Friday 26 June 2020

බ්‍රිතාන්‍යයේ ආසියානුන් තුන්වන පන්තියේද?


මගේ හොඳ මිතුරකු සහ වරෙක සහෘද බ්ලොග් ලියන්නකුද වූ ජිවන ප්‍රනාන්දු ඔහුගේ ෆේස්බුක් වෝලයේ මෙසේ ලියා තිබුණි. එය ඔහු ලියා තිබුනේ ඔහුගේ මිතුරෙකු වන කොලින් නමැති ලන්ඩනයේ ජීවත් වන මහතෙකුටය.
"ඔබ මට වඩා හොඳින් දන්නවා ආසියානුන්  ඔය රටේ ජීවත් වන්නේ තුන්වන පන්තියේ පුරවැසියන් ලෙස බව "
//'You know more than me, being in a country where most of the Asians are living as third class citizens.'/

ප්‍රථමයෙන්ම කිව යුත්තේ සංචාරක ක්‍ෂේත්‍රයේ වැදගත් රැකියාවක නියුතු මහත්මයෙකු ලෙස ජීවන  විසින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කිරීම මා  අගය කරන බවයි. එසේම ලංකාවට අගෝස්තු පලමුවැනිදායින් පසුව එන සංචාරකයන් ගුවන් තොටුපලේදී වරක්ද , දවස් හතකින් පසු නැවත  වරක්ද  පරික්ෂා  කිරීමේ වරදක්ද  නැත. ඒ අතරතුර සංචාරකයන්ට තමන් කැමති පෙදෙස් නැරඹීමට යා හැකිය. බ්‍රිතාන්‍යයේ දින 14 ස්වයං නිරෝධායනය වීමේ ක්‍රමය සාර්ථක නොවන්නේ මේ නිසාය. කිසිම සංචාරකයෙකු තමන්ගේ සීමිත සංචාරක දින ගණන එක තැනකට කොටුවී  ගත කිරීමට  කැමති වන්නේ නැත. 

නමුත් ඒ අදහස් දැක්වීමේදී ආසියානුන් තුන්වන පන්තියේ පුරවැසියන් ලෙසද හැදින්වීම කොතෙක් දුරට නිවැරදි දැයි විමසීම මෙම ලිපියේ අරමුණයි. 

මගේ පෞද්ගලික අදහස නම් යුරෝපයේ ජාතිවාදී සැලකීම්  අඩුම රටක් වන්නේ එක්සත් රාජධානිය බවයි. මින් අදහස්වන්නේ සුදු ජාතිවාදීන් නැති බව නොවේ. බොහොමයක් උන් තමන්  ජාතිවාදී නම් අවම වශයෙන් ඒ බවක් හඟවන්නේ නැත. බීඑන්පි (බ්‍රිතාන්‍ය ජාතික පක්ෂය)  වැනි පක්ෂ බ්‍රිතාන්‍යයයේ තිබේ. සමහර පක්ෂ හැදී ඇත්තේද  ලංකාවේ මෙන් බොහෝවිට  මුස්ලිම් ආගමිකයන්ට විරුද්ධවය.

එක්සත් රාජධානිය යුරෝපයේ ජාතිවාදය අඩුම රටක් කීවද,එක වතාවක හෝ දෙවතාවක  හැරෙන්නට ජාතිවාදී හැසිරීමකින් මා  ජර්මනියේ දී වුව පීඩා විඳ  නැත. පසුගිය විසිපස් වසර පුරාවට මම සෑම   වසරකටම දෙවතාවක් ජර්මනියේ නිවාඩු යන්නෙමි. ඒ මගේ ජර්මන් ජාතික බිරිඳ ගේ නෑදෑයින් බැලීමට හා නත්තලටය. 
වරෙක 1997 වසරේ ජර්මන් ලුෆ්තන්සා ගුවන් යානයකදී ගුවන් සේවිකාවක්  තෙවතාවක්ම පැමිණ මගේ  බිරිඳ ගෙන් ඇයට වෙනත් අසුනක හිඳ ගැනීමට  අවශ්‍ය දැයි ඇසුවාය. සුදු, රන්වන් හිසකේ හා නිල් ඇස් ඇති යුවතියක් මා  අසල අසුනක හිඳ ගැනීම නුසුදුසු යයි ඈ සිතුවා වෙන්නට පුළුවන. 
ඈ අප අසලට පැමිණි  
ඈ අප අසලට පැමිණි තුන්වන අවස්ථාවේ මගේ බිරිඳ මා දෙසට හැරී  මට කෑමට යමක් අවශ්‍ය  දැයි විමසා ඇගේ  බෑගයෙන් චොකලටයක් මා අත තබා මගේ අත දැඩිව අල්ලාගෙන සිටියාය. අර කාන්තාව නැවත අප අසලට පැමිණියේ නැත. අප ලුෆ්තන්සා ගුවන් යානයකින් අද වෙනතුරුත් කිසිදු ගමනක් ඉන්පසු ගොස් නැත. 







එක්සත් රාජධානියේ ආයතනගත සුදු ජාතිවාදය මෙන්ම තවත් වෙනත් ආකාරයේ ප්‍රශ්නද තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. විශේෂයන්ම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන්, බංග්ලාදේශ සහ පකිස්තානු සම්භවයක් ඇති අයට  හොඳ රැකියාවක් ලැබීමට අනිත් ජන වර්ගයන්ට වඩා අඩු  සම්භාවිතාවක් ඇති බව ට සමීක්ෂණ වලින් සොයාගෙන තිබේ. 
(ඉතා ලාබාල සුදු තරුණියන් සමූහ  වශයෙන් දූෂණය ට බඳුන් කිරීමේ සිද්දීන් කිහිපයක් ප්‍රබල ලෙස වාර්තා වීම  නිසා පකිස්තානු ජාතිකයන් ගේ තත්වය තවත් අසීරු වී තිබේ.)

එය එසේ නමුදු එවැනි අඩුවෙන් සැලකීමේ ක්‍රියාකාරකම් යුරෝපයේ විශේෂයෙන් ප්‍රංශය හා ඉතාලිය වැනි රටවල බහුලය. ඒවායේ හොඳ රැකියාවන් බොහොමයක් සඳහා සුදු ජාතීන්ට ප්‍රමුඛත්වය දෙන බවට සමීක්ෂණ වාර්තා තිබේ.  (මෙය ඒ රටවල සංචාරයේදී මා අත්දුටු තත්වයකි). ජර්මනියේ ඉන්දීය පරිගණක ඉංජිනේරුවන්ට රැකියා ලබාදීම පසුගිය දස වස තුල ඇරඹුණු අතර ජර්මානු  භෂාව කතා කරන ඕනෑම විජාතිකයෙකුට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව දී තිබේ.  

ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට රැකියා ලබා ගැනීමේදී අවහිරතා හා අසාධාරණයන් සිදුවන බවට වාර්තා වී තිබේ.  එසේම ජාතිකත්වය හා කුලයද ඇතැම් අවස්ථාවල රැකියාවේ ඉහලට යාමට බලපාන බව සඳහන්ය.  

 වරෙක 2003 දී පමණ මා  අසලින් කාරයක ගමන් කරමින් සිටි සුදු කොල්ලන් සමූහයක් කියා "පකි " යන වචනයෙන් මා අමතමින් සමච්චල් කළහ.  "පකි " යන වචනය එංගලන්තයේ ආසියාතිකයන් නින්දාවට භාජනය කිරීම සඳහා භාවිතා වන පදයකි. ඒ ගැටවරයන්  ඉංග්‍රිසි ජාතිකයන්ද නැගෙනහිර යුරෝපීයයන්ද යන්න පැහැදිලි නැති අතර ඔවුන් පැමිණියේ අසල තිබුණු රජයට අයත්  (කවුන්සිල් හවුසස් ) නිවාස  පෙළකිනි. මේ  රජයේ තට්ටු නිවාස බොහෝවිට ලබා දෙන්නේ අඩු අදායම් ඇති අයටය. මට සිතෙන්නේ ඔවුන්ට මට තරම්  වරප්‍රසාද නැත්තන් යයි සිතා ඉරිසියාව   ප්‍රමුඛ හැඟීමකින් අපහාස කළ බවය. එවැනි දේ සමහරවිට සිදුවේ.  

මෙය ලිවීමෙන් මේ දිනවල තිබෙන "කළු ජාතිකයන්ගේ ජීවිත වලටද වැදගත් කමක් ඇත " (black lives matter ) ව්‍යාපාරය අවතක්සේරුවට ලක් කිරීමේ අදහසක් මසිත නැත.   කළු ජාතිකයන් ආයතනගත සුදු ජාතිවාදයේ (පොලිසිය වැනි ) ගොදුරු බවට නිරායාසයෙන්ම පත්වන බව රහසක් නොවේ. නමුත් මේ ප්‍රශ්නයේද දෙපැත්තක් තිබේ. 
බ්‍රිතාන්‍යයේ කළු ජාතිකයන් බොහොමයක් අන්ත දුගී බැවින් යුතුව ජීවත් වන්නේ නැත. අප ජිවත්වන එන්ෆිල්ඩ් නගරයේ  ටවර් බ්ලොක්ස් යනුවෙන් හඳුන්වන උස තට්ටු නිවාස රාශියක් ඇත. මේවා අයිති නගර සභාවට හෙවත් ප්‍රාදේශීය කවුන්සිලයටය. ඒ කියන්නේ රජයේ නිවාසය. මේවායේ  කුලිය ඉතාම අඩුය.  කාමර තුනක ගෙයක්  සතියකට පවුම් අසූවක් (මසකට පවුම් 346) පමණ වේ. සමහරවිට ඔබ අඩු ආදායම් ලබන රැකියාවක් ඇත්නම් එයත් ගෙවන්නේ රජයෙන්ය.  ඒ වර්ගයේම පෞද්ගලික නිවාසයක මසක කුලී මුදල පවුම් 1200 පමණ වේ. වෙනස ඔබට වැටහේද? ඒ අතරේම මේ බොහොමයක් නිවාස  අසල 4x 4 ජීප්, ලේක්සස්, BMW, ජගුවාර් වැනි මිල අධික වාහනද දැකිය හැකිය. ඒ කියන්නේ නිත්‍යානුකුල නොවන රැකියා කරන ගමන්, රජයේ ආධාරද ලබා ගැනීමෙන් මොවුන් වැඩි හරියක් ජිවත් වේ. අප වැනි විදේශයකින් පැමිණ මෙහි පදිංචි වී සිටින  බදු ගෙවන්නන් එය ප්‍රශ්නයක්  කර නොගත්තත් මේ රටේ ඉපදුනු සුද්දන්ට එය ප්‍රශ්නයකි. ඔවුහු එය නොඉවසති. ඒ එක පැත්තකි. 
 
එසේම කළු ජාතික ගුරුවරු, වෛද්‍යවරු, විනිසුරුවරු, අධික ලෙස පොහොසත් ගායකයන් හා ෆුට්බෝල් ක්‍රීඩකයන්ද සිටිති. එසේ නම් ඔවුන් කියන ඔවුන්ට එරෙහි  මේ සුදු ජාතික ජාතිවාදය කුමක්ද? අතිශයින්ම පොහොසත් ෆොර්මියුලා එක වේග ධාවන රියදුරු බ්‍රිතාන්‍ය ජාතික ලෙවිස් හැමිල්ටන් තමන්ට ව්‍යංගයෙන් දක්වන ලද  සුදු ජාතිවාදය ගැන මේ ලිපියේ කියා තිබේ. එවැනි දේ තිබේ. දැන් මේවා ලංකාවේ හෝ වෙනත් රටක මිනිසුන්ට සිදුවන අසාධාරනකම් හා සංසන්දනය කර බලන්න.

මා දන්නා පරිදි නම් එක්සත් රාජධානියේ ඇත්තේ පන්ති දෙකකි. පළමුවැන්න නම් විශාල වෙළඳ ව්‍යාපාර හිමි, ඉඩම් සහ ප්‍රාග්ධනය සහිත පන්තියයි. ඔවුන්ට රට පාලනය කිරීම සඳහා සියයට 70 ක පමණ බලයක්ද තිබේ. බොහෝ කොන්සර්වේටිව් මන්ත්‍රීවරු ව්‍යාපාර හිමියන් වෙති. (සමහර කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන්ද ව්‍යාපාර හිමියන්ය)  එසේ නැමති නම් ව්‍යාපාරයක් හෝ රදළයන් හා  සම්බන්ධතාවයක් කොහෙන් හෝ ඇත. එනිසා මේ පන්තියට බ්‍රිතාන්‍යයේ වෙසෙන රැජින , ඇගේ නෑයන්  හා රදළ පෙළන්තියද අයත්ය. 

ඉතිරිව සිටින ජනතාව සිටින්නේ මේ ධනය, බලය 
සහිත පෙළන්තියට අයත් නැති පංතියේය. දකුණු ආසියානු වේවා හෝ නොවේවා අප  සිටින්නේ මේ පංතියේය. ජීවනට වැරදුන තැන මෙය විය හැකිය.  මට මෙයට නිර්ධන පන්තිය  හෝ කම්කරු පන්තිය කියා නමක් පැටලවීමද කල නොහැකිය. බ්‍රිතාන්‍යයේ මේ පන්තියට හොඳ රැකියා වලින් මුදල් උපයා ගත් , හෝ සුළු ව්‍යාපාර මගින් යම් මුදලක් උපයාගෙන රජයත් සමාජයටත් බරක් නොවී ජීවත් වන ජනතාවද  ඇතුලත්ය. මේ අයට තමන්ගේ නිවසක් දෙකක්ද හිමිය.  මෙසේ නිවෙස් හිමි, වාහන කිහිපයක් හිමි හොඳ ආදායමක් ඇති සමාජවාදීන් ද (වාමාංශික යන්ද) බ්‍රිතාන්‍යයේ  ජිවත් වෙති. මේ පන්තියේ පහල ස්ථරයට  ලඟදි රටට සංක්‍රමණය වී දේශපාලන අනාථ භාවය  ලද අය , වීසා නොමැතිව ජිවත් වන  අය හා , සුළු රැකියා කරන ලංකාව වැනි රටවලින් පැමිණි සිසුන්ද, සංචාරක  වීසා වලින් මාස හයකට හෝ අවුරුද්දකට ලංකාව , ඉන්දියාව වැනි රටවලින් පැමිණ හොරෙන් රැකියා කරණ අයද ඇතුලත්ය.
ඉදින් මේ සියල්ලෝම ජීවනගේ ආසියානු තුන්වන  පන්තියට දැමිය හැකිද?

නැතිනම් ජීවනට අර සංචාරක වීසා වලින් පැමිණ හොරෙන් වැඩ කර, කෝවිඩ් වසංගතය නිසා  ලක් රජයේ පිහිටෙන් ලංකාවට  පැනගත් අයෙකු හමුවීද ?

මා සිතන්නේ ජීවන ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයට පැමිණ සුදු ජාතික (බහුතරය ඉංග්‍රීසි ) කම්කරු පන්තියේ ජනතාව වෙසෙන පෙදෙස් වල සුළු සංචාරයක් කල යුතු බවයි. ඔවුන් ගෙන් බහුතරයක් ජීවත් වන්නේද අර මා කලින් සඳහන් කල පන්නයේ රජයට අයත් නිවාස  වලය. ඔවුන්ට ඇති  රැකියා අවස්ථා ද අවමය. බොහෝ අය හොඳින් ඉගෙන ගෙන නැති නිසා හෝ එක දක්ෂතාවක් ඇති රැකියාවක පමණක් නිරත වීම නිසා හෝ බොහෝ විට රැකියා විරහිතවූවන්ය.   අසූ ගණන් වල අගමැතිනි මාග්‍රට් තැචර් විසින් ගල් අඟුරු ආකාර වසා දැමීමේදී , බොහෝ රාජ්‍ය ආයතන (ජලය, විදුලිය , දුම්රිය) පෞද්ගලික ව්‍යවසායකයන්ට භර දීමේදී රැකියා අහිමි වුනු පිරිස් ද මෙයටම ඇතුලත් කරමි.  (ඔවුන් නම් දැන් වයස්ගතය) සමහරුන් බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂයේ යාවජීව  සාමාජිකයන්, හිතවතුන් සහ ආධාරකරුවන්ය. නැගෙනහිර යුරෝපීයයන් රැකියා ලබා ගන්නවාට  විරුද්ධව යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දුන් අයගෙන් බහුතරයක් ද මොවුන්ය. මා එසේ කීවද බ්‍රිතාන්‍යය යුරෝපයේ  අඩුම රැකියා විරහිතයන් සංඛ්‍යාවක් ඇති රටකි. (එම සංඛ්‍යාව සියයට 4.5 කි)

අවංකවම මා මිතුරු ජීවන සිතන්නේ ලංකාවේ පන්ති පරතරයක් හෝ වෙනයම් පරතරයන් නැතැයි කියාද ?

ශ්‍රී ලාංකිකයෙකුට අවම වශයෙන් සාමාන්‍යයෙන්  හොඳ  තත්වයේ   වාහනයක් මිලදී  ගැනීමට පවා නොහැකිය.  ඔවුන්ට  ලක්ෂ 15 සිට 30 දක්වා   මුදලක් වියදම් කලත් මිලදී ගත හැක්කේ  ඉතා පරණ වාහන පමණි. නමුත් ආසියාතික අපට හෝ වෙන ඕනෑම අයෙකුට සුඛෝපභෝගී වාහනයක් අර මුදලට ගත හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්, රදළයන් ලෙස හැසිරෙන  රාජ්‍ය නිලධාරීන්, රජයේ ඉංජිනේරුවන් , දොස්තරවරු , පලාත් සභා මන්ත්‍රීන්, පූජක පක්ෂයේ ඇතැමුන් හට පර්මිට් එකකට වාහන අඩු මුදලට අඩු බදු ගෙවා ගෙන්විය හැකිය. ඉන්පසු අධික  ලාභයක් උපයා  ගනිමින් ඒවා සාමාන්‍ය දෙවන පන්තියේ අප්පුහාමිලා ට විකිණීමද කළ හැකිය.   මේ කෙතරම් අසාධාරනයක්ද? එක්සත් රාජධානියේ සුදු ජාතිකයෙකු හෝ රජය ආසියානුන් හොඳ  වාහනයක් ගත්තාට , නිවසක් මිලදී ගන්නවාට  , නිවාඩුවක් යනවාට  විරුද්ධ වන්නේ නැත.  

නිවාස,වාහන, රැකියා,  මුදල් ඉපයීමම  පමණක් නොවේ. මේ රටවල ආසියානුන්ගේ සංස්කෘතික ජිවිතයට සුද්දන්ගෙන් ප්‍රශ්න තිබේද? මෙහි ඇති පන්සල්වල කටින පින්කම් පෙරහැර යන්නේ සුදු හෝ  කළු හෝ දුඹුරු  හෝ වේවා බෞද්ධ නොවන මිනිසුන්ගේ ගෙවල් පසු කරගෙනය. කවුරුන් හෝ ගලක් ගසා  තිබේද? සීක් මිනිසුන්ගේ උත්සව, ඊස්ට් හැම් වැනි පැතිවල දෙමළ  රදම් සැණකෙළි පෙරහැර නිදහසේ යන්නේ කෙසේද? සමහර විට පාරවල් වසාගෙන ඒ මිනිසුන්ගේ දෛනික ජිවිතයටද බාධා කරගෙනය. මේ මිනිසුන්  ඒවා ඉවසති.   
මගේ සමහර ඉංග්‍රීසි ජාතික මිතුරන් 2004 සුනාමි අවස්ථාවේ ලංකාවට  උදව් කල අයුරුද මට තවමත් මතකය. 

නමුත් ආයතනගත ජාතිවාදය නැතැයි මා කියන්නේ නැත. බොහෝවිට එතරම් අත්දැකීම් නොමැති  තරුණ වියේ නොමේරූ සුදු ජාතිකයන් ආසියානුන්ට පමණක් නොව කළු අප්‍රිකානු ජාතිකයන්ටද අපවාද කරන අවස්ථා තිබේ. සමහර විට සුදු ජාතිකයන් පහසුවෙන් එන රැකියාවකට ආසියාතිකයෙකුට වැඩි සහතික ප්‍රමාණයක්, අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණයක් පෙන්වීමට අවශ්‍ය වෙන අවස්ථා  තිබේ. සුදු ජාතිකයන් ජ්‍යෙෂ්ඨයන් වී සිටින තැන්වල කළමණාකරන හා අධ්‍යක්ෂක  ශ්‍රේණියේ  ස්ථාන සුළු ජාතීන්ට දීමට මැලිවන අවස්ථා තිබේ. මේ වැනි අවස්ථා වලට මුහුණ දුන් බොහොමයක් සුළු ජාතීන්  කම්කරු අධිකරණයට ගොස් රැකියා ආයතන වලට එරෙහිව නඩු දමා  වන්දි ඉල්ලති. එවැනි සාධාරණ අයිතීන් ඉල්ලා සටන් කිරීමට ඉඩ ප්‍රස්තා තිබේ. ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් තිබේදැයි මම නොදනිමි. ඕනෑම දේශපාලකයෙකුට රැකියා සඳහා බලපෑම් කළ හැකි රටක එවැන්නකට හැකියාවක් ඇත්දැයි නොදනිමි.

මා මිතුරු නන්දන වීරරත්න මහතා බිබීසී ආයතනයේ ආයතනගත ත්‍රස්තවාදයට විරුද්ධ නඩු දැමූ අයෙකි. ඔහු නඩුවෙන් දිනුවේ නැත. ඒ සුදු ජාතිකයන්ගේ පාර්ශ්වීය ගතිය නිසාදැයි නොදනිමි. එහෙත් එවැනි නඩු වලින් ජයගෙන වන්දි මුදල් ලැබූ බොහෝ අය සිටිති.  අවසාන වශයෙන් කිව යුත්තේ ප්‍රශ්න තිබුනද ආසියානුන් සිටින්නේ  ජීවන තමන්ගේ සිතේ මවාගත් තුන්වන පන්තියක පමණි. එය සැබෑ තත්වය නොවේ. 

කාටුනය - අවන්ත  ආටිගල 
https://quantumchecks.blogspot.com/2020/06/are-we-in-uk-third-class-citizens.html

ජිවනගේ කොමෙන්ටුව;
Collins Delwita, ඔබ වැන්නකු  මාගේ පාසල් සගයකු වීම සම්බන්දව   මට මා ගැනම ලැජ්ජාවක් ඇති බව පලමුව කිව යුතුයි. 
කොරෝනා වසංගත තත්වයට මුහුන පා මාස තුනක පමන කාලයක් මුළුල්ලේ විනාශවූ අප රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කර, මේ වනවිට අවදානමට ලක්වී ඇති සංචාරක ක්ශේත්‍රයේ ඍජු සහ වක්‍ර රැකියා සහ ආදායම් නැවත ප්‍රථිස්ථාපනය මේ වනවිට අපගේ මූලික අරමුන බවට පත්ව ඇත. නමුත් අප රටේ වෙසෙනා සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍යය සහ ආරක්ශාව සංචාරක කර්මාන්තය වෙනුවෙන් පාවාදීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කිසි ලෙසකින් වත් අප කටයුතු කරන්නේ නැත. ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තවමත් මැඩ පවත්වා නොමැති සංදර්භයක් තුල ශ්‍රී ලංකාවට පැමිනෙන සංචාරකයන් සඳහා දැඩි මෙහෙයුම් මාලාවන් සංචාරක බලධාරීන් සහ රජය මගින් හඳුන්වා දී තිබෙනුයේ රටේ ජනතාවගේ  ආරක්ශාවට බව කිව යුතුය. ආසියානුතිකයෙන් බොහෝමයක් තුන්වන පන්තියේ පුරවැසියෙකු ලෙස ජීවත් වන රටක වෙසෙන ඔබ, එරටට විදේශීය රටවලින් පැමිනෙන පුද්ගලයින් දින 14 ක කොරන්ටයින් කාලයකට යටත් බව අනිවාර්යයෙන් දන්නේ යැයි සිතමි. නමුත් එවන් රෙගුලාසි අප රටෙන් පනවා නැත. නමුදු අප විසින්, සංචාරකයන් සාමාන්‍ය ජනතාව සමග මුහුවීම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතය  සංචාරකයන්ට වලක්වා ඇත.  සංචාරකයන් මගින් කොවිඩ් අවදානමක් ඇතිවුවහොත් අදාල සමූහයන්  (Clusters) හඳුනාගැනීමේ අත්‍යාවශ්‍යතාව මත එම තීරනය  සංචාරක බල්ධාරීන් ගෙන ඇත. ඔබ විසින් හාස්‍යයට ලක් කර දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරන්නේ  රටේ ජනතාව  වෙනුවෙන් අප රටේ රජය විසින් ගත්තාවූ එම ධනාත්මක තීරනයටයි. ‍ ඔබගෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනුයේ ඔබගේ දේශපාලන මතය කුමක් වුවද අභිමානවත් ශ්‍රී ලාංකිකයකු ලෙස සිතීමට නැවතත් උත්සහයක් දරනා ලෙසයි. තවද ශ්‍රී ලංකාවේ වෙසෙනා කිසිවකුගේ බලල් අතක් නොවෙනා ලෙසද ඉල්ලා සිටිමි. ස්තූතියි.  තෑංක්‍යූ. නංඩ්‍රෙයි
 මගේ ප්‍රතිචාරය 
Ajith Dharmakeerthi
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ යෝජනා ඉතා හොඳ බවයි මගේ පෞද්ගලික අදහස. ලංකාවේ මුදල් ගෙවා කෝවිඩ් පරීක්ෂණය කර යන්න දෙනවා ඕන තැනකට. දවස් 7 කට පස්සේ නැවතත් එකක් කරන්න ඕනේ. ඒකෙ වරදක් මටනම් පේන්නේ නෑ. එසේම කෝවිඩ් සම්බන්ධයෙන් ක්‍රියා කරපු විධිහ විශිෂ්ටයි සෞඛ්‍ය සේවය සහ හැමෝම. බොරිස් ජොන්සන් ගේ බ්‍රිතාන්‍ය රජය නම් නාගෙන ඉන්නේ කොවිඩ් 19 නිසා. දවස් 14 ස්වයං නිරෝධායනය ගෙදර ඉඳන්. හැබැයි ක්‍රියාත්මක කරන්නේ ඇප් එකකින්. ඉතින් ඇප් එකේ ගෙදර ඉන්නවා කියල දාල මොබෞයිල් එක ගෙදර තියල ඕන තැනක ගියහැකි. අන්තිම අසාර්ථකයි. හැබැයි ඉතින් මේ දකුණු ආසියාතික යෝ තුන්වන පන්තියේ හැටියට ඉන්න එක ඇත්තද මන්ද? මෙහෙ අභ්‍යන්තර හා පොලිස් කටයුතු ඇමති ප්‍රීති පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙක්. එතකොට ආලෝක ශර්මා වෙළඳ ඇමති ඉන්දියන්. ඒ පැත්තෙන් ජිවන ලංකාවේ පන්ති භේදය මිට වඩා දරුණු නැත්ද? මෙහෙ නැහැයි කියන්නේ නැහැ. නමුත් සාපේක්ෂව යුරෝපයේ හොඳම රටක් ඒ පැත්තෙන්.


Jeevana Fernando
ප්‍රීති පටෙල් ට වඩා ගොඩක් ලොකුයි නේද බැරක් ඔබාමා.
 
Ajith Dharmakeerthi
ඉතින් ඒකෙන් මොකද්ද ඔයා කියන්න හදන්නේ . ඇමරිකාවේ වහල් ක්‍රමය නිසා ඇතිවුන ප්‍රශ්න තවම තියනවා. ඒවා නිරාකරණය වෙලා නැහැ. නමුත් ඇමරිකාවේ හැම කළු ජාතිකයෙකුටම එහෙම සලකනවද නැත්නම් කළු ජාතිකයන් හා පොලිසිය සමග ප්‍රශ්නයක්ද? ලංකාවෙත් දෙමල හා මුස්ලිම් මිනිසුන් සම්බන්ධව එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත්ලංකාවේ හැම සිංහලයෙක්ම ජාතිවාදීද ස? බ්‍රිතාන්‍යයේ රැකියා සම්බන්ධව ප්‍රශ්න තියනවා, පකිස්තානු හා කළු ජාතිකයන්ට අවස්ථා අඩුයි. හැබැයි එක වෙනම ක්ලාස් එකක් කියන්න සාක්ෂි නැහැ.


එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග සම්බන්ධතාවයක් නැත. එහෙත් බොහෝ අය නොදන්නවා වූවාට හෝ ඕනෑ කමින් අමතක කළාට  පෙරටුගාමී නම් මුලින්ම භාවිතා කලේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයයි.

Thursday 18 June 2020

බැබිලෝන් බර්ලින්

ලීසා ප්‍රයිස්
මාස දෙක තුනකට පෙර චමල් අකලංක පොල්වත්තගේ  විසින් හිට්ලර් ගේ නාසිවාදී රජය කරන ලද  මිනී මැරුම් හා යුදෙව් ජනතාව සමුලඝාතනය කිරීම ගැන   අගනා ලිපියක් ලියා තිබුණි. බ්ලොග් ලිපියක් නොවන නිසා එහි යොමුවක් දැමීමට  නොහැකිය. 
ඔහු ඒ ලියූ ලිපියේ කිසියම් වාක්‍යයක් මගේ නිරීක්ෂණයට ලක්වුණි. ඒ මෙයයි.

//ජර්මානු තරුණ තරුණියන් ලක්ෂ ගණනක්ද ම්ලේච්ඡ මිනීමරුවන් බවට පත් විය//
//කලවම් නොවූ ශුද්ධවූ ජාන සංකල්පය අසත්‍යයක් බව ඉගැන්වීමට නිවැරදි ගුරුවරුන් එදා ජර්මනියේ සිටියානම් මේ දෙපාර්ශවයම මේ ඡායාරූප වල නොසිටිනු ඇත.//  
මේ අදහසට  මම කරුණු හතකින් පිළිතුරු දුනිමි.

1. ජර්මනියේ එක් එක් වධ කඳවුරුවල වැඩ කිරීමට සිටියේ  100 කට අඩු සංඛාවකි, මිනීමරුවන් තෝරා ගත්තේ නාසි (ජාතික සමාජවාදී පක්ෂය) පක්ෂයෙනි. පෝලන්තය ආදී රටවල තිබූ කඳවුරු වල  පෝලන්ත, රුමේනියන්, යුක්රේනියන් ජාතිකයන්ද  සේවය කළහ. 

2.නාසි පක්ෂය  ආර්ය තියරිය විශ්වාස කල අතර එවැනි මතයක්   ( සිංහලයන් ආර්යයන් බව ) විශ්වාස කරණ ලක්ෂ ගනනක් ශ්‍රී ලංකාවේ අදත් ජිවත් වෙති.නාසි පක්ෂයේ සාමාජික සංඛාව මිලියන 8 .5 කි. ජර්මනියේ ජනගහනය මිලියන් 70කි. නාසි පක්ෂයේ  සාමාජික සංඛ්‍යාව මුළු ජර්මානු ජනගහනයෙන් 12% කි.

3. ලංකාවේ ජනගහනයෙන් සියට 3 ක  සාමාජිකත්වයක් ඇතැයි  කියන ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ලංකාවේ  ජාතික සමාජවාදය පිහිටුවන්නට කල කැරලි ගැසීමෙන් ලංකාවේ තරුණ තරුණියන් 60,000ක් පමණ  මිය ගියහ.   රජයේ හා අතුරු හමුදා මගින් ක්‍රියාත්මක කළ  වධ කඳවුරු වල ගෑස් ගැහුවේ නැති වුවත්  ඒවායේ දුන් දරුණු  වධ බන්ධන ඔබ අසා තිබේද? . ඒ වධ දුන්  හමුදා හා පොලිස් නිලධරයන්  එසේ කලේ ඇයි ? ගුරුවරුන් උගන්වූයේ නැති නිසාද? අජිත් පැරකුම් ජයසිංහ ගේ කේ පොයින්ට් පොත හා තවත් එවැනි කැරැල්ල පිළිබඳ පොත් කියවීමෙන් ඒ ගැන දැනගත හැකිය. එසේම ජවිපෙ සාමාජිකයන් අතින්ද බොහෝ අය මිය ගිය අතර ඇතැම් තැන්වල වධ දී තිබුණි. 

4. බොහෝ ජර්මානුන් නාසි ව්‍යාපාරයට  බැඳුනේ ඔවුන්ට කළ තර්ජනය නිසාය. ගුරුවරුන් එය ඉගැන්වූයේ නැතිනම් ඔවුන්ට අනිත් විෂයයන් උගැන්වීමට ඇති බලපත්‍රය අහිමි වේ. ඔවුන්ට සිදුවන්නේ බඩගින්නේ මිය යාමටය. බොහෝ මිනිසුන් මේ අවස්ථාවේ රැකියාව තෝරා ගනී. ජර්මනුන් කලේද  එයමය. 

5. හිට්ලර් බලයට පැමිණියේ ජාතික සමාජවාදය කරපින්නාගෙන වුවත් ඔහු පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක්  හරහාය .

6.ජර්මන්  සොල්දාදුවන් ගෙන් වැඩි හරියක්  සටන් කලේ රැකියාව පිණිසය. ඔවුන් පිටුපස එස් එස්  හමුදාවේ දඩ බල්ලන් සිටියහ. SS යනු හමුදාවක්ඇතුලත තිබු හමුදාවකි. (කේජිබි හමුදාංක වැනි).

7. මා දැනගත් පරිදි බොහෝ ජර්මනුන්   තමන්ගේ නායකයා යුදෙව් ජනතාවට  කළ අපරාධය දැන  ගත්තේ යුද්ධයෙන්  පසුවය. නගරවල සිටි අය යුදෙව්වන් ගෙන යන්නේ කම්හල් වල වැඩ කිරීමට බවට රජයෙන් කල නිවේදන පිලි ගත්හ. 

ස්ටාලින් ගේ කාලයේ සෝවියට් දේශයේ රාජ්‍ය විරෝධීන් ලෙස නම් කල අය ගේ පැහැරගැනීම් මෙන්ම මේ පැහැර  ගැනීම් කලේ ද රාත්‍රියේය. ජර්මානුවෙක්  එලියට පැමිණියොත් ඔවුන්ට එතනම  වෙඩි තබන ලදී.  අසූ අට අසූ නමය කාලයේ ලංකාවේ අතුරු හමුදා වලින් පැහැර ගෙන යන අය බේරන්නට කවුරුවත් එලියට පැමිණියේද ? දේජව සාමාජිකයන් පැමිණ එලියට අඬ ගසද්දී අහල පහල අය බේරන්නට අදාළ තැනැත්තා ගියාද ? නැත්නම් ලයිට් නිවා දමා නිහඬව සිටියාද ? ජර්මනුන් කළේද එයමය.

මේ ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් එක් කරන තවත්  මහත්මයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් දීම මේ ලිපියේ අරමුණයි. මෙහි අංක පහට මා ලියුවේ හිට්ලර් බලයට පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක් හරහාය යන්නය. හිට්ලර් ගේ පක්ෂය 1933 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ඇත්තය. නමුත් නාසි පක්ෂය බලයට පැමිණීමට පාර කපා ගත්තේ එම මැතිවරණයෙන් නොවේ. හිට්ලර් ඒ වනවිටත් ජර්මනියේ චාන්සලර් වරයාය.  එම මැතිවරණය පවත්වන්නේ ජර්මන් පාර්ලිමේන්තුව රයිෂ්ටාග්  ගිනිගෙන  දැවී ගොස් නාසි ස්ටෝම්ට්රූපර් හෙවත් නාසි භටයන් මුළු රට පුරා  භිෂණය දියත් කර තිබියදීය. එම භිෂණය දියත් කරන ලද්දේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය, වාමාංශිකයන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන් සහ මධ්‍යස්ත පක්ෂ (Centre party ) සාමාජිකයන්ට එරෙහිවය. 

මේ භිෂණය දුඹුරු කමිස කාරයන් (brown shirts ) සහ එස් එස් භටයන් විසින් දියත් කරන ලද්දේ නාසි සංවිධාන මැතිවරණ නිරීක්ෂයන් බවට පත් කරගෙනය. එසේම තාවකාලික රජයේ තාවකාලික අභ්‍යන්තර කටයුතු පිළිබඳ  ආමති වරයා වූ  හර්මන් ගෝරින්ග් පෘසියාවේ  පනස්දහසකට  අධික  නාසි එස් එස් සාමාජිකයන් සහ ප්‍රහාරක කණ්ඩායම් මැතිවරණ කටයුතු සඳහා යෙදෙව්වේය. එසේ තිබියදීත් නාසින්ට ලැබුනේ 43.9%  පමණ චන්ද සංඛ්‍යාවකි. 
ඔවුන් ජර්මන්  පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තේ කුඩා පක්ෂයක සහයෝගයෙනි.

හිට්ලර් චාන්සලර් වරයා වුයේ ඉන් වසර දෙකකට පමණ ප්‍රථම එවැනිම වූ ගිවිසුමකිනි. චන්දයකින් දිනා නොවේ. ඔහුට එතනට ඒමට පාර කැපුනේ ප්‍රථම ලෝක යුද්ධයෙන් පසුව රාජාණ්ඩුවාදීන් ජර්මන් සමාජ ප්‍රජතන්ත්‍රවාදී රජයට   එරෙහිව හොර රහසේ රජෙක් ගෙන ඒමට තැත් කිරීමෙනි.

1932 ජනාධිපතිවරයෙන් ජනාධිපති හින්ඩෙන්බර්ග් ට 53% ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර හිට්ලර් ට ලැබුනේ 36.8% කි. එම වසරේම  ජුලි මාසයේ මැතිවරණයෙන් නාසීන් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වුනද බලය ලැබුනේ නැත. නොවැම්බරයේ මැතිවරණයෙන්  නාසීන් ට තවත් ආසන 34 අහිමි විය. මේ වනවිට  නාසීන් වෙනත් පක්ෂ වලට රිංගමින් කලබල ඇති කරමින් තිබුණි. මාධ්‍යවේදීන් අතුරුදහන් වන්නට හෝ හදිසි අනතුරු වලින් මිය යන්නට විය. සමාජ  ප්‍රජාතන්ත්‍රවාදී   දේශපාලනඥයන්ට එම ඉරණමම අත්විය. සමහරුන්ට මහා දවාලේ බෝම්බ ගසන ලදී.  යුදෙව්වන් ජර්මනියේ සියලුම ආර්ථික ප්‍රශ්න  වලට හේතුව යයි හුවා  දැක්වුණි. 

මේ සියල්ල හොඳින් පහදන රූපවාහිනී නාට්‍ය දාමයක්  බැබිලෝන් බර්ලින් නමින් 2017 දී තිරගත විය. එහි දෙවන කතා මාලාව පසුගියදා අවසන් විය.

වෙයිමාර් සමුහාණ්ඩුව (weimar republic ) යනු ප්‍රථම ලෝක යුද්ධය අවසන් වූ පසු පැවති ජර්මන් රාජ්‍යයයි. ජර්මන් රජු කයිසර් විල්හෙල්ම් රජකමින් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති පදවියක් හා අගමැති පදවියට සමාන චාන්සලර් පදවියක් ඇති කෙරුණි. 

මේ කාලයේ ජර්මනියේ ඉමහත් සංස්කෘතික ප්‍රබෝධයක් පැන  නැගුනු අතර ආර්ථිකයද මදින් මද දියුණු වන්නට විය. ජර්මනිය ළඳරු  සෝවියට් දේශය සමගද තානාපති සබඳතා ඇති කරගත් අතර යුරෝපයේ අනිත් රටවල් සමග ද සුහද සම්බන්ධයක් පවත්වා ගති. ප්‍රංශය මේ අතරින් ප්‍රධානතම  රටක් විය.  ජනතාව  නැවතත්  නාට්‍ය ශාලා සහ සංගීතය සහ විනෝදය සපයන සමාජ ශාලා වලට එක් රොක් වන්නට විය. කැබරේ සහ ජෑස් සංගීතය වේගයෙන් පැතිරුණු අතර ජර්මන් එරෝටිකා සම්ප්‍රදාය පැන  නැගුනේද මේ කාලයේය. එසේම වඩා  විසිතුරු  හා ගෘහ නිර්මාණ ශිල්පයෙන් උසස් ගොඩ නැගිලි ද රට පුරා නිර්මාණය වන්නට විය.

මේ අතර දිළිඳු බවට පත් ජනතාවක් නගර ආශ්‍රිතව ජිවත් වූ බවද කම්හල් වල අඩු පඩියට  කම්කරුවන් ගොනු වෙමින් සිටි බව අමතක නොකළ ප්‍රබල ජර්මන් කොමියුනිස්ට් පක්ෂයක්ද විය.

බැබිලෝන් බර්ලින් යනු රහස්  පරීක්ෂක කතාවකි. කතාව දිව යන්නේ  රුසියාවේ දී ට්සාර් සතුව තිබු රත්රන් වලින් පිරුණු දුම්රිය පෙට්ටියක් හොර රහසේ බර්ලිනයට පැමිණීමේ සිද්ධියක් වටාය . ස්ටාලින් විසින් එවන ලද සෝවියට් රහස් ඔත්තු කරුවන් ට්‍රොට්ස්කිවාදී න් සමුහයක් මරා  දමා ඔවුන් පළකළ පුවත්පතක්ද විනාශ කරන්නේ කතාවේ   මුල් හරියේය.

වඩාත් වැදගත් වන්නේ නාසීන් විසින් කොමියුනිස්ට් පක්ෂය තුලට රිංගවන  ලද සාමාජිකයන් කරන මිනි මැරුම් වලින් රට අස්ථාවර කිරීමේ ජවනිකාය. . එසේම රට අස්ථාවර කරන්නට කටයුතු කරන ඔවුන් රජෙක් ගෙන්වීමේ සටනේ යෙදී සිටින හමුදා ජෙනරාල් වරුන්ටද උදව් කරයි.

නාසීන් බලයට එන දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ එසේය.

බැබිලෝන්  බර්ලින් ඉතා පහසුවෙන් මේ ඉතිහාසය තම කතාවට  ඇතුලත් කර  ගනී.
 එහි අති සාර්ථක රංගනයක්  ඉදිරිපත් කල ලීසා ප්‍රයිස් (චාලට් රිටර් )  අද ප්‍රධාන පෙලේ නිළියකි.
.



Tuesday 9 June 2020

'ස ' ගේ ආණ්ඩුවට ජය වේවා , ට්‍රම්පච්චිට ජය වේවා

පුදුම සතුටක් දැනුනේ අම්මප. 'ස' ගේ ආණ්ඩුව ට්‍රම්ප් ගේ ඇමරිකාවට ආදරෙයි . යකෝ මම හිතුවෙම අර ජාතියක් ජම්මයක් නැති යහපාලන උන් විතරයි ඇමරිකාවට ආදරේ කියල. 

වීරවංශ මාත්තිය කෑ ගහනකොට මම බයම වුනා ඇමෙරිකන් විරෝධී ධී, අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක් ඇවිල්ලා ලංකාවට කෙලවෙයි කියල. දන්නවනේ ඉතින් ඇමෙරිකාව තරහ කොර ගත්තොත් වෙන දේ. බලන කොට එහෙම නෑ . 'ස' ගේ ආණ්ඩුවත් ඇමෙරිකාවට ආදරෙයි. අර වීරවංස මාත්තියට වැරදිලාද කොහෙද? 

මේ සමාජවාදී පෙරේට්ටන්ට පිස්සුද මන්ද ගෝසා කරන්න. අර කොහෙවත් යන කල්ලෙක් වෙනුවෙන් කෑ ගහන්න.දැන් ඕකෙන් කොරෝනත් හදා ගන්නවා. තොණ්ඩමන් තුමා වගේ ජාති හිතෛෂියෙක් ගෙ මළ ගෙයක් නම් ඔන්න කමක් නැහැ, කියත හැකි, දුරින් දුර අඩි තියල යන එක විතරනේ. 

අනික අර තානාපති කාර්යාලේ ඇත්තිටත් නිරෝධායනේ නැතිව යන්න දුන්නනේ . කොච්චර දෙයක්ද?

 හප්පේ, යන්තන් සැනසුම් සුසුමක් හෙලත හැකි  දැන්. සිංදුවකුත් මතක් වුනා.😀

සැනසුම් සුසුමන් පාවීලා
ට්‍රම්පිගෙන් අපෙ රට බේරලා

-තණමල්විල පිස්සෙක්