Tuesday, 30 August 2022

මයිකොනොස් (මිකොනොස්) - 2


මයිකොනොස්  ( මිකොනොස් ) කියන්නේ ග්‍රීක දුපතක්. විශාලත්වය වර්ග කිලෝමීටර් 85 පමණ, ජනගහනය දහදාහට මදක් වැඩියි. නමුත් සංචාරක සමයේ ඒ කියන්නේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා මිලියන් තුනක් පමණ පිරෙනවා. මුලදී 1955 ට කලින් හුඟක් දුප්පත්. කේරියන්ස්, ඉයෝනියන් වරු ඒ කියන්නේ හෙලස් කියන ජාතිය (වර්තමාන ග්‍රීක ) තමා මුල් පදිංචි කරුවන්. 

මිකොනොස් කියන්නේ ඇපොල්ලෝ දෙවියාගේ මුණුපුරා කියලයි කියන්නේ. නම හැදිලා තියෙන්නේ එහෙම.

මුලදී මේ මිනිස්සු පරෙය්යෝ අල්ලාගෙන උන්ගේ බිත්තර කාල තියනව. එහම පරෙය්යින්ට බිත්තර දාන්නම උද තට්ටුවක් හදපු  ගෙවල් තවම  තියනවා.  එළුවෝ ඇති කිරීම,  සහ ධීවර කර්මාන්තය  තමා යන්තමින් තිබිල තියෙන්නේ.නමුත් මේ ආහාර  නිෂ්පාදනය මදි. එනිසා  දූපත්  වාසීන් සහ ග්‍රීක රජය තීරණය කළා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්න.   ග්‍රීසියේ මුලින්ම වගේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කැපවුණු දූපත තමා මිකොනොස්.   ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහි නිදහස් සටනේ  ඉදිරියෙන්ම සිටි දුපතක්.


සොර්බා නමැති ග්‍රීකයා පොත කියවල තියන අය නම හඳුනා ගන්න ඇති.





අග නගරය වන හෝරා වල ගෙවල් අතරින් කෙටි අඩි පාරවල් තමා වැඩියෙන්ම තියෙන්නේ. මේ හැම මාවතක්ම වගේ ඉතාම පිරිසිදුයි. රුසියානු උක්රයින යුද්ධයට කලින් රුසියානුන් මෙහි වැහි වැහැල ඉඳල තියනව. දැන් එන්නෙම නැති තරම්. නමුත් සංචාරකයන්ට හැම පහසුකමක් ම සලසල තියෙන්නේ. මේ රටේ කැනබිස් හෙවත් කංසා විකිණීම තහනම් නැහැ. ඒවා හැදෙන්නේ නැති නිසා කැලිෆෝනියාව වගේ තැන්  වලින් තමා ආනයනය කරන්නේ. (ලංකාවට ඔත්තුවක්). හැබැයි වෙනත් මත්ද්‍රව්‍ය වලට  ඇබ්බැහිවූවන් නැහැ. 


රාත්‍රියේ පටන් ගන්න සාද අලුයම වනතුරු දික්වෙන නිසා උදේට නැගිටින්නේ බොහොම ටික දෙනයි. බේකරි වගේ ඒවා උදේ 9.00 ට විතර  අරිනවා. රෑට නිදා ගන්න හිතන් කෙනෙක් නගරයෙන් පිට නවත්නක් හොයා ගන්න එක හොඳයි.






අපි ගියා කුඩා ගොවිපළක ට.  තමන්ගේම වයින් නිෂ්පාදනය කරනවා. රතු වයින් සහ සුදු වයින්.  දවල් කෑමට වයින් විදිරුවක්  ඉල්ලුවොත් එක වීදුරුවකට ගෙව්වම ඕනෑ තරම් බොන්න පුළුවන්. ඉවර වෙන කොට පුරවනවා.එළදෙන්නු දෙතුන් දෙනෙක් සහ  බූරුවන් , එළුවන් හෙම හිටිය. බූරු කිරි වලින් රූප ලාවන්‍යයට අදාල දේවල් නිෂ්පාදනය කරනවලු. සංචාරකයන්ට ඒක පෙන්වල දවල්ට සහ රෑට ග්‍රීක ක්‍රමයට කෑමක් දීම අමතර ආදායම් ඉපයීමේ මර්ගයක්.


මේ පොඩි රටේ පල්ලි අටසීයක් විතර තිබෙනවා. එකම එකක් කතෝලික පල්ලියක්. අනිත් ඔක්කොම ග්‍රීක ඔර්තොදොක්ස්. පල්ලියේ  ඩෝම් එකේ වහල රතු නම් ඒක පෞද්ගලික පුද්ගලයෙක් හදපු එකක්. නිල් නම් නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් හදපු එකක්. නාවික හමුදාවට සෑහෙන තැනක් තිබෙනවා.


නගරයේ මැද උසට රවුමට හදපු ගොඩ නැගිල්ලක්. වහලයක් නැහැ. එතැන මැදට ගිහින් මොනව හරි හයියෙන් කීවොත් කියපු එක ආපහු ඇහෙනව. දෝංකාර දෙනවා, එතන දේශපාලකයෙක් ගිහිල්ල කතා කලොත් කියපු බොරුව ආයේ ඇහෙනවලු . එතකොට තක්කාලි වරුසාවක් දේශපක්ලකයාගේ ඔළුව අමත පතිත  වෙනවලු. 

මේ දූපතේ  ටැප් වතුර ලුණු රසයි. මුහුදෙන් පිරිසිදු කරලා ගන්නේ, ඒ නිසා බෝතල් වතුර තමා බොන්න තියෙන්නේ. ලීටරයක් යුරෝ එකක් වෙනවා.  වතුරත්, එළවලු පළතුරු  සහ අනික් හැම දෙයක්මත් එන්නේ ග්‍රීසියෙන්.  එනිසා ඒ දේවල් ගණන් වැඩියි. 

කාර් අඩු නිසා ටැක්සි ගණන්. කිලෝමීටර යක දුරත් යුරෝ 30- 40 වෙනවා. හොඳ  වෙලාවට.  අපට ඇවිදලා පුරුදුයි. අනික දූපත පොඩියි. 



මෙහෙ කනත්තවල් දෙක තුනක ස්මාරක ඉතාලියානු ක්‍රමයට හදල තියෙන්නේ. විසිතුරුයි, හොඳට නඩත්තු කරනවා. 

බස් සේවයක් තියනවා පරණ වරාය නගරයේ ඉඳල ඉඳල නව වරාය නගරයට. දූපත තුල  බස් සේවය හරියට ඒ කළේ ලංකාවේ ලංගම බස් වගේ. යන එන වෙලාවල් මිනිස්සු දන්නවා. බස් එක අඳුරන අයව මගදී වුනත් ගෙන යනවා.  
ඉතාමත් වැදගත් දෙයක් තමයි ඩෙලොස් කියන දූපතට පොඩි නැවකින් යන්න පුළුවන්. ඒ මේ දූපතින් පමණයි. ඒ දූපත සහ හෙළස් කියන ග්‍රීක ජනතාව අතර සම්බන්ධය පැහැදිලි කරන්න ඕනේ නිසා වෙනම ලිපියක් ලියනවා ඉදිරියේදී.



 ජනප්‍රිය  මුහුදු බස් සේවයකුත් තියනවා. ඒ බෝට්ටු බස් පටන් ගන්නකොට ඩීසල්  එන්ජින් නිසා එන සද්දේ හරියටම ලංගම ඩීසල් බස් එකක් වගේ  තමයි. කොන්දොස්තර කෙනෙක් ඉන්නව ටිකට් කඩන්න. දූපත වටේ තියෙන පුංචි වරායවල් හා ඩොක් ස්ටේෂන් වලට ඒවායින් ගිය හැකි. වීඩියෝවේ තියෙන්නේ විශාල නැවට නගින්න  කලින් අපි පරණ නගරයෙන් අලුත් නගරයට යන විධිහ.  මෙහෙ නව වරායේ රෝමන් අබ්‍රමොවිච්  වැනි රුසියානු ඔලිගාර්ක් ලගේ යොට්  නවතා තිබුනලු. ඒවා දැන් එතනින් ඉවතට ගෙනිහින්. එලෙමෙන්ට්ස් කියන ෆාහඩ් අල් අතෙල් ගේ යොට් එක දැක්කා අපි වරායෙන් එලියට යනකොට.   




ප්‍රසිද්ධ පින්තූරයක් සැරි සැරුව මතකද බුකියේ. බැදී තඩි මිනිහෙක් කට අරන් නිදාගෙන ඉන්න විධිහට තියෙන දූපත් දෙකක් ගැන. ඒ දෙකේ පින්තුරත් මෙතැන් ඇති. මිකොනුස් වලට කිලෝමීටරයක් වගේ දුරින් තියෙන්නේ.
මිකොනුස් වල 17 වන ශත  වර්ෂයේ පිහිටවපු  ඔතොඩොක්ස් තාපසාරාමයක්  තිබෙනවා තුර්ලියානි කියල.. එහි පින්තුරත් මේ සමග ඇති. 







නගරයේ ගෙවල් වලට යන්න තියෙන පොඩි මාවත්  හරිම පිරිසිදුයි.











මෙහි තිබුණු පරණ බලකොටුවක්.



මේ සුලන් මෝලවල් දැන් වැඩ කරන්නේ නැහැ. සිහිවටන ලෙස තබාගෙන සිටිනවා. ඒ වගේම සංචාරකයන් ආකර්ශනීය වෙන තැනක් වශයෙන් නඩත්තු වෙන්ව. 

Thursday, 25 August 2022

අක්‍රොපොලිස් , පාතිනොන් සහ ග්‍රීක අගෝරාව - 1


මේ දිනවල ග්‍රීසියේ ඇතන්ස් නුවර ඉන්නේ. ඇතිනා දෙවඟනගේ දෙවොල බලන්න ගියා. හරිම ලස්සනයි. පොලොව තනිකරම මාබල් වලින් හදල තියෙන්නේ. මේක තියෙන්නේ අක්‍රොපොලිස් කියන කොටසේ. ඒ කියන්නේ නගර ආණ්ඩුව කියන තේරුම. ලංකාවේ මෙගාපොලිසිය එක්ක පටල ගන්න එපා.
ඇතිනා සහ පොසයිදොන් කියන සාගරයට අධිපති දෙවියා අතර ඇතිවෙලා තියෙනවා තරඟයක්. මේ නගරය භාර දෙන්න දෙදෙනාගෙන් සුදුසු කෙනා තෝරා ගන්න. පොසයිදොන් එයාගේ යෂ්ටියෙන්  බිමට ගහල ලුණු වතුර අරගෙන. නගරකට ලුණු වතුරෙන් වැඩක් නැහැ. ඊට පස්සේ අස්සයෙක් මවල. අස්සයෙක් ගෙන් වැඩකුත් නැහැ කියල නගර වැසියෝ තීරණය කරලා. නුවණට සහ යුධයට අධිපති ඇතිනා ඔලිව් ගහක් මවල බොන වතුර පාරක් එක්ක. ඔලිව් කන්න පුළුවන්, කොළ වලින් ඔටුන්නක් හදන්න පුළුවන් , පොහොර වලට ගන්න, ඒ වගේම දර අවශ්‍යයි උයන්න පිහන්න සහ පත්තු කරලා  උණුසුම  තියාගන්න. නගරයේ ආර්ථිකයට හොඳ නිසා එයාල ඇතිනා ට නගරය රැකීම  සහ නගරයේ ඉෂ්ට දේවතාවිය හැටියට පත් කරනවා. නගරයේ නම ඇතැන්ස් වුනේ එහෙම .උඩ පින්තූරය ඇතිනා වෙනුවෙන් හැදූ දෙවොල.
යෂ්ටිය බිමට ගහපු තැනලු මේ මම හිටගෙන ඉන්නේ. 
යට තියෙන්නේ දියෝනිසියස් ගේ නාට්‍ය වේදිකාව සහ එළිමහන් රඟ  මඩල. 

පාතිනොන් දෙවොලේ බිම තනිකරම මාබල් වලින් හදල තියෙන්නේ. පසු කලෙක  ක්‍රිස්තියානි ආක්‍රමණය නිසා ක්‍රිස්තියානි පල්ලියක් බවටත් ඔටෝමන් තුර්කි ආක්‍රමණය නිසා මුස්ලිම් පල්ලියක් බවටත් පත් වෙලා තියෙනවා. 
මෙහි  මාබල් වලින් හදපු දේවතාවියන් ගේ ප්‍රතිමා තුනක් ඇතුළු ප්‍රතිමා 57 එල්ගින් නමැති බ්‍රිතාන්‍ය වංශාධිපතියා  තුර්කි වරුන්ගෙන් මිලයට අරගෙන දීල තියෙනවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට. ග්‍රීසිය තවම ඒවා ඉල්ලලා විරෝධය පළ කරනවා. 






අගෝරා කියන්නේ ජනතාව  එක් රැස්  වෙන තැනකට. දර්ශනවාදී සාකච්චා, මැතිවරණ, ව්‍යාපාරික ගනුදෙනු, ක්‍රීඩා තරඟ , හමුදා සංදර්ශන සහ පුහුණු වීම් , නාට්‍ය සංදර්ශන මේ හැම දෙයක්ම වුනු තැනක්. කොටින්ම ඇතැන්ස් හි ප්‍රජාතන්ත්‍රවාදය සහ සංස්කෘතිය සුරැකුණු  ස්ථානය. 
අගෝරා එක ඇතුලේ තියෙන දේවල්  රාශිය අතරින්  සමහරක් තමා මේ. ඇටලොස් (පෙරගමොන් වල රජු ඇටලොස් II ) ස්ටෝආ එක ඇතුලේ කඩ සාප්පු තිබිල තියෙනවා. ක්‍රි.පූ දෙවන සියවසේ. දැන් එතැන කෞතුකාගාරයක්.  දකුණු  පැත්තෙන් පැන්ටයිනොස්  නමින් හඳුන්වන පුස්තකාලය, නිම්ප් නමින් හඳුන්වන දේවතාවියන් සඳහා දේවාලයක් නිම්ප්ෆයන් හදල තියනව, පුස්තකාලය  ඇතුලේ ඉඳ  ගන්න කාමර තිබිල තියෙනවා.  මින්ට් එක කියන්නේ භාවිතයට කාසි හදපු තැන. 

රෝමන් අගෝරාවේ කොටසක් 

ඕඩියන් කියන තැන , නාට්‍ය සහ සංගීත සංදර්ශන පැවැත්වුණු තැනක් 

නගර පාර්ලිමේන්තුව තිබු ස්ථානය 





ස්ටෝආ කියන තැන මේ තියෙන්න.

මේ ඉන්නේ කොන්ෆියුසියස් සහ සොක්‍රටීස්. දෙන්නම එකම කාලයක ජිවත් වුනත් මුණ ගැහිලා නැහැ. වූ වෙයිෂන් කියන චීන කලාකරුව තමයි මේ දෙක හදල තියෙන්නේ. මේ කාලවල් දෙකක් සංස්කෘතීන් දෙකක් හිටි දර්ශනවාදීන් දෙදෙනාගේ සිතිවිලි ක්‍රියාදාමය සහ දේශන කොතරම් සමපාත ද හෝ එකිනෙකට වෙනස් ද කිල හිතල බලන්න. 



එතකොට බෙමා කියල කියන්නේ කථිකයන්ට නිදහසේ ජනතාව අමතන්න හදපු තැනක්. 
ඊට අමතරව තියනවා වටරවුමක් වහලයක් එක්ක. මැද කථිකාසනයක් තිබෙනවා. ඇතැන්ස් වල ගෝත්‍රයන් දොළහේ නියෝජිතයෝ මෙතන රැස් වෙලා නගරය සම්බන්ධ  තීරණ අරන් තිබෙනවා.

නගරයේ නිදහස සඳහා සටන් කල වීරයන් ගේ ප්‍රතිමා අසලම දැන්වීම් පුවරු තබිලා තියෙනවා නගරයේ නීති රීති , ගන්න නව තීරණ දැනුම් දෙන්න. 
නගරය තුල ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පැවතිලා තිබෙනවා, මේවා ඔක්කොම  නැතිවෙලා තියෙන්නේ කොහොමද? ක්‍රිස්තියානි ආගම  ආවට පස්සේ, සියුස් සහ දෙවිවරුන්ගේ ආගම පගන් ආගමක් කියල තහනම් කරනවා, දර්ශනවාදී සාකච්චා නවත්වල ග්‍රීක ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය ජනගත කරනවා. මේ ආගම ම  තමා  රුසියාවේ හා උක්රයිනයේ තියෙන්නෙත්. ක්‍රි ව. 1400 ගණන් වල ග්‍රීසිය ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ට යටත් වෙනවා. අවුරුදු 400 ක් ඔවුන් යටතේ ඉන්න කොට  ග්‍රීක පල්ලි මුස්ලිම් පල්ලිබවට පරිණාමය වෙනවා. 
ඔටෝමන් අධිරාජ්‍යයයේ පාලනයඅවසන්  වෙනවා 1821 දී  නිදහස සඳහා වූ යුද්ධය අවසන් වුනාට පස්සේ, පළමු හෙලනික් සමුහාණ්ඩුව පිහිටුවනවා 1822. මේ රටේ මිනිසුන්ට ආදී කාලයේ ඉඳල කියන්නේ හෙලනික් වරු නැත්නම් හෙළයෝ කියල. නමුත් මේ නිදහස සඳහා යුද්ධයේදී ග්‍රීක් වරු මුස්ලිම් වැසියන් නිරපරාදේ මරා දමා තිබුන. නමුත් මේ මරා  දැමීම් දෙපාර්ශවයෙන් ම සිදුව ඇතැයි කියලත් කියනව. 

හෙලනික් සමුහාණ්ඩුව පසුව බිඳ වැටෙනවා.  බටහිර රටවල් එනම් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඔටෝ නැමති ජර්මන් ලුඩ්විග් රාජ  වංශයේ කුමරෙකු රජු වශයෙන් පිහිටුවල තියෙනවා. ඔහුගේ බිසව අමාලියා. මේ දෙන්නට ළමයි නැහැ. වැඩිය ජනප්‍රියත් නැහැ. ඔවුන්ගෙන් පස්සේ ඩෙන්මාර්කයේ රජෙක් ගෙන්වලා ග්‍රීසියේ පිහිටුවල තිබෙනවා. ඒ රජපවුලේ කුමාරයෙක් වන ෆිලිප් තමා වර්තමාන බ්‍රිතාන්‍ය රැජිනගේ මියගිය සැමියා.
ඔහොම වෙන රටකින් රජවරු ගෙන්වලා ඇන ගත්ත රටවල් හරියට තියෙනවා. 

වර්තමාන  ග්‍රීසිය නැවතත් සමුහාණ්ඩුවක්. 
ග්‍රීක ඉතිහාසය ඉගෙන ගෙන තිබුනට හරියට දැනෙන්නේ මේව බලන කොට.


Saturday, 20 August 2022

වේදිකාව - The Platform - අරගලයක - විනාශයක - බලාපොරොත්තුවක -වේදිකාව


වේදිකාව  "The Platform"  කියල කියන්නේ ස්පාඤ්ඤ  චිත්‍රපටයක්. මේ චිත්‍රපටය  සමාජ විද්‍යා ප්‍රබන්ධයක් ගණයට මෙන්ම ත්‍රාසජනක චිත්‍රපට කියන ගණයටත් අයිති වෙන්නක්. ඩිස්ටෝපියන් එකක් කියලත් කියන්න පුළුවන්. ඩිස්ටෝපියන් කියන්නේ ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන්  මනඃකල්පිත සමාජයක් ගැන,  කිසිම  සමාජ සාධාරණත්වයක්  නැති, අන්ත දුෂිත, මිනීමරු එකක් ගැන.   ඔබ අරගලයක් කරන්නේ මොකටද? ඔබ බෙදා ගන්න යන්නේ මොනවාද? ඔබේ බලාපොරොත්තුව ඉටු  කරගන්න ඔබ කෙතරම් දුරක් යනවද? ඔබ මොන තරම් කැප කිරීමක් කරනවද?  මොන තත්වයක් යටතේද මිනිස්සු අරගල කරන්න පෙළෙඹෙන්නේ  වගේ ප්‍රශ්න සමූහයකට පිළිතුරක් හෙවිම මේ කතාවේ අරමුණ වෙන්න  පුළුවන්.  කොහොම වෙතත් එවන් ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද , ඒවාට මිනිසුන් වශයෙන් අපි මුහුණ දෙන විවිධාකාර විධි ගැන මේ චිත්‍රපටයේ කතා වෙනව කියලයි  මට හිතෙන්නේ. ටොරොන්ටෝ සිනමා උළෙලේදී ප්‍රේක්ෂක තීරණයක් ලෙස මධ්‍යම රාත්‍රියේ පිස්සුව කැටගරිය යටතේ සම්මානයක් ලැබිල තියෙනවා. හිතා ගන්න පුළුවන්නේ.

හුඟක් වෙලාවට අරගල -උද්ඝෝෂණ නෙමේ- සමහරු මුදල් ගෙවා හදන ඒවා නෙමේ -වෙනත් රටවල් වලින් ආයෝජන කරන ඒවා නෙමේ - ඉබේ ඇතිවන අරගල  පටන් ගන්නේ කොහොමද? තියෙන විධිහට, පවතින ක්‍රමයට  මිනිසුන්ට තව දුරටත් ඉන්න බැරි වුනහමද ? හුඟක් මිනිස්සු එලියට බහින්නේ ඉන්න තැනක්  නැති වුනහම වගේ හේතුවකදී? ආදී කාලයේ ඉඳලම අපි කලේ ජිවත් වෙන්න කරන අරගලයක්. අපි ඉගෙන ගන්නේ ඒකෙන්  අපට ඉදිරි අනාගතයට  සැලසුමක් හදා  ගන්න පුළුවන් වෙයි, රැකියාවක් හොයා ගන්න පුළුවන් වෙයි , විශ්‍රාම වැටුපක් හදා ගන්න පුළුවන් වෙයි, ගෙයක් දොරක් දරු මල්ලන් හදා ගන්න පුළුවන් වෙයි කියල හිතල.  ඒ මොනවත් නැත්නම් ලෝකේ වටේ චාරිකා යන්න, ජීවිතය වෙනත් අන්දමකින් සරු කර ගන්න වගේ වෙනත් ඕනෑම  හේතුවක් වෙන්නත්   පුළුවන්. ඒ සැලසුමට  තර්ජනයක් එල්ල වෙනකොට අපිට තරහ යන්නත්  පුළුවන්. අපිත්  දේශපාලනයට එළැඹිලා අපට ඒවා ලබා දෙන ක්‍රමයක් හදා ගන්න පෙළඹෙයි ඒ නිසාම.

නමුත් අපට එදිනෙදා  කන බොන එක කර ගන්න හරි හැටි බැරි වුනොත්. තෙල් නැතිව  හරි, ගෑස් නැතිව හරි, රැකියාව කරන්න, මුදලක් හොයා ගන්න බැරිව එදිනෙදා ජීවිතය ගෙන යන්න බැරි වුනොත් අපි කරන්නේ මොනවාද? ජිවිතය බේරා ගන්න අපි ඕනෑම දෙයක් කරයි නේද? හොරෙන් පැට්‍රොල් විකුණයි. අනුන් ගෙන් උදුරා ගනියි. ගහ මරා ගනියි. සාමාන්‍ය  ජිවිතයේ හොඳයි කියන සිරිත් විරිත් පැත්තකට දාල තම තමන්ගේ , පවුලේ ජිවිත බේරා ගන්න උත්සාහ කරයි නේද?

ඒ අතරේ සමහරු ඉන්න පුළුවන් එහෙම කරදරයට පත්වෙන  වෙන අය  වෙනුවෙන් ඉදිරි පත් වෙන්න. තමන්ගේ ජිවිතේ අගය ගැන නොතකා. තමන්ගේ  ජිවිතේ පරික්ෂණයට භාජනය කරල අර බලාපොරොත්තු විරහිත වෙච්ච  ම්නිසුන්ට යම් බලාපොරොත්තුවක් හදා දෙන්න ඉදිරිපත් වෙන්න.  එහෙම මිනිස්සු ඉන්නවද? එහෙම මිනිසුන්ට බනින මිනිස්සු ඉන්නවද?

අපි කවුරු හරි අනාගතය වෙනුවෙන් අරගල කරනවද? ළමයි වෙනුවෙන්? නොදකින අනාගතය ගැන අප වද විය යුතුද? තියෙන දේ කාල ඉන්න  එක ඊට වැඩිය හොඳ නැත්ද?

දැන් චිත්‍රපටය ගැන කතා කරමු. 

මිනිස්සු කට්ටියක් - ගැහැණු සහ පිරිමි රාශියක්  නෙළුම් කුළුණ වගේ ලොකු කුළුණක් ඇතුලේ ජිවත් වෙනවා. මේ කුලුනේ නම තමා "සිරස් ස්වයං පාලිත මධ්‍යස්ථානය".  එක්තරා විධිහක බන්ධනාගාරයක්. හිර දඬුවමක් ලැබෙන අයට තම කැමැත්තෙන් එන්න පුළුවන් මේකට .  තට්ටු දෙසීයකට වැඩිය තියෙන කුළුණක්. හැම තට්ටුවකම ජිවත් වෙන දෙන්නෙක් ඉන්නව.  මේ හැම තට්ටුවේම අය  මාසෙකට සැරයක් මාරු කරනවා වෙන තට්ටුවකට. එහෙම මාරු කරන්නේ ඔවුන්ව බලෙන් නි ද්‍රාවකට යැව්වාට පස්සෙයි.  

අපේ කතා නායකයා වන ගෝරෙන්  මේ සිරගෙයට යන්නේ තම කැමැත්තෙන්. ඔහු මාස හයක් මෙහි ගත කරන්න  එකඟ වෙනවා ඒ වෙනුවෙන් ඔහුට ඩිප්ලෝමා එකක් දෙනවනම්. 

ඔහු එකවරම අවදි වෙන්නේ 48 වන තට්ටුවේ. ඔහුගේ තට්ටුවේ ඉන්න අනිකා  ට්‍රිමගසි.  ට්‍රිමගසි ඉන්නේ අවුරුදු  හයක සිර දඬුවමක් විඳින්න . ඔහු ඇවිත් ඉන්නේ මිනිහෙක් මරල.  මේක ඇතුලට යන්න කලින් තමන්  කැමති එක  දෙයක් අරන් යන්න පුළුවන්.  ට්‍රිමගසි වගේ සමහරු පිහියක් නැත්නම් පිඟානක්  වගේ දෙයක් ගෙනියනවා. ගෝරෙන් ගෙනියන්නේ සෙර්වන්ටෙස් ගේ  "දොන් කිහෝති" කියන පොත.  ට්‍රිමගසි හිනා වෙනවා කවුද යකෝ පොත් අරන් එන්නේ මේකට කියල. (පොත් තියෙන්නේ ගිනි තියන්නද?)  ට්‍රිමගසි මේකට පිට් එක එහෙම  නැත්නම් පතල කියලයි හදුන්වන්නේ . 


දැන් ඩීල්  එක මොකද්ද? උඩම තට්ටුවේ ඉන්න බන්ධනාගාර පාලකයා ට ඉන්නව උසස්ම  වර්ගයේ කෑම හදන්න පුළුවන් කෝකියෝ සෙට් එකක්. මේ කෝකියෝ හැමදාම හොඳට වැඩ දාල උයල අර කුලුනේ උඩම තට්ටුව ඒ කියන්නේ බින්දුවේ තට්ටුවේ තියන විශාල කොන්ක්‍රීට් මේසයක , වේදිකාවක  අසුරනවා ලස්සනට. නොයෙකුත් බිම වර්ග, මස් ජාති, මාළු , බර්ගර්ස් , පිට්සා  ඇතුළු රසම රස කෑම බීම. මේ  විශාල කොන්ක්‍රීට් වේදිකාව ඉන්පසු පහලට යනවා.  යන ගමන් එක එක තට්ටුවේ විනාඩි දහයක් විතර නවතිනවා. තමන්ට හැකි තරම් කන්න පුළුවන්. හැබැයි තියා ගන්න බැහැ. පස්සේ  කන්න තියා  ගත්තොත් ,  මැරුම් කන්න වෙනවා,  කියන්න ඕනේ නැහැනේ ඉතින්  උඩම තියෙන තට්ටුවල අය ට තමයි හොඳටම කන්න හම්බ වෙන්නේ.

  උඩ තට්ටු 47 ම අය කාල එවන ඉඳුල් කෑම කන්න ගෝරෙන්  ප්‍රතික්ෂේප කරනවා පළමු දවසේ. ට්‍රිමගසි බනිනවා. "කාපන් මෝඩයා   බඩ ගින්නේ ඉන්නේ නැතිව. මේක විගහට යනව" කියල. ඒ මදිවට ඌ කෙළත් ගහනවා  කාල ඉවරවෙලා. ගෝරෙන්  ඒකට කෝප අරගෙන බනින කොට ට්‍රිමගසි කියනව උඩ එවුන් මුත්‍රාත්  කරනවා මේ කෑම වලට කියල. ගෝරෙන් ට ප්‍රශ්නයක් - ඇයි   මිනිස්සු එහෙම කරන්නේ? 

මේ කෑම මේසේ ඉඳගෙන  උඩට  එනවා මිහාරු කියල කෙල්ලක්. හොඳටම  ගුටි කාල ලේ පෙරාගෙන.  කෙල්ල එන්නේ එයාගේ නැතිවුණු  ළමය හොයන්න.  ළමය හොයන්න පහලට යන හැම වතාවෙම පහල ඉන්න  පිරිමි මෙයාව ඇදල අරන් දූෂණය කරනවා. ඒත් කෙල්ල හැමදාමත් උඩට පහළට යනවා වේදිකාවේ නැගල.  ළමයව කවද හරි හොයා ගන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.

ට්‍රිමගසි කියනවා පහලම තට්ටුවකට ගිය වෙලේ කෑම නැතිව ඉඳල ඔහු සහ තට්ටුවේ සගයා වෙන තට්ටුවකින් වැටුණු එකෙක්ව මරන් කෑව කියල. කන්න  නැති වුනහම මිනිස්සු තිරිසන් වෙනවද?  බඩ ගින්න  හැම ගින්නටම වඩා ලොකුලු. ගෝරෙන් බය වෙනවා.  මේ දෙන්න ඊළඟට  වැටෙන්නේ 171 වන තට්ටුවට. කොන්ක්‍රිට් වේදිකාව  පහලට එන්නේ  කෑම ඉවර වෙලා. ඉඳුල් වත් නැහැ. පිගන් ලෙවකාල. ට්‍රිමගසි මේක බලාපොරොත්තු  වුන දෙයක්. නිද්‍රාවට වැටුණු ගොරෙන් ව ලණුවකින් බඳිනවා. ට්‍රිමගසි ගොරෙන් ව ටිකෙන් ටික කනවා කියල කියනව.  කකුලෙන් පොඩි කෑල්ලක් කපල ගන්නවා කන්න.  පහළට එන මිහාරු ගෝරෙන් ව බේරා ගන්නවා.  ඔහු ට්‍රිමගසි ව මරනවා. නමුත් ඔහු අසනීප වෙනවා තුවාලේ නිසා.   මිහාරු ට්‍රිමගසි ගේ මස් කපල බඩ ගින්නේ  ඉන්න ගෝරෙන් ට කන්න දෙනවා. සාත්තු කරනවා.  මානසික වියවුලට පත් වෙන ගෝරෙන්ට මියගිය ට්‍රිමගසි ව පේන්න ගන්නවා. ට්‍රිමගසි එක එක අවවාද දෙනවා ගෝරෙන් ට. ට්‍රිමගසි කිව්ව දේවල් හරි බව ගෝරෙන් ට වැටහෙන්න ගන්නවා. 

ඊළඟ මාසේ ගෝරෙන්  ඇහැරෙන්නේ උඩ තට්ටුවක  තිස් ගණන් වල. කෑම හොඳයි. එයත් එක්ක එකට වැටෙන්නේ ඉමෝ කියන ගැහැණිය. ඉමෝ ඒ බන්ධනාගාරයේ ම වැඩ කරපු  කෙනෙක්. එයා එන්නේ ස්ව කැමැත්තෙන්. එයාගේ ජිවිතේ බලාපොරොත්තුව මිය ගිහින්. එයාට පිළිකාව. කොහොමත් මැරෙන්න ඉන්න  එකේ එයා මේ යෝජිත ස්වයං පාලිත ක්‍රමයට ඇතුළු වෙන්නේ  තමන්ගේ සුරතල් බල්ලත් එක්ක. ඉමෝ දන්නේ නැහැ මේ තට්ටු හිරගෙයි සැබෑ තත්වය. ගෝරෙන් බනිනවා  කොහොමද බල්ලෙකුට කන්න දෙන්නේ  මිනිසුන්ට කන්න  නැතිව කියල. ඉමෝ කියනව එයා කන කොටසින් දෙනවා කියල.  

ඉමෝ සහ ගෝරෙන් හිතනවා සිස්ටම් චේන්ජ් එකක් කරන්න  ඕනේ කියල. ඉමෝ කෑම පිඟන් වලට බෙදනවා සීමා සහිතව සලාක ක්‍රමයට බෙදන්න.. පහල අයට කියනව ඒක විතරක් කන්න. ඊටත් පල්ලහ තට්ටු වල ඉන්න  "දුප්පත්" අයට කෑම ලැබෙන්නේ නැහැ. දෙන්න කතා වෙනවා.  අපි ක්‍රමයක් හදමු. උඩම තට්ටු වල අය කෑම සීමා සහිතව පරිභෝජනය කලොත් පහල තට්ටුවල අය බඩ ගින්නේ මැරෙන්නේ වත් මළ මිනී කන්න වත් වෙන්නේ නැහැ කියල. පහල උන් හිනා වෙලා අර විධිහටම වේදිකාව උඩට පැනල හැම දේම අත දාගෙන බඩජාරි කමට  කනවා.

ගෝරෙන් ඊට පස්සේ තර්ජනය කරනවා  කෑම වලට කක්ක කරනවා කියල. එම තර්ජනය නිසා පහල එවුනුත් අර ඉමෝ හදල එවන  තියෙන කෑම අඩු පිඟන් වල ඒවා විතරක් කනවා.   තර්ජනය කලේ නැත්නම් මිනිස්සු අහන්නේ නැත්ද බෙදා ගන්න ඕනේ කියල. 

ඔය අතරේ මිහාරු උඩට පහලට යනව ළමයා හොයාගෙන. ඉමෝ කියනව අවුරදු 16 ට අඩු අය මේ ක්‍රමයට අනුයුක්ත කරන්නේ නැති නිසා මිහාරු බොරුවක් කරන්නේ. මිහාරු ට  තියෙන්නේ හිස් බලාපොරොත්තුවක් විතරයි කියල.

එක දවසක් මිහාරු එනව හොඳටම තුවාල වෙලා. ඉමෝ සහ ගෝරෙන්  එයාට සාත්තු කරලා  සුව කරනවා. ඊළඟ නිද්‍රාවෙන් පස්සේ මේ දෙන්න ඇහැරෙන්නේ 202 වැනි තට්ටුවේ. ගොරේන්ට පේනවා තට්ටු ඊටත් වඩා පල්ලහට යන බව. ඒවල  මිනිස්සු ඉන්නවද නැත්ද කියලවත් පේන්නේ නැහැ. ඔවුන් නැගිට ගන්න බැරි තරමට දුර්වල වෙනවා කෑම නැතිව.  ඉමෝ සිය දිවි නසා ගන්නවා.  ගෝරෙන් ඉමෝ ගේ මිනී මස් කාල ජිවත් වෙනවා. මානසික වියවුලෙන් ඉන්න ගෝරෙන් ට නොයෙකුත් විකාර පේනවා. මැරුණු ට්‍රිමගසි ඇවිත් කතා කරනවා. ගෝරෙන් ගේ හොඳ ගති, විධි නැති වෙලා ගෝරෙන් මිනී කන්නෙක් බවට පත්වීම ගැන ඔහු හිනා වෙනවා.


ඊළඟ මාසේ ගෝරෙන්  හයවැනි තට්ටුවට යනව. හොඳම තට්ටුවක්. හොඳ කෑම බිම සහිත වේදිකාව  පහලට එනවා. උඩ තට්ටු පහේ අයට කාල ඉවර කරන්න බැරි නිසා. ගෝරෙන් ගේ   අලුත් සගයා කළු මිනිසෙක් වන බහරත්. බහරත් ලණුවකින් උඩ තට්ටුවලට ගිහින් පැනලා යන්න හදනව. පස්වන තට්ටුවේ සුදු ජාතිවාදී ගැහැණිය හා පිරිමියා ඔහුව රවටනවා. උඩට එනකොට තල්ලු කරලා ඒ මදිවට පතහට වැසිකිලිත් කරනවා. කළු මිනිසාගේ මූණට ම.  



නමුත් ගෝරෙන්  බහරත් ට පැහැදිලි කරනවා  බලෙන් සලාක ක්‍රමයට කෑම  බෙදමු. එහෙම කලහම පහල අයට කෑම ලැබෙයි කියල. තට්ටු 250 ක් විතර තමා තියෙන්නේ. විනාඩි දහය ගානේ  නවත්වනවා කියන්නේ ඔවුන්ට ආපහු එන්න පුළුවන් කියල.   ගෝරෙන්  සහ බහරත් කෑම වේදිකාවේ පහලට යනව පොලු දෙකක් අරන්  කොටින්ම මේ දෙන්න කෑම බෙදන  "ත්‍රස්තවාදියෝ" වෙනවා . ඔවුන් පහල තට්ටුවල මිනිසුන්ට කන්න දෙන්නේ ටිකයි. වැඩිපුර ඉල්ලුවොත්ත පහර දෙන්න ගන්නවා. වත් පහලට කෑම ගෙනියන්න ඕනේ නිසා.  පහල  හමුවෙන දර්ශනවාදියෙක්  කියනව අපි  උඩම තට්ටුවට මෙසේජ් එකක්, පණිවිඩයක් යවන්න ඕනේ. පහලට කෑම එවන, උඩ පාලකයෝ  දන්නේ නැහැ පහල අය මැරෙනවා කියල. ඔවුන් ඒ සඳහා තෝරා  ගන්නේ පන්න කොට්ටා කියන ඉතාලියානු ප්‍රනීත ජෙලටින් වලින් සැදූ ඩෙසට් එක.  ඒක නොකා උඩට යවන්න  බහරත් සහ ගෝරෙන් පොරොන්දු වෙනවා. 
 
පහළට යන ඔවුන්ට පෙනෙනවා මිහරු දූෂණය කරන්න සැරසෙන මිනිස්සු තුන් දෙනෙක්. ගෝරෙන් සහ බහරත් සටන් කරනවා ඇය බේරා ගන්න. නමුත් මිහාරු මිය යනවා. ඔවුන් දෙදෙනාම දරුණු ලෙස තුවාල ලබනවා. තවත් පහලට යන ඔවුන්ට මියයන මිනිසුන් පෙනෙනවා. පහලටම යන වේදිකාව  333 තට්ටුවේ නවතින කොට කොන්ක්‍රීට් ඇඳ යට ඔවුන් දකිනවා පුංචි දැරිවියක්. මිහාරු ගේ දුව.  ඔවුන් දැරිවිය ගන්න එලියට යනකොට වේදිකාව තවත් පහළටම යනවා. 

උඩහට පණිවිඩයක් යවන්න කියල තියා ගත්ත පන්නා කොට්ට එක ඔවුන් කුසගින්නේ  ඉන්න පොඩි කෙල්ලට කන්න දෙනවා බහරත් ටිකක් අකමැති වුනත්. .ගෝරෙන් ට සිහි නැති වෙනවා. තුවාල නිසා. ඔහුට හීනෙන් පෙනෙන බහරත් කියනවා "පණිවිඩය තමයි පුංචි දැරිවිය." කියල. 

ඊළඟ  දවසේ නැගිටින ගෝරෙන් ට පෙනෙනවා අධික රුධිර වහනය නිසා බහරත් මිය ගොස් බව. ගෝරෙන් දරුවා එක්ක  යනවා පතලේ අන්තිමටම. ඔහුට නැවතත් පෙනෙන්න ගන්නවා මැරුණු ට්‍රිමගසි ව.  ට්‍රිමගසි කියනවා "පණිවිඩය ගෙනියන්න කෙනෙක් අවශ්‍ය නැත " කියල. ගෝරෙන් දරුවාව වේදිකාවට නංවනව උඩට යන්න.  ළමයා උඩහට යනව බලන් ඉන්න ට්‍රිමගසි සහ ගෝරෙන් පතලෙන් ඉවතට ඇවිද ගෙන යනව.

පොඩ්ඩක් කල්පනා කරන්න. යටම තට්ටු වල අය වේදිකාව  දිගේ උඩට එනගමන් උඩ ඉන්න අය මරනවා කියල.  එහෙම උඩටම ඇවිල්ල උඩම අය මරල යට අයව උඩ  තට්ටුවක තියනවා. ඒක කරන්න නායකයෙක් හිටිය කියමු. එතකොට ඒ නායකයායයි එයාගේ අනුගාමිකයොයි උඩම තට්ටුවල ඉඳි. යටම තට්ටුවල අයට මොනවා හරි කෑමක් ලැබෙයි.එහෙම සිස්ටම්නුත් තිබ්බ.

බහරත් සහ ගෝරෙන්  නමැති කෑම ත්‍රස්තවාදියෝ නැත්නම් අරගලකරුවන් දෙදෙනා ජීවිතය දෙන්නේ තමන් වෙනුවෙන් නොවේ. හැමෝටම කෑම දෙන්න පුලවන් වෙයි කියන බලා පොරොත්තුවෙන්. ඊට පස්සේ මිහාරු ගේ දුව වෙනුවෙන්. අනාගතයේ දරුවා වෙනුවෙන්. ඒ දරුවා හෙවත් අනාගතය ජීවත් කරවන්න. 
 
මිනිස්සු අරගල කරන්නේ තමන් වෙනුවෙන්ම නෙමේ. කවුරුත් සමහර වෙලාවට උන්ට කියන්නෙත් නැහැ අරගල කරන්න කියල. ඒත් උන් කරනවා. හැබැයි එහෙම කරනවා නම්, අඬල දොඩලා  වැඩක් නැහැ "කෝ මේ මිනිස්සු ගණන් ගන්නේ නැහැනේ" කියල. ඒක අදාළ නැහැ තමන් ස්ව කැමැත්තෙන් කරනවා නම්.  අනාගතයරැක  ගන්න ඕනේ නම් කාටහරි අරගල කරන්න  වෙනවා. ලෝක ඉතිහාසය පුරාවටම ඒක සිද්ධ වුනා. ඒක  කොහොමද  කරන්නේ, දෙන අවසන් පණිවිඩය මොකද්ද කියන එක වැදගත්. මොකද අරගලයක්  අවසන් වෙන්නේ  කොහොමද කියල කවුරුත් දන්නේ නැති නිසා.