Thursday 11 December 2014

විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

ඔරායන් නෙබුලාව - විකිපෙඩියා වෙන් හබල් දුරේක්ෂයෙන් ගත්  එකක් 

විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම  

මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත්  ආලෝක වගු  ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු.
පහත ඇත්තේ හයිඩ්‍රජන් ලාම්පුවක්  (පින්තුරය 1).  හයිඩ්‍රජන් වායුවේ වර්ණාවලිය එයටම ආවේනික වුවක්. එය ඊළඟ පින්තුරයේ දැක්වෙනවා. එක්තරා නිශ්චිත තරංග ආයාමයක්  එයට තිබෙනවා. මෙහි දෙවන පින්තුරයේ නැනෝ මීටර 656 රතු  ලකුණ (රතු ඉර) බලන්න.   මේ හයිඩ්‍රජන් වර්ණාවලිය අපට ලබාගන්න පුළුවන් පර්යේෂණාගාරයකදී එම තත්වයන් තුල. (in Laboratory conditions).

පින්තුරය 1

පින්තුරය 2
















මේ තුන්වන පින්තුරයෙන් පෙන්වන්නේ ඔරායන් නෙබුලාවයි. (nebula).  නෙබුලාවක් කියල කියන්නේ ඈත අභ්‍යවකාශයේ එක ගොණුවකට දිලිසෙන දුවිලි සහ වායු  වලාකුළු සමුහයක්. මේවායේ අලුත් තාරකා  පවා නිර්මාණය වෙනවා.. ඔරායන් නෙබුලාව කියල කියන්නේ අපේ චක්‍රාවාටයේ එවැනි තාරකා  සෑදෙන  අඩවියක්. ඉතින් මේ නෙබුලවල වැඩි හරියක් තියෙන්නේ හයිඩ්‍රජන්. ඔක්සිජන්නුත් යම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් බලමු මෙම ඔරායන් නෙබුලාවෙන් එන වර්ණාවලිය දිහා.
ඔරායන් නෙබුලාව 
හතරවන පින්තුරයේ පෙන්වන්නේ එයයි. හයිඩ්‍රජන් තිබෙන බව පෙන්වන නැනෝ මීටර 656 යේ රතු ඉරත් ඔක්සිජන් තිබෙන බව පෙන්වන කොළ පාට ඉරත් බලන්න.









පින්තුරය 4

දැන් අපි බලමු රක්ත විතැන් වීම (Red Shift රතු පාටේ වෙනස් වීම)  කියන්නේ මොකක්ද කියල. පහල පින්තුරය තවත් චක්‍රාවාටයක් වන UGC 12915. මෙය උප්සලා කියන අභ්‍යවකාශ වස්තු කැටලෝගයෙන් (නාමාවලිය) ගත්  එකක්. එහි උතුරු අර්ධගෝලයේ සිට පෙනෙන මෙවැනි මන්දාකිණි 12921 වගු ගත කර තිබෙනවා.  දැන් බලන්න එයින් ලැබෙන වර්ණාවලිය දිහා. (පින්තුරය 6) මෙය කලින් එක වගේම මන්දාකිණියක වර්ණාවලියක්. මෙම වර්ණාවලියේ  නැනෝ මීටර 656 යේ හයිඩ්‍රජන් ඉර එසේම තිබුනත් එය දකුණු පැත්තට ගිහින් (displaced) තිබෙන බව පේනවාද ? මෙයට කියන්නේ red shift කියල.
පින්තුරය 5 UGC 12915.


පින්තුරය 6
එතකොට මෙහි (මන්දාකිණියේ ) අපෙන් ඉවත්වී යන වේගයත් මැනලා  තිබෙනව. එය තත්පරයකට කිලෝමීටර 4350ක්. (Recession velocity: 4350 km/s). දැන් හබල්ගේ නියමය මෙතනට දැම්මහම අපට පුළුවන් දුර මැනගන්න.  (හබලයාගේ නියමය) .
අපි තව දුරටත් බලමු මේ ප්‍රසාරණය වන විශ්වය ගැන තියෙන සාක්ෂි. පින්තුර වලින් මේක පැහැදිලි කරන එක ලේසි නිසා ගොඩක් පින්තුර මේකේ දානවා. චක්‍රාවාටය ඈතට යන්න යන්න red shift එක එහෙම නැත්නම් වර්ණාවලියේ හයිඩ්‍රජන් ලකුණ රතු පැත්තට යනවා වැඩිය. UGC 12508 මන්දාකිනිය තත්පරයට කිලෝමීටර 9100 ක වේගයෙන්  අපෙන් ඉවතට යන එකක්. එහි වර්ණාවලියේ  red shift එක බල ඉහත එක එක්ක සසඳන්න. රතු ලකුණ තව දකුණට ගොස් ඇත.
පින්තුරය 7 UGC 12508 මන්දාකිණිය 



















පින්තුරය 8 තරංග ආයාමය තව දකුණට 

දැන් මෙහිදී තේරෙනවා ඇති මේ red ශිෆ්ට් එක වෙන්නේ  අවකාශය (space)  ප්‍රසාරණය වීම නිසා කියල. red shift එක වැඩි වෙන තරමට චක්‍රාවාටය ඉවත් වී යන වේගය (receding) වැඩියි. 
අවසන් වශයෙන් මේ පින්තුර දෙකත් බලන්න. පින්තුරය 9 යේ තිබෙන්නේ KUG 1217 කියන චක්‍රාවාටය.
මෙහි වේගය ඉතාම වැඩියි. තත්පරයට කිලෝමීටර 31400ක් (Recession velocity: 31,400 km/s).
මෙය තිබෙන්නේ ursa Major හෙවත් මහා වලහ කියන තාරකා මණ්ඩලයේ. KUG කියල කියන්නේ Kiso Ultraviolet Galaxies කියන එක.
පින්තුරය 9 kug 1217

පින්තුරය 10 red ශිෆ්ට් තවත් එහාට 
දහවන පින්තුරයේ හයිඩ්‍රජන් 656 ලයින් එක redshifted එහෙම නැත්නම් ඉතාමත් රතු පැත්තට ගිහින්. ඒ කියන්නේ infrared අධෝරක්ත කිරණ පෙන්වන හරියටම ගිහින්. එයින් පෙනෙන්නේ ඉතාමත් සීග්‍රයෙන් අපෙන් ඉවත් වී යන බව. 

අන්තිමට මම මේ පින්තුරය පල කරනවා. "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොගයේත් මේ පින්තුරය තිබුන. විශ්වය ප්‍රසාරණය  වීමේ සාක්ෂි අපට තිබෙන නිසා දැන් මෙය වඩාත් අදාලයි. විශ්වය බැලුමක් ප්‍රසාරණය වෙනවා වගේ ප්‍රසාරණය වෙන්නේ කියන අදහස තමා  එන්නේ.


කලින් ලියු ලිපිවල ලින්ක් පහත ඇත:
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට  මග පෑදුවේද?

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් 

හබලයාගේ නියමය

මුලාශ්‍ර හා පින්තුර : නාසා වෙබ් අඩවියෙනි.

- අජිත් ධර්මකීර්ති 

24 comments:

  1. අජිත් අයියා.. අපූරු පැහැදිලි කිරීමක්.. Astro Navigation වලට අහස දිහා බැලුවට පස්සේ ආයේ බලන්න හිතෙනවා.. මහ මෝඩ ප්‍රශ්ණයක් අහන්නද තරහා වෙන්නේ නැත්නම්? මෙච්චර දුරට මේ දේවල් ගැන හොයන එකේ ඇත්තම ප්‍රයෝජන මොනවාද?

    අර බැළුම දැක්කමනම් හෙට අනිද්ද පුපුරල යයි වත්දෝ හිතෙනව.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මෝඩ ප්‍රශ්න කියල එකක්‌ නැහැ කියලයි. අපි හැමදේම දන්නා සර්වඥයෝ නම් එහෙම කියන්න පුළුවන් ඇති.
      මන් හිතන්නේ දැන් ග්‍රාහක ගැන හොයන එක වැදගත්. ඒවා වලින් බේරෙන්න ඕන නිසා. විශ්වය ගැන ඉගෙන ගන්නේ අතීතයේ සිටම අපි මේ විශ්වය සහ ජිවය ඇතිවුන හැටි ඉගෙනගත් නිසා. මිනිසා මුලිකවම සතුන්ගෙන් වෙනස් වුනේ මේ කුතුහලය නිසාමනේ. බුදු හාමුදුරුවෝ පවා සත්‍ය ගවේෂණය කරන්න ගියානේ. ඔය පැතුම් මල්ලිගේ ලිපි පෙළ කියවන්න. සත්‍ය ගවේෂණය. ඇත්තම ප්‍රයෝජන ගොඩක් තිබෙනවා. ඔය අභ්‍යවකාශය ගැන හොයන නිසාම අපි හුඟක් technology අතින් advance වෙලානේ ඉන්නේ. හුඟක් අභ්‍යවකාශය ගවේෂණ වලට ගණන් උපකරණ එදිනෙද ජිවිතයට පවා හරි ගස්සල අරන් තිබෙනවා. මට නම් ඕනේ සත්‍ය සොයන්න. මම බුදු දහම හා මාක්ස්වාදය ගැඹුරට හදාරන්නෙත් ඒ නිසා.

      Delete
    2. මං දන්න අහල දැකල තියන චුට්ටට සාපෙක්ශව නොදන්න සහ ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය නිසා මට හිතෙන්නෙම මං මහ මෝඩයෙක් කියල.. හිහ් හිහ්.. මේ ජීවත් වෙන ටික කාලේ මැරෙනකම්ම ඉගෙන ගත්තත් කොච්චර පොඩ්ඩද පුළුවන් ඉගෙන ගන්න. ඒත් එක අතකින් ඔබ කියන එකත් හරි.. නොදන්නා බව දැනගෙන සිටීමම වැදගත් නෙ.

      අජිත් අයියා මට තියෙන තව ප්‍රශ්ණයක් තමයි ආලෝක වර්ශ දහස් ගනන් වල දුරින් තියෙන මේ ග්‍රහලෝකවල ඉන්න ජීවීන්ට පුළුවන් වෙයිද කවදාක හරි මේ දුර සීමා බිඳගෙන අන්තර් සම්භන්දතා (හොඳ හෝ නරක ) පවත්වාගෙන යන්න?

      පැතුම් ගෙ බ්ලොග් එක කියවන්න පටං ගන්න ඕනේ නිදහස්ව.. ස්තූතියි දැනුවත් කිරීමට.

      Delete
    3. අපි හැමෝම එහෙමනේ. නිව්ටන් කිව්වෙත් එහෙම කතාවක්. මේ දැනුම නමැති මහා සාගරයේ මම වැලි කැටයක් කියල.
      ඔබගේ දෙවෙනි ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කලින් එහම් ජීවින් ඉන්නා කියල ඔප්පු කර ගන්න ඕනේ නේ. මගේ පෞද්ගලික අදහසේ හැටියට ක්වන්ටම් අංශුන් හැසිරෙන ආකාරය බැලුවහම වෙන ඩයමෙන්ෂන් එකකින් තව එකකට මාරු වෙන්න පුලුවන්නම් දුර ප්‍රශ්නයක් වෙන්න බැහැ.

      Delete
  2. අභ්‍යාවකාශය ගැන ඉගෙනීම.. මගේ ප්‍රියතම විනෝදාංශයන්ගෙන් එකක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවාට.

      Delete
  3. වසර 16 පෙර උගත් උසස්පෙළ හයිඩ්‍රජන් වර්ණාවලිය පාඩම මතකයට ආවා ඔය රතු රේඛාව h alpha නේද? බාමර් වගේ මතකයි ශේණියේ නම.

    ReplyDelete
    Replies
    1. හොඳ මතකයක් නේ තියෙන්නේ. මම balmer ශ්‍රේණිය ගැන කියන්න ගියේ නැහැ. ලයිමන් පෂෙන් ශ්‍රේනිත් තියනවනේ.

      Delete
    2. වැඩිය සංකීර්ණ කරන්නේ නැතිව ඔහොම යන නිසා ගොඩක් අය අතරට යන්න පුළුවන්

      Delete
    3. ඔව් මම වැරැද්දක් කළා කලින් ලිපි වල සමීකරණ දාලා.

      Delete
  4. මට හැමදාම තියෙන ප්‍රශ්න තමා මේකෙ අන්තය කොහේද? එතනින් එහා මොකක්ද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අලුත් මතයක් තියනවා. දැන් අපට පෙනෙන අන්තයට එහා නොපෙනන කොටසේ තිබෙන්නේ මුලින්ම හැදුන තාරකා ආදියනේ. එතනින් එහාට විශ්වයේ පටන් ගත්ත තැන තම පෙනෙන්න ඕනේ. (එහෙම වෙන්නේ නැහැ) එතනින් එහාට තව සමාන්තර විශ්වයක් තියනවා කියල. (parallel universe) කියනවා වෙලාව හෙවත් time dimension එක සෘණ පැත්තට යන.

      Delete
  5. අද තමයි නිදහසේ බලන්න හම්බ වුනේ ... නෙබියුලා වල තියෙන කලර්ස් මාර ලස්සනයි නේ ..ඔය නෙබියුලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් විදියේ ටෙලෙස්කොප් තියෙනවද ? හබ්ල් වගේ ඒවයින් විතරද බලන්න පුළුවන් ?



    ReplyDelete
    Replies
    1. අවාසනාවකට වගේ සාමාන්‍ය ටෙලස්කොපයකින් බැහැ. මොකද සැහෙන වෙලාවක් expose කරගෙන ඉඳල තමා පින්තුරය ගන්න ඕනේ.

      Delete
  6. ඉස්සර ගොයම් මඩවනකොට රැට කමතේ පිදුරුගොඩේ නිදාගෙන අහස දිහා බලාගෙන ඉන්න එක මතක් උනා .මමත් කැමති විෂයක් .බොහොමත් ස්තුතියි දැනුම බදා නොගෙන බෙදාගත්තට ...
    .
    හිරුද මුවා වී ලැසි ගමන බලාවී
    හිරුද මුවා වී ලැසි ගමන බලාවී
    කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
    කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
    හිරුද මුවා වී ලැසි ගමන බලාවී
    හිරුද මුවා වී ලැසි ගමන බලාවී

    කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
    කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
    ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි

    හිරුද මුවා වී ලැසි ගමන බලාවී...

    කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
    කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
    බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ

    හිරුද මුවා වී ලැසි ගමන බලාවී...


    ගායනය - ප්‍රියා සූරියසේන
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    ගී පද - උපාලි ධනවලවිතාන

    ReplyDelete
  7. මම හරි කැමති සින්දුවක් සින්දු ඇනෝ.

    ReplyDelete
  8. ගුරුත්වාකර්ශනයක් නොමැති විශ්වයේ මෙම වස්තු පාවී යන සැටි අසනවිට මට හිතෙනවා යම් කිසි ඉලක්කයකට ඇදී යනවාද කියාත්.නැත්නම් මෙතටම් වේගයෙන් යන්නේ කෙසේද
    චක්‍රාවාට වල මෙම වේග වෙනස් වීමට හේතු මොනවාද
    කාලය ඍන පැත්තට යන සමානතර විශ්ව ගැනත් මා අසා තිබෙනවා.ඒවා සමඟ අපේ විශ්වය සම්බන්ධකමක් තියෙන්න්නට පුලුවන් නේද
    මෙසේ වස්තූන් එකිනෙකින් ඈත් වෙමින් ගොස් කවදා හෝ සංකෝචනය වීමටත් ඉඩ තිබෙනවා නේද

    ReplyDelete
    Replies
    1. මේකයි , ඊට කලින් ලිපියි ආපහු කියවන්න. මේ වස්තු පාවී යනවට වඩා වෙන්නේ අවකාශය ප්‍රසාරණය වීමක්. එහි සාපේක්ෂ වේගය තම මේ. මන් හිතන්නේ "මන්දකිනියෙන් ඔබ්බට "ව බ්ලොගයේ අශාන් නුත් මේ ගැන ලියල තිබුන කියල. හුඟක් ඈත ඒවා වැඩ වේගයෙන් ඈත් වෙන බවක් තමා පෙනෙන්නේ.
      සමාන්තර විශ්වයන් ගැන මතයක් පමණයි තියෙන්නේ.
      සංකෝචනය වෙනවා කියන එක තවත් එක hypothesis එකක. එයට ගණිතමය පදනමකුත් තිබෙනවා. නමුත් වඩා සාක්ෂි තිබෙන්නේ තවත් ප්‍රසාරණය වෙනවා කියා.

      Delete
  9. අර ස්ටෑන්ඩර්ඩ් කැන්ඩල් කතාව ඉදිරියේදී වැඩිදුරටත් පැහැදිලි කරනමෙන් ඉල්ලා සිටිනවා
    අර සාපේක්ෂතා වාදය ගැනත් වැඩිදුරට ලියන්න. මම හිතන්නේ එතනදී ද්විමාන විශ්වයක් ගැන සලකලා පැහැදිලි කිරීම් කිරීම වඩා සාර්ථක වෙයි.

    අපේ විශ්වයේ තියෙන තාපගතිකයේ දෙවන නියමය කියන ගුණය විශ්වයේ ප්‍රසාරනය නිසා ඇතිවෙන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. තාප ගතිකයේ දෙවන නියමය එන්ට්‍රොපි ගැන නේ ත්බෙන්නේ. විශ්වයේ ප්‍රසාරණය නිසා එම එන්ට්‍රොපිය ඇතිවෙනවා කියල කියන්න බැහැ නේද? මුළු විශ්වයම එක නෙට්වර්ක් එකක් හැටියට ගත්තම එන්ට්‍රොපිය එකම වගේ තමා මුලදී හිතුවේ. . නමුත් විශ්වය ස්ටටික් නැහැනේ. ඒ නිසා මේ එන්ට්‍රොපියෙන් disorder එකෙන් කෙළවර වෙනවය කියන එක නේ දෙවෙනි නියමයෙන් කියන්නේ. නමුත් පලවන එකෙන් කියන්න එනර්ජි එක අලුතෙන් හදන්නවත් විනාශ කරන්නවත්බැහැ . පරිවර්තනය වෙනවා කියල විතරයිනේ. එහෙම ගත්තහම මේ ඉර වගේ හැම දෙයක්ම පස්සේ විනාශ වෙනකොට energy එක heat වලට පෙරලේනව. ඉතින් අර ෆෝටෝන වගේ අංශු විතරක් තාප විකිරණය වගේ ඉතුරුවුනොත් , මේක වපු විශ්වයක් නම් equillibrium එකක් වෙනවා. නමුත් විශ්වය දිගටම ප්‍රසාරණය වෙන නිසා එහෙම වෙනවා කියන්න බැහැ. ම මේක හරියට ලිව්වද කියල හිතන්න අමාරුයි. මම තව කල්පනා කරලා පෝස්ට් එකක් දාන්නම්. මමත් දන්නේ ඉගෙන ගත්ත ටිකනේ.

      Delete
  10. අජිත් අැත්තට මේ දේවල් ගැන ලොකු අදහසක් නැහැ..... ඒ නිසා අලුත් යමක් ඉගෙන ගත්තා............ බොහොම ස්තූතියි...................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට කුරුටුට.

      Delete
  11. වටිනා ලිපියක්.. red shift එක විස්තර කරපු විදිහ විශිෂ්ටයි..

    ReplyDelete
    Replies
    1. ඒක තේරෙන විධිහට ලිව්වේ නැත්නම් වැඩක් නැහැ නේද. මට blue shift එක ගැන කියන්න අමතක වුනානේ. මන් හිතනවා කට්ටිය තේරුම් ගනීවි කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .