Wednesday 26 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - නමවන කොටස

අටවන කොටස 

මා පසුගිය ලිපියේ  සඳහන් කළ පරිදි ෆ්රියෝෆ් කැප්‍රා විද්‍යාඥයෙකි.  ඔහු භෞතික විද්‍යාව ආදිය  ඉගෙන පසුව එය පෙරදිග දර්ශනයන් හා සමග සංසන්දනය කරන්නට ගියේ ඇයිද යන්න මෙහිදී විමැසීම වටී. එයට  ප්‍රථම පොරොන්දු වූ පරිදි  දැරියගේ කතාව කියමි.

එසේම මා කලින් පැවසූ පරිදි මීඩියම් ලා පවසන්නේ මියගිය දරුවන් බොහෝවිට සිටින්නේ තමන්ගේම මියගිය ඥාතියා සමග බවය. නමුත් මේ ගැහැණු ළමයා සිටියේ මියගිය බෝම්බකරු සමගය.

ඇය මියගොස් ඇත්තේ බෝම්බයක් පිපිරෙද්දීය. ඒ මේ බෝම්බකරු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ දවසේද යන්න පැහැදිලි නැත. ඇය මිය ගිය මොහොත ඇයට හොඳින් මතකය. ඇය  පෙන්නුම් කරන්නේ ඇය මිය  නොගොස් සිටින විට දෙදෙනෙකු ඇය මිය ගොස් ඇතැයි සිතා උදව් නොකළ බවය. එනම් රෝහලට රැගෙන නොගිය බවය. එසේ කළේ ටුක් ටුක් රියදුරන් බවද කියයි. (ටුක් ටුක් රියදුරන් යනු ත්‍රි වීල් රැකියා කරන්නන්ය) ඉන්පසු ඇය දුටුවේ තමන්ගේ  ශරීරයේ පහල කොටස නැති බවය. ඇගේ මව ඉන්පසු ඈ ළඟම වැතිර සිටියාය. මව මියගොස් තිබුනද නැත්ද යන්න අපැහැදිලිය. මව මිය ගියා නම් ඇය මව ළඟ නොසිට මියගිය බෝම්බකරු සමග සිටින්නේ ඇයි යන ප්‍රශ්නය මතුවේ.

එසේම ඇගේ හා මවගේ ඇඳුම් මුස්ලිම් ඇඳුම් හෝ ඉන්දීය ඇඳුම් වලට සමානය. (කුර්තාව වැනි දේ). එක්කෝ ඔවුන් මුස්ලිම් විය යුතුය. නැත්නම් බෝම්බය පිපිරී ඇත්තේ මිශ්‍ර ජනකායක් වෙසෙන පෙදෙසක විය යුතුය.

ඊළඟට තවත් අනාවැකියක් තිබෙන අතර එයද 2008 සමයේ එකකි.  ඡායාරුපය බලන්න.
වසර 2008 දී මෙම අනාවැකියද කිහිප  දෙනෙකුට යැව්වෙමි. ඒ වාර්තාවක් තබා ගැනීම සඳහාය. එහි සඳහන් වන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් මගින්  සමුලඝාතනයක් කරන බවකි. මෙය සිදුවනු ඇතැයි පෙන්නුම්  කරන්නේ වසර හතරකට පසුව බවය. එනම් 2012 දීය. එසේ සිදුවූයේ නැත. අනාවැකිය කිවූ තැනැත්තා හෙළිදරව් වීමට අකැමැති හෙයින් මේලයේ සඳහන්ව ඇත්තේ මේ මගේ අනාවැකියක් ලෙසටය. මෙහිදී වසර හතර හැටියට සිතන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගූ වෙලේ පිළිතුර වුයේ 12 වැනි  සංඛ්‍යාවක්  පෙන්වන බැවින් 2012 වන බවට නිගමනය කළ බවයි. ඒ 2008 සිට වසර හතරකට පසුය. (මට දැන් සිතෙන්නේ 2008+12 - 2020 ද විය හැකි බවයි. ඊ නම් 2020 වනතුරු බලා සිටිය යුතුය.) 

 මෙහිදී ඩෙරෙන් බ්‍රව්න් "අනාවැකි " කියන ආකාරය සිහිපත් කළහොත් පෙනීයන කරුණ නම් ඔහු නොදැනුවත්වම ප්‍රේක්ෂකයන්ගේ  යටි සිතට කිසියම් සංඥාවන් ලබා දෙමින් පසුව ඒ ගැන අනාවැකි කියන බවයි. උදාහරණයක් වශයෙන් ඔහු කතාවක්  කරද්දී ඇඟට පතට නොදැනී අඟහරු ලෝකය ගැන කිව්වා කියන්න. හත් අට වතාවක්  එසේ කී පසු අසන්නන්ගේ සිතේ  එය රැඳේ.  පැයකට පමණ පසු ප්‍රේක්ෂකයන් අතරින් තෝරාගත් කෙනෙකුට චිත්‍රයක් අඳින්නට කිවහොත් ඒ තැනැත්තා අඟහරු ලෝකය ඇඳීමේ සම්භාවිතාව 70-80% පමණ වේ.  අහක බලාගෙන සිට ඔහු ඇන්දේ අඟහරු ලෝකය වැන්නක්  යයි කීමට ඩෙරෙන්ට හැකිය.

ඒ දිනවල  ශ්‍රී ලංකාවේ  මෙන්ම ලෝකයේ ද ප්‍රවෘත්ති ජාල වල  වැඩි වශයෙන් කතා කෙරුනේ  සිය දිවි නසා ගන්නා  බෝම්බකරුවන් ගැනය. ඉරාකයේ බොහෝ දරුවන් එවැනි බෝම්බ ප්‍රහාර වලින් මිය ගියහ. ඊශ්‍රායලය කොහොමත් නිතරම වගේ පලස්තීනුවන්ට පහර දෙති. එනිසා ඉහත අනාවැකි, මළවුන්ට කතා කිරීම දෙකම එවැනි යටිහිතේ ස්ථානගතව තිබුණු ප්‍රවෘත්තියකින් මවා ගත්තක් විය හැකිය. කියන තැනැත්තාට සමහර විට ඒ ගැන  අවංකවමඅවබෝධයක් නොතිබුනා විය හැකිය.

  සිහින සහ සිතේ ක්‍රියාකාරීත්වය ගැන සෙවීමේදී කාර්ල් යුන්ග් ගේ පොතක්  (Memories, dreams, reflections by C J Jung)  හසු විය. මේ පොතින් ඉහත අනාවැකි පැහැදිලි කර ගැනීමට යමක් ලැබුනේ නැත. පොත දැනට මා ළඟ නැති නිසා එහි ඇති දේ ගැන වැඩිදුර සඳහන් කිරීමට නොහැකි වුවත් මට මතක විධිහට යුන්ග් ගේ  අවිඥානක මනස පිලිබඳ නියම (theory of unconscious ) හෝ අහම (ego) හා අවිඥානය අතර සම්බන්ධයත් මේ මිඩියම් වරුන් මළවුන් හා ජිවත්වන වුන් අතර සම්බන්ධයක් සොයා ගැන්මට මට අපහසු විය. (සමහර විට සම්පුර්යෙණන්ම  ඉගෙනීමට අවශ්‍යතාවයක්?) 

ථෙරවාද බෞද්ධයන් මළවුන් සබඳ කර ගැනීමට නොහැකි  යයි විශ්වාස කරනවා නම් මට්ටකුණ්ඩලි ගේ කතාව  විශ්වාස කරන්නේ ඇයි? මට්ටකුණ්ඩලි සොහොනේ හඬන තමන්ගේ පියා වෙත පැමිණියේය. තමන්ගේ පහසුව සඳහා ජාතක කථා ලියු තැනැත්තා මට්ටකුණ්ඩලි දෙවියෙකු කළා විය හැකිය. දෙවියකු ඇද  ගැනීමෙන් කිසියම් සම්ප්‍රදායික අනුමත භාවයක් සාමාන්‍ය ජනයාගෙන් ලබා ගත හැකිය.  මට්ටකුණ්ඩලි තම මසුරු පියාට සත්‍යය පැහැදිලි කලේ ඉර හඬ ඉල්ලා හඬන දරුවෙකු ලෙස පැමිණීමෙනි.  ඉන් පසුව තමන් මට්ටකුණ්ඩලි දිව්‍යපුත්‍රයා(?)  ලෙස පෙන්වීමෙනි.  මෙතැනදී මැරුණු  මට්ටකුණ්ඩලි නැවත  පැමිණුනේ කෙසේද? ගෞතම බුදුන් වහන්සේ ඉන්පසු අදින්නපුබ්බකට බණ කීමේදී මට්ටකුණ්ඩලි ව නැවත ගෙන්වයි. ඔහු දෙවියෙකු වුණායි අප විශ්වාස කළ යුතුද? බුදුන් වහන්සේ මළවුන්ට කතා කිරීමක් කළා විය නොහැකිද? 

මේ නිසා මම නැවත  බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි දෙසට හැරුනෙමි.  (ගුණසිංහ මහතා ඇසූ  ප්‍රශ්නයට මගේ මිතුරා එවූ පිළිතුර වුයේ ආනන්ද සල්ගාදු නමැති මහතෙකු විසින් යුටියුබ් එකට උඩුගත (upload) කර ඇති ඒ හිමිගේ දේශනා වලින් 1 සිට 17 දක්වා වන ඒවා වල ඔහු සොයන තොරතුරු අඩංගු බවය) . ඒ හිමි මහායාන දහම ගැන මෙන්ම විශ්වය ගැනද හදාළේ ඇයි?

ලවුලන් ඇතුළු මිඩියම්වරු බොහෝවිට භාවනා කිරීම හා එළඹ සිටි සිහියෙන් සිටීම ගැන බොහෝ විට කතා කළහ. එසේම මැවුම්කාර  දෙවියෙකු වෙනුවට ලවුලන් විශ්ව කරන්නේ මහා විඥානයක් (super consciousness) ගැනය. අප සැම මේ මහා විඥානයේ කොටස් කරුවන්ය. අප ගේ විඥානයන්  එනම් යටිහිත් සියල්ල එකට බැඳී පවතී. (unconscious mind with conscious mind ). එසේම  භාවනා කිරීම ගැන ඔවුන්ගේ  ඇත්තේ පෙරදිග ඇදහීම් වලට සමාන මතයකි. එළඹ සිටි සිහියෙන් සිටීම (හා සම්මා සතිය ) වැදගත් බව ඔවුහු සිතති. මමත් භාවනා කිරීම ගැන අදහසට  එකඟ වුනෙමි. සිහිය සැමවිටම තබා ගැනීමේ වැදගත් කම ගැනද  එකඟ වුනෙමි.  ආචාර්ය තින් ගේ ලිවින්ග් මෙඩිටේෂන් (භාවනාවේ ජීවත්වීම ) වැනි පොත් ද යැව්වෙමි. එක්හර්ට් ටොල් ගේ පොතක්ද ඩිව් විසින් එව්වා මතකය. (The Power of Now ). ඒවායේ කතා කරන්නේ අවදියෙන් සිටීම , හිත නිරවුල්ව තබා ගැනීම  ආදිය ගැනය. 

මම සාමාන්‍යයෙන් වාහනය පදවා ගෙන යද්දී  පවා නොයෙක් දේවල් සිතන්නට පුරුදු වී තිබෙන අයෙක්මි. ඊළඟ බ්ලොග් ලිපිය ගැන, නැත්නම් යන කිසියම් සංවාදයක මගේ පිළිතුර  කුමක් විය යුතුද යන්න ගැන, ගීතයක අදහස කුමක්ද යන්න මේ අතරින් සමහරකි. "එළඹ සිටි සිහිය" යන්න බොහොම අඩුය.  පාර  දන්නේ නම් අපි මොන හිතුවිල්ලක හිටියත් කාරය  "පැදවෙන " බව නොරහසකි. ඒ මොළයට  ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති නිසාය.  නමුත් ලවුලන් වැනි අයගේ මේ එළඹ සිටි සිහිය හෝ සම්මා සතිය ඉතා වැඩිය. එනිසාම ඔවුන්ගේ නිරීක්ෂණ ශක්තියද වැඩිය.  මේ ලඟදි පවා ඇය ෆේස්බුක් හි තම  අසල්වැසියන් නිවසින් එළියට  පැමිණි පසු කරන දේ ගැන ඉතාමත් රසවත් (ඕපාදුප) ලිව්වාය.

එසේම ඔවුන් තමන් ඉදිරියෙන් යන වාහනයේ ලියාපදිංචි අංකය කියවා  එයට නොයෙක් තේරුම් දෙති. ඒ හා ජේ අකුර සමග දිනය උපන් දිනයට සම වේනම් තමන්ට මළවුන්ගෙන් ලැබුණු පණිවුඩයක් යයි සිතති. මෙය දැනගත් පසු මා කළේ දරුවන් සමග වාහනයේ දීර්ඝ  ගමන් ද රසවත් කර ගැනීමය. ඒ ඉදිරියෙන් යන කාරයේ  ලියාපදිංචි අංකයේ අකුරු වලට තේරුම් දීමට තරඟ කිරීමෙනි. 

  එසේම රේඩියෝවක, ගීතයක හදිසියේ ඇතිවන ශබ්ද (interference ), කාර් රේඩියෝවක ශබ්ද වලින් මළවුන්ගේ කතා ඇසෙන බව ඔවුහු පවසති. මෙයට කියන්නේ ඉලෙක්ට්‍රොනික ලෙස ප්‍රාදුර්භූතවන හඬවල් electronic voice phenomena (EVP කියාය. මට මේ ගැන එතරම් විශ්වාසයක් නැති වුවත් මේ හඬපට  බොහොමයක් අසා තිබේ. 
  
යුටියුබ් එකේ මෙවැනි හඬපට බොහෝ දැකිය හැකිය.

 ඉහත අදහස් අනුව සිත වෙනත් සිතුවිලි වලින් වියුක්තව අවදියෙන් තබා ගැනීමට හැකිදැයි විමසා බැලුවෙමි. මෙහිදී මා වෙනත් දිනවල නිරීක්ෂණය නොකරන දේ පෙනී යන බව වැටහුණි. සමහර විට යන අතරමග මාර්ගයේ ඇති වෙළඳසලක්, අමුතු නිවසක්, අමුතු  පාරක නමක් වශයෙනි.  උමං දුම්රියේ හෝ බසයක් යද්දී මිනිසුන්ගේ හැසිරීම් වඩා හොඳින් නිරීක්ෂණය වුනි. ඇත්තෙන්ම මගේ කාර්යාලයේ අයෙක් හැම සිකුරාදාවකම බර්ගර් එකක් කන බවත් ඔහු සඳුදාට කන්නේ සලාදයක් පමණක් බවට  මට අනාවැකි කිව හැකි බවත් වැටහුණි. 
පින්තූරය නිව් සයන්ටිස්ට් සඟරාවෙන් 

නිව් සයන්ටිස්ට් සඟරාවේ 2014 පලවූ මිනිස් මොළය පිලිබඳ ලිපියක් මගේ යහළුවන්ට යැව්වෙමි. (මේ බොහෝ කලට පසු බව මතක තබා ගන්න)  එහි ඇත්තේ අප "අවදියෙන් සිටීම " ඔන් ඕෆ්ෆ් කල හැකි ස්විච් එකක් - අවදියෙන් සිටිනවාද නැත්ද යන්න තීරණය කරන්නක් මිනිස් මොළයේ ක්ලඋස්ට්‍රම් නමැති පෙදෙසේ තිබෙන බවට ඉඟියකි. 

මේ අවදියෙන් සිටීම හා නිරීක්ෂණය කිරීම  ඇසුරෙන් තමන් අවට සිටින අය ගැන බොහෝ දේ කිව හැකිය. අසන පොදු  ප්‍රශ්න කිහිපයක් හා පිළිතුරු කිහිපයකුත් සිහියට ගෙන දෙතුන් සියක් සිටින තැන්වල මෙවැනි "මළවුන් ගෙන්වීම් " කිරීම ඉතා පහසුය. එනිසා ඒවා බැහැර කර දැමුවෙමි. බැහැර කිරීමට තවමත් අපහසු වුයේ ලවුලෙන් ගේ කියැවීම්ය.

~ මතු සම්බන්ධයි.

"Within ghost hunting and parapsychology, electronic voice phenomena (EVP) are sounds found on electronic recordings that are interpreted as spirit voices that have been either unintentionally recorded or intentionally requested and recorded." - ගූගල් 

පරීක්ෂණයක්: https://www.youtube.com/watch?v=9zaRb_g8adY 

Thursday 20 October 2016

බැක් ටු අම්බලම් මනෝ (මළ) විකාරය

යහළුවකු විසින් එවූ ගොසිප් වෙබ් අඩවියක අමුතුම අන්දමේ පුවතක් දුටුවෙමි. ලොකු අයියලා අක්කලා පොඩි කාලේ අම්බලම්  ගිය ඇඳුම් ඇඳන් කරන නාඩගමක් ගැන දුටුවෙමිය. මේ කියන්නේ යන්තම් අවුරුදු දහඅට  පැන්න  අද ඊයේ අම්බලම් වලින් එලියට පියමැන්න එවුන් ගැන නෙමේය. උන්ටිකට ඊයේ පෙරේදා අවුරුදු දොළහක් වත් අඩුම ගණනේ ඉඳලා  එලියට ගිය අම්බලම් ඉස්කෝලේ , අම්බලම් මහා විද්‍යාලේ , අම්බලම්  කොලීජිය ගැන පොඩි කැක්කුමක් සංකාවක් තියන එක මට හිතා  ගත හැකිය. ඒවා සාමන්‍ය  දේවල් ය.

මේ අයියලා අක්කලා එහෙම නොවේය. උන් ඇවිල්ලා  අවුරදු හතලිහ පණහ පැන්න වුන්ය. අඩුම ගණනේ තිහ වත් පැන්නවුන්ය.  හතළිහෙන් පස්සේ අර මිඩ්ලයිෆ් ක්‍රයිසිස් හෙවත් මැදිවියේ විප්ලවය වත් හට ගත්ත කට්ටිය දැයි මට නිකමට වගේ සිතුනෙමිය.

හැබැයි බලාගෙන ගියාම මේ වැඩේ එහෙම එසේ මෙසේ සිල්ලර හේතුවකට වෙන දෙයක් නෙමේය.  මේ හැමෝම පොඩි කාලේ ඇඳපු  කොට කලිසම්, සායවල් , සුදු ගවුම්, සුදු දිග උණ බම්බු කලිසම් ආයේ මහගෙන, කරේ ළමා බෑගයකුත් එල්ලා ගෙන යන්නේ තමන්ගේ නැති වෙච්ච ළමා විය හොයාගෙනය.

ළමා විය නැතිවී ඇත්තේ ලංකාවේ සෝ කෝල්ඩ් නිදහෂ් අධ්‍යාපනේ නිසාය.  අන්තිම දුප්පත් දෙමහල්ලන්ගේ සිට,  පහල මධ්‍යම පන්තියේ දෙමාපියෝත්, ඉහළ මධ්‍යම පන්තියත් කියා වෙනසක් නැතුව දුවා දරුවෝ ටියුෂන් හෙවත් පෞද්ගලික පන්ති යවන්නේ එකේ පන්තියේ සිටය. ඒ ඔක්කොම විෂයන්ටය. පහේ පන්තියේදී කඩයිම් විභාග සඳහා තවත් අමතර පුද්ගලික පන්තිය.  ඒකෙන්  මුළු රටේම පළවෙනි තැනෙ සිට තුන්වන තැන ගන්නා දරුවන්ගේ පමණක් නොව  දරුවාගේ පියා, දරුවාගේ මව් , හවසට පුද්ගලික පන්ති දැමු ඉස්කෝලේ ටීචර්, ආච්චි  , සීයා හා බල්ලා ගේද පින්තුර පත්තර වල පළවෙන්නේය. අහක හිටිය  ප්‍රින්සිපල් ලාගේ පින්තුරද වැටෙන්නේය. ඔය කවුරුත් කළ රෙද්දක් නැත.

මේ ළමයිද තමන් ටියුෂන් (හෙවත් පෞද්ගලික අධ්‍යාපනය)  පැත්ත පළාතක නොගිය බවත් හො ඳට සෙල්ලම් කළ බවත්,   නිකම්ම විභාගෙට ගිය බවත් රුපවාහිනියට උජාරුවෙන් කියති. අල්ලපු ගෙදරින් ඇහුවොත් ඇත්ත කතාව හෙළිවනු ඇත. මොකද අල්ලපු ගෙදර පොඩි එකා පාස් නැත්නම් දෙමාපියන් උගේ හතර හන්දි කැඩෙන්නට පහර දී තිබෙන්නට පුළුවන් නිසාය. පහේ පන්තියේ විභාගෙන් ෆේල් වෙන එකා ගේ මානසික තත්වය කවුරුත් හොයන්නේ නැත.

ඉතින් මොන දක්ෂතාවය තිබුනත් පහ ෆේල් වුණා කියා නවතින්නේ නැත. තවත් පෞද්ගලික පන්ති දහය , එකොළහ පන්තිය වෙනකන් යා යුතුය . ඒ විභාගෙන්  පසු උසස් පෙළටද පන්ති යා යුතුය. ඒ දෙකෙන් පැන ගෙන නිදහස් අධ්‍යාපනේ දෙන විස්ස විද්යාලෙකට යා ගන්නට බැරිවුනොත් අම්ම තාත්තා ඉඩම්, ගෙවල් උගස් කර ණයවෙලා යවන අහවල් පුද්ගලික ආයතනේට ගොස් සටිපිකට් , ඩිප්ලෝමා එකක් දා ගත යුතුය. මේ හැම තැනටම ප්‍රවාහනෙට යන වෙලාවත් එකතු කරලා ගණන් බැලුවාම ජිවිතේ විඳින්න උන්ට වෙලාවක් නැත. විස්ස විද්ලීයාලේ උන්ට වෙලාවක් තියනවා කියල හිතන්නටද බැරිය. ශිෂ්‍ය සංගමෙන්, ආණ්ඩුවෙන් සහ  පොලිසියෙන් දෙන   අසයින්මන්ට් හා විබාග  අස්යින්මන්ට්ද කරලා ගොඩ ආ යුතුය.

තිබ්බ ළමා විය ඔහේ දන්නෙම නැතිව ගෙවී ගිහිල්ලාය. ඊට පස්සේ වැඩ කරලා වැඩ කරලා හති වැටිලා බලන කොට දන්නෙම නැතිව තිහ හතළිහත් පැනලාය. ඊටත් පස්සේ පොඩි එවුන්ගේ ඇඳුම් ලොකුවට මහගෙන  බැක් ටු අම්බලම් කියල පරණ අම්බලමට බඩගාන්නේ පොඩි කාලේ මිස් වෙච්ච ජෑම්  පාන් එකකුත් මල්ලට දා ගෙනය. මේ ගොල්ලන්ට සූප්පු විකුනන්න කවුරුත් හිටියේ නැත්ද කියල හිතුනේ බඩ ගාන ගෑවිල්ලටය.

ප්‍රශ්නේ මේක නෙමේය. තමන්ගේ ළමයින්ට දෙන්නෙත් මේ සබ්බුවමය. උන් ටිකත් තව අවුරුදු විස්ස තිහකින් ඔය නාඩගමම නටනවාය. හේතුව උන්ගේ ළමා කාලේ ගත වෙන්නෙත් පුද්ගලික නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ය.

නිදහස ගත් දා සිට කන්නන්ගර මහතා  වෙහෙසී ලබා දුන් නිදහස් අධ්‍යාපනෙන් අප ගත් ප්‍රයෝජන බොහෝය. බ්ලොගය ලියන්නට සිංහල ඉගෙන ගත්තේද නිදහස අධ්‍යාපනයෙන් කියා කිව හැකිය. ඒ වුනාට  මට ආපහු සුදු කලිසමක් හෝ කලිසම් කොටයක් ගහගෙන පරණ  ඉස්කෝලේ පැත්තේ යන්නට නම් කීයටවත් හිතෙන්නේ නැත.  ඒ කාලෙ පහු කරගෙන ආවේ ආයේ එතනට යන්නට නෙමේය.

මේ ආපහු  කලිසම් කොට ගහගෙන,  බෑග් එල්ලගෙන ඉස්කෝල ගානේ දුවන්නේ තමන් ඇත්තටම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා දැයි බලන්නට විය යුතුය. මතක තියෙන්නට විධිහක් නැත.

අහෝ මේ නම් මහා ඛේදවාචකයකි. ඉරකි., තිතකි. ....

අපේ බ්ලොග් ඇත්තෝත් බැක් ටු අම්බලමට ගියා නම්  සමා විය විය යුතුය. මේ මට හිතෙන හැටි පමණය.
     

Sunday 16 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - අටවන කොටස

හත්වන කොටස 

ඉහත කොටස්  වලට ලැබුණු  ප්‍රතිචාර සළකා බැලීමේදී මේවා විශ්වාස කරන අය ගැන අපහාස නොකරන්නැයි කීමේ හේතුවක් තිබේ. එනම්  ශ්‍රී ලංකාවේ  සිදුවූ සිවිල් යුද්ධ වලින් මියගිය ආරක්ෂක හමුදාවල මෙන්ම සටන්කාමීන්ගේ ළඟ නෑදෑයින්, හිතවතුන් , ආදරණියයන්  රහසේ මෙන්ම එළිපිටද මළවුන් ගෙන්වන්නන් කරා යන බැවිනි. මේ උපසංස්කෘතිය ප්‍රධාන දහරාවෙන් වෙන්ව සැඟවී පවතී.

බටහිරද මේ තත්වය මෙසේමය. විශේෂයන් රථවාහන වලින් වූ හදිසි අනතුරු වලදී මියගිය තම නෑදෑයා ට සහෘදයාට ආයුබෝවන්  කීමට මෙවැනි  ක්‍රම බොහෝ යුරෝපීයයන් හා අමෙරිකානුන් භාවිතා කරනු මම දුටිමි. මෙහිදී "කියැවීමේ" සත්‍යතාවයට වඩා තමන්ගේ පෑරුණු සිත්  සුව කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා දායක වීමක් ද විය හැකිය. ලංකාවේ නම්  මේ කරුණ  වඩාත් බල පායි . ඒ මෙවැනි තත්වයන්ට  ගොදුරු වූවන් සඳහා   මානසික සායනයන්  ලංකාවේ  නොමැති හෙයිනි.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසනයේ කටියාව නම් ගමේ  දරු දෙදෙනෙකු සහිත කාන්තාවක් දරු දෙදෙනා මවට භාරදී මැද පෙරදිග රැකියාවකට  ගියාය. ඇගේ සැමියා 1988-89 කාලයේ ඝාතනය වූ ජවිපෙ සාමාජිකයෙකි. ඔහු ඇය සමග කතා කරතියි ඇය මගේ යහලුවෙකුට කීවාය.  ඩුබායි ගිය පසු මළගිය ඔහු පෙනී සිටිමින් කියා ඇත්තේ  දරු දෙදෙනා දුකින්  සිටින බවත් එනිසා වහා ඇය ආපසු ලංකාවට යා යුතු බවත්ය.   ඇගේ මියගිය සැමියා ඇයව දිනපතාම ඇඳෙන් බිමට ඇද දමන බව පවසා තිබේ. ඉඩමක් උගස් කර ඩුබායි පැමිණියත් මේ ප්‍රශ්නය නිසා  ඇය ආපසු ශ්‍රී ලංකාව  බලා ගියාය. ඇගේ අධික දුක මගින්  ඇතිවුණු මානසික විෂාදතාවයක් නිසා මෙවැනි සිදුවීම් ඇතිවන බවට නිගමනය කළ හැකි වෙතැයි සිතමි. මළවුන් එන්නේ කතා කරන්නට මිස දබර කරන්නට හෝ කරදර  කරන්නට නොවේ යයි මීඩියම් ලා නිතර කියති. අනික ශරීරයක් නැති ඔවුන්ට කවුරුන් වත් ඇඳෙන් බිමට ඇද දමන්නට නොහැකිය. සැමියා මිය ගිය දුකින් මෙන්ම දරුවන් දමා ආ දුකින්ද පෙළුණු අය නැවත  යාමට සිත හදා ගත්තේ මෙවැනි ආරුඪ වීමකින් විය හැකිය.

දෙවන සිද්ධියේදී ගලගෙදර ප්‍රදේශයේ කාන්තාවක් මළ ගිය ඇත්තන් සමග කතා කරන කෙනෙකු හමුවී තිබේ. ඇගේ සැමියා හෝ පෙම්වතා පැමිණ තිබෙන අතර මළ ගිය ඇත්තන්ට සම්බන්ධ කරන්නා (මීඩියම් ) වේදනාවෙන්  කෑ ගසමින් කෙඳිරිගාමින් සිට තිබේ. ඔහු දරුණු වධ විඳි  බව හා ඉන්  මහත් වේදනාවට පත්වී තිබෙන බව කියා තිබේ. මෙහිදී පැහැදිලි නැත්තේ කාන්තාව තම සැමියා ගැන මීඩියම් ට  (ලංකාවේ හැටියට පේන කරු) මුලින් කීවාද නැත්ද යන්නය. මීඩියම් සැමියා අතුරුදහන් වුණු බව මුලින් දැන සිටියා  නම්, ඒ කාලයේ පැහර ගත්තවුන්ට වධදීම්  සිදු කෙරනු බව කවූරුත් දන්නා දෙයක් නිසා ඔහු කිසියම් රඟ පෑමක් කළා විය හැක. එසේම ලවුලෙන් කියන්නාක් මෙන් ඇත්තටම වේදනාවෙන් පෙලුනා  ද විය හැක.

මගේ බ්ලොගයේ වෙනත් තැනක ද සඳහන් කර ඇති පරිදි 2006 මුල් භාගයේ ලන්ඩනයේ පැවති එක්තරා සැන්දෑ සාදයකදී මිතුරන් පිරිසක් හා වාදයකට පැටලුනෙමි. ඒ මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණය  දිනූ පසු  වන අර සාම කතාද ඇදීගෙන යන කාලයේය. බීබිසියේ මගේ මිතුරකු වන සරෝජ් පතිරණ සාම සාකච්චා අතරතුර  එරික් සොල්හෙයිම් හමුවී තිබේ. එරික් සොල්හෙයිම් කොටි සංවිධානය විසින් සාම කතා කඩා කප්පල් කිරීම ගැන සිය  කණගාටුව හා දැඩි කළකිරීම  ගැන ඔවුන්ට දන්වා තිබේ. ඔහු මේ බව අප‍ට  කීවේය. එසේම කොටින් ඉතා  ප්‍රබල නිසා ඔවුන් සාම සාකච්චා වලින් ඉවතට ගිය බව ඔහුගේ අදහස විය.   මහින්දවාදී  යහළුවන් පිරිසකුත් මමත් බීබීසියේ රැකියාව කරන තවත් ප්‍රවීන මාධ්‍යවේදියෙකුත් මෙතන සිටියහ.  අනිත් මාධ්‍යවේදී මහතා කීවේද බලගතු කොටි සංවිධානය පරාජය කිරමට රජයට නොහැකි නිසා සාම  සාකච්චා වල බර දැරිය යුත්තේ රජය බවයි. එනම් රජය තවත් නම්‍යශීලි විය යුතු බවයි. මහින්ද වාදීන් මෙන්ම සිංහල ජාතිවාදයට බර අයද කොටි සංවිධානය යුද කර  පරාජය කළ හැකියයිද කල යුතු යයිද යන මතයේ සිටියහ.

 මගේ මතය වූයේ  කොටින් සිටියේ තමන් ගැන අධිතක්සේරුවක බවය. එරික් සොල්හෙයිම් කියන ලෙසට සාම  ගිවිසුම අත්සන් කර දෙමළ ජනතාවට  යුද ගැටුම් වලින් තොර   ජිවත් වීමේ නිදහස ලබා දී රජය සමහ දීර්ඝ සාම සාකච්චාවක නිරත විය යුතු බවය. යුදයෙන් දෙපසේම පිරිස මිය යනවාට  වඩා සාම සාකච්චා හොඳ බව මගේ අදහස විය. එසේම රජයට කොටි සංවිධානය  අනිවාර්යයෙන්ම පරාජය කළ හැකි බව මගේ මතය විය.  මා කීවේ යුදයට නුපුරුදු ලංකාවේ ත්‍රිවිධ හමුදා 71 කැරැල්ල පරාජය කල අතර ඊටත් වඩා දරුණු ලෙස 88-89 කැරැල්ල පරාජය කළ බවයි. ලංකාවේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දේශපාලන නායකත්වය ඉඩ දෙන්නේ නම් සමූල ඝාතනයන් කිරීමට පවා පසුබට නොවන බවත් එනිසා කොටි සංවිධානය ඉන්නේ මහා මුලාවක බවත් පැවසුවෙමි.

ඉන්දුනීසියාවේ  මෙන්ම චෙචේනියාවේද අනුකම්පා විරහිතව පහර දීමෙන් කැරලි මැඩ පවත්වා ඇති බව කීවෙමි. මාධ්‍යවේදීන් දෙදෙනා මෙහිදී මා  ජවිපෙ හිතවතෙක් යයිද ජවිපෙ මෙන්ම   මමත් ජාතිවාදියෙකු වී ඇති බවද කීහ.  මිතුරු සරෝජ් පතිරණ මා මෙසේ කී  බව පසුව  පිළිගත් නිසා ඔහුගේ නම මෙහි සඳහන් කලෙමි. මා එසේ කිවේ තාර්කිකව සලකා  බලා මිස  ජාතිවාදී කමකට නොවේ.

කොටි සංවිධානයට එරෙහි දෙමළ මාධ්‍යවේදියෙකු වන  ඩී බී එස්‌ ජෙයරාජ් කිලිනොච්චිය ඇද වැටෙන්නේ නැති බවත් එය ස්ටාලින්ග්ග්‍රාඩ්   බේරා ගැනීමේ සටන මෙන් මහා සටනක් වන බවටත් අනාවැකි කිව්වේ 2008 ඔක්තෝබර් මාසයේය. (ලිපිය බලන්න) ඒ කියන්නේ කිලිනොච්චි වැටෙතැයි ඔහු සිතුවේද නැති බවයි. ඔවුන්ගේ අධි තක්සේරුව එපමණ විය.

ඉහත සිද්ධීන් හා ජෙයරාජ් ගේ ලිපිය වැදගත් වන්නේ ලවුලන් ගේ ඊළඟ කියවීම නිසාය. මෙය කියැවුණේ 2008 වසරේ ජූනි  මාසයේ පමණ දීය. සියදිවි නසාගත් දෙමළ බෝම්බකරුවකු සම්බන්ධවී තිබුණි. ඔහුගේ ඡායාව මට ප්‍රක්ෂේපණය කරන්නට ඇයට හැකිවුණි. ( ඒ කෙසේ දැයි කියන්නට මට නොහැකිය) ඔහු සමහ කුඩා දැරියක්ද සිටියාය. මැරුණු දරුවන් තමන්ගේ මියගිය අත්තා, අත්තම්මා හෝ වෙනත් මළගිය ඥාතියකු සමග පෙනී සිටින්නේ යැයි මීඩියම් වරු කියති.

බෝම්බකරු පැහැදිලිවම කීවේ රජයේ හමුදා කොටි සංවිධානයේ සියල්ලෝම සමූලඝාතනය කරන බවයි. එසේම තණ පිට්ටනියක මළකඳන් හා රුධිරය පෙන්වන බව ඇය කීවාය. මා  සිතුවේ මේ ගෝල්ෆේස් එක ගැන බවයි. එනිසා ගෝල්ෆේස්  නමින් තණ පිට්ටනියක් තිබෙන බවත් මේ එය විය හැකි බවත් මේ මළ තැනැත්තා කියන්නේ බෝම්බයක් ගෝල්ෆේස් එකේ පිපිරවීම ගැන විය හැකි බවත්ය. එවැන්නක් ගැන මම දන්නේ නැත. ලවුලන් පැහැදිලිව කිවේ බොහෝ අය මිය යන බව හා ඔහුගේ යහළුවන් සියලු දෙන මැරෙන බවය.

ඔහු අනාගතය ගැන කියන්නේ කෙසේදැයි මම විමසුවෙමි. ඔහුට කිසියම් මාස්ටර් කෙනෙකු උදව් කරන්නේද යන්න විමසුවෙමි. තමන්ට අනාගතය ගැන කියන්නට හැකි මන්ද යන්න, මළගිය තැනැත්තාට කීමට හැකියාවක් නොමැති බවත් තමන්ට පෙනෙන දෙය ඔහු දන්වන  බවත්  ලවුලන්ට දැනුනු හැඟීමයි.

මම ඉන්පසු මේ විස්තර මගේ යහළුවන් අට දෙනෙකුට යැව්වෙමි. හතර දෙනෙකු මළ ගීයවුන් සමග කතා කිරීමට හැකි යයි විශ්වාස කරන අය වන අතර අනිකුත් අය විශ්වාස නොකරති. විශ්වාස නොකරන යහළුවන් දෙදෙනක් ගෙන් එක්  අයෙකු ලියා එව්වේ එවන් අනාවැකි කීමට යුද්ධය (මේ 2008) යන ආකාරය අනුව කිව හැකි බවයි. රජය හමුදාවන් නිසි සේ නඩත්තු කරමින් ජනාධිපති සමග සහෝදරයා ක්‍රියා කරන බව සැවොම දන්නා කරුණක් බවත් ඔහු කිවේය. අනිත් යහළුවාගේ අදහස වුයේ අර මම ඉහත කී  සැන්දෑ හමුවේ සඳහන් කළ  දෙයමය. කැරලි දෙකක් මර්දනය කර ඇති රටේ හැටියට  විශාල,  හමුදාවකට මෙය කළ හැකි දෙයක් බවයි. එනිසා මේ අනාවැකිය ඕනෑම කෙනෙකුට කළ හැකි බව ඔහුද පැවසුවේය.

 තමන්ගේ  රටේ අගනුවර ඉක්මනින් බිඳ වැටෙන බවද මළගිය බෝම්බකරු දැන්වීය. අගනුවර ලෙස ලවුලන් දන්නේ කෙසේද යන්න ලෙස ඇයට වැටහුනේ ඔහු ඔටාවා පෙන්නුම් කරන නිසා බවයි. මේ පින්තූර ඇගේ මනසේ ඇතිවෙන දේවල්ය. වැටෙන්නේ   මොන අගනුවර දැයි මම ඇසුවෙමි. ලවුලන් කිවේ ඇයට කීමට අපහසු බවයි. අකුරු ලෙස කේ අකුර පමණක් ඇය කීවාය. ඔබේ අග නගරය කුමක්දැයි ඇය ඇසුවාය. ව්‍යවස්ථාදායක අගනුවර ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ  හා වෙළඳ අගනුවර  කොළඹ  යැයි ඇයට පැහැදිලි කලෙමි. දෙකේම නම "ක" යන්නෙන් පටන් ගනී.  මේ අගනුවරවල් බිඳ වැටීමට කෙසේවත් පිළිවන් කමක් නැති බව මම ලවුලන් ට පැවසුවෙමි.

මේ පහළ ඇත්තේ මම යහලුවෙකුට යැවූ ඊමේල් එක හා  ඊළම්  යුද්ධය අවසන් වූ පසු 2009 වසරේ ජුනි 12 දා ඔහු මට නැවත එවූ ඊමේලයයි .


පහත ඇත්තේ  මගේ මුල් ඊමේල් එකයි. මේ ඊමේල් ත්‍රෙඩ් එක හා සබැඳුනු සියලු ඊමේල් යැවු වේලාව හා දිනය සහිතව  තවම තිබේ.  කිසියම් අනාවැකියක් ලැබුනොත් මෙන්ම කාල වකවානුවක් ලැබුනොත් ලියා තබා වසර ගණනකට පසු හෝ නැවත බැලීම මගේ සිරිතකි.


මා මේවා විශ්වාස නොකරන අයෙක් නම් යහළුවන්ට යැව්වේ ඇයි? මේ සමහර යහළුවන් රජයට විරුද්ධව ඕනෑම දෙයක්  නිදහසේ කියන අයයි.  ලවුලන්ගේ කීම් මා විශ්වාස කළත් නැතත් වෙන  දේවල හැටියට 2008 ජූනි මස කළ  අනතුරු ඇඟවීම නිවැරදි යයි සිතමි.  මගේම  අදහස් හා යම් ලෙසකින් සමපාත  බැවින් කිසියම් ලෙසකින් පාර්ශ්විකව (biased opinion ) ලිව්වා  විය හැකිය. මේ දේවල් සිදුවන්නේ නැත්නම් හොඳය. නමුත් වෙන විස්තර නොකියා  මෙවන් දෙයක් විය හැකි බව කීම කල යුතු යයි සිතුවෙමි. අනික සැම  විටකම මගේ තර්කය වූවේත් යුද්ධය  අවසන් කළ හැකි බවය (කරන කුමන ආකාරයෙන් හෝ).

මෙහිදී කියැවීම් වල  කිසියම්  රජයේ කෙනෙක් (බෝම්බකරුට සතුරු පාර්ශ්වයේ කෙනෙක් ) තම නායකයාගේ මිනිය අසලට යන බව බෝම්බකරු පෙන්නුම්  කරන ලදී. මම එය වටහා ගත්තේ එවකට හිටි ප්‍රබල පුද්ගලයෙකු  හැටියටය. death chamber හෙවත් ප්‍රභාකරන් මැරෙන අඳුරු කුටියක් වැන්නක් පෙන්නුම් කරන ලදී. ලවුලන්ට මා කීවේ බොහෝ විට ඔහු අත්අඩංගුවේ මැරෙනු ඇත යන්නය. ගෝල්ෆේස් එක ගැන ලිව්වේ මළ ගිය බෝම්බකරු පෙන්වුයේ තණ  පිට්ටනි වල මළකඳන් රාශියක් නිසාය.

මේ පෙන්වන දේවල් හරියටම පරිවර්තනය කර ගැනීම වැදගත් බව ලවුලන්ගේ අදහස විය.

"මගේ රටේ අගනුවර" විනාශ වෙන බව, යටපත් කර ගන්නා බවට කි දේ  මට විහිළුවක් වුනේ එය මා  කොළඹ යයි සිතු නිසාය.

නමුත් පසුගිය දිනවල තාමලිනි ගේ "තියුණු අසිපතක සෙවන යට " කියවන විට ඇය මගේ රට යනුවෙන් සඳහන් කරන්නේ ඊළම් යනුවෙන් ඔවුන් හැඳින්වූ වන්නියේ කුඩා කොටස බවත් (යාපනය ලංකා රජය යටතේ ය) මගේ වැසියන් දෙමළ  වැසියන් පමණක් බවත් මට පසක් විය. ලන්ඩනයේ සිටින සටන්කාමීන්ගේ හිතවාදීන් දෙමල ඊළාමය  ලෙස හැඳින්වුයේ ලංකාවේ  1/3 වැනි විශාල කොටසක් වන අතර එය තවම තමන් සතු නැති බව වටහා ගෙන සිටියහ.  තමලීනි  මගේ රට කිවේ තමන් සටන් වැද සිටි ඒ කොටසට නම් බෝම්බකරු මගේ රට කීවේද එයටය. එනම් ඔහුට අනුව එහි අගනුවර කිලිනොච්චියයි. යාපනය නොවේ.

ජෙයරාජ් කිලිනොච්චිය  ස්ටලින්ග්‍රාඩ්  වගේ වේ  යයි  කිව්වේ 2008 ඔක්තෝබරයේය. මා හිතන්නේ එය අල්ලා ගත්තේ 2009 ජනවාරි වල විය යුතුය. බෝම්බකරු කොටි සංවිධානයේ හා අනිකුත් යුද පණ්ඩිතයන්ගේ අදහසට එරෙහිව මෙවැනි දෙයක් කීවේද? එසේනම් ඒ කෙසේද?

මා  ලවුලන් ට චෝදනා කලේ එවකට කැනඩාවේ දෙමළ උද්ඝෝෂණ බොහොමයක් තිබුණු නිසා ඇය කියවූ ප්‍රවෘත්ති තුලින්  හිතා බලා මේ ගැන කියන බව මිස බෝම්බකරුවෙක් නැති බවයි.  අප අතර කිසියම් විරසකයක්ද මෙහිදී ඇති විය. ඇය බෝම්බයකින් මියගිය දැරියක් ගැන කීවේද මේ නිසාය. දැරිය  සිටියේ මියගිය  බෝම්බකරු සමගය. ලිපිය දිග වැඩිවෙන නිසා දැරිය ගැන මම ඊළඟ ලිපියෙන් පවසමි.

මා මෙහිදී ලියන්නේ අනාවැකිය ගැන මිස දෙමළ සංවිධාන වල දේශපාලනය  හෝ ශ්‍රී ලංකාවේ  දේශපාලනය ගැන නොවන බව කරුණාවෙන් සලකන්න.   ලියා  ඇත්තේ අවංකවම මා එදා සිතු දෙයයි.

මගේ ප්‍රබලම ප්‍රශ්නය වුයේ කෙනෙකුට අනාවැකි කිව හැක්කේ කෙසේද යන්නයි. ලවුලන් මළවුන්ට  කථා කරති යන නිගමනයෙන්  මම මේ වනවිට බොහෝ සෙයින් බැහැරව සිටියෙමි.  අප සිටින ත්‍රිමාණ හෝ චතුර්මාණ (කාලය ද සැලකිල්ලට ගත් විට ) ලෝකයට පිටින් වෙනත් මානයක් ඇත්නම් එම මානයේ කාලය නොමැති විය යුතුයි. මළවුන්ගේ කියැවීම්  යයි ලවුලන් ලා  කියන දේවලද කාලය නමැති සීමාව අතික්‍රමණය  කර තිබේ.

මා මින්පසු කළේ ඒ ගැන සෙවීමයි. මට යහළුවන් පොත් දෙකක් ගැන කීහ. එකක් ඔස්ට්‍රියන් භෞතික විද්‍යාඥයකු වන ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ  තාඕ ඔෆ් ෆිසික්ස් - The Tao of Physics: An Exploration of the Parallels Between Modern Physics and Eastern Mysticism  හා ජුලියන්  බාබර් ගේ කාලයේ අවසානය (End of time ) නම් කෘති දෙකයි. ලංකාවේදී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව උසස් පෙළ ට ඉගෙන ගත් පසු සෝවියට් දේශයේ ඉංජිනේරු  උපාධිය කරද්දී තවත් අවුරුදු 3 පමණ ඉගෙන ගත යුතුව තිබුණි. මේ ඉගෙනීම් කළේ විභාග වලටය. අවුරුදු 20කට පමණ පෙරය. ඉන්පසු මා සමහර විද්‍යා ලිපි කියෙව්වත්, දුරේක්ෂයකින්  තාරකා නිරීක්ෂණය කළත් භෞතික විද්‍යාව ගැන මහලොකු  උනන්දුවක් තිබුනේ නැත.
මේ ග්‍රන්ථ දෙකම නිව්ටෝනියානු  මුලධර්ම වලින් අයින්ස්ටයින් බැහැරව යන ආකාරය විස්තර කරන අතර ක්වන්ටම් භෞතිකයේදී අයින්ස්ටයින් ඉදිරිපත් කල ස්පේස්ටයිම් (අවකාශ කාලය)  රාමුවෙන් ද ඉවතට ගොස් සිද්ධීන් විශ්ලේෂණය කර තිබේ. මේ දේවල් තේරුම්  ගැනීමට මා නැවතත් ඉගෙන ගත යුතු බව සිතුනි. විවෘත විශ්ව විද්‍යාලයේ (එංගලන්තයේ)  පාඨමාලාවකට බැඳුනේ මින් පසුවය.

අවකාශ කාලය (spacetime) ගැන මා  ලිපු බ්ලොග් ලිපියක් මෙහි ඇත.

ජෙයාරාජ් ගේ ලිපිය: WILL THERE BE A 'MOTHER OF ALL BATTLES' FOR KILINOCHCHI?
ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ වෙබ් අඩවිය http://www.fritjofcapra.net/
ජූලියන් බාබර් - http://www.platonia.com/books.html
මගේ අවකාශ කාලය ගැන ලිපිය : https://kolambagamaya.blogspot.co.uk/2014/10/blog-post_19.html
~ මතු සම්බන්ධයි



(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කෙදිනක වත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපි ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

Tuesday 11 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - හත්වන කොටස

මුල් ලිපි:

හයවන කොටස 
ලැසී පීටර්සන් 

මේ ලිපි පෙළ ගැන කිසියම් වරදවා වටහා ගැනීම් බොහොමයක් ඇති වී තිබෙන බව ප්‍රතිචාර වලින් පැහැදිලි වී ඇත.මළවුන් සමග කතා කිරීම යමෙකුට කළ හැකි ද යන්න හෝ එවැන්නක් පිළි ගත  හැකිද යන්න, මා පිළි ගන්නේ යයි හෝ විශ්වාස කරන්නේ යයි මෙයින් ඇඟවෙන්නේ නැත. මා ඉදිරිපත් කරන්නේ වසර 2002 සිට 2010 පමණ කාලයක් මා නිරතුරුව සෙවීමක් කළ සංසිද්ධීන්  කිහිපයක් හා ඒ හා සම්බන්ධ මාතෘකාවන් ගැන මගේ අත්දැකීම් කිහිපයක වාර්තාවකි .  ඒවා විශ්වාස කරන්නන්ට මෙන්ම නොකරන්නන්ටද අපහාස උපහාස කිරීමකින් තොරව මගේ අදහස් වලට සමාන්තරව ඔවුන්ගේ ප්‍රතිචාර ඉදිරිපත් කළ හැකිය. මේවා ලියා තැබිය යුතුය යන අදහස මට කලක් තිස්සේ තිබුණි. මේ එය ක්‍රියාවට නැගීමකි.

 ලිපි පෙළ අවසානයේ මම එළඹුණු තීරණයන් කිහිපයක් ගැනද සඳහන් කරමි. ඒ තීරණ බොහොමයක්ම මළවුන්ගේ කියැවීම් පිලිබඳ විශ්වාස වලට එරෙහි ඒවා  බවද සඳහන් කරමි. නමුත් මා සමග කටයුතු කළ මීඩියම් වරුන්ට කරන සාධාරණයක් ලෙස මට විග්‍රහ කර ගැනීමට නොහැකි වූ සිද්ධීන් අවංකවම ලියා තැබීමට මා ගත්  තීරණයට ඒවා විමසීමකින් තොරව අසත්‍ය යයි කියන අයට පිළිතුරු දීම මට කළ නොහැකිය.

ලවුලෙන් ගේ ඊළඟ "කියවීමට-reading" යාමට ප්‍රථම අප අතර ඇතිවූ විවාද කිහිපයක්  ගැන සඳහන්  කිරීම වටී. පළමුවැන්න  නම් ලැසී පීටර්සන් ගේ මරණය සම්බන්ධවය. ලැසී අතුරුදහන්  වුනු අවස්ථාවේ ලවුලින් ම අභියෝගයක් ගෙනාවාය. ඒ ලැසී සොයා ගැනීමට උදව් කරන ලෙසයි. නොයෙකුත් සයිකික් (psychic) පේන කියන්නන්  මාධ්‍ය මගින් නොයෙකුත් දේ  කීහ. අපේ කණ්ඩායමේද නොයෙක් උත්සාහයන් විය. මිඩියම් කෙනෙකු නොවූ මා කළේ ඇමෙරිකාවේ එවැනි අතුරුදහන් වීම් කිහිපයක් ගැන අන්තර් ජාලයේ සොයා බැලීමයි. පිරිමින් විසින් වයස අඩු ගැහැණු ළමයි පැහැරගෙන ගොස් ගරාජ් වල, පොළොවේ යට තට්ටුවල තබා ගැනීම් කෙරුණත් වැඩුණු ගැහැනුන් ගැන එසේ කෙරෙන්නේ අඩුවෙන් බව පෙනුනි. එසේම ලැසී  මාස අටක ගැබිණියකව  සිටියාය. එනිසා මගේ අදහස් වුයේ කවුරුන් හෝ ඇය මරා දමන්නට ඇති බවත් ඒ බොහෝ විට ස්වාමියා හෝ ඇය දන්නා කෙනෙකු අතින්  බවත්ය.

මා  එසේ කීවේ බොහෝ ගැහැණු සම්බන්ධ අපරාධවලදී පවුලේ ලඟම  තැනැත්තෙකු හෝ අසල්වැසියෙකු   එය කිරීම පිලිබඳ සංඛ්‍යාලේඛන වැඩි බැවිනි.

බොහෝ අය ඇගේ සැමියා මුලදී විශ්වාස කර ඇය ජිවත්ව සිටින බව කීහ. සැමියා ස්කොට් ද දැඩි රඟපෑමක් කළේය. නමුත් මාසයකට පමණ පසු ලවුලන් කීවේ ඇය මියගොස් ඇති බවයි.  මේ පිලිබඳ ව ඇය ද මා මෙන්ම සිතු බව මිස මළවුන්ගෙන් නෑසු බවට මට සැක  ඇතිවිය. ඇයට මළවුන්ට කතා කිරීමට හැකි මළගිය තැනැත්තා ගේ ලඟම නෑදෑයෙක් උපන් දිනය දෙන්නේ නම් පමණක් බව ඇය මට වරක් කියා තිබුනාය. මේ අනුව මේ කිසිම මිඩියම්  කෙනෙකුට මෙවැනි හදිසි මරණ, අතුරුදහන් වීම්  ගැන සොයා ගැනීමට නොහැකිය යන නිගමනයට එළඹුනෙමි. එසේ කළේ තවත් එවැනි සිද්ධීන් ගැන පොලිස්  වාර්තා ද කියවීමෙන් පසුවය.
ඩෙරෙන් බ්‍රවුන් 

ඩෙරෙන් බ්‍රවුන් හා ඩේවිඩ් බ්ලේන් සම්බන්ධව අප අතර කතා බහ ඇති වූයේද මින් වසර ගණනකට පසුය.  ඩෙරෙන් බ්‍රවුන් අනාවැකි කියන  එක්තරා ක්‍රමයක් මෙහිදී සෑහෙන වැදගත් කමක් ගනී.  මිනිසුන් ඔහුගේ මැජික් දේශන වලට පැමිණෙන විට ඔහු තැන්  තැන් වල කිසියම් සලකුණු තබයි. ඒවා මිනිසුන්ගේ යටි සිතේ තැන්පත් වේ. ඇතැම් වෙළඳ දැන්වීම් සඳහා ද මෙවැනි පැසිව් ක්‍රම භාවිතා කරති. අපේ ඇස ගැටී මොළයේ සටහන්  වුවද උඩු සිතින් කිසියම් හඳුනා ගැනීමක් කළ බව අපම නොදනී. මෙවැනි සැඟවූ සලකුණු මාර්ගයෙන් ඩෙරෙන් මිනිසුන් ගේ සිතේ ඇති දේ කියයි. ඔහු ඉතා දක්ෂ  ලෙස මිනිසුන් වේදිකාවේ මෙහෙයවයි. මෝහනයට පත් කර විස්තර අසා ගනී.

ඩේවිඩ් බ්ලේන් ට අහසේ මිනිත්තු භාගයක් සමග පාවී සිටීමට හැකිය. මෙය දෘෂ්ටි මායාවකි. එසේම නැති දේ ඇති කර පෙන්වයි (කිසියම් සැඟවීම් කිහිපයක්  කර). මිනිසුන්ගේ සිතේ ඇති කිසියම් දෙයක් ගැන කීමටද ඔහුට හැකිය.

මොවුන්ගේ ක්‍රියා මෙන්ම පෝල් මැකෙන්නා ගේ මෝහනය කරීම් ද මෙහිදී වැදගත්ය. වෛද්‍ය බ්‍රයන් වයිස් ට මෝහනයේ කෙළවර ළමා කාලයටත් ඉන් පසුවත් ගොස් පුනර්ජන්ම පිලිබඳ තොරතුරු  ලබා ගත්තා  නම් අනිකුත් මෝහනයට දක්ෂ අය එසේ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මට ඇතිවිය.

මේ ප්‍රශ්න යන අතර තුර වසර 2008 එළඹුණි. ලවුලෙන් මෙන්ම අනිකුත්   සිය දිවි නසා ගත්  අයගේ නෑදෑයින්ට කියවීම් කිරීම  දිගටම කරගෙන ගියහ. මළවුන් ගෙන්වන අය අපාය සංකල්පයට විරුද්ධය. අපාය වැනි දෙයක් නැත යයි ඔවුහු කියති. (මමත් අපායක් ඇතැයි කියා විශ්වාස නොකරමි.) ඔවුන්ට අනුව  මියගිය ඕනෑම කෙනෙකු  ආලෝකය දෙසට නොගියේ නම් සම්බන්ධ කර ගත හැකිය.

මයිසඩෙක් නම් ඕස්ට්‍රේලියාවේ සිට අප කණ්ඩායමට එන (ලොගින් වෙන) අයෙක් සිටියේය. ඔහු වරක් මගේ නෑදෑයෙක් (ගැහැණු) ඒදණ්ඩකින් එගොඩ වෙන තැනක ජිවත්ව සිටි බව කිවේය. ඇය  තරමක් දැඩි අයෙක් බවද කීවේය. මට එවැනි මිත්තණියක් සිටි නිසා මම එය අනුමත කලෙමි. නමුත් මට පසුව සිතුනේ  මා ආසියාවේ සිට පැමිණි අයෙකු නිසා ඔහු අනුමාන  කර කියන්නට ඇති බවයි. ලවුලෙන් මුදල් ගත්තේ නැති වුවත් මොහු හා අනිකුත් අය මුදල් සඳහා කියවීම් කළහ. ජොඅනා නමින් (ඇමෙරිකාවේ මුල් පදිංචි  කරු) නේටිව් ඇමෙරිකන් කාන්තාවක්ද සිටියාය. ඇය මෙන්ම මයිසඩෙක්ද  රූපවාහිනී චැනලවල  පවා පෙනී සිටියහ. ඔහුගේ කියවීම් එතරම් දක්ෂ ඒවා නොවන බවත් හොඳ අවධානයක් යොමු කළ හොත්  මටද එවැනි දේ කිව හැකි බවත් මට පසක් විය. මගේ විශ්මයට ලවුලන් මෙහිදී මගේ අදහස  අනුමත කළාය.

මයිසදෙක් ගේ සත්‍ය නම ඇන්තනි ග්‍රසේල්කා ය. මේ ඔහුගේ වෙබ් අඩවියයි. මේ ඕස්ට්‍රේලියානු ජාතිකයා මෙන්ම තවත් කිහිප දෙනෙකුම මෙහි සිටියේ ලවුලන් හා අපෙන් මීඩියම් ක්‍රම ගැන අප කරන සාකච්චා වලින් ඉගෙන  ගැනීමටය. ඉන්පසු හිමින් සීරුවේ ඉවත්වී තමන්ගේ ව්‍යාපාර පිහිටුවීම හා ඉන් මුදල් ඉපැයීම ඔවුන්ගේ අදහස බව මට පසුව පැහැදිලි විනි.

උදාහරණයක් වශයෙන් මළවුන් ඔබ අසල ගැවසේ නම් දැන  ගන්නේ කෙසේද යන්න එක ප්‍රශ්නයකි. ලවුලන් ආදීන්ගේ පිළිතුර වූයේ සුළඟක් නැති වේලාවක හීන් මදනල මුහුණ හරහා, කන් පෙත්තක්  හරහා හෝ මුහුණේ පැත්තකින් යන බවයි. එසේත් නැතිනම් එම මියගිය තැනැත්තාගේ සුවඳ (ඇය හෝ ඔහු භාවිතා කළ සෙන්ට් සුවඳක්, සිගාර් එකක, සිගරටයක මෙන්ම රැකියාවේ විධිහට - හම් භාණ්ඩ වෙළඳ සලක වැඩ කළේ නම්) දැනෙන බවයි. මගේ පියා භාවිතා කල සුරුට්ටු වර්ගයේ සුවඳ ඇය මට දැන  ගැනීමට සැලස්වූවාය. එය කිසියම් විධිහකින් මගේ සිතේ ගැඹුරු කොනක ගබඩා වී තිබූ  ඒ සුවඳ ඇය උලුප්පා  මතුපිටට ගත් සෙයක් මට දැනුනි. වෙන පැහැදිලි කිරීමක් මට සිතා ගත නොහැකිය.

එසේම මළවුන් ලඟින් සිටි අවස්ථාවක ඉතා දහදිය දමන දවසක් වුවද  ශීතල යමක් ගැටුනක් වැනි තත්වයක් දැනෙන බව හෝ ඇඟේ , අතේ (විශේෂයෙන්ම අතේ මැද කොටසේ ) හීගඩු පිපෙන බවද ඔවුන් පැවසූහ.

ලවුලින් 
එසේම මයිසදෙක් හෙවත් ඇන්තනී හා ජෝන් එඩ්වර්ඩ් වැනි රුපවාහිනියේ පෙනී සිටින මළවුන් ගෙන්වන්නන් ගැන සැක ඇතිවීමට මෙවැනි කාරණාවක්ද විය. ඒ මේ වැදගත් නිරීක්ෂණයයි.බෞද්ධාගම වැළඳ ගත් පසුව  ලංකාවට පැමිණි  බ්ලවට්ස්කි  මැතිණියගේ කියවීම් හා වෙනත් ප්‍රසිද්ධ පරීක්ෂණ වළ මළවුන් වැහෙන තැනැත්තා  මළගිය තැනැත්තා මෙන් හැසිරෙන බව හා කතා කරන බවයි. සමර විට වමනය යෑම වැනි දේද වේ. (කටින් යම් ශ්‍රාවයක් වැගිරීම)  මේ මීඩියම් ලාට එසේ මළවුන් වැහෙන්නේ නැත. නමුත් සමහරු මිය ගියේ හෘදයාබාධයකින් නම් පපු පෙදෙස රිදෙන බවත් මිය ගියේ හදිසි අනතුරකින් නම්  ශරීරයේ අදාල කොටස වේදනා ගෙන දෙන බවත් ලවුලන් පැවසුවාය. එසේම එක කියවීමකින් පසු ඇයට හති දමන තරම් තද මහන්සියක් දැනෙන බවද කීවාය. එනිසා ඇය කියවීම් අතරේ විවේකයන් ගත්තාය..

රුපවාහිනියේ දර්ශන කරන අය හෝ මුදලට කරන අයට එවැනි මහන්සියක් හෝ මැරුණ අය ගෙන් පෙන්නුම් කරන වේදනාවන්  හෝ වෙනත් හැඟීම් පෙන්වන්නේ නැත. මෙනිසා ඔවුන් යම් රඟපෑමක් කරන බව පැහැදිලි විය. නමුත් ලවුලන් පත්වන තත්වය  මානසික විශාධි තත්වයක්ද නැතහොත් ඇය සැබවින්ම එවැනි අපහසුතාවයන්ට ලක්වෙනවා ද යන්න කීමට මට නොහැකි විය.

ලවුලින් ද මින්පසු මුදලට කියවීම් කිරීමට  පටන් ගත්තාය.  නමුත් මේ ත්‍යාගය (ගිෆ්‍ට් ) මුදල සඳහා භාවිතා කිරීම හොඳ දෙයක් නොවේ යයිද ඇය පැවසුවාය. (තමන්ට මළවුන් සමග සම්බන්ධ වීමට ඇති හැකියාව තමන්ට ලැබුණු  ත්‍යාගයක් ලෙස මේ අය හඳුන්වති)

මම මිනිස් මොලයේ ක්‍රියාකාරීත්වය  සෙවීමට පටන් ගතිමි. රිචර්ඩ් තොම්ප්සන් ගේ ෆවුන්ඩේෂන් ඔෆ් ෆිසියලොගිකල් සයිකොලොජි (Foundation of Physiological Psychology - Richard Thompson) පොතින් පටන් ගතිමි. මෙහිදී මගේ වැඩි අවධානය ලැබුනේ 15 වන හා 16 වන පරිච්ඡේද වලටය. මේ සේරේබ්‍රල් කොර්ටෙක්ස්, හයිපොතැලමස් සහ ලිම්බික් පෙදෙස, හැසිරීම් සහ සම්බන්ධතා ගැන ලියා ඇති සටහන්ය.  "Cerebral Cortex: Association Areas and Behavioral Relations, Chapter 15" සහ "Hypothalamus and Limbic System: The neural substrates of emotion and motivation (Chapter 16)" . එසේම මොළයේ ඇමිග්ඩලා (Amygdala) පෙදෙස ගැන වැඩි අවධානයක් යොමු කලෙමි. (අපේ මිත්‍ර වෛද්‍ය රුවන් ජයතුංගට මේ ගැන යමක් කිව හැකි යයි සිතමි)

මා වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අධ්‍යාපනයක් ලබා නොතිබූ නිසා තේරුම් ගැනීමට අපහසු වුවද මොළයේ  ක්‍රියාකාරිත්වයන් ගැන කියවීම අත් නොහලෙමි. ඊට හේතුව වූයේ සමහර මිනිසුන් හා ගැහැනුන් ගේ මොළයන් සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස්  විධිහට ක්‍රියා කරන්නේ යයි සිතුනු බැවිනි. නැත්නම් අප හැමෝම මිඩියම් ලා විය යුතුය. එසේ සිතුනේ බලෙන් ඉගෙන මීඩියම් කෙනෙක් වන්නටද බැරි බව මයිසඩෙක් ලා නිසා වටහා ගත් බැවිනි.

~ මතු සම්බන්ධයි

ලවුලන් (ජැමී විල්සන් හල්)  ගේ වෙබ් අඩවිය - http://www.allaboutyoupsychicreadings.com/
ඩෙරෙන්  බ්‍රවුන් - https://en.wikipedia.org/wiki/Derren_Brown
ඩෙරෙන් බ්‍රවුන් ගේ සිත් කියවීම පිළිබඳ පොත් (ඔහු ලියු ඒවා නොවේ) - http://highexistence.com/25-psychology-books-from-derren-brown-you-must-read-before-you-die/
ඩේවිඩ්  බ්ලෙන් - http://www.davidblaine.com/
-https://en.wikipedia.org/wiki/David_Blaine
අහසේ පාවීම - https://www.youtube.com/watch?v=pVhJ8pXKaKQ
ඕස්ට්‍රේලියාවේ මයිසදෙක් හෙවත් ඇන්තනි - http://www.whispersfrombeyond.com.au/

Saturday 8 October 2016

පෞද්ගලික අධ්‍යාපනය

අපි හිතමු එක රටක වැසියෝ  තුන්දෙනෙක් ඉන්නවා අජිත්, රමිඳු, ලක්මාලි කියල. ලක්මාලි මධ්‍යම පන්තික සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්. එය පුතාව ටියුෂන් යවනවා හෝඩියේ පන්තියේ ඉඳන්. පුතා දක්ෂයි. එයාගේ පුතා  ශිෂ්‍යත්වේ පාස් වෙලා ග්‍රමර් විදුහලකට යනවා. රෝයල් කියමු. 
සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා රමිඳු කියල .  රමිඳු කියන්නේ සල්ලි හම්බ කරපු  පුද්ගලික සේවා කල වෛද්‍යවරයෙක්, ගායකයෙක්, පරණ ඉඩම් හිමියෙක් හෝ පිටරට වැඩට ගිය අයෙක් කියමු. (ඇමති කෙනෙක් නෙමේ). එයාගේ ළමයත් පාස් වෙනවා නමුත් ලකුණු මදි. ඉගෙන ගන්න සාමාන්‍ය  තරමට දක්ෂයි.

එයා ළමයට හොඳ පාසැලක් නැහැ. රජය, ලොකු ග්‍රමර් විදුහල් වලට   හැර අනිත් ඒවාට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. රමිඳු එයාගේ ප්‍රශ්නය බිස්නස් කාරයෙක් වන අජිත්ට කියනවා. මේ සමාජවාදී රටක් නොවන නිසා ඕන කෙනෙකුට  ව්‍යාපාර  අරඹන්න පුළුවන්. අජිත් දකිනවා නිෂ් (niche )මාකට් එකක් තියනව. එයා බැංකු ණයක් අරන් පෞද්ගලික විදුහලක් අරිනවා. එයා එකට නම දානවා ජාත්‍යන්තර ඉස්කෝලේ කියල. රමිඳු එයාගේ දුවව ඒකට දානවා.

හොඳට ඉගෙන ගන්න බැරි පුතෙක් ඉන්නව දිසා කියල ඇමැති කෙනෙකුට. එයාගේ පුතත් දානවා ඒකටම. (ජාත්‍යන්තරේට)

ඉගෙනීම අවසානයේ විශ්ව විද්‍යාලෙට යන්න විභාගයක් තියනවා. එක ස්ථානයයි තියෙන්නේ. ලක්මාලිගේ පුතා දිගටම ටියුෂන් යනවා. දක්ෂයා නිසාත් ටියුෂන් නිසාත් ඔහු විශ්ව විද්‍යාලෙට පාස් වෙනවා. රමිඳු ගේ දුව දෙවෙනියා වනවා.  රමිඳු ආයිත් යනවා අජිත් ගාවට. අජිත් දකිනවා නිෂ් මාකට් එක. අජිත් දානවා පෞද්ගලික විශ්ව විද්‍යාලයක්. රමිඳු ගේ පුතා ඒකට යනවා.
ඇමතිගේ පුතා විභාගේ පේල්. ඇමති පුතාව යවනවා එංගලන්තේ  විභාගේ කරන්න. එයා ඒක සමත් වෙලා  එංගලන්තේ  විශ්ව විද්‍යාලෙකට ඇතුලත් වෙනවා.

ලක්මාලිගේ පුතා පන්ති වර්ජනය කරනවා. එයා කියනව   එයත් එයාට පස්සේ එන අයගෙත් නිදහස් අධ්‍යාපන ස්ථානය  නැති  වෙනවා අජිත්ගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය  තිබ්බොත් කියල.  ධනවාදී ආණ්ඩුව විශ්ව විද්‍යාලය වහනවා අරිනවා . ලක්මාලිගේ පුතාගේ අධ්‍යාපනය  හරියට වෙන්නේ  නැහැ. අන්තිමේදී බලපෑම් වැඩිවෙලා  ආණ්ඩුව අජිත්ගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය  වහනවා. රමිඳුගේ දුවත් එළියේ.
රමිඳු අන්තිමට දුවව පෞද්ගලික කෝස් එකකට යවලා රස්සාවක්  අරන් දෙනවා.
අජිත්  ගේ ජාත්‍යන්තර ස්කොලේ නැගලා යනවා. එයා තව  ඒවා දානවා. ඒවල  ළමයි ඔක්කොම  යනව වෙනත් රටවල ඉගෙන ගන්න.

ඇමතිගේ පුතා එංගලන්තේ උපාධියත් අරගෙන කසාදයකුත්   බැඳගෙන රටට  එනවා. ඇමතිගේ පුතා කසාද බඳින්නේ එංගලන්තේ හිටිය සමාජවාදී නායකයෙකුගේ දුවක්. ඒ දුවත් ටියුෂන්  ගිහිල්ල එංගලන්තේ ග්‍රමර් විදුහලකට ගිහිල්ල, එංගලන්තේ මුදල්  අය කරන විශ්ව විද්‍යාලයක  ඉහලින්ම උපාධිය පාස් වෙච්ච කෙනෙක්. එයාගේ සමාජවාදී තාත්තා ලක්මාලි ගේ පුතාගේ සටනට බොහොම සහය දක්වන කෙනෙක්.

ආණ්ඩුව අජිත්ට පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න බැංකු ණය දුන්නු වෙලේ රමිඳුගේ පුතාට  ණයට ගෙවීමේ ක්‍රමයට ආණ්ඩුවේ විශ්ව විද්යාලෙම ඉගෙන ගන්න බැංකු ණයක් දුන්න නම්. ලක්මාලිගේ පුතා ඒකට විරුද්ධ නොවුන නම්. ණය මුදලේ වාරික වලින් විද්‍යාගාරේට  අවශ්‍ය හිඟ බඩු  ටික ගත්ත නම්.

- මේක මේ නිකන් මේ දවස්  වල හීතල  වෙන නිසා හිතිච්ච දෙයක්.

ප්‍රතිචාර 1- ඔය කතන්දරයේ අවුල තමයි ඒ කථාව අනුව ඉන්නේ සල්ලි තියෙන රමිදු, මැද පන්තික ලක්මාලි සහ ඇමතිවරයෙක් වන දිසා වීම. කම්කරුවො, ගොවියො, ධීවරයො, පහල මැද පංතිකයො, සුලු ව්‍යාපාරිකයො වගේ අය කතාවේ නැහැ. ඔය නිවුස් එකට ඈදලා තියෙන ෆොටෝවල ඉන්න - පාසල් වල මුදල් අය කරන්න එපා, රජය අධ්‍යාපනයට කරන වියදම ඉහල දමන්න, අධ්‍යාපනය පුද්ගලිකකරණය කරන්න එපා කියලා සරසවි සිසුන් කියනකොට ඒකට අනුමැතිය පල කරන මිනිස්සු දිහා බලන්නකො. ඔය තමයි රටේ බහුතරය.

අජිත් මුදලාලි ලක්ෂ එකසියට විස්සට මිල කරන වෛද්‍ය උපාධිය සල්ලිකාරයෙක් වන රමිදුගේ පුතාට 'වරනයක්' වූවාට මේ බහුතරයට ඒක වරනයක් නෙමෙයිනෙ. ඒ නිසා මේ කතාව කීප දෙනෙක්ට සීමා වූ කතාවක්. 

ඒ වගේම පොදු අයිතීන් වෙලද භාණ්ඩ කරලා ලාභ ලබන්නට බලාගෙන ඉන්න නෙවිල්, පොදු අධ්‍යාපනය පුලුල් කිරීමේ වගකීම අත් හැරලා වෙලදපොලට පහසුකම් සැලසීම තමන්ගේ පිලිවෙත කරගත්ත රජය, එහෙම කරාම අධ්‍යාපනයේ විෂමතා පුලුල් වීම ආදී වශයෙන් ඇති වෙන ප්‍රශ්න, අජිත් මුදලාලි දැම්ම විශ්ව විද්‍යාලයට රටේ පිලිගත්ත නියාමන ආයතනයේ අනුමැතිය නොමැති වීම හා ඇමතිවරයා සමග දාගත්ත ඩීල් එකක් හරහා මුදලාලි ඒකට සුජාතභාවය ලබාගන්නට දැගලිම වගේ තවත් බොහෝ‍ෙසාධක කතාවට ඇතුලත් වූවා නම් මෙය සාර්ථක කථාවක් වෙන්නට ඉඩ තිබුණා
- රමිඳු පෙරේරා
මේ ප්‍රතිචාරයේ තියන වැරැද්ද තමයි:  
මැද පන්තික ලක්මාලි සාමාන්‍ය රැකියාවක් කරන ලක්මාලි -කම්කරුවො, ගොවියො, ධීවරයො, පහල මැද පංතිකයො, සුලු ව්‍යාපාරිකයො- ගොන්නට අයිති වෙන්නේ නැත්ද? 
// ඔය තමයි රටේ බහුතරය.// මේ බහුතරයෙන් ගොඩක් අය තමයි නය වෙලා හරි ළමයින්ද ටියුෂන් යවන්නේ 
.ඔය ඉඩ නැති ඉංජිනේරු, වෛද්‍ය පීඨ වලට වැඩි හරියක් යන්නේ ගුරුවරු, විදුහල්පතිලා , සුළු ව්‍යාපාරිකයෝ,  ඉඩම් හිමි ගොවියන් වගේ අයගේ ළමයි. ඉතා දුප්පත් කම්කරු හෝ හේන් ගොවීන්ගේ ළමයි යන්නේ 1% අඩු සංඛ්‍යාවක් කියලයි මගේ හැඟීම. ගොඩක්ම දුප්පත් ස්ථරයේ ළමයි වැඩි දෙනෙකුට "කලා විශ්ව විද්‍යාල " ගොන්නක් ආණ්ඩුවෙන් හදල තියව්න. ඒවල  ජාතක කතා කියන මහාචාර්ය වරු උගන්වනවා. අර අනිත් ඉහල වෘත්තිකයන් වෙනුවෙන් විප්ලව කරන්න කඩේ යන්නේ ඒ අහිංසකයෝ ටික. 
නෙවිල් ගැන ගත්තොත් - ඒක  තමා ධනවාදයේ හැටි. දැන් අමසොන් කොම්පැනිය බදු හරියට ගෙවන්නේ නැහැ. නමුත් අපි වර්ජනය කරනවයි නැහැ. උන් විකුණන පොත් ගන්නවා මිසක්. ස්ටාර්බක්ස් හොර කොම්පැනිය බදු හොර කරනවා. මිනිස්සු කෝපි නොබී ඉන්නවයි ?  ඒකට  මිනිසුන්ට බණ කියන්න පුලුවන්ද? එකක් වැහුවොත් තව එකක් ඇරෙනවා 


Tuesday 4 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -හයවන කොටස

මුල් ලිපි:
පළමුවන කොටස 

දෙවන   කොටස 

 තෙවන  කොටස 

හතරවන  කොටස

පස්වන කොටස

මා මුලදී ලියන්නට සිටි කොටසින් බැහැරව ම හතරවන කොටසේ සඳහන් කළ පැරණි පාසැල් මිතුරා  විසින් එවන ලද මේ පිළිතුර පළ කරමි. මට ඔහු හමුවූයේ මීඩියම් කෙනෙකු වන ලවුලන් හෙවත් ජැමි  විල්සන්  ගේ වෙබ් අඩවියේ ඔහුගේ සොයුරා සමග කතා කරද්දී බව පැවසුවෙමි.

මේ අදහස් ඔහුගේ ඒවා මිස මගේ  නොවේ.  මගේ අදහස් නිල් අකුරෙන් දක්වා ඇත.

ඔහුගේ පිළිතුර:
නාඩි වාක්‍ය ලියා ඇත්‍‍තේ අවුරුදු 5000කට පමණ ඉහත සිටි ඍෂීන් විසින් යයි කියති. ඒවා‍යේ ‍කෙ‍නෙකු‍ගේ නම, ‍දෙමාපියන්ගේ  නම්, ඇතැම් විට ස‍හෝදර ස‍හෝදරියන්‍‍ගේ නම් ආදියද සඳහන් ‍වේ. එනිසා දරුවකුට නමක් තබන්නට අප ගන්නා ‍වෙ‍හෙස ගැන ‍වෙලාවට හිනා යයි. ඒ එය අවුරුදු 5000කට පමණ ‍පෙර කවුරුන්‍ ‍හෝ ලියා ඇති බව සිහිවී‍මෙනි.

‍මේ වාක්‍ය අතරින් කාක භුජන්දර නාඩි වඩා නිවැරදි බව බළන්‍‍ගොඩ ආනන්ද ‍මෛ‍ත්‍රෙය නාහිමියන් කියා ඇත. එය යූටියුබ් හි ඇත.

//එඩ්ගාර් කේසි බොහෝ අනාගත කියවීම් ආදිය කලේ ස්වයං මෝහනයකට ලක්වීමෙනි. "නිදා ගෙන පේන කියන්නා " ලෙස ඔහුව හැඳින්වූයේ එබැවිනි. ඔහු බයිබලය හිස තබාගෙන නිදාගත් පසු එය මුළුමනින්ම මතක තිබු බව කියවේ. - මගේ කියමනකි //

මෙවැන්නක් මා අසා නැත. මා ඔහුගේ ජීවිත කථාව වන තෝමස් සුග්රූ විසින් ලියූ There is a River කියවා ඇත්තෙමි. එසේම ඔහු ගැන ලියා ඇති වෙනත් පොත් කීපයක් ද කියවා ඇත්තෙමි.

//ඔහු බොහෝ තෙල් නිධි ඇති ස්ථානද සොයා දී තිබේ යයි කියති. ඔහු ක්‍රිස්තියානි වූවද පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අතර තමන්ගෙන් සුවය ලැබීමට හා අනාගතය දැන ගැනීම සඳහා එන්නන්ගේ පෙර ආත්ම ගැන කීමද කළේය.- මගේ කියමනකි//

මා දන්නා තරමින් ඔහු තෙල් නිධි සෙවූ බවක් කියවා නැත. එවැන්නක් කළා නම් ඒ යූරි ගෙලර් ය. ඔහු පුනරුත්පත්තිය විශ්වාස නොකළේ ය. ඔහුට මේ ස්වයං මෝහනයෙන් කථා කෙරෙන දේ බරපතල ප්‍රශ්නයක් විය. ඒ ඔහු දහම් පාසල් ගුරුවරයකු ද වූ බැවිනි. ඔහු මට මතක ආකාරයට මෙතෝදිස්ත ලබ්ධිකයකු වූයේ ය. මේ ගැටුම පිළිබඳව ඔහුගේ ජීවිත කථාවේ දැක්වේ.

ඔබ ද උපදින්නට පෙර මළවුන් අතර සිටියා විය හැකි ය. මේ මළවුන් යන්නට උපන්නට සිටින අය කීව ද නිවැරදි යයි මට සිතේ.

//අපි කරන ඕනෑම සුළු හෝ ක්‍රියාවකින් අනාගත වෙනස් වෙන්න ඉඩ තියෙනවා නම් අනාගත හරියටම කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා නේද?-මගේ අදහසකි.//

ඔව්. සත්තකින්ම. නාඩි වාක්‍යවල දී ඊට ද ඉඩ සලසා තිබෙන බවක් කියැවෙනවා. ඔබ දැන් සිටින තත්ත්වය ඔබ විසින් ඔබට ලැබුණු විකල්පයන්ට ඔබ දක්වා ඇති ප්‍රතිචාර අනුව ළඟා කර ගත් නැතහොත් උදාකර ගත් තත්ත්වය ලෙස හැඳින්වෙනවා. ඔබගේ කර්මය නැත්නම් ඔබ කළ දේ අනුව. ඇතැම් නාඩි වාක්‍යවල අතීතය හා වර්තමානය නිවැරදි වුවත් අනාගතය වැරදිය. මට හමුවූයේ එවැන්නකි. එහි අතීතය හා වර්තමානය සියයට සියයක්නි වැරදි වුවත් අනාගතය සියයට සියයක්ම වැරදි ය. එය මා ඒවා ගැන සොයන්නට පෙළඹවීය. එතැනින්ම සිය අනාගතය නිවැරදිව කියවා අය ගැනද මම දනිමි. එසේම ඉන්දියාවට ගොස් එකම තැනින්ම දෙදෙනෙකුගෙන් එක් අයකු ගේ අනාගතය වැරදියටත් අනෙකාගේ අනාගතය නිවැරදිවත් කියැවුණු අවස්ථාවක් ගැන ද දනිමි. එය එසේ විය හැකි බව ද දැන් දනිමි. අප දැන් සිටිනා මානයේදී නොමැති වුවත් අනෙක් මානයේදී අතීතය ද අනාගතය ද වර්තමානය ද එකක් බව මා අසා ඇත. එනම් ඒවා අතර එතරම් වෙනසක් නොමැති බවකි. සොයා බලන්න.

උපන් දිනය හා මහපටැඟිලි සලකුණ මඟින් ලෙහෙසියෙන්ම දළ කේන්දරය සාදා ගත හැකි ය. ග්‍රහ පිහිටීම් ද කිව හැකි ය. එය එතරම් දෙයක් නොවේ (දන්නා අයට).

බුදු දහමට අනුව සත්ත්වයන් ඕපපාතිකව බිහි විය හැකි ය. එය මූලික සත්‍යතාවකි. නොදන්නේ නම් සොයා බලන්න. මේ ළඟදී දන්නා අයකුට වූ එවැන්නක් ගැන ඇසුවෙමි.

අද ගන්ධබ්බ අවස්ථාව වශයෙන් හැඳින්වෙන්නේ තවත් භව කිපයක් බව හැඟේ. මරණය යනු එක් භවයකින් තවත් භවයකට මාරු වන අවස්ථාවකි. අන්තරා භවයක් නැත. ඇතැම් භවයක් එසේ හැඳින්වෙන බව (මෙම මානය උද්දේශ රාමුව කරගෙන) කිව හැකි ය. එනම්, මනුෂ්‍ය හෝ සත්ත්ව නොවන්නේ අන්තරා භවයකි. ජීවත් නොවන්නේ මළවුන් ය යන තර්කය මෙනි.

Kenneth (in Beyond the Veil) is not a Catholic. He is an Anglican (නැතහොත් ලංකා සභාවට අයිති කෙනෙකි. කෙනත් ප්‍රනාන්දු බිෂොප් තුමා ද අයත් වන්නේ එයට ය). Rani was Rani Heendeniya (No relation of Punya Heendeniya the actress). She is an aunt of Sanjeewa Jayawardana (of our 83 Group - now President's Counsel). Rani died about 2-3 years back. I think her children do not believe what she has written in her books. Aloma has been a beauty queen in the fifties according what I had heard. Her husband Rohan (Ekanayake Amarasekera) is the first Sri Lankan Air Force Chief. Information is available at the Sri Lanka Air Force web site. Kenneth was an accountant. His hobby was music. Aloma is a Roman Catholic and she has studied to become a nun. But when she was back home once she met Rohan (who had been shown to her in a dream prior to their first meeting) and married him. Rohan has been a Methodist. But he has written three booklets touching on Karma, Buddhism and human development. These books may still be with Amal. What I had I gave away to people who deserve them more than myself. Aloma sent them to me.

If you have read those three books, you should remember about the 31 realms or planes mentioned in the third or second book. (තලයන් 31 ඇති බව) So far I have not seen anything that is in conflict with what has been preached by Lord Buddha! I have yet to find something of the sort. The problem lies with the people who could not properly differentiate what they see, hear or get through their senses. They get themselves confused by their own faulty thinking.

ඕල්කට්තුමා යනු අශෝක අධිරාජයාගේ පුනරාවතාරයක් බවට හැඟවෙන කථාවක් සමුද්‍ර වෙත්තසිංහ පළ කළ ආනන්ද මෛත්‍රෙය නාහිමි පිළිබඳ පොතක තිබුණා. ඒ ස්වාමීන්වහන්සේ දැන් සිය ඊළඟ භවයේ අනුරාධපුරයේ ඉගෙන ගන්නවා. 2035 දී පමණ ලංකාවේ අධ්‍යාපන ඇමති වීමට නියමිතයි. එතකොට හිටියොත් බලාගත හැකියි. එම වසරේදී ලංකාවට ධාර්මික නායකයකු ලැබෙන බව ද අසා ඇත්තෙමි.

මා මේ කාරණා ලීවෙී ඔබගේ ලිපි 5 සහ ඊට ලද ප්‍රතිචාර කියවා වන අතර, ඔබගේ දැන ගැනීම පිණිස මේවා ලීවෙමි.  මෙි මට පෙනෙන හැටි ය.

ලිපි ලිවීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඔබට ජය!

ජූඩ්

එඩ්ගාර් කේසි ගැන වැඩි විස්තර මෙහි ඇත.
http://www.edgarcayce.org/about-us/blog/blog-posts/edgar-cayce%E2%80%99s-story-of-the-bible
මේ අය මෙතෝදිස්ත හෝ ක්‍රිස්තියානි නිසා කේසි ගේ බොහෝ පුනරුත්පත්ති කතා ඔවුන් ඉවත් කල බව මගේ අදහසයි. ඔහු බයිබලයේ එවන් තැන්  උපුටා දක්වා ඇති බව මා  කියවූ පොතක තිබුණි. (මා පුනරුත්පත්තිය විශ්වාස කරන බවක්  මින් අදහස් වන්නේ නැත). කණගාටුවකට මෙන් ඒ පොත මා ළඟ දැන් නැත. ඔහු තෙල් නිධි, ජල උල්පත් ආදිය සොයන්නට ගිය මුත් ඒවා අසාර්ථක විය.

ලවුලන්ගේ කියවීම් කිහිපයක් මට අහක දැමිය නොහැකි සත්‍ය දේ වුවත් කේසි, සිල්වර් බර්ච් ආදීන් ගැන සොයා යනවිට මගේ ඒ විශ්වාසය කෙමෙන් හීන  විය. ඉන්පසු මා උත්සහ කළේ කිසියම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත්දැයි සෙවීමටය.

උදාහරණයක් වශයෙන් ලවුලෙන් ට හෝ අනිකුත් මිඩියම් ලාට උපන්දිනය  දිය යුතුය. උපන් දිනයෙන් ඔය විස්තර සොයන්නේ කෙසේද? 
නාඩි වාක්‍ය අපේ අනාගතය ලියා  ඇත්නම් අප තෝරා ගන්නා දේ වැරදි විය යුතුය. එහෙම දෙයක් මට පෙනෙන්නේ නැත. බුදු දහමේ පටිච්ච සමුප්පාදය ඊට වඩා තර්කාන්විතය. හේතුවක් නැතිව ඵලයක් නුපදී. (cause and effect) මතක තබා ගත යුත්තේ මෙය නිව්ටෝනියානු සංකල්පය (හැම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් ඇති බව) නොවන බවය. 

එසේම  පුනරුත්පත්තිය පිළිබඳවද මගේ ඇත්තේ වෙනමම  කියවීමකි. ඒ ගැන පසුව පැහැදිලි කරමි.

මේ සැක  සහිත ප්‍රශ්න වලට ලවුලන් සම විටම පිළිතුරු දුන්නේ නව කියවිමකිනි.  මගේ නිගමනය  වූයේ  බොහෝ හදිසි අනතුරු වලින් මැරුණු අය ගේ ,  සියදිවි නසා ගත්  අය ගේ ඥාතීන් ඇය  හමුවට එන්නේ ඔවුන්ගේ දෙමාපියන්, නෑදෑයින් , දරුවන් ශෝකයෙන් පෙලෙන නිසා බවයි. මගේ පියා  රෝහලේදී මිය ගිය බව සත්‍ය නමුත් ඔහුට මළවුන්ගේ ලෝකයක රැඳී සිටීමට අවශ්‍යතාවයක් නැති බවත් මම ලවුලෙන් ට පැවසුවෙමි. එවිට ලවුලන් පැවසුවේ මගේ මව ඔහු නිතර සිහි කරන බවත්, අනිත් අයද එසේ කරන බවත්ය. මියගිය තැනැත්තා අත් හැරීමට මේ ලෝකයේ ජිවත්වන අය සූදානම් විය යුතු බවත්ය. එක අතකට මෙය බුදු දහමේ උගැන්විමකි. බුදු දහමේ එසේ අත් හැරීමට  හා ශෝකයෙන් මිදීමට කියන බව ඈට කීවෙමි. 

ඉන්පසු ඇය අලුත් කියැවීමක් කළාය. මගේ එක් ඥාතියක පියාව නිතර සිහි කර හඬන බව හා ඔහුගෙන් උපකාර ඉල්ලන බවය.  ඇය සඳහන් කළ ඥාතියාට මා දන්නා පරිදි ප්‍රශ්න නැත. ඔවුන් පෙනෙන්නට හොඳින් ජිවත් වෙති. මා කීවේ ඇය වැරදි බවත් වෙනත් ඥාතියකු සඳහන් කර ඇයට නම් ප්‍රශ්න තිබිය හැකි බවත්ය.  ලවුලෙන් දැඩි ලෙස කීවේ මා සඳහන් කරන තැනැත්තිය නම්  සතුටෙන් වෙසෙන බවත් මා හොඳින් සිටී යයි කියන තැනැත්තිය ප්‍රශ්න ලෙසින් දැඩිව පීඩා විදින නිසා පියාගෙන් උපකාර ඉල්ලන බවත්ය.

මම මෙහිදී මගේ මවට මේ කාරණය පවසා මුලින්ම නැවත මෙසේ  පියා  ගැන කතා කිරීම ගැන සමාව ඉල්ලුවෙමි. කෝප ගනු වෙනුවට මගේ මව මා විශ්මයට පත් කරන කාරණාවක් කීවාය. ලවුලෙන් කියන ඥාතියාට ප්‍රශ්න ඇති බවයි. ඇය එය දැන සිටි මුත් මට කරදර කරන්නට ඇති අකැමැත්ත නිසා නිහඬව සිටි බවත් කීවාය. මා ලංකාවට නිවාඩුවට ගිය වෙලේ මෙම ඥාතියා හමුවී මේ විස්තරය ඇසීමි. 

මගේ පියා අපට මුදල් නැතත් අතේ තිබෙන මුදල හෝ  දෙන කෙනෙකි. අප අමාරුවෙන් ජීවත්වූ  නිසා අපේ පියා එසේ මුදල්  උපකාර ඉල්ලන නෑදෑයා  ට එසේ උපකාර කිරීම ගැන මව අකැමති වුවත් නිහඬව සිටියාය. ඥාතියා කිවේ  ඈට ඇති ප්‍රශ්න ඔහු සිටියානම් විසඳන බවත් එනිසා ඔහු ගැන සිහි කරමින් හඬන බවත්ය. ඇයට කියන්නට වෙන කිසිවකු නොමැති බවත් ය. මම තරමක් දුරට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා දුනිමි. එසේම පියා දැන් මෙලොව නැති නිසා ඔහුට අයැදීමෙන්  පලක් නැති බවද  කීවෙමි.

නමුත් මේ සිද්ධියෙන් පසු ලවුලන් ගේ හැකියාව පිලිබඳ මා  තුල ඇති කළේ චකිතයකි.   ඒ මා එවැනි ඥාතියෙක් ගැන හැඟවීමක් හෝ නොකළ බැවිනි.  

~මතු සම්බන්ධයි 

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කෙදිනක වත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

Sunday 2 October 2016

මහැදුරු තුමාගෙන් අනාථ වුනු ලන්ඩනයේ "රස" ගුලාව

පසුගිය විසි හතර වැනි සෙනසුරු ගේ දිනයේ  සංවිධායකයන්ගේ වචනයෙන් කියහොත් ලන්ඩනයේ "රස" සාහිත්‍ය මංගල්‍යයක් විය. කලක සිට බ්ලොග් ලෝකයේ මෙන්ම සමාජ ජාලා වලද රසට ලියන  චන්දන ගුණසේකර සොයුරා  මෙන්ම නව පරපුරේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක නුවන් ජේ ද සංවිධායක මඩුල්ලේ සිටින හෙයින් අළුත් යමක් දැකීමේ අදහසින්, කලාව  ගැන හරවත් දේශනයක්  අසන අදහසින් එහි ගියෙමි. අපේ බ්ලොග්කරුවන්ගේ පොත් කිහිපයක්ද විකිණීම  සඳහා භාර දුනිමි.

වේදිකාවේ කථා පැවැත්වූ මහතුන් ගෙන් ඇසූ පරිදි මේ මෙවැනි කලා සාහිත්‍ය උළෙලක් පවත්වන ප්‍රථම වතාවයි. එහෙත් මා නැටුම් ගැයුම් සහිත සහිත උළෙලවල් කිහිපයක්ම මීට  කලින් ලන්ඩනයේ නරඹා ඇත්තෙමි.  අලුත් අවුරුදු උළෙලවල් ද කින්ස්බරි විදුහල් භුමියේ දැක ඇත්තෙමි. ඒවාද කලා උළෙලවල්ම වේ. එසේම හැරෝව් පෙදෙසේ අගෝරා කලා සංසදය මගින් ද  මෙවැනිම උළෙලක් පැවැත්වූවා මතකය. ඒ කළා උළෙලේ ප්‍රධාන අංගය වූයේ නාට්‍යයකි. එසේම එහි චිත්‍ර ප්‍රදර්ශනයක්,  කවි නිසඳැස් ආදිය සඳහා තරඟයක්ද  ද පොත් ප්‍රදර්ශනයක් ද පැවැත්වුණි. මේ "රස" සාහිත උළෙලේ ප්‍රධානතම අංගය සාහිත්‍ය කලාව පිලිබඳ දේශනයක් බව දැනගන්නට ලැබුණි. මේ වෙනස අනුව (හරවත් දේශනයක් සහිතව නිසා) එය මංගල උළෙල වනවා ඇතැයි ද සිතුවෙමි.

සංවිධායකයන් ඉතා වෙහෙස මහන්සිවී උළෙල සංවිධානය කර තිබුණු බව පෙනුණි. ඒ විස්තරය මෙහි ඇත. ලන්ඩනයේ මෙවන් කලා උළෙලක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.  පැරණි ගල් කණු ආකෘති සමග මනරම් වේදිකාවක් සාදා තිබුණි. මනරම් චිත්‍ර සහිත ප්‍රදර්ශනයක් ද තිබුණි. සහභාගී වූ දනන්ට අනුභව කරන්නට මයියොක්කා , කිරිබත් හා ලුණු මිරිසක් නෙළුම් කොළවල බහා පිළිගන්වා  තිබුණි. මේ ලස්සන කෑම මේසයට රණවරා කෝප්පයක් හකුරු සමග එක් කර තිබුණි. කාගේ  අදහසක් වුවද මේ කාර්යය තුල සෑහෙන නිර්මාණශිලිත්වයක් හා මහන්සියක්ද වියදමක්ද ගැබ්ව තිබුණි.

මගේ වඩාත් සිත්ගත් අංගයක් වූයේ පැරණි කලා කරුවන් ගෙන්වා සම්මාන පිරි නැමීමයි. ඒ නම් ඉතා අගය කලයුතු දෙයකි. එසේම එම සම්මාන පිළිගැන්වීමේදී  ඔවුන් කුමක් සඳහා ප්‍රසිද්ධ වුයේද යන්න කෙටි චිත්‍රපට හා ගීත මාධ්‍යයක් මගින් නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කර තිබුණි.

උඩරට නාට්‍ය කණ්ඩායමේ නර්තනයන් මනරම්  විය. එම වේදිකාවේ මද ඉඩකද  තුල වුව හෙළ නැටුමේ දස්කම් දක්වන්නට ඔවුහු  සමත් වුනි.  එසේම පියකරු කර්ණ රසායන ගීත කිහිපයකින් සභාවේ උද්යෝගය පණ ගැන්වුණු අතර තබ්ලා  වාදනයෙහි යෙදුනු යෞවනයා  සවන පිනන ශබ්ද මාධුර්යයෙන්  දස්කම් දැක්වූ බවද සඳහන් කරමි.

මේ උත්සවයේ මූලික අංගයක් වුයේ මහාචාර්ය සමන්ත හේරත් ගේ සාහිත්‍ය  කලාව පිලිබඳ දේශනයයි. (key-note address ). ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාවේ  පරිණාමය, නව සාහිත්‍ය දිශානති, මෙන්ම ලඟදි  පැවැත්වුණු ස්වර්ණ හංස සම්මාන උළෙලේ සම්මාන ලැබූ කෘතීන් ගැන  හරවත් දෙසුමක් ඇසීමට කන යොමා සිටියෙමි.

මහැදුරු තුමා කතා කරන්නේ ඔහු  සිටින්නේ උපාසිකාවන් පිරි බණ ශාලාවක යයි සිතා ජාතක කතා ගැන විචාරයක්ද, එසේත්  නැතිනම් මනමේ සිංහබාහු ගැන විචාරයක්ද යයි මට සිතා  ගත නොහැකි විය.

මනමේ නාටකය මෙන්ම ඒ කතා පුවත සම්බන්ධ ගීත වලින්ද අපේ සාහිත්‍යය පිරි පවතී. ඕනෑම පැදුරු සාජ්ජයක මනමේ කතාවේ  ගීයක් වරදින්නේ නැත. ලංකාවේ බොහොමයක් කලාව පිලිබඳ දේශනය වල   සිංහබාහු ගැන කතාවක් ද සමහර විට සිංහ ගීතයක්ද  අනිවාර්යය. එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍ය කලාවට හා  සාහිත්‍යයට  අනුපමේය සේවයක් කළ බව ද ඇත්තය.  නමුත් මේ  හෝද හෝදා අඳින, හැම වේදිකාවකම  වේලෙන්නට දමන කසී සළුවේ  වටිනාකම තව  දුරත් රැකී  තිබෙන්නට නම් නව  සිංහල සාහිත්‍ය හා නාට්‍ය කලාව, නව සිංහල චිත්‍රපට හා ගීත ගැනත් කතා  කළ යුතුමය.

මහාචාර්යතුමාට හොඳ සලකුණක් ළඟම තිබුණා නොව සිටියාය. ඒ සයිමන් නවගත්තේගමයන්ගේ  දියණිය මායාය. ඇය මේ උළෙලේ සංවිධායකවරියක් බවද රහසක් නොවේ. නවගත්තේගම කතුවරයාණන්ගේ කෘති  අපි තවමත් කියවා  රස විඳින්නෙමු.  ඔහු ගේ "සංසාරාරාණ්‍යයේ දඩයක්කාරයා" කෘතියට  හර්මන් හෙසගේ "සිද්ධාර්ථ" නවකතාව  පාදක වුනි යයි මා අසා ඇත.  නවගත්තේගමගේ පොතක් ගැන හෝ සඳහනක් කලා නම් ඒ මායා සිටි නිසා බව කවුරුත් නොකියන බව මට හොඳටම  විශ්වාසය. සිය බොහීමියානු ජිවිතයේ මග සලකුණු තබාගෙන ඔහු ලියු පොත් ගැන වදනක් වත් පැවසීමට අපොහොසත් වුනු මහාචාර්ය භවතා ගෙන්    මංජුල වෙඩිවර්ධනගේ "මගේ ආදරණිය යක්ෂනි " කියවා ගන්නේ කෙසේද යන්න ගැන ඇසුවොත් "වෙඩිවර්ධන - ඒ කවුද? "යයි අසනු ඇතැයි මට සිතුනි.

    ඩබ්ලියු ඒ සිල්වා , මාර්ටින්  වික්‍රමසිංහයන්ගේ සිට ගුණදාස අමරේකර  දක්වා සිංහල නවකතාවේ විකාශය ගැන කියන්නට වත් ඔබේ මනස් අඩවියට පිවිසුනේ  නැත්ද? එසේම,  එකම කතුවරයාගේ "කුරුළු හදවත" ග්‍රන්ථයට  ගිය වසරේත්  "අහම්බකාරකයට " මේ වසරේත් සම්මාන ලැබුනේ ඇයි කියා අසන්නට  සිතුනි මට. එනමුදු පවුකළ ගොනු තෙමේ හපුතල් යන්නා එතන හිඳගෙන දෙසුම ඇසීමට වුනිය  මට.

උමාරි හා අමරදේවයන්ගේ සුසංයෝගය හා උමාරි ගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි?  "ඇගේ ඇස  අග "  චිත්‍රපටය ගැන "දඩයම "ගැන නැත්නම්  , පතිරාජගේ සිට ප්‍රසන්න ප්‍රසන්න විතානගේ දක්වා  සිංහල සිනමාව ඔබ දකින්නේ කෙලෙසද?

මේ එක්  දෙයක් ගැනවත් කතා නොකොට ජාතක කථාවල ග්‍රාම්‍ය  නිදසුනක් මගින් ජාගර රසය අවුළුවා සිනහවක් පාදන්නට පමණක් ඔහු සමත් විය. මනමේ ගෙන් පසු ඔහුගේ මතකය ගිය කුස-පබාවතියටයි.  කුස රජු පබාවතිය අතපත ගාන අයුරු කියන්නට සෑහෙන කාලයක් ගතකල මහදුරු තුමා පන්සීය පනස්  ජාතක පොතම පෙරලාවිදෝ බියෙන් මම වෙලාව දෙස නෙත යොමු කරමින් සිටියෙමි.

ගීත රචකයකු මෙන්ම කාව්‍යකරණයෙද  යෙදෙන, උත්සවයේ අනුශාසක සංවිධායක කෝන්වැවේ  ආරියරත්න හිමියනට ද  ජාතක කතා ඇසුරෙන් හොඳ දේශනයක් කරන්නට පිළිවන් කම තිබිණි යයි සිතමි.

මහැදුරු දෙසුම අතරතුර භාග්‍යකටදෝ කිසිවකුට  සිටිතැන් අමතකව සාධුකාර දුන්නේ නම් නැත. එනිසා සංවිධායක පටි බේරුනේ යයි සිතමි.

ලන්ඩන් "රස" සාහිත්‍ය  මංගල්‍යය ලබන වසරේත්  පැවැත්වේවා යයි ඉත සිතින් පතන අතරම මහාචාර්ය සමන්ත හේරත්  තුමාගේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගේ රැකවරණ යදිමින් මෙතනින් නවත්තමි.

 "ඈ ගැඹුරු හැඟීමකින් අත දිගු කලාය. සිහින්ව වෙවුලන ඇඟිලි නයාගේ සිරුර මත තැබුවාය. මහත් ගෞරවයකින් භක්තියකින් වාගේ උගේ සිරුර පිරිමැද්දාය. ඔහු ක්‍රමයෙන් කීද්දෙනවා පෙනෙයි. ක්‍රමයෙන් හිස ඔසවයි. පෙණය දිග හැරෙයි. අන්තිමේදී විශාල පෙණය මුළුමනින්ම විවෘත කොට සිරියා  වෙත හැරෙයි. සිරියා  ඔහු වෙත දණ ගැසුවාය." - පිටුව 241 "සංසාරාරණ්‍යය අසබඩ " - සයිමන් නවගත්තේගම