රත්න ශ්‍රී ගී මන්දාවේ |
මුලින් ලිවූ ලිපිය සඳහන් කළ "තොටිල්ලක් වන්" ගීතය පැබඳුයේ රත්න ශ්‍රී විජේසින්හයන්ය. වයලීනයේ ශෝකී හඬ මැදින් ගැයෙන මුල් පද මෙලෙස සවනත වැකේ.
"තොටිල්ලක් වන් ගල් පඩිය උඩ පුතේ නුඹ නිදියාන උන්නා
බුහුටි හුරතල් සිඟිති අතපය මුහුණ නිල් වී තැලී තිබුණා
කාලෙකට පෙර හැර ගියත් නුඹ මට කඳුළු ඉතිරිවී තිබුණා
මගේ පුතේ මම මෝචරිය ළඟ නොමැරී මැරෙමින් හඬා වැටුනා
නොමැරී මැරෙමින් හඬා වැටුනා"
තම සිඟිති පුතු සොයමින් ගිය පියාට මෝචරියේ සීතල සිමෙන්ති පඩිය තුල ඔහු ගේ නිසල දේහය හමුවූ අයුරු මැවී පෙනෙන්නේ සංගීතය ද සමගයි. දර්ශන දිසානායකයන් සංගීතය මුසු කරන්නේ අවසන් පද පේලියෙන් හිතට දැඩි යවුල් පහරක් දෙමිනි. එලෙසින්ම රත්න ශ්‍රී කිසි පැකිලීමක් නැතිව "මෝචරිය " යන ඉංග්‍රීසි වදනේ සිංහල උච්චාරණය භාවිතා කරයි. එය කාව්‍යමය ලෙස ගීතය හා සබැඳේ. (මේ සමහර ගොරහැඩි වදන් කාව්‍යමය භාෂාවක භාවිතා නොකළ හැකියි සංවාදයක් ගියා මතකද?)
"මව්කිරින් රුධිරයට පෙරෙමින් බිඳින් බිඳ මහා පොලොව තෙමුවා
මෙළොව මා දුටු සීතලම දේ නුඹේ ඇස් අග මිදී තිබුණා "
රත්න ශ්‍රී අපට දරුවාගේ ඇස් අග රැඳුනු අවසන් කඳුළු බිඳ ගැන පවසන්නේ "මෙළොව පියා දුටු සීතලම දෙය " මැයිනි. මේ ගීතයේ ප්‍රබලම වදන එයයි මට සිතේ.
"කෝටු වේවැල් අතුල් පහරින් පාරමී ගුණ දහම් මැරුණා " රත්න ශ්‍රී කියන්නේ මේ බෝසතුන් මෙන් පාරමී දම් පිරූ ගමනක් නොවන බවය.
"දෙව් දතුන් ගේ ඇසුර ළඟ බුදු පදවි කුමටද කියා හිතෙනා "
බුදු පදවිය ලබන්නේ කුමටද? අප ජිවත් වන්නේ දෙව්දතුන් සමග නම්. බෞද්ධ රටක සම්මත සම්ප්‍රදාය බිඳිමින් රත්න ශ්‍රී විමසන්නේ බුදු පදවි අවශ්‍යද ඔබ වසන්නේ දෙව්දතුන් සමග නම් කියායි.
මේ ගීතයේ මා තරමක් හෝ එකඟ නොවන්නේ යකිනි යෙදුමටය.
"යකින්නන් ගෙන් මෙලොව පිරෙනා" දරුවාගේ ශෝචනීය මරණයට හේතුව එසේත් නැත්නම් ඝාතනය කිරීමේ පව මුළු මනින්ම මව පිටේ පැටවීමක් යයිද කියා කුකුසක් මසිතෙහි පැන නැගුණි. මව පමණක් නොව දඬුවම් දුන් සුළු පියාද දරුවා සොයා ගත නොහැකි වූ පියාද අතවර දැක දැක නිසොල්මන්ව සිටි අසල්වැසියන්ද මේ යක් ගණයටම නොවැටෙන්නේද?
ගී මන්දාව එනමින් නම් කෙරුනේ රත්න ශ්‍රී ගේ යෝජනාවෙන්ය කියා දැන ගන්නට ලැබුණි. ඉතින් තමාම නම් කල මේ ගී මන්දාවේ තවත් ගීතයක් ඔහුගේම සුවිශේෂී අත් දැකීමක් විය. ඒ "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතයයි. එම ගීතය ලිවීමට පසුබිම ගැන ඔහු පැවසූ විස්තරය මේ වීඩියෝවේ නැවත කියවෙන හෙයින් ඒ ගැන නොලියමි.
රත්න ශ්‍රී දඬුවම් මාරුවක් ලැබී මොනරාගල රැකියාව කළ අවධියේ නෙළුම් මල් විකුණා පාසලට අවැසි පොත පත ගන්නට මුදල් සෙවූ දැරියක් නෙළුම් මල් නෙලනට යද්දී සොරොබොර වැවේ ගිලි මිය යයි. ඇයගේ මරණය අමරණිය වන්නේද ඒ දරුවන් තම ජීවිතය ගොඩ නගන්නට දරන තැත වියකි මිය යන විට අපේ හදවත කෝපයෙන් දැවෙන ශෝකී අවසානය විදහා දක්වන්නේද මේ කලාකරුවන් අතිනි. ඒ ගීය ගැන සිතන මට කුස ගින්න නිසා පාසල් ගොස් සිදුවූ හදිසි අනතුරකින් පාසලින් නෙරපූ දියණියක් ගැන අසන්නට ලැබෙනුයේ 2017 වසරේය. ගීය ලියවුනේ වසර විසි පහකටත් කලින්ය. අහෝ තවමත් අප හැරදා ආ ඒ සුන්දරම සුන්දර දිවයිනේ මිනිසුන් වෙනස් වී නැතිද?
අමරදේවයන් ගයන ගීයේ කොටසක් මෙසේ වෙයි.
"සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ "
ඒ සුදු නෙලුම් තවමත් විඳින්නේ එම හිංසාවන් මද?
තමන් අත් විඳින ඕනෑම සුඛ හෝ දුක්ඛ දෝමනස්සයන් වදන් පෙළකට කැටි කර සවනට යොමු කරන්නට සුවිශේෂී හැකියාවක් මේ සොඳුරු මිනිසා සතුය. එම වදන් පෙළවලට විශ්වීය ස්වර කිහිපයකින් සංගීතයක් නිමවන්නට තවත් සුවිශේෂී දක්ෂතාවයක් ඇති මිනිසෙකුට හැකිය. යුග දෙකක වුවද මේ දර්ශන නම් ගාන්ධර්වයා ගේ හා රත්න ශ්‍රී නම් කාව්‍යයන් ගී කරන නිමැවුම් කරුවාගේත් සුසංයෝගයෙන් මැවුනේ විශ්වීය සංගීතයකි.
රත්න ශ්‍රී අතින් ලියවෙන්නේ ඔබ අප හැමදා අත් දකින යථාර්තයමය.
"උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගු කොට මදහස නංවන තේ දළු නෙලන ළඳේ "
රත්න ශ්‍රී අසන්නේ රාත්‍රියේ බීමතින් පැමිණෙන සැමියා ගේ පහර කා හිමිදිරි පාන්දරම යන්තන් කහට කෝප්පයක් පමණක් බි තේ දළු නෙළන්නට දුවන ගැහැණියගේ කඳුකර සිරියා පරදන රූබර මුහුණක් දුටුවෙකු සිටියේද යන්නයි. විනෝද ගමන් යද්දී මේ ගීය මාද ගයා ඇත. ඇත්තෙන්ම මට එහෙම සිතුනේද නැත. මේ ගීය ලියූ රචකයා ට හෝ ගායකයාට හා ගායිකාවට අපහාස කරනවා නොවේ. එය සොඳුරු ගීයකි. සමහර විට මෙවැනි ගීද ලියවෙන්නේ නැත්නම් අපට සැසඳීමට ද නොහැකි වනු ඇත.
තේ දළු කඩා ලංකාවේ අපනයන ආදායම වැඩි කරන දෑතේ ඇඟිලි අව්වට කරවී, තේ දල්ලේ කහටින් කළු පහ ගැන්වී ඇති, අතු රිකිලි ඇනී තුවාල වුනු අත් ඇති තේ දළු නෙලන ළඳුන් ඔබට බොහෝ විට බයාදු සිනහවක් පාන්නට ඇත.
"අප ණය ගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙලන ළඳේ " - මේ මවා ගත් යථාර්තය සැබෑව නම් අප ණය ගැති විය යුත්තේ කරගැට පිරුණු දෑතකටය. ප්‍රශ්නය වන්නේ අප ණය ගැති වෙමු කරගැට දෑතට කියා ලිවීමෙන් එතැන ගීතයක් මැවේද යන්නය. රත්න ශ්‍රී ගේ ගීතයන් වෙනස් වන්නේ ඔහු සොඳුරු ලෙස පබඳින පද වලින් සත්‍යය නොසඟවන හෙයිනි.
රුවන් දිසානායක කියන්නේ ප්‍රථම ආදරයේ බිඳ වැටී ඇත්නම් ඒ වේදනාව රැගෙන ඔබ ජිවත් විය යුතු බවය. ජීවිතය හැර දමා පලා යන්නෝ මෝඩයන් වෙති. ඒ වේදනාවේ කිසියම් ආකාරයක ශ්‍රුන්ගාරාත්මක සතුටක්ද පවතී. ජිවිතයට දිරි දෙන්නේ වේදනාව තුලින් නැගිටින මිනිසාටය. ජීවිතය ඉවත දමා පලා යන දුබලයාට නොවේ. දර්ශනට අනුව ප්‍රථම ප්‍රේමය අහිමි වීම ප්‍රශ්නයක් නොවේ. අත්දැකීමකි. නව නිර්මාණයකට අත්වැලකි. රත්න ශ්‍රී කියන්නේ ප්‍රථම ප්‍රේමය ජය ගත යුතු බවය. ජය ගත නොහැකි නම් එය වෙනම කතාවකි.
ඉතින් තමන්ගේ මේ ප්‍රථම ප්‍රේමය ජය ගත් ගීත රචකයා ආණ්ඩුවේ දඬුවම් මාරු ලැබ වෙනත් නගරයක රැකියාවට යයි. යන්නේ ප්‍රේමනීය බිරිඳ හා දරුවන් හැර දමාය. නමුත් සිරිසඟබෝරජු මෙන් දරුවන් හා බිරිය ජූජක බමුණාට දන්දී නොවේ.
"මගේ බිසවුනේ අසාපන්" ගීතය ලියවෙන්නේ ඒ අනුවය. බසයේ නැගී අඩුම කුඩුම පොදි බැඳගෙන බිරිය දරුවන් හැරපියා දුර බැහැර රැකියාවට යද්දී ලියවෙන ගීතය එයයි.
මට යන්න දෙන්න. ඔහු කියයි.
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී
මහියංගනයට (එසමයේ ලංකාවේ සයිබීරියාවට ) ඔහු යා යුතුය. ඒ හිමයේ ඇයට යන්නට බැරිය. කුලී නිවසේ හෝ ඉඳපන් ය.
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
මම සිරි සඟබෝ නොවේ. උඹ දරුවන් රැක ගනින්.
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ
ලංකාවේ දිළිඳු පන්තියේ පිරිමියා රැකියාවක් කළ නොහී අඹු දරුවන් රක්නට බැරිව බිරිය යවන්නේ මැද පෙරදිග වාල් කමටය. අද හොඳින් ජිවත් වෙන බොහෝ මධ්‍යම පන්තිකයන්ගේ ද මුස්ලිම් වරුන්ට ගහන්නට කතා කරන අයගේ ද රටේ සුභ සාධනයට ගත් ණය වල පොලී ගෙවන්නට ඊළඟ වැඩිම ආදායම එන්නේ මේ මැද පෙරදිගිනි.
මා පිය බිරිඳ ජීවිතය දී හෝ ඔබ රකින්නම්. රට යන්නට ඕනෑ නැත.
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
සිහිනයෙන් ඔබ පැමිණ යන්න. ඒ හොඳටෝම ඇති. අපි ජය ගත්තා නොවැ ප්‍රථම ප්‍රේමය.
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
මා එනතුරු ඔබ ජිවත් වෙන්න පිය බිරියනේ කියා , වෙන්වීමේ දුක දරාගෙන යන ගමනේ කවියා කාන්සාව නිවා ගන්නේ, දුක පියවා ගන්නේ කොලයක කුරුටු ගෑ ගීයකිනි.
මේ ගීයේ සංගීත නිර්මාණය හා ගායනය ගුණදාස කපුගේ ශුරීන් විසින්ය.
රත්න ශ්‍රී ගේ ගී වල අසන්නාට කියනුයේ ජිවිතයේ දුක හෝ සැප සමසේ විඳින්නට මිස පලා යන්නට නොවේ.
රත්න ශ්‍රී විසින් නොලියූ එහෙත් කාව්‍ය තරඟයකදී රත්න ශ්‍රී තෝරාගත් කවි පෙළක් ගීයක් වී දර්ශන දිසානායකයන් ගේ සංගීතයෙන් ජිවය ලැබ මෙසේ සවනට ලං වෙයි. ගීතය ලියා ඇත්තේ රජීව වෙල්ගමයි.
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා දෑස් දුන් මිනිසා සොයා....
මේ ලිපිය තවමත් මට අවසන් කරන්නට නොහැකිය.
++++++++++++
ReplyDelete:)
Deleteමචෝ උඹේ යාලුව සාරසට මොකද උනේ?
ReplyDeleteඌ ඇතුලෙද අර කේස් එකට.
දන්නෙ නෑ කියන්නනම් එපා මට දැවනෙ ප්‍රශ්නයක් මේක.
බොරුවක් හරි කියල ශේප් වෙයන්
මා ඇසින් වත් නුදුටු අඩුම ගණනේ ෆේස්බුක් එකේවත් නැති අයකු යහළුවෙක් ලෙස සලකන්නට නොහැකිය. එනිසා කිසිම දෙයක් දන්නේ නැත. හොයන්නේද නැත. අනුන්ගේ දේ හොයනවාට වඩා ලියන්නට වැදගත් දේ තිබේ. ඒ බ්ලොගයේ කොමෙන්ට් දැමු ඔහුගේ යහළුවන් ගෙන අසන්න.
Delete+++++
ReplyDeleteතේරෙන්නෙම නැහැද ? :)
Deleteඇයි තේරවිල්ලක් තියනවද?
Deleteතෙරෙන්නේ නැද්ද? කියන්න දෙයක් නෑ.. හැක්..
Deleteඒක තමයි මමත් හෙව්වේ . තේරවිල්ලක් තියනවද කියල . කට්ටිය කතිර ගහගෙන යන නිසා.
Deleteඉතාම අගනා සවිස්තරාත්මක මැදහත් විවරනයක්. බොහොම ස්තූතියි අජිත් ඔබට
ReplyDeleteස්තුතියි චන්දන. ඔබට තරම සිංහල වදන් සොඳුරු ලෙස හසුරුවන්නට මට බැහැ. ඒ අඩුව තිබෙනවා කියා හිතෙනවා. හැකි ආකාරයෙන් තමයි ලිව්වේ. ඒ තරමට ඒ සංගීතය මුසු රාත්‍රිය හිතට වැදුනා.
Deleteඅනඟි සමාලෝචනයක් අජිත්.
ReplyDeleteප්‍රසංඟයේ ගී ගැයූ ගායකයන්ට, තමනට ලැබී තිබූ ගීත 100% ක් ගැලපෙනවද නැද්ද යන්න කිහිප වතාවක් එදා මගේ හිතට ආවා. ඒත් සමස්තයක් ලෙස ප්‍රසංඟය ඉතා ඉහලයි.
ස්තුතියි සුදත්. මාත් එහෙම හිතනවා. එතන පොඩි ප්‍රශ්නයක් තිබුන කියල.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමට නම් මොනවා කීවත් කමක් නැහැ. රත්න ශ්‍රී කුහකයෙක් නම් නොවෙයි.
ReplyDelete