Friday 19 December 2014

අරිට්ටදාස කීවෙන්ඩුලා හා රතුපුටින්ස්ලා

 සාමාන්‍යයෙන් මම ඉතිහාස පොත් කියවන්න සෑහෙන්න කැමැතියිපුංචි  කාලේ ඉඳලම.
ඒ දවස් වල මතකද දන්නේ නැහැ විදියේ  බණ්ඩාර කියල චිත්‍ර කතා පොතක් තිබුන. (සඳ කුමරිය, පරංගි හටන වගේ ඒවත් එක්කම) මම හරි ආස  කතා වක්. හැබැයි විදියේ බණ්ඩාරට වඩා  මම කැමති වෙලා හිටියේ සිතාවක රාජසිංහ රජතුමාට.  ඒ දහම් පාසල් යන කාලේ, අනගාරික ධර්මපාල තුමාගේ පොත් කියවන කාලේ, පෘතුගීසින් ඇතුළු විජාතික බලවේග වලට එරෙහි කාලේ. දැන්නම් එරෙහිවන බලවේග මොනවද කියලවත් හිතා  ගන්න බැරි තරම් සංකීර්ණයි. දැන් විජාතික බලවේග කිව්වහම හිතට එන්නේ එතනෝල් විජාතික බලවේගය, හෙරොයින් විජාතික බලවේගය, චීන මහින්ද ණය විජාතික බලවේගය, ඉන්දියන් චන්ද්‍රිකා විජාතික බලවේගය, ඇමෙරිකන් රනිල් විජාතික බලවේගය, අතුරලියේ විජාතික බලවේගය, ඕස්ට්‍රේලියන් ගුණරත්නම් විජාතික බලවේගය, ටිල්වින් චීන බලවේගය වගේ. මේ යන රුපවාහිනී කතා වල හැටියට, හරි සමහර පත්තර වල කියන හැටියට අතුරලිය තියෙන්නේ ලංකාවේද කියලත් ෂුවර් නැහැ දැන්නම්.

ඉතින් අපි ඉතිහාසයට පොඩ්ඩක් හැරිලා බැලුවොත් ලංකාවේ රජවරුන් හරිම අමුතු ජාතියක් තමා. හත් වන විජයබාහු රජතුමා පුත් කුමාරයන් තුන්දෙනාව  මරන්න හැදුව. ඔවුන් බේරිලා පස්සේ පිය රජුට එරෙහිව කැරලි  ගැහුවා. හත්වන විජයබාහුව මැරුව  කියන්නේ විදේශිකයකු ලවා (විජයබා කොල්ලය) . කුමරුන් තිදෙනා රාජ්‍යය 3ට බෙදා ගත්ත. හත්වන බුවෙනකබාහු කෝට්ටේ රාජධානියත්, මායාදුන්නේ (1501-1581) සීතාවක රාජධානියත් , මහා රයිගම් බණ්ඩාර රයිගම් රාජධානියත් වශයෙන්. උදාහරණයක් වශයෙන් කෝට්ටේ රාජධානිය පාලනය කල බුවනෙකබාහු රජතුමා ගමුකො. එයාගේ ආරක්ෂාව භාර කරලා තිබ්බේ පෘතුගීසින්ට. මොකද ඒ රජා තමන්ගේ මල්ලි රජා වන මායදුන්නේට භයයි. මායාදුන්නේ තමා විජයබා කොල්ලයේ හෙවත් කැරැල්ලේ මහා මොළකරු . මායා දුන්නේට කොහොමටත් ඕනෑකම තිබ්බේ බුවනකෙබාහුවත් යටත් කරගෙන මුළු ලංකාවේම රජු වෙන්න. බුවෙනකබාහුව මැරුවේ මාලිගාවේ සඳලුතලේ ඉන්දෙද්දී පෘතුගිසි තුවක්කුකරුවකු විසින්. පස්සේ ඔහුගේ පුතා දොන් ජුවන් ධර්මපාල  පෘතුගිසි රැකවරණ යටතේ තමා  රාජ්‍යය කලේ දෙවියන් කෙරෙහි විශ්වාසය තබමින්.

එතකොට කන්ද උඩරට රජ කලේ ජයවීර රජු. යාපනයේ හා වන්නිය ස්වයං පාලන ඒකක දෙකක් තිබ්බ. යාපනයේ රජු කෝට්ටේ රාජධානියට බදු ගෙවූ අතර වන්නියේ රජු කන්ද උඩරටට ගෙව්වා. නැගෙනහිර දිස්ත්‍රික්කය පාලනය කලේ කන්ද උඩරටින්. දැන් ඇත්තටම මේ රජ ගොල්ල එකතු වෙලා රාජ සමුහාණ්ඩුවක් හදල අර ලිච්චවි රජුන් වගේ රට පාලනය කලා නම් මොකද? යාපනයටත් බදු ගෙවන්න කියල ස්වයං පාලනයක් තබාගෙන. කට්ටියටම එකතු වෙලා පෘතුගීසින්ට දුවන්න දෙන්න තිබුන. නමුත් උනේ වෙන දෙයක්. කෝට්ටේ රාජධානිය පෘතුගීසින් ගෙන් උදව් අරගත්ත සීතාවක රජුට විරුද්ධව. සීතාවක රජු හැම වෙලේම යුද්ධ කලා කන්ද උඩරටයි කෝට්ටෙයි එක්ක.

මායාදුන්නේ රජුගේ පුතා ටිකිරි බණ්ඩාර (වයස අවුරුදු 12 දී) , විදිය බණ්ඩාර මෙහෙයවූ කෝට්ටේ හමුදාවට පහරදී යටත් කලා අලුත්නුවරදී . (අලකේශ්වර යුද්ධය) මායාදුන්නේ මියගියාට පසුව ටිකිරි බණ්ඩාර පලමුවන රාජසිංහ  නමින් රජවුණා. ඔහු තම පියරජු මැරුවා කියා කියන නමුත් එයට සාක්ෂි නැහැ. ලංකාව එක්සේසත් කරන්නටත් පෘතුගීසින්ට විරුද්ධවත් සටන් කළ  සීතාවක රාජසිංහ රජතුමා වඩා  ප්‍රසිද්ධ මුල්ලේරියවේ කළ සටන සහ කොළඹ කොටුව වැටලීම පිලිබඳ. "කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා වුනා  " කියල සින්දු කෑල්ලකුත් තියෙන්නේ. පසුව පෘතුගීසින් යවපු කොන්නප්පු බණ්ඩාර උඩරට කලබල ඇති කරපු නිසා සීතාවකට පසු බැස්ස රාජසිංහ වික්‍රමසිංහ මුදලිට දෝෂාරෝපණය කරලා තිබෙනවා. කොහොමහරි අසනීප ව සිටි මෙම හොඳ  සෙනෙවියා කවුරුන් හරි වසදීම නිසා මැරුන.
මෙන්න මේ වෙලාවේ තමා  සොලී රටේ ඉඳන්  අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් කියන සන්නසියා තව හතර දෙනෙකු සමග ලංකාවට ගොඩ බැස්සේ. මේ යුද සටනේ දක්ෂයෙක් කියන සොලී ජාතික සන්‍නාසියාට මාන්නප්පෙරුම මොහොට්ටි කියන තනතුර ලබා දෙන රාජසිංහ රජතුමා තමන්ගේ අන්තඃපුර යුවතියකුත්  (රාජහෙට්ටිගේ දෝනියන්දෑ ) බාර  දෙනවා. මේ අරිට්ට කීවෙන්ඩු තම රජතුමාගේ සිත දින ගන්නවා ඊට පස්සේ. මේ කාලේදී තම රජතුමා බුද්ධාගම අත්හැරලා හින්දු දෙවිවරු අදහන්න පටන් ගන්නේ. මෙහෙම කරන්නේ අරිට්ට කීවෙන්ඩු  නිසා කියලයි කියන්නේ. බාර  හාර, බලි යාග  එහෙමත් කලාලු.
රාජසිංහ රජු කන්ද උඩරට රාජධානිය අල්ලන්න ගියත් කොනප්පු බණ්ඩාරට පැරදෙනවා. ඉන්පසු පෙතන්ගොඩට පසු බැස  විවේක ගන්නකොට කටුවක් ඇණිල ඔත්පලව මිය යනවා. අර කවියකුත් තියෙන්නේ.
"රුදුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ  කටුව පතුලේ ඇනුණාය
ඉන්න සිටි සැවොම මතුලාය
රාජසිංහ දෙවි නා මෙත් මැකුණාය "

පස්සේ ආපු අරිට්ට කීවෙන්ඩු  ලොකු වුන එකත් ඔහුගේ කීම පිට බහුතරයේ ආගම අත හැරීමත් නිසා රාජසිංහ රජු තමන්ගේම නිලධාරීන් හා නෑදෑයින් අතරේ වෛරයට ලක්වූ නිසාත්  තමා  "ඉන්න සිටි සැවොම මතුලාය " කියා කියන්නේ මේ කවියේ.රජු මැරුනේ 1514 කියන සක වර්ෂයේ කියල රාජාවලියේ සඳහන් වෙන්නේ.
අරිට්ට කීවෙන්ඩු කියන්නෙත්  මාර චරිතයක්. රාජසිංහ මැරුනහම දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි හමුදාවක් යවනවා සීතාවකට. අරිට්ට කීවෙන්ඩු හෙවත් මාන්නප්පෙරුම මොහොට්ටි මීගමුවේදී මේ පෘතුගීසි සේනාව පරදවනව. සීතාවක මිනිස්සු සන්නාසිය කියා ගරහන නිසාය කියා පසුව දොන් ජුවන් ධර්මපාලට එකතු වෙනවා මේ මාන්නපෙරුම මොහොට්ටියා  හෙවත් අරිට්ට කීවෙන්ඩු  පෙරුමාල්. නමුත් ඇත්ත හේතුව නම් වඩා බලය ඇති තැනට පනිනවා පෙරුමාලයා. පසුව ජයවීර බණ්ඩාර නමින් ඔහු ධර්මපාලට සේවය කරනවා. ජයවීර බණ්ඩාර පෘතුගීසීන්ගේ උදව්වෙන් ගුරුබෑවිල සටනේදී සීතාවක හමුදා පරාජය  කරලා සිතාවක අල්ල ගන්නවා ධර්මපාල වෙනුවෙන්. රාජ්‍යය දෙන්න කුමාරයෙක් නැතුව මැරෙන ධර්මපාල නිසා පහතරට රාජ්‍යය පෘතුගාල රජුට අයිති වෙනවා.
මේ අතරේ දෙවනගල තෙරුන්නනස්සේ ප්‍රමුඛ වෙලා  කොන්නප්පු බණ්ඩාර පළවන  විමලධර්මසූරිය නමින් රජකමට පත්කරනවා. ඔහුට පසු  උඩරට රජවුනු  දෙවන රාජසිංහ පස්සේ ඉඟුරු දීලා  මිරිස් ගන්නවා.

රස්පුටින් රුසියානු සාර්  රජ පවුලට හේත්තු වෙලා එක එක මන්ත්‍ර ගුරුකම් වලින් රැජින අල්ලාගෙන , පවුලේ කුමාරිකාවන් හා අනිත් සේවිකාවන් වසඟයට ගෙන කාමභෝගී ජිවිතයක් ගත කරනවා. මිනිස්සු දුක් විඳිද්දී උන්ට පෙනුනේ සාර්  පවුල පාලනය කරන්නේ මන්ත්‍රකාරයෙක් කියලා. අර පළමුවන ආලවන්ත දාස ගෙයි බාබු මහත්තැන් ගෙයි පයුරු පාසානය වත් අඩුම ගානේ  ඒ කාලේ  පාරේ යන්න එපා කියලවත් සේනා  පියා  රතුපුටින්ස් කිව්වද? ඉතින් අමනදාස කීවෙන්ඩුලා රතුවපූටින්ස් ලා හැමකාලේම පහලවෙනවා මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා තිරුපති දේශවලට යවල තමන්ගේ මඩිය තර කරගන්න. දන්න බුද්ධාගම අදහගෙන ඉන්නේ නැතුව අපේ මිනිස්සු දෙය්යෝ අදහන්න ගියාම කෙළවෙන්නේ කාටද කියල දන්නේ වැඩේ වුනාට පස්සේ.

මුලාශ්‍ර: රාජාවලිය - ගුණසේකර බ .
විකිපෙඩියා http://en.wikipedia.org/wiki/Rajasinha_I_of_Sitawaka

- අජිත් ධර්මකීර්ති 

40 comments:

  1. ලංකාවෙ රාජාවලිය ගත්තහම කිහිප තැනකින්ම කැඩිල තියනව.විජාතික බලවේග තදින්ම ආවෙ ගම්පොල යුගයෙ.රජු දුර්වල වීමයි හේතුව.උතුරෙ දෙමළ බලය කුරුණෑගල වෙනකම්ම පැතිරුනා.මාතර වෙනකම්ම බදු අයකලේ යාපනයේ ආර්ය චක්‍රවර්ති.
    දුර දක්නා නුවනින් කටයුතු කළේ අලගක්කෝනාර.ඔහු පැහැදිලිවම විදේශිකයෙක්.දකුණු ඉන්දියානු වෙළද කුලයක කෙනෙක්.ඔහු කෝට්ටේ ගොඩ නැගුවා.මේ කාලයේ රටේ ප්‍රධාන භාෂාව දෙමළ.නූගත් ගැමියන්ගෙ භාශාව සිංහල.
    විජාතික බලවේග මේ කාලයේ තරම්ම බලවත්ව තිබූ කිසිම යුගයක් නැහැ.සෑම යුගයකදීම විදේශ හමුදා සිටි බව ඇත්තයි.දෙමළ,රාජ්පුත්,චාලුක්ය,ආන්ඩ්‍ර ,කේරළ ආදී හමුදා සිටියා.ඒත් සමස්ත රාජ්ය පාලනයම විදේශිකයන් විසින් මෙහෙයවූවේ ගම්පොල,කෝට්ටේ කාලයේයි.චීනුන් පවා ආක්‍රමනයක් කළා.

    කෝට්ටේ රජු කොළඹ සිදුවන දේ දැන සිටියේ නෑ කීමෙන්ම තත්වය පේනවානෙ.රජු රූකඩයක් පමනයි.කෝට්ටේ පුරයේ නෛක ශ්‍රීන් විරාජමානව තේජෝබල වීර විපුල රජු සිටින විට කොළඹ පාලනය කලේ ජලස්ති නම් මුස්ලිමයෙක් ඇබිනීසියානු භටයන් 3000 ක් ක සහයෙන්.මොරොක්කෝ ආක්‍රමනයක්ද මේ කාලයේ සිදුවුනා මුක්කරු කියන්නෙ ඒ අයට.මේ සියලු ආගමනයන් අවසන් වුනේ පෘතුගීසීන් ආ පසුයි.

    කෝට්ටේ යුගයේ ද්‍රවිඩකරනය පුදුම එළවන සුළුයි.එවකට දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යයේ බලපෑමත් හේතුවෙන්න ඇති.ඉන්දියාවේ උතුරින් මුස්ලිම් ආක්‍රමන එන විට විවිධ ජනකොටස් දකුණට පල්ලම් බැස්සා.මේ වනවිට මුළු ඉන්දියාවම මුස්ලිම්.ඇත්තටම පෘතුගීසීන් ආවේ නැත්නම් ලංකාවත් මුස්ලිම් රටක් වෙන්න හොඳටම ඉඩ තිබුනා.

    කෝට්ටේ රාජ්ය බෙදී ගියේ විජාතික බලවේග නිසයි.නමුත් නැගෙනහිර,වන්නිය ,ඌව ආදී ප්‍රදේශ ඇතුළු උඩරට රාජ්ය සතුව අතිවිශාල භූමියක් තිබෙන්නට ඇති.කොනප්පු බන්ඩාර උඩරට රජවන තුරු මේ මහා භූමියේ සිදුවූ දේ ගැන ඉතිහාසයේ එහෙමට කතාවක් නෑ.සියලු විජාතික බලවේග ආවේ බටහිර වෙරළෙන්.( අනුරාධපුර කාලයේ ත්‍රිකුණාමලය හා මන්නාරම වරායන් ප්‍රධාන වුනා සේ ) .උඩරට මේ කියන කාලෙ වල්බිහිවෙලා තියෙන්න ඇති.

    අනුරාධපුර යුගයෙන් පසු විජාතික බලවේගවලින් මිදුන දීර්ඝ කාලයන් තිබී නැහැ.ක්‍රි:ව 1017 න් පසු ලංකාවට බලපැම නොකළ විජාතික බලවේගයක් නැති තරම්.ගම්පොල යුග්යෙ,කෝට්ටේ යුඅගයෙ විජාතික බලවේගවල රඟ මඩලක් වෙලා තිබුනෙ.

    ඉතිහාසය මගෙත් ප්‍රියතම විශය .එහෙත් රජවරු හෝ රදලයන් මගෙ වීරයන් නොවෙයි.මම ඔවුන්ට කියන්නෙ ප්‍රජා පීඩකයන් කියලයි.

    ReplyDelete
    Replies
    1. විජාතික බලවේග කියල කියන්නේ මොකක්ද කියල මම ඇත්තටම කල්පනා කලේ. රුසියාවේ මහා පීටර් රජතුමා විදේශ වලට ගිහිල්ල දැනුම අරන් ආවා රට ගොඩ නගන්න. විදේශ වල දැනුම රැගෙන රටක් ගොඩ නැගීම කල යුතුයි. නමුත් විදේශ යුධ ආධාර ගත්තම වෙන්නේ වෙන දෙයක්.

      Delete
  2. විජයබා කොල්ලය, සුනේත්‍රා හෙවත් අවිචාර සමය සහ වීදිය බණ්ඩාර යන පොත් තුනම කියවලා තියෙනවා. ප්‍රබන්ධ වුණත් ඒ ඒ සමයයන් අපූරුවට ඒවයෙ විග්‍රහකරලා තියෙනවා. ඔය පෙතන්ගොඩ කටු උණපඳුර (ඇනිච්ච එකමද මන්දා) අදටත් දකින්න පුලුවන් රුවන්වැල්ල කිට්ටුව.
    හොඳ සාරාංශයක්. අන්තිමටයි තේරුණේ පොල්පැලේ කාලා කියලා :ඩී

    ReplyDelete
  3. පොල්පැලේ කාල කියල තෙරුනනම් ලොකු දෙයක්. හි හි . කටු පඳුර තවම තියෙනවනම් යන්න ඕනේ බලන්න. ඒක දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  4. මචෝ මේ වගේ පෝස්ට් වලට මම පට්ට ලයික්. උඹේ පෝස්ට් එකටත් වඩා වටිනවා, මධ්‍යස්ථ මතධාරියගේ කොමෙන්ට් එක.. ඒ සමහර කතා මම අහලා තිබ්බෙවත් නෑ. මේ ඉතිහාස කතා දේශපාලුවෝ දන්නෙම නෑ. හුඟක් උන් නොදන්න කාරනේ තමයි. පොළොන්නරු යුගයෙන් පස්සෙ බලවත් උනේ දෙමළ රජවරුන් කියන එක. ඒ දන්න උන් තමයි යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බේ. කොටින්ම සුද්දා එනකන් දෙමළා බලවත්. ඒක නෙමෙයි වටිනම කාරනේ.. අන්තීමට මතු කරලා තියෙන දේ.. රජා මේ තරම් ගොනෙක් නම්, ජනතාව ගැන තව කුමන කතාද.. උබ දැක්කද දන්නේ නෑ, රිලාසිරි කියලා තියෙන කතාව.. නාගරික උගත් බුද්ධිමත් ජනයාගේ මනාපේ නැති උනාට, ග්‍රාමීය මෝඩ ජනතාවගේ මනාපේ ලොක්කට කියලා කියපු කතාව. ඌ කියපු කතාව හරියට හරි.. අපි බලමු ඇත්තටම උන් හරක්ද, එහෙම නැත්නම් උන්ටත් මොලයක් තියෙනවද කියලා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බලපන් මුණ බලාගෙන කියන හැටි මධ්‍යස්තයගේ කොමෙන්ට් එක හොඳලු මගේ පෝස්ට්ටුවට වැඩිය. නැහැ ඒකෙ ඇත්තක් තිබෙනවා.. කොහොම වෙතත ලිපියේ අදහස වෙනෙකක්.

      Delete
    2. උන්ට මොලයක් තියෙන්නේ කොහොමද බන් යන්න පුලුවන්නම් තිරුපති නෙමේ අනිත් ඔක්කොටම යන්නෙත් ඔය චන්දෙ දාන කස්ටියමනේ.

      Delete
  5. අද දොන් ජුවන් ධර්මපාලට අන්දපු , රාජසිංහට ඇඳගත්තු , කට්ටිය ඉන්නවනේ, ඒ ඒ චරිත වලට අන්දන්න වෙනම පිරිසක් ඉන්නවා , එයාලා කිව්වම මෙයා තමයි දොන් ජුවන්, මෙයා තමයි මහරජු කියලා අපි ඒවා පිළිගන්න ඕන,. අපි ඒවා පිලි නොගත්තොත් පිත් දේශ ද්‍රෝහියෝ වෙනවා, එහෙම නැත්තම් බටහිර කුමන්ත්‍රණ වල ඉත්තන් වෙනවා . දැන් දෙදාස් බලන්න දෙදාස් හය දෙදාස නාමය කාලේදී හමුදාපති කෙනෙක් ඉඳලත් නෑනේ . යුද්ධය ඔටෝ ගියර් තමා ගිහින් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. යුද්දේ වුනේ ප්‍රභාකරන් තමන්ට ගහගනනේ ඉවානුෂ්කා. හමුදාව එනකොට පොර භයවෙලම වෙඩිත් තියාගෙන.

      Delete
  6. රවී අයියගේ පෝස්ට් එකේ කොමෙන්ට් ටික දැක්කම මට මේ වගේ පෝස්ට් එකක ඉඟියක් දැනුනා.. මේක දෙපැත්ත කැපෙන්න ලියල තියෙන විදිය හරිම රසවත්.. ඒ වගේම යකාගේ කොමෙන්ටුවත් වැදගත්.. ලඟදි බලපු ඇහැලේපොල කුමාරිහාමි කතාවෙදිත් මට මතකයි මේ අරිට්ට කී වෙන්ඩු හිටියා.. එතකොට ඒ දෙන්නෙක්ද? නැත්නම් ශ්‍රි වික්‍රම රාජසිංහ ගාව හිටියේ මුල් එකාගේ මුනුබුරෙක්ද? පොඩි අවුලක් තියෙනව මට එතන.. පොඩිම කාලේ මේ ගැන කියවලා තිබ්බට දැන් මතක නෑනේ.. ඊයෙ විජයබා කොල්ලය කියවන්න ගත්තත් බැරි උනා.. ඉතිහාසයම රිපීට් වෙනවා කියන කතාව දැන් දැන් අපූරුවට පැහැදිලි වෙනවා නේද? උන්ව අමතක කරල අජිත් අයියල අපිව මේ ගැන හරවත්ව දැනුවත් කරනවනම් කැමතියි..ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මීට වඩා රසවත් කතාවක් තියෙනවා පොළොන්නරුවේ මහා පරාක්‍රමභාහු ගැන.. මේ වෙන්න යන්නේ ඒකමයි.. වෙලාවක් තිබුනොත් ලියන්නම්..

      Delete
    2. ලඟදි බලපු ඇහැලේපොල කුමාරිහාමි කතාවෙදිත් මට මතකයි මේ අරිට්ට කී වෙන්ඩු හිටියා.. එතකොට ඒ දෙන්නෙක්ද? // ඒක එහෙම නිකම් සංකේතාත්මකව දාන්න ඇති.අරිට්ට කීවෙන්ඩුගෙ නම ඔහුවත් දිගටම භාවිතා කළේ නෑ.ඔහු මනම්පෙරුම මොහොට්ටාල කියල වෙනස් කළා.පස්සෙ තවත් රාජකීය වෙන්න ජයවීර බන්ඩාර කියල නමක් දාගත්ත.
      හැබැයි ඔහුගෙ මුණුපුරන් රටේ ප්‍රභූන් විදියට ශ්‍රීවික්‍රමගෙ කාලෙ විතරක් නොවෙයි අද වෙනකනුත් ඉන්නව.වර්තමානයේ බොහෝ රදලයන් ගෙ මුල් තියෙන්නෙ සීතාවක යුගයෙ.

      Delete
    3. අඩේ අප්පා.. මගේ ගජයෙක් ඉන්නවා ජයවීර බණ්ඩාර කියල.. මූ උගේ බ්ලොගේ නික් එක දාගෙන තියෙන්නේ අරිට්ටකී කියල.. දැන්නේ මුල මැද අග තේරුණේ.. යකෝ මං ඉතිහාස කතා කියවන්න පට්ට ආසයි..හැබැයි මෙව්වගේ මට මතක හිටින්නේ නෑනේ.. ඔන්න ඕකනේ බ්ලොග් කියවන එක පට්ට වටින්නේ.. ආයි ඉතින් ජීවිතේට අමතක වෙන්නේ නෑ..

      Delete
    4. කල්‍යාණ මිත්‍ර මල්ලි , මගේ අදහස තිබ්බ ඕක කලින් ලියන්න ටිකක් වෙනස් විධිහට . අර විජයබා කොල්ලය කතාවෙන් ගැම්මත් වැඩි වුනා. ඒ කතාව ගිය එකත් හොඳයි. ඇහැලේපොල කාලේ කිවෙන්ඩුවෙක් මම දන්නේ නම් නැහැ. පෙරුමාල් ලගේ නෑදෑයෝ තමා පහතරට මහා මුදලි ස....බා.න් ..ඩර ...නා ..යකා ....

      Delete
    5. දේශපාලන පෝස්ට් එකකුත් දාල දේශපාලන කොමෙන්ට් එහෙමත් මේදවස්වල දැම්ම නිසා මේ අයට මඩ ගහනව කියල කියාවි කියයි හිතල මම ඕක කිව්වෙ නෑ.අරිට්ට කීවෙන්ඩුල එක්ක ආපු කපුවො තමයි පහුකාලෙක සිංහල රදලයො වුනේ.නවගමුවෙ දේවාලෙට ආපු අයගෙන්ලු බන්ඩල පැවතෙන්නෙ නේද?
      පහතරට විතරක් නොවෙයි උඩරට රදලයන්ගෙ වාසගම් අරන් බලන්න මුලින්ම තියනව අරිට්ට කීවෙන්ඩු සහතිකය.උඩරට රාජ්‍යය සංවිධානය කළේ විමලධර්මසූරිය එක්ක උඩරටට ගිය පහතරට පිරිස්.එවකට උඩරට තිබුන පිටිසාර් පාලකයන් ආලුතෙන් ආ අයගෙ අතවැසියන් වුනා.විවාහ ආදියෙන් මිශ්‍ර වුනා.
      බන්ඩාර කියන වචනයත් දෙමළ වචනයක්.පන්ඩාරම් කියන වචනෙන් ඒක ආවෙ.යාපනේ කුමාරවරු පන්ඩාරම් කියන නමෙන් හැදින්වූවා.යාපන රාජධානියේ ප්‍රකට පාලකයෙක් තමයි පුවිරාජ පණ්ඩාරම්
      වන්නියාර්වරු වන්නිනායකල වුනෙත් මීට සමාන විදියකට.
      ස....බා.න් ..ඩර ...නා ..යකා ගැන කියවුන නිසයි කිව්වෙ

      Delete
    6. ඔක්කොම මික්ස් නේද ?

      Delete
  7. රස්පුටින් ගැන කියනකොට මතක්වුනේ ඉස්සර රුසියානු නිකායක් තිබිලා තියෙනවා ස්කොප්සි කියලා
    එයාල විශ්වාස කරලා තියෙනවා ලිංගය කපා ගත්තු අය විතරයි ස්වර්ගයට යන්නෙ කියලා ඒ අය අවසාන සාර්ට ට කලින් හිටිය සාර්ටත් යෝජනා කරලා තියෙනවා එයාලගේ ආගමට එන්න මක්සිම් ගෝර්කිගේ පොත්වලත් ඒ අය ගැන තියෙනවද කොහෙද
    මෙතන ඔබට ට අතපසු වූ දෙයක් තියෙනවා දෙවන රාජ සිංහ රජ්ජුරුවෝ ශිව භක්තිය වැළඳගත්තා කියලයි කියන්නේ ඒ කෙන් වැදගත් අදහසක් මතුවෙනවා ඉස්සර ලංකාවේ හින්දු කියලා ආගමක් තිබුනෙ නෑ. ලංකාවට හින්දු ආගම ගෙනාවෙ කවුද කියලා කිවුවොත් මට දෙන්න පුලුවන් උත්තරේ ඉංග්‍රීසීන් හෝ ලන්දේසීන් කියන එක.

    ReplyDelete
    Replies
    1. අතපසු වෙලා නැහැ. සොලී සන්නාසියෙක් හා යාග හෝම ගැන කිව්වම ඒ අදහස එන්න ඕනේ. හින්දු ආගම හා ශිව භක්තිය එකම ආගමේ කොටස්නේ . නැත්නම් එකම ආගම . විවිධ දෙවිවරු.

      Delete
    2. මම අදහස් කලේ මේකයි ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වල අයට සාපේක්ෂව හින්දු කියලා ආගමක් තියෙනවා
      ඇමරිකාව වගේ රටක බුද්ධාගම අදහන සුද්දෙක්ට සාපේක්ෂවත් හින්දු කියලා ආගමක් තියෙනවා
      නමුත් සිංහල බෞද්ධයෙක්ට සාපේක්ෂව බැලුවොත් හින්දු කියලා ආගමක් නෑ
      ලංකාව තුල කින්දු කියන ලේබල්එක ගහලා තියෙන දේවල් තමිල්නාඩු අභිචාර විධි කියා හඳුන්වන්න පුලුවන්. එයට හින්දු ආගම කියනවනම් සිංහල බෞද්ධයන්ගෙන් 90%ක් හින්දු කිව හැකියි. ලංකාවේ ඊලාම් වාදියෝ හින්දු ආගම දේශපාලන වැඩට ගාව නොගන්න පරිස්සම් වෙන්න එක හේතුවක් ඒක.
      ලංකාව තුල දේශීය අභිචාර පද්ධතියක් ගොඩකඟලා තියෙන්නේ සිංහල මිනිස්සු. දෙමල අය ගාවතියෙන්නේ ඉන්දියානු ෆොටෝ කොපි.
      මෙතනදී තව දෙයක් මතක්කල යුතුයි සමහර වෙලාවට තෛ පොන්ගල් උත්සවය හින්දු උත්සවයක් ලෙස හඳුන්වන අවස්ථා තියෙනවා ඒක වැරදියි ඒක දෙමළ උත්සවයක් එයට සිංහලෙන් දුරුතු මංගල්‍යය කියන්න පුලුවන්
      ලංකාවේ දෙමලාගේ දුර්වලම නිලය තමා ආගම අපි ඒක ඔවුන් වට්ටන්න පාවිච්චිකල යුතුයි

      Delete
    3. වැටිලා ඉන්න දෙමල මිනිස්සු තවත් වට්ටන්නේ මොකටද? ලංකාවේ බුද්ධාගම වෙනුවට අදහන්නේ හින්දු ආගම සමග මිශ්‍රවුනු එකක් බව පිලිගත්තහැකි. මම මෙතන දෙමල මිනිසුන්ට විරුද්ධ දෙයක් නෙමේ කියන්නේ. රට පාලනය කල රජුන් සහ දේශපාලකයන් එකිනෙක මුලා කරමින් තමනුත් මුලාවේ වැටුන හැටි.

      Delete
    4. මේ ලිපිය ලියා ඇත්තේ දෙමල ජාතියට විරුද්ධව නොවේ. එවැනි හැඟීමක් ඇතිවේ නම් කණගාටු වෙමි. මෙය ලියා ඇත්තේ වර්තමාන ලංකාවේ දේශපාලනයට අදාලවය.

      Delete
  8. මනම්පෙරුම මොහොට්ටාල තනියම ආපු ගමනක් නොවෙයි.ඔහු සමඟ ආ පිරිස රටේ එතෙක් පැවති මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කළා.රටේ ප්‍රභූන් වුනේ මේ කපුවන්.රාජ වරප්‍රසාද ලැබූ මේ අය රටේ සියළුම ක්ශේත්‍ර පාලනය කළා.පසුව සිංහලයන් හා පෘතුගීසීන් අතර සටන්වලදී පනික්කි සෙනෙවියා එක පැත්තකට ආවම කුරුප්පු සෙනෙවිය යනව අනෙක් පැත්තට.සිංහල පෘතුගීසි දෙපැත්තෙම මේ අය තමයි ඉදල තියෙන්නෙ.කුරුප්පු එක පැත්තකට එන කොට පනික්කි ආයෙ අනෙක් පැත්තට යනව.මෙහෙම සෙල්ලමක් ගියෙ.
    ජයවීර බන්ඩාරගෙ මරනය ගැන සදහනක් කරන්නම්.අරිට්ට කීවෙන්ඩු මේ වෙනකොට නියම සිංහල රදලයෙක්වෙලා විතරක් නොවෙයි රදලයන්ගෙ ප්‍රධානිය වෙලා.රජ පවුලකින් කසාදෙකුත් කරගෙන ජයවීර බන්ඩාරකියල නමත් දාගෙන. ඔහු තායි සීතාවක ඊලඟ උරුමක්කාරය.
    පෘතිඋගීසීන් එක්ක උඩරට ආක්‍රමනය කරන්න මේ ජයවීර යනව.මේ කාලෙ පහතරට බලවත්ම පිරිස පෘතුගීසීන්.හින්දු ආගම වැළදගත්ත අය දැන් කතෝලික වෙලා.ජයවීර ගැන නම් මම එහෙම දන්නෙ නැහැ.
    විමලධර්මසූරිය රජු ජයවීර එක්ක රහස් සාකච්ඡාවක් කළා.ලියුම් ගනුදෙනු කළා.සමහර මෙය පෘතුගීසි කපිතන් ජෙනරල් ෆෙඩ්‍රෝ ලොපෙස් ද සෞසා ජයවීර එක්ක බිදවන්න විමලධර්මසූරිය රජු කළ උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන් .මේ ලියුම් සෞසට අහුවුනා.කෝපයට පත් සෞසා ජයවීර කිණිස්සෙන් ඇනල මැරුව.තම නායකය මැරුන බව දුටු සිංහලයන් විමලධර්මසූරිය රජු එක්ක එකතු වුනා.හොඳටම අසරන වුන සෞසා ආපසු කොළඹ එන්න තීරණය කළා.විමලධර්මසූරිය රජු දන්තුරේදි පෘතුගීසීන්ට වටකර පහර දුන්නා.මේ සටනෙදි සෞසා මියගියා.දන්තුරේ සටන ලංකා ඉතිහාසයේ තීරණාත්මක සටනක්.හරියට පුදුකුඩු ඉරිප්පු සටන වගෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕව ඔක්කොම හරි තමා. ස්තුතියි. මම අවශ්‍ය කොටස විතරයි ලීවේ. අර කල්‍යාණ මිත්‍ර කිවා වගේ ඉතිහාසය රිපීට් වීම හා මාතලන් කිව වගේ පුහුමත දරන අය රාජ්‍ය බලයට කරන බලපෑම් ගැන තමා ලියල තියෙන්නේ.

      Delete
  9. ඔය විජයබා කොල්ලයෙ දරුවො ඒ කියන්නෙ මායාදුන්නෙ, බුවනෙකබාහු සහ රයිගම් බණ්ඩාර තුන්දෙනාගෙ අම්ම යාපනේ පරරාජසිංහම්ගෙ දුවය කියනව!

    අරිට්ඨකීවෙන්ඩුට එකපාර ඉන්දියාවෙන් ඇවිත් රාජසිංහගෙ හිතගන්න හේතුවෙච්චි තවත් කාරනා තිබ්බනෙ. කොහොම උනත් මිනිහ රාජසිංහ එක්ක දීපු ගේම් නිසා පෘතුගීසි තීරණයකලාලු කෝට්ටෙ රාජධානිය අතැරල කොටුවෙ ඉඳන් රට පාළනය කරන්න, ධර්මපාලවත් එක්ක ඇවිත්.

    ඔය බළල් මස් මුලින් ගණන් ගිහින් තීන්නෙ කෝට්ටෙලු!

    මිනිහ ජවීර බණ්ඩාර උනාට පස්සෙ, සීතාවක සල්ලි මුතු මැණික් කොල්ලකාල ඒව බෙදල තමයි පෘතුගීසි සටන කන්දෞඩරටදි දිනෙව්වෙ කියලයි පෝල් ඊ පීරිස් උන්නැහෙ ලියල තීන්නෙ.

    හැබැයි ඒ පෙරුමාල්ටම තමා රාජසිංහ උඩරට අල්ලන්න ගිහින් පින් පිරිහිලා කියල ආපහු එනකොට ගුරුබැවිල බාරදීල එන්නෙත්.


    දැනුත් එහෙම පිටින් ආ ආන්ඩි ගුරාල තමා ආන්ඩුව ඒ ප්ත්තටයි මේ පැත්තටයි මාරුවෙනකොට බලය අල්ලගෙන ජයගන්නෙ.


    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. එක එක ඉතිහාස පොත්වල වෙනස් විධිහට ලියවෙනවා. ආඬි ගුරාල තමා අන්තිමට වැඩේ සෙට් කරන්නේ.

      Delete
  10. මෙතනදී සැලකිල්ලට ගතයුතු කරුණක් තමයි අරිට්ට කී වෙන්ඩු කියන මුල් නමින් හඳුන්වන කෙනා අද ලංකාවෙ ඉන්න දෙමෙල්ලු වගේ ඊලාම් පිස්සුවක් තිබුණ කෙනෙක් නෙමෙයි කියන එක

    ReplyDelete
    Replies
    1. එතකොට යාපනේ ස්වයං පාලනයක් කොහොමටත් තිබ්බ. ඊලම් කියන්නේ වෙනමම සංකල්පයක්.

      Delete
    2. හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ රට එක් සේසත් කරන්න කලින්. අපේ රජවරු ඔය ආර්ය චක්රවර්තිලට කප්පම් දීල තියනවා. සුද්දගේ කාලේ ලියපු cleghorn Report කියල වාර්තාවක් තියනවා. ඒකෙ උතුරේ වෙනම රජයක් තිබ්බ කියල සඳහන් කරලා තියනවා

      Delete
    3. හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ රට එක් සේසත් කරන්න කලින්. අපේ රජවරු ඔය ආර්ය චක්රවර්තිලට කප්පම් දීල තියනවා. සුද්දගේ කාලේ ලියපු cleghorn Report කියල වාර්තාවක් තියනවා. ඒකෙ උතුරේ වෙනම රජයක් තිබ්බ කියල සඳහන් කරලා තියනවා

      Delete
  11. I am on holiday and I don't have access to a computer with Sinhala unicode. I am just using the mobile. I will reply to everyone' comments once I sort this thing out. Thanks

    ReplyDelete
  12. මම නම් සීතාවක රාජසිංහට වගේම වීදියේ බණ්ඩාරටත් කැමැතියි. මායාදුන්නේ, වීදියේ, සීතාවක රාජසිංහට සහ විමලධර්මසුරිය යන සියලු දෙන සමගි වුනා නම් ලංකා ඉතිහාසහ සම්පුර්ණයෙන් වෙනැහැ වෙනවා.

    ReplyDelete
    Replies
    1. අර ඒක තමා ලිපියේ මුලින්ම වගේ දාල තියෙන්නේ.

      Delete
  13. මැතිවරණ ගොන් ආතල් මැද මේ වගේ වටිනා පෝස්ට් දැකීමත් සහනයක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි.

      Delete
  14. පුන්චි නිවරදි කිරීමක්.... මා දන්නා තරමින් "ඉඟුරු දීලා මිරිස් ගත්තා" කියමනට පාදක වුයේ දෙවන රාජසිංහ රජතුමාගේ භාවිතාවයි.කොන්නප්පු බණ්ඩාර නොහොත් පළවන විමලධර්මසූරිය භාවිතාව නොවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමිත්, එය නිවැරදි කලා.

      Delete
  15. ඉතිහාසේ සඳහන්ව ඇති ආකාරයටත් ජනප්‍රවාද වල හැටියටත් දොන් ජුවන් ධර්මපාල කියන්නේ හත්වෙනි බුවනෙකබාහු ගේ මුනුබුරා ඒ කියන්නේ වීදියබන්දර ගේ සහ සමුද්‍රා දේවියගේ පුතා
    පුංචි අතපසු වීමක් නිවැරදි කරේ .... අටිකල් එක සුපිරි

    ReplyDelete
  16. අර"කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා" කියනකොට පොඩි දෙයක් එකතු කරන්න හිතුනා. කෝට්ටේ විජයාබා රජ්ජුරුවොත් පරංගි කොටුව වටදගෙන ඉඳලා තියනවා. ඒකට එයා සමොරින් කියන මලබාර් මුහුඳු සටන් කාරයකුගේ හමුදාවක් යොදා ගත්ත. හැබය් ඒ සටනින් පරංගි දිනනවා. ඔය විදියට තමය් ලංකාවට මලබාර් බලපෑම් ආරම්බවෙන්නේ. ඔය වටලිමේදීත් පරංගින්ට කෑම බීම හිගවෙලා තියනවා.

    ReplyDelete
  17. මට දැනගන්න අවශ්‍යයි වීදිය බන්ඩාරගෙ කුඩා කාලයේ සිට මියැදුන මොහොත දක්වා එ් අතරවාරයේ ඔහුගෙ ගති ලක්ෂන හැසිරීම් රටා හා ඔහු ජීවත්වුනු හා මියැදුනු ස්තාන එකතුකර ලිපියක් සකස්කර දෙනමෙන් ඉතා අායාචනාත්මකව හැමෝගෙන්ම ඉල්ලමි හේතුව මට අාධාත්මික ශක්තියක් මගේ ශරිරයේ උඩු දුවනවා මම එ්ක කිසිවෙකුටවත් නොකියා රහසක් ලෙස පවත්වා ගනියි නමුත් වෙලාවකට වීදියේ බන්ඩාර යම් දෙයක් දෙන්න මට කතා කරනවා වගේ දැනෙනවා මේකට එකම විසදුම මොහුගෙ ඉතිහාසය මම මුලසිටම සරලව දැන සිටීමයි .එ් නිසා මට මේ උදව්ව කර දෙන්න පුලුවන්ද

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .