Wednesday, 26 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (44) - ලුණුගල මැදින් ගලනා ගඟ මනහරය

පූර්ව කොටස : ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - නැහැ , ඒ ඔහුගේ පියා නොවේ
ලුණුගල 
පට්ටිපොළ කෝරළයේ සුන්දර ලුණුගල ග්‍රාමය පිහිටා ඇත්තේ බදුල්ලෙන් පස්සර පසුකොට බිබිලට යන A5 මාර්ගයේය. ලුණුගල ග්‍රාමය වටා කඳු වළල්ලක් එය වටකරමින්   ඇදී යන්නේ ජර්මනියේ  සිට  ගාමිෂ් නගරය පසු කර මහා ඇල්ප්ස් කඳුකරය  බලා යන විට ඇති කඳු වළල්ල මෙනි. ලුණුගල ගම වටා දර්ශනීය තේ වතු යායක්ම  දක්නට ලැබේ. අඩාවත්ත, හොෆ්ටන් ගෘප් එස්ටේට්, පාර්ක් වත්ත සහ මඩොල්සිම වතු එයින් සමහරක්ය. ලුණුගල ජිවත් වන සිංහල ජනතාව  ගෙන් අඩක් පමණ  ගොවිතැන් කර ජීවත් වෙන අයයි.  කුඩා ලියදි එකින් එක පියකරුව පඩි පෙළක් සේ දිස් වෙන කුඹුරු  යායවල් A5 මාර්ගයේ බිබිලට යනවිට  වම් පසින් දිස් වේ. ගම්මිරිස් හා කුරුදු වගාවද ලුණුගල පළාතේ දක්නට ලැබේ.

මහා මාර්ගය හා අඩාවත්තට යන පාර අතර ඇත්තේ ලුණුගල පොලිසියයි. අඩාවත්ත පැත්තට යන පාරේ වතු දෙමළ  ජනතාව ඔවුන්ගේ දුගී ලයින් කාමර වල දිවි ගෙවනු දක්නට ලැබේ.  ලැයිම් ඉදිරිපිටින් යන කෙනෙකුට මයියොක්කා ගාලවල්  බොහොමයක් නෙත ගැටෙනු ඇත. දහවලට මේවායේ ජිවත් වෙන දිළිඳු දෙමළ දරුවන් කන්නේ තැම්බූ මයියොක්කා දළු සමග බත්ය.

ලුණුගල ටවුම පසුකර බිබිල දෙසට යන විට දකුණු  අත පැත්තේ  පන්සල පාර පිහිටා තිබේ. පාර  අවසන් වන්නේ අති  පුරාණ විහාරයක් වූ  ශ්‍රී ලෝනගිරි පුරාණ රජ මහා විහාරයටය. ඒ පාරේ ම ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයද පිහිටා  තිබේ. බසයක් නොයන ඒ මාවතේ  සතියේ දිනවල හිමිදිරි උදයේ  සුදු ඇඳගත් ළමුන් මධ්‍ය මහා විද්‍යාලයට යනු කෙනෙකුට පෙනේ. උදයේ ඇති සීතල  නිසාම,  තුරු ලතා අතරින් පාරට වැටෙන අළුයම හිරු ගේ  රැස් දහර විඳින්නට  පාරේ තැනින් තැනට පනිමින් ළමෝ එක පෙළට ගමන් කරති.

අඩාවත්ත පාර අසලින් ජනතාපුර මාවත පිහිටා තිබේ.  ඒ අසලම  ඇති කුඩා සුදු වැලි පාර දෙපස දන්, හිඹුටු, බෝවිටියා ආදී පලතුරු වලින් පිරුණු තරමක කැලෑ ප්‍රදේශයකි.

පළාතේ ජිවත් වන වතුවල වැඩ කරන  දෙමළ ජනතාව වැඳුම් පිදුම් කරන කදිරේෂන් කෝවිල   කුඩා ටවුමේ පිහිටා ඇත. ලුණුගල ග්‍රාමයේ තුබූ නිසංසලත්වය ඉඳහිට බිඳී ගියේ රජ මහා විහාරයේ පෙරහැර දවසට හා කෝවිලේ වේල් කරත්තය රදම් යන දවසටය.

කේයස් නමින් හැඳින්වූ සාගර පලන්සූරිය  කවියාගේ    "කටුරොද   ගම්මානය " යන මැයින්  කවි පෙළක් එදවස පාසැල් වල සිංහල විෂයට  ඉගැන්වුනි. එහි එක පේළියක "එගම මැදින් ගලනා ගඟ මනහරය " යනුවෙන් යෙදුමක් තිබේ. සමහර විට ඒ යෙදුම යොදන්නට ඇත්තේ ලුණුගල සඳහා දැයි සිතෙන තරමට ලුණුගල මැදින් කුඹුක්කන් ඔය කොමලිය සුරතල් ලෙස ගලා යන්නීය. ඉහල කඳුවල දැඩි වැසි වසිනා සමයන් හි මේ පියකරු ගංගාව  උතුරා පිටාර  ගලයි. ඒ දිනවලට නම්  ලුණුගල පොලිසිය ඉදිරි පස ඇති වෙල් යායද යටවේ. ජනතා පුර පැත්තෙන් ඇදී එන කුඹුක්කන් ඔය විහාර මාවතට හැරෙන තැනට මදක් පහළට හැරී අත වනාගෙන ටවුම අසලින් පහළට ගලා යයි. ඒ නිසා ටවුමට යන්නට ලොකු පාළමක් ද ඇත.

ඉහත කී වෙල් යායත් ජනතා පුර පැත්තේ සිට ඇදී එන කුඹුක්කන් ඔයත් හමුවී එකිනෙකා සිප ගනිමින් ඇදී යන තීරුවේ දිය නෑමට ඒ පෙදෙසේ වෙසෙන බොහෝ ජනයා එක් රැස් වෙති. ඒ හරිය එතරම් ගැඹුර නැත්තේ ගඟ ඉතා පළල් බැවිනි.  විශාල කුඹුක්කන් ගස්  වැවී ඇති ඒ දෙපස ඉතා සිසිලක් දැනේ.

මේ සුන්දරත්වයත් ලුණුගල ග්‍රාමයේ නිසංසලත්වයත් සදහටම බිඳී ගියේ එකදාස් නමසිය  හැත්තෑවේ මැද හරියේය. ඒ ඉහත කී කුඹුක්කන් ඔය දෙපස ප්‍රදේශයේ මැණික් හමු වීමෙනි.

"නිලන්ත ගේ තාත්තා ගේ වාසගමත් වික්‍රමරත්න. මම එයට කතා කලේ විකී කියල.  ඔය මගේ දැන් මිනිහා වික්‍රමරත්න  ඒ දවස් වල අපේ ගේ පැත්තේ දැවටෙනවා . හරි හමන් රස්සාවක් නැහැ. මගේ කලින් කසාදේ විකී තමයි එහෙ මෙහෙ එක්කගෙන ගියේ මෙයාව එයාගේ වැඩ වලට. බදුල්ල ප්‍රදේශයේ  ටිකක්  පස්සර පැත්තට වෙන්න  අපට ඉඩ කඩම් වගයක් තිබ්බනේ  පුතේ.  ඒවා බලන්න මේ දෙන්නා ගිහින් තිබුනා. විකීයි මේ වික්‍රමරත්නයි. ඊට පස්සේ මේ ගොල්ල ඔය මඩොල්සිම පැත්තෙත්  ගියාලු. එහම්ම තව තේ වතු වගයකුත් බලන්න ගියාලු. ඒවා බලන්න ගිය වෙලේ අර ලුණුගල කියන ගම පැත්තේ මැණික් හම්බවෙන ආරංචියක් ගෙනත් තියනව ඔය වික්‍රමරත්න. විකී ගිහින් තියනවා මෙයා එක්ක ඔය කියන මැණික් හම්බවෙන තැන් බලන්න. ඔය වෙල් යායක් හෙම තියෙන තැනක තමා මැණික් හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දිගටම වළවල් හාරාගෙන මැණික් ගරනවලු. මුලදී  පොලිසියෙන් මැණික් ගරපු  අය අල්ලලා. පස්සේ  පොලිසියේ අයත් මැණික් ගරන්න උදව් කළාලු. විකී,  වික්‍රමරත්න එක්ක ගිහින් පස්සේ ආයේ හවස් වෙලා වගේ ආයෙත් ගිහිල්ලලු ඒ පැත්තට. ඕක කිව්වෙත් වික්‍රමරත්නම  තමයි. විකී උඩහ පැත්තට හවස් වෙලා ගිය වෙලේ මැණික් ඉල්ලම් ගන්න හාරපු   වලක වැටිලා තිබෙනවා. ඔළුව ඒ ළඟ ගලක වැදිලා හුඟක් ලේ ගිහින්. එතනම හුස්ම ටික ගිහින්. දවල් වෙලා ඒ පැත්තේ ගිය කෙනක් දැකලා පොලිසියට කියල  "

නිලන්ත ගේ මව මදක් නැවතී දිග සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය.

"මමත් පස්සේ එතනට ගියා. මට හිතා ගන්න අමාරු වුනා විකී  එහෙම ගියා කියල. කාටවත් නොකිය"

"එතකොට   වික්‍රමරත්න මොකද කලේ එයාගේ මුල් නම වින්ස්ටන් නේද? ඔය ඇත්ත නමමද?" ගිහාන් විචාළේය.

"ඔව් වින්ස්ටන් ඩැනියෙල්. වින්ස්ටන්  රා වගයක් හම්බ වෙලා බීවලු. පාලම පහු කරලා ටවුමට යනකොට දකුණු පැත්තේ තැබෑරුම ක් තියනවා, එතනිං. ඊට පස්සේ ලුණුගල  රෙස්ට් හවුසියේ දීත් පොලිසියේ කවුද එක්ක  බීල, රෑ වෙලා නිසා  නිදා ගන්න ගියාලු"

"ඇන්ටි එතැනදී සැක හිතුනේ නැත්ද? එයා එක්ක ආපු නිලන්තගේ හැබෑම තාත්තා රෑ ආවේ නැති වුනහම මිනිහ නිදා ගන්න ගියේ පොඩ්ඩක් වත් හොයල බලන්නේ නැතිව " ගිහාන් නැවතත් විචාලේ ඔහුට ඒ සිද්දිය වටහා ගැනීමට අසීරු වූ හෙයිනි.

"ගිහාන් පුතේ මම ඒක එයාගෙන් ඇහුවා. වින්ස්ටන් කීව නරුම කතාවක් , ආ මම හිතුවේ ඔය ලැයිම් පැත්තේ චීත්තයක් අස්සේ රින්ගන්න යන්න ඇති කියල . එනිසා එයා නිදා ගන්න ගියා බලාන ඉඳල කියල. ඔන්න ඔහොම. එතැන හිටි මිනිස්සු හිනා වුනා. පොලිසිය වුනත් කීවේ මැණිකක් ගන්න බලන්න   හවස යන්නැති. පස්සේ කුඹුකන් ඔය පැත්තේ ඇවිදින්න ගිහින් පය ලිස්සන්න ඇති කියල. මට සැක තිබුනත් මොනවා කරන්නද ? ළපටි දරුවෙක් එක්ක තරුණ අම්ම කෙනෙක්. මාව මුකුත් නොදන්න කෙනෙක් හැටියට තමයි හැමෝම සැලකුවේ." ඇගේ පැරණි ස්වාමි පුරුෂයා විකී මතක් වීමෙන්දෝ ඇගේ නෙතින් කඳුලක් ගලා යනු ගිහාන් දිටීය.

"ඇන්ටි" ගිහාන් ඇගේ අතක් අල්ලා ගත්තේය.

විශාඛා අනිත් පසින් "අම්මේ " කියා නැන්දණියගේ උරහිස සෙමින් පිරි මැද්දාය.

"විකී එහෙම නරක කෙනෙක් නෙමයි දුවේ. අපි දෙන්න හුඟක් ආදරෙන් හිටියේ. බැන්දේ විවාහ යෝජනාවකින් වුනාට අපි ආශ්‍රය කළා කාලයක්. මම මාස ගාණක පොඩි දරුවෙක්  එක්ක තනි වුනාම නෑදෑයෝ කිව්වා ඉඩ කඩම් දේපළ බලා ගන්න කෙනෙක් නැහැ. ළමයට තාත්ත කෙනෙක් ඕනේ. වින්ස්ටන් වික්‍රමරත්න ව  බඳින්න කියල. මට කොහෙත්ම ඕනේ වුනේ නැහැ. කැමැත්තක් තිබුනෙම නැහැ. වින්ස්ටන් හෙමින් සීරුවේ කට්ටියම එයාගේ පැත්තට හරවගෙන. විකී හිටියත් එයා තමා හැමදේම බලා ගත්තේ කරේ කියල ලොකු රඟපෑමක් කලා.  අන්තිමේදී විකී ගේ අම්මයි මගේ අප්පච්චියි දෙන්නම බල කලා.  විකී ගේ තාත්තා නැති වෙලානේ  එතකොට. මාමලා තමයි බැලුවේ පවුල ගැන. එයාලා වින්ස්ටන්ට කැමතියි, ඒගොල්ලන් ගේත් නෑදෑයෙක් වෙන නිසා. අම්මලා කීවේ මිනිහ මැරිච්ච කණවැන්දුම් ගෑණියක් කවුද භාර ගන්නේ. වින්ස්ටන් ඒකවත් බලන්නේ නැතිව උඹව භාර ගන්න එක උඹේ පෙර පිනක් කියල. කවුරුත් කල්පනා කළේ නැහැ ඉඩකඩම් වතුපිටි අයිති මට. වින්ස්ටන් එන්නේ ඒවල තණ්හාවට කියල. මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මං කියන දේ කවුරුත් ඇහුවේ නැහැ. වින්ස්ටන්ට මාව කසාද බැඳලා දුන්න "

"මේක නිලන්තට කියන්න  ඕනෙමයි නැන්දේ " ගිහාන් තව දුරටත් ඇන්ටි කියා ඇමතුවේ නැත. නැන්දේ යන ඇමතීමෙහි වඩා ළගන්නා සුළු ස්වභාවයක්ද සමීප භාවයක් ද ඔහුට දැනුනි.

"තවත් නිලන්ත ගෙන් හංගගෙන ඉඳල වැඩක් නැහැ අම්මේ. එයාට එන්න කියල අම්මා විස්තරේ කියන්න. වික්‍රමරත්න ව  හිරේ දාන එක තමයි දැන් කරන්න තියෙන්නේ. මට මොනවා වුනත්. මම කියන්නේ ඌ මිනිමරුවෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. නිලන්තගේ තාත්තා මරලා තල්ලු කරන්න ඇති. නැත්නම් තල්ලු කරන්න ඇති දෝනාවට වැටෙන්න. අම්මගේ වැඩිහිටියෝ උගේ කට්ටකමට  අහු වෙච්ච  එකනේ පුදුමේ." විශාඛා සිටියේ දැඩි කෝපයකින් තැවෙමිනි.

"නැන්දා , මම කෝල් එකක් ගන්නවා නිලන්තට. නැන්දා කියන්න එයාට එන්න කියල ලංකාවට වහාම. මම කියන්නම් කාරණාව හුඟක් වැදගත් එකක් කියල" ගිහාන් දුරකථන ඇමතුමක් ගත්තේය.

තමන්ගේ මව මෙන්ම තාවකාලිකව අත්හැර ගිය බිරිඳද ගිහාන්ගේ නිවසේ සිටීමත් ගිහාන් විසින් වක්‍රාකාරයෙන් ඔහු ගේ පැමිණීම වැදගත් බවත් හෙළිදරව් කිරීමකට සූදානම්  බවත් පැවසීම නිසා දින දෙකක් තුල නිලන්ත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඊලඟ සති කිහිපය ඔවුන්ට ඉතා කාර්ය බහුල එකක් විය. ගිහාන්ද තම මිතුරාට ප්‍රශ්න කිහිපයක්ම විසඳා ගැනීමට උදව් කළේය. ඒ අස්සේ හිතේ මුල්ලක සැඟවී සිටිමින්  තාන්යා එබිකම් කළාය.  ඇගෙන් දුරකථන ඇමතුමක් හෝ ලියුමක් නොලැබීමේ සංකාවෙන් ඔහු පෙළුණේය.

නිලන්තගේ මව් පාර්ශ්වයේ නෑදෑයකු වන උසස් පොලිස් නිලධාරියෙකු ගේ ද උදව්වෙන් වින්ස්ටන් වික්‍රමරත්න නිවසින් එළවා දැමීමට නිලන්තට හැකිවිය. රන්ජනී උසාවි ගෙනයන බවට තර්ජනය කර වින්ස්ටන් ලියාගත් ඉඩම් කීපයක් ද නැවත ලබා ගත් නිලන්ත ඉන් එකක්  රන්ජනී ට ලියා දුන්නේ විශාල මුදලක් ද දරුවා වෙනුවෙන් බැංකුවේ තැන්පත් කරමිනි.  වින්ස්ටන්ට එරෙහිව නඩු යාමට  ළඟම නෑදෑයින් මෙන්ම නිලන්තද විරුද්ධ විය. ඔහු කෙසේ හෝ විශාඛා කැමති කරවා ගත්තේ පුවත්පත් ආදියේ  විස්තර පලවුව හොත් ඇතිවිය හැකි තත්වය ගැන පැහැදිලි කරමිනි. ඒ වෙනුවට කිහිප දෙනෙකු සමග ගොස්  වින්ස්ටන් ව සුමානයක් රෝහල් ගත වීමට තරම් රළු කිරීමට නිලන්තත් මාමා කෙනෙකුත් වග බලා ගත්හ .    වින්ස්ටන්ට වෙනත් අනියම් බිරිඳක් හා දරුවෙක් මොණරාගල පැත්තේ  සිටින බව ඔවුන් දැන  ගත්තේද  වින්සන් පලා යන්නට පෙර ඔවුන් බලා ගන්නා ලෙස නිලන්ත ඉදිරියේ  බැගෑපත් වූ බැවිනි.

සියල්ල සතුටුදායක ලෙස නිමාවූයේ නිලන්තගේ  මහ ගෙදර විකුණා නිලන්තගේ මව නිලන්ත, විශාඛා  හා මුණුපුරා   සමග ජිවත් වීමට පැමිණීමත් සමගය.

මවට ඉන්දියාවේ බෞද්ධ  සිද්ධස්ථාන වන පුදා  ගැනීමට නිලන්ත විසින් සැලසුම්  කල සංචාරයට යාමට පෙර සමු ගැන්මට ඔහු  ගිහාන් හමුවීමට පැමිණියේය. නිලන්ත, විශාඛා හා ගිහාන් සමග  ඊටත් කලින් ලුණුගල ප්‍රදේශයට ගොස් තම පියා මියගිය ස්ථානයද මිහිදන් කළ ස්ථානයද  දැක බලා ගත්තේය. ඔහුගේ මව කිසියම් සොහොන් කොතක මල් පොකුරක්  තැන්පත් කරනවා නිලන්තට  යාන්තමට මතකයේ තිබුණි. වින්ස්ටන් ඉන්පසු ඒ සොහොන් කොතට යාම නිලන්තගේ මවට තහනම් කොට තිබුණි.

"දැන් මොකද වෙන්නේ තාන්යා කවද්ද එන්නේ? මේ ප්‍රශ්න  නිසා උඹෙන් අහන්න බැරි වුනා"

"මාස කීපයක ඉඳන් ලියුමක්  නැහැ. කෝල් එකක් දුන්නෙත් නැහැ. මම තානිච්කා ගේ අම්මලාගේ ගෙදරට කතා කළා . එහෙන් ගන්නෙත්  නැහැ. ගෙදරින් ගිහිල්ලද දන්නේ නැහැ. තාත්තා ගේ රස්සාව අවිනිශ්චිත කතාවකුත්  ලියලා තිබ්බ. මම සල්ලි යැව්වේ නැහැනේ ටිකට් එක අරන් එන්න මෙහෙ. ඒකටත් ටිකක් අමනාපෙන් වගේ එයා හිටියේ.   මංගල්ලෙට අරවට මේවට වියදම් වුනු නිසා අතේ සල්ලිත් නැහැ, අනික එයා එනවනම් කීයක්  හරි අතේ තියෙන්නත් ඕනේ."

"ඉතින් බං හයියෝ උඹ වගේ එකෙක්. මගෙන් ඉල්ලුව නම් නොදී ඉන්නවද" නිලන්ත ගිහාන් ගේ පිටට වැරෙන් පහරක් ගැසුවේය.

"උඹටත්  කරදර නේ බන් ඒ දවස් වල? උඹේ ගෙදර ප්‍රශ්න  හෙම නිසා මම ඉල්ලන්න හිතුවේ නැහැ"

"කමක් නැහැ. මම දැන් දෙන්නම් ඉන්දියාව ට ගෙනියන්න ගත්ත සල්ලි මෙතන තියනව උඹ තාන්යාට යවපන්. දෙන දවසක දීපන්. නැත් නම් දෙන්න ඕනෙත් නැහැ. මට  බෑන්ක් එකෙන්  හෙට සල්ලි ගන්න පුළුවන්. තාන්යා ආවහම  අපි කට්ටියම  කොහේ හරි යමු ලංකාව පෙන්නන්නත් එක්ක. මට නිකන් මැවිලා පේනවා, විශාඛා යි , තාන්යා යි උඹව  මැදි  කරගෙන උඹ නිකන් හඳ වගේ මැද දිලිසි දිලිසි. වටේ තරු දෙක එක්ක  යන හැටියි, මං අහිංසකයා  පොඩි එකා එක්ක බෑග් ටික කරේ එල්ලන් යන හැටි."

"ඒ මොකක්ද බං ඒ කතාවේ තේරුම මම හඳ  වගේ උන් තරු වගේ, පිස්සුද උඹට"

"ඇයි බං පරණ  පෙම්වතියයි අලුත් පෙම්වතියයි"

"ඉතින් බලපන් මම විශාඛා ට ආදරේ මගේ නංගිට වගේ කට කැඩිච්ච කතා කියන්න එපා බං"

"ගිහාන්, මම දන්නවා. අපි දෙන්නම ආදරේ කලා. උඹ ලකි වුනා ඉස්සෙල්ල. මට හරිගියා ඊට පස්සේ. ගිහාන්...." නිලන්ත මදක් කල් ගත්තේ ඊලඟ වදන් පෙළ කියා ගැනීමට නොහැකිව මෙනි.

"මම උඹට ස්තූති කලේ නැහැ උඹ කළ උදව් වල ට. උඹ මගෙයි විශාඛා ගෙයි කසාදෙට ආශීර්වාද කළා විතරක් නෙමෙයි ඒ කසාදේ බේරලත්  දුන්න. මගේ පුතාගේ අනාගතෙත් බේරුනා. උඹ මගේ හොඳම යාළුවා විතරක් නෙමේ බන්. උඹ මගේ එක බඩවැල කඩන් ආපු සහෝදරයා වගේ. " නිලන්ත හැඟීම් බරව ගිහාන් වැළඳ ගත්තේය.

ගිහාන් ටද ඔහුගේ උගුර සිරවෙන්නාක් මෙන් දැනුනි.

"නිලා මට සතුටුයි මචං. ගොඩක්ම. අර උඹ කිව්වා  වගේ  තාන්යා ආවම, අපි ඔක්කොම  කොහේ හරි ඇවිදින්න යමු. මට හිතුනා උඹල දෙන්න මට ඉන්නවා නේද කියල කවුරු නැතත්. උඹ කොහොමත් තාන්යා ව කොයි කාලේ ඉඳන්ද දන්නේ. මට යාළුවෙක් ඉන්නවා ප්‍රියාන් කියල. උඹත් දන්නවා. ඌ ලන්ඩන් ගිහින් ඉන්නේ. මම අහල බලන්න ඉන්නේ  මොස්කව් වල කන්ටැක්ට් තියනවද කියල. උගෙත් කෙල්ල එහෙනේ. "

"අර මොස්කව් ඉඳන් බිස්නස් කරන සෙට් එකක් ඉන්නවා නේද තවම. උන්ගෙ එකෙක් ගෙන්  ඇහුවොත් "

"මම කැමති නැහැ  බං. ඒ දවස් වලත් වැඩි සම්බන්ධයක් තිබ්බේ නැහැනේ. බැරිම වුනොත් කොහොම හරි ටිකට් එකක් හදාන යනවා. මොකක් හරි හේතුවක් නැතිව තාන්යා සද්ද නැතිව  ඉන්නේ නැහැ. මම ලන්ඩන් ඉන්න කාලේ සමූහ ගොවිපලක අල ගලවන්න ගිහින් හිටියා. දැන් එයාට රස්සාවකුත් ලැබෙන්න කල් හරි. එහෙම ගියාද දන්නේ නැහැ"

"උඹ කියපන්කො මොකද වෙන්නේ කියල කතා කරලා බලල. විශාඛා උඹව මතක් කරන්න කිව්වා. මෙන්න අම්මයි විශාඛයි දෙන්නම කෑම වගයක් උයල. උඹට දවස් ගානක්  තියාගෙන කන්න. මාළු ඇඹුල් තියල්, සම්බෝල, හාල් මැස්සෝ බැදල.කරවිල බැදලා. වම්බටු  තෙල් දාල. යකෝ මටවත් මෙහෙම හදන්නේ නැහැ. තවත් මොනවද රස කැවිලි වගේකුත් තියෙනවා. උඹ උඹලගේ මහා  ගෙදර යන්නෙත් නැතිව තනිවම උයන් කනවා කියල ඒ ගොල්ල දුක් වෙනව."

"ඒ ගොල්ලෝ එහෙම තමයි දුක් වෙන්න ගත්තම. ඒත් ඉතින් මට  රුසියාවේ ඉන්න කොට උයාගෙන කාල පුරුදු  නේ මචන්. උඹල එහෙනං හොඳින් ගිහින් වරෙල්ල."

නිලන්ත නැවතත්   තදින් වැළඳ ගත් ගිහාන් ඔහුට සමු දුන්නේ තම යහළුවාගේත් ආදරණීය යෙහෙලියගේත්  අවුල් වී විනාශ වන්නට ගිය විවාහයත්, ජිවිතත් ඒ අවදානමෙන් බේරීම ගැන වූ උපන් හෘදයන්ගම සතුටකිනි.

ලිපියක් නැතිව දුරකථන ඇමතුමක් නැතිව අතුරුදන්ව සිටින තාන්යා සොයා ගත යුතුව තිබේ. මුලින්ම එදා හවසම ප්‍රියාන් ට කතා කර උදව් ඉල්ලීමට ඔහු සිතා ගත්තේය.

~~~~~මතු සම්බන්ධයි

පින්තූරය උපුටා ගත් වෙබ් අඩවිය.

Friday, 21 September 2018

සියාමා ගැන තරුරසී ගෙන් සඳහනක්

සියාමා !
( විචාරයක් නොවේ. හිතවතකුගේ පොතක් හඳුන්වා දීමක් පමණි.)
වාර්ගික, ආගමික අන්තවාදය සමාජය මත පතිත කරවන මරණයේ, වේදනාවේ බියකරු අන්ධකාරය අපි හොඳින්ම අත්දැක ඇත්තෙමු. ලෝකය දියුණු වී ඇතැයි කොතරම් පම්පෝරි ගැසුවත්, තවමත් අපට මිනිසුන් බෙදා වෙන් නොකොට එකා වන්ව ආදරයෙන් පිළිගන්නට, වැළඳගන්නට තරම් පොහොසත් අධ්‍යාත්මයක් සකස් වී නැත. එහි ඛේදනීය ඉරණම බොහෝ අවස්ථාවල ඉතා දරුණු ලෙස බලපවත්වන්නේ දරුවන් සහ කාන්තාවන් කෙරෙහිය.

‘‘සියාමා‘‘ ද ඉන් එකියකි. අන්තවාදී ආගමික මතවාද නිසා ආසියානු රටකදී බිහිසුණු ඉරණමකට මුහුණ දුන් පවුලක හුදකලා වූ දැරියක් පසුකලෙක යුවතියක ලෙස එංගලන්තයේදී ජීවිතයට මුහුණ දෙන ආකාරය මේ කතාවෙහි අන්තර්ගත ය.
බ්ලොග් නිසාම මහ පොළවට බට සහෝදරත්වයකින් දැන හඳුනා ගත් ‘‘කොළඹ ගමයා‘‘ බ්ලොග් අඩවියේ රචක අජිත් ධර්මකීර්ති සහෝදරයා කොටස් වශයෙන් බ්ලොග් අඩවියේ පළ කළ මේ කතාව එදත් මා බොහෝ කම්පනයට පත් කළා මතකය. කඩිමුඩියේ බ්ලොගයට ලියැවෙන කතා, කඩිමුඩියේ පොත් වීම පිලිබඳව මගේ එකඟත්වයක් නැතත් මේ කෘතිය කියවා බලන්නැයි ඇරයුම් කරමි. අන්තවාදය විසින් මනුෂ්‍යත්වය හෙළාලන අගාධයේ තරම යම් තරමකින් හෝ වටහා ගන්නට, සංවේදීවන්නට ඉන් නොනැවතී, සියලු ආකාර අන්තවාදයන්හි කෘෘරත්වයට එරෙහි වන්නට සියාමාගේ කතාව බලපෑමක් කරනු ඇත.
සියාමා වෙනුවෙන් වචනයක් ලියන චූලානන්ද සමරනායකයන් මෙලෙස උපුටා දක්වමි.
‘‘කිසියම් රටක් කවර හෝ අන්තවාදයක සරණ යන්නේ නම් එය අවසන් වනු ඇත්තේ මිහිපිට නරකාදියක් තනා ගනිමිනි. ලංකාවේ අප දැනටමත් ඒ මඟෙහි සෑහෙන දුරක් පැමිණ හමාරය. ජාතිවාදයත්, ආගමික අන්තවාදයත් අතර දෝලනය වෙමින් මෙතෙක් අප ආ ගමන තුළ අන්තවාදීන් යුක්තිය සහ සාධාරණත්වය යටපත් කරමින් තර්ක බුද්ධියට පහර එල්ල කරද්දී අප දුටුවේ අතලොස්සක් හැරුණු විට යහපත් යැයි කියනා බහුතරයක් නිහඬවත පුරන ආකාරය සහ දේශපාලකයන් යැයි කියාගන්නා අවස්ථාවාදීන් බොර දියේ මාළු බාන ආකාරයයි.‘‘
‘‘සියාමා‘‘ - අජිත් ධර්මකීර්ති
රු.350.00
අහස ප්‍රකාශනයක් ( J 310 ) අහස පොත් කුටියෙන් ලබා ගත හැකිය.

~~~~~~~~~~~~~~~~~
ස්තූතියි තරුරසී


Wednesday, 12 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - සමාවෙන්න විශාඛා,

කලින් කතාව - ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (41) -පද් මොස්කව්නියේ වේචෙරා

මතකය රිදුම් දෙන සුළුය. ඇයගෙන් ලැබෙන ලිපි හදිසියේම නැවතී ඇති සෙයක් ඔහුට දැනේ. හේතුවක් සොයන්නට ප්‍රේමයෙන් මැඩුණු හිත ඉඩ නොදෙයි. අවසන් ලිපියේ තිබුනේ කුමක්දැයි සිතීමට ඔහු වෙහෙස විය.

ඇගේ පියා  රැකියාව කරන කම්හලේ පඩි ගෙවීම නතර කර දමා ඇත.  ඒ වෙනුවට ඔවුන්ට භාණ්ඩ වලින් පඩි ගෙවති. ඈ  පවසන පරිදි  පඩි ගෙවන්නේ අර්තාපල්, පාන් , සීනි, මස් ආදියෙනි. දෙවැනි ලෝක යුද සමයෙන් පසු එවැනි කාලයක් ආවේ දැන්ය.  ඇය ඉගෙන ගන්නේද  අසීරුවෙනි. උද්ධමනය කෘතිමව පාලනය කරමින් තිබූ සෝවියට් දේශයේ බඩු මිල ඉහල ගියේ නැත. සීනි හෝ හාල් කිලෝවක මිල 1984 දීත් 1988 දීත් එක හා සමාන විය. පාන් ගෙඩියක මිලද එසේමය. නමුත් දැන් එවැනි භාණ්ඩ වල  මිල ඉහල දැමීමට  ඉඩ දී තිබේ. භාණ්ඩ මිල ඉහල යාමත් සමග දෛනික ජිවිතයේ වියදම් පියවා ගැනීමටත් අසීරු බව ඇය ලියා  තිබුණි.

ඔහු කිසියම්  මුදලක් , ඩොලර් වලින් ඇය අත තබා ඒමට සැරසුණු මුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. එනිසා ඔහු හඳුනන සිසුවකුට ඒ මුදල් භාර දී ආවේ අවශ්‍ය වුවහොත් තාන්යාට ලබා දීමේ අටියෙනි. නමුත් ඒ සිසුවා එංගලන්තයට යාමට  එය වියදම් කර තිබුණි. එනිසා කෙසේ හෝ  ඩොලර් සියයක පමණ මුදලක් සොයා ගත් ගිහාන් වෙස්ටන් යුනියන් නම් මුදල් යවන සමාගමක  ආධාරයෙන් මොස්කව් වලට යැවීය. නමුත් ඉන්පසු ඔහු අත වැඩි මුදලක් ගැවසුණේද  නැත.

ඇය දැකීමට නම් ගෙන්වා ගැනීමට මුදල් යැවිය යුතුය. සෝවියට් දේශයට යාමට වීසා හදා  ගැනීමට ක්‍රමයක් නැත. එකම ක්‍රමය පශ්චාත් උපාධියක් කෙසේ හෝ හදාගෙන යාමය. මේ දෙකටම මුදල් අවශ්‍යය. නැත්නම් පරණ හැඳුනුම්කම් ඇති මොස්කව් නැවතී ව්‍යාපාර කරන සිසුන් සම්බන්ධ කර ගත යුතුය. ගිහාන් ට එයටද කැමැත්තක් නැත.

ඒ අතරේම සෝවියට් දේශයේ කුමන්ත්‍රණයක් ගැන කතාබහක්  ආරංචි විය. සියලුම සෝවියට් සමූහාණ්ඩු මධ්‍යම රජයෙන් ඉවත්වී ගොස්ය. ගොර්බචොව්  ගෙන් බලය අල්ලා ගැනීමට සෝවියට් කොමියුනිස්ට්  පක්ෂ මධ්‍යම කාරක  සභාවේ පිරිසක් උත්සාහ දරා ඇත. යෙල්ට්සින් ටැංකියක් උඩ නැග  කතා කරනු ගිහාන් රූපවාහිනියෙන් දුටුවේය. එම කුමන්ත්‍රණය පරාජය වී ඇත.

ප්‍රියාන් හා තවත් සිසුන් ගෙන් ඔහුට වැඩි විස්තර දැන ගැනීමට හැකිවිය. මිනිසුන්ට පඩි ගෙවන්නේ නැති බවට තාන්යා ලියා තිබූ දේවල් සත්‍ය බව ඔහුට  දැන ගන්නට ලැබුණි. කුඩා කඩ හා සාමාන්‍ය    ප්‍රමාණයේ ව්‍යාපාර බිහි වී ඇත . ඒවායේ සමුහ පාලනය ක්‍රිශා (වහල) නමින් රුසියානු භාෂාවෙන් හඳුන්වන මාෆියා කණ්ඩායම් වලිනි. ඔවුන්ට කප්පම් නොදුන්නොත් ව්‍යාපාර කල නොහැකිය. ඔවුන් මිනිසුන් මරා දැමීමට පවා එළඹෙන බව දැනගත්  ඉමහත් විස්සෝපයට  පත්විය. සෝවියට් දේශයේ තිබූ ආරක්‍ෂිත භාවට නැතිවී ඇත.

තව තවත් දිළිදු භාවයටත් රැකියා විරහිත භාවයටත්  ඇද දමන ලද රුසියානුන් ජාතිවාදී වී ඇති බවටත් ඇතැම් තැන්වල  විදේශිකයන්ට පහරදීම් කරන බවටත් ඔහුට ආරංචි විය.

ප්‍රියාන් සමග  කතා කරද්දී දැනගන්නට ලැබුනේ යෙල්ට්සින් ටැංකිය උඩ කතා කරන දවසේ ඔහුද ඒ අසල අර්බාත්සකයා වල සිටි බවයි. සෝවියට් හමුදා මොස්කව් නගරයේ රැස්ව  සිටි ජනතාවට විරුද්ධව අවි භාවිතා කිරීම ප්‍රතිකෙෂේප කළහ.

"  මේ රතු හමුදාව  ඇත්තටම දේශප්‍රේමී බං. එහෙම හිතුනෙම නැහැ ඉස්සර.ඒ කියන්නේ උන් ඉන්නේ ජනතාව පැත්තේ.  බලපං මුන් තමන්ගේ මිනිසුන්ට විරුද්ධව වෙඩි තියන එක ප්‍රතික්ෂේප  කලා. ගොර්බචොව් ගේ බලයත් ඉවරයි එතැනින්ම"

"දැන් මොකද වෙන්නේ "

"රූබල් එක තව බැහැල. එයාරෝෆ්ලොට් ටිකට්, ලන්ඩන් යන කෝච්චි ටිකට්  ගණන් ගිහින්. කෑම ගණන් ගිහින්. ආණ්ඩුවේ සුපර්මාකට්, ගොඩනැගිලි, පොඩි කම්හල් කුණු කොල්ලෙට විකුණනවා. සල්ලි තියෙන ඕන මාෆියා කාරයෙකුට, කේජිබී කාරයෙකුට , හොරෙකුට ගන්න පුළුවන්. යෙල්ට්සින් කාරයා හැම වෙලේම බීපු ගමන්. හොඳකට තියෙන්නේ රුස්සන්ට  දැන් ඕන දෙයක් කියන්න, ඕන කෙනෙකුට බනින්න නිදහස  තියෙනවා." ප්‍රියාන් කීවේ අවඥාවෙන් ද යන්න ඔහුට නොවැටහුණි.

නංගීගේ විවාහය හොඳින්  කිරීමට ගිහාන් සමත් විය.

අම්මාට හා නංගීට කොළඹ විශාල හෝටලයක අධික මුදලක් ගෙවා විවාහය ගැනීමට අවශ්‍යව තිබුණි. එයට ගිය වියදමද තවම ගෙවා අවසන් නැත. එය විකාර වියදමක් යැයි ඔහුට සිතුනද  ලංකාවේ කටයුතු කෙරෙනා අන්දමට හැඩ ගැසීම වැදගත් යයි සිතා නිහඬ විය. ඔහු කම්පාවට පත්වුණේ   ඔවුන්ට අයත් කුඩා ඉඩමක් ද විකිණීමට  සිදු වීමෙනි. කොළඹට එතරම් දුර නැති වුවත් තවමත් කුඹුරු හා තුරු වැල් පිරී ඇති  සුන්දර පෙදෙසක පිහිටි එම ඉඩමේ කෙසේ හෝ නිවසක් තනා ගෙන තාන්යා සමග ජිවත් වීමට ගිහාන් සිතා සිටියේය. ඒ අදහස නිකම්ම අත්  හැරීමට සිදුවිය .

ගිහාන්ගේ හිත රිදුනේ නංගි තාන්යා අමතක කිරීමට ගිහාන්ට කි වේලේය.
"අයියේ ඔය පිටරට සුදු ගෑණු විශ්වාස කරන්න බැහැ. අනික රුසියන් කෙල්ලෝ කිව්වහම මෙහෙ ප්‍රසිද්ධ මොනවටද? හෝටල් ගානේ ඉන්න අයටනේ. හේෂාන් නුත් කීව ඔය කතාව "

 "ඇයි හේෂාන් ගිහිල්ල පාවිච්චි කරලා තියනවද?හොයල බැලුවද ඔයාට බොරු කියල ගියාද කියල? ඇයි උන් විතරද වල්  කමේ යන්නේ, අනිත් රටවල ගෑණු යන්නේ නැත්ද?  මම දන්නා තරමට  රුසියාවේ හෙම හිටිය ලංකාවේ, ඉන්දියාවේ, අප්‍රිකාවේ සමහර  කෙල්ලන්ගේ  පට්ටන්දරේ දිග අරින්නද  "  ගිහාන් කඩා පැන්නේය.

"ඔය ඉතින් ඔයත් එක්ක කතා කරන්න  පුලුවන්ද? හොඳ අය ඇති . මම කියන්නේ ඔයාගේ හොඳට. මෙහෙ ගෙනල්ල ඔයාට ලෙහෙසි වෙන්නේ නැහැ. අම්මව තාත්තව  බලන්න වෙන්නේ මට විතරද. ඔයා එහෙ හිටිය කාලේ මම බැලුවේ. දැන් ඔයාගේ වාරේ."

"ආ ඒකද දැන් ඔයාගේ ප්‍රශ්නේ? දෙමාපියෝ ගැන මම බලා ගන්නම්. ඔයා ඉන්න කරදර නොවී. තාන්යා අම්ම තාත්තා ඔයාට වැඩිය හොඳට බලා ගනී"

"අනේ ඔයා  ඉන්නේ හීන ලෝකේ. අපි දන්නේ නැත්ද? ඒ ගෑණු කෙනා දැන් වෙන කවුරුහරි යාළු වෙලත් ඇති"

"පලයන් යන්න. උඹ දන්නේ මොනවාද මමයි තාන්යයි ගැන " ගිහාන් නංගිව එළවා ගත්තේය.

මව සිටියේ නංගීගේ පැත්තේ බව ඔහු දැන  සිටියේය.
පියානම් කතා කළේ වඩා අනුකම්පා පෙරදැරිවය. ඔහු මුලින් ආලය  කල ද්‍රවිඩ පෙම්වතිය සිහි වෙන්නටද ඇත.

"පුතා කැමතිනම් මගේ අමනාපයක් නැහැ. හිත ගිය තැන මාළිගාව කියනවනේ. පුතා ගේන ඕන දැරිවියක් මගේ දුවෙක්" තම පියාණන් දැඩිව වැළඳ ගැනීමට තරම් ස්නේහයක් ගිහාන්ගේ සිතේ පහලවිනි. එහෙත් තාන්යා ගේ පියා ඇලෙක්සෙයි වැළඳ ගත්තාක්  මෙන් හුරුවක්  ලංකාවේදී  පුරුදු නැත.

දොරේ සීනුව නොකඩවා නාදවිය. ඒ මදිවාට දොරට තඩි බාන හඬද ඇසුනි.

 "විශාඛා, මොකද මේ පොඩිත්තත් එක්කම "

විශාඛා පොඩි දරුවාද රැගෙන දොර අසලය. එදා හිත හදාගෙන ගියාට පසු ඇය දුටුවේ අදය.

පොඩිත්තා රැගෙන නිවස තුලට පැමිණි විශාඛා දරුවාට  සෙටිය උඩ හිඳ ගැනීමට සලසා ඇය රැගෙන ආ සෙල්ලම් භාණ්ඩ කිහිපයක් හා පාට කරන  පොතක් දරුවා අතට දුන්නාය.

නිවසේ තිබූ කුඩා කෑම මේසයේ පුටුවක් එලියට ගෙන පැත්තකින් මෙන් හිඳගත් ඈ තවමත් විමතියෙන් මෙන් දොර අසල සිටගෙන සිටි ගිහාන් දෙස බැලුවාය.

"මම පහුගිය දවස් කිහිපයම කල්පනා කලා ගිහාන් අයියේ. අම්මල ගාවට යනවද දරුවා එක්ක ඉන්නවද තනියම  කියල. කෝච්චියට  පනින්නත් හිතෙනවා වෙලාවකට. මං මෙහෙ ආවේ අයියේ ..." විශාඛා වාක්‍යය  අවසන් කිරීමට  තැතනුවාය.
ගිහාන් ඈ දෙස බලා සිටියේ තාන්යා පිලිබඳ කල්පනාවේ ගිලී සිටියදී හදිසියේ මෙන් පැමිණි විශාඛා නිසා තෝන්තු වී ගිය මනසින් යුතුවය.

"ඔයාට මං ගැන පොඩ්ඩක් හරි අදහසක් නැද්ද ගිහාන් අයියේ. මං දරුවත් අරන් ආවේ ඒකයි. මං හුඟක් අසරණයි.  මට යන්න  කියන්න එපා අයියේ එදා වගේ"

ඇයට කිව යුත්තේ  කුමක්ද යන්න ඔහුට එකවර සිතාගත නොහැකි විය.

"නංගි එහෙම කරන්න බැහැනේ අපි දෙන්නට. ඔයා තවම නිලන්ත බැඳලා ඉන්නේ. ඔයා  නීතියෙන් වෙන්වුනත් නිලන්තගෙන් මට..." ඔහු කීමට ගිය ඉතිරිය ගිල ගත්තේය.
  " නිලන්තට  එදා තරහට ගියාට ආපහු එයි. ඒ දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉඳන් නැවකට යන්න පැපුවා යනවා කීවට ගිහින් නැහැ.  මම දන්නවනේ මගේ යාලුව ගැන. නංගි මම කතා කරන්නම් එයාට. "

"අයියේ, ඒ දීගේ හරියන එකක් නැහැ. ඔයා නොදන්නා  ගොඩක් දේ තියනවා. මට ඔයා ඇරෙන්න යන්න  වෙන තැනකුත් නැහැ වගේ අයියේ.  ඔයා මාත් එක්ක තවම තරහද මම නිලන්තව බැන්දට. ඔයා රුසියානු ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා කියල දැන ගත්තට පස්සෙයි මම නිලන්තට කැමැති වුනේ. එයා ඔයාගෙත් හොඳම යාලුවා නිසා. අනික නිලන්ත  ඒ කාලේ ඉඳන්ම  මට කැමැත්තෙන් හිටියේ කියල මම දන්නවා. "

"නංගි  මමම තමයි නිලන්තට කිව්වේ  තාන්යා ගැන ඔයාට කිව්වට කමක් නැහැ කියල. ඔයා නිරපරාදේ මං ගැන බලාපොරොත්තු තියන් එහෙම ඉන්නවද කියල නොදැන හිටි නිසා "

"නොදැන හිටියා කියන්නේ අයියේ. අනේ ඔයාට එච්චරටම  මාව අමතක වුනාද? අපි ගඟ අද්දර බලන්න ගියා මතකද ඔයාට? ඔයා ඒ  ෆිල්ම් එකේ සින්දු ලස්සනට කියනව මට තවම මතකයි. පහුගිය දවස්වල මට ඒ හැමදෙයක්ම මතක් වුනා?"

"ගඟ අද්දර බලන්න ගියා කියල මට මතකයි. අපි දෙන්න විතරක් නෙමේ නේද ගියේ "

"බේරේ වැවේ තියන සීමා මාලකෙට ගිහින් මල් පූජා කරනවා මතකද ඔයාට. පාරේ ඉඳන් එතන ඇතුලට යනකොට තමයි ඔයා මට  නිලන්තයි අනිත් යාළුවොයි අඳුන්වල දුන්නේ. අපි හුඟක් දවස් වල එතනට ගියා? දවසක් , ඩුප්ලිකේෂන් පාරේ  කොල්ලුපිටියට ගිහින් අර මග පාරකින් මල් පාරට ඇවිල්ල අපහු හිටපු තැනටම ආවේ.  අපි කොච්චර  ඔහේ ඇවිද්ද ද? ඔයා ඒ පාරවල් හොඳට දන්නවා."
විශාඛා ඔහු දෙස බල මද සිනහවක් පෑවාය.

"හයියෝ ඉතින් මේ ඒලෙවල් කරන කාලේ අපි හැම වෙලේම තනියම ගියාද? යාළුවොත් එක්කමනේ වැඩි හරියක් ගියේ. විශාඛා අපි දෙන්න කවදාවත් ආදරෙයි කියල තියෙනවද? අපි එක පාරක් පබ්ලික් ලයිබ්‍රරියේ පාඩම් කරද්දී මම ඔයාගෙන් ඇහුවේ එළියේ ඇවිදින්න යමුද කියල? ඔයාමනේ හෙන රැවිල්ලක් දාල ගස්සල පොත දිහා බලන් හිටියේ. අපි අතරේ සෙනෙහසක් වගේ දෙයක් තිබ්බ තමා. ඒත්  දැන් ඔයා නිලන්තව බැඳලත්  අවුරුදු කීයක්ද නංගි ? "

"අනේ ඉතින්" විශාඛා හඬන්නට ගත්තාය .

"මම ඉස්කෝලේ ඇරිලා බඩගින්නේ ඉන්නවා බස් යද්දී නගින්නේ නැතිව. ඔයා එන බස් එක එනකන්. ආදරේ කියල කියන්නම ඕනෙද? ඔයාට තේරුනේ නැත්ද? ඔයා හරිම කුරිරු මනුස්සයෙක් වෙලා . තාන්යා තමා ඔයාව  කුරිරු කරලා තියෙන්නේ. නිලන්ත මාව දාල ගියාට පස්සේ මට ඔයා ගැනමයි හිතුනේ. මට හිතුනෙම  ඔයා එනකන් හිටියේ නැති නිසා මට මේ දඬුවම ලැබුන කියල. " විශාඛා නැවතත් හඬන්නට පටන් ගත්තාය.

"විශාඛා, අපි එකට ඇවිද්ද, කෑව බීව, යාළුවෝ එක්ක එකම එක විනෝද ගමනක් ගියා. ඒත් අම්මලත් ගියා ඒවාට.  මට ඔයා ගැන හැඟීමක් තිබ්බේ නැහැ කියලම  මට කියන්න අමාරුයි. මම සෝවියට් යන දවසේ ඔයා මගේ ටයි එක හැදුව මතකද? ඒවා මට තියෙන ලස්සන මතක ඔයා ගැන. ඒත් නංගි වෙලාවකට මට හිතෙනවා මගේ නංගිට වගේම ආදරයක් එතන තිබ්බේ කියල. ඒක එතනින් එහාට ගියේ නැහැ. "

ගිහාන් විශාඛා ඉදිරියෙන් වූ පුටුවේ හිඳ ගත්තේය.
මවගේ හැඬිම දුටු කුඩා දරුවා පැමිණ විශාඛා ගේ උකුල ලඟින් හේත්තු වූවේය. දරුවා වඩා ගත්  විශාඛා ගවුමේ කොනකින් කඳුළු පිසදා ගත්තාය. සෙටියේ කොනක හිඳගත් ඈ දරුවා තමන්ට තුරුළු කරගත්තාය.

"පුතාට නිදි මතයි වගේ. රෑ වුනානේ. "

"ඔයා පුතාව ගිහින් අනික් කාමරේ ඇඳේ තියන්න. කිරි එක තියනවද මම රත් කරන් එන්න"
"බෑග් එකේ " කියූ විශාඛා දරුවා රැගෙන කාමරයට වැදුනාය.
මද පමණට රත් කළ කිරි බෝතලයට දමා විශාඛා ට දුන් ගිහාන් දොර අසල බලා සිටියේ ඇතුළට නොයාය.

මද වෙලාවකින් කුඩා දරුවා නින්දට ගියේය. ගිහාන් සෙටියේ වාඩිවී  සිටියදී විශාඛා විසිත්ත කාමරයට ඇතුළුවන හරියේ ඇති බිත්තියට වාරු දී සිට ගත්තාය.

"ඉඳගන්න මෙතැනින්" ගිහාන් ඇයට පැවසීය.

"තාන්යා එක්ක මගේ සම්බන්ධය  අර කුමරි පත්තරේයන පුංචි ආදර කතා වගේ එකක්ම නෙමෙයි. ඔයා ඒවාට ආසයිනේ "

"ඔයාට ඒවත් මතකද "

"තාන්යා මුණ ගැසුන දවසේ ඉඳන් ඒ සම්බන්ධය පටන් ගැනුණේ  ශාරීරික ආකර්ෂණයකින්  වෙන්න පුළුවන්. නමුත් ඒක අපි ඔය  පොත්වල කියවල තියනවා වගේ හිතේ ගැඹුරුම  තැනින් පටන් ගත්ත ක්‍රමයෙන් වැඩිවෙලා මුල් බැස ගත්ත ආදරයක් . හිතින් ගතින් දෙකින්ම. ඔයා මට සමාවෙන්න දහස් වාරයක් මෙහෙම කියනවට.  ඔය කවියෝ, ප්‍රේම කතා ලියන නවකතා කාරයෝ කියන ප්‍රථම ප්‍රේමය කියා එකක් තියනවානම් , මුළු හදින්ම පෙම් කරපු ප්‍රථම ප්‍රේමයක් තියනවා නම් මට ඒ තාන්යා එක්ක. මට එයාව අමතක කරන්න  බැහැ.  මට  සමාවෙන්න හොඳ නංගි වගේ."

විශාඛාගේ සිහින් කෙඳිරියක් සවනට වැකෙන සේ  ඉකියක් ගැසුවාය .

"මම පොඩි එකත් අරන් යනවා අම්මලාගේ ගෙදර. ඒ මිනිසුන්ගේ හිත රිදවන්න බැරි නිසා මෙපමණ දවසක් හිත හිත හිටියේ. ගිහාන් අයියේ මට සමාවෙන්න ඔයාට කරදරයක් කෙරුවට "

"ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ විශා. මම තනියම  මෙහෙ ඉන්නේ. තව කාමරේකුත් තියනවා. ඔයාගේ අම්මලට මුකුත් කියන්නේ නැතිව ඉමු. අපි නිලන්තට කතා කරමු. අපිට මේක විසඳ ගන්න පුළුවන්"

"අනේ අයියේ, මට එයට ආයි කතා කරන්න  කියන්න එපා. ඔයා   දන්නේ  නැහැ මට වෙලා තියන දේවල්. " විශාඛා නැවතත් මහා හඬින් හඬන්නට පටන් ගත්තාය.

විශාඛා හා නිලන්තගේ පොඩි පුතු නැගිට කාමරයේ දොර අසල සිට තම මව දෙස බලා සිටිනු ගිහාන් දුටුවේය.

"යමු පුතා දොයියන්න " ඔහු දරුවා වඩාගෙන ගොස් ඇඳෙහි තබා ඔහුගේ අතකින්  අල්ලාගෙන නළල හා හිස සෙමින් පිරි මැද්දේය. පොඩි එක  ටිකකින් යලිත් නින්දට වැටුණි.

සෙටියේ කොනක ඈඳීගෙන සිටි විශාඛා හැඬිම නවතා ජනේලයෙන් එපිට බලා සිටියේ හැඟීම් විරහිත වූ හිස් බැල්මකිනි.

ගිහාන් සීනි යහමින් දමා  තේ දෙකක් සදා එකක් විශාඛා ගේ අතට දුන්නේය.

"නංගි මට මොකද වුනේ කියන්න. ඔය දෙන්නට. ඔයාලගේ රණ්ඩුවයි  නිලන්තට වෙන ගෑණු එක්ක නිදා ගත්ත කියල ඔයාට ආපු නිර්නාමික ලියුනුයි ඔයා එයාට කෑ ගහපු ඒවායි ඇරුණහම මොකක්ද? බටහිර රටවල කවුන්සලින් කියල එකක් තියනවා. ඒ කියන්නේ විවාහක යුවල ගිහින් මනෝ උපදේශකයෙක් ගාව කතා කරන එක. ඒ ගොල්ලන්ගේ උපදෙස්නුත් අරගෙන විවාහය බේරා ගන්න පුලුවන්ද කියල උත්සාහ කරන එක. මෙහෙ මම දන්නේ නැහැ තවම එහෙම තියනවද කියල. නමුත් අපිට කතා කරලා විසඳ ගන්න  පුළුවන් දෙයක්......."

විශාඛා ඔහුට වාක්‍යය අවසන් කිරීමට ඉඩක් නොතබා කතා කළාය.

"අයියේ ඔයාට මට මේවා කොහොම කියන්නද කියල තේරෙන්නේ නැහැ. කාටවත් නොකියපු දේවල් තියනවා අයියේ. " විශාඛා අගේ මුහුණ දෝතින්  වසාගෙන ඉකි බිඳින්නට ගත්තාය.

ගිහාන්  ඇගේ උරහිස සෙමින් පිරි මැද්දේය.

"නංගි, ඔය මගේම සහෝදරියක් වගේ. නිලන්ත මගේ හොඳම යාළුවා. මගේ සහෝදරයා ඌ. අපි දෙන්න අතරේ පොඩි හරි ඇඟැලුම් කමක් තිබුනනේ. ඔයාට මට නොකියා ඉන්න පුළුවන්  දෙයක් නැහැ කියල හිතන්න."

විශාඛා අපහසුවෙන් හිස එසවූවාය. හැඬිම නිසා ඇගේ දෙඇස් රතුවී ඉදිමි කොණ්ඩය අවුල්වී තිබුණි.

"මම මූණ  හෝදගෙන එන්නම් අයියේ "

~~~~~~~මතු සම්බන්ධයි

Tuesday, 4 September 2018

කිනෝ ප්‍රාව්දා හා පාරාදීසයේ අමනුෂ්‍යයෝ

කිනෝ ප්‍රාව්දා යනු කුමක්දැයි බොහෝ අය නොදන්නවා විය හැක. එහෙත් ඩොකියුමෙන්ටරි සිනෙමා හෝ වාර්තා චිත්‍රපට කිවහොත් ඒ කුමක්දැයි දන්නවා  නිසැකය. බොහෝවිට මෙවැනි වාර්තා චිත්‍රපට බොහෝ දෙනා නොබලන නීරස චිත්‍රපට වර්ගයක් ලෙස හඳුනා ගනු ඇත.
කිනෝ යනුවෙන් රුසියානු භෂාවෙන් සිනමාව  යන අරුත දෙයි. ප්‍රාව්දා යනු "සත්‍යය" ය.   එනම් "සත්‍ය සිනමාවයි."
කිනෝ ප්‍රාව්දා 

සෑම සිනමා කෘතියක් ගැනම සඳහනක් ඇති IMDB වෙබ් අඩවියේ කිනෝ ප්‍රාව්දා 1 ගැන මෙවැනි සඳහනක් තිබේ.
"මේ වනාහී ජීගා වෙර්තෝව්  ගේ නිව්ස්රීල්  සිනමා ගොන්නකි. (මුළු ගණන 23 කි) එලිසවෙතා ස්විලොවා හා මිහයිල් කෞෆ්මන් ගේ සහය අධ්‍යක්ෂණයෙන් 1920 මුල් ගණන්වල රුසියානු ජිවිතය පිලිබඳ වාර්තා චිත්‍රපට සමූහයක් වන මේවා නිපදවූයේ ජනතාවට සත්‍යය පැවසීමටය."  සත්‍ය සිනමාව නමින් හැඳින්වූයේ එබැවිනි. ලෝකයේ මුල්ම වාර්තා චිත්‍රපට හෙවත් documentary films ගණයට  වැටෙන්නේ මේවාය. මෙහි අංක දහසය සෙර්ගේයි අයිෂන්ටයින් නමැති ශ්‍රේෂ්ඨ සෝවියට් සිනමාකරුගේ "ග්ලුමොවා ගේ දිනපොත" චිත්‍රපටයයි. වෙර්ටෝව් "ප්‍රොලෙට්කුල්ත් හි වසන්තයේ මද සිනා" නමින් ඔහුගේ සත්‍ය සිනමාවක්  හෙවත් වාර්තා චිත්‍රපටයක් ද මෙහි ඇතුලත් කළේය. මට මතක විධිහට ප්‍රොලෙට්කුල්ත් යනු ප්‍රොලිතාර්ස්කයා කුල්තුරා හෙවත් නිර්ධන පන්ති සංස්කෘතිය යන්නෙන් බිඳී ආවකි.   ඩොකියුමෙන්ටරි නමින් මේ ශානරය හැඳින්වෙන්නේ 1926  වැනි කාලයක සිටය.

 මේ ගැන තව දුරටත් ලිවිය හැකි මුත් මා ලියන්නට යන්නේ වෙනත් වාර්තා චිත්‍රපටයක් ගැනය. ඒ ජූඩ් රත්නම් ගේ "පාරාදීසයේ අමනුෂ්‍යයන් -demons in paradise  " වාර්තා චිත්‍රපටය ගැනයි. ජූඩ් රත්නම් ඔහුගේ සිනමා වාර්තාව මගින් "සත්‍යය" පවසන්නට තැත් කරයි. ඔහු සත්‍යය දකින්නේ ඔහුගේ ඇසිනි.  මා කිනෝ ප්‍රාව්දා ගැන කීවේ එබැවිනි. බටහිර ඇසින් සෝවියට් දේශය දෙස බලා පවසන සත්‍යය සෝවියට් ඇසින් බලා පවසන සත්‍යයට වෙනස් වීම මේ සත්‍යයේ සිනමාව නිර්මාණය වීමට හේතුවක් වන්නට ඇත.

 මුලින්ම ජූඩ් පවසන්නට යත්න දරන සත්‍යය කුමක්දැයි විමසා බලමු.

ජන වාර්ගික අරගලය උත්සන්න වූ 1983න් ඔහුගේ "කථාව" ඇරඹෙයි. ජූඩ් ගේ මාමා ජිවත් වන්නේ කැනඩාවේ ය. ඔහු කැනඩාවේ සිට  ලංකාවට පැමිණෙන්නේ  රාජපක්ෂ රජය විසින් ජන වාර්ගික යුද්ධය අවසන් කළ පසුය. මේ යුද්ධය කෙසේ හෝ අවසන් කළේ නැත්නම් ජූඩ් ගේ මාමා ලංකාවට එන්නේ නැති බවට ඉඟියක් මුලින්ම ලැබේ.

1983 කළු ජූලියේදී මාමා ගේ පවුල ජාතිවාදී භ්‍රෂ්ඨයන් ගෙන බේරාගෙන තිබෙන්නේ විජය නම් සිංහල  වඩු මහතෙකුගේ පවුලකි. ඔවුන් මේ දෙමළ පවුල සඟවා තබාගෙන ඔවුන් මරන්නට ආ ජාතිවාදීන් එළවන්නේ තමන්ගේ දිවි  පරදුවට තබාය . ඉතින් රත්නම් ගේ  මේ දෙමළ මාමා  තම පවුල බේරා ගත් ඒ සිංහල පවුල හමුවී හැඟීම් බරව කඳුලක් සලයි. (එම අවස්ථාව මේ කොටසින් නැරඹිය  හැකිය). එම පවුල බේරාගත් පවුලේ වැඩිමහල් සිංහල කාන්තාව  ඔහුට "පුතේ" කියා අමතයි. "අපි උඹලව බේරා ගත්ත පුතේ. පුතා ආව අපි බලන්න" ඇය ඉතා හැඟීම්බරව පවසයි. නෙතට  කඳුළු උනන මේ දර්ශන  පෙළ වාර්තා සිනමාවකට වඩා සුදුසු  ආත්ම කථනයක් ලෙසටය.

ඉතින් සිංහලයන් කොපමණ දේපල ගිනි තිබ්බත්, යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළත්, 1958 තරම් ඈත කාලයක සිට 1983 දක්වා දෙමළුන්ට සබ්බුව දුන්නත්, අන්තිමේදී එක තැනකට ගාල් කර බෝම්බ වරුසා වස්සවා දණ ගස්වා අභයදානය ඉල්වන්නට සැලැස්වුවත් හොඳ සිංහලයන්ද සිටින බව රත්නම්, තමන්ගේ මාමා හා ඔහුගේ පවුල බේරාගත් සිංහල පවුල පෙන්වා පහදා දෙයි. එතැනදී නම් මගේ දෑස ද තෙත් වුනි. සිංහලයන් විසින් '83 දී දෙමළ  ජාතිකයන් බේරා ගන්නා  අන්දම ජාත්‍යන්තරයට ගියේ නැත. එනිසා එවැනි සිංහල පිරිසකට  ජූඩ් රත්නම් සාධාරණයක් ඉෂ්ට කරයි.

මේ ජූඩ් ගේ මාමා ඒ කාලයේ සමාජවාදී ඊලාමයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ සංවිධානයකට අයත් කෙනෙකි. මේ අනුව ඔවුන්ට සතුරන් දෙවර්ගයක් විය. එකක් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයි. අනික ශ්‍රී  ලංකා හමුදාවයි. ඔවුනට මේ දෙගොල්ලන්ගෙන්ම සැඟවී සිටීමට සිදු වුනි.   අවසානයේදී විරුද්ධවාදීන් මරාගෙන මරාගෙන යන දෙමළ  විමුක්ති  කොටින් එක දිනෙක ටෙලෝ සංවිධානයේ අටසියයක් පමණ සාමාජිකයන් මරා දමයි.  මට මතක විධිහට මෙය සිදු වන්නේ 1986 දී පමණය. ඉන්පසු සමාජවාදී ඊලාමයක් සඳහා සටන් කරන ලද දෙමළ සංවිධාන යාපන භූමියෙන් අතුගා දැමීමට කොටි සංවිධානය සමත්වෙයි. මින් පසුව  උතුරු නැගෙනහිර ජන වාර්ගික  යුද්ධය  ශ්‍රී ලංකා හමුදාවන්ට  හා පසුව ඉන්දියානු හමුදාවටත් විරුද්ධව පවත්වා ගෙන යන්නේ ජාතිවාදී කොටි සංවිධානයයි.

ශ්‍රී ලංකා හා ඉන්දියානු හමුදාවන්ට අමතරව දෙමළ  සංවිධාන එකිනෙකා මරාගත් බව ඒ දිනවල අපි සැවොම දැන  සිටියෙමු. නමුත් ඒ ගැන නිර්භයව කතා කලේ සිංහලයන් දෙතුන් දෙනෙකු හා රාජිනි තිරාණගම ආදීන් පවත්වා ගෙන ගිය JTHR (මානව අයිතීන් පිලිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්) වෙබ් අඩවිය සහ ඩී බී එස් ජෙයරාජ් පමණි. බහුතර දෙමල ඩයස්පෝරාව මෙන්ම දෙමළ ජනයාද සිටියේ නිහඬවය. බහුතර සිංහල පාලනයෙන් "නිදහස" ඉල්ලා සටන් වැදුණු සටන්කාමීන් එකිනෙකා මරා ගැනීමේ ඛේදවාචකය නොඇසූ කන්ව  සිටි දෙමළ ජනතාව ඒ ගැන තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු යයි ජූඩ් තම සිනමා ප්‍රකාශනය  මගින් අවධාරණය කරයි.

මේ දිනවල දකුණේ සිදුවූයේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා භිෂණයක් දියත් කිරීමය. එහිදී මුලින්ම පහර දෙන ලද්දේ සමාජවාදී දෙමළ සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කළ ස්වාධින ශිෂ්‍ය සංගමය  හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ වලටය. සමාජවාදී ඊලමකට පක්ෂව කතා කළ දයා පතිරණ ඝාතනයෙන් පසු ජවිපෙ මරණ දණ්ඩනය දුන්නේ පරණ වමේ ක්‍රියාකාරින්ටය. මේ කාලය වනවිට ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනයද ඉතා දරුණු විය. ඒ දේ.ජ.ව්‍යාපාරය යුඇන්පී නායකයන් හා හමුදා  නිලධාරීන් මරන්නට පටන් ගත් තැන සිටය.

මෙහිදී ඇතිවූ අතිශයින්ම කණගාටුදායක සිද්ධිය වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ප්‍රා නම් සංවිධානයකට බැරවී රජය සමග එක දකුණේ තරුණයින් මර්දනයට සහය වීමය. පැරණි වමේ පක්ෂ වල නායකයින්ට මේ කාලයේදී   ජවිපෙන් එවන ලද  ඝාතකයින්ට විරුද්ධව ආයුධ   සන්නද්ධ ආරක්ෂාව දුන්නේ කොටි සංවිධානයේ මරණ තර්ජනයෙන් මිදී  කොළඹට පැනවිත් සිටි වාමාංශික දෙමළ තරුණයින් බව ඒ දිනවල පැතිරුණු ආරංචියකි. ජවිපෙ කියන්නේ මාක්ස්, ලෙනින් ගේ කටවුට් මැයි  දිනවල කර තියාගෙන ගිය ලංකාවේ  සමාජවාදය උදෙසා කැපවුණු දේශපාලන පක්ෂයකි. ඔවුන් දකුණේ යුඇන්පී නායකයන් මෙන්ම වමේ නායකයන්ද ඝාතනය කල අතර ඔවුන්ට විරුද්ධව පැරණි වමට සහය දුන්නේ යාපනයෙන් පලා ආ  සමාජවාදී ත්‍රස්ත සංවිධානයන්ය. මේ හරුපය තේරුම් ගැනීමට ඔබට හැකිද? ජූඩ් රත්නම් ගේ සිනමා කෘතියේ මෙන්න මේ සංකීර්ණ අවස්ථා සූක්ෂමව මග හැර යන බවක් පෙනී යයි.

ප්‍රභාකරන් කොටි සංවිධානය උතුරේත් හා විජේවීර හා ජවිපෙ දකුණේත් කටයුතු කලේ එකම ලෙස බව කියන විට ඊට විරුද්ධව සරම කැස පට ගසාගෙන එන අය සිටින බව මම දනිමි. නමුත් වාර්තාගත  ඉතිහාසය වෙනස්  කළ නොහැකි දෙයකි.

ජූඩ්  රත්නම්, කොටි සංවිධානයට  විරුද්ධව සටන් කළ තම මාමා ගැන වාර්තා චිත්‍රපටයක් කරන්නේ මේ සන්දර්භය යටතේය.  ඔහු ඉහත කී  සිද්ධීන් මෙන්ම කොටි සංවිධානය  හෝ ජවිපෙ ඇතිවීමට හේතු සාධක සුක්ෂම ලෙස බැහැර කරයි. ඒ වෙනුවට ජූඩ් රත්නම් ගන්නේද අර මොකක්දෝ අසිපතක් ගැන ලියු තමිලිනී ගත් මගමය. පිලිකා  සෑදී කොළඹ අතරමන් වූ තමිලිනිට පිහිට  වුයේ "කරුණාබර හදවත්"  ඇති සිංහලයන්ය.  එහි වරදක් නැත. තමිලිනී ලා එල්ටීටීඊ එකේ සිටි කාලයේ තලා පෙළන  ලද දෙමළ  ජනතාවද , සංවිධානයේ පරාජය නිසා විපතට පත් වූවන්ද  තමිලිනී දෙස ඇහැක් හැර බැලුවේ නැත? කොහොම බලන්නද?   තමිලිනී වැනි අයට  සටන් කිරීමට සල්ලි එකතු කර යවමින් තමන්ගේ දරුවන් බටහිර විශ්ව විද්‍යාලවලට යවා ලොකු මහත් කර කසාද බැඳ දී විවේක සුවයෙන් තමන්ගේ නිවෙස් වල ගත කරන ඩයස්පෝරාවද  ඇහැක් ඇර බැලුවේ නැත. අන්තිමට  තමන් සටන් කළේ කුමකටද යන්න තමිලිනී ටද අමතකවී ගියේය. තම ජිවිතයේ අවසන් දින කිහිපයේ සැලකූ සිංහලුන් පසසා ඇය අවසන් ගමන් ගියාය. එනිසා ලිබරල් සිංහලුන්ට මෙන්ම දැඩි ජාතිවාදී සිංහලයන්ටද, සමාජවාදී යයි කියමින්  ජාතිවාදී ලෙස යුද්ධයට  සහය දුන් ජවිපෙ ටද තමිලිනී ගේ කතාව තමන් ගත්  මග සාධාරණීකරණය කිරීමට ලැබුණු අත්වැලකි.

ජූඩ් රත්නම් ගේ චිත්‍රපටිය ලස්සනය. ශ්‍රී ලංකාවේ  දුම්රිය ගමන්  කොහොමත් ලස්සනය. ජූඩ් ගේ දුම්රියේ ගමන, යාපන දුම්රිය  තුල   දෙමළ ජනයාට එරෙහිව සිදුවූ දාමරික කම් වල සිහි ගැන්වීමක සිට  සිට දුම්රිය මාර්ග විනාශ කිරීමට කොටි සංවිධානය බලහත්කාරයෙන් මිනිසුන් යොදවා ගන්නා අන්දම විස්තර කිරීමක් දක්වා ප්‍රේක්ෂකයා රැගෙන යයි. ජූඩ් ගේ මාමා කොටින්ගෙන් මිදී පලා එන දින  කොටි  මාර්ග බාධකයක නතර කෙරේ. එහිදී ගැමියෙකු ලෙස වෙස් වලා සිටින ඔහුව  රේල්පාරේ යකඩ කඳන් පුංචි කියතකින් කැපීමට කොටි විසින් යෙදවීම නාසි වධ  කඳවුරක වැඩ කරන යුදෙව් සිරකරුවන්  සිහි ගන්වයි.

මේ කතාවේ එක තැනක යුවලක් තමන් ගේ ඇඳුම් වෙනස් කර සිංහලයන් මෙන් හැඳගෙන පාරේ යයි. එසේ කරන්නේ "ආරක්ෂාවටය". මට නම් සිතෙන්නේ එම ජවනිකා යුරෝපීය ප්‍රේක්ෂකයන් සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි. 1983 ජුලි හා අනිකුත් කලබල සමයන් හිදී එසේ වෙස්වළාගෙන යාම සාධාරණ වුවත් එවැනි තත්වයක් දැන් නැත. ජූඩ් එතැනදී සාකච්ඡා කරන්නේ වර්තමාන තත්වයද?

දකුණේ බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙක ගැන විවේචනාත්මකව කතා කරති. එම කැරලි  ශ්‍රී ලංකාවේ දියුණුව  වසර ගණනක් පස්සට ඇද දමා ආර්ථිකයට දැඩි පහරක් එල්ල කළ බව සත්‍යයකි. එසේම එම ත්‍රස්තවාදීන්  හෝ විමුක්තිකාමින්  (ඔබ සිටින දේශපාලන පැත්ත අනුව) දරුණු ලෙස මිනිසුන් ඝාතනය කරන ලද බව ද සත්‍යයකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිහි වීමටද එලෙස පවතින ක්‍රමයට විරුද්ධව තරුණයින් අවි අතට ගැනීමටද ආර්ථික හා දේශපාලනමය හේතු තිබේ. ජවිපෙට පමණක් දෝෂාරෝපණය කරමින් ලෙහෙසියෙන් ගැලවී යාමට කෙනෙකුට නොහැකිය.

දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය ගැන කතාවද එසේමය.  ඔවුන් ඉබේ ප්‍රාදුර්භුත වූයේ නැත. ඔවුන් ජාතිවාදී ලෙස මුලිම් ජනතාව  යාපනයෙන් එලවා  දැමුවේ සිංහලයන් එලෙසම  එලවිමෙන් පසුවය. බටහිර මාධ්‍ය වලට ඒවා හසුවූයේ නැත. ඔවුන් මායිම් ගම්මාන වල සිංහල වැසියන් කැති ගා මරා දැමූහ. වැඩිහිටියන් දරුවන් කියා වෙනසක් තිබුනේ නැත.   ඉවක් බවක් නැතිව කොළඹ ආදී නගරවලට සියදිවි නසා  ගැනීමේ බෝම්බ කරුවන් එවූහ. මියගියේ ආරක්ෂක හමුදා සාමාජිකයන් පමණක් නොවේ. අහිංසක සිවිල්  ජනතාව මරුමුව දුටුවේ දුසිම් ගණනනි.

හැබැයි 1958 සිට පටන්ගත් දෙමළ සිංහල කෝලාහල වලදී එලෙසම දෙමළුන් මරා දමන ලදී. ඔවුන්ගේ දේපල ගිනි තබන ලදී. සෙන්චෝලේ හි ළමා නිවාසයකට දැමුණු බෝම්බ වලින් දරුවන් පනහක් පමණ මිය ගොස් තිබුණි. එසේම යුද්ධය අවදියේ දෙමළුන් මැරුනේ  දුසිම් ගණනින්ය. මෙහිදී දෙමළ  කොටි සංවිධානයට පමණක් චෝදනා කරමින් කෙනෙකුට ලෙහෙසියන් ගැලවී යාමට  නොහැකිය.

එසේම 1983 ජූලි කලබල දඩ මීමා කර ගනිමින් දෙමල සංවිධාන වලට උදව් කරන්නට ඉන්දියාවට හැකිවිය. උමා මහේෂ්වරන්  හා වේලුපිල්ලේ ප්‍රභාකරන් මදුරාසියේ දී එකිනෙකාට වෙඩි තබා ගනිද්දී මේ පිලිබඳ විස්තර එකළ පුවත්පත් වල ඇති තරම් වාර්තා විය. එවකට ඉන්දීය රජය,  ජේ ආර් ගේ රජයේ ඇමෙරිකාවට සමීප විදේශ ප්‍රතිපත්තිය නොඉවසූ අතර ශ්‍රී ලංකාවට දඬුවම් කළේ දෙමළ  විමුක්ති සංවිධාන වලට උදව් දීමෙනි.

ජූඩ් රත්නම් ගේ වාර්තා චිත්‍රපටයෙන් අවධාරණය වන්නේ කොටි සංවිධානයේ බිහිසුණු කම හා ඔවුන් දෙමළ ජනතාව මර්දනකාරී ලෙස හැසිරවූ ආකාරයයි. දෙමළ ජනතාව රාජ්‍ය හමුදා හා ද්‍රවිඩ සටන්කාමීන් ට මැදිව දෙපසින්ම අතවර විඳි බව සත්‍යයකි. නමුත් සිංහල බහුතරයේ ජාතිවාදී වියරුව විසින් දූෂණය කරන ලද දෙමළ ජනතාවගේ ගරුත්වය හා අභිමානය වෙනුවෙන් ඔවුන්  කොටි සංවිධානයේ ක්‍රියා නිහඬව  ඉවසූ බවද සත්‍යයකි. සමහරවිට දෙමළ ජාතිය බහුතරය වී සිංහලයන් සුළුතරය වූවා නම් දෙමළුන් සිංහලුන් ට වෙනස්ව හැසිරේ යි සිතිය නොහැකිය.

මේ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිවැරදිව නොදත් අයෙක්, ජාතික ප්‍රශ්නය ගැන නොදත් අයෙක් ජූඩ් රත්නම් ගේ චිත්‍රපටය නරඹා මුලාවීමකට ගොදුරු වීම නොවැලැක්විය හැකිය. මේ වාර්තා චිත්‍රපටය සිනමාත්මක ලෙස විශිෂ්ඨ වුවත් එය ඉතිහාසමය  වශයෙන් සාධාරණයක් ඉටු කරන්නේ නැත.

එනිසා මේ චිත්‍රපටයට, ශ්‍රී ලාංකික ජන ඝාතක යුද්ධයේ ඉන්දියානු භූමිකාව ආවරණය කළ එකක් නිසා එයට ඉන්දියානු මාධ්‍ය වලින් හොඳ විචාරයක් ලැබෙනු නිසැකය. ඉන්දියාව දෝෂාරෝපණයක් ලැබීමෙන් මුදවා ගෙන තිබේ.  එසේම ඝෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ   මහතාගේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාද දක්ෂ ලෙස යොදා ගත හැකිය. අර තරම් රුදුරු  කොටි සංවිධානයක් සත්‍ය වශයෙන්ම පරාජය කළෝ ඔවුහුය. වෙන කවුරුත් නොවේ.
   ඒ ඇරෙන්නට ජූඩ් රත්නම් ඔබ  ඔබේ පැත්තෙන් ජනවාර්ගික යුද්ධය ගැන කළ මේ  චිත්‍රපටය  ඇත්තෙන්ම ඒක පාක්ෂික විවරණයකි. ඔබේ ඊළඟ චිත්‍රපටයෙන් ඔබ ඉතිහාසයට සාධාරණයක් කරනු ඇතැයි බලා පොරොත්තු වෙමි.


යූටියුබ් වීඩියෝ:
සිංහල පවුල හමුවන අවස්ථාව

දුම්රියේ දී 



මුලාශ්‍ර: A Guide to Intra-state Wars: An Examination of Civil, Regional, and ...
By Jeffrey S. Dixon, Meredith Reid Sarkees

කිනෝ ප්‍රාව්දා: