් සමහරකට පමණයි විරුද්ධ උනේ. ඒකට හේතුව මහායාන සම්ප්‍රදායයන් මෙන්ම ථේරවාදී / ස්ථවිරවාදී සංකල්පත් කොටින්ම ධූතාංගධාරී සම්ප්‍රදායයන් පවා අභයගිරිය තුල පැල පදියම්වෙලා තිබ්බ හින්දා වෙන්න ඇති. අභයගිරිය විශ්ව විද්‍යලයක්. නමුත් එය අයිති to be more open than usual කියන ආප්තය ඇදහූ පැරණි පේරාදෙනි සම්ප්‍රදායට මිසක් අන් මත නොඉවසන, අන්‍යයන්ට ඉගෙනීමට ඇති අවස්ථා පොත් වල කොල කඩා දැමීමෙන් නැති කරන වත්මන් පේරාදෙණියට නම් නොවේ. පේරාදෙණි පොත්ගුලේ සුවය දන්නෙක් විදිහට මා දුක් වෙනවා මේ ගැන.
      මං ලග තියෙන්නේ විද්‍යාලංකාරයෙන් මුද්‍රණය කරපු පොතක් මතක විදිහට. නමුත් වෙනත් පොත් පත් කීපයකුත් ඔය යුගය ගැන මා ලග තියෙනවා. අපි කොහොම හරි හොයමු.
      උත්තර අට්ඨ කතාව හොයමුද? එක පයින්ම කැමතියි...ඉතිහාසයේ අපැහැදිලි තැන් අනාගත පරපුරට පැහැදිලි කරගන්ඩ එය උදව්වක් වේවි. දැනට kattakaduwa2017@gmail.com ඊ මේලයට ඔබගේ ඊ ලිපිනය එවන්න....ආයු බෝ වේවා!!!

      Delete
    6. මම මේලක් එව්වා. ස්තුතියි අභයගිරි කතාව මම කියවපු දෙයක්. කොහෙද කියල නම් මතක නැහැ

      Delete
  3. ලංකාවේ බොහෝ ඉතිහාසඥයින් (සහ අදාල ක්ෂෙත්‍රවල උගතුන්)ඉතිහාසය හදාරන්නේ, විශ්ලේෂණයකරන්නේ හා අර්ථකථන කරන්නේ subjective ලෙස මිසක් objective ලෙස නෙමෙයි. ඔවුන් ඉතිහාසය සොයන්නේ ඉතිහාසය කියන විෂය ගැන සම්පූර්ණ ආසාවක් හෝ ආදරයක් නිසා නෙමෙයි, ඔවුන් කරන්නේ රට, ජාතිය , ආගම, කුලය, දේශපාලනය හෝ වෙනත් දෙයක් ගැන තමන් දරන මතයක් වැනි තමන්ට විශේෂිත දෙයක් සඳහා අයිතිහාසික සාධක යොදාගැනීම. එවිට තම මතයට ගැලපෙන දේවල් ගැනීම හා උලුප්පා පෙන්වීම, තම වාසියට වැරදි අර්ථකථන දීම මෙන්ම තම මතයට ආධාර නොකරන දේ නොසැලකීම ඉබේම හෝ ඕනෑකමින්ම වෙනවා.

    අවු සියගනණක් කාලයක් තිස්සේ ඉතිහාසය ජනප්‍රිය විෂයයක් ලෙස ඉගැන්වූ විශ්ව විද්‍යාල තිබෙන හා ලංකාවේ මෙන් වෙන කරන්න දෙයක් නොමැති නිසා නොව ඉතිහාසය ආසාවෙන් ඉගන ගන්නා සහ ඉතිහාසය ඉගන ගන්නා අයට මුදල් ඉපයිය හැකි රස්සා තියන හා එය වෘත්තීමය මට්ටමෙන් උසස් රටවල් වල (අජිත් අඩු ගණනේ එයින් එක රටක් ගැන හොඳින් දන්නවා ) ඉතිහාසඥයන් හා ලංකාවේ ඉතිහාසඥයන්ගේ ලියවිලි සංසන්දනයෙන් මධ්‍යස්ථ කෙනෙකුට මං කියන දේ තේරුම් යයි.
    එවැනි රටවලත් ඔප්පු නොවූ,ඔප්පු කල නොහැකි දේ මත විශාල තියරීස් ගොඩනංවා ජනප්‍රිය හෝ sensational දේ කියන, තම biases & prejudices සදහා අයිතිහාසික කරුණු අර්ථකතනය, tweaking හෝ නිපදවන අය නොමැතිවා නොවෙයි. ඒත් ඔවුන් මෙහෙ වගේ ප්‍රධාන ධාරාවේ අය නොවේ. එමෙන්ම ඒ රටවල නිකම්ම පත්තර හා වොයිස් කට් මගින් කරන දේ සැලකෙනවා අඩුයි. Peer reviews ඉතා අවශ්‍යයි.
    එක හේතුවක් සමහරවිට ඒ රටවල වෘත්තීමය ඉතිහාසඥයන්ට වෘත්තීමය මට්ටමෙන් ඉහල තැනක් හා සාධාරණ ගාණක් ඉපයීමට හැකියි. තම මතයින් සාධාරණීකරණය සඳහා ඉතිහාසය විකෘති කිරීමට හෝ නිපදවීමට ගොස් තම වෘත්තීමය නම හා peers ලාගේ ගෞරවය නැති කරගන්න ඔවුන් මැලිවෙනවා.
    ලංකාවේ ඉතිහාසය අවංකව, එයට පමණක් ආසාවෙන් හදාරලා බොහෝ විට ගන්න පුලුවන් ස්වයං තෘප්තිය පමණක් නිසා සහ වෘත්තීමය ඉතිහාසඥ සංස්කෘතියේ වර්ධනය සහ pride in professionalism අඩු නිසා දේශපාලන හෝ ජනප්‍රිය වාසි ගැනීමට හෝ ඉතිහාස විෂයයට වඩා තමන්ට වටින්නේ තම පුද්ගලික මතයන් නිසා ඉතිහාස විකෘති, නොසලකාහැරීම් හා නිපදවීම් වැඩියි.
    (දිග වැඩියි. සමාවෙන්න. Ajith, As you know, I don't like long comments. I wrote this because I've been a history buff for as long as I could remember. Sorry, I don't know how to put it briefly.)



    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ගේ මේ දිග කොමෙන්ටුවත් සමග නිකම්ම නිකම් "ප්‍රතිචාර දක්වන්නෙක් " නොවභාග බ්ලොග් කරුවෙක් කියල කියන්න කැමතියි. භාග බ්ලොගර් නමැති ගෞරව නාමය පිරි නමනවා. ප්‍රා, ප්‍රතිචාර දිග වීම ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ට කියන්න අවශ්‍ය දේ කියන්න ඕනේ නේද? ඔබේ අදහස් සමුහයට එකඟයි. රටේ ඉතිහාසන්ඥයන්ට නිවැරදි තැන නොදීම නිසා ඇතිවන ප්‍රශ්න බොහොමයි. මගේ අදහස මේ මාතෘකා ගැන සොයා බල ප්‍රමාණවත් සංවාදයක් ගොඩ අනාගන්න්ට හැකිදැයි සොයා බැලීමයි. ඒ කියන්නේ හැඟීම් වලට බර නොවී බුද්ධියෙන් විසඳා ගැනීමට.

      Delete
    2. අනාගන්න නෙමේ ගොඩ නගාගන්න හොඳද /ප්‍රමාණවත් සංවාදයක් ගොඩ නගා ගන්නට //

      Delete
    3. ඉතිහාසය අනාගන්න එක ඉතා ලේසියි කියන එක තමයි මං කිව්වෙ කොහොමත්

      Delete
  4. ෆේස්බුක් පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර :
    Pemas Gunasinghe ඉහතින් අජිත් ධර්මකීර්ති පවසන "..දෙවැනි හේතුව හෙවත් මගේ තර්කණය හෙවත් උපකල්පනය (hypothesis) වන්නේ මෙයයි. වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (ලෙනිටා ඩින් එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරයි.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා හා වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා හා උපකරණ අනුව ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය.." මෙහි කියවෙන ලෙනිටා ඩීන් විකිපීඩියාව පමණක් කියව නිගමනයකට පැමිණ ඇති බව පෙනෙනවා. එහෙත් ආචාර්ය ශිරාන්දැරණියගල සහ ඔහුගේ පියාණන්ද පසුව තවත් අයද එක්ව කර ඇති ගවේශන සම්බන්ධ පොත් ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද පළවී තිබෙනවා. ඒ අනුව අජිත් ධර්මකීර්තිගේ උපකල්පනයට (hypothesis) ට වැඩි වටිනාකමක් එකතු වෙනවා. (පොත් සම්බන්ධ මතකය මේ මොහොතේ සිහියට නොඑයි. එහෙත් පහත දැක්වෙන යූටියුබ් ලින්ක් වෙතට යාමෙන් අදාල මතය වඩා සනාථ වනු ඇතියි සිතමි
    https://www.youtube.com/watch?v=FO-f1hBI3CI https://www.youtube.com/watch?v=3Fly5ieOdAI https://www.youtube.com/watch?v=FO-f1hBI3CI https://www.youtube.com/watch?v=9chgLVQ0sJQ බුදුන් උපන්නේ ලංකාවේද යන ගැටළුවට මහාචාර්ය මහින්ද සෝමතිලකයන් දෙන මේ පිළිතුර ද අවධානයට ගන්න https://www.youtube.com/watch?v=5F1DH1gOkAo

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර :Pemas Gunasinghe මේ යූටියුබ් චානල‍‍යේ බොහේ සාකච්ඡා අදාල මාර්තෘකාවට ප්‍රයෝජනවත් වනු ඇතියි සිතමි Sri Lanka Archaeology and History - ඉතිහාසය කලින් ගන්නා ලද නිගමන වල සිට ඉතිහාසය ලියන්නට හෝ කියන්නට යාම අසීරු කාරණයකි. එවිට එහිදී හඬ හඬා ලිවීමක් හෝ බැන බැන ලිවීමක් බවට පත්වෙයි. හැඬිම හා බැනීම නිසාම එය "ඉතිහාසය" පිළිබඳ ජීවගුණය රඳා නොගනී.

      Vishwa Ranganath // වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. // බලන්ගොඩ මානවයා හෝමෝ සේපියන් කෙනෙක්
      Ajith Dharmakeerthi
      Ajith Dharmakeerthi ස්තුතියි ඒක හරියටම කියන්න අමාරු බවයි කියන්නේ. මම හැදුවා එතන. https://en.wikipedia.org/wiki/Balangoda_Man

      Delete
  5. දුක හිතෙනවා මේ තරම් ශාස්ත්‍රීය කතාබහකට ලුණු-ඇඹුල් ටිකක්වත් එකතු කරන්න බැරිකම ගැන. මාත් යන්තම්-සන්තම්-පදම් ඉගෙනගත්තෙක්නේ. හැබැයි පොස්ටුව වගේම කමෙන්ට්ස් ටිකත් හරිම බරයි-සරුයි.
    Pra Jay මෙච්චර දිග කමෙන්ටුවක් ලියලා තියෙන්නේ මෙච්චරම වෙන්නැති. අජිත්, ඒකම හොඳ සහතිකයක් ඔයාට!

    ReplyDelete
    Replies
    1. ශාස්ත්‍රීය කියලම කියන්නත් අමාරුයි.සාමාන්‍ය වැටහෙන සිංහලෙන් නේ ලියල තියෙන්නෙත්. ප්‍රා ජේ ගේ කොමෙන්ටුව ඇරේ refreshing කියන ජාතියේ එකක්. මම කියන්නේ මේ ඔය ඔය ගමන් යනවනේ. ඒ යනකොට පුරාවිද්‍යා නටබුන් දැක්කොත් දේවාලයක්, පන්සලක් ඒ වගේ තැන්වල විස්තර හොයන්න. හොයලලියල තියන්න. . ඔය ගුණසිංහ මහත්මයා වගේ. එක තැනක දෙතැනක වුනත් කමක් නැහැ. මොකද ඉතිහාසය කියන්නේ කෑලි අඩු ලොකු ප්‍රහේලිකාවක් වගේ අර පුරවන්න තියෙන puzzle වගේ . කරල තියනවද. පුංචි පුරාවිද්‍යා කෑලි ලොකු කෑලි එකතු කරලා ලොකු චිත්‍රයක් ගොඩ නගන්න් පුළුවන්. ඉතින් හැමකෙනෙක්ම හොයා ගන්න ඒවා වැදගත් . එතකොට තමයි අපිඅට හරියට ගොඩ නගාගන්න පුළුවන්.

      Delete
  6. බයිබලයේ උප්පත්ති පොත ලිව්වේ මෝසස්. එහි අරමුණ යුදෙව් මිනිස්සු කියන්නේ මොක්කුද සහ උන් ඇයි මිසරයේ ඉන්නේ කියන ප්‍රශ්න වලට උත්තරයක් ලිවීමයි. (ඒ කාලේ වෙනවිට මිසරය අතහරින්න අකමැති යුදෙව් පිරිසකුත් හිටියා.)

    එතනදී මෝසස් තම ඇදහිලිවලට අනුව කතාව, දෙවියන් වහන්සේ මිනිසා මැවීමෙන් පටන් ගත්තා.

    මහා වංශය ලිවීමේදී කතාව පටන්ගන්නේ කොතනින්ද කියන ගැටළුව ආවා. මහා වංශය ලිව්වෙත් හාමුදුරු කෙනෙක් නිසා සහ තොරතුරු සොයා ගැනීමේ අවහසුතා නිසා කතාව පටන් ගැනීම බුදුන්ගේ පිරිනිවන්පෑම සිදුවූ දිනට සම්බන්ධ කලා.

    නමුත් මහාවංශයේ කතාවට අනුවත් විජය එනවිටත් මෙරට අද සිංහලයන්ට අනුරූප ජාතියක් සිටියා.
    එසේම විජයගෙන් පටන්ගත් පාලනය පන්ඩුකාභයගේ කාලයේදී පරාජයව කෙරුනා. ඉන්පසු විජයගේ පිරිසත් (සිංහල)ජාතියට අවශෝශණය වුනා.

    ReplyDelete
    Replies
    1. පණ්ඩුකාභය කාලේදී යක්ෂ සහ සිංහල ගෝත්‍ර එකතු වුනා කියල නේද කියන්නේ. කොහොම හරි ආදී ලාංකිකයන්ට ද්‍රවිඩ කියනවද ලාංකික සිංහල කියනවද කියන එකනේ තර්කය නේද

      Delete
  7. මා නම් සිතන්නේ දකුණු ඉන්දියාව ,ලංකාව වැනි රටවල සිටියේ එකම ජනතාවක් බවයි. එකළ එනම් මීට අවුරුදු 3000 කට පමන පෙර ලංකාව හා ඉන්දියාව දෙරටක් නොවෙයි. මිශ්‍රන පැවතියා.
    දේවානම්පියතිස්සට පෙර සිටි පුද්ගල නාම වල ද්‍රවිඩ ඌරුව සිත් ඇදගන්නා සුලු එකක්. එකල දෙමල කියා ජනවර්ගයක් සිටියාද කියන එක විමසිය යුතුයි. මා සිතන්නේ එසේ නොවන බවයි.
    සින්හල දෙමල කන්නඩ තෙලිගු බෙන්ගාල ඔරිස්සා කේරල ලෙස පසුව බෙඩුනේ මුල් යුගවල සිටි එකම ද්‍රවිඩ ආදිවාසීන් බව මගේ අදහසයි. මේ විශය මට කවදත් කුහුලක් ඇතිකලා.

    මගේ බ්ලොග් අඩවිය පමනක් ඔබේ බ්ලොග් ලිස්ට් එකෙන් ඉවත් කර තිබීමත් මට කුහුලක් ඇතිකළ බව කියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. The geological history of India and Sri Lanka in relation to plate tectonics. Sri Lanka has always been connected to the Indian subcontinent that was part of Pangaea during the Permian period (250 to 300 Mya). Pangaea split apart at the end of the Triassic (200 Mya) into two supercontinents: Laurasia to the north and Gondwana drifting southward. Gondwana itself broke apart about 180 Mya ago into progressively more separated landmasses that we know today as South America, Africa, Antarctica, Australia, the Arabian Peninsula and India. For about 90 My India drifted rapidly northward as an isolated island in the Thethys Sea and crashed into Laurasia about 35 to 55 Mya to take up its present position. Fluctuating sea levels have repeatedly submerged or emerged the land bridge connecting India and Sri Lanka at the shallow Palk Strait during the Pleistocene (Modified from The Future Mapping Company, UK).
      https://www.researchgate.net/figure/The-geological-history-of-India-and-Sri-Lanka-in-relation-to-plate-tectonics-Sri-Lanka_fig1_321311027

      Delete
    2. ඔය තියෙන්නේ ලංකාව හා ඉන්දියාව එකම ගොඩබිමක් පැවති අවධිය ගැන. මම කියන්නේ බලන්ගොඩ මානවයා ගෙන් හැම අතටම ලන්කිකකය්න් විහිදී ගිය බවයි. එම ලාංකිකයන් විජය සමග මිශ්‍රව නව සිංහල ජාතිය හැදෙන්න ඇති. එසේම ද්‍රවිඩයන් සහ ආසියානු රටවල ආදිවාසීන් මේ සියල්ලම එකම මුලයක් කියල මම කියන්නේ.

      ඔබේ බ්ලොගය අලුත්වැඩියා වෙන්න නැතිව ඇති. එහෙම ඒවා මම අයින් කරනවා හිතුනම අනිත් ඒවාට ඉඩ දෙන්න

      Delete
  8. මේ වටිනා ලිපියට අදාලව මුහුණු පොතේ මා වෙතින් පළ වු ප්‍රතිචාර පිටපත් ද මෙතනට එක් කරන්නට අවසර Pemas Gunasinghe ඉහතින් අජිත් ධර්මකීර්ති පවසන "..දෙවැනි හේතුව හෙවත් මගේ තර්කණය හෙවත් උපකල්පනය (hypothesis) වන්නේ මෙයයි. වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (ලෙනිටා ඩින් එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරයි.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා හා වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා හා උපකරණ අනුව ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය.." මෙහි කියවෙන ලෙනිටා ඩීන් විකිපීඩියාව පමණක් කියව නිගමනයකට පැමිණ ඇති බව පෙනෙනවා. එහෙත් ආචාර්ය ශිරාන්දැරණියගල සහ ඔහුගේ පියාණන්ද පසුව තවත් අයද එක්ව කර ඇති ගවේශන සම්බන්ධ පොත් ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද පළවී තිබෙනවා. ඒ අනුව අජිත් ධර්මකීර්තිගේ උපකල්පනයට (hypothesis) ට වැඩි වටිනාකමක් එකතු වෙනවා. (පොත් සම්බන්ධ මතකය මේ මොහොතේ සිහියට නොඑයි. එහෙත් පහත දැක්වෙන යූටියුබ් ලින්ක් වෙතට යාමෙන් අදාල මතය වඩා සනාථ වනු ඇතියි සිතමි
    https://www.youtube.com/watch?v=FO-f1hBI3CI https://www.youtube.com/watch?v=3Fly5ieOdAI https://www.youtube.com/watch?v=FO-f1hBI3CI https://www.youtube.com/watch?v=9chgLVQ0sJQ බුදුන් උපන්නේ ලංකාවේද යන ගැටළුවට මහාචාර්ය මහින්ද සෝමතිලකයන් දෙන මේ පිළිතුර ද අවධානයට ගන්න https://www.youtube.com/watch?v=5F1DH1gOkAo
    Edit or delete this
    ආචාර්ය දැරණියගල මහතාගේ දීර්ඝ පරීක්ෂණ දිවියේ වැදගත්ම අනාවරණ පිළිබඳ archaeology.lk කණ්ඩායමට කල අනාවරණය
    YOUTUBE.COM
    ආචාර්ය දැරණියගල මහතාගේ දීර්ඝ පරීක්ෂණ දිවියේ වැදගත්ම අනාවරණ පිළිබඳ…
    ආචාර්ය දැරණියගල මහතාගේ දීර්ඝ පරීක්ෂණ දිවියේ වැදගත්ම අනාවරණ පිළිබඳ archaeology.lk කණ්ඩායමට කල අනාවරණය
    1

    ReplyDelete
    Replies
    1. මමත් දැම්මා . ස්තුතියි මේවා බලමින් සිටිනව.

      Delete
  9. 2. මේ යූටියුබ් චානල‍‍යේ බොහේ සාකච්ඡා අදාල මාර්තෘකාවට ප්‍රයෝජනවත් වනු ඇතියි සිතමි Sri Lanka Archaeology and History - ඉතිහාසය ගන්නා ලද නිගමන වල සිට "ඉතිහාසය" සම්බන්ධව ලියන්නට හෝ කියන්නට යාම අසීරුය. එවිට එය හඬ හඬා ලිවීමක් හෝ බැන බැන ලිවීමක් බවට පත්වෙයි. හඬාවැටෙමින් හා බැන වදිමින් ලිවීම නිසා එය "ඉතිහාසය" පිළිබඳ ජීවගුණය රඳා නොගනී. ඉතිහාසය නොවන්නක් බවට පත්වෙයි

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. වඩා දැඩි අවධානයකින් යුතුව ඔබේ බ්ලොග් එක කියවමින් සිටිමි. එහි අන්තර්ගත යොමු වෙතට ද අවධානය යොමු කර කියවීමි. එහි දී ඩී.එන්.ඒ පරීක්ෂණය සදහා ලබාගත් නියැදියේ දුබලතාව වැඩිබව මගේ ද මතයයි. විශේෂයෙන් 1818 සිට ඉංග්‍රීසි මර්ධනයෙන් බේරීමට එකල සබරගමුව ඌව සිටි ලාංකිකයන් ගත් උත්සාහයේ දී නැගෙනහිරට මෙන්ම ඒ වනවිටත් අතීතයේ සිටම පදිංචිව සිටි මුස්ලිම් ජනයා හා මිශ්‍රවෙමි්න් සැඟව සිටි බව විවිධ
    උපකල්පනය කරමින් වියතුන්ගේ පරීක්ෂණවලට යොමුව පවතිනවා(මේවා තවම පරීක්ෂණ මට්ටමේ පවතින ගවේශනයන්. "මුහුදු වැද්දන්" ගැන අමුතු, විවිධ පුරා කතා මහියංගනය, කන්දකැටිය, දඹාන බදුල්ල ප්‍රදේශාශ්‍රිත ආශ්‍රිතව සිටින පැරණි ජනතාව සතුව ඇති බව එම ගවේශකයන් මගින් දැනගන්නට ලැබෙනවා.මේ ප්‍රදේශ නියෝජනයක් යටකී නියැදියේ නැති බව පෙනී යාම ඒ වටිනා පරීක්ෂණයට අදාල නියැදියේ නැතිබව මේ බ්ලොග්කරු ගේ ද මතයයි. ලංකාවේ බුදුන් ඉපදීම සම්බන්ධව පළවන මතවාද තවමත්, බෙහෙවින්ම දුබල මූලාශ්‍ර මත පවසන දෑ පමණක් බව මගේ ද අදහසකි.

    ReplyDelete
  12. /(මේවා තවම පරීක්ෂණ මට්ටමේ පවතින ගවේශනයන්. "මුහුදු වැද්දන්" ගැන අමුතු, විවිධ පුරා කතා මහියංගනය, කන්දකැටිය, දඹාන බදුල්ල ප්‍රදේශාශ්‍රිත ආශ්‍රිතව සිටින පැරණි ජනතාව සතුව ඇති බව එම ගවේශකයන් මගින් දැනගන්නට ලැබෙනවා.මේ ප්‍රදේශ නියෝජනයක් යටකී නියැදියේ නැති බව පෙනී යාම ඒ වටිනා පරීක්ෂණයට අදාල නියැදියේ නැතිබව මේ බ්ලොග්කරු ගේ ද මතයයි//මේක මම අහල තිබුනේ නැහැ .සිදුහත් කුමරු ලනක්වේ ඉපදුනා කියන එක තවම නිකම් මතයක් විතරයි. හැබැයි Alois Anton Führe ගැන මමදාල තිබෙන ලින්ක් එක බලන්න. සිදුහත් උපත ලුම්බිණියේ උනා කියල ඔප්පු කරන්න මිනිහ බොරුවක් කරල තිබෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව එයාව අස් කරපු විත්තිය

    ReplyDelete
  13. රොබින්හුඩ් ටෙලි නාට්‍යයේ එක අවස්ථාවක ෂෙරීෆ් පලමු රොබින් (ලොක්ස්ලි) ව මරනවා. මරලා විකම් ගමට ආපුවාම ගිස්බන් අහනවා ඇයි රොබින්ගේ මිනිය ගෙනාවෙ නැත්තේ කියලා.
    ගිස්බන් කියනවා
    මිනිස්සු කාමති නෑ රොබින් මලා කියලා පිලිගන්න. ඒ නිසා මිනිය පෙන්නුවත් උන් කියයි. ඒ වෙන කෙනෙක්ගේ මිනියක් කියලා.
    ඒ නිසා මිනිය ගෙනාවට වැඩක් නෑ. රොබින්ගැන ආරංචියක් නැනි වුනාම උන් පිලිගනියි රොබින් මලා කියලා.

    දෙමළ ජාතිවාදියෝ එක්ක ඒ ගැන වාද කරලා පලක් නෑ. මේක තර්ක කර විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔ්ක මාකටිං වලින් කරන්න ඔ්න දෙයක්.

    මෙහෙම දෙයක් තියෙනවා. ලන්දේසි කාරයන්ගේ කාලයට පෙර දෙමල මිනිස්සු අද තමිල්නාඩු කියන ප්‍රදේශයෙන් පිටතට (ඉන්දියාවේ හෝ ලංකාවේ) මහා පරිමාන සංක්‍රමණය වීමක් වෙලා නෑ.
    එහෙම ආවත් ඇවිත් තියෙන්නේ දෙමළ කතා කරන මුස්ලිම්වරු. දෙමළ කතා කරන බමුනෝ(උනුත් මුස්ලිම්වරු වගේ) සහ දෙමළ කතා කර න හෙට්ටි.
    ඊට අමතරව චෝල පාණ්ඩ්‍ය අධිරාජ්‍ය හැදෙන කාලවල දෙමළ හමුදා කාරයෝ යම් ප්‍රමාණයක් එන්න ඇති. ඒවා බිඳ වැටුනට පස්සේ ඒ මිනිස්සු එක්කෝ මව් රටට ගියා. නැත්නම් අළුත් රජ්ජුරුවන්ට එකතු වුනා.

    ඊට වඩා වෙනස් ලෙස මලයාලි ජාතිකයෝ ඉන්දියාවේ අන් පලාත්වලට සහ ලංකාවට සංක්‍රමණය වුනා.
    සිංහලයෝ අතර ඉන්න පෙරේරා, සිල්වා, වගේ නම් තියෙන අය එහෙම අය. උදාහරණ නලීන් ද සිල්වා.

    ReplyDelete
    Replies
    1. ඇන්ටනි, දෙමළ ජාතිවාදියෝ වගේම සිංහල ජාතිවාදියෝ එක්කත් ඒ ගැන වාද කරලා පලක් නෑ. මේක තර්ක කර විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔ්ක මාකටිං වලින් කරන්න ඔ්න දෙයක්.

      /එහෙම ආවත් ඇවිත් තියෙන්නේ දෙමළ කතා කරන මුස්ලිම්වරු. දෙමළ කතා කරන බමුනෝ(උනුත් මුස්ලිම්වරු වගේ) සහ දෙමළ කතා කර න හෙට්ටි./
      හරියට බලාගෙන හිටිය වගේ කියන හැටි. ඇන්ටනි එතකොට බමුණෝ, චෙට්ටියාර්ල දෙමළ නෙවේ. ගුජරාටි, මරාටි, පංජාබි වෙන්න ඇති නේද .

      De Silva කියල ප්‍රංශ කාරය (බටහිර ක්‍රිස්තියානි) වගේ පෙන්නන්න ගියාට නලීන් ද සිල්වා ඇම්බසඩර් තුමා ඉතිං පෘතුගීසි කාරය නේ අපට තමා පූශ් පූශ් .

      Delete
  14. ela

    blog syndi ekk https://sithuvili.info/ blog liyanna kiyawana aya me paha avilla yanna

    ReplyDelete
  15. අපුරු සාකච්චාවක්... අදයි දැක්කේ.... ලංකාවේ ප්‍රාග් අයිතිහාසික යුගය ගැන මමත් කාලයක් උනන්දුවෙන් කරුණු හෙව්වා. අවුරුදු 15කට විතර කලින්. පස්සේ ඒ ආසාව එහෙමම යට ගියා... මේවා කියවද්දී ආයෙත් ආස හිතෙනවා හොයන්න.

    ReplyDelete
    Replies
    1. අජිත්, මේ තියෙන්නේ අපි ඒ දවස් වල කරපු කතා බහ වලදී එකතු කර ගත්ත මේ විෂය ගැන උනන්දු අය ගැන පරණ බ්ලොග් කරුවෙක් වෙච්ච ශ්‍රීශානු එකතු කරපු සටහනක්.

      ඒ දවස් වල අපිට ඕනේ උනා urumaya.lk නැත්නම් heritage.lk වගේ සයිට් එකක් හදල මේ තොරතුරු ඔක්කොම සටහන් කරන්න. නමුත් විවිද හේතු හින්ද ඒ වැඩේ උනේ නැහැ.

      දැන් නැවත ඒ වගේ උනන්දුවක් ඇති වෙලා තියෙන නිසා මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතෙනවා.

      මේ තියෙන්නේ ශ්‍රීශානු අපේ ගෘප් එකට එවපු ඊමේල් එකක්. ඔහු මොකුත් හිතන එකක් නැහැ (කියල මම හිතනවා) මම මේක මෙතන දැම්මට...



      Delete
    2. ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. නැතනම් ඔයාට දාන්න අමතක වෙලා. ආපහු බලන්න. මේ සාකඡ්චාව තවම ඉවර නැහැ. මමත් කරුණු හොයමින් ඉන්නවා. කට්ටකඩුවේ මල්ලි පොතක පිටු ඒවා තිබුන. එහි මා හෙවු තොරතුර නැහැ. එනිසා තවම හොයනවා මේ වී විස්තර.

      Delete
    3. සොරි අජිත් මට විස්තරේ දාන්න බැරි වුනා.

      මේ තියෙන්නේ ඒ දවස් වල ඔය ගැන උනන්දු වෙච්ච අයගේ නම් ලිස්ට් එකක්. මේ අයව සම්බන්ද කර ගත්තොත් වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.

      මේ තියෙන්නේ ශ්‍රීශානු ගෘප් එකට එවපු මැසේජ් එක.

      මිතුරනි,

      පහතින් දැක්වෙන්නේ, මා කළින් පොරොන්දු වූ පරිදි "දිවයින බදාදා අතිරේකය" ඇසුරින් සකස් කළ, අපට සහාය ලබා ගැනීමට උත්සාහ කළ හැකි විද්වතුන් පිරිසක්. මොවුන් සියළු දෙනාම මෙවන් පුවත්පත් අතිරේකයකට තම පර්යේෂණ ඇසුරින් ලිපි ලියන්නේ, ඉතිහාසය ගැන ඔවුන් තුළ ඇති සැබෑ උවමනාව නිසා බව සිතිය හැක. එබැවින්, අපගේ කාර්යයටත් ඔවුන් සහාය වෙතැයි බලාපොරොත්තු විය හැක. අප උත්සාහ කරමු.

      මොවුන් ඇතුළු සියළුම විද්වතුන් තමන් තෝරගත් එක් ක්ෂේත්‍රයක් ගැන මූලිකව පර්යේෂන කරන බව පෙනෙයි. ඉතිහාසඥයන් කිහිප දෙනෙකු ගත් කළ, ඔවුන් ලියා ඇති ලිපි අනුව අපට ඒ බැව් සිතා ගත හැක. (පහත නම් ලැයිස්තුව සමගම ඔවුන් ලියා තිබූ ලිපි වල මාතෘකාත් මා සඳහන් කර ඇත්තේ ඒ ගැන අපට අවබෝධයක් ලබා ගැනීම පිණිසය.) උදාහරණ වශයෙන්, ප්‍රාග් ෆඑතිහාසික යුගය, මහනුවර යුගය, පරණි සාහිත්‍යය, පැරණි නීති ආදී විවිධ පැතිකඩවල් දැක්විය හැක. මෙහිදී කිව යුතු තවත් දෙයක් නම්, ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන්ට අමතරව භාෂා/සාහිත්‍ය විශාරදයින්, මානව විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්, භූ විද්‍යාඥයින් ආදී මෙකී නොකී සෑම ක්ෂේත්‍රයකටම අදාල අයවලුන් අපට උපකාරී වේවි. (මන්ද අද මෙන්ම - මේ සියළු කාරණා අතීතයේද තිබුනු බැවිණි :)

      මෙම ලැයිස්තුවට තවත් නම් ඇතුළත් කරන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි. අප‍ගේ හමුවීම් වලදී කතා වුනු විද්වතුන්ගේ නම් මෙහි නැත. (සමූහයේ පිටුවක් තැනීමට බැලුවත් නොහැකි විය. ටිරෝන්, පිටුවක් දාමුද? එතකොට යාවත්කාල කරන්න පහසුයිනේ...

      ස්තූතියි.

      ------------------------------------------------------------------------
      සැ:යු:- පහත ලැයිස්තුව ඇති ලිපි සමහරක්, තවත් ලිපියකට ලියූ විචාරයි. එවා පහත පරිදි වේ.
      1,2 සහ 3 ලිපි
      17 සහ 18 ලිපි
      30 සහ 31 ලිපි
      ------------------------------------------------------------------------

      සම්පත් දායකයින්ගේ ලැයිස්තුව
      (දිවයින බදාදා අතිරේකය ඇසුරෙන්)

      1) ආචාර්ය සූරිය ගුණසේකර
      - ලංකා ඉතිහාසයේ හෙළ යුගය (ග්‍රන්ථය)
      - හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දත නොහැක (2007/06/20)
      - නිගමන වලට එළඹිය හැක්කේ සාධක ඇති පමණටය (2007/11/07)
      - දැනුම හා ශාස්ත්‍රීය බව එකක්ම නොවේ (2008/01/02)

      2) I. ගුණරත්න
      - හෙළබිමේ පාලකයන් දෙව වංශිකයන් නොවේ (2007/10/10)
      - සූරිය ගුණසේකර දේව කොටස උඩ දමන්නේ ඇයි? (2007/11/28)

      3) ශාස්ත්‍රපති G.R. ගුණවර්ධන බණ්ඩා
      - (ලිපියේ නම සොයාගත නොහැකි විය) (2007/12/19)

      4) මහාචාර්ය අබය ආර්යසිංහ
      - (විවිධ මාතෘකාවන් අළලා ලිපි රැසක් පළ කර ඇත)

      5) A.M. කරුණාරත්න
      - ලංකාවට සිදුවූ විදේශ ආක්‍රමණ (සතිපතා ලිපි තිස් ගණනක් පළ කර ඇත)

      6) M.K. වීරසිංහ (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කැළණිය විශ්වවිද්‍යාලය)
      - ලොව ප්‍රථම මුද්‍රිත පොත - වජ්‍ර සූත්‍රය (2007/06/20)

      7) මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන
      - දේශයේ ඒකීයභාවය තහවුරු කිරීමට නම් (2007/06/27)
      (ලංකාවේ පැරණි ස්ථාන නාම පිළිබඳ පර්යේෂණ පවත්වන්නෙකි. මේ එහි ප්‍රතිඵලයි. web site)

      8) නාමල් කොඩිතුවක්කු (සහකාර අධ්‍යක්ෂ - අභිලේඛන හා නාණක විද්‍යා, පුරාවිද්‍යා දෙපාර්තමේනතුව)
      - ආරක්ෂක හමුදා මුදාගත් ත්‍රිකුණාමල වෙරුගල් ප්‍රදේශයේ වසර දෙදහසක් පරණි සෙල්ලිපි (2007/06/27)

      9) ආචාර්ය රාජ් සෝමදේව (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)
      - ආර්ථික ඝාතකයන් හමුවේ අපේ උරුමය (2007/07/11)

      10) නුවරඑළියේ චන්දජෝති හිමි (උඩරට අමරපුර මහා නිකායේ අනුනායක)
      - ඉතිහාසයේ සැඟවී ගිය සුභ මඟුල් පුස්කොල පොත (2007/07/11)
      - බලි ඇඹුම් කවි පොත (2007/10/03)


      Delete
    4. මේ තියෙන්නේ ඉතිරි කොටස

      11) M.P. චන්දිමා ප්‍රබෝධිනී කුමාරි (සංරක්ෂණ නිලධාරිනී, ජාතික කෞතුකාගාර දෙපාර්තමේනතුව)
      - (කටුගෙයි උරුමය) දනගිරිගල විහාරයේ දැවමුවා මකර තොරණ (2007/07/11)

      12) M.D. චමිලා සජීවනී ජයවර්ධන (අධ්‍යාපන සංවර්ධන නිලධාරිනී, කොළඹ ජාතික කෞතුකාගාරය)
      - (කටුගෙයි උරුමය) ලොව මවිත කළ ඇත් පහන (2007/08/08)

      13) චතුරි කෞමුදී නිකපිටිය (අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරිනී, ජාතික කෞතුකාගාර දෙපාර්තමේනතුව)
      - (කටුගෙයි උරුමය) අර්ධනාරි නටේශ්වර ද්විත්ව ප්‍රතිමාව (2007/08/22)

      14) කාංචන ජනප්‍රිය (කථිකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යන අංශය, රුහුණු විශ්වවිද්‍යාලය)
      - පැරණි හෙළ රජදරුවන්ගේ සිංහාසන (2007/07/11)

      15) E.M. සරත් ඒකනායක
      - ශ්‍රී ලංකාවේ ලෙන් සංස්කෘතිය (2007/08/08)

      16) ප්‍රගීත් ඇල්ගිරිය (මධ්‍යම සංස්කෘතික අරමුදල, තිස්සමහාරාම ව්‍යාපෘතිය)
      - රෝහණ රාජ්‍යයේ මාගම අගනුවර (2007/08/08)

      17) K.N.D. චන්ද්‍රසේන (විශ්‍රාමික විදුහල්පති)
      - රාජසිංහ රජ පරපුරේ රාජකීය වස්ත්‍ර යළි හමුවීමේ කතන්දරය (2007/08/22)
      - ශ්‍රී වික්‍රම රාංසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළා යැයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව (2007/11/28)
      - ඔරලෝසු තුනක් ඇති බවයි (2007/12/19)

      18) ආචාර්ය K.D.G. විමලරත්න (හිටපු ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ)
      - ශ්‍රී වික්‍රම රාංසිංහ රජු ළඟ තෝම්බි මුදලිට දීමට රන් ඔරලෝසුවක් වීද? (2008/01/02)

      19) S.B. කරළියැද්ද
      - සෙංකඩගල ‍ඇසළ පෙරහැරේ දළදාව පැහැරගැනීමේ කුමන්ත්‍රණයක් (2007/08/29)

      20) මිරිස්වත්තේ විමලඥාණ හිමි (කථිකාචාර්ය, බුද්ධ ශ්‍රාවක භික්ෂු විද්‍යාලය, අනුරාධපුරය)
      - මූලාචාරියගේ පුරෝහිත භූමිකාව (2007/08/29)

      21) ගාමණී මෛත්‍රීවර්ධන
      - බුද්ධ පරිනිර්වානය සිදුවූයේ කවර දිනකදීද? I (2007/09/12)
      - බුද්ධ පරිනිර්වානය සිදුවූයේ කවර දිනකදීද? II (2007/09/19)

      22) සුධර්මා කුමාරි (සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල - මහනුවර ව්‍යාපෘතිය)
      - ශ්‍රී ලාංකීය චිත්‍ර හා මූර්ති කලාවේ නිරූපිත සිංහ සංකේතය (2007/09/19)

      23) U.N.K. රත්නායක (ඉතිහාස (ගෞරව) උපාධි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
      - ලාංකීය ඉතිහාසය ගොඩනැගීමේදී සෙල්ලිපි වල වැදගත්කම (2007/10/03)

      24) සංජීවනී විද්‍යාරත්න (කොළඹ ජාතික කෞතුකාගාරය)
      - ඇහැලේපොළ කුමාරිහාමිගේ ශෝකාන්ත පිත්තල බන්දේසිය (2007/10/10)

      25) E.A. සෙනරත් වික්‍රමසිංහ (සහකාර අධ්‍යක්ෂ - මානව වංශ විද්‍යා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේනතුව)
      - පැල්මඩුල්ලෙන් හමුවුණු කාසි මුට්ටිය (2007/11/28)

      26) N.A. විමලසේන (කථිකාචාර්ය, ඉතිහාස දෙපාරතමෙන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
      - පෙරසිරිත හා ලංකාවේ නීතිය (200712/05)

      27) D. තුසිත මැන්දිස් (ප්‍රධාන පර්යේෂණ නිලධාරී, ජේතවන ව්‍යාපෘතිය, අනුරාධපුරය)
      - ප්‍රාග් ජේතවනාරාම භූමිය ආර්ථික ම්‍යාස්ථානයක්ද? (2007/12/05)

      28) ආචාර්ය P.D. සුමිත් ද සිල්වා (රත්නපුර ශ්‍රී ඥානෝභාස මහ පිරිවෙන)
      - ලක්දිව පළමු දාර්ශනිකයා (2007/12/05)

      29) R.A.N.M.R. බණ්ඩාර (රම්බා විහාර ව්‍යාපෘතිය)
      - ශ්‍රී ලංකාවේ ඉපැරණි වෙළඳාම සහ තීරුබදු (2007/12/05)

      30) තලහගම ඉන්දරතන හිමි
      - සීගිරි ළඳුන්ගෙන් අර්ථවත් වන්නේ පින-පව සංකල්පයද? (2007/12/19)

      31) J.A. ඉන්ද්‍රලතා
      - සීගිරි ළඳුන් කාමෝත්සවයට යන කාමිනියන්ය (2008/01/02)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .