Monday, 2 October 2017

සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්, බ්‍රෙෂ්ට් හා සාක්කිය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 - විජේවීර හා පොල්පොට් 

බෙර්ටෝල්ට්  බ්‍රෙෂ්ට් 
සෝවියට් පොත පත  සහ ප්‍රධාන වශයෙන් රුසියන් සාහිත්‍යය ශ්‍රී ලංකාවේ විප්ලවයකට බලපෑවා නම් බොහෝ විට රුසියන් විප්ලවයට දායක වුනු සියල්ල (ලෙනින්, ට්‍රොට්ස්කි ඇතුළු විප්ලව නායකයන්) සතුටු වනවා නොඅනුමානය. ඒ ඔවුන් සියල්ල ලෝක විප්ලවයක් ගැන සිහින මැවූ හෙයිනි.

ශ්‍රී ලංකාවේ මෙන්ම කොමියුනිස්ට් රටවල්ද බොහෝ ජනප්‍රිය පොතක්  වූයේ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි " නම් තරමක් දුරට ප්‍රබන්ධ ගත කරන ලද ඕස්ත්රොව්ස්කි   ගේ ජිවිත කතාවේ කොටසකි. මේ පොත සමග එසේ තරුණ පරපුර කෙරෙහි අදත් බලපෑ පොතක් නම් පසු කලෙක චුලානන්ද සමරනායක මහතාද පරිවර්තනය කළ ගුරු ගීතයයි. චිත්‍රපට කිහිපයක්ද ගුරු ගීතය නිසා නිමවුණි. මේ එම නවතම නිර්මාණයක් ගැන මා ලියූ ලිපියකි.

චින්ගීස්ගේ අයිත්මාතොව් ගේ  "ගුරු ගීතය" පොත ජපන් බසට  පරිවර්තනය කල ජපන් ජාතික රියෝකිචි සුගිමොටෝ තම ප්‍රසිද්ධ නිළි බිරිඳ වන යොෂිකෝ ඔකඩා සමග සෝවියට් දේශයට ගියේ සෝවියට් නාට්‍ය කලාව ගොඩ නැංවීමට ව්සේවොලෝඩ් මෙයර්හෝල්ඩ් ට උදව් වෙන්නටය. නිකොලායි ගොගොල් ගේ "රජයේ පරීක්ෂක the government inspector " කතාව  නාට්‍යයට නැගුවේ මෙයර්හෝල්ඩ් ය.

කොමියුනිස්ට්වාදියෙකු වූ සුගිමොටෝ ජපානයේ "පෙරටුගාමී" (avant-garde) නමින්  නාට්‍ය කණ්ඩායමක් ගොඩ නගාගෙන සිටි අතර ඔහුට ජපන් රජයෙන් මරණිය තර්ජන එල්ල වී තිබුණි. ජපන් පොලිසියෙන් බේරීමට සෝවියට් දේශයට ගිය  සුගිමොටෝ සහ යෝශිකෝ එන්කාවද (NKVD) හෙවත් සෝවියට් රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගෙන දරුණු ලෙස වධ දෙන ලදී. ඔහු ලවා මෙයර්හෝල්ඩ් සෝවියට්  රජයට විරුද්ධ රහස් ඔත්තු කරුවෙකු යයි ලියමනකට අත්සන් ගන්නා ලදී.  ලෙනින් ගේ ද ප්‍රියතම නාට්‍යකරුවෙකු වූ මෙයර්හෝල්ඩ් ත්‍රස්තවාදී, රහස් ඔත්තු කරුවෙකු යයි හංවඩු ගසා  ස්ටාලින්/බෙරියා ගේ අණ පරිදි 1939 දී මරා දැමුනි. මේ කාලයේ දීම "ගුරු ගීතයේ" ජපන් පරිවර්තක ජපන් ජාතික සුගිමොටෝ රහස් ඔත්තුකරුවෙකු ලෙස නම් කොට වෙඩි තබා මරා  දමන ලදී.

ජාතිවාදී කලබල වලින් පසු ජවිපෙ තහනම් කරන ලද තත්වයක් තුල ජවිපෙට රජයේ මර්දනකාරී හස්තය එල්ලවූ බව සැබෑය. ඇතැම් ජවිපෙ ක්‍රියාකාරීන් අත් අඩන්ගුවේද පසුවූහ. විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු (පද්මසිරි සහ රෝහණ )  පොලිස් වෙඩි තැබීම්  වලින් මියගොස් තිබුණි. නමුත් 1986 දෙසැම්බරයේ ස්වාධින ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය කිරීමත්  සමග ජවිපෙ දේශපාලන ඝාතන  රැල්ලකට මුල පිරීය. මේ ඝාතනය  පිළිබඳව රසිකොලොජි ලියු සටහන් කිහිපයක් මෙහි ඇත.

එසේම  දයා පතිරණ ඝාතනය  ගැන වැදගත්  දේශපාලන විවරණයක් පෙසපෙට  නැඹුරු අක්ෂය වෙබ් අඩවියේ  පලවිය. ලිපිය ලියා  ඇත්තේ නජිත් ඉන්දිකය.

කිසි සේත්ම ජාතිවාදියෙකු නොවූ දයා  පතිරණ විජේවීරගේ ස්ටලින්වාදී මාවෝ වාදී පොල්පොට් වාදී න්‍යායට කෙලින්ම විරෝධයක් පෙන්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සටන්  වල පෙරමුණේ සිටියකි.

ඒ කාලයේ මා  කියවූ නවකතා පොතක් වූයේ  කිර්ති නම් කුමරෙකු සොළින් පරදවා ලංකාව නැවත එක්  සේසත් කළ කතා පුවතයි. ලිව්වේ කව්ද  යයි මට මතක නැති වුවත් (කලහේ කුමාරදාස විය හැකිය)  එය ඉතා හොඳ නවකතාවකි.  තරුණ වියේ සිටි මට  රට රැක  ගැනීමට පෙරට යාමට  සොළීන් එළවීමට හොඳ උත්තේජනයක් දුන් පොතකි ඒ.  මා ඉතිහාසය හා රජවරුන් සම්බන්ධ  විස්තර කියවීමට කැමතිය. මිනිසුන් පෙළූ  සොළී ආක්‍රමණිකයන්  පැරදවීම හා රට බේරා ගැනීම අගය කළ යුත්තකි. නමුත් ඒ ජාතිකවාදී සටන් මාක්ස්වාදී ව්‍යාපාරයකට  බද්ධ කිරීම අනුවණ කමකි. කිර්ති විජයබහුලා  අන්වර්ථ නම් වලින් එලියට පසුව ආවේද මේ ප්‍රොජෙක්ට් එක යටතේය. (දැනුදු මේ නම් ගත් අය මේ බ්ලොගයට ප්‍රතිචාර දැමීමට පැමිණෙති. ඒ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමයට විරුද්ධව යමක් ලියුවොත්ය.)

මේ කාලයේ  සිදුවූ එවැනි තවත් ඝාතනයක් නම්  නන්දන මාරසිංහය. මේ ඒ ගැන මා ලියු ලිපියකි.  "කාලයේ රාවය " ගීත සමුච්චය කළ නන්දන ජවිපෙ බැංකු කොල්ලයක් කළ අය  ගැන පොලිසියට දැනුම් දුන්නා යයි චෝදනා කර මරා දැමුණි. (පොලිස් ඔත්තු කරුවෙකු ලෙස නම් කර ) එම ඝාතනයට දෙදිනකට පෙර ඔහු සමග සිටි, එසේම ඝාතන තර්ජනයකට ලක්ව සිටි සුනිලා  අබේසේකර සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නන්දන ගෙන් ඉල්ලා සිට ඇත්තේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවෙන ලෙසයි. නමුත් විජේවීර බේරා ගැනීමට යාපනය සිර ගෙයට පවා ගිය නන්දන විජේවීර එවැන්නකට නියෝග කරනු ඇතැයි නොසිතන්නට ඇත.

වෛද්‍ය රුවන් ජයතුංග විසින් ලියූ ලිපියක විජේවීර මහතා පිලිබඳ මනෝ විශ්ලේෂණයක් ඉදිරිපත්  කර තිබුණි. රුවන් මෙන් තවත් බොහෝ අයද ස්ටාලින් මෙන්ම  හිට්ලර් ද මනෝ ව්‍යාධි වලින් පෙළුණු බව කියා තිබේ. (සෝවියට් රතු හමුදාවේ ප්‍රචාරක නිලධාරියකුව සිටි දිමිත්‍රි වොල්කගොනොව් ගේ 'ස්ටාලින් " පොත කියවන්න.) යුඇන්පියෙන් පියාට පහර දීම, විජේවීරගේ අවලක්ෂණ භාවය ගැන කරුණු බොහෝ අය ඉදිරිපත් කර තිබුණි. නමුත්  මගේ අදහස නම් රෝහණ විජේවීර මේ මෙහෙයවූයේ තමන් විසින්ම ස්ටාලින්, මාවෝ, පොල්පොට් ක්‍රියාවලිය න්‍යායාත්මකව  හදාරා දියත්  කළ අරගලයක් බවයි. අවාසනාවකට එය සුළු ජාතීන්ට එරෙහිව ජාතිකවාදය මෙන්ම ජාතිවාදයද ඉස්මතු කරගත් මාවෝවාදී ඝාතන  රැල්ලක් බවට පෙරලුනි.

විජය කුමාරතුංග මරා  දැමුවේ තමන් විසින් නොවන්නේ යයි ජවිපෙ පවසතත් විජය එදා සිටි තැන එනම් ද්‍රවිඩ කැරලිකරුවන් ගැන සාකච්චා කළ යුතු යයි කි ස්ථාවරය විජේවීරගේ මතවාදයට ඉඳුරාම වෙනස් එකක් විය. දයා පතිරණ හා දයාන් ජයතිලක  දෙදෙනාම සිටියේ "ස්වයං නිර්ණය අයිතිය" සුළු ජාතීන්ගේ  අයිතියක් වශයෙන් පිලි ගන්නා තැනකය. අද ජාතිවාදී පැත්තේ සිටියත් දයාන් ජයතිලක ඒ කාලයේ ලතින්  ඇමෙරිකානු විප්ලව ගැන දේශන පවත්වමින් සිටි අතර වර්ධරාජා පෙරුමාල් ගේ වාමාංශික  කණ්ඩායමටද එක්වී සිටියේය.

පසු කාලීනව වාමාංශික   ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් ඝාතනය කරමින් ඉදිරියට පැමිණියේ කොටි සංවිධානයයි. ඒ අනුව ප්‍රභාකරන් ඒ පැත්තෙන් ද්‍රවිඩ ජාතික අරගලය ජාතිවාදී ස්වරූපයකින් ස්ථාපිත කල අතර විජේවීර දකුණේ  ඒ කාර්යභාරය ඉෂ්ඨ කළේය. ප්‍රේමදාස  රජය තම ඉන්දීය විරෝධය හරහා  උතුරේ කොටි  සංවිධානය හිතවත්ව තබා ගනිමින් දකුණේ දැවැන්ත භිෂණයක්  දියත් කළේය. සතුරන් මෙන්ම මිතුරන්ද දෙපැත්තෙන්ම  ඝාතනය වූ මේ සමයේ රැල්ලට එරෙහිව ඇතැම්  නාට්‍යකරුවන් මෙන්ම ඇතැම් සාහිත්‍යවේදීන් ද ක්‍රියාත්මක වෙමින් සිටියහ. රැල්ලේ, පවනේ සිටි කලාකරුවන් වූ නන්දා  මාලිනි ආදීන්ට  මහාචාර්ය සුචරිත ගම්ලත් ඔහුගේ ලිපි වලින් නිර්දය ලෙස පහර දුන්නේය.  ඉදිරියේ එන අනතුර ඔහු වටහාගෙන සිටින්නට ඇත.

කවුරුත් අමතක කල කරුණක්  වුයේ ලෙනින් විප්ලවයේ කැඩපත නමින් සඳහන් කලේ ටෝල්ස්ටෝයි ගැන බවය. "යුද්ධය හා සාමය" එවකට රුසියානු සමාජය විග්‍රහ කල අනගි ග්‍රන්ථයක් වශයෙන් ලෙනින් හැඳින්විය. "යුද්ධය හා සාමය" යනු කිසි සේත්ම විප්ලවීය වීර කාව්‍යයක් නොවේ.

හෙන්රි ජයසේන , රන්ජිත්  ධර්මකීර්ති, "කැළණි පාලම " කල ආර් ආර් සමරකෝන් වැන්නන්  ජනප්‍රිය මාදිලියේ නාට්‍ය  ඉදිරපත් කල අතර "සාජන්ට් නල්ලතම්බි " වැනි ප්‍රහසන නිර්මාණ ජනප්‍රිය රැල්ලෙන් ඉදිරිපත් විය. හෙන්රි ජයසේන ගේ "හුණු වටයේ " කතාව බ්‍රෙෂ්ට් ගේ රංග කලාව ගැන එතරම් තැකීමක් නොකළ අතර සෞන්දර්යවාදී  මුහුණුවරට වැඩි  තැනක් ලැබී තිබුණි. සෝවියට් සාහිත්‍යයේ විප්ලව වාදී කැප කිරීම් සහිත හා ආවේගී ගුණයන්ගෙන් පිරි කතා  රැල්ල ද සමග  චීන, උතුරු කොරියානු (ඉල් සුන්ගේ එක්සත් ජනපද අධිරාජවාදී  හමුදා වලට එරෙහි හපන්කම්) , වියට්නාම (හෝ චි මින්) මෙන්ම චේ ගේ වීර කතාද බහුල විය.

බොහෝවිට මතක තබා ගත යුත්තේ මේ විප්ලවීය වීර කතා නිර්මාණය වුයේ ඔක්තෝබර් විප්ලවය  ජයගත් පසු බවය. ලෙනින් ලා හෝ ට්‍රොස්කි ලා මෙන්ම ස්ටාලින්ද වීර වික්‍රම විප්ලවීය  කාව්‍යය, කතා  කියවීමක් ගැන සඳහනක් මා  කොහෙවත් දැක නැත.

ස්ටාලින් තමන්ගේ" great purge" හෙවත් පක්ෂය හා රට "සුද්ධ කිරීම" ආරම්භ කලේ ලෙනින් ද මියගොස් වසරකට පසුය.  එසේම මාඕ තමන්ගේ සංස්කෘතික විප්ලවය දියත් කලේ බලය ලබාගෙන කාලයකට පසුවය. මේ දෙදෙනාම තමන්ගේ පැරණි විප්ලවකාරී සගයන් සහ උගතුන් (intelligencia)  විනාශ කළහ.  පොල්පොට් තම ක්‍රියාවලිය පටන් ගත්තේද බලය ලබා ගැනීමෙන් පසුය. විජේවීර  මහතා තුන්ඩු වලින් පුංචි ආණ්ඩුවක් පිහිටුවා බලය ලැබුනා  යයි සිතා  එම කාර්යය ආරම්භ කළේය.
විජිත ගුණරත්න 

රැල්ලට එරෙහිව ගිය සාහිත්‍යවේදීන් අතරින් එක් අයෙකු වූයේ බ්‍රෙෂ්ට් ගේ එපික්  රංග රීතියට අනුව කල "දැති කියත " වේදිකා නාට්‍යයේ නිර්මාතෘ  වූ විජිත ගුණරත්නය. ස්වීඩනයේ ඉගෙනුම හදාරා පැමිණි ගුණරත්න "සුභ සාධක", ඉනි මගක් සහ බුරුවෙක් වැනි ස්වයං නිර්මාණ ද "පැන්ස තුනේ කතාව " ආදී අනුවර්තන ද   කල අතර 1988 දී "සාක්කිය" නාට්‍යය එලි දැක්විය.   ඉතාලියානු ජාතික ඩාරියෝ ෆෝ ගේ Accidental Death of an Anarchist (අරාජිකවාදියා ගේ හදිසි  මරණය) නමැති කතාවේ අනුවර්තනයක් තුලින් බ්‍රෙෂ්ට් ගේ එපික් රංග කලාව ඔහු නිවැරදිව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.  පොලිසියේ සීඅයිඩී එකේ හතරවෙනි තට්ටුවෙන් "පැන දිවි නසා ගත් " දොඩම්පේ මුදලාලි ගැන මතකද? මේ "සාක්කිය " කතාවද  එවැන්නකි.  සාක්කිය නිසා 1988 දී විජිත ගුණරතන වෙඩි  ප්‍රහාරයකට මුහුණ දුන්නේය. එනිසා ඔහු දිවි බේරා  ගැනීම සඳහා නැවතත් ස්වීඩනයට පිටු වහල් විය.

විජිත ගුණරත්න ගේ "වලා පටල" චිත්‍රපටය ගැන ලිපියක් මෙහි ඇත.

"නාද සංකථන  "යනුවෙන් පර්යේෂණ ලිපි කිහිපයක් පළ කරන තරුපති  මුණසිංහ මෙසේ ලියයි.

"බ්‍රෙෂ්ට් ගේ රංග රීතිය මුල් කරගත් නාට්‍ය ශ්‍රී ලාංකීය වේදිකාවට ගෙන එන්නේ විජිත ගුණරත්නයන්ය. සුනිල් විජේසිරිවර්ධනයන්ට (2003) අනුව, දැති කියතෙන් විජිත  ගුණරත්නයන් ඇරඹු බ්‍රෙෂ්ට්ගේ රංග සංකල්පය පදනම් කරගත් නව රංග මාර්ගය සුභ සාධක, සත්යාංගනාවී, සහ සාක්කි යන නාට්‍ය හරහා වඩා පොහොසත් කරන්නට සමත් වූ බවයි. හෙන්රි ජයසේනයන් ට පසුව බ්‍රෙෂ්ට් නැවත ශ්‍රී ලංකාවට මතක් කර දෙන්නේ විජිත ගුණරත්නය.  බ්‍රෙෂ්ට් ගේ රංග සංකල්පයන්ට යම් තරමකට හෝ ගුණරත්නයන්ට සමීප විය හැක්කේ වාමාංශික දේපාලන කියැවීම හරහා වීම බව මම  විශ්වාස කරමි. " (පි. 58 නාද සංකථන.)

"සංස්කෘතික ක්‍රියාවලියේදී අපේ වම ඉන්නේ සිහිනයක. ඔවුන් කලාකරුවාගේ මූලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. මේ ගැන වම සංවාදයක් පැවැත්විය යුතුයි. සමාජ පරිණාමය සඳහා කලාව කියන කාරණය සම්බන්ධව වමට දැඩි ලෙස හිතන්න කාලය ඇවිත්. අපේ වගේ ඌණ සංවර්ධිත රටක කලාකරුවන් වම වෙනුවෙන් පෝලිමේ ඇවිත් පෙනී සිටියි කියල හිතනවා නම් ඒක වැරදියි. - විජිත ගුණරත්න " - (පි.59 නාද සංකථන)

බ්‍රෙෂ්ට් ගේ මේ රංග රීතිය වැදගත් වන්නේ ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් පරාරෝපණය (alienation or entfremdung - ජර්මන් ) කිරීමයි. කලාවේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ   ප්‍රේක්ෂකයාට  සිතන්නට බල කිරීම   හා කියවන්නාට විවේචනාත්මකව සිතන්නට බල කිරීම මිස ආවේගයෙන් හැසිරෙන කලහකාරීන් පිරිසක් නිර්මාණය කිරීම නොවේ.

ධර්මසිරි බණ්ඩාරනායක 

ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් "ධවල භීෂනය" නාට්‍යය නිර්මාණය කරන ලද්දේ 1988 දීය. ෂෝන් පොල් සාත්‍රේ ගේ "ඡායා නැති මිනිස්සු "(Men Without Shadows ) අනුසාරයෙන් නිපදවුණු මෙම නාට්‍යයෙහි ඇත්තේ නාසි වාදී ප්‍රංශ දක්ෂිණාංශික විචි රජයේ සොල්දාදුවන් මගින් අත් අඩංගුවට ගන්නා නාසි විරෝධී (french resistance) සටන්කාමීන් සමුහයක් ගැනය.

විජිත ගුණරත්නයන් ගේ හා ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ අනතුරු හැඟවීම්, ආවේගාත්මක සටන් පාඨ, විප්ලවකාරී උත්තේජනයක් දෙන ගීත හා නවකතා අතර ගිලුණු තරුණයන් සමුහයකට සහ ඔවුන් ගේ නායකත්වයට ඇස ගැසුනේ නැත. විජිත ගුණරත්නලා සිටියේ ජවිපෙ නායකත්වයට ගව් ගණනක්  ඉදිරියෙනි.

"ගුරු ගීතය " ගැන හා බෙර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් ගැන සඳහනකින්  ලිපිය අවසන් කරමි.
 මේ මගේ රුසියානු මිතුරියක ගේ පෙම්වතෙකු හා  කිර්ගිස් ජාතික තරුණයෙකු වූ රුස්ලාන් කී කතාවකි. ඒ කිර්ගීසියාවේ අගනුවර වන බිෂ්කෙක් වලට ඈතින් ඇති පෙදෙස් වල ලාබාල තරුණියන්  කසාද බැඳීම සඳහා හෝ ලිංගික වහලුන් ලෙස තබා ගැනීමට පැහැර  ගන්නා බවයි. කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් වරුන්ට විශාල නිවෙස් ඇති බව සහ එම නිවෙස් වල බිම්ගත කාමර තිබෙන බවත් ඇතැම් විට මෙම තරුණියන් ඒවායේ රඳවා ගෙන සිටින බවත්ය. ඔහු මේ තරුණියන් ඇසින් දුටු බව හමුදා භටයෙකු ලෙස සේවය කරද්දී දුටු බව කීය. (සෑම සෝවියට් තරුණයෙක්ම  අවුරුදු 17දී හමුදා සේවයට යා යුතුය)  සෝවියට් තුර්ක්මෙනිස්ථානයේ,  තජිකිස්ථානයේ ද මෙවැනි සිද්ධීන්  සිදුවෙන බවත්ය. සමහරවිට මොස්කව් හෝ වෙනත් නගර වල සිට එන නිලධාරීන් නිහඬව සිටින්නේ ඔවුන්ටද කෑමෙන්, මෙන් හා තරුණියන් ගෙන් සංග්‍රහ ලැබෙන  නිසා විය හැකි බවත්ය. මේ 1988 පමණ දීය.

මේ වසර 1999 බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කිර්ගිසියාවේ මනාලියන් ලෙසට කියා පැහැර ගෙන ගොස් දූෂණය කර හැර දමන තරුණියන් ගැන ලියූ කතාවකි.

මේ 2004 තරම් මෑත කාලයක එවන් "මනාලියක් " පැහැර  ගැනීමක් ගැන කතාවකි.
http://www.pbs.org/frontlineworld/watch/player.html?pkg=303_kyrgyz&seg=1&mod=0

සමහර ෆේස්බුක් විප්ලවවාදීන් දුයිෂෙන් මෙන් ඉදිරියට එන්නට කියන විට , විප්ලවවාදීන්ට අති උත්තම මරණය තෝරාගෙන ජනතාව  වෙනුවෙන් සටන් වදින්නට ආවේගාත්මක ලෙස ඉතා සංවේදී ලෙසින් ආයාචනා කරන විට සෝවියට් දේශයේ සිටි අපට සිනහ පහල වන්නේ මේ නිසාය. මේ ඇත්තටම  සිනහවීමට නොව හඬන්නට සුදුසු  කරුණකි.

සෝවියට් දේශයෙන් දෙන "ස්ටාලින් සාම ත්‍යාගය" 1954 දී පුද කරන ලද්දේ බ්‍රෙෂ්ට් ටය.  ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර බර්ලිනයේ ගත කල අවසන් වසර කිහිපය තුල බ්‍රෙෂ්ට් නාට්‍ය කිහිපයක්ම කළේය.  නැගෙනහිර බර්ලින් ගොඩනැගිලි ඉදිකරන කම්කරුවන් පිරිසක් වර්ජනය කලේ 1953 දීය. කොමියුනිස්ට්වාදී  කම්කරු පන්තියෙන් යයි කියා පාලනය වන රටක වර්ජන කළ හැකියි ඔවුන් සිතන්නට ඇත.  වර්ජනයට මුලිකත්වය දුන්නේ පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, කම්කරු  වෘත්තීය සමිති හා නාසි හා ෆැසිස්ට් විරෝධී සංවිධාන ජාල වලිනි. මාසයකින් මිලියනයක් පමණ වර්ජනයට පක්ෂව  හා නැගෙනහිර ජර්මන් රජයට විරුද්ධව එක්වුනි. බ්‍රෙෂ්ට් මුලදී වර්ජකයන්ට එරෙහිව ජර්මන් රජයට සහය පල කළේය.

නැගෙනහිර ජර්මනියේ ස්ථාපිත සෝවියට් හමුදා විසින් දරුණු ලෙස වර්ජනය සහ ජනතා නැගිටීම මර්දනය කරන ලදී. බ්‍රෙෂ්ට් රජයට එරෙහි විය. අවසන් වරට ඔහු ලිවූ කාව්‍යයක මෙසේ සඳහන් වෙයි.

දාහත් වෙනි දා ජූනියේ ජනතා නැගිටීමින් පසු
කතුවරුන් ගේ සංගමයේ ලේකම්
පත්‍රිකා බෙදුවා ස්ටාලින් වීදියේ 
ඔහු කීවේ ජනතාව කෙරෙහි
රජය විසින් තැබූ විශ්වාසය බිඳ හෙලලා කියල
එය නැවත  දිනා ගත හැක්කේ
වඩා තදින් උත්සහ කිරීමෙන් පමණක් කියා

ඊට වැඩිය ලෙහෙසි නැත්ද
රජය විසින් මේ අවස්ථාවේ
ජනතාව  විසුරුවා හැරලා
අලුත් ජනතාවක්  පත් කර ගත්තොත්

After the uprising of the 17th of June
The Secretary of the Writers Union
Had leaflets distributed in the Stalinallee
Stating that the people
Had forfeited the confidence of the government
And could win it back only
By redoubled efforts.

Would it not be easier
In that case for the government
To dissolve the people
And elect another?

(collected edition of Brecht's work)

~ වසන්තය එනවා සත්තමයි ~~~~


මූලාශ්‍ර:

නාද සංකථන - නාදය සහ සංගීතය අතර පර්යේෂණ ලිපි සංග්‍රහය - තරුපති මුණසිංහ
 නන්දන මාරසිංහට මොකද වුනේ ?- සත්හඬ
Leo Tolstoy as the Mirror of the Russian Revolution - ලෙනින් 
බෙර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් 
කිර්ගීසියාවේ මනාලියන් පැහැර  ගැනීම 
Plight of Kyrgyzstan brides who are kidnapped, raped and abandoned
කසාක්ස්ථානයේ පැහැර ගැනීම

7 comments:

  1. අජිත් ධර්ම මහතා මෙවර කියා සිටින්නේ ලංකාවේ විප්ලවයකට රුසියන් සාහිත්‍ය බලපෑවා නම් ලෙනින්, ට්‍රොට්ස්කි වැනි අය සතුටු වනවා නොඅනුමානය බවයි. ඇත්තෙන්ම මේ ප්‍රකාශයෙන්ම පෙනෙන්නේ අජිත් මහතා ඔබ විප්ලවයේ 'අ' යන්න වත් නොදන්නා බවයි.

    සමාජවාදී සෝවියට් සංගමයේ බිඳ වැටීමේ සිට ධනවාදය උපරිමයට ගිය විට ගොඩනැගෙන ස්කැනේඩියානු සමාජවාදයක් ගැන කතාකරාට අජිත් ධර්ම මහතා දන්නා කිසිවක් නැති බව අප ප්‍රකාශ කොට බොහෝ කල්ය.

    ඇත්තෙන්ම කිසිවක් නොදන්නා වුවත් අජිත් ධර්ම මහතා ඒ නොදන්නා බව වත් දන්නේ නැත. කොමියුනිස්ට්වාදය පරාජයට පත් වී දශක කිහිපයකි. තවමත් එහි හාහූව ඉවරයක් නැත. සෝවියට් සංගමය පරාජය මහා ප්‍රවෘත්තියකි. එහි දෙකක් නැත.

    ජයග්‍රාහකයා ඔහුගේ ම සමකාලිනයෙකු වන එක්සත් ජනපදයය. කොමියුනිස්ට්වාදයේ පුරාවෘත්තයක් බඳු රටක් පරාජය කළේ නම් එහි ජයග්‍රාහකයා පිළිබඳ ව කෙලෙස නම් ප්‍රවෘත්ති පළවිය යුතු ද? එහෙත් එකී ජයග්‍රහණයේ හිමිකරු එක්සත් ජනපදය පිළිබඳ ව නම් එවැන්නක් සිදු නොවුණි.

    “ධනවාදයේ ජයග්‍රහණය අංග සම්පූර්ණ කතාවක් නොවේ. මේ කතාවේ බොහෝ කඩතොලු තියෙනවා. ධනවාදය ලොවට සුදුස්සෙක් නොවේ. ඒත් කොමියුනිස්ට්වාදය බිඳ වැටී ධනවාදය ගොඩනැගෙන්න හේතු ලැබී තිබුණා. නමුත් මම කනගාටු වෙනවා ධනවාදය ගැන. ඒ සම්බන්ධයෙන් ප්‍රශස්ති ගී ගායනා කරන්න මට බැහැ. ධනවාදය කොතරම් කෙතරම් හොද වූවත්කොමියුනිස්ට්වාදයේ පරාජය, ධනවාදයට වඩා වටිනවා.” අජිත් ධර්ම විටෙක මෙලෙස කියයි.

    එහෙත් ඉන් පසු ඔහු කියා සිටින්නේ අන්ත දක්ෂිණාංශික ස්කැනේඩියානු රටවල සුපිරි ධනවාදය වෙනුවෙනි. අධ්‍යාපනයට මිලක් ඇති බව කියමින් එය පවා විකිනීමට වක්‍රව ඔහු සහය දක්වන්නේ එබැවිනි.

    මේ අතර ට්‍රම්ප් සේම පුටින්ද ද මේ සියළු දෑ වලින් අනතුරුව කිසිදු ආරෝවක් නොමැතිව ඉතා ම සුහදව හැසිරීම බොහෝ මාධ්‍ය දැක තිබුණි. ඊට නිසි ප්‍රචාරයක් ද ලැබී තිබුණි. එහෙත් මේ ගැන අජිත් ධර්ම මහතා තමන්ගේ පෞද්ගලික මත දැක්වීමට යෑමෙන් තම කිරුළ ද අහිමි කර ගනු ඇතැයි දැන් දැන් ක්ෂේත්‍රයේ කතාව ය. අජිත් ධර්ම මහතා බ්ලොග් අඩවිය ඔස්සේ කළ ප්‍රකාශයන් ඊට කදිම සාක්ෂිය.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ ප්‍රතිචාරයට ඉතාම ස්තුතියි. //අජිත් ධර්ම මහතා මෙවර කියා සිටින්නේ ලංකාවේ විප්ලවයකට රුසියන් සාහිත්‍ය බලපෑවා නම් ලෙනින්, ට්‍රොට්ස්කි වැනි අය සතුටු වනවා නොඅනුමානය බවයි. ඇත්තෙන්ම මේ ප්‍රකාශයෙන්ම පෙනෙන්නේ අජිත් මහතා ඔබ විප්ලවයේ 'අ' යන්න වත් නොදන්නා බවයි. // ඔබතුමා විප්ලවයේ අයන්න ආයන්න දැන සිටීම මට මහත් සතුටට කරුණකි.

      Delete
    2. //ජයග්‍රාහකයා ඔහුගේ ම සමකාලිනයෙකු වන එක්සත් ජනපදයය. කොමියුනිස්ට්වාදයේ පුරාවෘත්තයක් බඳු රටක් පරාජය කළේ නම් එහි ජයග්‍රාහකයා පිළිබඳ ව කෙලෙස නම් ප්‍රවෘත්ති පළවිය යුතු ද? එහෙත් එකී ජයග්‍රහණයේ හිමිකරු එක්සත් ජනපදය පිළිබඳ ව නම් එවැන්නක් සිදු නොවුණි.// ප්‍රවෘත්ති ඔය පල වෙන්නේ. ඇමරිකන් ආර්ථිකය දියුණු කරන්න තුවක්කු 44 ගත්ත එකෙක් 58 මරල 517 තුවාල කරලා තියෙන්නේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .