තාරකාභෞතික විද්‍යාව

1. බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි:

සාමාන්‍යයෙන් තාරක විද්‍යාව ඉගෙන ගනිද්දී cosmology කියලා විෂයක් තිබෙනවා.  ඒ කියන්නේ විශ්වය ගැන ඉගෙනුම. එහිදී මුල්න්ම සාකච්චාවට ගන්න කාරණයක් තමා bigbang හෙවත් මහා පිපිරුම. මේ නමින් ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියන පර්යේෂණාත්මක තත්වයට  දෙන්නේ කිසියම් වැරදි හැඟීමක්. (misnomer). මේ නම දැම්මේ 1950 දී සර් ෆ්‍රෙඩ් හොයිල් කියන බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥයා විසින් ඔහු විසින් විශ්වය තව දුරටත් සීග්‍රයෙන් විශාල වෙනවා (ප්‍රසාරණය - expanding universe) කියන අදහසට විරුද්ධ වීම නිසා.
සර් ෆ්‍රෙඩ් හොයිල් (1915 - 2001)
ෆ්‍රෙඩ් හොයිල් ගේ කැමැත්ත තිබ්බේ "Steady State model " හෙවත් සිංහලෙන් කිවොත් නියත (අචල හෝ වෙනස් නොවන) තත්වයේ මොඩලය කියන එකට. 
 එතකොට මොකක්ද මේ තියරිය. මේකට මුලිකව සහය දුන්නේ හර්මන් බොන්ඩි, තෝමස් ගෝල්ඩ් හා ෆ්‍රෙඩ් හොයිල්.  මේ තියරියෙන් උපකල්පනය කරන්නේ ඕනෑම වෙලාවක හැම නිරික්ෂකයෙකුටම විශ්වය පෙනෙන්නේ එකම විධිහට බව.  ඒ මොකද විශ්වය "Perfect Cosmological Principal" හෙවත් පරිපුර්ණ විශ්වීය නියමයකට හැම වෙලේම යටත් නිසා කියල. 
එනම් " විශ්වය ඉතා විශාල පරිමාණයෙන් ගත්කල බලන හැම පැත්තෙන්ම  එක හා සමාන වන අතර අනාගතයේදී ද එය එසේම වේ ".
මේ ප්‍රමේය කිසියම් ප්‍රමාණයකට විශ්වය විශාල වෙනවා යයි පිලි ගත්තත් එය සදාකාලික විශ්වයක් තුල වන්නේ යයි පිළිගනී.  මේ තියරියේ ප්‍රධාන ප්‍රශ්නයක් නම් ද්‍රව්‍යය ඇති වන්නේ නැත්තකින් බව (Matter created from nothing) පිලි ගැනීමයි.












මෙයට විරුද්ධ මතය ඉදිරිපත් කලේ කතෝලික දේවගැතිවරයෙකු හා තාරක විද්‍යාඥයෙකු වූ ජෝර්ජස් ලේමටර් (Georges Lemaître) විසින්. ඔහු කිවේ එක්තරා නියත වෙලාවක කිසියම් අංශුවක් පිපිරීමෙන් විශ්වය ඇතිවූ බවයි. එය ඉන්පසු සීග්‍රයෙන් ප්‍රසාරණය වන්නට ඇති බවයි. ඔහු 1927 -30 දි සාපේක්ෂතා වාදය උපයෝගී කරගෙන මේ බව ඔප්පු කරන්නට ලිපියක් පල කලා. 












නමුත් ඔහු දැන හෝ නොදැන රුසියානු විද්‍යාඥයකු හා ගණිතඥයෙකු වන ඇලෙක්සැන්ඩර් ෆ්රිද්මන් (Alexander Friedmann ) 1922 දී සාපේක්ෂතාවාදය ගණිතමය වශයෙන් ඔප්පු කරමින් විශ්වය ප්‍රසාරණය වන බව ඔප්පු කලා.

මෙය කන වැකුණු සර් ෆ්‍රෙඩ් හොයිල් තරහෙන්  "එහෙනම් ඔහෙලා කියන්නේ මහා ලොකු පිපිරිමකින් (bigbang එකකින්) විශ්වය බිහි වුණා  කියලද? "  කියා අවඥා කලා. ඒ වචනය ඉන්පසු හැමෝම භාවිතා කරන්නට පටන් ගත්තා.
 නමුත් 1930 දී බ්‍රිතාන්‍ය රාජකීය තාරක විද්‍යාඥ සර් ආතර් එඩ්දින්ටන් , අයින්ස්ටයින් හා ඩි සිටර් විසින් මෙම static හෙවත් එකම විදහට තිබෙන විශ්වයක් නැති බව පිළිගත්තා.

විශ්වය දයනමිකව (dynamic ) (ගතික ලෙස)  ප්‍රසාරණය වන බවත් එක මුලයකින් පටන් ගන්නට ඇති බවත් නිගමනය කෙරුණා.

මේ අලුත් නියමය ඔප්පු වන්නේ කෙසේද යන්නඊළඟ  ලිපියෙන් පැහැදිලි කරන්නට පුළුවන්.  -අජිත් ධර්මකීර්ති  

********************************************************
2. බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB:
CMB කියල  කියන්නේ  cosmic microwave background හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය ( microwave - කුඩා හෝ මයික්‍රෝ තරංග) කියන එකට. මෙහෙම දෙයක් තියෙන්න පුලුවන් කියල පළමුවෙන්ම 1948දී කිව්වේ රැල්ෆ් අල්ෆෙර් සහ රොබර්ට් හර්මන්. ඔවුන් කිව්වේ කිසියම් මහා පිපුරුමකදී විහිදෙන තාප විකිරණය මනින්න පුළුවන් වෙන්න ඕනේ කියල. ඔවුන් මුලින් කිව්වා CMB එකේ තාපය (උෂ්ණත්වය )   කෙල්වින් 5ක් විතර වෙයි කියල. පසුව එය කෙල්වින් 28කට වැඩි කලා.
සෝවියට් විද්‍යාඥ යකොව් සෙල්දොවිච් මෙය නැවත  තහවුරු කලා.

CMB එක හරියටම හම්බ වුනේ අහම්බෙන්. ඒ 1964 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන් විසින් චන්ද්‍රිකා  මාර්ග දත්ත සෙවීමට රේඩියෝ ටෙලස්කෝපයකට ඇන්ටෙනාවක් සවි කිරීමට යද්දී කල නිරීක්ෂණයක් නිසයි. ඔවුන් චන්ද්‍රිකා සිග්නල් අහද්දී ඔවුන්ට වෙනත් 'බර බර හා ර්ර්ර්  ' ශබ්දයකුත් ඇසෙන්නට පටන් ගත්තා. මෙය දිගින් දිගටම ඇහුනා.













-අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන්

එවැනි ශබ්දයක්  මෙතනින් අහන්න:http://faculty.washington.edu/jcramer/BigBang/Planck_2013/BBSnd20.wav

ඔවුන් දෙදෙනා මුලින් මේ ශබ්දය එන්නේ පරෙයියන් ගෙන් යයි සිතා  පරෙයියන් එලවා ඇන්ටෙනාව කීපවතාවක් ශුද්ධ කලා. නමුත් සද්දය දිගටම එන විට ඔවුන් නිරීක්ෂණය කලා තමන්ගේ ඇන්ටේනාවේ  උෂ්ණත්වය කෙල්වින් 4ක් පමණ බව. ඔවුන්  පසුව මෙම ශබ්ද ගබඩා කර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට යැව්වා. ඔවුන් හා ප්‍රින්ස්ටන් මෙහිදී කල විශ්ලේෂණයෙන් තහවුරු වුයේ කවුරුත් හොයමින් සිටි විශ්වයේ මුල් පිපිරුම වැනි යමක් සිදු වුනානම් එයින් පිටවූ තාප විකිරණ (heat radiation)  වල ශබ්දය මෙය බව.

මෙම ශබ්දය හා තාපයේ වර්ණාවලිය (spectrum ) අපිට වැඩිය ලැබෙන්නේ නැත්තේ පෘතුවියේ වායු ගෝලය එහි වැඩි හරියක් අවශෝෂණය කර ගන්න නිසා. මේ නිසා ඇමෙරිකාව විසින් COBE නමැති චන්ද්‍රිකාව ගුවන් ගත කලා . (COBE -Cosmic Background Explorer - විශ්වයේ  පසුබිම සොයන්නා )  

 මෙහිදී සොයා ගත්  දත්ත වලින් ප්‍රස්ථාරයක් අඳින්න පුලුවන්. මෙයට කෘෂ්ණ වස්තුව හෙවත් කළු ද්‍රව්‍යයේ  වර්ණාවලිය කියා කියනවා. (Black body spectrum ).
 මෙහිදී ඉතාමත් නිවැරදිව CMB එකේ උෂ්ණත්වය කෙල්වින් 2.73 (2.73 K.)කට මැනගන්න පුළුවන්. (කෙල්වින් 273ක් යනු සෙන්ටිග්‍රේඩ්  0, 0 Centigrade=273 K)

මෙතැනදී කලින් ලිපියේ සඳහන් හොයිල්ගේ steady state තියරියට කන කොකා හැඬුවා.

මෙයින් ඉතා වැදගත් නිගමන කීපයක් ලැබුණි.

1. COBE  චන්ද්‍රිකා  දත්ත පෙන්නුම් කලේ විශ්වයේ එක කොටසක උෂ්ණත්වය 10000 කින් 1 කට තත්‍යව (ඉතා නිවැරදිව)  තවත් ඕනෑම  තැනක උෂ්ණත්වයට සමාන බව. (මෙහිදී විශ්වීය අවකාශය ගැන මිස තාරකා  හෝ ග්‍රහලෝක වල උෂ්ණත්වය ගැන කතා නොකෙරේ. )

2. එක දිසාවක විශ්වය ප්‍රසාරණය (විහිදීමේ )  අනුපාතය (expansion rate )  තවත් ඕනෑම දිසාවක ප්‍රසාරණ අනුපාතයට සමාන බව  (මේ පිලිබඳ වෙනත් ප්‍රමේය සහ සාධක ඉදිරියේදී පල කරමි)

3. විශ්වය ඕනෑම පැත්තකට  එක වගේම බව (uniform)

පහතින් ඇත්තේ CMB විකිරණ විශ්වයේ විහිදී තිබු සැටි පෙන්වන ඡයාරූපයකි.  මෙයින් පෙනේනේ බැලු ඕනෑම පැත්තක විශ්වය uniform ඒකාකාරී බවයි. 

මෙහි කාලය විශ්වය ඇතිවී අවුරුදු 300 සිට බිලියන් කීපයක් දක්වායි.


මේ පින්තුරය WMAP Wilkinson Microwave Anisotropy Probe නමැති මයික්‍රෝ වේව් ටෙලස්කෝපයෙන් ගත්  එකකි. (පින්තුරය  නාසා වෙබ් අඩවියෙන්) .

WMAP ස්පේස් සැටලයිටයේ චායාරුපයක් පහත දැක්වේ:

අජිත් ධර්මකීර්ති

උපුටා ගැනීම්:
1.  http://map.gsfc.nasa.gov/
2. බිග්බැන් ශබ්දය  : http://www.washington.edu/news/2013/04/04/listening-to-the-big-bang-in-high-fidelity-audio/

*******************************************************
නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද? :
 "මට මා  පෙනෙන්නේ වෙරළේ ක්‍රීඩා කරන කුඩා දරුවෙක් මෙනි. මට ඉදිරියෙන් ඇත්තේ තවමත් අනාවරණය කල නොහෙන සත්‍යය  නමැති අසීමිත සාගරයයි . "- අයිසැක් නිව්ටන්

නිව්ටන් ව අපට මෙහිදී අමතක කල නොහැකියි.. මොකද නිව්ටන් ගේ Universal Law of Gravitation ගුරුත්වාකර්ෂණය පිලිබඳ විශ්වීය නියමය අපට වැදගත් නිසා.  මේ නියමය නම් කිසියම් වස්තුන් දෙකක්  එකිනෙකට ආකර්ෂණය වන්නාවූ  බලය  එම වස්තුන් දෙකේ ස්කන්ධයන් වල ගුණය ට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුන් දෙක අතර දුරෙහි වර්ගයට   ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේ පිලිබඳ සමීකරණය අවශ්‍ය අයට පහත විස්තර කර ඇත.

ඇයි  මේ නියමය  විශ්වය ගැන කතා කරන කොට වැදගත්? මෙහි ගුරුත්ව බලය වලංගු වන්නේ වස්තුන් නිශ්චලව තිබෙන අවස්ථාවක හෝ ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතාම සෙමින් ගමන් කරන්නේ නම් පමණි. මෙහි වැදගත්ම කාරණය නම් නිව්ටන් අවකාශය (space) (නිරපේක්ෂ) නියතයක් (absolute space) ලෙස සැලකීමයි.

මෙහිදී පළමු ස්කන්ධය ති විශාල නම්  (හිරු වැනි තාරකාවක්) දෙවැනි ස්කන්ධය නොසලකා හරින්නට වුවත් පුළුවන්. 
අපට ඇති විශාල ලෙස පෙනෙන ග්‍රහලෝක හා එහි චන්ද්‍රයන් අතර ඇත්තේ මෙම ගුරුත්වාකර්ෂණ බලයයි. හිරු වටේ යන ග්‍රහලෝක හිරුට බැඳ තබා ගන්නේද මේ ගුරුත්වාකර්ෂණ බලයයි. ගුරුත්ව බලය මෙහිදී ද්‍රව්‍ය මත බලපාන බව ඔබට පෙනෙනු ඇත . 



නමුත් පරමාණු පිළිබඳව සැලකීමේදී ගුරුත්ව බලය ගණන් ගැනීමට නොහැකි තරම් කුඩායි.
මෙහිදී බර (weight) සහ ස්කන්ධය(mass) අතර වෙනසත් කල්පනා කරන්න. බර යනු කොපමන තදින් ගුරුත්වයට වස්තුවක් අදින්නට හැකි වේද යන්න මැනීමයි.  ස්කන්ධය යනු වස්තුවක කොපමන ද්‍රව්‍ය (matter) තිබේද යන්නයි.
බර මැනීමේදී පෘතුවියේ ගුරුත්ව බලය (Gravity: 9.78 m/s²)  සාධකයක් බව ඔබ දන්නවා.
අයින්ස්ටයින් මෙහිදී කල්පනා කලේ ගුරුත්ව බලය නැති විටදී නිව්ටන් ගේ නියමයන්ට අදාල පරීක්ෂණ හා ගණනය කිරීම කරන්නේ කෙසේද කියායි. මෙහිදී අභ්‍යාසයක් වශයෙන් එලවේටරයක කැබින් එක තුල ඔබ සිටින්නේ නම් ඔබ උඩ පැන නිදහසේ වැටෙන විට (freefall) සිදු වන්නේ කුමක්ද කියා සිතන්න.  අයින්ස්ටයින් (equivalence principle) තුල්‍යතා නියමය වශයෙන් ගොනු කලේ මෙයයි. ඔබ සිටින එලවේටරය 9.78 m/s² තත්පර වර්ගයට මීටර 9.78 (acceleration) වේගයෙන් යන (අභ්‍යවකාශයේ) රොකට්ටුවක් තුල තිබෙන්නේ යයි සිතන්න. එවිට ඔබ යමක් අත හැරියොත් ඔබට පෙනෙන්නේ එම වස්තුව කැබින් එකේ බිමට වැටෙන බවද එසේ නැතිනම් රොකට්ටුව එම වස්තුව දෙසට එන බවද?
මෙලෙස කල්පනා කිරීමෙන් අයින්ස්ටයින් වටහා ගත්තේ ගුරුත්ව බලයන් ක්‍රියාකරන්නේ කිසියම් රාමුවක් (frame ) මත බවයි. මේ අනුව අයින්ස්ටයින් අවකාශ-කාලය (space-time) නමැති සංකල්පය ඉදිරිපත් කල අතර එය නියත යයි නිගමනය කළේය.
අයින්ස්ටයින් තමන්ගේ  සාපේක්ෂතාවාදය පිලිබඳ සාමාන්‍ය නියමය (General theory of relativity) ඉදිරිපත් කලේ නිව්ටන්ගේ පරණ ප්‍රතිපලම  "බර-weight " නොසලකා හැර ලබා ගනිමිනි.

මෙහි වැදගත්ම දෙය වන්නේ මෙම නියමය චලිතයේ (ගමනේ යෙදෙන) මෙන්ම චලිතයේ නොවන (නිසලව පවතින) වස්තුන් වලටද වලංගු වීමයි.

මේ කොටස අවසන් කරන්නට වන්නේ ජෝන් වීලර් ගේ කියමනකින්. "ද්‍රව්‍යය අවකාශයට කොහොමද වක්‍ර වෙන්නේ කියා කියා දෙන අතර , අවකාශය ද්‍රව්‍යයට කෙසේ චලනය වෙන්නයි කියා දෙයි.
"Matter tells space how to curve, and space tells matter how to move."  
මතක තබා ගත යුත්තේ නිව්ව්ටන් අවකාශය (space is absolute) නියත යයි ගෙන තම නියමයන් ඉදිරිපත්  කල අතර  අයින්ස්ටයින් අවකාශය වෙනස් වෙන බවත් ඒ නිසා අවකාශ-කාලය (Space -Time ) නියත(absolute) ලෙස ගෙන සාපේක්ෂතාවාදය පිලිබඳ නියමයන් ඉදිරිපත් කල බවයි.

ක්වන්ටම්  අංශුන් ගැන කතා කරද්දී අවකාශ-කාලය (Space -Time ) ද නියත නොවන අතර අවකාශය හා කාලය නියත ලෙස ගෙන ක්වන්ටම් අංශුවක පිහිටීම ගණනය කල නොහැක.

මීළඟ ලිපියෙන් අවකාශ - කාලය  (space-time)  පිළිබඳව තවදුරත් සාකච්චා කෙරෙන අතර ඉන්පසු හබල් ගේ නියමයත් සාකච්චා කෙරෙනු ඇත.



******************************************

අවශ්‍ය නම් කියවන්න :

නිව්ටන්ගේ සමීකරණය ; බලය F α (mx  m2) / (දුරෙහි වර්ගය)
මේ සමීකරණයට සමාන ලකුණ දැමීමට නම් නියතයක් යෙදිය යුතුය. එම නියතය ගුරුත්වාකර්ෂණ  නියතය G නමින් හැඳින්වේ. එවිට එය පහත පරිදි ලිවිය හැකියි.

F force between the masses, m1 = first mass, m2 second mass,
d =distance between the centers of the masses. G is the gravitational constant 

වැඩි දුර කියවන්න : http://www.einstein-online.info/spotlights/equivalence_principle

- අජිත් ධර්මකීර්ති 

******************************************
කලින් ලිපියෙන් පැහැදිලි කලේ නිව්ටන් තමන්ගේ නියමය අවකාශය නියතයක් ලෙස ගනිමින් ඉදිරිපත් කල බව. එතකොට අයින්ස්ටයින් ඉන් එහා යමින් අවකාශය හා කාලය එකට නියතයක් ලෙස ගත්තා. මෙය මෙසේ පැහැදිලි කල හැකියි.
දැන් මම ඔබ ඉදිරියේ දේශනයක් කරනවා යයි සිතන්න. මම එක තැනම සිටගෙන සිටියහොත් ඉහත ප්‍රස්ථාරයේ තනි කෙලින් ඉර මගින් මගේ ගමන පිළිඹිබු වේ. එනම් වෙනස් වන්නේ කාලය  පමණි. (කාලය ඉදිරියට යන්නේ රේඛියවය. තනි ඉරක් ලෙස).  අපි හිතමු මම දැන් ශාලාවේ එහා මෙහා ඇවිදිමින් මේ දේශනය කරනවා කියා. එහිදී සිග් -සැග් ක්‍රමයට ඇති ඉරෙන් මගේ චලිතය පෙන්නුම් කලේ. මෙහි තලය ද්විමාන නිසා (X - Y මාන   දෙකක් පමණක් මොනිටරයේ ඇත. සිරසට හා තිරසට  ) අපට X-Y-Z  ත්‍රිමාණ තලය පෙන්වන්නට නොහැකියි. මේ අවකාශය තුල මගේ ගමන (path)  නැත්නම් මාර්ගය (පථය) හඳුන්වන්නේ worldline කියලයි. අවකාශ- කාලය වෙනස් වෙනවා කියන්නේ මේ වගේ දෙයකටයි.

අයින්ස්ටයින් මහාචාර්ය නලින් ද සිල්වා අදුරුතුමාණන් තරම් ගණන් දැනගෙන හිටියේ නැති නිසා මේ ගැන අහන්න ගියේ හර්මන් මින්කොව්ස්කි නමැති ජර්මන් ගණිතඥයා ලඟට. මින්කොව්ස්කි  ගොතින්ගන් විශ්ව විද්‍යාලයේ ගණිත මහාචාර්යවරයායි.
අප දහය පන්තිය  තෙක් හෝ සමහරවිට පසුවත් ඉගෙන ගන්නේ යූක්ලීඩියානු ගණිතයයි. යුක්ලිඩියන් අවකාශයේ පැතලි තලයේ ද්වි-මාන ( Euclidean space ) අවකාශය හා ත්‍රිමාණ අවකාශය (උස, දිග හා පළල) ගණිතයේදී උපයෝගී කර ගනී.  එයට spacelike හෙවත් අවකාශයse  (මානයක්) ලක්ෂනය ඇති බව කියවේ. 
මින්කොව්ස්කි අවකාශයට   spacelike  'අවකාශයසේ  ' මානයට අමතරව timelike 'කාලයසේ' මානයද ඇතුලත් වේ. යූක්ලීඩියානු ගණිතය යුක්ලිඩියන් කාණ්ඩයට අයත් වන අතර මින්කොව්ස්කි ගේ අවකාශ-කාලය අයත් වන්නේ පොයින්කෙයර් කාණ්ඩයටයි. (Poincaré group ). මින්කොව්ස්කිගේ මෙම අවකාශ-කාලයේ සිද්ධීන් දෙකක් පරතරය (interval)  මේ අවස්ථා තුනින් එකකි.  එනම් spacelike (අවකාශයවගේ)  timelike (කාලයවගේ) හෝ ආලෝකයවගේ lightlike.

අයින්ස්ටයින් භාවිතා කලේ මෙම මින්කොව්ස්කිගේ අවකාශ-කාලය පිලිබඳ නියමයි.  
අයින්ස්ටයින්  භාවිතා කල යෙදුම  spacetime fabric යන අරුතයි.  මෙය අර සින්දුවක කියන සුරන්ගනිගේ රෙද්ද හෝ ඇයගේ මවගේ රෙද්ද වැන්නක් නොවේ. කසි සළුවක් හිතෙන්  මවා ගන්න. (වඩා හොඳ උදාහරණයක් නම් මදුරු දැල් නැත්නම් ධිවර දැලක් ) මදුරු දැලක් හෝ තුනී සළුවක් දෙදෙනෙකු ලවා අල්ලා ගෙන හොඳට තද වන ලෙස දිග හරින්න.  එයට ක්‍රිකට් ලෙදර් බෝලයක් හා ටෙනිස් බෝලයක් තැන්  දෙකකකින් තබන්න. වැඩි  බර වැඩි බෝලය යටට යනු ඇත. බර වැඩි බෝලය සඳහා තව විශාල බෝලයක් භාවිතා කරන්න. බර වැඩි බෝලයේ බලයට නතුවී අනිත් බෝල  එක හෝ දෙක එතනට එනු ඇත. මෙහිදී බෝලය මත ක්‍රියාත්මක වන්නේ ගුරුත්ව බලය සමග ඇති බරයි. (අභ්‍යවකාශයේදී තාරකාවක හෝ ග්‍රහලෝකයක ස්කන්ධය හා එයින් ඇතිවන ගුරුත්ව බලය ). මෙම දැල් හා බෝල පිලිබඳ උදාහරණය ඔබේ ත්‍රිමාණ අවකාශයේ වන්නකි.  ඔබ කාලය එයට අදාල කලවිට එය සිව්මාන අවකාශයේ සිදුවන බව පැහැදිලි වේ. 

පහත පින්තුරය බලන්න.

අයින්ස්ටයින් නිව්ටන්ගේ ගුරුත්ව බලය බර හා අවකාශය නමැති දෙක ඉවත් කර ඒ වෙනුවට මින්කොව්ස්කිගේ අවකාශ-කාලය අවකාශවගේ (spacelike ) හා (timelike ) කාලයවගේ මාන  ආදේශ කල විට බොහෝ බර වස්තුන් විසින් space හෙවත් අවකාශය වක්‍ර කරන බව සොයා ගත්තා. මෙය වක්‍ර වන්නේ කාලය සමගයි. කාලයෙන් පිටත නොවේ. (සිව්මාන මින්කොව්ස්කි අවකාශය) 
(ගුරුත්වාකර්ෂණ  බලය නැතැයි කියන අය තමන් උඩ පැන්න  විට පාවී යන්නේ නැතුව බිමට වැටෙන්නේ ඇයි  දැයි පැහැදිලි කරන්න. )

මේ අනුව ආලෝකය මේ විශ්වීය අවකාශ-කාලය මතින්  ගමන් කරද්දී වඩා ස්කන්ධයෙන් වැඩි  වස්තුන් (මන්දාකිණි , තාරකා, විශාල ග්‍රහලෝක  ආදී) ළඟදි  ආලෝකය නැවෙන බව (වක්‍ර වෙන බව ) අයින්ස්ටයින් පැවසුවා.  සාමාන්‍ය සපෙක්ෂතාවාදය පිලිබඳව ඔප්පු කිරීමට මෙම ආලෝකයේ නැවීම උපයෝගී කරගනු ලැබුවා. ඉන් එකක් නම් මර්කරි (Mercury) ග්‍රහයා ගේ ඔර්බිට් (හිරු වටේ ගමන් කිරීම) එකේ වෙනස්වීම. එය අවුරුදු 100 කට අංශක 0.159 පමණ වෙනවා, මර්කරි හිරුට ළඟම තැනදී. නිව්ටන්ගේ ගුරුත්වයට අනුව අනික් විශාල ග්‍රහයන් නිසා එසේ වන බව මුලින් සිතූ  නමුත් එය (ගුරුත්ව බලය නිසා වෙනස් වීම perturbation ) අංශක 0.147ක් බව නිවරදිව ගණනය කරනු ලැබුවා. එතකොට ඉතුරු අංශක 0.012? එය එන්නේ අති විශාල හිරුගේ ස්කන්ධයේ බලපෑම නිසා අවකාශය වක්‍ර වීමෙන්. 
පහත පින්තුරය බලන්න.  අපට හිරු පිටුපස ඇති තාරකාවක් පෙනෙන්නේ හරි කෙලින්ම තිබෙනවා වගේ. නමුත් අයින්ස්ටයින්ට (සාපෙක්ෂතාවාදයට අනුව ) අනුව එය ඇත්තේ හිරුට පිටුපසින් පැත්තට වෙන්න. ආලෝකය නැමීගෙන එන නිසා අපට  පෙනෙන්නේ කෙලින් තිබෙනවා වගේ. 

මෙය බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥ ආතර් එදින්ග්ටන් විසින් 1919 දී  නිවැරදියි කියා ඔප්පු කලා. අප්‍රිකාවේ ප්‍රින්සිප නමැති දුපතේදී මැයි මාසයේ තිබු පුර්ණ සුර්යග්‍රහණයක් වෙලාවේදී ඔහු තාරකා වල පිහිටීම් ලකුණු කර ගත්තා. ඉන්පසු මාස  හයකට විතර පසු රාත්‍රී කාලයේදී පියවි ඇසට පෙනෙන එම තාරකා වලම  පිහිටීම් ලකුණු කලා. මෙහිදී සාමාන්‍ය සාපේක්ෂතා වාදය ඇසුරින් තාරකාවන්ගේ පිහිටීම පිලිබඳ කල  ගණනයන් නිවැරදි බව තහවුරු වුනා. Gravitational lensing නමැති හෙවත් ගුරුත්වාකර්ෂණ කාච ක්‍රමයේදී භාවිතා කරන්නෙත් මෙවැනි  උපක්‍රමයක්. ඒ පිලිබඳ පහත පින්තුරයෙන් බලන්න.  ක්වෙසාර් නමැති දිලිසෙන විශ්ව වස්තුන්ගේ ආලෝක කිරණ මැද තිබෙන විශාල මන්දාකිනියේ බරින් වක්‍ර වී  නිරීක්ෂකයාගේ ඇසට ලඟා  වේ. 

ගුරුත්වාකර්ෂණ කාච ක්‍රමය පිලිබඳ ඔබ දන්නා ගණිතඥයෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතාත් විද්‍යා ලිපියක් පල කර තිබෙනවා. අවශ්‍ය නම් එය මෙතනින් බා  ගත හැකියි.  එතුමාගේ ලිපියේ ගණනය කිරීම කර ඇත්තේ අවකාශ-කාලය ස්ථතික (static ) හා යුක්ලිඩියනු ලෙස උපකල්පනය කරගෙනයි. (පින්තුරය බලන්න. ) 
http://www.nature.com/nature/journal/v228/n5277/abs/2281180a0.html

මේ කොටස උපුටා ගත්තේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා 1970 සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සිටියදී පලකල විද්‍යාත්මක ලිපියකිනි. 
මෙය මට යොමුකළ ඇනෝ මහතාට ස්තුතියි. 
********************************************************


මා  මිට කලින් ලිපියක රෝසේට්ටා යානය 67P චෙරුමොව් -ගෙරසිමෙන්කෝ ධුම කේතුවට අවුරුදු දහයකට පසු ලඟා  වෙන බව සහ මෙහි වැදගත්කම පැහැදිලි කලා. එම ලිපියට මෙතනින් යා  හැකියි. 
http://kolambagamaya.blogspot.co.uk/2014/08/blog-post_7.html

දැන් සිදුව ඇත්තේ යානය ගුහාවක් තුලට වැටීම නිසා එහි සුර්ය කෝෂ දින දෙකකට පසු ක්‍රියා විරහිත වීමයි. යානය ධුමකෙතුවේ පොලොවට බස්සන lander නැත්නම් ගොඩබිම් යානය නම් කර ඇත්තේ ෆිලයේ (Philae) ලෙසයි. Philae යනු ඊජිප්තුවේ,  නසර් නමැති වැවෙහි ඇති දූපතකි.  ගොඩබිම් යානයේ පින්තුරයක් පහත දැක්  වේ.


දැනට බලාපොරොත්තුව යානයේ බැටරි නිම වන්නට කලින් එවූ දත්ත වලින් සොයා ගැනීමට අදහස් කල ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණාද යන්නයි.

විශ්වයේ උපත, සෞරග්‍රහ මණ්ඩලයේ උපත මෙන්ම  ජීවයේ උපත පිළිබඳවද දැනට ඇති නිගමන හා මොඩලයන් (උදා: bigbang මොඩලය ) වඩාත් තහවුරු කිරීමටත් මේ දත්ත වැදගත්.  මෙම මිෂන් එක 2015 දෙසැම්බර් 15 වනදා දක්වා දිව යන්නක්. ගොඩබිම් යානයට අමතරව රොසෙට්ටා ඕර්බිටර් (කේතුව වටේ කැරකෙන මව්  යානය)  ද පරීක්ෂණ සිදු කරන්නට නියමිතයි.

මේ පිලිබඳව ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් ප්ලේන් පවසන්නේ මෙහෙම දෙයක්. "අපි දන්නවා ධුම කේතු වල ඇමිනෝ ඇසිඩ් හා පෙප්ටයිඩ්ස් වැනි කාබනික මොලේකියුල සැදෙන බව.  දැනට අපි දන්නේ නැත්තේ මෙය කේතුවේ න්‍යෂ්ටියේ හැදිලා වාෂ්ප වී යනවද නැතිනම් කේතු වල්ගයේ ඇති දුහුවිලි වල ෆොටෝරසායනික photochemical ක්‍රියාවලියකින් හැදෙනවාද කියා. එතකොට න්‍යෂ්ටියේ සැදුන  නම් මෙම දුර්වල මොලේකියුල පොලොවට පතිත වීමේ ඉඩකඩ වැඩියි. හැදුනේ කේතුවේකෙළවර දුවිලි වලින් නම් පොලොවට ඒමට ප්‍රථම ඒවා විනාශ වී (උල්කාපාත වගේ)  යනවා.  ගොඩබිම් යානයට ( Philae ) chiral amino acid - අසමමිතික (කයිරල්) ඇමිනෝ ඇසිඩ් සොයා ගන්න පුළුවන් නම් එක අතිශයින් වැදගත්.- අසමමිතික (කයිරල්) ඇමිනෝ ඇසිඩ් කියන්නේ එකම වගේ නිමවුමක් ඇති ඇමිනෝ ඇසිඩ් නමුත් එකිනෙකාගේ ප්‍රතිබිම්බයක් වගේ (mirror image). මෙහි වැදගත්කම නම් පෘතුවියේ ඇති ජිව වර්ගවල ඇත්තේ මින් එකම එක chiral   කාබනිකයක් පමණයි. "

දැන් ඔබ දන්නවා ඇති පෑන්ස්පර්මියා (Panspermia) යන උපකල්පනය ගැන. ඒ කියන්නේ විශ්වයේ හැම තැනම ජිවය ඇති බවට උපකල්පනය කිරීම. මෙහි ප්‍රභේද තුනක් තිබේ.
1.  ලිතනො පෑන්ස්පර්මියා (interstellar panspermia) - ග්‍රහලෝකවලින් විසිරුණු ගල් (rocks ) වලින් ජිවය ඇතිවීමට අවශ්‍ය මොලේකියුල පැතිරීම 
2. බැලිස්ටික් පෑන්ස්පර්මියා (interplanetary panspermia) ඉහත ආකාරයටම නමුත් ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට ජිවය පැතිරීම
3. මගපෙන්වන පෑන්ස්පර්මියා (Directed panspermia)  වෙනත් වඩා දියුණු ජීවින් විශේෂයක් මගින් ඕනෑ කමින් මෙය පැතිරවීම 

බකිංහැම් විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඉහත උපකල්පනය සඳහා දත්ත සොයන ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්.

ඉතින් මම ගොඩබිම් යානයේ දත්ත කොතරම් වැදගත්ද කියා හිතෙනවා නේද?

මේ ධුම කේතු ගැන සොයන යානයට අමතරව ඇස්ටරෝයිඩ හෙවත් උල්කාපාත ගැනත් සොයන්න යානා යවා තිබෙන අතර ඉදිරියටත් යවන්න සැලසුම් කරලා තිබෙන්නේ. 2007 දී යැවු ඩොව්න් (Dawn ) වෙස්ටා හා සිරෙස් නමැති protoplanet (මුලික ග්‍රහ ලෝක - කුඩා පර්වත දෙකක් වැනි) ගැන හොයන්න යවා  තිබෙනවා. එහි ආයු  කාලය 2015 දී අවසන්.

මේ ධුම කේතු වලට යානා යැවීම  හා  උල්කාපාත  (ඇස්ටරොයිඩ් ) වලට යානා බැස්සවීම හා පරීක්ෂණ ප්‍රධාන හේතු දෙකක් නිසා කෙරෙන්නක්.
එකක් නම් ඒවා වල ඇති මුලද්‍රව්‍ය (ලෝහ) පොලොවට ගෙන ඒමයි. දෙවැන්න ඒවා විනාශ කිරීමට ඇති හැකියාව සොයා බැලීමයි.

ලෝකය දෙසට ඇති විශාල උල්කාපාත  (ඇස්ටරොයිඩ් ) කඩා  වැටෙන්නට හැකි බවත් එයින් ලෝක විනාශය අපි හිතනවට වඩා  කළින් ඇති විය හැකි බවත් සුප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥ ස්ටීවන් හොව්කින්ස් පවසා තිබුණා. ඔහුගේ අදහස නම් මිනිස් වර්ගයාගෙන්  කොටසක් හෝ වෙන ග්‍රහ ලෝකයකට රැගෙන යා  යුතු බවයි.
මේ අදහස ක්‍රියාත්මක  කිරීමට හෝ ඇස්ටරොයිඩ් විනාශ කිරීමට හෝ ඒවා හාරා දුර්ලභ ලෝහ සෙවීමට පර්යේෂණ  යානාවන්  යැවීම අනිවාර්යයි
රිචර්ඩ් බ්‍රැන්සන් ගේ ගැලක්ටික් යානය කඩ වැටීම තවත් රෝසේට්ටවේ ගොඩබිම් යානය නැවතීම වගේම තවත් පසු බෑමක්.

නමුත් ඉන්දියාව, චීනය මේ අභ්‍යවකාශ තරඟයට එක්වී තිබෙන අතර, ඇමෙරිකන් ආණ්ඩුව සමග තිබෙන ප්‍රශ්න නිසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ නැවතුම් පොලට එක්වීම ඉදිරියේදී  අත හැර රුසියාව තමන්ගේම නැවතුම්  පොලක් සැදීමට සැලසුම් කරනවා. රුසියාවට මීර් නමින් අවුරුදු ගානක් අභ්‍යාවකාශයේ නැවතුම් පලක් තුබූ අතර ඔවුන්ට මේ ගැන තිබෙන අත්දැකීම් සන්කයව අනිත් රටවලට වඩා වැඩියි. ඊට අමතරව බර බදු ගෙනයන හොඳම රොකට්ටුව ඇත්තෙත් ඔවුන්ට. මේ නිසා ලෝකය නැවතත් 1960 ගණන් වල වගේ අභ්‍යාවකාශ  තරඟයකට පෙළ ගැස්වෙන බවක් පෙනී යනවා.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.
ඉදිරි අවුරුදු පනහ තුල ජිවත් වීමම ඉතාමත් උනන්දුව හා කුතුහලය වඩවන එකක් විය හැකියි.

මුලාශ්‍ර:
1. http://www.leeds.ac.uk/news/article/3624/esas_rosetta_mission__what_is_the_comet_lander_looking_for
2. http://www.panspermia-theory.com/
3. http://sci.esa.int/rosetta/54342-missions-to-asteroids/

*****************************************************************

මුලින් ගිය ලිපි පෙලේදී විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කලා. එම ලිපි වලට සබැඳියන් මේ ලිපියේ පහත පළවේ. මිට අමතරව "මන්දාකිනියෙන් ඔබ්බට " බ්ලොගයෙන්ද හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.  මුලදී විශ්වය කියා සිතා සිටියේ ක්ෂිරපථය (milky way) තුල ඇති තාරකා  ගොන්න පමණයි.  විශ්වය ප්‍රසාරණය වන බව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තුලින් තහවුරු වුවත් ඔප්පු කරන්නට සාධක මතුවුයේ එඩ්වින් පවෙල්  හබල් (1889-1953)  විසින් කල නිරීක්ෂණයන් නිසයි.  ඔහු ඔප්පු කලා අපේ මන්දාකිණිය ට ඔබ්බෙන් තවත් චක්‍රාවාට විශාල සංඛ්‍යාවක් ඇති බව.
 ඔහු මේ සඳහා උපයෝගී කරගත්තේ කැලිෆෝර්නියාවේ පිහිටා  ඇති මවුන්ට් විල්සන් (විල්සන් කඳු මුදුනේ) ටෙලෙස්කෝපයයි.  මෙය අඟල් 100 ක විශ්කම්භයකින් යුත් එවකට තිබු බලවත්ම ටෙලස්කෝපයක්.

මෙහිදී හබල් ට මුණ ගැසෙන හාලොව් ශේප්ලි තමා අපි සිටින මන්දාකිණිය වන  ක්ෂිරපථයේ දුර මැන්නේ. ශේප්ලි මේ සඳහා උපයෝගී කරගත්තේ ආලෝකය විහිදවිම නිතර වෙනස් වන (විචල්‍ය) සේෆියෙඩ්  වේරියබල්ස් (Cepheid variables) නමැති දීප්තිමත් තාරකා  සමුහය. මේ තාරකා සමුහයෙන් විහිදුවන ආලෝකය වෙනස්විම නියතයක් කර එයට සාපේක්ෂව දුර මැනීමේ ක්‍රමය සොයා ගත්තේ හෙන්රියෙටා  ලේවිට් විසින්. ශේප්ලි ක්ෂිර පථය ආලෝක වර්ෂ 300 000 පළල යයි ගණන් බැලුව. එය එදා දැනසිටි ප්‍රමාණයට වඩා  බොහොම වැඩියි. නමුත් ඔහුත් සිතා  සිටියේ විශ්වයේ විශාලත්වය එපමණයි කියා. ශේප්ලි ඇදහුවේද ඈතින් පෙනෙන නෙබුලා දුවිලි හා ගෑස් වලාකුළු බවට. (ෆ්‍රෙඩ්රික් එංගල්ස් ලියු සොබාදහමේ දයලෙක්තිකය (1883) පොතේ  ඔහු සඳහන් කරන්නෙත් මන්දාකිනිය අපේ දුපත් විශ්වය බවත් ඉන් එහා පෙනේනේ නෙබුලා හෙවත්  දුවිලි වලාකුළු බවත්ය.)

සිතල රාත්‍රීන් වල තරු  බලමින් සිටි හබලයා 1923 ඔක්තෝබර් 23 ද දුටු දෙයින් කැළඹුනා. සාමාන්‍යයෙන් ආයු කාලය අවසන් වන තාරකා විශාල ආලෝකයක් විහිදුවමින් පිපිරෙන බවත් ඒවා නෝවා යන නමින් හඳුන්වන බවත් ඔබ දන්නවා ඇති. අන්ද්‍රෝමීඩා තාරක මණ්ඩලයට අයත් යයි සිතු  (constellation of Andromeda) M -31 නමැති නෙබුලාව තුල මේ නෝවා තාරකාව ඉතා ආලෝකමත්ව බැබලෙනවා ඔහු නිරීක්ෂණය කලා. නමුත් එහි පින්තුර නැවත නිරීක්ෂණය කිරීමෙන් හා වෙනත් තාරකා  විද්‍යාඥයන් ගත පින්තුර නිරීක්ෂණය කිරීමෙන් එය තවත් සේෆියෙඩ්  වේරියබල් හෙවත් සේෆියෙඩ්  විචල්‍යයක් බව ඔහු හඳුනා ගන්නවා. එහි දුර ශේප්ලි කල විධිහටම ගණනය කිරීමෙන් M-31 කියන නෙබුලාව ආලෝක වර්ෂ මිලියන ගනනක ඈතින් එනම් ක්ෂිර පථයට බොහෝ ඈතින් පිහිට ඇති බවත් එය නිකම් දුවිලි වලාකුලක් නොව තාරකා මිලියන ගානක් ඇති තවත් මන්දාකිණියක්  (චක්‍රවාටයක් ) බවත් ඔහු සොයා ගන්නවා. අප දන්නා විශ්වය අති මහත් විශාල බව හරියටම  සොයාගත්තේ එදයි.

ඔහු තවදුරටත් තමන් සොයාගන්නා තාරකා  හා නෙබුලාත්,  ඒවායේ ප්‍රවේගයන්  ඒවා වලින් නිකුත්වන  ආලෝක වර්ණාවලි (Spectra) වලින් ගණනය කරමිනුත් වගු ගත කලා. සොයාගත් හැම චක්‍රාවාටයක්ම ඒවායේ සිට පොලොවට තිබෙන දුර ප්‍රමාණයට සමානුපාතික වේගයකින් අපෙන් ඉවත්ව යන බව 1929 දී ඔහු සොයා ගත්තා.

මෙයට Hubble's Law හෙවත් හබල් නියමය කියා කියනවා.

මුලිකවම මන්දාකිණිය වඩා ඈතින් පිහිටන විට එය අපෙන් ඈත් වෙන චලනයේ වේගය වැඩි  වන බවක් පේනවා.
 හබලයාගේ නියමය:
චක්‍රාවාටයේ පෙනෙන වේගය = හබල් නියතය  X (වැඩි කිරීම )  චක්‍රාවාටයට  ඇති දුර
මේක ඕනනම් අනිත්  පැත්තට ලියන්නත් පුලුවන්.
 චක්‍රාවාටයට  ඇති දුර=චක්‍රාවාටයේ පෙනෙන වේගය/ හබල් නියතය (H0)
එතකොට  හබල් නියතය කියන්නේ වේගය චක්‍රා වාටයට ඇති දුරෙන් බෙදුවාම ලැබෙන නියතය (H0).
 මෙය මෙගා පර්සෙක් එකකට (චක්‍රාවාටයට ඇති දුර ) තත්පරයකට කිලෝ මීටර 72 ක්  පමණ වෙනවා. මේ අගය තව තත්පරයට කිලෝමීටර 8 ක් අඩු හෝ වැඩි විය හැකියි.
චක්‍රාවාටවලට ඇති දුරවල් අති විශාල නිසා මනින්නේ පර්සෙක් (pc) වලින්. පර්සෙක් 1ක් කියන්නේ කිලෝමීටර බිලියන් තිස් එක් දාහක්  විතර.   (3.1 x 1031km) . එනම් ආලෝක වර්ෂ 3.3 පමණ වෙනවා. වෙන විධිහකට කියනවා නම් ආලෝක කදම්බයකට පර්සෙක් එකක දුරක් යන්නට අවුරුදු 3 පමණ ගත වෙනවා.

මේ දුර ගැන යම්  අවබෝධයක් ලබා ගන්නට පහත  සැසඳීම කරන්න පුළුවන්.  පොළොවේ සිට සුර්යයා ට ඇති දුර කිලෝමීටර 150000000 (මිලියන් 150ක් පමණ) වෙනවා. මෙය පර්සෙක් වලින් නම් 0.000 005 pc පමණයි. දැන් අපි මේ දුරවල් මන්දාකිණි  දක්වා පෙන්වන්නේ කොහොමද කියා බලමු.  පර්සෙක් එකක් තව දාහකින් වැඩි කලොත් කිලෝ පර්සෙක් එකක් වෙනවා. අපේ  ක්ෂිරපථය කිලෝ පර්සෙක් 40ක් පමණ වෙනවා. එයත් අන්ද්‍රෝමිඩා චක්‍රාවටයත් අතර දුර කිලෝ පර්සෙක් 660ක් පමණ වෙනවා. එතකොට අපේ අසල්වැසියා වන  අන්ද්‍රෝමිඩා චක්‍රාවටය හා අපේ ක්ෂිරපථය අයත් වන්නේ "ප්‍රාදේශීය චක්‍රාවාට කාණ්ඩයටයි -local group of galaxies"


එයත් අනිත්  ප්‍රාදේශීය චක්‍රාවාට කාණ්ඩය වන කොමා ක්ලස්ටර් එකත් (කොමා චක්‍රාවාට ගොනුව)  අතර පරතරය මෙගා  පර්සෙක් 100 ක් පමණ වෙනවා. මේ විශ්වයේ පොඩි කොටසක් පමණයි.

ඉතාමත් ලඟදි එනම් 2011 දී සෝල් පර්ල්මුටර්,  බ්‍රයන් ශ්මිද්ට්, ඇඩම් රයිස් (Saul Perlmutter of Lawrence Berkeley National Laboratory in California, Brian Schmidt of the Australian National University in Weston Creek,  Adam Riess of the Space Telescope Science Institute in Baltimore) තිදෙනාට නොබෙල් ත්‍යාගය සමසේ ලැබුණා. ඔවුන් වෙන වෙනම සුපර්නෝවා 1a නම් තාරකා වල පිපිරුම අධ්‍යනය කලා. මේ සුපර්නෝවා 1a වලින් විහිදෙන ආලෝකය අභ්‍යවකාශයේ අති විශාල දුර මැනීමට භාවිතා කරනවා. සුපර්නෝවා 1a කියන්නේ තාරකා යුගලයක (binary stars) කුදු සුදු තාරකාව (white dwarf star ) අනිකේ ස්කන්ධය තමන්ට ඇද ගනිමින් විශාල පිපිරීමක් ඇති කිරීමයි. මේ අධ්‍යනයෙන් ඔවුන් ඔප්පු කලා විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගයේ විශාල ත්වරණයක් ඇති බව. එනම් විශ්වයේ ප්‍රසාරණ වේගය අධිවේගී වී ඇති බව.
ඉතින් මෙහි සුබලයා ගේ පින කවුද ගත්තේ. හබල් ගේ නියමයෙන් හා සොයා ගැනීමෙන්  ලේමටර් , ෆ්රිද්මන් ඉදිරිපත් කල ගැමොව් ඔප මට්ටම් කල විශ්වයේ මහා පිපිරුම හා එහි ප්‍රසාරණය පිලිබඳ මොඩලය තහවුරු කරනු ලැබුවා පමණක් නොව අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපෙක්ෂ්තාවාදයෙන් ස්ථතික විශ්වය වෙනුවට විශ්වය ප්‍රසාරණය වන බවට කළ  අනාවැකියත් සාධක සහිතව තහවුරුවුණා.

අවශ්‍ය කෙනෙකුට කාර්ල් සේගන් ලියු අභ්‍යවකාශය පිලිබඳ පොත මේ යොමුවෙන් නොමිලයේ කියවිය හැකියි.
http://www.slideshare.net/berbecaruliana/carl-sagancosmos
මීළඟ ලිපි වලින් සාමාන්‍ය ටෙලස්කෝපයක් තෝරා  ගන්න හැටි සහ ආලෝක වර්ණවලින් දුර මැනීම  පිළිබඳව සඳහන් කරමි.
පෙර ලිපි:
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට  මග පෑදුවේද?

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් 

පින්තුර මුලාශ්‍රය: How the universe works by Andrew Norton
***************************************************************

ඔරායන් නෙබුලාව - විකිපෙඩියා වෙන් හබල් දුරේක්ෂයෙන් ගත්  එකක් 

6. විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම  

මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත්  ආලෝක වගු  ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු. 
පහත ඇත්තේ හයිඩ්‍රජන් ලාම්පුවක්  (පින්තුරය 1).  හයිඩ්‍රජන් වායුවේ වර්ණාවලිය එයටම ආවේනික වුවක්. එය ඊළඟ පින්තුරයේ දැක්වෙනවා. එක්තරා නිශ්චිත තරංග ආයාමයක්  එයට තිබෙනවා. මෙහි දෙවන පින්තුරයේ නැනෝ මීටර 656 රතු  ලකුණ (රතු ඉර) බලන්න.   මේ හයිඩ්‍රජන් වර්ණාවලිය අපට ලබාගන්න පුළුවන් පර්යේෂණාගාරයකදී එම තත්වයන් තුල. (in Laboratory conditions).

පින්තුරය 1

පින්තුරය 2
















මේ තුන්වන පින්තුරයෙන් පෙන්වන්නේ ඔරායන් නෙබුලාවයි. (nebula).  නෙබුලාවක් කියල කියන්නේ ඈත අභ්‍යවකාශයේ එක ගොණුවකට දිලිසෙන දුවිලි සහ වායු  වලාකුළු සමුහයක්. මේවායේ අලුත් තාරකා  පවා නිර්මාණය වෙනවා.. ඔරායන් නෙබුලාව කියල කියන්නේ අපේ චක්‍රාවාටයේ එවැනි තාරකා  සෑදෙන  අඩවියක්. ඉතින් මේ නෙබුලවල වැඩි හරියක් තියෙන්නේ හයිඩ්‍රජන්. ඔක්සිජන්නුත් යම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් බලමු මෙම ඔරායන් නෙබුලාවෙන් එන වර්ණාවලිය දිහා.
ඔරායන් නෙබුලාව 
හතරවන පින්තුරයේ පෙන්වන්නේ එයයි. හයිඩ්‍රජන් තිබෙන බව පෙන්වන නැනෝ මීටර 656 යේ රතු ඉරත් ඔක්සිජන් තිබෙන බව පෙන්වන කොළ පාට ඉරත් බලන්න.









පින්තුරය 4

දැන් අපි බලමු රක්ත විතැන් වීම (Red Shift රතු පාටේ වෙනස් වීම)  කියන්නේ මොකක්ද කියල. පහල පින්තුරය තවත් චක්‍රාවාටයක් වන UGC 12915. මෙය උප්සලා කියන අභ්‍යවකාශ වස්තු කැටලෝගයෙන් (නාමාවලිය) ගත්  එකක්. එහි උතුරු අර්ධගෝලයේ සිට පෙනෙන මෙවැනි මන්දාකිණි 12921 වගු ගත කර තිබෙනවා.  දැන් බලන්න එයින් ලැබෙන වර්ණාවලිය දිහා. (පින්තුරය 6) මෙය කලින් එක වගේම මන්දාකිණියක වර්ණාවලියක්. මෙම වර්ණාවලියේ  නැනෝ මීටර 656 යේ හයිඩ්‍රජන් ඉර එසේම තිබුනත් එය දකුණු පැත්තට ගිහින් (displaced) තිබෙන බව පේනවාද ? මෙයට කියන්නේ red shift කියල.
පින්තුරය 5 UGC 12915.


පින්තුරය 6
එතකොට මෙහි (මන්දාකිණියේ ) අපෙන් ඉවත්වී යන වේගයත් මැනලා  තිබෙනව. එය තත්පරයකට කිලෝමීටර 4350ක්. (Recession velocity: 4350 km/s). දැන් හබල්ගේ නියමය මෙතනට දැම්මහම අපට පුළුවන් දුර මැනගන්න.  (හබලයාගේ නියමය) .
අපි තව දුරටත් බලමු මේ ප්‍රසාරණය වන විශ්වය ගැන තියෙන සාක්ෂි. පින්තුර වලින් මේක පැහැදිලි කරන එක ලේසි නිසා ගොඩක් පින්තුර මේකේ දානවා. චක්‍රාවාටය ඈතට යන්න යන්න red shift එක එහෙම නැත්නම් වර්ණාවලියේ හයිඩ්‍රජන් ලකුණ රතු පැත්තට යනවා වැඩිය. UGC 12508 මන්දාකිනිය තත්පරයට කිලෝමීටර 9100 ක වේගයෙන්  අපෙන් ඉවතට යන එකක්. එහි වර්ණාවලියේ  red shift එක බල ඉහත එක එක්ක සසඳන්න. රතු ලකුණ තව දකුණට ගොස් ඇත.
පින්තුරය 7 UGC 12508 මන්දාකිණිය 



















පින්තුරය 8 තරංග ආයාමය තව දකුණට 

දැන් මෙහිදී තේරෙනවා ඇති මේ red ශිෆ්ට් එක වෙන්නේ  අවකාශය (space)  ප්‍රසාරණය වීම නිසා කියල. red shift එක වැඩි වෙන තරමට චක්‍රාවාටය ඉවත් වී යන වේගය (receding) වැඩියි. 
අවසන් වශයෙන් මේ පින්තුර දෙකත් බලන්න. පින්තුරය 9 යේ තිබෙන්නේ KUG 1217 කියන චක්‍රාවාටය.
මෙහි වේගය ඉතාම වැඩියි. තත්පරයට කිලෝමීටර 31400ක් (Recession velocity: 31,400 km/s).
මෙය තිබෙන්නේ ursa Major හෙවත් මහා වලහ කියන තාරකා මණ්ඩලයේ. KUG කියල කියන්නේ Kiso Ultraviolet Galaxies කියන එක.
පින්තුරය 9 kug 1217

පින්තුරය 10 red ශිෆ්ට් තවත් එහාට 
දහවන පින්තුරයේ හයිඩ්‍රජන් 656 ලයින් එක redshifted එහෙම නැත්නම් ඉතාමත් රතු පැත්තට ගිහින්. ඒ කියන්නේ infrared අධෝරක්ත කිරණ පෙන්වන හරියටම ගිහින්. එයින් පෙනෙන්නේ ඉතාමත් සීග්‍රයෙන් අපෙන් ඉවත් වී යන බව. 

අන්තිමට මම මේ පින්තුරය පල කරනවා. "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොගයේත් මේ පින්තුරය තිබුන. විශ්වය ප්‍රසාරණය  වීමේ සාක්ෂි අපට තිබෙන නිසා දැන් මෙය වඩාත් අදාලයි. විශ්වය බැලුමක් ප්‍රසාරණය වෙනවා වගේ ප්‍රසාරණය වෙන්නේ කියන අදහස තමා  එන්නේ.


කලින් ලියු ලිපිවල ලින්ක් පහත ඇත:
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට  මග පෑදුවේද?

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් 

හබලයාගේ නියමය 

මුලාශ්‍ර හා පින්තුර : නාසා වෙබ් අඩවියෙනි.

- අජිත් ධර්මකීර්ති 


තාරකා නිරීක්ෂණය (star  gazing)  කියන්නේ හොඳ විනෝදයක් සපයනවා  වගේම තමන්ගේ දැනුම දියුණු කරගන්නත් පුළුවන් වන විනෝදාංශයකි.  පටන්ගැන්මේදී පළපුරුදු අය ආධුනික තාරකා විද්‍යාඥයකුට  / නිරික්ෂකයකුට උපදෙස් දෙන්නේ මිල අධික දුරේක්ෂයක් වෙනත් විධිහකට පවසනවානම් ටෙලස්කෝපයක් ගන්නට  කලින් දෙනෙතියක්  (හෙවත් බයිනොක්යුලර් -Binocular) මිලදී ගන්නා  ලෙසයි. මෙයට හේතුව එසේ  දුරේක්ෂයක් එක්වරම මිලදී ගෙන එංගලන්තය වැනි  රටක නම් සීතලේ වෙව්ල වෙව්ලා  තරු සොයනවාට  වඩා තරු පිරි අහස ගැන හොඳ අවබෝධයක් මුලින් ලබාගෙන ටෙලස්කෝපයක් භාවිතා කරන එක සුදුසු නිසාය. උදාහරණයක් වශයෙන් ප්ලේයඩිස්  pleiades හෙවත් හත්දින්නත් තරු (සෙවන් සිස්ටර්ස් ලෙසත් හැඳින් වේ) ගොන්න ලෙහෙසියෙන්ම බයිනොක්යුලර් මගින් සොයා ගත හැකිය. අනික ඒ හතට අමතරව තියෙන අනිකුත් තාරකාත් නිරීක්ෂණය කල හැකිය.
හත් දින්නත් තරු 

මේ සඳහා හොඳ  බයිනොක්යුලර් කීපයක් නම් කල හැක. එංගලන්තයේ හෝ ජර්මනියේ ජිවත් වනවානම් ලිඩ්ල් නමැති සුපර්මාර්කට් මගින් විකුණන බ්‍රෙසර් එක හොඳ එකකි. එය ස්ටර්ලින් පවුම් 15-20 වන අතර හොඳම  ඒවා පවුම් 80-90 ට හෝ මිලදී ගත හැකිය. ඔබෙර්වර්ක් මයිනර් (8 x  40) නමැති ජර්මන් වර්ගයත් බොහෝ අය කැමති එකකි.  මේවායේ  සූම් (zoom) එක 8 හෝ දහය  සහ කාචය මිලිමීටර 50 හෝ 56 විය හැකියි. මෙවැනි (8 x  56), (10 x 50) (7 x 35), (7 x50) වර්ග කීපයක් තිබේ. 7, 8 10 ට යනු magnification (විශාල කිරීම) හෙවත් බයිනොක්යුලර් එකේ  power එක නමින් හැඳින්වේ. අනික් නොම්මරය  කාචයේ විශාලත්වයයි. දෙනෙති (බයිනොක්යුලර්) වලින් අහස බැලීමේදී එය තදින් සෙලෙවෙන්නේ නැතුව අල්ලා  ගැනීම
වැදගත්ය. අවශ්‍ය නම් ට්‍රිපොඩ් tripod එකකට බැඳ හෝ වෙනත් ලීයකට බැඳ පොළොවේ හිටුවා හෝ බිත්තියක, ගහකට හේත්තුවී හෝ බැලිය යුතුය. මෙමගින් තාරකා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කල  හැකි වන අතර මෙහි මූලික අභිප්‍රාය වන්නේ ඒ ඒ තාරක මණ්ඩල අහසේ නියමිත කාලයේ නියමිත වෙලාවට  කොතැනක තිබෙන්නේද වශයෙන් දළ අදහසක්  ලබා ගැනීමයි.  ටෙලස්කෝපයක් ගත යුත්තේ මෙසේ රාත්‍රී අහස ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමෙන්ය.
දෙනෙති (බයිනොක්යුලර්) ගැන වැඩි දුරටත් පහත ලින්ක් එකෙන් බලන්න.

http://www.space.com/26021-best-binoculars.html

මෘදුකාංග (Software):
මම වඩාත්ම ප්‍රියකරන මෘදුකාංගය ස්ටෙලාරියම් ය. එය open  source හෙවත් නිදහස පරිගණක පද්ධතියට අනුව  ලියන ලද ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගත හැකි එකකි. එය ලබා ගත හැක්කේ මෙතැනිනි.
http://www.stellarium.org/en_GB/

මේ මෘදුකාංගයේ වැදගත්කම නම් ඔබට තමන් සිටින ස්ථානය අක්ෂාංශ දේශාංශ අනුව සටහන් කල පසු තමන් සිටින තැන අහසේ සම්පුර්ණ තාරක පද්ධතියම පෙන්වීමයි. මේ ඉහත පින්තුරයේ පෙන්වන්නේ අද(16-01-2015) රාත්‍රියේ එංගලන්ත වේලාවෙන් 7.48 ට පමණ දකුණු දිග අහසයි. ඔබට ඉදිරි ඕනෑම දිනයක අහස ද දිනය වෙනස් කිරීමෙන් ලබා ගත හැක. ඕනෑම චක්‍රාවාටයක්, අපේ සෞර  ග්‍රහ මණ්ඩලය සහ සමහර ග්‍රහලෝකත් , නොමෑඩ් නමැති තාරකා  කැටලෝගයේ ඇති  විශාල ගණනක් තාරකාත් (99%) මෙහි ඇතුලත් කර ඇත.  මෙය පරිගණකයේ  දමා  ගත් පසු සෙට් අප්  කිරීමට මේ යොමුවට යන්න.
http://www.stellarium.org/wiki/index.php/Configuration
අනිත් වැදගත් කම නම් ස්ටේලාරියම්  අයිෆෝන් (iphone) හා ඇන්ඩ්‍රෝයිඩ් වලට පහසුවෙන් බාගත හැකි වීමයි. තවත් හොඳ මොබයිල් මෘදුකාංග නම් ස්කයි වීව් හා ස්ටාර්ස් (skyview, stars) ය. මේවාද  ඔබ සිටින  තැන අනුව තාරකා හඳුනා ගැනීමට සමත්ය.

මා  කැමති තවත් මෘදුකාංග දෙකක් නම් world wide telescope හා celestia යන දෙකයි. සෙලෙස්ටියා එකෙන් අස්ටෙරොයිඩ්ස් (උල්කාපාත) , ධූම කේතු හා චන්ද්‍රිකා ආදිය තිබෙන තැන පෙන් වයි.

මෘදුකාංග සඳහා හොඳම  යොමුව මෙයයි.
http://www.techsupportalert.com/best-free-astronomy-software.htm

අවසන් වශයෙන් තාරකා  විද්‍යාව හා තාරකා  නිරිකෂනය දැන් ඉතා ජනප්‍රිය වන අතර පුරවැසි  විද්‍යාඥයන් පිරිසක් දැන් බිහි වෙමින් තිබේ. වෙබ් ලෝකයේ පුරවැසි මාධ්‍යකරුවන් මෙන්ම මේ පුරවැසි  විද්‍යාඥයන්ද මහත් සේවයක් කරති. එනම් හොඳ ටෙලස්කෝපයක් ඇත්නම් පෘථිවියට එන හදිසි උල්කාපාතයක් හඳුනා ගැනීමට, මන්දාකිණි වර්ග කිරීමට, හිරුගේ හදිසි වෙනස් වීම මැනීමට , සුපර්නෝවා හඳුනා ගැනීමට ඔවුන්ගේ සේවය භාවිතා  වේ. ඔබට ඔබගේ නිවසේ පරිගණකය අසල සිටම මේ මෙහෙය කිරීමට වෙබ් අඩවියක් දැන් අවුරුදු තුනක හතරක සිට ක්‍රියාත්මක වේ. මෙයට කියන්නේ සුනිවර්ස් (Zooniverse) කියයි. මෙහි බලාපොරොත්තුව  පුරවැසි විද්‍යාව (citizen science) දියුණු කිරීමයි.  මෙහි යොමුව https://www.zooniverse.org/. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව ඔබට පුරවැසි  විද්‍යාඥයකු වශයෙන් මන්දාකිනි වර්ග කිරීමෙන් හා හිරුගේ රශ්මිය අධ්‍යයනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන්ට උදව් කල හැකිය.

ඊළඟ ලිපි වලින් අපි ටෙලස්කෝප හෙවත් දුරේක්ෂ තෝරා ගැනීම ගැන කතා කරමු.
මුලාශ්‍ර:http://ww4rf.net/m45-large.html

- අජිත් ධර්මකීර්ති
Fellow of Royal Astronomical Society  
**********************************************************************************************

8. තාරකා නිරීක්ෂණය - දුරේක්ෂයක් තෝරා ගැනීම 

දෙනෙතියක් මිලදී ගැනීමේදී එහි කාචයන් දෙකම හරියට එකම වස්තුවකට නාභිගත කිරීම  (focusing ) හරියට වෙනවාදැයි නිරීක්ෂණය කළ  යුතුයි. දුරේක්ෂයක් ගැනීමේ ක්‍රියාවලිය මිට වඩා ටිකක් සංකීර්ණයි. ඒ අප විසින් තාරකා නැරඹීමට ගන්නා කාචය සවි කල යුතු නිසා.

දුරේක්ෂ හෙවත් ටෙලස්කෝප ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. පරාවර්තක (reflectors) හා වර්තක (refractors) යනුවෙන්. වර්තක නැත්නම් refracting කෝප් එකක කාච විසින් වස්තුවේ ප්‍රතිබිම්බය සදනවා.  පරාවර්තක එහෙම නැත්නම් reflecting කෝප් එකක වක්‍රාකාර දර්පණයක්  කාචය වෙනුවට භාවිතා වෙනවා. එතකොට ආලෝකය එකතුවන මුල් කාචය හෝ දර්පණය  මුලික කාචය (primary lens) හෝ මුලිකදර්පණය  ලෙසත්  (primary mirror) ඇස  ළඟ තිබෙන කාචය eyepiece lens හෙවත් උපනෙත ලෙසත්  හැඳින්වෙනවා.

වර්තක (refracting telescopes) දුරේක්ෂ:
1608 දී පමණ ඕලන්ද ජාතික අක්ෂි විශේෂඥයෙකු වන හෑන්ස් ලිපර්ෂේ කාච දෙකක් තුලින් බැලීමේදී ඈතින්  තිබෙන වස්තුවක ප්‍රමාණය විශාලවී පෙනෙන බව සොයා ගත්තා. මෙම දැනුම යොදා ගනිමින් ගැලිලියෝ ගැලිලි සඳ බැලීම සඳහා වර්තක දුරේක්ෂයක් තැනුවා. එය ගැලිලියන් දුරේක්ෂය නමින් හඳුන්වනවා. ආලෝකය අභිසාරී වන (එකතු කරන) කාච (converging lens ) යොදා ගනිමින් 1630 දී ජොහැන්නස් කෙප්ලර් විසින් වඩා හොඳ දුරේක්ෂයක් තැනුවා. එයට කෙප්ලරියන් දුර දක්නයක් කියා කියනවා. පහත ඇත්තේ අඟල් 36ක විශ්කම්භයක් සහිත කාචයකින් යුත් ලික්  නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂයයි.
ලික්  නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය
මේ දුරේක්ෂ වල දුර්වලකම වන්නේ ආලෝකය එකතු කරන  කාචය විශාල කරන තරමට නිරීක්ෂණය කරන වස්තුව විශාල වන නිසා කාචය විශාල කල යුතු වුවත් එය  කිරීමේ සිමා ඇති විමයි. එසේම විශාල කිරීම වැඩි කිරීම සඳහා  නාභිගත දුර වැඩි කිරීමට සිදු වීමයි. නාභිගත දුර  (focal length) කියන්නේ  කාචයේ සිට ආලෝකය එක්වන නාභියට  (focal point) ඇති දුරටයි. මෙහිදී  ගෝලීය අපේරණය (spherical aberration) කියා දෙයකුත් සිදු වෙනවා. එනම් ආලෝක කිරණ එක නාභියකට යොමු වෙනවා වෙනුවට නාභින් දෙකකට යොමුවී වස්තුවේ ප්‍රතිබිම්බය විකෘති වීමයි. 
මේ සිදුවීම පහත රුපයෙන් දක්වා ඇත. 
ගෝලීය අපේරණය (spherical aberration) 
මේ දුරේක්ෂ්වල වල කුඩා කාච  ඇති ඒවා පවුම් සියයකට වඩා අඩුවෙන් මිලට ගත හැකි නිසා මේවා ලාභදායි බව කිව යුතුයි.

පරාවර්තක (reflecting telescope )

අයිසැක් නිව්ටන් තේරුම් ගත්තේ වක්‍ර දර්පණයක් භාවිතා කර ආලෝකය පරාවර්තනය කිරීමෙන් දුරේක්ෂයක් සැදුව හැකියි කියා. බොකු ගැසුණු (අවතල) ගෝලීය දර්පනයක් හා එය ඉදිරිපසින් ශ්මිද්ට් ප්ලේට් නම් තවත් ආලෝකය විනිවිද යා  හැකි විදුරු තලයක් තැබීමෙන් ඉහත සඳහන් කල ගෝලීය අපේරණය (spherical aberration) නැති වෙනවා. මෙයට කියන්නේ ශ්මිද්ට් ටෙලස්කෝප් කියා. මෙය පහත පින්තුරයේ දක්වා ඇත.
ශ්මිද්ට් ප්ලේට් සමග වක්‍ර දර්පණය 
නිව්ටන් මේ මුලධර්මය භාවිතා කරමින් නිපදවූ දුරේක්ෂය නිව්ටෝනියන් යනුවෙන් (newtonian telescope ) හැඳින්වෙනවා. පහත ඇති රුපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත. නිව්ටන් කලේ තවත් පුංචි පැතලි දර්පනයක් තබා එයින් තාරකාවේ ආලෝකය තවත් උපනෙතකට (eyepiece ) යොමු කිරීමයි.
නිව්ටෝනියන් පරාවර්තක දුරේක්ෂය 
පහත ඇති පින්තුරයෙන් දැක්වෙන්නේ මගේ මුල්ම හේලියස් නිව්ටෝනියන් දුරේක්ෂයි. මෙය අවුරුදු අටක් විතර පරණයි. මගේ බිරිඳ උපන්දිනයට ත්‍යාගයක් ලෙස අරන් දුන් නිසා මම මිල නොදන්නා මුත් ඒ දවස් වල පවුම් 300 පමණ වුන බවත් දැන් මේ දුරේක්ෂ ඊට වඩා මිල අඩුවෙන් පවුම් සියකට පමණ ගත හැකි බවත් සඳහන් කල යුතුයි. 
මෙහි පහල ඇති සිදුරට තමා  උපනෙත ඇතුලත් කරන්නේ. මෙහි දෙපැත්තේ ඇති අඬු වැනි දෙක  එය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයයි. ඊළඟ ලිපියේ දුරේක්ෂයක් සවි කරන ආකාරය  (mount) ලියන නිසා ඒ ගැන වැඩි දුර දැන් ලියන්නේ නැහැ.
පහත ඇති පින්තුරය මෙහි මෝටරයයි.
මේ දුරේක්ෂයේ විෂ්කම්භය මිලි මිටර 114ක්.(අඟල් 4.5) සහ නාභි දුර (focal length) එක මිලි මීටර 900ක්. මෙයින් අප නිවසේ පිටු පස සිට අසල නිවෙස් වල විදුලි 
ආලෝකය තිබෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා  සහ එහි චන්ද්‍රයන් හතරක් පමණ නැරඹිය හැකියි. එසේම මෙහි උපනෙත් ඉවත් කර එතනට කැමරාවක් සවි කර චායාරූප ගත හැකියි.  මේ දුරේක්ෂයේ දුර්වලතාවය නම් එහි විශාල බවයි. ඔසවාගෙන  වෙන තැනකට යන්නට උඩ කොටස ගැලවිය යුතුයි. වාහනයක දමා ගෙන අඳුරු පෙදෙසකට යාමට ගත වන වේලාව වැඩියි. එසේම තාරකා බැලීම සඳහා එල්ලය ගැනීමේදී (align) ඒ සඳහා බොහෝ වෙලාවක් වැය කල යුතුයි. මෙහි මෝටරය වැඩ කරන්නේ ඉතා සෙමින්. නමුත් තාරකා  බැලීමේදී ඒ වේගය ප්‍රමාණවත්.
මවිසින් මිලදී ගත් දෙවන දුරේක්ෂය සෙලස්ට්‍රෝන් නෙක්ස්ට් ස්ටාර් 127 යනුවෙන් හැඳින්වේ. මෙහි කාචයේ විෂ්කම්භය මිලිමීටර 127. (අඟල් 5) නාභි දුර (focal length) එක මිලි මීටර 1500ක්.
මෙය මක්සුතොව් කියලත් හඳුන්වනවා. මේ දුරේක්ෂයේ වැදගත්කම වන්නේ මෙහි විශාලනය (magnification) එක කලින් එකට වඩා  වැඩියි. විශාලනය කියන්නේ දුරේක්ෂයේ නාභිගත දුර (focal length) එක උපනෙතේ (eyepiece ) නාභිගත දුරින් බෙදුවාම ලබන අගයයි. අපට මිලිමීටර 25ක උපනෙතක් තිබෙනවානම් මෙම දුරේක්ෂයේ විශාලනය 60ක් (1500/25) වන අතර මුල්  එකේ 36ක් වනවා. (900/25). තවත් වැදගත් දෙයක් වන්නේ මෙය කුඩා සුරු බුහුටි පහසුවෙන් සවි කල හැකි එකක් වීමයි. මෙහි ඇති හෑන්ඩ් කොන්ට්‍රෝල් එකට ස්වයංක්‍රීය ලෙස දුරේක්ෂයේ එල්ලය ගත හැකියි. මෙහි ඇති කුඩා කොම්පියුටරයේ තාරකා මණ්ඩල, තාරක හා ග්‍රහලෝක 30000 ක තොරතුරු තිබෙන නිසා තාරකා  සෙවීමත්  පහසුයි. එසේම මෙය ලැප්ටොප් එකටත් සම්බන්ධ කල හැකියි. ලැප්ටොප් එකට සම්බන්ධ කලවිට ඒ සඳහාම තාරක හඳුනා ගැනීමට මෘදුකාංගයක් තිබෙනවා . උපනෙත සවි කරන තැනට කැමරාවක්ද ලෙහෙසියෙන්ම සවි කල හැකියි. වැරැද්දකට ඇත්තේ කාචයේ විෂ්කම්භය කලින් එකට වඩා විශාල  අඟල්  භාගයක් පමණයි. නමුත් විශාලනය වැඩි නිසා එය එතරම්  බල පාන්නේ නැහැ. මෙහි මෝටරයේ වේගය 1-9 දක්වා අනුපාතයට වැඩි කල හැකි අතර එල්ලය බලන ෆයින්දර්ස්කෝපය (star  point finderscope)  ලේසර් පොයින්ටර් එකක් නිසා තාරකාවට එල්ලය ගන්න පහසුයි. මෙයට බැටරි හයක් දැමිය හැකි අතර මේන් සප්ලයි ලයින් එකටද සම්බන්ධ කළ හැකියි. බැටරි චාජර් එකකටත් සම්බන්ධ කල හැකියි.
 පහත පින්තුරයේ ඇත්තේ මා  එය පාවිච්චි කල අවස්ථාවක්. 
මේ පින්තුරය මගේ මොබයිල් එකේ කැමරාවෙන්  ගත්  පින්තුරයක්. මෙහි ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා සහ එහි ගැලියන් චන්ද්‍රයන් (ගැලිලියෝ පළමුවෙන් සොයා ගත්  නිසා එසේ නම් කර ඇත) වන ඉයෝ, යුරෝපා , ගැනිමීඩ් හා කැලිස්ටෝයි.
ඊළඟ  ලිපියෙන් දුරේක්ෂයක් තාරකා බැලීමට සවි කිරීමේදී දැන ගතයුතු කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්.

- අජිත් ධර්මකීර්ති 
(Fellow of Royal Astronomical Society)



චන්ද්‍රසේඛර් ගේ සීමාව කියල කියන්නේ මම හුඟක් කැමති "සීමාවක්". ඒකෙ  තියෙන ගණිතය ටිකක් තේරුම් ගන්න අමාරු විය හැකි නිසා (භෞතික විද්‍යාව කරලා නැත්නම්) ගණිතමය  කොටස් අත හැරලා කතාව කියන්න බලමු. සුබ්‍රමානියම් චන්ද්‍රසේඛර්  ඉපදුනේ 1910 ඔක්තෝබර් 19 දා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ලාහෝර් නගරයේ. 

ඔහුට සහෝදරියන් තිදෙනෙක් සහ සහෝදරයන් හය දෙනෙක් සිටියා. ඔහුගේ සීයා ශ්‍රීමත්  (බ්‍රිතාන්‍ය  නයිට් ධූරයක් )  චන්ද්‍රසේඛර රාමන්. රාමන් ඉන්දියානු භෞතික විද්‍යාඥයෙක්. ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණා 1930 දී. ආලෝක තරංග විනිවිද පෙනෙන ද්‍රව්‍යයක් අතරින් ගමන් කරද්දී  (traverse) ඉන් වෙනතට (deflect -අපගමනය වන )  විහිදී යන ආලෝක තරංග වල තරංග ආයාමය  (wavelength) වෙනස් අගයක් ගන්නා  බව සොයා ගත්තේ ඔහුයි.  එයට කියන්නේ රාමන් ස්කැටරින් කියායි. ඔහුගේ පියා  එහෙම නැත්නම් අපේ චන්ද්‍රසේඛර් ගේ මුත්තා (සීයා ගේ පියා) භෞතික විද්‍යාව  හා ගණිතය ඉගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඉතින් අපේ චන්ද්‍රසේඛර් නුත් ඒ පැත්තටම හැරුන. 

ඔවුන් ද්‍රවිඩ පවුලක්. මව ඔහුට දෙමළ  භාෂාව ඉගැන්වූ අතර පියා ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූවා. ඒ කියන්නේ මුල් කාලයේ ඉගෙනුම කලේ නිවසේදී. පසුව පුද්ගලික ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගෙන 1921 දී  ට්‍රිප්ලිකන්  හින්දු උසස් විදුහලට ඇතුල් වුණා. එය අවසන් කල ඔහු  මදුරාසි විශ්ව විද්‍යාලයේ ප්‍රසිඩන්සි කොලේජ් නමැති උසස් අධ්‍යාපන පීඨයේ උසස් අධ්‍යාපනය නිම කලා . ඔහු හැදෑරුවේ ගණිතය, භෞතික විද්‍යාව , රසායන විද්‍යාව හා සංස්කෘත භාෂාව. ඔහු එහි විවාද කණ්ඩායමේ ද සාමාජිකයෙක් වූවා. එම විද්‍යාලයේදී ඔහු "කොම්ප්ටන් ස්කැටරින් හා නව ගණිතමය දත්ත" නමින් විද්‍යාත්මක පර්යේෂණ ලිපියක් පළ කලා. 

කොම්ප්ටන් ස්කැටරින් කියන්නේ ආරෝපිත අංශුවක්  මගින් අනම්‍ය ෆෝටෝනයක මග වෙනස් කිරීම නැත්නම් විසිරුවා හැරීම. සොයා ගත්තේ ආතර් හොලි කොම්ප්ටන් විසින්  (1927 නොබෙල් ත්‍යාගය). ඉතින් ඒ කාලයේම කල සොයා ගැනීමක් ගැන පර්යේෂණාත්මක ලිපියක් ලිවිමෙන්ම ඔහු පෙන්නුම් කලා භෞතික විද්‍යාව හා ගණිතය පිලිබඳ ඔහුගේ දැනුම.

ඔහු මැවිසුරුපති උපාධිය ගත්තේ 1930 දී. ඉන්පසු ඉන්දීය රජයේ ශිෂ්‍යත්වකින් එංගලන්තයට පැමිණි චන්ද්‍රසේඛර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ට්‍රිනිටි කොලේජ්හි ඉගෙනුම ලැබුවා. ශිෂ්‍යත්වය සඳහා නැවේ  පැමිණෙත්දී ඔහු තාරකා  පරිණාමය ගැන හදාරමින් සහ ඒ පිළිබඳව සිතමින් පැමිණියා.  ගැඹුරු මුහුදේ සිට තාරකා  නිරීක්ෂණය කරමින් පැමිණි ඔහු,  සමහර තාරකා  වල ඉරණම දරුණු බවත් ඇතැම් තාරකා ගුරුත්වාකර්ෂණය බිඳවැටීම (gravitational collapse ) නිසා පිපිරී මිය යන බව හා කළු කුහර වැනි දෙය බිහි වෙන බවත් තමන් යොදාගත් ගණිතමය ක්‍රම වලින් නිගමනය කළා. 

 සුදු වාමන තාරකාවක (white dwarf star) උපරිම ස්කන්ධය කෙතෙක්ද යන්න මුලින්ම පර්යේෂණ පත්‍රිකාවක සඳහන් කලේ විල්හෙල්ම් ඇන්ඩර්සන් හා ඊ  සී  ස්ටෝනර් විසින්  වුවත් එය මුලින්ම ඔවුන්ගෙන් ස්වාධීනව ගණිතමය වශයෙන් සොයා ගත්තේ සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර්.  එවකට සිටි තාරක විද්‍යාඥයන් එය පිළිගත්තේ නැහැ. එයට හේතුව එවැනි උපරිමයක් තිබීමට නම් කළු කුහර (black holes ) තිබීම අනිවාර්ය හෙයින්. එවැන්නක් තිබේ යයි එදා විශ්වාස කලේත් නැහැ . 

එදවස රාජකීය තාරකා  විද්‍යා සංගමයේ එවකට සභාපතිව විසු සර් ආතර් එඩින්ටන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව සත පහකට මායිම් නොකළා  පමණක් නොව සුබ්‍රමනියම් බොරු කාරයෙකු බවටද චෝදනා කළා. සුබ්‍රමනියම් එඩින්ටන් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නේ සුදු හමේ අහංකාරය නිසා බවට විශ්වාස කළා මෙන්ම  සුබ්‍රමනියම් ඉන්දියානුවෙකු වීමද එඩින්ටන්  ට ප්‍රශ්නයක් විනි යයි ඔහු විශ්වාස  කළා.  එඩින්ටන් 1935 දී සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව ප්‍රසිද්ධියේ පහත් කර දරුණු විවේචනයක් කළා . ඔවුන් අතර විරසකය  කෙතරම් දැඩි වීද යත් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ඇමෙරිකා  එක්සත් ජනපදය බලා  ගියේ මේ නිසා යයි පැවසෙනවා. එඩින්ටන් කළු කුහර පිලිබඳ විශ්වාස කලේ නැති අතර භෞතික විද්‍යාවේ  සොයා ගැනීමට ඇති සියල්ල සොයා ගෙන ඇති යයි ප්‍රසිද්ධියේ කියා සිටි අහංකාර පරවශ පුද්ගලයෙකු ලෙසද ඔහුගේ සමකාලීනයන් හඳුන්වාදී තිබෙනවා.

 කෙසේ වුවද අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය 1919 සුර්යග්‍රහණය පැවති  අවස්ථාවේදී ඔප්පු කිරීම පිලිබඳව එඩින්ටන් ඉතා ප්‍රසිද්ධ වුණා. එඩින්ටන් පසුව රාජකීය තාරකා  විද්‍යාඥයා වශයෙන් ද සේවය කළා. මේ නිසා එඩින්ටන් ට විරුද්ධව සුබ්‍රමනියම් ගේ පැත්ත  ගැනීමට කිසිවෙක් සිටියේ නැහැ. මේ හේතුව නිසාම සාපේක්ෂතා වාදය හා ක්වන්ටම් භෞතිකය  ගැන ඉගෙනීම තව වසර දහයක් වත් පස්සට ගියා  කියලත් කියන්න පුළුවන්.

ආතර්  මිලර් විසින් ලියු සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ගේ චරිතාපදානයේ "Empire of the Stars: Obsession, Friendship, and Betrayal in the Quest for Black Holes" මේ පිළිබඳව ඉතාමත් සිත් ගන්නා  ලෙසින් විස්තර කර තිබෙනවා. හැකිනම් කියවන්න.

අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා  වාදය හා ක්වන්ටම් භෞතිකය ඇසුරෙන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් පෙන්නුම් කළා මෙහෙම දෙයක්.  ඉලෙක්ට්‍රොන වියෝජනය (ඩිජෙනරේට්) වීමෙන් ඇතිවන වායුව නිසා නොනැසී පවතින  සුදු වාමන  තාරකාවක  ස්කන්ධය අපගේ හිරුගේ ස්කන්ධය වගේ 1.44 ක ප්‍රමාණයට වඩා වැඩි නම් එය ස්ථායී ව තිබෙන්නේ නැති බව. හැබැයි එහි තාප-න්‍යෂ්ටික ඉන්ධන සම්පුර්ණයෙන් නිම වී නැත්නම් මේ උපරිම ස්කන්ධය මීට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. සැබවින්ම පවතින  සුදු වාමන  තාරකා වල ස්කන්ධය ගණනය කිරීමේදී ඒවා චන්ද්‍රසේඛර් සීමාවට වඩා අඩු බව සොයා ගෙන තිබෙනවා. තමන්ගේ න්‍යෂ්ටික ඉන්ධන දැවී ගොස්  ජිවිත කාලය අවසන් වීමේදී තාරකා වල ස්කන්ධය චන්ද්‍රසේඛර් සීමාවට වඩා වැඩි නම් ඒවා නියුට්‍රෝන් තාරකා  හෝ කළු කුහර බවට පත් වෙන බවත් සාක්ෂි සහිතව සොයා ගෙන තිබෙනවා.  අපගේ ඉර සාමාන්‍ය  සුලභව පවතින තාරකාවක්. නමුත් මුළු මහත් විශ්වයේ අපේ ඉර වගේ 1.44 ක බරක් තිබ්බොත් සුදු වාමන  තාරකාවක් වෙනවා යයි සොයා ගැනීමම මටනම්  විශ්මය දනවන්නක්.

ජර්මනියේ ගොටින්ගන්හි  න්‍යායික භෞතික විද්‍යා සරසවියේ මැක්ස්  බොර්න්  සමග වැඩ කල චන්ද්‍රසේඛර් සති හතරක කාලයකට 1937 දී රුසියාවට පැමිණුනා.  ලෙව්  දවිදවිච් ලන්දෞ නමැති ප්‍රසිද්ධ ක්වන්ටම් භෞතික විද්‍යාඥයකු සමගද වැඩ කටයුතු කල ඔහු 1937 දී ලලිතා  දොරේසාමි සමග විවාහ වුනා.  මෝර්ටන් ඩි හල්  සම්භාවනීය අභ්‍යවකාශ හා භෞතික විද්‍යාව මහාචාර්ය වරයෙකු ලෙස චිකාගෝ සරසවියේ කටයුතු කල චන්ද්‍රසේඛර් අස්ට්‍රෝපිසිකල් ජර්නල් හි ප්‍රධාන කර්තෘ බවටද පත් වුණා .

ඔහු විශ්‍රාම ගියේ 1980 වසරේදී. දිගටම අධ්‍යනය කරමින් 1983 දී කළු කුහර පිලිබඳ ගණිතමය ප්‍රමේයයන් නමින් පර්යේෂණයක් පල කල ඔහු 1983 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඔහු 1995 අගෝස්තු 21 දා මිය ගියා.  එඩින්ටන් ගේ ඉරිසියාවට යට නොවුණු මේ මහා ප්‍රාඥයා ලැබුණු රිදුම් හමුවේ පරාජය භාර  ගත්තේ නැහැ.  අවසාන සිනහව අයත් වුයේ ඔහුටයි.

මූලාශ්‍ර :

තාරක පරිණාමය ගැන කියවන්න -මන්දකිනියෙන් ඔබ්බට බ්ලොගය   : http://beyond-the-galaxy.blogspot.co.uk/2015/02/StellarEvolution.html
මැවිසුරුපති - රසික සුරියආරච්චි ගෙන් උපුටා ගත් වචනයකි
Stellar Evolution and Nucleosynthesis Sean G Ryan and Andrew J Norton http://www.notablebiographies.com/knowledge/C__V__Raman.html




**********************

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .