Tuesday, 31 October 2017

රත්න ශ්‍රී විජේසිංහයන් නම් කළ ලන්ඩනියම් හි ගී මන්දාව - 2

පළමු ලිපිය : සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1

රත්න ශ්‍රී ගී මන්දාවේ  

මුලින් ලිවූ ලිපිය  සඳහන් කළ "තොටිල්ලක් වන්" ගීතය පැබඳුයේ රත්න ශ්‍රී විජේසින්හයන්ය. වයලීනයේ ශෝකී හඬ මැදින් ගැයෙන මුල් පද මෙලෙස සවනත වැකේ.

"තොටිල්ලක් වන් ගල් පඩිය උඩ  පුතේ නුඹ නිදියාන උන්නා
බුහුටි හුරතල් සිඟිති අතපය මුහුණ නිල් වී තැලී තිබුණා
කාලෙකට පෙර හැර ගියත් නුඹ මට කඳුළු ඉතිරිවී තිබුණා
මගේ පුතේ මම මෝචරිය ළඟ නොමැරී මැරෙමින් හඬා වැටුනා
නොමැරී මැරෙමින් හඬා වැටුනා"

තම සිඟිති පුතු සොයමින් ගිය පියාට මෝචරියේ සීතල සිමෙන්ති පඩිය තුල ඔහු ගේ නිසල දේහය හමුවූ අයුරු මැවී පෙනෙන්නේ සංගීතය ද සමගයි. දර්ශන දිසානායකයන් සංගීතය මුසු කරන්නේ අවසන් පද පේලියෙන් හිතට දැඩි යවුල් පහරක් දෙමිනි.  එලෙසින්ම රත්න ශ්‍රී කිසි පැකිලීමක් නැතිව "මෝචරිය " යන ඉංග්‍රීසි වදනේ සිංහල උච්චාරණය භාවිතා කරයි. එය කාව්‍යමය ලෙස ගීතය හා සබැඳේ. (මේ සමහර ගොරහැඩි වදන් කාව්‍යමය භාෂාවක භාවිතා නොකළ හැකියි සංවාදයක් ගියා මතකද?)

"මව්කිරින් රුධිරයට පෙරෙමින් බිඳින් බිඳ මහා පොලොව තෙමුවා
මෙළොව මා දුටු සීතලම දේ නුඹේ ඇස් අග මිදී තිබුණා "

 රත්න ශ්‍රී අපට දරුවාගේ ඇස් අග රැඳුනු අවසන් කඳුළු බිඳ ගැන පවසන්නේ  "මෙළොව පියා දුටු සීතලම දෙය " මැයිනි. මේ ගීතයේ ප්‍රබලම වදන එයයි මට සිතේ.

"කෝටු වේවැල් අතුල් පහරින් පාරමී ගුණ දහම් මැරුණා " රත්න ශ්‍රී කියන්නේ  මේ බෝසතුන් මෙන් පාරමී දම් පිරූ  ගමනක් නොවන බවය.

"දෙව් දතුන් ගේ ඇසුර ළඟ බුදු පදවි කුමටද කියා හිතෙනා "
 බුදු පදවිය ලබන්නේ කුමටද? අප  ජිවත් වන්නේ දෙව්දතුන් සමග නම්. බෞද්ධ රටක සම්මත සම්ප්‍රදාය බිඳිමින් රත්න ශ්‍රී විමසන්නේ බුදු පදවි අවශ්‍යද ඔබ වසන්නේ දෙව්දතුන් සමග නම් කියායි.

මේ ගීතයේ මා තරමක් හෝ  එකඟ නොවන්නේ යකිනි යෙදුමටය.
"යකින්නන් ගෙන් මෙලොව පිරෙනා"  දරුවාගේ ශෝචනීය මරණයට හේතුව එසේත් නැත්නම් ඝාතනය කිරීමේ පව මුළු මනින්ම මව පිටේ පැටවීමක් යයිද  කියා කුකුසක් මසිතෙහි පැන  නැගුණි. මව පමණක් නොව දඬුවම් දුන් සුළු පියාද දරුවා සොයා ගත නොහැකි වූ පියාද අතවර දැක දැක නිසොල්මන්ව සිටි අසල්වැසියන්ද මේ යක් ගණයටම නොවැටෙන්නේද?

ගී මන්දාව එනමින් නම් කෙරුනේ රත්න ශ්‍රී ගේ යෝජනාවෙන්ය කියා දැන  ගන්නට ලැබුණි.  ඉතින් තමාම නම් කල මේ ගී මන්දාවේ තවත් ගීතයක් ඔහුගේම සුවිශේෂී අත් දැකීමක් විය. ඒ "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතයයි. එම ගීතය ලිවීමට පසුබිම ගැන ඔහු පැවසූ විස්තරය මේ වීඩියෝවේ නැවත කියවෙන හෙයින් ඒ ගැන නොලියමි.

රත්න ශ්‍රී දඬුවම් මාරුවක් ලැබී මොනරාගල රැකියාව කළ අවධියේ නෙළුම්  මල් විකුණා පාසලට අවැසි පොත පත ගන්නට මුදල් සෙවූ දැරියක් නෙළුම් මල් නෙලනට යද්දී  සොරොබොර වැවේ ගිලි මිය යයි. ඇයගේ මරණය අමරණිය වන්නේද ඒ දරුවන් තම ජීවිතය ගොඩ නගන්නට දරන තැත වියකි මිය යන විට අපේ  හදවත කෝපයෙන් දැවෙන ශෝකී අවසානය විදහා දක්වන්නේද  මේ කලාකරුවන් අතිනි. ඒ ගීය ගැන සිතන   මට කුස ගින්න නිසා පාසල් ගොස් සිදුවූ හදිසි අනතුරකින් පාසලින් නෙරපූ දියණියක් ගැන  අසන්නට ලැබෙනුයේ 2017 වසරේය. ගීය ලියවුනේ වසර විසි පහකටත්  කලින්ය. අහෝ තවමත් අප හැරදා ආ ඒ සුන්දරම සුන්දර දිවයිනේ මිනිසුන් වෙනස් වී නැතිද?

අමරදේවයන් ගයන ගීයේ  කොටසක්  මෙසේ වෙයි.

"සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ "

ඒ සුදු නෙලුම් තවමත් විඳින්නේ එම හිංසාවන් මද?

 තමන් අත් විඳින ඕනෑම සුඛ හෝ  දුක්ඛ දෝමනස්සයන්  වදන් පෙළකට  කැටි කර සවනට යොමු කරන්නට සුවිශේෂී හැකියාවක් මේ සොඳුරු මිනිසා සතුය. එම වදන් පෙළවලට විශ්වීය ස්වර කිහිපයකින් සංගීතයක් නිමවන්නට තවත් සුවිශේෂී  දක්ෂතාවයක් ඇති  මිනිසෙකුට හැකිය. යුග දෙකක වුවද මේ දර්ශන නම් ගාන්ධර්වයා ගේ  හා  රත්න ශ්‍රී නම් කාව්‍යයන්  ගී කරන නිමැවුම් කරුවාගේත් සුසංයෝගයෙන් මැවුනේ විශ්වීය සංගීතයකි.

රත්න ශ්‍රී අතින් ලියවෙන්නේ  ඔබ අප  හැමදා අත් දකින යථාර්තයමය.

"උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ 
රතැඟිලි දිගු කොට මදහස නංවන තේ දළු නෙලන ළඳේ "

රත්න ශ්‍රී අසන්නේ රාත්‍රියේ බීමතින් පැමිණෙන  සැමියා ගේ පහර කා හිමිදිරි පාන්දරම යන්තන් කහට කෝප්පයක් පමණක් බි තේ දළු නෙළන්නට දුවන ගැහැණියගේ කඳුකර  සිරියා  පරදන රූබර මුහුණක් දුටුවෙකු සිටියේද යන්නයි. විනෝද ගමන් යද්දී මේ ගීය මාද ගයා ඇත. ඇත්තෙන්ම මට එහෙම සිතුනේද නැත. මේ ගීය  ලියූ රචකයා ට හෝ ගායකයාට හා ගායිකාවට අපහාස කරනවා නොවේ. එය සොඳුරු ගීයකි. සමහර විට මෙවැනි ගීද  ලියවෙන්නේ නැත්නම් අපට සැසඳීමට ද නොහැකි  වනු ඇත.

තේ දළු කඩා ලංකාවේ අපනයන ආදායම වැඩි කරන දෑතේ ඇඟිලි අව්වට කරවී, තේ දල්ලේ කහටින් කළු පහ ගැන්වී ඇති, අතු රිකිලි ඇනී තුවාල වුනු අත් ඇති   තේ දළු නෙලන ළඳුන්  ඔබට බොහෝ විට බයාදු සිනහවක් පාන්නට ඇත.

"අප ණය ගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙලන ළඳේ  " - මේ මවා ගත් යථාර්තය සැබෑව නම් අප ණය ගැති  විය යුත්තේ කරගැට පිරුණු දෑතකටය.  ප්‍රශ්නය වන්නේ අප ණය ගැති  වෙමු කරගැට දෑතට කියා ලිවීමෙන් එතැන ගීතයක් මැවේද යන්නය. රත්න  ශ්‍රී ගේ ගීතයන් වෙනස්  වන්නේ ඔහු සොඳුරු ලෙස පබඳින පද වලින්  සත්‍යය නොසඟවන හෙයිනි.

රුවන් දිසානායක කියන්නේ ප්‍රථම ආදරයේ බිඳ වැටී ඇත්නම් ඒ වේදනාව රැගෙන ඔබ ජිවත් විය යුතු බවය. ජීවිතය හැර දමා පලා යන්නෝ මෝඩයන් වෙති. ඒ වේදනාවේ කිසියම් ආකාරයක ශ්‍රුන්ගාරාත්මක  සතුටක්ද පවතී. ජිවිතයට දිරි දෙන්නේ වේදනාව   තුලින් නැගිටින මිනිසාටය.  ජීවිතය  ඉවත දමා පලා යන දුබලයාට  නොවේ.  දර්ශනට අනුව ප්‍රථම ප්‍රේමය අහිමි වීම ප්‍රශ්නයක් නොවේ. අත්දැකීමකි. නව නිර්මාණයකට අත්වැලකි.  රත්න ශ්‍රී කියන්නේ ප්‍රථම ප්‍රේමය ජය ගත යුතු බවය.  ජය ගත නොහැකි නම් එය වෙනම කතාවකි.

ඉතින් තමන්ගේ මේ ප්‍රථම ප්‍රේමය ජය ගත් ගීත රචකයා ආණ්ඩුවේ දඬුවම් මාරු ලැබ  වෙනත් නගරයක  රැකියාවට යයි. යන්නේ ප්‍රේමනීය බිරිඳ හා දරුවන් හැර දමාය. නමුත් සිරිසඟබෝරජු මෙන්  දරුවන් හා බිරිය ජූජක බමුණාට දන්දී නොවේ.

"මගේ බිසවුනේ අසාපන්" ගීතය ලියවෙන්නේ ඒ අනුවය. බසයේ නැගී අඩුම කුඩුම පොදි  බැඳගෙන බිරිය දරුවන් හැරපියා දුර බැහැර රැකියාවට යද්දී ලියවෙන ගීතය එයයි.

මට යන්න දෙන්න. ඔහු කියයි.

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මහියංගනයට (එසමයේ  ලංකාවේ සයිබීරියාවට ) ඔහු යා යුතුය. ඒ හිමයේ  ඇයට යන්නට බැරිය.  කුලී නිවසේ හෝ ඉඳපන් ය.

මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

මම සිරි සඟබෝ නොවේ. උඹ දරුවන් රැක  ගනින්.

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

ලංකාවේ දිළිඳු පන්තියේ පිරිමියා රැකියාවක් කළ නොහී අඹු දරුවන් රක්නට බැරිව බිරිය යවන්නේ මැද පෙරදිග වාල් කමටය. අද හොඳින්  ජිවත් වෙන බොහෝ මධ්‍යම පන්තිකයන්ගේ ද මුස්ලිම් වරුන්ට ගහන්නට කතා කරන අයගේ ද රටේ සුභ සාධනයට ගත් ණය වල පොලී  ගෙවන්නට ඊළඟ වැඩිම ආදායම එන්නේ මේ මැද පෙරදිගිනි.

මා පිය බිරිඳ ජීවිතය දී හෝ ඔබ රකින්නම්. රට යන්නට ඕනෑ නැත.

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

සිහිනයෙන් ඔබ පැමිණ යන්න. ඒ හොඳටෝම ඇති. අපි ජය ගත්තා නොවැ ප්‍රථම ප්‍රේමය.

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මා  එනතුරු ඔබ ජිවත් වෙන්න පිය බිරියනේ කියා ,  වෙන්වීමේ දුක දරාගෙන යන ගමනේ කවියා කාන්සාව  නිවා ගන්නේ, දුක පියවා ගන්නේ කොලයක කුරුටු  ගෑ ගීයකිනි.
මේ ගීයේ සංගීත නිර්මාණය  හා ගායනය ගුණදාස කපුගේ ශුරීන් විසින්ය.
 රත්න ශ්‍රී ගේ ගී වල අසන්නාට කියනුයේ  ජිවිතයේ දුක හෝ සැප සමසේ විඳින්නට  මිස පලා යන්නට නොවේ.

රත්න ශ්‍රී  විසින් නොලියූ  එහෙත් කාව්‍ය තරඟයකදී රත්න ශ්‍රී  තෝරාගත් කවි පෙළක් ගීයක් වී දර්ශන දිසානායකයන් ගේ සංගීතයෙන් ජිවය ලැබ මෙසේ සවනට ලං වෙයි. ගීතය ලියා ඇත්තේ රජීව  වෙල්ගමයි.



 මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා දෑස් දුන් මිනිසා සොයා....

බොහෝ දේ ලියැවී ඇති මේ ගීතය පිළිබඳ මා අටුවා ටීකා ලිවිම අවශ්‍ය නැතැයි සිතමි.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීත වල පසුබිම් කතා බොහොමයක් ඇත. මා පෙර කලෙක ලිවූ ලිපියකි මේ  අගෝරාවට හෙළි කල රත්න ශ්‍රි ගේ විරහ ගීතය. ඔහු ඒ ගීතය ගැන ගී මන්දාවේ  කළ හැඳින්වීම මේ ලිපියේ  එලෙසින්ම සඳහන් වේ.   

ගී මන්දාවේ ගීත ගයමින් අපේ ගී සරතැස නිවමින් රත්න ශ්‍රී විජේසිංහ හා දර්ශන රුවන් දිසානායකයන් ට ගායනයෙන් සහය දුන්නේ සංඛ එදිරිසිංහ, විශාරද දනුෂා සමන්මලී, ගංගා මාලි හා විශාරද දිමුතු තිලකරත්නයන් ය.

මේ ලිපිය තවමත් මට අවසන් කරන්නට නොහැකිය.

එනිසාම ~ මතු සම්බන්ධයි ~ කියා ලියමි.

Saturday, 28 October 2017

සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1

දර්ශන රුවන් දිසානායක ගී මන්දාවේ 
ලන්ඩනියම් යනු ලන්ඩනයට රෝමානු සමයේ භාවිතා කළ නමයි. ඒ ක්‍රිස්තු වර්ෂ 43 සිට රෝමානු පාලනය අවසන් වූ පස්වන සියවස දක්වාය. ඉන්පසු ලන්ඩනය නමින් නම වෙනස් වී ගියේය. මට මෙය මතකයට නැගුණේ වර්තමාන ලන්ඩනියම් වලට පැමිණි අපූර්ව අමුත්තන් දෙදෙනෙකු නිසාය. ඉනුත් පළමුවැන්නා  රාවණා කාලයටම අප රැගෙන ගිය නිසාය. අනෝමා වත්තලදෙණිය ඇගේ මනරම් සේම ව්‍යක්ත බසින් අපට ඔහු හඳුන්වාදුන්නේ එස් එල් මෝසාර්ට් ලෙසය (එස් එල් - ශ්‍රී ලංකා). පසුව දැනගත් පරිදි ඔහුගේ අන්වර්ථ නාමය දර්ශන රුවන් දිසානායකය. නව නම  භෞතිස්ම කර ඇත්තේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා යයි අනෝමා පැවසුවාය.
වාද්‍ය ඛණ්ඩය 

ඉදින් සංගීතඥ දර්ශනයන්  විසින් පයිතොගෝරසයන් ගණිතය මෙන්ම සංගීතයද හැදෑරු බව අපට කියා දුන්නේය. (පයිතගරස් විසුවේ බුදුන් සමයේ හෝ ක්‍රි පූර්ව  හයවෙනි සියවසේය ). ගණිතය උගත් අප දන්නේ පයිතගරස් ප්‍රමේය ගැන පමණය. නමුත් පයිතගරස් සංගීතයෙ හිද  කෙළ පැමිණියෙකි. පස්වන ස්වරය මෙන්ම (මේ ලියන්නේ සංගීතවේදියෙකු නොවන මට තේරෙන විධිහට පමණක් බව කරුණාවෙන් සලකන්න.) පයිතගරස්  සුසරණය හා සප්තකය (පින්තූරය බලන්න -pythagorean tuning and scale) පිළිබඳ හැඳින්වීමක් කළ ඔහු යුරෝපීය පුනරුදය දක්වා අප ගෙන ආවේය. ඔහු චෝදනාවක්ද   කලේ රටවල් තුනකට භාග වශයෙන් හා පූර්ණව යටත්ව සිටියද එම රටවල සංගීත පුනරුදය එනම් සම්භාව්‍ය සංගීතයේ දියුණුව  උකහා ගන්නට ලාංකිකයන් පොදුවේ අසමත් වූ බවයි.
පයිතගෝරියන් සප්තකය ගැන වඩා දැනගන්න මෙතැනින් හැකිය.

එය එසේ වුවද රාවණා කාලයේ සිට (ක්‍රිස්‌තු පූර්ව වසර 5000 - 6000 ක) ඈත අතීතයකට හිමිකම් කිව හැකි සංගීත සාහිත්‍යයක් ලංකාවට උරුම බවද එය  ජන සංගීතයේ විකාශනය අනුව ඔප්පු කල හැකි බවද  සංගීත ඛණ්ඩයන් මගින් දර්ශන රුවන් පහදා දුන්නේය.  මහා රජු රාවණා ගැන  කතාවල් බොහෝවිට උපහාසයට ලක්වන්නේ එයට ඈඳී ඇත්තේ  සැබෑ යයි කීමට සාධක නැති මනඃකල්පිත කථා සාගරයක් බැවිනි. එහෙත් මහාවංශ කාරයා කියන සිංහයෙකු සමග රමණය කිරමෙන් බිහිවූ ජාතියකට වඩා කපු කටින (රෙදි හැඳි)  ශිෂ්ටාචාරයකට උරුම කම් කිවූ කුවේණි වැනි මිනිසුන් සහ ගැහැණුන් ගෙන් ලාංකිකයන්  පැවත ඒ යයි විශ්වාස කිරීමට මම මැලි නොවෙමි. ඒ ශිෂ්ටාචාරයේ සිට පැවත එන ජන සංගීතයක් තිබේ නම් එය පිළි ගැනීමටද මැලි නොවෙමි. දර්ශනගේ කුවේණි ගීතයට සවන් දෙන්න.


 හය දහස් වසරක් පමණ පැරණි සුමේරියන් මෙසොපොටේමියන්  ශිෂ්ටාචාරයේ සිටත් එලෙසම ජන ගී පැවත  එන බව කී දර්ශන යුරෝපිය ගීතයෙන් පසු අප නූතන සංගීතයේ පරිණාමික නිමේශයට ක්‍රමයෙන් අපත් රැගෙන පැමිණියේ සමහර වැදගත් තැන්  අමතක කර ලමිනි. එහි වැරැද්ද ඔහුගේ නොව ප්‍රසංගය පමාවී පටන් ගැන්මයි. කොපමණ දීර්ඝ ශිෂ්ටාචාරයක් තිබුනද  ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ පමාවී පැමිණීම සේම  ශබ්ද සපයන කණ්ඩායමේ පමාව ද මෙයට හේතු වී ඇත. පමාවී යමක් කිරීමේ ශිෂ්ටාචාරයක් ඒ කාලයේ සිටම පැමිණි ජාතික ලක්ෂණයක් ද කියා විමසීමත් වටී.

 රුක්මනි දේවියගේ සිට සුනිල් ශාන්තට කළ ජාතික  මට්ටමේ කෙනෙහිලි දක්වා පැමිණි ඔහු අමරදේවයන් ගේ බලපෑම සහ ඉන්පසු හැත්තෑවේ දශකයේ සංගීතයේ පිබිදීමත්  එයට එදවස සෝවියට් සංගීත සාහිත්‍යයේ බලපෑමත්  පහදා දුනි.  සංගීතඥ දර්ශනයන් විවෘත ආර්ථිකයෙන් පසු බටහිර සහ පෙරදිග නාද  රටා  සංකලනයෙන් මතුවූ අපුර්ව සංගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන ආදීන්ගේ ගීත තුලින් ඉස්මතු වූ බව පෙන්විය. ඇත්ත වශයෙන්ම කාලය මද වීම නොවන්නට තවත් පැයක් හමාරක්  අසා  සිටින්නට තරම් ඔහුගේ විස්තරය මන බඳින, දැනුම වඩන පුළුල් පරාසයකින් සමන්විත වුවක් විය.  ඒ අතර වාදනය කරන සංගීත ඛණ්ඩයන්ගෙන් සභාවේ මන පිනවීමට ඔහු සමත් විය.

සංගීතඥ දර්ශන දිසානායකයන් විසින් නිමැවූ  ගී අතර තමිලිනී වෙනුවෙන් දෙමළ  සහ සිංහල බසින් ගැයූ ගීතය සහ ඔහු විසින් සම්පාදිත සංගීතය ප්‍රබලය.
 
 ඔහුගේ දහසකුත් එකක් ගීත සහ වාදන  අතරේ කුඩා දරුවෙකු වෙනුවෙන් ගැයූ මේ ගීතය සුවිශේෂී එකකි. මේ දරුවා ජිවත්ව ඇත්තේ පොළොන්නරුව රොටාවැව ප්‍රදේශයේය. ඔහුගේ මව පියා  අතහැර දමා තම සිඟිති පුතුද රැගෙන අනියම් සැමියා කරා ගියාය.  සිඟිත්තාගේ පියා ඔහු සෙවූ නමුත් හමු වුයේ නැත. අනියම් සැමියා හෙවත් බාප්පා දරුවා රිස්සුවේ නැත. ඔහු සහ මව සිඟිති දරුවාට දිනපතාම පහර දුන්හ. ගැමියන් විටින් විට මේ ගැන දොස් පවරා  තිබුණි.  එහෙත් කවුරුත් දරුවා බේරා ගත්තේ නැත.

එක් දෛවෝපගත දිනෙක දරුවාට පහර දුන් මව ඔහුගේ හිස දෙතුන් වතාවක් ගසක වැද්දූ  නිසා දරුවා සිහිසුන් විය. ගැමියන් දරුවා රෝහලට රැගෙන  ගිය මුත් ඔහු අවසන් සුසුම් හෙලීය. දරුවාගේ පියාට සිඟිත්තා  මුණ ගැසුනුයේ මෘත ශරීරාගාරය තුලදීය.  ඔහුගේ දෙඇස් අග කඳුලක් මිදී තිබුණි. මේ සංවේදී සිද්ධිය ඉතා හැඟීම්බරව  දර්ශනයන් විසින් විස්තර කරද්දී ප්‍රේක්ෂක නෙත් වල කඳුළු පිරෙන්නට ඇත. මේ ගීතය මහා කවි රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවෙන්නේ දර්ශනයන් ගේ සංගීතයෙන් අමරණීය වී ගැයෙන්නේ  ඒ අහිංසක දරුවා වෙනුවෙනි.  අහන්න ගීතයක් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන අයුරු. (ගායනය දුමාල් වර්ණකුලසූරිය)

මේ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ තත්වයන් තුල එක දරුවෙකුගේ ඛේදවාචකයකි. යථාර්තය ඔබට සමීප කරන්නට කලාකරුවකුගේ සාතිශය වැදගත් කාර්යභාරය වැටහෙන්නට මෙයම ඇති.

මේ සමග ලිවිය යුතු වන්නේ මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේ එක අරමුණක් නම් රූරි නමැති පදනමට ආධාර පිණිසය යන්න.   එංගලන්තයේ මිල්ටන් කීන්ස් නගරයේ සහ බම්බලපිටියේ මුලස්ථානයන් පිහිටුවා ඇති මේ පදනමේ  සුවිශේෂී කාර්යයක් වන්නේ අතවර වලට පත් ළමුන්ට හා වැඩිහිටියන්ට සායන පවත්වා ඔවුන් පුනරුත්ථාපනය කිරීමයි.  සභාවට ආයාචනයක් කළ එහි සම ප්‍රාරම්භක සුමුදු එදිරිසිංහ මහත්මිය අතවර නිසා ඉපදුනු ළමුන් සමුහයක් බැලීමට සිය දෙමාපියන් සමග ගිය අවස්ථාවන් සිහිපත් කරමින් පැවසුයේ අති විශාල සංඛ්‍යාවක් ළමුන් ශ්‍රී ලංකාවේ අතවර,  වධ හිංසාවන්ට පාත්‍ර  වන බවයි . වසර 2014 දී මෙය සංඛ්‍යාත්මකව 10315 කි. 

සන්ථව නම්වූ තරුණ කැලකගේ සංවිධානයෙන් පැවැත්වූ ප්‍රසංගය වනාහි  බොහෝ කලකට පසු ලන්ඩනයේ දුටු සුවිශේෂිම වූ  සංගීත සන්ධ්‍යාවක්  බව සිතමි. එය එසේ වූයේ ප්‍රතිහස්ත සංගීතඥ දර්ශන රුවන් දිසානායකයන් නිසා පමණක්ම නොවේ. එදින ඒ සුයාමයට සිය ප්‍රතිභාවෙන් එක්වූ මා අග්‍ර ගණයක ලා සළකන ප්‍රවීණ ගීත රචක, කර්තෘ රත්න ශ්‍රී විජේසිංහයන්  ද නිසාවෙනි. ඔහුගේ සහභාගිත්වය ඊළඟ ලිපියකින් දක්වමි.
ගී මන්දාව කණ්ඩායම 

THE PYTHAGOREAN SCALE

රූරි පදනම 

~ මතු සම්බන්ධයි.

Tuesday, 24 October 2017

තවත් එක් බොහීමියානුවෙක්

මේ  කෙටි  සටහන දමන්නට සිතුනේ අපේ ප්‍රකට බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහයන් "කුඹියෝ " නාට්‍යය මාලාව ගැන දාපු ලිපියක් නිසා. ඒ ලිපිය  මෙතනින් කියවන්න.  කාටහරි බොහිමියානුවෙක් කියන්නේ ඇයි ? ඒ  කොහොමද කියල ප්‍රශ්නෙකුත්  කවුරු හරි අහල තිබුන. සෝවියට් දේශයේ සිටියදී හඳුනාගත් පසන් කොඩිකාර සහෝදරයා හුඟ දෙනෙක් හැඳින්වූයේ "බොහිමියානුවෙක් " විධිහට. එයට හේතුව වුනේ පසන් බීමට දැක්වූ අතිශය කැමැත්ත මත් නෙමෙයි. පසන් සාහිත්‍යට, කාව්‍යයට, දේශපාලන කතිකා වලට  දැක්වූ කැමැත්තත්, තැනක් වෙලාවක් නොබලා  රෑ එළිවෙනතුරු සංවාද කරමින් , ගී ගයමින්, එලෙසම මධ්‍යසාර පමණට භාවිතා  කරමින් කල් ගත කල නිසා වගේම,  සාමාන්‍ය සම්මතය  ලෙස කසාදයක් බැඳ කුටුම්භ සංරක්ෂණයේ  යෙදීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා වෙන්න  ඕනේ.
නව බොහිමියාව 

බොහිමියානු රාජ්‍යය තියෙන්නේ චෙක් රටේ. ඉස්සර චේකොස්ලාවකියාව කිව්වේ.  දැන් දෙකට බෙදිලා චෙක් ජනරජය සහ ස්ලොවේකියාව වශයෙන්. මේ බොහිමියානු රාජ්‍යය චෙක් රාජ්‍යය කියලත් ඉංග්‍රීසින් හැඳින්වූවා. (විකිපෙඩියා). බොහිමියානු රාජ්‍යයට මොරෙවියව, සිලෙසියාව, ලුසාෂියාව සහ වත්මන් ජර්මනියට අයත් සැක්සනි, බ්‍රන්ඩෙන්බර්ග් හා බැවෙරියාවත් අයත්ව තිබුන. තරමක් විශාල රාජ්‍යයක්. එක්දාස් හාරසිය ගණන් වල හුසයිට් යුද්ධ කියල යුද්ධ වගයක් තිබ්බ. එකට බොහිමියන් යුද්ධ කියලත් කියනවා. හුසයිට් වරු බොහිමියන්. යුධ වලින් පස්සේ මේ බොහිමියාව ශුද්ධවූ රෝමානු   අධිරාජ්‍යය යටතට ආව. රෝමානු අධිරාජ්‍යය  බිඳ වැටුනම බොහිමියාව හබ්ස්බෙර්ග් ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට යටත් වුණා.   ඊට පස්සේ ජර්මන් රාජ්‍ය භාෂාව වුණා. නමුත් බොහිමියාව කියන නම විතරක් නම් ඉතුරු වුණා ඒ ප්‍රදේශයට.  එක්දාස් හයසිය ගණන් වල ඔස්ට්‍රියානු රජයට එරෙහිව කෙරුණු බොහිමියානු විප්ලවය මර්දනය කෙරුණා. ඔය බොහිමියාවේ ඉතා කුඩා පෙදෙසක් දැන් තියෙන චෙක් රජයේ තියනවා. ඔවුන් ජර්මන් සහ චෙක් භාෂා කතා කරන්නේ. බොහිමියානු රාජ්‍ය  විශ්ව විද්‍යාලයක් හෙම තියනවා.

 ඒ අතරම ඔය රෝමා හෙවත් දැඩි ලෙස පීඩනයට  පත්වුණු දුඹුරු සම ඇති ජිප්සිවරු (අහිගුන්ඨක -ඔවුන් ඉන්දියාවෙන් යුරෝපයට ආව කියන්නේ රෝම හමුදා සමග) ඉන්නවනේ.  ඔවුන් වැඩිපුරම හිටියේ චෙක් රටේ. වසර 1423 අප්‍රේල් 17 දා චෙක් රජු සහ රෝම අධිරාජයා සමග ගිවිසුමක් අත්සන් කරලා ඔය රෝමා ජිප්සී වරු බොහිමියා  පෙදෙසේ පදිංචි කලා. ඔවුන් බොහෝ දෙනෙක් දෙවන ලෝක යුද්ධෙදි ඝාතනය  වුණා. ඔය තමයි ඉතා කෙටියෙන් පසුබිම.
" කුමන්ත්‍රණ කරුවන්"  ජෝන් ස්ලෝන්

අවුරුදු 96 කට කලින් ඒ කියන්නේ 1917 ජනවාරි 23 දා කලාකරුවන් කිහිප දෙනෙක්  අමුතු වැඩක් කලා. ඒ අය   තමයි කාව්‍ය රචකයෙකු වන ගර්ට්‍රුඩ් ඩික්, චිත්‍ර  ශිල්පී  ජෝන් ස්ලෝන් (ඉහත චිත්‍රය), මර්සෙල් දුෂාම්ප්, නළුවකු වන රසල් මෑන්, බෙටි ටර්නර් සහ චාර්ල්ස් එලිස්. ඔවුන් නිව්යෝර්ක් නුවර ග්‍රිනිච් කියන ගමේ ජිවත් වුනේ. එහි වොෂින්ටන්  චතුරශ්‍රයේ තිබෙනවා උස කුළුණක්. (Washington Square Arch). ඔවුන් කළේ මේ කුලුනට නගින එක.  ඔවුන්ව පසුව නම් කලේ "කුළුණු (හෝ ආරුක්කු) කුමන්ත්‍රණ කරුවන් ලෙස " (Arch conspirators). ඔවුන් කුළුණ  උඩට නැගල (චිත්‍රය  බලන්න)  "නීතිමය ප්‍රකාශනයක්" කළා. එනම් එම කුලුන සහිත පෙදෙස "නිදහස් සහ ස්වාධින වොෂින්ටන් චතුරශ්‍ර ජනරජය " හෙවත් "නිදහස් සහ ස්වාධින බොහීමියානු රාජ්‍යය " ප්‍රකාශයට පත් කලා. ඔවුන් ඒ වනවිට කුළුණ උඩ හතරැස් කොටසට බ්ලැන්කට්, චීන ලන්තෑරුම් , තේ , වයින් සහ කැප් පිස්ටල් අරන් ගියා. රතු බැලුම් අරන් ගිහින් කුළුණ වටේ එල්ලුවා. කැප් පිස්ටල් කියන සෙල්ලම් පිස්තෝල ජාතියෙන් වෙඩි තිබ්බාම ලොකු සද්දයක් එක්ක දුමක් පිට වෙනවා. 
කැප් පිස්තෝලය 

ඉතින් මේගොල්ලෝ මොකද කළේ ? වයින් හා තේ බිබී කවි කියමින්, ගීත කියමින්, දේශපාලන වාද  විවාද කරමින්, අර පිස්තෝල වලින්  වෙඩි තබා ශබ්ද නගමින් එලි වෙනතුරු කල් ගත කලා. ඒ කියන්නේ  උදේ පොලිසියෙන් ඇවිත් "නිදහස් සහ ස්වාධින බොහිමියානු ජනරජයේ"  වැසියන් අල්ලා  ඉවතට දමන තුරු. 

එදා ඉදන් බොහිමියන් කියල කියන්නේ කවුරු හරි කෙනෙක්  සම්මත නොවූ ජිවිතයක් ගත කරනවා නම්, ආදරය සහ ලිංගිකත්වය එක අයෙකුට සීමා නොකරනවා නම්, ගිහි සම්බන්ධතා  අඩු නම් (පවුල් පන්සල් නොවී) ,  සංගීතය, චිත්‍ර, සාහිත්‍ය ආදී දේ ගැන දැඩි උනන්දුවකින්  ඉන්නවා නම් එවැනි අයටයි. ඔවුන් බොහෝ විට කාලයේ සීමාවක් නොමැතිව ඒ දේවලට යොමු වෙන නිදහස් ජිවිතයක් ගත කරන්නන්.

කොයි එකේදිත් වගේ මෙතනදීත් ප්‍රංශ කාරයෝ මේ කතාවට විරුද්ධයි. ඔවුන් කියන්නේ බොහිමියන් නම ආවේ 19 සියවසේ ප්‍රංශයේ පැරිසියේ දී  කියල. ඒ කියන්නේ ඔය මම ඉහතින් සඳහන් කල ජිප්සී  රෝමා වරු එක පවුලකට නොබැඳුණු, තැනින් තැන යමින්, රාත්‍රියේ  බිමත්ව ගීත ගයමින් නටමින් සිටින පිරිසක්. ඔවුන්ගේ දරුවන්  රැහේ දරුවන්. ඔවුන් කලින් කීව වගේ හිටියේ බොහිමියාව මුලාශ්‍ර කරගෙන. පැරිසි වැසියන් සමුහයක් ඒ විධිහට නිදහස් ආදරය සමග ජිවත් වෙන්න පටන් ගත්තලු. බොහිමියන් නම ආවේ එහෙමලු.

එංගලන්තයේ  බොහිමියානුවෙක් කියන්නේ සාමාන්‍ය සම්මතයට පිටුපා  නිදහස් ආදරය හා බැඳීම් රහිත ජිවිත ගත කරන කලා කරුවන්ට. ශේක්ස්පියර් ගේ වැනිටි ෆෙයාර් කියන නවකතාවේ සහ  ජෝර්ජ් දු මොරියේ ගේ ට්‍රිල්බි කියන නවකතාවේ කියැවෙන්නේ එලෙසයි.

හැබැයි බොහිමියානුවෙක් කියන්නේ කොමියුනිස්ට්  විප්ලවවාදියෙක් නම් නෙමෙයි. බොහෝවිට බොහිමියානුවෙක් අරාජිකවාදියෙක් විය හැකියි.



පින්තූරය ; Conspiracy Atop the Arch
How Bohemians Got Their Name




Thursday, 12 October 2017

සරදගේ සෙල්ෆිය

සරද සමරසිංහ ගේ කෙටි කතා සංග්‍රහය 
සරද සමරසිංහ මුලින්ම හඳුනා ගන්නේ බූන්දියේ ලිපි වලිනි. ඒ සරද පෞද්ගලිකව කවුරුන්ද මොන වගේද යයි කියා නොදැනය. ඉන්පසු අගෝරා උළෙල සම්බන්ධ  සාකච්ඡාවකදී සරද යලි මුණ ගැහුනි.  සරද ගේ ලිපියක් කියවන සැම විටම මගේ තිබුනේ විවේචනයකි. සරද එම විවේචනය මා අරභයා ද එලෙසම කළේය. මේ ලිපියේ සඳහන්  වන දේශපාලකයා වැනි දේශපාලකයන් සමග සරද ගේ ද සම්බන්ධකම් ඔහු කලින් කළ  වෘත්තීය අනුව තිබු බව දැන  ගැනීමෙන් පසු සරද ගේ විවේචනය එන්නේ කෙසේද යන්න ගැන මට අවබෝධයක් ඇති විය. හොඳ වෙලාවට සරද දෙබිඩ්ඩෙක්  නොවේ.

විවේචන කෙසේ වුවද  මුණ ගැසී කතා කරන හැම අවස්ථාවකම  සරද ඉතා සොඳුරු හිතවත් යහළුවෙකු බව නම් හැඟිනි. එසේම ඔහු තමන් දරනා අදහස් වෙනුවෙන් අවංකවම පෙනී සිටින්නෙකි. මේ මිත්‍රත්වය එසේම පැවතීමට අප දෙදෙනාම සහජයෙන්ම ආයතන විරෝධී වීම (anti-establishment) ද  හේතුවක් වන්නට ඇත.

සරද ගේ කෙටි කතා පොත මා අතට පත් වුනේ නොබෝදාය.  ලන්ඩන් හි සහෘද බ්ලොග්කරුවෙකු වන චන්දන ගුණසේකර පොත ගැන කල ෆේස්බුක් හැඳින්වීම  පොත හැඳිනීමට සෑහේ.  එනිසා පොතේ කෙටිකථා හඳුන්වා දීමට වඩා ඒ ගැන මගේ අදහස් ගැන ලියමි. පොතේ පිදුමේ ඇති   "සපත්තු දෙකේ කතාව " හෙවත් පිදුම මා වෙනත් මූලයක් හරහා කලින් දැනසිටි සත්‍යමය සංවේදනීය  සිදුවීමකි.

මගේ පළමු ප්‍රශ්නය නම් සිද්දිය සිදුවන්නේ මාතලේ බව හෝ යක්ෂයාගේ හෝරාවේදී බලෙන් අතුරුදන් කල ඒ පාසැල් මිතුරාගේ නම හෝ සඳහන් කිරීමට සරද අසමත් වූයේ  මන්ද යන්නය. තවමත් විවිධ පාර්ශව  නිසා අතුරුදන් වූ එවැනි මිනිසුන් හා ගැහැනුන් ගේ නම් බොහොමයක් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබේ.

ඉතින් ඒ හා සම්බන්ධව එන අනිත් සම්බන්ධය නම් සරද වනාහි කිසියම් අන්දමක වාමාංශික  ප්‍රගතිශීලි සමාජවාදී මතවාදයන්  දරන්නෙකු බවට මට ඇති අවබෝධයයි. ඒ අවබෝධය අනුව බලන විට "කැත  ගැහැනියගේ හීනය " හෙවත් සෙල්ෆිය මැයෙන් පුරුෂෝත්තමවාදී ලෙස ගැහැණිය දෙස බලන කෙටි කතාවක් සරද ලියන්නේ  කෙසේද යන ප්‍රශ්නය මට පැන නැගුණි.(මේ කියන්නේ මුළු පොතේම ඇති කෙටි කතා ගැන නොව එහි එන එක කෙටි කතාවක් ගැන පමණි)

මගේ ප්‍රියතම ලේඛකයෙකු විසින් ("මගේ ආදරණිය යක්ෂණී" පොතේ කතෘ)  ලියා ඇති පෙරවදන ප්‍රබල එකකි. ඒ පෙරවදනේ මේ "කැත ගැහැනියගේ කතාව" පවතින සමාජයේ පැතිකඩක් පෙන්වන්නේ යයි හඳුන්වනු ලබයි. ඔව් ඒ විය හැකිය. ඒ මෙසේය.

වරක් සෝවියට් දේශයේදී රුසියානු තරුණියක් සමග සබඳතාවක් ඇති මිතුරෙකු මගෙන් මෙසේ විමසීය
"මොකද මචන් මේ රුසියාවේ කැත කෙල්ලෝ නැත්තේ.වයසට ගියහම නම් ඔක්කොම මහත් වෙනවා. හැබැයි බැලුවහම  හැම කෙල්ලම ලස්සනයි වගේනේ "
"හැමෝම තමන් අඳින ඇඳුම හොඳට අඳිනවා නේද? ගෙදරට වුනත් වැරහිලි එල්ල ගෙන ඉන්නේ නැහැ. තියෙන විධිහට මුහුණේ පාට ටිකක් ගාල ලස්සනට ඉන්න හදන නිසා අපට එහෙම පෙනෙනවා ඇති. අනික උන්ගේ තියෙන ලිංගික නිදහස නිසා පිරිමි ගැහැණිය ගේ කැත ගැන වැඩිය හොයන්නෙත් නැහැ නේද? නිදි යහනේදී දක්ෂ නම් " මම පිළිතුරු දුනිමි.

ඇත්තටම කැත ගැහැනුන් සහ පිරිමින් සිටීද? බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් යුරෝපිය රටවල් කෙනෙකුට "මහත" (fat)  යයි කීම අපහාසයක් ලෙස සැළකේ. මහත ගැහැනුන්ට කැමති පිරිමින් සිටිති.  ඔවුන්ට මහත ගැහැනුන්  "කැත" ගැහැණුන් නෙමේ. "කළු" ගැහැණුන් හෝ පිරිමින් කැතද? බටහිර රටවල "කළු" ජාතිකයන්ට විරුද්ධ අන්ත ජාතිවාදී (racist) ව්‍යාපාර තිබේ. නමුත් විමතියක් දනවන අයුරින් ඇතැම් අවස්ථාවල මේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීන් ගේ පෙම්වතියන්, බිරිඳන් කළු ගැහැණුන්ය. එසේම කළු පිරිමින් සමග සබඳතා පවත්වන අය බොහෝය. "කළු" යනු කැත යයි සිතන්නේ ලංකාව, ඉන්දියාව වැනි රටවලය. කළු හම  ඉතා නීරෝගී වන අතර වයසට යාමේදී කළු ජාතිකයන්ගේ වයස නොපෙනේනේද එබැවිනි. සුදුහම වයස්ගත වීමේදී හැකිළුණු වියපත් ලකුණු වඩා ඉක්මනින් පෙන්වයි.

නිව්යෝර්ක් හි , ප්‍රංශයේ පැරිසියේ හෝ  ලන්ඩනයේ රඟදෙන විලාසිතා සංදර්ශන වලට ගොස් හෝ ඒවා දැක තිබේද? ඒවායේ ප්‍රධාන පෙලේ මෝස්‌තර කරුවන් ගේ ඇඳුම් ආයිත්තන්  ප්‍රදර්ශනය කරන කෙට්ටු උස තරුණියන් ගැන සිතන්න. ඒ සමහරු මාස ගණනකට  හරියට නොකා නොබී හාමතේ සිටි අය මෙන් නොවේද? මේ සමහරුන්ගේ ඇට සැකිළි වැනි ශරීර  දුටු විට මරණානුස්මෘති භාවනාව මතක් වෙන්නේ නැත්ද?    නමුත් ඔවුන් "ලස්සන" තරුණියන් ලෙස හැඳින්වෙන අතර ඒ හැඩය විකුණා මිලියන ගණන් මුදල්  උපයති.

ඉදින් යමෙකු කැත ගැහැණියක් , ලස්සන ගැහැණියක්  හෝ කැත පිරිමියෙක් කියා අප හඳුනාගන්නේ කෙසේද? එය ඔවුන් දෙස බලන්නාට හෝ ඔවුන් ගැන සිතන්නාට  සාපේක්ෂව පහළවන හැඟීමක් මිස යථාර්තයක් වන්නේද?

මෙහිදී මට "පංච පාපා" ගේ ජාතක කතාව මතක් වෙයි. බ්‍රාහ්මණයින් හෝ හාමුදුවරුන් ලියන ලද ජාතක කතාවල "නරක " ගැහැණුන් හෝ "පාපයේ බැඳෙන " ගැහැණුන් වැහි වහලාය.  ඔවුන් ගැන හිතීමත් "පාපයකි" "පංච පාපා" යනු  පෙර භවයක පසේ බුදුවරයෙකුට බැණ වැදීම  නිසා ඉතා විරූපිව උපදින්නියකි. අත්, මුහුණ ඇදවී පස් ආකාරයකට විකෘත වූ බැවින් පංච පාප කියා නම් තැබුණි. නමුත් තමන්ගේ හදමින් සිටි නිවස සඳහා ගන්නා මැටි ටිකක් පසු එම පසේ  බුදුන්ටම දුන්  පිනෙන්  ඇගේ ස්පර්ශය දිව්‍යමය වෙයි.

 රට වටේ යන බරණැස් රජුට මේ තරුණිය කෙසේ හෝ  මුණ ගැසෙයි. ඇගේ   ස්පර්ශයෙන් වශී වන රජු හැම රැයකම පැමිණ සංවාසයේ යෙදෙයි. නමුත් ඇය අතිශයින්ම විරූපී නිසා සියල්ල සිදු වන්නේ අඳුරේය. ("කැත ගැහැනියගේ තානායමේ හොර රහසේ මෙන්)  මේ තරුණියගේ පියා පසුව බරපතල ලෙස අසනීප වෙයි. ඔහුට බත්  සමග විළඳ හා තවත් දේ අනුභව කරන ලෙස වෙදුන් නියම කරයි. දුගී  දෙමාපියෝ ඇයට  (දුගියෙකු ලෙස වෙස්වලාගත්) සැමියාගෙන් ඒවා ඉල්ලන්නට යයි කියති. මුලදී අකමැති වුනත් ඇය රාත්‍රියේ එන රජු ගෙන් උපකාර ඉල්ලන්නේ රජු කියා නොදැනය. රජු සහල සහ විළඳ සමග බෙහෙත් ගෙනෙයි.

ඇගේ පහසින් මත්වන රජුට සිතෙන්නේ  ඇය සරණ පාවා ගන්නටය. ගෙනෙන සහල් සමග තම රන් වළල්ලක් සඟවා  පසුව රාජ පුරුෂයින් ලවා ඇය සෙරක ලෙස අත් අඩංගුවට ගන්නට කියයි. තරුණිය කියන්නේ රාත්‍රියට ඇය සමග රමණය කිරීමට එන දුගියා මේ හොරකම කරන්නට ඇත කියායි. රාත්‍රිය නිසා හඳුනාගත නොහැකි බවත් අත ස්පර්ශ කරන්නට දෙන්නේ නම් හඳුනා ගත හැකි බවත් ඇය පවසයි.

රජු ඇය හැම පැත්තෙන්ම වැසුනු   කූඩාරමක දමා වසා සිදුරක් තුලින් අත දමන්නට නුවර පිරිමින්ට නියෝග කරයි. ඇගේ ස්පර්ශයෙන් රාගෝන්මාදයට පත්වන වැසියන් එතැනින් ඉවත් කරන්නට වෙන්නේ බලහත්කාරයෙන් සොල්දාදුවන් ලවාය. අවසානයේ රජුද "අත " දමයි. ඇය රජු හඳුනා ගනියි. රජු ඉන්පසු සියල්ල වමාරන්නේ ඇය වැනි අතිශයින් විරූපී  ගැහැනියක් මාලිගයට  ගෙන ඒම  ප්‍රශ්න ඇති කරවන්නක් නිසා  ඇගේ  "දිව්‍යමය" ස්පර්ශය වැසියන්ට ලබන්නට ඉඩ දීමෙන් ඇය විවාහ කර ගැන්ම සාධාරණිකරණය කරන්නට තමන් තැත් කළ බවයි. රජු ඇය සරණ පාවා ගනී. කතාව  තව දිගට යන අතර පසු කලෙක මේ "විරූපී "   කාන්තාව වෙනත් රජ කෙනකු සමග පැමිණ තම රජු මරා  දමා රාජධානිය අත් කර ගනී.  අතීත ජාතක කතා ලියන්නා  "කැත ගැහැණිය දෙස බලන්නේ එලෙසය ".

මේ කතාවේ නිලූ යනු  රූමත් කතයි. රූමත් කත  "සරදලාට" අනුව දාන්ගලේ ඇත්තියකි. සරදත් දන්නා පරිදි එංගලන්තේ නම් කාර්යාලයේ කාන්තාවකට ලිංගික විහිළු කළ නොහැකිය. ඒ රැකියාව නැති කර ගන්නට පොටකි. ලංකාවේ  කොහොමද යයි මා දන්නේ නැත. අර හාර්වේ වෙන්ෂ්ටයින් චිත්‍රපටි කාරයා කලාක්  මෙන් රැකියාව බේරාගෙන "ඉහළට යාමට නම් " බොහෝ තැන් වලදී අතවර විඳින්නට "ලස්සන" යි   කියන  ළඳුන්ට සිදුවේ.   සරදගේ අනියම් "කැත   ගැහැණියගේ " කන්තෝරුවේ වන්නේත් එවැනිම දෙයකි. සරද ද දක්වන්නේ නිලූ වැනි "දාන්ගලෙන්" සිටින ගැහැණුන් අරභයා බමුණු මතයකි. "කැත ගැහැණියකට"   අනුකම්පාව දක්වන්නට ගොස් සරද  තම සමාජවාදී වාමාංශික සළුපිලි උනා දමා නිරුවත් වෙයි. "කැත ගැහැණිය " මෙන්ම ලස්සන "ගැහැනියද " සමාජයේ අසාධාරණ  ආකල්පයන්හි වින්දිතයන් බව සරදට අමතකව ඇත.

"නිලූ තමන් ගේ ලස්සන සහ තවත් දෑ තීරණාත්මක ලෙස උරගා  බලන්න තෝරා  ගත් ලසන්ත නම් වූ බිස්නස් කාර තරුණයා ....."   
"නිලූ බැල්මකින් දෙකකින් එහ්මත් නැත්නම් තොදොලයකින් අනතුරුව හරි පහසුවෙන් කර ගන්න කන්තෝරුවේ පුංචි පුංචි වැඩ ප්‍රීති ට මහමෙරක් වගේ වෙන්නේ ..." (පි.22)
"ඒත් මොකක්දෝ ෆයිල් වැඩකට නිලූ චන්දිමගේ වීදුරු කාමරයේ ඉන්න කොට මොකක්දෝ එකකට චන්දිමයි නිලුයි දෙන්නම මහා හයියෙන් හිනා උනාම ..."

සරද නිලූ කියන ලස්සන ගැහැණිය වරදකාරිය කරගෙන යන එක ඉවර වෙන්නේ මෙතන.
"පින්තූරේ නිලු හිටියේ චන්දිමගේ උකුල උඩ, අනුරාගයෙන් එකිනෙක ඇලී පැටලී ...නිලු ගේ මුහුණ සුපුරුදු සැහැල්ලුවෙන් තෙමි තිබුන."

සරද අපට කියන්නේ නිලු වගේ දාන්ගලේ තියන ලස්සන ගැහැණු කොම්පැනියේ පිරිමි වගේම බොසාවත් වසඟයට ගන්නවා කියල. නමුත් ඇත්ත ඕකේ අනිත් පැත්ත නේද?
දසුන් සියදිවි  නසා ගත්තම  ඒකෙ වැරැද්ද තාරකා ශලනිට පටලවලා බනින අය ළඟ  තියෙන්නෙත් ඔය අදහස මයි. ඇයි එතකොට හාවේ වෙන්ෂ්ටයින් ඔපමණ  කාලයක් ඔය ලස්සන ගැහැණුන්ට අතවර කරගෙන යන සීන් එක දිගට ඇදගෙන යන්නෙත් ඔය අදහස් මිනිස්සු ළඟ තියෙන නිසාමයි.  බස් එකක කෝච්චියක ඇඟ පත පොඩි කර ගන්නේ නැතිව යන්න  බැරි වෙන්නෙත් ඒකමයි. 

මේ කෙටි කතා පොතේ මා කැමතිම කතාව ලෙසට හැඟෙන්නේ "තාත්තා  සහ තවත් පිරිමි" කතාව විය යුතුයි. ඒ කතාව ගැන මා  විස්තර නොකරන්නේ  කියවන්නාට එය කියව  කුතුහලය සමනය කර ගැනීමට ඉඩ දීමටය.

 යථාර්තය හඹා යන කතා යනු  නිර්ධන පන්ති දේශපාලනය  ගැන ලියවුනු නීරස කතා හෝ "සමාජවාදී " රටක නම් ආණ්ඩුවේ හොරණෑ වීමට ලියවුනු කතා යයි බාල්දු වෙද්දී බ්‍රෙෂ්ටියානු ශෛලයට නාට්‍යයක් අනුව කතාවක්  ලිවිම පහසු නැත. සරද එවැනි කතා  කිහිපයක්ම මේ පොතේ ඇතුලත් කර ඇත. ඔහුගේ කතාවක්  අවසන් වන්නේ බ්‍රෙෂ්ටියානු  ප්‍රේක්ෂකයාට  මෙන් බොහෝ දේ සිතන්නට ඉඩ තබාය. සරද ගේ යථාර්තය සමග ගැටෙන කෙටි කතාවල  අවසානය මැවෙන්නේ  කියවන්නාගේ මනසේය. නමුත් වාස්තවික (objective) ලෙස ඇරඹෙන කෙටි කතාවේ තර්කානුකුල අවසානයක් වෙනුවට ආත්මීය (subjective) මනෝ මූලික අවසානයක් කරා  කියවන්නා රැගෙන යයි.  සරද ඇත්තටම අදහස් කළේ එයද?

"සිතල හීනෙකට පස්සේ , ආරක්ෂාව , සෙන්ටෙනියල් දෝණි " එවැනි කතාය. හැකි හැම වෙලේම "කැත  දෙමළා" ගැන (අවසන් කතාව) කතා ලිවිම හොඳය. එසේ වන්නේ තවමත්  ඔඩු දුවන එම  ප්‍රශ්නයේ නිමාවක් එළඹෙන්නේ යයි තවමත් අපට නොදැනෙන හෙයිනි.

සරද ලොකු පියවරක් පුංචි කෙටි කතා පොතකින් තබා ඇත.  "කැත ගැහැණිය ගේ හීනය " කෙටි කතාව ගැන මගේ අදහස කුමක් වුවත් ඒ කතාව මෙන්ම අනිත් කතාද ප්‍රජාතන්ත්‍රවාදී ඩෝසරය ද  තදින්ම මගේ සිත් ගත් බව නොකියා  බැරිය.

මේ පොත ට මෙන්ම සරද ගේ "ඊළඟ පොතට" ද සුභ පතමි. 


Monday, 2 October 2017

සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්, බ්‍රෙෂ්ට් හා සාක්කිය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 - විජේවීර හා පොල්පොට් 

බෙර්ටෝල්ට්  බ්‍රෙෂ්ට් 
සෝවියට් පොත පත  සහ ප්‍රධාන වශයෙන් රුසියන් සාහිත්‍යය ශ්‍රී ලංකාවේ විප්ලවයකට බලපෑවා නම් බොහෝ විට රුසියන් විප්ලවයට දායක වුනු සියල්ල (ලෙනින්, ට්‍රොට්ස්කි ඇතුළු විප්ලව නායකයන්) සතුටු වනවා නොඅනුමානය. ඒ ඔවුන් සියල්ල ලෝක විප්ලවයක් ගැන සිහින මැවූ හෙයිනි.

ශ්‍රී ලංකාවේ මෙන්ම කොමියුනිස්ට් රටවල්ද බොහෝ ජනප්‍රිය පොතක්  වූයේ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි " නම් තරමක් දුරට ප්‍රබන්ධ ගත කරන ලද ඕස්ත්රොව්ස්කි   ගේ ජිවිත කතාවේ කොටසකි. මේ පොත සමග එසේ තරුණ පරපුර කෙරෙහි අදත් බලපෑ පොතක් නම් පසු කලෙක චුලානන්ද සමරනායක මහතාද පරිවර්තනය කළ ගුරු ගීතයයි. චිත්‍රපට කිහිපයක්ද ගුරු ගීතය නිසා නිමවුණි. මේ එම නවතම නිර්මාණයක් ගැන මා ලියූ ලිපියකි.

චින්ගීස්ගේ අයිත්මාතොව් ගේ  "ගුරු ගීතය" පොත ජපන් බසට  පරිවර්තනය කල ජපන් ජාතික රියෝකිචි සුගිමොටෝ තම ප්‍රසිද්ධ නිළි බිරිඳ වන යොෂිකෝ ඔකඩා සමග සෝවියට් දේශයට ගියේ සෝවියට් නාට්‍ය කලාව ගොඩ නැංවීමට ව්සේවොලෝඩ් මෙයර්හෝල්ඩ් ට උදව් වෙන්නටය. නිකොලායි ගොගොල් ගේ "රජයේ පරීක්ෂක the government inspector " කතාව  නාට්‍යයට නැගුවේ මෙයර්හෝල්ඩ් ය.

කොමියුනිස්ට්වාදියෙකු වූ සුගිමොටෝ ජපානයේ "පෙරටුගාමී" (avant-garde) නමින්  නාට්‍ය කණ්ඩායමක් ගොඩ නගාගෙන සිටි අතර ඔහුට ජපන් රජයෙන් මරණිය තර්ජන එල්ල වී තිබුණි. ජපන් පොලිසියෙන් බේරීමට සෝවියට් දේශයට ගිය  සුගිමොටෝ සහ යෝශිකෝ එන්කාවද (NKVD) හෙවත් සෝවියට් රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගෙන දරුණු ලෙස වධ දෙන ලදී. ඔහු ලවා මෙයර්හෝල්ඩ් සෝවියට්  රජයට විරුද්ධ රහස් ඔත්තු කරුවෙකු යයි ලියමනකට අත්සන් ගන්නා ලදී.  ලෙනින් ගේ ද ප්‍රියතම නාට්‍යකරුවෙකු වූ මෙයර්හෝල්ඩ් ත්‍රස්තවාදී, රහස් ඔත්තු කරුවෙකු යයි හංවඩු ගසා  ස්ටාලින්/බෙරියා ගේ අණ පරිදි 1939 දී මරා දැමුනි. මේ කාලයේ දීම "ගුරු ගීතයේ" ජපන් පරිවර්තක ජපන් ජාතික සුගිමොටෝ රහස් ඔත්තුකරුවෙකු ලෙස නම් කොට වෙඩි තබා මරා  දමන ලදී.

ජාතිවාදී කලබල වලින් පසු ජවිපෙ තහනම් කරන ලද තත්වයක් තුල ජවිපෙට රජයේ මර්දනකාරී හස්තය එල්ලවූ බව සැබෑය. ඇතැම් ජවිපෙ ක්‍රියාකාරීන් අත් අඩන්ගුවේද පසුවූහ. විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු (පද්මසිරි සහ රෝහණ )  පොලිස් වෙඩි තැබීම්  වලින් මියගොස් තිබුණි. නමුත් 1986 දෙසැම්බරයේ ස්වාධින ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය කිරීමත්  සමග ජවිපෙ දේශපාලන ඝාතන  රැල්ලකට මුල පිරීය. මේ ඝාතනය  පිළිබඳව රසිකොලොජි ලියු සටහන් කිහිපයක් මෙහි ඇත.

එසේම  දයා පතිරණ ඝාතනය  ගැන වැදගත්  දේශපාලන විවරණයක් පෙසපෙට  නැඹුරු අක්ෂය වෙබ් අඩවියේ  පලවිය. ලිපිය ලියා  ඇත්තේ නජිත් ඉන්දිකය.

කිසි සේත්ම ජාතිවාදියෙකු නොවූ දයා  පතිරණ විජේවීරගේ ස්ටලින්වාදී මාවෝ වාදී පොල්පොට් වාදී න්‍යායට කෙලින්ම විරෝධයක් පෙන්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සටන්  වල පෙරමුණේ සිටියකි.

ඒ කාලයේ මා  කියවූ නවකතා පොතක් වූයේ  කිර්ති නම් කුමරෙකු සොළින් පරදවා ලංකාව නැවත එක්  සේසත් කළ කතා පුවතයි. ලිව්වේ කව්ද  යයි මට මතක නැති වුවත් (කලහේ කුමාරදාස විය හැකිය)  එය ඉතා හොඳ නවකතාවකි.  තරුණ වියේ සිටි මට  රට රැක  ගැනීමට පෙරට යාමට  සොළීන් එළවීමට හොඳ උත්තේජනයක් දුන් පොතකි ඒ.  මා ඉතිහාසය හා රජවරුන් සම්බන්ධ  විස්තර කියවීමට කැමතිය. මිනිසුන් පෙළූ  සොළී ආක්‍රමණිකයන්  පැරදවීම හා රට බේරා ගැනීම අගය කළ යුත්තකි. නමුත් ඒ ජාතිකවාදී සටන් මාක්ස්වාදී ව්‍යාපාරයකට  බද්ධ කිරීම අනුවණ කමකි. කිර්ති විජයබාහුලා  අන්වර්ථ නම් වලින් එලියට පසුව ආවේද මේ ප්‍රොජෙක්ට් එක යටතේය. (දැනුදු මේ නම් ගත් අය මේ බ්ලොගයට ප්‍රතිචාර දැමීමට පැමිණෙති. ඒ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමයට විරුද්ධව යමක් ලියුවොත්ය.)

මේ කාලයේ  සිදුවූ එවැනි තවත් ඝාතනයක් නම්  නන්දන මාරසිංහය. මේ ඒ ගැන මා ලියු ලිපියකි.  "කාලයේ රාවය " ගීත සමුච්චය කළ නන්දන ජවිපෙ බැංකු කොල්ලයක් කළ අය  ගැන පොලිසියට දැනුම් දුන්නා යයි චෝදනා කර මරා දැමුණි. (පොලිස් ඔත්තු කරුවෙකු ලෙස නම් කර ) එම ඝාතනයට දෙදිනකට පෙර ඔහු සමග සිටි, එසේම ඝාතන තර්ජනයකට ලක්ව සිටි සුනිලා  අබේසේකර සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නන්දන ගෙන් ඉල්ලා සිට ඇත්තේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවෙන ලෙසයි. නමුත් විජේවීර බේරා ගැනීමට යාපනය සිර ගෙයට පවා ගිය නන්දන විජේවීර එවැන්නකට නියෝග කරනු ඇතැයි නොසිතන්නට ඇත.

වෛද්‍ය රුවන් ජයතුංග විසින් ලියූ ලිපියක විජේවීර මහතා පිලිබඳ මනෝ විශ්ලේෂණයක් ඉදිරිපත්  කර තිබුණි. රුවන් මෙන් තවත් බොහෝ අයද ස්ටාලින් මෙන්ම  හිට්ලර් ද මනෝ ව්‍යාධි වලින් පෙළුණු බව කියා තිබේ. (සෝවියට් රතු හමුදාවේ ප්‍රචාරක නිලධාරියකුව සිටි දිමිත්‍රි වොල්කගොනොව් ගේ 'ස්ටාලින් " පොත කියවන්න.) යුඇන්පියෙන් පියාට පහර දීම, විජේවීරගේ අවලක්ෂණ භාවය ගැන කරුණු බොහෝ අය ඉදිරිපත් කර තිබුණි. නමුත්  මගේ අදහස නම් රෝහණ විජේවීර මේ මෙහෙයවූයේ තමන් විසින්ම ස්ටාලින්, මාවෝ, පොල්පොට් ක්‍රියාවලිය න්‍යායාත්මකව  හදාරා දියත්  කළ අරගලයක් බවයි. අවාසනාවකට එය සුළු ජාතීන්ට එරෙහිව ජාතිකවාදය මෙන්ම ජාතිවාදයද ඉස්මතු කරගත් මාවෝවාදී ඝාතන  රැල්ලක් බවට පෙරලුනි.

විජය කුමාරතුංග මරා  දැමුවේ තමන් විසින් නොවන්නේ යයි ජවිපෙ පවසතත් විජය එදා සිටි තැන එනම් ද්‍රවිඩ කැරලිකරුවන් ගැන සාකච්චා කළ යුතු යයි කි ස්ථාවරය විජේවීරගේ මතවාදයට ඉඳුරාම වෙනස් එකක් විය. දයා පතිරණ හා දයාන් ජයතිලක  දෙදෙනාම සිටියේ "ස්වයං නිර්ණය අයිතිය" සුළු ජාතීන්ගේ  අයිතියක් වශයෙන් පිලි ගන්නා තැනකය. අද ජාතිවාදී පැත්තේ සිටියත් දයාන් ජයතිලක ඒ කාලයේ ලතින්  ඇමෙරිකානු විප්ලව ගැන දේශන පවත්වමින් සිටි අතර වර්ධරාජා පෙරුමාල් ගේ වාමාංශික  කණ්ඩායමටද එක්වී සිටියේය.

පසු කාලීනව වාමාංශික   ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් ඝාතනය කරමින් ඉදිරියට පැමිණියේ කොටි සංවිධානයයි. ඒ අනුව ප්‍රභාකරන් ඒ පැත්තෙන් ද්‍රවිඩ ජාතික අරගලය ජාතිවාදී ස්වරූපයකින් ස්ථාපිත කල අතර විජේවීර දකුණේ  ඒ කාර්යභාරය ඉෂ්ඨ කළේය. ප්‍රේමදාස  රජය තම ඉන්දීය විරෝධය හරහා  උතුරේ කොටි  සංවිධානය හිතවත්ව තබා ගනිමින් දකුණේ දැවැන්ත භිෂණයක්  දියත් කළේය. සතුරන් මෙන්ම මිතුරන්ද දෙපැත්තෙන්ම  ඝාතනය වූ මේ සමයේ රැල්ලට එරෙහිව ඇතැම්  නාට්‍යකරුවන් මෙන්ම ඇතැම් සාහිත්‍යවේදීන් ද ක්‍රියාත්මක වෙමින් සිටියහ. රැල්ලේ, පවනේ සිටි කලාකරුවන් වූ නන්දා  මාලිනි ආදීන්ට  මහාචාර්ය සුචරිත ගම්ලත් ඔහුගේ ලිපි වලින් නිර්දය ලෙස පහර දුන්නේය.  ඉදිරියේ එන අනතුර ඔහු වටහාගෙන සිටින්නට ඇත.

කවුරුත් අමතක කල කරුණක්  වුයේ ලෙනින් විප්ලවයේ කැඩපත නමින් සඳහන් කලේ ටෝල්ස්ටෝයි ගැන බවය. "යුද්ධය හා සාමය" එවකට රුසියානු සමාජය විග්‍රහ කල අනගි ග්‍රන්ථයක් වශයෙන් ලෙනින් හැඳින්විය. "යුද්ධය හා සාමය" යනු කිසි සේත්ම විප්ලවීය වීර කාව්‍යයක් නොවේ.

හෙන්රි ජයසේන , රන්ජිත්  ධර්මකීර්ති, "කැළණි පාලම " කල ආර් ආර් සමරකෝන් වැන්නන්  ජනප්‍රිය මාදිලියේ නාට්‍ය  ඉදිරපත් කල අතර "සාජන්ට් නල්ලතම්බි " වැනි ප්‍රහසන නිර්මාණ ජනප්‍රිය රැල්ලෙන් ඉදිරිපත් විය. හෙන්රි ජයසේන ගේ "හුණු වටයේ " කතාව බ්‍රෙෂ්ට් ගේ රංග කලාව ගැන එතරම් තැකීමක් නොකළ අතර සෞන්දර්යවාදී  මුහුණුවරට වැඩි  තැනක් ලැබී තිබුණි. සෝවියට් සාහිත්‍යයේ විප්ලව වාදී කැප කිරීම් සහිත හා ආවේගී ගුණයන්ගෙන් පිරි කතා  රැල්ල ද සමග  චීන, උතුරු කොරියානු (ඉල් සුන්ගේ එක්සත් ජනපද අධිරාජවාදී  හමුදා වලට එරෙහි හපන්කම්) , වියට්නාම (හෝ චි මින්) මෙන්ම චේ ගේ වීර කතාද බහුල විය.

බොහෝවිට මතක තබා ගත යුත්තේ මේ විප්ලවීය වීර කතා නිර්මාණය වුයේ ඔක්තෝබර් විප්ලවය  ජයගත් පසු බවය. ලෙනින් ලා හෝ ට්‍රොස්කි ලා මෙන්ම ස්ටාලින්ද වීර වික්‍රම විප්ලවීය  කාව්‍යය, කතා  කියවීමක් ගැන සඳහනක් මා  කොහෙවත් දැක නැත.

ස්ටාලින් තමන්ගේ" great purge" හෙවත් පක්ෂය හා රට "සුද්ධ කිරීම" ආරම්භ කලේ ලෙනින් ද මියගොස් වසරකට පසුය.  එසේම මාඕ තමන්ගේ සංස්කෘතික විප්ලවය දියත් කලේ බලය ලබාගෙන කාලයකට පසුවය. මේ දෙදෙනාම තමන්ගේ පැරණි විප්ලවකාරී සගයන් සහ උගතුන් (intelligencia)  විනාශ කළහ.  පොල්පොට් තම ක්‍රියාවලිය පටන් ගත්තේද බලය ලබා ගැනීමෙන් පසුය. විජේවීර  මහතා තුන්ඩු වලින් පුංචි ආණ්ඩුවක් පිහිටුවා බලය ලැබුනා  යයි සිතා  එම කාර්යය ආරම්භ කළේය.
විජිත ගුණරත්න 

රැල්ලට එරෙහිව ගිය සාහිත්‍යවේදීන් අතරින් එක් අයෙකු වූයේ බ්‍රෙෂ්ට් ගේ එපික්  රංග රීතියට අනුව කල "දැති කියත " වේදිකා නාට්‍යයේ නිර්මාතෘ  වූ විජිත ගුණරත්නය. ස්වීඩනයේ ඉගෙනුම හදාරා පැමිණි ගුණරත්න "සුභ සාධක", ඉනි මගක් සහ බුරුවෙක් වැනි ස්වයං නිර්මාණ ද "පැන්ස තුනේ කතාව " ආදී අනුවර්තන ද   කල අතර 1988 දී "සාක්කිය" නාට්‍යය එලි දැක්විය.   ඉතාලියානු ජාතික ඩාරියෝ ෆෝ ගේ Accidental Death of an Anarchist (අරාජිකවාදියා ගේ හදිසි  මරණය) නමැති කතාවේ අනුවර්තනයක් තුලින් බ්‍රෙෂ්ට් ගේ එපික් රංග කලාව ඔහු නිවැරදිව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.  පොලිසියේ සීඅයිඩී එකේ හතරවෙනි තට්ටුවෙන් "පැන දිවි නසා ගත් " දොඩම්පේ මුදලාලි ගැන මතකද? මේ "සාක්කිය " කතාවද  එවැන්නකි.  සාක්කිය නිසා 1988 දී විජිත ගුණරතන වෙඩි  ප්‍රහාරයකට මුහුණ දුන්නේය. එනිසා ඔහු දිවි බේරා  ගැනීම සඳහා නැවතත් ස්වීඩනයට පිටු වහල් විය.

විජිත ගුණරත්න ගේ "වලා පටල" චිත්‍රපටය ගැන ලිපියක් මෙහි ඇත.

"නාද සංකථන  "යනුවෙන් පර්යේෂණ ලිපි කිහිපයක් පළ කරන තරුපති  මුණසිංහ මෙසේ ලියයි.

"බ්‍රෙෂ්ට් ගේ රංග රීතිය මුල් කරගත් නාට්‍ය ශ්‍රී ලාංකීය වේදිකාවට ගෙන එන්නේ විජිත ගුණරත්නයන්ය. සුනිල් විජේසිරිවර්ධනයන්ට (2003) අනුව, දැති කියතෙන් විජිත  ගුණරත්නයන් ඇරඹු බ්‍රෙෂ්ට්ගේ රංග සංකල්පය පදනම් කරගත් නව රංග මාර්ගය සුභ සාධක, සත්යාංගනාවී, සහ සාක්කි යන නාට්‍ය හරහා වඩා පොහොසත් කරන්නට සමත් වූ බවයි. හෙන්රි ජයසේනයන් ට පසුව බ්‍රෙෂ්ට් නැවත ශ්‍රී ලංකාවට මතක් කර දෙන්නේ විජිත ගුණරත්නය.  බ්‍රෙෂ්ට් ගේ රංග සංකල්පයන්ට යම් තරමකට හෝ ගුණරත්නයන්ට සමීප විය හැක්කේ වාමාංශික දේපාලන කියැවීම හරහා වීම බව මම  විශ්වාස කරමි. " (පි. 58 නාද සංකථන.)

"සංස්කෘතික ක්‍රියාවලියේදී අපේ වම ඉන්නේ සිහිනයක. ඔවුන් කලාකරුවාගේ මූලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. මේ ගැන වම සංවාදයක් පැවැත්විය යුතුයි. සමාජ පරිණාමය සඳහා කලාව කියන කාරණය සම්බන්ධව වමට දැඩි ලෙස හිතන්න කාලය ඇවිත්. අපේ වගේ ඌණ සංවර්ධිත රටක කලාකරුවන් වම වෙනුවෙන් පෝලිමේ ඇවිත් පෙනී සිටියි කියල හිතනවා නම් ඒක වැරදියි. - විජිත ගුණරත්න " - (පි.59 නාද සංකථන)

බ්‍රෙෂ්ට් ගේ මේ රංග රීතිය වැදගත් වන්නේ ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් පරාරෝපණය (alienation or entfremdung - ජර්මන් ) කිරීමයි. කලාවේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ   ප්‍රේක්ෂකයාට  සිතන්නට බල කිරීම   හා කියවන්නාට විවේචනාත්මකව සිතන්නට බල කිරීම මිස ආවේගයෙන් හැසිරෙන කලහකාරීන් පිරිසක් නිර්මාණය කිරීම නොවේ.

ධර්මසිරි බණ්ඩාරනායක 

ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් "ධවල භීෂනය" නාට්‍යය නිර්මාණය කරන ලද්දේ 1988 දීය. ෂෝන් පොල් සාත්‍රේ ගේ "ඡායා නැති මිනිස්සු "(Men Without Shadows ) අනුසාරයෙන් නිපදවුණු මෙම නාට්‍යයෙහි ඇත්තේ නාසි වාදී ප්‍රංශ දක්ෂිණාංශික විචි රජයේ සොල්දාදුවන් මගින් අත් අඩංගුවට ගන්නා නාසි විරෝධී (french resistance) සටන්කාමීන් සමුහයක් ගැනය.

විජිත ගුණරත්නයන් ගේ හා ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ අනතුරු හැඟවීම්, ආවේගාත්මක සටන් පාඨ, විප්ලවකාරී උත්තේජනයක් දෙන ගීත හා නවකතා අතර ගිලුණු තරුණයන් සමුහයකට සහ ඔවුන් ගේ නායකත්වයට ඇස ගැසුනේ නැත. විජිත ගුණරත්නලා සිටියේ ජවිපෙ නායකත්වයට ගව් ගණනක්  ඉදිරියෙනි.

"ගුරු ගීතය " ගැන හා බෙර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් ගැන සඳහනකින්  ලිපිය අවසන් කරමි.
 මේ මගේ රුසියානු මිතුරියක ගේ පෙම්වතෙකු හා  කිර්ගිස් ජාතික තරුණයෙකු වූ රුස්ලාන් කී කතාවකි. ඒ කිර්ගීසියාවේ අගනුවර වන බිෂ්කෙක් වලට ඈතින් ඇති පෙදෙස් වල ලාබාල තරුණියන්  කසාද බැඳීම සඳහා හෝ ලිංගික වහලුන් ලෙස තබා ගැනීමට පැහැර  ගන්නා බවයි. කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් වරුන්ට විශාල නිවෙස් ඇති බව සහ එම නිවෙස් වල බිම්ගත කාමර තිබෙන බවත් ඇතැම් විට මෙම තරුණියන් ඒවායේ රඳවා ගෙන සිටින බවත්ය. ඔහු මේ තරුණියන් ඇසින් දුටු බව හමුදා භටයෙකු ලෙස සේවය කරද්දී දුටු බව කීය. (සෑම සෝවියට් තරුණයෙක්ම  අවුරුදු 17දී හමුදා සේවයට යා යුතුය)  සෝවියට් තුර්ක්මෙනිස්ථානයේ,  තජිකිස්ථානයේ ද මෙවැනි සිද්ධීන්  සිදුවෙන බවත්ය. සමහරවිට මොස්කව් හෝ වෙනත් නගර වල සිට එන නිලධාරීන් නිහඬව සිටින්නේ ඔවුන්ටද කෑමෙන්, මෙන් හා තරුණියන් ගෙන් සංග්‍රහ ලැබෙන  නිසා විය හැකි බවත්ය. මේ 1988 පමණ දීය.

මේ වසර 1999 බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කිර්ගිසියාවේ මනාලියන් ලෙසට කියා පැහැර ගෙන ගොස් දූෂණය කර හැර දමන තරුණියන් ගැන ලියූ කතාවකි.

මේ 2004 තරම් මෑත කාලයක එවන් "මනාලියක් " පැහැර  ගැනීමක් ගැන කතාවකි.
http://www.pbs.org/frontlineworld/watch/player.html?pkg=303_kyrgyz&seg=1&mod=0

සමහර ෆේස්බුක් විප්ලවවාදීන් දුයිෂෙන් මෙන් ඉදිරියට එන්නට කියන විට , විප්ලවවාදීන්ට අති උත්තම මරණය තෝරාගෙන ජනතාව  වෙනුවෙන් සටන් වදින්නට ආවේගාත්මක ලෙස ඉතා සංවේදී ලෙසින් ආයාචනා කරන විට සෝවියට් දේශයේ සිටි අපට සිනහ පහල වන්නේ මේ නිසාය. මේ ඇත්තටම  සිනහවීමට නොව හඬන්නට සුදුසු  කරුණකි.

සෝවියට් දේශයෙන් දෙන "ස්ටාලින් සාම ත්‍යාගය" 1954 දී පුද කරන ලද්දේ බ්‍රෙෂ්ට් ටය.  ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර බර්ලිනයේ ගත කල අවසන් වසර කිහිපය තුල බ්‍රෙෂ්ට් නාට්‍ය කිහිපයක්ම කළේය.  නැගෙනහිර බර්ලින් ගොඩනැගිලි ඉදිකරන කම්කරුවන් පිරිසක් වර්ජනය කලේ 1953 දීය. කොමියුනිස්ට්වාදී  කම්කරු පන්තියෙන් යයි කියා පාලනය වන රටක වර්ජන කළ හැකියි ඔවුන් සිතන්නට ඇත.  වර්ජනයට මුලිකත්වය දුන්නේ පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, කම්කරු  වෘත්තීය සමිති හා නාසි හා ෆැසිස්ට් විරෝධී සංවිධාන ජාල වලිනි. මාසයකින් මිලියනයක් පමණ වර්ජනයට පක්ෂව  හා නැගෙනහිර ජර්මන් රජයට විරුද්ධව එක්වුනි. බ්‍රෙෂ්ට් මුලදී වර්ජකයන්ට එරෙහිව ජර්මන් රජයට සහය පල කළේය.

නැගෙනහිර ජර්මනියේ ස්ථාපිත සෝවියට් හමුදා විසින් දරුණු ලෙස වර්ජනය සහ ජනතා නැගිටීම මර්දනය කරන ලදී. බ්‍රෙෂ්ට් රජයට එරෙහි විය. අවසන් වරට ඔහු ලිවූ කාව්‍යයක මෙසේ සඳහන් වෙයි.

දාහත් වෙනි දා ජූනියේ ජනතා නැගිටීමින් පසු
කතුවරුන් ගේ සංගමයේ ලේකම්
පත්‍රිකා බෙදුවා ස්ටාලින් වීදියේ 
ඔහු කීවේ ජනතාව කෙරෙහි
රජය විසින් තැබූ විශ්වාසය බිඳ හෙලලා කියල
එය නැවත  දිනා ගත හැක්කේ
වඩා තදින් උත්සහ කිරීමෙන් පමණක් කියා

ඊට වැඩිය ලෙහෙසි නැත්ද
රජය විසින් මේ අවස්ථාවේ
ජනතාව  විසුරුවා හැරලා
අලුත් ජනතාවක්  පත් කර ගත්තොත්

After the uprising of the 17th of June
The Secretary of the Writers Union
Had leaflets distributed in the Stalinallee
Stating that the people
Had forfeited the confidence of the government
And could win it back only
By redoubled efforts.

Would it not be easier
In that case for the government
To dissolve the people
And elect another?

(collected edition of Brecht's work)

~ වසන්තය එනවා සත්තමයි ~~~~


මූලාශ්‍ර:

නාද සංකථන - නාදය සහ සංගීතය අතර පර්යේෂණ ලිපි සංග්‍රහය - තරුපති මුණසිංහ
 නන්දන මාරසිංහට මොකද වුනේ ?- සත්හඬ
Leo Tolstoy as the Mirror of the Russian Revolution - ලෙනින් 
බෙර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් 
කිර්ගීසියාවේ මනාලියන් පැහැර  ගැනීම 
Plight of Kyrgyzstan brides who are kidnapped, raped and abandoned
කසාක්ස්ථානයේ පැහැර ගැනීම