Wednesday, 12 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - සමාවෙන්න විශාඛා,

කලින් කතාව - ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (41) -පද් මොස්කව්නියේ වේචෙරා

මතකය රිදුම් දෙන සුළුය. ඇයගෙන් ලැබෙන ලිපි හදිසියේම නැවතී ඇති සෙයක් ඔහුට දැනේ. හේතුවක් සොයන්නට ප්‍රේමයෙන් මැඩුණු හිත ඉඩ නොදෙයි. අවසන් ලිපියේ තිබුනේ කුමක්දැයි සිතීමට ඔහු වෙහෙස විය.

ඇගේ පියා  රැකියාව කරන කම්හලේ පඩි ගෙවීම නතර කර දමා ඇත.  ඒ වෙනුවට ඔවුන්ට භාණ්ඩ වලින් පඩි ගෙවති. ඈ  පවසන පරිදි  පඩි ගෙවන්නේ අර්තාපල්, පාන් , සීනි, මස් ආදියෙනි. දෙවැනි ලෝක යුද සමයෙන් පසු එවැනි කාලයක් ආවේ දැන්ය.  ඇය ඉගෙන ගන්නේද  අසීරුවෙනි. උද්ධමනය කෘතිමව පාලනය කරමින් තිබූ සෝවියට් දේශයේ බඩු මිල ඉහල ගියේ නැත. සීනි හෝ හාල් කිලෝවක මිල 1984 දීත් 1988 දීත් එක හා සමාන විය. පාන් ගෙඩියක මිලද එසේමය. නමුත් දැන් එවැනි භාණ්ඩ වල  මිල ඉහල දැමීමට  ඉඩ දී තිබේ. භාණ්ඩ මිල ඉහල යාමත් සමග දෛනික ජිවිතයේ වියදම් පියවා ගැනීමටත් අසීරු බව ඇය ලියා  තිබුණි.

ඔහු කිසියම්  මුදලක් , ඩොලර් වලින් ඇය අත තබා ඒමට සැරසුණු මුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. එනිසා ඔහු හඳුනන සිසුවකුට ඒ මුදල් භාර දී ආවේ අවශ්‍ය වුවහොත් තාන්යාට ලබා දීමේ අටියෙනි. නමුත් ඒ සිසුවා එංගලන්තයට යාමට  එය වියදම් කර තිබුණි. එනිසා කෙසේ හෝ  ඩොලර් සියයක පමණ මුදලක් සොයා ගත් ගිහාන් වෙස්ටන් යුනියන් නම් මුදල් යවන සමාගමක  ආධාරයෙන් මොස්කව් වලට යැවීය. නමුත් ඉන්පසු ඔහු අත වැඩි මුදලක් ගැවසුණේද  නැත.

ඇය දැකීමට නම් ගෙන්වා ගැනීමට මුදල් යැවිය යුතුය. සෝවියට් දේශයට යාමට වීසා හදා  ගැනීමට ක්‍රමයක් නැත. එකම ක්‍රමය පශ්චාත් උපාධියක් කෙසේ හෝ හදාගෙන යාමය. මේ දෙකටම මුදල් අවශ්‍යය. නැත්නම් පරණ හැඳුනුම්කම් ඇති මොස්කව් නැවතී ව්‍යාපාර කරන සිසුන් සම්බන්ධ කර ගත යුතුය. ගිහාන් ට එයටද කැමැත්තක් නැත.

ඒ අතරේම සෝවියට් දේශයේ කුමන්ත්‍රණයක් ගැන කතාබහක්  ආරංචි විය. සියලුම සෝවියට් සමූහාණ්ඩු මධ්‍යම රජයෙන් ඉවත්වී ගොස්ය. ගොර්බචොව්  ගෙන් බලය අල්ලා ගැනීමට සෝවියට් කොමියුනිස්ට්  පක්ෂ මධ්‍යම කාරක  සභාවේ පිරිසක් උත්සාහ දරා ඇත. යෙල්ට්සින් ටැංකියක් උඩ නැග  කතා කරනු ගිහාන් රූපවාහිනියෙන් දුටුවේය. එම කුමන්ත්‍රණය පරාජය වී ඇත.

ප්‍රියාන් හා තවත් සිසුන් ගෙන් ඔහුට වැඩි විස්තර දැන ගැනීමට හැකිවිය. මිනිසුන්ට පඩි ගෙවන්නේ නැති බවට තාන්යා ලියා තිබූ දේවල් සත්‍ය බව ඔහුට  දැන ගන්නට ලැබුණි. කුඩා කඩ හා සාමාන්‍ය    ප්‍රමාණයේ ව්‍යාපාර බිහි වී ඇත . ඒවායේ සමුහ පාලනය ක්‍රිශා (වහල) නමින් රුසියානු භාෂාවෙන් හඳුන්වන මාෆියා කණ්ඩායම් වලිනි. ඔවුන්ට කප්පම් නොදුන්නොත් ව්‍යාපාර කල නොහැකිය. ඔවුන් මිනිසුන් මරා දැමීමට පවා එළඹෙන බව දැනගත්  ඉමහත් විස්සෝපයට  පත්විය. සෝවියට් දේශයේ තිබූ ආරක්‍ෂිත භාවට නැතිවී ඇත.

තව තවත් දිළිදු භාවයටත් රැකියා විරහිත භාවයටත්  ඇද දමන ලද රුසියානුන් ජාතිවාදී වී ඇති බවටත් ඇතැම් තැන්වල  විදේශිකයන්ට පහරදීම් කරන බවටත් ඔහුට ආරංචි විය.

ප්‍රියාන් සමග  කතා කරද්දී දැනගන්නට ලැබුනේ යෙල්ට්සින් ටැංකිය උඩ කතා කරන දවසේ ඔහුද ඒ අසල අර්බාත්සකයා වල සිටි බවයි. සෝවියට් හමුදා මොස්කව් නගරයේ රැස්ව  සිටි ජනතාවට විරුද්ධව අවි භාවිතා කිරීම ප්‍රතිකෙෂේප කළහ.

"  මේ රතු හමුදාව  ඇත්තටම දේශප්‍රේමී බං. එහෙම හිතුනෙම නැහැ ඉස්සර.ඒ කියන්නේ උන් ඉන්නේ ජනතාව පැත්තේ.  බලපං මුන් තමන්ගේ මිනිසුන්ට විරුද්ධව වෙඩි තියන එක ප්‍රතික්ෂේප  කලා. ගොර්බචොව් ගේ බලයත් ඉවරයි එතැනින්ම"

"දැන් මොකද වෙන්නේ "

"රූබල් එක තව බැහැල. එයාරෝෆ්ලොට් ටිකට්, ලන්ඩන් යන කෝච්චි ටිකට්  ගණන් ගිහින්. කෑම ගණන් ගිහින්. ආණ්ඩුවේ සුපර්මාකට්, ගොඩනැගිලි, පොඩි කම්හල් කුණු කොල්ලෙට විකුණනවා. සල්ලි තියෙන ඕන මාෆියා කාරයෙකුට, කේජිබී කාරයෙකුට , හොරෙකුට ගන්න පුළුවන්. යෙල්ට්සින් කාරයා හැම වෙලේම බීපු ගමන්. හොඳකට තියෙන්නේ රුස්සන්ට  දැන් ඕන දෙයක් කියන්න, ඕන කෙනෙකුට බනින්න නිදහස  තියෙනවා." ප්‍රියාන් කීවේ අවඥාවෙන් ද යන්න ඔහුට නොවැටහුණි.

නංගීගේ විවාහය හොඳින්  කිරීමට ගිහාන් සමත් විය.

අම්මාට හා නංගීට කොළඹ විශාල හෝටලයක අධික මුදලක් ගෙවා විවාහය ගැනීමට අවශ්‍යව තිබුණි. එයට ගිය වියදමද තවම ගෙවා අවසන් නැත. එය විකාර වියදමක් යැයි ඔහුට සිතුනද  ලංකාවේ කටයුතු කෙරෙනා අන්දමට හැඩ ගැසීම වැදගත් යයි සිතා නිහඬ විය. ඔහු කම්පාවට පත්වුණේ   ඔවුන්ට අයත් කුඩා ඉඩමක් ද විකිණීමට  සිදු වීමෙනි. කොළඹට එතරම් දුර නැති වුවත් තවමත් කුඹුරු හා තුරු වැල් පිරී ඇති  සුන්දර පෙදෙසක පිහිටි එම ඉඩමේ කෙසේ හෝ නිවසක් තනා ගෙන තාන්යා සමග ජිවත් වීමට ගිහාන් සිතා සිටියේය. ඒ අදහස නිකම්ම අත්  හැරීමට සිදුවිය .

ගිහාන්ගේ හිත රිදුනේ නංගි තාන්යා අමතක කිරීමට ගිහාන්ට කි වේලේය.
"අයියේ ඔය පිටරට සුදු ගෑණු විශ්වාස කරන්න බැහැ. අනික රුසියන් කෙල්ලෝ කිව්වහම මෙහෙ ප්‍රසිද්ධ මොනවටද? හෝටල් ගානේ ඉන්න අයටනේ. හේෂාන් නුත් කීව ඔය කතාව "

 "ඇයි හේෂාන් ගිහිල්ල පාවිච්චි කරලා තියනවද?හොයල බැලුවද ඔයාට බොරු කියල ගියාද කියල? ඇයි උන් විතරද වල්  කමේ යන්නේ, අනිත් රටවල ගෑණු යන්නේ නැත්ද?  මම දන්නා තරමට  රුසියාවේ හෙම හිටිය ලංකාවේ, ඉන්දියාවේ, අප්‍රිකාවේ සමහර  කෙල්ලන්ගේ  පට්ටන්දරේ දිග අරින්නද  "  ගිහාන් කඩා පැන්නේය.

"ඔය ඉතින් ඔයත් එක්ක කතා කරන්න  පුලුවන්ද? හොඳ අය ඇති . මම කියන්නේ ඔයාගේ හොඳට. මෙහෙ ගෙනල්ල ඔයාට ලෙහෙසි වෙන්නේ නැහැ. අම්මව තාත්තව  බලන්න වෙන්නේ මට විතරද. ඔයා එහෙ හිටිය කාලේ මම බැලුවේ. දැන් ඔයාගේ වාරේ."

"ආ ඒකද දැන් ඔයාගේ ප්‍රශ්නේ? දෙමාපියෝ ගැන මම බලා ගන්නම්. ඔයා ඉන්න කරදර නොවී. තාන්යා අම්ම තාත්තා ඔයාට වැඩිය හොඳට බලා ගනී"

"අනේ ඔයා  ඉන්නේ හීන ලෝකේ. අපි දන්නේ නැත්ද? ඒ ගෑණු කෙනා දැන් වෙන කවුරුහරි යාළු වෙලත් ඇති"

"පලයන් යන්න. උඹ දන්නේ මොනවාද මමයි තාන්යයි ගැන " ගිහාන් නංගිව එළවා ගත්තේය.

මව සිටියේ නංගීගේ පැත්තේ බව ඔහු දැන  සිටියේය.
පියානම් කතා කළේ වඩා අනුකම්පා පෙරදැරිවය. ඔහු මුලින් ආලය  කල ද්‍රවිඩ පෙම්වතිය සිහි වෙන්නටද ඇත.

"පුතා කැමතිනම් මගේ අමනාපයක් නැහැ. හිත ගිය තැන මාළිගාව කියනවනේ. පුතා ගේන ඕන දැරිවියක් මගේ දුවෙක්" තම පියාණන් දැඩිව වැළඳ ගැනීමට තරම් ස්නේහයක් ගිහාන්ගේ සිතේ පහලවිනි. එහෙත් තාන්යා ගේ පියා ඇලෙක්සෙයි වැළඳ ගත්තාක්  මෙන් හුරුවක්  ලංකාවේදී  පුරුදු නැත.

දොරේ සීනුව නොකඩවා නාදවිය. ඒ මදිවාට දොරට තඩි බාන හඬද ඇසුනි.

 "විශාඛා, මොකද මේ පොඩිත්තත් එක්කම "

විශාඛා පොඩි දරුවාද රැගෙන දොර අසලය. එදා හිත හදාගෙන ගියාට පසු ඇය දුටුවේ අදය.

පොඩිත්තා රැගෙන නිවස තුලට පැමිණි විශාඛා දරුවාට  සෙටිය උඩ හිඳ ගැනීමට සලසා ඇය රැගෙන ආ සෙල්ලම් භාණ්ඩ කිහිපයක් හා පාට කරන  පොතක් දරුවා අතට දුන්නාය.

නිවසේ තිබූ කුඩා කෑම මේසයේ පුටුවක් එලියට ගෙන පැත්තකින් මෙන් හිඳගත් ඈ තවමත් විමතියෙන් මෙන් දොර අසල සිටගෙන සිටි ගිහාන් දෙස බැලුවාය.

"මම පහුගිය දවස් කිහිපයම කල්පනා කලා ගිහාන් අයියේ. අම්මල ගාවට යනවද දරුවා එක්ක ඉන්නවද තනියම  කියල. කෝච්චියට  පනින්නත් හිතෙනවා වෙලාවකට. මං මෙහෙ ආවේ අයියේ ..." විශාඛා වාක්‍යය  අවසන් කිරීමට  තැතනුවාය.
ගිහාන් ඈ දෙස බලා සිටියේ තාන්යා පිලිබඳ කල්පනාවේ ගිලී සිටියදී හදිසියේ මෙන් පැමිණි විශාඛා නිසා තෝන්තු වී ගිය මනසින් යුතුවය.

"ඔයාට මං ගැන පොඩ්ඩක් හරි අදහසක් නැද්ද ගිහාන් අයියේ. මං දරුවත් අරන් ආවේ ඒකයි. මං හුඟක් අසරණයි.  මට යන්න  කියන්න එපා අයියේ එදා වගේ"

ඇයට කිව යුත්තේ  කුමක්ද යන්න ඔහුට එකවර සිතාගත නොහැකි විය.

"නංගි එහෙම කරන්න බැහැනේ අපි දෙන්නට. ඔයා තවම නිලන්ත බැඳලා ඉන්නේ. ඔයා  නීතියෙන් වෙන්වුනත් නිලන්තගෙන් මට..." ඔහු කීමට ගිය ඉතිරිය ගිල ගත්තේය.
  " නිලන්තට  එදා තරහට ගියාට ආපහු එයි. ඒ දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉඳන් නැවකට යන්න පැපුවා යනවා කීවට ගිහින් නැහැ.  මම දන්නවනේ මගේ යාලුව ගැන. නංගි මම කතා කරන්නම් එයාට. "

"අයියේ, ඒ දීගේ හරියන එකක් නැහැ. ඔයා නොදන්නා  ගොඩක් දේ තියනවා. මට ඔයා ඇරෙන්න යන්න  වෙන තැනකුත් නැහැ වගේ අයියේ.  ඔයා මාත් එක්ක තවම තරහද මම නිලන්තව බැන්දට. ඔයා රුසියානු ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා කියල දැන ගත්තට පස්සෙයි මම නිලන්තට කැමැති වුනේ. එයා ඔයාගෙත් හොඳම යාලුවා නිසා. අනික නිලන්ත  ඒ කාලේ ඉඳන්ම  මට කැමැත්තෙන් හිටියේ කියල මම දන්නවා. "

"නංගි  මමම තමයි නිලන්තට කිව්වේ  තාන්යා ගැන ඔයාට කිව්වට කමක් නැහැ කියල. ඔයා නිරපරාදේ මං ගැන බලාපොරොත්තු තියන් එහෙම ඉන්නවද කියල නොදැන හිටි නිසා "

"නොදැන හිටියා කියන්නේ අයියේ. අනේ ඔයාට එච්චරටම  මාව අමතක වුනාද? අපි ගඟ අද්දර බලන්න ගියා මතකද ඔයාට? ඔයා ඒ  ෆිල්ම් එකේ සින්දු ලස්සනට කියනව මට තවම මතකයි. පහුගිය දවස්වල මට ඒ හැමදෙයක්ම මතක් වුනා?"

"ගඟ අද්දර බලන්න ගියා කියල මට මතකයි. අපි දෙන්න විතරක් නෙමේ නේද ගියේ "

"බේරේ වැවේ තියන සීමා මාලකෙට ගිහින් මල් පූජා කරනවා මතකද ඔයාට. පාරේ ඉඳන් එතන ඇතුලට යනකොට තමයි ඔයා මට  නිලන්තයි අනිත් යාළුවොයි අඳුන්වල දුන්නේ. අපි හුඟක් දවස් වල එතනට ගියා? දවසක් , ඩුප්ලිකේෂන් පාරේ  කොල්ලුපිටියට ගිහින් අර මග පාරකින් මල් පාරට ඇවිල්ල අපහු හිටපු තැනටම ආවේ.  අපි කොච්චර  ඔහේ ඇවිද්ද ද? ඔයා ඒ පාරවල් හොඳට දන්නවා."
විශාඛා ඔහු දෙස බල මද සිනහවක් පෑවාය.

"හයියෝ ඉතින් මේ ඒලෙවල් කරන කාලේ අපි හැම වෙලේම තනියම ගියාද? යාළුවොත් එක්කමනේ වැඩි හරියක් ගියේ. විශාඛා අපි දෙන්න කවදාවත් ආදරෙයි කියල තියෙනවද? අපි එක පාරක් පබ්ලික් ලයිබ්‍රරියේ පාඩම් කරද්දී මම ඔයාගෙන් ඇහුවේ එළියේ ඇවිදින්න යමුද කියල? ඔයාමනේ හෙන රැවිල්ලක් දාල ගස්සල පොත දිහා බලන් හිටියේ. අපි අතරේ සෙනෙහසක් වගේ දෙයක් තිබ්බ තමා. ඒත්  දැන් ඔයා නිලන්තව බැඳලත්  අවුරුදු කීයක්ද නංගි ? "

"අනේ ඉතින්" විශාඛා හඬන්නට ගත්තාය .

"මම ඉස්කෝලේ ඇරිලා බඩගින්නේ ඉන්නවා බස් යද්දී නගින්නේ නැතිව. ඔයා එන බස් එක එනකන්. ආදරේ කියල කියන්නම ඕනෙද? ඔයාට තේරුනේ නැත්ද? ඔයා හරිම කුරිරු මනුස්සයෙක් වෙලා . තාන්යා තමා ඔයාව  කුරිරු කරලා තියෙන්නේ. නිලන්ත මාව දාල ගියාට පස්සේ මට ඔයා ගැනමයි හිතුනේ. මට හිතුනෙම  ඔයා එනකන් හිටියේ නැති නිසා මට මේ දඬුවම ලැබුන කියල. " විශාඛා නැවතත් හඬන්නට පටන් ගත්තාය.

"විශාඛා, අපි එකට ඇවිද්ද, කෑව බීව, යාළුවෝ එක්ක එකම එක විනෝද ගමනක් ගියා. ඒත් අම්මලත් ගියා ඒවාට.  මට ඔයා ගැන හැඟීමක් තිබ්බේ නැහැ කියලම  මට කියන්න අමාරුයි. මම සෝවියට් යන දවසේ ඔයා මගේ ටයි එක හැදුව මතකද? ඒවා මට තියෙන ලස්සන මතක ඔයා ගැන. ඒත් නංගි වෙලාවකට මට හිතෙනවා මගේ නංගිට වගේම ආදරයක් එතන තිබ්බේ කියල. ඒක එතනින් එහාට ගියේ නැහැ. "

ගිහාන් විශාඛා ඉදිරියෙන් වූ පුටුවේ හිඳ ගත්තේය.
මවගේ හැඬිම දුටු කුඩා දරුවා පැමිණ විශාඛා ගේ උකුල ලඟින් හේත්තු වූවේය. දරුවා වඩා ගත්  විශාඛා ගවුමේ කොනකින් කඳුළු පිසදා ගත්තාය. සෙටියේ කොනක හිඳගත් ඈ දරුවා තමන්ට තුරුළු කරගත්තාය.

"පුතාට නිදි මතයි වගේ. රෑ වුනානේ. "

"ඔයා පුතාව ගිහින් අනික් කාමරේ ඇඳේ තියන්න. කිරි එක තියනවද මම රත් කරන් එන්න"
"බෑග් එකේ " කියූ විශාඛා දරුවා රැගෙන කාමරයට වැදුනාය.
මද පමණට රත් කළ කිරි බෝතලයට දමා විශාඛා ට දුන් ගිහාන් දොර අසල බලා සිටියේ ඇතුළට නොයාය.

මද වෙලාවකින් කුඩා දරුවා නින්දට ගියේය. ගිහාන් සෙටියේ වාඩිවී  සිටියදී විශාඛා විසිත්ත කාමරයට ඇතුළුවන හරියේ ඇති බිත්තියට වාරු දී සිට ගත්තාය.

"ඉඳගන්න මෙතැනින්" ගිහාන් ඇයට පැවසීය.

"තාන්යා එක්ක මගේ සම්බන්ධය  අර කුමරි පත්තරේයන පුංචි ආදර කතා වගේ එකක්ම නෙමෙයි. ඔයා ඒවාට ආසයිනේ "

"ඔයාට ඒවත් මතකද "

"තාන්යා මුණ ගැසුන දවසේ ඉඳන් ඒ සම්බන්ධය පටන් ගැනුණේ  ශාරීරික ආකර්ෂණයකින්  වෙන්න පුළුවන්. නමුත් ඒක අපි ඔය  පොත්වල කියවල තියනවා වගේ හිතේ ගැඹුරුම  තැනින් පටන් ගත්ත ක්‍රමයෙන් වැඩිවෙලා මුල් බැස ගත්ත ආදරයක් . හිතින් ගතින් දෙකින්ම. ඔයා මට සමාවෙන්න දහස් වාරයක් මෙහෙම කියනවට.  ඔය කවියෝ, ප්‍රේම කතා ලියන නවකතා කාරයෝ කියන ප්‍රථම ප්‍රේමය කියා එකක් තියනවානම් , මුළු හදින්ම පෙම් කරපු ප්‍රථම ප්‍රේමයක් තියනවා නම් මට ඒ තාන්යා එක්ක. මට එයාව අමතක කරන්න  බැහැ.  මට  සමාවෙන්න හොඳ නංගි වගේ."

විශාඛාගේ සිහින් කෙඳිරියක් සවනට වැකෙන සේ  ඉකියක් ගැසුවාය .

"මම පොඩි එකත් අරන් යනවා අම්මලාගේ ගෙදර. ඒ මිනිසුන්ගේ හිත රිදවන්න බැරි නිසා මෙපමණ දවසක් හිත හිත හිටියේ. ගිහාන් අයියේ මට සමාවෙන්න ඔයාට කරදරයක් කෙරුවට "

"ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ විශා. මම තනියම  මෙහෙ ඉන්නේ. තව කාමරේකුත් තියනවා. ඔයාගේ අම්මලට මුකුත් කියන්නේ නැතිව ඉමු. අපි නිලන්තට කතා කරමු. අපිට මේක විසඳ ගන්න පුළුවන්"

"අනේ අයියේ, මට එයට ආයි කතා කරන්න  කියන්න එපා. ඔයා   දන්නේ  නැහැ මට වෙලා තියන දේවල්. " විශාඛා නැවතත් මහා හඬින් හඬන්නට පටන් ගත්තාය.

විශාඛා හා නිලන්තගේ පොඩි පුතු නැගිට කාමරයේ දොර අසල සිට තම මව දෙස බලා සිටිනු ගිහාන් දුටුවේය.

"යමු පුතා දොයියන්න " ඔහු දරුවා වඩාගෙන ගොස් ඇඳෙහි තබා ඔහුගේ අතකින්  අල්ලාගෙන නළල හා හිස සෙමින් පිරි මැද්දේය. පොඩි එක  ටිකකින් යලිත් නින්දට වැටුණි.

සෙටියේ කොනක ඈඳීගෙන සිටි විශාඛා හැඬිම නවතා ජනේලයෙන් එපිට බලා සිටියේ හැඟීම් විරහිත වූ හිස් බැල්මකිනි.

ගිහාන් සීනි යහමින් දමා  තේ දෙකක් සදා එකක් විශාඛා ගේ අතට දුන්නේය.

"නංගි මට මොකද වුනේ කියන්න. ඔය දෙන්නට. ඔයාලගේ රණ්ඩුවයි  නිලන්තට වෙන ගෑණු එක්ක නිදා ගත්ත කියල ඔයාට ආපු නිර්නාමික ලියුනුයි ඔයා එයාට කෑ ගහපු ඒවායි ඇරුණහම මොකක්ද? බටහිර රටවල කවුන්සලින් කියල එකක් තියනවා. ඒ කියන්නේ විවාහක යුවල ගිහින් මනෝ උපදේශකයෙක් ගාව කතා කරන එක. ඒ ගොල්ලන්ගේ උපදෙස්නුත් අරගෙන විවාහය බේරා ගන්න පුලුවන්ද කියල උත්සාහ කරන එක. මෙහෙ මම දන්නේ නැහැ තවම එහෙම තියනවද කියල. නමුත් අපිට කතා කරලා විසඳ ගන්න  පුළුවන් දෙයක්......."

විශාඛා ඔහුට වාක්‍යය අවසන් කිරීමට ඉඩක් නොතබා කතා කළාය.

"අයියේ ඔයාට මට මේවා කොහොම කියන්නද කියල තේරෙන්නේ නැහැ. කාටවත් නොකියපු දේවල් තියනවා අයියේ. " විශාඛා අගේ මුහුණ දෝතින්  වසාගෙන ඉකි බිඳින්නට ගත්තාය.

ගිහාන්  ඇගේ උරහිස සෙමින් පිරි මැද්දේය.

"නංගි, ඔය මගේම සහෝදරියක් වගේ. නිලන්ත මගේ හොඳම යාළුවා. මගේ සහෝදරයා ඌ. අපි දෙන්න අතරේ පොඩි හරි ඇඟැලුම් කමක් තිබුනනේ. ඔයාට මට නොකියා ඉන්න පුළුවන්  දෙයක් නැහැ කියල හිතන්න."

විශාඛා අපහසුවෙන් හිස එසවූවාය. හැඬිම නිසා ඇගේ දෙඇස් රතුවී ඉදිමි කොණ්ඩය අවුල්වී තිබුණි.

"මම මූණ  හෝදගෙන එන්නම් අයියේ "

~~~~~~~මතු සම්බන්ධයි

10 comments:

  1. කිව්වට තරහ වෙන්න එපා මේ පාර කතාවේ භාෂාව හරි කෘතිමයි. කියවනකොට මතක් වෙන්නෙ පියදාස සිරිසේන මහත්තයගෙ කතා විලාසය. කතාවට පදනම් වෙන අසූව අනූව දශකවලවත් මෙහෙම ලියන බසින් සිංහලයෝ කතා කලේ නැහැ.වෙනද තිබ්බ ජීව ගුණය අද නෑ.

    ReplyDelete
    Replies
    1. - ලොකු මලේ මේ විවේචනය ඉතාම සාධාරණයි නිවැරදියි. මම ඊයේ පැයක් ඇතුලත වගේ මේ කොටස ලීවේ. ලිවට පස්සේ හිතුන වාර්තාවක් වගේ කියලත්. එහෙම්ම පෝස්ට් කලා . අනික කතාව ඉවර කරනන් පොඩි ප්‍රෙෂර් එකක් තියනවා ඔක්තෝබර් වලට කලින්. මම කල්පනා කලේ එහෙම නැතිව හීන් සීරුවේ ලියන්න.

      දෙවැනිව මම ලංකාවෙන් ඇවිත් වසර 34 විතර වෙනවා. හුඟක් වෙලාවට කතා කරපු විධිහ අමතක වෙන්න ඇති කියල හිතනවා. අනික දිග වැඩිවෙයි කියල අනවශ්‍ය විස්තර හැලුව. ඒවත් එක්ක මම මේ කොටස ආපහු එඩිට් කරලා දානවා. බොහොම ස්තූතියි

      Delete
  2. "නංගි මට මොකද වුනේ කියන්න. ඔය දෙන්නට. ඔයාලගේ රණ්ඩුවයි නිලන්තට වෙන ගෑණු එක්ක නිදා ගත්ත කියල ඔයාට ආපු නිර්නාමික ලියුනුයි ඔයා එයාට කෑ ගහපු ඒවායි ඇරුණහම මොකක්ද? "

    බොහෝ නිර්ණාමික පණිවිඩ කාන්තා පාර්ශවය විසින් දොහොත් මුදුන් දී පිලිගන්නවා . ඒක ලෝකයේ හැම සංස්කෘතියකම වෙසෙන ගැහැණුන් ට පොදුයි මම අත් දැකපු විදියට .

    විශාඛාගේ හැඬිමට ද තුඩු දුන්නේ නෙතින් නොදැක සිතින් මවාගත් ලෝකයක තනිවීමක් ද .......

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. නමුත් කතාව යන්නේ වෙන විධිහකට .

      Delete
  3. “In three words I can sum up everything I've learned about life: it goes on.”
    ― Robert Frost

    ReplyDelete
  4. මටනම් රුසියාවේ කොටස් හැර අනික් ඒවා රස විඳින්න අමාරුයි. ඒකට හේතුව මේ කතාවෙ මුල සිටිම ගිහාන්- තාන්යා ආදරයට කැමති නිසා. ඔබ යොදාගත් රුසියන් වචන සහ ස්ථාන වලින් ඒ රසය ගොඩක් වැඩිවුණා. පසුගිය කොටස් නොකියවා මේ කොටස විත්‍රක් කියවන කෙනෙකුට ඒක වෙනස් ඇති

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්ත වෙන්න පුළුවන්. කට්ටකඩුවේ මල්ලිටත් ඒ ප්‍රශ්නයම තියනවා මම හිතන්නේ. නමුත් කතාවක් කියන කොට එක හැම තැනකම රසවත් වෙන්නෙත් නැහැ. නීරස තැන තියනවා. මේ එහෙම එකක්. මේක සුන්දර ආදරණිය විධිහට ල්ලියන්න් බහ. නමුත් මේ කොටස් ටික නැතිව ඊළඟ කොටස් ටික ප්ලග් කරන්න අමාරුයි. මම කතාව ලියලා ඉවරයි ඉයන්. මේ හද හද දාන කෑලි

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කුමාරයෝ උඹට ඇත්තට ම මඥ්ඥන්ද . මට වැඩ තියනවා ඕයි. තියෙන වැඩ ටික කර ගන්න වෙලාවක් නැතුව ඉන්නේ. ඔය ඕන දෙයක් කිව්වා දෙන් ඕයි . මගේ ඇඟෙන් යනවද නෑනේ නෑනේ . උන්ගේ සොමියනේ. නෙළුම් යාය දැන් අර කට්ටියක් කරනවා නේද ගිහින් නටන්න කියහන් ඒ ගොල්ල එක්ක. මගේ පොත එලි දක්වන වැඩේට වරෙන් හරිද .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .