Monday 22 January 2024

බෙදාගෙන කනවද බෙදා ගන්නවද




කාලකෙට කලින් අපි ගියා නිවාඩුවකට යාලුවෝ කට්ටියක් එක්ක. අපි ඔක්කොම එකට උයාගෙන කාලා ඉන්න තැනකට තමයි ගියේ. රාත්‍රී කෑම මෙසේදී පොඩි සිද්ධියක් වුනා. මට මේක මතක ඊට පස්සේ කතාවට මේක අදාල වෙන නිසා. 

කෑම මේසෙට තිබ්බට පස්සේ සිරි ලංකා සම්බවයක් තියෙන මගේ අතීසාර මිත්‍රයෝ ටික සුපුරුදු පරිදි ඉන්නව බිරින්දෑලා බත් පිඟාන බෙදල අතට දෙනකන්.  මම ඉඳගෙන හිටියේ මේසයේ කෙළවරක නිසා මම ඒ එක බිරින්දෑ කෙනෙකුට කීව 

"මේ මටත්  ඔහොමම බත් පිඟානක් පාස් කරන්න කියල "
එයා  ගත් කටටම කීව 
"ඇයි ඔයාගේ හාමිනේට කියන්න, අපිට කියන්නේ". 

එහෙම කියල පොඩ්ඩක් නක්කියට විරිත්තල කීව 
"ආ එයාල ඉතින්බෙ දල දෙන්නේ නැහැනේ නේද "
 කියල. 
අම්මට සිරි, එතකොට තමයි මම දැක්කේ අපේ එක්කෙනා හිටු කියල මගේ සිරි ලංකා ඔරිජින් යාලුවන්ගේ පිඟන් වලට ව්‍යංජන බෙදනවා. එදා කෑමෙන්  පස්සේ ඔන්න ඉතින් මම ඇද්ද වලිය.
 
"තමුසේ මොකටද ඕයි අරහෙම බෙදන්න ගියේ"


"ඉතින් අහවලී, අහවලී හෙම බෙදුවනේ. මම නිකන් ඉන්න හොඳ නෑනේ "

 ""හරි ඉතින්  අපි උයන්න අරෙහෙ මෙහෙ උදව් වුනානේ. මිට පස්සේ බෙදන්න තහනම්.ඔච්චර බෙදනවා නම් මට බෙදනවා "

"ඔයා ඉතින් කොහොමත් බෙදා ගන්නවනේ කෑම"

"ඉතින්ඒ ක තමයි. තමුසේ උයන වැඩ ඔක්කොම කරන නිසා මම ඒක වත් කර ගන්න එපැයි. ඉස්තිරි  පුරුෂ සමානාත්මතාවය තියා ගන්න අයිසේ. ඒකයි මම ඔයාට අමතර වැඩ දෙන්නේ නැත්තේ"

"ඕක මොකක්ද ඔයාට ඕනේ නම් මම බෙදන්නම්. මගේ අම්ම බෙදන්නේ ඔයාට. ෆාටි ට බෙදුවේ නැති උනාට. (ෆාටි කියන්නේ ජර්මන් වලින් පියාට) "

මම කිව්ව "නෑ එපා, බෙදන්න ඕනේ නැහැ ". කතාව ඉවරයි.

මගේ ජර්මන් නැන්දම්මා කීයට වත්   මාමණ්ඩි ට කුස්සියට එන්න දෙන්නේ නැහැ. ආවොත්  කුස්සියම වණ කරනවා කියල. එයා උයල ඉවර වුනහම දුවල (මගේ බිරිඳ සහ නෑනන්ඩි ) දෙන්න හැඳි ගෑරුප්පු පිඟන් තියල මේසේ සකස් කරනවා . මාමණ්ඩි සහ මම කෑම ටික  මේසෙට කැන්දන් එනවා. මාමණ්ඩි වයින් බෝතලේ ඇරලා වක්කරගෙන යනව ඔක්කොටම.  නැන්දම්මා මට මස් (සාමන්‍යයෙන් මස් ම තමා කන්නේ) , එළවලු අනම් මනම් ටික බෙදනවා. එයාට ඕනේ මම කෑම රහයි කියන්න. ඇත්තටම එයාගේ කෑම රහයි. සාමාන්‍යයෙන් හැමෝම තම තමන්ට බෙදා ගන්නවා. කෑවට පස්සේ එක්කෙනෙක්  පිඟන් ටික එකතු කරන්  කුස්සියට  ගෙනියනවා. සාමාන්‍යයෙන් ඒක කරන්නේ අන්ද්රියස් කියන නෑනා ගේ හස්බන්ඩ. තව කෙනෙක් කෝප්ප ගෙනියනවා. මාමණ්ඩි තමයි ඔය පිඟන් කෝප්ප ඔක්කොම ඩිෂ් වොෂර් එකට අඩුක් කරන්නේ. ඒක වෙන කාටවත් දෙන්නෑ . පිස්සු කෙලිනවා කියල. 

කතාව ඇත්ත හැබැයි. ඔය දෙවියන් වහන්සේ ගැහැනුන් ගේ මොලේ වයර් කරලා තියෙන්නේ පිගන් කෝප්ප ඩිෂ් වොෂර් දාන්න නෙමෙයි. කොටින්ම  එයාලට ඒක බැහැ. වැඩිපුරම වෙන්නේ  ඩිෂ් වොෂර් එක කැඩෙන එක. හරියට පිරිමින්ට රෙදි හෝදන්න බැහැ වගේ තමයි. මම එකම එක පාරයි රෙදි දැම්මේ වොෂින් මැෂින් එකට. බිරින්දෑ ගේ සුදු පාට කහ පාට රතු පාට ඇඳුනුයි මගේ නිල් කමිසයි ඔක්කොම අපටත් අඳුර ගන්න බැරි යුනිවර්සල් කලර් එකක් වෙලා තිබුන. එදායින් පස්සේ තහනම් නියෝගයක් දාල තියෙන්නේ.   නැතුව මම අකැමැතිව නෙමයි මිත්‍රෝ වරුනි. 

වසර කිහිපයකට කලින් එක්තරා වාමාංශික  දේශපාලන පක්ෂයකින් කාන්තා දිනයකට ද කොහෙද රැස්වීමක් තිබ්බ. එම පක්ෂයේ කාන්තා නායිකාවක් වගේ කෙනෙක් පට්ට දේශනයක් තිබ්බ. කාන්තා විමුක්තිය ගැන. ධනවාදයේ සූරා කෑම ගැන. හැබැයි ඉතින් මට  හිතන්නේම  ධනවාදයෙන් සෑහෙන්න කාන්තා විමුක්තිය දීල තියෙනවා කියල. ඕකට සමාජවාදේම ඕනේ නෑ කියල. මම ඕව කියන්න ගියේ නැහැ ඉතින්. කොහොමත් මට තියන ඇවිස්සීමේ ගතිය නිසා මම කිව්වා
 "බලන්න ඉතින් තවමත් බත්  පිඟානක් වත් බෙදා ගන්නේ නැහැනේ, අපේ පිරිමි . උයල ඉවර වෙලා බිරිඳම   තමයි අතට බෙදලත් දෙන්න ඕනේ. නැත්නම් ඒක නිගරුවක් හැටියට සලකනවා කියල. " ඒක ටිකක් ඇවිලුනා. 
එක දියණියක් කතා කරලා මෙහෙම කීව. එයාගේ අම්මත් හිටිය එතන. ලංකාවට නිවාඩුවට ගියහම උනත්  එයාගේ නෑදෑ අයියල මල්ලිලට බෙදල දෙන්න ඕනෙලු ඉස්සෙලම. තාත්තට හා අයියටත් බෙදළලු එයාලට දෙන්නේ. 
මමත්  සමහර විට ඒක දැකල තියනවා. 

වැඩේ කියන්නේ ගිය අවුරුද්දේ දවසක ඒ කාන්තාව හමුවුනා. මම ඔය කතාව මතක් කලහම එයා කියපි 
"නැහැ එහෙම දෙයක් වුනේ නැහැ. අපි එහෙම කිව්වේ නැහැ.  බලන්න ඒවා  කොච්චර හොඳ චාරිත්‍ර ද  , අපේ රටේ වැඩිහිටියන්ට එහෙම සලකන එක , ගෙදර මනුස්සයට සලකන එක වගේ පුරුදු අපි තියා ගන්න ඕනේ" කියල. මම මුකුත් කියන්න ගියේ නැහැ ඉතින්. තමන්ට ඕන මගුලක්. 

මම දන්නා සමාජවාදී සයිඩ් එකේ යාලුවෝ සෙට් එකක් එක්ක   ඔය ගැන  කතා කරද්දී එක්කෙනෙක්  කිව්වා
 "අනේ මචන් ඕක විතරයි අපට ඉතුරු වෙලා තියෙන්නේ . ඒකටත් කෙලින්න හදන්න එපා කියල. "
 හැබැයි එයාගේ බිරින්දෑ ඒක අහගෙන ඉඳල කියනව 
  "අපි ඒවා කරන්නේ ආදරේටනේ අනේ"
ආදරේට ඉතින් වෙන දේවල් කරන්න පුළුවන්නේ ටිකක් රෑ වෙන්ඩ ඇරලා කියල කියන්ඩ හිතුනත් ඉතින් කිව්වේ නැහැ. 

මම ඉතින් ඕක ඇවිල්ල බිරින්දෑට කිව්වා. උන්දැ කියනව. "ඒකනේ මම ඔයාට කිවේ. මිට පස්සේ මම ඔයාට බෙදල දෙන්නම්.  ආදරේටනේ අනේ. "

"අනේ එපා , ඔය ලංකාවේ අම්මන්ඩිල ආදරේට කියල කීවට මොකක් හරි යටි හිතෙන් අඹරන්ඩ ඕව කියන්නේ" කියල ශේප් වෙන්න හැදුව කෝ ඇහුවේ නැහැනේ. 

රෑම කර්මය පල දුන්න කියන්නේ පොඩි මස් කෑල්ලක් නුයි පුංචි අල පෙති දෙක තුනක් එක්ක බෙදල දෙනවා මෙන්න  කෝලි ෆ්ලවර්, බ්‍රොකොලි පුරවල, ලීක්ස් නුත් එක්ක පිඟාන වැහෙන්න.

"මේ මොනවාද අනේ ටිකක් ලොකු මස් කෑල්ලක් දානවකෝ". 

"මේ ඔයාට රතු මස් කන්න හොඳ නැහැ  වැඩිය. අල කියන්නෙම සීනි . ඔය එළවලු වැඩිය කන හොඳයි.  හෙට ටර්කි (කළුකුම්) හදනවා. ඒක වැඩිපුර  බෙදන්නම්  සුදු මස් නෙ ශට්ස් . ඔයාට ආදරේටනේ මේ ඔක්කොම"  එයා කියපි.

මට   ඔය ටර්කි පෙන්නන්න බැහැ. මිරිස් ගොඩක් දාල හැදුවත් කිසි රහක් නැති මසක්.ආ,  ජර්මන් වලින් ෂට්ස් කියන්නේ හනි (ඩාලින්) වගේ තේරුමක්.

ඔහොම වදෙන්  පොරෙන් සුමනයක් දෙකක් ඉහ ගහගෙන ඉන්න කොට දානෙකට ඇරයුමක් ලැබුන. දාන ගෙවල් වලට ගියහම කන්නත් හම්බ වෙනවනේ. ප්‍රශ්නේ උනේ දැන් මෙයා බත් පිඟාන බෙදන් එන එක. හාමුදුරුවෝ පන්සලට යන්න එලියට වැඩ්ඩ විතරයි මම හීන් සීරුවේ නොපෙනෙන්න ගිහින් බත් ටිකක් බෙදා ගන්න බැලුව. අහු වුනානේ. 

"මේ ඔයා ගිහිල්ල අර යාලුවෝ එක්ක ඉඳගෙන ඉන්න මම බෙදන් එනකන්". 

මොනා කරන්නද. ගිහින් ඉඳගත්ත.   මෙන්න මෙයා බෙදාගෙන ආවා. බත් හැන්දක් තියනව. ඒක පේන්නේ නැහැ. මාළු කෑල්ලක් තියෙනවා. හාල් මැස්සෝ ටිකක් තියනව, වම්බටු බැදපු වට  දාපු. පරිප්පු පුරවල. ඊට වැඩිය මැල්ලුම් නුයි ගොටුකොලයි බෝන්චියි පුරවල. ආ කැරට් තිබ්බේ නැහැ. මෙහේ  ඔය ලාභ දේවල් උයන්නේ නැහැනේ. අල තෙම්පරාදුවෙන් අල හරියටම එකක් (1) දාල තිබ්බ  හිතෝතුනි. සම්බෝල පුරවල. නිකන් කන්නය යකෝ සම්බෝල. 

මං ඇහුවා "කෝ හලෝ  බත්."

 "මේ, ඔය බත් ගොඩ ගහල කන්න හොඳ නැහැ. ටිකක් කෑවහම ඇති. මැල්ලුම් කන එක හොඳයි කියල හැමෝම කීව "

"මේ එක මාළු කෑල්ලයි නේ"
"මේ ඔයාගේ අම්ම කිව කළුවට හදල තියන ඔය මාළු ඌෂ්ණයි . (ඇඹුල් තියල්)  හොඳ නැහැ කියල වැඩිය කන්න "

" මේ ඔයා බොරු කියන්න එපා. අපේ අම්මට කොහෙද ඔයා කතා කරේ. මමනේ කෝල් අරගෙන ඔයාටත් දෙන්නේ කතා කරන්න. අනික මේ ඌෂ්ණ කෑම කියල දෙයක් ඔයා දන්නෙවත් නැහැ"

"මොකද නැත්තේ. මම අහගත්තා ඔක්කොම අහවලාට කෝල් කරලා. ආදරේට නේ අනේ මම" 
අම්මපා  ඔය අහවලා අහුවුනොත් මම....  

එදා ගෙදර එන ගමන් කිව්වා 
"මේ තමුසේ ආයේ මට මුකුත් බෙදන්න එපා. මම බෙදාගෙන කන්නම්. අපේ ගෙදර සමානත්මතාවය තියෙන්න එපැයි . ළමයි නුත් බලයි මේ තාත්තා පුරුෂෝත්තම වාදියෙක් වෙලාද කියල".

හරි එහෙනම් ශරීර සෞඛ්‍යය  රැක ගන්න ඉරිදට විතරක් නෙමේ සෙනසුරාදාටත් ඇවිදින්න යන්න  එන්නේ ඕනේ කියල එයා පොරොන්දුවක් ගත්ත.  

යන්තන් ඒකෙන් බේරුනා.පොරොන්දු කියන්නේ ඉඳල හිටලා කඩ කරන ඒවනේ.

මම මේ කල්පනා කලේ, ඔය  දක්ෂිණාංශික පක්ෂ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ගැහැණු නායිකාවෝ පත් කලාට කොමියුනිස්ට් පක්ස, සමාජවාදී පක්ෂ මේ කපේට ගේනවද ජාතික තලයේ කාන්තා  නායිකාවෝ කියල. ලංකාවේ  සිරිමාවෝ ,  චන්ද්‍රිකා, ඉන්දියාවේ ඉන්දිරා, බ්‍රිතාන්‍යයේ තැචර්,  ඊශ්‍රායල් ගෝල්ඩා මියර්, ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් නේද ඉන්නේ . අමෙරිකාවත් ඒ පැත්තෙන් ටිකක් පසුගාමියි. ක්‍රෙම්ලින් එක පැත්තේ හිටියෙම නැහැ. චීනේ  කියුබාවේ උනත් මතකයක් නැහැ හිටිය කියල. 
ලංකාවේ  නම් ට්‍රොට්ස්කි වාදී ලංකා සම සමාජ පක්ෂේ විවියන් ගුණවර්ධන වගේ ජාතික තලයේ නායිකාවන් හිටිය.  යුරෝපයේ වාමාංශික පක්ෂ වුනත් එහෙමයි. 

ඒ වුනාට එක වාමාංශික බලවේගයකින් ජාතික නායිකාවක් ගෙනල්ල තියනව ඉස්සරහට. ලංකාවේ, ලංකාවේ.

එයාව රැක ගන්න ඕනේ හිතෝතුනි. ලංකාවේ පසුගාමී බයි, ටොයි , සමාජවාදී ගෑනි ලව්වා බත් බෙදා  ගන්න සෙට් එක හදන්න නම් එයාල වගේ අය ඉන්නම ඕනේ.

-- මාලිමාවේ හරිනි  අමරසූරිය - හැරුණු අමරසූරිය  වෙන්න දෙන්න එපා. -

--Ajith D 22/01/ 2024 මධ්‍යම රාත්‍රියේදී 



Saturday 13 January 2024

එන්ෆිල්ඩ් හි භූතාත්ම කතාව - මගේ නිගමනය - Dopamine and Alissa White-Gluz (Death metal band)


සමහරවිට ලිපියේ මාතෘකාවේ සමග මා  කියන්න යන්නේ කුමක්දැයි දැනටමත් වැටහෙන්නට ඇතැයි සිතමි. මේ භූතාත්ම කතාව පිලිබඳ  මගේ මුල්ම ලිපි දෙක මෙසේය.  

බොහෝ අය මෙවැනි පාරභෞතික කතා කෙළින්ම බැහැරලන අතර තවත් සමහරු විශ්වාස කරති. මා බොහෝ විට සොයන්නේ ඒවාට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළ හැකිද  යන්නය. කිසිදු දෙයක් අවඥාවෙන් බැහැර කිරීමට ඒ ගැන සොයා බැලීම මගේ සිරිතය.මා  පළමු ලිපියෙන් පැහැදිලි කලේ හැත්තෑව දශකයේ අවසානයේ මේ සිද්ධිය සිදුවූ විට එක පාර්ශවයක් එය කෙලින්ම බොරුවක් යයි විවේචනය කළ අතර යන්තම් තරුණ වියට එළඹෙන  ගැහැණු ළමුන් දෙදෙනාට පරිභවද කළ ආකාරයයි. ඔවුන්ගේ කතාව විශ්වාස කළ අය එම කතාව ඔප්පු කිරීමට අනවශ්‍ය පර්යේෂණ කරමින් ළමුන් දෙදෙනාට මෙන්ම පවුලටද  කරණ අල්ද්දේ  බරපතල හිරිහැරයකි. 

දෙවන ලිපියෙන් මා  පැහැදිලි කළේ ගැහැණු ළමුන් දෙදෙනා බොරු නොකියන බවත් එම සිද්ධීන් ගෙන් බහුතරයක් සත්‍ය වශයෙන්ම සිදුවූ ඒවා බවට මා සිතන බවයි. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි තිබේ. නමුත් භූතයකු සැබැවින්ම සිටියාද?

පළමුවෙන්ම ඒ දිනවල මනෝ වෛද්‍යවරුන් නොදැන සිටි විද්‍යාවේ දියුණුව නිසා දැන් අපි දන්නා දත්තයක් සලකා බලමු. ඒ රසායන ද්‍රව්‍යයක් / හෝර්මෝනයක්  වන ඩොපමයින් ය.  ( type of monoamine neurotransmitter) මෙය නිපදවෙන්නේ  අපේ ඇඩ්රිනලින් ග්ලෑන්ඩ් එකේය. මේ හෝමෝනය අඩු වැඩි වන තරමට අපේ හැසිරීමද වෙනස් වේ. ඔබල දන්නා හඳුනන වෛද්‍යවරයෙකු ගෙන් විමසා බලන්න.  ඒ මේ හෝමෝනය අපේ චලිතයට (Movement.), මතකයට , සතුට දැනවීමට , නින්දට, හැසිරීමට, වටහා ගැනීමට බලපාන නිසාය. අපට සතුට දනවන නිසා එයට “feel-good” hormone කියාද කියති. 
මෙය තිබිය යුතු හොඳ හෝමෝනයකි. ඒ අවශ්‍ය ප්‍රමාණයට පමණක් තිබුනොත්ය. 

එසේම  මම නිතර කකුල් සොලවන අතර එයට හේතුවද මෙම ඩොපමයින් කියා වෛද්‍ය විශේෂන්ඥයන්  කියති. .එසේම මේ ඩොපමයින්  අස්වාභාවික ලෙස වැඩි අයද  සිටිති. ඔවුන්ට ශරීරයේ  අනවශ්‍ය ශක්තියක් දැනෙන අතර, නිතර කලකිරුණු ස්වභාවය, නින්ද නොයෑම  මෙන්ම, නොයෙකුත් අභව්‍ය දේ පෙනීම  (hallucinations) සිදුවේ. දැන් මේ සඳහා ප්‍රතිකාර ඇති මුත් එදා තිබුනේ නැත. ජැනට් ට ඩොපමයින් වැඩිව තිබෙන්නට ඇතැයි මට සිතෙන්නේ ඇගේ සහෝදරයා ADHD (Attention deficit hyperactivity disorder - සිංහල නම නොදනිමි) තිබිම නිසා අනාථ නිවාසයකට රැගෙන යාමෙනි. . ADHD තිබෙන ලමයින්ට  ඩොපමයින් වැඩිපුර ඇති බව සොයා ගෙන තිබේ. 
ඒ නිසා ජැනට් ගේ ඇතැම් අස්වභාවික හැසිරීම් වලට හේතුව (පවුලේ ළමුන් තිදෙනෙක්ම) එය විය හැකිය. උඩ පැන අහසේ පාවීම, හිටි හැටියේ ඇද වැටීම, නින්ද නොයෑම. කෙස් අල්ලමින් හඬා වැළපීම ආදිය මේ අතර වේ.

දැන් ඇගේ උගුර යටින් භූතයෙකු මෙන් කතා කිරීම ගැන  සළකා බලමු. කටේ වතුර පිරවූ විටද ඇයට යටි උගුරෙන් කතා කළ හැකි බව ඔප්පු කර තිබුණි. (දෙවෙන ලිපිය බලන්න)   මෙය සාමාන්‍යයෙන් කල නොහැකි දෙයකි. මම ඉහත පින්තූරයේ දක්වා ඇති ඩෙත් මෙටල් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ඇලිස්සා ගී ගයන අයුරු බලන්න. ඇයද මේ භූත කතා වලට ආශක්ත වූ එකියක නිසා සින්දු කියන්නේද එලෙසම උගුර යටින්ය. මේ විශාල කැප කිරීමකින් හා පුහුණුවකින් පසුවය. 
මෙටල් ගෘප් වල සින්දු වලට මමත් ඉනෙස් (මගේ බිරිඳ) කැමති නිසා අප ඉඳහිට ඒවා අසන්නෙමු. එනිසා මට මතක් වුනේ ඇලිස් ගේ ගීත ගායනා කරන ආකාරයය.


ඇය  ARCH ENEMY සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවයි.  ඇය අපේ ජනට් ගේ භූතයා කතා කරන ලෙසටම ගීත ගයන්නේ යටි උගුරෙනි. මේ නිසා මා උපකල්පනය කරන්නේ ජැනට් කිසියම් ආකාරයකට මෙලෙස  කතා කිරීමට පුහුණු වෙන්නට ඇත කියාය. එසේ නැතිනම් ස්වභාවයෙන් ම ලැබුණු හැකියාවක් විය හැකිය.


එසේනම් ඇය බිල් විල්කින්ස් ගැන දැන ගත්තේ කෙසේද?මෙය මට විසඳා ගත නොහැකි වූ දෙයකි. එසේම ඇය  හරියටම මැරුණු ආකාරය බිල් ගේ කටහඬින් (මම  එසේ උපකල්පනය කරන්නේ පර්යේෂකයන් ගේ ශබ්ද ටේප් පටි අනුවය) කියන්නේ කෙසේද?

මම පසුගිය මාසයේ ෆේස්බුක් එකේ පින්තුර වගයක් පල කලෙමි. ඒ අපි සාමාන්‍යයෙන් නත්තල් කාලයට යන  සම්ප්‍රදායික නාට්‍ය ගමන ගැනය. මෙවර අපි ගියේ මගේ ඉල්ලීම පරිදි ඩෙරෙන් බ්‍රව්න් ගේ මැජික් ෂෝ එකටය. ඔහු ඉන්ද්‍රජාලිකයකි . නිකම් ඉන්ද්‍රජාලිකයෙක් නොව ඉතා සූක්ෂම ලෙස ඇස්බැන්දුම්  පෙන්වන අයෙකි. ඒවා මැජික් මද කියා ඇතැම් විට සිතා ගත නොහැකිය.  ඔහු මෙහිදී අපට අදාල වන්නේ "මියගිය ප්‍රාණකාරයන්" වේදිකාවට ගෙනැවිත් ඔවුන්ගෙන් ප්‍රශ්න අසා  අහඹු ලෙස තෝරා ගත් ප්‍රේක්ෂකයෙකු ගේ ජීවිතය ගැන කියන නිසාය.  
ඔහු එසේ කියන්නේ ඇත්ත වශයෙන්ම එසේ මිය ගිය අයෙකු ගෙන්වන නිසා නොවේ. ප්‍රේක්ෂකයෙකු ඔහුගේ ෂෝ එක නැරඹීමට එන ගමනේදී ඔහු තබන ඇතැම් සලකුණු නිසාය. එනිස අහඹු ලෙස තෝරාගත්තද එවැන්නෙකු තේරෙන බව ඔහු කළින්ම දනී. 
මේ ඔහු එවැන්නක් කරන හැටිය.

මා මෙහිදී ජැනට් මෙවැනි දේවල් කළා යයි කියන්නේ නැත. නමුත් මිනිසුන් මෝහනයට ඉබේ පත්වීමක් විය හැකිය. ඇගේ දෙමව්පියන් කතා කරන අවස්ථාවක  බිල් විල්කින්ස් නමැති මිය ගිය තැනත්තා ගැන කල කතාබහ ජනට් ගේ මනසේ නිදන් වී තිබෙන්නට ඇත. ඩොපමයින් වල ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක ඒ මතකය මනසේ අවිඥාණක කොටසින් එළියට එන්නට ඉඩ ඇත.

මට පැහැදිලි කිරීමට නොමැති අවසන් ප්‍රහේලිකාව වන්නේ බිත්ති වලට තට්ටු කිරීමය. ජැනට් ඇඳේ හිටියදි, ,මුළු පවුලම කාමරයේ සිටියදී බිත්තියට  තට්ටු කිරීම් සිදුවීමය.  ඇපල් ටෙලිවිශනයේ වාර්තා චිත්‍රපටයේ මියගිය විල්කින්ස් ගේ පුතා කියන්නේ ඒ පියාත් යහළුවනුත් දෙවන ලෝක යුද්ධයේ බෝම්බ වැටීමට කලින් බිම් ගෙවල්  වලට දිව යාමට කලින් දෙන පණිවිඩයක් හැටියටය. 

ජැනට් ගේ පවුලේ හා පර්යේෂකයන් ගේ උද්වේගකර හැසිරීම මත ඔවුන්ට එය ඇසුනාද ? නැත්නම් අහල පහල ගෙයක අය හොර රහසේ එවැන්නක් කලාද? මේ ගෙවල් වල බිත්ති වල ගඩොල් හිඩැස් තිබේ. (මේවාට කියන්නේ කැවිටි වෝල් කියායcavity wall ) අපේ නිවස මිලයට ගත් පසු අපි ඒවායේ හිඩැස් සිමෙන්ති වලින් පිරවූයේ ශීතල වාතය ඇතුළට නොඒමටය. මේ වාතය කම්පනය වන නිසා වෙනත් තැනක කරන තට්ටු කිරීම් ජැනට් ගේ කාමරයට ඇසෙන්නට ඉඩක් නැතිද? මේ ප්‍රශ්න නිසා ජැනට්  ඇතුළු ළමයි පාසැලේ ළමයි අතින් හිංසාවට උසුළු විසුළු කිරීම් වලට භාජනය වී තිබුණි.  එවැනි ළමයෙකු මෙවැනි තට්ටු කිරීම් කළා වෙන්නට් බැරිද? 
නමුත් මට මෙයට හරි පිළිතුරක් නොමැත. එසේම බිල් ගේ  පියාගේ කටහඬ (ජැනට් ගේ යටි උගුරෙන් එන හඬ) හඳුනා ගැනීමද ප්‍රහේළිකාවකි. මට හිතෙන්නේ ඔහු එය චිත්‍රපටයෙන් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා කියුවක් හැටියටය.

විශේෂයෙන් දැන් අපට මෙවැනි කතා අසන්නට ලැබෙන්නේ නැත්තේ ඇයි? බොහෝවිට යුරෝපයේ, බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ මෙවැනි  සිදුවීමකදී අවශ්‍ය  කරන සහයෝගය, එනම්  මානසික වෛද්‍යවරුන්ගෙන් , පාසැලෙන් , නගර සභාව වැනි ආයතනවලින් ලැබේ. ඒ කාලයේ නොතිබූ ආරක්ෂාවක් දැන්  තිබේ. ඒ කාලයේ නොතිබූ දැනුමක් දැන් තිබේ. එනිසා භූත කතාවලට ප්‍රථම නිසි අවධනය හා ප්‍රතිකාර ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

එනිස ගේ නිගමනය නම් (80%)  බිල් කියා භූතාත්මයක් නොතිබු බවය.  සිඉයට විස්සක් ඉඩ තබන්නේ මට විසඳා ගත නොහැකි අවසන් ප්‍රශ්න දෙකටය.

එසේනම් මම ක්වන්ටම් භෞතිකයේ  සොයා ගැනීම්  හා බහුමාන විශ්වය ගැන කලින් ලිපි වල කතා කලේ ඇයි? බහුමාන විශ්ව ගැන අදහස අපට දැනට ඇති පරමාණුක අංශුන් හා විශ්වය ගැන කල සොයාගැනීම් පදනම්ව කර ඇති උපකල්පනයකි. අපට තවත් දත්ත බොහොමයක් අවශ්‍යය. ඉලෙක්ට්‍රෝනය ට අංශුවක් මෙන්ම තරංගයක් වශයෙන්ද එකවර පැවතීමට ඇති හැකියාව  අපි  පර්යේෂණ මගින් තහවුරු කරගෙන සිටිමු. එසේම අපි නිරීක්ෂණය කරන විට අංශුව එය "දැනගෙන"  භෞතික  තත්වයේ වෙනසක් කරගන්නා බවද දන්නෙමු. එනිසා "හොල්මන්" පෙනෙන්නේ අපි "නිරීක්ෂණය" කරන විට පමනද? මේවා තනිකරම ඩෙරෙන් බ්‍රව්න් කියන්නාක් මෙන් අපි අපිටම කරගන්නා  ඇස් බැන්දුම් ද?

ඩෙරන්  ඔහුගේ දර්ශනයන් අවසානයේ ඔහුගේ පියා කියූ වැකියක් සඳහන් කරයි.  ඒ මෙසේය.
 
  Don't sleepwalk through life. Or you'll miss what's important. ජීවිතය තුලින්  නින්දෙන් ඇවිදින්නට නොයන්න. ඔබට වටිනා දේ මග හැරෙනු ඇත.  

2024-01-13 - අජිත් ධර්මකීර්ති